Monday, September 14, 2015

දඹදෙනි යුගයේ (13-14 වන සියවස්) මෙරට ගිනි අවි භාවිතා උනිද?


"අපේ කොළොන්තොට ඉතා සුදු පැහැය ඇති ජාතියක් බොහෝ රූපශ්‍රීයෙන් යුක්තව යකඩ හැට්ට ඇඟලාගෙන යකඩ තොප්පි ඉසලාගෙන විගසක් එක තැනක නොසිට සක්මන් කරනවාය කියාත් , පාන් මුද්දිරප්පලං අරක්කු කනු බොනු දැක කුඩුගල් සපා කමින් ලේ බොන්නන්න කියාත්, එක මාළුකූරියාට එක දෙසිගෙඩියට රීදීරන් දෙක තුන දෙන්නන්න කියාත් උන්ගේ කාලතුවක්කුව තියන වෙඩිල්ල ශබ්ද යුගන්දර පර්වත සෙනහඬටත් වැඩිය කියාත්  කාලතුවක්කු උන්ඩය ගවු ගණන් ගොසින් වන් කල ගල්කෝට්ට යකඩකෝට්ටවල් පොඩි වෙයි කියාත්..." -

රාජාවලි ගත්කරු 1505 දී සිදුවූ ප්‍රතිකාල් ආගමනය කොළොම් තොටේ සිටි වැසියන් පැමිණ පරක්‍රමබාහු රජුට සැල කල අයුරු අතිශයොක්තියට නගා වර්ණනා කරන්නේ ඒ අයුරිනි. ප්‍රතිකාල්වරුන් පැමිණීමට පෙර මෙරට වැසියන් ගිනි අවි පිලිබද අසා නොතිබූ වගක් මෙයින් ගම්‍ය නොවූවත් බොහෝ දෙනෙක් පිලිගන්නා අයුරින් ගිනි අවි භාවිතයක් පෘතුග්‍රීසීන් පැමිණීමට පෙර මෙරට  තිබී නැත.

නමුත් කුරුණෑගල යුගයේදි ලියවුනු ලෙස සැලකෙන දඹදෙනි අස්නේ මෙවැනි සදහනක් එයි. "දුම් වෙඩි, සැර වෙඩි, මුන වෙඩි, යතුරු වෙඩි, ගල් වෙඩි, ගිනි වෙඩි, ශබ්ද වෙඩි, වාල වෙඩි, මහ වෙඩි, යනාදි වෙඩි ඝොෂාවෙන්ද,..."

දඹදෙනිය රාජධානියක් වශයෙන් ගොඩ නැගී ආ අයුරුත් දඹදෙනි පැරකුම්බා රජු පිළිබදවත් විස්තරයක් වන දඹදෙනි අස්න,  පැරකුම්බා රජු තම්මැන්නාවට ගොඩ බට තමලිංගමු රජු හා කල යුද්ධය පිළිබඳ වැනුමේදී යොදාගත් ආයුද සම්බන්ධ විස්තරයේදි ඉහත වෙඩි වර්ග වට්ටොරුව ගෙන හැර පායි.  මෙරට පැරණි සාහිත්‍යයේ 'වෙඩි' යන වචනය හමුවන පලමුවැනි අවස්ථාවද මෙය වේ.*

මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල මහතාට අනුව දඹදෙනි අස්න අවසානයේ එන සටහනකට අනුව එය ලියවී ඇත්තේ කුරුණෑගල රාජධානියේ සිව්වන පරාක්‍රමබාහු රජු කලය. එතුමා දල වශයෙන් දඹදෙනි අස්න ලිවූ කාලය ක්‍රි. ව. 1303 ත් 1325 අතර බව අනුමාන කරයි. එසේ නම් කුරුණෑගල යුගයේදි එනම් 14 වන ශතවර්ෂයේදී අප ගිනි අවි සම්බන්ධයෙන් දැන සිටියාද නොහොත් පරසතුරු ආක්‍රමණ වලදි ගිනි අවි භාවිතා කලාද? නො එසේ නම් මෙම කොටස දඹදෙනි අස්නට පසු කාලීන පිටපත් කරන්නෙකු අතින් එක්වූ කොටසක්ද?

 ඉන්දියානු මිත්‍යා ප්‍රබන්ධයක් වන රාමායනයේ එන රාවණ රජු මෙරට සිටි බවත් ඔහු න්‍යෂ්ඨික අවි පවා භාවිතා කල බවත් කියමින් 'හෙලයන්' වෙනුවෙන් මනඃකල්පිත ඉතිහාසයක් නිර්මාණය කරන අවධියක අපගේ සැබෑ ඉතිහාසයේ එන මෙවන් කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීම වැදගත් නොවන්නෙද?

මූලාශ්‍ර
සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
දඹදෙනි අස්න
රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
* ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999

රූපය - විවිධ ආයුද සහිතව සිටින මාර සේනාව නිරූපිත සිවිලින් චිත්‍රයක්, මහනුවර සම්ප්‍රදාය, හිඳගල විහාරය

3 comments:

  1. දඹදෙනි අස්නට අමතරව මෙවැනි සඳහන් සොයා ගැනීමට නැති ද?

    ReplyDelete