Friday, March 24, 2023

යුධ ගැටුම් නවතා රජුන් සමගි කල භික්ෂූන් විසූ පුරාණ මණ්ඩලගිරි වෙහෙර සංගමුව රජමහා විහාරයද?

අවම වශයෙන් පො.ව. පූර්ව 3 වන සියවසේ අවසාන භාගයේ සිට මහනුවර යුගය දක්වාම පැවත එන විවිධ කාල වලට අයත් ශිලා ලේඛන 5000 කට ආසන්න ප්‍රමාණයක් මෙරට තුලින් හමුවී ඇත. තවමත් වන ප්‍රවාහයට යටවී සොයා නොගත් ශිලා ලේඛනද සැලකිය යුතු තරමක් තිබෙනවා විය හැක. මේ බොහෝමයකින් වැදගත් ඓතිහාසික තොරතුරු රාශියක් හෙලි කර ගත හැකි වී ඇති නමුත් එයිනිදු ඓතිහාසික වශයෙන් සුවිශේෂ ලෙස සැලකිය හැකි ලිපි කිහිපයක්ම පවතී. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංගමුව රජමහා විහාරයේ පිහිටි එවන් එක් ශිලා ලේඛනයක් පිළිබඳව මෙයට පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කල අතර එම ලිපිය පිහිටා ඇති ගල් පර්වතයේ හමුවන වෙනත් සෙල්ලිපි ආදී පුරා වස්තු සහ ඒවායින් හෙලිවන තොරතුරු මෙම ලිපියට වස්තුවිෂය වේ. පෙර ලිපිය කියවීමට >>
පෙර ලිපියෙන් විස්තර ඉදිරිපත් කල මේ ස්ථානයේ පිහිටි දෙවන ගජබාහු රජු සහ පරාක්‍රමබාහු කුමාරයා අතර ඇතිවූ සන්ධානය පිළිබඳව එපිග්‍රැපියා සෙලනිකා සිව්වන වෙලුමට ලිපියක් සපයන මහාචාර්ය සෙනරත් පරනවිතාණ මහතා මෙහි එතුමා විසින් නිරීක්ෂණය කල නටබුන් පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කරයි. 1934-1941 දක්වා කාලයේ පලකල සෙල්ලිපි ඇතුලත් එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් වන්නේ 1943 වසරේදීය. ඒ අනුව එතුමා 1934 හෝ එයට පෙර කාලයකදී මෙම ස්ථානය පිළිබඳව සිය ගවේෂණය සිදු කලා විය යුතුය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1930-31 වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාවේ එම වසරේ සොයාගත් ඉතාමත්ම වැදගත් සෙල්ලිපිය ලෙස සඳහන්ව මෙම ලිපියේ අන්තර්ගතය පිළිබඳව විස්තරයක් හමුවේ. ඒ අනුව පැහැදිලි වන්නේ සෙනරත් පරණවිතාණ  මහතා ඉදිරිපත් කරන විස්තරය 1930 හෝ 1931 වර්ෂයේ මුල් කාලයට අයත් විය යුතු බවය. 

පැරණි ස්තූපය
කෙසේ නමුත් එතුමා ඉදිරිපත් කරන විස්තරයට අනුව මෙම පරිශ්‍රයේ එතරම් උස් නොවූ පස් ගොඩැල්ලක් බවට පත්ව තිබූ පැරණි ස්තූපය, තැන තැන තිබූ පැරණි ආරාමික ගොඩනැගිලි වල නටබුන් වූ රළු ගල් කණු, මුරගලක්, සඳකඩපහණක් මෙන්ම පැරණි බ්‍රාහ්මි 'ශ' අක්ෂරය වැනි සලකුණක් කොටා ඇති ගල් පුවරුවක් වැනි නටබුන් එතුමාට හමුවී ඇත. ඒ වන විටත් එහි නූතන විහාරයක් තිබී ඇති අතර ඉහත නටබුන් හමුවන අක්කර 10 ක් පමණ වූ සමතලා භූමියේ සිට රළු පඩි සහිත මගක කන්ද මුදුනේ පිහිටි මහනුවර යුගයට අයත් ලෙන් විහාරයට යා හැකි බව සෙනරත් පරණවිතාණ මහතා සඳහන් කරයි. ඒ වන විට නවීකරණය වෙමින් තිබූ එම ලෙන් විහාරයේ වසර පහකට පමණ පෙර ඉදි කර තිබූ බිත්තිය නිසා ගුහාවේ කටාරමට යටින් වූ බ්‍රාහ්මි සෙල්ලිපියේ කොටසක් වැසී ගොස් ඇති බවත් පරණවිතාණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. පරුමක චිතගුත ගේ බිරිය යන කොටස සමග නැවතත් පරුමක යන අක්ෂර පමණක් එසේ වැසී නැති කොටසින් එතුමා කියවා පලකර ඇත (පරුමක චිතගුතහ බරිය පරුමක....)  

