Showing posts with label Robert Brownrigg. Show all posts
Showing posts with label Robert Brownrigg. Show all posts

Sunday, April 2, 2017

රජුන් හොරුන් කිරීම සහ හොරුන් රජුන් කිරීම - ශ්‍රී වික්‍රම රාජසිංහ ආදර්ශය 1

මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - මැණික්කඩවර
ජෝන් ඩොයිලිගේ දීර්ඝ කාලීන චරපුරුෂ ව්‍යාපෘතියක පරිසමාප්තිය සනිටුහන් කරමින් තුන් සිංහලේ කිරීටය වර්ෂ 1815 මාර්තු මස දෙවෙනි දින මහා බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝජ් රජතුමාගේ දෙපාමුල තැන්පත් කරවිණි. බලලෝභී සිංහල නායකයින් නොමග යවමින්, ඇහැළේපොළ  නිලමේතුමාගේ රාජ යෝග සිහිනය කුඩුපට්ටම් කරමින් ඉංග්‍රීසීන්ගේ  විශේෂයෙන්ම ඩොයිලිගේ සහ බ්‍රවුන්රිජ්ගේ සූර සහ කපටි දේශපාලන උපාය උපක්‍රම මල්ඵල දරමින් සිංහල රාජාවලියේ අවසානය ලගාවිය. මෙම ක්‍රියාදාමය තුලදී 1815 ට පෙර සහ පසු ජනතාව කෙරෙහි සහ සිංහල නායකයන් කෙරෙහි රජතුමා සම්බන්ධ ප්‍රතිරූපය සහ විශ්වාසය හීන කිරීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් විය. ඇහැළේපොළ කුමාරිහාමි ලවා ඇයගේ දරුවන්ගේ හිස් වන්ගෙඩියක දමා කෙටවීම වැනි අසත්‍ය කටකතා නිර්මාණය කර මේ දක්වාම පවතින ලෙසින් ජනතාව අතරට යැවිණි. (මේ සම්බන්ධව වැඩිදුර විස්තර වෙනම ලිපියකින් ඉදිරියේදි ඉදිරිපත් කරමු)
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - හිඳගල
බටහිර අධිරාජ්‍යවාදී බලමුළු වල පූර්ණ අනුග්‍රහය ඇතිව එංගලන්තයේ ජෝන් ඩොයිලි වෙනුවට ඉන්දියාවේ අජිත් ඩෙවොල්ගේ චරපුරුෂ ව්‍යාපෘතියක් සාර්ථක ලෙස නිමා කරමින් (කියවන්න - ඉන්දියාවේ අජිත් ඩෙවොල් රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව) ඊට වසර 200 කට පසු ජනවාරි මස 8 වන දිනක මේ රට නැවතත් 1815 වැනිම වූ පාවාදීමකට ලක්විය. ඊට පෙර හා පසුද 1948 න් පසු මෙරට බිහිවූ විශිෂ්ඨ ජාතික නායකයකුගේ ප්‍රතිරූපය විනාශ කිරීමට සහ ජනතාව අතර ඔහුව අප්‍රසාදයට පත් කිරීමට සිදු කල ප්‍රචාරක මෙහෙයුම් නිමක් නැතිවා මෙන්ම ඒවායින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමටද අල්ලපු රටේ හොටබරියන්ට හැකිවිය. ඇහැළේපොළ ලෙසම රජ පුටුවට කෙල හැලූ පාංකඩයක් මේ වන විට රටවැසියන්ගේ කුණු බැනුම් අසමින් තවමත් යහතින් වැජඹේ (අවම වශයෙන් කුරුල්ලන් එලවීමටවත් හැකි නිසා පඹයාට ඔහුව සමාන කිරීමෙන් පඹයන්ට අපහාස නොකරමු.) මෙවන් තත්වයක් යටතේ එදා ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සම්බන්ධයෙන් සිදු කල මඩ ප්‍රචාරක මෙහෙයුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වන්නේ එය වර්තමානයටද අඩු වැඩි වශයෙන් අදාල වන බැවිනි.
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - දෙගල්දොරුව
ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ කවිකාර මඩුවේ වැලිගල කවිසුන්දර නම් වූ කවියෙකු විසිය. හෙතෙම රජතුමාට ප්‍රශස්ති කීමේ සිය රාජකාරිය ඉටුකරමින් සිටි යුගයේ, වර්ෂ 1803 දී සිදුවූ ඉංග්‍රිසීන් මහනුවරදී සමූලඝාතනය වූ සටන තේමා කරගනිමින් ඉංග්‍රීසි හටන නමින් යුත් රචනයක් සිදු කරනු ලැබූහ. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත මහ නායක හිමියන්ගේ ගෝලයෙකු වූ ඔහු, වර්ෂ 1816 වන විට වර්තමානයේ මෙන් දිනන පැත්තට හොරණෑව ගහගෙන පිල් මාරු කරන සෝමරත්න දිසානායක වැනි කලාකාරයන් මෙන් ශ්‍රී වික්‍රමරාජසිංහයන් හෙලා දකිමින් යුවරජු ලෙසින් ඇහැළේපොළ අධිකාරම්තුමා අමතමින්, ඇහැළේපොළ වර්ණනාව නම් වූ කවි මාලාවක් රචනා කරන ලදි. මෙහි උපුටා දක්වන්නේ එම කවි අතරින් ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය ඝාතනය කිරීම සඳහා පබැඳි කවි කිහිපයකි.
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - හල්පේ සුදර්ශනාරාමය
වැවක් බඳිමැයි කොටු ගොඩැල්ලේ සියක් බඹයක් විතර උසටම
වැඩක් නැතිකර ගෙවතු ගහකොළ කොටා වනසා ගෙවල් සහ හැම
නොයෙක් රටවල දිසාවල මහ සෙනඟ රැස්කරවා ගමින් ගම
යමෙක් ලෙස රැක ඉඳින බැම්මට පස් අද්දවන ලෙසට කර පෙම

