Showing posts with label KIng Mahinda V. Show all posts
Showing posts with label KIng Mahinda V. Show all posts

Sunday, March 17, 2019

පෙරදිග ධාන්‍යාගාරය සැබෑවක්ද? රට සහලින් ස්වයංපෝෂිත කලේ 6 වැනි පරාක්‍රමබාහුද අන්තිම විකුණුම්සිංහද?

මෙරට පාසල් පෙළ පොත් වල පවා සඳහන් වන සාමාන්‍ය ජනතාව අතරද මුල් බැසගත් මතයක් වනුයේ පෙර රජ දවස අප රට "පෙරදිග ධාන්‍යාගාරය" බවයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරමට ධාන්‍ය (කලාපයේ ප්‍රධාන ධාන්‍ය භෝගය වන වී මෙයින් අදහස් කලා විය හැක) ගබඩා කර නොහොත් නිපදවා ඇත්තේ මේ රට තුලය. පෙර රජවරුන් වී වගාවට අවශ්‍ය වාරිමාර්ග ආදී පහසුකම් ජනතාවට සපයා දුන් බව සහ දුර්භීක්ෂ ආදි උවදුරු වලක්වා ගැනීම උදෙසා බොහෝ දේ කල බවට සාධක ඇති මුත් අවම වශයෙන් මෙරට පසු කාලීන යුගයන්ට සාපේක්ෂව සශ්‍රීක යුගයක් ලෙස සැලකිය හැකි රජරට ශිෂ්ඨාචාරය පැවති යුගයේ වුවද සැමකල්හීම අවම වශයෙන් රටේ පරිභෝජනයට අවශ්‍ය තරමින් වත් ආහාර භෝග නිෂ්පාදනය වුනිද යන්න සැලකිල්ලෙන් විමසා බැලිය යුතුය. "පෙරදිග ධාන්‍යාගාරය" යන යෙදුම නිතර භාවිතා වන්නේ මෙරටින් සහල් පිටරට වලටද අපනයනය කල බව අවධාරණය කරමින් වීමද මෙහිදි සිහිපත් කල යුතුය.

මේ අතර ලොව ප්‍රථම වතාවට සිය රටේ මහා බැංකුව කොල්ල කෑ එකම පාලකයා වන "ආසියාවේ මහා මොලය" සිය ඉතිහාස දැනුම නැවතත් ප්‍රදර්ශනය කරමින් මහා සොයාගැනීමක් කර තිබේ. කලකට පෙර පස්යොදුන් රටේ පහත් බිම් පස් දමා පුරවපු මහා පරාක්‍රමබාහු ගැන සහ නැවතත් කළුතර දීස්ත්‍රික්කයේ කුරුඳු වගා කර විදේශ විනිමය සොයා ගත් මහා පරාක්‍රමබාහු ගැන ලොවට හෙලි කල (Link>>) මේ මහා ඉතිහාස අඥානයා නැවතත් 6 වැනි පරාක්‍රමබාහු සමග කරලියට පිවිස ඇත. ඔහුට  අනුව 6 වැනි පරාක්‍රමබාහුගෙන් පසු රට සහලින් ස්වයංපෝෂිත වූවේ උන්නැහේගේ කාලයේදීය. වී වගා කරන කුඹුරු ඉඩම් ගොඩ කර දැමිය යුතු බව පවසා එය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කල ඔහුගේ පෙර පාලන සමය ගැන නොදන්නා සහ ඒ බව උවමනාවෙන්ම අමතක කල අම්බරුවන් රැලකගේ චන්දයෙන් බලයට පැමිණි මේ "මහා මොලය" බලය ඩැහැගත් සැනින් අන්තර්ජාතික ගුවන් තොටුපලක වී ගබඩා කර පලි ගත්තේ සැබෑවටම රට සහලින් ස්වයංපෝෂිත කල ඔහුට පෙර සිටි ජනහිතවාදී පාලකයන්ගෙන් පමණක් නොව ඔහුට චන්දය දුන් අම්බරුවන්ද ඇතුළු මුළු මහත් ජනතාවගෙන්ය.
මහා පරාක්‍රමබාහුගේ පිළිමය ලෙසින් ප්‍රකට වී ඇතිමුත් එසේ විය නොහැකි පොත්ගුල් වෙහෙර අසල පිහිටි පිළිමය
ඔහු සහලින් රට ස්වයංපෝෂිත කල ආකාරය බත් කන අම්බරුවන් නොවන සියළු දෙනාට රහසක් නොවන බැවින් සහ අප ඉහත සඳහන් කල පෙරදිග ධාන්‍යාගාරය යන යෙදුම වුවද භාවිතා වන්නේ 6 වන පරාක්‍රමබාහු යුගයට නොව මහා පරාක්‍රමබාහු යුගයට බව ජාතියක් ජම්මයක් නැති මේ පරගැති කළු සුද්දා නොදන්නා නමුත් පාසල් යන ප්‍රාථමික පන්ති වල සිසුන් පවා දන්නා බැවින් පරාක්‍රමබාහුලා රට සහලින් ස්වයංපෝෂිත කල කතාව සැබෑවක්ද නැතහොත් එයට සාධක පවතීද යන්න ගැන සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි.

