Showing posts with label Uda Palata. Show all posts
Showing posts with label Uda Palata. Show all posts

Saturday, May 23, 2020

දළදා මාළිගාවට පාරුකාර සේවාව සැපයූ ආදම් ලෙබ්බේ සහ උදුමා ලෙබ්බේ විසූ උඩ පලාත දිසාව

හිඳගල විහාර සිතුවමක්
උඩරට රාජධානියට අයත් දිසාවනියක් වන උඩපළාත බ්‍රිතාන්‍ය යුගය වන විට කෝරළ 4 ක එකතුවකින් සැදී තිබින. ඉන් කෝරළ දෙකක් පිළිබඳව තොරතුරු පෙර ලිපියකින් ඉදිරිපත් කල අතර (Link >>) මෙම ලිපියෙන් ඉතිරි කෝරළ දෙකේ විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. රැල්ප් පීරිස් මහතා සිය ග්‍රන්ථයේ 1796 පමණ වන විට උඩ රට පළාත් දැක්වෙන සිතියමේ මීට පෙර ලිපියකින් අප කතා කල උඩ බුලත්ගම (Link 1 >>,  Link 2 >> ) සහ ඉදිරියේදී කතා කිරීමට බලාපොරොත්තු වන කොත්මලේ රටත් උඩ පළාතටම අයත් කර දක්වා ඇතත්, 19 වන සියවසේ අවසාන භාගය වන විට එම ප්‍රදේශ උඩපළාතට අයත් නොවූ වෙනම රටවල් ලෙස සලකා ඇත.

උතුරින් පහල හේවාහැට කෝරළයෙන්, දකුණින් කොත්මලේ රටින්, නැගෙනහිරෙන් උඩ හේවාහැටින් සහ, බටහිර පෙදෙසින් උඩුනුවරින් සහ සතර කෝරළයෙන් සීමා වූ උඩපළාත දිසාවේ විශාල ප්‍රදේශයක් පුරා 19 වන සියවසේ අවසාන භාගය වනවිටත් තේ වගාව පැතිර තිබූ අතර, පැරණි සිංහල ගම්මාන ප්‍රධාන වශයෙන් ගංගා නිම්න වලට සීමා වී තිබී ඇති බව මෙම ලිපියෙන් විස්තර වන දැනට හඳුනාගත හැකි ලෝරි සඳහන් කරන ගම් සලකුණු කල පහත දැක්වෙන සිතියම් වලින්ද පැහැදිලි වේ. එතෙක් ගම්මුන් විසින් හේන් වගාවන් සහ ගවයන්ගේ ආහාර අවශ්‍යතා උදෙසා යොදා ගත් උස් බිම් වල පිහිටි තෘණභූමි සහ වනාන්තර බ්‍රිතාන්‍ය යුගයේ ඔවුනට අහිමිව වතු අධිරාජ්‍යයකට බිලී විය.

පෙර ලිපියෙන් විස්තර කල ඇතැම් උඩරට පෙදෙස් වල මේ යුගයේ සිදුවූ සිදුවීම් උදාහරණයක් වශයෙන් විහාර දේවාල ගම් වලට අයත් ඉඩම් එම ආයතන වලට අහිමි වීම් සහ එම ආයතන වලට සේවා සැපයූ ඉස්ලාම් ආගම ඇදහූ සංක්‍රමණික එහෙත් ඒ වන විට ස්ථිර ඉඩම් ලැබ ඒවායේ පදිංචිව සිටි ජන කොටස් පිළිබඳව මෙම ලිපියෙන්ද කරුණු ඉදිරිපත් වේ. ඊට අමතරව බොහෝ විට 1803 සහ 1804 සිදුවූ බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ උඩ රට ආක්‍රමණ වලදී සහ 1818 විමුක්ති අරගලය අවස්ථාවේ ඉංග්‍රීසි හමුදා භට කණ්ඩායම් සිදු කල බවට සිතිය හැකි බෞද්ධ විහාර ගිනි තැබීම් ආදිය සම්බන්ධවද මෙහිදි විස්තර හමුවේ.
කඳුකර ඉහල කෝරළය
නැගෙනහිරෙන් හේවාහැටින්, දකුණින් කොත්මලේ රටින්, උතුරින් කඳුකර පහල කෝරළයෙන් සහ බටහිරෙන් මහවැලි ගඟින් සහ ගඟ ඉහල කෝරළයෙන් වටවූ කඳුකර ඉහල කෝරළයේ පිහිටි අංගම්මන ගම හැරුන විට බොහෝ ගම් එවකට පහත් කුල වලට අයත් ලෙස සැලකූ ජන කොටස් සිටි ගම් බව පැවසේ. පුපුරැස්ස, අටබාගේ සහ පුස්සැල්ලාව තේ දිස්ත්‍රික්ක (Tea Districts) මෙම කෝරළය තුල ඒ වන විට තිබී ඇත.
කඳුකර ඉහළ කෝරළයේ පිහිටි ඩෙල්ටා වතු යායේ පිහිටා ඇති එංගලන්ත සභාවට අයත් ක්‍රිස්තියානි දේවස්ථානයක්

  • අංගම්මන - කොබ්බෑවල ආරච්චි වසමට අයත් ගමකි. දළදා මාළිගාවට රත්වත්තේ දිසාව විසින් පූජා කල මෙම ගමේ වූ ඉඩම් ලියාපදිංචි කිරීම විහාර දේවාල ඉඩම් කොමසාරිස් (Temple Lands Commissioner) විසින් ප්‍රතික්ශේප කර ඇත. පසුව මුතු කරුපන් චෙට්ටියාර් (Muttu Karpen Chetty) හට අයත් වූ කෝපි වත්තක් මෙම ගමේ ඉහලින් පිහිටි බිම් වල තිබී ඇත. පැරණි පවුලකින් පැවත එන අංගම්මන අධිකාරමට අයත් වලව්වක් අංගම්මන ගමේ තිබී ඇති අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී ඔහු විසින් පට්ටිපොල විහාරය (Pattapola Vihara) ඉදි කර ඇත. ලෝරිගේ සමය වන විට එම පරම්පරාවෙන් පැවත එන්නන් හට අයත් වලව් 3 ක් අංගම්මන ගමේ තිබී ඇත. අමුණුපුර මෙම ගම තුල පිහිටි කුඩා ගමකි.
  • අටබාගේ (පල්ලේගම සහ උඩගම) - පදු කුලයට අයත් ජනයා වාසය කල ගම්මානයකි. පල්ලෙගම කොටසේ පෙර ඔරියන්ටල් බැංකුවට (Oriental Bank) අයත්ව තිබූ අටබාගේ වතු යාය තිබී ඇත. උඩගම පිහිටි විහාරය වර්ෂ 1797 දී ඉදිකල බව පැවසේ. 
  • දැල්පිටිය - පදු සහ නවන්දන (Blacksmiths) කුල වලට අයත් ජනයා වාසය කල ගමකි.
