Showing posts with label Yapahuwa. Show all posts
Showing posts with label Yapahuwa. Show all posts

Saturday, July 25, 2020

කුරුණෑගල රාජධානියේ බුවනෙකබාහුලා, බුවනෙකබාහුගේ මුස්ලිම් බිසව සහ බුවනෙක බාර් පුතානෝලා

කාලිංග මාඝ ආක්‍රමණයත් සමග අනුරාධපුරය සහ පොළොන්නරුව පදනම් කරගනිමින් සියවස් ගණනාවක් පුරා පැවතුන සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය සහ එහි අගනුවර ක්‍රමයෙන් දිවයිනේ වයඹ දිසාව දක්වා පසු බැසීමක් මෙරට ඉතිහාසය පිළිබඳව හැදෑරීමේදි පෙනි යයි. 13 වන සියවසේ ආරම්භ වූ මේ ක්‍රියාදාමයට පොරොතුව මෙම ප්‍රදේශ වල ජනයා නොසිටි බවක් මින් ගම්‍ය නොවේ. එලෙසම රජරට ප්‍රදේශ වල සිටි සියලුම පොදු ජනයා එම ප්‍රදේශ වලට මෙම යුගයේ සංක්‍රමණය වූ බවක්ද අපට පැවසිය නොහැක. ආක්‍රමණික විදේශ පාලනයක් යටතේද ඔවුන් බොහෝ දෙනෙක්, ඇතැම් විට රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ සිංහල ප්‍රභූ පැලැන්තිය පවා එම ප්‍රදේශ තුල මාඝ (ක්‍රි,ව, 1215-1236යටතේ තව දුරටත් රැදී සිටින්නට ඇත. එසේම මෙම යුගයට පෙර සිටම වර්තමාන කුරුණෑගල, පුත්තලම, මාතලේ, මහනුවර, කොළඹ, කළුතර, කෑගල්ල, ගම්පහ වැනි දිස්ත්‍රික්ක වල ජනතාව විසූ බවට මේ ප්‍රදේශ වල හමුවන එම පෙර යුග වලට අයත් සෙල්ලිපි, වාරිමාර්ග පද්ධති සහ වංශ කතා තොරතුරු දෙස් දෙයි. නමුත් විවිධ හේතූන් නිසා ජනඝනත්වය සාපේක්ෂව වියලි තැනිතලා භූමියක් වූ රජරට සහ රුහුණු රට වලට වඩා එවකට මායා රට නැතහොත් දක්ෂිණ දේශය සහ මධ්‍යම කඳුකරයේ ඉහල කඳු නිම්න අයත් වූ මලය රට ලෙසින් හැඳින්වූ ප්‍රදේශයේ ඉහල අගයක් නොගත් බව සිතිය හැක.

මෙම යුගයේ වර්තමාන යාපහුව හෙවත් මහාවංශයේ සඳහන් වන ලෙසට සුබ පබ්බතය මත්තෙහි ආලකමන්දාව වන් නගරයක් ඉදිකර සුභ නම් සෙන්පතියෙක් මාඝගේ බල ප්‍රදේශය ආසන්නයේම සිට ඔහුට එදිරිව එම ප්‍රදේශයේ සිටි ජනයාට රැකවරණය සැපයීහ. එසේම විජයබාහු නමින් වූ රජ කෙනෙක් පොළොන්නරුවෙන් පසු අගනුවර ලෙස ජම්බුදෝණි හෙවත් දඹදෙණිය පදනම් කරගනිමින් කුඩා කුඩා වන්නි රජවරුන්ගේ ප්‍රදේශ යටත්කරගනිමින් සිය අණසක මාඝට යටත් නොවූ ප්‍රදේශ දක්වා විහිදුවමින් සිටියහ. හෙතෙම අප රාජාවලියේ තුන්වන විජයබාහු (ක්‍රි,ව, 1232-1236) ලෙසින් හඳුනාගැනේ. ඔහු විසින් ආරම්භ කල දඹදෙණි යුගය ලෙසින් හැඳින්වෙන යුගයේ  දේශපාලන සිදුවීම් සම්බන්ධව විමසා බැලීමට මෙහිදී අදහස් නොකරන මුත් අපගේ ප්‍රස්තුතයට අදාල කුරුණෑගල යුගයට මෙහි අදාලත්වය වනුයේ එම යුගයට අයත් රජවරුන්ද එම දඹදෙණි රජ පරපුරේම දිගුවක් හෙවත් ඔවුන්ගෙන්ම පැවත එන්නන් බැවිනි.