මහනුවර සම්ප්‍රදායේ සිතුවම් සහ මූර්ති සහිත ලෙන් විහාරය

ඒ ආසන්නයේම වූ වෙනත් ගුහාවක විශාල කොටසක් කිසියම් නොදන්නා කාල වකවානුවකදී කඩා වැටී ඇති අතර එහි තිබූ  බ්‍රාහ්මි සෙල්ලිපියටද ඉන් හානී වී ඇති බව පවසන පරණවිතාණ මහතා එහි කියවිය හැකි ඉතිරි වී ඇති අක්ෂර වලින් බත ශොබනශ ....ලශ පුත ම.... යන්න කියැවෙන බව පවසයි (පරණවිතාණ මහතා ඉදිරිපත් කරන ඉංග්‍රීසි පරිවර්තනය >> Of lord Shobana ......Ma.....son of ....la. || මෙහි තද කළු පැහැයෙන් [Bold]දක්වා ඇත්තේ පුද්ගල නාම සහ පුද්ගල නාම වල කියැවිය හැකි කොටස් ලෙස සලකන්න.) එයට අමතරව ඒ ආසන්නයේම වූ තවත් ගල් ගුහා දෙකක්, කන්ද පාමුල වැවට ආසන්නව වූ තවත් ගල් ගුහාවක් සහ විහාරයට යාර 100 පමණ දකුණින් වූ වෙනත් ඉඩකඩ සහිත ගල් ගුහාවක් පිළිබඳව එම විස්තරයේ සඳහන් වේ. තවද නූතන විහාරයට ආසන්න ගල් තලාවක් මත පස් වන සියවසේ සිට හත් වන සියවස දක්වා භාවිතා වූ අක්ෂර වලින් රචිත සෙල්ලිපි කිහිපයකම කොටස් දැක ගත හැකි බව පවසන එතුමා ඉන් එක් ලිපියක 'ගොනගිරි' ලෙසින් සඳහන් මුත් එහි කොටස් මුළුමනින්ම නොමැති හෙයින් මෙම ස්ථානයේ පැරණි නාමය එය ලෙස සැලකීමට එය පමණක් ප්‍රමාණවත් නොවන බව අවධාරනය කරයි.

සංගමුව විහාරයේ ඡායාරූප වලින් මෙහි දක්වා නොමැති ගල් ලෙන් සහ ලෙන් විහාරයේ බිතුසිතුවම් ආදිය දැක්වෙන වීඩියෝව >>

සංගමු විහාරයේ ඉහත විස්තර වූ කටාරම් කෙටූ ගල් ලෙන් වලින් සොයාගත් මුල් බ්‍රාහ්මි සෙල්ලිපි සතරක් සෙනරත් පරණවිතාණ මහතා පසු කලක ප්‍රකාශයට පත් කර ඇත. ඉහත දැක්වූ ලිපි දෙකට අමතරව මෙම පරිශ්‍රයෙන් සොයාගත් තවත් ලිපි දෙකක් එහි දක්වා ඇත.

1)  පරුමක මහතිශහ පුත පරුමක...... ( ....the chief... son of the chief Mahatissa.)

2)  .....ශුමනශ ලෙනෙ ශගශ (The cave of ....Sumana, [is given] to the Sangha) - එනම් ශුමන නැමැත්තාගේ ලෙන සංඝයාට පූජා කල බව මෙම ලිපියෙන් කියැවේ.

ඉහත විස්තර වූ ගල් තලාවක වූ පස් වන සියවසේ සිට හත්වන සියවස පමණ දක්වා වූ අක්ෂර වලින් ලියා ඇති ලිපි වලින් කියැවිය හැකි ලිපි කිහිපයක් පසු කලක ආචාර්ය මාළිණි ඩයස් මහත්මිය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම ලිපි 6-7 සියවස් වලට අයත් ඒවා ලෙස එතුමිය සඳහන් කරයි. මේ යුගය සාපේක්ෂව අඩු සෙල්ලිපි ප්‍රමාණයක් මෙරටින් හමුවන සියවස් කිහිපයක් වන අතර එම ලිපි වලින්ද බහුතරය වහරල ලිපි ලෙස හඳුන්වන සෙල්ලිපි කාණ්ඩයට අයත් ඒවා වේ. වහරල ලිපි පිළිබඳව වැඩි විස්තර සඳහා කියවන්න >>

1) ..(දව) වහරල පල සව සතනට (..වහරලින් නිදහස්වන ලදී. මෙහි පල සියලු සත්ත්වයනට අත්වේවා!)

2) මහමලගම ලද චරමත මහ පත...(වහ) රල (මහමලගම ලද්දාවූ චර ඇමති අනිවාර්ය සේවයෙන් නිදහස් වන ලදී.)

3) ...නය නිවි සයක කහ (ව )... දි චිදවි වහරල සව... (..නය...නිවි...කහවණු සියයක් දී විහාරයෙහි අනිවාර්ය සේවයෙන් නිදහස් වන ලදී.)

4) ...පරසමතහ...සව සතනත (ප )... (ඇමති පරසමතගේ... [මෙහි පල] සියලු සත්ත්වයනට [අත්වේවා!])

මෙම ලිපි වලට අමතරව කියැවිය නොහැකි තවත් ලිපි දෙකක් එහි ඇති බව සඳහන්ය.
බෝධිඝරය
සැ.යු. මෙහි සඳහන් සිංහල පරිවර්තන (ඉහත 1-3 දක්වා ලිපි සඳහා) ආචාර්ය බෙනිල් ප්‍රියන්ත මහතාට අනුව වන අතර එම පරිවර්තන ආචාර්ය මාළිණි ඩයස් මහත්මියගේ මුල් ඉංග්‍රීසි පරිවර්තන අනුව සිදු කර ඇත. මෙහිදි වහරල චිදවි යන්නෙන් "විහාරයේ අනිවාර්ය සේවයෙන් නිදහස් වන ලදී [Made free from the compulsory service]" යන අර්ථය එතුමිය විසින් ගෙන ඇත. (වහරල චිදවි යනු තවමත් විද්වතුන් අතර විවාදයට තුඩු දුන් නිශ්චිතව ඉන් අදහස් වන්නේ කුමක්දැයි යන්න අපැහැදිලි පැරණි සිංහල වචන දෙකකි. මේ සඳහා ඉදිරිපත් වී ඇති වෙනත් මත සහ මෑතකදී ආචාර්ය බෙනිල් ප්‍රියන්ත මහතා ඉදිරිපත් කල මතය දැනගැනීම උදෙසා වහරල ලිපි ගැන ලියැවුණු පහත ලිපිය කියවන්න. >>  එම මතයට අනුව මෙම වහරල ලිපි වලින් දැක්වෙන්නේ විහාරයේ කුටි ඉදි කල සහ වෙනත් ඉදිකිරීම වලට අනුග්‍රහය දැක්වූ පුද්ගලයන් ඒ පිළිබඳව සටහන් කර තැබූ සටහන්ය.)

 සංගමුව විහාරයේ නටබුන් පිහිටි ගල මතුපිටට දිස්වන මැද්දේකැටිය වැව
මේ අනුව සෙල්ලිපි සාධක අනුව පො.ව. පූර්ව දෙවන සියවසේ සිට 12 වන ශතවර්ෂය දක්වාම මෙම ස්ථානයයේ පිහිටි විහාරය සක්‍රීයව පැවති බව අනුමාන කල හැක. එසේම එය පොළොන්නරුව යුගය වන විට රාජ්‍යයෙහි වැදගත් දේශපාලනික ක්‍රියාකාරකම් වලට මැදිහත් වීමට තරම් වැදගත් වූ ප්‍රබල භික්ෂූ පිරිසක් සිටි ස්ථානයක් බව පෙනී යයි (ඒ පිළිබඳ විස්තර සහිත පෙර ලිපිය කියවන්න >>) ඇතැම් විට මහාවංශයේ සඳහන් දෙවන ගජබාහු රජ තමන්ගෙන් පසුව රජරට රාජ්‍යය පරාක්‍රමබාහු කුමරු හට අයත් වන බව ගලක කෙටූ මණ්ඩලගිරි විහාරය මෙය වීමටද ඉඩ නැතුවා නොවේ (සෙනරත් පරණවිතාණ මහතා එම මණ්ඩලගිරි විහාරය වර්තමානයේ මැදිරිගිරිය ලෙසින් හැඳින්වෙන විහාරය ලෙස සලකයි.) මෙහි පිහිටි ලෙන් විහාරය පොළොන්නරු යුගයෙන් පසුව මහනුවර යුගයේ හෝ එයට පෙර ඉදි කරන්න ඇති බව පෙනේ (ඇතැම් විට ඉන්පසු යුගයක ඉදි වූවා වීමටද ඉඩ නැතිවා නොවේ.) වර්තමානයේ මෙම ස්ථානයේ පිහිටි විහාරයද වෙනත් ඇතැම් පන්සල් මෙන් නොව  පෞරාණික නටබුන් අභිබවා ඉදිවන කොන්ක්‍රීට් ගොඩවල් වලින් බැහැරව එවන් ස්ථානයක තිබිය යුතු නිස්කලංක බව සහ පූජනීය වටපිටාව මැනවින් සුරකිමින් පවත්වා ගෙන යන බවක් පෙනේ.  
  • විශේෂ ස්තූතිය විහාරාධිපති පූජ්‍ය අලුත්ගම මංගල හිමියන්ට සහ චින්තක මහතාට.
 මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume IV (1934 - 1941), Edited by S. Paranavitana, 1943
  • ක්‍රිස්තු වර්ෂ 4, 5, 6, 7 සියවස්හි ලක්දිව සෙල්ලිපි ඇසුරින් සකස් කරන ලද දත්ත, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2019
  • Epigraphical Notes, Nos 1-18, Malani Dias, 1991
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Annual Report of the Archaeological Survey of Ceylon for 1930-31, C. F. Winzer, Esq., 1932

Sunday, March 19, 2023

භික්ෂූන් මැදිහත්වී ඇති කල ලොව ප්‍රථම සාම ගිවිසුම සංගමුවෙන් හමුවේ !

* හෙඩිමට කලබොල නොවී ලිපිය කියවන්න. හම්බ වෙලා දැන් ගොඩක් කල්.....

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංගමුව ග්‍රාමයේ මැද්දේකැටිය වැව ආසන්නයේ පිහිටි එතරම් උස් නොවූ ගල් පර්වතයක පො.ව. පූර්ව යුගයේ සිටම පැවති බෞද්ධ ආරාමයක නටබුන් දැකිය හැක. එම පර්වතයේ නැගෙනහිර බෑවුමේ එහි පැරණි ප්‍රවේශය විය හැකි සියයකට අධික ගල් පඩි ප්‍රමාණයක් ගල මතුපිට මතු කර ඇති අතර, එම පඩි පෙල නැග ඉහලට පැමිණි කල පිහිටි ගලේ කොටස් මනාව ඉවත් කර මතු කර ඇති සමතලා සෘජුකෝණාශ්‍රාකාර කොටසක  පේලි 18 ක සෙල්ලිපියක් දැක ගත හැක. 1931 වර්ෂයේදී සෙනරත් පරණවිතාණ මහතා මෙම සෙල්ලිපිය සහ මෙම ස්ථානයේ ඇති වෙනත් සෙල්ලිපි කිහිපයක් පිටපත් කර පසුව එපිග්‍රැපියා සෙලනිකා සිව්වන වෙලුමේ මෙම ගිරි ලිපියේ පරිවර්තනයක්ද සහිතව විස්තරයක් ඉදිරිපත් කරයි. 12 වන ශතවර්ෂයේ භාවිතා වූ සිංහල අකුරින් ලියා ඇති එම ලිපියේ මුල් කොටස එම යුගයේ බෙහෙවින් භාවිතා වූ සංස්කෘත තත්සම බහුල සිංහල භාෂාවෙන් රචනා කර ඇති අතර ලිපියේ අවසානයේ වසන්තතිලකා විරිතෙන් පද බැඳි සංස්කෘත ශ්ලෝකයක් කොටා ඇත. එම ශ්ලෝකයේ තුන්වන පේලිය සම්පූර්ණයෙන් සහ සිව්වන පේලියේ කොටසක් කියැවිය නොහැකි ලෙසටම මැකී ගොස් ඇත.