  • දෙවිට - පදු කුලයේ ජනයා වාසය කල ගමකි.
  • දුණුකේඋල්ල - පුස්සැල්ලාව වසමට අයත් පුපුරැස්ස ඔය බඩ පිහිටි ගමකි. කළුගල කෝවිල  මෙම ගම තුල තිබූ බව පැවසේ.
  • ගලාත- දුරයෝ කුලයේ ජනයා වාසය කල ගමකි.
  • කැකුලන්දල - ගලාත ආරච්චි වසමටම අයත් දුරයෝ  කුලයේ ජනයා වාසය කල ගමකි.
ගම්පොල - පුපුරැස්ස ( B125 ) මාර්ගයට දිස්වන මහවැලි ගඟේ අතු ගංගාවක් වන අටබාගේ ඔයේ නිම්නය,
  • මාවතුර ගලාත ආරච්චි වසමට අයත් ගමකි.
  • පිලිවෙල කොත්මලේ ඔය මහවැලි ගඟ හා එක්වන ස්ථානයේ පිහිටි ගලාත ආරච්චි වසමට අයත් ගමකි.
  • කොබ්බෑවල - වර්ෂ 1787 පමණ ඉපදුන කොබ්බෑවල දියවඩන නිලමේ මෙම ගමේ පිහිටි වලව්වේ වාසය කර ඇත. කොබ්බෑවල පිහිටි අප්පලගොඩ විහාරයට කොබ්බෑවල වලව්වේ මුදියන්සේ රාලහාමි විසින් සිංහලේ  අවසාන රජුගේ යුගයටත් පෙර පූජා කල ඉඩම් වල අයිතිය පිළිගැනීම විහාර දේවාල ඉඩම් කොමසාරිස් විසින් ප්‍රතික්ශේප කර ඇත. පසුව කොබ්බෑවල වලව්වට එම ඉඩම් උකස් කර ඇති අතර පන්සල පසුව අතහැර දමා ඇත.
  • පුස්සැල්ලාව - 19 වන සියවසේ අවසාන භාගය වන විට පොලිස් ස්ථානයක්, ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් (Public Works Department Station), එංගලන්ත සභාවට අයත් පල්ලියක් (Church of England church), කඩපොලක්, බෞද්ධ විහාරයක් මෙන්ම ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලබා දුන් චර්ච් මිෂණරි සමිතියට අයත් මිශ්‍ර පාසලක්ද (Church missionary society's mixed vernacular school) තිබූ ගමකි. 
  • පුපුරැස්ස
  • වහුගේපිටිය
  • වත්තේහේන
පුස්සැල්ලාව නගරයට දිස්වන මොණරගල කඳු. මෙම කඳු වලට එපිටින් කොත්මලේ ජලාශයද  කොත්මලේ රටට අයත් ගම්ද පිහිටා ඇත.
කඳුකර පහල කෝරළය
උඩපළාතේ උතුරු සීමාව වන කඳුකර පහල කෝරළය නැගෙනහිරෙන් හේවාහැටින්, දකුණින් කඳුකර ඉහල කෝරළයෙන්, බටහිරෙන් මහවැලි ගඟින් සහ ගඟ ඉහල කෝරළයෙන්ද, උතුරින් යටිනුවර රටින්ද සීමා වේ. මහවැලි ගඟ දෙපස කුඩා ප්‍රදේශයක් හැරුන විට මෙම කෝරළයේ වැඩි ප්‍රදේශයක් කඳු වලින් යුක්තය.

  • ගොඩවෙල - ජනප්‍රවාද වලට අනුව මහවැලි ගඟ සහ මල්හළුව ඔය අතර පිහිටි ගොඩවෙල නුවර ලෙසින් හැඳින්වූ රාජකීය නුවරක් මෙහි තිබී ඇත. ගඩොල් සහ උළු කැබලි එම ප්‍රදේශයේ පොලව යට හමුවේ. ගොඩවෙල බස්නායක නිලමේ හෙවත් දුග්ගන්නා නිලමෙට අයත් වලව්ව මෙම ගමේ තිබී ඇති අතර ඔහු  ඉංග්‍රීසින් මඩකලපුවේ සිට උඩරට ආක්‍රමණය කල සමයේ (1804?) රජුගේ සැතපෙනගේ රාජකාරි ඉටු කල බව පැවසේ. මෙම ගමේ වැසියන් ලංකාතිලක විහාරයට සේවා සපයයි.
  • අඹකුඹුර - ගොඩවෙල ගම තුල පිහිටි කුඩා ගමකි.
  • මැදපිටිය - ගනේගොඩ, ගොඩවෙල සහ අංකුඹුර ගම් අයත් වන ආරච්චි වසමටම අයත් ගමකි.
  • ගනේගොඩ - මෙම ගමේ නිලඹේ ඔය මහවැලි ගඟ හා එක්වන ස්ථානයේ පිහිටි ගනේගොඩ දේවාලය පැරණි දේවාලයකි. ඉංග්‍රීසින් පැමිණීමට පෙර එය ගිනි තබා ඇති අතර (කවුරුන් විසින්ද යන්න සඳහන් නොවේ) ඉන් පසුවද දෙවරක් එහි තිබූ දෑ සොරුගෙන ඇත. රාජසිංහ රජු (?) ගනේගොඩ ගමේ ඉඩම් මෙම දේවාලයට පිරිනමා ඇති අතර. කීර්ති ශ්‍රී රාජසිංහ රජු උඩෝවිට, ඇල්පිටිය, ගොඩවෙල, මැදපිටිය, සහ නියංගම ගම් දේවාලයට පූජා කර ඇත. එහෙත් විහාර දේවාල ගම් කොමසාරිස්  එම ඉඩම් බදු වලින් නිදහස් කිරීම ප්‍රතික්ශේප කර ඇත.
  • පල්ලේ දෙල්තොට
  • දොළුව - පට්ටිවල අනු කුලයට අයත් වෙල්ලාල හෙවත් ගොවි කුලයේ ජනයා වාසය කල ගම්මානයකි. නවන්දන කුලයට අයත් එක් පවුලක්ද සිට ඇත. ගමේ තිබූ 1858 වර්ෂය වන විටත් වසර 20 පුරා අතහැර දමා තීබූ විහාරයට ගම් වැසියන් විසින් පිරිනමා තිබූ ඉඩම් ලියාපදිංචිය ප්‍රතික්ශේප කර ඇත. නව විහාරයක්, බණ මඩුවක් සහ ආවාසයක් වනවාසී භික්ෂූන් සඳහා පසුව ඉදිකර ඇත. ලියන්දෙණිය, දොළුව ගම තුල පිහිටි කුඩා ගමකි.
  • කවුඩුපිටිය - නාරංවිට ආරච්චි වසමට අයත් ගම්මානයකි. නවන්දන කුලයේ ජනයා වාසය කල රජ මාළිගාවේ 'රන්කඩු පට්ටලයට' අයත් ගමකි.
