Showing posts with label Ambagamuwa. Show all posts
Showing posts with label Ambagamuwa. Show all posts

Thursday, May 7, 2020

අඹගොමුව කෝරළයේ පුරාණ සිංහල ගම් සහ දෙවියන්ගේ අඩවිය වසා නැගී සිටි වතු අධිරාජ්‍යය

1815 දී ගිවිසුමකින් කන්ද උඩරට අවසාන සිංහල බල ප්‍රදේශය කපටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පවරා දෙන අවස්ථාව වන විට එවකට සිංහලේ ලෙසින් හැඳින්වූ එම ප්‍රදේශ පළාත් 21 කට බෙදා පාලනය කල බව පෙනේ. ඒවා මහ දිසා 4 ක්, දිසා 8 ක් සහ රටවල් 9 ක් ලෙසට විය. සතර කෝරළේ, සත් කෝරළේ, ඌව සහ මාතලේ මහ දිසා වශයෙන්ද, සබරගොමුව, තුන් කෝරළේ, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න හා තමණ්කඩුව දිසා වශයෙන්ද, උඩුනුවර, යටිනුවර, තුන්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම සහ පාත බුලත්ගම රටවල් ලෙසින්ද එසේ බෙදා තිබුණි. එම ප්‍රදේශ පිළිබඳව සහ ඒවායේ පිහිටි ගම් පිළිබඳව ඉදිරියට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන ලිපි පෙලක පළමු ලිපිය මෙසේ උඩ බුලත්ගම රටට අයත් අඹගොමුව කෝරළයෙන් ආරම්භ කරමි.

සිංහලේ පැරණි බෙදීම් අතර වූ උඩ බුලත්ගම දකුණින් සබරගමුව දිසාවෙන්, බටහිරෙන් සතර කෝරළයෙන්, උතුරින් දොළොස්බාගේ ප්‍රදේශයෙන් සහ නැගෙනහිරෙන් කොත්මලේ රටින් මායිම් වේ. උඩ බුලත්ගම නැවතත් කෝරළ දෙකකට බෙදා තිබූ අතර ඒවා අඹගමුව සහ පස්බාගේ ලෙසින් හැඳින්වේ. මෙම ලිපියෙන් අඹගමුව කෝරළය පිළිබඳව ප්‍රධාන වශයෙන් 1872 සිට 1892 දක්වා මහනුවර දිසා විනිසුරු ලෙසින් සේවය කල A.C. ලෝරි විසින් සම්පාදනය කල ගැසටියර් නාමාවලිය (A Gazetteer of the Central Province of Ceylon Volume 1 & 2) අනුසාරයෙන් කරුණු ඉදිරිපත්  කිරීමට බලාපොරොත්තු වෙමි.
මස්කෙලිය ඔය හරස් කර ඉදිකල මාඋස්සාකැලේ ජලාශය
අඹගමුව කෝරළය ප්‍රධාන ගංගා නිම්න තුනකින් පෝෂණය වන ප්‍රදේශයක් ආශ්‍රීතව පිහිටා ඇත. මහවැලි, කෙහෙල්ගමු ඔය සහ මස්කෙලිය ඔය එම ගංගා නිම්න තුනයි. සුදු අධිරාජ්‍යවාදීන් පළමුව කෝපි සහ පසුව තේ වගා සඳහා එම ප්‍රදේශ එලි කිරීමට ප්‍රථමයෙන් ඝන වනාන්තර වලින් එම නිම්න වැසී පැවතුන බව ලෝරි සඳහන් කරයි. සිය ගැසටියර් නාමාවලිය සම්පාදනය කරන යුගය වන විට (1896) එම සියළු වනාන්තර බිම් අඹගමුව, පහල දික් ඔය, බොගවන්තලාව සහ මස්කෙලිය වැවිලි දිස්ත්‍රික්ක බවට පත්වී තිබූ බව ඔහු පවසයි. ලෝරි වැඩිදුරටත් පවසන්නේ එම කෝරළයේ උඩරට සිංහල ජනයා  සුළු ප්‍රමාණයක් පමණක් වාසය කල බවත් ඔවුන් වගා කල සමතලා භූමි ආශ්‍රීතව පමණක් විසූ බවත්ය (Kandyan population is small and is confined to localities where the land is level and irrigated). ඉහල කඳුකර පෙදෙස් ජල පෝෂිත ප්‍රදේශ ලෙසින් ආරක්ෂා කරමින් පහත් තැනිතලා බිම් වගා බිම් ලෙසින් සහ වාසභූමි ලෙසින් යොදාගත් පරිසර හිතකාමි සිංහල ජීවන රටාව ලෝරිලා එවකට හඳුනාගෙන නොතිබූ අතර ඔවුන් ඉහල කඳුකර බිම් මුළුමනින් නිරුවත් කර තේ සහ කෝපි වගාබිම් ඉදිකලහ.
කෝපි සහ තේ වගා සඳහා එලි කිරීමට පෙර ශ්‍රීපාද අඩවිය දක්වා විහිදුනු බොගවන්තලාව ප්‍රදේශයේ වනාන්තර බිම් තේ වගාවෙන් අද වැසී පවතින ආකාරය
අඹගමුව කෝරළයේ පැරණි ගමක් වන අඹගමුව පිළිබඳව වර්ෂ 1819 දී ඒ හරහා ගිය ඩේවි වාර්තා කර ඇති අතර සුප්‍රසිද්ධ අඹගමුව සෙල්ලිපියද එහි පිහිටි අකුරුකෙටූගල කන්ද ලෙසින් හැඳින්වෙන ස්ථානයේ හමුවේ.

ඩේවිගේ මාර්ග විස්තරය පිළිබඳව වූ ලිපිය කියවීමට >>
අඹගමුව සෙල්ලිපිය පිළිබඳව වූ ලිපිය >>

