Showing posts with label Ibbagala. Show all posts
Showing posts with label Ibbagala. Show all posts

Saturday, July 18, 2020

කුරුණෑගල රාජකීය නගරය, බුවනෙකබාහු රාජ සභාව, බුවනෙකගේ Rooms පොට් එක සහ එල්ලෙන්න වැල් සොයන විජාතික කඳවුරේ වහල්ලු

බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ රාජ සභාව කඩලලු. කුරුණෑගල නගරාධිපතිලු. ඒ වුනාට වගකියන්න ඕනේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුවලු (මේවා කියන අපතයන් එතුමාට අපහාසාත්මක ලෙස යොදාගන්නා වචනය මම මෙහිදී භාවිතා නොකරමි.) එකම විසඳුම ලඟ එන චන්දෙදි මෙරට නිධන් පිළිබඳව... වැරදුනා..පුරාවස්තු පිළිබඳව හසල දැනුමක් ඇති බූරු පුතානෝට (අපහාස නොකල යුත්තන්ට අපහාස නොකල යුතු සේම අපහාස කල යුත්තන්ට අපහාස කිරීමද කල යුතුය) බලය දීමට නොහැකි නම් අඩු ගානේ එයාව ශක්තිමත් කිරීමලු, එතකොට නිධන් සේරම උඩ එනවලු..ආයෙමත් වැරදුනා පුරාවස්තු ඔක්කොම බේරෙනවලු. ඒ සඳහා ඕනේ තරම් මසුරන් පොදි බැඳලා තියෙනවලු මධ්‍යම සංස්කෘතික අරමුදලේ.  ණයට අරන් සල්ලි බෙදීම හැර වෙනත් කිසිම ආර්ථික න්‍යායක් නොදන්නා උන්නැහේ ඒක භාර ඇමැතියා කාලේ ඒකේ සල්ලි එහෙට මෙහෙට බෙදා දුන්නේ නැහැලු. එයාට දෙන්න බැරිනම් උතුර දකුණ මාරු වෙලා ඉන්න ඔරලෝසුවට දෙන්නලු. පිළිම වඳින්නේ ගෝත්‍රිකයන් කියලා එතුමාල කිව්වට තලේබාන් වැඩ කරන්නේ නැහැලු! කැඩිච්ච රාජ සභාව වෙනුවට රාජසභාවක් අයර්ලන්තෙන් හරි ඉම්පොර්ට් කරලා දෙනවලු.

ප්‍රවේශය දිග වැඩි උනාද මන්දා? ඒ උනාට ඕවා නොකියා බැරිය. මෙරට ජනතාව බුද්ධිමත් කියලා කියන්නේ ඒ ජනතාව අන්දන දේශපාලකයන්ම පමණි. ඇත්ත කතාව මෙරට සැලකිය යුතු ප්‍රමාණයක් ජනතාව විශේෂයන්ම හොඳ අධ්‍යාපනයක් සහිත රජයේ සහ පෞද්ගලික ආයතන වල රැකියා කරන මධ්‍යම පාන්තිකයන් ඔවුන් ප්‍රගුණ කල විෂයට පරිබාහිර විෂයන් සම්බන්ධ පට්ටපල් මෝඩයන්ය. මාධ්‍යය, පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යපනය මගින් ඔවුන්ගේ තර්කාණුකූලව සිතීම සහ කරුණු හරිහැටි විමසා බලා නිගමන වලට එලඹීමේ හැකියාව මොට කර නොමැති නම් නැත්තටම නැති කර ඇත. ඔවුන් කතා කල යුතු, සිතිය යුතු, වැඩ කලයුතු ආකාරය ඔවුන්ට ඔවුන් නොදැනුවත්වම කියා දෙන්නේ නැත්නම් ඔවුන්ව මෙහයවන්නේ මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍යය. පසුගිය දශකයේ සිට නම් සමාජ මාධ්‍යය.

