Showing posts with label Nainathivu. Show all posts
Showing posts with label Nainathivu. Show all posts

Monday, December 14, 2015

නාගදීප පුරාණය - වල්ලිපුරමෙන් තහවුරු වන නාගදීප පුරාණය

 දෙමළ ත්‍රස්තවාදය යුධමය වශයෙන් විනාශ කර  දැමීමට ලැබූ අනගි අවස්ථාවක්  ලෙස බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ කර්නල් විජය විමලරත්න මහතුන්ගේ නායකත්වයෙන් 1987 දී සිදුකල වඩමාරච්චි  මෙහෙයුම සැලකිය හැකිය. එය ඉන්දියානු ව්‍යාප්තිවාදීන්ගේ බලපෑම් හමුවේ ජයග්‍රහණය පෙනි පෙනි නතර කර දැමීමට එවකට සිටි නිවට නායකත්වයට සිදුවීමෙන් දෙමළ ත්‍රස්තවාදය අතුගෑ දැමීම තවත් සිංහල, ද්‍රවිඩ සහ මුස්ලිම් දහස් ගනනකගේ ජීවිත අහිමි වීමෙන් පසු වර්ෂ 2009 දක්වාම කල් තැබුනි. නැවතත් නිවට නායකත්වයක් යටතේ අලු ගසා නැගී සිටින දෙමළ ජාතිවාදීන්ගේ නාගදීප, නයිනතිව් කිරීමේ පුරසාරම් කතා අසා සිටින්නට සිදු වී ඇති මෙම අවස්ථාවේ වර්තමාන යාපනය අර්ධද්වීපය දෙවන සියවසේ නාගදීපය ලෙසින් හැදින්වූ බවට ඇති ප්‍රබලම සාක්කිය හමුවන්නේද යාපනය දීස්ත්‍රික්කයේ එම වඩමාරච්චි කලාපයේ වල්ලිපුරම් ගමෙන් බව පෙන්වාදීම මෙම ලිපියේ අරමුණයි.
වල්ලිපුරම් රන්පත
වල්ලිපුරම් ග්‍රාමයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරි පවතින ගොඩනැගිලි පාදම්, ගඩොල්, වලං කැබැලි, පැරණි කාසි ආදි නටබුන් හමුවන ප්‍රදේශයක් ඇත. එහි පිහිටි විෂ්ණු කෝවිලට අයත් ඉඩමක තිබී වසර ගනනකට පෙර හමු වූ අමරාවති සම්ප්‍රදායේ ශෛලමය බුද්ධ ප්‍රතිමාව මෙම නටබුන් විවාදයක් නොමැතිවම පැරණි බෞද්ධ විහාරයක බව පසක් කරයි (එම ප්‍රතිමාව වර්ෂ 1906 දී හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරයා විසින් සියම් රජුට තෑගි කරයි )

මෙම  විෂ්ණු කෝවිල ප්‍රදේශයෙන් 1936 දී හෝ ඒ ආසන්න වසරකදී අකුරු කෙටූ රන් පතක් හමුවේ. පැරණි ගොඩනැගිලි පාදමක පතුලේ තිබී හමු වූ මෙම රන් පත බ්‍රාහ්මි අක්ෂර වලින් සහ දෙවැනි ශතවර්ෂයේ වෙනත් සෙල්ලිපි ආදියේ හමුවන පැරණි සිංහල භාෂාවෙන් ලියැවි ඇත.  වසභ රජුගේ රාජ්‍ය කාලයේ (ක්‍රි.ව. 67-111 ) ඉසිගිරිය ඇමතියා විසින් නකදිව පාලනය කරන අවධියේ බදකරඅතනෙ හි පියගුක තිස විසින් විහාරයක් කරවූ බව එම රන් පතින් කියවේ. (මෙම ලිපියේ වෙනත් කියවීමකට අනුව කරඅතනෙහි කල විහාරයේ නම පියගුකතිස වෙහෙර වේ. එවිට එම විහාරය ඉදි කර ඇත්තේ වසභ රජු සහ ඉසිගිරිය ඈමැතියා ලෙස ගත හැක.)