අඹගමුව කෝරළයේ පිහිටි විශාල ගම්මානයකි කෙහෙල්ගමුව. දික් ඔය සහ බොගවන්තලාව වතු දිස්ත්‍රික්ක අයත් වන්නේද කෙහෙල්ගමුවට ලෙස ලෝරි දක්වයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ කඳු බෑවුම් සහ නිම්න ඔස්සේ තේ වගාව ඇරඹීමට පෙර එම ප්‍රදේශය මුළුමනින්ම පාහේ රාජකීය කැලෑ ප්‍රදේශ බවය. එහෙත් 1881 වසරේදී මුළු ජනගහණය 888 වූ කෙහෙල්ගමුව ප්‍රදේශයේ වූ ලෙස ලෝරි දක්වන ඇතැම් ගම්මාන පෙර සිට පැවතුන බව පෙනේ. ඒවා නම් අඹතලාව, ඇල්ලේඋඩගම, කඳුරේගොඩ, තිනියගල, හෝමාගම සහ හොරකඩයි. මෙම ගම්මාන වල 1891 දී මුළු ජනගහනය 1157 ව තිබී ඇති අතර ඉහත ගම්මාන වලට අමතරව කඩවල සහ කලවැල්දෙනියද එම වසරේ සංගණනයේදී සැලකිල්ලට ගෙන ඇත.
කෙහෙල්ගොමු ඔය නිම්නය.  මෑත පිහිටි කඳු පංතිය සහ ඈතින් දිස්වන කඳු පංතිය අතර මස්කෙලිය ඔය නිම්නය පිහිටා ඇත. ඡායාරූපය ගෙන ඇත්තේ B71 මාර්ගයේ වටවල සහ නොර්ටන් බ්‍රිජ් අතර ස්ථානයකදීය
අඹතලාව ග්‍රාමයේ 1891 වසරේ සංගණනයට අනුව පුද්ගලයන් 31 දෙනෙකු සිට ඇත. සීත ගඟුල නමින් වූ ගම්මානයක්ද අඹගමුව කෝරලයේ තිබී ඇති බව ලෝරිගේ සටහන් වල හමුවේ. 1891 වසරේදී එහි පදිංචිව සිට ඇත්තේ මිනිසුන් දෙදෙනෙකු සහ ගැහැණුන් දෙදෙනෙකු පමණි. මේ ශ්‍රීපාද මාවතේ පිහිටි සුප්‍රසිද්ධ සීත ගඟුල ආශ්‍රීත ප්‍රදේශයේ තිබූ ගම්මානයක්ද යන්න පැහැදිලි නැත. කෙසේ නමුත් වර්තමාන සීත ගඟුල ප්‍රදේශයද අඹගමුව කෝරලයේ සීමාව තුල පිහිටා ඇත. [පසු සටහන - සීතගඟුලගම නමින් ගම්මානයක් නොර්ටන් - මස්කෙලිය B328 මාර්ගයේ 76 - 77 කිලෝමීටර කණු අතර මාර්ගයේ දකුණු පසින් මස්කෙලිය ඔයේ වම් ඉවුරේ මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. මෙය පැහැදිලිවම ලෝරි සඳහන් කරන සීතගඟුල විය යුතුය.] යටිගන්හුලහ ලෙසින් හැඳින්වූ ප්‍රදේශයට ගම්මාන කිහිපයක්ම අයත් වී ඇත. දාගම්පිටිය, ගෝනාවල, මැඩිල්ල, පදුපොල සහ පිටවල ලෙසින් ඒවා දක්වා ඇත. යටිගන්හුලහේ ග්‍රාමයට අයත් කුඩා ගමක් වන ගෝනාවල ගමෙහි ගම්මුන් 63 ක් 1881 වසරේ සිට ඇති මුත් එම සංඛ්‍යාව 1891 වන විට 52 දක්වා පහල බැස ඇත. එහිම පිහිටි ලෙස දක්වා ඇති පදුපොල ලෙසින් හැඳින්වූ තවත් කුඩා ගමක 1881 දී 281 වූ ජනගහණය 1891 වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් 189 දක්වා පහල බැස ඇත. දාගම්පිටිය ග්‍රාමයේ 1881 වසරේ මෙන්ම 1891 සංගණනයෙහිද හමුවූ පුද්ගලයන් ගණන 53 කි. මැඩිල්ල ග්‍රාමයේ පිළිවෙලින් 1881 සහ 1891 වසර වල ජනගහනය 83 සහ 170 ලෙසින්ද, පිටවල 1891 වසරේදී එය 131 ලෙසින්ද දක්වා ඇත. තිනියගලද (Tuniyagala) දැනටද හඳුනාගත හැකි මෙම ප්‍රදේශය ආශ්‍රිතවම හමුවන එවකට තිබූ ගම්මානයකි.
අඹගොමුව කෝරලයේ බටහිර සීමාව වන කඳු පංතිය. පෙරබිමෙහි මස්කෙලිය ඔය නිම්නය දැක ගත හැක. කිරිවන්එළිය ප්‍රදේශයේදී B328  මාර්ගයේ සිට ඡායාරූපය ගෙන ඇත.
අඹගමුව කෝරලයේ අනෙකුත් ගම්මාන සමග සැලකූ විට දික් ඔය ග්‍රාමයේ සැලකිය යුතු  ජනගහණයක් වාසය කල බව පෙනේ. 1881 දී 498 වූ එහි පුද්ගලයන් සංඛ්‍යාව 1891 වන විට 624 දක්වා වැඩිවී තිබේ. මේ වනවිට කෙහෙල්ගමු ඔය නිම්නය සහ එහි අතු ගංගා වන දික් ඔය, මැණික් ඔය, දරවැල්ලේ ඔය සහ බටු කැලේ ඔය ආශ්‍රිත නිම්න භූමි ඔස්සේ ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබූ තේ සහ කෝපි වතු අයත් වූ 'දික් ඔය දිස්ත්‍රික්කයේ' වතු වල සේවා සැපයීමට සංක්‍රමණය වූ පහත රට සිංහල ජනයා පදිංචි වීම මෙම විශාල ජනගහණය ඇතිවීමට සහ කෙටි කලකින් එය 25% කින් පමණ වැඩිවීමට හේතු වූවාදැයි විමසා බැලිය යුතුය. දික් ඔය, දරවැල්ල, මැණික්වත්ත, ද්‍රබාර් සහ වනරාජ වතු වර්ෂ 1855 පමණ වූ මුල් කාලයේදීම ඇති වී තිබූ අතර එම දික් ඔය වතු දිස්ත්‍රික්කයට අයත්ව ඒ වන විට තිබූ තේ සහ කෝපි වතු 117 ක ලැයිස්තුවක් ඒවායේ විශාලත්වයන්ද සමග ලෝරි ඉදිරිපත් කර ඇත. කෙසේ නමුත් දික් ඔය ප්‍රදේශය තුල පිහිටි සමරවිල නමින් වූ 1891 වසරේදී 44 දෙනෙකු ජීවත් වූ ඉන් පෙර වසර වල සංගණන වල හමු නොවන ගම්මානයක් පිළිබඳව විස්තර හමුවේ. මෙය ඇතැම්විට පැරණි ගම්මානයක් විය හැක.
මුල් යුගයේම ආරම්භ වූ දරවැල්ල වතු යායේ සුදු ජාතික වතු අයිතිකරුවන්ගේ භාවිතය සඳහා ඉදිවූ සමාජ ශාලාව (Planter's Club - Darawella)
 1891 වසරේදී 419 ක් තරම් වූ විශාල ජනගහණයක් ජීවත් වූ වටවල සම්බන්ධව 1871 මෙන්ම 1881 ජන සංගණන වලදී කිසිදු සඳහනක් නොවීම ද පැහැදිලි කල හැක්කේ වතු ආශ්‍රිතව සිදුවූ ජනතාව සංක්‍රමණය වීමේ ප්‍රතිපලයක් ලෙසින් සිදුවූ ශ්‍රීඝ්‍ර ජනගහන වර්ධනයක් ලෙසින්ද නොමැති නම් එම හේතූන් නිසාම එම යුගයේ ඇතිවූ පැරණි ගමක් නොවන නව ජනාවාසයක් ලෙසින්ද යන්න පැහැදිලි නැත.
බ්‍රිතාන්‍යය වතු අයිතිකරුවන්ගේ ආගමික අවශ්‍යතාවයන් උදෙසා ඉදිවූ ඇංග්ලිකන් පල්ලිය - දික් ඔය (Christ Church Warleigh - Dik Oya
19 වන සියවස අවසාන භාගයේ සාපේක්ෂව සැලකිය යුතු ජනතාවක් වාසය කල පැරණි සිංහල ගමක් ලෙස මේ ප්‍රදේශයේ හඳුනාගත හැකි කළුගම්මන, පල්ලේබාගේ සහ උඩබාගේ ලෙසින් කොටස් දෙකකට බෙදා තිබී ඇත. මෙයින් පල්ලේබාගේ (469) කොටසට අයත් ලෙස කන්ගරාපිටිය (278) සහ හිටියගමත් (256), උඩබාගේ (409) ගම් ලෙස මොරහේනගම (269) සහ කිරිවන්එළියත් (279) දක්වා ඇත.  [සැ.යු. ඉහත ග්‍රාම නාම සමග වරහන් තුල 1881 ජන සංගණනයේදී එම ගම් වල විසූ ගම්මුන් ප්‍රමාණ දක්වා ඇත.] උඩබාගේ ගම්මාන තුල වී වගාව ගම්මුන්ගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරමින්වත් සිදු නොවූවත් ප්‍රදේශය තුල පිහිටි 7000-8000 පමණ වූ කිතුල් ගස් වලින් ගම්මුන් වෙළදාම සඳහා හකුරු සෑදූ බවත්, කුරක්කන්, බඩ ඉරිඟු සහ ගොඩ වී සැලකිය යුතු ප්‍රමාණ වලින් ප්‍රදේශය තුල වගා කල බවත් සඳහන් වේ. තේ වගාවද ඒ වන විට ප්‍රදේශය සැලකිය යුතු මට්ටමකින් ආක්‍රමණය කර තිබී ඇත.

