Showing posts with label Walagamba. Show all posts
Showing posts with label Walagamba. Show all posts

Saturday, August 5, 2017

වඩා උස සෑය - ජේතවනය, නැහැ ගෝඨාගේ සඳ හිරු සෑය?

වර්ගවාදී කොටි ත්‍රස්තවාදය පරදවා ලබාගත් යුද ජයග්‍රහනයත් සමගම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් පරිදි ඉදිකිරිම ඇරඹූ සඳ හිරු සෑය සම්බන්ධයෙන් විශේෂයෙන්ම එහි උස සහ එය වර්තමානයේ පවතින අනිකුත් පැරණි ස්තූප වලට වඩා උසකින් යුතුව (අඩි - 257) ඉදිකිරිම සම්බන්ධව නොයෙකුත් කතා පසුගිය සමයේ අසන්නට ලැබුණි. වර්තමානය වන විට ඉදිකිරිම් නවතා ඇති මුත් ජාතික ධනය මංකොල්ල කෑම සහ ජාතික සම්පත් විකුණාගෙන එදා වේල ගෙවිමට වඩා අන් කිසිවක් නොකරන ජඩපාලකයන් සඳ හිරු සෑය වරින් වර බයිට් එකට ගෙන කතා කිරීම අද දක්වාම සිදුවේ. බටලන්ද වධකාගාරයේ දසවද දී අමු අමුවේ මරා දැමූ තරුණයන් දැවූ ටයර් සෑ විනා අන් සෑයන් ගැන නොදන්න එකෙකු වරක් පැවසුවේ රුවන්වැලි සෑයට වඩා උසට ජේතවනය සෑදීමට මහසෙන් රජු උත්සාහ කල අවස්ථාවේ ඔහුගේ මහා ඇමැති එයට එරෙහිව කැරලි ගැසූ බවත්, ලන්දේසින් සහ ඉංග්‍රිසින්ද රුවන්වැලිසෑයට වඩා උස පල්ලියක්වත් නොසැදූ බවත්ය. පස්දුන් කෝරලයට නම සැදුන හැටි පැවසීමේ සිටම ඔහුගේ ඉතිහාස දැනුම මැනවින් ප්‍රකට කර ඇති නිසා ඉහත ප්‍රකාශයේ පැවසෙන පට්ටපල් බොරු සියල්ලටම පිළිතුරු දීම මෙම ලිපියේ අරමුණ නොවුනත් ඔහු කියනා ලෙසට මහසෙන් රජුට හෝ වළගම්බා රජුට ස්තූප සෑදීමේදි ඒවා කොට කර සාදන ලෙසට කැරලි ගසා ඉල්ලීම් ඉදිරිපත් කල පුද්ගලයන් සිටි බවක් අප නම් කිසිදු පැරණි මූලාශ්‍රයක අසා නැති බව පමණක් පවසා අපගේ ප්‍රස්තුතයට පිවිසෙමු. මෙරට ඉදිකළ උසම ස්තූපය කුමක්ද?
රුවන්වැලිසෑය  ස්තූපය ඡායාරූපය - Images of Ceylon
රුවන්වැලිසෑය
මහාවංශයේ මහාතූපය ලෙසින්ද වර්තමාන ව්‍යවහාරයේ රුවන්වැලිසෑය නමින්ද හැඳින්වෙන පැරණි මහාවිහාර සීමාවේ ඇති ස්තූපය පිළිබඳව මුල්ම සඳහන මහාවංශයේ හමුවන්නේ මිහිඳු මහා රහතන් වහන්සේ විසින් මහා විහාරයේ නොයෙකුත් ගොඩනැගිලි සහ වෙනත් පූජනීය ස්ථාන තිබිය යුතු තැන් පිළිබඳව දේවානම්පියතිස්ස රජුට විස්තර කර දෙමින් මහාවිහාරයේ සීමා සලකුණු කරන විස්තරයේදීය. සිව් බුදුවරුන් පැමිණි ස්ථානයක් ලෙසින් එක්තරා ස්ථානයක් හඳුන්වන මිහිඳු හිමියන් එම ස්ථානයේ අනාගතයේ හේමමාලි නම් වූ ස්තූපයක් බුදුන්ගේ ශාරිරික ධාතු නිදන් කර දුට්ඨගාමණී නම් රජෙකු විසින් එක්සිය විසි රියන් උසට ඉදිකෙරෙණු ඇති බව පවසයි. ඒ අනුව පසු කලක එය ඉදිකිරීම ආරම්භ කර සැලකිය යුතු ප්‍රමාණයක වැඩ නිමවූ  දුටුගැමුණු රජතුමා සහ ඔහුගේ මරණින් පසු එහි වැඩ අවසන් කල ඔහු මලනුවන් වූ සද්ධාතිස්ස රජතුමන් රියන් 120 (අඩි 180) උසට මහා ස්තූපය ඉදි කල බව අනුමාණ කල හැක. ඉන්පසු එලඹෙන සියවස් වලදි බොහෝ රජවරුන් මහාතූපයට විවිධ අංග එකතු කිරීම සහ අලුත්වැඩියාවන් සිදු කල බව වංශකතාවේ සඳහන් වන මුත් එහි උස පිළිබඳව සටහනක් නැවත හමුවන්නේ මහා පරාක්‍රමබාහු සමයේදීය. එතුමන් විසින් දමිලයන් විසින් විනාශ කල අනුරාධපුරයේ පූජනීය ස්ථාන නැවත ඉදි කල බව සඳහන් කිරීමේදි රත්නවාලුකා ස්තූපය එහි මුල් උස වූ රියන් 120 (අඩි 180) උසට තැනවූ බව පැවසේ. ඉන්පසුවද වරින් වර විවිධ රජවරුන් රුවන්වැලි සෑය පිළිබඳව අවධානය යොමු කල මුත් පුරාණ අනුරාධපුර නගරය අතහැර දැමීම නිසා  රුවන්වැලිසෑය ඇතුළු අනුරාධපුරයේ සියලු  වෙහෙර විහාර ක්‍රමයෙන් වල් බිහිවි ජරාවාස විය.