  • ඉඟුරුවත්ත නාරංවිට ආරච්චි වසමට අයත් වහුම්පුර කුලයේ ජනයා විසූ ගමකි. ගම්මානයේ බොහෝ ඉඩම් පරනතලා පරම්පරාවට අයත්ය. ජනප්‍රවාදගත තොරතුරු වලට අනුව මෙහි පිහිටි ඉඟුරුවත්තේ වලව්වේ විසූ ඉඟුරුවත්තේ  අධිකාරම් මහත්මයාට අයත් ඉඩම් සමහරක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉඟුරුවත්ත විහාරයට පවරා දී ඇත්තේ රජු විහාරය වන්දනා කිරීමට යෑමේදී අධිකාරම් ඒ සඳහා පාලමක් නොසෑදීම හේතුවෙනි. ඉඟුරුවත්තේ විහාරය කුන්ඩසාලේ රජුගේ අවදියේදී ගම් වාසීන් විසින් සාදා ඇත. විහාරය ගිනි තබා විනාශ කල පසු (කවරෙක් විසින්ද යන්න කියා නැති මුත් 1818 නිදහස් අරගලය අවස්ථාවේ ඉංග්‍රීසි හමුදාව විසින් විය යුතුය. ) හපුගොඩ උන්නාන්සේ විසින් නැවත ඉදිකර ඇත.
  • මහර හෙවත් මහරගම - නාරංවිට ආරච්චි වසමට අයත් තවත් ගමකි.
  • වැවතැන්න - නාරංවිට ආරච්චි වසමට අයත්ය.
  • නාරංවිට  - නාරංවිට විහාරය කුන්ඩසාලේ රජතුමාගේ අවදියේදී ගම්මුන් විසින් ඉදිකර ඇත. 1818 දී විහාරය ගිනි තැබූ මුත් එම කාලයේම නැවත සාදා ඇත. අන්ඳියකඩවර මෙම ගම තුල පිහිටි මුස්ලිම් ජනයා විසූ කුඩා ගමකි. 
  • නියංගම - දුරයෝ කුලයේ ජනයා විසූ නාරංවිට ආරච්චි වසමට අයත් ගමකි.
  • කහවත්ත
  • ලැඟුන්දෙණිය - රොබට් නොක්ස් කාලයක් සිටි ගමකි. ඔහුගේ ග්‍රන්ථයේ ලැඟුන්දෙණිය පිළිබඳව බොහෝ තොරතුරු හමුවේ.
  • පුලියැද්ද- ලැඟුන්දෙණිය ආරච්චි වසමට අයත් ගමකි.
  • මුල්ගම - කඳු මුදුනක පිහිටි ගමකි. මෙහි පිහිටි විහාරය ගමේ ප්‍රධාන පුද්ගලයන් දස දෙනෙකු විසින් ඉදිකල බවට පැවසේ. එයට අයත් ඉඩම් ලියාපදිංචි කිරීම සඳහා කල ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත.
  • පන්විලතැන්න
  • තුන්පෑලවක - වහුම්පුර කුලයේ ජනයා විසූ ගමකි.
  • තුන්දෙණිය
  • උඩවෙල
  • උඩුදෙණිය
හිඳගල ලෙන් විහාරය
  •  හිඳගල - පාහිංගොමුව සහ කළුගොමුව ගම් අයත්වන ආරච්චි වසමටම අයත් වූ ගමකි. පේරාදෙණිය උද්භීද උද්‍යානය ඉදිකිරීම උදෙසා ඔවුන්ගෙන් රජය ලබාගත් ඉඩම් වලට හිලව් වශයෙන් මෙම ගමේ පිහිටි අධිකාරම් වලව්වේ විසූ හිඳගල අධිකාරම් මහත්මයාගෙන් පැවත එන්නන් ඉඩම් ලැබූ බව ලෝරි පවසයි. මහවැලි ගඟේ නිම්නයට ඉහල මනා දර්ශනයක් සහිත තැනක පිහිටි හිඳගල ලෙන් විහාරය, බාන්ස් ආණ්ඩුකාරයාගේ යුගයේ එහි පැමිණ පදිංචි වූ දෝපේ නායක උන්නාන්සේ විසින් නැවත ඇරඹූ බව ඒ හිමියන් විසින් විහාර දේවාල ගම් කොමසාරිස් හට පවසා ඇත. දෝපේ හිමියන් පැමිණෙන විට ලෙන් විහාරය තුල ඇති පැරණි විශාල ප්‍රතිමාව තිබී ඇති මුත්, එය කැඩී බිඳී ගොස් නටබුන් වූ තත්වයෙන් තිබී ඇත. දෝපේ හිමියන් විසින් කුඩා ප්‍රතිමා දෙකක් එහි අලුතින් සාදා ඇත. දෝපේ හිමියන් හෙලිකරන ආකාරයට හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ සමයේ විහාරය ඉදිකර ඇති අතර හිඳගල ගමේ සියලුම ඉඩම් එම දේවිය විසින් විහාරයට පවරා දී ඇත. ජනප්‍රවාද ගත තොරතුරු පවසන්නේ එම දේවිය දිනක් රාත්‍රියේ ගමනක් යනවිට හිඳගල ගමේ ප්‍රධානියාගෙන් හුළු අතු සහ සේවකයන් ඉල්ලූ මුත් ඔහු "ඇයට ඒවා හිඳගල ගුහාවේ සිටින මහළු මිනිසාගෙන් [ඔහු එමගින් හිඳගල ගුහාවේ තිබූ බුදු පිළිමය අදහස් කර ඇත. ] ඉල්ලා ගන්නා ලෙස පැවසූ බවත්, එම හේතුව නිසා හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය ඔහුට අයත් සියළුම ඉඩම් පසුදිනම විහාරයට පැවරූ බවත්ය. එවක ජීවත් වූ හිඳගල විදානේ පවසා ඇත්තේ විහාරයට අයත් ඉඩම් ඔහුගේ පරම්පරාවට අයත් නින්ද ගම් බවත්, ඔහුගේ පරපුරේ පුද්ගලයන් පසුව ශාසනයට ඇතුලත් වී පන්සලේ නායක පදවිය දැරූ බවත්, එවැන්නන් 31ක් ඒ වනවිට එම පදවියේ සිට ඇති බවත්ය. දෝපේ හිමියන්ද එය තහවුරු කර ඇත.