නකදිව - සිංහල 'නක' ශබ්දය පාලියට පෙරලූ විට 'නාග' වේ. ඒ අනුව සිංහලෙන් නකදිව යනු පාලියෙන් නාගදීපයයි.

බදකරඅතන - 'අතන' ශබ්දය වෙනත් සෙල්ලිපි වලද ස්ථාන නාම සමගින් හමුවේ. එවිට බදකරඅතන යනු වර්තමාන වල්ලිපුරම් ප්‍රදේශය එවකට හැඳින්වූ නාමය ලෙස ගත හැක.

පියගුකතිස - මහාවංශයේ දුටුගැමුණු රජු හා සම්බන්ධ කතාවකදි පියංඟු දිවයිනේ වැඩසිටි තිස්ස නම් තෙර නමක් ගැන සඳහන් වේ. වල්ලිපුරම් රන්පතේ සඳහන් වන පියගුක තිස යන්න විහාරයේ නම ලෙස ගතහොත් එම විහාරය ඇතැම්විට මෙම පෙර සිටි තෙරණුවන්ගේ නමින් නම් කලා විය හැක. මහනුවර යුගයේ රචිත එවකට වැඳුම් පිඳුම් කල විහාර දේවාල ලේඛනයක් අඩංගු වන නම්පොතේ සඳහන් වන පුවංඟු දිවයින අවිවාදිතවම මෙම පියංඟු දිවයින ලෙස සැලකිය හැක. එය වර්තමාන පුන්කුඩුතිව් විය හැකි බව පරණවිතාන මහතා ඇතුලු විද්වතුන්ගෙ මතයයි.

වල්ලිපුරම් රන්පතින් හෙලිවන වැදගත් කරුණු  මෙලෙස කෙටියෙන් ගෙනහැර දැක්විය හැක : -

  •  එවකට බදකරඅතන ලෙසින් හැදින්වූ වර්තමාන වල්ලිපුරම් ප්‍රදේශය පිහිටි යාපනය අර්ධද්වීපය 2 වෙනි සියවසේදී නකදිව හෙවත් නාගදීපය ලෙසින් හැඳින්වූ බව.
  • එහි ප්‍රාදේශීය පාලනය අනුරාධපුරයේ සිට තුන් සිංහලේම පාලනය කල වසභ රජුගේ ඉසිගිර නමැති ඇමැතිවරයා අතින් සිදුවූ බව.
  • එම කාලයේ නාගදීපයේ සිංහල බෞද්ධ ජනතාව විසූ බව සහ ඔවුන් බෞද්ධ වෙහෙර විහාර ඉදි කල බව.
පසුකාලිනව දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ යාපනය අර්ධද්වීපයේ සිංහල ජන වර්ගය කෙමෙන් දකුණු ඉන්දීය සංක්‍රමණික හින්දු ද්‍රාවිඩ ජනයාගෙන් ප්‍රතිස්ථාපනය වුවද සියවස් ගණනාවකට පෙර සිටි එක් පුද්ගලයෙකු කිසිදා කිසිවකුට දැකිය නොහැකි වනු ඇතැයි සිතා තම පුණ්‍ය ක්‍රියාව සටහන් කර තැන්පත් කල රන් පතකින් එම සැඟවුනු ඉතිහාසය ඉස්මතු වූ අයුරු කෙතරම් අපූරුද?

සම්බන්දිත පෙර ලිපි -   


මූලාශ්‍ර
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana Volume IV, 1934-1942, 1943.
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • නම්පොත

Wednesday, November 18, 2015

නාගදීප පුරාණය - සම්බිලිතුරෙයි වූ මහ බෝ වැඩි දඹුලු තොට

මේ හා සම්බන්දිත පෙර ලිපිය මෙතනින් කියවන්න.  නාගදීප පුරාණය - නයිනතිව්නං නාගදීපං?


