Showing posts with label Nissankamalla. Show all posts
Showing posts with label Nissankamalla. Show all posts

Sunday, April 16, 2023

නිශ්ශංකමල්ලට රජකම හිමිකර දී පමුණු ලැබූ විජයා යාන්තැන්නාවන්

පොළොන්නරුව පැරණි නගරයේ උතුරු සීමාවේ එහි ප්‍රාකාරයට පිටතින් ඒ ආසන්නව සහ වර්තමානයේ මැණික් වෙහෙර ලෙසින් හැඳින්වෙන ආරාමයට දකුණින් පොළොන්නරු යුගයේ භාවිත සිංහල අක්ෂර වලින් රචිත පුවරු ලිපියක් ඇත. මෙම සෙල්ලිපිය පැරණි ඇල මාර්ගයක් අසල ඇති බවට 1917 වසරේදී ඒ පිළිබඳව ලිපියක් ලියන Z. වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. බොහෝවිට මේ ආසන්නයෙන් නගරයේ උතුරු සීමාවේ වූ දිය අගල තිබෙන්නට ඇත. නැතහොත් ලිපියේ නම සඳහන් පරාක්‍රම සමුද්‍රයෙන් ජලය ගෙනගිය තුඟභද්‍රා ඇල මේ අසලින් ගලා යන්නට ඇත. මෙම ලිපිය ආරම්භ වන්නේ සිංහල අකුරින් සංස්කෘත ශ්ලෝකයක් ඉදිරිපත් කරමිනි. ලිපිය එම යුගයේ භාවිත සිංහල අක්ෂර භාවිතයෙන් ලියවී ඇති මුත් එහි අවසානයේ නැවතත් එම ශ්ලෝකය ග්‍රන්ථ අක්ෂර මගින් ඉදිරිපත් කර ඇත. 

රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට A years work at Polonnaruwa ලෙසින් ලිපියක් සපයමින් S. M. බරෝස් (S.M. Burrows) විසින් 1887 දී පළමුවරට මෙම පුවරු ලිපියේ පළමු පැත්තේ (Side A) වූ කියැවිය හැකි කොටස් ඉදිරිපත් කර එහි පරිවර්තනයක්ද ඉදිරිපත් කරයි. තමා විසින් [එම වසරේ] පොළොන්නරුවෙන් සොයාගත් සියල්ල අතරින් ඉතාමත්ම වැදගත් සොයාගැනීම මෙය විය හැකි බව ඔහු එහිදී සඳහන් කරයි. ලිපිය දෙවන විජයබාහු විසින් කල එකක් ලෙස අනුමාණ කරන හෙතෙම, නමුත් දමිළයන්ගෙන් පොළොන්නරුව බේරා ගත් දඹදෙණි යුගයේ පසුකාලීනව සිටි  එකී නම සහිත  වෙනත් රජකෙනෙකුන් විසින් මෙම ලිපිය පිහිටවූවා වුවද විය හැකි බව පවසයි [එනම් තුන්වන විජයබාහු]. [1886 වර්ෂයේ] වියලි කාලයේ එය නිරීක්ෂණය කල හෙයින් පුවරු ලිපියේ අනෙක් පස ඝනව ලයිකන වැවී තිබූ හෙයින් අකුරු කියවිය නොහැකි වූ බවද, එහෙත් මෙවැනි වෙනත් එවැනි ගල් වල ඇති ලයිකන වැසි කාලය අවසානයත් සමග අර්ධ වශයෙන් හෝ වියැකී යන බව පැවසෙන හෙයින්, එහි සිටින කිසියම් පුද්ගලයෙකු එසේ වූ විට යථා කාලයේදී ඔහුට එහි නිවැරදි පිටපතක් ලබාදෙනු ඇති බවත් බරෝස් වැඩිදුරටත් සඳහන් කරයි. එවිට අවම වශයෙන් ලිපියේ එම පැත්තේ (Side B) කොටසක් හෝ කියවිය හැකි වනු ඇති බවට ඔහු බලාපොරොත්තු පළකරයි.

1909 වර්ෂයේ පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳව වාර්ෂික වාර්තාවේ H.C.P. බෙල් විසින් මේ පිළිබඳව කෙටි සටහනක් ඉදිරිපත් කරයි. දෙවන විජයබාහුගේ ඝාතනය පිළිබඳව සඳහන් වන එම සෙල්ලිපිය නිශ්ශංකමල්ල හෝ සහස්සමල්ල විසින් කරවූ එකක් විය හැකි බව ඔහු එහිදී සඳහන් කරයි. නැවත Z. වික්‍රමසිංහ මහතා 1917 දී කලින් බරෝස් කියවූ පැත්ත පමණක් කියවා Epigraphia Zeylanica 2 කලාපයට ලිපියක් සම්පාදනය කරයි. පැරණි ඇල මාර්ගයක් අසල ඇති ලෙස පවසන එම පුවරු ලිපිය පිළිබඳව වික්‍රමසිංහ මහතාගේ කියවීමද පෙර බරෝස් පල කල කියවීමේම යම් වැඩිදියුණු කිරීමක් පමණි. Z. වික්‍රමසිංහ මහතාද මෙය දෙවන විජයබාහු විසින් කල සෙල්ලිපියක් ලෙස පවසා මහාවංශයේ සඳහන් කරුණු සමග ලිපියේ සඳහන් ඓතිහාසික තොරතුරු සසඳා බැලීමක් සිදුකරයි.

Z. වික්‍රමසිංහ මහතාගේ කියවීම පිළිබඳ දැඩි විවේචනයක් ඉදිරිපත් කරමින් H.C.P. බෙල් මහතා එය පලවී වසර දෙකකට පමණ පසුව Ceylon Antiquary and Literary Register පස්වන වෙලුමට ලිපියක් සපයමින් පවසන්නේ මෙම ලිපිය පිහිටුවා ඇත්තේ වික්‍රමසිංහ මහතා කියන අයුරින් දෙවන විජයබාහු නොව නිශ්ශංකමල්ල රජතුමා බවය

නැවත සෙනරත් පරණවිතාන මහතා 1963 වසරේ පලවූ Epigraphia Zeylanica පස්වන වෙලුමේ දෙවැනි කොටසට මෙම සෙල් ලිපිය පිළිබඳව ලිපියක් සම්පාදනය කරයි. එතුමා මෙහි අනෙක් පස වූ අක්ෂර ද ලිපිය ඇති ස්ථානයට ගොස් සහ T.K. ජයසුන්දර නම් මහතෙකු විසින් එම පැත්තේ වූ ලයිකන ඉවත් කර සැකසූ පිටපතක් ආධාරයෙන් දැඩි පරිශ්‍රමයක් දරා කියවා එහි පරිවර්තනයක්ද ඉදිරිපත් කරයි. ලිපිය පිහිටවූ රජතුමා සහ එහි සඳහන්  අනෙකුත් චරිත හඳුනාගැනීම පිළිබඳව H.C.P. බෙල් මහතා කලින් ඉදිරිපත් කල කරුණුද උපයෝගි කරගනිමින් දීර්ඝ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන සෙනරත් පරණවිතාන මහතාගේ කියැවීම සහ පසුව මෑතකදි සිරිමල් රණවැල්ල මහතා Inscription of Ceylon සයවන වෙලුමට ඉදිරිපත් කල කියවීම අනුසාරයෙන් පහත කරුණු ඉදිරිපත් කෙරේ. 

ඒ අනුව මෙම ලිපිය පිහිටුවන්නේ දෙවන විජයබාහු නොව දෙවන විජයබාහු යටතේ යුව රජු ලෙස සිට පසු කලක රාජ්‍යත්වය ලබාගත් මෙරට වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටවූ රජු ලෙස හඳුනාගත හැකි නිශ්ශංකමල්ල රජතුමාය. තවද අන්තර්ගතය අනුව බොහෝදුරට මෙම ලිපිය එතුමා විසින් පිහිටවූ පළමුවන සෙල්ලිපිය විය හැක.

ලිපියේ සඳහන් වන පරිදි කාලිඟ (කාලිංග) චක්‍රවර්තීන් වහන්සේගේ වංශයෙහි උපන් සිංහබාහු රජපාවහන්සේට ජේය්ෂ්ඨ පුත්‍ර වූ කාලිඟයෙන් ලංකාවට බැසැ යක්ෂ ප්‍රලය කොට මනුෂ්‍ය වාස කොට ඒකත්පත්‍ර රාජ්‍ය කල විජයරාජයන් වහන්සේගේ වංශ පරම්පරායෙන් ආ ලක්දිව ඒකරාජ්ජ කළ පරාක්‍රමබාහු වත් හිමියන් වහන්සේ ස්ව වංශය මත්තට පවත්නා කැමැතිව පූර්ව රාජයන් කොට ආ පරිද්දෙන්ම සිංහපුරයට යවා බෑනණුවන් වහන්සේ ගෙන්වා සිය නම දී හිමියා පටි බන්දවා ශත්‍රශාස්ත්‍රයේ නිපුණ කරවා රාජ්‍ය සනාථ කොට ස්වර්ගස්ථ වූ කල්හී....ලෙසින් පැවසෙන්නේ කාලිංගයේ සිට පැමිණි විජය රජුගේ වංශයෙන් පැවතෙන මහා පරාක්‍රමබාහු රජතුමා එහි සිටි සිය බෑනණුවන් වන නිශ්ශංකමල්ල කුමාරයා මෙරටට කැඳවා ඔහුට සිය පරාක්‍රමබාහු යන නමද දී හිමියා යන විරුද නාමයද පවරා ඔහුව සිය වංශය ඉදිරියට ගෙනයෑම උදෙසා ( ආසන්න අනුප්‍රාප්තිකයා ලෙස නොව.) ආයුධ හැසිරීමෙහි සහ අනෙකුත් ශාස්ත්‍රයේ නිපුණ කල බවය.

මෙහිදි වංශ කතාවට අනුව අප හට මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල දෙදෙනාගෙන් නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු රජුගේ බෑණනුවන් ලෙස හැඳින්වීම උදෙසා කිසියම් හෝ සම්බන්ධයක් සොයා ගත නොහැක. එසේ හැඳින්වීමට නම් නිශ්ශංකමල්ල එක්කෝ පරාක්‍රමබාහුගේ සහෝදරියකගේ පුතෙකු විය යුතුය, නැතහොත් ඔහු පරාක්‍රමබාහුගේ දියණියක විවාහ කරගත යුතුය. මහාවංශයේ සඳහන් ඇතැම් තොරතුරු ආශ්‍රයෙන් නිශ්ශංකමල්ල පරාක්‍රමබාහුගේ දියණියක හෝ නෑකමින් එසේ වන කෙනෙකු ආවාහ කරගත් බව පෙන්වීමට සෙනරත් පරණවිතාන මහතා උත්සහ කරන මුත් නිසැකවම එය එසේ වේයැයි පිළිගැනීමට එම සාධක ප්‍රමාණවත් නොවේ. 

ලිපියට අනුව පරාක්‍රමබාහු රජුගෙන් පසුව ජේ‍යෂ්ඨත්වය අනුව  අභිෂේක ලබන්නේ විජයබාහු වහන්සේය (එනම් මහාවංශයේ සඳහන් දෙවන විජයබාහුය.) එහෙත් දුෂ්ඨ අමාත්‍යයන් රාජ ද්‍රෝහීව, ලංකාවට ව්‍යසන ගෙනදුන් බැවින් විජයා යාන්තැන්නාවන් මැදිහත් වී ලිපිය පිහිටුවන [නිශ්ශංකමල්ල කුමාරයා] අභිෂේක කර ඔටුණු පළඳා රාජ්‍යත්වයට පත් කල හෙයින් සහ එනයින් කාලිඟ පරම්පරාවටම රාජ්‍යය සාධා දුන් හෙයින් සහ රුවන්දම්බුයෙහි පටන් [නිශ්ශංකමල්ල කුමාරයාගේ] ශරීර ආරක්ෂක ලෙසින් සිටි හෙයින් සහ විජය රජුගේ කාලයේ සිටම එම විජයා යාන්තැන්නාවන්ගේ පරපුර කාලිඟ වංශයටම සේවය කල හෙයින් ඔහුට පිරිණැමෙන ත්‍යාගයක් පිළිබඳව වූ විස්තර සඳහන් කිරීම මෙම පුවරු ලිපියේ අරමුණයි.