කුඩා හිඳි පිළිමයක් - හිඳගල ලෙන් විහාරය

  • කළුගොමුව - දළදා මාළිගාවට
     අයත් මුත්තෙට්ටු ඉඩම් පැවති, එයට විවිධ සේවාවන් සැපයූ ජනයා විසූ ගමකි. ඒ අතර 'පාරුකාර සේවාව' සැපයූ ආදම් ලෙබ්බේ සහ උදුමා ලෙබ්බේ හෙවත් පාරුකාර නයිදේ ලෙසින් හැඳින්වූ මුස්ලිම් ජන වර්ග‍යට අයත් පුද්ගලයන් දෙදෙනෙකුගේද නම් ඇති අතර, ඔවුන්ට අයත් රාජකාරිය වූවේ කළුගොමුවේ තොටුපලේ සිට ගැටඹේ තොටුපොල දක්වා ගමේ වෙනත් පුද්ගලයන් දළදා මාළිගාවට යැවීම සඳහා ලබාදෙන ඕනෑම දෙයක් ගෙනගොස් දීම සහ නව වසර උදාවීම සමග බුලත් කොළ 40 කින් සමන්විත 'පෙනුම' දිව නිලමේට දීමය (එනම් එම ප්‍රමාණයෙන් යුත් බුලත් හුරුල්ලක්ද රැගෙන දිව නිලමේ හමුවේ පෙනී සිට එය ඔහුට පිරිනැමීම.) ඒ වෙනුවෙන් ඔවුන්ට මෙම ගමේ අක්කර 1.5 ක ඉඩම් ලැබී ඇත.
  • පායින්ගොමුව
  • නිල්ලඹේ - රොබට් නොක්ස් සිය ග්‍රන්ථයේ විස්තර ඉදිරිපත් කරන තවත් ගම්මානයකි නිල්ලඹ. මෙහි පිහිටා තිබූ රජ මාළිගාවට අයත්ව තිබූ ගල් කණු සහ ගල් ඇඳක් (Stone pillars and a stone bed) නිල්ලඹ වත්තේ ලෝරිගේ යුගය වනවිටත් තිබී ඇත. දළදා මාළිගාවට අයත් නින්දගමක් වන අතර එයට අයත් ගව පට්ටිය නිල්ලඹ ගම තුල එකල සිට ඇත. 
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
  • Sinhalese Social Organization, The Kandyan Period, Ralph Pieris, 1956

Saturday, May 16, 2020

19 වන සියවසේ උඩ පළාත දිසාවට අයත් පැරණි ගම් සොයා දොලොස්බාගේ සිට ගඟ ඉහල කෝරළයෙන් ගඟ පහල කෝරළයට

1815 දී බ්‍රිතාන්‍ය හිරු නොබසිනවායැයි කී අධිරාජ්‍යයට ගිවිසුමකින් පවරා දීමට පොරොතුව සිංහලේ නමින් හැඳීන්වූ මහනුවර රාජධානියට අයත් ප්‍රදේශ වල තිබූ පළාත් බෙදීම් පිළිබඳව වූ ලිපි පෙලක තුන් වන ලිපිය උඩ පළාත දිසාව පිළිබඳව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. පෙර ලිපි දෙකකින් උඩ බුලත්ගම ලෙසින් හැඳින්වූ රට පිළිබඳව සාකච්චා කලෙමි. එම ලිපි කියවීමට - 1. >> , 2. >>

ප්‍රධාන වශයෙන් 1896 වසරේ පලවූ ලෝරිගේ වාර්තා වල සඳහන් තොරතුරු ආශ්‍රයෙන් ඉදිරිපත් කෙරෙන මෙම ලිපියට එම යුගය වන විට උඩ පළාත දිසාවට අයත් වූ ප්‍රධාන කෝරළ 4 කින් 2 ක් පිළිබඳව කරුණු ඇතුලත්ය. එනම් ගඟ ඉහල කෝරළය සහ ගඟ පහල කෝරළයයි. මින් ගඟ ඉහල කෝරළයේ උස් කඳු මත පිහිටි ගම් අයත් වන ප්‍රදේශය දොළොස්බාගේ ලෙසින්ද හැඳින්විනි (පහත සිතියම බලන්න). පෙර ලිපි මගින් විස්තර ඉදිරිපත් කල උඩ බුලත්ගම රටට වඩා මෙම ප්‍රදේශ වල ගම් ව්‍යාප්තිය පිළිබඳව දැකිය හැකි කැපී පෙනන වෙනසක් ලෙස පෙන්විය හැක්කේ මෙම කෝරළ දෙකට අයත් මුළු ප්‍රදේශය පුරාම ගම් විසිරී තිබූ බවය. එහෙත් ඒ සෑම ගමක්ම පාහේ ගංගා, ඔය වල නිම්න අවට සමතලා භූමි ප්‍රදේශ වලට සීමා වූ අතර උස් කඳු මුදුන් වන වැස්මෙන් වැසී ආරක්ෂා වී තිබූ බව පෙනේ. එහෙත් කෝපි සහ තේ වතු සඳහා සුදු පාලකයන් එම කැලෑ බිම් හෙලි කෙරීමත් සමග එයින් ඇතිවූ පරිසර හානී වලට අමතරව ගම්මුන් විසින් සිය ගවයන්ගේ ආහාර අවශ්‍යතා සඳහා භාවිතා කල උස් බිම් වල පිහිටි පතන් බිම්ද ඔවුන්ට අහිමි වූ බවට වෙනත් වාර්තා වලින් තොරතුරු ඉදිරිපත් කල හැක. ඒ හේතුව නිසාම ගම්මුන් සහ වතු හිමියන් අතර නොයෙකුත් ගැටුම් ඇතිවී ඇත. තවද එම වන භූමි වල ගැමියන් විසින් සිදු කල හේන් වගාව ඔවුන්ට තවදුරටත් කරගෙන යාමට නොහැකි විය. අද හේන් වගාව පරිසර විනාශයක් ලෙස අර්ථ දක්වා ඇති මුත් එය එසේ නොවන බව ඒ පිළිබඳව සිදු කල අධ්‍යයන වලින් පෙන්වා දිය හැක (ඒ පිළිබඳව කතා කිරීම මෙම ලිපියේ සන්දර්භය ඉක්මවා යෑමක් වන බැවින් සම්පූර්ණ කැලය එලි කර තණකොල ගසක් වත් වැවීමට නොදී සදාකාලිකව පොහොර සහ කෘමිනාශක යොදමින් සිදු කරන තේ වගාවත්, කැලෑ ගිනි තබා (ලොකු ගස් බොහෝ විට විනාශ නොවී ඉතිරි වේ) විවිධ භෝග වවා, එක කන්නයකින් පසු නැවතත් වසර 6 ක් වත් කැලය වැවීමට අතහරින හේන් වගාවත් අතරින් වඩා පරිසර හානියක් සිදුවන්නේ කුමකින්ද යන්න පමණක් සිතා බලන්න)
