Showing posts with label Fernao de Queyroz. Show all posts
Showing posts with label Fernao de Queyroz. Show all posts

Monday, November 28, 2016

චෙං හෝ ගේ චීන මායම, ගාලු ත්‍රිභාෂා සෙල්ලිපිය සහ නූතන 'අලCaseවරලා'

"විජයබාහු රජු රජකරන අවධියට මහාජීනේ දොස් රජ සෙනඟ ගෙන මේ ලකට ගොඩ බැසලා පඬුරුපාක්කුඩම් ගෙන එනවාය කියා මායම් කර පරාක්‍රමබාහු රජ රජ කරන අවධියේදි පඬුරුපාක්කුඩම් ගෙනෙන්නහ. ඒ සැටි සිතා ගෙන ඉඳලා විජයබාහු රජ අනුවනකම් කොට දොස් රජුට අසුව උපායෙන් අල්ලාගෙන ගියාහ. ඒ රජුගේ මල්බෑ සතරදෙනාත් නැසීලා නැතක් හමුදාවත් වැටිලා අල්ලාගෙන දොස් රජ මහාජීනයට ගියාහ."

චීන මායමට හසුවූ රජු
මහා චීනයේ (මහාජීනයේ) රජු විසින්  හතර වන විජයබාහු (ක්‍රි.ව. 1270-1272) රජුව මායමක් මගින් රවටා අල්ලගෙන ගිය ආකාරය රාජාවලි කතුවරයා පැහැදිලි කරන්නේ එසේය. එහෙත් ඇත්ත වශයෙන්ම එම ඉරණමට මුහුන දෙන්නේ හතර වන විජයබාහු රජු නොව ප්‍රාදේශිය පාලකයකු ලෙස ගම්පොල පස්වන බුවනෙකබාහු (ක්‍රි.ව. 1372-1408) රජු යටතේ කෝට්ටේ සිටි වීර අලකේශ්වර බව වෙනත් මූලාශ්‍ර මගින් හෙලිවේ. රාජාවලියේ මෙම පටලැවිල්ලට හේතු වී ඇත්තේ  හතර වන විජයබාහු සහ පස්වන බුවනෙකබාහු අතර ශතවර්ෂයකට අධික කාලයක් පිළිබඳ විස්තර  එහි ඇතුලත් වී නොමැති නිසාය. රාජාවලියට පසුබිම් වූ 'පූජාවලිය' සහ 'අලකේශ්වර යුද්ධය' යන කෘතින් වල සඳහන් නොවන  එම කාලය පිළිබඳ විස්තර රාජාවලිය කල කතුවරයා නොදැන සිටීම නිසා පූජාවලියේ සඳහන් අවසාන රජු වන හතරවන විජයබාහු චීන මායමට අසුවූ රජු ලෙස ඔහු වරදවා වටහා ගනී. මක්නිසාද යත් අලකේශ්වර යුද්ධය ආරම්භ වනුයේ මෙරට රජෙකු චීනයට අල්ලාගෙන යනු ලැබීමේ පුවතක් සමග බැවිනි. මෙහි සඳහන් වන දොස් රජුද ජාවක යන්නෙන් බිඳුනු වචනයක් විය හැකි බව මහාචාර්ය A,V. සුරවීර අනුමාණ කරයි. හතරවන විජයබාහු රජු සමයේ සිදුවූ චන්ද්‍රභාණු නම් ජාවක රජුගේ ආක්‍රමණය සහ චීන ආක්‍රමණය මිශ්‍ර කර ගැනීමක් මෙහිදී රාජාවලි කතෘ සිදුකරගෙන ඇති බවක් පෙනේ. මේ පිළිබඳ වු විස්තර චෙං හෝ සමග පැමිණි පහත විස්තර වන පෙයි ෂිං (Fei Hsin) විසින් ලියා තැබූ වාර්තා වල ඇතුලත්ය.