දැන් මස්කෙලිය වතු දිස්ත්‍රික්කය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය  පූර්වයෙහි ශ්‍රීපාද වන්දනාකරුවන් පමණක් ගමන් කල නොනැවතී විහිදුනු වනාන්තරයෙන් යුත්ත වූ ප්‍රදේශයක් බව ලෝරි සඳහන් කරයි. බොගවන්තලාව සහ සමනල කඳු පෙදෙසින් ඇරඹෙන සිය ගණන් දිය දහරා එකතු වී මේ ප්‍රදේශයේදි සිය ගමන අරඹන මස්කෙලිය ඔය කැළණි ගඟේ ප්‍රධාන මව් ගංගාවකි. වර්ෂ 1866 හෝ 67 වර්ෂයේදී පමණ කෝපි වගාව මේ ප්‍රදේශයේ ආරම්භ වී ඇති අතර වර්ෂ 1880 දී පමණ මුල් තේ වතු ආරම්භ කර ඇත. ඒ වන විට තිබූ තේ වතු 71 ක විස්තර ලෝරි ඉදිරිපත් කර ඇත.
වතු වගාව ආරම්භයට පෙර ඝන වනාන්තරයෙන් වැසී තිබූ මස්කෙලිය ප්‍රදේශය අද
නමින්ම හැඟෙන පරිදි පැහැදිලිවම වතු වගාවත් සමගම ඇතිවූ කඩමණ්ඩියක් සහ පසුව නගරයක් බවට පත්වූ හැටන් අයත් වන්නේද අඹගමුව කෝරළයටය. පෙර සංගණන වල දත්ත ඇතුලත්ව නොතිබූ මුත් 1891 වසරේදී එහි ජනගහනය 1017 පමණ වූ විශාල අගයක් විය. වර්ෂ 1884 ජූනි 4 වන දින හැටන් දක්වා දුම්රිය ගමන් ඇරඹීමත් සමගම එය ජනාකීර්ණ නගරයක් බවට පත්වීම ඉක්මන් වන්නට ඇත.
වතු වගාව ආරම්භයට පෙර ඝන වනාන්තරයෙන් වැසී තිබූ මස්කෙලිය ප්‍රදේශය අද
පැරණි මලය රට පිළිබඳව මෙයට පෙර මෙම බ්ලොග් අඩවියේ පලවූ ලිපියක අඹගමුව සෙල්ලිපිය ඇසුරින් හඳුනාගත හැකි එවකට තිබූ පැරණි සිංහල ගම් කිහිපයක් පිළිබඳව විස්තර ඉදිරිපත් කලෙමි. පළමුවන විජයබාහු රජතුමා එම ලිපියෙන් ශ්‍රීපාදයට පිදූ විල්බා පෙදෙස වර්තමාන අඹගමුව කෝරලය බවත්, එහි පිහිටි කෙලගමුව වර්තමාන කෙහෙල්ගමුව බවත් (කෙහෙල්ගමුව යනුවෙන් ගමක් නොමැති මුත් කෙහෙල්ගමු ගල, කෙහෙල්ගමු ඔය සහ කෙහෙල්වරාව ගම ලෙසින් එය ශේෂ වි පවති.) තිනියගල් යනු වර්තමාන තිනියගල බවත්, සොරගොඩ වර්තමාන හොරකඩ බවත් පෙන්වාදුන්නෙමි ( එම ලිපිය කියවීමට >> ) අඹගමුව නාමයද එදා සිට අද දක්වාම නොවෙනස්ව අදද එම නමින්ම හැඳින්වෙන ප්‍රදේශයට ව්‍යවහාර වේ.
සිතියම 1
19 වන සියවසේ අඹගොමුව කෝරලයේ තිබූ ලෙසට ලෝරි ඉදිරිපත් කරන ගම් අතරින් පදුපොල සහ සමරවිල  යන ගම්මාන හැර සෙසු සියළු ගම් ඉහත සිතියමේ සලකුණු කර ඇත. පදුපොල එහි නමින්ම හැඟෙන පරිදි ඇතැම්විට පදු කුලයේ ජනයා විසූ කුඩා ගමක් වන්නට ඇත. හීන කුලයක් ලෙසින් එකල පිළිගත් බැවින් කාලයත් සමග එම නම භාවිතයෙන් ඉවත්වී ඇතැම්විට වෙනත් ගමක් තුල සැඟව යන්නට හෝ අලුත් නාමයක් ලබන්නට හෝ ඇත [පදුපොල පිළිබඳව ප්‍රදීප් විසින් පහල එකතු කල කොමන්ටුව බලන්න]. කෙහෙල්ගමුව, කළුගම්මන සහ යටිගන්හුලහ යන ගම්ද හඳුනාගත නොහැකි මුත් ලෝරි පවසන පරිදි එම නම් ව්‍යවහාර වී ඇත්තේ විශාල ප්‍රදේශයකට වන අතර ඒ ප්‍රදේශ තුල පිහිටි කුඩා ගම් (Hamlets) ඔහු ඉදිරිපත් කර ඇත. කාලයත් සමග එම ව්‍යවහාර යටපත් වී එම කුඩා ගම් අද වන විට විශාල ගම් බවට පත් වී ඇත. සිදුවිය යුතු පරිද්දෙන්ම කෙහෙල්ගමුව, යටිගන්හුලහ,  කළුගම්මන වැනි ගම් කිහිපයක් අයත් වන ප්‍රදේශයකට ව්‍යවහාර වූ නම් ඒ සමගම භාවිතයෙන් ඉවත් වන්නට ඇත. එහෙත් කෙහෙල්වරාව ලෙසින් ග්‍රාම නිලධාරි වසමක් සහ ගමක් අදද හඳුනාගත හැක.  එහි පැරණි කෙහෙල්ගොමුව නම සැඟව පවතී. තවද කෙහෙල්ගොමු ඔය එම නම තවමත් දරා සිටී.
සිතියම 2 - අඟලේ සිතියම් වල සමර්විල් ලෙසින් ලකුණු කර ඇති ස්ථානය බලන්න
දික් ඔය ප්‍රදේශයේ පිහිටි ලෙස ලෝරි පවසන සමරවිල ගමද අද හඳුනාගත නොහැක. ඉහත සිතියම 1 දෙස බැලූ විට දික් ඔය ප්‍රදේශය පිළිබඳව අප ඉහත මතු කල පරිදිම එය පැරණි ගමක්ද යන්න පිළිබඳව සැක මතුවේ. අඹගොමුව කෝරලයේ සියළුම පැරණි ගම් ගිනිගත්හේන ප්‍රදේශයෙන් දකුණට සහ ගිණිකොන දිශාවට යොමු වූ මස්කෙලිය සහ කෙහෙල්ගොමු ඔය බඩ නිම්න අවට තැනිතලා ප්‍රදේශයකට සීමා වේ. එම ප්‍රදේශය හැර අඹගොමුව කෝරලයේ සෙසු සියළු පෙදෙස් වතු වගාව ඇරඹීමට පෙර ශ්‍රීපාද අඩවිය දක්වා විහිදුනු වනාන්තරයෙන් වැසී තිබූ බව ලෝරිගේ විස්තරයෙන්ද පැහැදිලි වේ. එයට දික් ඔය ප්‍රදේශයද අයත්වේ. ඒ අනුව එම ප්‍රදේශයේ එවන් ගමක් පිහිටීමේ හැකියාව අල්පය. කෙසේ නමුත් පැරණි අඟලේ සිතියම් වල වර්තමාන දික් ඔය නගරයට දකුණින් කාසල්රේ ජලාශය ඉවුරේ සමර්විල් ලෙසින් ස්ථානයක් සලකුණු කර ඇත. ඉංග්‍රිසි Summer වචනය සමග විල යන සිංහල වචනය එකතු වී සෑදී ඇති එම අසාමාන්‍ය නාමය එහි මුලින් පදිංචිව සිටි සිංහල ජනයා එම ගම අතහැර දැමූ පසු පසුකාලීනව ඉංග්‍රිසි ජාතිකයක් අතර සමරවිල යන්න ශේෂ වූ ආකාරයද? [පසු සටහන බලන්න] සමරවිල (එනම් අනංග විල යන අරුත ඇති) නමින් හැඳින්වූ ස්වභාවික විලක් දැනට කාසල්රේ ජලාශයට යටවූ කෙහෙල්ගොමු ඔයේ නිම්නයේ මෙම ස්ථානය අසල පිහිටීමේ සැලකිය යුතු ඉඩක් පවතින්නේ එම ප්‍රදේශය බොගවන්තලාව ප්‍රදේශයේ සිට ගලා බසින හම්බන්තොට ඔය සහ අවට පිහිටි කඳු මුදුන් වලින් ගලා බසින ලොකු කුඩා දිය පහරවල් සිය ගණනකින් සමන්විත කඳු වලල්ලකින් වටවූ ප්‍රදේශයක් වන බැවිනි (සිතියම බලන්න) එම ජලය එක් රැස් වන ප්‍රදේශය සහ ඒ අසල පිහිටි ගම පැරැන්නන් සමරවිල ලෙසින් හැඳින්වූවාද?

