Showing posts with label Bu Ela. Show all posts
Showing posts with label Bu Ela. Show all posts

Sunday, March 15, 2020

වනාන්තරයේ සැඟවුණු බූ ඇලේ ආරම්භය සොයා...

පැරණි සිංහල වාරි ඉංජිනේරුවන් ඉතිහාසයේ කිසියම් යුගයක තොටුපොල කන්දෙන් ඇරඹෙන කුඩා දිය පාරවල් 6 ක් ඔස්සේ දඹගස්තලාව ඔයට යායුතුව තිබූ ජලය කිලෝමීටර 11 පමණ ඇල මාර්ගයක් ඔස්සේ තොටුපොල කන්ද ප්‍රදේශයේ සිට ගෙනවිත්, පට්ටිපොල දුම්රිය ස්ථානයට මීටර 150 පමණ දකුණින් පොළව යටින් තැනූ මීටර 221 ක් පමණ දිගු උමගක් මාර්ගයෙන් කුඩා ඔය හරහා උමා ඔය නිම්නයට යොමුකරවීම පිළිබඳව මෙයට පෙර ලිපියකින් තොරතුරු ඉදිරිපත් කලෙමි. මේ සමග ඉදිරිපත් කරන වීඩියෝව බූ ඇල නමින් හැඳින්වෙන එම උමං මාර්ගයට ජලය ගෙන එන ඇල මාර්ගයේ ආරම්භය එනම් ස්වභාවික දිය පහරක් පැරණි අමුණකින් හරස් කල ස්ථානයේ සිට පට්ටිපොල - හොර්ටන් තැන්න (පැරණි නම මහඑලිය මාර්ගය දක්වා වනාන්තරය මැදින් ගලායන ඇල මාර්ගයේ රූප රාමු සහ බූ ඇල උමං මාර්ගය පිහිටි පට්ටිපොල දුම්රිය ස්ථානය අසල රූප රාමු වලින් සමන්විතය. කෙසේ නමුත් මේ බූ ඇල පිළිබඳව සහ එහි විශ්මිත වාරි තාක්ෂණය පිළිබඳව දැන ගැනීම උදෙසා පෙර ලිපිය කියවීම වැදගත් වේ (එම ලිපිය කියවීමට Link>>)
මහ එලිය (හොර්ටන් තැන්න ) සහ බූ ඇල අමුණේ පිහිටීම (විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න)
ස්ථානයේ සිදු කල ගවේෂණයට අනුව එම පැරණි අමුණ තිබූ ස්ථානය පහත සිතියමේ A ලෙසින් නම් කර ඇති අතර එහි GPS කියවීම 6°50.574'N, 80°48.729'E වේ. උස මුහුදු මට්ටමේ සිට මීටර 2143 කි. ඉහත ලිපියෙන්ද දක්වා ඇති පරිදි එම ස්ථානයේ වර්තමානයේ පැරණි අමුණ දැකිය නොහැකි අතර කොන්ක්‍රීට් යොදා සැකසූ අමුණක් ඉදිකර ඇත. එතැන් සිට ඇල මාර්ගය අතරින් පතර එහි පැති බැමි කොන්ක්‍රිට් යොදා සවිමත් කර ඇති මුත් බොහෝදුරට ස්වභාවික ලෙසින් භූමිය මතින් ගලා යයි. 
බූ ඇලේ අමුණ පිහිටි ස්ථානය (A) සහ එහි ගමන් මාර්ගය .  D ලෙසින් සලකුණු කර ඇති ස්ථානයේදී එය පට්ටිපොල - හොර්ටන්තැන්න මාර්ගය හරහා යයි (විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න)
එම ඇල මාර්ගය 6°50.575'N, 80°48.899'E වන ස්ථානයේදී එනම් පට්ටිපොල - හොර්ටන්තැන්න මාර්ගයේ (B512) 21 වන සහ 22 සැතපුම් කණු අතර පිහිටි දෙවන වංගුව අසලදී මාර්ගය හරහා යන අතර (මුහුදු මට්ටමේ සිට 2103m පමණ උසකින්) එතැන් සිට තවත් කිලෝමිටර් 11 පමණ දුරක් වනාන්තරය මැදින් ගමන් කර නැවත පට්ටිපොල වන නිවහන අසලදී (6°51.234'N, 80°49.880'E) ඉහත මාර්ගය අසලින් ගමන් කරයි (පහත සිතියමේ E). එම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර 1895 උසින් පිහිටා ඇත.
මෙහි X ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේදී දඹගස්තලාව ඔය B512 මාර්ගය හරහා යන අතර E නම් ස්ථානයේදී බූ ඇල නැවත එම මාර්ගය අසලින්ම ගමන් කරයි. (විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න)
වර්තමානයේදී පැරණි බූ ඇල හෙවත් උමං මාර්ගය පෙර ලිපියේද දක්වා ඇති පරිදි 41m පමණ වන අතර (1862 දී පමණ හෝල්ස් සිදු කල මැනීම් වලට අනුව එවකට එය 221m දිගට තිබී ඇත ) GPS කියැවීම 6°51.247'N, 80°49.901'E වන ස්ථානයේදී (පහත සිතියම් වල F ලෙසින් ලකුණු කර ඇත) එය දුම්රිය මාර්ගය යටින් ගමන් කරන උමං මාර්ගය තුලට ඇතුළු වේ. එය නැවත 6°51.251'N, 80°49.919'E ස්ථානයේදී (පහත සිතියම් වල G ලෙසින් ලකුණු කර ඇත) ඉන් පිටවී කුඩා ඔය එක්වේ.
(විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න)

(විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න)

(විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න)
මූලාශ්‍ර
  • Ancient Irrigation Works in Ceylon, Part three, R.L. Brohier, 1935
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • Watery Arteries of Sri Lanka, Tributaries of the Principal Rivers, W.J. Samuel 2006
  • Pattipola Bu Ala - An Exceptional Design of Ancient Sinhala Hydraulic Engineering, Sudath Gunesekara, Journal of The Royal Asiatic Society of Sri Lanka, New Series Volume L, 2004
  • The national Atlas of Sri Lanka, Survey Department, 2007

Sunday, February 9, 2020

ගිරිකුළු විනිවිද පොළව යටින් ජලය තොටුපොල සිට උමා ඔයට ගෙන ගිය අභිරහස් බූ ඇල

අඹේවෙල
පහත සිතියමේ කොළ පැහැයෙන් ලකුණු කර ඇති දඹගස්තලාව ඔය සහ දම් පැහැයෙන් සලකුණු කර ඇති උමා ඔය යනු මහවැලි ගඟේ ඉහල ජල පෝෂක ප්‍රදේශයේදී එය පෝෂණය කරන අතු ගංගා දෙකකි. දඹගස්තලාව ඔය බ්ලැක් පූල් හෙවත් අඹේවෙල ජලාශය හරහා නැගෙනහිර දෙසට ගමන් කර Holbrook ප්‍රදේශයේදී ආගර ඔය හෙවත් අග්‍රා ඔය සමග එක්වේ. අග්‍රා ඔය තලවකැලේ අසලදී නානු ඔය සමග එක්වී කොත්මලේ ඔය බවට පත්වේ (වර්තමානයේ ඉහල කොත්මලේ ජලාශය ඉදිකර ඇත්තේ මෙම ස්ථානයේය). කොත්මලේ ඔය එයට එක්වන පැන්න ඔය හෙවත් පූනා ඔය සමග එක්වී කොත්මලේ  ඔය ජලාශය නිර්මාණය කරමින් උලපනේ අසලදී මගවැලි ගඟේ ප්‍රධාන ජල ධාරාවට එක්වේ. මෙහි  දම් පැහැයෙන් දැක්වෙන උමා ඔය සිය ගමන ආරම්භ කරනුයේ දඹගස්තලාව ඔයේ ගමන් මගට විරුද්ධ දිශාවට එනම් නැගෙනහිර දෙසට ගමන් කරමිනි. දිගු ගමන් මගක ගොස් එය කොත්මලේ ජලාශයේ සිට ගම්පොල, පේරාදෙණිය, මහනුවර ආදී ඓතිහාසික නගර සහ අවසානයේ වික්ටෝරියා, රන්දෙනිගල ආදී ජලාශ හරහා එවැනිම දිගු ගමනක් යන මහවැලි ප්‍රධාන ජල ධාරාව සමග එක්වන්නේ රන්ටැඹේ ජලාශයෙනි.
විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න