රුවන්වැලි සෑය පිළිබඳව වර්ෂ 1859 දී එමර්සන් ටෙනන්ට් මහතා ඉදිරිපත් කරන විස්තරයේ ඔහු පවසනුවේ ඒ වන විට එහි උස අඩි 150 කට වඩා අඩු වූ බවය. ඔහුම පවසන පරිදි 1830 දී එහි උස අඩි 189 විය. වැස්සට සේදීයෑම නිසා මේ උස අඩු වීම සිදුවන්නට ඇත. ජේම්ස් ස්මිදර් මහතා 1894 දි එහි ගර්භයේ උස බිම සිට මුදුන දක්වා අඩි 162 අඟල් 8 ලෙස දක්වයි. අඩි 16 උස වූ පේසා වලලු 3 ද සමගින් එහි මුළු උස අඩි 178 අඟල් 8 ලෙසවූ බවය ඔහු පවසන්නේ. රුවන්වලිසෑය ඒ වනවිට ප්‍රතිසංස්කරණය වෙමින් පැවති අතර එහි කොත් කැරල්ලද (මෙම කොත වර්ෂ 1853 දී එහි තැන්පත් කර ඇත.) සමගින් සම්පූර්න උස අඩි 198 අඟල් 4 වූ බව ඒ මහතා සඳහන් කරයි.

වර්ෂ 1872 දී නාරංවිට සුමනසාර හිමියන් විසින් රුවන්වලිසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල අතර චෛත්‍යය අඩි 340 උසට ගොඩනැංවිමටත් එහි අඩි 24 ක කොත්කැරල්ලක් තැන්පත් කිරීමටත් සැලසුම් කර තිබුණි. වර්තමානයේ සලපතල මලුවේ සිට රුවන්වැලි සෑයේ උස මීටර් 103.1 ලෙස දැක්වේ (අඩි 338 පමණ). කොත්කැරල්ල සහ චූඩා මාණික්‍යය මීටර් 7.6 උස වේ (අඩි 25 පමණ).
අභයගිරිය ස්තූපය - ඡායාරූපය - Images of Ceylon
අභයගිරිය ස්තූපය
වට්ටගාමිණී අභය රජු විසින් ගිරි නම් නිගණ්ඨාරාමය විනාශ කර එහි පිරිවෙන් දොළසකින් යුත් විහාරයක් කරවූ බව (ස්තූපයක් ගැන එහි විශේෂයෙන් සඳහන් නොවේ) මහාවංශයේ සඳහන් වේ. ඉන්පසු ගජබාහුක ගාමිණි රජු අභයුත්තර මහාස්තූපය විශාල කොට කරවා එහි දොරටු සතරෙහි ආදිමුඛ (වාහල්කඩ) කරවූ බව  එහිම පැවසේ. අභයගිරි ස්තූපය වට්ටගාමිණි අභය රජු කල බවට එන ප්‍රකට මතය මේ අනුව විවාදයට බඳුන් වන මුත්  ඒ පිළිබඳව සාකච්චා කිරීම මෙම ලිපියේ අරමුණ නොවන බැවින් ඒ ගැන විමසීම පසුවට තබමු. කෙසේ නමුත් මේ කිසිදු අවස්ථාවක එහි මුල් උස පිළිබඳව සදහන් නොවේ. ඒ පිළිබඳව පලමුවරට සඳහන් වනුයේ ෆාහියන් හිමියන්ගේ වාර්තාවෙහිය. ඒ හිමියන් පවසන පරිදි "නගරයෙන් උතුරෙහි වූ සිරිපා සටහනක් මත අඩි 400 උස මහා ස්තූපයක් ගොඩ නගා තිබේ. එම ස්තූපයේ එක් පසක අභයගිරි නම් සංඝාරාමය වෙයි."

ෆාහියන් හිමියන් චං නමැති පුරාණ චීන මිනුම් ඒකකයෙන් දක්වන එම උස චං 1 ක් මීටර් 3.333 ලෙස ගෙන අඩි 400 ලෙස ගනනය කර ඇති මුත් එම ඒකකය පිළිබඳව ඇති වෙනත් මතයකට අනුව චං 1 ක් මීටර් 2.3 පමණ වේ. ඒ අනුව ගතහොත් ස්තූපයේ උස අඩි 276 පමණ වූ ලෙස ගැනිය හැක. මෙයින් දෙවැනි මතය වඩා විශ්වාසනීය බව හැඟෙන්නේ දමිල ආක්‍රමන මගින් විනාශ වූ පසු අනෙකුත් මහා ස්තූපයන් දෙක සමගම අභයගිරිය ස්තූපයද නැවත ගොඩනගන මහා පරාක්‍රමබාහු රජතුමා එය රියන් 160 (අඩි 240) උසට සෑදු බව පවසන බැවිනි.

වල්බිහිවීමෙන් පසුව ඉංග්‍රිසි පාලන සමයේදී (එනම් 1894 වසරේදී) මෙහි මිණුම් ලබාගත් ජෙම්ස් ස්මිදර් සල පතල මළුවේ සිට කොත් කැරැල්ලේ ඉහලම කොන දක්වා ස්තූපයේ උස අඩි 245 ලෙස වූ බව වාර්තා කර ඇත. ඔහුට පෙර වර්ෂ 1859 දී පල කල සිය ග්‍රන්ථයේ අභයගිරි ස්තූපයේ උස දක්වන එමර්සන් ටෙනන්ට් එය අඩි 249 උස වූ බව පවසයි. මෑත කාලයේ අභයගිරි ව්‍යාපෘතිය මගින් ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගැනීමට පෙර ලබාගත් මිණුම් වලට අනුව ස්තූපයේ ලම්භක උස මීටර් 72.6 ලෙස දක්වා ඇත (අඩි 238 පමණ).
ජේතවන ස්තූපය
ජේතවන ස්තූපය
මහසෙන් රජු විසින් මහා විහාර සීමාවේ තිබූ ජෝතිවන නම් උයනෙහි ජේතවන විහාරය ඉදි කල බව මහාවංශය පවසයි. ජේතවන විහාරය විනා ස්තූපය මහසෙන් රජතුමා විසින් ඉදිකල බවට විශේෂයෙන් එහි පැවසෙන්නේ නැති බැවින් ඉහත අභයගිරිය ස්තූපයේ අයුරින්ම ජේතවන ස්තූපය මුලින්ම ඉදිකල රජු පිළිබඳව විවිධ මත පවතී. කෙසේ නමුත් ඉහත මහා ස්තූප දෙක මෙන්ම ජේතවන ස්තූපයද මහා පරාක්‍රමබාහු රජතුමා විසින් දමිලයන් සිදුකල විනාසයන්ගෙන් පසුව නැවත රියන් 140 (අඩි 210) උසට ඉදි කල බව මහාවංශයේ සඳහන් වේ.