මෙම පැදිය සහ ඉන් පසු එන පද්‍ය මගින් කවියා ඉස්මතු කිරීමට උත්සහ කරනුයේ ප්‍රධාන වශයෙන් නගර අලංකරණය සහ ඇතැම් විට කෘෂිකාර්මික කටයුතු සඳහා එවකට කිරි මුහුද නමින් හැඳින්වූ වර්තමාන මහනුවර වැව ඉදිකිරිම නිශ්ඵල ක්‍රියාවක් බවත් ඒ සඳහා ශ්‍රි වික්‍රමරාජසිංහ රජතුමන් බලහත්කාරයෙන් ජනයා යොදා ගත් බවත්ය. සසදන්න ඊට වසර 200 කට පසු මිහිපිට අපායක්ව තිබූ කොළඹ නගරය අලංකාර නගරයක් බවට පත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කල මෙහෙවර නිශ්ඵල කටයුත්තක් ලෙසත් ඉන් බඩගින්නේ සිටින ජනතාවට කිසි පිලිසරනක් නැති බවත් කියමින් බෙරිහන් දුන් රතු සහ කොළ අලි ප්‍රචාරක මෙහෙයුම සමග.
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - වේරගොඩ වළගම්බා ගල්ලෙන් විහාරය
නාථ දේවාලය අයත් දෙය්යන්නේ වෙල ලෙසින් හැඳින්වූ කුඹුරු යායක් මෙම වැව නිසා ජලයෙන් යටවූ අතර එහි පස් බැම්ම තැනීම කවියාගේ උපහාසයට ලක්වූවේ මෙසේය.

තවත් සෙන්කඩගල නුවර තනවමැයි සිතුවක් සිතීලා
මහත් රටවැසි දනන් ගෙන්නා වීදි බිඳුමට වැදීලා
වතුත් ගහකොළ ගෙවල් දොරවල් මුලින් සිඳ බිඳ දමාලා
බිමත් බිඳිනට පටන්ගෙන තැන තැනෙහි පස්කඳු ගසාලා

උතුම් සිරිමා බෝධි සමිඳුන් උසට කළ මහ පස් ගොඩේ
නරින් සුනකුන් නැඟී පහරති දිවා රෑ නොවමින් ඉඩේ
තෙදින් පරසිදු රාම සුරඳුගේ විමන ළඟ පස් කඳු හැඩේ
දනන් යන එන පහර පහරා අසුචි බිම විය හැම විඩේ. 

ශ්‍රි මහා බෝධියේ උසට ගොඩ ගැසූ පස් ගොඩේ නරින් සහ සුනඛයන් මල පහ කරන බවත් රාම සුරිඳුගේ විමන ලෙස මෙහි හැඳින්වෙන විෂ්ණු දේවාලය අභියස ගොඩ ගැසූ පස් ගොඩේ යන එන මිනිසුන් නිතරම අසූචි දමන බැවින් එහි හැම විටම අසූචි තිබූ බවත් පැවසීමෙන් කවියාගේ නොසන්සිඳෙන වෛරය වටහා ගත හැක. ඇවිදින මන්තීරු හදන්නේ කා බී තරබාරු වූවන්ගේ තෙල් බැස්සවීම සඳහා බවත් මාගම්පුර වරාය ආසියාවේ ලොකුම පූල් එක බවත් කියමින් කෑ මොර දුන් ඉරිසියාකාර මෝඩ දේශපාලුවන් සහ ඔවුන්ගේ වහලුන් සිහියට නොනැගේද?
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - පිළිකුත්තුව
මේ තවත් එවන් කවක්

පාර තනමැයි සිතා ගැටඹේ පටන් බිම බිඳිනට වැදී
ගෝර දුක් දී රටවැසින් හට වෙහෙසමින් ඉඩමක් නොඳී
තීර නැතිවූ  උයන්වතු තනවමැයි එහි සිත වී ලැදී
වාර නොහැරම කෙටෙව්වේ පුර වටම පිට්ටනි වෙර දිදී

ගැටඹේ සිට මහනුවරට පාරක් තැනීම විවේචනය කරන වැලිගල කවිසුන්දර කවියාගේ ක්‍රියාව, කොළඹ - මාතර අධිවේගය තැනුවේ මහ හොරාට බෙලිඅත්තේ සිට ඇඹුල් තියල් නරක් වෙන්නට පෙර රජගෙදරට ගෙන ඒමට යැයි බෙරිහන් දුන් අනුර දිසානායක රතු අලියාගේ ඇස් දෙක නලලේ තබන් බිනූ පට්ටපල් කෙබර මෙන් නොවේද?  සූරිය වැව ක්‍රීඩාංගනය ගැන කියූ කතා මෙහි එන පුරය වටේම කල පිට්ටනි කතාව මෙන්ම වනවා නේද?
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - වේරගොඩ වළගම්බා ගල්ලෙන් විහාරය
සංචාරක ආකර්ශනය උදෙසා මහනුවර නගරයේ මෝටර් රථ තරඟ පැවත්වූ කල එය නාමල් බේබි කොළඹ ගණිකාවන් නුවර ගෙන්වා අනඟ රැගුම් රැගීමක් ලෙස අර්ථ දැක්වූ කුහකයන් මෙන්ම අපගේ කවියාද කුහකයෙකු බව පෙනෙන්නේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් පත්තිරිප්පුව ඉදි කිරීම විවේචනය කරන පහත පැදිය කියවීමේදීය. 

නිමල් මුනිඳුගේ දකුණු දළදා සමිඳු වැඩ සිටි හැම දිනේ 
දෙමල් පායට උසින් මහ පත්තිරිප්පුවක් තනමිනේ
සියල් ඇඳ පුටු තබා එහි ඉඳ ගෑනු සහ දවසරිමිනේ 
විපුල් කරගති එයින් වන වැඩ ඔහුට පරලොව ගිය තැනේ.