දුර්භීක්ෂ යුගයන්
මහාවංශය වැනි වංශ කතා මූලාශ්‍ර සහ අට්ඨ කතා වල දැක්වෙන ආකාරයට අනුරාධපුර ශිෂ්ඨාචාරය ආරම්භයේ පටන්ම විවිධ අවස්ථා වලදී මෙරට දරුණු සාගත තත්වයන්ට මුහුණ දී ඇත. දුට්ඨගාමණී (ක්‍රි.පූ. 161-137), වට්ටගාමණී අභය හෙවත් වළගම්බා ( ක්‍රි.පූ 103 සහ නැවත ක්‍රි.පූ. 89-77) කුඤ්චනාග හෙවත් කුඩ්ඩනාග ( ක්‍රි.ව. 187-189), සිරිසංඝබෝධි ( ක්‍රි.ව. 247-249), පළමුවන උපතිස්ස (ක්‍රි.ව. 265-406) කිත්තිසිරිමේඝ හෙවත් කුඩා කිත්සිරිමෙවන් ( ක්‍රි.ව. 551-569), සිලාමේඝවණ්ණ (ක්‍රි.ව. 619 - 628) සහ දෙවන උදය ( ක්‍රි.ව. 887 - 898) යන රජවරුන්ගේ පාලන සමයන්හි මෙරටට බලපැවත්වූ සාගත තත්වයන් පිළිබඳව තොරතුරු එම මූලාශ්‍ර වලින් අනාවරණය වේ.