රාවණා පොරක් වී ඇත්තේ, බුදුන් ලංකාවේ ඉපදුනනායැයි විශ්වාස කරන්නේ මේ සමාජ කොට්ඨාශයේම එක් කණ්ඩායමකි. ඉතිහාසය ඔවුන්ට ඕනෑ ලෙසට කිසිම පදනමක් නොමැතිව විකෘතිකර ඔවුන්ට පොවා ඇත්තේ වෙනත්ම තක්කඩින් කොටසකි. ඔවුන් එයින් ආර්ථික ප්‍රතිලාභ සහ එම මත විශ්වාස කරන්නන් (නොමැතිනම් අදහන්නන්) අතර දේවත්වයටද පත්වී ඇත. මේ සමාජ කණ්ඩායම ඉතිහාසයට අදාලව ආසන්නතම ඇනගැනීම ඇනගෙන ඇත්තේ මේ බුවනෙකබාහු රාජ සභා කතාව සමගය. මේ වනවිට බොහෝ දෙනෙක් මේ පිළිබඳව වූ සිදුවීම පිළිබඳව අසා ඇති මුත් අවශ්‍ය වැදගත් කරුණු විමසීමට ප්‍රථම එහි අග මුල සම්බන්ධවද යම් විස්තරයක් කිරීම වැදගත්වේ යැයි සිතමි.
ප්‍රස්තුත සිද්ධියට පදනම් වී ඇත්තේ Google Street View මගින් ලබාගත් ඉහත ඡායාරූපයේ දැක්වෙන ගොඩනැගිල්ලය. එහි කොටසක් කුරුණෑගල නගරාධිපතිගේ නියමයෙන් පසුගිය දිනක කඩා දමා ඇත. බැලූ බැල්මට ඉංග්‍රීසි යුගයේ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ පෙන්වන එහි මෑතක් වනතුරු තිබී ඇත්තේ Rooms දෙන හෝටලයකි. නගාරධිපතිවරයා කියන ලෙසට නම් එය බුවනෙක හෝටලය වී ඇත්තේ එහි අයිතිකරුගේ නම බුවනෙක වන බැවිනි. මේ සමග ඇති අනිත් ඡායාරූපය දෙස බැලූ විට එම තොරතුරු සත්‍ය බව පැහැදිලි වේ. තවදුරටත් පැවසෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි ගවේෂණයක් (ඇතැම් මාධ්‍ය වලට අනුව කැනීමක්) නුදුරේම කිරීමට නියමිතව තිබී ඇති අතර එයට පෙර මෙම කඩා දැමීම සිදු කර ඇත. දන්නා තරමින් මේවන තෙක් ගැසට් නිවේදනයක් මගින් මෙම ස්ථානය ආරක්ෂිත ස්මාරකයක් බවට පත් කර නැත. එහෙත් එසේ නොවූවා කියා පැරණි ගොඩනැගිල්ලක් හිතුමතේ කඩා දැමීම විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසියම් කටයුත්තක් කිරීමට දින යොදාගෙන තිබීයදී එය සිදුකිරීම බරපතල වරදකි. ඒ සඳහා වගකීම දැනටමත් භාරගෙන තිබෙන නගරාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගත යුතුය.
කෙසේ නමුත් වැටී ඇති නරාවලෙන් ගොඩ ඒමට එල්ලෙන්න වැල් නොමැතිව තුත්තිරි ගස් වල එල්ලෙන ප්‍රතික්ශේපිත විජාතික කඳවුරේ දේශපාලන වහලුන් සහ ඔවුන්ගේ නායකයින් පවසන මෙය 13 වන සියවසට (මොවුන් 13 වන සියවසක් ගැන කතා කලත් ඇත්ත වශයෙන්ම කුරුණෑගල අගනගරය ලෙසින් වූ රාජධානිය ආරම්භ වන්නේද 14 වන සියවසෙනි) අයත් බව පැවසෙන කුණුහරුපයට