ලිපියේ අන්තර්ගතය අනුව එය පිහිටුවන්නේ දෙසූරුබඩු වූ ගජබා[හු] සහ [ප]රාක්‍රමබාහු නම් වූ ශ්‍රී මහාසම්මත පරම්පරාවෙන් නොපිරිහී ආ සත්‍යධන වූ දෙදෙනෙකි. එනම් දෙමස්සිනාලා වූ අඛණ්ඩව මහාසම්මත පරම්පරාවෙන් පැවත එන සත්‍යය ධනය ලෙස සලකන්නා වූ දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා එකඟ වූ සන්ධානය එනම් ගිවිසුම පිළිබඳව එහි අනෙක් වාක්‍යය වලින් විස්තර ඉදිරිපත් වේ. ඒ අනුව ඔවුනොවුන්ගේ ජීවිතාන්තය දක්වා එකිනෙකා සමග යුද නොවදින බවට පළමු වාක්‍යයෙන් සපත කරයි. ඇතැම් අකුරු මැකී ඇති මුත් දෙවන වාක්‍යයෙන් කියැවෙන්නේ දෙදෙනාගෙන් කෙනෙකුන් පළමුව ආයාම වුවහොත් (මියගියහොත්) ඔහු සතු දේ අනෙකාට අත්පත් වන බවය යන්න වටහා ගත හැක. තුන්වන වාක්‍යයෙන් කුමක් අදහස් කලේද යන්න පැහැදිලි නොවන තරමටම එහි කොටස් මැකී ගොස් ඇති මුත් සිව්වන වාක්‍යයෙන් කියවෙන්නේ ඔවුන් අතුරින් එක්කෙනෙකු හට සතුරු වූ යම් රජදරු කෙනෙකු වේ නම් ඔහු ඔවුන් දෙදෙනාගේම සතුරන් ලෙස සලකන බවය. මෙම එකඟතාවය කඩ කිරීම තුනුරුවනේ ආඥාව කඩ කිරීමක් ලෙස සලකන බවටත් එසේ කලහොත් ඔවුන් නරකාදියෙන් කිසිදා මුක්ත නොවනු ඇති බවටත් අවසානයේ සඳහන් වේ. සංස්කෘත ශ්ලෝකයේ කියවිය හැකි කොටසින් මෙම අකුරු ඉර හඳ පවතින තුරා ලොවෙහි ආරක්ෂා වන ලෙසට වූ ප්‍රාර්ථනයක් සහ අනෙකාගේ හිතසුව පිණිස වූ ඔවුන් දෙදෙනාගේ සංධානය ඇල්මෙන් හාත්පස පැතිරේවා වැනි අදහසක් ගම්‍ය වන බව පෙනේ. 

පළමුවන විජයබාහු රජුගෙන් පසු පළමුවන පරාක්‍රමබාහු දක්වා සිංහලද්වීපයේ ඉතිහාසය සැකවින්

