Showing posts with label Uva rata. Show all posts
Showing posts with label Uva rata. Show all posts

Saturday, June 2, 2018

ජෝන් ඩේවි සමග රුවන්වැල්ලෙන් නුවරඑළිය පතනට...

බදුල්ලේ සිට මහනුවරට තිබූ පැරණි මාර්ගයක් පිළිබඳව වූ පෙර ලිපියකදි ජෝන් ඩේවි පිළිබඳව සහ මැක්ඩොනල්ඩ් බලකොටුවේ සිට මහනුවර දක්වා ඔහු ගමන් කල මාර්ගය පිළිබඳව විස්තර ඉදිරිපත් කලෙමි. එම ලිපිය කියවීමට>> Mcdonald සිට මතුරටට, ඩේවි ගිය මග ඔස්සේ..
එහිදි ඩේවි මැක්ඩොනල්ඩ් බලකොටුවට කතරගම දෙස සිට සහ කොත්මලේ දෙස සිට අවස්ථා දෙකකදි පැමිණි බව සඳහන් විය. මේ ලිපිය ඔහු කොත්මලේ දෙස සිට මැක්ඩොනලඩ් බලකොටුවට පැමිණි මාර්ගය පිළිබඳවයි.

1819 අගෝස්තු 29 වන දින කොළඹින් පිටත් වන ඩේවි රුවන්වැල්ල (Ruwenwelle) දක්වා ආණ්ඩුකාර බ්‍රවුන්රිජ් සහ එම ආර්යාව සමග ගමන් කල අතර එම මාර්ගය පැරණි කොළඹ-මහනුවර මාර්ගයම වේ. තවද ඩේවි මෙම කොටසේදී එම මාර්ගය පිළිබඳව විස්තර ඉදිරිපත් නොකර රුවන්වැල්ලේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා ඔහුගේ ගමන් මග පිළිබඳව පමණක් තොරතුරු ඉදිරිපත් කරන බැවින් සහ පැරණි කොළඹ-මහනුවර මාර්ගය පිළිබඳව ඉදිරියේදි වෙනම ලිපියකින් කරුණු ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වන බැවින් අපද ඔහු අනුගමනය කරමින් රුවන්වැල්ලේ සිට ඉදිරියට මාර්ගය ගැන පමණක් විමසා බලමු.

අගෝස්තු 23 වන දින රුවන්වැල්ලෙන් පිටත් වන ඩේවි එම දිනය තුල සැතපුම් 10 ක පමණ දුර ගමන් කර පහල බුළත්ගම (Lower Boulatgamme) පලාතට අයත් ගනේපල්ලට (Ganepali) ලඟා වේ. එම මාර්ගය මද වශයෙන් කඳු සහිත දුෂ්කර මාර්ගයක් බවත්, එහි වගා කල ප්‍රදේශ එතරම් හමු නොවූ බවත්, රැවන්වැල්ල අසල ප්‍රදේශයෙ හැරුන විට ජනයා පදිංචි වි සිටි ස්ථාන ඉතාමත් අඩු බවත් ඩේවි පවසයි. මාර්ගයේ බොහෝ දුරක් ඝනව වැඩුන බඩවැටි සහ වනාන්තරය පමණක් වරින් වර හමු වූ අතර, අලි ඇතුන් බහුල වනාන්තරයේ ප්‍රධාන වශයෙන් වේවැල් විශේෂයක් බහුලව දක්නට ලැබුන බවත් ඔහු වැඩිදුරටත්  විස්තර කරයි.

කෙසේ නමුත් ඔහුට අලි සිටි බවට සලකුණු විනා එකදු අලියෙක්වත් හමු වී නොමැත. මෙහිදි මාර්ගයේ ගමන් කරන විට වල් අලි උවදුරින් බේරිම උදෙසා යොදා තිබූ සරල එහෙත් ඵලදායි උපක්‍රමයක් ඩේවි විස්තර කරයි. එනම් පටු අඩි පාරක් වූ මාර්ගයේ හරහට පොළවේ සිට අඩි 5 පමණ උසින්  තැනින් තැන කණුවක් හෝ දෙකක් බැඳ තැබීමයි. මිනිසුන් හෝ සතුන් තනාගත් මාර්ග වල පමනක් යා හැකි තරමට ඝන වූ මේ වනයේ එවන් පටු අඩි පාරක හරහට ඇති එවැනි කපොල්ලක් යටින් මිනිසෙකුට පහසුවෙන් පැන ගත හැකි මුත්, ඔහුව හඹා එන අලියෙකුට එය ලේසි පහසු කාර්යයක් නොවේ.

එම ගමන් මගේදී ඩේවි හට කුඩා දිය පාරවල් විශාල ගනනාවක් හමුවන මුත් ඒ අතරින් ගංවතුර කාලයේදී එගොඩ විය නොහැකි තරම් තරමක විශාල ඔය වල් දෙකක් ගැන ඩේවි විශේෂයෙන් සඳහන් කරයි. රැවන්වැල්ලේ සිට සැතපුම් හතරක් පමණ ගිය විට හමුවන වේ ඔය (Wahoya) සහ එතැන් සිට තවත් සැතපුම් දෙකක් පමණ දුරකදී හමුවන එක්හිඔය (Hicke oya) යන එම ඔය වල් දෙකම කැළණි ගඟේ (Kalany ganga) අතු ගංගා බව ඩේවි නිවැරදිව පවසයි. ඒ අතරින් තරමින් විශාල වේ ඔය ඔහු එක් වරක් පමණක් තරණය කල මුත් කරදරකාරී වූ එක්හීඔය අවම වශයෙන් දහසය වතාවක්වත් තරණය කිරීමට ඔහුට සිදුවූ අතර, ඇතැම් අවස්ථා වලදි මාර්ගය එහි පත්ල හරහාද ගමන් කල බව ඩේවි විස්තර කරයි. වේ ඔය තොටුපලේ සිට සැතපුමක් පමණ දුරකදි එහි වම් ඉවුර ඔස්සේ මාර්ගය මද දුරක් වැටි තිබූ බව පවසන ඩේවි Baliakudah ella ලෙසින් ඒ අසලදි එම ගඟ හැඳින්වූ මුත් එය වේ ඔයම විය හැකියැයි පවසයි.
සිතියම 1 - රුවන්වැල්ලේ සිට ගනේපල්ලට මාර්ගය (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )
රුවන්වැල්ලේ සිට ගනේපල්ලට මාර්ගය හඳුනාගැනීම
රුවන්වැල්ල මෙන්ම ගනේපල්ලද අද දක්වා එම නම් වලින්ම හඳුනාගත හැකි ස්ථාන වේ. එම මාර්ගයේ හමුවන වේ ඔය මෙන්ම හික්කේ ඔය ලෙසින් ඩේවි හඳුන්වන එක් හී ඔයද පැරණි අඟලේ සිතියම් වල ඒ ආකාරයෙන් ලකුණු කර ඇත. ඩේවි පවසන ලෙසට මේ ස්ථාන දෙක අතර මුළු දුර සැතපුම් 10 කි. වර්තමාන මාර්ග ඔස්සේද රුවන්වැල්ලේ සිට ගනේපල්ල දක්වා දුර අඩු වැඩි වශයෙන් සැතපුම් 10 කි. පැරණි මාර්ග බොහෝවිට ගංගා නිම්න ඔස්සේ විහිදී තිබූ බවට වන උපකල්පනය ඔස්සේ ගත් කල අඩු වැඩි වශයෙන් වර්තමාන මාර්ගය වැටී තිබෙන අයුරින් රුවන්වැල්ලේ සිට කරවනැල්ල හරහා යටියන්තොටට පැමිණ යටියන්තොටින් වේ ඔය තරණය කරන මාර්ගයම පැරණි මාර්ගය වීමට බොහෝ දුරට ඉඩ ඇත. වේ ඔය එතර විමෙන් අනතුරුව මාර්ගය එහි වම් ඉවුරු ඔස්සේ මද දුරක් වැටී තිබුන බව ඩේවි පවසන බැවින් එතැන් සිට මාර්ගය වර්තමාන A7 මාර්ගයට සමාන්තරව නොයා පරුස්සැල්ල දෙසට ගොස් ඉන්පසු නවට දෙසට යොමුව විහිදුන බව පෙනේ (සිතියම 1 බලන්න). ඩේවි සඳහන් කරන Baliakudah ella හඳුනාගත නොහැක. අනතුරුව නවට අසලදී එක් හී ඔයෙන් එතෙර වී මාර්ගය බොහෝදුරට ඔය ඔස්සේ විහිදී තිබුන බව පැහැදිලි වන්නේ ඩේවි සඳහන් කරන ලෙසට එය අවම වශයෙන් 16 වතාවක්වත් එක් හී ඔය හරහා යාමට නම් එලෙස යා යුතු බැවිනි (සිතියම 2 බලන්න). එම ස්ථානයේ සිට ගනේපල්ලට ඇති කෙටිම ගමන් මගද එයයි. රුවන්වැල්ලේ සිට වේ ඔයට ඩේවි පවසන සැතපුම් 4 ඉහත අනුමාණ කල මාර්ගය ඔස්සේද ආසන්න වශයෙන් සමාන වන අතර, එතැන් සිට එක් හී ඔයට ඇති සැතපුම් 2 දුරද නිවැරදිය. වේ ඔය තොටුපලේ සිට සැතපුමක දුරකින් මාර්ගය එහි ඉවුර ඔස්සේ වැටි තිබූ බවට වන සඳහනද මේ මාර්ගයේ පැහැදිලිවම සලකුණු වේ.
සිතියම 2 - වේ ඔය දෙසින් පැමිණ එක් හී ඔයෙන් එතෙර වූ ස්ථානයේ සිට ගනේපැල්ල දක්වා එක් හී ඔය ඔස්සේ වැටී තිබෙන්නට ඇති මාර්ගය.
වල් අලි ගහණ ඩේවි සඳහන් කරන ඉහත වනාන්තර සියල්ලම පාහේ පසු කලක ඩේවිගේ රටේ ඇත්තන් ප්‍රධාන වශයෙන් රබර් වගාව සඳහාත්, තේ වගාව සඳහා සුළු වශයෙනුත් හෙලි කර ඇත.