කවියා කියන ලෙසින් රජු ගැහැනුන් සමග එහි ඇඳ පුටු තබා දවස ගෙවා ඇත. ඔහුගේ විවේචනයට ලක්වූවේ එය දළදා මාලිගයට ඉහලින් පිහිටා තිබීමය. ගැහැනුන් සමග දවසැරියායැයි කීම පැහැදිලිවම කවියාගේ ප්‍රලාඵයකි. පත්තිරිප්පුව යනු රජුට පෙරහැර වැනි අවස්ථා නැරඹීම සඳහා උස් ව තනන කුඩා ගෘහයකි. මුලදී මෙය තාවකාලිකව එවන් අවස්ථා වලදි පමණක් තැනූ අතර ශ්‍රී වික්‍රමරාජසිංහ රජු එය දළදා මාළිගාව අසලින් ස්ථිර ගොඩනැගිල්ලක් ලෙස නිමවීය. පත්තිරිප්පුව පමණක් නොව රජ මාළිගයද තිබෙනුයේ දළදා මාළිගාවට ඉහලින් වන අතර ශ්‍රී වික්‍රමරාජසිංහට පෙර පළමුවන විමලධර්මසූරිය රජ කල පටන්ම දළදා මාළිගය සහ රජ මාළිගය එම ස්ථාන වලම තිබූ බවට සාධක ඇත. 
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - කහඳව පුරාණ ගල්ලෙන් විහාරය
ශ්‍රී වික්‍රමරාජසිංහ රජු හොරෙකු දුෂ්ටයකු සහ මිනීමරුවෙකු කිරීම සඳහා රචිත ඇහැළේපොළ වර්ණනාවේ තවත් පද්‍යයන් පිළිබඳව සහ ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ඉදිරි ලිපියකින් වැඩිදුරටත් විමසා බලමු.
මූලාශ්‍ර
  • ඇහැළේපොළ වර්ණනාව හෙවත් වඩුග සටන - මහාචාර්ය බන්දුසේන ගුණසේකර සංස්කරණය
  • Kandy Past and Present, Nihal Karunaratna, 1999
  • Heritage of Kandurata, Dr. H.A.P. Abeyawardana, 2004
  • Kandy, Anuradha Seneviratna, 1983

Friday, January 8, 2016

සිංහලේ මහා පාවාදීම් - එදා (1815) මොල්ලිගොඩලා සහ මෙදා (2015) මොල්ලි-සේනලා

 "පස්වරු 8 ට පමණ අධිකාරම්ගේ හිතවතෙකු වන හියඹලාපිටියේ මොහොට්ටාල කඳවුරට පැමිණ මාගේ සුවදුක් විමසා බලා සිය හිතවත් බව මා වෙත සැලකිරීම සඳහා අධිකාරම් විසින් ඔහුව එවූ බව පවසා, අපි කන්ද තරණය කිරීමට අදහස් කරන දිනය විමසා සිටියහ. මක් නිසාද යත් එවිට ඔහුට (අධිකාරමට) රජු සමග ඇති සම්බන්ධය නවතා වහාම හතර කෝරලයේ ජනතාව සමග අප හා එක් වීමට හැකි බැවිනි."
සිංහලේ අවසාන රජුගේ කිරුල
"මාගේ විමසීම් වලට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ අධිකාරම් පෙර දිනයේ අලුත්නුවර ආසන්නයේ සිටි බවත් අපට පෙර දින ඇසුන වෙඩි හඬවල් කිහිපය අපට පහර දෙන බවට බලන කොටුවට හැඟවීමේ අරමුණින් පමණක් කල බවත් අධිකාරම් කිසි විටකත් අපගේ හමුදාවන්ට පහර දීමට අවිගත් බල සේනා අපගේ පෙරමඟට යොදවන්නේ හෝ අපගේ කඳවුරු වලට එවන්නේ නැති බවත්, හිස් වෙඩි පමණක් පෙර දිනයේ මෙන්  විටින් විට පත්තු කරනුයේ ඔහු රජුට පක්ෂපාතී බව පෙන්වීමට සහ අපට පහර දෙන බව රජුට හැඟවීමට පමණක් බවත්ය."

1815 පෙබරවාරි 2 වෙනි දින කන්ද උඩරට සිංහලේ බලය යටපත් කරගැනීමේ අරමුණින් බලන කඩවත පාමුල ගණේතැන්නේ කඳවුරු ලා සිටි ඉංග්‍රීසි හමුදා වෙතට එවකට පලමු අධිකාරම් දූරයට අමතරව රජුගෙන් තුන් කෝරල, සතර කෝරල සහ සබරගමුව දිසාවන්ද ලබා සිටි මොල්ලිගොඩගේ පණිවිඩ කරුවෙකු පැමිණ සැල කල දේ, 1815 සිංහලේ යටත් කරගැනිමේ මහා මොළකරු වූ ජෝන් ඩොයිලි සිය දිනපොතේ සටහන් කර තබන්නේ එලෙසිනි. ඔහු කියූ අයුරින්ම කිසිදු ප්‍රතිරෝධයක් නොමැතිවම කන්ද තරණය කර, බලන කොටුව පසු කර ගන්නොරුව හරහා සෙංකඩගල පුරවරය අල්ලාගැනීමට ඊට දින කිහිපයකට පසු ඉංග්‍රීසි හමුදාවන්ට හැකිවිය.

සිංහලේ අවසාන රජුගේ  සිහසුන
පෙබරවාරි 28 වන දින බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මහා බ්‍රිතාන්‍යයේ යටත්විජිතභාර ලේඛම්ට යවන රහස් ලිපියකද මොල්ලිගොඩගේ මෙම පොරොන්දුව ගැන සඳහන් කරන අතර ඔහු පවසන අයුරින් ඔහුට ඉංග්‍රිසීන් සහ එක් නොවීමට ඇති එකම බාදාව ඒ වන විටත් මහනුවර රජුගේ බල ප්‍රදේශයේ සිටින සිය අඹු දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව පමණක් බවය. ඉංග්‍රිසීන් නුවර ආසන්නයට පැමිණිවිට රජු පලා ගිය පසු ඔවුන්ටද පලා ඒමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කරන බවද එතෙක් ඉංග්‍රීසි හමුදාවන්ට කිසිදු හානියක් නොකර හිස් වෙඩි පමණක් තබන බවට මොල්ලිගොඩ අධිකාරම පොරොන්දු වූ බවද ආණ්ඩුකාරවරයාද එම ලිපියේ සඳහන් කරයි. ඔහු කියූ අයුරින්ම ක්‍රියා කල බවද හෙතෙම අවසානයේ පවසයි (He afterward faithfully kept his words)

ඩොයිලිට පොරොන්දු වූ පරිදිම මොල්ලිගොඩ අධිකාරම පෙබරවාරි 8 වන දින හතර කෝරලයේ කොඩිය, ලේඛම් මිටිය සහ අනෙකුත් කොරල ප්‍රධානීන් කිහිප දෙනෙකු සමඟ පැමිණ ඩොයිලි හමුවේ සිය පාවාදීම ස්ථිර කරනුයේ ඒ වන විට ඔහුගේ අඹුදරුවන් සාර්ථක ලෙස රජුගේ බල ප්‍රදේශයෙන් නික්මුනු බව සැලවීමත් සමගය.

