Showing posts with label Berendi Kovila. Show all posts
Showing posts with label Berendi Kovila. Show all posts

Saturday, November 25, 2017

සීතාවකපුර සිට සපරගමුපුරවරට සැවුලා ගිය මග ඔස්සේ

අලගිවන් මුකවෙටි විසින් සීතාවක රාජසිංහ යුගයේ රචනා කල සැවුල් සංදේශය හෙවත් සැවුල් අස්න පිළිබඳව අප සීතාවක බැරැණ්ඩි කෝවිල සම්බන්ධයෙන් වූ පෙර ලිපියේදිද සාකච්චා කලෙමු >>Link. සීතාවක රාජසිංහ රජුට සහ සසුනට සෙත්පතා සීතාවක සිට සැවුලෙකු අත සපරගමුපුරයේ සමන් දෙවොලේ වසන සුමන සුරිඳු වෙත හසුනක් යැවීම එහි අරමුණ විය. එම කාව්‍යයේ එන ගමන් විස්තරය පාදක කර ගනිමින් වර්තමාන අවිස්සාවේල්ල නගරයේ සිට රත්නපුර දක්වා වූ පැරණි මාර්ගය මතු කර ගැණීම මෙම ලිපියේ අරමුණයි.

සීතාවක පුරය
සොඳුරු මෙ පුරවරැ පහ මුදුනත දිමුත
මහරු රුවන් කොත් මුදුන 'තිනි ගිය හොත
නිසරු බවට පැමිණේ දෝ විළි වැ සිත
උතුරු දකුණු වැදැ යන වැන්නැ දියනෙත
සීතාවක ගඟ දෙපස බැරැණ්ඩි කෝවිල සහ රජ මාළිගයේ නටබුන් පිහිටා ඇති ආකාරය
පුරවරයේ මහ විමන් වල මැණික් කොත් වලට ඉහලින් ගියහොත් තමා නිසරු අයකු බවට පත් වේදෝ යන බියෙන් හිරු උතුරටත් දකුණටත් බරවී ඇතින් ගිය බව සඳහන් කරමින් ඉහත පද්‍යයෙන් කවියා වර්ණනා කරන්නේ සීතාවක පුරවරයයි. මේ ආකාරයේ වූ පැදි සැලකිය යුතු ප්‍රමාණයකින් සීතාවක පුරය, එහි පිහිටි රජ මාළිගය, හතර වාසල් දොර හතර වීදී ඉස්මත්තේ පිහිටියා වූ දෙවොල් සතර ආදි විස්තර වලින් අනතුරුව රාජසිංහ රජු, රාජ සභා මණ්ඩපය, සහ එහි රැස්වි සිටි පුරෝහිත බමුණන්, මහ ඇමතිවරු,වහසල මුකවෙට්ටි සමූහය, රාජ සභාවේ කාව්‍යකාරයෝ, සේනානායක මැතිවරු (සෙන්පතියන්), සිටුවරු, සෙනෙවිවරු, ඇපා, මාපා වරු, සහ දහ අටක් වන්නිවල වන්නිවරු ආදී පිරිස් පිළිබඳවද වැනුම් ඉදිරිපත් කර ගඟින් එතෙරව සැවුලාට බයිරව කෝවිලට යන ලෙසට කවියා පවසයි (බයිරව කෝවිල පිළිබඳව වූ වැඩිදුර තොරතුරු සඳහා >> Link )
සීතාවක රජ මාළිගය සහ පසුව ලන්දේසි කොටුව පිහිටි ස්ථානයේ මෑතකදි මතු කරගත් නටබුන්
බයිරව කෝවිල සහ හරඟන විමන එනම් උමයංගනාවගේ දෙවොල වැඳ ගැනිමෙන් අනතුරුව නඩු විසදා තීන්දු දෙන අදිකරණ මහපාය දකිමින් පංච තූර්ය භාණ්ඩ වැයීමේ පුරුදු ඇති පන්සිළු වන් (වීණා වාදනයට දක්ෂ  දෙවියෙක්) බොහෝ නළු පිරිස් වාසය කරන්නා වු මගුල් විදියෙන් යාගන්නා ලෙස සැවුලාට පවසයි. ඉන් අනතුරුව හමුවන්නේ විකුම්සිහ මහ ඇමැතිතුමන් සුවිශාල කෛලාස කූටය හා සමාන වන ලෙසින් කරවූ වසුවල්විටෙහි මහ මඩමයි (එනම් අම්බලමයි).  බොහෝ හස්ති සමූහයා සිටින්නා වූ ඇත්හල යන මාර්ගයේ වම් පසින් අනතුරුව හමුවේ. බයිරව කෝවිල හැරුන විට මේ කිසිදු ස්ථානයක නටබුන් හෝ පිහිටි ස්ථානයක් අප දන්නා තරමට මේ වන විට සොයාගත නොහැක.
බැරැණ්ඩි කෝවිල
ගැටසැත්තේ කඩවත
සයුරත් මෙරත් යුගකෙළ වෙරළ පැනගෙන
වෙතැපත් වෙතත් නවතත් වත් වන බෙලෙන
කඩු කොත් පළඟ දුනු වෙඩි ගත් සෙන් රඳන
යව සිත් ලෙසින් ගැට සැත්තේ කඩවතින.