මේ අතරින් බැමිණිටියා සාය ලෙසින් හැඳින්වූ වට්ටගාමණී අභය රජුගේ කාලයේ ඇතිවූ සාගත තත්වය සහ එයින් භික්ෂුන් වහන්සේ ඇතුළු ජනතාව විඳි දුක් ගැහැට පිළිබඳව බොහෝ තොරතුරු වාර්තා වී ඇත. දිවිගලවා ගැනීම උදෙසා එම යුගයේ ඇතැමුන් මිනී මස් පවා අනුභව කල බව අට්ඨ කතා වල සඳහන් වේ. කෙසේ නමුත් අතරින් පතර ඇතිවූ මෙවන් සාගත තත්වයන් නිසා රට සහලින් ස්වයංපෝෂිත වූ අවධි එම යුගයේ නොපැවතිනි යැයි එකහෙලා පැවසීමට නොහැක. එක් අට්ඨ කතාවක පැවසෙන ආකාරයට එම බ්‍රාහ්මණතිස්ස භය පැවති කාලයේම සිතුල්පව්ව විහාරයේ භික්ෂූන් 12000 කට සහ තිස්ස මහා විහාරයේ එබඳුම ප්‍රමාණයක් වූ භීක්ෂූන්ට වර්ෂ 3 කට අවැසි තරම් ධාන්‍ය ගබඩාකර තිබී ඇත. එතරම් විශාල ප්‍රමාණයක ධාන්‍ය ගබඩා කර තැබීමට නම් නිෂ්පාදන අතිරික්තයක් අවම වශයෙන් භීක්ෂු සංඝයා සහ ප්‍රභූ පැලැන්තිය උදෙසාවත්  තිබිය යුතු බව පැහැදිලිය.
ඇලහැර යෝධ ඇල, වැඩි විස්තර සඳහා Link >>
සාගත බිය මැඩීමට රජුවරු අනුගමනය කල ක්‍රියාමාර්ග
"පොදොනවුලු පුලුඩාවුලුයෙන් කෙත් කම් සුලබ් කොට් සිරිලක් ළොන්ද්‍රර්වය් සා බිය නිවය්" -  ලෙසින් සලමෙය්වන් අබහය් මහ රජ ලෙසින් ලිපියේ තමා හඳුන්වාගන්නා රජෙකුගේ අනුරාධපුර ජේතවන විහාර පරිශ්‍රයේ තිබී හමු වූ පුවරු ලිපියක දැක්වෙන ලෙසට ඔහු අහස් දිය සහ වැව් දිය උපයෝගී කරගනිමින් කෘෂිකාර්මික කටයුතු උනන්දු කරවා සිරිලක සාගත බිය දුරු කොට එය සශ්‍රික කල බව සඳහන් වේ. (මෙම රජු පස්වන කස්සප/කාශ්‍යප (ක්‍රි.ව. 914 - 923 ) ලෙසින් හඳුනාගෙන ඇති අතර මෙහි එන "පොදොනවුලු පුලුඩාවුලුයෙන්" යන වචන පිළිවෙලින් අහස් දියෙන් සහ වැව් දියෙන් ලෙස සිරිමල් රණවැල්ල මහතා හඳුනාගන්නා මුත් ඒවා වැව් දෙකක නම් ලෙස එම ලිපිය මුල් වරට කියවා ප්‍රකාශයට පත් කල  Z. වික්‍රමසිංහ මහතාද, පර්ජන්‍ය සහ අග්නි යන දෙවිවරුන්ට යාතිකා කොට ලෙසින් සෙනරත් පරණවිතාන මහතාද අර්ථ කතනය කරයි. මෙයින් පරණවිතාන මතය එතරම් පිළිගත හැකි මට්ටමක නැත.)

මොණරාගල දිස්ත්‍රික්කයේ මාලිගාවිල අසල දඹේගොඩ බෝධිසත්ව පිළිම ගෙය තුල තිබී හමුවූ සිරිසඟබො මහ රජ්හු  තුමා ලෙසින් ලිපියේ ඔහුව හඳුන්වාගන්නා 5 වන මහින්ද (ක්‍රි.ව. 972 - 982 ) ලෙසින් හඳුනාගෙන ඇති රජතුමාගේ ටැම් ලිපියේ සඳහන් වන්නේ ඔහු " එ එ තන්හි සුන් වෑ බන්දවා පැවැත් වූ දියෙන් හෙළදිව්හි දුබික් පල්වා " ලූ බවයි එනම් ඒ ඒ තැන නටබුන් වූ වැව් බඳවා ජලය සපයා හෙළදිව දුර්භීක්ෂ නැති කල බවයි.  ඒ ආකාරයෙන් සාගත මැඩලීමට පෙර රජවරුන් නිරතුරුව ක්‍රියාමාර්ග ගත් මුත් දෙවන පරාක්‍රමබාහු සහ පළමුවන බුවනෙකබාහු (ක්‍රි.ව. 1272 - 1284) රජවරුන්ගේ සමයන්හීද මෙරට දුර්භීක්ෂ ඇතිවූ බවට තොරතුරු හමුවේ.