මහඑලිය හෙවත් හොර්ටන් තැන්නේ පිහිටි මෙරට තුන්වෙනියට උසම කඳු මුදුන (2357 m) වන තොටුපොල කන්ද සහ එහි සිට ගිණිකොන දෙසට (ඔහිය දෙසට) විහිදෙන කඳු පන්තිය වසා ගත් කඳුකර වනාන්තර වලින් පැන නගින දිය දහරා දඹගස්තලාව ඔය මෙන්ම උමා ඔයේ ඉහල ජලධාරා ප්‍රදේශයේ අතු ගංගාවක් වන කන්දේපුහුල්පොල කඳුරද පෝෂණය කරයි. හොර්ටන් තැන්නේ සිට පට්ටිපොල දෙසට යෑමේදී මාර්ගයේ තොටුපල කන්දට වම් පසින් පිහිටි කඳු පන්තියද අග්‍රා ඔය සහ දඹගස්තලාව ඔය දෙකෙහිම වැදගත් ජල පෝෂක ප්‍රදේශ ලෙස හඳුනාගත හැක.

ඉහත සිතියමේ භූ විෂමතාවය දෙස විමසිල්ලෙන් බැලූ විට දිස්වන තවත් එක් වැදගත් කරුණක් වන්නේ දඹගස්තලාව ඔය ඉහල සානුවක පිහිටා තිබෙන අතර උමා ඔය පිහිටනුයේ සාපෙක්ෂව උසින් අඩු කඳු පාමුලක බවය. මේ ලිපියේ ඉදිරියට විස්තර වන පැරණි වාරිමාර්ග තාක්ෂණික විශ්මය තේරුම් ගැනීමට ඉහත කෙටියෙන් දැක්වූ කරුණු මනාව අවබෝධ කරගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම දඹගස්තලාව ඔය සහ උමා ඔය එකිනෙකට ආසන්නයේ වුවද, එකක් අනෙකින් මනාව වෙන්ව පිහිටි, ප්‍රතිවිරුද්ධ දිශාවන් ඔස්සේ ජල වහනය සිදුවන, එසේම උස් මට්ටම් දෙකකින් පිහිටි ගංගා නිම්න දෙකක් බව වටහා ගැනීම වැදගත් වේ. වෙනත් ආකාරයකින් විස්තර කලහොත් පට්ටිපොල දුම්රිය ස්ථානයේ සිටින කපුටෙකුට මිනිත්තු කිහිපයකින් දුම්රිය මාර්ගයෙන් අනෙක් පස පල්ලමෙන් ආරම්භ වන කුඩා ඔය (උමා ඔයේ ප්‍රධාන අතු ගංගාවක් වන අඹේවෙල ඔයට එහි දකුණු ශාඛාවක් ලෙසින් කුඩා ඔය එක්වේ.) දෙසට යා හැකි මුත්   දුම්රිය ස්ථානය අසලම වූ දඹගස්තලාව ඔයේ සිටින මාලුවෙකුට එම දුර යෑමට අඹේවෙල ජලාශය - අග්‍රා ඔය - කොත්මලේ ඔය - කොත්මලේ ජලාශය - උලපනේ - ගම්පොල - පේරාදේණිය - මහනුවර - පොල්ගොල්ල - වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ පසු කරමින් උමා ඔයට පිවිස එහි ඉහලට තවත් එවැනිම දුරක් බෝගොඩ, ඇටම්පිටිය, වැලිමඩ ඔස්සේ පිහිනා යා යුතුය.
තොටුපොල කන්ද
එහෙත් පැරණි සිංහල වාරි ඉංජිනේරුවන් ඉතිහාසයේ කිසියම් යුගයක තොටුපොල කන්දෙන් ඇරඹෙන කුඩා දිය පාරවල් 6 ක් ඔස්සේ දඹගස්තලාව ඔයට යායුතුව තිබූ ජලය කිලෝමීටර 11 පමණ ඇල මාර්ගයක් ඔස්සේ තොටුපොල කන්ද ප්‍රදේශයේ සිට ගෙනවිත්, පට්ටිපොල දුම්රිය ස්ථානයට මීටර 150 පමණ දකුණින් පොළව යටින් තැනූ මීටර 221 ක් පමණ දිගු උමගක් මාර්ගයෙන් කුඩා ඔය හරහා උමා ඔය නිම්නයට යොමුකර ඇති බව මෙය කියවන බොහෝදෙනෙකුට මින් පෙර නොඇසූ පුවතක් විය හැක. රජරට සහ රුහුණු රට පැරණි වාරි තාක්ෂණික විශ්මයන් බොහෝ දෙනෙක් යම් පමණකට වුවද අසා ඇති මුත් ඉහල කඳුකරයේ එවන් නිර්මාණ කර ඇති බව අසා ඇත්තේ ක්ෂේත්‍රය පිළිබද උනන්දුවක් ඇති අතලොස්සකි. R.L. බ්‍රොහියර් සිය පැරණි වාරි තාක්ෂණය සම්බන්ධ ග්‍රන්ථයේ වර්ෂ 1857 දී ඔහුට පෙර එම වාරිමාර්ගය පිළිබඳව මුල් වරට  සොයාගත් ඌව පලාතේ ආණ්ඩුවේ ඒජන්ත ධූරය දැරූ බේලි (Bailey) සහ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (Public Work Department) ඉංජිනේරුවෙකු වූ විලියම් හෝල්ගේ (William Hall) විස්තර ඉදිරිපත් කර ඇති අතර, 2004 වසරේදී සුදත් ගුණසේකර මහතා රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට එහි වර්තමාන තත්වය සහ වාරි තාක්ෂණය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර ඇත.