සම්බිලිතුරෙයි වෙරළ
දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 252-212) කල වෙහෙර විහාර පිළිබද පැවසීමේදි මහාවංශ කතු හිමියන් "...නාග දිවයින දඹකොළ වෙහෙරද, එම පටන්හි තිස්ස මහා විහාරයද, පාචීනාරාමයද යන මේ කර්මාන්තයන්...දෙවන පෑතිස් රජ තෙමේ පළමු වෙනි හවුරුදුයෙහිම කරවී" යනුවෙන් පවසයි. එසේම පෙර සදහන් කල භාතියතිස්ස රජුට පසු රජ පැමිණි ඔහු මලනුවන් වූ කණිටුතිස් රජු (ක්‍රි.ව. 167-186) නාගදීප විහාරයේ ප්‍රතිසංස්කරණ කල බවද සදහන්ය. ඉන්පසු ක්‍රි.ව. 209 සිට 231 දක්වා රාජ්‍යය විචාල වෝහාරිකතිස්ස රජුද නාගදිවයින තිස්ස නම් විහාරය ඇතුලු දිවයින පුරා වෙහෙර සයක ප්‍රාකාර කල බව මහාවංශයේ සදහන් වේ. මහල්ලනාග රජුගේ සය අවුරුදු පාලන කාලය තුල (ක්‍රි.ව. 136-143) කල සත් විහාර අතර නාගදීපයේ සාලිපබ්බත වෙහෙරද සදහන්ය (සුමංගල-බටුවන්තුඩාව සංස්කරණයේ මෙය ඇල්ගිරිය විහාරය ලෙස දැක්වේ)


දඹකොල පටුන - වර්තමාන චෛත්‍යය
මෙහි සදහන් වෙන දඹකොල පටුන හෙවත් ජම්බුකෝලපට්ඨන පිළිබඳ වංශ කතාවේ එන වෙනත් සදහන් කිරීම් විමසා බැලීමෙන් නාගදීපය පිහිටි ප්‍රදේශය පිළිබද කිසියම් අදහසක් ලබාගත හැක. ධර්මාශෝක රජු හමුවීමට ගිය දේවානම්පියතිස්ස රජුගේ ධූත පිරිස ඒ සදහා පිටත්වුවේ  සහ නැවත පැමිණියේ දඹකොල පටුනටය. එසේම ශ්‍රී මහා බෝධිය රැගෙන සංඝමිත්තා තෙරණිය පැමිණෙන්නේද දඹකොල පටුනටය. ඒ සම්බන්ධ විස්තරයේදී මහාවංශයේ එන සදහන මෙහිදි සලකා බැලීම වැදගත්ය."...නුවර උතුරු දොරින් දඹකොළ පටුන් මහ මග දක්වා සියලු මාර්ගය අලංකෘත කරවා..." මේ අනුව නුවර උතුරු දොරටුවෙන් නික්මී දඹකොළ පටුනට යන මඟ විහිදි ඇති බව පෙනේ. ඒ නයින් දඹකොළ පටුන පිහිටියේ අනුරාධපුරයට උතුරු දෙසින් බවට ඉඟියක් ලැබේ. කොඩ්රිංටන් මේ අනුව පුරාණ දඹකොල පටුන යනු වර්තමානයේ කන්කසන්තුරෙයි අසල පිහිටි සම්බිලිතුරෙයි ලෙස හඳුනාගනී.