දඹදෙණි රජ පරපුරේ වැඩි කාලයක් යාපහුවේ සිට රාජ්‍යය විචාල  පළමුවන බුවනෙකබාහු රජුගේ (ක්‍රි,ව, 1272-1284) පුත්‍රයා මුල් වරට හස්තිසේලපුර සිය රාජධානිය පිහිටුවා ගත් බව මහාවංශයේ සඳහන් වේ. ඔහුද බුවනෙකබාහු නම් වූ හෙයින් මෙරට රාජාවලියේ හෙතෙම දෙවෙනි බුවනෙකබාහු (ක්‍රි,ව, 1293-1302) ලෙසින් හැඳින්වේ. ඇතැම් මහාවංශ පිටපත් වල එන ලෙසට හෙතෙම ඔහුට පෙර දඹදෙණි යුගයේම පොළොන්නරුව අගනගරය ලෙස තබාගෙන රජ වූ තුන්වන පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි,ව, 1287-1293) යුවරජ ලෙස කටයුතු කර ඇත. මීට පෙර ආර්ය චක්‍රවර්තීන් (අරියසක්විති) විසින් මෙරට ආක්‍රමණය කර පඬි රටට ගෙනගොස් තිබූ දළදාව එම තුන්වන පරාක්‍රමබාහු රජ මහාවංශ කතුවරයා කියන ලෙසට කිසියම් උපායකින් මෙරටට ගෙනවිත් පොළොන්නරුවේ දළදා මැදුරේ තැන්පත් කර තිබී ඇත. ඇතැම් ඉතිහාඥයන් අනුමාණ කරන පරිදි 3 පරාක්‍රමබාහු රජු පඬි රජුගේ (මාරවර්මන් කුලශේඛර) යටත් රජෙකු ලෙස මෙරට පාලනය කල බවක් වංශ කතාවේ එන එම තොරතුරු විමසා බලනවිට පෙනේ. 3 පරාක්‍රමබාහු රජ සහ ඔහුගේ යුව රජ වූ බුවනෙකබාහු රජ අතර කිසියම් ගැටීමක් තිබූ බවද මේ යුගයට ආසන්න කාලයකදී එනම් ක්‍රි.ව. 1325 දී රචිත දළදා සිරිතේ සඳහන් වන ශ්‍රී නිවාසබාහු අද්වීතීය භුවනෙකබාහු නම් රාජෝත්තමයන් (එනම් දෙවන බුවනෙකබාහු) සිය සේනාව සමග පොළොන්නරුවට ගොස්, තම බලය පෙන්වා දළදාව තම නුවරට ගෙනා බව සඳහන් කිරීමෙන් පැහැදිලි වේ. ඉහත උපකල්පනය නිවැරදි නම් මෙහිදි 2 බුවනෙකබාහු රජු හට මෙරට නිරිත දිග ප්‍රදේශයේ විසූ ජනයාගේ සහය ඒ වනවිට ජනහීන වෙමින් පැවති රජරට ප්‍රදේශ වල සිටි, එසේම පාණ්ඩ්‍ය දේශයේ රජුගේ යටත් රජෙකු බවට පත්වූ (එය එසේ වී නම්) 3 පරාක්‍රමබාහු රජුට වඩා තිබෙන්නට ඇත. ඉහත සඳහන් කල මහාවංශ ඇතැම් පිටපත් වල පමණක් හමුවන බව පැවසෙන ගාථාවේ වැඩිදුරටත් සඳහන් වන 3 පරාක්‍රමබාහු රජු කරණවෑමියකු ලවා සිය යුවරජුගේ එනම් බුවනෙකබාහු රජුගේ ඇස් ගලවාදැමීමට නියෝග දුන් බව වන සඳහනද මේ අදහස තවත් ශක්තිමත් කිරීමට ඉවහල් වේ. වංශ කතාව එයට වඩා දෙයක් මේ පිළිබඳව සඳහන් නොකරන බැවින් එම උත්සාහය ව්‍යවර්ථ වී බුවනෙකබාහු රජු කුරුණෑගලට පැනගොස් නැවත පොළොන්නරුව ආක්‍රමණය කර දළදාව රැගෙන සිය නුවරට ගොස් තුන්සිංහලේම රජු ලෙසට ඔහුගේ පදවිය ශක්තිමත් කරගත්තා විය හැකි බවට අපට සිතිය හැක.
සිංහල බෝධි වංශයේ දෙවන බුවනෙකබාහු රජ 'සකල ලංකාරාජ්‍යස්ථාපනාචාර්ය' ලෙසින් හඳුන්වන්නේ මේ අකාරයෙන් නැවතත් මෙරට එක්සේසත් කල හෙයින් විය හැක. මෙම අවස්ථාවේ බුවනෙකබාහු රජු සිය මස්සිනා වූ (දෙවන බුවනෙකබාහු රජුගේ පියා වන පළමුවන බුවනෙකබාහු සහ තුන්වන පරාක්‍රමබාහුගේ පියා වන සිව්වන විජයබාහු (ක්‍රි,ව, 1270-1272) සොහොයුරන් වන අතර  ඔවුන්ගේ පියා දඹදෙණි රජ පරපුරේ සමාරම්භකයා වන තුන්වන විජයබාහුගේ පුත් වූ දෙවන පරාක්‍රමබාහු (ක්‍රි,ව, 1236-1270) වේ.) තුන්වන පරාක්‍රමබාහු රජු මැරූ බවක් මේ කිසිදු මූලාශ්‍රයක සඳහන් නොවන හෙයින් ඔහු ඇතැම්විට පොළොන්නරුවේ සිට ප්‍රාදේශීය රජෙකු ලෙස ගරා වැටී තිබූ වැව් අමුණු පිලිසකර කරමින්, නැවතත් පැරණි ශ්‍රී විභූතිය රජරටට ගෙන ඒමට අවසන් එහෙත් අසාර්ථක උත්සාහයක් දරන්නට ඇත. එහෙත් හස්තිසේලපුර හෙවත් වර්තමාන කුරුණෑගල කෙන්ද්‍රකරගනිමින් සිංහල බෞද්ධ ශිෂ්ඨාචරය දිවයිනේ නිරිත දිග තහවුරු කිරීමේ බුවනෙකබාහු රජුගේ උත්සාහය වඩා සාර්ථක වෙමින් තිබිණ. දෙවන බුවනෙකබාහු රජු සිය අගනගරය ලෙස කුරුණෑගල තෝරාගත්බව මහාවංශයට අමතරව අස්ගිරි තල්පත, සුළු රාජාවලිය සහ සුළු පූජාවලිය වැනි වෙනත් මූලාශ්‍ර වලද සඳහන් වන මුත් 1395/96 ට පසු කල රචිත ලෙස හඳුනාගන්නා නිකාය සංග්‍රහය සහ 16 වන සියවසේ කෘතියක් වන රාජරත්නාකරය පවසන්නේ  ඔහු යාපහුවේ සිට රාජ්‍යය විචාල බවය (Gunasinghe, P.A.T., 1987). මෙයට පෙර පළමුවන බුවනෙකබාහු රජ යාපහුව අගනගරය ලෙස තෝරාගත් මුත් ඉන්පසුව පැවති දේශපාලන කැලැඹීම් සහිත කාල සීමාවේදී වියලි කලාපයේ වූ යාපහුව ප්‍රදේශයේ ජලසම්පාදන ව්‍යාපෘති මේ වන විට නැවතත් අබලන් වී පවතින්නට ඇත. එයට සාපේක්ෂව අහස් දියෙන් හා සාමාන්‍ය ජනයාට නඩත්තු කල හැකි මට්ටමේ වූ කුඩා වැව් මගින් වගා කල වර්තමාන කුරුණෑගල සහ එයට ආසන්න කෑගල්ල දිස්ත්‍රික්ක වල කෙත් වතු ගම්බිම් ආශ්‍රිතව මේ වන විට ජනගහණය සංකේන්ද්‍රණය වීම හේතුවෙන් යාපහුවට වඩා කුරුණෑගල එම ජනතාව පදනම් කරගත් නව ජනපද වලට වඩා සුදුසු අගනුවර වන්නට ඇති බව සිතිය හැක. එහෙත් මේ යුගයේ වූ යාපහුව සහ දඹදෙණිය වැනි අගනුවරවල් සම්පූර්ණයෙන් අතහැර දැමූ බවක් එයින් අපට නිගමනය කල නොහැක. ද්විතීයක අගනුවරවල් ලෙසින් ඒවාද ඒ වනවිටත් පැවතෙන්නට ඇති අතර ඉහත මූලාශ්‍ර වල එන සඳහන් වලට එම හේතුව පදනම් වන්නට ඇති බව සිතිය හැක. අනෙක් අතට මහාවංශයේ මෙම කොටස රචනා කල කාලය එම මූලාශ්‍ර වලට වඩා මෙම සිදුවීම් සිදු වූ කාල සීමාවට ආසන්න බැවින් එහි විශ්වාසනීයත්වය වැඩිවේ (කුරුණෑගල රාජාවලිය සම්බන්ධ මෙම ලිපියේ බොහෝ තොරතුරු එම යුගය පිළිබඳව සිය ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණාත්මක ග්‍රන්ථයක් කල P.A.T. ගුණසිංහ මහතාගේ කෘතිය ආශ්‍රයෙන් වන අතර නිකාය සංග්‍රහය සහ රාජරත්නාකරයේ එන බව එතුමා පවසන බුවනෙකබාහු රජුගේ අගනුවර යාපහු නුවර වූ බව පැවසෙන සඳහනද මෙහිදී සාකච්චා වනුයේ ඒ බව ඔහු භාවිතා කල එම  ග්‍රන්ථ පිටපත් වලවූ බවට පැවසෙන හෙයිනි. එහෙත් මේ ලිපිය සඳහා අප පරිශීලනය කල රාජරත්නාකර මුද්‍රිත පිටපත් දෙකකම ඒවායේ ශ්‍රී නිවාසි අද්විතීය බාහු ද්විතීය භුවනෙකබාහු නම් වත්හිමි භුවනෙකබාහු ලෙසින් හැඳින්වෙන දෙවන භුවනෙකබාහු රජුගේ අගනුවර ගැන සඳහන් නොවේ. එසේම නිකාය සංග්‍රහයේ යාපහු නුවර නිවාසි ලෙසින් මූලිකවම සඳහන් වන්නේ පළමුවන භුවනෙකබාහු රජ (මහා භුවනෙකබාහු ලෙසින්) පිළිබඳව පමණි. ඉන්පසු පොළොන්නරුව අගනුවර කරගත් 3 පරාක්‍රමබාහු සහ මෙම දෙවන භුවනෙකබාහු (වත්හිමි භුවනෙකබාහු ලෙසින්) රජ පිළිබඳව නාමයන් පමණක් සඳහන් කර හස්තිශෛලපුර(එනම් කුරුණෑගල)  නිවාසී ලෙසින් දෙවන භුවනෙකබාහුගෙන් පසු කුරුණෑගල රජ වූ පණ්ඩිත පරක්‍රමබාහු පිළිබඳව සඳහන් වේ.)

කෙසේ නමුත් සියළුම මූලාශ්‍ර වල නිශ්චිතවම සඳහන් වන්නේ දෙවන භුවනෙකබාහුගෙන් පසු ඔහු පුත් සිව්වන පරාක්‍රමබාහු රජ (ක්‍රි,ව, 1302-1326) කුරුණෑගල අගනුවර ලෙස තබාගනිමින් රාජ්‍යත්වයට පත්වූ බවයි. දළදාසිරිත නම් වූ සිංහල ග්‍රන්ථයක්ද හෙතෙම සිය නුවණින් කල බව පවසන මහාවංශය මෙම යුගයේ අන් රජවරුනට වඩා දීර්ඝ විස්තරයක් සිව්වන පරාක්‍රමබාහු රජු පිළිබඳව ඉදිරිපත් කරයි. පාලි භාෂාවෙන් රචිත ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කිරීම කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වූ මෙතුමාගේ පාලන කාලයේදී පන්සිය පනස් ජාතකය සිංහලට පරිවර්තනය වීමද සිදුවිය. එම රජු විසින් සිදු කල කාර්යයන් සම්බන්ධව මහාවංශ විස්තරයේ එන ස්ථාන සියල්ලම පාහේ දැනට ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, මහනුවර වැනි දිස්ත්‍රික්ක වල පිහිටි ලෙස හඳුනාගත හැක. වර්තමාන අනුරාධපුර, පොළොන්නරු දිස්ත්‍රික්ක හෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරට වන්නට පිහිටි ප්‍රදේශ පිළිබඳව මෙම රජතුමාගේ ක්‍රියාකාරකම් නොමැතිවීම සම්බන්ධව සිය අවධානය යොමු කරන P.A.T. ගුණසිංහ මහතා එමගින් ඔහුගේ බල ප්‍රදේශය දෙවන භුවනෙකබාහු යුගයට වඩා ක්‍රමයෙන් අඩුවීමක් පිළිබිඹු කරන බවට අනුමාණ කරයි.