ස්වභාවදහමේ නියමයන්ට එරෙහිව වසර පුරා උණුසුම් ඌව නිම්නයේ කෙත් බිම් වලට ජලය සපයන කෘතිම දියදහරේ ප්‍රභවය සොයා බේලි 1857 වසරේදී දිය පාරේ දල බෑවුම දිගේ ඉහලට නැගි විට ඔහුට දැක ගැනීමට හැකි වී ඇත්තේ ජල ප්‍රභවය තිරුවාණා-බොරලු පසේ කණින ලද උමගකින් මතු වන බවය. එම උමග දිගේ ගමන් කල ඔහු බාධක කඳු වැටියේ අනිත් පසින් මතු වී ඇත. මෙම ඇල පිළිබඳව යම් අදහසක් එකල මේ ප්‍රදේශ වාසීන්ට වූ බවට බේලිගේ විස්තරයෙන් ගම්‍ය වේ.. මක්නිසාද යත් එම ජලයේ ප්‍රභවය බූ ඇලකින් (එනම් භුගත ඇල මාර්ගයකින්) වූ බවට ඔවුන් අතර වූ විශ්වාසයයි. ඉන්පසු එයට සම්බන්ධ ඇල මාර්ගය දිගේ සැතපුමක් පමණ දුර ගිය ඔහුට එයට ජලය ගලා එන්නේ තොටුපොල කන්දෙන් පැන නැගී කොත්මලේ නිම්නය දෙසට ගලා ගිය දොල පාරකින් බව හඳුනාගැනීමට හැකිවිය.
බූ ඇල උමං මාර්ගයට ජලය ගෙන එන 11km දිග පැරණි ඇල මාර්ගය පැරණි අඟලේ සිතියමක සටහන් කර ඇති ආකාරය. කොළ පැහැයෙන් නැවත සලකුණු කර ඇත්තේ එම ඇල මාර්ගය පෝෂණය කරන තොටුපොල කන්දෙන් එකතු වන දිය පහරවල් (තොටුපල කන්ද සහ ඇල මාර්ගය අතර) සහ බූ ඇල උමං මාර්ගයෙන් පිටවී ජලය උමා ඔයට එක් වීමට කුඩා ඔයට මුසු වන ස්ථානයේ සිට කුඩා ඔයයි (සිතියමේ ඉහල දකුණ). රතු පැහැයෙන් බූ ඇල උමං මග සලකුණු කර ඇත.
එහෙත් එම දොල පාරෙන් පමණක් එතරම් විශාල ජල කඳක් පහල ඌව ප්‍රදේශයට ලැබීමට නොහැකි බවත්, අනෙක් අතට එවන් කුඩා ජල හැරවුමකට බූ ඇල වැනි විශාල වෙහෙසක් දරා කල යුතු වාරි නිර්මාණයක් කිරීම වැදගත් නොවන බවටත් ඔහුට හැඟිනි. ගැටළුව විසදීමට නොහැකිවම බේලි සහකාර යටත්විජිත ලේඛම් (Assistant Colonial Secretary) ලෙස පත්වීම් ලැබ ඌවෙන් නික්ම ගිය හෙයින් වසර 5 කට පසු එම 'බූ ඇලේ අභිරහස' විසදනු ලැබුවේ විලියම් හෝල්ස් විසිනි. බේලි නැවතුනු ස්ථානයට ඔබ්බෙන් එහි කණ්ඩියේ සිදුවූ විශාල නාය යෑමක් හේතුවෙන් ඇල මාර්ගය අවහිර වී තිබූ මුත් නාය ගිය කොටසට එපිටින් තවත් කිලෝමීටර 6 ක් පමණ දුරට ඇල මාර්ගය හඳුනාගැනීමට සහ එය නැවත පිලිසකර කිරීමට ඔහුට හැකිවිය. ඔහු හඳුනාගත් පරිදි ස්වභාවික ලෙසින් දඹගස්තලාව ඔයට එක්වී ලිඳුල හරහා කොත්මලේ නිම්නයට එක්වීමට තිබූ විශාල දොල පහරවල් 5 ක්ම එම ඇල මාරගය හේතුවෙන් පහල ඌව දෙසට සිය ජලය මුදා හරියි.
නූතන මෙට්‍රික් සිතියම් වල ඇල මාර්ගය ඉහත අඟලේ සිතියමේ මෙන් ඇල මාර්ගයක් ලෙසින් සලකුණු කර නැති මුත් දිය පාරක් ලෙසින් ලකුණු කර ඇත (මෙහි නිල් පැහැයෙන් මතු කර ඇත) අගලේ සිතියමේ නොමැති එම ඇල මාර්ගයට තොටුපොල දෙසින් එකතු වන දිය දහරා 6 ක් පමණ මෙට්‍රික් සිතියමේ ලකුණු කර ඇත ( මෙහි කොළ පැහැයෙන් මතු කර ඇත.). දම් පැහැයෙන් මතු කර ඇත්තේ දඹගස්තලාව ඔයට එක් වන දිය පාරවල්ය. රතු පැහැ කඩ ඉර මගින් බූ ඇල උමං මාර්ගය පිහිටි කොටසද ඉන්පසු කොළ පැහැයෙන් කුඩා ඔයද ලකුණු කර ඇත.
70 දශකයේ මහවැලි ව්‍යපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් පොල්ගොල්ලේදී එහි ජලය වේල්ලක් ආධාරයෙන් හැරවීමට සියවස් ගණනාවකට පෙර අපේ පැරන්නන් මේ ආකාරයෙන් මහවැලි ඉහල ජල පෝෂක ප්‍රදේශයේ ජලය උමගක් මාර්ගයෙන් පහල ඌව ප්‍රදේශයට හරවා ඇත. බූ ඇල ඔස්සේ ගොස් කුඩා ඔයට එකතු වන ජලය ඉන්පසු එහි දකුණු සහ වම් ඇලවල් ඔස්සේ පිළිවෙලින් ගල්කන්දේ සිට අගම්පොඩිගම දක්වාත්, ලන්දේවෙල සහ බිබිලේගම ප්‍රදේශත් පෝෂණය කරයි. එපමණක් නොව ඉන් පහල උමා ඔය - බත්මැඩිල්ල ඇල ඔස්සේ වගා කෙරෙන කෙත්වතු වලටද අමතර ජල ධාරාවක් වසර පුරා ගෙන යයි.