කල්පාන්තයේ සාගරයත්, මහමෙරත් වෙරළට උඩින් පැන පැමිණියත්, එය වුවද නැවතීමට සමත් කඩු, කොන්ත, දුනු, පලිහ සහ වෙඩි (තුවක්කු?) සහිත බලසෙන් සිටින ගැටසැත්තේ කඩවතින් සැවුලාට 'සිත් සේ' යන ලෙස කවියා පවසන්නේ එම බලසෙන් කුකුලෙකු එම කඩවත හරහා ගමන් කිරීම සැලකිල්ලට නොගන්නා නිසා විය හැකිය. කෙසේ නමුත් සීතාවක නගරයට ඇතුලු වන එක් කඩවතක් මෙම ගැටසැත්ත නම්වූ ස්ථානයේ තිබූ බව මේ අනුව අපට පැහැදිලි වේ. කුඩා කඳු ගැට දෙකක් අතරින් මාර්ගය වැටි ඇති (පහත සිතියම බලන්න)  මෙම ගැටසැත්ත කඩවත නිසැකවම වර්තමාන ගැටහැත්ත මංසන්දියේ හෝ ඒ ආසන්නයේ තිබුනා විය හැක.
ගැටසැත්තේ කඩවත
සීතාවක නගරයේ සිට එම කඩවත දක්වා වූ පැරණි මාර්ගය අඩු වැඩි වශයෙන් වර්තමාන අවිස්සාවේල්ල සිට ගැටහැත්ත දක්වා වූ A4 මාර්ගය ඔස්සේම වූවා විය හැක. කෙසේ නමුත් රජ මාළිගාව පිහිටි ස්ථානයේ සිට සීතාවක ගඟින් එතෙරව බයිරව කෝවිල දෙසට ගිය සැවුලාට ගැටහැත්ත දෙසට පැමිණීමට නම් කිසියම් ස්ථානයකින් නැවතත් එම ගඟින් ආපසු මෙතරට පැමිණිය යුතුය. ඉහත විස්තර වූ පරිදි මාර්ගය සීතාවක නගරයේම වූ තවත් ස්ථාන කිහිපයක් හරහා වැටී තිබූ හෙයින් බයිරව කෝවිලේ සිට මදක් බටහිර දෙසට ගොස් නැවතත් දකුණු දෙසට හැරී ගැටහැත්ත දෙසට යොමු වූවා විය හැක. සැවුල් අස්නේ විස්තර වන අදිකරණ මහපාය වර්තමාන අවිස්සාවේල්ල අධිකරණය පිහිටි පෙදෙසේම වූවාදැයි සාධාරණ සැකයක් මේ අනුව පහල වන්නේ එය බැරැණ්ඩි කෝවිලේ සිට ගඟින් එතෙරව බටහිර දිශාවට ගොස් ගැටහැත්ත දක්වා දකුණු දෙසට විහිදෙන මාර්ගයේ  පිහිටා ඇති බැවිනි (පහත සිතියම බලන්න) පැරණි මාර්ගය වර්තමාන යටියන්තොට මාර්ගය සීතාවක ඔය හරහා යන පාළම පිහිටි ස්ථානයේ වූ පාලමකින් හෝ තොටුපලකින් එතෙරව  ගැටහැත්ත දෙසට යොමුව තිබූ බව මේ අනුව අනුමාණ කල හැක.
සැවුල් සන්දේශ මග වැනුමට අනුව මාර්ගය වැටි තිබූ ආකාරය
ගැටසැත්ත කඩවතේ සිට දෙල්ගමු වෙහෙර දක්වා
ගැටසැත්තේ කඩවතේ සිට මාර්ගය විහිදෙන්නේ රන් රූප වන් වු යෝනන් (යෞවන කාන්තාවන්) සිටින මින්වාන, ගැටදෙල් ගස මඩම (එනම් අම්බලම), රූපත් නොයෙක් කොමළ අඟනන් නිති රඳන බෝපත්ත, ගිරි දේවිය වන් මනා රූ ඇති අඟනන් කෙළි සෙල්ලමේ යෙදී සිටින අස්ගම් මහ සයුර, කරඬු බඳු වූ පිරුණු කෙලින් සිටි පියවුරු ඇති දෙව්ලියන් සරිව පෙනෙන ගැහැණුන් සිටින තලාපිටිය යන පෙදෙස් හරහාය. 

