Showing posts with label Gajabahu. Show all posts
Showing posts with label Gajabahu. Show all posts

Sunday, November 5, 2023

බිජෙර්වතු කුළියෙහි රන්තිසැ හෙවත් තිස්සවඩ්ඪමානක පිහිටි මැඩිලිගිරි වෙහෙර

මැදිරිගිරිය වටදාගෙය යනු මෙරට ඕනෑම පුද්ගලයෙක් අවම වශයෙන් ඡායාරූපයකින් හෝ දැක ඇති පුද බිමක් මෙන්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. මදක් උස් වූ කළුගල් තලා දෙකක් මතට ගොඩවීමට ශෛලමය පඩිපේලි සකසා ඒ මත තැනූ ස්තූපය සහිත වටදාගෙයක්, තවත් ස්තූපයක්, ප්‍රතිමාගෘහ හතරක් සහ පොකුණු දෙකක් මෙම පරිශ්‍රයේ ප්‍රධාන වශයෙන් දැකිය හැක. එසේම පූජනීය ගොඩනැගිලි පිහිටි ගල් තලා දෙකම ආවරනය වන පරිදි ඉදි කල විශාල ප්‍රාකාර බැම්මක් මගින් විහාරයේ සීමාව සළකුණු කර ඇත. එහෙත් මෙම සීමාවන්ට පිටතින් විශාල ප්‍රදේශයක් පුරාවිද්‍යා රක්ෂිතයට අයත් වන අතර කැනීම් සිදු කර සංරක්ෂණය කල පුරාණ රෝහලක් හෙවත් වෙදහලක් ආරාම සංකීර්ණයේ ගොඩනැගිලි වලට ඊසාණ දෙසින් දැකගත හැක. සෙල්ලිපි වල සිංහල භාෂාවෙන් මැඩිලිගිරිය ලෙසත්, මහාවංශයේ පාලි භාෂාවෙන් මණ්ඩලගිරිය ලෙසත් හැඳින්වෙන මැදිරිගිරිය ලෙසින් වර්තමානයේ හඳුනාගන්නා මෙම ස්ථානයෙන් හමුවූ සෙල්ලිපි සහ වංශකතා තුලින් එහි අතීතය පිලිබඳව කරුණු ඉදිරිපත් කිරීම ප්‍රධාන වශයෙන් අරමුණු කොට මෙම ලිපිය සැකසේ.    

මැදිරිගිරිය විහාරයේ ගොඩනැගිලි දැක්වෙන වීඩියෝව >>

කනිට්ඨතිස්ස රජු (පො. ව. 167 - 186) මණ්ඩලගිරි විහාරයේ උපොසථඝරයක් කරවූ බවද, සිරිසංඝබෝධි නමින් රජවූ හත්ථදාඨ රජුගේ (පො. ව. 659 - 667) අග්ගබෝධි නම් වූ බාල සොහොයුරාගේ (එනම් පො. ව. 667 - 683 කාලයේ රජ්‍ය පාලනය කල සිව්වන අග්ගබෝධි) රාජ්‍ය පාලන කාලයේ මහත් ධනවත් වූ මලය රජු, මණ්ඩලගිරි විහාරයේ චේතියට වටිනා දාගෙයක් කරවූ බවදදෙවන සේන රජු (පො. ව. 853 -887) මණ්ඩලගිරි විහාරයට ගම් පිදූ බවද, පළමුවන විජයබාහු රජු ප්‍රතිසංස්කරණය කරන ලද දිරාගිය විහාර අතර මණ්ඩලගිරි විහාරය තිබූ බවටද මහාවංශයේ තොරතුරු හමුවේ. නැවතත් මහාවංශයේ මණ්ඩලගිරි විහාරය (මණ්ඩලීගිරි ලෙසින්) ගැන සඳහන් වන්නේ දෙවන ගජබාහු රජු (පො.ව. 1132-1153) සහ පරාක්‍රමබාහු කුමාරයා අතර ඇතිවූ "සාම ගිවිසුම" පිළිබඳව වූ විස්තරයේදීය. මණ්ඩලගිරි විහාරයට පැමිණ  ඔවුන් දෙදෙනා එකඟ වූ කරුණු ගලක මතුපිට ලියවූ බව එහි සඳහන් වේ (එහෙත් එම සෙල්ලිපිය හමුවන්නේ වර්තමානයේ සංගමුව නමින් හැඳින්වෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි වෙනත් විහාරයකය. එම සෙල්ලිපිය සහ විහාරය පිළිබඳව තොරතුරු මීට පෙර ලිපි දෙකකින් ඉදිරිපත් කර ඇත (1) >> (2) >>. )


මැදිරිගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයෙන් හමුවී ඇති 10 වන ශතවර්ෂයේ මුල් අර්ධයට අයත් සිංහල අක්ෂර වලින් රචිත ටැම් ලිපි දෙකක් වේ. බොහෝදුරට එකම ලිපියේ පිටපත් දෙකක් ලෙස සැලකිය හැකි එම ටැම් ලිපි වල සඳහන් වන ලෙසට ඔකාවස් පරපුරෙන් පැවතෙන දඹදිව් තල එක් හෙළි කොට මධුරා දිනූ සිරිසග්බො මහරද්හු පුත් දෙබිසව් දා අභා සලමෙවන් මපූර්මකා තුන්වැන්නෙහි [එනම් අභා සලමෙවන් නම් වූ රජුගේ තුන් වන රාජ්‍ය වර්ෂයේ] නවය[නවම් මස] අව විසෙනිය [චන්ද්‍ර මාස ක්‍රමයට අනුව අවපක්ෂයේ පස් වන දින] එක්තැන් සමියෙන් [Supreme Council] වදාල හෙයින් අත්තාණි ප්‍රදානයක් සඳහන් කරමින් එම ලිපි පිහිටුවා ඇත. මහවංශයේද සඳහන් ලෙසට දෙවන සේන රජු (පො. ව. 853 -887) මධුරා පුරය ආක්‍රමණය කර ඇත. එසේම දෙබිසව් දා යන අභිධානය දැරූ එකම රජු ලෙස එම සේන රජුගේ පුත් පස්වන කාශ්‍යප හඳුනාගෙන ඇති බැවින් මෙම අත්තාණි ප්‍රධානයන් සිදු කර ඇත්තේ මෙම ලිපි වල අභා සලමෙවන් විරුදය දරන 5 වන කාශ්‍යප රජුගේ (පො. ව. 914 - 923) රාජ්‍යත්වයෙන් තුන්වන වර්ෂයේදී බව පැහැදිලිය. 

වෙදහල

අත්තාණි ලිපි පිහිටුවීමේ අරමුණ ලෙස සඳහන් වන්නේ බිදෙර්වතු කුළියෙහි [බිජෙර්වතු කුළිය ලෙසින් අනෙක් ටැම් ලිපියේ සඳහන් වේ. ] රන්තිසැයෙහි පිහිටි මැඩිලිගිරි ඇත් වෙහෙර් පියැන්ගලැ සතර් සීමාවෙන් ඇතුලත පිහිටි භූමියෙහි [Land situated within the four boundaries of the Meditation Hall of the Inner Monastery of the මැදිලිගිරිය විහාර, situated in රන්තිසා in බිදෙර්වතු කුළියඅනෙක් ටැම් ලිපියේ මෙය සඳහන් වන්නේ බිජෙර්වතු රන්තිසැයෙහි පිහිටි මැඩිලිගිරි විහාරයේ සතර සීමා තුල ලෙසටය.] බලපවත්නා මුක්තීන් පිළිබඳව සඳහන් කිරීමය. අඩු වැඩි වශයෙන් වෙනත් බොහෝ අත්තාණි පිරිනැමීම් සඳහන් ටැම් ලිපි වල සඳහන් කරුණු එලෙසින්ම සඳහන් වන මෙම අත්තාණි පිරිනැමීමේදීද ඒ සඳහා එක්තැන් සමියෙන් පැමිණි නිලධාරීන්ගේ නම් ගම් සඳහන් වන අතර, ඊට අමතරව සඳහන් වන වැදගත් කරුණු ලෙසට වෙද්හල් වැස්සන්  [Employees of the hospital] ගම් වැද කිසිදු අකටයුතු කමක් නොකලයුතු බව සඳහන්වීම සහ මළ එළුවන් සහ කුකුළන් වෙහෙර් වෙද්හලට බහාලනු [ලබාදිය යුතු බවට] ලෙසට වූ සඳහන සැලකිය හැකිය (මෙම වෙදහල එනම් රෝහලේ නටබුන් විහාරය පිහිටි භූමියට ඊසාණ දෙසින් කැනීම් කර සංරක්ෂණය කර ඇත. මේ සමග ඇති ඡායාරූප සහ වීඩියෝව නරඹන්න.)

හිටි පිළිම තුනක් සහ හිඳි පිළිම දෙකක් සහිත පිළිම ගෙය

මෙම ටැම් ලිපි වලට අමතරව පුවරු ලිපි හතරක්ද මෙම පරිශ්‍රයෙන් හමුවී ඇත. ලිපියේ අර්ථය පැහැදිලිව මතු කර ගත නොහැකි ලෙසට කොටස් ගෙවීගිය, කුඩා අකුරු වලින් කල මින් එක් ලිපියක සඳහන් වන ලෙසට එය සිරිබර සැහැකුල කොත් සුදොනා පරපුරෙන් බට් සලමෙවන් අබහ මහරද් හට සහ දෙව්ගොන් බිසො හට පුත් වූ සිරිසග්බො මහරජු හට සත්වැන්නෙහි පිහිටුවා ඇත. මහාචාර්ය සිරිමල් රනවැල්ල මහතා එහි භාෂාව සහ පූර්විකාවේ ඇති සමානතාවය අනුව ලිපියේ සඳහන් සිරිසඟබෝ විරුදය දරන රජු දඹේගොඩ ලිපියේද ඒ ආකාරයෙන් විස්තර වන සිව්වන මහින්ද (පො. ව. 956 - 972) රජු ලෙස හඳුනාගනී. කෙසේ නමුත් මෙම ලිපියේද මැඩිලිගිරි මහවෙහෙර ගැන මෙන්ම විශේෂයෙන්ම එහි වෙදහල ගැනද කරුණු සඳහන් වන බව කියැවිය හැකි අක්ෂර අනුව පෙනී යයි.

වෙදහල තුල තිබුණා විය හැකි බෙහෙත් ඔරුවක්. එහෙත් මෙය කිසියම් කලක එයට සැලකිය යුතු තරම් දුරකින් පිහිටා ඇති සැතපෙන පිළිමයක් සහිත ප්‍රතිමාගෘහය පිහිටි මළුවට රැගෙන විත් ඇත. 

අභා සලමෙවන් මපුර්මකා පස්වැන්නෙහි මැන්දින් දිනැ පුර විසෙනිය [එනම් අබා සලමෙවන් නම් මහ රජුගේ රාජ්‍යත්වයෙන් පස් වන වර්ෂයේ මැදින් දින චන්ද්‍ර මාස ක්‍රමයට අනුව පුර පක්ෂයෙන්  පස්වන දින], රාල් පුවිළ නම් වූ පුද්ගලයෙක් පනස් කලඳක් රන් දී පිඬින් වසගක් [Food ration] ගෙන මැඩිලිගිරි  වෙහෙර මහ සඟ්නට [සංඝයා හට] දිනපතා එක් කෙනෙක් හට රදින් තුන් අඩ්මනාක් සාලෙ බත් [Boiled rice cooked of three අඩ්මනාක්  of raw rice from the royal house], තුන් මාළුවක් [Three curries] සහ දෙහිරා බුලතක් [Two sheaves of betel] දෙන ලෙසින් පවසා පිහිටවූ පුවරු ලිපියක්ද මැදිරිගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයේ තිබී හමුවී ඇත. එහි වැඩිදුරටත් සඳහන් වන ලෙසට මෙම දන් සැපයීම කඩ කරන සඟුන් වුව උපැවිදි කර ආවාසයෙන් පිටුවහල් කල යුතු අතර, කැමියන් [officials] දාසයන් කල යුතුය.  