බූ ඇල - එදා
හෝල්ස් සිදුකල මැනීම් වලට අනුව ඒ වන විට බූ ඇලේ දිග මීටර 221 කි. එහි උමං දොර මීටර 3.48 ක විශ්කම්භයකින් යුක්තව කඳු වැටියේ මුදුනේ සිට මීටර 12 පහලින් ආරම්භ වී ඇත. ඔහු සිදුකල ගවේෂණ මගින් තව දුරටත් සොයාගැනීමට හැකිවී ඇත්තේ බූ ඇලේ දිගට ඉහල සිට පතල් (Shafts) 5 ක් පහලට හාරා ඒවා සම්බන්ධ කරමින් උමග ඉදිකර ඇති බවය. ඔහු පවසන්නේ ඒ වන විට අවම වශයෙන් උමග ඉදිකර ශතවර්ෂ 2-3 ක් පමණ වත් ගෙවී ගොස් තිබූ මුත් කිසිදු පෙදරේරු කටයුත්තක් හෝ වැස්මක් නොමැතිව එය මනාව ආරක්ෂා වී තිබූ බවය.

බූ ඇල - අද
අඩි 40 පමණ ඇල මාර්ගය තුලට බැස සුදත් ගුණසේකර මහතා 2003 වසරේ මෙම බූ ඇල උමග පිළිබඳව සොයා බලන විට එහි විවරය ගල් යොදා මෑතක සිදු කල එකක් බව පෙනී ගොස් ඇත. උස මීටර 0.91 ක්,සහ පළල මීටර 0.6 ලෙසට එහි විවරය කුඩා වී තිබී ඇති අතර එහි ඇතුලතද ගල් යොදා නිමවා තිබී ඇත. බටහිර කොටසේ උමගට පෙර වූ ඇල මාර්ගය බොහෝවිට දැනට විනාශ වී ඇති පෙර බූ ඇල උමගේම කොටසක් විය හැකි බවත් මීටර 51.8 වූ එම කොටසද මුළුමනින්ම පැති සහ පතුලද ඇතුලත්ව කොන්ක්‍රීට්  යොදා සකසා තිබී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. බටහිර දෙසින් ජලය ඇතුළු වන කොටස මෙන් දෙගුණයකට වඩා පහලින් නැගෙනහිර දෙසට ජලය පිටවන විවරය දැකගැනීමට හැකිමුත් එයට ලගාවීම අසීරු වූ බව ඔහු සඳහන් කරයි. නැගෙනහිර කොටසේ ඇල මාර්ගය ගැඹුරු දිග ගලියක් ලෙසින් තිබී ඇත. ඔහුට අනුව වර්තමානයේ බූ ඇල උමගේ ඉතිරි වී ඇති කොටස මීටර 41 පමණක් වූ බෝක්කුවක් පමණි. එහිද පෙර මීටර 3.48 ක විවරයක් වූ උමග මෙලෙස කුඩා කිරීම, ඒ මතින් යෙදී ඇති දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී එහි ආරක්ෂාව උදෙසා සිදු කල නැවත ආපසු හැරවිය නොහැකි විශිෂ්ඨ පෞරාණික වාරි තාක්ෂණික විනාශයක් ලෙසින් අද වනවිට ඉතිරි වී ඇත.