නම් උත්තර දිය යුතුය (මෑතකදී ඔවුන් එල්ලී එම ගස්ද සමග කඩා වැටුණු තුත්තිරි ගස් කිහිපයක්ද මේ සමග සඳහන් නොකරම බැරිය. ඒවා නම් විශ්‍රාම ගිය ත්‍රස්ථවාදියෙකු වන නමුත් පසුව සිව්වන ඊලාම් යුද්ධයේදී එම ත්‍රස්තවාදීන්ව පැරදවීමට ඉමහත් සේවයක් කල කරුණාගේ අලිමංකඩ ප්‍රකාශය, ලෙජන්ඩ් එකක් යැයි කියන බෝර්න් එගේන් සංගා ඔහු විසින්ම සිදු කල පැමිණිල්ලක් විභාග කිරීමට CID ගෙන්වීම, අඟුලානේදී චණ්ඩි අක්කලා ටිකක් පොලීසියට ගල්ගැසීම, සාර්ථකව තමන්ටම ආවේනික ක්‍රමවේදයක් මගින් කෝවිඩ් 19 මර්ධනය කරමින් සිටින රජය වරින් වර එසේ නොකලායැයි කියමින් අලුත් රැලි එනවා කියමින් බිල්ලන් මැවීමට යෑම ආදිය දැක්විය හැක. මේ සියල්ලන්ගෙන්ම ඔවුන් අනාථ වූ මුත් තම වහලුන්ට තාවකාලික වින්දනයක් සැපයීමට නම් හැකි විය. මේ අතරට අර නිදහස් චතුරශ්‍රයේදී දිවිනසා ගත් මහතා සම්බන්ධ සිද්ධියද ඇතුලත් විය යුතුය. අපතයන්ට අනුව ඔහුව මරා ඇත්තේ රජය විසින්ය. නමුත් ඔහු අවසානය දක්වා මේ රජය වෙනුවෙන් සිය ලිපි ලිවීය. මේ ගොඩනැගිල්ල 13 සියවසට අයත් රාජසභා මණ්ඩපයක් නම් එය මෙරට අපට ඉතිරිව ඇති අගනාම ඓතිහාසික ගොඩනැගිල්ල විය යුතුය. මේ ආකාරයෙන් එම යුගයට අයත් එවන් කිසිම ගොඩනැගිල්ලක් අපට ඉතිරිව නොමැති බැවිනි. අනෙක් අතට 18 වන සියවසෙන් පසුව ඉංග්‍රීසීන් අපට හඳුන්වාදුන් ගෘහනිර්මාණාත්මක ලක්ෂණ අප 13 සියවසේ පටන්ම භාවිතා කර ඇති බවත් ඒවායේ මුල් අයිතිකරුවන් අප බවත් ලෝකයට පැවසීමට මීට වඩා අනගි අවස්ථාවක් තවත් නම් හමු නොවෙනු ඇත.

එසේ නම් මෙම ස්ථානයේ අවම වශයෙන් රාජ සභා මණ්ඩපය හෝ එම යුගයට අයත් කිසියම් ගොඩනැගිල්ලක් පෙරදී හෝ තිබී ඇත්ද? මේ ලිපිය මූලිකව එම කරුණු විමසා බැලීම උදෙසා වෙන්වේ. එම යුගයේ රජ කල රජවරුන් පිළිබඳවද මෙහිදී විමසා බැලීමට අදහස් කල මුත් ලිපිය දිගවැඩිවූ බැවින් එය වෙනත් දිනක් සඳහා කල්තැබේ. මේ අඳ බාල වහලුන් පිරිස පවසන දෙවන බුවනෙකබාහු හෙවත් වත්හිමි බුවනෙකබාහු රජු ක්‍රි.ව. 1293-1302 අතර කාලයේ කුරුණෑගල අගනගරය කරගනිමින් රාජ්‍යය විචාල බව පමණක් මෙහි සඳහන් කරන්නේ මේ කතන්දර කියන බහුතරය බුවනෙකබාහු සිටි කාලය පවා හරිහැටි නොදන්නා ඔලමොට්ටලයන් පිරිසක් බැවිනි (ඔහු කුරුණෑගල සිටම රාජ්‍ය විචාල තෙවන බුවනෙකබාහු හෙවත් වන්නි බුවනෙකබාහු නම් ඔහුගේ රාජ්‍ය කාලය හරිහැටි නොදනී)