සිව්වන පරාක්‍රමබාහු රජු බෝදා නම් වූ මහාදිපාදවරයෙක් විසින් ඝාතනය කල බවට 18 වන සියවසට අයත් තඹ සන්නසක් වූ  මැදවල සන්නසෙහි සඳහන් වේ. වංශ කතාව ඔහුගේ ඇවෑමෙන් වන්නි භුවනෙකබාහු සහ ඔහුගෙන් පසු මහත් බලවත් විජයබාහු රජු එනම් සවුළු විජයබාහු හෙවත් පස්වන විජයබාහු (ක්‍රි,ව, 1335-1341) කුරුණෑගල රජ වූ බව විනා වැඩි යමක් පවසන්නේ නැත. විජයබාහු රජුගෙන් පසු සිව්වන බුවනෙකබාහු (ක්‍රි,ව, 1341-1351) රාජධානිය ගම්පොලට රැගෙන ගිය බව මහාවංශය පවසයි.

සිව්වන පරාක්‍රමබාහු සමගින් දඹදෙණි රජ පරපුර අවසන් වන අතර ඔහුට පසුව රාජ්‍යත්වයට පත්වූ වන්නි බුවනෙකබාහු පිළිබඳව පැහැදිලි තොරතුරු කිසිදු මූලාශ්‍රයකින් හමු නොවේ. නමුත් ඔහු අනුරාධපුර ප්‍රදේශයේ සිටි වන්නි රජෙකු විය හැකි බවත්, සිව්වන පරාක්‍රමබාහුව ඝාතනය  කරන බෝදා මහදිපාදවරයාද ඔහුම විය හැකි බවත් P.A.T. ගුණසිංහ මහතා තවත් තොරතුරු පාදක කරගනිමින් තර්ක කරයි.

වන්නි බුවනෙකබාහුගේ මුස්ලිම් බිසව සහ වස්තුහිමි කුමාරයා
වංශ කතාව නිහඩ අවස්ථා වලදී එම අඩුව ජනප්‍රවාදයෙන් පිරවෙන අවස්ථා අපට බොහෝවිට හමුවේ. බොහෝ වෙනස් ආකාරයේ ජනප්‍රවාද කිහිපයක්ම වන්නි බුවනෙකබාහු රජු වටා ගෙතී ඇත. එම සියල්ලෙහි ඇතුලත් වන මූලික කරුණු කිහිපයක් මෙසේ පෙලගැස්විය හැක. මෑතකදී කුරුණෑගල බුවනෙකගේ බාර් එක සම්බන්ධ සිදුවීමේදී අගමැතිතුමන් විසින් සිදු කල ප්‍රකාශයක්ද මෙරට 'බුවනෙක බාර්' බුකී අපත කැල දේශපාලන මඩ ව්‍යාපාරයට යොදා ගන්නා ආකාරය අපට දැකිය හැකි විය. අගමැතිතුමා ප්‍රකාශ කලේ බුවෙනෙකබාහු රජුට බිසෝවරුන් 5 ක්ද කොහෙද සිටිය බවත් ඉන් එක් බිසවක මුස්ලිම් වූ බවත් පමණි. අපතයන් එය ඔවුන්ට ඕනෑ අයුරින් අර්ථකතනය කල අතර එම බුවනෙක බාර් පුතානෝලාට අනුව එය බුවනෙකබාහු රජුට අපහාස කිරීමක් මෙන්ම මුස්ලිම් බිසව ගැන කීම ජාතිවාදි ප්‍රකාශයක්ද විය. තවදුරටත් මේ බුවනෙකබාර් ලාට අනුව එය අර කෙහෙල්මල් රාජ සභාව යැයි කියන ගණිකා මඩම කැඩීම සාදාරණීකරනය කිරීමක්ද විය (පුරාවිද්‍යා කොමසාරිස්තුමා මෙය පැරණි බුවනෙකබාහු රාජ සභාව බවට පැවසෙන කතාව ජනප්‍රවාදයක් පමණක් බව පවසන මුත් මොඩර්ගේ විස්තරයේ මෙම කඩාදැමූ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විස්තර ඇති බව පවසන්නේ කිසිසේත්ම එය කියවා බලා විය නොහැක. මක් නිසාද යත් එම මොඩර්ගේ විස්තරයේ එන ගොඩනැගිලි දෙකම මෙම ස්ථානයේ නොව එයට ඈතින් පිහිටි වර්තමාන ආණ්ඩුකාර කාර්යාලය සහ බ්‍රිතාන්‍ය යුගයේ කච්චෙරිය බව පැහැදිලිව සඳහන් කර ඇති බැවිනි. වැඩි විස්තර සඳහා පෙර ලිපිය කියවන්න.Link >> .මේ සම්බන්ධ මොඩර්ගේ ලිපි දෙකෙහිම මූලාශ්‍ර පහත දී ඇත.)  එහෙත් මුන් නොදන්නා කාරණය නම් වන්නි බුවනෙකබාහු රජුට ජනප්‍රවාදයට අනුව බිසෝවරු 5 ක් නොව හැට හතරක්ම සිටි බවත්, එයින් එක් බිසවක් මුස්ලිම් වූ බවත්ය (ජනප්‍රවාදයට අනුව ඇය අස්වැද්දුම ලෙසින් හැඳිවෙන වර්තමානයේද මුස්ලිම් ජනයා වෙසෙන ගම්මානයේ සිටි අයෙකි). මේ ඊණියා ජාතිවාදීන්ට එය ප්‍රශ්නයක් වුවද සියවස් ගණනාවක් මෙරට සිංහල ජනයා සමග සබදතා පැවත්වූ මුස්ලිම් ජන වර්ගයට අයත් බිසවක් ඇත්තටම වන්නි බුවනෙකබාහු රජුට සිටියේ නම් එය අපට නම් ගැටලුවක්ද නොවේ. රජුට බිසෝවරු 64 නොව 500 සිටියද එයද එකල පැවැති සම්ප්‍රධාය දන්නා අපට විමතියට කරුණක්ද නොවේ. කෙසේ නමුත් ජනප්‍රවාදය දිව යන්නේ මෙසේය. එම මුස්ලිම් බිසවට රජුට දාව වස්තුහිමි නම් පුත්‍රයෙකු සිටියහ. එසේම රජුගේ ප්‍රධාන බිසවට පරාක්‍රමබාහු නම් පුත්‍රයෙකුද සිටියහ. වන්නි බුවනෙකබාහු රජුගෙන් පසුව එම වස්තුහිමි කුමාරයා රාජ්‍යය පැහැරගන්නා මුත් ඇමැතිවරුන් ඔහුව උපායකින් කන්දක් උඩට ගෙනගොස් පහලට තල්ලු කර මරා දමා ඒ වානවිට සැඟවී සිටි රාජ්‍යට නියම හිමිකරුවා වන පරාක්‍රමබාහු කුමරාට රජ කම ලබා දේ. ඉතාම සැකවින් එම ජනප්‍රවාදය එසේය. මේ වස්තුහිමි රජු මැරෑ ගල ඇතුගල ලෙස ඇතැම් ජනප්‍රවාද වල සඳහන් වන අතර ඇතැම් මූලාශ්‍ර වලට අනුව වෙනත් ස්ථානද සඳහන් වේ. කුරුණෑගල විස්තරයේ සඳහන් වනුයේ ඉන්පසු එම පරාක්‍රමබාහු කුමාරයා පණ්ඩිත පරාක්‍රමබාහු නමින් කුරුණෑගල අතහැර දඹදෙණිය සිය රාජධානිය බවට පත් කරගත් බවයි. කුරුණෑගල කච්චේරිය අසල වූ මුස්ලිම් පූජකයන් විසින් සේවා සපයන සොහොන් ගලක් සහිත දේවාලයක අදටත් එය වස්තුහිමි රජුගේ සොහොන ලෙසින් පූජා පවත්වන බව පැවසේ (දැනට ගලේ බණ්ඩාර දේවාලය ලෙසින් හැඳින්වෙන්නේ එම දේවාලය වන අතර මොඩර් පවසන්නේ ඇතුගලින් තල්ලු කල වස්තුහිමි කුමාරයාගේ සිරුර පතිත වී ඇත්තේ එම ස්ථානයට බව ජනප්‍රවාදයේ පැවසෙන බවය.)