මේ ස්ථාන අතුරින් මින්වාන (මින්නාන ලෙසින්), බෝපත්ත (බෝපැත්ත ලෙසින්) සහ තලාපිටිය (තලාවිටිය ලෙසින්) යන ගම් අද දක්වාම ඒ අයුරින්ම හඳුනාගත හැකිය. අස්ගම් මහ සයුර ලෙසින් හැඳින්වූ පෙදෙසද බොපැත්ත සහ තලාවිටිය අතර අස්ගඟුල ලෙසින් අඟලේ සිතියම් වල ලකුණු කර ඇති ස්ථානය විය හැක. ගැටදෙල් ගස මඩම තිබූ ස්ථානය සිතියම් ආශ්‍රයෙන් හඳුනාගත නොහැකි මුත් ඇතැම් විට එම ප්‍රදේශයේ කරන ගවේෂණයකින් සොයාගත හැකිවනු ඇත. මෙම සියලු ප්‍රදේශ වර්තමාන A4 මාර්ගයට වම් පසින් වූ කඳු පංතියක පාමුලින් එහි නිම්නය ඔස්සේ වයඹ-ගිණිකොණ දිශා ඔස්සේ විහිදී ඇත (පහත සිතියම් 1 සහ 2 බලන්න)
සිතියම 1 
වෙනේ සුපිපි මල් රොන් සහ බිඟුන් සර
ගෙනේ හමන නල විඳැ තුනු ගිමන් හැර
මෙනෙරිපිටියා බැවිලෙන් බැසැ පතර
මෙනේ සතොස සපුරා යාගන් මිතුර

තලාපිටිය පසු කර යන සැවුලාට ඉන්පසු හමුවන්නේ මෙනෙරිපිටියා බැවිලයි එනම් මෙනෙරිපිටිය කැලෑවයි. ඉන්පසු රතු නෙලුමක් වන් මුහුණින් යුතු, දිගු නිල් ඇස් ඇති, හංස පැටියන් වන් පියයුරු ඇති ගම්බද රූමත් ලලනාවන් රති කෙලි කෙලිනා මිලිලවිටිය ගම දැක ගෙන දෙල්ගමු වෙහෙර ලැගුමට එහි ඇතුලු වන ලෙස කවියා සැවුලාට පවසයි.
සිතියම 2
පරකඩුව මංසන්දියට නුදුරින් මෙනේරිපිටිය නම් වූ ගමක් අද දක්වාම එම නමින්ම හඳුනාගත හැක. මේ වන විට බොහෝ දුරට එලි වි ඇති මුත් පැරණි අඟලේ සිතියම් වල 'මූකලාන' ලෙසින් නම් කර ඇති ඇති ඒ අසල වූ කඳු පෙල මෑතක් වන තුරුම වන ගහනයෙන් යුතුව පැවති බව පෙනේ. එම කඳු පෙලේ  නැගෙනහිර බෑවුමේ පාමුල බැවිල නම් වූ ග්‍රාමයක් ද අඟලේ සිතියම් වල ලකුණු කර ඇති අතර මිලිලවිටිය ගමද මිල්ලවිටිය ලෙසින් A4 මාර්ගයට දකුණු පසින් පැහැදිලිව හඳුනාගත හැක.
දෙල්ගමුව වෙහෙර
දෙල්ගමු වෙහෙර
දෙල්ගමුව වෙහෙර සම්බන්ධයෙන් වූ විස්තරාත්මක ලිපියක් මෙයට පෙර ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව මෙහි විස්තර ඉදිරිපත් නොකරමු. එම ලිපිය කියවීම සඳහා Link >>

