Monday, November 23, 2015

දෙමළ ජාතිවාදයේ ආරම්භය - සුද්දාගේ Divide & Rule Concept එක

Left - A Kandyan Girl, Right - High caste Tamil girl (1907)

දෙමළ ජාතිවාදයේ මිලිටරිමය සංරචකය 2009 මැයි මස නන්දිකඩාල් කලපුවෙන් පරාජය ලැබුවත් එහි දේශපාලන සංරචකය අද වන විට වෙන කවරදාකටත් වඩා ජයග්‍රහණ අත්පත් කරගනිමින් රටේ නිල ප්‍රධාන විපක්ෂය දක්වාම පැමිණ ඇත. සිදුවීම් සිදුවන ආකාරය සැලකීමේදී ඔවුන් නුදුරේදීම ඔවුන්ගේ ඊලාම් පිපාසය සංසිදුවා ගැනීම අනිවාර්යයක් වනු ඇත. මෙවන් තත්වයක් යටතේ දෙමළ ජාතිවාදයේ ඉතිහාසය විමසා බැලෙන ලිපි පෙලක ඇරඹුමයි මේ.

මෙරට පළමු ව්‍යවස්ථාදායක සභාව (Legislative Council) පිහිටුවන ලද්දේ වර්ෂ 1833 දීය. ආණ්ඩුකාරවරයාට යටත්විජිතය පාලනයේදී අවශ්‍ය වන පණත් සම්මත කිරීමේදි ඒ පිළිබදව අදහස් ලබාදීම වැනි සීමිත නිදහසක් තිබූ මෙම ව්‍යවස්ථාදායක සභාව නිලලත් මන්ත්‍රීවරු 10 දෙනෙකු (Official members) සහ නිල නොලත් මන්ත්‍රීවරු 6 දෙනෙකුගෙන් (Unofficial members) සමන්විත විය. නිලලත් මන්ත්‍රීවරු 10 දෙනාගෙන් 6 දෙනෙකු විධායක සභාවේ (Executive Council) සාමාජිකයන් වු  අතර ආණ්ඩුකාරයා පත්කරනු ලබන බස්නාහිර සහ උඩරට පලාත් වල අණ්ඩුවේ ඒජන්තවරුන් දෙදෙනා ඇතුලු රජයේ නිලධාරීන්ගෙන් සෙසු සිව් දෙනා සමන්විත විය. නිලනොලත් මන්ත්‍රීවරුන් පත් කිරීම ආණ්ඩුකාරයා විසින් සිදු කරනු ලැබූ අතර එහි සංයුතිය මේ ආකාරයෙන් මුලදී සිදු කරන ලදී.

යුරෝපීය ජාතිකයන් වෙනුවෙන් මන්ත්‍රීවරු   3
සිංහලයන් වෙනුවෙන් මන්ත්‍රීවරු                 1
දෙමළ ජාතිකයන් වෙනුවෙන් මන්ත්‍රීවරු       1
බර්ගර් ජාතිකයන් වෙනුවෙන් මන්ත්‍රීවරු       1

මින් යුරෝපීය ජාතිකයන් තිදෙනාගෙන් එක් අයෙක් වාණිජ ප්‍රජාව නියෝජනය කිරීමට Chamber of Commerce ආයතනයෙන් සහ අනෙකා වැවිලිකරුවන් නියෝජනය කිරීමට Planter's Association යන ආයතන වලින් යෝජනා කරන නියෝජිතයන්ගෙන් සමන්විත වූ අතර තෙවෙනි යුරෝපීය ජාතිකයා පොදුවේ සියළුම යුරෝපීය ජාතිකයන් නියෝජනය කලේය. සිංහල, දෙමළ සහ බර්ගර් ජන වර්ග නියෝජනය සඳහා නියෝජිතයන් ආණ්ඩුකාරවරයා විසින් තෝරාගනු ලබයි.

1889 දී මෙයට උඩරට සිංහලයන් නියෝජනය කිරීම සඳහා එක් මන්ත්‍රීවරයෙකු සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කිරීමට තවත් එක් මන්ත්‍රීවරයෙකුද එක් කිරීමෙන් ජනවර්ග අනුව බෙදා පාලනය කිරීම තවත් ශක්තිමත් කරනු ලැබුහ.

රටේ ජනගහණය  1,167,700 පමණ වූ 1833 දී ආරම්භ කල මෙම ජන වර්ග පදනමින් බෙදා වෙන් කර පාලනය කිරීම 1907 වන විට 3,998,064 වූ මුලු ජනගහණය අතර ජනවර්ග පදනමින් බෙදී ගියේ මේ ආකාරයටය. පිළිවෙලින් එක් එක් ජනවර්ග වල මුලු ජනගහණය එම ජනවර්ගය රටේ මුලු ජනගහණයෙන් ප්‍රතිශතයක් ලෙස කොතරම්ද යන්න සහ ඔවුන් නියෝජනය කිරීමට ව්‍යස්ථාදායක සභාවේ සිටි නියෝජිතයන් ගණන දැක්වේ.