මේ පරාක්‍රමබාහු කුමාරයා හඳුනාගැනීමට උත්සාහයක් දරණ P.A.T. ගුණසිංහ මහතා ඔහු දැදිගම රාජධානියේ සිටි බවට මූලාශ්‍ර කිහිපයකින්ම තොරතුරු හමුවන පරාක්‍රමබාහු රජු විය හැකි බවත්, මෙම ගැටුම් හමුවේ පස්වන විජයබාහු රජු කුරුණෑගල අගනගරය අල්ලා ගන්නට ඇති බවත්, එහෙයින් පරාක්‍රමබාහු රජු මුලින් දඹදෙණියටත් පසුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දඹදෙණි රාජධානියේ ද්විතීයක අග නගරයක් වූ දැදිගමටත් පසුබසින්නට ඇති බවටත් අනුමාණ කරයි. ඉහත පස්වන විජයබාහු රජු දඹදෙණි රජ පෙලපතට සම්බන්ධ කුමරෙකු විය හැකි බවට ගුණසිංහ මහතා තවදුරටත් පවසයි. ඔහු පවසන්නේ හෙතෙම එම රජ පෙලපතේ තුන්වන හෝ හතරවන පරාක්‍රමබාහු රජුගේ පුතෙකු විය හැකි බවය. වන්නි බුවනෙකබාහු රජු කුරුණෑගල රාජ්‍යය පැහැරගත් අවස්ථාවේ  5 විජයබාහු රජුද එම රාජ්‍යයට පෙර අයිතිව තිබූ කිසියම් කොටසක් (බොහෝවිට වර්තමාන කොළඹ දිස්ත්‍රික්කයද අයත් වන එහි  දකුණු ප්‍රදේශය) වන්නි බුවනෙකබාහු රජුට අයත්වීමට නොදී පාලනය කරන්නට ඇති බවත්, වන්නි බුවනෙකබාහු රජුගේ මරණින් පසු ඔහුට අයත්ව තිබූ කුරුණෑගල පාදක කරගත් උතුරු ප්‍රදේශයද නැවත ලබාගන්නට ඇති බවත්ය ඔහු සැක කරන්නේ. මෙම අනුමාණය නිවැරදි නම් වන්නි බුවනෙකබාහු රජු පෙර ඔහුට අයත්ව තිබූ වර්තමාන කුරුණෑගල පළාතේ යාපහුව ආදී උතුරු ප්‍රදේශය මෙන්ම උතුරු-මැද පළාතේ සැලකිය යුතු ප්‍රදේශයකද සිය ආධිපත්‍යය පතුරුවන්නට ඇත. තවද ඉහත දැක්වූ පරිදි සිව්වන පරාක්‍රමබාහු රජුගේ පාලන කාලයේ කුරුණෑගලට උතුරින් වූ ප්‍රදේශයේ ඔහුගේ කටයුතු සීමා වන්නට ඇත්තේ ක්‍රමයෙන් වැඩිවෙමින් පැවති මෙම වන්නි පාලකයාගේ ක්‍රියාකාරකම් නිසා වන්නට ඇත. පස්වන විජයබාහු රජු ක්‍රි.ව. 1329/30 කාලයේ මිය ගිය පසු තවදුරටත් දඹදෙණි රජ පරපුරේ කිසිවෙකු නොසිටි බැවින් දැදිගම පරාක්‍රමබාහු රජු වර්තමාන බස්නාහිර, දකුණු, මධ්‍යම සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට අයත් සියළුම ප්‍රදේශ අයත්කරගත් බවටත් එතුමා වැඩිදුරටත් පවසයි.
පස්වන විජයබාහුගේ මරණින් මතු කාලයේ වෙනත් බුවනෙකබාහු නම් රජෙකු විසින් කුරුණෑගල අවට ප්‍රදේශයේ නිකුත්කල සන්නස් හමුවන බැවින් කිසියම් ප්‍රාදේශීය පාලකයෙකු කුරුණෑගල කේන්ද්‍රකරගනිමින් දැදිගම පරාක්‍රමබාහු රජුගේ බලයට නතු නොවූ ප්‍රදේශ වල සිය අණසක පැතිරවූ බවද පෙනී යයි. ක්‍රි.ව. 1344 මෙරටට පැමිණි ඉබ්න් බතූතාගේ ගමන් විස්තරයේ එන Kunarkar හි සිටි ඉස්ලාම් ආගම අදහන්නන් හට හිතවත් Al Kunar රජු මේ බුවනෙකබාහු ලෙසින් හඳුනාගැනීමට උත්සාහ කරන P.A.T. ගුණසිංහ මහතා ඔහු වන්නි බුවනෙකබාහු රජුට සිය මුස්ලිම් බිසවට දාව උපන් කුමරාගෙන් පැවත එන්නෙකු වීමේ හැකියාව තහවුරු කිරීමේ උත්සහයක් ගනී. ඉබ්න් බතූතා Kunarkar ලෙසින් හඳුනාගන්නා නගරය කුරුණෑගල වීමට හැකියාවක් ඇති මුත් Al Kunar රජු බුවනෙකබාහු ලෙසින් හඳුනාගැනීමට ඔහු සිදුකරන අනුමාණ පිළිගැනීම තරමක් අසීරුය.

* මෙහි පළවන සියළු සිතුවම් F.H. මොඩර් ගේ The Animal-shaped rocks of Kurunegala ලිපියෙන් උපුටා ගත් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විවිධ ස්ථාන වල දර්ශන වේ,

මූලාශ්‍ර
  • Gunasinghe, P.A.T., 1987, The Political History of Yapahuva - Kurunagala and Gampala
  • කුරුණෑගල විස්තරය, ශාස්ත්‍රීය සංස්කරණය සහ විමර්ශනය, රංගන කුරුවිට, 2015
  • Modder F., Kurunegala Vistaraya; with notes on Kurunegala, Ancient and modern, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume 13 Part 44 , 1893
  • Modder F.H., The Animal-shaped rocks of Kurunegala, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume 11 Part 40 , 1890
  • අස්ගිරි තල්පත, සංස්කාරක: මැන්දිස් රෝහණදීර, 1997
  • රාජරත්නාකරය, කරුණාදාස රූපසිංහ සංස්කරණය,1995
  • Rajaratnakaraya (The Gem Mine of Kings), Classical Sinhala Text Translated into English by Kusuma Karunaratne, 2009
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • University of Ceylon, History of Ceylon Volume I Part II, 1960
  • දළදා සිරිත, වී. ඩී . එස්. ගුණවර්ධන සංස්කරණය
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • Ibn Batuta in The Maldives and Ceylon, Albert Gray, 1883

Saturday, October 20, 2018

කාශ්‍යප හිමි වැඩ සිටි ගුරුළු පර්වතය H.C.P. බෙල් සීගිරිය කලාද?

මෙරට නමට සිංහලයන් වන බහුතරය සිංහලයන්ගේ ප්‍රෞඩ ඉතිහාසය බොහෝ දුරට විශ්වාසවන්ත ලෙසින් (අපක්ෂපාති ලෙස නොවේ. අපක්ෂපාති ලෙස ඉතිහාසය සටහන් කරන්නන් ලොව නැත.) ග්‍රන්ථාරූඩ කර ඇති  මහාවංසය කියවා නැත. පාසලේ ඉතිහාසය එහෙන් මෙහෙන් උගන්වන කාලයක සිය මූලික අධ්‍යාපනය ලද පරපුරකට අයත් නම් ඔවුන් ලද ඉතිහාස දැනුම එපමණය. ඉතිහාසය, සාහිත්‍යය කන්නදැයි විමසූ පාලකයන් සිටි අවධියක පාසැල් ගියේ නම් ඒ ටිකද නැත. එවන් ජාතියක් උඹලාගේ ඉතිහාසය මෙන්න මේකයි කියා ඕනෑම ප්‍රබන්ධ කතාවකින් මුලා කරලිය හැක. බුදු හිමි ලංකාවේ සිටි බවත්, සීගිරිය යනු කාශ්‍යප තෙරණුවන් වැඩසිටි කුක්කුට පර්වතය බවත් එහි දැනට පා යුගලක නටබුන් ඇත්තේ කුක්කුට හෙවත් ගුරුලාගේ මිසක (ඇත්ත වශයෙන්ම කුක්කුට යනුද කුකුළා මිසක ගුරුලා නොවේ.) සිංහයකුගේ නොවන බවටත් ආදි වශයෙන් "කතාන්දර" ගොතා එවන් සාතිශය බහුතරයකට ඇඟේ මයිල් කෙලින් වෙන ආකාරයේ අත්භූත ඉතිහාසයක් මවා පෙන්වීම අතිශයෙන්ම සරලය. එමගින් එම "කතාන්දර පප්පලාට" පොරවල් විය හැක. අවශ්‍ය නම් පොතක් දෙකක් පලකර ආර්ථික ප්‍රතිලාභද අත්කර ගත හැක.