ස්තූපයක්

අඩු වැඩි වශයෙන් මෙම කරුණුම සඳහන්  මෙහි හමුවන තවත්  පුවරු ලිපියක් පිහිටුවා ඇත්තේ රද් මදියා නම් පුද්ගලයෙක් අභා සලමෙවන් නම් රජෙකුගේ [මපුර්මකා] රාජ්‍යත්වයෙන් නවවැන්නේ හිලැ පුර දසවක් දවස [හිල මස පුර පක්ෂයෙන් දසවන දින] මැඩිලිගිරි රද් වෙහෙරට පනැස් කළන්දක් රන් දී පිඩින් වසගක් [Food ration] ගෙනය.  මෙම පුවරු ලිපි දෙකෙහි මෙන්ම ලිපියේ නම සඳහන් රජු හඳුනාගත නොහැකි, එහෙත් සිරිසඟබො මපුර්මකා පළමුවන්නේ මැන්දින් දින පුර විසෙනි දවස් මහ අරකි බුදල්නාවන්ගෙ සුත්කා... ලෙසින් ආරම්භ වන ලිපියේ අන්තර්ගතය හඳුනාගත නොහැකි ලෙසින් ගෙවී ගිය තවත් පුවරු ලිපියක් මැදිරිගිරිය විහාරයේ නටබුන් අතර තිබී හමුවී ඇත.   

ටැම් ලිපිය 

ස්වස්ති බිජෙර්වතුකුළියැ සෙල බොය් (මෙ) ගී

(ඇජැ තබ) ය්  බෙයන්දහි [රන්] වන් පිළිබිබ් ඇත්නි

(හැ)ජවෙය් මෙ (සෙස්) සිත සිරිබර්නි පෙවෙහි කා අවද්

අට වෙනි සියවසේ අවසාන භාගයට හෝ නව වන සියවසේ අරම්භක යුගයට අයත් කල හැකි සිංහල අක්ෂර වලින් ලියා ඇති ඉහත සඳහන් සීගිරි ගීයෙහි සඳහන් වන පරිදි බිජෙර්වතු කුළියේ සෙල බොය් නම් පුද්ගලයා සිගිරි පැමිණ කැටපත් පවුරේ ගීයක් සටහන් කර ඇත.

ගඩොලින් කල සැතපෙන පිළිමය සහිත ප්‍රතිමාගෘහය
යක්ෂයන් සහ මනුෂ්‍යයන් අතින් මෙහෙ ගෙණ මහසෙන් රජු (පො.ව. 274 - 301) බැඳවූ සතලොසක් වූ වැව්  අතර රන්තිසැ නම් වූ වැවක් පිළිබඳව පූජාවලියේ සඳහන් වේ. තවද මේ පිළිබඳව සඳහන් කිරීමේදී රාජාවලියද මහසෙන් රජු යකුන්ගෙන් රාත්‍රියෙ මෙහෙ ගෙන දවාල මිනිසුන් ලවා මෙහෙ ගෙන බැඳි පහළොසක් වැව් අතර රන්තිස නම් වූ වැවද වූ බව සඳහන් කරයි. මහාවංශයේ මහසෙන් රජු කරවූ එම වැව් සොලොස ගැන සඳහන් කිරීමේදී පාලි භාෂාවෙන් තිස්සවඩ්ඪමානක වැව ලෙසින් සඳහන් වන්නේ පූජාවලියේ රන්තිසැ ලෙසින් සඳහන් වන වැව වියහැකි බව සැලකේ. වසභ රජු (පො.ව. 67 - 111) තිස්සවඩ්ඪමානකයෙහි මුචේල විහාරය කරවා ආලිසාර ඇලේ දියභාගය එම විහාරයට පූජා කල බව මහාවංශයේ සඳහන් වේ. මහා පරාක්‍රමබාහු රජු අලුත්වැඩියා කල වැව් අතර මහාවංශයේ සුවණ්ණතිස්ස වැව ලෙසින් සඳහන් වන්නේද මෙකී රන්තිසා වැවම විය යුතුය.

කවන්ධ හිටි පිළිම තුනක් සහිත ප්‍රතිමාගෘහයක්

නිශ්ශංකමල්ල රජතුමා පිහිටවූ සෙල්ලිපි කිහිපයකම (රන්කොත් දාගැබ ටැම් ලිපිය, ශිව දේවාල පුවරු ලිපිය සහ Polonnaruva Stone-Bath Slab Inscription ලෙසින් හැඳින්වෙන පුවරු ලිපිය)  රන්තිසැ, මිණිහොරු, ගඟතළා, පදී ඇතුළු වූ තුන් රජයෙහි මහවෑ (තැනැ) අශේෂ ප්‍රාණීන්ට අභය දී නොමරන නියායෙන් සම්මතකොටැ... ලෙසින් සඳහන් කරන පරිදි එතුමා රන්තිසැ, මිණිහොරු (වර්තමාන මින්නේරිය වැව), ගඟතළා (වර්තමාන කන්තලේ වැව), පදී (වර්තමාන පදවිය වැව)  ආදී තුන් රජයේ මහ වැව් වල සියළු සතුන් නොමැරිය යුතු බවට නියෝග කර ඇත. 

පොකුණ

 මැදිරිගිරිය විහාර පරිශ්‍රයෙන්  හමුවන සෙල්ලිපි වල සඳහන් වන පරිදි එය පිහිටා ඇත්තේ බිජෙර්වතු (හෝ බිදෙර්වතු) කුළිය ලෙසින් හැඳින්වූ ප්‍රදේශයක පිහිටි රන්තිසා නම් වූ උප කොට්ඨාශයක බව පැහැදිලිය. එම රන්තිසා නම් වූ ප්‍රදේශය තුල එම නමින්ම වූ වැවක් මහසෙන් රජු ඉදිකර ඇති අතර එය මහාවංශයේ තිස්සවඩ්ඪමානක ලෙසින් හඳුන්වා ඇත. රන්තිසා නම් වූ ප්‍රදේශයද මහාවංශයේ වසභ රජු කල තිස්සවඩ්ඪමානක ලෙසින් හඳුන්වා ඇති අතර, එහි එතුමා මුචේල නම් වූ විහාරයක් ඉදිකර එයට ආලිසාර ඇලේ දියබාගය පවරා දී ඇත. ආලිසාර ඇල යනු මහවැලි ගඟේ අතු ගංගවක් වන අඹන් ගඟ වර්තමාන ඇලහැර ප්‍රදේශයේදී පුරාණ අමුණක් මගින් හරවා මින්නේරිය ප්‍රදේශය කරා ජලය ගෙන ගිය ඇලක් වන අතර එය වසභ රජු කරවූ ලෙස  පිළිගැනේ. ආලිසර ඇල පිළිබඳව වූ ලිපිය කියවීමට >> 

කවුඩුල්ල හෙවත් පුරාණ රන්තිසා වැව
මේ සියළු කරුණු සලකා බැලූ කල පුරාණ රන්තිසා වැව වර්තමානයේ කවුඩුල්ල ලෙසින් හැඳින්වෙන මැදිරිගිරිය ප්‍රදේශයට ආසන්නව පිහිටා ඇති වැව ලෙසින් හඳුනාගත හැකි අතර, තිස්සවඩ්ඪමානක හෙවත් රන්තිසැ නමින් එකල හැඳින්වූ ප්‍රදේශය වර්තමාන කවුඩුල්ල සහ මැදිරිගිරිය අවට ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. බිජෙර්වතු කුළිය ලෙසින් එකල හැඳින්වූ ප්‍රදේශය වර්තමානයේ සිංහල පත්තුව ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ උතුරු දෙසින් වූ විශාල ප්‍රදේශයක් විය හැකි බව C. W. නිකොලස් මහතා සඳහන් කරයි.

ගල් ගුහාව
මූලාශ්‍ර

  •  Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part III, Edited by Sirimal Ranawella, 2005
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part I, Edited by Sirimal Ranawella, 2001
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2015
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • අපේ උරුමයන් මගේ ඇසින්, පුරාතන ලංකාවේ බුද්ධ සහ බෝධිසත්ත්ව ප්‍රතිමා, වෛද්‍ය රුවන් මාරසිංහ, 2021
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • A Short History of Ceylon, H.W. Codrington, 1926.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • Ancient Irrigation Works in Ceylon, Part 1, R.L. Brohier, 1934
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980

Friday, March 24, 2023

යුධ ගැටුම් නවතා රජුන් සමගි කල භික්ෂූන් විසූ පුරාණ මණ්ඩලගිරි වෙහෙර සංගමුව රජමහා විහාරයද?

අවම වශයෙන් පො.ව. පූර්ව 3 වන සියවසේ අවසාන භාගයේ සිට මහනුවර යුගය දක්වාම පැවත එන විවිධ කාල වලට අයත් ශිලා ලේඛන 5000 කට ආසන්න ප්‍රමාණයක් මෙරට තුලින් හමුවී ඇත. තවමත් වන ප්‍රවාහයට යටවී සොයා නොගත් ශිලා ලේඛනද සැලකිය යුතු තරමක් තිබෙනවා විය හැක. මේ බොහෝමයකින් වැදගත් ඓතිහාසික තොරතුරු රාශියක් හෙලි කර ගත හැකි වී ඇති නමුත් එයිනිදු ඓතිහාසික වශයෙන් සුවිශේෂ ලෙස සැලකිය හැකි ලිපි කිහිපයක්ම පවතී. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංගමුව රජමහා විහාරයේ පිහිටි එවන් එක් ශිලා ලේඛනයක් පිළිබඳව මෙයට පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කල අතර එම ලිපිය පිහිටා ඇති ගල් පර්වතයේ හමුවන වෙනත් සෙල්ලිපි ආදී පුරා වස්තු සහ ඒවායින් හෙලිවන තොරතුරු මෙම ලිපියට වස්තුවිෂය වේ. පෙර ලිපිය කියවීමට >>
පෙර ලිපියෙන් විස්තර ඉදිරිපත් කල මේ ස්ථානයේ පිහිටි දෙවන ගජබාහු රජු සහ පරාක්‍රමබාහු කුමාරයා අතර ඇතිවූ සන්ධානය පිළිබඳව එපිග්‍රැපියා සෙලනිකා සිව්වන වෙලුමට ලිපියක් සපයන මහාචාර්ය සෙනරත් පරනවිතාණ මහතා මෙහි එතුමා විසින් නිරීක්ෂණය කල නටබුන් පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කරයි. 1934-1941 දක්වා කාලයේ පලකල සෙල්ලිපි ඇතුලත් එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් වන්නේ 1943 වසරේදීය. ඒ අනුව එතුමා 1934 හෝ එයට පෙර කාලයකදී මෙම ස්ථානය පිළිබඳව සිය ගවේෂණය සිදු කලා විය යුතුය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1930-31 වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාවේ එම වසරේ සොයාගත් ඉතාමත්ම වැදගත් සෙල්ලිපිය ලෙස සඳහන්ව මෙම ලිපියේ අන්තර්ගතය පිළිබඳව විස්තරයක් හමුවේ. ඒ අනුව පැහැදිලි වන්නේ සෙනරත් පරණවිතාණ  මහතා ඉදිරිපත් කරන විස්තරය 1930 හෝ 1931 වර්ෂයේ මුල් කාලයට අයත් විය යුතු බවය. 

