Saturday, July 18, 2026

බඳගිරිය


හම්බන්තොට දිස්ත්රික්කයේ කෑලියවලාන ග්රාමයේ විහාරගල සහ වෙහෙරගල යනුවෙන් හැදින්වෙන පර්වත දෙක මත්තෙහි නිර්මාණය කර ඇති මෙම අනුරාධපුර යුගයට අයත් නටබුන් පුරාවිද්යා ස්ථානය බඳගිරිය වැව ආශ්රිතව පිහිටා ඇත. මෙහි මෑත කාලීනව පර්වතය පාමුල ඉදිකල විහාරස්ථානය පිහිටි භූමියෙහිද පැරණි පූජනීය ස්ථානයට අයත් ගල් කණු සහ ගොඩනැගිලි දොරටු ආදිය විසිරී ඇති මුත් ස්ථානයේ ප්රධාන ගොඩනැගිලි ආදිය පිහිටා ඇත්තේ පර්වත මුදුන්හීය. පර්වත මුදුන් දක්වා ගමන් කිරීමට පුරාණ කාලයෙහි තිබූ ගල් පඩි ප්රතිසංස්කරණය කර පසුකාලීනව ඉදිකල පඩි පෙලක් දැක ගත හැකි අතර එහි පිය ගැට 90 ක් පමණ ඇත. එහි දෙපස පිහිටි ගල් තලාවෙහි මෙහි හමුවන ප්රධාන පුවරු ලිපි දෙක කොටා ඇති අතර, ඒවා පොදු වර්ෂ 3-4 සියවස් වලට අයත් අපර බ්රහ්මී අක්ෂර වලින් රචනා කර ඇත. පඩි පෙල අවසාන වූ ස්ථානයේ සිට පර්වත මස්තකය මතට යාමටද ගල් තලාව මත කෙටූ පියගැට පෙලවල් දක්නට ඇති අතර, ගල් තලාවේද ගොඩනැගිලි පිහිටි බවට සලකුණු ලෙසට ගලේ කෙටූ ගල් කණු වලවල් සහ නටබුන් වූ තවත් ගල්කණු සහිත ගොඩනැගිල්ලක අවශේෂ සාක්ෂි දරයි. මෙහි ඇති එක් පුවරු ලිපියකින් අමාත්ය බපගේ පුත්සිහ විසින් අවුරුද්දක පොලිය ගෙන මෙම විහාරයෙහි අරියවංශ දේශනාව පැවැත්වීමට දීමනාවක් දුන් බවත්, තවත් ලිපියකින් එම අරියවංශ දේශනාව පැවැත්වීමට සිවුපසය ලබාදීමට කල දීමනාවක් පිළිබදවත් සදහන් වේ. තුන්වන ලිපිය කියවීමට අපහසු ලෙසට විනාශ වී ඇත. පර්වතකය මස්තකයේ මෙම ස්ථානයේ ප්රධාන පූජනීය ස්ථානයක් වූ චතුරශ්රාකාර වේදිකාවක් මත ඉදිකල ස්ථූප දෙකක් දක්නට ලැබෙන අතර ඉන් එක් ස්ථූපයක් මෑත කාලයේ නවීකරණය කර හුණු බදාම ආලේප කර ඇති අතර, අනික් ස්ථූපය පුරාවිද්යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇත. මෙම මළුවේ සිරිපතුල් ගල් ආදිය හමුවන අතර මළුවට දකුණු දෙසින්ද තවත් නටබුන් වූ ස්ථූපයක අවශේෂ දැක ගත හැක. ස්ථූප පිහිටි ගල් තලාවට දකුණු දෙසින් වූ අනික් පර්වතය මතද නටබුන් වූ ගොඩනැගිලි සාධක හමුවන අතර කියවිය නොහැකි ලෙසින් ඛාදනය වූ ශිලා ලේඛන සහ ගමන් පහසුව උදෙසා තැනවූ ගල් පඩි ආදියද ගල් තලාවේ තැනින් තැන හමුවේ.