සීගිරියේ එහි උතුරු දිශාවෙන් සිංහයෙකුගේ රූපයක් සහිතව ගල මතු පිටට නැගීමට හිණි පෙලක්  තිබූ බවට මහාවංශයෙහි සහ සීගිරි කුරුටු ගී වල කියැවෙන බව මෙයට පෙර පළ කල ලිපියෙන් කරුණු දැක්වූවෙමි. Link>>  එහෙත් සීගිරිය පිළිබඳව වන ඉහත යාන් හෑල්ල ලියූ පුද්ගලයන් සහ පසුව එය ඔසවාගෙන යන අන්ද භක්තිකයන් මතු කරන මේ පිළිබඳව වන ප්‍රධාන සහ එකම කරුණ (Fact) වනුයේ සීගිරියේ දැනට දක්නට ලැබෙන ආකාරයට සිංහ පාදයේ "ප්‍රමුඛව" ඇඟිලි තුනක් පමණක් පිහිටා තිබීමය. එම යාන් හෑල්ලේ ඉතිරි සියල්ලම පොදු ව්‍යවහාරයේ භාවිතා වන ලෙසට නම් "අතේ රෝල්" මිසක අන් යමක් නොවේ.
යාපහුවේ සිංහ රූපය
Panthera leo sinhaleyus
ඓතිහාසික යුගය තුල සිංහයන් මෙරට ස්වභාවික වනාන්තර තුල ජීවත්ව සිටි බවට කිසිදු සාධකයක් හමු වී නැත. එමෙන්ම අශ්වයන් මෙරටට ගෙන්වූ ආකාරයට අසල්වැසි භාරතීය පෙදෙසකින් හෝ වෙනත් එවැනි විදේශ රටකින් සිංහයන් මෙරටට ගෙන ආ බවටද කිසිදු වංශ කතා හෝ සෙල් ලිපි සාධකයක්ද හමු නොවේ. Panthera leo sinhaleyus ලෙසින් නාමකරනය කර ඇති සිංහ විශේෂයක් මෙරට සිටි බවට හමු වී ඇති එකම සාධකය රත්නපුරයේ මැණික් පතලකින් හමු වූ සිංහයෙකුට අයත් බවට P.E.P. දැරණියගල මහතා විසින් හඳුනාගෙන ඇති සිංහ දත පමණි. කුරුවිට ප්‍රදේශයේ පොළව මතු පිට සිට අඩි 19 යටින් ඉල්ලම් පසට උඩින් 1936 වසරේදී හමු වූ මෙම දත ඉල්ලම් පස් සමග මිශ්‍ර වී තිබීම නිසා කාල නිර්ණය කල නොහැකි මුත් Pleistocene යුගයට අයත් බවට අනුමාණ කෙරේ. ( P.E.P. දැරණියගල මහතා කුරුවිට ප්‍රදේශයේම මැණික් පතලකින් අඩි 20 යටින් මෙම සිංහ වීශේෂයටම අයත් තවත් දතක් 1947 වර්ෂයේදී හමුවූ බව පවසා ඇති මුත් කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි මහතා පවසන්නේ මෙම විශේෂය මෙරට සිටි බවට ඇති එකම සාධකය දැනට බ්‍රිතාන්‍යයේ ස්වහාව විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඉහත දත පමණක් බවය.)

මේ අනුව මෙරට සිංහ මූර්ති කැටයම් කල ශිල්පීන් දේශිය පුද්ගලයන් නම් ඔවුනට ජීවමාන සිංහයෙකුගේ හැඩරුව දැක ගැනීමට තිබූ හැකියාව අල්ප බව පෙනේ.
පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ දැකිය හැකි සිංහ රූපය
තාත්වික නොවන රජරට සිංහයන්
තවද මෙහිදී පැවසිය යුතු තවත් එක් වැදගත් කරුණක් වනුයේ පුරාණ සහ මධ්‍යතන යුගයට අයත් මෙරට හමුවන සියළුම සිංහ රූප කැටයම් සහ මූර්ති තාත්වික ශෛලයකින් නෙලා නොමැති බවය. සිංහයා ට අමතරව බහුලව හමුවන අනෙක් සිව්පා (ක්ෂීරපායී) සතුන් තිදෙනා වන අශ්වයා, ගවයා සහ අලියා සමග සංසන්දනය කිරීමේදී මෙය කැපී පෙනෙන වෙනසක් වන්නේ බොහෝ විට එම සතුන් සිංහයා මෙන් ශෛලිගතව නොව තාත්වික ශෛලියකින් නෙළා තිබීමය. එම ලක්ෂණය මෙරටට පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ සිට චීනය දක්වා රටවල් වල හමුවන පැරණි සිංහ මූර්ති සහ කැටයම් වලටද බොහෝ දුරට අදාල වේ. මේ සමග පළවන යාපහුවේ සහ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ හමුවන ගලින් කල සිංහ රූප දෙස බැලීමෙන් එම සිංහ රූප ජීවමාන සිංහයකුගේ විලාශය නොදක්වන බව වටහා ගත හැක (එහෙත් එම සිංහ රූප වල ප්‍රමාණයන් [Proportions] බොහෝ දුරට නිවැරදිව නෙළා ඇති බවද මෙහිදි සඳහන් කල යුතුය.)

ශෛලිගත සිංහ රූපයක පා වල ඇඟිලි ප්‍රමාණයන් ආදිය නිවැරදි විය යුතු නැති බවට අමුතුවෙන් පැවසිය යුතු නොවේ.
නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ ඇති සිංහයාගේ පාද
පොළොන්නරුවේ සහ යාපහුවේ සිංහයන්ගේ ඇඟිලි ගණන
වෙනත් පැරණි සිංහ රූප වල සිංහයාගේ ඉදිරි පාදයේ ඇති ඇඟිලි පිළිබඳව විමසා බැලූ විට පෙනී යන්නේ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ තිබෙන සිංහයාගේ ඉදිරි පාදයේ ප්‍රමුඛව දැකිය හැක්කේද ඇඟිලි 3 ක් පමණක් වන බවය. මේ සමග ඇති රූපයේ දක්වා ඇති ලෙසට එම සිංහ රූපයේ වම් පාදයේ ඇඟිලි තුනක් පමණක් දැකිය හැකි අතර දකුණු පාදයේ ඉදිරිපසට වන්නට දක්නට ඇත්තේද ඇඟිලි තුනක් පමණි. එහෙත් තරමක් පසු පසට වන්නට තවත් ඇඟිල්ලක් පැහැදිලිව එම දකුණු පාදයේ පමණක් දැකිය හැක (කාලයත් සමග සැලකිය යුතු මට්ටමින් විඛාදනය වී ඇති මෙම පාද එහි මුල් ස්වරූපයෙන් අද දැකිය නොහැක. වම් පාදයේ අමතර ඇඟිල්ල තිබූ කොටස මේ වන විට ගැලවී ගොස් ඇතිවා විය හැක.)

