Wednesday, November 18, 2015

නාගදීප පුරාණය - සම්බිලිතුරෙයි වූ මහ බෝ වැඩි දඹුලු තොට

මේ හා සම්බන්දිත පෙර ලිපිය මෙතනින් කියවන්න.  නාගදීප පුරාණය - නයිනතිව්නං නාගදීපං?


සම්බිලිතුරෙයි වෙරළ
දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 252-212) කල වෙහෙර විහාර පිළිබද පැවසීමේදි මහාවංශ කතු හිමියන් "...නාග දිවයින දඹකොළ වෙහෙරද, එම පටන්හි තිස්ස මහා විහාරයද, පාචීනාරාමයද යන මේ කර්මාන්තයන්...දෙවන පෑතිස් රජ තෙමේ පළමු වෙනි හවුරුදුයෙහිම කරවී" යනුවෙන් පවසයි. එසේම පෙර සදහන් කල භාතියතිස්ස රජුට පසු රජ පැමිණි ඔහු මලනුවන් වූ කණිටුතිස් රජු (ක්‍රි.ව. 167-186) නාගදීප විහාරයේ ප්‍රතිසංස්කරණ කල බවද සදහන්ය. ඉන්පසු ක්‍රි.ව. 209 සිට 231 දක්වා රාජ්‍යය විචාල වෝහාරිකතිස්ස රජුද නාගදිවයින තිස්ස නම් විහාරය ඇතුලු දිවයින පුරා වෙහෙර සයක ප්‍රාකාර කල බව මහාවංශයේ සදහන් වේ. මහල්ලනාග රජුගේ සය අවුරුදු පාලන කාලය තුල (ක්‍රි.ව. 136-143) කල සත් විහාර අතර නාගදීපයේ සාලිපබ්බත වෙහෙරද සදහන්ය (සුමංගල-බටුවන්තුඩාව සංස්කරණයේ මෙය ඇල්ගිරිය විහාරය ලෙස දැක්වේ)


දඹකොල පටුන - වර්තමාන චෛත්‍යය
මෙහි සදහන් වෙන දඹකොල පටුන හෙවත් ජම්බුකෝලපට්ඨන පිළිබඳ වංශ කතාවේ එන වෙනත් සදහන් කිරීම් විමසා බැලීමෙන් නාගදීපය පිහිටි ප්‍රදේශය පිළිබද කිසියම් අදහසක් ලබාගත හැක. ධර්මාශෝක රජු හමුවීමට ගිය දේවානම්පියතිස්ස රජුගේ ධූත පිරිස ඒ සදහා පිටත්වුවේ  සහ නැවත පැමිණියේ දඹකොල පටුනටය. එසේම ශ්‍රී මහා බෝධිය රැගෙන සංඝමිත්තා තෙරණිය පැමිණෙන්නේද දඹකොල පටුනටය. ඒ සම්බන්ධ විස්තරයේදී මහාවංශයේ එන සදහන මෙහිදි සලකා බැලීම වැදගත්ය."...නුවර උතුරු දොරින් දඹකොළ පටුන් මහ මග දක්වා සියලු මාර්ගය අලංකෘත කරවා..." මේ අනුව නුවර උතුරු දොරටුවෙන් නික්මී දඹකොළ පටුනට යන මඟ විහිදි ඇති බව පෙනේ. ඒ නයින් දඹකොළ පටුන පිහිටියේ අනුරාධපුරයට උතුරු දෙසින් බවට ඉඟියක් ලැබේ. කොඩ්රිංටන් මේ අනුව පුරාණ දඹකොල පටුන යනු වර්තමානයේ කන්කසන්තුරෙයි අසල පිහිටි සම්බිලිතුරෙයි ලෙස හඳුනාගනී.

 දඹකොල පටුනේ සමුද්‍රපන්නශාලා යනුවෙන් පසුව ශාලාවක් සෑදු බව සහ එම මහාබෝධිය නැවින් ගොඩ නැඟී පිහිටි තන්හි එක් අෂ්ඨ ඵල බෝධියක්ද පිහිටවූ බව මහාවංශයේ වැඩිදුරටත් සදහන් වෙයි. කුරුණෑගල යුගයේ 4 වන පැරකුම්බා රජු කල (ක්‍රි.ව. 1325-1333) විල්ගම්මුල මාහිමියන් රචනා කල සිංහල බෝධිවංසයට අනුව පාලියෙන් ජම්බුකෝලපට්ටන යනුවෙන් හැදින්වුන මෙම ස්ථානයේ එවකට භාවිතා වූ සිංහල නම වනුයේ දඹුලු තොටය. අෂ්ඨඵල බෝ පිහිටුවීම විස්තර කරමින් සිංහල බෝධිවංසය මෙසේ පවසයි. "එයින් එක් බෝ පැළයක් සමුද්‍රතීරයෙහි සිට එන ගමනේ මහා බෝධීන් වහන්සේ පිහිටි තැන දඹුලු තොට රෝපණය කෙළේය".  හීනටිකුඹුරේ සුමංගල හිමියන් රාජාධිරාජසිංහ රජුගේ හත්වන වර්ෂයේ එනම් ක්‍රි.ව. 1787 ලියන ලද සුළු බෝධිවංසය  එම ස්ථානය හඳුන්වන්නේ දඹකොලපටුන්න ලෙසය.මීට අමතරව 11 වන සියවසේ විජයබාරජු (ක්‍රි.ව. 1055-1110) ප්‍රතිසංස්කරණය කල වෙහෙර විහාර අතර දඹකොළ වෙහෙරද ඇතුලත්ය


මහ බෝ වැඩි ලෙස සැලකෙන දඹකොල පටුන 
ඒ අනුව නාගදීපයද අනුරාධපුරයට උතුරු දෙසින් පිහිටි ප්‍රදේශයක් ලෙස ගිණිය හැක. එසේම දඹකොළ පටුන යනු වර්තමාන සම්බිලිතුරෙයි ලෙස පිලිගන්නේ නම් නාගදීප යනු වර්තමාන යාපන අර්ධද්වීපය විනා නයිනතිව් ලෙසින්ද හැඳින්වෙන කුඩා දූපත නොවන බව වටහා ගත හැක.

වල්ලිපුරම් රන්පතින් තහවුරු වන නාගදීප ඉතිහාසය මී ලගට සලකා බලමු.

මූලාශ්‍ර
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, Ph.D, 1912.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • හීනටිකුඹුරේ සුමංගල හිමියන් ලියූ සුළුබෝධිවංසය, සංස්කරය - ආචාර්ය සෝමපාල ජයවර්ධන, 1991
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996

No comments:

Post a Comment