දෙල්ගමු වෙහෙර සිට සමන් දේවාලය දක්වා මාර්ගය
හිරුහට මඳක් බිම හිය නොමදී දීළෙන
තුරුයට සුපිරිසුදු සුදු වැලි තල සොබන
දුරුකොට තුනු ගිමන් සැතැපී ඉඳැ යෙහෙන
කුරුවිට ගඟැ දෙගොඩ බල සකි ගුණ නඳන
කුරු ගඟ
කුරුවිට ගඟ ලෙස සැවුල් අස්නේ හැඳින්වෙන්නේ දෙල්ගමු වෙහෙර අසලින් ගලන කුරු ගඟයි. මාර්ගයේ ඉන්පසු හමුවන කුරුවිට මුකළාන අද නැති මුත් කුරුවිට යන නාමය ග්‍රාම නාමයක් ලෙසින් සහ A4 මාර්ගයේ හමුවන ප්‍රධාන නගරයක් ලෙසින් ඉතිරිව ඇත.

කුරුවිට මුකලාන පසු කල පසු සැවුලාට හමුවන්නේ ගස් උඩ පැන පැන යන වඳුරන් දැකිය හැකි කොස්ගොඩ ගමය. ඉන්පසු අනවතප්ත විලේ ජලය මෙන් ඉතා නිර්මල පැහැ ඇති ජලයේ මසුන් විශාල සමූහයන් දැකිය හැකි බෙලිඅත්තේ වළය. අනතුරුව මාර්ගය දෙපස පිහිටි කඳු පර්වත උඩ පිල් විහිදා නටන මොණරුන් ඇති බමුණාවත්තය. බොහෝ දික්වූ නිල් කෙස් කලඹේ මල් කැටි ගවසාගෙන දිව්‍යාංගනාවන්ගේ මානය යටපත් කල හැකි ආකාරයේ අඟනන් සිටින ගණේගොඩය අනතුරුව පසු කල යුත්තේ. ගණේගොඩින් පසුව සපරගමු පුරවරය හමුවේ.
ඉහත සඳහන් ස්ථාන අතුරින් කොස්ගොඩ අඟලේ සිතියම් ආශ්‍රයෙන් හඳුනාගත හැක. බෙළිඅත්තේ වල, බමුණාවත්ත සහ ගණේගොඩ සිතියම් වල හමු නොවන මුත් තවමත් ග්‍රාම නාම ලෙසින් හෝ ස්ථානීය නාම ලෙසින් හමුවනවා විය හැක. කෙසේ නමුත් දෙල්ගමු වෙහෙරේ සිට සමන් දේවාලය දක්වා වූ පැරණි මාර්ගය වර්තමාන A4 මාර්ගයට දකුණු පසින් තිබූ බවට ඉහත සිතියම් වල දක්වා ඇති ආකාරයට පහසුවෙන් හඳුනාගත හැක.
සපරගමුවේ සමන් දේවාලය
තඹර කරේ කිර්ණෙ'වි දිගතැ පැතිරෙන
අඳුර දුරේ කළ පහ මිණි කොත් රැසින
අමර පුරේ ලෙස සව් සිරි පිරි නොමින
සපරපුරේ තෙමහල් පහ තුරු රඳන

සමන් කෙනෙකු නු වූ බඹ සුර නරතුරෙන
සමන් බදුරු සිරි පද ලස නමදිමින
සමන් ගිර නිවෙස් කරැ නිරතුරු වසන
සමන් සුරිඳු දැකැ මෙ හසුන් දෙව් බැතින

සැවුල් අස්නේ විස්තර වන තෙමහල් පහයක් වූ එම සමන් සුරිඳු වැඩ සිටි දෙවොල අද දැකිය නොහැකි මුත් පෘතුගීසින් විනාශ කල එම දෙවොල පිහිටි ස්ථානයේ පසු කලක ඉදි කල පෘතුගීසි බලකොටුව අතහැරීමෙන් පසු තැනවූ දේවාලය රත්නපුර පුරවරයේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් ලෙසින් සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙමින් අදද දැක ගත හැක. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරි ලිපි මගින් සාකච්චා කරමු.