 දඹකොල පටුනේ සමුද්‍රපන්නශාලා යනුවෙන් පසුව ශාලාවක් සෑදු බව සහ එම මහාබෝධිය නැවින් ගොඩ නැඟී පිහිටි තන්හි එක් අෂ්ඨ ඵල බෝධියක්ද පිහිටවූ බව මහාවංශයේ වැඩිදුරටත් සදහන් වෙයි. කුරුණෑගල යුගයේ 4 වන පැරකුම්බා රජු කල (ක්‍රි.ව. 1325-1333) විල්ගම්මුල මාහිමියන් රචනා කල සිංහල බෝධිවංසයට අනුව පාලියෙන් ජම්බුකෝලපට්ටන යනුවෙන් හැදින්වුන මෙම ස්ථානයේ එවකට භාවිතා වූ සිංහල නම වනුයේ දඹුලු තොටය. අෂ්ඨඵල බෝ පිහිටුවීම විස්තර කරමින් සිංහල බෝධිවංසය මෙසේ පවසයි. "එයින් එක් බෝ පැළයක් සමුද්‍රතීරයෙහි සිට එන ගමනේ මහා බෝධීන් වහන්සේ පිහිටි තැන දඹුලු තොට රෝපණය කෙළේය".  හීනටිකුඹුරේ සුමංගල හිමියන් රාජාධිරාජසිංහ රජුගේ හත්වන වර්ෂයේ එනම් ක්‍රි.ව. 1787 ලියන ලද සුළු බෝධිවංසය  එම ස්ථානය හඳුන්වන්නේ දඹකොලපටුන්න ලෙසය.මීට අමතරව 11 වන සියවසේ විජයබාරජු (ක්‍රි.ව. 1055-1110) ප්‍රතිසංස්කරණය කල වෙහෙර විහාර අතර දඹකොළ වෙහෙරද ඇතුලත්ය


මහ බෝ වැඩි ලෙස සැලකෙන දඹකොල පටුන 
ඒ අනුව නාගදීපයද අනුරාධපුරයට උතුරු දෙසින් පිහිටි ප්‍රදේශයක් ලෙස ගිණිය හැක. එසේම දඹකොළ පටුන යනු වර්තමාන සම්බිලිතුරෙයි ලෙස පිලිගන්නේ නම් නාගදීප යනු වර්තමාන යාපන අර්ධද්වීපය විනා නයිනතිව් ලෙසින්ද හැඳින්වෙන කුඩා දූපත නොවන බව වටහා ගත හැක.

වල්ලිපුරම් රන්පතින් තහවුරු වන නාගදීප ඉතිහාසය මී ලගට සලකා බලමු.

මූලාශ්‍ර
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, Ph.D, 1912.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • හීනටිකුඹුරේ සුමංගල හිමියන් ලියූ සුළුබෝධිවංසය, සංස්කරය - ආචාර්ය සෝමපාල ජයවර්ධන, 1991
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996

Monday, November 16, 2015

නාගදීප පුරාණය - නයිනතිව්නං නාගදීපං?


වර්තමාන නාගදීප විහාරය
2015 ජනවාරි 8 සිදුවූ ඊනියා "යුග පෙරලියත්" සමග ලැබුනු නිදහස සමගින් යලිත් අවදි වී සිටින ඊලාම්වාදීන් හට නාගදීපය නමින් අද හැඳින්වෙන කුඩා දූපත නයිනතිව් කිරීමට හදිසි රුදාවක් පහල වී ඇත.  කලක පටන්ම එම ප්‍රදේශයේ දෙමළ ජනතාව එම දූපත නයිනතිව්  ලෙස හඳුන්වන මුත් දකුනේ සිංහලයන්ට අදටත් එය නාගදීපය විනා නයිනතිව් නොවේ. කාලයත් සමග විවිධ ප්‍රදේශ වල නම් වෙනස් වීම ස්වභාවිකය. ඇතැම් විට ඉදිරි කාලයේදි දකුනේ සිංහලයන්ටද එය නයිනතිව් ම විය හැක. එසේ සිදුවන ස්වභාවික වෙනස්වීමට පටහැනිව කෘතිමව නම් වෙනස් කිරීමට යෑමෙන් පෙනීයන්නේ ඊලාම්වාදීන්ගේ සැමදා නොසන්සිදෙන ජාතිවාදී, වර්ගවාදී උවමනාවන් විනා අන් යමක් නොවේ. අප මෙහිදි සිදු කිරීමට යන්නේ නාගදීපය යන නමින් අතීතයේ හැඳින්වූ ප්‍රදේශය පිලිබදව පිලිගත හැකි සාධක අනුසාරයෙන් විවරණයක යෙදීමටය.