එමර්සන් ටෙනන්ට් ජේතවන ස්තූපයේ උස 1859 දී අඩි 244 ක් වූ බවත් ජේම්ස් ස්මිදර් 1894 දී එහි උස අඩි 232 ලෙස වූ බවත් වාර්තා කර ඇත.  ප්‍රතිසංස්කරණයට පෙර නටබුන් වි තිබූ ස්තූපයේ උස අඩි 231 ලෙස මෑත කාලීන මැනුම් මගින් වාර්තා වී ඇත.

මේ සියලු තොරතුරු අනුව එක් එක් කාලයේදි මෙරට උසින් වැඩිම ස්තූප 3 අතුරින් උසම ස්තූපය මෙලෙස පහත වගුවේ ආකාරයට ඉදිරිපත් කල හැක. කොළ පාටින් සලකුණු කර ඇත්තේ එම කාලයේ උසින් වැඩිම ස්තූපයයි. ඒකකය අඩි වලිනි.


ආරම්භක උස
පරාක්‍රමබාහු
ටෙනන්ට්(1859)
ස්මිදර්
(1894)
අද
රුවන්වැලිය
180
180
150 (1830 දී - 189)
178 8’
338
අභයගිරිය
276 හෝ 400 (ෆාහියන්ට අනුව)
240
249
245
238
ජේතවනය
 විස්තර නොමැත
210
244
232
231

මේ අනුව කිසිම කලෙක ජේතවන ස්තූපය මෙරට උසම ස්තූපය ලෙස තිබී ඇති බවට සාධක නොමැති අතර එකම කාලයකදි ස්තූප තුනේම උස ඉදිරිපත් කරන මහා පරාක්‍රමබාහු සමයේදීද අභයගිරිය මෙරට උසින් වැඩිම ස්තූපය ලෙස තිබී ඇත. අද වන විට මෙරට උසම ස්තූපය ලෙස සැලකිය හැක්කේ රුවන්වැලි සෑය වන අතර එය උසින් වැඩිම ස්තූපය වනුයේ 19 වන සියවසේ සිදුකල ප්‍රතිසංස්කරණයත් සමගිනි. වර්තමානය වන විට නැවත ප්‍රතිසංස්කරණය වෙමින් පවතින් ජේතවනය සහ අභයගිරිය ස්තූප ප්‍රතිසංස්කරණ අවසානයේ කොතරම් උසක් ගනීද යන්න ඉදිරියේදි දැක ගත හැකි වනු ඇත. කෙසේ නමුත් අඩි 257 උසින් යුතුව ඉදිකිරිමට අපේක්ෂිත වූ සඳ හිරු සෑය ඉදි කරන්නට ඉදිරියේදි හැකි වුවද එවිටද රුවන්වැලි සෑය එයට වඩා උසින් වැජඹෙනු ඇත.

ඇඩොල්ෆ් හිට්ලර් පැවසුවායැයි පවසන පහත කියමන මෙරටට කෙතරම් ගැලපේද?  ( ඒ සම්බන්ධ වැඩි විස්තර සඳහා - Link )

- Make the lie big, make it simple, keep saying it, and eventually they will believe it.-

මූලාශ්‍ර
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Ceylon An Account of the island  Physical, Historical and Topographical with  notices of its natural, antiquities and productions, Sir James Emerson Tennent, 1859
  • Heritage of Rajarata, Major Natural, Cultural and Historic Sites, Chandra Wikramagamage, 2004
  • අනුරාධපුර අටමස්ථානය, උක්කු බණ්ඩා කරුණානන්ද, 2007
  • අනුරපුර මහා විහාරය, මහාචාර්ය ටී. ජී. කුලතුංග, 2001
  • පුරාණ අභයගිරි විහාරය, මහාචාර්ය ටී. ජී. කුලතුංග, 2014
  • පුරාණ අනුරාධපුරය, අනුරාධ සෙනෙවිරත්න, 1995
  • මහාවංශය, ප්‍රථම භාගය, මොග්ගල්ලාන සංස්කරණය, සිංහල අනුවාදය - අරුණ තලගල
  • On the Ancient Coins and Measures of Ceylon. T.W. Rhys DAvids, 1877
  • Architectural Remains, Anuradhapura, Sri Lanka, James G. Smither, Revised and Edited by Chandra Wikramagamage, 1993
  • බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු නම් වූ ෆාහියන්ගේ දේශාටන වාර්තාව - මහාචාර්ය විමල් ජී බලගල්ලේ, 1999
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Memoirs of the Archaeological Survey of Ceylon, Volume V. The Stupa in Ceylon, S. by Paranavitana, 1946

Sunday, December 25, 2016

රුහුණේ පැරණි පුදබිම් 3 - යක්ෂ වාසයෙන් භික්ෂු වාසයක් වූ ධූමරක්ඛ පබ්බතය හෙවත් උදුම්බරගිර හෙවත් දිඹුලාගල වනවාසය