සීතාවකපුර සිට සපරගමු පුර දක්වා සැවුල් සන්දේශයේ විස්තර වන හඳුනාගත හැකි ස්ථාන
මූලාශ්‍ර
සැවුල් සංදේශය
පැරණි අඟලේ සිතියම්

Saturday, October 28, 2017

බයිරව අය්යණ්ඩියගේ සීතාවක බැරැණ්ඩි කෝවිල

අවිස්සාවේල්ල නගරයේ සිට කෑගල්ල පාරේ මද දුරක් ගොස් සීතාවක ඔය හරහා ඇති පාලම පසු කර දකුණු පසට ඇති කුඩා පාරක් ඔස්සේ ගිය විට පැරණි ශෛලමය ගොඩනැගිල්ලක සංරක්ෂණය කල නටබුන් හමුවේ. බැරැණ්ඩි කෝවිල ලෙසින් හැඳින්වෙන මෙම ගොඩනැගිල්ල  පිළිබඳව වර්ෂ 1800 මාර්තු මස එම ස්ථානයට ගිය බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ 19 වන පාබල රෙජිමේන්තුවේ රොබට් පර්සිවෙල් පවසන්නේ එය ඒ වනවිටද නටබුන් වී ගිය ආගමික ස්ථානයක්ව (Ruins of a temple) තිබූ බවයි. සතර දෙසින්ම පඩිපෙල් සහිතව අඩි 4-5 උසට බිත්ති ගලින් නිර්මාණය කර තිබූ එය ඔහු මෙරටදි දුටු එවන් ආකාරයේ පළමු ශෛලමය නිර්මාණය බව පර්සිවල් පවසයි. එහි පාදමේ ගල් කණු වල ඒ වනවිටද සෙල්ලිපි කිහිපයක්ම තිබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 
1827 වසරේදී එම ස්ථානයට ගිය මේජර් ෆොබ්ස් එය රාජසිංහ රජු 16 වන ශතවර්ෂයේ මැද භාගයේදි යක්ෂයන් ඇදහීම (Demon worship) සඳහා ඉදි කල බයිරන්ඩේ කෝවිල්ල (Bairainde Kowilla) ලෙස හඳුන්වයි. ඝනව වැවි තිබූ වන ප්‍රවාහය නිසා ඔහුට එහි මිණුම් ගැනීමට හෝ එහි විශේෂ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නොහැකි වූ නමුත් මෙම ගොඩනැගිල්ලද 16 වන ශතවර්ෂයේ අග භාගයේදී පෘතුගීසින් විසින් සීතාවක රාජධානිය යටත් කර එහි ගොඩනැගිලි ගිනි තැබූ අවස්ථාවේදී බිඳ හෙළා ඇති බව ඔහු පවසයි.