බූ ඇලට ජලය ගෙන එන ඇල මාර්ගයේ ප්‍රභවය
පට්ටිපොල සිට මහඑලිය හෙවත් හොර්ටන් තැන්න දක්වා යාමේදී මාර්ගයේ 21 වන කිලෝමීටර කණුව පසු කර ඉදිරියට ඒමේදී හමුවන සිව්වන වංගුව අසලින් මාර්ගයට සමාන්තරව පහලට ගලා  බසින කුඩා දියදහර බූ ඇල දක්වා ජලය ගෙනයන ඇල මාර්ගයේ ආරම්භය බව පැරණි අඟලේ සිතියම් සහ මෙට්‍රික් සිතියම අධ්‍යයනය කලවිට හඳුනාගත හැක. එහෙත් සුදත් ගුණසේකර මහතා පවසන්නේ එම මාර්ගයේ 20 සහ 21 කිලෝමීටර කණු අතර එහි ප්‍රභවය ඇති බවත්, 20 වන කිලෝමීටර කණුව ආසන්නයේ වූ වංගුව අසල මාර්ගයේ දකුණු පසින් එහි අමුණ දැකගත හැකි බවත්ය. තවද ඉන්පසු හමුවන වංගුවට මදක් පහලින් ඇල මාර්ගය පාර හරහා යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. එතැන් සිට ඇල මාර්ගය දිගේ විනාඩි 10 ක දුරින් පැරණි අමුණ ඇති බවත් ඔහු පවසයි. නමුත් එය 1981 වසරේදී පමණ ප්‍රතිශංස්කරණය කර ඇත. බැලූ බැල්මට මේ කරුණු ඉහත සිතියම් වල දැක්වෙන තොරතුරු සමග එකඟ නොවන මුත් පසු කාලීන ප්‍රතිසංශ්කරණය කිරීම් නිසා එසේ වෙනස් වූවා වන්නටද පුළුවන.ස්ථානීය තොරතුරු විමසීමෙන් ඉදිරියේදී ඒ පිළිබඳව වැඩිදුර විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

සිතියම් වල මෙම ඇල මාර්ගය ආරම්භ වන ස්ථානය රාජසිංහ ගම ලෙසින් හඳුන්වා ඇත. වර්තමානය වන විට මේ ආසන්නයේ කිසිදු ගම්මානයක් නොමැති මුත් එනමින් මෑතක් වනතුරු ගම්මානයක් තිබූ බවත් එය පැරණි ගම්මානයක් වීමට බොහෝදුරට ඉඩ ඇති බවත් පෙනේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 2133 ක පමණ උසකින් ආරම්භ වන මෙම ඇල මෙරට උසම ස්ථානයක ඉදි කල පැරණි ඇල ලෙස හඳුනාගත හැක. එහි සිට මීටර 304 ක් පමණ පහලින් පිහිටි කෙලින් දුර කිලෝමීටර 2.4 පමණ වූ බූ ඇල දක්වා ජලය ගෙන යන ඇල මාර්ගය කිලීමීටර 11 පමණ වූ දුෂ්කර හෙලක් ඔස්සේ ඉදිකර ඇත (ඉහත සිතියම බලන්න )