කවුද මේ චෙං හෝ?
චීන මූලාශ්‍ර අනුව චෙං හෝ යනු තුන්වන මිං (Ming) අධිරාජ්‍යයා වූ චීයන් ත්සු[Cheng Tsu] ( යුං ලෝ[Yung Lo] ලෙසද හඳින්වේ ) විසින් නාවුක යාත්‍රා 62 පවරා දක්ෂිණ ප්‍රදේශය ගවේෂනයට යෙදවූ නාවිකයාය. වසර 30 පුරා ඔහු ගවේෂණ හතක් සිදු කල අතර වර්ෂ 1405 සිට 1407 දක්වා සිදු කල ඔහුගේ ප්‍රථම ගවේෂණයේදිම ඔහු "සිංහලයන්ගේ රටට"(Hsi-lan) පැමිණියහ.  එහෙත් පස්වන බුවනෙකබාහු (1372-1408) රජුගේ ප්‍රභූරාජයා වූ වීර අලකේශ්වරගෙන් (A-lie-kou-nai-eul) ඔහුට ලැබුනේ එතරම් හොඳ සැලකිල්ලක් නොවේ. චීන මූලාශ්‍ර වැඩිදුරටත් පවසනුයේ වීර අලකේශ්වර යනු ජනතාව පීඩනයට පත් කල කුරිරු ඒකාධිපතියෙක් බව සහ ඔහු බුදුන්ගේ දහමට ගෞරව නොකල බවය. තත්වය තේරුම් ගත් චෙං හෝ ආපසු ගියමුත් චීන අධිරාජ්‍යාගෙන් මෙරට රජුට තුටු පඬුරුද රැගෙන ඔහුගේ දෙවන වර මෙරටට පැමිණි ගමනේදීද වීර අලකේශ්වරගෙන් සතුටු දායක ප්‍රතිචාරයක් දක්නට නොහැකිවූ කල වීර අලකේශ්වරගේ  බල සෙන් සමග සය දිනක් සටන් කර ඔහු සහ ඔහුගේ පවුල ජිවග්‍රහයෙන් අල්වාගෙන වර්ෂ 1411 දී චීනයට රැගෙන ගොස් ඇත. කෙසේ නමුත් චීන අධිරාජ්‍යයා ඔවුන්ට හොඳින් සලකා  පසුව නැවත මෙරටට එවා ඇති බව එම මූලාශ්‍ර වැඩිදුරටත් කරුණු දක්වයි.

ත්‍රිභාෂා සෙල්ලිපිය
චීන, දෙමළ සහ පර්සියානු භාෂා තුනෙන්ම ලියැවුනු සෙල්ලිපියක් අඩංගු ගල් පුවරුවක් වර්ෂ 1911 දී ගාලු දිසාවේ පලාත් ඉංජිනේරුවරයා වූ H.F. තෝමලින් (H.F. Tomalin) හට ගාලු නගරයේ බෝක්කුවකට යොදාගෙන තිබියදි හමුවිය. එහි චීන භාෂාවෙන් ඇති කොටසේ සඳහන් වනුයේ මිං රාජාවලියේ අධිරාජ්‍යයා වූ යුං ලෝ ඔහුගේ හත්වන රාජ්‍ය වර්ෂයේදී (ක්‍රි.ව. 1409 -1410 අතර ) මෙරට දකුණු සාගරයේ කඳුකර දූපතක පිහිටි බෞද්ධ විහාරයකට ඔහුගේ නියෝජිතයන් වූ චිං හෝ (Ching Ho) සහ වැං චිං ලියං (Wang Ching Lien) ඇතුලු පිරිස යවා සිදුකලා වූ පූජාවන් ගැනය. රත්‍රන්, රිදී, පට සලු, පිත්තල භාණ්ඩ ඇතුලු පූජා භාණ්ඩ විශාල ප්‍රමාණයක් පිළිබඳ විස්තර එහි ඇතුලත්ය. දෙමළ භාෂාවෙන් වූ කොටසේ දැක්වෙනුයේ චීනයේ මහා රජු ඉලංකෙයි හි (Ilankai - එනම් ලංකාවේ) 'තෙනවරයි හි දෙවියන්' (God of Tenavarai - එනම් දෙවිනුවර දෙවියන්. වෙනත් සිංහල මූලාශ්‍ර වල දැක්වෙන ලෙසට දෙවිනුවර වූවේ සිංහල දෙවිකෙනෙකු වූ උපුල්වන් දෙවියන්ගේ දේවාලයකි. මේ කාලය වන විට විශාල වශයෙන් විදේශික වෙළෙන්දන් ගැවසුන නැව් තොටමුනක් වූ දෙවිනුවර එම බලපෑම් නිසා හින්දු දෙවි කෙනෙක් වූ විෂ්ණු දෙවියන්ගේ දේවාලයක් බවට පරිවර්තනය වී තිබුණා විය හැක) උදෙසා එම නියෝජිතයන් දෙදෙනා ලවාම සිදු කල පූජාවන් ගැනය (ඔවුන්ගේ නම් සිංවෝ(Cinvo) සහ උවිං කුවිං(Uvin Cuvinn) ලෙස දෙමළෙන් සඳහන් වුවද ඒ ඉහත සඳහන් චිං හෝ සහ වැං චිං ලියං ලෙසම හඳුනාගත හැක ). පූජා භාණ්ඩ අඩු වැඩි වශයෙන් ඉහත සඳහන් වූ ඒවාමය. බෙහෙවින් කියවීමට නොහැකි මට්ටමට පත්වී ඇති පර්සියානු ලිපියේ ද මිං අධිරාජ්‍යයාගේ හත්වන රාජවර්ෂයේ සිදුකල පූජාවක් සහ එම පූජා භාණ්ඩ ලේඛනයක් ඇති මුත් එම පූජාව සිදු කර ඇත්තේ කිනම් දෙවිකෙනෙකුටට යන්න පැහැදිලි නැත. 'ඉස්ලාම්' (Light of Islam) යන වචනය ඇති බැවින් එම පූජාව අල්ලා දෙවියන්ට හෝ වෙනත් ඉස්ලාම් සාන්තුවරයෙකු උදෙසා කල බවට සැක කරන අතර ඉස්ලාම් දේවස්ථානයකට වුවද විය හැක. කියවිය හැකි කොටසේ වූ පූජා භාණ්ඩ අතර ඉහත ස්ථාන සඳහාද පූජා කල ඇතැම් දේ දැකිය හැක.