විජයා යාන්-තැන්-නාවන් ලෙසින් හැඳින්වෙන පුද්ගලයා ගේ යාන්-තැන්-නාවන් යන්න වාහන-නායක යන තනතුර (The Chief of the department of vehicles)  ලෙසින් සෙනරත් පරණවිතාන මහතා හඳුන්වයි. එතුමා ඉදිරිපත් කර ඇති සංස්කෘත ශ්ලෝකයේ පෙලෙහි එය වාහන-නායක ලෙසින් සංස්කෘත භාෂාවෙන් සඳහන් වේ (එහෙත් සිරිමල් රණවැල්ල මහතා ඉදිරිපත් කරන පෙලේ එය දැක්වෙන්නේ එතුමා අනුමාණ වශයෙන් කියවන (දාරානුද) නායක ලෙසිනි. රණවැල්ල මහතා ඉදිරිපත් කරන ඉංග්‍රීසි පරිවර්තනයේ එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය නොකර Yantanna ලෙසින් දැක්වෙයි. )

පුවරු ලිපියේ ග්‍රන්ථ අක්ෂර වලින් ඇති කොටස

අපගේ ප්‍රධාන ඓතිහාසික තොරතුරු ඇතුලත් මූලාශ්‍රය වන මහාවංශයට අනුව මහා පරාක්‍රමබාහුගෙන් පසුව රාජ්‍යත්වයට පත්වන්නේ රජුගේ බෑනා වූ කවීශ්වර, පණ්ඩිත විජයබාහුය. ඔහු රාජ්‍යත්වයට පත්වී වසරක් ගිය තැන කාලිංග කුලයෙහි උපන් මහින්ද නැමැත්තෙක් දීපනී නමැති ගොපලු දියණියක සහයිකාව කරගෙන, දුෂ්ට උපායකින් ඒ රජු මරා, කිපුණු සෙන්පතිවරුන්ගේ, යෝධයන්ගේ, රටවැසියන්ගේ සහ ඇමතිවරුන්ගේ අනුමැතිය නොලැබ "ඉතා දුකසේ" පස් දිනක් ලක් රජය කර ඇත. ඉක්බිති විජයබාහු රජුගේ උපරජු වූ කාලිංග වංශයෙහි උපන් කීර්ති නිශ්ශංක නමැත්තා ඔහු මරා රජ විය. මෙම සෙල්ලිපියේ සහ මහාවංශයේ ඇතුලත් කරුණු එක් කොට සලකා බැලූ විට පෙනීයන්නේ නිශ්ශංකමල්ල රජ වීමෙන් පසු මෙම පුවරු ලිපිය පිහිටුවා කෘතගුණ දක්වන්නේ එම විජයබාහු (එනම් දෙවන විජයබාහු) රජු මරා දින පහකට රජ වූ කාලිංග වංශයේම මහින්ද නමැත්තාගෙන් රාජ්‍යය නිශ්ශංකමල්ල (මහාවංශයට අනුව කීර්ති නිශ්ශංක) කුමරා හට ලබා දීමට මූලික වූ පුද්ගලයා වෙත බවය. එනම් විජයා යාන්තැන්නාවන්ටය.

විජයා යාන්තැන්නාවන් හට මෙම සෙල්ලිපිය පිහිටුවා ලබාදුන් දෑ වන්නේ තුඟභද්‍රා ඇලෙන්* [වගා කරන කුඹුරු ඉඩම් වලින්] පමුණුවක් [පමුණුව = Freehold allotment = සින්නක්කර බිම් කොටසක්], රන්මඩවතුරෙන් පමුණුවක්, අන් මිනිසුන් සතුවූ හෙයින් නැවත මිලදීගත් යක්තුඩුකුබුර (The field [named] Yaktudu which has been purchased (back) as it had passed into the possession of other people), දියදඩ නුදුන් තුඟභද්‍රා ඇළ ආතැන් පටන් අට කිරියක් [කරීස 8 ක් එනම් අමුණු  32 ක් (4 * 8) - 8 Kiri of field beginning from the turn of Tungabhadra canal, from which water-rates are not levied] හා ඔහු හට අයත් (තමන් වලඳනා) පමුණුවක් වේ.

* පරාක්‍රම සමුද්‍රයේ වතුර ගෙන ගිය එක් ඇල මාර්ගයක්.

මැණික් වෙහෙර සහ ඒ අසබඩ මෙම පුවරු ලිපියේ පිහිටීම දැක්වෙන වීඩීයෝ දර්ශන >>

මෙම පැවරීම් කඩ කලහොත් ඔවුන් රාජ ධර්මයට පිටු පෑ හෙයින් මාතාංග [චණ්ඩාල යන අදහස දේ] ආදී හීනයන් හා ද කවුඩු බල්ලන් හා ද සම නම් වේ යැයි ග්‍රන්ථ අක්ෂරයෙන් නැවතත් දක්වා ඇති සංස්කෘත ශ්ලෝකයට පෙර ලිපියේ අවසාන කොටසේ දැක්වේ. සංස්කෘත ශ්ලෝකයෙන් පැවසෙන්නේ පාන්ඩ්‍ය දේශයේ නායකන්ටත් නායක වූ* පරාක්‍රමබාහු නම් කාලිංග රජු විජයා යන්තැන්නා හට පැවරූ දේ ඉර හඳ පවතින තුරා ඔහුගෙන් පැවතෙන්නන් හට හිමි බවත්, එය මතු රජ වරුන්ද සුරැකිය යුතු බවත්ය. ලිපියේ අවසානයේ කපුටෙකුගේ [කවුඩු] බල්ලෙකුගේ සහ කිසියම් බර දෙයක් සිය වමතින් ඔසවාගත් පුද්ගලයෙකුගේ රූපයක් දක්වා ඇත. එම මනුෂ්‍ය රූපයෙන් සෙල්ලිපියේ මාතංගයන් එනම් චණ්ඩාලයන් ලෙස හැඳින්වෙන පුද්ගලයන් නිරූපණය කලා විය යුතුය. 

* මේ අවධිය වන විට සිංහලයන් චෝලයන්ට එරෙහිව පාණ්ඩවයන් හා මිතුරු සන්ධානයකින් සිටි අතර, සාපේක්ෂව යුධමය වශයෙන් පාණ්ඩවයන් සිංහලයන්ට වඩා දුර්වල තත්වයක සිටි හෙයින් සහ මහා පරාක්‍රමබාහු පාණ්ඩවයන්ගේ ජයග්‍රාහි සටන් වලට මැදිහත් වීම ආදිය නිසාත් කාලිංග පරාක්‍රමබාහු ලෙසින් මෙම පුවරු ලිපියේ තමන්ව හඳුන්වාගන්නා නිශ්ශංකමල්ල රජු මෙවන් අතිශයෝක්තියට නැගූ බලයක් තමුන්ට ආරෝපණය කර ගන්නට ඇත. මේ අවධියේ මෙරට සහ දකුණු ඉන්දීය පාලකයන්ගේ මෙවන් සෙල් ලිපි වල එවන් දේ බහුලව හමුවේ.

මූලාශ්‍ර

  • Journal of the Ceylon Branch of the Royal Asiatic Society, 1887, Volume X No. 34, 1888
  • Archaeological Survey of Ceylon, Epigraphia Zeylanica beign Lithic and other inscriptions of Ceylon, Vol 5, Part 2, Edited by S. paranavitana, C.E. Godakumbura, 1963
  • Archaeological Survey of Ceylon, North-central, Central and Western Provinces, Annual Report, 1909, 
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI, G.S. Ranawella, 2007
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.

Saturday, April 25, 2020

පුරාවිද්‍යා බලධාරීන් කාලි දෙවඟන පදිංචි කල පොළොන්නරුවේ විෂ්ණු දෙවියන්ගේ දේවාලය

ඉදිකල යුගය සහ පුද්ගලයන් පිළිබඳව පැහැදිලි වංශකතා මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක අවශ්‍යය තරමින් ඇති මුත් මේ වන විට මෙරට ඇතැම් ඓතිහාසික ස්ථාන පිළිබඳව මනඃකල්පිත අසත්‍ය ප්‍රබන්ධ කතා "රාවණා ආගම" අදහන්නන් විසින් ගොතා මෙරට සමාජයේ ඉතිහාසය නොදත් සැලකියයුතු පිරිසක් අතරට සමාජ මාධ්‍ය පමණක් නොව ප්‍රධාන ධාරාවේ පුවත්පත් සහ රූපවාහිනි නාලිකා තුලින්ද ප්‍රචලිත කර ඇත. ඔවුන් සීගිරිය, රිටිගල, රජගල වැනි තැන් රාවණාගේ බාප්පලා, පුංචි අම්මලා, ආච්චිලා සීයලාට පමණක් නොව නැන්දම්මලා සහ මාමලාටද ලියා දී ඇත. එසේ නැතහොත් ඒවා බුදුන් කල දඹදිව තිබූ කිඹුල්වත්පුර, කුසිනාරා ආදි තැන් බවට පත් කර ඇත. කෙසේ නමුත් මෙම ලිපිය තුලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ස්ථානය එසේ වෙනස් හඳුනාගැනීමක් බවට පත් කර ඇත්තේ මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ බලධාරීන් වන මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවම වීම කෙසේ වූවාදැයි පැහැදිලි නැත.
පොළොන්නරුව පැරණි නගරයේ සීමාවට මෙපිටින් හමුවන පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය එතරම් යොමු නොවේ. එවන් ස්ථාන කිහිපයක් සම්බන්ධව මෙම බ්ලොග් අඩවිය තුලින් අවස්ථා කිහිපයකදීම අවධානය යොමු කර ඇත. මින්නේරියේ සිට පොළොන්නරුව දක්වා මාර්ගය ඉදිකිරීමේදී හමුවූ එවන් ස්ථාන කිහිපයක් අතරින් නිශ්ශංකමල්ල රජුගේ ප්‍රීතිදානක මණ්ඩපය ලෙසින් හඳුනාගත් ස්ථානය පිළිබඳව මෙයට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කර ඇත. එම ස්ථානයේම තවත් නටබුන් ගොඩනැගිලි කිහිපයක්ම හඳුනාගත හැකි අතර මින්නේරියේ සිට යනවිට මාර්ගයේ වම්පසින් දිස්වන ගොඩනැගිල්ල ශිව දේවාලයක් ලෙසින් හඳුනාගෙන ඇත. අලි වැටකින් එපිට පාරේ දකුණු පසින් ඉහත කී ප්‍රීතිදානක මණ්ඩපය පිහිටා තිබෙන අතර එහි සිට බටහිර දෙසට වන්නට පිහිටි ගොඩනැගිලි දෙකක් අතරින් දැනට සංරක්ෂණය කර කාලි කෝවිල ලෙසින් නම් කර ඇති ස්ථානය පිළිබඳව මෙම ලිපිය තුලින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.

එවකට තමණ්කඩුව පළාතේ දිසාවේවරයා විසින් වර්ෂ 1885 දී මේ පිළිබඳව ඉංග්‍රිසී නිලධාරීන්ගේ අවධානයට යොමු කර ඇති අතර බරෝස් විසින් ඒ පිළිබඳව වර්ෂ 1886 දී Sessional Paper X වල සටහනක් තබා ඇත. මේ ඔහු ඒ පිළිබඳව පවසන ආකාරයයි

 "මගේ ගවේෂණ කණ්ඩායම විසින් එකිනෙකට ආසන්නව පිහිටි අවම වශයෙන් කුඩා හින්දු පූජනීය ස්ථාන හතරක නටබුන් සොයාගන්නා ලදී. ඉන් එක් ස්ථානයක ඉතාම හොඳ මට්ටමේ විෂ්ණු දේව රූපයක් හමු වූ අතර තවත් ගොඩනැගිල්ලක් අසල අත් 8ක් සහිත ගවයෙකුගේ හිසක් මත සිටගෙන සිටින දෙවඟනකගේ පිලිරුවක් හමුවිය. එය බොහෝවිට කාලි රූපයක් විය යුතුය." 

එම ප්‍රතිමා කිසිවක් දැනට එම ස්ථාන වල නොමැති මුත්, ඔහුගේ හඳුනාගැනීම් නිවැරදි යැයි උපකල්පණය කලහොත් පැහැදිලිවම විෂ්ණු දේවාලයක සහ කාලි කෝවිලක නටබුන් ගොඩනැගිලි දෙකක් බරෝස් හට හමුවූ බව එමගින් පැහැදිලි වේ.
නැවත 1902 වසර සඳහා වූ පාලන වාර්තාවේ මෙම ස්ථානයේ නටබුන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන H.C.P. බෙල් එහි තිබෙන විෂ්ණු දේවාලය සම්බන්ධව මෙසේ කරුණු ඉදිරිපත් කරයි.