මේ අනුව පුරාතන සහ මධ්‍යතන යුගයන්හී මෙරට තුල වරින් වර දුර්භීක්ෂ තත්වයන් ඇති වුවද පාලකයන් නිරතුරුව ඒවා මැඩපැවැත්වීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගත් බවත් ඒ අනුව ආහාර බෝග නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් රටේ පරිභෝජනය උදෙසා අවශ්‍ය තරමින්වත් තිබෙන්නට ඇති බවත් අනුමාණ කල හැක. මුළු දිවයින පුරාම සියළු කල්හීම එකම තත්වයක් බලපැවත්වීද? එසේම ප්‍රභූ සහ සංඝ සමාජයේ සිට සමාජයේ පහල ස්ථරය නියෝජනය කල ගැමියන් දක්වා මේ තත්වය එසේම පැවතීද යන්න අවසාන නිගමනයකට එලඹිය හැකි කාරණා නොවේ.
ගිරිතලා වැව
පෙර රජ දවස ධාන්‍ය අපනයනය සහ ආනයනය
මෙරටින් සහල් අපනයනය කල බවට අපගේ වංශ කතා වල කිසිදු සඳහනක් හමු නොවන අතර ඒ පිළිබඳව ඇත්තේ  එකම එක සාක්ෂ්‍යක් පමණි. ඒ දකුණු ඉන්දීය සංගම් සාහිත්‍යට අයත් ක්‍රි.ව. 2 සියවසේ රචනා කෙරුණු ලෙස සැලකෙන පත්තුපාට්ටු නම් ද්‍රවිඩ සාහිත්‍ය කෘතියේ ඉල්ලත්තුනාවු නම් රටින් දකුණු ඉන්දීයාවට "ආහාර ද්‍රව්‍ය" ගෙන ආ බවට වන සඳහනයි. මෙහි සඳහන් ඉල්ලත්තුනාවු, ශ්‍රි ලංකාව ලෙස හඳුනාගන්නා අතර එම "ආහාර ද්‍රව්‍ය" මොනාවාද යන්න හෝ ඒ අතර සහල් පැවතීද යන්න අවිනිශ්චිතය.

මෙරට "පෙරදිග ධාන්‍යාගාරය" යන යෙදුම බොහෝවිට ඇතිවන්නට ඇත්තේ මේ එකම තොරතුර පාදක කරගෙන වීමට පුළුවන. එහෙත් මෙලෙස සැමකල්හීම මෙරටින් දකුණු ඉන්දීය ප්‍රදේශ වලට සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය අපනයනය සිදු කරන්නට ඇති බවට ඉන් නිගමනය කල නොහැක. ඇතැම් කාල වලදී දකුණු ඉන්දීය ප්‍රදේශ වල සහල් (හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය) හිඟ වූ විට, මෙරට අතිරික්තයක් තිබුණි නම් ඒවා ගෙන්වා ගත්තා විය හැක. අනෙක් අතට "ආහාර ද්‍රව්‍ය" ගැන මිසක් සහල් ගැන මෙම සාහිත්‍ය කෘතියේ කිසිවක් සඳහන් කර නැත.