පැරණි ස්තූපය
කෙසේ නමුත් එතුමා ඉදිරිපත් කරන විස්තරයට අනුව මෙම පරිශ්‍රයේ එතරම් උස් නොවූ පස් ගොඩැල්ලක් බවට පත්ව තිබූ පැරණි ස්තූපය, තැන තැන තිබූ පැරණි ආරාමික ගොඩනැගිලි වල නටබුන් වූ රළු ගල් කණු, මුරගලක්, සඳකඩපහණක් මෙන්ම පැරණි බ්‍රාහ්මි 'ශ' අක්ෂරය වැනි සලකුණක් කොටා ඇති ගල් පුවරුවක් වැනි නටබුන් එතුමාට හමුවී ඇත. ඒ වන විටත් එහි නූතන විහාරයක් තිබී ඇති අතර ඉහත නටබුන් හමුවන අක්කර 10 ක් පමණ වූ සමතලා භූමියේ සිට රළු පඩි සහිත මගක කන්ද මුදුනේ පිහිටි මහනුවර යුගයට අයත් ලෙන් විහාරයට යා හැකි බව සෙනරත් පරණවිතාණ මහතා සඳහන් කරයි. ඒ වන විට නවීකරණය වෙමින් තිබූ එම ලෙන් විහාරයේ වසර පහකට පමණ පෙර ඉදි කර තිබූ බිත්තිය නිසා ගුහාවේ කටාරමට යටින් වූ බ්‍රාහ්මි සෙල්ලිපියේ කොටසක් වැසී ගොස් ඇති බවත් පරණවිතාණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. පරුමක චිතගුත ගේ බිරිය යන කොටස සමග නැවතත් පරුමක යන අක්ෂර පමණක් එසේ වැසී නැති කොටසින් එතුමා කියවා පලකර ඇත (පරුමක චිතගුතහ බරිය පරුමක....)  

මහනුවර සම්ප්‍රදායේ සිතුවම් සහ මූර්ති සහිත ලෙන් විහාරය

ඒ ආසන්නයේම වූ වෙනත් ගුහාවක විශාල කොටසක් කිසියම් නොදන්නා කාල වකවානුවකදී කඩා වැටී ඇති අතර එහි තිබූ  බ්‍රාහ්මි සෙල්ලිපියටද ඉන් හානී වී ඇති බව පවසන පරණවිතාණ මහතා එහි කියවිය හැකි ඉතිරි වී ඇති අක්ෂර වලින් බත ශොබනශ ....ලශ පුත ම.... යන්න කියැවෙන බව පවසයි (පරණවිතාණ මහතා ඉදිරිපත් කරන ඉංග්‍රීසි පරිවර්තනය >> Of lord Shobana ......Ma.....son of ....la. || මෙහි තද කළු පැහැයෙන් [Bold]දක්වා ඇත්තේ පුද්ගල නාම සහ පුද්ගල නාම වල කියැවිය හැකි කොටස් ලෙස සලකන්න.) එයට අමතරව ඒ ආසන්නයේම වූ තවත් ගල් ගුහා දෙකක්, කන්ද පාමුල වැවට ආසන්නව වූ තවත් ගල් ගුහාවක් සහ විහාරයට යාර 100 පමණ දකුණින් වූ වෙනත් ඉඩකඩ සහිත ගල් ගුහාවක් පිළිබඳව එම විස්තරයේ සඳහන් වේ. තවද නූතන විහාරයට ආසන්න ගල් තලාවක් මත පස් වන සියවසේ සිට හත් වන සියවස දක්වා භාවිතා වූ අක්ෂර වලින් රචිත සෙල්ලිපි කිහිපයකම කොටස් දැක ගත හැකි බව පවසන එතුමා ඉන් එක් ලිපියක 'ගොනගිරි' ලෙසින් සඳහන් මුත් එහි කොටස් මුළුමනින්ම නොමැති හෙයින් මෙම ස්ථානයේ පැරණි නාමය එය ලෙස සැලකීමට එය පමණක් ප්‍රමාණවත් නොවන බව අවධාරනය කරයි.

සංගමුව විහාරයේ ඡායාරූප වලින් මෙහි දක්වා නොමැති ගල් ලෙන් සහ ලෙන් විහාරයේ බිතුසිතුවම් ආදිය දැක්වෙන වීඩියෝව >>

සංගමු විහාරයේ ඉහත විස්තර වූ කටාරම් කෙටූ ගල් ලෙන් වලින් සොයාගත් මුල් බ්‍රාහ්මි සෙල්ලිපි සතරක් සෙනරත් පරණවිතාණ මහතා පසු කලක ප්‍රකාශයට පත් කර ඇත. ඉහත දැක්වූ ලිපි දෙකට අමතරව මෙම පරිශ්‍රයෙන් සොයාගත් තවත් ලිපි දෙකක් එහි දක්වා ඇත.

1)  පරුමක මහතිශහ පුත පරුමක...... ( ....the chief... son of the chief Mahatissa.)

2)  .....ශුමනශ ලෙනෙ ශගශ (The cave of ....Sumana, [is given] to the Sangha) - එනම් ශුමන නැමැත්තාගේ ලෙන සංඝයාට පූජා කල බව මෙම ලිපියෙන් කියැවේ.

ඉහත විස්තර වූ ගල් තලාවක වූ පස් වන සියවසේ සිට හත්වන සියවස පමණ දක්වා වූ අක්ෂර වලින් ලියා ඇති ලිපි වලින් කියැවිය හැකි ලිපි කිහිපයක් පසු කලක ආචාර්ය මාළිණි ඩයස් මහත්මිය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම ලිපි 6-7 සියවස් වලට අයත් ඒවා ලෙස එතුමිය සඳහන් කරයි. මේ යුගය සාපේක්ෂව අඩු සෙල්ලිපි ප්‍රමාණයක් මෙරටින් හමුවන සියවස් කිහිපයක් වන අතර එම ලිපි වලින්ද බහුතරය වහරල ලිපි ලෙස හඳුන්වන සෙල්ලිපි කාණ්ඩයට අයත් ඒවා වේ. වහරල ලිපි පිළිබඳව වැඩි විස්තර සඳහා කියවන්න >>

1) ..(දව) වහරල පල සව සතනට (..වහරලින් නිදහස්වන ලදී. මෙහි පල සියලු සත්ත්වයනට අත්වේවා!)

2) මහමලගම ලද චරමත මහ පත...(වහ) රල (මහමලගම ලද්දාවූ චර ඇමති අනිවාර්ය සේවයෙන් නිදහස් වන ලදී.)

3) ...නය නිවි සයක කහ (ව )... දි චිදවි වහරල සව... (..නය...නිවි...කහවණු සියයක් දී විහාරයෙහි අනිවාර්ය සේවයෙන් නිදහස් වන ලදී.)

4) ...පරසමතහ...සව සතනත (ප )... (ඇමති පරසමතගේ... [මෙහි පල] සියලු සත්ත්වයනට [අත්වේවා!])

මෙම ලිපි වලට අමතරව කියැවිය නොහැකි තවත් ලිපි දෙකක් එහි ඇති බව සඳහන්ය.
බෝධිඝරය
සැ.යු. මෙහි සඳහන් සිංහල පරිවර්තන (ඉහත 1-3 දක්වා ලිපි සඳහා) ආචාර්ය බෙනිල් ප්‍රියන්ත මහතාට අනුව වන අතර එම පරිවර්තන ආචාර්ය මාළිණි ඩයස් මහත්මියගේ මුල් ඉංග්‍රීසි පරිවර්තන අනුව සිදු කර ඇත. මෙහිදි වහරල චිදවි යන්නෙන් "විහාරයේ අනිවාර්ය සේවයෙන් නිදහස් වන ලදී [Made free from the compulsory service]" යන අර්ථය එතුමිය විසින් ගෙන ඇත. (වහරල චිදවි යනු තවමත් විද්වතුන් අතර විවාදයට තුඩු දුන් නිශ්චිතව ඉන් අදහස් වන්නේ කුමක්දැයි යන්න අපැහැදිලි පැරණි සිංහල වචන දෙකකි. මේ සඳහා ඉදිරිපත් වී ඇති වෙනත් මත සහ මෑතකදී ආචාර්ය බෙනිල් ප්‍රියන්ත මහතා ඉදිරිපත් කල මතය දැනගැනීම උදෙසා වහරල ලිපි ගැන ලියැවුණු පහත ලිපිය කියවන්න. >>  එම මතයට අනුව මෙම වහරල ලිපි වලින් දැක්වෙන්නේ විහාරයේ කුටි ඉදි කල සහ වෙනත් ඉදිකිරීම වලට අනුග්‍රහය දැක්වූ පුද්ගලයන් ඒ පිළිබඳව සටහන් කර තැබූ සටහන්ය.)

 සංගමුව විහාරයේ නටබුන් පිහිටි ගල මතුපිටට දිස්වන මැද්දේකැටිය වැව
මේ අනුව සෙල්ලිපි සාධක අනුව පො.ව. පූර්ව දෙවන සියවසේ සිට 12 වන ශතවර්ෂය දක්වාම මෙම ස්ථානයයේ පිහිටි විහාරය සක්‍රීයව පැවති බව අනුමාන කල හැක. එසේම එය පොළොන්නරුව යුගය වන විට රාජ්‍යයෙහි වැදගත් දේශපාලනික ක්‍රියාකාරකම් වලට මැදිහත් වීමට තරම් වැදගත් වූ ප්‍රබල භික්ෂූ පිරිසක් සිටි ස්ථානයක් බව පෙනී යයි (ඒ පිළිබඳ විස්තර සහිත පෙර ලිපිය කියවන්න >>) ඇතැම් විට මහාවංශයේ සඳහන් දෙවන ගජබාහු රජ තමන්ගෙන් පසුව රජරට රාජ්‍යය පරාක්‍රමබාහු කුමරු හට අයත් වන බව ගලක කෙටූ මණ්ඩලගිරි විහාරය මෙය වීමටද ඉඩ නැතුවා නොවේ (සෙනරත් පරණවිතාණ මහතා එම මණ්ඩලගිරි විහාරය වර්තමානයේ මැදිරිගිරිය ලෙසින් හැඳින්වෙන විහාරය ලෙස සලකයි.) මෙහි පිහිටි ලෙන් විහාරය පොළොන්නරු යුගයෙන් පසුව මහනුවර යුගයේ හෝ එයට පෙර ඉදි කරන්න ඇති බව පෙනේ (ඇතැම් විට ඉන්පසු යුගයක ඉදි වූවා වීමටද ඉඩ නැතිවා නොවේ.) වර්තමානයේ මෙම ස්ථානයේ පිහිටි විහාරයද වෙනත් ඇතැම් පන්සල් මෙන් නොව  පෞරාණික නටබුන් අභිබවා ඉදිවන කොන්ක්‍රීට් ගොඩවල් වලින් බැහැරව එවන් ස්ථානයක තිබිය යුතු නිස්කලංක බව සහ පූජනීය වටපිටාව මැනවින් සුරකිමින් පවත්වා ගෙන යන බවක් පෙනේ.  
  • විශේෂ ස්තූතිය විහාරාධිපති පූජ්‍ය අලුත්ගම මංගල හිමියන්ට සහ චින්තක මහතාට.
 මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume IV (1934 - 1941), Edited by S. Paranavitana, 1943
  • ක්‍රිස්තු වර්ෂ 4, 5, 6, 7 සියවස්හි ලක්දිව සෙල්ලිපි ඇසුරින් සකස් කරන ලද දත්ත, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2019
  • Epigraphical Notes, Nos 1-18, Malani Dias, 1991
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Annual Report of the Archaeological Survey of Ceylon for 1930-31, C. F. Winzer, Esq., 1932

Sunday, March 19, 2023

භික්ෂූන් මැදිහත්වී ඇති කල ලොව ප්‍රථම සාම ගිවිසුම සංගමුවෙන් හමුවේ !

