Showing posts with label Peikkulam Tank. Show all posts
Showing posts with label Peikkulam Tank. Show all posts

Sunday, October 28, 2018

සීගිරිය සොයා ෆෝර්බ්ස් ගිය ගමන සහ තවත් කතා

"අපි පොළොන්නරුවේ සිට මින්නේරිය සහ පෙයික්කුලම් හරහා එන ගමනේදී මෙතුවක් කල් යුරෝපීයයන් විසින් නොදුටු සීගිරි නම් වූ පැරණි අගනුවර නටබුන් සොයාගැනීම උදෙසා පෙයික්කුලම් (Paecolom) හීදී මාර්ගයෙන් දකුණු දිසාවට යොමු උනෙමු. පෙයික්කුලම් සිට කණ්ඩියක් මතින් කොටසක් සහ ඉතිරිය විශාල වැවක වැව් පිටිය මතින් වැටී තිබූ අපගේ ගමන් මගේ සැතපුම් සතරක් පමණ ගිය විට, උදෑසන මීදුම ක්ෂණිකව පහව ගිය මොහොතක, එහි නිශ්චල මතුපිටින් අවට පිහිටි විශාල වනස්පතීන් සමග මුඩු බෑවුම් පැති සහිත සහ මුදුන වන වදුලින් යුතු වූ සීගිරි ගලේ ප්‍රතිබිම්බය දර්ශණය වන ජල තලාවක අද්දර අප සිටින බව වටහා ගතිමු. ..."
සංරක්ෂිත ජල උද්‍යානයේ පොකුණක දිස්වන සීගිරි ගලේ ප්‍රතිබිම්බය
මෙතුවක් කල් අසා තිබු මුත් කිසිදු ඉංග්‍රිසි ජාතිකයෙකු දෑසින් දැක නොතිබූ සීගිරිය නටබුන් නගරය අසලට වර්ෂ 1831 දී මුලින්ම ලගා වූ ඉංග්‍රිසි ජාතිකයා වූ මේජර් ෆොර්බ්ස් බොහෝවිට සීගිරි වැව අසලදී වැව් තලය මතින් එහි ප්‍රතිබිම්බය දිස් වූ අයුරු සිය සිංහලේ එකොළොස් වසරක් (Eleven Years in Ceylon) නම් වූ චාරිකා විස්තර ඇතුලත් ග්‍රන්ථයේ විස්තර කරන්නේ එලෙසිනි. පොළොන්නරුවේ සිට මින්නේරිය හරහා පෙයික්කුලම් දක්වා ෆෝර්බ්ස් ගමන් කල මාර්ගයේ ජෝන් පයිබස් නම් ඉංග්‍රිසී ජාතිකයා වර්ෂ 1762 දී සිංහලේ රජු හමුවීමට පැමිණි ගමනේ විස්තර මෙයට පෙර ලිපි කිහිපයකින් ඉදිරිපත් කලෙමි. (එම ලිපි කියවීමට >>> 1 2 3 ) ඒ ගමනේදී හබරණ අසලදී පයිබස් වලිඹෙහෙල (Friar's Hood) කඳු මුදුන ලෙස වරදවා වටහා ගන්නට ඇත්තේ සීගිරිය විය හැකි යැයි අනුමාන කල හැක. ඒ අනුව සීගිරිය පර්වතය හබරණ ආදී අවට පිහිටි ඇතැම් උස් ස්ථාන වලදී පැහැදිලිව දිස්වන මුත් ෆෝර්බ්ස් එය අසලටම පැමිණ නැවත සොයාගන්නා තෙක්ම මෙරට සිටි ඉංග්‍රිසි ජාතිකයන් වලිඹෙහෙල ලෙසින් වරදවා හඳුනා ගෙන සිටියාදැයි තව දුරටත් සොයා බැලිය යුතුය.