යාපහුවේ සිංහයාගේද පාද එහි මුල් ස්වරූපයට වඩා බෙහෙවින් ගෙවී ගිය ලෙසින් අද දැකිය හැකි මුත් ඇඟිලි හතරක් තිබූ බව විමසිල්ලෙන් බැලූ විට දැක ගත හැක. යාපහුවේ සිංහ රූපයේ ඇඟිලි වල නියපොතු සීගිරියේ සහ පොළොන්නරුව නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ සිංහයාගේ මෙන් ඉදිරියට නෙරා ගොස් නොමැති අයුරුන් නෙළා ඇත (සිංහයන්ගේ නිය පූසන්ගේ මෙන් ඇඟිලි අතර සැඟවී ඇති බවත්, එහෙයින් සීගිරියේ පාද සිංහයකුගේ නොව පක්ෂියෙකුගේ බවටත් තර්ක කරන රාවණ බ්‍රෝ ලාගෙන් මෙහිදී ඇසිය යුත්තේ එතකොට පොළොන්නරුවේ සිංහයා පක්ෂියෙක්ද කියාය.)
සීගිරිය දකුණු සිංහ පාදය - වම් කෙලවරේ ඇති පස්වන ඇඟිල්ල බලන්න
ඇත්ත වශයෙන්ම සිංහයෙකුගේ ඉදිරි පාදයේ ඇඟිලි 5 ක් ඇති අතර පසුපස පාද වල ඇත්තේ ඇඟිලි 4 ක් පමණි Link>>. ඉදිරි පාදයේ එක් ඇඟිල්ලක් අනෙක් ඇඟිලි හතර සමග පොළොවට ස්පර්ශ නොවී පාර්ශවිකව මදක් ඉහලින් පිහිටා ඇත (Dewclaw බල්ලෙකුගේ පාද වලද මේ ලක්ෂණය දැකිය හැක.) බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන මුත් සීගිරියේ සිංහ පාදයේද මෙම 5 වන ඇඟිල්ල දැකිය හැක (මේ සමග පළවන ඡායාරූප බලන්න.) ඒ අනුව මෙහිදී ඉදිරිපස ඇඟිලි තුනක් පමණක් දැනට දැකිය හැක්කේ ඇයිද යන පැණය නැවතත් මතුවේ.
පස්වන ඇඟිල්ල
ඇතැම්විට මුල් නිර්මාණයේ ඇඟිලි තුනක් සහ පාර්ශ්වික ඇඟිල්ල පමණක් තිබුනා වන්නට ඉඩ ඇත. එහෙත් පහත දක්වා ඇති ඡායාරූප දෙස වුවද විමසිල්ලෙන් බැලූ විට පෙනී යන්නේ සිව්වන ඇඟිල්ලක් නෙලීමට අවශ්‍ය ඉඩකඩ එම පාද වල දැනටද දැකිය හැකි බවයි. එසේම ඇතුලට වල ගැසුනු කොටසක් සීගිරියේ සිංහ පාද වල (වම් සහ දකුණු පාද) පිටත පැත්තේ දැකිය හැක.  දකුණු පාදයේ ඉදිරි ඇඟිලි සහ 5 වන ඇඟිල්ල අතර පිටතට නෙරා ගිය ගඩොල් කොටසක්ද දැකිය හැකි බවද මෙහිදි පෙන්වා දිය හැක.ඒ අනුව ඇතැම් විට එම ඇඟිල්ල මුලදී තිබී පසු කලක විනාශ වූවා විය හැක.
සීගිරිය වම් සිංහ පාදය - දකුණු කෙලවරේ ඇති පස්වන ඇඟිල්ල බලන්න
සිංහයා පක්ෂියෙකු කලේ කවුද?
යාන් හෑලි ලියන රාවණ බ්‍රෝලාගේ බයිලා වල කියැවෙන අන්දමට නම් 1890 ඉතා අපහසුවෙන් සිංහ පාදය අසලට නැගගත් H.C.P. බෙල් එය දැක තුෂ්ණිම්භූත වී ඇත. ඇත්ත කතාව නම් එම සිංහ පාද කැනීම් මගින් H.C.P. බෙල් මහතා මතු කර ගන්නේ 1908 දී බවය. එතෙක් එම සිංහ පාද සහ පියගැටපෙල එහි ඉහලින් පිහිටා තිබූ සිංහයාගේ ඉතිරි කොටස සහ වෙනත් ගොඩනැගිලි ආදියේ කඩා වැටීමත් සමග එක්වූ සුන්බුන් වලින් සම්පූර්ණයෙන්ම වැසී ඒවා මත ශාක වැවී තිබී ඇත. දැනට සිංහ පාදය තිබෙන ස්ථානය සහ ඒ අවට තනිකර පස් ගොඩැල්ලක් ලෙසට විනා සිංහ පාදයක් ලෙස දිස්වී නැත.

 අද සිංහ පාදයේ දක්නට ඇති කපරාරුව සහ එයින් පැහැදිලිව මතු කර ඇති නිය පසු කාලීන සංරක්ෂණ ක්‍රියාදාමයන්හි ප්‍රතිඵල විනා ඒවායේ මුල් ස්වරූපය නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වන සංවත්සරය වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව මගින් පළකල ඔවුන් සතුව ඇති පැරණි ඡායාරූප එකතුවේ දැක්වෙන ඡායාරූපයකින්ද පැහැදිලි වේ. (නීතිමය හේතුන් මත එම ඡායාරූපය මෙහි පළකල නොහැකි බව සලකන්න.) දකුණු පාදයේ පියගැටපෙල දෙසට වන්නට පිහිටි නිය කොටසේ සුළු පෙදෙසක කපරාරුව හැරෙන්නට එම ඡායාරූපයට අනුව සිංහ පාදයේ ඉතිරි කොටස් වල දැකිය හැක්කේ මතුවී පෙනෙන ගඩොල් කොටස් පමණි. ඒ අනුව ඒ වන විට විනාශවී තිබූ සිව්වන පාදයේ කොටස් කැනීමේදී ඉවත් වී සංරක්ෂණ කාර්යයේදී අවධානයෙන් ගිලිහුනා වීමටද ඉඩ ඇත. දැනට දක්නට ඇති පසු කාලීනව එකතු කල කපරාරුව සහ එයින් මතු කල ඇඟිලි 3 (සහ 5 වන ඇඟිල්ල) සහිත සිංහ පාදයේ හැඩයට යටවී සදහටම වැලලී ගොස් ඇතුවා විය හැක. තවදුරටත් පැරණි ඡායාරූප සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් සහ සංරක්ෂණ වාර්තා (ඒවා විනාශ නොවී තවමත් දෙපාර්තමේන්තුව සතුව කොහේ හෝ ඇත්නම්) විමසා බැලීමෙන් ඒ පිළිබඳව යමක් පැවසිය හැක. කෙසේ නමුත් සීගිරියේ දැකිය හැක්කේ සිංහයකුගේ පාද බවට නිගමනය කිරීමට නම් මේ කිසිවක් බාධාවක් නොවේ.
සීගිරි පර්වතයේ නැගෙනහිර දිශාවෙන් ගත් මෙම ඡායාරූපයට ඉදිරියෙන් සිංහ රූපයක මුහුණක් මවා ගත් විට කොතරම් අපූරුවට ලැග සිටින සිංහයකු නිර්මාණය වේදැයි සිතා බලන්න.
ඇතැම්විට බෙල් හෝ බෙල්ට පසුව මෙහි සංරක්ෂණ කාර්යයන් සිදු කල පුරාවිද්‍යාඥයන් අතින් එම සිව්වන ඇඟිල්ලේ තරමක් හෝ ඉතිරිව තිබූ කොටස් විනාශ වී ගියේ නම් හෝ කපරාරුව නිසා එම කොටස් සැඟවී ගියේ නම් සිංහයකු සිටි සීගිරිය, "ඇඟිලි තුනේ ගුරුලෙකු" කිරීමේ වගකීම ඔවුන් බාරගත යුතුය.(රාවණ බ්‍රෝලා මෙරට කීර්තිමත් පුරාවිද්‍යාඥයින්ට සහ ඉතිහාසඥයන්ට චෝදනා කරන ලෙසින් එසේ සිදු වූවා නම් එය ඔවුන් හිතාමතා කල දෙයක් නොව අතපසු වීමක් බවද මෙහිදී සඳහන් කල යුතුය. සංරක්ෂණ සහ කැනීම් ක්‍රියාදාමයන්හිදී එවැනි දේ සිදුවීම වැලැක්විය නොහැකි අතර අවම කරගැනීම පමණක් සිදු කල හැක.)

මූලාශ්‍ර
  • Sigiriya, City palace gardens monasteries paintings, Senaka Bandaranayake, 2013
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Sigiriya, R.H. de Silva, 1976
  • උරුමයක අරුණ එදා අද, 2015
  • The Pleistocene of Ceylon, P.E.P. Deraniyagala, 1958
  • අනුරාධපුර ජෛවවිවිධත්වය සහ වර්තමාන ජෛවවිවිධත්වය, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි, ගාමිණී අධිකාරි, 2014
  • Srinimal Lakdusinghe Felicitation Volume, Gunawardhana et.al., 2010

Monday, April 10, 2017

යාපහු නුවර විස්තරය 2 - කේරල රකුසන් මැඩීමට සුභ සෙනෙවි සුභ පර්වතයේ ඉදිකල ආලකමන්දාව, අගනුවරක් වූ හැටි