ගනේපල්ල
පළමු දින රාත්‍රිය ඩේවි ගත කරන්නේ වනාන්තර වැස්ම සහිත අඩි දෙතුන් දාහක් පමණ උසට විහිදුනු කඳු සහිත නිම්නයක තිබූ ගනේපල්ල අම්බලමේය. එහි වහලය දින කිහිපයකට පෙර වල් අලි විසින් ගලවා දමා තිබී ඇත. ගනේපල්ල ගම මිනිසුන් 20 කට නොවැඩි ප්‍රමාණයක් ඒ වන විට වාසය කල එක්හීඔයෙන් වටවූ වෙල් යායක කෙලවර නිවාස තනා තිබූ කුඩා ගමකි.
කඳු වලින් වටවූ ගනේපැල්ල ගම (මෙම කඳු වල වනාන්තර වෙනුවට අද ඇත්තේ රබර් වගාවන්ය)
දෙවෙනි දින තුල ඩේවි ඉහළ බුලත්ගම (Upper Boulatgamme) පළාතට අයත් අඹගමුව (Ambigammue) දක්වා ගමන් කරයි. එම ගමනේදී ඔහුට දැනගන්නට ලැබුන පරිදි ඔහු ගව් 2.5 (ඩේවි පවසන ලෙසට සැතපුම් 10 පමණ දුරක්) ගමන් කර ඇත. එහෙත් ඔහු සිතන පරිදි එම දුර එයට වඩා වැඩි විය යුතුය. ගනේපල්ලේ සිට සැතපුම් 2 පමණ දුරකදි ඔහු බිබිලි ඔය (Bibile Oya) තරණය කරයි. එතැන් සිට තවත් සැතපුමක් ගිය තැන ගිරන්කිත්තෙ ඔයෙන්ද (Gerankitty oya) එතර වි සැතපුම් 4ක පමණ දුරක් ගෙවා කිතුල්ගලට (Kitoolgulle) පැමිණේ. එම ගමන් මග මුල් කොටසේදී කඳු සහිත වනාන්තර පෙදෙසක් හරහාද, ඇතැම් අවස්ථා වලදි කැළණි ගඟ ඉවුර ආසන්නයෙන්ද ගමන් කර ඇත.
කිතුල්ගල තානායම අසලදී කැළණි ගඟ
ඩේවි උදෑසන ආහාරය සඳහා කිතුල්ගල ඒ වන විට අතහැර දමා තිබූ මුරපලක නවතින අතර එහි 1818 උඩරට කැරැල්ල අවධියේ ඉංග්‍රිසි හමුදාවේ සෙබලුන් රැදී සිට ඇත. එය වගා කල තැනිතලා බිමක පිහිටා තිබූ බවත්, එම ස්ථානයේ සිට සැතපුම් 2ක දුරකදි කැළණි ගඟ යාත්‍රා කල හැකි ආකාරයේ වූ බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි. කිතුල්ගල සිට මාර්ගය අතිශයෙන්ම දුෂ්කර කඳුකර මාර්ගයක් නමුත් දර්ශනීය පෙදෙසක් හරහා වැටී තිබූ බව ඩේවි පවසයි. එම දර්ශනය මෙන්ම කඳුකර සීත සුළං නිසා වනාන්තරය හරහා වැටි තිබූ සෙවණ සහිත මාර්ගය  ගමන් වෙහෙස දුරු කල බව ඔහු විස්තර කරයි. එක් පසකින් පහලින් පිහිටි කඳු වලින් වටවූ අඹගමුවේ වගා කල හරිත වර්ණ කුඹුරු යාය දිස්වන අතර අනෙක් පස වලාකුලින් වැසුන ශ්‍රිපාද කන්ද (Adam's Peak) සහ කේතු ආකාර කඳු මුදුන් වලින් සමන්විත එම කඳු වැටිය දිස්විය. එමෙන්ම මහවැලි ගඟට (Mahawelle river) සැතපුම් දෙකකටත් වඩා අඩු දුරක් තිබියදි, කෙහෙල්ගොමු ගඟ (Kalugammua ganga) සමග එක්වී අවසානයේ කැළැණි ගඟ බවට පත්වන මස්කෙළිය ඔයේ (Maskelli ganga) හඬ ඇසෙන, එය දකින මානයෙන් මාර්ගය වැටි තිබිණ.
ගනේපල්ලේ සිට කිතුල්ගල දක්වා මාර්ගය
ගනේපල්ලේ සිට අඹගමුව දක්වා මාර්ගය හඳුනාගැනීම
මාර්ගයේ මේ කොටසේදි ඩේවි සඳහන් කරන බිබිල ඔය, ගිරන්කිත්තේ ඔය, කිතුල්ගල, කෙහෙල්ගොමු ගඟ, මස්කෙලි ඔය මෙන්ම අඹගමුවද පැහැදිලිව හඳුනාගත හැක. ගනේපල්ලේ සිට මාර්ගය නැවතත් වර්තමාන A7 මාර්ගය දෙසට ගොස් එතැන් සිට ඒ ඔස්සේ විහිදී තිබූ බව ඩේවිගේ විස්තරය සහ ඔහු ඉදිරිපත් කරන ගනේපල්ලේ සිට බිබිලි ඔයට, එතැන් සිට  වර්තමාන කිතුල්ගල තානායම අසලින් කැළණි ගඟට වැටෙන ගිරන්කිත්තේ ඔයට සහ කිතුල්ගලට ඇති දුරවල් අඩු වැඩි වශයෙන් වර්තමාන A7 මාර්ගය ඔස්සේ ඇති දුරවල් වලට සමාන වීමෙන් වටහා ගත හැක. කෙසේ නමුත් ඩේවි සඳහන් කරන මුරපොල  පිහිටා තිබූ ස්ථානය මේ වන විට පැහැදිලි නැත.

කිතුල්ගල සිට අඹගමුවට මාර්ගයද බොහෝ දුරට වර්තමාන A7 මාර්ගය ඔස්සේ හෝ එයට සමාන්තරව තිබෙන්නට ඇති බව පෙනේ. ඩේවි පවසන අඹගමුව පෙදෙසේ කුඹුරු යාය වල් එක් පසකත් ශ්‍රි පාද කඳු වැටිය අනෙත් පසත් දිස්වන්නට ඇත්තේ ගිනිගත්හේන අසලදි වීමට ඉඩ ඇති බව පහත සිතියමේ දැක්වෙන භූ විෂමතාවය දෙස බැලූ විට පෙනේ.
කිතුල්ගල සිට අඹගමුවට මාර්ගය
ඩේවි පවසන ලෙසට කෙහෙල්ගමු ඔය සහ මස්කෙලි ඔය එක්වී සෑදෙන කැළණි ගඟ සහ මහවැලි ගඟ එකිනෙකට ආසන්නයෙන් පිහිටා ඇති අයුරු. ඔහු පවසන ලෙසට මාර්ගයේ මහවැලි ගඟට සැතපුම් 2 කටත් වඩා අඩු දුරක් තිබියදීත් මස්කෙලි ඔයේ හඬ ඇසේ
අඹගමුව 
සතර දෙසින්ම කඳු වලින් වටවූ අඹගමුව ගම්මානයට ඒ වන විට කැරැල්ල සමයේ වනයේ සැඟවි සිටි ගම්මු නැවතත් පැමිණ සිටි අතර, ඉංග්‍රිසින් විසින් විනාශ කල ඔවුන්ගේ පැරණි ගේදොර වෙනුවට වාසය කිරීම සඳහා කුඩා මඩු සාදා ගෙන සිටි බව ඩේවි හෙළි කරයි. ඉංග්‍රිසීන්ගේ මුරපොල ඒ වන විට අතහැර දමා තිබූ හෙයින් එය ගොවිපොලක් බවට පත්කරගෙන තිබී ඇත. පැරණි ගෙයක් හැර එහි තිබූ සොල්දාදුවන්ගේ නිවාස සියල්ල බිමට සමතලා වි තිබිණ. මේ ඉසව්වේදී එහි ආරම්භක කඳු මතින් පැනනැගි අලුතම පාහේ වූ මහවැලි ගඟ පැරණි මුරපොල අසලින් දනක් පමණ වතුර ඇතිව ගලා ගියේය.
සිතියම 3
පස්බාගේ
පසු දින එම මහවැලි ගඟ Kawataroo Oya සමග එක්වන ස්ථානයෙන් එතෙර වී ඩේවි සැතපුම් 8 ක් දුරින් වූ පස්බාගේ (Passbage) දක්වා ගමන් කරයි. ගඟ ගලා යන දෙසටම ඒ අසලින් වැටි තිබූ මාර්ගය වගා කර තිබූ විවෘත නිම්නය ඔස්සේ වැටි තිබිණ. කැරැල්ල සමයේ මෙහිද ගඟේ සිට මීටර් 50 පමණ ඉහල කඳු මුදුනක මහවැලි ගඟ සහ කොත්මලේ ඔය (Kotmale ganga) එක්වන ස්ථානයේ මුරපොලක් තිබී ඇත. මාස 12 කට පමණ පෙර ඩේවි රැයක් ගත කල එම ස්ථානයේ කිසිදු සලකුණක් ඒ වන විට ඉතිරි වී තිබී නැත. කැරැල්ල සමයේ සැඟව සිටි ඒ අසල පිහිටි ඉඩම් වල වගා කල ගම්මුන් ඒ වන විටත් නැවත පැමිණ සිට නැත. කිසිදු ගොඩනැගිල්ලක් නොතිබුන හෙයින් ඩේවි එදින විවෘත භූමියේ රැය ගත කරයි.
සිතියම 4 
අඹගමුවේ සිට පස්බාගේ දක්වා මාර්ගය හඳුනාගැනීම
ඩේවි අඹගමුවේ සිට මහවැලි ගඟට Kawataroo Oya නම් වූ ඔයක් එක්වන තැනකින් එතෙර වූ බව පවසයි. සිතියම් වල එම නම සොයාගත නොහැකි වුවද අඹගමුවේදි මහවැලි ගඟට එහි වම් ඉවුර දෙසින් එකතු වන ඔය, ඩේවි සඳහන් කරන ඔය බවට පහසුවෙන් හඳුනාගත හැක (සිතියම 3). තුන්වන දින ඩේවි අඹගමුවේ සිට සැතපුම් 8 ක දුරක් ගොස් ඊට පසු දින කොත්මලේ ඔය මහවැලි ගඟට එක්වන ස්ථානයෙන්  ඔරුවක ආධාරයෙන් එගොඩ වූ බව සහ මාර්ගය ගඟ ගලා යන දෙසටම ඒ අසලින් වැටී තිබූ බව පවසයි. මේ සියළු තොරතුරු වර්තමානයේ අඹගමුවේ සිට නාවලපිටිය හරහා කොත්මලේ ඔය, මහවැලි ගඟ හා එකතු වන පල්ලේගම ලෙසින් මේ වන විට හඳුන්වන ස්ථානයට නිම්නය ඔස්සේ ගමන් කරන B319 සහ ඉන්පසු AB13 යන මාර්ග වලට මැනවින් ගැලපේ. පස්බාගේ ලෙසින් ඩේවි හඳුන්වන කොත්මලේ ඔය මහවැලියට එකතු වන ස්ථානයට එම නම වර්තමානයේ ව්‍යවහාර වන බවක් නොපෙනේ. අද පස්බාගේ කෝරලය යනු මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයකි. නාවලපිටිය මෙන්ම ඉහත සඳහන් කල පල්ලේගමද අයත් වනුයේ එම ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයටය. ඩේවි සඳහන් කරන කොත්මලේ ඔය මහවැලි ගඟට එක්වන ස්ථානයේ ගඟේ සිට මීටර 50 උස කඳු මුදුනක පිහිටා තිබූ  මුරපොල තිබූ කන්දද හඳුනාගැනීම එතරම් අපහසු නැත (සිතියම 4 බලන්න.)
අඹගමුවේ සිට පස්බාගේ දක්වා ගමන් මාර්ගය
පසුදින උදෑසනම ගමන් අරඹන ඩේවි ඔරුවක ආධාරයෙන් මහවැලි ගඟ තරණය කර  මගපෙන්වන්නෙකු නොමැතිවම පුසුල්පිටිය (Pouhalpittye) දක්වා ගමන් කරයි. කොත්මලේ ප්‍රදේශයේ ඉංග්‍රිසි මුරපොල පුසුල්පිටියේ තිබී ඇත. එම මුළු දුර සැතපුම් 7 පමණ වන බව ඩේවි පවසයි. ගඟ තරණය කල ස්ථානයේ සිට සැතපුම් 3 පමණ එක දිගට තිබූ නැග්මත් සමග සැලකිය යුතු උසකට ලගා වුන බවත්, එම ගමනේදි බොහෝ කුඩා දොළ පාරවල් තරණය කරමින් අතහැර දමා තිබූ කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයක් පසු කරමින් ගමන් මග යෙදී තිබූ බවත් ඩේවි පවසයි. තවද කැරැල්ල සමයේ අතහැර දමන ලද නටබුන් වූ ගම්මාන කිහිපයක්ද ඔහුට මේ කොටසේදී හමුවී ඇත. එතැන් සිට බෙහෙවින් බෑවුම් සහිත මාර්ගයක කොත්මලේ ඔය නිම්නයට බැස නැවතත් මද දුරක් ඉහලට නැග පුසුල්පිටිය දක්වා ඔහු පැමිණේ. කඳු වටා වැටි තිබූ එම මාර්ගයේ ගම්මාන දෙක තුනක් පමණක් සහිත බාගෙට වගා කල කුඹුරු ඉඩම් කැරැල්ලේ දරුණු සලකුණු පෙන්වන බව ඩේවි පවසයි.