කෙසේ නමුත් මෙරටට සහල් ආනයනය සිදු කල බවට වූ සාධක කිහිපයක්ම හමුවේ. ඒ අතරින් 9 වන සියවසේ විසූ සංචාරකයකු වන ඉබ්න් කුර්දාබේ (Ibn Khurdadbeh) සඳහන් කරන්නේ දකුණු ඉන්දියාවෙන් මෙරටට සහල් ආනයනය කල බවයි. එසේම 11 වන ශතවර්ෂයේ විසූ අල් ඉද්‍රිසි (Al-Idrisi) පවසන්නේ දකුණු ඉන්දියාවේ ජිර්බාතම් වරාය (Jirbatam) මෙරටට සහල් අපනයනය සිදු කල වරාය බවයි. මෙම සාධක වුවද සැම කල්හීම මෙරටට දකුණු ඉන්දීය ප්‍රදේශ වලින් සහල් ආනයනය කල බවට වූ සාධක ලෙස ගත නොහැකි අතර එම පුද්ගලයන් පවසා ඇති දේ සත්‍ය ලෙස සහ ඔවුන් පවසන්නේ මෙරට සම්බන්ධයෙන් තොරතුරු බව පිලිගත්තද ඒවා මුළු මහත් පුරාතන සහ මධ්‍යතන යුගයන්ට අදාල කරගන්නට යෑම එතරම් උචිත නොවේ. ඇතැම් කාල වල මෙරට අවශ්‍යතාවයට ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවන තත්වයන් යටතේ දකුණු ඉන්දීයාවේ සහල් අතිරික්තය මෙරටට ආනයනය කලා විය හැක.
ලොව විශාලතම ගඩොලින් කල නිර්මාණයක් ලෙස සැලකෙන ජේතවන දාගැබ (වැඩි විස්තර සඳහා  Link>> )
කෙසේ නමුත් රජරට ශිෂ්ඨාචාරය බිඳවැටීමත් සමග 16 වන සියවසේ කොරමන්ඩල් (Coromandel) සිට මෙරටට සහල් අපනයනය කල බවට වූ ප්‍රකාශ බාර්බෝසා (Duarte Barbosa) සහ වර්තෙමා(Ludovico di Varthema) වැනි පුද්ගලයන් තබා ඇත. මෙම සියළු කරුණු පසක තැබුවද රජරට ශිෂ්ඨාචාරය පැවැති යුගයේ ඉදිකර දැනටද විද්‍යාමාන සුවිසල් ඉදිකිරීම් පිළිබඳව විමසා බැලීමේදී පැවසිය යුත්තේ "පෙරදිග ධාන්‍යාගාර අතිශයෝක්තිය" කෙසේ වෙතත් යුද ගැටුම් ආදී පරසතුරු උවදුරු නොමැතිව ගෙවූ යුගයන්හී මෙරට සහලින් ස්වයංපෝෂිත ව තිබූ බවයි. නොමැති නම් එවැනි නිර්මාණ ඉදිකිරීමට තරම් ශක්ති සම්පන්න ශ්‍රම බලකායක් ඇතිවිය නොහැකි බැවිනි. සියල්ල නොරටට විකුණා ඉල්ලන් කන ආර්ථිකයක් බිහිකල විකුණුම්සිංහලාට සහ ඔවුන්ව එම තැනට ඔසවා තැබූ බත් කන ගව රැලට නම් සිව් වසරක් ගෙවී ගියද ඔවුන් පවසන පරිදි අවම වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසිකිලි නැති ලක්ෂයකට එක වැසිකිලියක්වත් සාදා දෙන්නටවත් හැකි වී නැත. සියල්ල වනසා සිය මඩි තරකරගනිමින් ලගදීම "ගෙදර යෑමට නියමිත" එම සොර මුලට රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ නම්බුනාමය කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේ රටක් වැනසූ පජාතම සොර මුලේ සම්මානය නම් මෙරට බත් කන බුද්ධිමත් ජනතාව හිමි කර දෙනු ඇත.

මූලාශ්‍ර
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 1,2  සංස්කාරක ආචාර්ය W.M.K. විජේතුංග, 2012
  • සමෙමාහ විනොදනී නම් වූ විභංගට්ඨ කථා අභිධර්ම පිටකය (සිංහල පරිවර්තනය), බී. එම්. පී. බාලසූරිය, 2007
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume I, D.M.D.Z. Wickremasinghe (1904 - 1912), 1912
  • History of Sri Lanka, W.I. Siriweera, 2012
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part I, Edited by Sirimal Ranawella, 2001
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part II, Edited by Sirimal Ranawella, 2004
  • ඉතා පැරණි සිංහල බණ කථා පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමි, 2001
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012