Tuesday, July 14, 2026

රාජගිරිකන්ද පබ්බත විහාරය


 මිහින්තලය ප්‍රධාන නටබුන් පිහිටි ප්‍රදේශයට පරිබාහිරව මහනුවර - යාපනය මාර්ගයේ හමුවන කළුදිය පොකුණ විහාර සංකීර්ණයට පිවිසෙන මාර්ගයට ප්රතිවිරුද්ධ දිශාවට පිහිටි මාර්ගයේ මීටර 200 පමණ ගිය විට රාජගිරි ලෙන නටබුන් ලෙන් පද්ධතිය පිහිටි කුඩා කදු ගැටය හමුවේ. එම කන්ද පාමුල තවමත් කැනීම් කර සංරක්ෂණය නොකල පබ්බත විහාර සම්ප්‍රදායට අයත් විහාරයක් ලෙස හදුනාගත් විහාරයකට අයත් ගොඩනැගිලි කිහිපයක නටබුන් හමුවේ. පාර ආසන්නයේම පාහේ පැරණි පොකුණක ලක්ෂණ හදුනාගත හැකි පිහිටීමක් දැක ගත හැකි අතර, ඒ ආසන්නයේ මෙම විහාරයේ සෙසු ගොඩනැගිලි කිහිපයක් හදුනාගත හැක. ඒ අතරින් ජරාවාස වූ ස්තූප දෙකක්, පිළිම ගෙයක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක නටබුන් පෙනෙන්නට තිබෙන අතර එක් ස්තූපයක දෙපසින් නැගෙනහිර සහ බටහිර දෙසින් විශාල ගල් උළුවහු දෙකක් සහ ස්තූපය වටා පිහිටා තිබූ මල් ආසන කිහිපයක්ම දැකගත හැක. මෙයට අමතරව මෙහි ඇති තවත් ගොඩනැගිල්ලක අවශේෂ අතර එහි පිවිසුමේ පිහිටි සංඛ සහ පද්ම කැටයම් නිරූපණය කර ඇති මුරගල් දෙකක්, කොරවක්ගල්, සදකඩපහණ සහ වාමන රූප තුන බැගින් කැටයම් කර ඇති ගල් පඩි 4 ක් දැක ගත හැක. මේ ආශ්‍රිත ප්රදේශයේ වනාන්තරය තුල තවත් පොකුණු සහ සෙල්ලිපි සහිත කටාරම් කෙටූ ලෙන් කිහිපයක්ද හමුවේ.

Saturday, July 11, 2026

පුරාණ මහකනදරාව ගල් පාලම

අනුරාධපුර දිස්ත්රික්කයේ මහකනදරාව ගම්මානයේ පිහිටා ඇති මෙම පුරාණ ගල් පාලම අනුරාධපුර යුගයේ අනුරාධපුර නගරයේ නැගෙනහිර දොරටුවේ සිට පුලියන්කුලම, හුණු කනදරාව, මහකනදරාව, කහටගස්දිගිලිය, කෝන් වැව, කොක් ඇබේ, රත්මලේ වැව හරහා එකල ගෝකණ්ණ තිත්ථය ලෙසින් හැදින්වූ ත්‍රිකුණාමල වරාය දක්වා විහිදුණු මාර්ගයේ කනදරා ඔය හරහා එගොඩ වීමට ඉදිකල පාලමක් ලෙස සැලකේ. මෙම මාර්ගයේ ඔයවල් හරහා ඉදිකල ගල් පාලම් කිහිපයක්ම හදුනාගත හැකිමුත් මහකනදරා ඔය ගල් පාලම ඒ අතරින් වැඩි හානියක් නොවී බොහෝදුරට එදා ඉදි කල අයුරින්ම අදද දැකගත හැකි පාලමකි. මහසෙන් රජතුමා විසින් ( පොදු වර්ෂ 274-301) කනදරා වැව විශාල කර ප්රතිශංශ්කරණය කල බව මහාවංශයේ සදහන් වේ. එම වාරිමාර්ග ව්‍යාපෘතියට ප්‍රථම කනදරා ඔයේ ගලාගිය විශාල ජලකද වැව ඉදිකිරීමත් සමග සීමා වීම හේතුවෙන් එයට පෙර ඉදි කල මෙම ගල් පාලමට පසුකාලීනව ජල පහර සහ විඩින් විඩ පැමිණි ගංවතුර ආදියෙන් හානි පැමිණීමක් සිදුනොවීම එලෙස පෙර තත්වයෙන්ම පාහේ එය ආරක්ෂා වීමට හේතු වූවා විය හැක. ගල් කණු පේලි තුනක් මත ඉදි කර ඇති මෙම පාලම ගල් කණු 39 ක් ආධාරයෙන් දරා සිටී. එය දිගින් අඩි 85 ක් වන අතර පලල අඩි 10 ක් වේ. සෘජුකෝණාස්‍රාකාර ගල් පුවරු අතුරා ශක්තිමත් ලෙස සකසා ඇති මෙම පාලම මතින් කිසිදු අපහසුවක් නැතිව බර පිරවූ ගැල් පවා එකල ගමන් කරන්නට ඇත.