පස්බාගේ සිට පුසුල්පිටිය දක්වා ගමන් මග හඳුනාගැනීම
ඩේවිගේ විස්තරයට අනුව ඔහු මහවැලි ගඟින් එතර වී කොත්මලේ ඔයේ වම් ඉවුර ඔස්සේ ගමන් කල බව පැහැදිලි වේ. සැතපුම් 3 පමණ එක දිගට තිබූ නැග්ම හපුගස්තලාව කඳු මුදුනට විය යුතුය. ඉන් අනතුරුව එවැනිම ශ්‍රිඝ්‍ර බැස්මක් ඔස්සේ ඔහු කොත්මලේ ඔය නිම්නයට බැස ගමන් කරයි. පුසුල්පිටිය මුරපොල තිබූ ස්ථානයට ලඟා වීම සඳහා අනතුරුව ඔහු නැවතත් මද දුරක් ඉහලට ගමන් කරයි. අද වන විට පුසුල්පිටිය ගම්මානයේ කොටසක් මෙන්ම කොත්මලේ ඔය නිම්නයේ තිබූ බොහෝ කුඹුරු ඉඩම්, ගම්මාන කොත්මලේ ජලාශයට යටවී ඇත. ජලාශය සෑදිමට පෙර පැරණි අඟලේ සිතියම් වල පෙන්වන අඩි පාරවල් සහ ඩේවිගේ ගමන් විස්තරය අනුව අනුමාණ කල මාර්ගයක් පහත සිතියම් වල දක්වා ඇත.
සිතියම 5 - නිල්පාටින් පැරණි අඟලේ සිතියම් වල ලකුණු කර තිබූ අඩි පාරවල් දක්වා ඇත. දම්පාටින් දක්වා ඇත්තේ වෙනත් මාර්ගයන්ය. (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )

සිතියම 6 - පස්බාගේ සිට පුසුල්පිටිය දක්වා අනුමාණ කරන මාර්ගය  (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )

කොත්මලේ ඔය නිම්නයේ හෙල්මළු ක්‍රමයට වගා කල කුඹුරු 
පුසුල්පිටිය
ඩේවි එදින ගඟේ වම් ඉවුරේ කඳු මුදුනක වූ පුසුල්පිටිය මුරපොලේ රැය ගත කරයි. එම ස්ථානයට දක්නට ලබුනු චමත්කාර ජනක දර්ශනය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන ඩේවි එහි සිට දකින්නට ලැබුණ තිස්පනේ (Tispane) ගම පිළිබඳවද පවසයි (සිතියම 5 බලන්න)
කොත්මලේ ඔය නිම්නයේ හෙල්මළු ක්‍රමයට වගා කල කුඹුරු ඈතින් දිස්වන්නේ කොත්මලේ ඔය ජලාශයයි
පසුදින උදෑසන ඩේවි ඒ වන තෙක් කිසිදු යුරෝපිය ජාතිකයකු ගමන් නොකල මාර්ගයක් ඔස්සේ ඌව (Ouva) දෙසට ගමන් අරඹයි. නිම්නය ඔස්සේ ඉහලට ගමන් කරන හෙතෙම එයට හරියටම සෘජුකෝනාකාරව පිහිටි වෙනත් නිම්නයකට පිවිසේ. ඒ සශ්‍රික කුඩා දිඹුල (Dimbola) පලාත  බව ඔහු පවසයි. එය පුසුල්පිටිය මුරපොලේ සිට සැතපුම් 2 පමණ දුරකින් පිහිටා ඇත. සැතපුම් 2-3 පමණ එක දිගට දිස්වන පුළුල්, ගැඹුරු මුළු නිම්නයේ දෙපස සැලකිය යුතු උසක් දක්වා හෙල්මළු ක්‍රමයට වගා කර තිබී ඇත. අතරින් පතර පළතුරු ගස් වලින් සුසැදි ගම්මුන්ගේ නිවාසද, කුඹුරු ඉඩම් වනසතුන්ගෙන් ආරක්ෂා කරගැනීම උදෙසා තනා තිබූ පැල්ද දක්නට ලැබිණ. කඳු මුදුන් වන වැස්මෙන් වැසී තිබි ඇත. ගම්වැසියන්ගේ අමුතු හොඳකමක් නිසා නොව එහි ඇති දුරස්ථ හුදකලා බව නිසා කැරැල්ල සමයේ මෙම ගම එහි විපාක වලින් බේරුන බව ඩේවි පවසයි.
 කොත්මලේ ඔය ජලාශය
සැතපුම් තුනක් පමණ දුරක් පුසුල්පිටිය කොටුවේ සිට ගමන් කල පසු ඩේවි Haleltotte නම් ස්ථානයකදි කිතුල් කඳකින් සෑදූ ඔරුවක ආධාරයෙන් කොත්මලේ ඔය තරණය කරයි. එම ඉසව්වේදි කොත්මලේ ඔය පටු වුවත් ගැඹුරු බැවින් බැස යා නොහැක. මේ ප්‍රදේශයේ ජනයා වෙසෙන වගාවන් සිදු කරන ප්‍රදේශය එම ස්ථානයේ සිට අවසාන වන බවත්, අනතුරුව උදෑසන 6 සිට හවස 4 පමණ වන තෙක් වනාන්තරය මැදින් ගමන් කල කොටස එතරම් ආකර්ෂනීය නොවන දුෂ්කර වූවක් බවත් ඩේවි සඳහන් කරයි.  සවස 1 ට පමණ ඔහු මද වෙලාවක් පුන්ඩලු ඔය ඇල්ල (Poondool Oya falls) ඉහල ගිමන් නිවයි. එම ස්ථානයේදී ගමන් මග එම ඇල්ල සෑදෙන තරමක විශාල දිය පහර හරහා වැටී තිබිණ. එම දිය පහර දිය ඇල්ල හරහා ගොස් කොත්මලේ ඔයට දිඹුලට මදක් පහලින් එකතු වේ.  මේ වන විට ඔහු සැතපුම් 7 පමණ එදින තුල ගමන් කර ඇති බව මගපෙන්වන්නා ඔහුට පවසයි. එතනින් පසුව මාර්ගය එලෙසින්ම දුෂ්කර මුත් තරමක වියලි ගතියකින් යුත් පෙදෙසක් හරහා වැටී තිබිණ. එදින රාත්‍රිය ඔහු උණපත්පැලැස්ස (Unapatpalasse) ලෙසින් ගම්මුන් හැඳින්වූ වනාන්තරය මැද තරමක විවෘත ස්ථානයක ගත කරයි.
සිතියම 7
පුසුල්පිටියේ සිට උණපත්පැලැස්ස දක්වා මාර්ගය හඳුනාගැනීම
කොත්මලේ ඔය නිම්නයේ තිබූ පුසුල්පිටිය මුරපොලේ සිට ඉහලට ගමන් කර සෘජුකෝණාශ්‍රාකාර දිඹුල නිම්නයට අවතිර්ණ වූ බව ඩේවි පවසයි. මේ වන විට කොත්මලේ ජලාශයට යටවී ඇති ඕතලාව ලෙස හැඳින්වෙන ස්ථානයේදි කොත්මලේ ඔය ආසන්න වශයෙන් සෘජුකෝණාශ්‍රාකාර ලෙස දකුණු දිශාවේ සිට පැමිණ බටහිර දෙසට ගමන් කරයි. ඩේවි සඳහන් කරන දිඹුල නිම්නය කොත්මලේ ඔයේම ඉහල ප්‍රදේශයයි. අද වන විට එම සෘජුකෝණාශ්‍රාකාර හැඩය එලෙසම තිබෙමින් කොත්මලේ ජලාශය මගින් එම නිම්න දෙකේම එහි පහල ප්‍රදේශ ජලයෙන් යටකරමින් ජල තලය පුළුල් වී ඇත (සිතියම 7). හලෙල් තොට (Haleltotte) වැනි නමකින් ඩේවි හඳුන්වන කොත්මලේ ඔය හරහා වැටී තිබූ තොටුපල හඳුනාගත නොහැකි මුත් එය පුණ්ඩලු ඔය කොත්මලේ ඔයට එක්වන ස්ථානයට ආසන්නව තිබෙන්නට ඇති බව සිතිය හැක්කේ, එතැන් සිට ඩේවිගේ ගමන් මග පුණ්ඩලු ඔය නිම්නය ඔස්සේ වැටී තිබූ හෙයිනි. වර්තමාන B148 මාර්ගයේ කොත්මලේ ඔය හරහා වැටී ඇති පාලමට මදක් පහලින් එය තිබෙන්නට ඇත. එම ප්‍රදේශයට යොමුවූ කරත්ත පාරක් පැරණි සිතියම් වල ලකුණු කර ඇත. එම තොටමුණ දක්වා ගමන් මාර්ගය අනුමාන වශයෙන් සිතියම 8 දක්වා ඇත. එතැන් සිට උණපත්පැලැස්ස දක්වා වනාන්තරය මැදින් තිබූ මාර්ගයේ ඩේවි සඳහන් කරන එකම වැදගත් ස්ථානය පුණ්ඩලු ඔය ඇල්ල සාදන දිය පහර හරහා එය ගමන් කල බව කරන සඳහන පමණි. අද මේ සියළු වනාන්තර ඩේවිලාගේ පසුකාලීනයන් තේ වගාව සඳහා හෙලි කර ඇත. පුණ්ඩලු ඔය ඇල්ල හෙවත් ඩන්සීනන් ඇල්ල ලෙසින් හඳුන්වන ඇල්ල හරහා තේ වතු මැදින් වැටී ඇති වර්තමාන මාර්ගය බොහෝ දුරට පැරණි මාර්ගයට අනුකූල බව පෙනේ (සිතියම 8) උණපත්පැලැස්ස හඳුනාගත නොහැකි මුත් පැලැස්ස යන්නෙන් කුඩා වන ලැහැබ් (ඝන වනාන්තර නොවේ) හඳුන්වන බැවින් ඒ ආකාරයේ වනාන්තර තිබෙන්නට ඉඩ තිබූ ස්ථානයක් ඉහත සිතියමේ (සිතියම 8) එලෙසින් ලකුණු කර ඇත. පුණ්ඩලු ඔය ඇල්ලේ සිට පැය 4 ක පමණ දුරක් ඔහු එම ස්ථානයට ලඟාවීම සඳහා ගත කර ඇත.
සිතියම 8 - පුසුල්පිටියේ සිට උණපත්පැලැස්ස දක්වා මාර්ගය
පසුදින පෙරවරු 6 ට ගමන් අරඹන ඩේවි සවස 5 පමණ වනතුරු ගමන් කරන්නේ පෙර දින මෙන් ඒකාකාරි නොවූ මුත් එලෙසින්ම දුෂ්කර මගකය. ගමනේ පළමු වරට මාරත්මල් (Rhododendron) ගස් සහිත කුරු වනාන්තර ඔහුට එතැන් සිට හමුවේ.  ඉතාමත්ම පිරිසිදු ජලය සහිත දිය පාරවල් කිහිපයක්ද ගමන් මග හරහා වැටී තිබිණ. මග පෙන්වන්නන් පැවසූ පරිදි එම මගේ ඉහලම ස්ථානය වන දැඩි බෑවුමක් සහිත කන්දක් අසලට පැමිණි පසු (සිතියම 9 - X ලෙස සලකුණු කර ඇති ස්ථානය විය යුතුය) ඔවුන්ට මාර්ගය අයිනේ සම්පූර්ණයෙන්ම පාහේ ඇටසැකිල්ල දක්වා කුණු වූ මිනිසෙකුගේ මළසිරුරක් හමුවේ. එකල ඇතිවූ සාගතය නිසා ඌව රටේ සිට කොත්මලේ දෙසට බොහෝ මිනිසුන් පැමිණි බවත්, ඔවුන්ගෙන් කෙනෙකු නිරාහාරව මෙසේ මැරී වැටෙන්නට ඇති බවත් ඩේවි සඳහන් කරන මුත්, එම සාගතයට හේතුව කැරැල්ල මර්ධනය උදෙසා රටවැසියන්ගේ වගාවන් විනාශ කරමින් ඉංග්‍රීසීන් අනුගමනය කල කෲර ක්‍රියාදාමය බව පවසා නොසිටින්නට ඔහු ප්‍රවේශම් වේ. අද අප හට මානව හිමිකම් ගැන ටියුෂන් දෙන්නේ ඩේවිලාගේ රටේ එවැනි කෲර කම් කල පරපුරේ දරු මුනුබුරු පරම්පරාවය.
කුරු වනාන්තර මැදින් වැටුන නුවර එළිය පතන දක්වා එදා තිබූ මාර්ගයද එදා මේ ආකාරයෙන් දිස්වන්නට ඇත (තොටුපල කන්ද ගමන් මග )
ඉහත විස්තර කල කන්ද තරණය කිරීමේදී මාර්ගය විවෘත, වට පිට භූමි දර්ශණය මැනවින් දැකිය හැකි පෙදෙසක් හරහා වැටී තිබූ බව ඩේවි පවසයි. එහි එක් ස්ථානයකදි කොත්මලේ නිම්නයද දර්ශනය වේ (සිතියම 9 - X ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේ සිට ඉදිරියට යාමේදී). එම කන්ද බැස එහි අනිත් පස අක්කර කිහිපයක් පුරා විහිදුන, අඩු වැඩි වශයෙන් වලයාකාර කිකිලියමාන (Kicklemane) නම් විවෘත භූමියකට පෙරවරු 10 ට පමණ ඩේවි ඇතුළු පිරිස ලඟා වේ. එම ස්ථානය කොත්මලේ රට සහ ඌව රට අතර සීමාව වන අතර ඉන් අනතුරුව මාර්ගය නැවතත් වනාන්තරය තුලට යොමුවේ. අලි ඇතුන් සහිත එම වනාන්තරයේ ක්‍රමයෙන් පහලට යොමු වූ මාර්ගයක අවසානයේ ඔවුන් නුවරඑළිය පතන (Neuraellyia-pattan) ලෙසින් මග පෙන්වන්නන් ඔහුට හඳුන්වාදෙන සුවිශාල පතන් බිමකට ලඟාවේ. තැනින් තැන ඇති මාරත් මල් ගස් සහිත එම පතන කිසිදු මිනිස් වාසයක් නොමැති සම්පූර්ණයෙන්ම පාහේ වන සතුන්ට වෙන්වූ ප්‍රදේශයක් ලෙස ඩේවි විස්තර කරයි. පතන පුරා වැටී තිබූ අලි වසුරු අනුව මෙම ස්ථානයේ රටේ අන් කවර ප්‍රදේශයකටත් වඩා අලි ඇතුන් ප්‍රමාණයක් සිටින බවට ඔහු අනුමාණ කරයි.
සිතියම 9 - පුණ්ඩලු ඔය ඇල්ලේ සිට කිකිළියමාන දක්වා පැරණි මාර්ගයද මෙහි දැක්වෙන වර්තමාන මාර්ග වලට අනුකූල ලෙස වැටී තිබෙන්නට ඇත.
උණපත්පැලැස්සේ සිට නුවරඑළිය පතන දක්වා මාර්ගය හඳුනාගැනීම
මාර්ගයේ මෙම කොටසද එදා වනාන්තරයෙන් වැසී තිබුන මුත් අද වන විට තේ වගා බිම් ඔස්සේ වැටුන එම මාවතේ වනාන්තර ඉතිරි වී ඇත්තේ ග්‍රේට් වෙස්ටර්න් සහ කිකිළියමාන රක්ෂිතය මැදින් වැටී ඇති සුළු කොටසක පමණි. නුවරඑළිය පතන අද මුළු මනින්ම පාහේ නුවරඑළිය නගරය සහ තදාශ්‍රිත ප්‍රදේශය බවට පත්වී ඇත. කිකිළියමාන ලෙසින් ඩේවි හැඳුන්වූ අඩු වැඩි වශයෙන් වලයාකාර එළි මහන් පෙදෙස මේ වන විට තේ වතු සහ එම තේ වතු වල සේවය කරන උඩරට දෙමළ ජනයාගේ නිවාස පේලි වලින් සමන්විත වූ ස්වභාවික පතන් බිමක් නොවන භූමියකි (සිතියම 11) නුවරඑළිය පතනේ පමණක් නොව මුළුමහත් කඳුකරයේ සහ පහත රට තෙත් කලාපයේ සිටි සියළුම අලි ඇතුන් ඩේවිලාගේ රටේ ඇත්තන්ගේ එකල ජනප්‍රිය Sport එකක් වූ Elephant Shooting Excursions නිසා සදහටම වඳවී ගොස්ය.
සිතියම 10 - කිකිළියමාන සිට නුවරඑළිය පතනට මාර්ගය