සිතියම 1 
පුෂ්පදේව තෙරුන් නම් හිමිනමක් විසින් ක්‍රි.ව. 1344 ට ආසන්න කාලයකදී එහි මුල් ග්‍රන්ථය රචිත ලෙස හඳුනාගත හැකි කුරුණෑගල විස්තරය නම් ග්‍රන්ථයේ ක්‍රි.ව. 1293 සිට 1344 දක්වා කාලය තුල පැවති බවට අප අද හඳුනාගන්නා කුරුණෑගල රාජධානියේ ආරම්භය පිළිබඳව මෙසේ සඳහන් වේ. විජය රජු කුවෙනි නම් යක්ෂණිය පලවා හල පසු ඇය නික්ම ගොස් සත්වෙනි දින විල්බා නම් ගල් ලෙනක සිට ඇත. ඒ බැව් සක්දෙව් රජ දිවසින් දැක නුවරක් කරවමියි සිතා විල්බාවට උතුරු දිග ඇතුගලටත්, ඉබ්බාගලටත්, කුරුමිණියාගලටත් දෙමැද අහසේ වැඩ සිට මවන ලද...නුවර කුරුණෑගල නුවරයි. කුරුණෑගල විස්තරය ලියැවෙන්නේ කුරුණෑගල මෙරට උතුම්ම නගරය බව පැවසීමේ අරමුණෙනි. ඒ සඳහා එහි ආරම්භය සිංහල ජාතියේ "ලිඛිත ආරම්භය" දක්වාම ගෙන යෑමට එහි කතුවරයාට අවශ්‍යය විය. ඇත්ත වශයෙන්ම ගෞතම බුදුන්ට පෙර සිටි බුදුවරයන්ගේ කාල වලදීද මෙහි නුවරවල් වූ බව එහි සඳහන් වේ. එම මනඃකල්පිත කරුණු සහ සක් දෙවි රජු එම නුවර මැවූ ලෙසට වූ සඳහන අමතක කර බැලූ විට මෙයින් අපට ගත හැකි වැදගත්ම කරුණ නම් ඉහත සඳහන් ඇතුගල, ඉබ්බාගල සහ කුරුමිණියාගල යන ගල් පර්වත තුනට මැදිව එම නුවර මැවූ (ඉදිකල) බව එන සඳහනයි. එම ගල්පර්වත එම නම් වලින් අදද හඳුනාගත හැක (ඉහත සිතියම බලන්න)
ඉහල සිට පහලට, කුරුමිණියාගල, ඉබ්බාගල සහ ඇතුගල රවුම් කර දක්වා ඇත.
කුරුණෑගල විස්තරයේ සඳහන් වන කුවෙනිය සිටි ලෙන ලෙස හඳුනාගත හැකි අදටත් විල්බාව ලෙසින් හඳුන්වන ඉහත සිතියම 1 හි සලකුණු කර ඇති ස්ථානයේ වර්තමානයේ මහනුවර යුගයේ ඉදිකල ලෙස පැවසෙන ප්‍රතිමාගෘහ දෙකක්, පත්තිනි දේවාලයක් සහ දාගැබක් සහිත විහාරයක් තිබේ. මෙහි පිහිටි එක් ගුහාවක පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියක්ද හමුවේ. තිශ (තිස්ස) නම් වෙළෙන්දෙකු (වණිච) විසින් එම ලෙන සංඝයාට පූජා කල බව එහි සඳහන් වේ. එහි කුවෙනිය සිටි ජනප්‍රවාදයේ සත්‍ය අසත්‍ය භාවය කෙසේ වෙතත් ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් එම ප්‍රදේශයේ ජනයා සිටි බව සහ එම ලෙන තිශ නම් වෙළෙන්දෙකුට අයත්ව තිබී සඟ සතු කල කරුණ අපට පිළිගත හැක. එයට උතුරින් කුරුණෑගල විස්තරයේ ඇතැම් අවස්ථා වල 'ත්‍රීකූටය' ලෙසින්ද හඳුන්වන ගල් පර්වත තුනක් පාමුල පුරාණ නගරය ඉදිකර තිබූ කරුණද මේ අනුව අපට පිළිගත හැක.