Saturday, July 4, 2026

බුදුරුවගල

 


මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බුදුරුවගල ග්‍රාමයේ පිහිටා ඇති මෙම ස්ථානයේ අඩි 50 කට වඩා උසැති ගල් පර්වතයක මුහුණතක මහායානික සම්ප්‍රදායට අයත් ප්‍රතිමා 7 ක් නෙලා ඇත. මධ්‍යයේ අඩි 52 ක් උස අර්ධ උන්නත හිටි බුදු පිළිමයක් නෙලා ඇති අතර එහි වම් පසින් මීටර 2 ක් පමණ දුරින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ පිළිමයක් සහ එම පිළිමය දෙපසින් තාරා දෙවඟන සහ සුදන කුමාර යන පිළිම නෙලා ඇත. ඒ තරම්ම වූ දුරක් බුදු පිළිමයට දකුණු පසින් ඒ ආකාරයටම මෛත්‍රීය, වජ්‍රපාණී සහ මංජුශ්‍රී යන බෝධිසත්ව පිළිම නෙලා ඇත. දැනට විනාශ වී ඇති මුත් මෙම සියළුම පිළිම වල ආසන වෙනම සකස් කර දෙපා වලට සවිකර තිබූ බවට සාධක දැක ගත හැක. බුදු පිළිමයේ දකුණු අතින් අභය මුද්‍රාව දක්වා ඇති අතර මෙම සියළුම පිළිම හුණු බදාමයෙන් වසා පාට ගල්වා තිබූ බවට සාධක හමුවේ. තවද මෙම පිළිම ආවරණය වන පරිදි සුවිසල් පිළිම ගෙයක්ද තිබූ බවට දැව පරාල හෝ බාල්ක රැදවීමට පිළිම වලට ඉහලින් පර්වතයේ හාරා ඇති සිදුරු අනුව නිගමනය කල හැක.

 කිසිදු ඓතිහාසික මූලාශ්‍රයකින් මෙම පිළිම ඉදි කල කාලය හෝ ඒ සදහා අනුග්‍රාහකත්වය දැක්වූ රාජ්‍ය පාලකයා පිළිබදව කරුණු අනාවරනය නොවන මුත් විවිධ විද්වතුන් විසින් මේවා ඉදි කල කාලය පොදු වර්ෂ 9 - 10 සියවස් අතර කාලය, පොදු වර්ෂ 900 පමණ, පොදු වර්ෂ 8-10 මෙන්ම පොදු වර්ෂ 6-7 හෝ 8 තරම් ඈත කාලයන්ද දක්වා ඇත. මෙම ප්‍රතිමා පිහිටි ස්ථානයට යන මාර්ගයේ මුල් හරියේ එම කාලයටම අයත් පබ්බත විහාරයක නටබුන් මෙන්ම පැරණි වැවක්ද දැක ගත හැක.