 "ගල් පර්වතය අසලින්ම [එනම් නිශ්ශංකමල්ල රජුගේ ප්‍රීතිදානක මණ්ඩපය පිහිටි ගල් පර්වතය] එයට බටහිර දෙසින් විෂ්ණු දෙවියන් සඳහා ඉදිකල දේවාලයක පිටත ප්‍රාකාරය පිහිටා ඇත." 

එම විෂ්ණු දේවාලය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන විස්තරයේ එක් තැනක බෙල් තවදුරටත් සඳහන් කරන්නේ විෂ්ණු දේවාලය දෙපසින් එයට නුදුරින් ශිව දේවාලය  සහ කාලි කෝවිල පිහිටා තිබෙන බවය .එම ශිව දේවාලය පැහැදිලිවම දැනට මාර්ගයෙන් අනිත් පස පිහිටා ඇති දේවාලය වන අතර කාලි කෝවිල විෂ්ණු දේවාලයෙන් අනික් පස වන්නට නම් එය තවදුරටත් පරාක්‍රම සමුද්‍රය දෙසට වන්නට තිබිය යුතුය.
විෂ්ණු දේවාලය සම්බන්ධ බෙල්ගේ විස්තරයේ තවදුරටත් සඳහන් වන්නේ මකර හිසක් සහිත ජල නළයක්(A makara-head gargoil)  එම විෂ්ණු දේවාලයේ උතුරු දිසාවට වූ බිත්තියෙන් පිටතට නෙරා තිබෙන බවය (මෙම ලිපිය සමග පලවන ගොඩනැගිල්ලේ ඡායාරූප වල එම මකර රුව එහි උතුරු බිත්තියේ දැනටද දැක ගත හැකිය.) ඒ වන විටද ගඩොලින් කල බිත්ති අඩි 6 ක් පමණ උසකට එම දේවාලයේ ගර්භ ගෘහයේ (Sanctum) ඉතිරි වී තිබී ඇති අතර ගඩොලින්ම කල බවට සිතිය හැකි එහි වහලය දැකගැනීමට නොහැකිව තිබී ඇත. පහත පලවන්නේ එම වාර්තාවේ පලවූ  විෂ්ණු දේවාලයේ ඡායාරූප දෙකකි.
මෙම ඡායාරූප අප විසින් ගනු ලැබූ ඉහත ඡායාරූප සමග සැසඳු විට එම ඡායාරූප එකම ගොඩනැගිල්ලක ඡායාරූප බවත් බෙල් විසින් එම ඡායාරූප සහිත ගොඩනැගිල්ල විෂ්ණු දේවාලයක් ලෙස හඳුනාගත් බවත් පැහැදිලිය. එපමණක් නොව මීට පෙර බරෝස් සඳහන් කරන විෂ්ණු දේව රූපය ගැනද බෙල් විස්තර කරයි

 "ගර්භ ගෘහයේ සිට ඇදගෙන විත් තිබූ මනා ලෙස කැටයම් කල ශෛලමය විෂ්ණු දේව රූපයක් දේවාලයෙන් පිටත සුන්බුන් වලට යටවී තිබී හමුවිය. අත් සතරක් තිබූ එම දේව රූපයේ අත් තුනකම විවිධ සලකුණු (එනම් චක්‍රායුධයක්, මුගුරක් සහ නෙළුම් මලක්.) දරා සිටින ආකරයක් දිස්වේ. සිව්වන අත ආශිර්වාද කරන ආකාරයෙන් ඉහලට ඔසවා තබා ගෙන ඇති ලෙසින් විය. පිළිමය සිටුවා තිබූ කැටයම් සහිත පීටිකාව හැරුන විට එහි උස අඩි 3 අඟල් 9 ක් විය." 

බෙල් එම පිළිමය පසුව අනුරාධපුර කෞතුකාගාරයට රැගෙන ගිය බව පවසයි
එසේ මෙම ගොඩනැගිල්ල බෙල් පවසන විෂ්ණු දේවාලය ලෙසින් පැහැදිලිව හඳුනාගැනීමට හැකි තත්වයක් යටතේ එහි දැනට දැකිය හැකි පුවරුවේ එය කාලි කෝවිල ලෙසින් හඳුන්වන්නේ මක්නිසාද යන්න අපට ගැටළුවකි. පසු කාලීනව සොයාගත් කිසියම් වෙනත් සාධක ඔස්සේ එය කාලි කෝවිල ලෙසින් හඳුනාගත් බැවින්ද? එහෙත් අප දන්නා තරමින් එවන් කිසිදු වාර්තාවක් පලවී නැත. කෙසේ නමුත් බෙල් සිය වාර්තාවේ ඉදිරිපත් කරන සිතියමේ මෙන්ම පහත දැක්වෙන Epigraphia zeylanica Volume 2 හි පලවූ පොළොන්නරුව නගරයේ පැරණි ස්මාරක දැක්වෙන සිතියමේද  කාලි කෝවිල ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ලද පැහැදිලිව සටහන් කර ඇත. එය තවදුරටත් පරාක්‍රම සමුද්‍රය දෙසට වන්නට විෂ්ණු දේවාලය ලෙසින් සලකුණු කරන ගොඩනැගිල්ලට නිරිත දෙසින් පිහිටා ඇත.
සිය වාර්තාවේද බෙල් සඳහන් කරන්නේ කාලි කෝවිල විෂ්ණු දේවාලයට නිරිත දෙසින් පිහිටා තිබෙන බවය. ප්‍රාකාරයකින් වටවූ එම පරිශ්‍රයේ දැකිය හැකි ගොඩනැගිලි තුනකින් විශාලම ගොඩනැගිල්ල කාලි කෝවිල බවට එහි තිබූ පිළිමය ආශ්‍රයෙන් බෙල් හඳුනාගෙන ඇත. බෙල්ගේ වාර්තාවෙන් උපුටා ගත් කාලි කෝවිලේ ඡායාරූපයක් පහත දැක්වේ. කාලි කෝවිලේ සහ ඒ ආසන්නව පිහිටි නිශ්ශංක දාන මණ්ඩපයේ වර්තමාන තත්වය පිළිබඳව කිසිදු මූලාශ්‍රයකින් තොරතුරු සොයාගත නොහැකි අතර ඇතැම්විට මේ වනවිට ඒවා නැවතත් වන ප්‍රවාහය විසින් යටකරගෙන තිබෙනවා විය හැක. මාර්ගයට එපිටින් අලි වැටකින් එපිට වූ ඇතැම්විට වන අලින්ද හමුවිය හැකි වනයේ එහි පිහිටීම සොයාගැනීමට උත්සාහ කලමුත් එය ව්‍යවර්ථ විය.

මූලාශ්‍ර

  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe, 1928
  • Bell H.C.P., 1907, Archaeological Survey of Ceylon, North Central and Central Provinces, Annual Report 1902