මෙම ස්ථානයේ නටබුන් මනාව ආරක්ෂා වි පවතින නමුත් සැලකිය යුතු මට්ටමේ කළුගල් කුට්ටි ප්‍රමාණයක් වෙනත් ගොඩනැගිලි සෑදීම සඳහා රැගෙන ගොස් ඇති බව පසුකලක H. වයිට් (H.White) විසින් Seethawaka and its vicinity නමින් Orientalist සිව්වන වෙළුමට ඉදිරිපත් කල ලිපියක සඳහන් වේ.
වර්ෂ 1885 ඔක්තොබර් මස එම ස්ථානයට යන ලෙ මසූරේ (C.J.R. Le Mesurier) සීතාවක තොටුපොල අසල පිහිටි නටබුන් ගොඩනැගිල්ල බැරණ්ඩි කෝවිල (Barendi Kovil) නමින් හඳුන්වා එය පැරණි ඉදිකිරීම් අවසන් නොකල ආගමික ස්ථානයක් ලෙස (Ancient unfinished temple) ඔහුට හඳුන්වාදුන් බව පවසයි. එහෙත් ඒ පිළිබඳව මනා විස්තරයක් දන්නා කිසිවෙකු ඔහුට සොයාගැනීමට නොහැකි වූ බවද හෙතෙම පවසයි. එම ගොඩනැගිල්ල පිහිටි ඉඩම මහනුවර මහා දේවාලයට (විෂ්ණු දේවාලය) අයත් බවත් එහි බස්නායක නිළමේ විසින් එය මිගෙට්ටුවත්තේ හිමියන්ට 99 වසරකට බදු දුන් බවත්, ඒ හිමියන් එය නැවතත් වෙනත් පහත රට පුද්ගලයෙකුට බදු දුන් පසු එම පුද්ගලයා එහි තිබූ ගල් වලින් කොටසක් රැගෙන ගොස් ඔහුට කුඩා මනරම් නිවසක් ඉදිකල බවත් සඳහන් කරයි. (Who has built a nice little house out of the portion of the stones of the temple)

නැවතත් 1887 වසරේ මැයි 17 දරන F.H ප්‍රයිස්ගේ (F.H. Price) දිනපොතෙන් හෙළිවන්නේ ඔහු රත්වත්තේ බස්නායක නිළමේගෙන් බැරණ්ඩි කෝවිල (Berendi Kovil) පිහිටි ඉඩම ඔහු විසින් බදු දුන්නේදැයි විමසා සිටි බවත්, එසේම එම ගොඩනැගිල්ල ප්‍රතිස්ථාපනය කිරීමට ඔහුට යම් අදහසක් ඇත්දැයි වැඩිදුරටත් අසා සිටි බවත්ය. එයට පිළිතුරු සපයන බස්නායක නිළමේ දන්වා එවා ඇත්තේ ඔහුට පෙර සිටි තැනැත්තෙකු එය මිගෙට්ටුවත්තේ උන්නාන්සේට බදු දී ඇති බවත්, එය අවලංගු කර ගැනීම සඳහා ඔහු උත්සුක වන බවත්ය. එසේම ඒ සඳහා උදව් කරන ලෙසද ඔහු ඉල්ලා සිටි බවත් ප්‍රයිස් වැඩිදුරටත් පවසයි. රත්වත්තේ බස්නායක නිළමේ වැඩිදුරටත් ප්‍රයිස්ට දන්වා ඇත්තේ එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔහුට අවශ්‍ය නමුත් ඒ සඳහා හැකියාව නැති බවත්ය. ආණ්ඩුවේ ඒජන්ත (Government Agent) වෙත ඉන් අනතුරුව ප්‍රයිස් මහතා එම කරුණු දෙක ඉටුකරදෙන ලෙස ඉල්ලා ලිපියක් යොමු කරයි.
සියලු මිණුම් සමග මෙම කෝවිල පිළිබඳව සවිස්තර විස්තරයක් මෙරට පළමු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස පසු කලක පත්වන H.C.P. බෙල් මහතා සිය සුප්‍රසිද්ධ කෑගලු වාර්තාව මගින් වර්ෂ 1904 දී ඉදිරිපත් කරයි. කැටයම් වල සහ ගොඩනැගිල්ලේ කොටස් වල සැලසුම්ද ඒ සමග ඉදිරිපත් කරන හෙතෙම මෙම ගොඩනැගිල්ල ද්‍රවිඩ ගෘහ නිර්මාණාත්මක අංග ලක්ෂණ වලින් යුත් විශිෂ්ඨ නිර්මාණයක් ලෙස හඳුන්වයි.

බැරණ්ඩි කෝවිල පිළිබඳව විය හැකියැයි සිතිය හැකි බොහෝ දුරට එකම ඓතිහාසික ලේඛනගත සඳහන (ඉංග්‍රිසි වාර්තා වලට පෙර) සැවුල් සන්දේශයේ හෙවත් සැවුල් අස්නේ අන්තර්ගත පැදි කිහිපයකින් විස්තර වන සීතාවක පුරවරය පිළිබඳව වූ වර්ණනාවයි. සීතාවක රාජසිංහ හෙවත් පළමුවන රාජසිංහ අවධියේම ලියවුණු එම විස්තරය වෙත දැන් අපි යොමුවෙමු.