බෞද්ධ විහාරයක්, හින්දු විෂ්ණු හෝ සිංහල දෙවියෙකු වූ උපුල්වන් දෙවියන් සඳහා කල දේවාලයක් සහ ඇතැම් විට ඉස්ලාම් දේවස්ථානයක් යන විවිධ ආගම් වල පූජනීය ස්ථාන එවකට දෙවිනුවර වූ බව මෙම ශිලා ලේඛනය මගින් පැහැදිලි වේ. එසේම දෙමළ පර්සියන් සහ චීන භාෂා කතා කරන වෙළෙන්දන් , සංචාරකයන් සහ ඇතැම් විට ධර්ම ප්‍රචාරයේ යෙදුන විවිධ ආගම්වල පූජකයන්ද දකුණු ආසියානු කලාපයේ ජනාකීර්න නැව් තොටක් වූ දෙවුන්දරට ආවා විය හැක. නොමැති නම් භාෂා තුනකින් ලියැවුන සෙල්ලිපියක් මෙහි පිහිටුවීමේ අර්ථයක් නොමැත.

ලිපිය දෙවිනුවරින් ගාල්ලට - ගාල්ලෙන් කොළඹට
ඉහත සඳහන් පෙයි ෂිං ගේ වාර්තාවෙහි දැක්වෙනුයේ යුං ලෝ ගේ හත්වන රාජ්‍ය වර්ෂයේදී චෙං හෝ විසින් මෙම විහාරයට අධිරාජ්‍යයා වෙනුවෙන් රන් හා රිදී බඳුන්, රනින් අලංකාර කල ධජ ආදිය පිදූ බවයි . එමෙන්ම ගල් පුවරුවක්ද පිහිටවූ අතර රටේ රජුට සහ වෙනත් නායකයින්ට රාජකීය තිළිණද පිරිනැමූ බවය. ඔහුගේ වාර්තාවේ අන්දමට වීර අලකේශ්වර අල්ලාගනු ලබන්නේද මෙම සංචාරයේදීමය. දෙවිනුවර පිළිබඳව පෘතුගීසි ජාතික ක්ව්රෝස් විසින් තැබූ පසුකාලීන වාර්තාවකද සඳහන් වනුයේ එහි වූ දේව ප්‍රතිමාවන් ගැන පැහැදී චින රජවරුන් ඔවුන්ගේ අකුරු වලින් ගල් ටැම් වල ලියූ ලිපි එහි තිබූ බවය. ඉහත පෙයි ෂිං සහ ක්ව්රෝස් යන දෙදෙනාම සඳහන් කරන සෙල්ලිපිය ගාල්ලෙ තිබී හමුවූ මෙම ලිපිය බවට විවාදයක් නොමැත. බොහෝවිට පෘතුගීසීන් විසින්ම ගාලු කොටුව හෝ එහි වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා විනාශ කල දෙවිනුවර ගල් කනු ආදිය ගෙනයාමේදී මෙම සෙල්ලිපියද ගාල්ල ප්‍රදේශයට ගෙන ආවා විය හැක.  (පෘතුගීසීන් විසින් දෙවිනුවර කල විනාශය පිළිබඳ විස්තර සඳහා -පරංගියා දෙවිනුවර ගිය හැටි) ඉංග්‍රීසීන් විසින් මුල් කාලයේ මාර්ග තැනීමේදී නැවත ඒවා ප්‍රයෝජනයට ගන්නට ඇත. කෙසේ නමුත් වර්තමානයේ මේ වටිනා ශිලා ලේඛනය කොළඹ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

නූතන අලCaseවරලා
පැමිණ කුදලන් යෑමට චෙං හෝ ලා නැතත්, බුදුන්ගේ දහමට පමණක් නොව සිංහල ජාතියට සහ බෞද්ධ ශාසනයට පවා නිගරු කරන 'අලCaseවරලා' නම් මෙකලටත් එමට ඇත. කලාපයේ පමණක් නොව ලෝකයේම නැගී එන බලවතා වන චීන රාජ්‍යය සමග මිතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයේ ස්වාධීනත්වය පාවා නොදී රට දියුණු කරන විට මෙරට චීන කොලනියක් කරනවායැයි පවසමින් ඉන්දියාවේ සහ ඔවුන්ගේ බටහිර ස්වාමිවරුන්ගේ මායම් මතින් බලය ඩැහැ ගත් එවන් 'අලCaseවරලා' අවසානයේ යන එන මන් නැතිවූ කල නම් පෝලිමේ ගොස් හිඟමන් යදින්නේ චීනයෙන්ය. එපමණක් නොව රටේ ඉඩම්ද සින්නක්කරවම තබා ගන්නට චීනයට ලියා දි හමාරය. රට චීන කොලනියක් වනවා යැයි බෙරිහන් දුන් රතු අලි පැටව් මෙන්ම වරාය නගරය ගැන බෙරිහන් දුන් ඩොලර් හිඟන පරිසරවේදියෝද අද නිහඩය.