Sunday, February 25, 2018

ජනනාථමංගලම්හි ශිව දේවාල - "දළදා මාළිගය" නොහොත් අංක 1 ශිව දේවාලය

අනුරාධපුරය අගනගරය ලෙස තබාගනිමින් රාජ්‍යය විචාල සිංහල රාජාවලියේ  අවසාන රජු වන පස්වන මහින්ද (ක්‍රි.ව. 982-1017) මහාවංශය දක්වන පරිදි නීති මාර්ගයෙන් ඉවත් වූ, හැම ලෙසකින්ම මොළොක් වූ ජනපද වැසියෝ අයබදු පවා නොගෙවූ දුර්වල පාලකයෙකි. සේන සෙන්පතියා විසින් ගෙන එන ලද විදේශික ජනයා ගැවසුන අනුරාධපුර නගරයේ ඔහු දුක සේ දස වසරක් වාසය කලේය. සම්පත් හීන වූ ඒ රජු සිය සේනාවට වැටුප් ගෙවීමට පවා අසමත් විය. ඉන්පසු වැටුප් නොලැබූ කේරළයෝ කැරලි ගැසූ කල රජු උමගකින් නික්ම වහා රුහුණට පලා ගොස් පළමුව සීදුපබ්බත ගමෙහිද, පසුව කප්පගල්ලක නම් ගමෙහිද සිට රුහුණ පාලනය කරමින් බොහෝ කාලයක් විසූහ. රටේ විවිධ ප්‍රදේශ වල කේරලයෝද, සිංහලයෝද, කර්ණාටකයෝද කැමැති පරිදි ආධිපත්‍යය පැවත්වූහ.

ලංකාවේ වූ මේ අරාජිකත්වය පිළිබඳව විස්තර පරතෙරින් පැමිණි අශ්ව වෙළෙන්දෙක් ආපසු ගොස් චෝළ රජු හට දැන්වූහ. චෝළ රජු ඒ අසා බලසෙන් යවා පස්වන මහින්ද රජුගේ තිස් හයවන වසරේදී (ක්‍රි.ව. 1017) රජු ජීවග්‍රහයෙන් ගෙන, මෙහෙසිය සහ කොල්ලකාගත් රාජකීය කිරුල ඇතුළු සියලු වටිනා දේද සමගින් චෝළ රජු වෙත පිටත් කර යැවූහ. චෝළයන් අනුරාධපුරයේ සියළු වෙහෙර විහාර, ස්තූප බිඳ හෙලා ඒවායෙහි තිබූ වටිනා දේ රැගෙන පොළොන්නරුවේ සිට රක්ඛපාසාණකණ්ඨ නම් තැන සීමා කොට රජරට පාලනය කලහ. මහින්ද රජු දොළොස් වසරක් චෝළ දේශයෙහි වාසය කොට දිවංගත විය (ක්‍රි.ව. 1029 දී).