සිතියම 11 (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )

වනාන්තරයෙන් වටවූ විවෘත භූමියක් වූ නුවරඑළිය පතනද එදා මේ ආකාරයෙන් දිස්වන්නට ඇත. (තොටුපල කන්දේ සිට දිස්වන මහඑළිය පතනේ [Horton plains] කොටසක් )
සැතපුම් 2-3 පමණ විහිදුණු පතන හරහා ගොස් ඩේවි නැවතත් කොත්මලේ ඔය අසලට පැමිණේ. එහි ආරම්භක පෙදෙසේ වූ කොත්මලේ ඔය දනක් පමණ වතුර සහිත කුඩා දියපහරක් විය. ගල් කුලක් මතින් දිය ඇල්ලක් සාදමින් ගලා බස්නා එය ඇසට පේන මානය දක්වා දකුණු දෙසට ගලා බසී. ඉන්පසු එයට නුදුරින් එවැනිම උසකින් ගලා බැස කොත්මලේ ඔය දෙසටම ගලා බසිනා කුඩා දිය පහරක් (සිතියම 12 - 1 සහ 2 ලෙසින් සලකුණු කර ඇති දිය පාරවල් විය යුතුය. ඒවා ග්‍රේගරි වැවට ඉහලින් පිදුරුතලාගල දෙසින් පැමිණ නානු ඔයට එක්වේ.) තරණය කරමින් ඩේවි මධ්‍යහ්නය වන විට නැවතත් පතන කෙලවරින් වනාන්තරයට ඇතුළු වේ. මගපෙන්වන්නන්ගෙන් ඩේවි අසා දැනගත් පරිදි මෙම පතන සියලු කල්හීම සම්පූර්ණයෙන්ම ජනාවාසයෙන් තොර වූ අතර, වියලි කාලයේදී යකඩ සෑදීම සඳහා පැමිණෙන කොත්මලේ ප්‍රදේශයේ කම්මල් කරුවන්, මැණික් ගැරීම සඳහා පැමිණෙන පුද්ගලයන් සහ කලාතුරකින් ඒ හරහා ගමන් කරන මගියන් හැරුන විට වෙනත් කිසිවෙකු මෙහි පැමිණෙන්නේ නැත.
සිතියම 12 - 1 සහ 2 ලෙසින් සලකුණු කර ඇති දිය පාරවල් ග්‍රේගරි වැවට ඉහලින් පිදුරුතලාගල දෙසින් පැමිණ නානු ඔයට එක්වේ.
එතැන් පටන් මාර්ගය වල් අලි ගැවසෙන වනාන්තරය මැදින් එහි බොහෝ දුරක් වැටි තිබිණ. එම වනාන්තරය හරහා ගමන් මග පල්ලම් බැසීමක් විය. එහි අවසානයේ එතරම් විශාල ප්‍රදේශයක් පුර පැතිරී නොතිබූ විවෘත පෙදෙසක් හමු වූ අතර ඒ හරහා තරමක ඔයක් වූ Hawelle Oya ඌව දෙසට ගලා බසී. එතැන් සිට යලිදු වනාන්තරය තුලින් වූ මාර්ගය ඔස්සේ ගොස් ඩේවි ඇතුළු පිරිස නැවතත් ඔය හරහා ගොස් (සිතියම 14 - A ලෙස ලකුණු කර ඇති ස්ථානය විය හැක.) සවස 3 පමණ වන විට, වනාන්තරය අවසාන වී නමුණුකුල කන්ද (Namina-cooli-kandy) ඇතුළු ඉහල ඌව ප්‍රදේශය දර්ශනීය ලෙසින් පෙනෙන කඳු මුදුනක් වෙතට ලගාවේ (සිතියම 14 - B ලෙස ලකුණු කර ඇති ස්ථානය විය හැක.)
සිතියම 13 - අඟලේ සිතියම් වල වනාන්තරය මැදින් ලකුණු කර තිබූ අඩි පාර කළු පාටින් පෙන්වා ඇත
එම කන්ද බැස යාමේදී ඩේවිට කැරැල්ල සමයේ තම ගම් බිම් අතහැර පැමිණි ජනයා තාවකාලිකව සැඟවී සිටීම සඳහා ඉදිකර තිබූ මේ වන විට නටබුන් වී ඇති කුඩා මඩු අතරින් පතර දැකගන්නට හැකිවේ. මාර්ගය එක් ස්ථානයකදී  Dugulle Oya කදිම දියඇල්ලක් ලෙසින් වැටෙන ස්ථානයක් අසලින්ද ඔහු ගමන් කරයි (සිතියම 14 - බොමුර ඇල්ල ලෙසින් ලකුණු කර ඇති ස්ථානයට පහලින්). සවස 5 පමණ වන විට එම කඳු පාමුල පිහිටි ජනයා වසන පෙදෙසකට ලගා වීමට ඩේවිට හැකිවේ. පේරවැල්ල (Perowelle) ලෙසින් හැඳින්වූ එම ස්ථානයේ ඩේවි එදින රැය ගත කරයි.
සිතියම 14 - හාවා එළියේ සිට පේරවැල්ලට
පසු දින උදෑසන ඩේවි එතැන් සිට සැතපුම් 4 පමණ දුරුන් පිහිටි මැක්ඩොනල්ඩ් බලකොටුව දක්වා පිටත් වේ. ඔහු ඉදිරිපත් කරන විස්තරයට අනුව එම මග කුඹුරු ඉඩම් සහිත ජනයා පදිංචි වී සිටි ගම්මාන මැදින් වැටී තිබූ බව පෙනේ.