ඒ වූ කලී දීර්ඝ චෝල පාලනයකින් පසු චෝලයන් පලවාහැර සිංහලද්වීපය එක්සේසත් කල පළමුවන විජයබාහුගෙන් (පො.ව. 1055-1110) පසු උදාවූ නැවතත් රට සිංහල පාලකයන් කිහිප දෙනෙකු අතර බෙදී ගිය එමෙන්ම ඔවුනොවුන් අතර නිතර සිවිල් යුද්ධ ඇතිවූ අරාජික කාලයකි. දෙවන ගජබාහු (පො.ව. 1132-1153) රජරට පාලනය කල අතර සිය මාමා වූ කිත්සිරිමේඝගෙන් පසු දක්ඛිණ දේශයේ පාලනය පරාක්‍රමබාහු කුමාරයා හට හිමිව තිබිණ. මානාභරණ රුහුණු රටේ පාලකයා වූවේය. මුලු දිවයිනේම බලය තමා නතු කරගැනීමේ අරමුණෙන් යුතුව පරාක්‍රමබාහු කුමාරයා පළමුව රජරට පාලකයා වූ ගජබාහු හට අයත්ව තිබූ ගිරිදුර්ග, වනදුර්ග, ජලදුර්ග බහුල මලය රට යුධ ගැටුම් සහ විවිධ උපක්‍රම මගින් ගජබාහු යටතේ එහි සිටි ප්‍රාදේශීය පාලකයන් තමා වෙත නම්මා ගැනීම ආදියෙන් අත්පත් කරගෙන රජරට සෙසු ප්‍රදේශ කරාද සිය සේනා මෙහෙයවමින් සිටියහ.  ගජබාහුගේ අගනුවර වූ පොළොන්නරුව ආසන්නයටම ආළිසාර රට අල්ලාගනිමින් පරාක්‍රමබාහු කුමරු පැමිණි අවස්ථාව වන විට රුහුණේ පාලකයා වූ මානාභරණ පරාක්‍රමබාහු කුමරුට එරෙහිව ගජබාහු රජු සමග එක්වී ගජබාහුගේ සේනා සමග පරාක්‍රමබාහු ගේ සේනාවන්ට එරෙහිව සටන් වදී. එහෙත් සටනේ ජයග්‍රහණය පරාක්‍රමබාහු හට හිමිවන ලකුණු පෙනීමත් සමගම මානාභරණ ගජබාහු සමග වූ එකඟතාවයන් කඩකර පරාක්‍රමබාහු සමග සන්ධානයකට මුල පුරයි. පොළොන්නරුව නගරය යටත් කරගන්නා පරාක්‍රමබාහුගේ සේනාවන් ගජබාහු ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඔහුව සිය මාළිගය තුලම සිරකර තබයි. මේ වන විට පරාක්‍රමබාහු කුමාරයා නගරයට පිටතින් බොහෝවිට වර්තමාන නාලන්ද ප්‍රදේශයේ සිටි අතර ගජබාහු හට රෙදිපිළි ආභරණ ආදී තෑගි යවා ඔහුට හොඳින් සලකන ලෙසට සිය සේනාධිපතීන් හට නියම කරයි. එහෙත් ජයග්‍රහණයෙන් උදම් වී සිටි පරාක්‍රමබාහුගේ සෙබලුන් නගරයේ කොල්ලකෑම් ආදිය සිදුකරමින් සිදු කල ක්‍රියාවන් හේතුවෙන් නගරවැසියන්, ඇමතිවරුන් ආදිය එක්වී ඒ වනවිට සොරබොර සිටි මානාභරණ හට පැමිණ රජරට පාලනය භාරගන්නා ලෙසට පණිවිඩ යැවීය. මානභරණගේ සේනාවන් සහ පරාක්‍රමබාහුගේ සේනාවන් අතර සිදුවූ ගැටුම් වලින් මානාභරණ ජයගන්නා අතර පරාක්‍රමබාහුගේ සේනාවන් නගරය අතහැර පලායයි. නැවත නගරය යථා තත්වයට ගෙන ඒමෙන් දින කිහිපයකට පසුව මානාභරණ ගජබාහුගේ සියලු සාමන්තයන් මරා ගජබාහු රජුද නැවතත් සිරගෙයි දමයි. ඔහුගේ අරමුණ වූවේ රහසිගතව විෂ ශරීර ගත කර ගජබාහු රජුද මරා මුළු රජරටේම පාලනය සියතට ගැනීම වූ බව වංශ කතාව පවසයි. මේ බව වටහාගත් ගජබාහු රජු තමාව මුදවාගන්නා ලෙස පරාක්‍රමබාහු කුමරා හට පණිවිඩ යවයි. වහාම ක්‍රියාත්මක වන පරාක්‍රමබාහු නැවතත් සේනාවන් යවා නගරය වටලා මානාභරණ පලවා හැර නගරය මුදා ගනී. ගජබාහු කොට්ඨසාර ( ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රදේශයේ පිහිටි වර්තමාන  කොට්ටියාර් පෙදෙස) ප්‍රදේශයට පලායන අතර එකවර නගරයට ඇතුළු නොවන පරාක්‍රමබාහු ගිරිතටාක (වර්තමාන ගිරිතලේ) ප්‍රදේශයේ කඳවුරු බැඳගනී. නැවතත් ගජබාහුගේ දේවාධිකාරි ප්‍රමුඛ ඇමතිවරු පරාක්‍රමබාහුගේ සේනාවන් සමග ගැටුම් ඇතිකරගැනීම හේතුවෙන් පරාක්‍රමබාහුගේ පිරිස් ගජබාහු රැඳි සිටි කොට්ඨසාර පෙදෙස වැටලීමට පටන් ගත්හ. ස්ථාන කිහිපයකදීම සිය සේනාවන් පසු බැසීමත් සමග සිය අවසාන ගැලවීම පිණිස ගජබාහු භික්ෂු සංඝයා වෙත මෙයට මැදිහත් වන ලෙස ආයාචනා කල බව මහාවංශය සඳහන් කරයි. මහාවංසය අපට පවසන පරිදි ගිරිතලේ පෙදෙසට ගොස් පරාක්‍රමබාහු හමුවන භික්ෂුන් වහන්සේ ඔහුට පවසන්නේ " ඒ රජුගේ පුතාද, සොහොයුරෝද එපමණක් නොව ඔහුද මහළු බැවින් මාරමුඛයේ සිටිති. රාජ්‍ය සාධනය ලෝකශාසන අභිවෘද්ධිය පිණිස හේතුවන්නේය. ඔබගේ ප්‍රතිඥාවද නොබෝ කලකින්ම සමෘද්ධ නොවන්නේය. එබැවින් භික්ෂු සංඝයාගේ වචනය ගරු කරන ඔබ යුද්ධය අතහැර සිය රටට යා යුතු" බවය. වංශ කතාව වැඩිදුරටත් පවසන්නේ සංඝයාගේ වචනය අසා දුකසේ ලබාගත් රාජ්‍යය ගජබාහු රජුට දී පරාක්‍රමබාහු කුමරා සිය රටට ගිය බවය. ගජබාහු රජු ගංගාතටාක නම් ස්ථානයට පැමිණ (වර්තමාන කන්තලේ ) සිය අවසන් කාලය එහි ගත කරන අතර මානාභරණ නැවත ගජබාහු සමග සමගි වීමට පඬුරු යැවූ මුත් එයට එකඟ නොවන රජු මහාවංශයේ සඳහන් වන පරිදි මණ්ඩලගිරි විහාරයට පැමිණ "මගේ රජරට පරාක්‍රමබාහු රජුට දෙනලදී " යැයි ගලක මතුපිට ලියවා දෙවිසි වසක් සිට රෝගයකින් පෙළී මියයයි.