මූලාශ්‍ර
  • A History of the Cultural Relations Between Sri Lanka and China, An Aspect of the Silk Road, S.G.M. Weerasinghe, 1995.
  • Tamil Inscriptions in the Colombo National Museum, S. Pathmanathan, 2005
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume III, 1928-1933 Edited by S.Paranavitana, 1933
  • The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.



Thursday, February 18, 2016

ඉංග්‍රීසීන් සිංහලයන්ට දීපු දෙමළ රාජ්‍ය ආපසු දියව්!!!!

ඉන්ග්‍රිසීන් වරින් වර පළාත් බෙඳූ ආකාරය- මූලාශ්‍ර Wikipedia - විශාලනය කිරීම සදහා පිංතූරය මත ක්ලික් කරන්න
රටේ ජාතික ආරක්ෂාව අඩපන කරමින් සහ කෙරෙමින් තිබූ සංවර්ධනය ආපසු හරවමින් සිදුවූ "ආප්ප විප්ලවයට" සිය උපරිම දායකත්වය සැපයීමේ පිං පලදී "පිං විපක්ෂනායක" කම ලබාගත් දෙමළ ජාතිවාදි නායකයා මෑතකදී පවසා තිබුනේ ඉංග්‍රීසීන් 1948 දී සිංහලයන්ට බාරදීපු දෙමළ රාජ්‍ය නැවත ඔවුන්ට දෙන ලෙසය. ජාතිවාදීන්ට කප්පම් දෙන නිවට පාලකයන්ට නොව මේ නම් මොහු රැවුල පාන්නේ බහුතරයක් ජාතිවාදි නොවන සිංහල ජාතියටය (සිංහල ජාතිය එහි පුළුල් අර්ථයෙන් එනම් ජාතිවාදි නොවන සියලු සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග ඇතුලත්ව )

මේ ජාතිවාදියාගේ කීමට කිසිවෙකු වැඩි යමක් නොකීවේ "ආප්ප විප්ලවයෙන්" පසු බිහිවූ ජාතිවාදින්ට කප්පම් දෙන ඊණියා "සහජීවනයට" බාදා වේ යැයි සිතු බැවින් විය හැක. නැගුනු විරෝධතාද "සුපිරි මාධ්‍ය නිදහස" හමුවේ යටපත් වූ බවක් පෙණුනි. ඇත්තටම ඉංග්‍රීසීන් ඔවුන්ට ලැබුනු වර්තමාන උතුරු හා නැගෙණහිර පලාත් වල තිබුනා යැයි කියන දෙමළ රාජ්‍යයක් සිංහලයන්ට බාරදුන්නාද?

අප දන්නා පරිදි මේ කියන පලාත් දෙකද ඇතුලත් මුහුදුකර පෙදෙස් ඉංග්‍රිසීන් ලබාගන්නේ ලන්දේසින් යුද්ධයෙන් සහ කූට උපක්‍රම මගින් පලවා හරිමිනි. ලන්දේසින් ඊට පෙර එම පෙදෙස් උදුරා ගන්නේ පෘතුගීසීන්ගෙනි. ඒ අතර කාලය තුලදි වරින් වර සිදුවූ උඩරට, සීතාවක සහ කෝට්ටේ රජුගේ සේනා ඉහත බටහිර ආක්‍රමණිකයන්ගෙන් අපගේ රටේ කොටස් මුදවාගැනීම් සහ නැවත ගිවිසුම් මගින් ලියාදීම් වැනි සියල්ල මොහොතකට පසකින් තබා පෘතුගීසීන් මේරටේ එවකට තිබූ ප්‍රාදේශීය පාලනයන් හා මුලු මහත් රටේම පාලකයා ගැන කිවූ තත් කාලීන වාර්තා විමසා බැලීමෙන් මේ කියන ඊනියා දෙමළ රාජ්‍ය මිත්‍යාව ප්‍රලාඵයක් බව පෙන්වා දීම මේ ලිපියේ අරමුණයි.

පෘතුගීසි යුගයේ ඉතිහාසය සම්බන්ධ විශ්වකෝෂයක් බඳු කෘතියක් කල ක්ව්‍රෝස් පියතුමා පෘතුගීසීන් පැමිණෙන විට මෙරට තිබූ දේශපාලනික තත්වය සම්බන්ධයෙන් මෙසේ පවසයි.