සව් සිරි පිරි එපුර වරඟනගෙ මන නඳ
දෙව් රජ විමන් තන යුගතුරෙහි ගිලි සොඳ
එව් නිල වසා රොද ගඟිනෙතරවැ පැහැද
දෙව් විමනතෙහි රඟ වහසල තුළට වැද

සීතාවක ඔයෙහි එක් පසක සීතාවක යුගයට අයත් රජ මාළිගයේ නටබුන් වර්තමානයේද දැක ගත හැකි අතර අනෙක් පස බැරැණ්ඩි කෝවිල ලෙස ජනවහරේ හැඳින්වෙන මෙම ලිපියේ සාකච්චා වන කෝවිලෙහි නටබුන් දැක ගත හැක (පහත සිතියම බලන්න). සැවුල් සන්දේශ කවියා ඉහත කවියෙන් සීතාවක නගරය වරඟනක ලෙසත්, (උතුම් කාන්තාවක්) එම නගරයේ ඇති රජ මාළිගාව සහ දේවාලය ඇයගේ පයෝදර ලෙසත්, ඒ දෙක මැදින් ගලා බස්නා සීතාවක ඔය ('ගඟ' ලෙසින් කවියේ හැඳින්වෙන කැළණි ගඟේ අතු ගංගාව වර්තමානයේ හැඳින්වෙන්නේ එම නමිනි.) ඇගේ වසාරොද (ලපැත්තේ මැද සිට උකුල තෙක් ඇති රෝම පෙල) ලෙසත් හඳුන්වයි. 
සැවුල් සන්දේශයේ ඉන්පසුව එන පද්‍යයෙන් රජ මැදුරේ සිට ගඟින් එතෙර වූ පසු හමුවන දේවාලය කුමක්දයි යන්න පැවසේ.

වයිරව සිටි අසුර සෙන් ජයගෙනැ නොමද
කයිරව සිය සදිසි යසසින් යුතු පබද
බයිරව කෝවිලට වදිමින් සිතු පැහැද
වයියව සබද නරඹා එහි රැඟුම් පුද
සැවුලාට බයිරව කෝවිලට ඇතුලුව එහි නැටුම් පූජාව බලන ලෙස පවසන බැවින් එම කෝවිල භෛරව දෙවියා උදෙසා පුද පූජා පවත්වන ස්ථානයක් ලෙස සැලකිය හැක.  සැවුල් සන්දේශ කවියා ඉන් අනතුරුව එම දේවාලයේ තිබූ සිතුවම් පිළිබඳව විස්තරයක් ඉදීරිපත් කරයි . ඒ අනුව එහි රාම රාවණා යුද්ධය, මහා භාරත සංග්‍රාමය සහ ස්කන්ධ කුමාරයා කල අසුර යුද්ධ ආදියේ සිතුවම් තිබූ බව පැවසේ. කෙසේ නමුත් අනතුරුව සැවුලාට පිවිසෙන ලෙස පවසන්නේ හරඟන විමන තුලටය. එනම් ඊශ්වරගේ භාර්යාව වූ උමයංගනාව හෙවත් මහේෂ්වරියගේ දෙවොල තුලටය. ඉන්පසු දසපද හෑල්ලක් මගින් උමයංගනාව පිළිබඳව ගුණ වයා ඇයගෙන් අවසර ගන්නා ලෙස සැවුලාට පවසයි.
මේ අනුව මෙම ස්ථානයේ භෛරව කෝවිලක් සහ වරඟන එනම් උමයංගනාවට පුද පූජා පවත්වන දේවාලයක් තිබූ බව සැවුල් සන්දේශයට අනුව පැහැදිලි වේ. කාලි ලෙසින්ද හැඳින්වෙන්නේ උමයංගනාවගේ එක් අවතාරයක් හෙවත් වේශයක් බැවින් වර්තමානයේද මෙරට ඇතැම් ප්‍රදේශ වල දැකිය හැකි ආකාරයේ කාලි කෝවිලක්ද ඒ අනුව මෙහි තිබූ බව අනුමාණ කල හැක. මෙම බයිරව කෝවිල පද පෙරලියක් තුලින් කාලයත් සමග වෙනස් වී වර්තමානයේ ව්‍යවහාර වන බැරණ්ඩි කෝවිල යන්න ප්‍රභවය වූ බව සිතිය හැක. 