නැවතත් මේ ලිපියේ මුඛ්‍ය අරමුණ වන සෙල්ලිපිය කෙරෙහි අවධානය යොමු කලහොත් ඉහත ඓතිහාසික තොරතුරු අනුව එම ලිපියේ නම් සඳහන් ගජබාහු සහ පරාක්‍රමබාහු හඳුනාගැනීම එතරම් අපහසු නොවේ. ලිපියේ අකුරුද දෙවන ගජබාහු සහ පළමුවන පරාක්‍රමබාහු සිටි යුගයට අයත් වෙනත් සෙල්ලිපි වල අක්ෂර සමග මැනවින් ගැලපේ. එපමණක් නොව වංශ කතා තොරතුරු වලට අනුව ගජබාහු සහ පරාක්‍රමබාහු නම් වූ රජවරුන් දෙදෙනෙකු එකම කාලයක ජීවත්ව සිට ඇත්තේද එක් සමයකදී පමණි. එපමණක් නොව මෙම සෙල්ලිපියේ සඳහන් වන පරිද්දෙන්ම පරාක්‍රමබාහු සහ ගජබාහු දෙමස්සිනාලා වේ. පරාක්‍රමබාහු කුමරා මුල් කාලයේ පොළොන්නරුවේ පිහිටි ගජබාහුගේ මාළිගයේ ඔත්තු බලමින් ඔහුගේ රාජ සභාවේ සහ වෙනත් ස්ථාන වල සිටින නිලධාරීන් සහ ඇමතිවරුන් සමග සම්බන්ධතා ගොඩනගාගනිමින් රජුගේ අනුග්‍රහය ඇතිව කාලය ගත කල අතර, එම කාලයේදී රුහුණෙහි සිටි සිය මවට හසුන් යවා සිය නැගණිය වූ භද්දවතී කුමරිය ගෙන්වා ගජබාහු රජුට එම කුමරිය පාවාදී රජුට තමාගේ විශ්වාසය ඇති බව පෙන්වූ බව මහාවංශය සඳහන් කරයි. සෙල්ලිපියේ සඳහන් කරුණු සහ ගජබාහු රජු මණ්ඩලගිරි විහාරයේ ගලක් මතුපිය ලියූ ලෙස මහාවංශයේ සඳහන් පාඨය එකම නොවූවත් සෙල්ලිපියේ දෙවන පාඨයෙන් අන් ආකාරයකින් කියැවෙන්නේ ගජබාහුගෙන් පසුව පරාක්‍රමබාහු හට ගජබාහු හට අයත්ව තිබූ රජරට හිමිවන බව විනා අන් යමක් නොවන බව පැහැදිලිය. එසේම සෙල්ලිපියේ සිව්වන පාඨයෙන් ඔවුන් අතරින් එක්කෙනෙකුගේ සතුරු වූ යම් රජදරු කෙනෙක් අනෙකාගේද සතුරෙකු ලෙසට සලකන බවට වූ සඳහනින් අදහස් කලේ රුහුණේ පාලකයා වූ මානාභරණ බවද වටහා ගැනීම එතරම් අපහසු නොවේ. වංශ කතාව අනුව ගජබාහු රජු මිය යන තෙක්ම එම එකඟතාවය කඩ නොකල බවද පැහැදිලි වේ.

සෙල් ලිපිය කොටා ඇති ගල මතට දිස් වන මැද්දේකැටිය වැව

කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍ර ආදිය මැනවින් හදාරා සිටි පරාක්‍රමබාහු කුමරා මෙම එකඟතාවය මගින් උපක්‍රමිකව සම්ප්‍රදායට අනුව ඔහුට හිමි නොවූ රජරට රාජ්‍යයට ගජබාහු රජු හරහා ඔහුගේ අයිතිය ඇති කරගත් බව මේ පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන බව සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. මක් නිසාද යත් ඒ වන විටත් ගජබාහු රජු හට මහින්ද සහ අනිකංග නම් සොහොයුරන් දෙදෙනෙකු සිටි අතර පරාක්‍රමබාහු කුමරුට වඩා රජරට රාජ්‍යයට වැඩි අයිතියක් ඔවුනට හිමිවේ. වංශ කතාව කුමක් පැවසුවත් සෙල්ලිපියේ අන්තර්ගතය අනුව එහි මුලින්ම නම සඳහන් වන්නේ ගජබාහු රජුගේ නම වන අතර එමගින් ඔහුගේ ප්‍රධානත්වය පරාක්‍රමබාහු කුමරාද පිළිගෙන ඇති බව විද්‍යාමාන වේ. කෙසේ නමුත් මෙම සෙල්ලිපිය පිහිටි ප්‍රදේශය එවකට පරාක්‍රමබාහු රජුට අයත් දක්ඛිණ දේශයේ බල ප්‍රදේශයේ වූ අතර වර්තමාන සංගමු විහාරය එම යුගයේ හැඳින්වූවේ මණ්ඩලගිරි විහාරය ලෙසින්ද නැතහොත් වෙනත් නමකින්ද යන්න පිළිබඳව සාධක හමුනොවේ. මහාවංශයේ සඳහන් මණ්ඩලගිරි විහාරය වර්තමාන මැදිරිගිරිය විහාරය ලෙස සලකන සෙනරත් පරණවිතාන මහතා මහාවංශයේ සඳහන් ලිපිය වර්තමාන මැදිරිගිරිය විහාරයෙන් මෙතෙක් හමු නොවීම පැහැදිලි කරන්නේ වනගහනයෙන් වැසුණ විශාල ප්‍රදේශයක පැතිරුණ නටබුන් සහිත එම පරිශ්‍රයෙන් එය ඇතැම්විට ඉදිරි කාලයේදී හමුවිය හැකි බවය. එතුමා සංගමු විහාර ලිපිය එම ලිපියේ පිටපතක් ලෙස සලකන අතර පරාක්‍රමබාහු සහ ගජබාහු අතර එකඟතාවයක් ඇති කරගැනීමට මුල්වූ භික්ෂුන් එවකට වර්තමානයේ මැදිරිගිරිය සහ සංගමුව යන නම් වලින් හැඳින්වෙන විහාර දෙකේම සිටින්නට ඇති බවත් එහෙයින් එම තැන් දෙකෙහිම ලිපි පිහිටුවන්නට ඇති බවත් පවසයි. කෙසේ නමුත් මණ්ඩලගිරි නමින් විහාර එකකට වඩා එම යුගයේ තිබෙන්නට නොහැකිද යන පැනය මෙහිදී මතුවේ. වර්තමාන සංගමුව විහාරයද යුග කිහිපයකදීම වැදගත් ස්ථානයක් ගත් විහාරයක් බවට සාධක බොහෝමයක් දැනටත් ඉතිරි වී තිබේ (සංගමු විහාරයේ අනෙකුත් නටබුන් පිළිබඳව විස්තරාත්මක ලිපිය >> )

කෙසේ නමුත් ගජබාහු රජුගෙන් පසු ඔහුගේ ඇමතියන් මෙම එකඟතාවය කඩ කර රුහුණේ පාලකයා වූ මානාභරණ හට පැමිණ රජරට පාලනය භාරගන්නා ලෙසට පණිවිඩ යවන අතර එය නැවතත් පරාක්‍රමබාහු සහ මානාභරණගේ හමුදාවන් අතර දීර්ඝ කාලීන යුද්ධයකට මුල පිරීමක් බවට පත්වේ. එහි අවසානය රුහුණේ ප්‍රභූ පන්තිය සදාකාලිකව විනාශ කර දැමීමෙන් නැතහොත් බෙලහීන කර දැමීමෙන් සහ පරාක්‍රමබාහු රටේම පාලකයා වීමෙන් අවසන් වේ. බලය මුල් කරගත් දේශපාලනයේදී මොන ගිවිසුමත් නිකන්ම නිකන් ලියැවිල්ලක් පමණක්ය යන්න එදා මෙදා පමණක් නොව මතුදාටත් අදාල පරම සත්‍යයක් නොවේද?