"රාජපුරේ (Rajapure එනම් අනුරාධපුරය) අගනුවර වී තිබූ යුගයේ මුලු දිවයිනම එක් රජෙකු යටතේ පාලනය විය. නමුත් කෝට්ටේ නගරය (City of Cota) අගනුවර වීමත් සමග දිවයිනේ කෝට්ටේ රාජධානියට යටත් ප්‍රාදේශිය රාජධානි 15 ක් තිබුණි. එමනිසා කෝට්ටේ පාලකයා අධිරාජ්‍යයා (Emperor) ලෙස සැලකුණි. එම විරුදය දැන් කන්ද උඩරට පාලකයා විසින් දරනු ලබයි*. එම රාජධානි නම් දෙනවක (Dinavaca), ඌව (Uva), වලවේ (Valave) , පුත්තලම (Putelao), මාන්තොට (Mantota), තණගම(Tanagama), මුලියාවුලි(Muliauali), ත්‍රිකුණාමලය(Triquilimale), කොට්ටියාර්(Cutiar), මඩකලපුව(Batecalou), පානම(Paneva), බින්තැන්න(Vintena), ඔරුපොල(Orupula), මාතර(Mature), කන්ද උඩරට(Candea) සහ උතුරු කොනේ යාපනපටුනය (Point of the North, Jafanapatao). ඒවා සහ කෝට්ටේ රාජධානිය එකතු වීමෙන්  16 ක් සැදේ. "

*ක්ව්‍රොස් සිය කෘතිය රචනා කරන්නේ ඔවුන්ට දිවයිනේ අයිතිය නැතිවූ පසුව රටේ වැඩි ප්‍රදේශකය බලය  උඩරට පාලකයාට තිබූ අවධියේය.

ප්‍රාදේශිය රජුන් යටතේ හෝ දිසාවේ වරුන් යටතේ වූ මේ කුඩා රාජධානි සැම එකක්ම පාහේ කෝට්ටේ වූ රටේ රජතුමාට යටත් ව තිබූ බව නොවේද ක්වේරෝස් මේ පවසන්නේ? එසේ නම් ඉහත කී දෙමළ ජාතිවාදියා කියන "ඉංග්‍රිසීන් විසින් 1890 පමණ වන විට වර්තමානයේ ඇති ආකාරයෙන් බෙදාවෙන් කර අවසන් කල උතුරු හා නැගෙණහිර පලාත්" වල තිබුනා යැයි කියන ස්වාධීන දෙමළ රාජ්‍ය තිබුනේ මොන දිල්ලියෙන්ද? ක්වේරෝස්ම මෙහි කියන අයුරින් උතුරු කොනේ කුඩා ප්‍රාදේශිය රාජ්‍යක් ආර්ය චක්‍රවර්ති රජවරුන්ගේ පාලනයෙන් සැලකිය යුතු කාලයක් (බොහෝ විට දඹදෙනි යුගයේ සිදුවූ චන්ද්‍රභානු ආක්‍රමණයෙන් පසුව ) තිබූ බවට පිළිගත හැකි සාක්කි හමුවන මුත් ආර්ය චක්‍රවර්තිවරුන් දෙමළද නොමැති නම් මලයාසියානු කලාපයෙන් පැමිණි ආක්‍රමනිකයන්ද යන්න විවාදාත්මක පැනයකි. පරණවිතාන මහතාට අනුව නම් ඔවුන් ආර්යයන්ය ( එනයින්ම ඔවුන් ද්‍රාවිඩ නොවන බව ගම්‍ය වේ ). එසේම එම රාජ්‍යයේ සිංහලයන් සිටි බවට සාධක ක්වේරෝස්ම සිය කෘතියේ වරින් වර පවසයි. ඒ පිලිබඳව පසුව සලකා බලමු. කෙටියෙන් පැවසිය යුත්තේ මේ ජාතිවාදියා කියන ආකාරයේ කොයිකලක හෝ තිබූ දෙමළ රාජ්‍යක් නම් 1948 ඉංග්‍රීසීන් විසින් සිංහලයන්ට පවරා නොදුන් බවය.

මූලාශ්‍ර

Thursday, October 8, 2015

දන්තුරේදි වසර 421 කට පෙර සිදුවූ මහා යුධ අපරාදය

"විමලදහම්සූර්‍ය රජු ඒ ප්‍රතිකානුන් අල්ලා ඇස් කණ කර පස්දෙනෙකුට එකෙකුගෙන් එක ඇසක් තිබා අත්වැල් අල්ලාගෙන කොළඹට එව්වාය."

රූපය- බලන කොටුව

 හරියටම අදින් වසර 421 කට පෙර කන්ද උඩරට ආක්‍රමණය වැරදී පසු බසින ප්‍රතිකාල් හමුදා වල සිට, සිංහල හමුදාවන්ට යටත් වූවන්ට අත් වූ ඉරණම රාජාවලි කතෘ ගෙනහැර දැක්වූවේ එසේය. එනම් පස් දෙනෙකුගෙන් එකෙකුට පමනක් එක් ඇසක් තබා අන් සිවු දෙනාගේ ඇස් දෙකම උගුල්ලා අත්වැල් අල්ලාගෙන කොළඹ එන්ට සැලැස්වූ බවය.