Sunday, November 3, 2019

තොටදනවු මන්ද්නාවන් සෑගිරියෙන් ගෙනා නිශ්ශංකමල්ල රජුගේ පුලස්තිපුර ගල්පොත

පෙර ලිපියකින් මෙරට විශාලම අකුරින් රචිත දිගම සෙල්ලිපිය ගැන විස්තර ඉදිරිපත් කල අතර (Link>>) මෙම ලිපිය මගින් අපගේ අවධානය යොමුවන්නේ මෙරට හමුවන 'යෝධ සෙල්ලිපිය' ලෙස සැලකිය හැකි සෙල්ලිපියටයි. අකුරු 4300 කට අධික ප්‍රමාණයකින් පේලි 72 කට, ඔප මට්ටම් කල විශාල ගල් කුට්ටියක මතු පිට ලියා ඇති මෙම ලිපිය පොළොන්නරුවේ දළදා මළුව ලෙසින් හැඳින්වෙන පූජනීය චතුරශ්‍රයේ පිහිටා ඇත. (තෝනිගල සෙල්ලිපි වල අකුරු ප්‍රමාණය මීට වඩා අඩුමුත් ඒවා දික් අතට තනි පේලියක් ලෙස ලියා ඇති හෙයින් එය විශාල පරාසයක් පුරා විසිරුනු දිගම සෙල් ලිපිය ලෙස සැලකේ.) අප මෙම ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වන 'ගල්පොත' ලෙසින් ජනවහරේ හැඳින්වෙන ලිපිය අකුරු ප්‍රමාණය අතින් ඉදිරියෙන් සිටින මුත් කුඩා අකුරින් පේලි ලෙස ලියා ඇති බැවින් සාපේක්ෂව අඩු ඉඩක් උපයෝගි කරගෙන ඇත (එහෙත් මෙම ගල් කුට්ටියේ මුළු දිග අඩි 26 අඟල් 10 පමණද පළල අඩි 4 අඟල් 7 පමණද වේ.) සෙල්ලිපිය පිහිටවූ රජු සිරිසඟබො කාලිඟ පරාක්‍රමබාහු වීරරාජ නිශ්ශංකමල්ල අප්‍රතිමල්ල මහාරජපාවහන්සේ ලෙස ලිපියෙහි හැඳින්වෙන මෙරට වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටවූ රජු ලෙස සැලකිය හැකි (දැනට මෙම රජුගේ ලෙස හඳුනාගෙන කියවා පලකර ඇති මුළු සෙල්ලිපි ප්‍රමාණය 64 කි.) නිශ්ශංකමල්ල රජු ලෙස හඳුනාගත හැක.
ලිපිය පිහිටුවීම උදෙසා මෙම විශාල ගල් කුට්ටිය මෙම ස්ථානයට රැගෙන ආ පෙදෙස සහ ගෙනා පුද්ගලයන් ගැනද මෙම ලිපියේ පසු සටහනක් ලෙස එහි දකුණු අන්තයේ සිරස් කොටසේ දක්වා ඇත. ඒ අනුව 'ශ්‍රී කාලිඟ චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ ඇති කළ නිශ්ශංක භටයන්' ලවා 'අධිකාර තොටදනවු (මන්ද්)නාවන් සෑගිරියෙන්' එම 'ශිලාලේඛ ගල' ගෙන්වා ඇත. මෙහි සඳහන් සෑගිරිය මිහින්තලය ලෙස හඳුනාගත හැක. මිහින්තලයේ සිට මෙම ස්ථානයට සැතපුම් 80 ක පමණ දුරක් ඇති අතර, සාපේක්ෂව තැනිතලා මෙම බිමේ මෙවන් ගල් කුට්ටියක් මෙතරම් දුරක් රැගෙන ඒම එතරම් අපහසු නොවුනත් පොළොන්නරුවට එතරම් දුර නොවන මෙවන් ගල් කුට්ටි ලබාගත හැකි ස්ථාන තිබියදී එවන් දුරක සිට රැගෙන ඒමේ අවශ්‍යතාවය කුමක්ද යන පැනය මෙහිදී මතුවේ. අවසන් නිගමනයක් ලෙස නොවුනත් මේ පිළිබඳව මියූලර් පවසන මතයද මෙහිදී වැදගත් වේ. ඔහු පවසන්නේ එම ස්ථානය සෑගිරිය නොව පොළොන්නරුවට සැතපුම් 15 ක පමණ දුරින් පිහිටි සීගිරිය විය හැකි බවයි. ලිපිය කෙටූ ගල්වඩුවා එයට වැඩි අගයක් දීම උදෙසා එය බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්වූ ස්ථානයක් වන මිහින්තලය ලෙසට වෙනස් කරන්නට ඇති බවය ඔහුගේ අදහස. රජු විසින් පිහිටුවන සෙල්ලිපියක අන්තර්ගතය ගල්වඩුවාට වෙනස් කල හැකිද යන පැනය මෙහිදී මතුවන මුත් Z. වික්‍රමසිංහ මහතා එම මතය තවත් ශක්තිමත් කිරීම  උදෙසා ඉදිරිපත් කරන අදහස්ද මෙහිදී දැක්වීම ප්‍රයෝජනවත් වේ. ඔහු පවසන්නේ ලිපියෙහි 'ස' අකුරට උඩින් 'සී' ලෙස ලියා මකා ඇති සලකුණු ඇති බවත් අනතුරුව එය 'සෑ' ලෙස සටහන් කර ඇති බවත්ය. තවද නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය අසලින් සොයාගත් රජුගේ 'ගල් ආසන ලිපියක' එම ගල එඩෙරගල්ලෙන් ගෙනා ලෙස සටහන් කර තිබීමයි. එම එඩෙරගල්ල වර්තමාන එඬේරුගල ගම්මානය ලෙසින් හඳුනාගත හැකි බැවින් සීගිරියේ සිට සැතපුම් 5 ක පමණ දිරින් පිහිටි එවකට සීගිරි ප්‍රදේශයටම අයත් වූ එම පෙදෙසින්ම මෙම ගලද ගෙනෙන්ට ඇති බවය එතුමා වැඩිදුරටත් සඳහන් කරනුයේ.
අප විසින් මෙයට පෙරද ඉදිරිපත් කල නිශ්ශංකමල්ල රජුගේ වෙනත් සෙල්ලිපි වල (Link1>>, Link2>>) එන තොරතුරුම අඩු වැඩි වශයෙන් මෙම සෙල්ලිපියේද හමුවන අතර ඔහුගේ ඇදහිය නොහැකි ඇතැම් වීරක්‍රියා වැනි දේ හැර වෙනත් වැදගත් තොරතුරු කිහිපයක් මෙසේ සම්පිණ්ඩනය කල හැක. (ඉහත ලිපිවලද සඳහන් ඇතැම් තොරතුරු මෙහිදී නැවතත් ඉදිරිපත් කර නැත.)
  • ඔකාවස් රජපරපුරෙහි කාලිංග චක්‍රවර්ති කුලෙන් පැවතෙන විජය රජු ලක්දිව ගොඩබැස වසර 1700 ගියතැන, නිශ්ශංකමල්ල රජු දඹදිව කලිඟු රට සිංහපුරයෙහි ඉපිද, 'පරපුරෙන් ඔහුට හිමි ලක්දිව' රජ කරනු මැනවැයි 'ලක්දිව කුලජෙටු මහරජු' ආරාධනා කල හෙයින් මෙරටට පැමිණ 'ඈපාහිමියා' තනතුරද හොබවා රජ පිළිවෙලින් අභිෂේක ලැබ ඔටුණු පැලඳ මෙරට රාජ්‍යත්වයට පත් වූ බව. 
  • පෙර සිටි සමහර රජවරුන්ගේ අදමිටු ක්‍රියාවන් හේතුවෙන් සිය ධනය සහ පාරම්පරික වරප්‍රසාද අහිමි වූ ලක්දිව බහුජනයා අතරින් සමහරකුගේ වරප්‍රසාද නිශ්ශංකමල්ල රජු නැවත පිහිටවූ බව (FCID වැනි නීතිවිරෝධී පොලිසී මගින් මෙකල සිදුකරන ආකාරයේ දේශපාලන පළිගැනීම් එකලද සිදුව ඇති බව පෙනේ.)
  • පස් වසරකට අයබදු අත්හිටවූ බව සහ පෙර රජවරුන් කෙත්වතු වලින් අය කල අමතර බදු අත්හිටවන ලෙසට නීති පැණවූ බව, කුඹුරුවල පලදාව අනුව වර්ග තුනකට බෙදා ඒවායින් ගත යුතු බදු ප්‍රමාණද මෙහි දක්වා ඇත. තවද දුකෙන් කරන සෙහෙන් කටුසර අය මුළුමනින්ම නැවතූ බවද (එනම් හේන් ගොවිතැනින් බදු අය නොකල බව) මෙම සෙල්ල්පියේ වැඩිදුරටත් සඳහන් වේ. 
  • තුන් රජයෙහිම අබලන් වූ මහවැව්, ඇළ, අමුණු බඳවා 'පිසම්බුරු වතද' (ජල බද්ද) අහෝසි කල බව.
  • නොයෙක් ජනපද වල 'ධර්මාධිකරණ' පිහිට වූ බව.
 පසු සටහන සහිත දකුණු අන්තයේ සිරස් කොටස
  • යුවරජ තැන්පත් ඔහුගේ පුතනුවන් වූ වීරබාහු මහපාණන් හටද, කලිඟු පුරයෙන් රාජ කන්‍යාවක් ගෙන්වූ බව සහ ඔහුගේ බිසෝවරුන් දෙදෙනා සහ පුතණුවන්ද, දුව වූ සබ්බාඟ සුන්දරීන්වහන්සේද  (සර්වාංග සුන්දරී) එක්ව වසරකට පස් වතාවක් තුලාභාර දන් දුන් බව. මෙ පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>
  • හෙතෙම පුලස්තිපුර නම් කාලිඟකපුරයෙහි (එනම් පොළොන්නරුවේ)  වැඩවසමින් චරපුරුෂයෙන් මාර්ගයෙන් නිතර සිය රට මෙන්ම වෙනත් රට වලද තොරතුරු දකින මුත් ලක්දිව තොරතුරු සිය ඇස් දෙකින්ම දකිනු රිසියෙන් සිව්රඟ සෙනග පිරිවරා (රෑට රෑට වෙස්වලාගෙන තනියම අපේ ගෙවල් වලට පැමිණ අපි සතුටින්දැයි බලන බූරු පුතානෝ මෙන් නොව) ත්‍රීසිංහළයෙහි ගම්, නියම්ගම්, රාජධානි, ජලදුර්ග, ගිරිදුර්ග, වනදුර්ග ආදියෙහි සැරිසැරූ බව.
  • තුන් රජයෙහි මියුගුණු මහවෙර, (ම)හගම [දෙවුනුවර?] කැ(ලැ)ණි ආදී වූ ඔහු සැරිසැරූ වෙහෙර වල නව කර්මාන්ත කරවා, දම්බුලුලෙණැ හොත්, හුන් සහ හිටි පිළිම වල රන් ආලේප කරවා, අනුරාධපුරයෙහි රුවන්මැලිමහසෑවහන්සේට සතිස්ලක්ෂයක් ධන වියදම් කර පූජා කරවා, එහි 'ගල් දාගැබක්' කරවා, එම සෑම තැනකම ශිලාලේඛනද කරවූ බව.
ඇත් රූ දෙකක් දෙපසින් ජලය හිස මතට වක්කරන සෙල්ලිපියෙහි දකුණු අන්තයේ සිරස් කොටසේ පිහිටි ලක්ෂ්මි රූපය
  • මෙම ලිපියෙහි නිශ්ශංකමල්ල රජුගේ දඹදිව සිදු කල ආක්‍රමණ ගැන කියවෙන කොටස අතිශයොක්තියෙන් පිරී ඇති මුත් ඔහු පාණ්ඩ්‍ය (පාඩි), සොළී ආදී රාජ්‍යය වලින් රාජ කන්‍යාවියන් හා හස්ති, අශ්ව ආදී පඬුරු ලද බවත්, කණ්ණට, නෙල්ලූරු, ගෞඩ, කලිඟ, ති[ලිඟ], ගු[ජ්ජර] ආදී නොයෙක් දේශයන් වල රජවරුන් සමග මිත්‍ර සම්බන්ධතා පැවැත්වූ බවත් ලෙස පැවසෙන තොරතුරු සත්‍යය විය හැක. තවද හෙතෙම රාමෙශ්වරයෙහිද තුලාභාර දන් දුන් බව කියවේ. එසේම එහි ජයස්තම්භයක් පිහිටුවා, නිශ්ශංකේශ්වර නම් දෙවොලක්ද ඉදි කල බව වැඩිදුරටත් සඳහන් වේ (මෙම තොරතුරු වල විශ්වාසනීයත්වය රාමේශ්වරමින් හමුවන රජුගේ ගල් ආසන ලිපියෙන් තහවුරු වේ.) මෙම 'දඹදිව ආක්‍රමණය' සඳහා ඔහු සමග ගිය සෙනෙවියා ල(ග්) විජයසිඟු සෙනෙවි තාවුරුනාවන් ලෙස ලිපියේ දක්වා ඇත.
  • නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකල වෙහෙර විහාර ලෙස දළදාගෙය, වටගෙය, නිශ්ශංකලතාමඩපය, මහවෙහෙර දාගැබ හා සමාන වන උපකාර චෛත්‍යයද මෙහි සඳහන් වේ. එසේම රජගෙට උතුරු දෙසින් අසූ අත් (රියන්) රුවන්මැලි දාගැබද කරවූ බව සඳහන් වේ. එසේම ඒවායෙහි දොරටු, පවුරු සහ සංඝාරාමද හෙතෙම ඉදිකරවීය. 
උතුරු අන්තයේ සිරස් කොටස
  • රජදරුවන් මනුෂ්‍යරූපයෙන් සිටියද ඔවුන් නරදේවතාවන් ලෙසින් හඳුන්වන ලිපියේ අවසාන කොටසේ රජු කෙරෙහි ජනයාගේ පක්ෂපාතීත්වය වැඩීම උදෙසා දිර්ඝ 'අවවාද' සහිත වාක්‍යය කිහිපයක් අතුලත් වේ. රජුගෙන් පසුව රාජ්‍යත්වයට ඈපා, මහපා දූර දරන ඔහුගේ පුතුන්ද, ඔවුන් නොමැති නම් බිසෝවරුන්ද පත් කරගත යුතු වේ. බිසෝවරුන්ද නොමැති වුවහොත් මහරජ පය ලූ වහන්මාත්‍රයකදු (පාවහන්) රජ තැන්හී තබා රාජ්‍යය රැකගත යුතුය. අබෞද්ධ චෝඩ, පාණ්ඩ්‍යය ආදී රජුන් ලක්දිව රජතැන්හි නොපිහිටවිය යුතුය. විජයරාජ කුමාරයාගේ පටන් ලක්දිව හිමි කාලිඟ වංශයෙහි රජදරුවන් පමණක් රාජ්‍යත්වයට පත්විය යුතුය ආදී කරුණු ඒවායෙහි ඇතුලත් වේ. 
ගඩොල් පීඨිකාවක් මත පිහිටුවා ඇති ගල්පොත සෙල්ලිපිය එය වටා සිටුවා ඇති කුළුණු 10 ක් මත ඉදිකර තිබී ඇති වහලයකින්ද ආවරනය වී තිබී ඇත.
නිශ්ශංකමල්ල යුගයේ රජෙකු පත්කරගැනීමේදී සැලකිය යුතු යැයි ඔහු ඉදිරිපත් කරන සමහර තත්වයන් වර්තමානයට අදාල නොවූවත් රාජ්‍යත්වයට පත්කරගත යුත්තේ ඒ සඳහා හැකියාවක් සහිත පුද්ගලයන් විය යුතුය යන්න නම් පසුගිය වසර 5 ක පමණ කාලය තුලදී මෙරට වැසියන් ඕනෑවටත් වඩා හොඳින් වටහාගන්නට ඇත. ග්‍රාමසේවක මහතෙකු වෙනුවට අ.පො.ස. සා. පෙලද අසමත් විකටයකු පත්කරගෙන ඉදිරි වසර පහ තුල රට මීටත් වඩා දරුණු අගාධයකට ගෙනියනවාද, නැතහොත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ඕනෑවටත් වඩා හොඳින් පෙන්වා ඇති වැඩකල හැකි මිනිසෙකු සමග සෞභාග්‍යමත් යුගයකට පියවර නගනවාද යන්න තව දෙසතියකින් මෙරට චන්දදායකයන් තිරණය කරනු ඇත.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883

Saturday, September 14, 2019

රජුන් තනන නිශ්ශංකමල්ල සූත්‍රය

"එහෙයින් මහරජ තන්පත් වැ සිටියවුන් නැති තැනකැ යුවරජ වැ සිටියවුන් හො උනුදු නැතහොත් රාජකුමාරවරුන් හො උනුදු නැතහොත් බිසෝවරුන් හො රාජ්‍යයට තැකිය යුත්තෙය. බුදුසසුනට හිමි ලක්දිවට අබෞද්ධ චොළ කේරළාදි රජදරුවොද නොතැකිය යුත්තාහ. උන් හා එක්වැ පෙරෙළි කළාහු රාජද්‍රොහි නම් වෙති. කාකයා හංස ගතියටද, කොටළුවා සෛන්ධවයන්ටද, ගැඩහුලා නාග රාජයන්ටද,  කණමැදිරියා සූර්‍ය ප්‍රභාවයටද වටුවා හස්තීන්ටද, කැණහිලා සිංහයන්ටද භාව කරන්නා සේ ගොවිකුලෙහි ඇත්තන් රාජ ලීලාවට නොපැතුව මැනැවැ,"

අඩි 6 ක් පමණ උස ගල් පුවරුවක දෙපසම අකුරු කොටා පිහිටවූ සෙල් ලිපියක් පොළොන්නරුවේ පැරණි නගර බලකොටුවේ උතුරු දොරටුවේ සුන්බුන් අතර තිබී හමුවී දැනට ඒ අසලම කෙලින් අතට සිටුවා ඇත. අන්තර්ගතයේ සුළු වෙනස්කම් කිහිපයක් හැර එවැනිම වූ  තවත් සෙල් ලිපියක් එහි නැගෙනහිර දොරටුව අසල තිබී හමුවී අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. උතුරු දොරටුව අසල ලිපියෙහිම තවත් පිටපතක් විය හැකි සෙල් ලිපියක කැබැල්ලක් නැගෙනහිර දොරටුව අසලින් හමුවී ඇත. හමුවූ නිශ්චිත තැනක් නොදන්නා එහෙත් පොළොන්නරුවෙන් බවට සඳහන් තවත් එවැනිම වූ සෙල්ලිපියක කොටසක්ද අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තිබේ.  බොහෝචිට එකල නගරයේ දොරටු හතර අසල පිහිටුවා තිබෙන්නට ඇති එම සෙල්ලිපි 4 එකම අරමුණක් වෙනුවෙන් එක් රජ කෙනෙකු විසින් කල බව පැහැදිලිය. හේ අන් කවරෙකුවත් නොව නිශ්ශංකමල්ල කාලිඟ ප්‍රාක්‍රමබාහු චක්‍රවර්තතින් වහන්සේ ලෙසින් සෙල්ලිපියේ හැඳින්වෙන නිශ්ශංකමල්ල රජතුමාය. හෙතෙම "ලෝවැඩ, සසුන් වැඩ කොට දශරාජ ධර්මයෙන් රාජ්‍යය කරමින් පුලස්තිපුර නමැති කාලිඟරාජපුරයෙහි" එනම් පොළොන්නරුවෙහි වැඩවාසය කල බවද එහි සඳහන් වේ.