පැරණිම වංශ කතාව ලෙස සැලකෙන දීපවංශයේ (4 වැනි සියවස*) නග්ගදීප යනුවෙන් හැඳින්වෙන දූපතක් ගැන කියවෙන්නේ විජය ඇතුලු පිරිස පිටිවහල් කිරීමේදීය. සීහපුරයේ වැසියන්ට විජය සිදු කල කෲර කම් ඉවසා සිටිය නොහැකිව ජනයා ප්‍රකෝපවී රජුට පැමිණිලි කල කල්හී රජු එම පිරිසේ විජය ඇතුලු පිරිමින් එක් නැවකටද, ගැහැණුන් තවත් නැවකටද, කුඩා ලමයින් තුන්වෙනි නැවකටද පටවා රටින් පිටුවහල් කරයි. මින් ලමයින් සිටි නැව මුහුදේ ගසාගෙන ගොස් නවතින දූපත ඉන්පසුව නග්ගදීප (Naggadipa) නමින් පතල වූ බව එම වෘතාන්තයේ පැවසෙයි. 5 වන සියවසේ රචිත මහාවංශයේද එන මෙම සඳහන ගයිගර් සිය මහාවංශ සංස්කරණයේ 'නග්ග' යනු 'නිරුවත්' බැවින්  'නග්ගදීප' යනු 'ලමුන්ගේ දූපත' (Island of children from nagga 'naked')  යනුවෙන් අර්ථකතනය කරයි. කෙසේ නමුත් හික්කඩුවේ සුමංගල හිමියන් සහ බටුවන්තුඩාවේ පඬිතුමන්ගේ මහාවංශ සංස්කරණයේ මෙම සඳහන නොමැති අතර 'කුමරුවන් පිහිටි දිවයින මහින්ද්විපය යයි වී' යනුවෙන් සඳහනක් පමණක් ඇත. මහාවංශයේ නවතම සංස්කරණය වූ ආනන්ද ගුරුගේ මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනයේ මහාවංශයේ 6 වන පරිච්ඡේදයේ 45 වන ගාථාවේ දරුවන් පැමිණි දූපත නග්ගදීප ලෙසත් බිරියන් ගොඩ බට දිවයින මහිලාදීප ලෙසත් ඉන්පසු හැදින්වූ බව සදහන් වේ. (The island where the children landed, was known as Naggadipa and the island where the wives landed, as Mahiladipa) එසේම මහාවංශයට කල ටීකාව වන වංසත්ථප්පකාසිනියේද මෙය එලෙසින්ම සඳහන් වේ. ජනකතාවක් ඇසුරින් මෙරට වංශකතාවට ඇතුලු වූ මෙම ප්‍රබන්ධයේ විශ්වාසනීයත්වය පිළිබද ගැටලු ඇත. දීපවංශය සහ මහාවංශය ලියවෙන කාලයේ සහ ඉන් පෙර නග්ගදීපය නම් දිවයිනක් පිළිබද  වංශකතාකරුවා දැන සිටි බව මින් අදහස් වන ලෙස පමණක් පිළිගන්නේ නම් එය වර්තමාන නාගදීපයද නැතහොත් මෙරට සහ ඉන්දියාව අතර පිහිටි වෙනත් දූපතක්ද යන්නද  නිශ්චිතව කිව නොහැක.