* හෙඩිමට කලබොල නොවී ලිපිය කියවන්න. හම්බ වෙලා දැන් ගොඩක් කල්.....

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංගමුව ග්‍රාමයේ මැද්දේකැටිය වැව ආසන්නයේ පිහිටි එතරම් උස් නොවූ ගල් පර්වතයක පො.ව. පූර්ව යුගයේ සිටම පැවති බෞද්ධ ආරාමයක නටබුන් දැකිය හැක. එම පර්වතයේ නැගෙනහිර බෑවුමේ එහි පැරණි ප්‍රවේශය විය හැකි සියයකට අධික ගල් පඩි ප්‍රමාණයක් ගල මතුපිට මතු කර ඇති අතර, එම පඩි පෙල නැග ඉහලට පැමිණි කල පිහිටි ගලේ කොටස් මනාව ඉවත් කර මතු කර ඇති සමතලා සෘජුකෝණාශ්‍රාකාර කොටසක  පේලි 18 ක සෙල්ලිපියක් දැක ගත හැක. 1931 වර්ෂයේදී සෙනරත් පරණවිතාණ මහතා මෙම සෙල්ලිපිය සහ මෙම ස්ථානයේ ඇති වෙනත් සෙල්ලිපි කිහිපයක් පිටපත් කර පසුව එපිග්‍රැපියා සෙලනිකා සිව්වන වෙලුමේ මෙම ගිරි ලිපියේ පරිවර්තනයක්ද සහිතව විස්තරයක් ඉදිරිපත් කරයි. 12 වන ශතවර්ෂයේ භාවිතා වූ සිංහල අකුරින් ලියා ඇති එම ලිපියේ මුල් කොටස එම යුගයේ බෙහෙවින් භාවිතා වූ සංස්කෘත තත්සම බහුල සිංහල භාෂාවෙන් රචනා කර ඇති අතර ලිපියේ අවසානයේ වසන්තතිලකා විරිතෙන් පද බැඳි සංස්කෘත ශ්ලෝකයක් කොටා ඇත. එම ශ්ලෝකයේ තුන්වන පේලිය සම්පූර්ණයෙන් සහ සිව්වන පේලියේ කොටසක් කියැවිය නොහැකි ලෙසටම මැකී ගොස් ඇත.

ලිපියේ අන්තර්ගතය අනුව එය පිහිටුවන්නේ දෙසූරුබඩු වූ ගජබා[හු] සහ [ප]රාක්‍රමබාහු නම් වූ ශ්‍රී මහාසම්මත පරම්පරාවෙන් නොපිරිහී ආ සත්‍යධන වූ දෙදෙනෙකි. එනම් දෙමස්සිනාලා වූ අඛණ්ඩව මහාසම්මත පරම්පරාවෙන් පැවත එන සත්‍යය ධනය ලෙස සලකන්නා වූ දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා එකඟ වූ සන්ධානය එනම් ගිවිසුම පිළිබඳව එහි අනෙක් වාක්‍යය වලින් විස්තර ඉදිරිපත් වේ. ඒ අනුව ඔවුනොවුන්ගේ ජීවිතාන්තය දක්වා එකිනෙකා සමග යුද නොවදින බවට පළමු වාක්‍යයෙන් සපත කරයි. ඇතැම් අකුරු මැකී ඇති මුත් දෙවන වාක්‍යයෙන් කියැවෙන්නේ දෙදෙනාගෙන් කෙනෙකුන් පළමුව ආයාම වුවහොත් (මියගියහොත්) ඔහු සතු දේ අනෙකාට අත්පත් වන බවය යන්න වටහා ගත හැක. තුන්වන වාක්‍යයෙන් කුමක් අදහස් කලේද යන්න පැහැදිලි නොවන තරමටම එහි කොටස් මැකී ගොස් ඇති මුත් සිව්වන වාක්‍යයෙන් කියවෙන්නේ ඔවුන් අතුරින් එක්කෙනෙකු හට සතුරු වූ යම් රජදරු කෙනෙකු වේ නම් ඔහු ඔවුන් දෙදෙනාගේම සතුරන් ලෙස සලකන බවය. මෙම එකඟතාවය කඩ කිරීම තුනුරුවනේ ආඥාව කඩ කිරීමක් ලෙස සලකන බවටත් එසේ කලහොත් ඔවුන් නරකාදියෙන් කිසිදා මුක්ත නොවනු ඇති බවටත් අවසානයේ සඳහන් වේ. සංස්කෘත ශ්ලෝකයේ කියවිය හැකි කොටසින් මෙම අකුරු ඉර හඳ පවතින තුරා ලොවෙහි ආරක්ෂා වන ලෙසට වූ ප්‍රාර්ථනයක් සහ අනෙකාගේ හිතසුව පිණිස වූ ඔවුන් දෙදෙනාගේ සංධානය ඇල්මෙන් හාත්පස පැතිරේවා වැනි අදහසක් ගම්‍ය වන බව පෙනේ. 

පළමුවන විජයබාහු රජුගෙන් පසු පළමුවන පරාක්‍රමබාහු දක්වා සිංහලද්වීපයේ ඉතිහාසය සැකවින්

ඒ වූ කලී දීර්ඝ චෝල පාලනයකින් පසු චෝලයන් පලවාහැර සිංහලද්වීපය එක්සේසත් කල පළමුවන විජයබාහුගෙන් (පො.ව. 1055-1110) පසු උදාවූ නැවතත් රට සිංහල පාලකයන් කිහිප දෙනෙකු අතර බෙදී ගිය එමෙන්ම ඔවුනොවුන් අතර නිතර සිවිල් යුද්ධ ඇතිවූ අරාජික කාලයකි. දෙවන ගජබාහු (පො.ව. 1132-1153) රජරට පාලනය කල අතර සිය මාමා වූ කිත්සිරිමේඝගෙන් පසු දක්ඛිණ දේශයේ පාලනය පරාක්‍රමබාහු කුමාරයා හට හිමිව තිබිණ. මානාභරණ රුහුණු රටේ පාලකයා වූවේය. මුලු දිවයිනේම බලය තමා නතු කරගැනීමේ අරමුණෙන් යුතුව පරාක්‍රමබාහු කුමාරයා පළමුව රජරට පාලකයා වූ ගජබාහු හට අයත්ව තිබූ ගිරිදුර්ග, වනදුර්ග, ජලදුර්ග බහුල මලය රට යුධ ගැටුම් සහ විවිධ උපක්‍රම මගින් ගජබාහු යටතේ එහි සිටි ප්‍රාදේශීය පාලකයන් තමා වෙත නම්මා ගැනීම ආදියෙන් අත්පත් කරගෙන රජරට සෙසු ප්‍රදේශ කරාද සිය සේනා මෙහෙයවමින් සිටියහ.  ගජබාහුගේ අගනුවර වූ පොළොන්නරුව ආසන්නයටම ආළිසාර රට අල්ලාගනිමින් පරාක්‍රමබාහු කුමරු පැමිණි අවස්ථාව වන විට රුහුණේ පාලකයා වූ මානාභරණ පරාක්‍රමබාහු කුමරුට එරෙහිව ගජබාහු රජු සමග එක්වී ගජබාහුගේ සේනා සමග පරාක්‍රමබාහු ගේ සේනාවන්ට එරෙහිව සටන් වදී. එහෙත් සටනේ ජයග්‍රහණය පරාක්‍රමබාහු හට හිමිවන ලකුණු පෙනීමත් සමගම මානාභරණ ගජබාහු සමග වූ එකඟතාවයන් කඩකර පරාක්‍රමබාහු සමග සන්ධානයකට මුල පුරයි. පොළොන්නරුව නගරය යටත් කරගන්නා පරාක්‍රමබාහුගේ සේනාවන් ගජබාහු ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඔහුව සිය මාළිගය තුලම සිරකර තබයි. මේ වන විට පරාක්‍රමබාහු කුමාරයා නගරයට පිටතින් බොහෝවිට වර්තමාන නාලන්ද ප්‍රදේශයේ සිටි අතර ගජබාහු හට රෙදිපිළි ආභරණ ආදී තෑගි යවා ඔහුට හොඳින් සලකන ලෙසට සිය සේනාධිපතීන් හට නියම කරයි. එහෙත් ජයග්‍රහණයෙන් උදම් වී සිටි පරාක්‍රමබාහුගේ සෙබලුන් නගරයේ කොල්ලකෑම් ආදිය සිදුකරමින් සිදු කල ක්‍රියාවන් හේතුවෙන් නගරවැසියන්, ඇමතිවරුන් ආදිය එක්වී ඒ වනවිට සොරබොර සිටි මානාභරණ හට පැමිණ රජරට පාලනය භාරගන්නා ලෙසට පණිවිඩ යැවීය. මානභරණගේ සේනාවන් සහ පරාක්‍රමබාහුගේ සේනාවන් අතර සිදුවූ ගැටුම් වලින් මානාභරණ ජයගන්නා අතර පරාක්‍රමබාහුගේ සේනාවන් නගරය අතහැර පලායයි. නැවත නගරය යථා තත්වයට ගෙන ඒමෙන් දින කිහිපයකට පසුව මානාභරණ ගජබාහුගේ සියලු සාමන්තයන් මරා ගජබාහු රජුද නැවතත් සිරගෙයි දමයි. ඔහුගේ අරමුණ වූවේ රහසිගතව විෂ ශරීර ගත කර ගජබාහු රජුද මරා මුළු රජරටේම පාලනය සියතට ගැනීම වූ බව වංශ කතාව පවසයි. මේ බව වටහාගත් ගජබාහු රජු තමාව මුදවාගන්නා ලෙස පරාක්‍රමබාහු කුමරා හට පණිවිඩ යවයි. වහාම ක්‍රියාත්මක වන පරාක්‍රමබාහු නැවතත් සේනාවන් යවා නගරය වටලා මානාභරණ පලවා හැර නගරය මුදා ගනී. ගජබාහු කොට්ඨසාර ( ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රදේශයේ පිහිටි වර්තමාන  කොට්ටියාර් පෙදෙස) ප්‍රදේශයට පලායන අතර එකවර නගරයට ඇතුළු නොවන පරාක්‍රමබාහු ගිරිතටාක (වර්තමාන ගිරිතලේ) ප්‍රදේශයේ කඳවුරු බැඳගනී. නැවතත් ගජබාහුගේ දේවාධිකාරි ප්‍රමුඛ ඇමතිවරු පරාක්‍රමබාහුගේ සේනාවන් සමග ගැටුම් ඇතිකරගැනීම හේතුවෙන් පරාක්‍රමබාහුගේ පිරිස් ගජබාහු රැඳි සිටි කොට්ඨසාර පෙදෙස වැටලීමට පටන් ගත්හ. ස්ථාන කිහිපයකදීම සිය සේනාවන් පසු බැසීමත් සමග සිය අවසාන ගැලවීම පිණිස ගජබාහු භික්ෂු සංඝයා වෙත මෙයට මැදිහත් වන ලෙස ආයාචනා කල බව මහාවංශය සඳහන් කරයි. මහාවංසය අපට පවසන පරිදි ගිරිතලේ පෙදෙසට ගොස් පරාක්‍රමබාහු හමුවන භික්ෂුන් වහන්සේ ඔහුට පවසන්නේ " ඒ රජුගේ පුතාද, සොහොයුරෝද එපමණක් නොව ඔහුද මහළු බැවින් මාරමුඛයේ සිටිති. රාජ්‍ය සාධනය ලෝකශාසන අභිවෘද්ධිය පිණිස හේතුවන්නේය. ඔබගේ ප්‍රතිඥාවද නොබෝ කලකින්ම සමෘද්ධ නොවන්නේය. එබැවින් භික්ෂු සංඝයාගේ වචනය ගරු කරන ඔබ යුද්ධය අතහැර සිය රටට යා යුතු" බවය. වංශ කතාව වැඩිදුරටත් පවසන්නේ සංඝයාගේ වචනය අසා දුකසේ ලබාගත් රාජ්‍යය ගජබාහු රජුට දී පරාක්‍රමබාහු කුමරා සිය රටට ගිය බවය. ගජබාහු රජු ගංගාතටාක නම් ස්ථානයට පැමිණ (වර්තමාන කන්තලේ ) සිය අවසන් කාලය එහි ගත කරන අතර මානාභරණ නැවත ගජබාහු සමග සමගි වීමට පඬුරු යැවූ මුත් එයට එකඟ නොවන රජු මහාවංශයේ සඳහන් වන පරිදි මණ්ඩලගිරි විහාරයට පැමිණ "මගේ රජරට පරාක්‍රමබාහු රජුට දෙනලදී " යැයි ගලක මතුපිට ලියවා දෙවිසි වසක් සිට රෝගයකින් පෙළී මියයයි.