නුවර එළිය පතනේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා මාර්ගය
නුවරඑළිය පතන ඔස්සේ සැතපුම් 2-3 පමණ ගමන් කර ඩේවි කොත්මලේ ඔයේ ආරම්භක ප්‍රදේශයට ලඟා වූ බව පවසයි. ඩේවි මේ විස්තර කරන්නේ නානු ඔය ලෙසින් හැඳින්වෙන කොත්මලේ ඔයට තළවකැලේදී එක්වන එහි ශාඛාවයි. නුවරඑළිය පතනේදී එයට එක්වන දියපාරවල් ඉහත සිතියම 12 දක්වා ඇත. ඩේවි පවසන අයුරින්ම කොත්මලේ ඔය (නානු ඔය) පතන ඔස්සේ දකුණු දෙසට විහිදේ.  ඩේවිගේ ගමන් මග හාවා එළිය ඔස්සේ විහිදුනු බව පෙනේ. ඔහු Hawelle Oya ලෙසින් හඳුන්වන්නේද හාවා එළිය ඔය විය හැකිය. ඒත් ඒ නමින් ඔයක් අද සොයාගත නොහැක. ඩේවි සඳහන් කරන විවෘත ප්‍රදේශයක් හරහා ගලා ගිය ඔය, හාවා එළිය හරහා ගලන සිතියම් වල බෝමුර ඇල්ල ඔය ලෙසින් හඳුන්වා තිබෙන උමා ඔයේ ඉහල ජලධාරා ප්‍රදේශයයි. පැරණි අඟලේ සිතියම් වල ලකුණු කර ඇති අඩි පාරක් මෙම හාවා එළිය ප්‍රදේශයේ සිට බෝමුර ඇල්ල ඔයේ දකුණු ඉවුරට ආසන්නයෙන් වනාන්තරය තුලින් ගොස් එක් ස්ථානයකදි බෝමුර ඇල්ල ඔය හරහා ගොස් පේරවැල්ල ලෙසින් දැනට ව්‍යවහාර වන පෙදෙසකට ලඟාවේ. ඩේවි සඳහන් කරන Perowelle මේ පේරවැල්ලයි. අතරමගදි ඔහු Dugulle ඔය දිය ඇල්ලක් ලෙසින් වැටෙන තැනකින්ද ගිය බව පවසයි. ඩේවි මෙහිදි දැනට බෝමුර ඇල්ල ඔය ලෙස හඳුන්වන ඔය අවස්ථා කිහිපයකදි විවිධ නම් වලින් හඳුනාගන්නා බව පෙනේ. ඔහු සඳහන් කරන දිය ඇල්ල බෝමුර ඇල්ල විය යුතුය. එම දිය ඇල්ල පැරණි අඟලේ සිතියම් වල හඳුන්වා ඇත්තේ පේරවැල්ල ඇල්ල ලෙසිනි.

 පේරවැල්ලේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා පහත සිතියමේ අඩි පාරවල් ලෙස ලකුණු කර ඇති කිසියම් මගක් ඔස්සේ පැරණි මාර්ගය වැටී තිබෙන්නට ඇත. ඩේවි පවසන ලෙසට එම ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සහ නිවාස බහුලව පැවතුන හෙයින් මාර්ග කිහිපයකක් එකලද තිබෙන්නට ඉඩ ඇත.
සිතියම 15 - පේරවැල්ලේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා මාර්ගය
මූලාශ්‍ර
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821

Sunday, June 4, 2017

Mcdonald සිට මතුරටට, ඩේවි ගිය මග ඔස්සේ..

මතුරට කඳු  (උපුටා ගැනීම - http://www.imagesofceylon.com)
මෙම ලිපිය මග සලකුණ නම් වූ පැරණි කවි පොතක ඇති විස්තරය අනුව බදුල්ල නගරයේ සිට මහනුවර දක්වා වූ පැරණි මාර්ගයක් පිළිබඳවය. මෙම ලිපිය කියවීමට පෙර මෙහි මුල් ලිපි දෙක මෙතනින් කියවන්න.
නූතන පළාත් හා දිස්ත්‍රික්ක බෙදීම් අනුව ඌව පළාතට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ සිට මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතුලු වන කඩවතින් අප පෙර ලිපිය අවසන් කලෙමු. මේ එතැන් සිට මාර්ග විස්තරයයි.

ජෝන් ඩේවි සහ මැක්ඩොනලඩ් කොටුව
අප මෙහි විස්තර කරන ප්‍රදේශය භූගෝලිය ලක්ෂණ අනුව එක්තරා සුවිශේෂී කලාපයකි. මේ පහල ඌව ප්‍රදේශයේ සිට (බොහෝ දුරට වර්තමාන මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශය) හපුතලේ දුර්ගය හරහා ඉහළ ඌව ප්‍රදේශයට පිවිසි පසු හමුවන ඌව ද්‍රෝණියේ (Uva Basin) සිට ඊලග අඩතැන්නට (Peneplain) පිවිසෙන දොරටුවයි (රූපය බලන්න).  ඒ අනුව ස්ථානයේ වැදගත්කම වටහා ගත් ඉංග්‍රීසීන් මෙම ස්ථානයේ දොඩන්වතුකපල්ල පාමුල බලකොටුවක් ඉදිකලහ. දොඩන්වතුකපල්ලට සහ පරණගම ලෙස සලකුණු කල ස්ථාන වලට පෙර සපුගොල්ලේ සිට එන මාර්ගය අද්දර Fort Mcdonald නම් වූ ස්ථානයක් මෙයට පෙර ලිපියේ වූ සිතියම් වල අප ලකුණු කල මුත් ඒ සම්බන්ධව විස්තරයක් ඉදිරිපත් නොකලෙමු. ඒ එම ඉංග්‍රිසී බලකොටුව පිහිටි තැන ලෙස මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇති ස්ථානයයි. 
මැක්ඩොනලඩ් කොටුවේ පිහිටීම සම්බන්ධව ජෝන් ඩේවි ඉදිරිපත් කරන විස්තරය මේ ආකාරයෙනි. "මුහුදු මට්ටමේ සිට අඩි 3000 පමණ උසින් මැක්ඩොනල්ඩ් කොටුව තිබුණි.  එය සරුසාර මෙන්ම පුළුල් පරණගම නිම්නයේ එතරම් උස නැති කන්දක ඉහල ඌව බාධක කඳු වල පාමුල සහ උස්වූ දොඩන්වතුකපල්ල කඳු දුර්ගය පාමුලම වාගේ පිහිටා ඇත." (Fort M'Donald is about 3000 feet above the level of the sea. It is situated on a low hill, in the fertile and extensive valley of Parnegamme, at the foot of the barrier-mountains of Upper Ouva, and immediately under the pass of the lofty Dodanatukappella mountain.)

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස වර්ෂ 1816 සිට 1820 දක්වා මෙරට සේවය කල ජෝන් ඩේවි [John Davy] (හෙතම සුප්‍රකට විද්‍යාඥයකු වූ ශ්‍රීමත් හම්ප්‍රි ඩේවිගේ [Sir Huphrey Davy] බාල සොහොයුරාය.) මෙහි සිටි කාලය තුල දිවයිනේ බොහෝ පෙදෙස් වල සංචාරය කර සිය අත්දැකීම් ඇසුරින් නැවත බ්‍රිතාන්‍යයට ගිය පසු 1821 දී An Account of the Interior of Ceylon and of its Inhabitants with Travel in that Island නමින් පොතක් පළ කලහ. 1815 දී ඉංග්‍රීසීන් කන්ද උඩරට අල්ලාගත් පසු එම ප්‍රදේශ වල සංචාරය කල මුල්ම පුද්ගලයන් අතර ඩේවි පෙරමුණේම සිටී. එසේම 1818 කන්ද උඩරට නිදහස් අරගලය ඉංග්‍රීසින් විසින් කුරිරු ලෙස මර්දනය කල ආකාරය සහ එයින් පසු මෙරට සිංහලයන් පත්ව සිටි ශෝචනීය තත්වය පිළිබඳවද ඩේවි සිය පොතේ කරුණු ඉදිරිපත් කරයි. කෙසේ නමුත් අපගේ ප්‍රස්තුතයට ජෝන් ඩේවි වැදගත් වන්නේ ඔහු දෙවරක්ම මෙම මැක්ඩොනල්ඩ් බලකොටුව හරහා අප මෙහි කතා කරන මාර්ගයේ දොඩන්වතුකපල්ලේ සිට මහනුවර දක්වා ගමන් කර සිය අත්දැකීම් විස්තර කරන බැවිනි.

පළමුවරට කතරගම (Katragam) සිට වැල්ලවාය (Weleway) හරහා හපුතලේ දුර්ගය (Apotella Pass) ඔස්සේ මැක්ඩොනල්ඩ් කොටුව වෙත ලඟා වන ඩේවි එතැන් සිට මහනුවර දක්වා වූ ගමන් මග පිළිබඳව ළගන්නා සුලු විස්තරයක් ඉදිරිපත් කරයි. මේ අවස්ථාවේ ඔහු සමග පැමිණි Mt. Wright නමැත්තා ඩේවි සමග නොයා බදුල්ලට යාම සඳහා ඔහුගෙන් වෙන්වී ගිය බව සඳහන් වන බැවින් බදුල්ලේ සිට මෙම මැක්ඩොනල්ඩ් කොටුවට වූ මාර්ගය එවකටද භාවිතා වූ බව පෙනේ (එහෙත් එඩ්මන්ඩ් පීරිස් පියතුමා පවසන ලෙසට ඩේවි බදුල්ලේ සිට පයින්ම මෙම ස්ථානයට පැමිණි බවක් ඔහුගේ ගමන් විස්තරයේ කියවෙන්නේ නැත.) 

දෙවෙනි වර ඔහු මැක්ඩොනල්ඩ් කොටුවට පැමිණෙන්නේ කොත්මලේ ප්‍රදේශයේ සිට පුසුල්පිටිය (Pouhalpittye),  දිඹුල (Dimbola), පුණ්ඩලුඔය (Poodool Oya), නුවරඑළිය පතන (Neuraellyia-pattan) හරහා වන මාර්ගයකින් ඉහළ කඳුකරයේ සිට පහලට බසිමිනි. (මැක්ඩොනල්ඩ් කොටුව දක්වා වූ මෙම අවස්ථා දෙකෙහිදීම ගමන් මාර්ග හඳුනාගත හැකි පරිද්දෙන් ඩේවි සවිස්තරව ඉදිරිපත් කරන මුත් ඒ පිළිබඳව වෙනම විමසා බැලිය යුතුය.)