රටේ සම්පත් නොරටුන්ට විකුණා එදා වේල දුවන, සතුරු බළමුළු අභියස නිවටව කොන්ද නමනා හොරු රැලක් විනා, කොන්ද පණ ඇති පාලකයෙක් නොමැතිව වර්තමානයේ අප ජීවත් වන ලෙසින් වු අරාජික සමයක් මෙයට සියවස් ගනනකට පෙර දස වන සියවසේදී උදා වූ කල රට පරසතුරන් අතට පත් වී සිංහලද්වීපයේ කිරුල සියවස් භාගයක් හෝ එයට මදක් වැඩි කාලයකට (ක්‍රි.ව. 1017 - 1070 ) චෝළයන් අතට පත් වූ ආකාරය මහාවංශය විස්තර කරන්නේ එලෙසිනි.
ශිව දේවාලය අංක 1 ගර්භගෘහය - බටහිර දෙසින්
චෝළයන් යටතේ මුළු ලංකාවම ඔවුන්ගේ දැවැන්ත චෝළ අධිරාජ්‍යයේ එක් ප්‍රාන්තයක් ලෙස පාලනය විය. ඔවුන්ට ලංකාව මුම්මුඩිචෝළ මණ්ඩලම් විය. 'මුම්මුඩි චෝළ' යනු චෝළ අධිරාජයෙකු වූ පළමුවන රාජරාජගේ (ක්‍රි.ව.  985 - 1014) ප්‍රකට විරුදයකි. මුම්මුඩිචෝළ මණ්ඩලම්හි අගනුවර ජනනාථමංගලම් හෙවත් ජනනාථපුරම් ලෙස චෝළයන් නම් කල එතෙක් පුළත්ථිපුර (පොළොන්නරුව, පුලතිස්පුරය,  ඛන්ධාවාරපිට්ඨිය හෙවත් කඳවුරු නුවර Link >>) ලෙස හැඳින්වුන නගරයයි. සිංහල බලය තවමත් ඉතිරි වී තිබූ රුහුණු රටින් සහ මලය රටින් එන ප්‍රතිරෝධයට මුහුණ දීමට එය මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක් විය.
ශිව දේවාලය අංක 1 - දකුණු දෙසින්
චෝළ ආධිපත්‍යය මෙරටට දැඩිව බලපෑ මෙම යුගයේ හෝ ඉන්පසු කාලයේ ඉදි කල හින්දු ආගමික ස්ථාන අවම වශයෙන් 14 පමණ මෙරට පුරාවිද්‍යා ගවේෂණ කාර්යයෙහි පුරෝගාමියා වූ H.C.P. බෙල් මහතා විසිවන සියවසේ මුල් දශකයේදි  වර්තමාන පොළොන්නරුව පැරණි නටබුන් පිහිටි පෙදෙසින් සොයාගනු ලැබිය. මෑත කාලයේ ආලාහන පිරිවෙන සංකීණයේ කැනීම් වලින්ද තවත් ගඩොලින් කල දේවාලයක් හමු වි ඇත.
ගර්භගෘහය තුල ඇති ශිව ලිංගය -ශිව දේවාලය අංක 1
මේ අතුරින් පොළොන්නරුව ඇතුළු නගරට පිවිසෙන ප්‍රධාන දොරටුවට මඳක් උතුරු දෙසින් දළදා මළුවට ආසන්නව පිහිටි ශිව දේවාලය, අංක 1 ශිව දේවාලය ලෙසින් නම් කර ඇත. මේ වන විට භාවිතයේ නැතත් පොළොන්නරුවේ නටබුන් සොයා ගත් මුල් කාලයේ සිටම මෙම කළුගලින් කල ගොඩනැගිල්ල 'දළදා මාළිගාව' ලෙසින් වරදවා හඳුන්වනු ලැබිණි. මේජර් පොර්බ්ස් සහ එමර්සන් ටෙනන්ට් වැනි බ්‍රිතාන්‍ය ලේඛකයන්ද සිය සංචාරක විස්තරයන්හි මෙම ගොඩනැගිල්ල 'දළදා මාළිගය' ලෙසින් හඳුන්වා ඇත (සිත් ඇදහන්නා සුළු විස්තරයක් ඇතුලත් ඔවුන්ගේ සංචාරක සටහන් වෙනත් ලිපියක් මගින් ඉදිරියේදී ඉදිරිපත් කීරිමට බලාපොරොත්තු වෙමි.) බදාම භාවිතයකින් තොරව කළු ගල් කුට්ටි එක මත එක තබා මෙම ශිව දේවාලය ඉදිකර ඇත. එම ලක්ෂණය වෙනත් බොහෝ කළුගලින් කල පොළොන්නරු යුගයේ ගොඩනැගිලි වලද දැකිය හැක. අංක 1 ශිව දේවාලය 11 - 12 සියවස් වල ඉදි කල බවට විශ්වාස කරන අතර එය පාන්ඩ්‍යය ගෘහනිර්මාණ ශෛලයට අනුකූලව ඉදි කර ඇති බව පැවසේ.
ශිව ලිංගය, ලිංගය දෝවනය කරන ජලය පිටවීම සඳහා කලු ගලින් කල පිහිල්ල (සෝමසුත්‍ර) සහ එම ජලය එකතු වීම සඳහා පිටත ඉදි කල කලු ගලින් නිර්මිත වල 