තහවුරු කල ප්‍රතිමා ගෘහයක්
ධූමරක්ඛ පර්වතයේ තිඹිරියංගණ විල අසල වෙලඹක වෙසින් ගැවසුන චේතියා නම් යක්ෂණිය අල්වා ගත් පණ්ඩුකාභය කුමරා ඇය මැරීමට තැත් කිරීමේදී "ස්වාමිනි ඔබට රජය ගෙණ දෙමි. මා නොමැරුව මැනැවැයි" කීවාය. ඉන්පසු කුමරු තෙමේ එම වෙලඹ පිට නැග ධූමරක්ඛ පබ්බතයට ගොස් එහි සිව් වසක් විසුවාය. මහාවංශයයේ ධූමරක්ඛ පර්වතය ගැන මුල් වරට සඳහන් වන්නේ එසේය. මහාවංශයේ ටීකාව වන වංසථප්පකාසිනිය පණ්ඩුකාභය පුවත විස්තර කිරීමේදී ධුමරක්ඛ යනු උදුම්බර පබ්බතයයි යන අර්ථය බව විස්තර කරයි. එහිම පසු අවස්ථාවක ලෝවාමහපාය ගැන එන විස්තරයකදී එය අනුරාධපුරයෙන් නවයොදුන් තැන්හී කසුප්තොට සමීපයේ උදුම්බර පබ්බතය මත සිටිනවුන් හටද දර්ශණය වූ බව පවසයි. පසු කාලීන කෘතියක් වන සමන්තකූට වණ්ණනාවේ බුදුන් වහන්සේගේ යක්ෂ දමණය සඳහා මහියංගණයට වැඩි ගමන ගැන විස්තර කිරීමේදි මහියංගණයේ මහා වාලුකා (මහවැලි) ගංගාව අසලට රැස්වූ යක්ෂයන් පැමිණි පෙදෙසක් ලෙසට ඔදුම්බර පර්වතයද සඳහන් කරයි.
තහවුරු කල ප්‍රතිමා ගෘහයක්
සද්ධර්මාලංකාරයේ නන්දිවාණිජ වස්තුවේ එන එක් කතාවකට අනුව එක්තරා දුප්පත් මිනිසෙකු සිය භාර්යාව සමග එක්ව රහතුන්ට දුන් දානයක පින් මහිමයෙන් ලංකාද්වීපයේ දිඹුලාගල සමීපයේ එක් පර්වතය දේවතාවන් වී ඉපදුන බව පවසයි. එහිම එන මේඝවර්ණ වස්තුවේ වෙනත් දුප්පත් මිනිසෙක් සිය භාර්යාව සමග බැලමෙහෙ කොට ලබා ගත් වී වලින් භික්ෂුන්ට දන්දී උදුම්බරගිරි පර්වතයේ භූමාටු දේවතාව ඉපදුන ආකාරය විස්තර කරයි. එකල්හී එම උදුම්බරගිරි පර්වතයේ චන්ද්‍රමුඛී නම් ලෙන මලියදේව මහතෙරුන්වහන්සේ වැඩ සිටි බවද එම කතාවේම සඳහන් වේ. මෙහි උදුම්බරගිරි සහ ධූමරක්ඛ යනු එකම ස්ථානයක් බව පැහැදිලිවම හඳුනාගැනීමට හැකි සදහනක් ඉහත සඳහන් මේඝවර්ණ කතාවම සඳහන් වන පාලි රසවාහිණියෙන් ලැබේ. එහි එන විස්තරයට අනුව දුප්පත් ගැමියා බූමාටු දේවතාවක වී ඉපදෙන ස්ථානය සඳහන් වන්නේ උදුම්බර පබ්බතය ලෙසය. එසේම ආසන්න ධුමරක්ඛ පබ්බතයේ චන්ද්‍රමුඛ ලෙනේ මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි බවද පවසයි. මේ අනුව පාලි මූලාශ්‍රයන්ගේ උදුම්බර, ධූමරක්ඛ, ලෙසද සිංහල මූලාශ්‍රයන්ගේ දිඹුලාගල ලෙසද විස්තර වනුයේ එකම ස්ථානයක් බව පැහැදිලිය.
තහවුරු කල ආරාම ගොඩනැගිල්ලක්
නිකාය සංග්‍රහය දක්වන පරිදි පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජතුමා තුන් නිකාය සමගි කර ශාසන ශුද්ධියක් සිදුකරනුයේ ඖදුම්බර ගිරි ආරණ්‍ය වාසී මහා කාශ්‍යප ස්ථවිර ප්‍රමුඛ නායක හිමිවරුන් මුල් කරගනිමිනි. මහා පරාක්‍රමබාහු රජතුමාගේ ගල්විහාර සෙල් ලිපියෙන් එම පුවත තහවුරු වන අතර එහි උදුම්බරගිරි නිවාසි මහාකාශ්‍යප මහ තෙර ලෙස ඒ හිමියන් හඳුන්වයි. වර්තමානයේ දිඹුලාගල  නාමල් පොකුණ ලෙසින් හැඳින්වෙන කොටසේ ඇති නටබුන් පොළොන්නරු යුගයේ මෙහි ඉදිකල විහාරයේ බවට සැලකිය හැකිය. එම සංඝ පරපුර අවම වශයෙන් දඹදෙනි යුගය දක්වාවත් එහි විසූ බව නිකාය සංග්‍රහයේම තෙවන විජයබාහු යුගයේ දිඹුලාගල වනවාසී මේධංකර මහස්ථවිරයන් එම රජතුමන් විසින් සිදුකල මහා සංගායනාවට සහය වූ බව එන සඳහනින් පැහැදිලි වේ. 
ස්ථූපය
 18 වන ශතවර්ෂයේ මැද භාගයේ පමණ ලියවුන අස්ගිරි තල්පත දක්වන විස්තර වලට අනුව නම් වලගම්බා රජු කල ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමටද ප්‍රධාන වූ කුන්ත ගත්ත තිස්ස මහතෙරුන් දනව් සැරිසරා දිඹුලාගලට වැඩමවා එහි ගිරි ගුහාවක ධ්‍යාන සුවයෙන් සිටින බව  වලගම්බා රජුට සැලව රජු මහ පිරිවර සමග එහි පැමිණ ගිරි ලෙන ඇතුළුව බොහෝ ලෙන් සහ පිරිවෙන් කර්මාන්ත කර ශාසනයට පූජා කල බවට වූ සඳහනක් එයි. එතරම් විශ්වාස කටයුතු මූලාශ්‍රයක් නොවූවද දිඹුලාගල වෙහෙරේ ආරම්භය සිදුවූ කාලය පිළිබඳ වූ මුල්ම සඳහන එයය. කෙසේ නමුත් මේ කඳුවැටිය ආශ්‍රිතව මෙතෙක් සොයාගෙන ඇති ලෙන් පූජා කිරීම් සම්බන්ධ කෙටි ලිපි වලින් එහි ආරම්භය ක්‍රි.පූ. 3 වන සියවසේ අවසානයට හෝ ක්‍රි.පූ. 2 වන සියවසේ ආරම්භයට පමණ විහිදෙන බව අවිවාදිතවම නිගමනය කල හැක. මුලින් යක්ෂ ගෝත්‍රික ජනතාවගේ නිජබිමක් වූ උදුම්බරගිර භික්ෂුන්ගේ වාසය සඳහා පිරිනැමීම එම කාලයේ සිදුවන්නට ඇත.