සැවුල් සංදේශය
සැවුල් සංදේශය හෙවත් එම කාව්‍යයෙහි දැක්වෙන අයුරින් සැවුල් අස්න අලගිවන් මුකවෙටි විසින් කල බව එහි අවසාන කවියෙහි දැක්වෙන බැවින් සීතාවක යුගයේ සිටි ප්‍රසිද්ධ පඬිවරයෙකු වන අලගියවන්න මුකවෙටි විසින් එය කල බව පෙනේ. එම සැවුල් අස්න රචනා කිරීමෙහි අරමුණ සීතාවක රාජසිංහ රජුට සහ සසුනට සෙත් පතා සීතාවක සිට සැවුලෙකු (කුකුළකු) අතේ සපරගමු පුරවරයෙහි සමන් දේවාලයේ සුමන සුරිඳු වෙත හසුනක් යැවීම වන බැවින් එහි කාලයද සීතාවක රාජසිංහ යුගයම බව පෙනේ (ක්‍රි.ව. 1580 - 1588) 
සීතාවක රාජධානිය ආරම්භ වනුයේ සීතාවක රාජසිංහ රජුගේ පියා වන මායාදුන්නේ රජුගෙන් (ක්‍රි.ව. 1521 - 1580) වන බැවින් මෙම දෙවොලද සීතාවක රාජසිංහ හෝ මායාදුන්නේගේ රාජ්‍ය කාලයේ ඉදිවූවක් බව සිතිය හැක. මහාවංශයට අනුව පසු කලක සීතාවක රාජසිංහ රජු විපරීත අදහස් ඇතිව බුදු සමය අතහැර ශිව ආගම (ඊශ්වර දෙවියා ඇදහීම) වැලදගත්තේය. එහෙත් සැවුල් සන්දේශය මගින් සමන් දිව්‍යරාජයාගෙන් මුනිසස්නද (බුදු සසුන), රාජසිහ නිරිඳු සහ මැති ගණද, ඇත් අස් රිය පාබල සෙනගද, ජනතාවද රකින ලෙස අයදින බැවින් රජු එසේ ශීව ආගම වැලද ගත්තා නම් ඊට පෙර කලක මෙය ලියූ බව සිතිය හැක. කෙසේ නමුත් සීතාවක යුගය දකුණු ඉන්දීය සංස්කෘතික බලපෑම ශීඝ්‍රයෙන් මෙරට තුල පැතිරෙමින් තිබූ අවධියක් බවට වෙනත් සාධකද ඇති බැවින් එම දෙවිවරුන් උදෙසා වූ දෙවොල් ආදිය සීතාවක නගරයේ ඉදිවී තිබූ බව පෙනේ. එම නිසා මෙම අගනා නටබුන් ගොඩනැගිල්ල සැවුල් අස්නේ දැක්වෙන බයිරව කෝවිල හෝ උමයංගනාවගේ දෙවොලේ නශ්ඨාවශේෂ ලෙස හඳුනාගත හැක. බැරැණ්ඩි කෝවිල යන නාමය නම් නිසැකවම බයිරව කෝවිල යන්නෙහි විකෘතියකි.

මූලාශ්‍ර
  • An account of the Island of Ceylon , Robert Percival, 1803.
  • Eleven Years in Ceylon, Major Forbes Vol 1 & 2, 1840
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • Archaeological Survey of Ceylon, Report on The Kegalla District of the Province of Sabaragamuwa,  H.C.P. Bell, 1904
  • සීතාවක රාජධානියේ උන්නතියේ ද අවනතියේ ද සමහර අංශ පිළිබඳ විමර්ශනයක් (ක්‍රි.ව. 1521 සිට ක්‍රි.ව. 1593 දක්වා ) මහාචාර්ය රිසිමන් අමරසිංහ, 1998
  • සැවුල් සන්දේශය