නැවතත් මේ ලිපියේ මුඛ්‍ය අරමුණ වන සෙල්ලිපිය කෙරෙහි අවධානය යොමු කලහොත් ඉහත ඓතිහාසික තොරතුරු අනුව එම ලිපියේ නම් සඳහන් ගජබාහු සහ පරාක්‍රමබාහු හඳුනාගැනීම එතරම් අපහසු නොවේ. ලිපියේ අකුරුද දෙවන ගජබාහු සහ පළමුවන පරාක්‍රමබාහු සිටි යුගයට අයත් වෙනත් සෙල්ලිපි වල අක්ෂර සමග මැනවින් ගැලපේ. එපමණක් නොව වංශ කතා තොරතුරු වලට අනුව ගජබාහු සහ පරාක්‍රමබාහු නම් වූ රජවරුන් දෙදෙනෙකු එකම කාලයක ජීවත්ව සිට ඇත්තේද එක් සමයකදී පමණි. එපමණක් නොව මෙම සෙල්ලිපියේ සඳහන් වන පරිද්දෙන්ම පරාක්‍රමබාහු සහ ගජබාහු දෙමස්සිනාලා වේ. පරාක්‍රමබාහු කුමරා මුල් කාලයේ පොළොන්නරුවේ පිහිටි ගජබාහුගේ මාළිගයේ ඔත්තු බලමින් ඔහුගේ රාජ සභාවේ සහ වෙනත් ස්ථාන වල සිටින නිලධාරීන් සහ ඇමතිවරුන් සමග සම්බන්ධතා ගොඩනගාගනිමින් රජුගේ අනුග්‍රහය ඇතිව කාලය ගත කල අතර, එම කාලයේදී රුහුණෙහි සිටි සිය මවට හසුන් යවා සිය නැගණිය වූ භද්දවතී කුමරිය ගෙන්වා ගජබාහු රජුට එම කුමරිය පාවාදී රජුට තමාගේ විශ්වාසය ඇති බව පෙන්වූ බව මහාවංශය සඳහන් කරයි. සෙල්ලිපියේ සඳහන් කරුණු සහ ගජබාහු රජු මණ්ඩලගිරි විහාරයේ ගලක් මතුපිය ලියූ ලෙස මහාවංශයේ සඳහන් පාඨය එකම නොවූවත් සෙල්ලිපියේ දෙවන පාඨයෙන් අන් ආකාරයකින් කියැවෙන්නේ ගජබාහුගෙන් පසුව පරාක්‍රමබාහු හට ගජබාහු හට අයත්ව තිබූ රජරට හිමිවන බව විනා අන් යමක් නොවන බව පැහැදිලිය. එසේම සෙල්ලිපියේ සිව්වන පාඨයෙන් ඔවුන් අතරින් එක්කෙනෙකුගේ සතුරු වූ යම් රජදරු කෙනෙක් අනෙකාගේද සතුරෙකු ලෙසට සලකන බවට වූ සඳහනින් අදහස් කලේ රුහුණේ පාලකයා වූ මානාභරණ බවද වටහා ගැනීම එතරම් අපහසු නොවේ. වංශ කතාව අනුව ගජබාහු රජු මිය යන තෙක්ම එම එකඟතාවය කඩ නොකල බවද පැහැදිලි වේ.

සෙල් ලිපිය කොටා ඇති ගල මතට දිස් වන මැද්දේකැටිය වැව

කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍ර ආදිය මැනවින් හදාරා සිටි පරාක්‍රමබාහු කුමරා මෙම එකඟතාවය මගින් උපක්‍රමිකව සම්ප්‍රදායට අනුව ඔහුට හිමි නොවූ රජරට රාජ්‍යයට ගජබාහු රජු හරහා ඔහුගේ අයිතිය ඇති කරගත් බව මේ පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන බව සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. මක් නිසාද යත් ඒ වන විටත් ගජබාහු රජු හට මහින්ද සහ අනිකංග නම් සොහොයුරන් දෙදෙනෙකු සිටි අතර පරාක්‍රමබාහු කුමරුට වඩා රජරට රාජ්‍යයට වැඩි අයිතියක් ඔවුනට හිමිවේ. වංශ කතාව කුමක් පැවසුවත් සෙල්ලිපියේ අන්තර්ගතය අනුව එහි මුලින්ම නම සඳහන් වන්නේ ගජබාහු රජුගේ නම වන අතර එමගින් ඔහුගේ ප්‍රධානත්වය පරාක්‍රමබාහු කුමරාද පිළිගෙන ඇති බව විද්‍යාමාන වේ. කෙසේ නමුත් මෙම සෙල්ලිපිය පිහිටි ප්‍රදේශය එවකට පරාක්‍රමබාහු රජුට අයත් දක්ඛිණ දේශයේ බල ප්‍රදේශයේ වූ අතර වර්තමාන සංගමු විහාරය එම යුගයේ හැඳින්වූවේ මණ්ඩලගිරි විහාරය ලෙසින්ද නැතහොත් වෙනත් නමකින්ද යන්න පිළිබඳව සාධක හමුනොවේ. මහාවංශයේ සඳහන් මණ්ඩලගිරි විහාරය වර්තමාන මැදිරිගිරිය විහාරය ලෙස සලකන සෙනරත් පරණවිතාන මහතා මහාවංශයේ සඳහන් ලිපිය වර්තමාන මැදිරිගිරිය විහාරයෙන් මෙතෙක් හමු නොවීම පැහැදිලි කරන්නේ වනගහනයෙන් වැසුණ විශාල ප්‍රදේශයක පැතිරුණ නටබුන් සහිත එම පරිශ්‍රයෙන් එය ඇතැම්විට ඉදිරි කාලයේදී හමුවිය හැකි බවය. එතුමා සංගමු විහාර ලිපිය එම ලිපියේ පිටපතක් ලෙස සලකන අතර පරාක්‍රමබාහු සහ ගජබාහු අතර එකඟතාවයක් ඇති කරගැනීමට මුල්වූ භික්ෂුන් එවකට වර්තමානයේ මැදිරිගිරිය සහ සංගමුව යන නම් වලින් හැඳින්වෙන විහාර දෙකේම සිටින්නට ඇති බවත් එහෙයින් එම තැන් දෙකෙහිම ලිපි පිහිටුවන්නට ඇති බවත් පවසයි. කෙසේ නමුත් මණ්ඩලගිරි නමින් විහාර එකකට වඩා එම යුගයේ තිබෙන්නට නොහැකිද යන පැනය මෙහිදී මතුවේ. වර්තමාන සංගමුව විහාරයද යුග කිහිපයකදීම වැදගත් ස්ථානයක් ගත් විහාරයක් බවට සාධක බොහෝමයක් දැනටත් ඉතිරි වී තිබේ (සංගමු විහාරයේ අනෙකුත් නටබුන් පිළිබඳව විස්තරාත්මක ලිපිය >> )

කෙසේ නමුත් ගජබාහු රජුගෙන් පසු ඔහුගේ ඇමතියන් මෙම එකඟතාවය කඩ කර රුහුණේ පාලකයා වූ මානාභරණ හට පැමිණ රජරට පාලනය භාරගන්නා ලෙසට පණිවිඩ යවන අතර එය නැවතත් පරාක්‍රමබාහු සහ මානාභරණගේ හමුදාවන් අතර දීර්ඝ කාලීන යුද්ධයකට මුල පිරීමක් බවට පත්වේ. එහි අවසානය රුහුණේ ප්‍රභූ පන්තිය සදාකාලිකව විනාශ කර දැමීමෙන් නැතහොත් බෙලහීන කර දැමීමෙන් සහ පරාක්‍රමබාහු රටේම පාලකයා වීමෙන් අවසන් වේ. බලය මුල් කරගත් දේශපාලනයේදී මොන ගිවිසුමත් නිකන්ම නිකන් ලියැවිල්ලක් පමණක්ය යන්න එදා මෙදා පමණක් නොව මතුදාටත් අදාල පරම සත්‍යයක් නොවේද?

මෙම සෙල්ලිපිය සහ සංගමුව රජමහා විහාරයේ වෙනත් නටබුන් දැක්වෙන වීඩියෝව >> 

මූලාශ්‍ර

  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume IV (1934 - 1941), Edited by S. Paranavitana, 1943
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6, G.S. Ranawella, 2007

Tuesday, January 24, 2023

රජ ගමණි අබය නියමයෙන් වනනදී මුවදොර ගොඩපවත අන්තර්ජාතික වරායෙන් තීරු බදු ලැබූ ගොඩපවත විහාරය

ගොඩවාය අසලදී වලවේ ගඟේ මෝය කට

සිද්ධම් ගොඩපවත පටනහි සු[ඛ] සු[රි]යි රජ ගමණි අබය විහරට දිනි.

සෙනරත් පරණවිතාන මහතා මෙම ගිරි ලිපියේ අදහස ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ මේ ආකාරයෙනි. 