කාලිංග මාඝ පාලනයට රජරට ප්‍රදේශය හෝ එහි සැලකිය යුතු කොටසක් නතුව පැවැති සමයේ දිවයිනේ රුහුණ ඇතුළු අනෙකුත් ප්‍රදේශ වල ප්‍රාදේශිය පාලන ප්‍රදේශ පවත්වා ගනිමින් පරසතුරු උවදුර පැතිරීම වලක්වා ලූ ජන නායකයන් සම්බන්ධව එන සඳහනකදි සුභ නම් වූ දුර්ග පර්වතයක් සම්බන්ධයෙන්ද විස්තරයක් මහාවංශයේ සඳහන් වේ. සුභ නම් වූ සේනාධිපතියෙක් සතුරන්ට පහසුවෙන් ලගාවිය නොහැකි සුභ පර්වත මුදුනේ ආලකමන්දාව වන් වූ පුරයක් කොට වෙස්සවන මෙන් කේරල රකුසන් මඩිමින් අවට ප්‍රදේශය සහ සාසනය රැකගත් බව එහි සඳහන් වේ.
පිට දිය අගල සහ ප්‍රාකාරය
පසුකාලීනව මායා රටේ ජම්බුදෝනි පුරවරය (දඹදෙණිය) අගනුවර කරගනිමින් රාජධානියක් බිහිකරන තුන්වන විජයබාහු මාඝ පළවා හැරීම සඳහා අවශ්‍ය පදනම දැමූ පසු, ඔහුගේ  පුත් වූ දෙවන පරාක්‍රමබාහු රජු එම කර්තව්‍යය පසුව සාර්ථකව නිමා කරයි. එම දෙවන පරාක්‍රමබාහුගේ අවසාන කාලයේ ඔහුගේ රෝගී තත්වය හේතුවෙන් රාජ්‍ය  පාලනය ඔහු පුත් සිව්වන විජයබාහු හට පැවරූ කල්හි ඔහු සිය මලණුවන් වූ බුවනෙකබාහු කුමරුවන්, සේනාව සමග උතුරු දෙසින් එන සතුරන්ගෙන් සිය රාජධානිය රැකගනු වස් සුන්දරපබ්බතයේ රැඳවීය.
පිටපවුරේ දකුණු දොරටුව
බෝසත් විජයබාහු ලෙසින්ද වංශකතාව හඳුන්වන එම සිව්වන විජයබාහු රජු ඉක්බිති සිව් රඟ සේනාව සමඟ වාතගිරි (කෑගල්ල දිස්ත්‍රික්කයේ වාකිරිගල) මුදුනේ රජ මාලිගාවක් ඉදිකර එහි විසූ බවත්, පිය රජු විසින් දුන් ධනය ආපදා අවස්ථා සඳහා එහි තැන්පත් කල බවත් පවසන වංශ කතාව එම රජු සුමණකූටය නැග මුණි සිරිපා වැඳගත් බවත්, ගංගාසිරිපුර(ගම්පොළ), සිඳුරුවාණ ආදී ප්‍රදේශ වල සිදු කල වෙහෙර විහාර පිළිසකර කිරීම් සහ අලුතින් ඉදිකිරීම් නිමවා, හස්තිගිරිපුරද (කුරුණෑගල) භුවනෙකබාහු නම් වූ තම සුළු පියා ඉදිකල විහාරයේ තුන් මහල් පිළිමගෙයක් ආදිය කරවා, එම හස්තිගිරි පුරය වටා ප්‍රාකාර, දිය අගල් ආදිය නිම කර සේනාව සමග සුභගිරිපුරවරට නික්මුණ බව පවසයි. මහාවංශයේ දැක්වෙන අයුරින් ඒ වන විට මෙයට පෙර අවස්ථාවකදී පැරදී පලා ගිය චන්ද්‍රභාණු නම් ජාවක ආක්‍රමණිකයා චෝළ පාණ්ඩ්‍ය ආදී රටවලින් දමිළ හේවායන් එක් රැස් කරගනිමින් සිය ජාවක බල සේනාද සමගින් මහාතිත්තයට (මාතොට) ගොඩ බැස පදී, කුරුන්දි ආදි ප්‍රදේශ වල සිංහලයන්ද එකතු කරගනිමින්  (සතුරන් දුටු වහා ඔවුන් හා එක්වි ජාතිය වනසන වික්කමසිංහලා, මොංගල සරමේ විරලා එකලද ඉඳ ඇත.) තුන් සිංහලය ගනිමැයි පවසමින් පැමිණ සුභගිරි අසල කඳවුරු ලා ගෙන ඇත.
ඇතුල් පවුර
සිය පියාගේ සහෝදරියගේ පුතණුවන් වූ වීරබාහු ආදිපාදවරයා සමග එක්ව යුද වැදී චන්ද්‍රභාණු පලවා හරින බෝසත් විජයබාහු රජු ඉනික්බිති මුළු ලංකාවම සිය ආධිපත්‍ය යටතට ගෙන එක්සේසත් කල බවත් සුභගිරි පව්ව වටා උස් ප්‍රාකාරයක් සහ දිය අගලක් ඉදි කර, එහි මාහැඟි රජ මාළිගයක්ද කොට නිමවා, එම නගරයේ වැසි භික්ෂුන්ට දන්වැට ද තැබූ බවත්, සිය මලණුවන් වූ භුවනෙකබාහු පෙර පරිදිම සුභ පබ්බතයෙහි රැඳවූ බවත් මහාවංශය වැඩි දුරටත් සඳහන් කරයි.
"රජ මාළිගය" ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ල
ගිලන්ව සිටි 2 වන පරාක්‍රමබාහු රජුගේ මරණයත් සමග රාජාභිෂේක ලබන බෝසත් විජයබාහු රජුගේ දෙවන රාජ්‍ය වර්ෂයේදී මිත්ත නම් වූ සෙනෙවියෙක් දාසයකු ලවා රජු මරවා රාජ්‍යය පැහැරගනු ලැබූහ. එවිට ඔහු මල් වූ භුවනෙකබාහු ජම්බුදෝණියෙන් (දඹදෙණිය) වහා නික්ම සුභචාල කොටුව (සුභගිරි) දක්වා යෑමට නික්මුනි. කැරලිකරුවන්ගෙන් ඔහුටද බාදා එල්ලවූ මුත් කාලගල්ලක නම් වූ ගමට ගොස් (කාලගල්ලක යනු කුඩා ගල්බොඩ කොරලයේ කලුගල්ලගම ලෙස ගයිගර් පවසයි) ඇතෙකු පිට නැගී කොළබින්න ගඟ තරණය කර සුභගිරි වෙත නිරුපද්‍රිතව ලගා වූහ. රජුගේ සේනාවේ සිටි සිංහල යුද හේවායන් රාජ්‍ය පැහැරගත් මිත්ත සෙනවියාගෙන් පඩි ලබා, ඔහු හා එක්වද්දි මහාවංශය ආරිය (ආර්ය) හේවායන් ලෙස හඳුන්වන කොඩ්රිංටන් මහතා උතුරු ඉන්දීය රාජ්පුත් වරුන් වියහැකියයි පවසන සේනාවට අධිපති ඨකූරක සෙනෙවියා ඔහුගේ බලසෙන් හා එක්ව රාජ්‍යය පැහැරගත් මිත්ත සෙනෙවියා මරා, භුවනෙකබාහු හට රජකම ලබාදේ. ඉන්පසු ඔහු වසර කිහිපයක් දඹදෙණියේ සිට රාජ්‍ය මෙහෙයවා රාජධානිය සුභගිරි නගරයට රැගෙන යයි.
විසිතුරු සෝපානය
වසර එකොලහක් සුභගිරි හි සිට රාජ්‍ය පාලනයෙන් පසු භුවනෙකබාහු රජු සුර පුර වැඩි බව වංශ කතාව සඳහන් කරයි. ඉන්පසු සිදුවූ දේ සම්බන්ධව මහාවංශය නිහඩ බවක් දක්වන මුත් දළදාසිරිතේ දැක්වෙන ලෙසින් ඉන් පසු අරාජික කාලයක් තිබූ බව පෙනේ. මේ කාලයේ පාණ්ඩ්‍ය රටේ සිට පැමිනි ආර්යචක්‍රවර්ති සුභගිරි නගරයට ඇතුළු වී දන්ත ධාතුව සහ අනෙකුත් වටිනා දේ කොල්ලකමින් ඒවා පාණ්ඩ්‍ය දේශයට රැගෙන ගොස් එහි කුලසේකර රජු හට දුන් බව පැවසේ. 
විසිතුරු සෝපානය
ඉන්පසු රජ පැමිණි බෝසත් විජයබාහු රජුගේ පුත් තුන්වන පරාක්‍රමබාහු පාණ්ඩ්‍ය දේශයට ගොස් පාණ්ඩ්‍ය රජු හා සාකච්චා කර දළදාව නැවතත් මෙරටට රැගෙන ආ බවත් එය පුලස්ති නගරයේ (පොළොන්නරුව) පැරණි දළදා මැදුරෙහි තැන්පත් කර ඔහු එහි සිට රාජ්‍යය විචාල බවත් මහාවංශයේ සඳහන් වේ. දෙවන භුවෙනෙකබාහු ලෙසින් ඉන්පසු රජවූ 1 වන භුවනෙකබාහු රජුගේ පුත් සිය රාජධානිය හස්තිගිරිපුරට (කුරුණෑගල) ගෙනගිය බැවින් සුභගිරි පුරයේ රාජධානිය කෙටි කලකින්ම නිමාවිය. වර්තමානයේ දක්නට ලැබෙන නටබුන් නගරයේ ඉහත සඳහන් සුභ සෙනෙවියාගේ පටන් තුන්වන විජයබාහු, 1 වන භුවනෙකබාහු ආදී රජවරුන්ගේ ඉදිකිරීම් දක්නට ලැබෙනවා විය හැකි මුත් ඒවා වෙන් වෙන්ව හඳුනාගැනීම මේ වන විට දුෂ්කර කාර්‍යයක් වි ඇත. මහාවංශය සුභගිරි , සුභ පබ්බත, සුන්දර පබ්බත ආදි විවිධ නම් වලින් හඳුන්වන මෙම පුරවරය පූජාවලියේ හැඳින්වෙන්නේ යාපවුගල ලෙසිනි. තෙවැනි විජයබාහු රජු සිය මල් වූ භුවනෙකබාහු කුඩාවැලිගං හි ද්‍රවිඩයන් බොහෝ සේ බස්නා හෙයින් උතුරු පෙදෙස රැකීම උදෙසා යාපහුගල බල පිරිස් සමග රැඳවූ බව පැවසීමේදි එම නම එහි මුල් වරට සඳහන් වේ. ඉන්පසු චන්ද්‍රභාණු ආක්‍රමණය ගැන පැවසීමේදිද පූජාවලිය නැවතත් යාපහු ගල අසල සිදුවූ සටන් පිළිබඳවත් ඉන්පසු එහි විජයබාහු රජු කරවූ ඉදිකිරීම් ගැනත් පවසයි. පූජාවලිය දෙවන පැරකුම්බා රජුගේ තිස්වන රාජ්‍ය වර්ෂයේ ලිවූ බැව් එහිම සඳහන් වන බැවින් යාපහු ගල පුරවරය අගනුවරක් වීමට අදාල තොරතුරු එහි සඳහන් නොවේ.
දළදා මාලිගය ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ල