පසු සටහන
* කෙසේ නමුත් පැරණි අඟලේ සිතියමක සමර්විල් ලෙසින් සිංහල භාෂාවෙන් සලකුණු කර ඇති ස්ථානය වර්තමානයේ Summerville ලෙසින් මෙට්‍රික් සිතියම් වල සලකුණු කර ඇත. Summerville ලෙසින් නගරයක්ද ඇමරිකා එක්සත් ජනපදයේ South Carolina වල පිහිටා ඇත. තවද දික් ඔය තේ වතු දිස්ත්‍රික්කයේ ලෝරි ඉදිරිපත් කරන වතු අතර Summerville ලෙසින් වත්තක්ද ඇති බැවින් ඉහත උපකල්පන නිවැරදි නොවන බව පෙනේ
කෙහෙල්ගොමු ඔය හරස් කර ඉදි කල කාසල්රේ (Castlereigh Reservoir) ජලාශය. බොගවන්තලාව ප්‍රදේශයේ සිට ගලා එන හම්බන්තොට ඔයද කාසල්රේ ජලාශයට සිය ජල කඳ මුහු කරයි
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
  • ලේකම්මිටි විමර්ශනය, ආචාර්ය එච්. ඒ. පී අභයවර්ධන, 2009
  • කඩඉම්පොත් විමර්ශනය, ආචාර්ය එච්. ඒ. පී අභයවර්ධන, 1996

Saturday, September 1, 2018

අකුරු කෙටූ ගලේ කෙටූ මහා විජයබාහු රජුගේ අඹගමුව සෙල්ලිපිය

සොළී බල සෙන් පරදවා යලි සිංහල බලය තුන් සිංහලය පුරා පැතිරවූ පළමුවැනි විජයබාහු රජු (ක්‍රි.ව. 1055 - 1110) පිළිබඳව එන මහාවංශ විස්තරයේ ඔහු සිදු කල වෙහෙර විහාර ඉදිකිරීම් සහ ආගමික කටයුතු පිළිබඳව සඳහන් කිරීමේදි සමන්තකූටය හෙවත් ශ්‍රිපාද පුද බිමට අදාලව සිදු කල පුණ්‍ය ක්‍රියා සම්බන්ධයෙන් මෙවන් විස්තරයක් හමුවේ. 

"....සමන්තකූටයෙහි ශ්‍රීපාද ලංජනය වඳිනු පිණිස දුර්ගමාර්ගයෙහි යන මිනිස්සු වෙහෙසට පත් නොවෙත්වා යි දන් වැට සඳහා හැල් කෙත් ආදියෙන් යුක්ත වූ ගිලීමලය [නමැති ගම] දුන්නේය. කදලිගාම මාර්ගයෙහිද, හූවරට්ඨ මාර්ගයෙහිද වෙන් වෙන්ව ගම් දී සාලාද කරවීය. රජු "අනාගත රජවරු ඒවා නොගනිත්වායි" අකුරු ලියා ශිලාස්තම්භ පිහිටවීය.."

ගිණිගත්හේන-නාවලපිටිය B319 මාර්ගයේ ගිණිගත්හේන නගරයේ සිට කිලෝමීටර් 5 පමණ දුරකින් ප්‍රධාන මාර්ගයෙන් මදක් ඇතුලට වන්නට පිහිටි අකුරු කෙටූ පාණ නම් වූ කුඩා කඳු ගැටයක පැතලි ගල් දෙකක කොටා ඇති සෙල්ලිපියක් දැනට පුරාවිද්‍යා ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කල ස්ථානයක දැකිය හැක. H.C.P. බෙල් මහතා 1906-1912 වර්ෂ කාල පරාසය තුල පරික්ෂා කල සෙල් ලිපි ලේඛනයේ උඩ බුළත්ගම කොට්ඨාශයේ අඹගමුව කෝරලයට අයත් අඹගමුව [අඹගමුව හරහා වර්ෂ 1819 දී ගමන් කල ජෝන් ඩේවිගේ විස්තරය කියවීමට >> ] ග්‍රාමයේ සිරි සංඝ බෝ විජයබාහු නම සඳහන් (පළමුවන විජයබාහු ලෙස ඔහු නිවැරදිව හඳුනාගන්නා) රජුගේ සෙල් ලිපියක් ගැන සටහනක් හමුවේ. පසු කලක Z. වික්‍රමසිංහ මහතාට ලැබුන එහි පිටපත් කිහිපයක් ආශ්‍රයෙන් ඔහු එය කියවා Epigraphia Zeylanica දෙවෙනි වෙලුමට එම සෙල් ලිපියේ විස්තර පර්යේෂණ පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කරයි. 