Success! The custom duties of the port of Godapavata, king Gamani Abhaya granted to the Vihara. *

ගමණි අබය රජු ගොඩපවත වරායේ තීරු බදු විහාරයට දුන් බව කියැවෙන මෙම ගිරි ලිපිය ඇත්තේ හම්බන්තොට දීස්ත්‍රික්කයේ ගොඩවාය ප්‍රදේශයේ වර්තමානයේ ගෝඨපබ්බත රජමහා විහාරය ලෙසින් හැඳින්වෙන විහාරයේ ඇති ගල් පර්වතයකය. මෙහි සඳහන් ගමණි අබය රජු පළමුවන ගජබාහු (පො.ව. 114-136) හෝ ඔහුට පෙර සිටි ආමණ්ඩ ගාමිණි අබය (පො.ව. 19-29) වැනි අයකු බවය පරණවිතාන මහතාගේ අනුමාණය. එතුමා වැඩිදුරටත් පවසන්නේ ලිපියේ අන්තර්ගතය අනුව ඔවුන් අතරින් නිසැකවම කවුද යන්න කීමට සාධක ප්‍රමාණවත් නොවන බවය. පරණවිතාන මහතා පවසන පරිදි පළමු හෝ දෙවන සියවස් වලට අයත් අක්ෂර වලින් ලියා ඇති මෙම ගිරි ලිපිය සහ එම පර්වතයේම ඇති 'ගොඩව' යන වචනය සඳහන් 6 වන සියවසට පමණ අයත් අක්ෂර වලින් යුත් ලිපියක කොටසක් එතුමා 1930 වර්ෂයේදී පිටපත් කිරීමක්  සිදු කරන්නට පෙරද ඒවායේ පිටපත් කිරීමක් E.R. අයර්ටන් විසින් 1914 දී සිදුකර ඇත. ඒ මෙයට පෙර ලිපියකද (>>) අප සඳහන් කල දකුණු පළාතේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන පිළිබඳව සොයා බැලීමට E.R. අයර්ටන් එවකට පුරාවිද්‍යා කොමසාරිස් ලෙස සිදු කල සිය අවසාන සංචාරය අතරතුරදීය (එම සංචාරයේදී තිස්ස වැවේ කුරුල්ලන් වෙඩි තබමින් සිටි හෙතෙම  වෙඩි තැබූ කුරුල්ලෙක් රැගෙන ඒම සඳහා පිහිනන අතරතුරේදී වැවේ ගිලී මිය යයි.)

ඉහත සෙල්ලිපි පිහිටි පර්වතය වහලයක් සහිත ආවරණයකින් ආරක්ෂා කර ඇති ආකාරය

* මෙම ලිපිය පසු කලක තරමක වෙනස් ආකාරයකින් කියවන හැරි ෆොල්ක් [Harry Falk] මහතා ඉදිරිපත් කරන පෙළ සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය පහත ආකාරයෙනි

සිද්ධම් ගොඩපවත-පටනහ සු[ඛ] සු[කියෙ] රජ ගමිණි විහරට දිනි.

siddham. Regular [suka] and Minor [sukiya] duties [due] in the emporium of Godapavvata are given to the (Buddhist) monastery (by) King Gamani Abhaya. 

ගෝඨපබ්බත විහාරයට නුදුරින් ගලා බසින වලවේ ගඟේ අතු ගංගාව

මෙම ගිරි ලිපි සහිත ගෝඨපබ්බත විහාරය පිහිටා ඇත්තේ මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි උස් භූමියක වන අතර ඒ අසලින් වලවේ ගඟ මුහුදට ගලා බසී (වර්තමානයේ වලවේ ගඟ ලෙසින් හැඳින්වෙන ගංගාව පොළොන්නරු යුගයේදි වනනදී ලෙසින් හඳුන්වා ඇත. >>) වලවේ ගඟ මෙම ස්ථානයට කිලෝමීටර 3.8 පමණ දුරකින් බටහිර දෙසට වන්නට පිහිටි වඳුරුප්පේ ප්‍රදේශයෙන්ද මුහුදට වැටෙන අතර ඇතැම් මූලාශ්‍ර වලට අනුව වඳුරුප්ප ප්‍රදේශයේ සිට තවදුරටත් නැගෙනහිර දිශාවට ගලා යන වලවේ ගඟේ මෙම කොටස මෙම ස්ථානයෙන් මුහුදට බැසීම 2004 වසරේ සුනාමියෙන් පසුව ඇතිවූ තත්වයකි. එයට පෙර එම කොටස මුහුදට බැසීම සිදුවී ඇත්තේ මෙම ස්ථානයට තවදුරටත් කිලෝමීටර 3 ක් පමණ නැගෙනහිර දෙසින් වූ පායිබොක්ක ආසන්නයෙන්ය. 60 දශකයේ ඇතිවූ ගංවතුර තත්වයකින් පසුවද එම ස්ථානය වෙනස් වූ බව පැවසේ.

ගොඩවාය මෝය සහ වලවේ ගඟේ ගමන් මග දැක්වෙන අවස්ථා දෙකකදි සැකසූ සිතියම්. ඉහල අඟලේ සිතියමක ගොඩවාය මෝය කට දැක්වෙන ආකාරය සහ පහල මෙට්‍රික් සිතියමක ගොඩවාය අසලින් මෝය කට වැසී ඇති ආකාරය

 කෙසේ නමුත් පැරණි අඟලේ සිතියමකට අනුව නම් වඳුරුප්පෙ ප්‍රදේශයෙන් මෙන්ම මෙම ස්ථානයෙන්ද වලවේ ගඟ මුහුදට බැසීම සිදුවී ඇත. එයට පසුකාලයකට අයත් එහෙත් සුනාමියට පෙර සිතියම් ගත කල මෙට්‍රික් සිතියම් වල අඟලේ සිතියමේ "වැලි සහිත එළිමහන් ප්‍රදේශය" ලෙසින් දැක්වෙන වැලි පරය මෙම ස්ථානයේද වර්තමාන මෝය කට වසාගෙන ඇති ලෙසට සිතියම් ගත කර ඇත. ඒ අනුව මෑතකාලීන නව මෝය කට ගොඩවාය ප්‍රදේශයේ ඇතිවන්නේ සුනාමියෙන් පසුව බව පැවසීම සත්‍යය නමුත් පසුගිය සියවසේ අඟලේ සිතියම් නිර්මාණය කල අවදියේද මෙම ස්ථානයෙන් වලවේ ගඟ මුහුදට බැසීමක් සිදුවී ඇති බව පැහැදිලිය. විවිධ කාලගුණික තත්වයන් යටතේ එවන් වෙනස් වීම් කාලෙන් කාලෙට සිදුවීම සාමාන්‍යයෙන් ස්වභාවික සංසිද්ධියක් වන අතර ගොඩපවත පැරණි වරාය මෙම ස්ථානයේ පැවති අවධියේද වර්තමාන ස්ථානයෙන් හෝ ඒ ආසන්න තැනකින් වලවේ ගඟ මුහුදට ගලා බැසීම සිදුවන්නට ඇත.  

ගමණි අබය රජුගේ සෙල්ලිපිය සහිත පර්වතය

ශ්‍රී ලංකාවේ පුරාණ සහ මධ්‍යතන යුගයේ ඓතිහාසික භූමි විස්තර පිළිබඳව C.W. නිකොලස් මහතා රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට සැපයූ සිය දීර්ඝ ලිපියේ මෙම සෙල්ලිපිය සහ එම විහාරයත් ඒ අසල පිහිටි කුඩා බොක්ක ගැනත් පවසන්නේ කලාතුරකින් මේ අසලින් යාත්‍රා කරන නෞකාවක අවදානම් සහිත නැංගුරම් ලෑමකින් ලැබුන නොවැදගත් ආදායමක් විනා වැඩි යමක් තීරු බදු ලෙස මෙම විහාරයට නොලැබෙන්නට ඇති බවය. එහෙත් එය එසේ නොවන බව මතු විස්තර කෙරෙන පසු කාලීන පුරාවිද්‍යාත්මක ගවේෂණ වලින් අද වන විට සාධක සහිතව පෙනී ගොස් ඇත.

ගමණි අබය රජුගේ සෙල්ලිපිය
ගමණි අබය රජුගේ සෙල්ලිපිය සහිත පර්වතය - එයට පහලින් පිහිටි අනෙක් සෙල්ලිපියද රූපයේ ඊතලයකින් දක්වා ඇත

මෙම ගොඩවාය විහාරය සහ වර්තමාන ධීවර වරාය පිහිටි ස්ථානයට කිලෝමීටර 6 ක් පමණ උතුරින් පිහිටි බෙරගම ප්‍රදේශයෙන් සහ කිලෝමීටර 8 ක් බටහිරෙන් පිහිටි ලූනම ප්‍රදේශයෙන් අවස්ථා දෙකකදී අහඹු ලෙස රෝම අධිරාජ්‍යයේ පසු අවධීන්ට අයත් කාසි තොග දෙකක් හමුවී ඇත. 

1994 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජර්මන් බොන් විශ්ව විද්‍යාලය (University of Bonn) එක්ව ගොඩවාය අවට ස්ථාන කිහිපයකම සිදු කල කැනීම් කිහිපයකදී පූර්ණ මැටි බඳුන්, මැටි බඳුන් කැබලි, ගඩොල්, මෙගලිතික සුසාන, කාල රක්ත වර්ණ මැටි බඳුන් කැබලි (Black and Red Ware) ආදිය  හමුවිය. එමෙන්ම පැරණි ගොඩනැගිලි අවශේෂ සහ ගඩොල් ප්‍රාකාරයක නටබුන් සහිත කුඩා කඳු ගැටයක් මත කල කැනීමකදී බුද්ධ රූපයක සිරසක්ද හමුවී ඇත. මෙහිදී හමුවූ වලන් කැබලි පො.ව. පළමුවන සියවසේ සිට 7-8 සියවස් දක්වා කාල නිර්ණය කර ඇත. තවද වර්තමාන විහාරයට වයඹ දෙසින් වලවේ ගඟ ආසන්නයේ සිදු කල කැනීමකදී මැටියෙන් කල තැටි කිහිපයක්, පබළු, මලකඩ කෑ යකඩින් කල කිසියම් වස්තු දෙකක කොටස්, සත්ව අඟකින් කල කැඩුණු භාණ්ඩයක් සහ නැගෙනහිර ආසියානු සම්භවයක් සහිත  කුඩා ඊයම් වලල්ලක් ආදිය හමුවී ඇත. එම ප්‍රදේශය අවම වශයෙන් පොදු වර්ෂ 2-3 සියවස් වල සිට 7-8 සියවස් දක්වා බොහෝවිට අධික ලෙස ජනාකීර්න ප්‍රදේශයක්ව තිබෙන්නට ඇති බව එම කැනීමෙන් නිගමනය කර ඇත. 