* මෙහි එන සියලු ඡායාරූප දැනට නාමල් පොකුණ නමින් හැඳින්වෙන පෙදෙසේ ඇති නටබුන් වල වන අතර දිඹුලාගල විහාර ආරාම වල නටබුන් වැඩි වශයෙන්ම හමුවන්නේ මෙම පෙදෙසින්ය.
නටබුන් වූ ප්‍රතිමා 
 මූලාශ්‍ර
  • සන්න සහිත සමන්තකූට වණ්ණනා, වෑගම පියරතන හිමි සංස්කරණය, 2002
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • ජාතික උරුමය පණගන්වන ගලේ කෙටූ අකුරු - 1, එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • අස්ගිරි තල්පත, සංස්කාරක: මැන්දිස් රෝහණදීර, 1997
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol VI, Ranawella G.S.,  2007
  • සද්ධර්මාලංකාරය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 1997
  • වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001
ආශ්‍රිත පෙර ලිපි

Monday, October 31, 2016

මාතුල දනව්වේ අලුලෙන, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම සහ මාතලේ අලුවිහාරය

මාතලේ දිසාවේ මාතලේ නගරය ආසන්නයේම පාහේ නගරයට උතුරු දෙසින් පිහිටි වර්තමානයේ අලුවිහාරය ලෙස හැඳින්වෙන ගල් ලෙන් වලින් සමන්විත විහාරයෙහි වළගම්බා රජු කල ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කල බව ප්‍රකට මතයයි. එහෙත් බොහෝ විද්වතුන් එය එලෙසම පිලිගැනීමට මැලිවන්නේ ඒ පිළිබඳව සඳහන් වන මූලාශ්‍ර එම සිදුවීමෙන් බොහෝ කලකට පසු ලියැවුන වංශ කතා වන බැවිනි.ජනප්‍රවාදයේ සහ පසුකාලින වංශ කතා වල පමණක් දැක්වෙන මාතුල දනව්වේ අලුලෙණ යන්න මෙම අලුවිහාරය ලෙස පිළිගැනීමට ප්‍රබල සාධක නොමැති වීමද තවත් හේතුවකි. මෙරට පැරණිම වංශ කතා වන මහාවංශය සහ දීපවංශය සඳහන් කරන්නේ ත්‍රිපිටකටය සහ එහි අට්ඨ කතාව පෙර සිට මහා ප්‍රඥා ඇති භික්ෂුන් කට පාඩමින් ගෙන ආ මුත් වළගම්බා රජු කල සිටි භික්ෂුන් අනාගතයේ මිනිසුන්ගේ පරිහාණිය දැක ධර්මයෙහි චිරස්ථිති පිණිස එය පොත් වල ලිවූ බව පමණි. එය සිදුවූ ස්ථානයක් ගැන එම වංශ කතා වල සඳහන් නොවේ.

ක්‍රි.ව. 1266 දී ලියවුන ලෙස සැලකෙන පූජාවලිය පළමුවරට වළගම්බාරජු දවස පන්සියයක් රහතන් වහන්සේ අලුලෙන වැඩහිඳ පොත් සංගායනා කල බව පවසයි. ක්‍රි.ව. 1390 දී ලියැවුනු ශාසනාවතාරය හෙවත් නිකාය සංග්‍රහය උපාලි තෙරණුවන්ගේ පටන් ශිව නම් ස්ථවිර නමක් දක්වා වූ තෙරණුන් වහන්සේලා තිස් අට නමකගේ සංඝ පරම්පරාව ඔවුන්ගේ නම්ද සමග ඉදිරිපත් කරමින්, ඔවුන් කට පාඩමින් රැගෙන ආ ත්‍රිපිටක ධර්මය එක්තරා ජනපද අදිපතියෙකුගේ ආරක්ෂාව සහිතව, පන්සියයක් රහතුන් වහන්සේ මාතුල දනව්වේ අලු ලෙන වැඩ හිඳ පොත් වල ලියවූ බව පවසයි. රාජරත්නාකරයද (1542 ත් 1543 අතර කාලයේ ලියා ඇත) එලෙසම එය විස්තර කරන අතර 18 වන ශතවර්ෂයේ මැද භාගයේ පමණ ලියවුන අස්ගිරි තල්පත මාතුල දනව්වේ අලු ලෙන රැස්වූ පන්සියයක් රහතන් වහන්සේලාට ප්‍රධාන වූ මහාවිහාරබද ථූපාරාම නිවාසී කුන්ත ගත්ත තිස්ස මහ රහතන් වහන්සේ පිළිබඳවද අන් කිසිදු මූලාශ්‍රයක නොමැති තොරතුරක් සමග ඉහත තොරතුරුම ඉදිරිපත් කරයි.