Z. වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන විස්තරයේ (1928) සඳහන් වන පරිදි අඹගමුව ග්‍රාමයේ හස්ති ගල නමැති කඳු මුදුනට නැගෙනහිර දෙසින් පිහිටි අකුරු කෙටූ ගල කන්ද නම් ස්ථානයක මෙම ලිපිය පිහිටා ඇත. පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල හිමියන් එය සන්ක්ලයින් නම් තේ වත්තක් මැද අක්කර කාලක පමණ වන ලැහැබක් තුල අකුරු කෙටූ පාන නමින් ගම්වාසීන් හඳුන්වන තැනක පිහිටි බව 1967 දී පවසයි (දැනට සෙල්ලිපිය හමුවන ස්ථානය අවට ගම්මුන්ගේ නිවාස හමුවන මුත් St. Clive නමැති තේ වත්තක් පැරණි අඟලේ සිතියම් වල මේ ප්‍රදේශයේ ලකුණු කර ඇත.).
මෙම ගිරි ලිපියේ එන වැදගත් කරුණු කිහිපයක් මෙසේ පෙලගැස්විය හැක. මේ සඳහා Z. වික්‍රමසිංහ මහතාගේ කියවීම මෙන්ම මෑතකදි නැවතත් Inscription of Ceylon සයවන වෙලුමට මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා සැපයූ පරිවර්තනයද ආධාර විය.

  • සිරිසඟබෝ විජයභාහු ලෙසින් ලිපියේ හැඳින්වෙන රජතුමාගේ පියා සූර්ය වංශයට (රිවිහු අන්වයැ) අයත් ඔක්කාක (ඔකාවස්) රජ පරපුරෙන් පැවතෙන  අභා සලමෙවන් රජු සහ මව දෙවුගොන් රැජින වූ බව සහ ඔහු ආදිපාද (ඈපා), මහාදිපාද (මහයා) පිළිවෙලින් පැමිණ 'ලක්දිවු' හි රජ වූ බව.
  • රජුගේ ගුණ වයන ප්‍රශස්ති කොටසේ සඳහන් වන දෙව්වරු කිහිප දෙනෙකුගේ නම් වලින් එම යුගයේ මෙරට ප්‍රචලිත දෙව්වරු පිළිබඳවද යම් අදහසක් ලබා ගත හැක. එහි සඳහන් වනුයේ විජයබාහු රජු බල පරාක්‍රමයෙන් මෙහෙසුරුද (මහේෂ්වර හෙවත් ශිව), අහංකාර ජීවගුණයෙන් උවිඳුද (විෂ්ණු), රාජකීය ගුණයෙන් සුරින්ද්‍රද (දෙවියන්ගේ නායකයා හෙවත් ඉන්ද්‍ර), විපුල ධනයෙන් දිනිසුර ද (කුවේර) සත හට සෙත සැලසීමෙන් කිතිසුරු ද (අවලෝකතිශ්වර), නුවණින්  සුරගුරු ද (බ්‍රහස්පති හෙවත් දෙවියන්ගේ ගුරුවරයා), රූපශ්‍රියෙන් කන්දර්පත් ද (අනංගයා) පැරදවූ බවයි.
  • හෙතෙම දෙමළ සතුරු අන්දකාරය දුරලා මුළු 'ලක්දිවු' එක්සේසත් කල බව.
  • ඔහුගේ රජ්‍යත්වයෙන් 37 වසරක් ගිය තැන රාජ්‍යත්වයට පත් වීමෙන් 38 වන වර්ෂයේ මැඳින්දින සඳ පුර මස් හි පුර සතවක් දවස (First half of the Lunar month of 'Madindhina'[February-March], on the seventh day of the waxing moon.) මේ කල්පයේ බුදු වූ කකුසඳ, කොණාගම, මහා කස්සපෙ, ගොතම (කකුසඳ. කෝණාගම, මහා කාශ්‍යප සහ ගෞතම)යන සිව් බුදුන් ගේ පා පහස ලත් සමනොළකුළෙහි පිහිටි ශ්‍රිපාදයට සත් රුවණින් සැදි නොයෙකුත් අබරන පුද කර, නොයෙක් පට රෙදි , වියන් දද, කොඩි  නගා, සිව් දෑ සුවඳින් අභිෂේක කරවා, ඔහුගේම මිණි කිරුලෙන් එය සරසා පුද පූජා පැවත්වූ බව.
  • තවද පදලස් දා (ශ්‍රි පාදය) පිහිටි සමනොළකුලෙහි නඩත්තු කටයුතු සඳහාද, පුද පූජා සඳහාද, පහන් දල්වනු උදෙසාද අවශ්‍යය පියවර ගැනීමට සහ සිරිපා වැඳීමට සිව් දෙසින් එන මහා සංඝයා වහන්සේගේ පිඩු පසයටද, සෙසු සිරිපා වැඳීමට පැමිණෙන දුබල ජනයාගේ දන් වැට සඳහාද, සිරිපා වැඳීමට බැතිමතුන් පැමිණෙන 'රජරට මාර්ගයේ' අවසන් ගව් පහ තුල ගව්වෙන් ගව්වට රජු ඔහුගේ නමින් දන්සැල් ඉදි කල බව.
  • රජු පදලස් දා පිහිටි මළුවට පහතින් තවත් මළුවක් කරවා සෙසු 'අධම ජාතීන්ට අයත් ජනයාට' (People of inferior status) වන්දනා මාන කිරීමට අවස්ථාව සලසා දුන් බව සහ පළමු මළුව වට කර ප්‍රාකාරයක් බඳවා එයට පිවිසෙන සහ පිටවන ස්ථාන වල දොරටු පිහිටුවා ඒවායෙහි දොර අගුලු සවි කර ආරක්ෂාව සැලසූ බව.
  • ශ්‍රිපාද සලකුණ වසා දැලක් (Net) පිහිටවූ බව.
  • රජු ශ්‍රිපාදය අවට සියළු ප්‍රදේශ තුල කෙත් (කුඹුරු) කරවා, විල්බා නම් පෙදෙසේ පිහිටි පහත දැක්වෙන ඉඩකඩම් ශ්‍රිපාදයට කැපකරන ලදි. එනම් කෙලගමුව පුවක් අරඹක් සහ තිනියගල, සොරගොඩ, ලියවළ, බදුලුවනැ යන ප්‍රදේශයන්හි  එක් ස්ථානයකින් කොටවැලි එකක ප්‍රමාණයේ ඉඩම් කැබලි. තවද උඩුහො කොටවැල්ලේ සහ කළඟ වෙල බද මකුළුමුල, අඹගමුව, වැලිගම්පොළ සහ උලපනා යන ප්‍රදේශ වල පුවක්. මෙම සියළු ප්‍රදේශ වලට රාජපුරුෂයන් ඇතුළු නොවිය යුතු අතර, බදු නිලධාරින්  බදු අය නොකල යුතුය. එසේම මෙම නියෝග රජුගේ 38 වන රාජ්‍ය වර්ෂයේ සිට ඉදිරියට බලපැවත්විය යුතුය.
  • මෙම රාජ නියෝගය සඳහන් කර අත්තාණි කණුව (සෙල් ලිපිය) පිහිටුවීමට පැමිණි රාජ්‍ය නිලධාරීන්ගෙ නම් ලිපියේ අවසානයේ දක්වා ඇත. එනම් මෙකාප්පර් වැදෑරුම් [Commander of the bodyguard] කළුන්නරුබිම් ආසත්තානාවන් ගේ නියමයෙන් පැමිණි හක්කගම කිතු, කොළොඹගලු දොවු, මහකිලිංගම් කිතල්දෙටු සහ 'රක්කමණන් වරැ' [Chief Guardian] රමුක්කඩු අගා ගේ  නියමයෙන් පැමිණි කුඩසලා කිතු.
අඹගමුව සෙල්ලිපියේ එන ග්‍රාම නාම කිහිපයක්ම සුළු වෙනස් කම් ඇතිව අද දක්වාම හඳුනාගත හැක. එම ස්ථාන හඳුනාගැනීම සම්බන්ධව මෙයට පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කර ඇති අතර, එම අදාල ඡේදය පහත දැක්වේ. සම්පූර්ණ ලිපිය කියවීමට >> මලය රට සොයා සමනොළගිරෙන් දුම්බරට