මෙම කුරුණෑගල විස්තරයේ සඳහන් වන ඉසව්වේම දැනට වයඹ ආණ්ඩුකාර කාර්යාලය සහ වයඹ ප්‍රධාන අමාත්‍යංශ කාර්යාලය ආදි ගොඩනැගිලි පිහිටි ප්‍රදේශය පෙර රජ මැදුර ආදි කුරුණෑගල රාජධානියට අයත් ස්ථාන පිහිටි භූමිය ලෙස පොදුවේ සැලකේ. මේ ප්‍රදේශයේ දැනටද අතරින් පතර හමුවී තිබෙන ඇතැම් නෂ්ඨාවශේෂ ආදිය එය සත්‍ය බවට දෙස් දෙයි. අදටද 'මාලිගාව' ලෙසින් හැඳින්වෙන මෙහි පිහිටි ගොඩනැගිල්ල ඉංග්‍රීසි පාලන සමයේ 1880 දී පමණ ඉංග්‍රිසී ඒජන්තවරයාගේ නිල නිවස ලෙසින් පැරණි මාළිගාව පිහිටි ස්ථානයේ ඉදිකල බව පැවසේ (රංගන කුරුවිට,  2015). සයිමන් කාසි චෙට්ටි මුදලිවරයා 1834 වර්ෂයේ පල කල Ceylon Gazetteer ග්‍රන්ථයේ ඇතුගල පිළිබඳව ඔහු ඉදිරිපත් කරන විස්තරයේ පවසන්නේ ඇතුගලේ බටහිර අන්තයේ පැරණි රජවරුන්ගේ මාළිගාව තිබූ බවයි. 1893 වර්ෂයේ රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට ලිපියක් සපයමින් F. Modder සඳහන් කරන්නේ එම ස්ථානයේ ඒ වනවිට පළාතේ රජයේ ඒජන්තවරයාගේ නිල නිවස පිහිටි බවත්, එය මාලිගාව ලෙසින් හැඳින්වූ බවත්ය. ඔහුටත් පෙර යුගයක මෙරට පිළිබඳව  බොහෝ වැදගත් තොරතුරු අන්තර්ගත කර වෙලුම් දෙකක අගනා කෘතියක් කල එමර්සන් ටෙනන්ට් 1859 වසරේදී සඳහන් කරන්නේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සිවිල් නිලධාරියාගේ නිල නිවස පිහිටි භූමියේ පැරණි මාළිගය පිහිටි බවත්, එහි භූමිය පුරා රාජකීය ගොඩනැගිලි වල තිබූ ගල්කණු, කැටයම් ගල්, ආදියේ සුන්බුන් විසිරී තිබූ බවත්ය. ටෙනන්ට්ටත් පෙර 1821 වර්ෂයේදී මෙම ස්ථානයට ගිය ඉංග්‍රීසි ජාතිකයෙකු වන J.W. Bennett එවකට එහි කච්චේරිය තිබූ බවත්, දිස්ත්‍රික්කයේ මුල් යුගයේ සිටි ආණ්ඩුවේ ඒජන්තවරයා වන Henry Pennell ඔහුට එහි තිබූ විවිධ සතුන්ගේ කැටයම් සහිත විශාල ප්‍රමාණයේ ශෛලමය පුවරු විශාල ප්‍රමාණයක් පෙන්චූ බවත් පවසයි.. ඔහුගේ විස්තරයට අනුව එම කැටයම් අතර සිංහ, අශ්ව සහ ඇත් රූප තිබී ඇති බව පෙනේ. බෙනන්ට් මෙහිදී සඳහන් කරන වැදගත්ම කරුණ නම් හෙන්රි පෙනල් විසින් ඔහුට ඒවා කැමති නම් රැගෙන යන ලෙස පැවසූ මුත්, අධික බරකින් යුක්තවීම ඒවා රැගෙන නොයෑමට ඔහුට තිබූ එකම හේතුව වූ බවය. එම ගල් කැටයම් වලට පසුව සිදුවූ දේ මේ අනුව හිතාගත හැක.