කලගුණ දත් ඉංග්‍රීසීන් මාර්තු 2 වෙනි දින උඩරට පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මොල්ලිගොඩ පලමු අධිකාරම් ලෙස පත් කරයි.

වැඩිකල් නොගොස්ම තමන් රැවටුන බව තේරුම් ගත් ඉංග්‍රීසීන්ගේ කර පිටින් ගොස් බලය ලබාගැනීමට තැත් කල ඇහැලේපොල ඇතුළු සිංහල රදලයන් 1818 නිදහස් අරගලයට අඩු වැඩි වශයෙන් නායකත්වය දුන් මුත් මොල්ලිගොඩ එයට එක්නොවූ අතර තම බල ප්‍රදේශය වූ සතර කොරලයේ ජනතාව එයට එක්වීමෙන්ද වලක්වාලූහ. නැවතත් කලගුණ සැලකූ ඉංග්‍රිසීන් ඔහුට මසකට රික්ස් ඩොලර් 200 ක මාසික විශ්‍රාම වැටුපක්ද සහිතව පල්ලේගම්පහේ මහා අධිකරම් සහ සතර කෝරලයේ දිසාව යන තනතුරුවලට අමතරව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය සහ මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධූරයද පිරිනැමූහ.

රජු සමග එකට සිටිමින්ම, පුස් වෙඩි පත්තුකරමින් එදා මොල්ලිගොඩලා සුද්දට පාවාදීමේන් බිලි දුන්නේ සිංහලේ අවසාන රජුව නොව මුලු මහත් තුන් සිංහලයමය. ඉන් වසර 200 ක් ඉක්මවූ පසු 2015 දී මෙදා 'මොල්ලිගොඩලා' එකට ආප්ප කමින් සිටි බවට කට මැත දොඩවමින් ගොස් බටහිර සහ ඉන්දීය අධිරාජ්‍යවාදීන්ට පාවා දුන්නේද පෙර සිටි පාලකයන්ව නොව මුලු මහත් ශ්‍රි ලංකාවමය.

History repeats itself, first as tragedy, then as farce. - Karl Marx 

වර්තමානයේ අප ඉතිහාසයේ ඒ විකාරරූපි (farce) පුනරාවර්තන විදිමින් සිටිමු. මාර්ක්ස් බොනපාට්වාදයට අදාලව කියූ පරිදි නොවී වසර 200 කට පසුවද මෙරටදී එය ඛේදාන්තයක්ම (tragedy) වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. මක් නිසාද යත් මේ දිවයින වනාහී මේ ලෝකයේ වෙන කොහේවත් සිදු නොවන ආකාරයේ සිදුවීම් සිදුවන අරුම පුදුම මිනිසුන් වෙසෙන රටක් බැවිනි.

මූලාශ්‍ර
  • Diary of Mr. John D'oyly - H.W. Codrinton, 1917.
  • Sri Wickrema, Brownridgg and Ehelepola, Tennakoon Vimalananda, 1984
  • The chieftains in the last phase of the Kandyan kindom (Sinhale), Revised and Enlarged edition, Ananda S. Pilimatalavuva, 2008


Monday, November 9, 2015

සුද්දාගේ 'සාධාරණ සමාජයට' බැලමෙහෙවර කල නදෝරිස් මුත්තා

අමරපුර සද්ධම්මවංශ නිකායේ සමාරම්භක මහානායක කපුගම ධම්ම්ක්ඛන්ද හිමියන් ජෝර්ජ් නදෝරිස් ද සිල්වා සමරනායක වූ හැටි සදහා පෙර ලිපිය කියවන්න සුද්දගේ 'භික්ෂු නදෝරිස්කරණය '
මුදලිවරයෙක්

කපුගම හිමියන් කිතු සමය වැලඳ ගැනීම සිදුවන්නේ පැහැදිලිවම සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් තාන්න මාන්න සහ ඉඩ කඩම් ලබා ගැනීම සඳහා වූ ඔහුගේ දැඩි කෑදරකම නිස විනා කිතු සමය කෙරෙහි ඔහුගේ ඇතිවූ පැහැදීමක් හෝ බුදුසමය කෙරෙහි හදිස්සියේ ඇතිවූ කලකිරීමක් නිසා නොවන බව ඔහුගේ ඉදිරි ක්‍රියාමාර්ග විමසීමේදි වැටහේ.  ඔහුගේ උපැවිදි වීම සම්බන්ධයෙන් වූ තවත් මතයකට අනුව බ්‍රවුන්රිග් විසින් උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමේ සැලසුම් ක්‍රියාත්මකකරමින් සිටි මෙම අවධියේ ඒ සදහා උපකාර කරන ලෙස  කපුගම හිමියන්ගෙන් බ්‍රවුන්රිග් කල ඉල්ලීම හේතුවෙන් හෙතෙම සිවුරු හල බවටද පැවසේ.

උපැවැදි වී ටික කලකින්ම ඔහුව කුරුණෑගල පලාතේ ආන්ඩුවේ ඒජන්තවරයාගේ භාෂා පරිවර්තක ලෙස පත් කර යවයි. 1818 නිදහස් අරගලය පැනනැගීමත් සමග සත් කෝරළයේදී එම අරගලය කෲර ලෙස මැඩපැවැත්වූ මේජර් හුක් (Major Lionel Hook) සමග එක්වන නදෝරිස් එම ප්‍රදේශයේ කැරලි නායකයාව සිටි පිළිමතලව්වේ අල්ලාගැනීම උදෙසා වෙහෙසෙයි. ඔහුට එම කාර්යය ඉටුකර ගැනීමට නොහැකි වන මුත් තවත් ප්‍රධාන කැරලි නායකයන් දෙදෙනෙක් වන අරම්පොල මොහොට්ටාල සහ හේවාපොල මොහොට්ටාල උපායශීලි ලෙස යටත් කරගැනීමට හැකි වේ. යටත් වුවහොත් ජීවිතදානය දෙන බවට වූ ලිඛිත පොරොන්දුවකින් අරම්පොල මොහොට්ටාලව රවටන ඔහු එම පොරොන්දුව කඩ කරමින් 1818 නොවැම්බර් 2 වෙනි දින යුද අධිකරණ නියෝගයකින් එල්ලා මැරීම සදහා මේජර් හුක්ට ඔහුව භාරකරයි.