විල්බා යනු ගිණිගත්හේන ප්‍රදේශයෙන් දකුණු සහ ගිණිකොන දෙසට වන්නට පිහිටි වර්තමාන අඹගමුව කෝරළය බවත් කෙලගමුව වර්තමාන කෙහෙල්ගමුව බවත් (කෙහෙල්ගමුව යනුවෙන් ගමක් නොමැති මුත් කෙහෙල්ගමු ගල, කෙහෙල්ගමු ඔය සහ කෙහෙල්වරාව ගම ලෙසින් එය ශේෂ වි පවති.), තිනියගල් යනු වර්තමාන තිනියගල බවත්, සොරගොඩ වර්තමාන හොරකඩ බවත් නිකොලස් හඳුනාගනී. කළඟවෙල ප්‍රදේශය යනු වර්තමාන උලපනේ, නාවලපිටිය සහ අඹගමුව ප්‍රදේශය බවත් එහි පිහිටි ලෙස ඉහත සඳහන් වූ වැලිගම්පොළ, අඹගමුව යන ගම් අදද ඒ ආකාරයෙන්ම හමුවන අතර, උලපනා යන්න උලපනේ ලෙස වෙනස් වි ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.
පැරණි විල්බා ප්‍රදේශයේ ගම්


පැරණි කළඟවෙල  ප්‍රදේශයේ ගම්

අඹගමුව සෙල් ලිපියේ සඳහන් වන ඇතැම් තොරතුරු මෙම ලිපියෙහි මුලින්ම ඉදිරිපත් කල මහාවංශ විස්තරය සමග කෙතරම් අපූරුවට ගැලපේද යන්න විමසා බලන්න. මහාවංශයේ කදලිගාම මාර්ගය ලෙස හැඳින්වෙන්නේ කෙලගමුව එනම් වර්තමාන කෙහෙල්ගමුව (පාලියෙන් කදලිගාම) හරහා යන මාර්ගයයි. අඹගමුව සෙල්ලිපිය හමුවන්නේ එම මාර්ගයේය. සෙල්ලිපියේ එය රජරට මාර්ගය ලෙස හඳුන්වා ඇත.

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015 
  • Bell H.C.P., 1915, Archaeological Survey of Ceylon, North Central, Central And Northern Provinces, Annual Report 1911-1912 
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI, G.S. Ranawella, 2007
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
  • සපරගමු දර්ශන, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1967

Sunday, September 10, 2017

මලය රට සොයා සමනොළගිරෙන් දුම්බරට

මලය යනුවෙන් ප්‍රදේශයක් වංශ කතාවේ මුල් වරට සඳහන් වනුයේ ලංකා ඉතිහාසයේ මුල්ම රජු ලෙස මහාවංශය හඳුන්වන විජය රජුගේ සමයේදීය. විජය රජුට දාව කුවේනි බිසවට උපන් දරු දෙදෙනා එම බිසවද සමගින් විජය රජු විසින් නෙරපූ කල්හී ඔවුන් ලංකාපුර නගරයට යන මුත් එහිදී එහි සිටි පුද්ගලයකු කුවේනිය මරා දැමූ බැවින් දරු දෙදෙනා සුමනකූටයට පලා යයි. ඉන්පසු රජුගේ අවසරය සහිතව ඔවුන් එම මලය පෙදෙසෙහි විසූ බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

සුමනකූටය
බුදුන්වහන්සේගේ පළමුවන ලංකාගමනයේදී සුමනකූඨ පර්වත වාසී මහාසුමන දෙවියන් සර්වඥයන් වහනසේගේ කේශ ධාතු තැන්පත් කර මහියංගනයේ ථූපයක් කල බව මහාවංශයේ සඳහන් වේ. එසේම උන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදී සුමනකූඨය මතුයෙහි පා සටහන පිහිටවූ බවද පැවසේ. දුටුගැමුණු රජු සමයේ සුමනකූඨ පර්වතයේ භික්ෂූන් 900 වැඩහුන් බවත් දුටුගැමුණු රජතුමන් මලයමහාදේව තෙරණුවන්ට පිදූ ඇඹුල් සහිත තණ බත් දානය ඒ හිමියන් එම 900 භික්ෂූන් සමග වැලදූ බවත් වංශ කතාවේ පැවසේ.

පළමුවන විජයබාහු රජතුමන් සමන්තකූඨ පර්වතයේ පිහිටි මුනි රජුගේ පා සටහන වඳනා පිණිස යන මිනිසුන්ගේ දන් වැටුප් පිණිස හැල් කෙත් ආදියෙන් සමෘධ වූ ගිලීමලය යන ගම දුන් බවද, කදලිගම හරහා යන මාවතේ සහ හූව රටේ සිට එන මගේ ගිමන් හල් සාදා ඒවායේ නඩත්තුව උදෙසා ගම් දී, ඒ ගම් අනාගත කාලයේ එන රජවරුන් නොගණිත්වයි අකුරු කොටලා ටැම් පිහිටවූ බවද  මහාවංශයේ සඳහන් වේ.
ගිලීමලේට ශ්‍රිපාද කඳුවැටිය දිස්වන ආකාරය
කීර්ති නිශ්ශංක නම් රජු (නිශ්ශංකමල්ල) සිව්රඟ සෙනග සමග සමන්තකූඨ පර්වතයට ගොස් එය වැඳ පුදාගත් බව මහාවංශයේ සඳහන්ය. එමෙන්ම එතුමා විසින් පිහිටවූ සෙල්ලිපි කීපයකම ඔහු සමනොළ නැගි බව සඳහන්ය. >> Link  නැවත දඹදෙනි යුගයේදී දෙවන පරාක්‍රමබාහු රජතුමන්ද චතුරංග බලසේනා ඇතිව සමන්තකූඨ නැග ශාස්තෘන් වහන්සේගේ පද ලකුණු වැඳ ඒ ගිර හාත් පස දස ගව් පමණ තැන් වූ දනව්ව එම ශ්‍රි පාදයට පිදූ බවද මහාවංශයේ විස්තර වේ.