දොඩන්වතුකපල්ලේ සිට මතුරටට
කඩවත පසු කිරීමෙන් පසු මග සලකුණ කවියා යොමු වන්නේ පද්‍ය 31 කින් යුත් දීර්ඝ වන වර්ණනාවකටය. ඔහුගේ විස්තරයේ සත්‍යය බව පසක් කරමින් ඩේවිද පවසනුයේ කඩවත පසු කල පසු වනාන්තරයට අවතිර්ණ වන බවය. 
දොඩන්වතුකපල්ලේ සිට කඩවත දක්වා යෑමේදී දර්ශනය වන ඩේවි සහ මග සලකුණ කවියා විස්තර කරන රමණිය දර්ශනය (Google Street View ඇසුරින්)
ඩේවිගේ විස්තරයට අනුව මතුරට දක්වා වූ ගමන් මග පිළිබඳ වැදගත් තොරතුරු මෙසේ කැටිකර දැක්විය හැක. මැක්ඩොනල්ඩ් කොටුවේ සිට මතුරට දක්වා දුර සැතපුම් 16 පමණ වේ. එම දුර යෑම සඳහා ඔහුට පැය 8ක් ගතවී ඇත. මැක්ඩොනල්ඩ් කොටුව පසු කල වහාම මද දුරක් හැරුන කල මුදුන දක්වාම අධික බෑවුම් ඇති දුර්ගය හමුවේ (Very Steep up to its summit with very little interruption.). මෙම දුර්ගය නැගීමේදි වියලුව (Weyaloowa), ඉහළ ඌව වැනි ප්‍රදේශ දර්ශණිය ලෙස දිස්වේ. කොටුවේ සිට සැතපුම් 2 පමණ දුරක් ගමන් කල පසු පැරණි කඩවතක නටබුන් හමුවේ.  ඉන්පසු පිවිසෙන්නේ වනාන්තරයටය. කොටුව පසු කල පසු අවම වශයෙන් සැතපුම් 10 ක් වත් නිරන්තර නැගීම් බැසීම් සමග උන්නතාංශය (Altitude) ක්‍රමයෙන් වැඩිවෙන ලෙස මාර්ගය වැටී ඇත. කොටුවේ සිට සැතපුම් 7 පමණ ගිය පසු මාර්ගයේ උසම ස්ථානයට ලඟාවේ.
කඩවතේ සිට හාල් ගරන් ඔය දක්වා ගමන් මාර්ගය
මග සලකුණ විස්තරයට අනුව මෙම මාර්ගයේ වනාන්තරය තුලින් යන විට අළුගල්ගෙය හමුවේ. ඉන්පසු වලහා මැරූ පතන සහ හාල් ගරන ඔයද පසු කල යුතුය. මාර්ගයේ මේ ඉසව්ව්වේදි පතන්වල සිටින දළ වලින් ඇනගනිමින් පොර ඇනගන්නා ඇතුන් දැකිය හැක. ඉන්පසු එළමල් පත කඳුර බැස පැන් සනහා, කුඩා නාන්බා හෙල නැග යාමේදී කොට පාමා නම් වස සෙබලෙක් පෙර කල පිට වානට උඩින් දිය ගෙන යාම සඳහා පතනේ දිගට හරහට කල අගල් දැකිය හැකිය. ඉන්පසු නැබළ නාම්බා හෙල සහ දඬු බැඳි රුප්පේය පසු කර කුරුඳු ඔයෙන් එගොඩ වූ පසු රත්මල්කරාන සහ කුරුවිට රාල පැන්න ගල හමුවේ. ඕලුවා මංකඩින් ගිය පසු රුසිරැති අඟනන් සිටින බලගහරුප්පේ සෙවනේ මඳක් නැවතී සිටින ලෙස කවියා පවසයි.

කඩවතේ සිට හාල්ගරන් ඔය දක්වා ගමන් මාර්ගය
මේ මාර්ගය ඔස්සේ යන ඩේවිගේ දෙවන සංචාරයේදි ඔහු හාල්ගරන් ඔයට ඉහලින් ඇති උස් බිමේ දවල් කාලය සහ රාත්‍රිය ගත කරයි. පසු දින මෙම මාර්ගයේ යාමට නියමිතිව සිටි බාන්ස් ආණ්ඩුකාරයා (Major General  Sir Edward barnes) උදෙසා ඉදිකර තිබූ කූඩාරම් කිහිපයක්ද එම ස්ථානයේ තිබූ බව ඩේවි පවසයි. එම ස්ථානය බොහෝ දුරට මග සලකුණේ වලහා මැරූ පතන ලෙස හඳුවන පතන් භූමිය විය හැක.
වළහාමැරූ පතන විය හැකි පතන් ප්‍රදේශය

ඩේවි සඳහන් කරන හාල්ගරන් ඔය දෙපස පිහිටි කඳු වැටි දෙකකින් සීමා වූ විවෘත ප්‍රදේශය (කහ පාටින් ලකුණු කර ඇත්තේ හාල්ගරන් ඔයයි )
ඩේවි සඳහන් කරන හාල්ගරන් ඔය දෙපස පිහිටි කඳු වැටි දෙකකින් සීමා වූ විවෘත ප්‍රදේශය
මග සලකුණ විස්තර කරන මාර්ගය හාල්ගරන් ඔය හරහා යාමට ඇත්තේ හාල්ගරන් ඔයේ ඉහල කොටසේ මෙවැනි ස්ථානයකිනි (Google Street View ඇසුරින්)

හාල්ගරන් ඔය විස්තර කිරීමෙන් පසු එළමල් පත කඳුරින් පැන් සනහා කුඩා නාම්බා හෙල නැග යන්න ලෙස පවසන බැවින් සිතියමේ දක්වා ඇති අධික නැගමකින් යුත් හෙල කුඩා නාම්බා හෙල ලෙස ගත හැක. පහත මෙට්‍රික් සිතියමට අනුව එම ප්‍රදේශයේ බොහෝ දිය කඳුරු ඇති බැවින් එළමල් පත කඳුර ඉන් එකක් විය හැක.
කුඩා නාම්බ හෙල සහ කුඩා දිය කඳුරු. එළමල් පත කඳුර යනු මාර්ගයට ආසන්න මෙවන් දිය කඳුරක් විය හැක.
කුරුඳු ඔය ඉහල පෙදෙස හරහා වැටී ඇති මාර්ගය සහ නැබල නාම්බා හෙල විය හැකි පෙදෙස. කොට මාපා සැදූ අගල් නැබල නාම්බා හෙලට පෙර කිසියම් තැනක තිබුණා විය හැක. මග සලකුණේ 'නැබල නාම්බා හෙල අසලින් යන්න' කියන බැවින් එය මාර්ගයේ දෙපස ඇති හෙලක් වුවද විය හැක
ඉහත ලකුණු කර ඇති පැරණි මාර්ගය විය හැකි මාර්ගයේ වර්තමානයේ කුරුඳු ඔයෙන් එගොඩ වීමට ඇති පාලම සහ කුරුඳු ඔයේ දර්ශණයක් (Google Street View ඇසුරුනි ) - මෙම ස්ථානයට පෙර හමු වන දඬුබැඳිරුප්පේ නම් ස්ථානය අද හඳුනාගැනීමට නොහැක.
සිරසර බැඳන ඔපකර වරල පෙම්මා
මනහර දෙතන රන කළ යුරු රුවිම්මා
නිසිසර සිටින රුසිරෙන් සේ සුරම්මා
පසුකර යාගන්න කලවිට කුඩම්මා

ඉන්පසු හමුවන්නේ ඉහත කවියෙන් විස්තර කල පරිදි සුරම්බා (දෙවඟනන්) සේ වු ස්ත්‍රීන් (නිසිසර) සිටින කුඩම්මා කලවිටය. කලවිට යනු කමතය . ඒ අනුව ඕලුවා මංකඩින් මෙපිට ප්‍රදේශය ජනාවාස වූ පෙදෙසක් බව පෙනේ. මාර්ගය ඉන්පසු යොමුවන්නේ මතුරට ඉඩම ලෙසින් පැවසෙන මතුරටටය.
වනාන්තරය ඉවර වන ස්ථානයේ සිට (බොහෝ විට ඉහත X ලෙස ලකුණු කර ඇති ස්ථානය) මතුරට දක්වා හෙලක් බැසිය යුතු බව ඩේවි සඳහන් කරයි.
හාල්ගරන ඔය (එනම් හාල්ගරන් ඔය) සහ කුරුඳු ඔය හැරුන විට මෙම මාර්ගයේ විස්තර වන කිසිදු ස්ථානයක් මේ වන විට හඳුනාගත නොහැක. ඩේවි දුර්ලභ මල් සහ මල් පිපී තිබූ පඳුරු තිබූ ලෙස පැවසු කඳු මුදුන් සහ පතන් සියල්ල ඩේවිගේ රටේ වැසියන් විසින් පසුකලක මුලින් කෝපි හා පසුව තේ වගාවන් සඳහා එලි කර දැමූහ. උඩරට සිංහල ගැමියන්ගේ ඉඩම් මුඩු බිම් පනත මගින් පවරා ගත් අධිරාජ්‍යවාදි පාලකයන් බ්‍රිතාන්‍යයේ නගර වල නම් සහ වතු අයිතිකරුවන්ගේ නම් වලින් නාමකරණය කල තේ වතු වලින් මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශ පසු කලක සැකසු අගලේ සිතියම් වල සලකුණු කලහ. අතරින් පතර සිංහල නම්ද කඳු මුදුන්, පතන්, පැරණි සිංහල ගම් සහ ඇතැම් තේ වතු වලද ඉතිරිව ඇති මුත් අපගේ ගමන් මගේ නම් සඳහන් ස්ථාන Google maps සහ මෙට්‍රික් සිතියම් ආශ්‍රයෙන් සෙවීම දුෂ්කරය. එබැවින් දොඩන්වතු කපල්ලේ සිට මතුරට දක්වා අනුමාණ කරන මාර්ගයක් පමණි දැක්විය හැක්කේ (මේ සමග ඇති සිතියම් සහ ඒවායේ විස්තර අනුගමනය කිරීමෙන් එම ගමන් මග හඳුනා ගත හැක). ගමන් මගේ කිසියම් ස්ථානයකදි හාල්ගරන් ඔය සහ කුරුඳු ඔයෙන් එගොඩ විය යුතු බව පමණි නිසැකව කිව හැක්කේ.
මතුරට Maquerile Estate හි සිට දර්ශනයක් (උපුටා ගැනීම -  http://www.imagesofceylon.com/)
මතුරට දක්වා ගමන් මගේ ඉතාමත්ම රමණීයම කොටස ලෙස ඩේවී පවසන්නේ හාල්ගරන් ඔයෙන් දෙපස එක් පසකින් සැතපුම් 1.5 පමණ වන කඳු දෙකක් අතර වූ විවෘත බිම බවයි. මග සලකුණේ කොට පාමා (කොට මාපා විය යුතුය) තැනූ අගල් ලෙස විස්තර වන නටබුන් ගැන ඩේවිද විස්තර කරයි. ඔහු පවසන්නේ එම නටබුන් අගල් සහ නොඋස් ගල් බැමි වලින් සමන්විත වූ බවත්, ඒවා සරල කොටු පවුරක් (Simple Enclosures) විනා කොටුවක් (Fortification) විය නොහැකි බවත්ය. ඩේවි සඳහන් කරන්නේ එය කඳු පසකින් යෝධ ගල් ගැටියක්සේ නෙරා ගොස් සෘජුව හිටගත් කදිම කුළු පව්වකට දකුණු පැත්තෙන් පිහිටි හෙලක් මත තිබූ බවය. ඩේවිට අසන්නට ලැබූ ජන කතාවකට අනුව මෙය මෙම ස්ථානයට පිටුවහල් කල කුමාරයකු පාරේ යන එන පිරිස්  නවතා බලෙන් වැඩගෙන ඉදි කල එකකි.
ඩේවි සඳහන් කරන හාල්ගරන් ඔය දෙපස පිහිටි මෙම ගමන් මාර්ගයේ දර්ශණියම විවෘත පෙදෙස නුවර එළිය - උඩ පුස්සැල්ලාව මාර්ගයේ සිට අද දිස්වන ආකරය (Google Street View ඇසුරිනි )