පොළොන්නරුවේ සිට පෙයික්කුලම් වැව දක්වා මාර්ගය මෙහි කොළ පාටින් දක්වා ඇත. එතැන් සිට ෆොර්බ්ස් ගමන් කරන අඩක් කණ්ඩියක් මතින් වැටී තිබූ සහ ඉතිරිය වැව් පිටියක් තුලින් වූ මාර්ගය මේ සිතියමට අනුව හඳුනාගැනීම දුෂ්කර නොවේ. පැරණි සීගිරිය වැව වර්තමානයට වඩා විශාල ප්‍රදේශයක් පුරා පතිර තිබූ බව හඳුනාගෙන ඇති අතර (මෙම පැරණි අඟලේ සිතියමේ එය මැනවින් දැක ගත හැක) ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු වෙනත් අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි 
වැඩි දුරටත් තමන් දුටු දෙය විස්තර කරන ෆෝබ්ස් මෙලෙස පවසයි. "අප නැවතුන ස්ථානයේ සිට මා හට පර්වතය පාමුල ගස් අතරින් මතු වී පෙනෙන  යෝධ ගල් බැමි දැකගන්නට ලැබුනි. ඒ අනුව මෙය අප සොයන ස්ථානය බවට මැනවින් පසක් විය. "
සීගිරිය පිට දියගලට ඔබ්බෙන් දිස්වන ගල් බැමි එහි බටහිර දොරටුව අසලදී
සීගිරි යන්නෙහි තේරුම පිළිබඳව ෆොර්බ්ස් පවසන වැදගත් කරුණක් පිළිබඳව මෙහිදි අවධානය යොමු කල යුතුය. ඔහු විශ්වාස කරන්නේ එහි තේරුම කඳුකර බලකොටුව (Mountain-stronghold or Hill-fort) විය යුතු බවය. උගත් ස්වදේශිකයන් සිහ (Lion) සහ ගිරි (Rock) යන්නෙන් එහි තේරුම සෑදි ඇති බව පවසන බවත්, සීගිරි බලකොටුවේ තැන් කිහිපයකම තිබෙන සිංහ පිලිරූ (Lions sculptured on the different parts of the fortress) නිසා එසේ වන බව ඔවුන් විශ්වාස කරන මුත් එය කොතරම් මනඃකල්පිත සහ මෝඩ මතයක්ද යන්න තමන්ට මෙම ගමනේදී කිසිදු සිංහ රූපයක් හමු නොවීමෙන් සනාථ වන බවත් පවසයි. මෙරට එකම සිංහ රූපයක්වත් හමු නොවන ස්වල්පයක් වන ස්ථාන අතරින් මෙයද එකක් වන බවත් ෆොර්බ්ස් වැඩිදුරටත් සඳහන් කරයි. මේ වන විට සීගිරියේ ඉතිරිව තිබූ සිංහ පාද පස් වලින් යටවී තිබූ අතර පසු කලක එය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ තවත් ඉංග්‍රිසි ජාතිකයකු වූ H.C.P. බෙල්ටය. 1909 දී පිදුරංගල සිට ගෙන ඇති මේ සමග ලිපියේ මුලින් පලවන ඡායාරූපය බෙල්ගේ වාර්තාවකින් උපුටා ගැනිනි. එහි සිංහ පාදය මතු කරගෙන ඇත.)
පර්වතය පාමුල දකුණු දෙසින් ඇති ගල් බැමි
ෆෝර්බ්ස්ගේ විස්තරයේ දැක්වෙන ලෙසට ඔහු ගැලරිය (Gallery) ලෙසින් හඳුන්වන කැටපත් පවුර සහිත ප්‍රාකාරයට මෙපිටින් පර්වතය දෙසට ඇති කොටසේද මද දුරක් ගිය බව පෙනේ. අධික රශ්මිය සමග ඇතිවූ විඩාව හේතුවෙන් ඔහු අතරමග නවතින මුත් ඔහුගේ මිතුරන් දෙදෙනෙක් එහි සැලකිය යුතු දුරක් ගිය බව පෙනේ (ඔහු කැප්ටන් H සහ B මහතා ලෙසින් ඔවුන්ව හඳුන්වයි.) ඒ වන විට යාර 100 පමණ දුරට එම ගැලරියේ ප්‍රාකාරය විනාශ නොවී ඉතිරි වී තිබී ඇත.) එහි එක් තැනකදි පර්වතය මුදුනේ සිට දැඩි වර්ෂාව සහිත කාල වලදී දිය ඇල්ලක් (Cascade) ලෙසට ජලය ගලා එන බවත් දැනට නැගීමට අපහසු පර්වතය මුදුනේ වැවක් ඇති බවට ස්වදේශිකයන්ගේ ජනශ්‍රිතයේ එන සඳහන ඒ අනුව සත්‍ය විය හැකි බවත් ෆොර්බ්ස් පවසයි.  