මා මෙම ලිපියෙහි ආරම්භයෙහි දැක්වූ පාඨය එම උතුරු දොරටුව අසල සෙල්ලිපියෙහි එන එක් කොටසකි. මෙම සෙල්ලිපිය කියවා ප්‍රකාශයට පත් කල Z. වික්‍රමසිංහ මහතා හෝ සිරිමල් රණවැල්ල මහතා සිය ලිපි වල සඳහන් නොකරන තවත් වැදගත් කරුණක් වන්නේ ඉහත පාඨයේ දැක්වෙන සත්ව රූප සහ සූර්යාගේ රූපය මෙම සෙල්ලිපියේ පසුපස කොටසේ ලිපියේ අවසානයට පහලින් කොටා ඇති බවය. ඒ අනුව පිලිවෙලින් හංස, සිංහ, අශ්ව (එනම් සෛන්ධව), ඇත්, නාග සහ සූර්ය රූප ඉහල රාමුවේද, කාක (එනම් කපුටු), කැණහිල්, කොටළු, වටු, ගැඩවිල් (එකල භාෂාවෙන් ගැඩහුලා), කණමැදිරි රූප පහල රාමුවේද දක්වා ඇත. (ඉහත පලමුවන රූපය බලන්න)
විදේශ සම්භවයක් සහිත පුද්ගලයෙකු වශයෙන් නිශ්ශංකමල්ල රජුට මෙරට රදල ප්‍රභූ පැලැන්තියෙන් කිසියම් තර්ජනයක් තිබූ බව පෙනේ. එහෙයිනි ඔහුගේ මෙම සෙල්ලිපි වලින් "ඔවුන් කෙතරම් බලවත් වුවද" ගොවි කුලේ ඇත්තන් රාජ්‍යයත්වයට පත් නොවිය යුතු බව පවසන්නේ. එවන් පුද්ගලයන් රාජ්‍යත්වයට පත්වීමට උත්සාහ දැරීම ඔහු සලකන්නේ කපුටා හංසයා වීමටත්, කොටළුවා සෛන්ධව වර්ගයේ අශ්වයන් වීමටත්, ගැඩවිලා නාග රාජයා වීමටත්, වටුවා හස්තීන් වීමටත්, කැණහිලා (එනම් හිවලා) සිංහයා වීමටත් උත්සාහ කරන්නක් මෙනි. තවද කණාමැදිරි එලිය සූර්ය එලියට සම කරන්නාක් මෙනි. එහෙයින් මහරජ තැන්පත්ව සිටිය පුද්ගලයා නැති වූ විට, යුව රජවසිටි පුද්ගලයන් හෝ, එසේත් නොමැති නම් රාජකුමාරවරුන් හෝ  ඔවුන්ද නැති අවස්තාවකදී බිසෝවරු හෝ රාජ්‍යය කල යුතුය. තවද බුදු සසුනට හිමි ලක්දිව රාජ්‍යයත්වය චෝළ, කෙරළ ආදී  රාජ පරපුරු වල ඇත්තන්ටද හිමි නොවේ. ඔවුන් හා එක්ව රාජ්‍යයත්වය උදුරා ගැනීමට කැරලි ගසන්නන්ද රාජ්‍ය ද්‍රෝහීන් ලෙස සැලකිය යුතුය.

නිශ්ශංකමල්ල රජු පවසන කුල සාධකය අද දවසේ රාජ්‍ය පාලකයා තේරීමේදී එතරම් සැලකිය යුත්තක් නොවන්නේ එය මෙරට නූතන සමාජයේ එතරම් පිළිගැනීමකට ලක්වන්නක් නොවන බැවිනි. එය එකල තත්වයන් සමග සැලකීමේදී යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කෙතරම් මහෝපකාරීවීද යන්න එම යුගයන්හි සමාජ තත්වයන් සමග වෙනම සලකා බැලිය යුත්තකි. කෙසේ නමුත් වර්තමානයේ පවා මෙරට ඇතැම් ප්‍රදේශ වල දේශපාලන නායකයන් තේරීමේදී කුල සාධකය ප්‍රධාන සාධකයක් බව රහසක් නොවේ. විශේෂයෙන්ම උඩරට ප්‍රදේශ වල සහ බටහිර මුහුදු තීරයේ දිස්ත්‍රික්ක වල මැතිවරන අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී අවම වශයෙන් මෙරට ප්‍රධාන පක්ෂ දෙක මෙම සාධකය සැලකිල්ලට ගෙන ඒ ඒ කුල වල චන්දදායකයින්ගේ චන්ද ලබාගැනීම උදෙසා එම කුල වලින් අපේක්ෂකයන් සිය ලැයිස්තු වලට ඇතුලත් කිරීම සිදුකරයි. මෙරට ප්‍රධාන පක්ෂ දෙකේ (එනම් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ [මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ]) ඇතැම් පුද්ගලයන් සිය පක්ෂයෙන් ප්‍රධාන අනිත් පක්ෂයට ගියද සිය ජයග්‍රහණය තහවුරු කරගැනීම සිදු කරන්නේ කෙසේදැයි ඇතමුන්ට ගැටළුවක් වුවද ඒ තුල සැඟව ඇත්තේ කුල සාධකය බව දන්නෝ දනිති. භීෂණ තත්වයක් යටතේ මෙරට චන්දදායකයින්ට මරුවා අතින් ගෙන චන්දය ප්‍රකාශ කරන්න සිදුවූ දූෂිතම මැතිවරණයකින් ජනාධිපති වූ "ගස් බඩගාන, ඔරු පදින, ඒදණ්ඩේ සර්කස් පෙන්නන බූරු පුතානෝගේ වන්දනීය පියානෝ" හැරෙන්ට 1948 න් පසු මෙරට පාලකයා වූ සියල්ලන්ම උසස්යැයි සම්මත එකම කුලයකට අයත් වීම කෙසේවීදැයි විමසා බැලීම වැදගත්ය. අනෙක් අතට මෙරට ප්‍රධාන දේශපාලන අධිකාරියට එරෙහිව දෙපාරක්ම ආයුධ සන්නද්ධ අරගලයක නියැලුන ජනතා විමුක්ති පෙරමුණේ (වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ වහල් පක්ෂයක් බවට පත්වී ඇති "රතු අලි පැටියාගේ රෝස පාට ජවිපෙය" නොව රෝහණ විජේවීරයන්ගෙන් පටන් ගෙන සෝමවංශ අමරසිංහයන්ගෙන් අවසන් වූ පැරණි රතු පාට ජවිපෙ) ඉහල නායකත්වය මෙන්ම ක්‍රියාකාරිකයන්ගෙන් බහුතරය එම ප්‍රදේශයන්හි පීඩිත කුල වලට අයත් වීම පිළිබඳව වික්ටර් අයිවන්* සහ ධර්මන් වික්‍රමරත්න* ආදීන් සිය ග්‍රන්ථ වල විග්‍රහ කර ඇත.
උතුරු දොරටුව, සෙල්ලිපිය පින්තූරයේ  වම් පසින් දැකිය හැක
ඒ කෙසේ වුවත් මෙරට පාලකයා තේරීමේදී ඔහු සිංහල බෞද්ධ පසුබිමක් සහිත නායකයෙක් වීම නිශ්ශංකමල්ල යුගයේ මෙන්ම අදද වැදගත් වන්නේ එවන් පාලකයෙක් සිංහල බෞද්ධයන්ගේ පමණක් නොව වෙනත් ආගම් අදහන පුද්ගලයන්ගේද අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන බැවිනි (සසදන්න "මොහොමඩ් මහින්ද" ලෙසින්ද ඇතැමුන් හැඳින්වූ 2015 ට පෙර පැවැති රාජපක්ෂ පාලනය සහ පරම්පරාවෙන්  ඇංග්ලිකන් භක්තිකයෙකු වුවත් බෞද්ධ සළු පොරවාගත් වර්තමාන "ආසියාවේ විශිෂ්ඨ මොලයානන්ගේ" කූජීත පාලන සමය) අනෙක් අතට 2015 හංසයෙක් කියා කාකයෙක් ගෙනා මෙරට ඇතැම් චන්දදායකයන් මේ වන විට නාග රාජයෙක් කියා ගැඩවිලෙක්ද, තවත් ඇතමුන් ඇත් රජෙක් කියා "ඒදණ්ඩේ බඩගාන වටුවෙක්ද", තවත් සමහරු සෛන්ධව වර්ගයේ අශ්වයෙක් යැයි සිතාගෙන කොටම කොට කොටළුවෙක්ද (පුංචි අම්මපා!!) 2020 රටේ පාලකයා කිරීමට කර තියාගෙන ඇති තත්වයක් යටතේ 2015 වැරැද්ද නැවතත් සිදුකර නොගැනිමට  බුද්ධිමත් දේශප්‍රේමි ජනතාව කලයුත්තේ කුමක්දැයි ඔවුන්ට අමුතුවෙන් කියාදිය යුතු නොවේ. කැණහිලුන් පැරදවීමට සිංහ සම්ප්‍රාත්තිය දැනටත් සිදුවී ඇත. නමුත් අවාසනාව මෙරට බහුතරය චන්දය ප්‍රකාශ කිරීමේදී එසේ බුද්ධිමත්ව කරුණු කාරනා සලකා තීරණ ගැනීමේ හැකියාවෙන් තොර රැල්ලට ගසන් යන පරඬලා වීමය. ඔවුන් අවශ්‍ය දිශාවට තල්ලු වන රැල්ල සැදීම මෙරට ජාතිකත්වයේ අපේක්ෂකයා වටා සිටින පිරිසද සැලකිල්ලට ගැනීම වැදගත්වන්නේ ඒ නිසාය.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007

* සටනින් සටන, ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයේ  දෙවැනි කාණ්ඩය, ධර්මන් වික්‍රමරත්න,2019 
* ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම, වික්ටර් අයිවන්, 1993
* දේශපාලනයේ පවුල සහ කුලය, වික්ටර් අයිවන්, 2015