ඌව ඉතිහාසය ග්‍රන්ථයේ සඳහන් වන ලෙසට ඌවේ උඩුකිඳ ප්‍රදේශයේ ප්‍රකට ජනප්‍රවාදයකට අනුව දෙහිවිනි පලාත කොරලේ උළුගලට උතුරින් මාපාගල නම් වූ තැනක සිහසුනට උරුමය ඇති කුමරුවෙකු සැඟවි සිට ඇත. එසේම 1818  නිදහස් අරගලයට දායක වූ කොටමාපානේ රටේ රාල නම් වු පුද්ගලයකු ගැනද කියවේ (කෙසේ නමුත් මෙම නම සඳහන් වන්නේ යැයි එඩ්මන්ඩ් පීරිස් පියතුමා සඳහන් කරන 1818 අප්‍රේල් 12 දින අංක 278 දරන බ්‍රවුන්රිග් (Robert Brownrigg) ආණ්ඩුකාරයා විසින් යටත් විජිත ලේඛම් බැතර්ස්ට් වංශාධිපතිට [Earl Bathurst] යවන ලද රහස් ලිපියේ එවැන්නක් සඳහන් නොවන අතර, තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් පලකල 1818 කැරලි සමයට අයත් වෙනත් කිසිදු බ්‍රිතාන්‍යය ලේඛනයකද එවැනි නමක් හමු නොවේ.)  මෙම සාධක පාදක කරගනිමින් එඩ්මන්ඩ් පීරිස් පියතුමා සඳහන් කරන්නේ මෙම මාපා සැබවින්ම සිටි පුද්ගලයෙකු බවට සිතිය හැකි බවය. එහෙත් ඩේවි සඳහන් කරන ලෙසට මෙම අගල් සහ ගල් බැමි 1818 කැරැල්ල කාලයට වඩා පැරණිය. එසේම මෙම ස්ථානයේ 1818 කැරැල්ලේ රාජ ප්‍රතිරූපකයා (දොරේසාමි ලෙසින් පෙනී සිටි විල්බාවේ රාල) සඳහා සෑදු විශාල බංගලාවක ඔහු මද කලක් සිට ඇති අතර එම නව බංගලාව ඩේවි එම ස්ථානයෙන් යන විටද තිබී ඇත. එහි නියත දුරවල් වලින් ඉදිරිපස තනා තිබූ මුර කුටි (Watch houses) ගැනද ඩේවි විස්තර කරයි.
ඉහත විස්තර කල අගල් සහ ගල් බැමි පිළිබඳව විස්තර කිරීමෙන් අනතුරුව ඩේවි එම ප්‍රදේශයේ ඇති වනාන්තරය පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරයි. එය ඉහළ කඳුකරයේ කඳුකර වනාන්තර (Montane Forests) ලෙස හඳුන්වන වනාන්තර වර්ගය පිළිබඳව වූ විස්තරයකි. එම වනාන්තරය අවසාන වූ වහාම මතුරට දක්වා මාර්ගය පහලට බැසීම පටන් ගන්නා බවත්, එම ප්‍රදේශය අඩ වශයෙන් වනයෙන් ගැවසිගත් බවත්, ඉතිරි කොටස මිටි පඳුරු සහ පැඟිරි තෘණ වලින් සමන්විත විවෘත ප්‍රදේශයන් වූ බවත් පවසයි. එසේම ගැඹුරු නිම්නය පහලින් දිස්වන බවත් ඔහු වැඩි දුරටත් පවසයි. පහත සිතියමේ X ලෙස ලකුණු කර ඇති ස්ථානයේ සිට මතුරට දක්වා වූ ගමන් මාර්ගය ඉහත විස්තරය හා මැනවින් ගැලපේ. එසේම මෙම හෙල බැසීමේදී හමුවන වර්තමානයේ එළවළු වගා කරන සහ තේ වතු වල වැඩ කරන ජනයාගේ 'ලයිම්' ඇති සාපේක්ෂව සමතලා බිම් පෙර කර හෙල්මළු ක්‍රමයට වී වගාව කල බිම් විය හැක. මග සලකුණේ කුඩම්මා කලවිට (එනම් කුඩම්මා කමත) ලෙස හඳුන්වන ස්ථානය මෙවන් බිමක තිබුනා විය හැක.

මතුරට සිට මහනුවර දක්වා මග සලකුණ ඔස්සේ ගමන් මග ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821
  • The Great Rebellion of 1818, Tennakoon Vimalananda,  1970
  • උඩරට මහ කැරැල්ල, තෙන්නකෝන් විමලානන්ද, 2006

Friday, June 2, 2017

මග සලකුණ පාර කියන බදුලු මගියාගේ සෙන්කඩගල වන්දනාව

බදුල්ල සේනානායක උද්‍යානයේ පැරණි ඡායාරූපක් - උපුටා ගැනීම https://amazinguva.wordpress.com
මග සලකුණ නම් වූ පැරණි කාව්‍යයක එන තොරතුරු අනුව බදුල්ලේ සිට මහනුවර දක්වා වූ පැරණි මාර්ගයක තොරතුරු සොයා යන මෙම ලිපි පෙලේ පළමුවැන්න අප මෙයට පෙර ඉදිරිපත් කලෙමු (කියවන්න - මග සලකුණ ඔස්සේ බදුලු පුරයේ සිට සෙන්කඩගලට). එහෙත් පසුව හෙළිවූ තොරතුරු අනුව එහි අප ඉදිරිපත් කල මාර්ගයේ යම් කිසි වෙනසක් සිදු කල යුතු බව පෙනේ.
අලුගොල්ල මංසන්දිය - Google Street View ඇසුරින්
බදුලු පුරවරයේ සිට අලුත්වෙලින් පසු කැටවල දක්වා මග සලකුණ ඉදිරිපත් කරන ස්ථාන නාම හඳුනාගැනීමට නොහැකි බව අප පැවසූ මුත් මෙට්‍රික් සිතියම් වල නොමැති එහෙත් Google Map වල ලකුණු කර ඇති ස්ථාන දෙකක් අනුසාරයෙන් අප සිතූ පරිදි කැටවල දක්වා වූ මාර්ගය වැටී ඇත්තේ හාළිඇල හරහා නොව අලුත්වෙල සිට තව දුරටත් උතුරට ගොස් කඳු දුර්ගය මග හැර අලුගොල්ල සහ කොහොවිලකඳුර හරහා යන මාර්ගයක බව පෙනේ. මෙම ස්ථාන දෙක පිළිවෙලින්  අලුගොල්ලේ බැවුල සහ කොහොල්විලේ කඳුර ලෙසින් මග සලකුණ කවියා ඉදිරිපත් කරයි. මෙ අනුව අලුත්වෙලින් පසුව හමුවන මහගල්කඩ, අලුත්වෙල සිට අලුගොල්ල දක්වා ශ්‍රීඝ‍්‍ර නැග්මකින් යුත් දුර්ගය හෝ එහි කිසියම් ස්ථානයක් ලෙසට හඳුනාගත හැක.
කොහොල්විලේ කඳුරෙන් පසු හමුවන ස්ථානයක් ලෙසින් මග සලකුණ දක්වන කහටගහරුප්පේ, කහටරුප්ප ලෙසින් නම් වෙනස් වී අදද ඇති බව මෙහි පළමු ලිපියේ අදහස් පල කර මහත්මයෙකු පැවසූ මුත්, එම කහටරුප්ප බදුල්ල නගරයට ඊසාන දෙසින් වන පෙදෙසක් වන බැවින් අපගේ ගමන් මගට අදාල කර ගත නොහැක (මෙට්‍රික් සිතියම් හෝ Google Map වල නොමැති වුවද අපගේ ගමන් මාර්ගයේද එම නම ඇති ස්ථානයක් දැනටද තිබෙනවා විය හැක.)
කැටවල මංසන්දිය - Google Street View ඇසුරින්
කොහොවිල කඳුරේ සිට කැටවල දක්වා වූ මාර්ගය සිතියමේ ලකුණු කර ඇති පරිදි වර්තමාන අලුගොල්ල - කන්දේගෙදර මාර්ගයේ ගොස් කන්දේගෙදර හන්දියෙන් හැරී කන්දේගෙදර - කැටවල මාර්ගය ඔස්සේ වැටී තිබුනා විය හැක. එසේ නොවන්නේ නම් තරමක් දුෂ්කර කඳු පන්ති මතින් යන මාර්ගයක් වූවා වීමටද ඉඩ ඇත. දැනටද තේ වතු මැදින් වැටී ඇති එවැනි මාර්ග ප්‍රදේශයේ ඇති මුත් ඒවා පැරණි මාර්ග වලට වඩා තේ වතු වල ගමනාගමනය උදෙසා පසුව තැනූ ඒවා බව පෙනේ. 
අද පවතින කන්දේගෙදර හරහා අලුගොල්ලේ සිට කැටවලට මාර්ගය කළු පාටින්ද
 වෙනත් විකල්ප මාර්ග විය හැකි මං පෙත් කොළ පාටින්ද ලකුණු කර ඇත.
බෝගොඩ
නොමින පහඟ රැඳි රන්කොත් රැසිනි තිර
දිලෙන වෙනස නොවැ දිව රෑ එක අයුර
දකුණ සුසැදි සිරිසර බෝගොඩ වෙහෙර
තොසින නැමැද යව ලබනට සැප අමර

මග සලකුණ මාර්ග විස්තරයට අනුව කැටවලින් පසුව මිලිලගස්රුප්පේ පසුකර පිවිසෙන්නේ බෝගොඩ වෙහෙරටය. මිලිලගස්රුප්පේ හඳුනාගැනීමට නොහැකි වුවද බෝගොඩ වෙහෙර හඳුනා ගත හැක. බෝගොඩ රජමහ වෙහෙර සහ ඒ අසල ඇති ගල්ලන්ද ඔය හරහා නිර්මිත සුප්‍රකට පැරණි බෝගොඩ ලී පාලම අදටද මෙම ස්ථානයේ ඉපැරණි බවට දෙස් දෙයි. මෙම ලී පාලම බදුල්ල - මහනුවර පැරණි මාර්ගයේ ඉදි කර ඇති බවට වන ප්‍රදේශයේ සුපතල ජනප්‍රවාදය මේ අනුව නිවැරදි බව පෙනේ. කැටවල සිට බෝගොඩ දක්වා වූ මාර්ගය වර්තමාන කැටවල - කන්දෙකැටිය මාර්ගය ඔස්සේ ගොස් බෝගොඩ රජමහ විහාරය දක්වා වැටී ඇති අතුරු පාර ඔස්සේ තිබුණා විය හැක. 
බෝගොඩ පාලම
කෙසේ නමුත් මෙහිදි සලකා බැලුය යුතු එක් වැදගත් කාරණයක් වන්නේ අප මුලින් උපකල්පනය කල පරිදි අලුගොල්ලේ සිට කැටවල දක්වා වූ මාර්ගය කන්දේගෙදර දෙසට ගොස් නැවත කැටවල දෙසට එන මාර්ගය විය හැකිද යන්නය . මක් නිසාද යත් කන්දෙගෙදර සිට කැටවලට නොපැමිණ බෝගොඩ දක්වා පහසුවෙන් ලගා විය හැකි බැවිනි (සිතියම බලන්න). ඒ අනුව අප ඉහත සඳහන් කල එක් විකල්ප මාරගයක් අලුගොල්ලේ සිට කැටවල දක්වා වූ පැරණි මාර්ගය වීමට වැඩි සම්භාවිතාවයක් ඇත.
අලුගොල්ලේ සිට බෝගොඩ දක්වා මාර්ගය කළු පාටින් ලකුණු කර ඇත. කන්දේගෙදර සිට බෝගොඩට පහසුවෙන් ලගාවිය හැකි රතු පාටින් ලකුණු කර ඇති මාර්ගය කැටවල හරහා නොයන බැවින් අලුගොල්ලේ සිට කැටවලට පැරණි මාර්ගය කන්දේගෙදර හරහා නොගිය බව පෙනේ.