පෙර ලිපි

යාපහු නුවර විස්තරය 1 - ගල් වඩුවන් 20,000 ක් සහ මූලාචාරීන් 100 ක් රැස් කොට කරවූ නුවර


මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • දළදා සිරිත, වී. ඩී . එස්. ගුණවර්ධන සංස්කරණය

Thursday, March 23, 2017

යාපහු නුවර විස්තරය 1 - ගල් වඩුවන් 20,000 ක් සහ මූලාචාරීන් 100 ක් රැස් කොට කරවූ නුවර

"මෙසේ ඒ  පරාක්‍රමබාහු රජතුමාගෙන් අණ ලත් මහ අධිකාරම් තෙමේ ඈපා මාපා ඇමතියන් සමග ගල් වඩුවන් විසිදාහක් හා මූලාචාරීන් සියයක් ද සංගිලියන් දෙසිය පණසක් හා තුන් දහසක් සිත්තරුන්ද ගල් අදනාවුන් සාර දහසක් හා තුන් රාජ්‍යයෙන් අවශෙෂ සෙනග ද රැස් කොට ගෙන අනුරාධපුරයෙන් අට ගව්වක් ගිය තැන පිහිටි සුන්දරගිරි නමැති පර්වතයෙහි යාපා නමින් නුවරක් කරවන්න පටන් ගත්තේය."

පුෂ්පදේව නම් වූ තෙරුන් විසින් ක්‍රි.ව. 1344 ට ආසන්න ඊට පසු කාලයක කරවූ මුල් ග්‍රන්ථයට, 16 වන සියවසේ අග භාගයේ පමණ වෙනත් ලේඛකයෙකු හෝ කිහිප දෙනෙකු නැවත එකතු කල කොටස් වලින්ද සමන්විත කුරුණෑගල විස්තරය නම් වූ පැරණි ග්‍රන්ථයක ඇතැම් පිටපත් වල හමුවන යාපහු නුවර විස්තරය නොහොත් යාපා නුවර විස්තරය නම් වූ කොටසට අනුව යාපහු නුවර කර්මාන්ත පරාක්‍රමබාහු නම් වූ රජ කෙනෙකු කරවන්නට යෙදුනේ ඒ අයුරිනි.

එම යාපහු නුවර විස්තරයට අනුව තෙළෙස් වෙනි ශත වර්ෂයේ දී කළිඟු රටින් ලක්දිව පැමිණි මාඝ නම් වූ කෲර රජුගේ පීඩා නිසා අනුරාධපුරය අතහැර ගිය රජ දරුවන්ගෙන් කෙනෙකු වන පරාක්‍රමබාහු නැමැති රජු එම නුවර කරවූ බව පැවසෙතත් වඩා විශ්වාසනීය සහ පැරණි මූලාශ්‍රයක් වන මහාවංශයට අනුව එය එලෙසම පිලිගත හැකිද යන්න ගැටළුවකි. ඒ පිළිබඳ විමසීම පසුවට කල් තබා  වර්තමානයේ යාපහුව රාජධානියේ ශේෂව ඇති නටබුන් කෙතරම් දුරට මෙම යාපහු නුවර විස්තරයේ සඳහන් වන කරුණු වලට අදාලද යන්න සොයා බලමු.

නුවර නිර්මාණයට පැමිණි එම පිරිස පිළිබඳ වැඩිදුරටත් විස්තර කරන යාපහු නුවර විස්තරය "....ඉන් පෙළක් ගල් කනු කපති පෙළක් ගල් අදිති පෙළක් ගල් පේකඩ නෙලති. පෙළක් ඇත් රූප නෙලති පෙළක් සිංහ රූප නෙලති පෙළක් ව්‍යාඝ්‍ර රූප නෙලති පෙලක් මනුෂ්‍ය රූප නෙලති පෙළක් හංස රූප නෙලති පෙළක් පක්ෂි රූප නෙලති. පෙළක් දේව රූප නෙලති පෙළක් නාග රූප නෙලති පෙළක් කෝලක්කාර රූප නෙලති පෙළක් බහිරව රූප නෙලති පෙළක් ගල් දොර නෙලති පෙළක් ගල් උළුවහු හා ගල් පඩි නෙලති...."

ගල් පේකඩ, ගල් කනු, ඇත් රූප, සිංහ රූප, මනුෂ්‍ය රූප, නාග රූප, කෝලක්කාර රූප, බහිරව රූප, ගල් උළුවහු හා ගල් පඩි
නුවර නිර්මාණයේදි ඉදිකල ගොඩනැගිලි පිළිබඳව විස්තර කරමින් "....මෙසේ හස්ත කර්මාන්තයන්ගෙන් නියුක්ත වූවාහු අප්‍රමාදව නව මහල් මාලිගා සතරක් හා උඩු මහල් නවයක්ද බිම් මහල් නවයක් හා ඒ අවට කුළු ගෙවල් පන්සියයක් ද අසූ රියන් මහ ගබඩාවක් හා සත් රියන් ලෝකඩ පවුරක්ද විහාර දේවාල බෝ මළු දළදා මන්දිර දාගැබ් ආදිය සහ රන් තොරන් රිදී තොරන් ධජ පතාක පූර්ණ ඝටාදිය ද සාදා හස්ත කර්මාන්ත හා විත්ත්‍ර කර්මාන්තයන්ගෙන්ද වැඩ නිමාවා ලූ සේක."

ඉහත කොටස් උපුටා ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයට අයත් පුස්කොළ පිටපතකිනි. කුරුණෑගල විස්තරය ඇතැම් පිටපත් වල එන යාපා නුවර විස්තරයන්ට අනුව ඒ පරක්කන්බාහු රජු පවසා ඇත්තේ " මේ නුවර ගල්වලින් වැඩ නිම කරව.." කියාය. එසේම එම නුවර උදය කාලයේ එක් පාටකට පෙනෙන බවත් සවස් කාලයේ වෙනත් පාටකට පෙනෙන බවත් එහි ගල් වැඩ විනා සෙසු වැඩක් නැති බවත් ඒවායේ වැඩිදුරටත් සඳහන් වේ. බොහෝ විට 16 ශතවර්ෂයේ පමණ රචිත මෙම යාපා නුවර විස්තරයන් කෙතරම් දුරට සත්‍යයද යන්න යාපහුවේ ඉතිරිව ඇති නටබුන් දෙස් දෙයි. ඉහත විවිධ පාට ගැන කියන සඳහනද අතිශයෝක්තියක් නොවන බව වර්තමානයේ පවා ඇතැම් ගල් කැටයම් වල දක්නට ලැබෙන  රක්ත වර්ණාලේප ශේෂයන් මගින් පැහැදිලි වේ.

මාලිගා, කුළු ගෙවල්,  දළදා මන්දිර, දාගැබ්, පවුරු, බෝ මළු
මූලාශ්‍ර
  • කුරුණෑගල විස්තරය, ශාස්ත්‍රීය සංස්කරණය සහ විමර්ශනය, රංගන කුරුවිට, 2015
  • අසිරිමත් යාපහුව, මහාචාර්ය සෙනරත් දිසානායක, 2011