පර්වතයේ දකුණු දෙසින් බැලූ විට පෙනෙන කැටපත් පවුරේ ඉතිරි වී ඇති කොටස 
වර්ෂ 1833 දීද ෆොර්බ්ස් නැවතත් සීගිරියට පැමිණෙන අතර පර්වතය වටා එහි ඊසාණ දෙසින් සම බිමේ සහ නැගෙනහිර දෙසින් උන්නත මළුවක (Elevated terrace) පිහිටි ලෙසට ඔහු මුල් සංචාරයේදී හඳුනාගන්නා රාජකීය ගොඩනැගිලි වලට අමතරව පර්වතයට උතුරු දෙසින් 'මාලිගාවට' ඔබ්බෙන් පැරණි සීගිරිය නගරයේ නටබුන් ඇති බවට දැනගන්නට ලැබුණ බව පවසයි. එම කොටසේ ප්‍රාකාර සහ අගල් වල නටබුන් ඔහුට හමුවේ. එහි (එනම් පර්වතයට උතුරු දෙසින්) ඉහලම මළුවට පිවිසි විට පර්වතය මුදුනට යෑමට කුඩා පඩි ඇති බවට ඔහුට අසන්නට ලැබේ. එහෙත් කිසිවෙකුට එහි මුදුනට නැගීම උත්සාහ කර බැලීමටවත් නොහැකි තරමින් ඒවා විනාශ වී ඇතැයිද ෆොර්බ්ස් ඔහුට දැනගැනීමට ලැබුනු ලෙසට පවසයි. ප්‍රදේශවාසීන් ඔහුට පැවසූ පරිදි සීගිරිය පර්වතය අවට වලසුන් සහ කොටියන් බහුල අතර ඒ බවට සලකුණුද ඔහුට දැකගන්නට ලැබී ඇත. තවද ඉහත සඳහන් කල B මහතා ගැලරියේ කඩා වැටුන කොටසක් තුලට දණ ගාගෙන යාමේදීද එහි සිටි කොටියෙකු පහලට පැන වනාන්තරය තුලට සැඟව ගොස් ඇත.
කැටපත් පවුර
දෙවන වර සීගිරියට ගිය අවස්ථාවේ ෆොර්බ්ස් හට  ගැලරියට ඉහලින් පිටතට නෙරා ගිය පර්වත කොටසේ ලගාවිය හැකි කොටසේ වැඩි ප්‍රමාණයක් දීප්තිමත් වර්ණයන්ගෙන් පින්තාරු කර තිබූ බවට ලකුණු දැකගන්නට ලැබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ වැහි වතුර ඇතුළු නොවන කොටස් වල එම චිත්‍ර වල කොටස් තවමත් තිබෙන්නට හැකි බවයි ( සීගිරියේ කාන්තා රූප මේ වන විට සොයා ගෙන නොතිබුනි.)

19 වන සියවසේ තුන්වන දශකයේ නැවතත් සීගිරිය නූතන ගවේෂකයන්ට එසේ හමුවන තුරු 5 වන සියවසේ සිටි කාශ්‍යප රජුගෙන් (ක්‍රි.ව. 473-491) පසුව වංශ කතා වල පවා සීගිරිය සම්බන්ධයෙන් හමුවන්නේ ඉතාම සුළු තොරතුරු ප්‍රමාණයක් පමණි. කාශ්‍යප රජුගෙන් පසු එහි සංඝාරාමයක් ඇතිවීම පිළිබඳව මෙයට පෙර ලිපියකින් විස්තර කලෙමි (>>Link). ඉන් අනතුරුව සීගිරිය ගැන සඳහනක් හමුවන්නේ දෙවන සංඝතිස්ස රජුගේ (ක්‍රි.ව. 614) පාලන කාලයේදීය. ඒ රජුට විරුද්ධව කැරලි ගසා බලය ලබාගන්නා රුහුණේ විසූ මොග්ගල්ලාන ඉන්පසුව සංඝතිස්ස රජු, ඔහුගේ පුතණුවන් සහ ඇමතිවරයෙකු සීගිරියට (සීහගිරිං) ගෙන ගොස් හිස් ගසා දැමූ සිදුවීම විස්තර කිරීමේදීය. (මෙම සිදුවීම මෙයට පෙර මලය රට සම්බන්ධයෙන් වූ ලිපියක විස්තරාත්මකව ඉදිරිපත් කලෙමි >> Link) දෛවයේ සරදමක් මෙන් තුන්වන මොග්ගල්ලාන රජුද (ක්‍රි.ව. 614 - 619) මලය රජුගේ පුත් අසිග්ගාහක සමග යුධ වැද රජුගේ සේනාව අතිශයින් දුබලව බිඳී පලාගිය කල්හි පැරදී හුදකලාව සීගිරිය අසලින් යන විටකදී අසිග්ගාහක සහ සේනාව පැමිණ මරා දමයි. 