මාතුල දනව්ව යනු මාතලේද?
මෙරට පැවති විවිධ ප්‍රදේශ වල සීමා විස්තර වන කඩඉම් පොත් නමින් හඳුන්වන පැරණි ලේඛන අතරින් පැරණිම කඩඉම් පොතක් ලෙස සැලකෙන ගම්පල යුගයේ (1341-1408) රචිත බවට විශ්වාස කරන ශ්‍රීලංකාද්වීපයේ කඩඉම් පොතේ මාතලේ රට හඳුන්වන්නේ 'මහතලේ' ලෙසිනි එය මායා රටට අයත් රටක් ලෙස එහි දැක්වේ. පසුකාලීන කඩඉම් පොත් ලෙස ගැනෙන ත්‍රි සිංහලයේ කඩඉම් පොතේ 'මාතලේ' ලෙසත් ලක්වීදිය කඩඉම් පොතේ 'මාතලය' ලෙසත් සඳහන් වන මෙම රට පිහිටි රටට අයිති බව ඒවායෙහි දැක්වේ. එසේම මාතලේ කඩඉම් පොතේ සහ කුරුණෑගල් නුවර විස්තරයේද මෙම පෙදෙස හැඳින්වෙන්නේ 'මාතලේ' ලෙසින්මය. සේනාසම්මත වික්‍රමබාහු රජුගේ ගඩලාදෙනි ශිලා ලේඛනයේ (ක්‍රි.ව. 1471) 'මාතලේ අටසිය පත්තුව' යන සඳහනක් එයි.  මහනුවර නාථ දේවාල සෙල්ලිපියට අනුව ජයවීර මහවැඩඋන්තැන නම්වූ මහනුවර පාලකයකු විසින් පෘතුගීසීන් සමග යුධ වැදීමට ඉදිරිපත් වූ 'මාතලෙ' ප්‍රාදේශිය පාලකයා ඇතුළු පිරිසිකට ලබා දුන් වරප්‍රසාද ගැන සඳහන් කිරීමේදී නැවතත් ශිලා ලේඛන වල මාතලේ පිළිබඳ වූ සඳහනක් අපට හමුවේ.
වංශ කතා වල 'මහතලා' පෙදෙස ගැන පළමුව සඳහන් වන්නේ මානවම්ම රජු (ක්‍රි.ව. 684-718) විසින් එහි කදම්බගොන නම් විහාරයක් කරවා පාංශුකූලික භික්ෂුන්ට පිරිනැමූ බව කියවෙන මහාවංශ පාඨයත් සමගය. ඉන් අනතුරුව සෙනරත් රජු කල 'මාතුල රටවිජයපාල කුමරු යටතේ පාලනය වූ බව එහිම සඳහන් වේ. රාජාවලියේ එන සඳහනකට අනුව යාපාපටුන සිටි ආර්යචක්‍රවර්ති රජු ගම්පල සහ කෝට්ටේ රාජධානි වලට පහරදීමට පැමිනීමේදී 'මාතලේ' වාඩි ලා ගත් බව පැවසේ.
මේ සියලු සාධක පිළිබඳව සලකා බැලීමෙන් සහ කඩඉම් පොත් විමර්ශණය කිරීමෙන් අපට නිගමනය කල හැකි වන්නේ මාතලේ, මාතලෙ, මහතලා, මාතුල යන සියලු හැඳින්වීම් අවම වශයෙන් දඹදෙනි යුගයේ සිටවත් එකම ප්‍රදේශයක් අරබයා භාවිතා කර ඇති බවත් එය වර්තමාන මාතලේ දිස්ත්‍රික්කය (මුල් යුගයේදී ලග්ගල ප්‍රදේශය හැර ) ප්‍රධාන කොටගත් මහනුවර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් කොටසුත් ඇතැම් කාල වලදී ඇතුලත්ව සීමා නිර්ණය කර තිබූ බවත්ය. මේ අනුව පසුකාලීන වංශ කතා වල සඳහන් මාතුල දනව්ව යනු වර්තමාන මාතලේ පෙදෙස බව පෙන්වීමට සාක්ෂ්‍ය ඇත.
අලුවිහාරෙ යන ගම ශ්‍රි මහා බෝධිය වැඩම්මවීමේදී මෙරටට පැමිණි මුදලිවරු අතරින් ශ්‍රි විෂ්ණු බ්‍රහ්මණරාල පදිංචි වූ ගම ලෙස මාතලේ කඩඉම්පොතේ සඳහන් වේ. මෙරට බොහෝ මහනුවර යුගයේ විහාරස්ථාන වලට නම් යෙදීමේදී ගමේ නමින් එය හැඳින්වීම දක්නට හැකිය. වර්තමාන විහාරයට එම නම ගමේ නමින් ආවා වන්නටද බැරි නැත. කටාරම් කෙටූ ගල් ලෙන් සහ ඒවායේ ඇති පැරණි බ්‍රාහ්මි ලෙන් ලිපි හැර මෙහි දැනට දැකිය හැකි සියලුම දේ පාහේ මධ්‍යතන යුගයෙන් පසු සිදුවූ ඉදිකිරීම් ලෙස පෙනි යයි. මුල් බ්‍රාහ්මි ලෙන් ලිපි 5 ක් පමණ මෙහි ඇති අතර පරණවිතාන මහතා ඉන් ලිපි තුනක් කියවා පල කර ඇත. උපශක ශුමනගේ සහ දෙව තෙරගේ ලෙන සඟ සතු කල බව එක් ලිපියකින් කියවෙන අතර තවත් ලිපියක ශිවගුත යන නම පමණක් සඳහන් වේ. තුන්වන ලිපියෙන් වශ සහ ශුම යන අය කරවූ ඇළක් ගැන කියවී ඇතත් එහි අකුරු කිහිපයක් මැකී ඇත. පසුව සොයා ගත් වෙනත් ලිපි දෙකක් මාලිනි ඩයස් මහත්මිය  විසින් පළකර ඇති අතර ශදගුතගේ ලෙන සඟ සතු කල බව සහ බත මොගලගේ දිශමුක ලෙන ලෙස ඒවායේ සඳහන් වේ.
කෙසේ වුවද අස්ගිරි තල්පත මාතුල දනව්වේ අලු ලෙන ලෙස හැඳින්වූ ස්ථානය නම් වර්තමාන අලුවිහාරය බව පිළිගැනීම නිවැරදි විය හැක්කේ මාතුල දනව්ව නමින් හැඳින්වූ වෙනත් ප්‍රදේශයක් පිළිබඳව එය ලියවෙන අවධියේ අනෙකුත් මූලාශ්‍රයක සඳහන් නොවන නිසා සහ වෙනත් අලුලෙනක් එම ප්‍රදේශයේ හමුනොවන බැවිනි. සිදුවීම සිදුවීමෙන් සියවස ගණනාවකට පසු මුල් වරට සඳහන් වන මූලාශ්‍රයකින් පැහැදිලි නිගමනයකට ඒම එතරම් සුදුසු නොවන බැවින් වර්තමාන මාතලේ අලුවිහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ වූ බවට නිසැකවම කිව නොහැක. එහෙත් බුදු දහම මෙරටට හඳුන්වාදුන් යුගයේ මෙම ගල් ලෙන් සඟ සතු කල බවට සාක්ෂ්‍ය ඇති බැවින් මෙය එම කාලයේ සිටම පැවතෙන පුද බිමක් බව නම් අවිවාදිතය.