බෝගොඩින් පසු මගියාට උමා ඔය හමුවේ. උමා ඔය පිළිබඳව කරන වර්ණනාවකින් පසුව සලාතොට නම් වූ ස්ථානයකින් යන ලෙස පවසයි. බොහෝ විට එය උමා ඔය හරහා එගොඩ වීමට තිබූ තොටුපලක් වූ බව හැඟේ. ඉන්පසු දඹරුප්පේ සිට ගිමන් හරින ලෙස පවසා ඔය අසල වූ ඇතුන් බඳින ඇත්සල නරඹන ලෙසද පවසයි. ඉන්පසු විස්තර වන්නේ තුප්පිටියේ උයන නම් වූ ස්ථානයක් පිළිබඳවය. බෝගොඩ සිට උමා ඔය තරණය කල විට හමුවන තුප්පිටිය නම් වූ කුඩා කඳු ගැටයක් පිහිටි පෙදෙසක් මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. තුප්පිටිය විහාරය නම් වූ වෙහෙරක්ද මෙම ස්ථානයට නොබෝ දුරකින් Google Maps වල සලකුණු කර ඇත.
බොගෝඩ පාලම පිහිටි ස්ථානයේ සිට උමා ඔය දක්වා වැටී ඇති කුඩා අඩි පාරක් ඇසුරින් පුරාණ මාර්ගය පිළිබඳ අනුමානයක් මේ ආකාරයට ලබා ගත හැක (සිතියම) මෙම අඩි පාර උමා ඔය හමුවන ස්ථානයේ  දැනට කුඩා ඒදණ්ඩක් දැකිය හැක. පැරණි සලාතොට එම ස්ථානයේ  හෝ ඒ අසල වෙනත් තැනක තිබුණා විය හැක.


තුප්පිටිය උයනේ සිට ගමන් අරඹන මගියාට ඉන්පසු හමුවන්නේ වැලිහෙල පිහිටි සරණගොඩය. එය අසීරු නැග්මක් සහිත පෙදෙසක් බවය පහත කවිය අනුව හැඟෙන්නේ.

නේනුව නොම සිතා ලිය මෙ ගම නැණ බල
ගානුව මෙන් රැගෙන පය ලෙඩට ඔසු තෙල
සේනුව හොත් යන ගමනට වෙයි අබල
පේනුව සරණගොඩ නැගපන්න වැලි හෙල

තුප්පිටියට නුදුරින් වූ වැලිහෙල මෙට්‍රික් සිතියම් අනුසාරයෙන් සොයා ගත හැක. සලාතොට සිට තුප්පිටිය හරහා වැලිහෙල දෙසට ලඟා වීමට මාර්ග දෙකක් Gogle Earth ඇසුරින් පෙන්වා දිය හැක. 

1) සලාතොට සිට තුප්පිටිය කන්ද තරණය කර කදු මුදුන් මතින් වැටී ඇති මාවතක් ඔස්සේ වැලිහෙල මුදුනට ලගා වීම.
2) සලාතොට සිට මදක් දකුණට බරව ගමන් කර වැලිහෙල පාමුලට පැමිණ වැලිහෙල නැග එහි මුදුනට ලගා වීම.

නැගපන්න වැලි හෙල ලෙසින් කවියා පවසන බැවින් මෙම මාවත් දෙකින් පැරණි මාවත විය හැක්කේ දෙවෙනි එක බව පෙනේ. එසේම එය වෙල් යායක් මැදින් වැටී ඇති බැවින් ජනාවාස වූ පෙදෙස් මතින් පැරණි මං පෙත් තිබීමේ වැඩි නැඹුරුවක් තිබිය හැකි බව සැලකීමෙන් දෙවෙනි මාවත අපට අවශ්‍ය පැරණි මාවත ලෙසට පහසුවෙන් තෝරා ගත හැක.
උමා ඔය තොටුපලේ සිට වැලිහෙල මුදුන දක්වා ගමන් මාර්ගය - මෙහි වැලි හෙල මෙට්‍රික් සිතියම් වල දක්වා ඇත්තේ වම් පස කොනේ ඇති මුදුන ලෙසය. නමුත් වර්තමාන මාර්ගය එයට මදක් දකුණු පසින් වූ මුදුන හරහා විහිදේ. (ස්ථාන දෙකෙහිම හෙල නැගිය යුතුය)
මග සලකුණ මාර්ග විස්තරයට අනුව එතැන් සිට සිහිල්පැන් කඳුර, කොට්ටාගොඩ යන ස්ථාන පසු කර යෑමේදී මානාවෙල පොර ඇන ගන්න ගවයන් දැකිය හැකිය. ඉන්පසු වැවගෙදර නම් ප්‍රදේශය පසු කර හපුගොල්ලට පිවිසේ. මෙයින් කොට්ටාගොඩ (කෝට්ටේගොඩ ලෙසින්), මානාවෙල සහ හපුගොල්ල (සපුගොල්ල ලෙසින්) යන ප්‍රදේශ අදද හඳුනා ගත හැක. ඒ අනුව වැලිහෙල සිට හපුගොල්ල දක්වා පැරණි මාර්ගය පහත සිතියම් වල පෙන්වා ඇති ආකාරයෙන් වූවා විය හැක.




හපුගොල්ලෙන් පසු හාල්තොට නම් වූ තොටමුණකින් එගොඩ වන මගියා ඉන්පසු පිවිසෙන්නේ පරණගමටය. ඉන්පසු යොනුන් (එනම් කාන්තාවන්) විසින් පාවලන් (පා + වලන් - පාත්‍ර හා වලං හෝ පබළු) කරවල, ලුණු ආදිය විකුණන තවලන් පළ දැක යා ගන් මිතුර ලෙසින් කවියා පවසයි.  මෙයින් පරණගම සහ තවලන් පළ යන ස්ථාන දෙකම මෙට්‍රික් සිතියම් වල දැක ගත හැක. හාල්තොට සලකුණු කර නොමැතිමුත් හපුගොල්ලේ සිට පරණගම දක්වා පාර තරමක දිය පාරක් හරහා වැටී ඇත. නිසැකවම හාල්තොට එම තොටමුණ විය යුතුය.



 කඩින් කඩ තිබෙන ගිරිකුළු මත පතර
විඩින් විඩ රඟන සෙබඩුන් මැද මොනර
ඉඩන් නැත බලා ඉඳිනට මහ වගුර
දොඩන් වතු කපල්ලෙන් යා කර මිතුර

තවලන් පළ පසු කල පසු මග සලකුණ මාර්ග විස්තරයට අනුව හමුවන්නේ දොඩන්වතු කපල්ල නම් වූ ස්ථානයකි. එම ස්ථානයේ සිට බැලු විට මොනරුන් සමග සෙබඩන් රඟන මහා වගුරක් දිස්වන බවද ඉහත කවිය අනුව අවබෝධ වේ. මෙට්‍රික් සිතියම අනුව යමින් ඉහත රූපයේ අප තවලන් පළ ලකුණු කල ස්ථානය හරහා යන මග වැටී ඇත්තේ කඳු දෙකක් මැදිනි.මේ වන විට පොදුවේ එම ප්‍රදේශයටම තවලන් පළ යන නම ව්‍යවහාර වුවත් මග සලකුණේ විස්තර වන තවලන් පළ තිබෙන්නට ඇත්තේ ඇතැම් විට පරණගමට කිට්ටුව සම බිමක වීමට බෙහෙවින්ම ඉඩ ඇත. ඒ අනුව එය පසු කර යෑමේදී හමුවන දොඩන්වතු කපල්ල මෙම කඳු දෙක මැදින් වැටී ඇති කපොල්ල බව පැහැදිලිය.
අද වන විට දෙපස පිහිටි කඳු මුදුන් වල කැලය එලි වී ජනාවාස ඇතිවි ඇති නමුදු මෙම ප්‍රදේශයේ කඳු වැටි දෙක අතර පහත් බිම් ප්‍රදේශය පෙර කල ජලය රඳන වගුරක් ව තිබූ බවට මෙට්‍රික් සිතියමේ කුඩා වගුරු ප්‍රදේශයක් සලකුණු කර තිබීමෙන්ද පැහැදිලි වේ (එම ප්‍රදේශයද ඇතුළුව සියලුම බිම් මේ වන විට වෙල් යායකින් සහ ජනාවාස වලින් ප්‍රතිස්ථාපනනය වී ඇත.) 
මෙනේ තොසින් ගොඩ නැග කැරකී එවිට
මිණේ ඉඳු අයුරු දෙනෙතින් බැලු කලට
අනේ වතු ගෙවතු වෙල් යා සැදි අවට
පෙනේ ඌවතුන්කිඳ අතැඹුල ලෙසට

මෙම උස් ස්ථානයේ සිට බැලූ විට ඌවතුන්කිඳ ප්‍රදේශයේම වතු ගෙවතු සහ වෙල් යායවල් පෙනෙන බව ඉහත කවියෙන් පැවසේ. මෙහි ඌවතුන්කිඳ යනු උඩ කිඳ, මැද කිඳ සහ යටි කිඳ යන ඌව රටට අයත් පෙදෙස්ය. දොඩන්වතු කපල්ලෙන් පසු මාර්ගය යොමුවන්නේ අඩයටි සහ කඟ (තෝමර සහ කඩු) රැගත් සෙබලුන් මුර කරන කඩවතටය. ඉහත මෙට්‍රික් සිතියමේ පෙන්වා ඇති ආකාරයට අදටද එම පෙදෙස කඩවත ලෙසින් සලකුණු කර ඇත. 
කඩවත සහ ඒ වෙත යොමුවන මාර්ගය පහත සිතියම් වල ලෙසට තිබුණා විය හැක. මෙම කඩවත පසුකිරීමත් සමග දැනට පවතින පළාත් බෙදීම් අනුව ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිට මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය වෙත අපගේ ගමන් මාර්ගය යොමුවේ. එතැන් සිට සෙන්කඩගල පුර දක්වා ගමන් මග ඉදිරි ලිපියකින් විමසා බලමු.
මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.