කැටපත් පවුර සහ ගැලරිය ලෙසින් ෆොර්බ්ස් හඳුන්වන කොටස
සීගිරියට සැතපුම් 6 පමණ වයඹ දෙසින් වියඋල්පත ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශයකින් සොයාගත් අත්තාණි පිරිනැමීමක් සම්බන්ධ වූ දෙවන සේන රජුගේ (ක්‍රි.ව. 853 - 887) සමයට අයත් ලෙස හඳුනාගෙන ඇති ටැම් ලියයක එහි සිරිසංබොය් මපුර්මකා ලෙසින් හැඳින්වෙන දෙවන සේන රජු සහ මහපා විසින් සිහිගිරි බිමැ පිහිටි සාගුණා පන්හලැ (මෙය වර්තමානයේ විහාරස්ථාන හැඳින්වීම යොදාගන්නා පන්සල යන වචනයේ මුල් ස්වරූපයයි ) ට මුක්තීන් පිදීමක් පිළිබඳව සඳහන් වේ. (මුක්තීන් පිදීම පිළිබඳව කියවීමට >>Link ) සීගිරිය පර්වතය පිහිටි මෙම ප්‍රදේශය සිහිගිරි බිම් ලෙසින් එවකට හැඳින්වුන බව ඒ අනුව පැහැදිලි වේ. 
සිහිගිරි බිම්
තම්මැන්න'නුරපුර සීගිරි විජිත පුර
කපුගල් පොළොන්නරු බද පිහිටි පුර වර
පසනූදහස් සිවුලක්සය ගම් පවර
සෑදුණි නොයෙක් කෙත් වත් උයනින් සාර

16 වන ශතවර්ෂයේ රචිත ලෙස සැලකෙන මන්දාරම් පුර පුවත නම් වූ කාව්‍යයයේ පැදි තුනකම එලෙසින් සීගිරි, සීගිරිය  යන ලෙසින් ග්‍රාම නාමයක් ලෙසින් සීගිරිය යන වදන හමුවේ. 

මූලාශ්‍ර
  • Sigiriya, R.H. de Silva, 1976
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මන්දාරම් පුර පුවත, ලබුගම ලංකානන්ද මාහිමිපාණන් වහන්සේගේ සංස්කරණය, 1996
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Archaeological Survey of Ceylon North-Central, Central Provinces And Western Provinces Annual Report 1909, H.C.P. Bell
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume V, Part I Sirimal. Ranawella, 2001
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941

Friday, April 13, 2018

පයිබස්ගේ ගමන් විස්තරය 2 - කවුඩුවාවුළු රටින් මහතලා රටට

ජෝන් පයිබස් නම්වු ඉංග්‍රිසි ජාතිකයෙකු වර්ෂ 1762 දී කන්ද උඩරට කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ රාජ සභාවට යෙදුන දූත ගමනක විස්තර මෙයට පෙර ලිපියකින් ඉදිරිපත් කලෙමි. එම ලිපියෙන් ඔහු ත්‍රිකුණාමලයේ සිට පංගුරාණ නම් වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ස්ථානයක් දක්වා පැමිණීමේදි ඉදිරිපත් කල ඇතැම් විස්තර සම්පිණ්ඩනයක් ඉදිරිපත් කිරීමට මෙන්ම ඔහු ගමන් ගත් මාර්ගය හඳුනාගැනීමට වෑයමක්ද දැරුවෙමි. මේ ලිපිය එතැන් සිට පැරණි මහතලා රට දක්වා ඔහුගේ ගමන් මග පිළිබඳවය. පෙර ලිපිය කියවීමට >> LInk