නදෝරිස් විසින්ම ලියා තබා ඇති එක් සටහනකට අනුව ඔහුගේ කෲර බව මැනවින් පෙන්නු එක් අවස්ථාවක් මෙසේය. අරම්පොල මොහොට්ටාල වූ කලි කිහිප අවස්ථාවකදීම අල්ලාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කලත් යටත් කරගත නොහැකි වූ සත් කෝරලය ප්‍රදේශයේ දැඩි සටනක් දුන් ප්‍රධාන සටන් නායකයෙකි. වරක් නදෝරිස් ඇතුළු පිරිසක් ඔත්තුකරුවෙකු පෙන්නු මගකින් කුරුණෑගල සිට වෑඋඩ සිට සැතපුමක් පමණ දුරින් වූ අරම්පොල දක්වා රාත්‍රියේ ගමන් කලේ ඔහුව අල්ලාගැනීමේ අරමුණ ඇතිවය. නමුත් මගවැරදි ගොස් අතරමන් වන ඔවුන් මග සොයාගැනිමට උත්සහ කිරීමේදි නදොරිස් ලිඳකට වැටේ. ඔහුට වැටීමත් සමග පාදයේ සුළු කැක්කුමක් විනා ලොකු අනතුරක් නොවන මුත් මෙය එම ඔත්තුකරු විසින් සිදුකල ද්‍රෝහී  ක්‍රියාවක් ලෙස සලකන නදෝරිස් පසුව මග සොයාගෙන අරම්පොල මොහොට්ටාලගේ අතහැර දමා තිබූ නිවසට පැමිණි පසු ඔහුගේ ගෙලෙහි පාවාදීමට දඩුවමක් ලෙස ලියූ තල්පතක් එල්ලා ඔහුව එම නිවස අසල තිබූ සූරිය ගසක එල්ලා මරා දමයි.

කැරල්ල මර්ධනය කිරීම උදෙසා සත් කොරලේ දිසාව ලෙස මොල්ලිගොඩ නිලමේ පත් කර එවීමත් සමග ඔහුට වඩා ඉහල තනතුරක් දරන සහ කුලයෙන් ගොවි වූ ඔහු කෙරේ ඊර්ෂ්‍යා කරන නදොරිස් ඔහුව ඉංග්‍රීසින් කෙරෙහි බිඳවීමට අල්ලාගත් කැරලිකරුවන්ගේ සාක්ෂි සටහන් කිරීමේදී මොල්ලිගොඩ අල්ලස් චෝදනා සදහා පැටලවීමට කැරලිකරුවන් නොපැවසූ වැරදි සාක්ෂි පවා ඇතුලත් කල බව පැවසේ.

සුදු අධිරාජ්‍යවාදීන්ට කෙතරම් සේවය කලත් උඩරට ප්‍රදේශ වල කුරුඳු තැලීමේ රාජකාරියේ යෙදී සිටින සලාගම කුලයේ ජනයාගේ මහමුදලි ලෙස නව තනතුරක් ඇතිකර ඔහුව පත්කරනු ඇතැයි බලපොරොත්තුවෙන් සිටි නදෝරිස්ගේ එම උවමනාව ඉංග්‍රීසින් නොසලකා හැරි අතර කපටි බ්‍රවුන්රිග් වරක් පවසා සිටියේ " ඔහු මහා අපේක්ෂා සහිත සත්වයෙක් වුවත් ඔහු බලාපොරොත්තුවන මහාබද්දේ තනතුර ඔහුට කිසිදා නොලැබෙනු ඇත " කියාය (He is an ambitious creature. What he desires about Mahabadde never could be agreed to). මේජර් හුක් පවා නදෝරිස්ගේ චරිතය මැනවින් නිරීක්ෂණය කල බව ඔහු විසින් ඔහුගේ ඉහල නිලධාරියා වන ලුසිග්නන් (Lusgnan) වෙත ලියා යැවූ ලිපියක නදෝරිස් බලාපොරොත්තුව වූ මහමුදලි කම ගැන සදහන් කරමින් පවසන්නේ එය ලබාදීම නුවණට හුරු නැති පියවරක් බවය (."..Such a step would in my humble estimation be impolitic"). මෙය අනුමත කරමින් බ්‍රවුන්රිග් පවසා සිටින්නේ නදෝරිස්ගේ ක්‍රියාවන් අගය කලයුතු මුත් ඔහු අත අවදානම් විය හැකි මට්ටමේ බලයක් ඔහුට ලබා නොදිය යුතු බවය (I quite agree with Hook. George should be rewarded, but not with power which I do not think is safe in his hand.).

තම ජාතියේ ද්‍රෝහියෙක් වීමෙන් අධිරාජ්‍යවාදීන්ට කොතෙක් සේවය කලත් ඔවුන් ඔහුව අවලංගු කාසියක් කිරීමෙන් සිය තනිකඩ සැදෑසමය ගෙවීමට අලුත්කඩේ වලව්ව (Hulftdorp residence) පමණක් ලබාදුන්හ. අවිවාහකයෙකු වූ ඔහු තමන්ට බිරිඳක් සොයාගැනීමට උපකාර කරන ලෙසට හූක්ගෙන් ඉල්ලා සිටි මුත් හුක් සහ බිසට් (Rev. George Bisset) එම ඉල්ලීම ඔවුන් අතර සම්ච්චලයට ලක්කරමින් විනෝද වූහ.

1843 ඔක්තෝබර් 19 වැනි දින නදෝරිස් මියයන්නේ සිය ජාතිය පාවාදුන් තවත් එක භික්ෂු චරිතයක් ලෙස සිය නම ඉතිහාසයට එක්කිරීමෙනි. එකල මෙන්ම මෙකලද එවන් ජාතිද්‍රෝහි දේශද්‍රෝහි භික්ෂු චරිත අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යන මුත් ඔවුන් විසින් පාවාදුන් දේශය සහ ජාතිය ඔවුන්ගේ පව් වලට චිරාත් කාලයක් වන්දි ගෙවනු ඇත.