පෘතුගීසි ජාතික ක්වෙරෝස් (Fernao de Queyroz) පියතුමන්ට අනුව 800 ක පමණ පෘතුගීසි ජාතිකයන්ද ජයවීර බණඩාර යටතේ ලැස්කිරිඥ්ඥා* භටයන් 15000 පමනද ( නමුත් මුලු හමුදාව 20000 වූ බව ඔහු අන් තැනක පවසයි); එකල පෘතුගීසි සොල්දාදුවෙකුව සිට පසුව ලංකාවේ පෘතුගීසීන්ට අත්වූ ඉරණම ගැන The Historic Tragedy of the island of Ceilao නමින් පොතක් ලියූ රිබෙයිරෝට (Captain Joao Ribeiro) අනුව පෘතුගීසි සෙබලුන් 1200 ක් හා ලැස්කිරිඥ්ඥා භටයන් 20000 ක්ද මෙහිදී උඩරට රාජධානිය වටලෑමට එක් වී ඇත. උඩරට රාජ උරුමය තිබූ, කතෝලික දහම වැලඳගෙන දෝන කැතරිනා නමින් බෞතිස්ම ලැබූ පෘතුගීසීන් ඇසුරේ හැදී වැඩුන කුසුමාසන දේවියද කැටිව; කලින් ගෝවේ පෘතුගීසින් ඇසුරේ සිට ඔවුන්ට පිටුපා නැවතත් බෞද්ධයකු වී විමලධර්මසූරිය නමින් රජවූ කොනප්පු බන්ඩාරගෙ (Don Joao) රාජධානිය වූ කන්ද උඩරට යටත් කරගැනීමට සිය සේනා මෙහෙයවූ කැප්ටන් ජෙනරාල් පේද්‍රෝ ලෝපස් ද සූසා (Pedro Lopes de Souza) ඇතුලු පෘතුගීසින්ට දන්තුරේදී මේ ආකාරයෙන් පලමු වරට ආසියානු රටකින් අමතක නොවන පාඩමක් ඉගෙනගැනීමට හැකිවූවේ 1594 ඔක්තෝබර් 9 වැනිදා අලුයම වනවිටය (පසුබසින පෘතුගීසිට පහරදීම 8 වෙනිදා හිමිදිරියේ පටන් සිදුවිය). එනම් අදින් හරියටම වසර 421 කට පෙරය. මෙහිදී යටත් වූ පෘතුගීසීන් 93 හා පලාගිය ලැස්කිරිඥ්ඥා භටයන් හැර අන් සියල්ලන් සිංහල හමුදා අතින් සමූලඝාතනයකට ලක්වූහ. පෘතුගීසීන් විසින් උඩරට සිහසුනේ හිඳවීමට ගෙනා එවකට දොලොස් හැවිරිදි වියේ සිටි කුසුමාසන දේවියද විමලධර්මසූරිය රජුට හිමිවූ අතර ඔහු ඇයව සිය අගබිසෝ තනතුරට පත් කරගත්හ.

රජු ඇතුලු උඩරට වැසියන් සටනකින් තොරවම පලායාමෙන් පසු විජයග්‍රාහිව නගරය අල්ලගෙන සිටි පරංගින්ට පසුබසින්නට සිදුවූවේ විමලධර්මසූරිය රජු උපක්‍රමිකව ලැස්කිරිඥ්ඥා හමුදාවේ නායක ජයවීර බණ්ඩාරව පෘතුගීසින් අතින්ම ඝාතනය වීමට සැලැස්වූ පසුවය. එම සිදුවීමෙන් පසු පරංගින් අතහැර ලැස්කිරිඥ්ඥා භටයන් පලායාමත් සමග තනිවූ පරංගි හමුදා මහනුවර සිට බලන කොටුව දක්වා පසුබැසීමේදි දින 10 ක් පුරා හරි හමන් ආහාරයක් නැතිව නිරාහාරව වෙහෙසි සිටින අවස්ථාවේ දන්තුරේදි මෙම පරාජයට ඔවුන් ලක්විය. යටත් වූවන්ට සිදුවූ දේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්වේරෝස් පියතුමන් ඔවුන්ගේ නාසා කපා දමා එවූ බව සඳහන් කරයි (They cut off the noses of many and even of the General). මේ යුගය ගැන ලියූ පසු කාලීන ලන්දේසි ලේඛකයෙකු වන බල්දියස්ට (Phillip Baldaeus)  අනුව නාසා පමනක් නොව ඔවුන්ගේ කන් හා ලිංගේන්ද්‍රියන්ද (They sent back with their ears, noses and privy parts cut off, in revenge of the ravishment committed upon their wives and daughters) කපා දමා එවා ඇත.