ඇතුගල, ඉබ්බාගල සහ කුරුමිනිහාගල කුරුණෑගල වැව ඉවුරේ සිට
කෙසේ නමුත් මේ විස්තර අනුව අවම වශයෙන් 1820 පමණ සිටවත් පැරණි මාළිගය පිහිටි ස්ථානයේ ඉංග්‍රීසි රජය විසින් විවිධ ගොඩනැගිලි ඉදිකල බවත් මාළිගාවක කිසිදු ගොඩනැගිල්ලක් ඒවායේ ශෛලමය සුන්බුන් විනා එහි ඉතිරි වී නොතිබූ බවත් පැහැදිලි වේ.. කුරුණෑගල අවසාන වරට රජකල රජුගෙන් පසු මේ වන විට (1820 වන විට) වසර 500 කට නොඅඩු කාලයක් ගෙවී ගොස් තිබූ අතර එම මාලිගය සහ නුවර අතහැර දැමීමෙන් පසුව ඒවායේ තිබූ දැවමය අවශේෂ ආදියේද කිසිවක් ඉතිරි වී තිබීමට හැකියාවක් නොමැති බව මෙහිදී හැඟී යා යුතුය. (බුවනෙක හෝටලෙයේ පේකඩ සහ ලී කණු 13 වන සියවසට අයත්යැයි කියන උදවියද මේ ගැන සිතා බැලීම මෙහිදී වැදගත් බව පවසමි.) මේ කරුණු අනුව මාලිගය පිහිටි තැන නිශ්චිතව අපට පැවසිය හැකි වන අතර එය පහත සිතියමේ සලකුණු කර ඇත. එහි වර්තමානයේ ඉහත සඳහන් කල රජයේ කාර්යාල පිහිටා ඇත. ඒවා කලින් කල අලුත් වැඩියා වෙමින් පැමිණි මුත් මුල් ගොඩනැගිලි ඉංග්‍රීසි පාලන කාලයට අයත්විය යුතුය. අද ඇත්තේ එම පැරණිම ගොඩනැගිලිද නොමැති නම් ඒවා පිහිටි තැන් වල පසුව ඉදිකල ගොඩනැගිලිද යන්න වෙනම සොයා බැලිය යුතුය. එසේම ඒවා එහි මුල් ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ රැකගනිමින් ප්‍රතිශංස්කරණයද විය යුතුය (මෙහිදී කොළඹ නගරයේ Dutch Hospital, Independent Arcade, ආදී ඇතැම් පැරණි ගොඩනැගිලි ප්‍රතිශංස්කරණය කල ආකාරය ආදර්ශයට ගත යුතුය )
ඉහත සිතියමට අනුව පැරණි රජ මාලිගය ඇතුළු පැරණි ගොඩැනැගිලි තිබී ඇත්තේ ඇතුගල පාමුලටම ආසන්න කොටසක බව පෙනේ. මෙහි කොළ පැහැති රවුමෙන් ලකුණු කර ඇති ස්ථානයේ දැනටද ආණ්ඩුකාර කාර්යාලය පිහිටා ඇති අතර මාලිගාව තිබූ බවට ඉහත සියළුම මූලාශ්‍ර වල පැවසෙන්නේ එම ස්ථානයේය. එයට මදක් දකුණට වන්නට දැනට කච්චේරිය ඇතුළු රජයේ ගොඩැනැගිලි සංකීර්ණයක් ඉදිකර ඇති අතර ඒවා මෑතකාලීන මහල් ගොඩනැගිලිය (බ්‍රිතාන්‍ය යුගයේ පැරණි කච්චේරි ගොඩනැගිල්ලද එහි තවමත් සුරැකිව ඇත.). දැන් මතභේදයට ලක්වී ඇති බුවනෙක හෝටලය පිහිටි ස්ථානය මෙම ස්ථාන වලට සාපේක්ෂව පිහිටා ඇති ආකාරය පහත සිතියමෙන් දැකගත හැක.
ඉහත ගොඩනැගිලි රවුම් කර දක්වා ඇති අතර ඒවට වම්පසින් ඇතින් බුවනෙක හෝටල් ගොඩනැගිල්ල රතු පාට සලකුණකින් දක්වා ඇත.