මෙම සෙල්ලිපිය සහ සංගමුව රජමහා විහාරයේ වෙනත් නටබුන් දැක්වෙන වීඩියෝව >> 

මූලාශ්‍ර

  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume IV (1934 - 1941), Edited by S. Paranavitana, 1943
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6, G.S. Ranawella, 2007

Saturday, March 11, 2023

අනුරාදගාමයේ යශද පරුමකනෙ පඩි තැනූ රුහුණේ මලල ඔය නිම්නයේ යාන්ගල මත පිහිටි පැරණි විහාරය


පැරණි රුහුණු රටේ මලල ඔය නිම්නයේ පිහිටි වර්තමානයේ යාන්ගල නැතහොත් යහන්ගල ලෙසින් ව්‍යවහාර වන, එතරම් උස් නොවූ ගල් තලාවක් මත පිහිටි එකම මලුවක තනා තිබූ දැනට නටබුන් වූ ස්තූප දෙකකින් සහ එයට පහලින් තැන තැන වූ තවත් නටබුන් ගොඩනැගිලි කිහිපයකින් සමන්විත පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයක් පිහිටා ඇත. ගල් පර්වතයේ පහල බොහෝවිට ස්වභාවික නොවන හෝ ස්වභාවිකව තිබූ පසුව කිසියම් කලෙක මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සකසා ගත් ගල් ලෙන් දෙකක්ද දැකිය හැක. ස්තූප මලුවේ වූ ස්තූප දෙකින් එකක් පමණක් දැනට සංරක්ෂණය කර ඇති අතර අනෙක් ස්තූපය නටබුන් වූ අයුරින්ම පාදා ගෙන තහවුරු කර ඇත. 
ගල් ලෙන් දෙක

ගල් තලාවේ තැන් තැන් වල ජලය එක් රැස් වන ස්වභාවික දිය කෙමි කිහිපයක්ම දැකිය හැක (මේ සමග ඇති වීඩියෝව බලන්න.) මෙම දිය කෙමි ආරාමික ගොඩනැගිලි භාවිතා කල අවධියේ භික්ෂූන්ගේ ජල අවශ්‍යතා සඳහා හාවිතා වන්නට ඇත. මෙම පරිශ්‍රය ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් සිදුවූ ස්ථානයක් බවටද තැනින් තැන හමුවන ශිලා මෙවලම් සාධක සාක්කි සපයයි.

යාන්ගල නටබුන් දැක්වෙන කෙටි වීඩියෝව >>

මෙහි පිහිටි ස්තූප දෙක හැරුණු විට අනෙකුත් ගොඩනැගිලි ආදියේ පුරාවිද්‍යාත්මක කැනීමක් මෙතෙක් සිදුවී නොමැති අතර ස්ථානයේ පැරණි නම හෝ වෙනත් තොරතුරු කිසිවක්ද අනාවරනය වී නොමැත. මෙහි පිහිටි මුල් බ්‍රාහ්මි අවධියට අයත් සෙල්ලිපි දෙකක් පමණක් කියවා පලකර ඇති අතර එම සෙල්ලිපි වල වර්තමාන තත්වයද පැහැදිලි නැත. අප හට හමුවූ ස්තානයට අදාල පසුගිය සියවසේ 60-70 දශකවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා වල සඳහන් වූ කරුණු කිහිපයක් පමණක් පහත උපුටා දක්ව ඇත.

1964-65 මුදල් වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ  එවකට එම තනතුර දැරූ චාල්ස් ගොඩකුඹුරේ මහතා සඳහන් කරන්නේ එම වර්ෂයේ මාගම්පත්තුවේ බදගිරිය ගොවිජනපදයේ පිහිටි යාන්ගල දාගැබ පිහිටි පැරණි ස්ථානය නැවත පරික්ෂා කල බවත්, එය තහවුරු කිරීමේ කටයුතු කරගෙන යන බව සහ පස් හා ගඩොල් කැබැලි වලින් වැසී තිබූ දාගැබේ පේසාවල් ඒ වන විට පාදාගෙන යන බවත්ය. 

ස්තූප පිහිටි ගල් පර්වතයට පහලින් වූ කිසියම් නටබුන් ගොඩනැගිල්ලක්
ඉහත නටබුන් ගොඩනැගිල්ල මධ්‍යයෙහි පිහිටි වෘත්තාකාර කොටසක් මතු කල සතරැස් ගල් පුවරුවක්