යුරෝපීය ජාතිකයන්                    - (6500)  >  (0.16%)  >  3
උඩරට සහ පහතරට සිංහලයන්*    - (2,551,000)  >  (64%)  > 2
දෙමළ ජාතිකයන්                        - (1,127,000)  >  (28%)  > 1
බර්ගර් ජාතිකයන්                        - (24,789)  >  (0.6%)  >  1
මුස්ලිම් ජාතිකයන්                       - (250,000) >  (6%)  > 1

*1906 සිදු කල සංගනණයට අනුව පහතරට සිංහලයන් 1,458,320 සහ උඩරට සිංහලයන් 872,487 මෙරට විසූහ

විවිධ ජනවර්ග සිටින රටක් යටත් කරගෙන පාලනය කිරීමේදි එම ජනවර්ග එක් ජාතියක් ලෙස එක් වුවහොත් එය ආක්‍රමණිකයට උවදුරක් වීම වැලැක්වීමට යොදාගන්නා උපක්‍රමයක් වන බෙදා වෙන් කර  පාලනය කිරීමේ මෙම උපාය සුදු අධිරාජ්‍යවාදීන් 1833 සිට යොදාගත් ආකාරය මෙයින් පැහැදිලි වේ. එය කෙතෙක් දුර ගියාද යත් සිංහල ජනවර්ගය පවා උඩරට සහ පහතරට ලෙසින් නැවතත් බෙදීමටකට ලක් කිරීම මෙහිදි දැක ගත හැක (එම කාලය වන විට ඔවුන් අතර පැහැදිලි සංස්කෘතිකමය සහ සමාජීය වෙනස් කම් තිබූ බවද මෙහිදි අප අමතක නොකල යුතුය ). ශ්‍රි ලාංකීය ජාතිය එක් ජාතියක් ලෙස එක් නොවී විවිධ ජනවර්ග පදනමින් බෙදී යාමේ ආරම්භය මෙය වේ. යම් ආකාරයකින් මෙරට එවකට ශක්තිමත් පදනමක් තිබූ කුල පදනමින් සිංහල සහ දෙමළ ජනවර්ග නැවතත් බෙදා ඒ ඒ කණ්ඩායම් නියෝජනය කිරීමට වෙන වෙන නියෝජිතයන් පත් කලා නම් හෝ බෞද්ධ, කතෝලික වැනි ආගම් අදහන ජනතාව නියෝජනයට නියෝජිතයන් වෙන වෙනම පත් කලා නම් හෝ මෙම ප්‍රශ්ණය මෙයටත් වඩා මේ වන විට ඒ ඒ පදනම් යටතේද ඔඩු දුවා තිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබුණි. එහෙත් නොයෙකුත් අවස්ථා වලදි එවන් උපක්‍රම පවා වෙනත් ආකාර වලින් ඉංග්‍රීසින් යොදා ගත්තද ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් පත් කරන මට්ටමට යොදානොගැනීම ජාතියේ වාසනාවකි.

පසුකාලීනව දෙමළ සිංහල ජනවර්ග මේ බෙදා වෙන් කර පාලනය කිරීමට විරුද්ධ වූ ආකාරය සහ ඊටත් පසු දෙමළ ජනවර්ගය එම ක්‍රමය අගය කරමින් එය ඉදිරියට ගෙන යාමට ඉංග්‍රීසීන්ට බලපෑම් කල ආකාරය සහ අවසානයේ දෙමළ ජාතිවාදීන්ගේ අසාධාරණ ඉල්ලිම් වන වෙනම රාජ්‍යය සහ වෙනම ජාතියක් ලෙස ඔවුන් පිලිගැනීම දක්වා එය වර්ධනය වූ ආකාරය ඉදිරියේදී විමසා බලමු.

ඡායාරූප උපුටා ගැනීම Twentieth Century Impression of Ceylon - Arnold Wright, 1907

මූලාශ්‍ර
  • Twentieth Century Impression of Ceylon, Arnold Wright, 1907
  • The Hand-Book of the Ceylon National Congress 1919-1928, S.W.R.D. Bandaranaike, 1928
  • University of Ceylon - History of Ceylon Volume III
  • ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා, නලින් ද සිල්වා, 1995



2 comments:

  1. සුද්දා වපුරපු දෙමළ ජාතිවාදය තමයි අදත් තියෙන්නේ

    ReplyDelete
  2. මෙම තොරතුරු බොහෝ වැදගත්

    ReplyDelete