බූ ඇල ආරම්භ කල යුගය
සුදත් ගුණසේකර මහතා අනුමාන කරන්නේ ක්‍රි.ව. 1300 ත් 1350 අතර කාලයේ පහත රට වියලි කලාපයේ සිට ඉහල ඌව ප්‍රදේශයට සිදුවූ ජන සංක්‍රමණ සමග මෙම බූ ඇල සහ එයට ජලය සපයන ඇල මාර්ගය ආරම්භ වන්නට ඇති බවය. එහෙත් ඊට පෙර කාලයකට වුවද එහි ආරම්භක කාලය ගෙන යා හැක්කේ ඊට පෙර  යුගයන්හි වුවත් පැරණි මලය රටට අයත් මෙම ප්‍රදේශ වල ජනයා වාසය නොකල බවට වඩා වාසය කල බවට ඇතැම් සාධක හමුවන බැවිනි. ලිපිය දිග වැඩිවන බැවින් ඒ පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් නොකරන මුත් මෙම බ්ලොග් අඩවියේ පෙර පලවූ ඇතැම් ලිපි  වල ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කර ඇත.
තොටුපොල කඳු මුදුනේ පිහිටි නෙළු මලින් වැසී ගිය වලාකුළු වනාන්තරය
ඉහත විස්තර සියල්ල විමසා බැලීමේදී පැහැදිලි වන්නේ නිරිත දිග මෝසමෙන් වසරේ ජුනි සිට නොවැම්බර් දක්වා කාලයේ අධික වර්ෂාපතනයක් ලබන තොටුපල කන්ද ප්‍රදේශයේ සිට නිරිත දිග මෝසම් සුලං මුවාවේ වූ සාපෙක්ෂව වියලි පහල ඌව ප්‍රදේශයේ උමා ඔය ද්‍රෝණිය සශ්‍රිකවත් කිරීම මෙම පැරණි වාරි ව්‍යාපෘතියේ අරමුණ වූ බවය. ඇත්ත වශයෙන්ම මහඑලිය ප්‍රදේශයට අඩු වැඩි වශයෙන් වසර පුරාම වැසි ලැබෙන අතර එහි පිහිටි පතන් බිම් සහ වලාකුළු වනාන්තර (Cloud Forests) වැසි නොලැබෙන කාලයන්හිත් පෙර ලැබුණු ජලය ගබඩා කරගෙන ක්‍රමාණුකූලව ඒවා මුදා හරින ජල ගබඩා ලෙස ක්‍රියා කරයි. මේ කරුණු සහ ප්‍රදේශයේ භූ විෂමතාවය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැතිව ඉහත විස්තර කල ආකාරයේ වාරි තාක්ෂණික ව්‍යාපෘතියක් සැලසුම් කර සියවස් ගණනාවක් පුරා ක්‍රියාත්මක වන පරිදි ඉදිකිරීම පහසු කාර්යයක් නොවේ. ඒ විස්මිත ක්‍රියාව සිදු කල දැනුම් පද්ධතිය පමණක් නොව අවිධිමත් සංවර්ධනය හේතුවෙන් ඒ පිළිබඳව වූ ජීවමාන සාක්ෂිද සැලකිය යුතු තරමින් විනාශ වී ඇත. එම විනාශයට වගකිව යුතු ඉංග්‍රීසි පාලකයන්ගේ ඇතමෙකු ලියා තැබූ සටහන් පමණක් අද වන විට එවන් තාක්ෂණයකින් පැරණි සිංහලයා සමත්කම් දැක්වූ බවට සාක්ෂ්‍යය ලෙස ශේෂ වී ඇත.

බූ ඇල පිළිබඳව කල කෙටි වීඩියෝ වාර්තාව බැලීමට >>

මූලාශ්‍ර
  • Ancient Irrigation Works in Ceylon, Part three, R.L. Brohier, 1935
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • Watery Arteries of Sri Lanka, Tributaries of the Principal Rivers, W.J. Samuel 2006
  • Pattipola Bu Ala - An Exceptional Design of Ancient Sinhala Hydraulic Engineering, Sudath Gunesekara, Journal of The Royal Asiatic Society of Sri Lanka, New Series Volume L, 2004
  • The national Atlas of Sri Lanka, Survey Department, 2007