 මෙම දේවාලයද හින්දු දේවාලයක ප්‍රධාන කොටස් වන එහි ඇතුලතින්ම පිහිටි කොටස වන කළු ගලින් සහ ගඩොලින් කල ශිඛරයකින් (හෙවත් විමානය) යුතු ගර්භගෘහයකින්, එයට ඉදිරියෙන් පිහිටි අන්තරාලයකින් සහ පිටතින්ම පිහිටි මණ්ඩපයකින් සමන්විතය. ගර්භගෘහය තුල වන්දනාමාන සඳහා පිහිටවූ ශෛලමය ශිව ලිංගයක් ඇති අතර උත්සව අවස්ථා වලදී හෝ බැතිමතුන් වන්දනා කිරීමේදී ශිව ලිංගය දෝවනය කරන ජලය පිටවීම සඳහා කලු ගලින් ඉදි කල පිහිල්ලක් (මෙය සෝමසුත්‍ර ලෙසින් හැඳින්වේ) සහ එම ජලය එකතු වීම සඳහා පිටත ඉදි කල කලු ගලින් නිර්මිත වලක්ද දැකිය හැක.
පිටත බිත්ති වල දැකිය හැකි කැටයම් සහ කුඩා කුටීර තුල තැන්පත් කර තිබි විනාශ වූ පිළිමයක යට කොටස.
 ගර්භගෘහයේ සහ අන්තරාලයේ පිටත බිත්ති වල කළු ගලින් කල කුඩා කුටිර දැකිය හැකි අතර ඒවායෙහි සෙල්මුවා දේව රූප තැන්පත් කර තිබී ඇති බව දැනටද දැකිය හැකි සුන් බුන් වූ පිළිම කොටස් වලින් පැහැදිලි වේ. එසේම ගර්භගෘහයේ බිත්ති වල කුළුනු හැඩැති කලු ගලින් නිර්මිත කැටයම් කල කොටස් දැකිය හැක. මෙම කුළුනු අතරද විවිධ රූප කැටයම් කර ඇති අතර ඒ අතර දක්නට ඇති අගස්ති සෘෂිවරයාගේයැයි පැවසෙන තවත් පුද්ගලයෙකු සමග සිටින රූප දෙකක් වැදගත් වනුයේ ඒවා පරාක්‍රමබාහුගේ යැයි ප්‍රකට පොත්ගුල් වෙහෙර අසල පිහිටි පිළිමයට බෙහෙවින්ම සමාන හෙයිනි.
කුළුණු හැඩයට කළුගලින් නිර්මිත කොටස්
මෙම ශිව දේවාලයේ 1907 වසරේ සිදු කල කැනීම අතර තුරදී හමුවු ලෝකඩ හින්දු දේවරූප රාශිය මේ වන විට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. නටරාජ පිළිමයක්, ශිව සමග පාර්වති සිටින පිලිරූ දෙකක්, පාර්වති දෙවඟනගේ පිලිරූ දෙකක්, ශෛව සාන්තුවරයෙක් වන මානික්කවාචගර්ගේ පිළිරුවක්, තවත් ශෛව සාන්තුවරයෙක් වන අප්පාර් ස්වාමිගේ පිලිරූ දෙකක් සහ සීනුවක් එම හමුවූ පුරාවස්තු අතර වේ.
පොත්ගුල් වෙහෙර අසල දැකිය හැකි පරාක්‍රමබාහුගේ යැයි ප්‍රචලිත පිළිමයට සමාන ලක්ෂණ දැකිය හැකි හින්දු සෘෂිවරයෙක් වන අගස්ති දැක්වෙන පිලිරූ
මූලාශ්‍ර
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Three, Architecture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Heritage of Rajarata, Chandra Wikramagamage, 2004
  • Archaeological Survey of Ceylon North-Central Northern And Central Provinces, Annual Report 1907, H.C.P. Bell, 1911
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
  • Sri Lanka And The Cholas, W.M.K. wijetunga, 2003
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 2, සංස්කාරක ආචාර්යW.M.K. විජේතුංග, 2012
  • Bronzes From Ceylon in The Colombo Museum, By Ananda K. Coomaraswamy, D.Sc. Edited by Pearson, D.Sc., F.L.S.1914