Sunday, September 1, 2019

මහා අපරාධකරුවන්ට අභයදානය දුන් නිශ්ශංකමල්ල රජුගේ ප්‍රීතිදානක මණ්ඩපය

1900 වසරේ මින්නේරියේ සිට පොළොන්නරුව දක්වා මාර්ගය ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් සිටියදී, එවකට තෝපාවැව ලෙස හැඳින්වූ පරාක්‍රම සමුද්‍රයේ උතුරු කෙලවර අසල තිබූ හින්දු දේවාල කිහිපයක නටබුන් මතුවිය. එම ස්ථානයේ 1901 වසරේ සැප්තැම්බර් මස කැනීම් කටයුතු සිදුකල පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් මහතා හට වෙනත් බොහෝ සොයාගැනීම් වලට අමතරව අසල වූ ගල් පර්වතයක් මත එහි බටහිර කොටසේ ගලෙහි මතු කල පඩිපෙලක් අසල වූ සෙල් ලිපියක්ද හමුවිය. තවද පඩිපෙල ඔස්සේ ඉහලට නැගුන විට දිගැටි හැඩයෙන් පර්වතය මතු පිට ඉදිකර තිබූ ගොඩනැගිල්ලක නොහොත් මණ්ඩපයක නටබුන්ද දැකගත හැකිවිය.
බටහිර දිශාවෙන් ගලෙහි කොටා ඇති පඩි 25 කින් යුත් පඩිපෙල
ශ්‍රී පරාක්‍රාන්තිබාහුශශ්‍රීමාන්නිශ්ශංකමල්ල ලෙසින් ලිපියේ ආරම්භයේ එන සංස්කෘත ස්ලෝකයේද, සිරිසඟබො නිශ්ශංකමල්ල කාලිඟ පරාක්‍රමබාහු චක්‍රවර්තතීන් වහන්සේ ලෙසින් ඉන්පසු සිංහල භාෂාවෙන් එන කොටසේද හඳුන් වන ලිපිය කරවූ රජු හඳුනාගැනීම අපහසු නොවේ. හේ අන් කිසිවෙකු නොව වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් රටේ සැම දිශාවකම පාහේ පිහිටවූ, පොළොන්නරු යුගයේ රාජ්‍යය විචාල  නිශ්ශංකමල්ල රජතුමාය.
සෙල් ලිපිය 
නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපි වල සුලභව හමුවන අතිශයෝක්තියෙන් යුත් ආත්ම වර්ණනාවන් වලට අමතරව මෙම ලිපියේ අඩංගු වන වැදගත් තොරතුරු කිහිපයක් මෙසේ සම්පිණ්ඩනය කර දැක්විය හැක.
  • හෙතෙම ශ්‍රී ජයගොප මහාරාජයන් වහන්සේ නිසා පාර්වතී මහ දේවියගේ කුසින් පුලස්තිපුර නම් වූ කාලිඟපුරයෙහි උපන් බව.
  • ඔහු මෙරට රාජ්‍යයත්වයට පත්වූ පසු පෙර කල ලංකාවාසීන්ගෙන් අය කල අසාධාරන බදු පස් වසරකට අත් හිටුවා ඉඩකඩම්, වහලුන්, වස්ත්‍රාභරණ, හරකාබාන වැනි නොයෙක් වස්තුව ජනයාට ලබා දුන් බව සහ සොරුන්ගේ සොරකම් නැවැත්වීම පිණිස ඔවුන්ටද වස්තු, ගම් බිම් ඇති තරමින් ලබා දී සොරකම් නැවතූ බව.
  • සූර්ය වංශයේ උපන් කාලිඟ සුභද්‍රා මහදේවීන් රජුගේ අගමෙහෙසිය බව, ගංගා වංශයේ උපන් කල්යාණ මහදේවී නම් තවත් දේවියක ඔහුට සිටි බව සහ යුව රජ තැන්පත් වීරබාහු ඔවුන්ගේ පුතණුවන් බවත්, වාර්ෂිකව රජුගේ සහ ඔවුන් තිදෙනාගේ බරට සමාන බරින් යුත් නවරත්න තෑගි ලෙසින් ජනයාට ලබා දී දුප්පත්කම නැති කල බව.
වම් පස රූපය - ප්‍රීති දානක මණ්ඩපයේ බටහිර පැත්තේ වූ ගඩොල් බිත්තියක කොටස් සහ එම ගඩොල් බිත්තියේ පාදම උදෙසා ගල මතු පිට හාරා ඇති කාණුව. දකුණු පස රූපය - ලී කණු සිටුවීම උදෙසා ගලෙහි තනා ඇති කණු කුහර
  • රජු ලක්විජයසිඟු සෙනෙවි තාවුරුනාවන් ලවා රතනගිරි නම් වූ වටදාගෙයක් කරවා, ගම් බිම් වෙහෙරවැස්සන් (Monastic staff) ආදිය එයට පිරිනැමූ බව සහ උපකාරචෛත්‍යය, රතනචෛත්‍යය ආදී මහසෑ තුන් රජයෙහි කරවූ බව. තවද ඔහු අනුරාධපුරයේද දාගැබක් කරවූ බව.
  • ඔහු දඹුලු ලෙණෙහි රත්‍රන් ආලේපිත වැදහොත් (Recumbent), හුන් (Sitting) සහ සිටි (Standing) පිළිම 73 කරවා. එහිම දාගැබක් සහ වෙහෙරක් කල බව.
සෙල් ලිපියේ කොටසක්
  • මැඬිලිගිරි, වෙලගම්වෙහෙර, මහගම, දෙවුනුවර, කැලැණි ආදීවූ ප්‍රසිද්ද විහාර වලට ගොස් මහා පූජා කල බව.
  • අනුරාධපුර, ශ්‍රීපුර, ශ්‍රීවාසපුර, නිශ්ශංකපුර, කාලිඟවිජයපුර, මහපුටුප, ශොනය, කාලිඟය, රාමෙශ්වරය යනාදී නොයෙක් මෙරට සහ විදේශ නගර වල දාන ශාලා ඉදිකර දන් දුන් බව. එසේම ඔහු වැඩවාසය කල පුලස්තිපුර නම් කාලිඟපුරයෙහි  ත්‍රිභුවනසත්‍රය, නිශ්ශංකසත්‍රය, බ්‍රාහ්මණසත්‍රය, බෞද්ධසත්‍රය, බහුජනසත්‍රය යනාදී නොයෙක් දාන ශාලා කරවූ බව.
දාන ශාලාව ලෙසින් වැරදියට නම් කර ඇති ප්‍රීති දානක මණ්ඩපය
ලිපියේ අවසානයේ එම ස්ථානයේ ඉදිකල මණ්ඩපය පිළිබඳව සඳහන් වේ. එහි දැක්වෙන්නේ "..සියළු දානයට උත්තමවූ ධර්ම (දානය ) පවත්වන්නට ප්‍රීතිදානක මණ්ඩපයක් කරවූ බවය. තවද මහා අපරාධ කල පුද්ගලයන් මෙම මණ්ඩපයට වන් කල අභය දිය යුතු බවට (එනම් මහා අපරාධ කර වුවද මෙම මණ්ඩපයට පැමිණියහොත් ඔවුන් දඩුවමින් මිදවිය යුතු බව) නියම කර එම සෙල්ලිපිය පිහිටවූ බව එහි අවසානයේ සඳහන් වේ. 
 ප්‍රීති දානක මණ්ඩපය
අනුරාධපුර, පොළොන්නරුව වැනි පැරණි අගනුවරවල් වල හමුවන ඇතැම් නටබුන් ගොඩනැගිලි ඉදිකල කාලය, අරමුණ සහ ඉදිකල රජු පිළිබඳව නිශ්චිත තොරතුරු හමු නොවන මුත් මෙම ප්‍රීතිදානක මණ්ඩපය පිළිබඳව තත්වය එසේ නොවේ. නමුත් මෙම ස්ථානය හැඳින්වීම උදෙසා තබා ඇති පුවරුවේ එය හැඳින්වෙන්නේ 'දාන ශාලාව' ලෙසිනි. (ඉංග්‍රීසි භාෂාවෙන් 'Refectory'). මෙවන් ස්ථාන නඩත්තුව උදෙසා නරඹන්නන්ගෙන් මුදල් අයකර නඩත්තු වන  මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් බිලියන ගණනක් සිය පුද්ගල ප්‍රතිරූපය නඩත්තුව උදෙසා පිල්ලි ගැසූ, ඇස් ගිලිණු, රෑට නින්ද නොයන, ඔහුට අයත් මන්දිර වල ඔහු නැතිව ආර්යාව පමණක් වාසය කරන, වෙව්ලන්නේ නැති ලෙස ඒදණ්ඩකින් වුවද එතෙර විය හැකි,  දිවයින පුරා නිධන් භාර බහිරවයන් සමග නිබඳව ඔට්ටු වන, ඔහු බලයට ආවිට ලෝකයේ ණය දෙන රටවල් සියල්ල මෙරටට කැඳවා ණය ගෙන ඒවා දුප්පතුන්ට බෙදා දී (නිශ්ශංකමල්ල කල ලෙසින්ම) දුප්පත්කම නැති කරන බව කියන  2020 සිහින ජනාධිපති අපේක්ෂකතුමෙකුට අයත් අමාත්‍යාංශයකින් මේ කුණු වී ඕජස් ගලන 62 ලක්ෂයක් වූ ගව මහීෂාදීන් වසර 5 කට  පෙර ගෙන ආ ජඩපාලනයේ  හංස ගීතය ගැයෙන අවදියේ ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1901
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1902

Saturday, August 11, 2018

ශිව දෙවියාගේ ජටාමඩුල්ල හා සමාන රාජවෙශ්‍යභූජංග මණ්ඩපය

"අනතුරුව ඔහු මිහිබට සුධර්මා දිව්‍ය සභාව බඳු වූ, සියලු ලෝකයන්හී සිරිත් එක්තැන් කළාක් වූ, තුන්මහළකින් යුක්ත වූ, විසිතුරු සිතුවමින් අලංකාර කරන ලද, සිත් අලවන වේදිකා සමූහයකින් වටකරන ලද, ගායකාදීන්ට පැතූ සම්පත් ගෙනදෙන, කප්රුක යට කරවන ලද වටිනා අසුනකින් අලංකාර වූ, යුද්ධයෙහිදී සිය බාහු බලයෙන් ලබාගත් ලකඟනගේ නොයෙක් මැණික් වලින් බබලන ඔටුන්න හා සමාන ශිව දෙවියාගේ ජටාමඩුල්ල හා සමාන වූ රජවෙශ්‍යභූජංග නම් රමණීය මණ්ඩපයක් කරවීය." - මහාවංශය 71 වන පරිච්ඡේදය

පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) පොළොන්නරුවේ ඉදි කල ගොඩනැගිලි පිළිබඳව වූ විස්තරයේදී මහාවංශය එසේ විස්තර කරන ගොඩනැගිල්ල මේ වන විට පරාක්‍රමබාහු මාළිගයෙන් ඊසාන දෙසට වන්නට පිහිටා ඇති ශෛලමය මණ්ඩපය ලෙස හඳුනාගෙන ඇත. එම නටබුන් ගොඩනැගිල්ල රාජවෙශ්‍යභූජංග මණ්ඩපය ලෙසින් පළමු වරට අනුමාන ලෙසින් හඳුනාගනු ලැබුවේ 1922 වසරේ සිට 1927 දක්වා පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ A.M. හෝකාර්ට් මහතා විසිනි. පසුව ඒ බව තහවුරු කිරීම සඳහා එම ගොඩනැගිල්ලට පිවිසෙන පඩි පෙලේ දෙවෙනි පඩිපෙළ මුදුනේ ඇති ගල් පුවරුවේ 'රාජවේශ්‍යාභූජඟමණ්ඩපය' ලෙස දොළොස්වන සියවසට අයත් අකුරින් කොටා ඇති බව සොයා ගැනීම උපකාරී විය. 
1932 වසරේ සිට පොළොන්නරුවේ ඇතුළු නුවර පරාක්‍රමබාහු මාළිගය සහ ඒ අවට පිහිටි ගොඩනැගිලි වල සිදු කල කැනීම් වලදී මේ ගල් පුවරුව සොයාගැනිණි. එම කැනීම් වලදි පැහැදිලි වූ තවත් කරුණක් වූවේ වර්තමාන මණ්ඩපය ඉදිකර ඇත්තේ පළමුවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ සිට පැවතෙන ගොඩනැගිලි වල නටබුන් මත බවය. එසේම මෙම ගොඩනැගිල්ලේ ඉහල පස් තට්ටුවේ තිබී හමුවූ 13 වැනි සියවසේ අවසාන කාලයට අයත් චීන කාසි කිහිපයක් නිසාද, වර්තමාන ගොඩනැගිල්ල එම යුගයේ විසූ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1236-1270) රාජ්‍ය කාලයේ පශ්චිම භාගයේ, එහි මුල් ස්ථානයේ සිට තරමක් ඈතට වන්නට නැවත ඉදි කර ඇති බව පරණවිතාන මහතා අනුමාන කරයි. මහාවංශය විස්තර කරන ලෙසටද දඹදෙනියේ සිට රාජ්‍ය විචාල දෙවන පරාක්‍රමබාහු රජුගේ සමයේදී ඔහු පුත් සිව්වන විජයබාහු රජු (ක්‍රි.ව. 1270-1272) නටබුන්ව පැවති පොළොන්නරුව පැරණි නගරයේ ගොඩනැගිලි, පොකුණු, වීදි ආදිය පිලිසකර කර " උතුම් පොළොන්නරුව පෙර පැවති සේ" තනවා ඇත. 
මහාවංශයේ මහල් තුනකින් යුක්තව තනා ඇති බව පැවසෙන මෙම මණ්ඩපය එසේ හැඳින්වෙන්නේ ගොඩනැගිල්ලේ පදනම ලෙස යෙදෙන එකිනෙක මත පිහිටි වේදිකා තුන නිසා බව පැහැදිලිය. එම පහලම වේදිකාවේ විවිධ ඉරියව්වෙන් යුත් ඇත් රූපද, එය මත පිහිටි දෙවැනි වේදිකාවේ සිංහ රූපද ඉහලින්ම පිහිටි වේදිකාවේ වාමන රූපද කැටයම් කර ඇත. ගොඩනැගිල්ලේ ගෙබිම මත පේළි සතරකට සිටවූ කැටයම් කළ ගල් කණු 48 ඇති අතර ඒ මත දැවයෙන් කර උළු සෙවිලි කල වහලය තිබෙන්නට ඇත. 
මණ්ඩපයට පිවිසීමට ඇති පියගැට පෙල කොටස් දෙකකට ඉදි කර ඇති අතර එහි  ආරම්භයේ සහ මැදට වන්නට සඳකඩපහණ දෙකක් දක්නට ඇත. මණ්ඩපයට පිවිසෙන ස්ථානයේ ගල් පුවරුවක ඉහත විස්තර වූ සෙල් ලිපිය ඇති අතර එය දෙපස අලංකාර සිංහ රූ දෙකක් දක්නට ඇත. පියගැට පෙලේ කොටස් දෙක දෙපස කැටයම් කල කොරවක්ගල් දෙකක් පිහිටුවා ඇත. මෙහි මැද පිහිටි සඳකඩපහණ නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපයේ සිට ගෙනවුත් මෙහි සවි කර ඇත්තේ H.C.P. බෙල් මහතා විසින් බවට විශ්‍රාම ලත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවකයෙකු විසින් පැවසු බවට ජයසිංහ බාලසූරිය මහතා සිය පොළොන්නරුව පිළිබඳව වූ ග්‍රන්ථයක පවසන සඳහන සත්‍යක්ද යන්න තවදුරටත් විමසා බැලිය යුතුය. පරාක්‍රමබාහු රජුගේ ලෙස හඳුනාගන්නා වෙනත් ගොඩනැගිලි අසල ඇති සඳකඩපහණ වල සිංහ රුව දැකිය නොමැති මුත් මෙහි සිංහ රූප දක්නට ලැබීම එම කරුණ සත්‍ය විය හැකියැයි දැක්වීම සඳහා ඒ මහතා උපයෝගී කරගනී. 
'රජ මාළිගාව' ලෙසින් එවකට වැරදියට හඳුනාගෙන තිබූ මෙම මණ්ඩපය පිළිබඳව විස්තරයක් බෙල් සිය 1905 වසර සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාවේ ඉදිරිපත් කරයි. බෙල්ගේ විස්තරයේ ඉහත සඳකඩපහණ දෙකම මෙම ස්ථානයේ තිබූ බවට විස්තර වන අතර සිංහ රූප සහිත සඳකඩපහණේ විශේෂත්වය පිළිබඳවද ඔහු කරුණු සඳහන් කරයි. එනම් පොළොන්නරු යුගයට අයත් බොහෝ සඳකඩපහණ වල සිංහ රූප නොමැති මුත් මෙම සඳකඩපහණේ සහ හැටදාගෙය ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ ඇති සඳකඩපහණ වල සිංහයා දැකිය හැකි වීමය. පහතින්ම ඇති සඳකඩපහණේ සිංහ රූප නොමැති වීම ගැනද සඳහනක් බෙල්ගේ විස්තරයේ අඩංගුය. (මෙම සඳකඩපහණ දෙකෙහිම ගවයා සුපුරුදු පරිදි පොළොන්නරු යුගයට අයත් වෙනත් සඳකඩපහණ වල ලෙසම දැකිය නොහැක.) වසර ගනණාවකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කල හෝ එසේ සේවය කල ලෙස පවසන ගැමියන්ගේ 'යාන් හෑලි' සත්‍යය ලෙස සලකා පොත්පත් වල සඳහන් කර ඒවා 'පරම සත්‍යය' ලෙස සමාජගත වූ අවස්ථා මෑත කාලයේද නිබඳව අසන්නට ලැබුණි. ඉහත ජයසිංහ බාලසූරිය මහතා පවසන කරුණද එවන් තවත් එක් ඊණියා ජනප්‍රවාදයක් පමණක්ම බව ඒ අනුව පැහැදිලි වේ.

එවකට සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි මට්ටමින් කැලෑව වැවි තිබූ මෙහි වැදගත්කම වටහාගත් H.C.P. බෙල් එය මතු දිනක නිසියාකාරව තහවුරු කරන තෙක් ඒ මත සහ වටා පිහිටි අවශේෂ ඉවත් කර ගොඩනැගිල්ල පැහැදිලිව දිස්වන සේ මතු කරගැනීමක් සිදු කරයි. 10 වන සියවසට අයත් බෙහෙවින් ගෙවී ගිය සෙල්ලිපියක කොටසක් හමුවන්නේද මෙම අවස්ථාවේදීය.
කෙසේ නමුත් මෙම මණ්ඩපය පසුව විවිධ කොටස් එකතු කර නිමවූවක් බව තහවුරු වන තවත් සාධකයක්  වනුයේ මෙහි නටබුන් අතර දසවන සහ දොළොස්වන සියවස් වලට අයත් සෙල්ලිපි දෙකක් දක්නට ලැබීමය. මින් එක් ලිපියක් පළමුවන වික්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1111-1132) බිසවක වන සුන්දරමහා දේවීය විසින් පිහිටුවා ඇත. මහාවංශයේ විස්තර වන විසිතුරු සිත්තම් හෝ කප්රුක අද දක්නට නොමැති මුත් එම කප්රුක ලෙස අනුමාණ කල හැකි කැටයම් කල ගල් ටැඹක් අටදාගෙය ලෙස හැඳින්වෙන ගොඩනැගිල්ල තුල දක්නට ඇති බව පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමියන් සිය 'පොළොන්නරු නටබුන්' නම් වූ කෘතියේ සඳහන් කරයි. මෙහි ඇති කැටයම් කල පුවරුද එම ආකාරයේම මණ්ඩපයක් වූ නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපයේ සිට රැගෙන විත් ඇති බවටද අදහස් ඉදිරිපත් වී ඇත. දැනටද එහි ඉතිරි වී ඇති ඇත් සහ සිංහ රූ සහිත කැටයම් පුවරු කිහිපය එම මතය සත්‍යය විය හැකි බවට සාක්ෂ්‍ය සපයයි. (එම කැටයම් පුවරු වල ඡායාරූප මිට පෙර ලිපියක දක්වා ඇත.>>)
මෙම මණ්ඩපය සඳහා ව්‍යවහාර වූ 'රාජවෙශ්‍යභූජංග' යන වදන රජවරුන් උදෙසා භාවිතා වූ විරුද නාමයක් ලෙස හඳුනාගත හැක. පැරකුම්බා සිරිත කාව්‍යයෙහි එන "දින පැරකුම්බුජ රජහිමි රාජවේශ්‍යාබූජංග" යන පද්‍ය කොටසින් එය පැහැදිලි වේ. පොළොන්නරුවේ උප නගරයක්ද රාජවේශීභූජංග පුර ලෙසින් මහාවංශයේ  හඳුන්වා ඇත. මෙවන් ආකාරයේ ගොඩනැගිලි සඳහා සිංහල භාෂාවෙන් ව්‍යවහාර වූ 'වැටුම් මඩුව' යන වදන කව්සිළුමිණ වැනි පැරණි ග්‍රන්ථ වල හමුවේ. එලෙසින් හැඳින්වූවේ රාජ සභාව පවත්වන මණ්ඩපය බව පූජ්‍ය වැලිවිටියේ සොරත හිමියන් පවසයි. 'සිංහ ද්වාර' ලෙස සංස්කෘත සාහිත්‍යයේ රජුගේ රාජ සභාවට පිවිසෙන පිවිසුම හැඳින්වේ. එහෙයින් දෙපස සිංහ රූප දෙකක් සහිත මෙම මණ්ඩපය එසේ හඳුනාගැනීම නිවැරදි බව පරණවිතාන මහතාද පැහැදිලි කරයි.
මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Three, Architecture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume one, History of the Department of Archaeology, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
  • The Glory of Ancient Polonnaruva, Jayasinghe Balasooriya, 1999.
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • Heritage of Rajarata, Chandra Wickramagamage, 2004
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • Bell H.C.P., 1909, Archaeological Survey of Ceylon, North Central, Central And Northern Provinces, Annual Report 1905
  • පොළොන්නරු නටබුන්, කඹුරුපිටියේ වනරතන හිමි, 1962
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
  • කව් සිළුමිණ හෙවත් කුසදාවත, මහාචාර්ය ඇම්. බී ආරියපාල සංස්කරණය, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • පැරකුම්බා සිරිත, පොදු සංස්කරණය - මහාචාර්ය රෝහිණි පරනවිතාන, 1997
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998