දොලොස්බාගේ ප්‍රදේශයේ මියන්ගොල්ල සහ බෙරවිල ප්‍රදේශ අතර පිහිටි Pen-Y-Lan තේ වත්ත
19 වන සියවස අවසාන භාගය වන විට උඩ පළාතට අයත් ඉහත කෝරළ දෙකේ සීමාව තුල පිහිටි ගම් වල නොයෙකුත් තොරතුරු මෙතැන් සිට ඉදිරිපත් කරමි. මෙහිදි පෙර සිටි රජවරුන් සහ ප්‍රභූ වරුන් විසින් සිංහල බෞද්ධ ජනයා වැඳුම් පිඳුම් සිදු කල විහාර සහ දේවාල වලට පිරිනැමූ ගම් වලට අයත් ඉඩම් සුදු අධිරාජ්‍යවාදීන් විසින්  අත්පත් කර ගැනීමේ මූලික පියවරක් ලෙස එම ඉඩම් එවැනි ආයතන වලට අයත් ලෙස නොපිලිගත් ආකාරය සහ ඒවා එතෙක් පැවති ලෙසින් රජයට බදු නොගෙවන ඉඩම් ලෙස පිළිගැනීම නැවතූ ආකාරය මෙම ගම් බොහෝමයකදී දැකගත හැක. තවද උඩරට ප්‍රදේශ වලට සංක්‍රමණය වූ ඉස්ලාම් දහම ඇදහූ ජනයා ඔවුන්ගේ ආගමික අනනය්‍යතාවයන්ද පවත්වා ගනිමින් බෞද්ධ විහාර සහ සිංහල බෞද්ධ දෙවිවරුන්ගේ දේවාල ආදියටද සේවා සපයමින් (ඒ වෙනුවෙන් පෙරලා ඔවුන්ට පදිංචියට සහ වගා කිරීමට අවශ්‍ය ඉඩම් ලැබිණි.) සිංහල බෞද්ධ සංස්කෘතිය සමග මුහු වූ හෝ වෙමින් තිබූ ආකාරද හඳුනාගත හැක. (ඉංග්‍රීසි පාලකයන්ගේ විහාර දේවාල වලට අයත් ඉඩම් පවරා ගැනීම සහ ඔවුන් අනුගමනය කල බෙදා වෙන් කර පාලනය කිරීම උදෙසා විවිධ ජන වර්ග වෙනම ජාතීන් ලෙස සලකා ඔවුන්ට කප්පම් දීමේ ක්‍රියා පිළිවෙල නිසා පසුකාලීනව එම ක්‍රියාදාමය ඇන හිටි අතර, සුළු ජන වර්ග, වර්ගවාදය කරා තල්ලු කිරීමද සිදුවිය. එහි  හානිකර ප්‍රථිපල අද දක්වාම දැක ගත හැක.)

දොළොස්බාගේ
උඩ පළාත දිසාවට අයත් දොළොස්බාගේ දකුණින් පස්බාගේ කෝරළයෙන්ද, බටහිරෙන් පාත බුලත්ගම රටින්ද, උතුරින් සතර කෝරළය මහ දිසාවට අයත් පරණකුරු කෝරළයෙන්ද මායිම් වේ. එක් බාගයකට ගම් හතර බැගින් වූ බාග 3 කින් සැදි දොළොස්බාගය මේ ආකාරයෙන් සැදී ඇත.
Craighead Junction - Dolosbage
ගිරාඋල්ල හතරබාගේ 
  • ගිරාඋල්ල - ගම්මුන් විසින් සෑදූ විහාරයක් මෙම ගමේ තිබූ බවත් එයට ඔවුන් පිරිනමා තිබූ පෑල 2 ක ( අක්කරයක පමණ) ඉඩම බදු වලින් නිදහස් කිරීම උදෙසා කල ඉල්ලීම විහාර දේවාල ගම් කොමසාරිස්(Temple Lands Commissioner) විසින් ප්‍රතික්ශේප කල බවත් ලෝරි පවසයි. මෙම ගම තුල වූ කරගල නම් වූ ගමේ කෝවිලක් තිබූ බව සඳහන්ය.
  • මීතලාව
  • පොල්මලගම ගල්පාය නම් වූ කුඩා ගමක් (Hamlet) පොල්මලගම තුල තිබී ඇත.
  • තෙලිහුන්න
මැදගන් හතරබාගේ
  • අම්බලන්පිටිය - හකුරු සෑදීමේ රාජකාරියේ නිරත වූ වහුම්පුර කුලයට අයත් ජනයා ජීවත් වූ ගම්මානයකී. පැල්ලේපිටිය නම් වූ කුඩා ගමක්ද අම්බලන්පිටිය ගම්මානයේ තිබී ඇත.
  • අම්පිටිය යටපාන ගම තුල වූ කුඩා ගමක් ලෙසද හඳුන්වා ඇත.
  • වැටකේදෙණිය - යටපාන සහ අම්පිටිය වෙල් විදානේ යටතේම පාලනය වූ ගමකි.
  • යටපාන - අම්පිටිය, පදුවල, තියඹරා අම්බේ සහ පිටකන්ද මෙම ගමෙහි වූ කුඩා ගම් බව සඳහන්ය. යටපාන පත්තිනි දේවාලයට දිගු කාලයක් අයත්ව තිබූ ලාහ කීපයක් වූ ඉඩම්ද බදු වලින් නිදහස් කිරීමට කල ඉල්ලීම ප්‍රතිශ්ෂේප වී ඇත.
උඩුවැල්ල හතරබාගේ
  • බෙරවිල
  • මියනගොල්ල මියනගොල්ල ගම තුල අළුගොල්ල නම් කුඩා ගමක්ද තිබී ඇත.
  • පට්ටිතලාව
  • උඩුවැල්ල - මෙම ගමෙහි පිහිටි උඩුවැල්ලේ විහාරය නම් විහාරයට අයත් විහාරේවත්ත, හසලන්ගේවත්ත, බෝගහමුල අස්වැද්දුම සහ වෙඬරුපිටියේ ලියැද්ද යන ඉඩම් බදු වලින් නිදහස් කරන ලෙස ඉන්දශ්වර උන්නාන්සේ විසින් කල ඉල්ලීම විහාර දේවාල ගම් කොමසාරිස් විසින් 1858 දී ප්‍රතිශ්ෂේප කල බව සඳහන්ය. මෙහි පැරණි විහාරයක් තිබී එය විනාශ වී තිබී ඇත (ප්‍රතිශ්ෂේප වීමට හේතුව විහාරයක් ඒ වන විට නොතිබීමද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් මෙම ගමේ වෙනත් විහාරයක්ද තිබී ඇත.)
දොලොස්බාගේ 
ලෝරි පවසන ලෙසට 19 සියවසේ අවසාන භාගය වනවිටද දොළොස්බාගේ වැඩි භූමි ප්‍රමාණයක් කෝපි සහ තේ වගාවෙන් යුක්ත විය.1871 වනවිට එහි වතු 28 තිබී ඇති අතර ලෝරි ඒ වනවිට (1896) තිබූ වතු 57 ක ලැයිස්තුවක් ඉදිරිපත්කරයි.