වර්තමානයේ මින්නේරිය වන උද්‍යානය ට අයත් පයිබස්ගේ ගමන් මග වැටී තිබූ මින්නේරිය වැවේ වැව් පිටිය
මැයි 9 වන දින පෙරවරු 7.30 ට පංගුරාණ ගමින් පිටත්වන පයිබස් සැතපුම් හතරක් පමණ වන වනගත මගක් ඔස්සේ ගමන් කර ඉහත විස්තර වූ කවුඩුල්ල ඔයේ ශාඛාව හරහා ගොස් එම ගමේ සීමාවෙන් නික්මේ. ඉන්පසු ඔහුට ඒ වන විට වසර කිහිපයකින්ම වගා කර නොතිබූ වෙල් යායක් හමුවේ. වෙල් යාය අවසානයේ නැවතත් කවුඩුලු ඔයේ ශාඛාවක් හරහා ගොස් තවත් සැතපුමකින් පමණ නිවාස 20 කින් පමණ සැදි Nottombay නම් වූ ගම්මානයක් හමුවේ. නමුත් ඒ වන විට එම ගම අතහැර දමා තිබී ඇත. එහි සිටි මිනිසුන් තවත් සැතපුම් 2.5 පමණ කැලය තුල වූ ස්ථානයක වසන බව ඔහුට දැනගන්නට ලැබී ඇත. Nottombay ගම මේ වන විට අඟලේ සිතියම් ආශ්‍රයෙන් සොයා ගත නොහැක. අතරමගදී Nottombay සිට විනාඩි 45 වනාන්තරය තුලින් ගිය පසු හමු වන තැනකදී පයිබස්ට Nungadamanah සහ Tritolay යන ගම් වල සිට පැමිණෙන පුද්ගලයන් කිහිප දෙනෙකු හමුවේ. Tritolay ගම මෙම ස්ථානයේ සිට සැතපුම් 14 දුරින් වූ බව පයිබස් පවසයි.
වැඩි අපහසුවක් නොමැතිව Tritolay ලෙස හැඳින්වෙන්නේ ගිරිතලේ ලෙස හඳුනාගත හැක. Nungadamanah යනු නුගගහදමන ලෙසින් තවමත් ව්‍යවහාර වන (පැරණි අඟලේ සිතියම් වලට අනුව) ගම්මානයයි (සිතියම 1 බලන්න) ගං ඉවුරක වූ එම එම ගමෙහි චෝලියාර් වරුන්ගේ (ඉස්ලාම් භක්තිකයන්) නිවාස 10 පමණ එවකට තිබී ඇත. ඉන්පසු විවෘත භූමියක සැතපුම් හයක් පමණ ගොස් නැවතත් වනාන්තර පෙදෙසක් හරහා තවත් සැතපුම් දෙකක් පමණ ගමන් කල පසු ඒ වනවිට වගා නොකරන කුඹුරු යායක් පයිබස්ට හමුවේ. දික් අතට සැතපුම් 1.5 පමණ වූ එම වෙල් යාය අවසානයේ නැවතත් සැතපුම් 4 පමණ දුර වනාන්තර මගක ගොස් වැවක (Lake) පිටාර ජලය ගමන් කරන ගඟක අතු ගංගාවක් තරණය කරයි. පයිබස් පවසන අයුරින් එම වැව [ගිරිතලේ වැව] තරමක දුරකින් ඔවුන්ට තම ගමන් මාර්ගයේදී හමුවිය යුතුය. නුගගහදමන ගමද එම අතු ගංගාවෙන් එගොඩ වූ පසුව ඒ සමගම පාහේ හමුවන බව ඔහුගේ වාර්තාවේ දැක්වෙන විස්තර අනුව පෙනේ.