කෙසේ නමුත් මෙයට පෙර අවස්ථාවකදී බුදුන් වහන්සේගේ දෙවැනි ලංකාගමණය විස්තර කිරීමේදී නාගදීප යනුවෙන් වූ දිවයිනක් ගැන මහාවංශයේ සදහන් වේ. මෙම විස්තරයම දීපවංශයේද එන මුත් චුලෝදර සහ මහෝදර නම් වූ නා රජවරුන් දෙදෙනා අතර ඇති වූ එම සටන සිදුවූවේ ලංකාද්වීපයේ හෙවත් තම්බපන්නියේ කියනු විනා නාගදීප හෝ වෙනත් විශේෂ ප්‍රදේශයක් පිළිබද සදහනක් දීපවංශයේ නොයේ. මහාවංශ කතෲ දක්වන පරිදි මිණිපළහක් හේතුකොට ගෙන ඇතිවූ එම යුද්ධය දැක බුදුන් වහන්සේ එය වැලැක්වීම සඳහා "...නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක" යනුවෙන් සදහන් කරන බැවින් එය මෙරට පිහිටි ප්‍රදේශයක් හෝ ආසන්න දූපත් රාජ්‍යයක් බව හැඟේ. එසේම මහෝදර නම් නාගයාගේ මයිල් වූ මණි අක්ඛිත නම් වූ කැලණියේ විසූ නා රජෙකු ගැනද එම කතාවේ සඳහන් වෙන බැවින් සහ ජේතවනය අසල කිරිපලුරුකක වැඩ හුන් සමිද්ධි සුමන නම් වූ දේවතාවෙක්ද එම රුකත් රැගෙන බුදුන් වහන්සේ සමඟ එය ඡත්‍රයක් ලෙස බුදුන් වහන්සේගේ හිසට ඉහලින් අල්ලාගෙන නාගදීපයට පැමිණි බව පවසන බැවින් සහ එම දේවතාවා පෙර ආත්මයක නාගදීපයේ මනුස්සයකු ලෙස විසූ බව පවසන හෙයින් කිසියම් අදහසක් මෙම වෘතාන්තයෙන්ද අපගේ මාතෘකාවට අදාල කරගත හැක. පෙර කතාව මෙන්ම බුදුන් වහන්සේගේ ලංකාගමණය පිළිබඳව මහාවංශයේ එන සදහන්ද අපගේ වංශකතා හැර වෙනත් මූලාශ්‍ර වලින් තහවුරු කල නොහැකි බැවින් සහ ඒවාහි සඳහන් අතිශයෝක්තියට නැගූ පුරාණෝක්තිගත (Mythical) බව හේතුවෙන් ඓතිහාසික සත්‍ය අසත්‍ය බව පිළිබඳ ගැටලු පැණනගී. කෙසේ නමුත් එම කිරිපලු රුක නාගදීපයේ පිහිටවූ ස්ථානයේ රාජායතන චෛත්‍යය පිහිටවූ බව සඳහන් වීමේන් සහ ඒ පිළිබඳව වංශ කතා වල පසු කලක නැවත කෙරෙන සදහන් ආශ්‍රයෙන් නාගදීපය පිහිටි ප්‍රදේශය පිළිබඳ යම් වැටහීමක් ලබාගත හැක.