උඩ පලාත දිසාවයට අයත් දැනට හඳුනාගත හැකි 19 ශතවර්ෂය අවසාන කාලයේ තිබූ මෙම ලිපියෙන් විස්තර ඉදිරිපත් කර ඇති කෝරළ තුල පිහිටි ගම් මෙම සිතියමේ ලකුණු කර ඇත. මෙහි නිල් පාටින් දොළොස්බාගේට අයත් ගම්ද. එම යුගය වන විට දොළොස්බාගේද ඇතුලත් කර තිබූ ගඟ ඉහල කෝරළයේ අනෙකුත්ගම් රෝස පාටින්ද, ගඟ පහල කෝරළයේ ගම් කොළ පැහැයෙන්ද පෙන්වා ඇත. මෙම කෝරළ බෙදීම කෙතරම් කඳු පංති සහ ඇල දොළ වල පිහිටීම අදාල කරගෙන සිදු කර ඇත්ද යන්න බලන්න. මෙම සිතියමේ දැක්වෙන ත්‍රිමාන භුවිෂමතාවයන් එකල මේ ආකාරයෙන් දැකගැනීමේ කිසිදු තාක්ෂණික හැකියාවක් නොතිබුනද පැරණි ප්‍රදේශ බෙදීම් එම භූමියේ වූ ලක්ෂණ වලට කෙතරම් අනුකූල ව සිදු කර ඇත්ද යන්න බලන්න. අද මෙරට ඇතැම් බෙදීම් විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ බෙදීම් සිදු කර ඇත්තේ තනි කෙලින් ඉරි ගසා බවට මෙහිදී සිහිපත් කර ගැනීමද වැදගත්ය.
ගඟ ඉහල කෝරළය
උඩ පලාතට අයත් ගඟ ඉහල කෝරළයට දොළොස්බාගේද අයත් වේ. නැගෙනහිරෙන් මහවැලි ගඟෙන්, දකුණින් උඩ බුලත්ගමින්, සතර කෝරළයෙන් බටහිරෙන් සහ ගඟ පහල කෝරලයෙන් උතුරින් එය මායිම් වේ. දොළොස්බාගේ කොටසට අයත් ලෙස ඉහත දැක්වූ ගම්මාන වලට අමතරව පහත විස්තර වන ගම් ගඟ ඉහල කෝරළයේ තිබී ඇත.
  • බෝවතුර - බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත.
  • ගම්පොල වෙලරජ ඇල මගින් වගා කල කුඹුරු සහිත ගමකි. උඩ පලාතට අයත් රජ ඇල විශාල ප්‍රදේශයකට වගාව සඳහා ජලය සැපයූ පැරණි වාරි ව්‍යාපෘතියකි. නටබුන්ව පැවති එහි අමුණ 1855 වසරේදී පානබොක්කේ රටේ මහත්මයාගේ (ජ්‍යෙෂ්ඨ) දැනුම්දීම මත ඉංග්‍රීසි රජය විසින් ප්‍රතිශංස්කරණය කර ඇත. විගුලවත්ත සෙල්ලිපිය මෙම ගම තුල පිහිටා ඇත. විහාරයක් මෙන්ම කළු බණ්ඩාර දෙවියන් උදෙසා වූ කෝවිලක්ද මෙම ගම තුල තිබී ඇත.
  • ගොඩගම - කොටසක් ගඟ ඉහල කෝරලයටද ඉතිරි කොටස ගඟ පහල කෝරලටද අයත් වන ගොඩගම ගම්මානය තුල, අම්බුලුවාව කන්ද පාමුල සිංහයාපිටිය නම් වූ තැනිතලා ප්‍රදේශයේ ගම්පොල රාජධානියේ රජුන්ගේ  පැරණි "නුවර" පිහිටා තිබී ඇත. මෙම ගමේ පිහිටි පොල්වත්තේ විහාරයට රාජපක්ෂ දුරයා නම් පුද්ගලයෙකු විසින් කිසියම් රජකෙනෙකුගේ සමයකදී පිරිනැමූ ඉඩම් සඳහා බදු ගෙවීමෙන් නිදහස් වීමේ ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත.
  • හලගම - බෙරවා කුලයේ ජනයා වාසය කල තැඹිලිගල වසමට අයත් ගම්මානයකි.
  • හතුගොඩ - ප්‍රධාන වශයෙන් බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත.
  • හෙරකොල - බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත.
  • කුඩමකේ - තවත් බෙරවා කුලයේ ජනයා වාසය කල ගම්මානයකි. එරෑගොඩ සහ කුරුකුඩේ කුඩමකේ ගම තුල වූ කුඩා ගම් ලෙස සඳහන් කර ඇත.
  • එරෑගොඩ - කුඩා පත්තිනි දේවාලයක් රෝහල අසල කෑලෑව තුල තිබී ඇත.
  • තැඹිලිගල (උඩු ගම සහ පල්ලේ ගම) - පදුවෝ හෙවත් දුරයෝ කුලයට අයත් ජනයා පල්ලේගම කොටසේද, නිලමක්කාරයෝ උඩගම කොටසේද විසූ බව සඳහන්ය. ගම හරහා රජ ඇල වැටී ඇති අතර, අම්බලමක් සහ තැඹිලියගල දේවාලයද මෙම ගම තුල තිබී ඇත.
  • උලපනේ - ජනප්‍රවාදගත තොරතුරු වලට අනුව උලපනේ සීතාවක රාජසිංහ රජු කල හිඟුරුවත්තේ දිසාවට අයත් නින්දගමකි. එහෙත් රාජද්‍රෝහී අපරාදය යටතේ ඔහුව උල හිඳුවා, ඔහුට අයත් ඉඩම් රාජ සන්තක වූ පසු වර්ෂ 1707 දී පමණ නරේන්ද්‍රසිංහ රජු එම ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් හඟුරන්කෙත මහ දේවාලයට පවරා දී ඇත. උලපනේ ගමේ ගම්මුන් සියල්ලම පාහේ හඟුරන්කෙත දේවාලයේ සේවා සිදු කල මුත් විහාර දේවාලගම් කොමසාරිස් විසින් දේවාලයට අයත් ඉඩම් ලෙස පිළිගෙන ඇත්තේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි.
  • වල්ලහගොඩ - පෙරදී වනවාසගොඩ හෙවත් වල්වාසගොඩ ලෙසින් හැඳින්වූ ඉතා පැරණි ප්‍රදේශයකි. වල්ලහගොඩ විහාරයට අයත් ඉඩම් පිළිබඳව ඉන්දසාර උන්නාන්සේ දැක්වූ අයිතිය විහාර දේවාලගම් කොමිසම විසින් ප්‍රතික්ශේප කර ඇත්තේ එම හිමිකම ඔප්පු කිරීම උදෙසා ඒ හිමියන් සතුව තල්පතක් නොමැති බව කියමිනි. පෙර ගොඩගම නුවර පිහිටි රජ මාළිගයේ දොරටුව දෙපස තිබූ ශෛලමය සිංහ රූප දෙකින් එකක් වල්ලහගොඩ පිහිටි කතරගම දේවාලයේ තිබූ බව ලෝරි පවසයි (අනෙක් සිංහ රූපය සිංහයාපිටිය අම්බලම අසල එවකට තිබී ඇත.)