මූලාශ්‍ර

Paranavitana K.D., 1983/84, Scholar monks of the nineteenth century and the tragic transformation of the high priest ven. Kapugama Dhammakkhanda thero, Journal of the Royal Asiatic Society Sri Lanka Branch, New Series, Volume XXVIII

Pieris P.E. 1950, Sinhale and the Patriots 1815-1818. 

රූපය - Campbell J. 1843, Excursions Adventures and Field-Sports in Ceylon.

Friday, October 30, 2015

සුද්දගේ 'භික්ෂු නදෝරිස්කරණය '

Sinhalese Buddhist Priests in Kandy Ceylon
සියම් නිකායේ උපසම්පදා කර්මය ගොවි කුලයෙන් පිට වෙනත් කුල වලට ලබාදීම මහනුවර රජවාසලේ නියෝගයකින් නැවතීමත් සමග, පහත රට කරාව, දුරාව, සලාගම වැනි කුල වලින් පැවිදි බිමට එක්වූ භික්ෂූන්ට උපසම්පදාව ලබාදීමට අඹගහපිටියේ ඥාණවිමලතිස්ස මහ තෙරණුවන් දහනමවන සියවසේ උදාවත් සමග බුරුම දේශයේන් උපසම්පදාව ලබා පැමිණ, අමරපුර නිකාය අරඹයි. වැලිතර ප්‍රදේශයේ සලාගම කුලයේ මුදලිවරයෙකු වූ හල්ජෝති ඩිනේස් දි සොයිසා විජය ශ්‍රී වර්ධන ජයතිලක සහබංදු ඒ හිමියන්ට අවශ්‍ය අනුග්‍රහය මේ අවස්ථාවේ නොමදව ලබාදෙන්නේ, ඥානවිමලතිස්ස හිමියන් වැඩවිසූ වැලිතර අඹගහපිටිය විහාරයේ ප්‍රධාන දායකයා ලෙසිනි.

මේ අතර දඩල්ල ප්‍රදේශයේ විසූ මහබද්දේ මහා මුදලිවරයා වූ (සලාගම කුලයේම) දොන් ඒඩ්‍රියන් ද ආබෲ විජේසුන්දර වික්‍රමරත්න රාජපක්ෂ මුදලිවරයා වෙත දඩල්ල වාලුකාරාමයේ වැඩ විසූ කපුගම ධම්මක්ඛන්ද හිමියන් යෝජනා කරන්නේ තමන්ටද බුරුමයට ගොස් එවැනිම වූ උපසම්පදාවක් ලබා පැමිණීමට අනුග්‍රහ දක්වන මෙන්ය. සහබංදු මුදලිවරයා අමරපුර නිකාය පිහිටුවීමත් සමග ලබා තිබූ ජනප්‍රියතාවය ඔහුගේ තරඟකරුවා වූ තමන්ටද ලබාගැනීමේ අනගි අවස්ථාව අත් නොහරින මහබද්දේ මුදලිවරයාද, කපුගම ධම්මක්ඛන්ද හිමියන්ට අවශ්‍ය අනුග්‍රහය නොපැකිලිව ලබා දෙන්නේ ගිහිකල නදෝරිස් නමින් යුත්  ඒ හිමියන් ඔහුගේ දෙමව්පියන්ගෙන් ලබාගෙන මුදලිවරයාගේ පියා විසින් කුඩා කල පටන්ම  හදා වඩා ගත් කෙනෙකුද වන නිසාය.  මේ අනුව වර්ෂ 1808 දී ගාලු වරායෙන් බුරුමයට පිටත් වන ධම්මක්ඛන්ද හිමියන් 1810 නොවැම්බර් මස දී පෙරලා පැමිණ 1811 ජනවාරි මාසයේ අමරපුර සද්ධම්මවංශ නිකාය පිහිටුවයි.

මුදලිවරයාටම අයත්ව තිබූ වලව්වක් පූජා කිරීමෙන් ඉදිකල වාළුකාරාමයේ වැඩවිසූ කපුගම ධම්මක්ඛන්ද හිමියන්ගේ විහාරය වූ කලි පෙරදිග දැනුම් පද්ධති සම්බන්ධයෙන් විමසිලිමත් වූ බොහෝ උගත් සිවිල් සේවයේ සහ මිෂනාරි කටයුතු වල යෙදී සිටි ඉංග්‍රීසි ජාතිකයන් නිබදව සැරිසැරූ ස්ථානයක් බවට නිතැතින්ම පත් වූයේ ඒ හිමියන්ගේ පෘථුල දැනුම උකහාගැනීමට මෙන්ම බුරුම රජතුමන් විසින් පූජා කල මහත් ධර්ම ග්‍රන්ථ රැසකින් යුත් පොත් ගුලද පරිහරනය සදහාය.

එහි නිතර ආ ගිය ඉංග්‍රීසි ජාතියන් අතර ආන්ඩුකාර බ්‍රවුන්රිග් (Sir Robert Brownrigg) මෙන්ම අගවිනිසුරු ඇලෙක්සැන්ඩර් ජෝන්ස්ටන්(Alexander Johnston) ද විය. සිවිල් සේවයේ නිරත ඉංග්‍රීසි නිලධාරීන්ට සිංහල ඉගැන්වීමද කපුගම හිමියන් විසින් සිදු කල අතර, බුරුම රජු විසින් ඒ හිමියන්ට පිරිනැමූ 'සිරිසද්ධම්මවංශපාල' නම් ගරු නාමය සහ අමරපුර සද්ධම්මවංශ නිකායේ මහ නායක දූරය 1814 ජනවාරි 4 වැනි දින බ්‍රවුන්රිග් විසින් අනුමත කරන මුත් අඹගහපිටියේ ඥාණවිමලතිස්ස හිමියන්ගේ මහා නායක දූරය පිලිගනු ලබන්නේ ඊටත් වසර 12 කට පසු 1826 මැයි 21 වීමෙන් කපුගම හිමියන් කෙරෙහි ඉංග්‍රිසී ආන්ඩුවේ පිළිගැනීම කොතරම්ද යන්න පැහැදිලි වේ.