මෑත ඉතිහාසය
මහනුවර යුගයේ හෝ ඒ ආසන්න යුගයකදි රචිත ලෙස සැලකෙන නම්පොතෙයි මෙම විහාරය ගැන සඳහන්ව න්නේ ආලෝක විහාරය ලෙසිනි. ඉංග්‍රීසි ලේඛකයන් කිහිප දෙනෙකුම මෙම විහාරය ගැන සටහන් තබා ඇත. මේජර් ෆෝර්බ්ස් 1840  දී මේ ස්ථානය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරමින් මෙහි පැවැති පැරණි විහාරය වර්ෂ 1803 දී බ්‍රිතාන්‍ය හමුදා විසින් විනාශ කල බවත් පෙර පැවති විහාර 8න් 2 ක් පමණක් නැවත ඉදිකර ඇති බවත් පවසයි. ඔහු විහාර (Temples) යන්නෙන් ගුහා වල ඉදිකර තිබූ ලෙන් විහාර අදහස් කල බව පෙනී යයි. එමර්සන් ටෙනන්ට් ද වර්ෂ 1859 මේ ස්ථානය පිළිබඳ කෙටි විස්තරයක් ඔහු විසින් ශ්‍රි ලංකාව පිළිබඳ ලිවූ සවිස්තරාත්මක ග්‍රන්ථයේ ඉදිරිපත් කරයි. එඩ්වඩ් මුලර් වර්ෂ 1883 දී මෙම ස්ථානයේ ඇති ලෙන් ලිපි කියවීමට උත්සහා දරා ඇති මුත් ඔහු පවසන්නේ ඒවා බෙහෙවින් ගෙවී ඇති බැවින් කියවීමට නොහැකි වූ බවය. එවකට දැකිය හැකි වූ විහාරය ඉතාමත් මෑතකදි තනා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මධ්‍යම පලාත ගැන තත්කාලීන තොරතුරු ඇතුලත් ලෝරිගේ ගැසටියර් ග්‍රන්ථය (1898) මෙම ස්ථානයේ ඇති උඩ විහාරය සහ පල්ලේ  විහාරය ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරමින් වර්ෂ 1803 දී බ්‍රිතාන්‍ය හමුදා කල විනාශයෙන් පසුව 1820 දී රජය මගින් රික්ස් ඩොලර් 500 වියදම් කරවා ඒවා නැවත පිළිසකර කල බව පවසයි.
මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • විවරණ සහිත නම් පොත හෙවත් විහාර අස්න, පන්නිල ශ්‍රී සාරානන්ද සහ පණ්ඩිත ඕපාත ශ්‍රී සරණංකර, 1956
  • රාජරත්නාකරය, කරුණාදාස රූපසිංහ සංස්කරණය,1995
  • අස්ගිරි තල්පත, සංස්කාරක: මැන්දිස් රෝහණදීර, 1997
  • පූජ්‍ය එල්ලාවල හිමියන්ගේ විවිධ ලිපි එකතුව - 2, ජාතික උරුමයේ පිය සටහන්, එල්ලාවල මේධානන්ද හිමි, 2010
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941
  • Ceylon An Account of the island  Physical, Historical and Topographical with  notices of its natural, antiquities and productions, Sir James Emerson Tennent, 1859
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Gazetteer of the Central Province of Ceylon, A.C. Lawrie, 1896
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
  • Historic Matale, 1984
  • Epigraphical Notes Nos. 1-18, Malini Dias, 1991
  • Aluvihara Cave Temple, Aluvihare Saranankara, 2011
  • The Deepavamsa, Hermann Oldenberg, 1879
  • Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions, Senarat Paranavitana, 1970
  • Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol VII, Containing slab inscriptions,rock inscriptions and pillar inscriptions of the Dambadeniya, Kurunagala and Gampola periods, Sirimal Ranawella, 2014
  • Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol VIII, Containing slab inscriptions, rock inscriptions sannasas belonging to the Jayawardhanapura Kotte Period, (1400-1521 AC), Mendis Rohanadeera, 2007
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.

Thursday, October 13, 2016

රුහුණේ පැරණි පුදබිම් 2 - කොට්ට ඉඹුල්වල පුරාණ රජමහා විහාරය.