නාගදීපය හෙවත් නයිනතිව් දූපත

පූජාවලියේ දැක්වෙන පරිදි භාතියතිස්ස රජු (ක්‍රි. ව. 143-167 "නාගදිවයින කිරිපලු ගස මුල කිරිපලු දාගෙය" කරවන ලදී. භාතියතිස්ස රජු කල වෙනත් විහාර සම්බන්ධ විස්තර දක්වන මුත් මෙම කිරිපලු දාගෙය සම්බන්ධ කිසිදු සඳහනක් මහාවංශයේ නොමැත. පූජාවලිය ලියවෙන්නේ ක්‍රි. ව. 1266 දී පමණ වන බැවින් පූජාවලියට මෙම කරුණු පැමිනියේ මහාවංශය නොවන වෙනත් මූලාශ්‍රයකින් නොවේ නම් අවම වශයෙන් එම කාලයේ එනම් 13 වන ශතවර්ෂයේ නාගදිවයින යනුවෙන් ප්‍රදේශයක් හා එහි කිරිපලු දාගෙය නම් වූ ස්ථානයක් තිබූ බවට පූජාවලි කතෲ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් දැනසිටි බවට වඩා වැඩි යමක් මෙයින් ගත නොහැක. නමුත් එම ස්ථානය මින් පෙර සදහන් වූ රාජායතන චෛත්‍යය පිහිටි ස්ථානය බව නම් විවාදයක් නොමැත. 17 වන සියවසේ අග භාගයේ පමණ රචිත රාජාවලියද පූජාවලිය අනුව යමින් "භාතියතිස්ස රජ කිරිපලු  වෙහෙර කරවා පූජා කර..." යනුවෙන් සදහන් කරයි. කෙසේ නමුත් මහාවංශයේ 41 වන පරිච්ඡේදයේ දැක්වෙන පරිදි කුඩා අක්බෝ නමින්ද හැඳින්වූ දෙවෙනි අග්ගබෝධි (ක්‍රි. ව. 597-606) රජු "නාග දිවයින රාජායතන ධාතු ගෘහයද , උණු ලොම් ගෙයද, ආමල චෛත්‍යයෙහි සැතද (කරවා) විහාරයට කැඳ දන් පිණිස තත්තග්‍රාමය දින" යනුවෙන් එන සදහනින් නාගදිවයිනේ වූ රාජායතන ධාතු ගෘහය හා අනිකුත් විහාර ආරාම ආදියේ ඉතිහාසය නිසැකවම 6 වැනි ශතවර්ෂයේ අවසානය දක්වාම ගෙන යා හැක.

මෙම සියලු දත්ත පාදක කරගනිමින් අපට පැවසිය හැක්කේ. මෙරට කිසියම් වූ ප්‍රදේශයක නාගදීපය යනුවෙන් ප්‍රදේශයක් තිබූ බව සහ එම නම අවම වශයෙන් 17 වන සියවසේ අවසානය දක්වාම ඒ ආකාරයෙන්ම පැවති බවත්, එහි රාජායතන දා ගෙය හෙවත් කිරිපලු වෙහෙර නමින් වූ වෙහෙරක් තිබූ බවත්, එම විහාරයේ ආරම්භය වංශ කතාවේ දැක්වෙන පරිදි බුද්ධ කාලයට කෙසේ වෙතත් 2-6 වන සියවස් තරම් වත් පැරණි බවත් පමණි. අනික් අතට එම ස්ථානයේ ඒ වන විටත් මිනිසුන් වැඳුම් පිඳුම් කරන පැරණි කිරිපලු ගසක් තිබෙන්නට ඇති බවත් ඒ හා සම්බන්ධ ජනප්‍රවාදය 4-5 සියවස් වල රචිත වංශ කතා තුලටත් බුදුන් මෙරටට වැඩමවීමේ කතා ආශ්‍රයෙන් ඇතුලු වෙන්නට ඇති බවත් උපකල්පනය කල හැක. නාගදීපය යනු වර්තමානයේ අප නාගදීප/නයිනතිව් නමින් හඳුන්වන දූපතද නොමැති නම් මුලු යාපන අර්ධද්වීපයද යන්න වංශ කතා සහ සෙල්ලිපි සාධක ඇසුරින් මතුවට විමසා බලමු.

මූලාශ්‍ර
  • The Dipavamsa edited by Dr. B.C. Law, The Ceylon Historical Journal, Vol VII. Nos 1-4, 1957 & 1958
  • The Dipavamsa, An Ancient Buddhist Historical Record, Hermann Oldenberg, 1879.
  • *පාලි සාහිත්‍යය, පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නායක ස්ථවිර, 1966 
  • *The Pali Literature of Ceylon, G.P. Malalasekera, 1928.
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, Ph.D, 1912.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.