පිළිම ගෙයි ප්‍රවේශය
ඉහත පර්යේෂණ කණ්ඩායම 1995 වර්ෂයේ ගොඩවාය වර්තමාන විහාර පරිශ්‍රයේ කැනීම් කිහිපයක් සිදු කරයි. එවකට විහාරාධිපති පූජ්‍ය බෙරගම සුමණසිරි හිමියන්ගේ අනුග්‍රහය ඇතිව සිදු කල එම ගවේෂණ වලදී පැරණි විහාරයේ පිළිම ගෙය ලෙස හඳුනාගත් ගොඩැල්ලෙන් විශාල බුදු පිළිමයක කැඩීගිය ගෙල, උරහිස්, පපුව පෙදෙස එහි දෙපා සහ එය පිහිටුවා තිබූ විශාල පද්මාසනය හමුවී ඇත. එම බුදු පිළිමය ආසන්න වශයෙන් මීටර 3.5 පමණ උස වන්නට ඇති බව එහි ඉතිරි වී ඇති කොටස් වලින් අනුමාණ කරන අතර එයට අමතරව බොහෝවිට බෝධිසත්ව ප්‍රතිමා විය හැකි මීටර 1.5 පමණ උස අවම වශයෙන් පිළිම දෙකක කොටස්ද මෙහි තිබී හමුවී ඇත. පිළිම ගෙයි පඩි කිහිපයක් සහ දෙපස පිහිටි කොරවක්ගල් සහ සඳකඩපහණ මෙන්ම මුරගල් වල විය හැකි අවශේෂ දැකගැනීමට හැකි අතර මෙතෙක් එහි පූර්ණ කැනීමක් සිදුකර සංරක්ෂණයක් සිදු කර නැත (මේ සමග ඇති ජායාරූප බලන්න.) මෙම පර්යේෂණ කැනීම් මගින් හමුවූ දේ අනුව දෙවන සියවසේ සිට 13 වන සියවස දක්වා මෙය භාවිතයේ තිබී ඇති බවට සාධක හමුවී ඇත. පිළිම ගෙය ඉදිකිරීමේ පො.ව. 2-5 සියවස් අතර කාලයට අයත්  අවධි දෙකක් මෙහිදි හඳුනාගෙන ඇති අතර, පො.ව. 5-8 අවධියට අයත් විය හැකි තුන්වන අවධියක්ද නිරීක්ෂනය කර ඇත. එම තුන්වන අවධියේදී එම ගොඩනැගිල්ල එහි උතුරු පෙදෙසින් විශාල කර අලුත්වැඩියා කර ඇත.  8 වන සියවසේ පමණ මෙය අතහැර දැමූ බවට සාධක හමුවන මුත් 13 වන ශතවර්ෂයට අයත් ලීලාවති රැජිණගේ (පො.ව. 1197-1200, 1209-1210, 1211-1212) කාසි හමුවීමෙන් ඒ දක්වා එහි වන්දනාමාන සිදුකරන්නට ඇති බවට විශ්වාස කෙරේ. එම කාසි හමුවී ඇත්තේ මෙහි තිබූ කවඩි 2000 ක පමණ එකතුවක් සමගිනි.
පිළිම ගෙයි ප්‍රවේශය

 පිළිම ගෙය ආසන්නයේම ඇති පැරණි උපෝසථඝරය ලෙස හඳුනාගන්නා ගොඩනැගිල්ලේ ගල් කණු 14 ක් දැනට දැක ගත හැකි අතර පිළිම ගෙය ගොඩැල්ලෙන් මෙන්ම මෙම ස්ථානයේ කල කැනීම් මගින්ද මැටි පහන් ආදියේ අවශේෂ හමුවී ඇති අතර ඒවා 2-3 සියවස් වල සිට පොළොන්නරුව යුගය (11-13 සියවස්) දක්වා කාල නිර්ණය කර ඇත. 

උපෝසථඝරය
මෙම විහාර පරිශ්‍රයේ උසම ස්ථානයේ පිහිටි පැරණි දාගැබ වර්තමාන විහාරය ඉදිකිරීමත් සමග අළුත්වැඩියා කර ඇති අතර එම ස්ථානයට පහලින් පිහිටි ගල් පර දෙකක් අතරද කිසියම් ගොඩනැගිල්ලක් තිබූ බවට නටබුන් හමුවී ඇත. එහි ඇති උතුරු දෙසට විහිදුන ගල් පරයේද සෙල්ලිපි දෙකක් හමුවී ඇත. පැරණි විහාර පරිශ්‍රය වටා පිහිටි ප්‍රාකාරයේ නටබුන් අතරින් පතර දැනටත් ශේෂ වී ඇති බවට ඉහත සිදු කල ගවේෂණයේදී හඳුනාගෙන ඇති අතර එය පිටතින් ගල් වලින් සහ ඇතුලතින් ගඩොල් වලින් ඉදිකර ඇති බවට එහිදී නිරීක්ෂණය කර ඇත. ස්තූපයේ සිට ගිණිකොණ දෙසින් වරාය දෙසට යොමුවූ ද්වාරයක ලක්ෂණද හඳුනාගෙන ඇත. තවද 1998 වසරේදී මෙම ද්වාරයට උතුරින් විහාරයේ ප්‍රාකාරයට පිටතින් එයට සම්බන්ධව පිහිටි මීටර 11 X 11 ප්‍රමාණ සමචතුරශ්‍ර ගොඩනැගිල්ලක නටබුන් සොයා ගන්නා අතර මෙය තීරු බදු අය කල ගොඩනැගිල්ල ලෙසට අනුමාණ කෙරේ. එහි බිත්ති ඇත් සහ නෙළුම් මල් රූප වලින් යුත් ගඩොල් වලින් අලංකාර කර තිබූ බවත් යකඩ ඇණ වලින් සවි කර උළු සෙවිලි කල වහලයක් එයට තිබී ඇති බවත් හමුවූ සාධක අනුව නිගමනය කර ඇත. තවද එම ගොඩනැගිල්ල 5-8 සියවස් වලදී භාවිතයේ තිබී ඇති බවටද සාධක හමුවී ඇත. 
පිළිම ගෙය තුලින් හමුවූ කැබලි වූ බුදු පිළිමයේ ගෙල, උරහිස සහ පපුව කොටස

වාර්තා වී ඇති ආකාරයට මේ ප්‍රදේශයේ මෑත කාලයේ මුල් ජනාවාස 1940 දී පමණ ආරම්භ වී ඇති නමුත් 1960 දක්වාම විශාල ප්‍රදේශයක් ජනශූන්‍ය ලෙස තිබී ඇත. වර්තමානය වන විට මෙම විහාරය අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ මිනිසුන් පදිංචි ප්‍රදේශයකි. එලෙස ජනාකීර්ණ වීමත් සමග නිවාස ඉදිකිරීම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය ගඩොල් සෑදීම උදෙසා පොළොව කැන මැටි ලබාගැනිම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් මේ අවට පැරණි ජනාවාස සාධක බොහොමයක් විනාශ වී ඇති මුත් 1994 වසරේ සිට 1997 දක්වා සිදු කල පුරාවිද්‍යා ගවේෂණ මගින් වැදගත් තොරතුරු බොහෝමයක් හමුවී ඇත. ඒ අතර ඔපදැමූ උතුරු කාල වර්ණ මැටි බඳුන් ලෙසින් හඳුනාගන්න වලන් කැබැලි (Sherds of Northern Black Polished Ware), මුල් කාලීන චීන සෙලඩොන් බඳුන් කැබලි (Early Chinese celadon ware ලෙසින් හැඳින්වෙන මෙම බඳුන් මුලින්ම නිපදවා ඇත්තේ චීන ෂැන් රාජ වංශය [Shang Dynasty] පැවති යුගයේදීය. ගොඩවායේදී හමුවූ මෙම අවශේෂ බොහෝවිට පොදු වර්ෂ 220-280 දක්වා පැවැතුන චීන "තුන් රාජධානි" [Three Kingdoms] අවධියට අයත් බවට අනුමාණ කෙරේ. මෙය මෙරටින් වාර්තා වූ පැරණිම චීන සෙරමික් බඳුන් ලෙස හඳුනාගෙන ඇත.) ඔලිව් කොළ පැහැති ඔප දමූ ඝනකම විශාල උතුරු චීන සෙලඩොන් (Northern Chinese Celadons) වර්ගයට අයත් බඳුනක කැබැල්ලක්,  සැරසූ මැටි බෝල සහ තැටි (Decorated clay balls and discs made of pottery), වීදුරු කැබැලි, අඟුරු යබෝර, පබළු, සත්ව අස්ථි කොටසකින් තැනූ කොණ්ඩ කට්ටක්, කුඩා වංගෙඩියක්, කාසි, අස්ථි කොටස්, මැටි මුද්‍රා, පිහි, ඇණ, මිණි, වළලු, වර්ණ ගැන්වූ වලන් කැබැලි මෙන්ම ශිෂ්ණයක් වැනි මැටියෙන් කල වස්තුවක කොටසක්ද වේ [A 'Phallic modelled' fragment of pottery]. කැබැලි නොවූ මැටි බඳුන් ද හමුවූ අවශේෂ අතර තිබී ඇති අතර ඇතැම් අවස්ථා වල එක් බඳුනක් තවත් බඳුනක් තුල දමා තිබූ ආකාරයෙන්ද මතු කර ගෙන ඇත. 

ඉහත බුදු පිළිමයේ දෙපා සහ එය තබා තිබූ පද්මාසනය

 ගොඩවාය පැරණි වරායේ සිට වළව ගඟේ සැලකිය යුතු දුරක් යනතෙක් අවම වශයෙන් වර්තමාන ප්‍රධාන මාර්ගය තෙක්වත් (A2) පැරණි ජනාවාස තිබූ බවට මෙම ගවේෂණ වලින් සොයාගැනීමට හැකිවිය. එම ජනාවාස ප්‍රධාන අවධි තුනකට අයත් බවත් පළමු අවධිය පොදු වර්ෂ පූර්ව සහ පොදු වර්ෂ පළමුවන සියවස කාලයට අයත් බවත් අවසාන අවධිය 6-7 සියවස් වලට නිර්ණය කල හැකි බවත් හමුවූ අවශේෂ මගින් නිගමනය කර ඇත. ජනයා පදිංචි වී සිටි නිවාස තැනීම සඳහා හෑරූ කණු කුහර (Post Holes) මෙම කැනීම් වලදී හමුවී ඇති අතර එම නිවාස ප්‍රධාන වශයෙන් දැව සහ මැටියෙන් ඉදිකර තිබූ බවට සාධක හමුවී ඇත. එහෙත් අතරින් පතර නිවාස කිහිපයක් හෝ ගඩොල්, ගල් සහ කැටයම් කල උළු ආදියෙන් ඉදිකර තිබෙන්නට ඇති බවට මෙම ජනාවාස පිහිටි ප්‍රදේශයේ කල කැනීම් වලදී එම ද්‍රව්‍ය හමුවීමෙන් පැහැදිලිවේ. මෙම ගවේෂණයේ ප්‍රතිඵල අනුව 1998 වන විට පොදු වර්ෂ පූර්ව 3 - 2 සියවස් වලට අයත් ඉන්දියානු හස් එබූ රිදී කාසි [Indian silver punch-marked coins], 4-5 සියවස් වලට අයත් රෝම කාසි, නයිමන ලෙසින් හඳුන්වන ඒවායේ මෙරටදී තැනූ ව්‍යාජ අනුකරන, ලක්ෂ්මී ඵලක (Lakshmi plaques) ආදියේ සිට 13 සියවසේ පොළොන්නරු යුගයට අයත් කාසි හමුවී ඇත. 

පැරණි ස්තූපය තිබූ ස්ථානයේ ඉදි කර ඇති නව ස්තූපය, රූපයේ වම්පසින් ඇති ගල් පර්වතයේද සෙල්ලිපි කිහිපයක් හමුවී ඇත.