කපුගම හිමියන්ව බුරුමයේ සිටියදීම හඳුනාගෙන සිටි වෙස්ලියන් නිකායේ ජේම්ස් කාර්ටර් දේවගැතිතුමාද (Rev. James Carter) නිතර එහි පැමිණි අතර ඔහු හරහා ආන්ඩුකාරවරයාගේ මස්සිනා වූ තවත් වෙස්ලියන් මිෂනාරි දේවගැතිවරයෙකු වූ ජෝර්ජ් බිසට් (Rev. George Bisset) වද හඳුනාගැනීමට ඔහුට හැකිවන අතර කපුගම හිමියන් ඔහු හා නිතර ආගමික වාද විවාද වල යෙදුන බවද කියවේ.

වෙස්ලියන් මිෂනාරිවරුන්ගේ දීර්ඝකාලීන වැඩපිලිවෙල මල්පලගන්වමින් 1816 ජුනි 16 වෙනි දින කපුගම ධම්මක්ඛන්ද හිමියන් සිවුරු හරිමින් ජෝර්ජ් නදෝරිස් ද සිල්වා සමරනායක ලෙසින් කොළඹ කොටුවේ වෙස්ලියන් පල්ලියේ බෞතිස්ම ලබන්නේ බ්‍රවුන්රිග් ආන්ඩුකාරවරයා, අගවිනිසුරුවරයා සහ තවත් බොහෝ රජයේ නිලධාරීන් සහ වෙස්ලියන් නිකායේ මිෂනාරිවරුන් රැසකගේ සහභාගීත්වයෙනි.

සිවුරු හැරීමට කලකට පෙර ඔහු පවසා තිබුනේ මේ වන විට තමන්ට සිවුරු හැරීම සදහා ඇති එකම බය ඉන් පසු මිනිසුන් විසින් තමන්ව 'හීරළුවා' ලෙසින් අමතනු ලැබීම පමනක් යැයි පවසා තිබූ කපුගම ධම්ම්ක්ඛන්ද අමරපුර සද්ධම්මවංශ නිකායේ සමාරම්භක මහානායක හිමියන් ඒ අයුරුන් සිය දිවියේ එක් පරිච්චේදයක් නිමා කරමින් 'හීරළුවෙක්' විය. කතාව එතැනින් නිම නොවේ. නදෝරිස්ගේ හොදම 'වැඩ' පටන් ගනුයේ එතැන් පටන්ය.

'නදෝරිස්කරණය' වී එහෙත් තාමත් සිවුරු දරා සිටින 'සාධාරණ සමාජ' සහ 'පිවිතුරු හෙටවල්' වලට මුවා වූ වර්තමාන 'නදෝරිස්ලා' අද කරන පාවාදීම එදා ඒ නදෝරිස් කල අයුරු වෙනත් දිනක සාකච්චා කරමු.

මූලාශ්‍ර

Paranavitana K.D., 1983/84, Scholar monks of the nineteenth century and the tragic transformation of the high priest ven. Kapugama Dhammakkhanda thero, Journal of the Royal Asiatic Society Sri Lanka Branch, New Series, Volume XXVIII

රූපය - Souvenirs De Liinde, Paris, Victor Lecou, Libraire - Editeur 10, Rue Du Buuloi

Friday, September 11, 2015

ත්‍රිකුණාමලයෙන් ලන්ඩන් ගිය තාරා දෙවඟන


බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඉන්දියානු අංශයට ඇතුලු වන ඔනෑම් පුද්ගලයකුගේ එක්වරම නෙත ගැටෙන අඩි 5 කට මදක් අඩු උසින් යුතු උඩුකය නිරුවත් ලෝකඩ කාන්තා පිලිරුවක් ඇත. එය රත්‍රන් ආලේපිත ශ්‍රි ලංකාවේ ඊසාන දිග පෙදෙසින් සොයාගත් 10 වන ශතවර්ෂයට අයත් ලෝකඩ තාරා හිටි පිලිමයක් යනුවෙන් ඒ සමග ඇති විස්තරයේ වැඩිදුරටත් සදහන් වේ. කවුද මේ තාරා?
           රාජකීය ආසියාතික සංගමගේ  බ්‍රිතාන්‍ය ශාඛාවේ (Royal Asiatic Society - Great Britain) සඟරාවේ 1901 අප්‍රියෙල් කලාපයට ලිපියක් සපයමින් ආනන්ද කුමාරස්වාමි වියතානන් මෙය ලංකාවේ මහායාන සම්ප්‍රදාය හා බැදි පිලිමයක් විය හැකි බව මුල්වරට පවසයි. නමුත් 1914 දී කොළඹ කෞතුකාගාරය මගින් ප්‍රකාශිත ඒ මහතාගේම Bronzes from Ceylon Chiefly in the Colombo Museum නම් වූ ශාස්ත්‍රිය නිබන්දනයේදි ඔහු එය පත්තිනි දේවියගේ පිලිරුවක් ලෙස හඳුන්වාදෙයි. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයත් මඩකලපුවත් අතර කිසියම් ස්ථානයකින් සොයාගත් 143.75 cm පමණ උසින් යුත් එම පිලිමය 1830 දී ශ්‍රිමත් රොබට් බ්‍රවුන්රිග් විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පිරිනමා ඇත. දකුනු අතින් වර මුද්‍රාවත් වමතින් විතර්ක මුද්‍රාවත් නිරූපනය වන එම පිලිමයේ උස් ශීර්ෂ පලදනාවේ දක්නට ලැබෙන කුහරයේ මාණික්‍යයක් තිබෙන්නට ඇතැයි එතුමන් අනුමාන කරයි. පිලිමයේ කාල නිර්ණය 7 හෝ 8 වැනි සියවසේ විය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි (කෙසේ නමුත් කුමාරස්වාමි මහතාගේ පසු කාලීන[1972] කෘතියක් වන History of Indian and Indonesian Art හි මෙම පිළිමය 10 වන ශත වර්ෂයේ විය හැකි බවටද සඳහන් වේ.).
            ශ්‍රී ලංකාවේ මහායාන බුදධාගමේ ඉතිහාසය පිලිබද පර්යේෂකයෙක් වන මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතා මෙම පිළිමය මහායාන අවලෝකතීශ්වර බෝධිසත්වයන්ගේ මහේසිකාව වන තාරා දෙවඟනගේ බව පවසයි (Mudiyansea N., 1967). බුදුරුවගල, වේගිරිය දේවාලය සහ කුරුණෑගල ගන් ආරාමය විහාරය වැනි ස්ථාන වලින් හමූ වි ඇති වෙනත් තාරා පිළිම වලින් මෙන්ම අනුරාධපුර විජයාරාමයෙන් හමූ වූ 9 වන ශත වර්ෂයට පමණ අයත් සංස්කෘත තඹ ඵලක වලද තාරා දෙවඟන යඳින ස්තොත්‍ර තිබීමෙන් එම යුග වලදි වෙනත් තාන්ත්‍රික ඇදහීම් සමග තාරා දෙවඟන ඇදහීමද මෙරට තිබූ බවට සාක්ෂ්‍ය සැපැයේ. අවම වශයෙන් එම ඇදහීම් 14 වන ශත වර්ෂය දක්වාම පැවැති බවට තිසර සන්දේශයේ එන මෙම කවියෙන්ද පසක් වේ.