 නුගගහදමන අසලින් ගමන් කරන උල්පොත ආරු නම් වූ දියපාරක් ගිරිතලේ වැවේ ජලයෙන් වගා කෙරෙන වෙල් වල 'වෙල්පහු ජලය' එකතු කරගනිමින් නික්මෙන ගිරිතලා ඔයට, නුගගහදමන ගම්මානයට ගිණිකොන දෙසින් එකතු වේ. එතැන්සිට එම ඔය වර්තමානයේ හැඳින්වෙන්නේ (අඟලේ සිතියම් වලට අනුව) මින්නේරි ඔය නමිනි. ඒ අනුව පයිබස් පවසන පරිදි ඔහු තරණය කරන්නේ ගිරිතලා වැවෙන් පිටවන ජලය ගලා යන ගඟේ අතු ගංගාවක් හරහාය යන ප්‍රකාශය නිවැරදි බව ඉහත සිතියමෙන් පැහැදිලි වේ. එහෙත් අද වන විට මෙම උල්පොත ආරු සහ මින්නේරි ඔය යන නම් වෙනුවට හතමුණ ඔය යන නම ව්‍යවහාර වන බව Google Map අනුව පෙනි යයි. ගිරිතලා ඔය නමද අභාවයට ගොස් ඇතිවා විය හැක.  එම ගඟ තරණය කල ස්ථානයේ ගඟේ දිය ඇල්ලක් ඇති බව පයිබස්ගේ විස්තරයෙන් පැහැදිලි වේ.
ඉන්පසු නැවතත් වනාන්තර සහ කුඹුරු යායවල් හමුවන මාර්ගයක ගමන් කරන හෙතෙම Villowanay නම් දැනට හඳුනාගැනීමට නොහැකි ගම්මානයක් පසු කර (එම ගමෙහිද ඒ වන විට කිසිවකු සිට නැත.) ගිරිතලේ (Tritolay) දෙසට ගමන් කරයි. ගඟ තරණය කිරීමෙන් පසු මුළු ගමන් මගම එක දිගට වූ නැග්මක් බව පයිබස් පවසයි. ගඟ තරණය කර සැතපුම් 4 පමණ ගිය පසු ඔහු තවත් සැතපුම් 4 පමණ ඈතින් තිබෙන කන්දක් දැක ඇත. එය ඔහු මේ ගමන් මාර්ගයේ කන්දක් දුටු පළමු අවස්ථාවයි. නැවතත් බොරළු පතුලක් ඇති කදිම ජල පාරක් හරහා ගොස් සැතපුම් භාගයක් පමණ ඉහලට නැග ඉන්පසු දැඩි බෑවුම් සහිත කන්දේ ඉතිරි කොටස තරණය කර කඳු ගැටයේ මුදුනට පැමිණි විට අනෙක් පස පහලින් ඇති පයිබස් සිතන ලෙසට 'ස්වභාවික ජලාශයක්' වූ ගිරිතලේ වැව ඔහුට දැක ගැනීමට හැකිවේ. මෙම කන්දේ ගල් කිරිගරුඩ සේ සුදු පාට බව ඔහු පවසයි. මේ සමග ඇති Google Earth ඡායාරූපයෙන්ද පැහැදිලි වන ලෙසට ගිරිතලේ වැවත් නුගගහදමන ගමත් අතර හමු වන කඳු වැටියේ ඉහල කොටස සුදු පාටින් දිස්වන ගල් වලින් සැදී ඇත. මේ හේතුව නිසාම මෙම කඳු වැටිය හැඳින්වෙන්නේ සුදු කන්ද ලෙසිනි. එම කන්ද බැස (අද ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් කිහිපයක් ඉදිවී ඇත්තේ ගිරිතලේ වෑකන්ද සහ සුදු කන්ද ගිරිතලේ දෙසට බෑවුම් වන මෙම ප්‍රදේශයේය.) වැව අද්දරින් යෙදී තිබූ මාර්ගයක සැතපුම් 1.5 පමණ ගොස් පයිබස් එදින නවාතැන් ගන්නේ වැවේ නිරිත දෙසින් පිහිටි ගිරිතලේ ගම්මානයෙහිය.