විවිධ මූලාශ්‍ර වල යටත්වූවන්ගේ ඉරණම එක් එක් ආකාර වලින් දක්වා ඇති නමුත් කුමක් නමුත් දරුණු යුධ අපරාදයක් මෙහිදි සිදුවී ඇති බව නම් පැහැදිලිය. සුදු කොඩි රැගෙන යටත් වූ අවිහිංසක පරංගින්ගේ මානව හිමිකම් මෙයින් අහිමි වී ඇත. වසර 421 කට පසුව හෝ ඒ සම්බන්ධයෙන් පෘතුගීසි - සිරි ලාංකික දෙමුහුම් අධිකරණයක් (Hybrid Court) කැඳවා නඩු අසා වරද කරුවන් ලොවට හෙලි කල යුතු නොවේද? අනිත් අතට අවිහිංසාව මත පදනම් වූ ආගමක් අදහන බෞද්ධයන්ට මෙවැනි දෑ කල හැකිද? ඔවුන් සතුරන්ට මෙත් වඩමින් නවගුණ වැල අතට ගතු යුතු නොවේද? පෘතුගීසීන්ගේ මානව හිමිකම් පිළිබද සොයා බැලීමට විදේශ ආධාර ලබන NGO එවකට නොතිබීමෙන් කෙතරම් අසාධාරණයක් ඔවුන්ට සිදුවී ඇත්ද? අඩු තරමේ විමලධර්මසූරියගෙන් පසුව බලය ලබාගෙන ඒ පිළිබඳ උනන්දු විමට එනම් පෘතුගාලය සමග එකතු වී දේශීය හෝ අන්තර්ජාතික පරීක්ෂණයක් කිරීමට හරි හමන් විපක්ෂයක්වත් එවකට නොතිබූ අයුරුය.

* Lascorin - ආක්‍රමණික යුරෝපිය හමුදාවල සේවය කල දේශිය සෙබලුන් හැඳින්වීමට ඔවුන් යෙදූ නම. මේ අවස්ථාවේදී නම් පෘතුගීසින් යටතේ වූ මුහුදු බඩ ප්‍රදේශවල විසූ සිංහලයන්.
මූලාශ්‍ර

  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976
  • The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
  • The History of Ceylon from the Earliest Times to 1600 A.D. As Related by Joao de Barros and Diogo do Couto, Translated and Edited by Donald Ferguson, 1909
  • The Historic Tragedy of the island of Ceilao, Captain Joao Ribeiro, Translated from the portuguese by P.E. Pieris, 1909
  • Ceylon the Portuguese Era , Paul E. Pieris, Vol 1 & 2, 1913
  • Kandy Fights the Portuguese - A Military History of  Kandyan Resistance - C, Gaston Perera, 2007 (එහි සිංහල පරිවර්තනය - කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය, පරිවර්තනය ධනේෂ් විසුම්පෙරුම, 2015)
  • Portuguese Rule in Ceylon 1594-1612, Tikiri Abeyasinghe, 1966
  • A Description of the Great and Most Famous Isle of Ceylon, Baldaeus Phillip, 1672

Wednesday, September 16, 2015

පරංගින්ට තරු පෙන්නූ සිංහලේ ගිනි බලය

"පෘතුගීසින් සමග යුද්ධ කරන්න පටන් ගත් පසු ඔවුන් ෆයර්ලොක් (Firelocks), ආර්ක්බස් (Arquebuses),  අත් තුවක්කු (Hand muskets) සහ අවුන්ස හතරේ හෝ පහේ ගිනි බෝල විදිය හැකි කාලතුවක්කු භාවිතයට පටන් ගත්හ. "
   ගෝවේ සිට මෙරට පෘතුගීසි යුගය සම්බන්ධයෙන් ඉතාමත්ම සවිස්තරාත්මක විස්තර අඩංගු ග්‍රන්ථයක් කල ජේසුස් සංගමයේ (Society of Jesus) ක්වේරෝස් පියතුමා (Father Fernao de Queyroz) සිංහලයන්ගේ යුද්ධ ආයුද සහ යුද උපක්‍රම සම්බන්ධයෙන් විස්තර කිරීමේදී එසේ පවසයි.
    සිංහලයන්ගේ බෝම්බ භාවිතය සම්බන්ධයෙන් වැඩිදුරටත් විස්තර කරන එතුමා  "ඔවුන් බෝම්බ (Bombs) සහ ගිනි විදින(Fire darts) ප්‍රයෝජනයට ගනී. එමගින් ඔවුන් ඉතාමත් පහසුවෙන් අතු පැල් වලට  ගිනි අවුලවයි. එසේම බෝම්බ මගින් ඔවුන් යුද්ධ භූමියේ කලබලකාරිත්වයක් ඇති කරයි...."