බෝරා යස වියන මහරු සිරිලක් මදුර වෙසෙසී
තෝරා හැර දුසිරි සුසිරි ලකරින් ලකළ එකසී
වාරා නොව රුසිරු ඉසුරු දෙන සුරබිදෙන් සදිසී
තාරා බිසොවුනුදු නැමැද යා ගන් එයින් නොලැසී

     නන්දසේන මුදියන්සේ මහතා මෙම පිළිමයේ ශීර්ෂ පලඳනාවේ ඇති කුහරය තුල ධ්‍යානි බුදු රුවක් තිබෙන්නට ඇති බවත් මෙය තාරා දෙවඟනගේ ලෙස හඳුනාගැනීම නිවැරදි නම් එය අමෝගසිද්ධි බුදු රුවක් විය හැකි බවත්, බුදුරුවගල වැනි වෙනත් තාරා දේව රූප වල දැකිය හැකි ලක්ෂණ මෙම පිළිරුවේද ඇති බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

මූලාශ්‍ර: 
Coomaraswamy A. K., 1914, Bronzes from Ceylon Chiefly in the Colombo Museum
Coomaraswamy A. K., 1972, History of Indian and Indonesian Art
de.Silva P.H.D.H., 1975 A Catalogue of Antiquities And Other Cultural Objects From Sri Lanka (Ceylon) Abroad.
Mudiyansea N., 1967 Mahayana Monuments in Ceylon.
තිසර සන්දේශය



Sunday, September 6, 2015

සිංහලේ - The Last Phase


"රජු සහ මැක්ඩොවල් වසර 12 කට පෙර හමුවු මගුල් මඩුවේම 1815 මාර්තු දෙවෙනි දින හවස 4 ට සමුලුවක් මුලුගැන්විනි. බ්‍රිතාන්‍ය හමුදා මගුල් මඩුව ඉදිරියේ පෙල ගැසී සිටියහ. පලමුවෙන් තනිවම පැමිණි ඇහැලේපොල බ්‍රවුන්රිග් විසින් සාදරයෙන් පිලිගෙන ඔහුගේ දකුනත් පසින් වූ ආසනය මත හිදගන්නා ලෙස ආරාධනය කලේය. ඔහුට පසුව පැමිනි මොල්ලිගොඩ ප්‍රධාන රදලවරුන්ව ආන්ඩුකාරතුමාට සහ ඇහැලේපොලට හදුන්වාදුන්හ. ඔවුන් දෙදෙනා සිටගෙනම ඔවුන්ට ආචාර කලේ ආන්ඩුකාරතුමා පෙලෙමින් සිටි රක්තවාත රෝගය ගැනද නොසලකාය. ආචාර සමාචාර කිරීම් වලින් පසුව පෙර සූදානම් කර තිබු ගිවිසුම කියවා ඔවුන්ට තේරුම් කර දුන්හ. එහි වගන්ති වලින් රට බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යට නතුවූහ. එහි අඩන්ගු අනික් වගන්ති අතර සිංහලයන්ගේ ආගම සහ සම්ප්‍රදානුකූල නීති රීති සුරකින බවද සදහන් විනි. එයට රදලවරුන්ගේ අනුමැතිය ලැබුනි. ඉනික්බිති ඔවුන් මගුල් මඩුව ඉදිරියට ගොස් රැස්ව සිටි ජනතාවට එය පැහැදිලි කරන ලදී. අනතුරුව පලමු වරට බ්‍රිතාන්‍ය ධජය සෙංකඩගල පුරවරයේදී ඉහලට නැන්වුන අතර බ්‍රිතාන්‍ය කාලතුවක්කු වෙඩි මගින් තුන්වන ජෝජ් රජතුමාගෙන් ශ්‍රි වික්‍රම රාජසිංහ ප්‍රතිස්ථාපනය වූ බව නිවේදනය විනි. මේ අතර බ්‍රවුන්රිග්ගේ පුතුනුවන් කඩිනමින් තුන් හෙලේ ධජය රැගෙන එංගලන්තයට නික්මුනේ එය උපරාජ කුමරුවාගේ දෙපා මුල තැබීමටය"

පෝල් රී පිරිස් විසින් රචිත Tri Sinhala - The Last Phase 1796-1815 නම් ග්‍රන්ථයේ අවසානයේ තුන් හෙලේ අවසානය සනිටුහන් කරනු ලබන්නේ එලෙසිනි. රුහුනු, මායා, පිහිටි තුන් රටින් සුසැදි "සිංහලේ" 1815 මාර්තු 2 වෙනිදායින් අවසන් උනිද? "සිංහලේ" යනු කුමක්ද? 1815 මාර්තු වලින් හරියටම වසර 200 කට පසු නැවත අධිරජ්‍යවාදි බලයට මෙරට දරුනු ලෙස නතු වී ඇති මොහොතක "සිංහලේ" පිලිබද ආවර්ජනයක ඇරඹුම අපගේ අරමුනයි. ඉදිරියේදි විවිධ දිශානතීන් ඔස්සේ එය ඇදෙනු ඇත.  වරෙක 1815 සිට අතීතයටත් වරෙක මෑත අතීතයේ සිදුවීම් දක්වාත් අපගේ අවධානය යොමුවෙනු ඇති.  නැවත හමුවෙමු....