 1965-66 මුදල් වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ නැවතත් චාල්ස් ගොඩකුඹුරේ මහතා සඳහන් කරන්නේ හම්බන්තොට දිසාවේ මාගම්පත්තුවේ යහන්ගල නමින් ආයතචතුරශ්‍ර මලුවක දාගැබ් දෙකක් තිබී ඇති බවත්, ඉන් එක් දාගැබක් පමණක් හැඩහුරුකම හඳුනාගතහැකි තරමටවත් ශේෂව ඇති බවත්ය. එම දාගැබේ සැලැස්මක්ද එකී වාර්තාවේ ඉදිරිපත් කරමින් හෙතෙම වැඩිදුරටත් සඳන්කරන්නේ එම දාගැබේ හැඩය සාහිත්‍යයේ ඝටාකාර ලෙසින් හැඳින්වෙන වර්ගයට අයත් එකක් බවය. එහි පාමුල කැනීමේදි දාගැබ ඇති ස්ථානයේ කාලපරිච්ඡේද තුනක වැඩ ඇති බවට සාධක හමුවූ බවත්, දාගැබේ පේසාවල ගඩොල් තියුණු ආයුධයකින් සූරා ඒවා මත රටාවල්කර ඇති බව සහ පැරණි බදාමයද තැන තැන ශේෂ වී තිබෙන බවත් ගොඩකුඹුරේ මහතා තවදුරටත් සඳහන් කරයි. ගඩොලින් කර බදාමයෙන් වසා ඇතැයි සිතිය හැකි සඳකඩ පහණක් දාගැබ ළගින්ම ගල මතු පිට  ශේෂව ඇති බවත්, තවමත් බදාමය හොඳ තත්වයෙන් තිබෙන සඳකඩ පහණ ඉදිරි කෙළවර දාගැබ දෙසට ඇතිව පිහිටා ඇති බැවින් එය දාගැබ සම්බන්ධ එකක් නොවන බව පැහැදිළි  වන බව සහ එහෙයින් දාගැබ තනන්නට පෙර ගල මතු පිට වෙනත් ගොඩනැගිලි තිබුණු බව පසක් වන බවත් එම වාර්තාවේ සඳහන් වේ. 

එකම මලුවක් මත පිහිටි ස්තූප දෙක

නැවතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවක මෙම ස්ථානය ගැන සඳහන් වන්නේ 1967-68 මුදල් වර්ෂය සඳහා වූ වාර්තාවේය. ඒ එම ස්ථානයේ නටබුන් සම්බන්දව හෝ ඒවායේ සිදුකල කැනීම් හෝ තහවුරු කිරීම් සම්බන්ධ විස්තරයක් නොව එම දාගැබ පිහිටි ගලේ කිසියම් අයකු විසින් ලියා තිබූ අකුරු වගයක් සම්පූර්ණයෙන් ඉවත් කිරීම සම්බන්ධවය. එම ගලේ විශාල සිංහල අකුරින් "යහන්ගල කහගල්ල පුරාණ විහාරය" යන වචනද, ඉංග්‍රීසි අකුරෙන් "ටී. මහින්ද-ආට් බයි පෙම්බරා" ලෙසින්ද ලියා තිබී ඇත.

සංරක්ෂණය කල ස්තූපය

1972 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පලකල පැරණි ස්මාරක නාමාවලියේ සඳහන් වන්නේ යාන්ගල දාගැබ පිහිටි ගලට නැගීමට ගලේ කපන ලද පඩි පෙල දෙපස පො.ව. 1 වෙනි සියවසට අයත් කුඩා සෙල්ලිපි කීපයක් ඇති බවය. සෙනරත් පරණවිතාන මහතා මෙම සෙල්ලිපි වලින් දෙකක් එතුමා විසින් 1970 වර්ෂයේ පලකල Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions ග්‍රන්ථයේ ඇතුලත් කර ඇත. එම සෙල්ලිපි දෙකින් එකක් පඩිපේලියේ පසක කොටා තිබී ඇති අතර එම ලිපියේ සඳහන් වන්නේ පුද්ගලයන් සය දෙනෙකුගේ ( 1. අබහ 2. ශුරහ 3. බලගුතහ 4. ද....ශ 5. ක(ම)චු(ඩ)හ 6. තිශ තෙරහ) නම් පමණි. එහි අවසානයට සඳහන් වන තිශ භික්ෂුවක වූ බව පෙනේ. එකී ලිපියේ පෙල මේ අයුරින් වේ.

නටබුන් වූ ගොඩනැගිල්ලක පිහිටි එතරම් උස් නොවූ ගල් කණු

අබහ ශුරහ බලගුතහ ද....ශ ක(ම)චු(ඩ)හ තිශ තෙරහ

ඒ අසල පිහිටි ගලක කොටා තිබූ අනික් ලිපියේ පෙල සහ එයට පරණවිතාන මහතා ඉදිරිපත් කල ඉංග්‍රීසි පරිවර්තනය පහත දක්වා ඇත.

පරුමක නශික උති පරුමකනෙ (අ)නුර(ද)ගම යශදය...

The chief Nasika Uti and the chieftainess Yasada of Anuradhagama. 

ඒ අනුව පරුමක තනතුරක් දැරූ නශික උති  සහ අඩමාන වශයෙන් කියැවූ අකුරු දෙකක් සමග අනුරදගම ලෙසින් කියැවූ ගමක සිටි පරුමකවරියක වන යශදය යන අයගේ නම් එහි සඳහන් වේ. මේ නම් සහිත පුද්ගලයන් මෙම පඩි තැනූ පුද්ගලයන් බවට සෙනරත් පරණවිතාන මහතා එම ග්‍රන්ථයේ පාද සටහන් වල පවසයි. ඉහත සඳහන් අනුරදගම ඒ නමින්ම වංශකතා වල හැඳින්වූ පිහිටි රටේ පිහිටි සුප්‍රසිද්ද අනුරදගම (වර්තමාන අනුරාධපුරය) නොවන බවද පරණවිතාන මහතා අවධාරණය කරයි.

ස්තූප මලුව මත තබා ඇති  එක් ස්තූපයක යූප ගලේ කොටසක් සහ මල් ආසන විය හැකි සෙල්මුවා පුවරු

මූලාශ්‍ර 

  • 1964 - 65 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, චාල්ස් ගොඩකුඹුරේ, 1967
  • 1965 - 66 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, චාල්ස් ගොඩකුඹුරේ, 1968
  • 196 - 68 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, ආර්. එච්. ද සිල්වා , 1970
  • පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය, හම්බන්තොට දිස්ත්‍රික්කය, පළමු වෙළුම, 2019
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.