 වර්තමාන සබරගමු පළාතට අයත් පැරණි අටකලන් කෝරළයේ කඳවෙල් පත්තුවේ කොට්ට ඉඹුල්වල පුරාණ රජමහා විහාරය පිහිටා ඇත. මෙම විහාරය ඉදිකර ඇති කටාරම් කෙටූ ගල් ලෙන බෞද්ධාගම මෙරටට හඳුන්වාදුන් මුල් යුගයේ ඉදි කල එකක් බවට විශ්වාස කෙරේ. මහාවංශයේ සඳහන් වන දෙවනපෑතිස් රජු කල අනුරාධපුර ජය ශ්‍රීමහා බෝධි රෝපන උත්සවයට චන්දනගාමයේ සිට පැමිණි ක්ෂත්‍රියන්ගේ පාලනය පැවැති ප්‍රදේශය වලවේ ගඟේ ඉහල ප්‍රදේශයේ පිහිටි හඳගිරිය නමින් දැනට හඳුන්වන ප්‍රදේශය ආශ්‍රිතව පැවැති බවට මතයක් ඉදිරිපත් කරන පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් එම ප්‍රදේශය සහ අවට විසිරී ඇති චන්දනගාමයේ පැරණි ස්ථාන අතරට මෙම විහාරයද ඇතුලත් කරයි.


කටාරමට පහලින් ඇති සිතුවම්
විහාරයට පිවිසෙන පියගැට පෙළ දෙපස ශිලා ලිපි දෙකක් ඇති මුත් එහි සඳහන් කිසිවක් කියවීමට නොහැකි තරමට මැකී ගොස් ඇත. එනමුත් ඉරි වලින් වෙන්කර ලියා ඇති බැවින් එම ලිපි කෝට්ටේ යුගයට අයත් බවට අනුමාන කල හැක. විහාරස්ථානයේ ඇති පුස්කොළ ලියවිල්ලක සඳහන් වන ආකාරයට 6 වන පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර ඇති බැවින් බොහෝවිට මෙම ශිලා ලිපි එතුමන් විසින් පිහිටුවන්නට ඇත.  
මාර සෙනඟ නිරූපිත සිතුවමක්
එම ලියවිල්ලේ වැඩිදුරටත් සඳහන් වන පරිදි මෙහි සඟ පරපුර ආරම්භ වන්නේ වලගම්බා රජු කලය. මෙරට ලෙන් විහාර පිහිටි සියලුම ස්ථාන ආශ්‍රිතව පැතිරී ඇති සුලභ ජනප්‍රවාදයක් වන වලගම්බා රජතුමන් සොලී ආක්‍රමණ කාලයේ සැඟවී සිටි ස්ථානයක් ලෙසට කොට්ට ඉඹුල්වල ගැනද එහි සඳහන් වේ. මේ විහාරයේ විහාරාධිපති හිමියන්ගේද සහය ඇතිව එතුමන්  රණගුළුපොලින්(කොට්ට ඉඹුල්වල?) සේනාව රැස්කරවා හම්බේගමුවට ගොස් එහි කොටවෙහෙර වැසි තෙරණුවන්ගේද සහය ඇතිව සේනාව තර කරගනිමින් සොලීන් පලවා හැරීමෙන් පසුව, උපකාර කල මෙහි විහාරාධිපති හිමියන්ට 'අභයරාජ' නම් ගෞරව නාමයක් දුන් බව එහි සඳහන් වේ. එතැන් සිට නොකැඩී පැවතෙන මෑත භාගයේ මෙහි වැඩ විසූ තඹගමුවේ බුද්ධරක්ඛිත තෙරුන් දක්වා සිටි සඟ පරපුරු 22 පිළිබඳවද එහි විස්තර වේ.  කෙසේ නමුත් මෙහි අන්තර්ගතයේ ඇතැම් කරුණු සහ එහි ඓතිහාසිකත්වය පිළිබඳ විශ්වාස කල නොහැක.

මහනුවර සම්ප්‍රදායේ සිතුවම්

මහනුවර සම්ප්‍රදායේ සිතුවම්
 බොහෝවිට එම ලිපිය පාදක කරගනිමින් පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පවසන්නේ මෙහි පැරණි දාගැබ පළමුවෙනි භුවනෙකබාහු රජු විසින් කරවන ලද බවය. එසේම 6 වන පැරකුම්බා රජු කරවූ පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙණ, සපරගමු සමන් වෙහෙරසමන් දේවාලය සහ මෙම විහාරය අතර සමන් වෙහෙර පිරිත් නිලය ආදී ආගමික කටයුතු පිළිබඳ සමීප සම්බන්ධතාවයක් තිබී ඇත (එම පිරිත් නිලය අදද පැවරී ඇත්තේ මෙම විහාරයටය). විහාරයේ ඇති තඹ සන්නසකට අනුව මෙහි වැඩසිටි කොට්ට ඉඹුල්වල අනෝමදස්සි තෙරුන් මෙහි පැරණි දාගැබ ප්‍රතිසංස්කරණය කරවා ප්‍රාකාරයක් බැඳ, රිදී 1285 ක වියදමින් ගනේගම අරමණපොළ විහාරයේද 13 රියන් දාගැබක් තනවා, එම විහාරයේම ප්‍රතිමා වහන්සේලා තුන් නමක වැඩ නිමවා එම පින් මහවාසලට අනුමෝදන් කරවූ බැවින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ තෙමේ සිය රාජ්‍යයත්වයෙන් දසවැන්නේ (බු.ව. 2341 එනම් ක්‍රි.ව. 1808) මෙම විහාරස්ථාන දෙකට මඩ අක්කර පහළොස් දහසක ඉඩම් පරිත්‍යාගයක් සිදු කර ඇත.

මකර තොරණ
මැකී ගිය සෙල් ලිපිය
මූලාශ්‍ර
  • සබරගමුව වංශකථාව, 2 වෙළුම
  • සපරගමුවේ පැරණි ලියවිලි, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1942
  • සපරගමු දර්ශන, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1967
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, එල්ලාවල මේධානන්ද හිමි, 2013
ආශ්‍රිත පෙර ලිපි