Friday, September 11, 2015

ත්‍රිකුණාමලයෙන් ලන්ඩන් ගිය තාරා දෙවඟන


බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඉන්දියානු අංශයට ඇතුලු වන ඔනෑම් පුද්ගලයකුගේ එක්වරම නෙත ගැටෙන අඩි 5 කට මදක් අඩු උසින් යුතු උඩුකය නිරුවත් ලෝකඩ කාන්තා පිලිරුවක් ඇත. එය රත්‍රන් ආලේපිත ශ්‍රි ලංකාවේ ඊසාන දිග පෙදෙසින් සොයාගත් 10 වන ශතවර්ෂයට අයත් ලෝකඩ තාරා හිටි පිලිමයක් යනුවෙන් ඒ සමග ඇති විස්තරයේ වැඩිදුරටත් සදහන් වේ. කවුද මේ තාරා?
           රාජකීය ආසියාතික සංගමගේ  බ්‍රිතාන්‍ය ශාඛාවේ (Royal Asiatic Society - Great Britain) සඟරාවේ 1901 අප්‍රියෙල් කලාපයට ලිපියක් සපයමින් ආනන්ද කුමාරස්වාමි වියතානන් මෙය ලංකාවේ මහායාන සම්ප්‍රදාය හා බැදි පිලිමයක් විය හැකි බව මුල්වරට පවසයි. නමුත් 1914 දී කොළඹ කෞතුකාගාරය මගින් ප්‍රකාශිත ඒ මහතාගේම Bronzes from Ceylon Chiefly in the Colombo Museum නම් වූ ශාස්ත්‍රිය නිබන්දනයේදි ඔහු එය පත්තිනි දේවියගේ පිලිරුවක් ලෙස හඳුන්වාදෙයි. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයත් මඩකලපුවත් අතර කිසියම් ස්ථානයකින් සොයාගත් 143.75 cm පමණ උසින් යුත් එම පිලිමය 1830 දී ශ්‍රිමත් රොබට් බ්‍රවුන්රිග් විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පිරිනමා ඇත. දකුනු අතින් වර මුද්‍රාවත් වමතින් විතර්ක මුද්‍රාවත් නිරූපනය වන එම පිලිමයේ උස් ශීර්ෂ පලදනාවේ දක්නට ලැබෙන කුහරයේ මාණික්‍යයක් තිබෙන්නට ඇතැයි එතුමන් අනුමාන කරයි. පිලිමයේ කාල නිර්ණය 7 හෝ 8 වැනි සියවසේ විය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි (කෙසේ නමුත් කුමාරස්වාමි මහතාගේ පසු කාලීන[1972] කෘතියක් වන History of Indian and Indonesian Art හි මෙම පිළිමය 10 වන ශත වර්ෂයේ විය හැකි බවටද සඳහන් වේ.).
            ශ්‍රී ලංකාවේ මහායාන බුදධාගමේ ඉතිහාසය පිලිබද පර්යේෂකයෙක් වන මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතා මෙම පිළිමය මහායාන අවලෝකතීශ්වර බෝධිසත්වයන්ගේ මහේසිකාව වන තාරා දෙවඟනගේ බව පවසයි (Mudiyansea N., 1967). බුදුරුවගල, වේගිරිය දේවාලය සහ කුරුණෑගල ගන් ආරාමය විහාරය වැනි ස්ථාන වලින් හමූ වි ඇති වෙනත් තාරා පිළිම වලින් මෙන්ම අනුරාධපුර විජයාරාමයෙන් හමූ වූ 9 වන ශත වර්ෂයට පමණ අයත් සංස්කෘත තඹ ඵලක වලද තාරා දෙවඟන යඳින ස්තොත්‍ර තිබීමෙන් එම යුග වලදි වෙනත් තාන්ත්‍රික ඇදහීම් සමග තාරා දෙවඟන ඇදහීමද මෙරට තිබූ බවට සාක්ෂ්‍ය සැපැයේ. අවම වශයෙන් එම ඇදහීම් 14 වන ශත වර්ෂය දක්වාම පැවැති බවට තිසර සන්දේශයේ එන මෙම කවියෙන්ද පසක් වේ.

බෝරා යස වියන මහරු සිරිලක් මදුර වෙසෙසී
තෝරා හැර දුසිරි සුසිරි ලකරින් ලකළ එකසී
වාරා නොව රුසිරු ඉසුරු දෙන සුරබිදෙන් සදිසී
තාරා බිසොවුනුදු නැමැද යා ගන් එයින් නොලැසී

     නන්දසේන මුදියන්සේ මහතා මෙම පිළිමයේ ශීර්ෂ පලඳනාවේ ඇති කුහරය තුල ධ්‍යානි බුදු රුවක් තිබෙන්නට ඇති බවත් මෙය තාරා දෙවඟනගේ ලෙස හඳුනාගැනීම නිවැරදි නම් එය අමෝගසිද්ධි බුදු රුවක් විය හැකි බවත්, බුදුරුවගල වැනි වෙනත් තාරා දේව රූප වල දැකිය හැකි ලක්ෂණ මෙම පිළිරුවේද ඇති බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

මූලාශ්‍ර: 
Coomaraswamy A. K., 1914, Bronzes from Ceylon Chiefly in the Colombo Museum
Coomaraswamy A. K., 1972, History of Indian and Indonesian Art
de.Silva P.H.D.H., 1975 A Catalogue of Antiquities And Other Cultural Objects From Sri Lanka (Ceylon) Abroad.
Mudiyansea N., 1967 Mahayana Monuments in Ceylon.
තිසර සන්දේශය



No comments:

Post a Comment