  මෙරට පෘතුගීසි යුගය වාර්තාකරණය කල තවත් ලේඛකයෙකු වන දියෝගෝ දෝ කූතෝට (Diogo do Couto) අනුව 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා (Dom Lourenco d' Almeida) මුල්වරට මෙරටට පැමින වතුර සහ දර රැස් කරන්නට වෙරලට පැමිනි විට ස්වදේශිකයන් ඔවුන්ව වලක්වන්නට තැත් කල මුත් රුවල් නැව් වල සිට වෙඩි කිහිපයක් තැබූ පමනින් අතිශයෙන් විශ්මයට පත්ව ඔවුන් පලාගිය බවය. ඔහු එයට හේතුව ලෙස දක්වන්නේ එම අලුත් ශබ්දය ඔවුන්ට හුරු පුරුදු නොවීමය. මක්නිසාද යත් එම යුගයේ මුලු දිවයිනේම එකදු ෆයර්ලොක් තුවක්කුවත්වත් නොතිබූ බැවිනි.
    කෙසේ නමුත් කූතෝ වැඩිදුරටත් පවසන්නේ පෘතුගීන් රටට පැමිණ සිංහලයන් සමග නොනවතින යුද්ධ පටන් ගැනීමත් සමග ඔවුන් ඉතාමත් දක්ෂයන් වූ බව සහ ලෝකයේම හොඳම සහ අලංකාරම කාලතුවක්කු නිශ්පාදනය කරන්නට වූ බවය. එසේම ඔවුන් සැදු කදිම ෆයර්ලොක් තුවක්කු පෘතුගීසි තුවක්කු වලටද වඩා ඉහල අගයක් ගන්නා බවත්ය. ඔහු සදහන් කරන පරිදි එවකට එවැනි තුවක්කු විසිදහසකට වඩා සාදා තිබී ඇත.
        සිංහලයන් පෘතුගීසීන්ට විරුද්ධව මුල් වරට ගිනි අවි යොදා ගත් බව පැවසෙන්නේ 1521 දී ලෝපෝ ද බ්‍රීටෝ (Lopo de Brito) කොළඹ බලකොටුව වැඩිදියුණු කිරීමට පටන් ගත් විට මුස්ලිම් වරුන් විසින් පොළඹවනු ලැබූ කෝට්ටේ සිංහලයන් කොටුවට කල පහරදීමේදිය. කූතෝ සඳහන් කරන්නේ ඔවුන් පාම් ගස් වලින් (Palm trees - පොල් ගස් විය හැක ) අට්ටාල (Bastions) දෙකක් සාදා ඒ මත කාලතුවක්කු තැබූ බවය. ක්වේරෝස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් "ඔවුන් කාලතුවක්කු ස්ථානගත කල අතර අත් තුවක්කු (Muskets) 600 ක පමණ සහයද ලබාගත්හ....ගිනි බෝම්බද(Fire Bombs) යොදාගත් අතර එමගින් කොටුව තුල වූ අතුපැල් වලට ගිනි ඇවිලුවේය." යනුවෙන් සදහන් කරයි
      කූතෝ සදහන් කරන පරිද්දෙන් 1505 දී සිංහලයන් ගිනි අවි පිළිබද නොදැන සිටියා නම් මෙතරම් කෙටිකාලයක් තුල  ගිනි අවි තාක්ෂණය ඔවුන් ලබාගත්තේ කෙසේද? මේ පිළිබද අවධානය යොමු කල මෑතකදි අප අතරින් වියෝවූ ගැස්ටන් පෙරේරා මහතා ඔහුගේ Kandy Fights the Portuguese - A Military History of Kandyan Resistance නම් ග්‍රන්ථයේ මෙසේ පවසයි. "කෝට්ටේ හමුදා ගිනි අවි භාවිතා කිරීම සහ මෙතරම් ප්‍රමාණයකින් භාවිතා කිරීම ගිනි අවි පෘතුගීසීන් විසින් ලංකාවට හඳුන්වාදුන්නායැයි පැවසීම සමග නොගැලපේ. සිදුවිය හැකි වඩාත් සාධාරණ දෙය නම් තුවක්කු පිළිබද දිවයින්වාසීන් දැන සිටි මුත් පුලුල්ව භාවිතා නොවූ බවය"
     පෘතුගීසීන් පැමිනීමට පෙර සිංහලයන් ගිනි අවි පිළිබද දැන සිටියා නම් ඔවුන්ට එම තාක්ෂණය ලැබුනේ කාගෙන්ද?

රූපය - රත්නපුර සමන් දේවාලයේ ඇති තුවක්කුවක්. පෘතුගීසීන් මෙය  'Foot Muskets' යනුවෙන් හැදින්වූ අතර ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් මෙයට  'Gingals' සහ 'Grasshopper Guns' යනුවෙන් ව්‍යවහාර කලහ. කඳුකර පලාත් වල භාවිතයට ගත හැකි අයුරින් සිංහලයන් විසින්ම නිර්මානය කල මෙය බටහිර ජාතින් සතු වූ බර කාලතුවක්කු මෙන් නොව පහසුවෙන් ගෙන යා හැකි සාපේක්ෂව සැහැල්ලු ආයුධයකි. සිංහලයන් 'කොඩිතුවක්කු' නමින් හැදින්වූ මෙයට විකල්පයක් ප්‍රතිවාදි ජාතීන් කිසිවෙකු සතු නොවීය.

සම්බන්ධිත පෙර ලිපි:  දඹදෙනි යුගයේ (13-14 වන සියවස්) මෙරට ගිනි අවි භාවිතා උනිද?

මූලාශ්‍ර

The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
The History of Ceylon from the Earliest Times to 1600 A.D. As Related by Joao de Barros and Diogo do Couto, Translated and Edited by Donald Ferguson, 1909
Kandy Fights the Portuguese - A Military History of  Kandyan Resistance - C, Gaston Perera, 2007