ගිරිතලේ වැව
මැයි 10 වන දින පස්වරු 4.30 ට ගිරිතලේ ගම්මානයෙන් ගමන් අරඹන පයිබස් ගිරිතලේ වැව පසු කර Paduputtah නම් වූ මින්නේරි වැවේ (Minary Tank) ඊසාන කොනෙහි වූ ගම්මානයකට පැමිණේ. එතැන් සිට නැවතත් මින්නේරි වැවේ ඉවුර දිගේ යන ඔහුට සැතපුම් 20-30 පමණ ඈතින් Fryar's Hood ලෙස ඔහු හඳුන්වන කන්දක් දක්නට ලැබේ.  Friar's Hood ලෙසින් ඉංග්‍රිසින් හැඳින්වූවේ  අම්පාර දිස්ත්‍රික්කයේ බක්කිඇල්ල ප්‍රදේශයේ ඇති වලිඹෙහෙල කඳු මුදුනයි. මින්නේරිය වැව අසලට එම කඳු මුදුන දර්ශනය වීමේ හැකියාවක් නොමැත. එබැවින් නිසැක ලෙසම ඔහු එලෙසින් හඳුන්වන්නේ සැතපුම් 12 පමණ දකුණින් පිහිටි සීගිරිය පර්වතයයි. (මේ සමග ඇති හබරන ප්‍රදේශයට සිගිරිය පර්වතය දිස්වන ආකාරය දැක්වෙන ඡායාරූපය බලන්න) තව දුරටත් මින්නේරි වැවේ ඉවුර දිගේ ගමන් කරන පයිබස් හට Vistugallo නම් වූ මින්නේරි වැව අයිනේ වූ වෙනත් ගමක්ද හමුවේ. චෝලියාර්වරු වාසය කල නිවාස 6-7 පමණ තිබූ එම  ගම්මානයට එදින පස්වරු 6.15 ට පමණ පැමිණි බව ඔහු පවසයි. මින්නේරි වැව වටා වූ මේ ගම්මාන කිසිවක් මේ වන විට හඳුනාගත නොහැක.
හබරන ප්‍රදේශයට සිගිරිය පර්වතය දිස්වන ආකාරය
මැයි 11 දිනද එම ගම්මානයේම නැවතී සිට මැයි 12 වන දින පෙ.ව. 7.45ට ගමන් අරඹන පයිබස් සැතපුම් භාගයක් පමණ ගොස් කැලෑව තුලට ඇතුළු වී ගම්මානයේ සිට සැතපුම් 1.75 ක දුරකදි මින්නේරිය වැවෙන් ජලය එන කුඩා ගංගාවක් ලෙස ඔහු හඳුන්වන දිය පාරක් හරහා ගොස්, එතැන් සිට මද දුරකින් හමු වන වෙල් යායක් අසලදි තවත් එවැනිම මින්නේරිය වැවේ සිට ජලය එන ස්ථානයක් පසු කරයි. නැවතත් පෙ.ව. 8.45 ට පමණ මින්නේරිය වැවේ ශාඛාවක් ඔහුට හමුවේ. එහි ජලය බොහෝ ප්‍රදේශයක් පුරා පැතිර තිබූ බව පයිබස් පවසයි. මේ වන විට ඔහු ගමන් ගන්නා මාර්ගය කඳු මුදුන් පසු කරමින් යන මාර්ගයක් වූ බවද ඔහු සිය වාර්තාවේ සඳහන් කරයි. පෙ.ව. 9.30 පමණ මින්නේරිය වැවේ තවත් ශාඛාවක් ඔහුට හමුවේ. එයද පසු කරමින් ගොස් පෙ.ව. 10.30 ට පමණ මාතලේ දිස්ත්‍රික්කයට (Mateli District) පිවිසෙන පයිබස් ප.ව. 12.30 ට කඳු අතර වූ කුඩා වැවක් අසල නවතී. මගපෙන්වන්නන් ඔහුට පැවසූ පරිදි එම වැව සහ මින්නේරි වැව එකිනෙකට සම්බන්ධිතය.