  • කැන්දගොල්ල
අම්බුළුවාව කන්ද
ගඟ පහල කෝරළය
නැගෙනහිරෙන් මහවැලි ගඟින්, දකුණින් ගඟ ඉහල කෝරළයෙන්, බටහිරෙන් සතර කෝරළයෙන් සහ උතුරින් උඩුනුවර රටින් වට වූ ගඟ පහල කෝරළය තුල තිබූ ගම් ලෙස පහත ගම් හඳුනාගත හැක.
  • බෝවල -  ගබඩාගමක් ලෙස පැවසෙන මෙම ගම තුල සිංහලේ අවසාන රජුට අයත් පුවක් ගබඩා කර තිබී ඇත. මෙහි තිබූ හපුගස්තැන්නේ විහාරය හෙවත් පාලු විහාරය 1858 ට බොහෝ කලකට පෙර අතහැර දමා තිබූ හෙයින් එම විහාරය උදෙසා ඉදිරිපත් කල බදු වලින් නිදහස් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. උපාසකගේ නම් වූ පවුලට අයත් ජනයා එහි බෝ මළුව පිරිසිදු කිරීම ආදී සේවාවන් සිදු කරමින් සිට ඇත. පසුව ඒ අසල අලුත් විහාරයක් ඉදි කර ඇත. උඩපලාතේ මාම්පිටියේ රටේ මහත්මයා මෙම ගම්මානයේ ජීවත් වී ඇත. පහත්කුඹුර නම් වූ කුඩා ගමක්ද මෙම ගම තුල තිබී ඇත.
  • ඇල්පිටිය - රත්වත්තේ දිසාව විසින් අස්වැද්දූ රාජකීය කෙත් සහිත ගමකි. ගල්ගෙඩි ඔය මගින් ජලය සපයන රජ ඇල මෙම ගමටද වගාව සඳහා ජලය සපයයි. සැතපුම් 3 දිග එම ඇලේ අමුණ කිරින්දේ ගම තුල පිහිටා ඇත. බොහෝ කලකට පෙර ගම තුල පදිංචි වූ මුස්ලිම්වරු කිහිපදෙනෙක්ද ඇල්පිටිය ගමේ එවකට සිට ඇත. ඔවුන් රජුට ගැල් වලින් බඩු ගෙන ඒමේ සේවාව (මඩිගේ) සිදුකර ඇත. ඉංග්‍රීසීන් විසින් ඉදි කල කොටුවක්ද ගම තුල කන්දක් උඩ තිබී ඇති අතර එය තිබූ කඳු වැටිය ඔස්සේ මහනුවර සිට ගම්පොල දක්වා වූ පැරණි මාර්ගය තිබී ඇති බව පැවසේ. ගනේගොඩ දේවාලයට අයත් ඉඩම් වල විසූ මෙහි සිටි මුස්ලිම් ජනයා එම දේවාලයට ලුනු සැපයීමේ සේවාව ඉටු කර ඇත. ඇල්පිටියේ වලව්ව පානබොක්කේ පරපුරට අයත් වලව්වකි. මෙම ගමේ විහාරය සතු ඉඩම් සඳහාද බදු වලින් නිදහස් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ශේප වී ඇත. 
  • ගම්පොල - ගඟ පහල කෝරලයට මෙන්ම ගඟ ඉහල කෝරලයටද අයත් වූ ගම්පොල ඒ වනවිටද උසාවියක්, පොලීසියක්, ටෙලිග්‍රාප් කාර්යාලයක්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලි, හින්දු කෝවිල්, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂා පාසැල් , දුම්රිය ස්ථානයක් සහ තානයමක්ද තිබූ නගරයකින්ද යුක්ත විය. මහවැලි ගඟ හරහා එල්ලෙන පාලමක්ද තිබී ඇත.
Gampola Athletic & Cricket Club - Gampola
  • කහටපිටිය - වෙල්ලාල  එනම් ගොවි කුලයේ ජනයා, බඩහැල් කුලයේ එනම් මැටි කර්මාන්තයේ නියැලෙන පිරිස් සහ මුස්ලිම් ජනයා වාසය කල ගමකි.  පානබොක්කේ පරම්පරාවට අයත් පැරණි වලව්වක්ද මෙම ගම තුල තිබී ඇත. පානබොක්කේ රටේ මහත්මයාගේ (ජ්‍යෙෂ්ඨ) සොහොන පවා තිබූ උනම්බුවේ පරම්පරාවට අයත් ගම තුල පිහිටි සුසාන භූමියේ ඒ වන විට චර්ච් මිෂණාරි පාසැලක් (A Church Missionary School) ඉදිකර තිබී ඇත. ප්‍රකට මුස්ලිම් පල්ලියක් කහටපිටියේ තිබී ඇති අතර එහි පිහිටි "මක්කම් සොහොන් ගෙය" මක්කම සිට එහි පැමිණි ශාන්තුවරයෙකුගේ බව පැවසේ. 'බේත්ගේ' හෙවත් රජුගේ වෛද්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත මුස්ලිම් වෙද පරපුරක් උඩුනුවර සිට පැමිණ මෙහි පදිංචි වී සිට ඇත. ඇම්බැක්ක, ගඩලාදෙනිය, ලංකාතිලක, වල්ලහගොඩ සහ වේගිරිය දේවාල වල පෙරහැරවල් දියකැපීමේ කාර්යය සිදු කල බෝතලපිටියේ බෝමළුව මෙම ගම තුල පිහිටා තිබූ අතර මහවැලි ගඟේ පිහිටි පෝරුතොට නම් ස්ථානයේ දියකැපීම සිදු කර ඇත. ජනප්‍රවාද වලට අනුව මෙම බෝමළුවේ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ දේහය ආදාහනය කිරීමද සිදු කර ඇත. නටබුන් තත්වයේ පැවති ගංගාතිලක විහාරයේ 1858 දී කහටපිටියේ රත්නපාල උන්නාන්සේ විහාරාධිපති පදවිය දරා ඇත. උනම්බුවේ මොහොට්ටාල සහ උනම්බුවේ රටේ මහත්මයා ඉල්ලවතුරේ විහාරයට පූජා කල ඉඩම්ද මෙම ගම තුල තිබී ඇත.