පැරණි නගරයේ ආරක්ෂාව උදෙසා කුරුමිණියාගලේ කෙලවරේ සිට ඇතුගලේ එම අන්තය දක්වා තිබෙන්නට ඇති ප්‍රාකාරයක් මගින් බටහිර දෙසින් එම ප්‍රාකාරය සහ ගල් පර්වත අතර කොටස වටකර මාලිගාව ඇතුළු රාජකීය ගොඩැනැගිලි සහිත ඇතුළු නුවර තිබෙන්නට ඇති බව රංගන කුරුවිට මහතා සිය ග්‍රන්ථයේ අනුමාණ කරයි. දැනට කුරුණෑගල-දඹුල්ල මාර්ගයේ කොතලාවල විද්‍යාලය ආසන්නයේ ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට පිටුපසට වන්නට ඉතිරි වී ඇති ප්‍රාකාරයක කොටසක් සහ වත්හිමි මාවතේ 'මාලිගාව' දෙසට එනවිට හමුවන ගලේබණ්ඩාර දේවාලය ආසන්නයෙන් ඇතුගල දෙසට නැගි විට හමුවන එම ප්‍රාකාරයේ කොටසක් දැනටද දැකගත හැකි බව ඒ මහතා සඳහන් කරයි. මෙවන් ප්‍රාකාරයක් පිළිබඳව කුරුණෑගල විස්තරයේද මෙසේ සඳහන් වේ. "සැතපෙන මාලිගාවේ සිට බස්නා අත (එනම් බටහිර) තිබෙන මහ ගල් තාප්පේ විසි බඹයක් හා.."..එවන් ප්‍රාකාරයක් තිබුනේ නම් මතභේදයට ලක්වී ඇති මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ එම ප්‍රාකාරයට පිටතින් බව පහත සිතියමින් හඳුනාගත හැක. රාජ සභාවක් හෝ වෙනත් එවැනි රාජකීය ගොඩැනැගිල්ලක් ඒ අනුව කිසිසේත්ම ඇතුළු නුවර ප්‍රාකාරයෙන් පිටත පිහිටිය නොහැකි බව තවදුරටත් සනාථ වේ.  (මාලිගාවෙන් නැගෙනහිර දෙසට වන්නට ඇතැම් ස්ථාන වල දැනටද දැකිය හැකි තවත් එවන් වෙනත් ප්‍රාකාර කොටස් පිළිබඳව රංගන කුරුවිට මහතා මෙන්ම F. මොඩර් ද විස්තර ඉදිරිපත් කර ඇති මුත් මෙම ලිපියේ අරමුණට ඒවා අදාල නොවන බැවින් ඒ සම්බන්ධව මෙහිදී වැඩිදුර තොරතුරු ඉදිරිපත් නොකරමි.)
දම් පැහැ කවය තුල පැරණි රජ මාලිගය ඇතුලු ගොඩනැගිලි පිහිටි ප්‍රදේශය ලකුණු කර ඇති අතර උතුරේ සිට දකුණට යොමුවන නිල් පැහැති රේඛාවෙන් ප්‍රාකාරය තිබූ ආකාරය නිරූපනය වේ.  බුවනෙක හෝටලය තවදුරටත් බටහිර දෙසට වන්නට රතු පාට තිතකින් ලකුණු කර ඇත.
එසේ නම් මෙම බුවනෙක හෝටලය කුමක්ද? එහි කිසියම් හෝ ඓතිහාසික වටිනාකමක් නොමැතිද? ඉහත ඉදිරිපත් කල කරුණු අනුව එය කිසිසේත්ම 13 සියවසට අයත් ගොඩනැගිල්ලක් නොවේ. එය අපතයන් නොවන ඕනෑම කෙනෙකුට අවබෝධ විය යුතුය. එසේම එම ගොඩනැගිල්ල ඉදිවී ඇත්තේ ඇතුළු නුවරට පිටිනි. එබැවින් අවම වශයෙන් එය රාජ සභාව වැනි රාජකීය ගොඩනැගිල්ලක් තිබූ ස්ථානයකවත් තැනූවක් නොවේ. නමුත් නගරයේ ප්‍රාකාරයෙන් පිටත එයට ඉතාම ආසන්නව පිහිටි මෙම ස්ථාන වලද කිසියම් ගොඩනැගිලි කුරුණෑගල යුගයේ ඇතැම්වීට තිබෙන්නට ඇත. පොලවෙන් උඩ තිබෙන එතරම් පැරණි නොවන මෙම ගොඩැනැගිල්ල පිහිටි භූමිය යටට කැනීම් කර බැලුවොත් එවැනි දේවල අවශේෂ හමුවිය හැක. මීටත් වඩා ඉහත සිතියම් වල ඇතුළු නුවර ලෙස සලකුණු කර ඇති ප්‍රදේශයේ කැනීම් මගින් බොහෝ දේ හමුවීමේ ඉඩකඩ ඇත. දැනටද