මේ ආදී වශයෙන් සමන්තකූඨ, සුමනකූඨ, සමනොළ ආදි විවිධ නම් වලින් හැඳින්වෙන මලය රටේ වූ ස්ථානය කිසිදු සැකයක් නොමැතිව වර්තමානයේ අප ශ්‍රී පාදය ලෙස හඳුන්වන බුදුන් වහන්සේගේ පා සලකුණ පිහිටියේයැයි වන්දනාමාන ලබන කඳු මුදුන ලෙස හඳුනාගත හැක.
කෙහෙල්ගමු ඔය නිම්නය
ඉහත ගිලීමලය ලෙස හැඳින්වෙන ප්‍රදේශය නොවෙනස්ව අද දක්වාද එම නමින්ම හඳුනාගත හැක. කදලිගම වර්තමාන කෙහෙල්ගමුව ලෙස හඳුනාගෙන ඇත. වංශ කතාවේ එන සඳහන තහවුරු කරමින් අඹගමුවෙන් සහ ගිලීමලෙන් හමුවී ඇති පළමුවන විජයබාහු රජු පිහිටවූ සෙල්ලි වල එතුමන් විසින් සමනොළ දක්වා එන රජරට මාර්ගයේ අවසන් ගව් පහ තුල ගව්වෙන් ගව්වට දානශාලා පිහිටුවා වන්දනාකරුවන්ට දන් දුන් බව සඳහන් වේ. මෙයින් අඹගමුව සෙල්ලිපිය කියවිය හැකි මුත් වචන කිහිපයක් හැර ගිලීමලය සෙල්ලිපිය කියවිය නොහැකි තරමට ගෙවී ගොස් ඇත (කෙසේ නමුත් එය අඩු වැඩි වශයෙන් අඹගමුව සෙල් ලිපියේම පිටපතක් බව හඳුනාගෙන ඇත.) අඹගමුව සෙල් ලිපියේ නොමැති ගිලීමලය, අගැවික වැව සහ වෙනත් වචන කිහිපයක් එහි හමුවේ.
පැරණි විල්බා ප්‍රදේශයේ ගම්
අඹගමුව සෙල් ලිපිය සහ ශ්‍රී පාදයට පිදු ගම්
පළමුවන විජයබාහු රජතුමා ශ්‍රීපාදයට විල්බායේ කෙලගමුව, තිනියගල්, සොරගොඩ, බදුලු වනය, ලියවළ, උඩුහෝ යන ගම් සහ කළඟවෙල පිහිටි මකුළුමුල්, අඹගමුව,වැලිගම්පොළ, උලපනා යන ගම් පිදූ බව අඹගමුව සෙල් ලිපියේ සඳහන් වේ. එම ස්ථාන කිහිපයක්ම වර්තමානයේ හඳුනා ගත හැක.

විල්බා යනු ගිණිගත්හේන ප්‍රදේශයෙන් දකුණු සහ ගිණිකොන දෙසට වන්නට පිහිටි වර්තමාන අඹගමුව කෝරළය බවත් කෙලගමුව වර්තමාන කෙහෙල්ගමුව බවත් (කෙහෙල්ගමුව යනුවෙන් ගමක් නොමැති මුත් කෙහෙල්ගමු ගල, කෙහෙල්ගමු ඔය සහ කෙහෙල්වරාව ගම ලෙසින් එය ශේෂ වි පවති.), තිනියගල් යනු වර්තමාන තිනියගල බවත්, සොරගොඩ වර්තමාන හොරකඩ බවත් නිකොලස් හඳුනාගනී. කළඟවෙල ප්‍රදේශය යනු වර්තමාන උලපනේ, නාවලපිටිය සහ අඹගමුව ප්‍රදේශය බවත් එහි පිහිටි ලෙස ඉහත සඳහන් වූ වැලිගම්පොළ, අඹගමුව යන ගම් අදද ඒ ආකාරයෙන්ම හමුවන අතර, උලපනා යන්න උලපනේ ලෙස වෙනස් වි ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.

වංශ කතාවේ එසේ සඳහන් නොවුනත් සමනල කන්ද අවට පිහිටි මේ සියළු ප්‍රදේශ සමනල කන්ද අයත් වූ පුරාණ මලය රටට අයත් ව තිබූ බව පැහැදිලිය.
පැරණි කළඟවෙල  ප්‍රදේශයේ ගම්
පොළොන්නරු යුගයේ මලය රට
දෙවෙනි ගජබාහු රජුට අයත් රජරට රාජධානියට පහරදීම අරඹන පරාක්‍රමබාහු සිය සටන අරඹන්නේ මහාමලය දේශය අයත් කරගනිමිනි. මහාමලය දේශය පිළිබඳව කදිම විස්තරයක් ඒ හා සම්බන්ධව මහාවංශයේ එයි. "නොයෙක් පර්වත දුර්ග ඇති බැවින්ද, චණ්ඩ සත්ව භයින්ද, දුකසේ බැස්ස යුතු වූ අන්‍ය මනුෂ්‍යයන්ගේ සංචාර රහිත වූ එක පදික මාර්ගයෙන් යායුතු වූ අතිශයින් බියකරු වූ මිනිසුන් භක්ෂණය කරන්නා වූ කිඹුලුන් ඇති ගැඹුරු ජලයෙන් ගැවසුනා වූ ..." ආදී ලෙසින් මහාවංශය මහාමලය දේශය හඳුන්වා දෙයි.