 ගොඩවාය ව්‍යාපෘතිය එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දැරූ ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ සහ කැනීම් අංශයේ ප්‍රධානියා වූ ආචාර්ය W. විජේපාල මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්,  ආචාර්ය H.J. වයිසාර් [H. J. Weisshaar] මහතාගේ ප්‍රධානත්වයෙන් Commission for General and Comparative Archaeology of the German Archaeological Institute ආයතනයත්,  මහාචාර්ය H. රොත් [H. Roth] මහතාගේ නායකත්වයෙන් බොන් විශ්වවිද්‍යාලයේ Institute for Pre and Protohistoric Archaeology ආයතනයත් එක්ව සිදු කල ගවේෂණයකි. 

පැරණි ස්තූපය තිබූ ස්ථානයේ ඉදි කර ඇති නව ස්තූපය

1998 වසරේදී එම ගවේෂණ කණ්ඩායමට ඉහත මුලින්ම සඳහන් කල ගමණි අබය රජුගේ සෙල්ලිපියට මීටරයක් පමණ පහලින් එම ගල් පර්වතයේම තිබී තවත් බ්‍රාහ්මි සෙල්ලිපියක් හමුවන අතර හැරි ෆොල්ක් මහතා එය කියවා ඉදිරිපත් කල ඉංග්‍රීසි පරිවර්තනය පහත අකාරයෙනි.

Ahalaya, high official of King Gamini Abhaya, [his] brother [together] with his mother: the three together had a park made for the [Buddhist] community and gave it to the monastery of Godapavata.

He offered three karisas of lands of those public fields (called) Uvanakava.

The plot called Sati is given for the caitya.

 ඒ අනුව බොහෝදුරට කලින් සෙල්ලිපිය පිහිටවූ ගමිණි අබය රජුගේම අහලය නම් ඇමතිවරයා, සිය සහෝදරයා සහ මව සමග සංඝයා සඳහා උයනක් තනා එය ගොඩපවත විහාරයට පිරිනමා ඇත. තවද උවනකව නම් කරිස තුනක ප්‍රමාණය සහිත ඉඩමක්ද, සති නම් තවත් ඉඩමක්ද විහාරයේ ස්තූපයට පූජා කර ඇත.

ඉහත ස්තූපය සහිත රූපයේ වම් පසින් ඇති පර්වතයේ ඇති සෙල්ලිපියක්

මේ සමග සිදු කල සොයාබැලීමේදි තවත් කුඩා සෙල්ලිපි හතරක් හමුවී ඇති අතර ඒවා සොයාගැනීමට ආසන්න කාලකයදි සිදු කල පිපිරවීමක් හේතුවෙන් විශාල වශයෙන් විනාශ වූ ඉන් එක් සෙල්ලිපියක මහල්ලක නාග රජුගේ (පො.ව. 136-143) නම සඳහන් බව පැවසේ. මහාවංශයට අනුව දකුණෙහි ගොටපබ්බත විහාරය ඉදි කලේ මහල්ලකනාග රජුය. මහාවංශයේ මේ ගැන විස්තර වන ගාථාව විවරණය කරන එහි ටීකාව වන වංසත්ථප්පකාසිනීය ගොටපබ්බතං යනු ගෝට පාෂාණ පර්වතයෙහි ගෝට පබ්බත විහාරය යනුවෙන් අර්ථ නිරූපණය කරයි. ගෝට පාෂාණ හෙවත් කොට පර්වතය යන්න මෙම විහාරය ඉදි කර ඇති වෙරළ ආසන්නයේ පිහිටි උස් භූමියට මනාව ගැලපේ. එහෙත් දඹදෙණි යුගයේ (පො.ව. 1220-1293 ) මුල් භාගයේ රචිත ග්‍රන්ථයක් ලෙස සැලකෙන සිංහල ධාතුවංශයට අනුවනම් ගොඨපබ්බත විහාරය ගොඨාභය නම් රජ කතරගම දසබෑ රජ දරුවන් මරවා දඬුවම් පිණිස මාවැලි ගඟින් එතෙර සහ මෙතෙර කරවූ විහාර වලින් එකකි (මාවැලි ගඟින් එතෙර විහාර පන්සියයක් සහ මෙතෙර විහාර පන්සියයක් ඔහු කල බව එහි කියැවේ.)

ගොඩවාය ධීවර වරාය

ඉහත කී පුරාවිද්‍යාඥයන් කණ්ඩායම මෙම ප්‍රදේශයේ ගවේෂණ කටයුතු වල යෙදී සිටින අතරතුරේ 1997 වසරේ ජනවාරි මස ඇතිවූ සුළං සහිත කාලගුණ තත්වයත් සමග වෙරළ ඛාදනය වීමෙන් ගල් කණු 7 ක් 8 ක් පමණ මතුවූ බවත් ඒ සමග වෙරලේ දකින්නට තිබූ කුඩා රන් හා රිදී කැබැලි සහ විශාල ප්‍රමාණයක් වූ කාසි ඇතැම් පුද්ගලයන් විසින් එකතු කරගත් බවත් ඔවුනට දැනගන්නට ලැබේ. එහෙත් ඒ සමගම කෙටි කාලයකින් එම ගල් කණු ආදිය නැවත වැල්ලෙන් වැසී ගොස් ඇති අතර ඒවා මතුවූ නිශ්චිත ස්ථානය කිසිවෙකුට නිවැරදිව පෙන්විය නොහැකි වී ඇත. එහෙත් එම කණ්ඩායම එම වසරේම පෙබරවාරි මාසයේ වර්තමාන විහාරය පිහිටි මළුවට පහලින් පිහිටි ධීවර වරාය පිහිටි බොක්ක ප්‍රදේශයේ කැනීමක් සිදු කරයි. එහිදි ඔවුන්ට ගල් කණු 4 ක් පමණ හමුවේ. ඒවා එකම උස ප්‍රමාණයන්ගෙන් යුක්ත කිසියම් එක ගොඩනැගීමක් උදෙසා යොදාගත් ඒවා බවට හඳුනාගෙන ඇත. බොහෝවිට එම ඉදිකිරීම බඩු පැටවීම සහ බෑම උදෙසා යොදාගත් පාලමක් (Footbridge or Jetty) වැනි දෙයක නටබුන් විය හැකි බව අනුමාණ කෙරේ. මෙහිදී හමුවූ අනෙක් ද්‍රව්‍යය අතර සුදු පැහැ මැටියෙන් කල බඳුන් වල කැබැලි සහ කැනීමේ ඉහල ස්ථරයෙන් හමුවූ මෑත කාලින කාසි ආදිය තිබී ඇත. එම කාසි අතර පැරණිම කාසි 1734 වර්ෂයට අයත් VOC කාසි වන අතර 1945 වර්ෂයට අයත් කාසි මෑතම යුගය නියෝජනය කරයි. මෑතකදි නැවත වරක් එම ගල් කණු වෙරල ඛාදනයෙන් මතුවූ බවට ප්‍රදේශවාසීගෙන් දැනගන්නට ලැබුන අතර ඉහත කැණිමෙන් හමුවූ එක් කණුවක් වර්තමාන ධීවර වරාය පිහිටි ප්‍රදේශයට ඉහලින් සිටුවා ඇත. එය එම කණුව හමුවූ ස්ථානයමද යන්න සොයාගැනීමට නොහැකි විය.  

පැරණි ජැටියක හෝ පාලමක තිබූ ගල් කණු අතරින් එක කණුවක් ධීවර වරායට ඉහලින් සිටුවා ඇති ආකාරය

මෙම ස්ථානය අසල මුහුදේ කල ගවේෂණ වලදී පැරණි නැව් වල භාවිතා කල ශෛලමය නැංගුරම් දෙකක්ද හමුවී ඇත. අරාබි\ඉන්දියානු වර්ගයේ නැංගුරම් වන ඒවායේ මධ්‍යයේ සතරැස් කොටුවක් විද ඇත. මේ ආකාරයේ නැංගුරම් 5 වන ශතවර්ෂයේ සිට 16 වන ශතවර්ෂය දක්වා කාලයේ භාවිතා කර ඇත. 

ගොඩවාය පැරණි වරාය පිහිටි මෙම ස්ථානයේ සිට කිලෝමීටර 4ක් පමණ දුරින් මුහුදේ ගිලී ඇති පො.ව. පූර්ව 200 ට පමණ කාල නිර්ණය කර ඇති දැවමය නෞකාවක්ද හමුවී ඇත. 2013 වසරේ සිට එම ස්ථානයේ සිදු කල සමීක්ෂණ කටයුතු මගින් කාල රක්ත වර්ණ මැටි බඳුන් (Black and Red Ware), රක්ත වර්ණ මැටි බඳුන් (Red Ware), ද්‍රව්‍ය ගබඩා කිරීමට භාවිතා කරන විශාල ප්‍රමාණයේ මැටි බඳුන් (Storage Ware),  වීදුරු නිශ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කල මැටි මුට්ටි වල දමා තිබූ කළු, කොළ දම් වැනි විවිධ වර්ණයන්ගෙන් යුක්ත ග්ලේස් කුට්ටි (Glaze ingots), කානේලියන් පබළු, ලෝහමය හෙල්ලක තුඩක් මීට පෙර යටාල විහාරය ගැන ලිපියේ සඳහන් කල යටාල ස්තූප මලුවෙන් හමුවූ වර්ගයේ බංකුවක හැඩය සහිත ඇඹරුම් ගල් සහ ඒවායේ අත් ගල් ආදිය වේ. ඉහත විස්තර කල ඇඹරුම් ගල්  නිශ්පාදනයෙන් පසු භාවිතා නොකල බවට සොයාගෙන ඇති අතර එක් ඇඹරුම් ගලක ශ්‍රී වත්ස්‍ය සළකුණු, නන්දිපාද සළකුණු සහ මත්ස්‍ය සළකුණු කොටා ඇත. මෙවැනිම ඇඹරුම් ගල් තිස්සමහාරාමයේ අකුරුගොඩ සර්වෝදය වත්ත නම් ස්ථානයේ සිදු කල කැනීම් වලින්ද හමුවී ඇත. නෞකාවේ තිබූ මෙම ඇඹරුම් ගල් මෙරට නිශ්පාදනය කර අපනයනය කලේද නැතහොත් මෙරටට ආනයනය කලේද යන්න නිශ්චිතව පැවසීමට කරුණු නොමැත.  

ගොඩවාය අසල වලවේ ගං මුවදොර, ගොඩපවත පැරණි විහාරයේ නටබුන්, වර්තමාන ධීවර වරාය සහ පැරණි ජැටියෙන් හමුවූ ගල් කණු දැක්වෙන වීඩියෝව >>

මූලාශ්‍ර

  • සේද මාවතේ සුපසන් තොටුපොළ, ගොඩවාය, ජී. ඒ. ලෙස්ලි ගාමිණී, 2010
  • Inscriptions of Ceylon Vol II, Part I. Late Brahmi Inscriptions, Containing rock and other inscriptions from the reign of Kutakanna Abhaya (41 B.C. - 19 B.C.) to Bhathiya II (140-164 A.D). Senarat Paranavitana, 1983
  • Ruins of Sri Lanka , Somapala Jayawardhana
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1996, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1997, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1998, S.U. Deraniyagala
  • පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය, හම්බන්තොට දිස්ත්‍රික්කය, පළමු වෙළුම, 2019
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • හම්බන්තොට දිස්ත්‍රික්කය , සමාජ සංස්කෘතික උරුමය, මහාචාර්ය නිමල් ද සිල්වා, 2005