වන අලින්ට ක්ෂේම භූමියක් වූ මින්නේරිය වැව
මින්නේරියේ සිට පයිබස් ආ මාර්ගය ඉහත විස්තර අනුව අනුමාණ වශයෙන් පහත සිතියමේ ලකුණු කර ඇති ආකාරයෙන් වූවා විය හැක. ඔහු සඳහන් කරන මින්නේරිය වැවෙන් ජලය ගෙන යන එකිනෙකට ආසන්නව වූ ඇල මාර්ග දෙක (සිතියමේ 1 සහ 2 ලෙස සලකුණු කර ඇත.) මෙන්ම බොහෝ ප්‍රදේශයක් පුරා පැතිර තිබූ මින්නේරිය වැවේ ශාඛාව  ලෙස ඔහු හඳුන්වන ස්ථානයද (මෙය බටු ඔය මින්නේරිය වැවට වැටෙන ස්ථාන විය හැක. [(අංක 3)]) එලෙස හඳුනා ගත හැක. වර්තමාන මින්නේරිය-හබරන මාර්ගයට  සමාන්තරව බොහෝ විට මින්නේරිය වැවට දැනට වඩා ආසන්නව පැරණි මාර්ගයද තිබූ ආකාරයක් ඒ අනුව අපට දිස්වේ. ඉදිරියේදි හඳුනාගත හැකි වෙනත් ස්ථාන හා සසඳා බැලීමේදි වර්තමාන මාර්ගය වැටි ඇති අයුරින් හබරණ දෙසට නොයා තවදුරටත් මින්නේරිය වැවට සමාන්තරව එයට බටහිර දෙසින් පයිබස් ගිය මාර්ගය දකුණු දෙසට ගමන් කල බව උපකල්පනය කල හැක. එසේම පැරණි සිතියම් වල එවැනි මාර්ගයක්ද කඩින් කඩ ලකුණු කර ඇත. ඒ අනුව පයිබස් සඳහන් කරන ඔහු පසු කරන මින්නේරිය වැවේ අනික් ශාඛාව බටුඔය කන්ද සහ මින්නේරිය කන්ද අතර වූ කපොල්ල තුලින් මින්නේරිය වැවට ගලා බසින තල්කොටේ ඔය, ඊරිගේ ඔය, කිරි ඔය ඇතුළු ඔයවල් කිහිපයක් එකතු වී සෑදෙන දොළපාර විය හැක. (සිතියමේ අංක 4)
උපකල්පිත පැරණි මාර්ගය - රතු පාටින් දැක්වෙන්නේ පැරණි අඟලේ සිතියම් වල සලකුණු කර ඇති මාර්ග වන අතර කොළ පාටින් උපකල්පිත මාර්ග දක්වා තිබේ
මාතලේ කඩඉම්පොතේ සඳහන් පැරණි මහතලේ රටට වර්තමාන මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හැර ඉතිරි කොටස සහ ඇතැම්විට මහනුවර සහ පොළොන්නරුව දිසා වලින් කොටසක්ද අයත්වි තිබෙන්නට ඇති බව කඩඉම්පොත් විමර්ශනය කෘතියේ H.A.P. අභයවර්ධන මහතා සඳහන් කරයි. ඒ අනුව පයිබස් මාතලේ රටට පිවිසි ස්ථානය අඩු වැඩි වශයෙන් ඉහත අප සලකුණු කල මාර්ගය වර්තමාන මාතලේ දිසාවට යොමුවන ස්ථානය ලෙස අනුමාණ කල හැක. පයිබස් මදක් නැවතී සිටි කඳු අතර වූ කුඩා වැව වර්තමානයේ පෙයික්කුලම් ලෙස හැඳින්වෙන වැව විය හැක. පයිබස්ට මග පෙන්වන්නන් පැවසූ පරිදි එය කිරි ඔය හරහා මින්නේරිය වැව සමග සම්බන්ධ වේ.
පේක්කුලම් වැව දක්වා උපකල්පිත මාර්ගය. නිල්පාටින් දක්වා ඇත්තේ වර්තමාන මාතලේ දිස්ත්‍රික් මායිමයි.
මින්නේරියේ සිට නිම්න භූමි ඔස්සේ විහිදුන එම උපකල්පිත මාර්ගය පහත සිතියමින් තව දුරටත් පැහැදිලිව පෙන්වා දිය හැක. එතැන් සිට කන්ද උඩ රට දක්වා පයිබස්ගේ ගමන් විස්තරය අපි ඉදිරියේදි විමසා බලමු.

මූලාශ්‍ර
  • The Pybus Embassy to kandy, 1762, Transcribed with notes by R. Raven-Hart, Editor, P.E.P. Deraniyagala, Reprinted 2001
  • කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • Ancient Irrigation Works in Ceylon, Part One, R.L. Brohier, 1934