පරාක්‍රමබාහු කුමරා මහාමලයදේශයට අයත් යත්ථිකන්ද සහ දුම්බර ප්‍රදේශ අයත් කරගන්නේ එම පළාත් භාර ගජබාහුගේ දණ්ඩනායක රක්ඛ සෙනෙවියා ඔහු කෙරේ නම්මා ගැනීමෙනි. ඒ මගින් දුම්බර ප්‍රදේශය පහසුවෙන් යටත් කරගත් නමුත් යත්ථිකන්ද ප්‍රදේශය ගැනීම සඳහා රක්ඛ සෙනෙවියාට ගජබාහුගේ සේනා සමග පිළිවෙලින් තාලකෙත්ත, නාගපබ්බත, සුවණ්නදෝනි, රාමුච්චුවල්ලික, දෙමත්ථපාදත්තලි ආදි ගම් වලදි සටන් කිරීමට සිදුවිය. ඉන්පසු පරාක්‍රමබාහුගේ සේනා සයකෙත්ථක,රට්ඨබෙදුම සහ ධනුවිල්ලික යන ස්ථාන වල කරන සටන් වලින් අනතුරුව නිලගල්ලක ප්‍රදේශය යටත් කරගනිමින් ඉදිරියට යයි. ඉක්බිති  ධනුමණ්ඩල සහ නිස්සේනික්කෙත්තක යන ප්‍රදේශ යටත් කරගනිමින් රක්ඛ සෙනෙවියා මජ්ජිමවග්ග ප්‍රදේශය ගැනීම සඳහා සටන් මෙහෙයවයි. එහිදී නිලගිර පාදක කරගනිමින් සටන් මෙහෙයවන හෙතම වාපිවාටක ප්‍රදේශය සහ මජ්ජිමවග්ග ප්‍රදේශ අල්ලා ගනී. ඉන්පසු රේරුපල්ලික ප්‍රදේශයද අත් පත් කරගනිමින් ඔවුන් පිවිසෙන්නේ කොසවග්ග ප්‍රදේශය යටත් කරගැනීමටය. ඒ සඳහා වූ සටන් වලදි සිසචින්නාකබෝධි යන ස්ථානයේ සටන් ඇවිලේ.එම ප්‍රදේශය අල්ලා ගැනීමත් සමගින් මලයදේශය පරාක්‍රමබාහුගේ අණසක යටතට  පත්වූ බව වංශ කතාව පවසයි.
හුන්නස්ගිරියට උතුරින් පිහිටි කොර්බට් ගැප් ස්ථානයට දිස්වන දුම්බර කඳු වැටිය
දුම්බර රට
ත්‍රීසිංහලයේ කඩඉම්පොතට අනුව මැදමහනුවර කන්දය, දියතලානුවර කන්දය, හුන්නස්ගිරි කන්දය යන කඳු තුන දුම්බර මායිම් වේ. වර්තමානයේද එම නම් ම භාවිතා වන මෙම කඳු මුදුන් තුන සීමා කරගනිමින් සහ එම මුදුන් පිහිටන කඳු පන්ති වලින් වටවූ මහවැලි ද්‍රෝණියේ සාපෙක්ෂව තැනිතලා ප්‍රදේශය පහත සිතියමේ දක්වා ඇති ආකාරයට හඳුනාගත හැක. පොළොන්නරු යුගයේද දුම්බර රට අඩු වැඩි වශයෙන් මෙම සීමාව තුල පිහිටි ජනාවාස වලින් සමන්විත වන්නට ඇත. අද වන විට එම ප්‍රදේශයෙන් අඩක පමණ ප්‍රමාණයක් නැතහොත් මුළු තැනිතලා ප්‍රදේශයම පාහේ වික්ටෝරියා ජලාශයට යටවී ඇත.
කෙසේ නමුත් ඉහත සඳහන් දුම්බර රට  සහ යත්ථිකන්ද තුල තිබූ ස්ථාන කිහිපයක් වර්තමානයේද හඳුනාගත හැකිය. රාමුච්චුවල්ලික යනු තෙල්දෙණිය අසල පිහිටි රඹුක්වැල්ල ලෙසත් (රඹුක්වැල්ල නම් වූ ගමක් තෙල්දෙනියට නැගෙනහිර දෙසින්ද හමුවේ.), ධනුවිල්ලික යනු දුනුවිල ලෙසත් (හුනස්ගිරි කන්දට උතුරින්ද වෙනත් දුනුවිල නම් වූ ගමක් හමුවේ.) කොඩ්රිංටන් මහතා හඳුනාගෙන ඇත (සිතියම 2 බලන්න). සුවණ්නදෝනි යනු රන්දෙනිය විය හැකි මුත් වර්තමානයේ රන්දෙනිය නම් පෙදෙසක් මේ ප්‍රදේශයේ හමු නොවේ. නිල්ගල යන නම සහිත පෙදෙසක් තෙල්දෙනියට උතුරින් හමුවේ. නිලගිරි සහ/හෝ නිලගල්ලක යනු බොහෝවිට මෙම නිල්ගල විය හැක. පාතදුම්බරට අයත් උඩුගම්පහ කෝරලේ පිහිටි නාපාන, නාගපබ්බත බව කොඩ්රිංටන් මහතා හඳුනාගනී. එම නම අද එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාශයකට සීමා වී ඇත. මජ්ජිමවග්ගක යනු මැදිවක බවය කොඩ්රිංටන් මහතාගේ හඳුනාගැනීම (සිතියම 2). ක්‍රමයෙන් පරාක්‍රමබාහුගේ ආක්‍රමණ රජරට දෙසට යොමුවූ බව පෙනෙන බැවින් වාපිවාටක, රේරුපල්ලික සහ කොස්සවග්ග යන ප්‍රදේශ දුම්බරට උතුරින් මාතලේ ප්‍රදේශය දක්වා යොමු වූ නිම්න භූමියේ තිබූ ප්‍රදේශ ලෙසට අනුමාණ කල හැක.

මේ අනුව යත්ථිකන්ද වර්තමාන උඩු දුම්බර ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ දකුණු ප්‍රදේශය ලෙසත්, දුම්බර රට වර්තමාන පාත දුම්බර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසය ලෙසත්, නිලගල්ලක උඩු දුම්බර උතුරු ප්‍රදේශය ලෙසත්, උඩු දුම්බරට අයත් ගම්පහ කොරලේ පිහිටි මැදිවක අවට ප්‍රදේශය මජ්ජිමවග්ග ලෙසත් පරණවිතාන සහ නිකොලස් මහතුන් හඳුනාගනී.

සමාලෝචනය
මහාවංශයේ පරාක්‍රමබාහුගේ මලය රට අල්ලා ගැනීමේ සංග්‍රාමය පිළිබඳ වූ ඉහත විස්තරය ආරම්භයේදී 'මහාමලයදේශය' ලෙස එම ප්‍රදේශය හැඳින්වූවත් පසුව මුළු 'මලය දේශයම' අල්ලාගත් බව විනා මහාමලයදේශය අල්ලා ගත් බවක් නොකියවේ. මේ අනුව මහාමලය දේශය හා මලය දේශය එකම ප්‍රදේශයක් විනා ප්‍රදේශ දෙකක් නොවන බව පෙනේ. කෙසේ නමුත් පරාක්‍රමබාහුගේ සටන් පැවති ප්‍රදේශය මුලු මලය දේශයම නොව මලය දේශයේ ගජබාහු රජු යටතේ වූ කොටස පමණක් බව පෙනේ. දක්ෂිණ දේශයේ පාලකයා ලෙස පරාක්‍රමබාහු යටතේද එහි බටහිරට වන්නට වූ දක්ෂිණ දේශයට යාබද ප්‍රදේශය තිබුණා විය හැක. පොදුවේ පිළිගන්නා මතය වනුයේ මධ්‍යම කඳුකරය අයත් ප්‍රදේශය පුරාණයේ මලය දේශය ලෙස හැඳින්වූ බවය. කෙසේ නමුත් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා පවසනුයේ මායා රට ලෙස පසුව හැඳින්වූ ප්‍රදේශය මුල් යුගයේ හැඳින්වූයේ මලය රට ලෙස සහ එහි ඉහල කඳු ප්‍රදේශය මහාමලය දේශය ලෙස බවය. එම මතය පිළිබඳව සහ මලය දේශය පිළිබඳව තව දුරටත් ඉදිරියේදි විමසා බලමු.
මලය දේශයට අයත් ලෙස ඉහත හඳුනා ගත් සියළු ප්‍රදේශ
මූලාශ්‍ර
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI, G.S. Ranawella, 2007
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.
  • සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක්, සී. ඩබ්ලිව්. නිකොලස්, ඇස්. පරණවිතාන, පරිවර්තන සංස්කාරක, ඇස්. බී. හෙට්ටිආරච්චි, 2005
  • මායා රට ඉතිහාසය, සිරිමල් රණවැල්ල, 2016
  • The national Atlas of Sri Lanka, Survey Department, 2007
  • Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
  • Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925
  • Village List