Saturday, January 27, 2018

නිශ්ශංකමල්ලට කාලිංග උයන වූ පරාක්‍රමබාහු රජුගේ දීප උයන

මහාවංශයේ විස්තර වන පරිදි පරාක්‍රමබාහු රජු දෙපසින් දියපහර ගලාගිය හෙයින් දිවයිනක් බඳු පෙදෙසක දීපුය්‍යානයක් (දීප උද්‍යානයක්) කරවීය. එම දීප උද්‍යානයේ වූ වෙනත් ගොඩනැගිලි සම්බන්ධව විස්තර කරන මහාවංශ ගාථා වලින් ඉන්පසු පැවසෙන්නේ එම උද්‍යානයේ 1) සියලු සුධාකර්මයෙන් යුක්ත විශ්මය දනවන කෛලාස පර්වතයට සමාන ධවල මන්දිරය [ධවලාගාරං/White House] 2) නොයෙකුත් විද්‍යා විශේෂයන් දක්වනු පිණිස කරන ලද හෙයින් විද්‍යා මණ්ඩප [විජ්ජාමණ්ඩප/Science Pavilion] නමින් යුත් විමානය 3) ස්වර්ණමය කිංකිණි  වලින් යුත් දර්ශනීය ඔංචිල්ලාවෙන් යුක්ත වූ දෝලාමණ්ඩපය [දොලාමණ්ඩප/Swing Pavilion]  4) හාස්‍ය රසය මනාව දත් ඇමැතියන් පෙරටු කොට ගත් රජු අතිශයෙන් සතුටට පත් වූ ස්ථානය වූ  ක්‍රීඩා මණ්ඩපය [කීළාමණ්ඩප] 5) විමානයන්ගෙන් බබලන, ඇත්දළින් නිමවුණු සාණිමණ්ඩපය (Pavilion of the planet Saturn) 6) මොරමණ්ඩපය (Peacock Pavilion) 7) කැඩපත් බිත්තිවලින් යුත් ආදාසමණ්ඩපය (Mirror Pavilion) යන ගොඩනැගිලි වලින් අලංකාර වූ බවය.
තානායම අසල ඇති බිසෝකොටුව
තව දුරටත් එම දීප උද්‍යානයේ වූ අනෙකුත් ඉදිකිරීම් විස්තර කරන මහාවංශ කතුවරයා පවසන්නේ අනන්ත නාග රාජයාගේ දරණ වැල හා සමානව පිහිටවූ ගලින් යුතු අනන්ත පොක්ඛරණී නම් වූ පොකුණ හැම විටම ජනයා සතුටු කල බව සහ විසිතුරු සිතුවමින් යුත් චිත්තා නම් පොකුණ පරාක්‍රමබාහු රජු සතුටු කල බවත්ය. එසේම විසිතුරු සිතුවමින් සහ ශෘංගාර ශබ්දයන්ගෙන් යුත් සිව් මහල් ශෘංගාර මණ්ඩපයද එහි වූ බවත් තල්, කිතුල්, නා, දොඹ, කෙසෙල්, කිණිහිරි සහ යොහොඹු ආදි ගසින්ද උයන යුක්ත වූ බවත්ය.
භූගත නල මාර්ගයක් ඔස්සේ පරාක්‍රම සමුද්‍රයෙන් බිසෝකොටුව හරහා පැමිණෙන ජලය පලමුවෙන් ඇතුළු වන පොකුණ
පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට යාබදව වර්තමාන තානායම පිහිටි ස්ථානයට උතුරින් වූ නටබුන් ගොඩනැගිලි සහ පොකුණු සහිත පෙදෙස මෙම දීප උද්‍යානය පිහිටා තිබූ ස්ථානය වූ බව පොදුවේ සියළුම විද්වතුන් පාහේ පිලිගන්නා මතයයි. මෙයට පෙර අප කතා කල නිශ්ශංකමල්ල රජුගේ සභා ශාලාවද මෙම පෙදෙසේ උතුරු සීමාවේ පිහිටා ඇත Link>>. තානායම අසල ඇති පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධ වූ බිසෝකොටුවක්, එයින් ජලය සැපයෙන පොකුණු දෙකක් (එක් පොකුණක පිටාර ජලය එහි නැගෙනහිර සීමාවේ වූ වලයාකාර බැම්ම හරහා වූ කාණු දෙකක් මගින් අඩු වැඩි වශයෙන් චතුරශ්‍රාකාර වූ අනෙක් පොකුණට යොමු කෙරේ), පලමු පොකුණට උතුරු දෙසින් ජල පිහිල්ලක් සහිත ස්නානාගාරයක් සහ එයට ඉහලින් වෘත්තාකාර වෙනත් ඉදිකිරීමක නටබුන්ද (මෙයද ස්නානාගාරක් විය හැකි බවට වූ මත පලවී ඇත.) අද වනවිට මෙම ස්ථානයේ දැකිය හැක.
පළමු පොකුණට ජලය ඇතුළු වන දියවාන
මෙම වෘත්තාකාර ඉදිකිරීමේ බිත්තියේ මධ්‍යයෙහි පිහිටි කාණුවක් මගින් එහි ජලය පහලින් පිහිටි සෘජුකෝනාශ්‍රාකාර ස්නානාගාරයට යොමුකර ඇත. වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුම මගින් මෙම වෘත්තාකාර ඉදිකිරීම සංරක්ෂණයෙන් පසුව ජල ටැංකිය ලෙසින් නම් කර ඇත. ජල පිහිල්ලක් සහිත වූ ස්නානාගාරය කොටස් දෙකකට සාදා ඇති අතර පඩි පේලි දෙකක් ඒවාට බැසීම සදහා ඉදිකර ඇත. එහි බිත්ති වල සහ පත්ලෙහි ගල් පුවරු අතුරා ඇති අතර බිත්ති ගඩොලින් බැඳ කපරාරු කර තිබී ඇති බව එහි ඉදිරි කොටසේ ඉතිරිව ඇති කපරාරු කොටස් වලින් පැහැදිලි වේ. සතර කොනේ ගල් කණු සිටුවා ඇති අතර ඒවා මත වූ වහලයක් මගින් මෙයට ආවරනය සැපයූ බව පෙනේ.
පළමු පොකුණේ සිට දෙවෙනි පොකුණට ජලය ඇතුළු වන ස්ථානය සහ දෙවෙනි පොකුණ
ඉහත විස්තර වූ බිසෝකොටුව අසල එයට උතුරු දෙසට වන්නට ගඩොලින් කල සෘජුකෝණාශ්‍රාකාර ගොඩනැගිල්ලක් ඇති අතර එහි පිවිසුමේ බෙහෙවින් ගෙවී ගිය සඳකඩපහණක්ද ඇති අතර පොළොන්නරු යුගයට පෙර  සඳකඩපහණ වල තිබූ ලෙසින් එහි ඇත්, අශ්ව, ගව සහ සිංහ යන සතුන් සිව් දෙනාගේම රූප දැකිය හැක (හින්දුන්ගේ පූජනීයත්වයට ලක්වන සතෙකු බැවින් පොළොන්නරු යුගයේ සඳකඩපහණ වල ගවයා දක්නට නොලැබේ.) එබැවින් මෙම ගොඩනැගිල්ල අනුරාධපුර යුගයට අයත් බව මත පලවී ඇත (අනුරාධපුර යුගයේ ගොඩනැගිල්ලක නටබුන් පොළොන්නරු යුගයේ ඉදිකිරීමක් සඳහා යොදා ගත්තා වන්නටද ඉඩ ඇත.)  එම ගොඩනැගිල්ල අසලින් වැවට බැසීම සඳහා යෙදු පඩි පේලියක්ද දැකිය හැක. තවද වර්තමානයේ පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් යටවන පෙදෙසේ දැකිය හැකි වෙනත් චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක්ද දීප උයනට අයත්ව තිබුනා ලෙස සැලකේ.
වෘත්තාකාර ඉදිකිරීම( ජල ටැංකිය/ස්නානාගාරය ?) දකුණු පසින් දිස්වන්නේ පහල පිහිටි ස්නානාගාරය සහ එහි ජලය පිටවන පළමු පොකුණයි.
මෙම දීප උයන සම්බන්ධව වංශ කතාවේ ඉන්පසු කිසිදු සඳහනක් හමු නොවන මුත් නිශ්ශංක්මල්ල රජු විසින් පිහිටවූ මෙම ස්ථානයේ තිබී හමුවු සෙල්ලිපි දෙකක් මගින් පැහැදිලි වන්නේ එම රජතුමා විසින් මෙම දීප උයනේ වූ පැරණි ඉදිකිරීම් අලුත්වැඩියා කිරිම, වෙනස් කිරීම හෝ නැවත ඉදිකිරීම් සිදු කර ඇති බවය. එසේම එහි වූ ඇතැම් ගොඩනැගිලි අවශේෂ අසල පිහිටි ඔහුගේ සභා ශාලාව සහ රජ මාළිගය නොහොත් මගුල් මඩුව ලෙස හඳුනාගන්නා ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදා ගත්තා වන්නටද පුළුවන.
ස්නානාගාරය සහ එහි ඇති ජල පිහිල්ල
නිශ්ශංකමල්ල රජුගේ එක් ලිපියක් හමුවන්නේ ඉහත ස්නානාගාරය ලෙස හැඳින්වූ ඉදිකිරීමේ පැතලි ගලක් ලෙස යොදා තිබීමෙන්ය. ස්නානාගාරයේ නිශ්ශංකමල්ල යුගයට පසු කාලයේ සිදුවූ පිළිසකරකිරීමකදි එය සිදුවී ඇති බව පෙනේ. Z. වික්‍රමසිංහ මහතා එය කියවන යුගය වන විටද (1927 ට පෙර) ලිපිය කොටස් වලට කැඩි තිබූ අතර එහි එක් කොටසක් තෝපාවැව ග්‍රාමයේ තිබූ බවත් අනික්වා අස්ථානගතවී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි. කෙසේ වුවත් එහි පෙල ඒ මහතා රන්කොත් දාගැබ පරිශ්‍රයේ හමුවූ නිශ්ශංකමල්ල රජුගේ ටැම්ලිපියක ආධාරයෙන් සකස් කර ඇති අතර අවසාන වාක්‍යය හැරුන කොට එය එම ටැම්ලිපියේ අන්තර්ගතයම වූ බව පවසයි. එමගින් අඩු වැඩි වශයෙන් රජුගේ රට පුරා කල සංචාර, සතුන්ට අභය දානය දීම්, බදු අහෝසිකිරිම්, පෙර රජවරුන් විසින් දඩුවම් පැමිණවූ පුද්ගලයන් නිදහස් කිරීම්, සහ හෙතෙම සිදුකල විදේශ ආක්‍රමණ ගැන පවසා අවසානයේ පවසන්නේ මෙය "ශ්‍රි විර කාලිග ලංකේශ්වර අප්‍රතිමල්ල නිශ්ශංකමල්ල ශ්‍රි පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ ......නිමවා වදාරන පතැසයි" යන්නය. මැකී ඇති අකුරු වලින් දියකෙලිය (The Ceremony of bathing) යන්න අදහස් වූ බව සැක කෙරේ.
ස්නානාගාරයේ පහල කොටස, පඩිපෙල සහ ඉතිරිව ඇති පැරණි කපරාරුව වම් පසින් දැකිය හැක.
නිශ්ශංකමල්ල රජුගේ මෙම ස්ථානයෙන් හමුවන අනික් ලිපිය දිවයිනේ වෙනත් බොහෝ ස්ථාන වලින් හමුවී ඇති ආකාරයේ ගල් ආසන ලිපියකි (කියවන්න - මුල් ගල් ඉදිරීම, අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීම සහ නිශ්ශංකමල්ලගේ ගල් ආසන සෙල්ලිපියක්) නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපය අසලින් එහි දකුණු පසින් හමුවූ මෙම ලිපියේ වූ ඔහුගේ වෙනත් එවැනි ගල් ආසන ලිපි වල පැවසෙන ආකාරයේ සුපුරුදු විස්තර වලින් අනතුරුව පවසන්නේ මෙය රජු කාලිංග උද්‍යානයේ නෘත්‍ය ගීතාදී කලා ක්‍රීඩා පිණිස වැඩහිඳිනා සිංහාසනය බවයි. එසේම එම ගල එඩේරගල්ලෙන් ගෙනා බවද එහි පවසා ඇත (මෙය සීගිරියට සැතපුම් 5 පමණ බටහිර දෙසින් පිහිටි වර්තමාන එඩේරුගල ග්‍රාමය විය හැක.)
නිශ්ශංකමල්ල කාලිංග උයන ගල් ආසන ලිපිය

බිසෝකොටුව අසල ඇති සඳකඩපහණ සහිත ගොඩනැගිලි පාදම
වර්තමාන කාලයේ මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කල නෙළුම් කුළුන ජඩපාලකයන්ට ඔවුන්ගෙ සංකල්පයක් පරිදි ඔවුන් ආරම්භ කර නිමවමින් තිබෙන සංනිවේදන කුළුනක් වී ඇති ආකාරයෙන්ම පරාක්‍රමබාහු රජු නිමවූ 'දීප උයන' නිශ්ශංකමල්ල 'කාලිංග උද්‍යානයක්' කර එඩේරුගලින් ගෙනා ගලක සිය නම කොටා අපට සිය පම්පෝරියද සමගින් ඉතිරි කර තැබුවාද? සීතාවක උද්භීද උද්‍යානය, වරාය නගරය, මොරගහකන්ද, බැද්දගාන තෙත් බිම් උද්‍යානය අදියේ ඒවා ඉදිකර හෝ වැඩ අරඹමින් මහින්ද රාජපක්ෂ මහතා තැබූ මුල් ගල් සහ ඵලක අස්ථානගතවූ පරිද්දෙන්ම පරාක්‍රමබාහු රජතුමා තැබූ ඵලක පරාක්‍රමසමුද්‍රය පතුලට ගොස් නිශ්ශංකමල්ලගේ ගල් ආසන පමනක් ඉතිරි වූවාද? එහෙත් ඔහුට අමතක වූ දෙයක් නම් මහාවංශය ලියූ යතිවරයන්වහන්සේ විසින් පරාක්‍රමබාහුගේ දීප උද්‍යානය ගැන සියළු තොරතුරු එයට පොරොතුව ලේඛනගත කර අනාගත පරපුරට ආරක්ෂා කර තැබූ බවයි. වර්තමාන ජඩපාලකයන්ද තේරුම් ගත යුත්තේ වැඩබැරි  ඔවුන් වැනි සොර මුලක් කෙසේ යටගැසීමට උත්සාහ කලද ඉතිහාසය සැඟවීම එතරම් ලේසි පහසු දෙයක් නොවන බවය. නොමැති නම් මේ රටේ බුද්ධිමත් ජනතාව ඔවුන්ට එය තව සති දෙකකින් ඔලුවට පොල්ලකින් ගසා මතක් කර දෙනු ඇත.
පරාක්‍රමසමුද්‍රයේ ජලයෙන් යටවන කොටසේ ඇති ගොඩනැගිල්ල
මූලාශ්‍ර
  • Distortion in history. The dossier on Nissamka Malla, Prince in India, King of Lanka (1187-1196), Raja de Silva, 2016
  • Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • Heritage of Rajarata, Chandra Wickramagamage, 2004
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928