එවන් බොහෝ ශෛලමය අවශේෂ එම භූමියේ තැන් තැන් වලින් වරින් වර හමුවී ඇති බව පැවසේ. එහෙත් එම ප්‍රදේශයේ මෑතකාලීන ඉදිකිරීම් බහුලය. ඒවා ඉදිකිරීමේදි බොහෝ වටිනා ස්ථාන වල අවශේෂ විනාශ වන්නට ඇත. උක්ත ගොඩනැගිල්ල සම්බන්ධව නම් පැවසීමට ඇත්තේ පැහැදිලිවම ඉංග්‍රීසි පාලන සමයේ 19 වන සියවසේ අවසාන කාලයෙන්  පසුව ඉදිවූවක් වන එය කිසිසේත්ම එයට පෙර යුගයකට කාලනිර්ණය කල නොහැකි බවය. ඇතැම්විට එහි පාදමට ප්‍රදේශයේ ඒ වනවිට සුලභව තිබූ ගල් පාදම් සහ වෙනත් දේ යොදාගන්නට ඇත. පෙරලුන පිට හොඳයි කියා මෙම විනාශයත් සමග ඒ පිළිබඳව කැනීම් කර තොරතුරු සොයාගත හැක. නමුත්  හැකි නම් මෙම ගොඩනැගිල්ල පෙර තිබූ ලෙසට ප්‍රතිනිර්මාණය කර මෙතෙක් යොදාගත්තා මෙන් කුරුණෑගල පෞද්ගලික උපකාරක පන්ති වලට යන බාලවයස්කාර පෙම්වතුන්ට කාමර සපයන ස්ථානයකට වඩා වැදගත් කාර්යයක් උදෙසා භාවිතා කල යුතුය. අවසාන වශයෙන් අත්තනෝමතික ලෙස මෙය විනාශය කල පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කිරීමද අනිවාර්යයෙන් කල යුතුය. අගෝස්තු 5 කොහොමත් ඇප නැතිවෙන්න පරදින ගොන් අලි, රතු අලි සහ ඔරිජිනල් කොළ අලි මෙය විකුණාගෙන ලිප ගිණි මෙලවෙන තෙක් කකුළු නැටුම් නැටුවාට අපට නම් කම් නැත. මෙතෙක් මෙරට ජාතික සම්පත් විනාශ වෙද්දී බවුන් වැඩූ ජේතවනාරාමයට කුණු පුරවන්න කතා කල, ශ්‍රීමහා බෝධිය යට අඩියක් ගසන්න කතා කල, අන්තවාදීන් උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කරද්දි නෑසූ කන්ව සිටි විජාතික කඳවුරේ අපතයන් සිය ඓතිහාසික පරාජය හමුවේ හෝ ඒවා ගැන කතා කිරීමම වැදගත් නොවේද? එහෙත් ඒ සඳහා කිසිදු පදනමක් නොමැති මනස්ගාත දොඩවා මෙරට ඊනියා "උගත් බුද්ධිමත් ජනතාව" ඇන්දීමට නම් ඉඩදිය නොහැක.

මූලාශ්‍ර

  • කුරුණෑගල විස්තරය, ශාස්ත්‍රීය සංස්කරණය සහ විමර්ශනය, රංගන කුරුවිට, 2015
  • Ceylon and Its Capabilities, An Account of Its Natural Resources, Indigenous productions and commercial facilities, J.W. Bennett, 1843
  • Ceylon, An Account of the island Physical, Historical and Topographical with notices of its natural history, antiquities and productions Vol 1 and 2 , Sir James Emerson Tennent, 1859
  • පෞරාණික ස්ථානහා ස්මාරක - කුරුණෑගල දිස්ත්‍රික්කය, ර්‍.ඛ්.ශ් අනුරාධා, අජන්තා සමන් කුමාරි, 2015
  • Ceylon Gazetteer, Simon Casie Chitty, Modliar, 1834
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Modder F., Kurunegala Vistaraya; with notes on Kurunegala, Ancient and modern, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume 13 Part 44 , 1893