ගම්පොල - මාවනැල්ල මාර්ගයට (B279) දිස්වන දොලොස්බාගේ සහ සතර කෝරලය ප්‍රදේශයේ කඳු
  • කිරින්ද - උඩෝවිටකිරින්ද සහ ඇල්පිටිය  කිරින්ද ආරච්චි වසමට අයත් ගම් වේ. කිරින්ද ගමේ ඉඩම් විශාල ප්‍රමාණයක් කිරින්දේ වලව්වට අයත්ව තිබී ඇති අතර එම වලව්වට සේවා සැපයූ වහුම්පුර කුලයේ පිරිස හැරුන විට ගමේ සෙසු පුද්ගලයන් ගොවි කුලයට අයත් පුද්ගලයන්ය. පරාක්‍රමබාහු නම් රජෙකුගේ රාජ්‍ය කාලයේ ලංකාධිකාරි නම් පුද්ගලයෙකු ඉදිකල බව පැවසෙන කිරින්දේ පරණ විහාරය සහ පසු කලක ඉදි කල කිරින්දේ අලුත් විහාරය ලෙසින් විහාර දෙකක් මෙම ගම තුල තිබී ඇත. අලුත් විහාරයේ ඉඩම් ලියාපදිංචියට ඒ වන විටද වසර 23 ක් එම විහාරයේ විහාරාධිපති ධූරය දැරු හලදස්සී උන්නාන්සේ කල ඉල්ලීම 1858 දී ප්‍රතික්ශේප වී ඇත්තේ උන්වහන්සේ සතුව එය තහවුරු කිරීම උදෙසා රජුගෙන් ලද සන්නසක් නොමැති වීම හේතුවෙනි. නමුත් වෙනත් රදලයන් විසින් විහාරයට ඉඩම් පූජා කිරීම් පිළිබඳව වූ සන්නස් 4 ක පරිවර්තන ලෝරි ඉදිරිපත් කර ඇත.
  • කිරපනේ - කිරපනේ මොල්ලිගොඩපිටිය, අගලකුඹුර සහ  ඉල්ලවතුර කිරපනේ ආරච්චි වසමට අයත් ගම් වේ. සිංහයාපිටිය වත්තේ ජෝජ් බර්ඩ් (Mr. George Bird of Sinhayapitiya estate) නම් ඉංග්‍රීසි ජාතිකයෙකු 1834 වසරේදී මෙම් ගමේ කොස් ගසක් මත තිබූ පැලක සිට වන අලි තිදෙනෙකු වෙඩි තැබූ බව ලෝරි පවසයි. එම යුගය වන විටද වන අලි මෙම ප්‍රදේශයේ සැරිසැරූ බව ඔහු එම වෙඩි තැබීම සිදු කලේ වන අලින්ගෙන් ආරක්ෂා වී රාත්‍රිය ගත කිරීම උදෙසා ගම්මුන් විසින් තැනූ පැලක් තුල සිට බව පැවසීමෙන් පැහැදිලි වේ. මහනුවර කතරගම දේවාලයට සහ නියංගම්පාය විහාරයට සේවා ඉටුකල පුද්ගලයන් මෙම ගමේ සිට ඇත.
  • රත්මලකඩුව - විදාන දුරයා කෙනෙකු යටතේ පාලනය වූ ග්‍රාමයකි. නියංගම්පාය විහාරයට හේවිසි සේවාව සැපයූ ජනයා මෙම ගම තුල සිට ඇත.
ගම්පොල-පුපුරැස්ස මාර්ගයට (B125) දිස්වන අම්බුළුවාව කඳු පංතිය. මෙම කඳු පහල පෙදෙසේ ගඟ ඉහල කෝරළය සහ ගඟ පහල කෝරළයට අයත් ගම් පිහිටයි
  • උනම්බුව- වෙල්ලාල හෙවත් ගොවි කුල ජනයා විසූ ගමකි. තෙන්නකෝන් වාසගම සහිත පරම්පරාවට අයත් උනම්බුවේ වලව්ව මෙම ගමේ පිහිටා තිබී ඇත. සිංහලේ අවසාන රජ සමයේ බත්වඩන නිළමේ ධූරය දැරූ නිළමේ වරයෙකු 1818 දක්වාත් මෙම ගමේ වාසය කර ඇති අතර එම වර්ෂ වල සිදුවූ උඩරට නිදහස් අරගලයේදී කැරලිකරුවන් විසින් ඔහුගේ නිවස ගිනි තබා ඔහුව සිර භාරයට ගෙන ඇත.  කිරින්දේ අලුත් විහාරයට ඔහු තෙවරක්ම ඉඩම් ප්‍රදානය කර ඇත. 1804 ඉංග්‍රීසින් සමග යුද්ධයේදී කල සේවය වෙනුවෙන් මෙම ගමේ විසූ කූණමඩුවේ ලේකම් ධූරය දැරූ උනම්බුවේ රාජකරුණා තෙන්නකෝන් වාහල මුදියන්සේ සන්නසක් ලබා ඇත. 1815 ඉංග්‍රීසීන්  පැමිණීමට ටික කලකට පෙර කොත්මලේ රටේ මහත්මයා වූ උඩපලාතේ උනම්බුවේ මොහොට්ටාල ඉල්ලවතුරේ විහාරය ඉදිකර එයට ඉඩම් ප්‍රදානය කර ඇත. මෙම විහාරයේ ඉඩම්  බදු වලින් නිදහස් වීම උදෙසා කල ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත (ලෝරි සඳහන් කරන ආකාරයට ඉල්ලවතුර මුස්ලිම් ගම්මානයකි.) උනම්බුවේ මැද වලව්ව නමින් වූ වලව්වක් පිළිබඳවද ලෝරි සඳන් කර ඇත. උනම්බුවේ ගමේ විසූ මෙවැනි රදල පවුල් වල සාමාජිකයන් විශාල පිරිසකගේ විස්තර ලෝරිගේ වාර්තාවේ ඇතුලත්ය. ඒ අතර මීගමුවේ කොටුවට ප්‍රහාර එල්ලකිරීම පිණිස ශක වර්ෂ 1683 (ක්‍රි.ව. 1761) සිය දේපල දරුවට පවරා ගිය අප්පුහාමි නම් වූ රටේ මහත්මයා පදවිය ලැබූ පුද්ගලයෙකු පිළිබඳවද, එවැනිම දේපල පවරා දඹදිව ගිය (Proceed to the Continent of India) උඩපලාතේ උනම්බුවේ මහන්තගේ පුංචිරාල නම් වූ පුද්ගලයෙකු පිලිබඳවද ආදී වූ සන්නස් සහ තුඩපත් කිහිපයක්ද ලෝරි ඉදිරිපත් කරයි. උනම්බුවේ ගම තුල වූ පැරණි විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජු කල ඉදිකර ඇති අතර එයට උනම්බුවේ දිසාව සහ ගම්මුන් ඉඩම් ප්‍රදානය කර ඇත. පැරණි විහාරය අසලම කඳු ගැටයක් මත 1834 දී එවකට උනම්බුවේ උඩපලාතේ දිසාව විසින් අලුත් විහාරය ඉදි කර ඇත.
  • උඩුපිටිය - ගම්පොල පිහිටි කුඩා ගමකි. මුස්ලිම් ජනයා වාසය කර ඇත.
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898