Saturday, November 25, 2017

සීතාවකපුර සිට සපරගමුපුරවරට සැවුලා ගිය මග ඔස්සේ

අලගිවන් මුකවෙටි විසින් සීතාවක රාජසිංහ යුගයේ රචනා කල සැවුල් සංදේශය හෙවත් සැවුල් අස්න පිළිබඳව අප සීතාවක බැරැණ්ඩි කෝවිල සම්බන්ධයෙන් වූ පෙර ලිපියේදිද සාකච්චා කලෙමු >>Link. සීතාවක රාජසිංහ රජුට සහ සසුනට සෙත්පතා සීතාවක සිට සැවුලෙකු අත සපරගමුපුරයේ සමන් දෙවොලේ වසන සුමන සුරිඳු වෙත හසුනක් යැවීම එහි අරමුණ විය. එම කාව්‍යයේ එන ගමන් විස්තරය පාදක කර ගනිමින් වර්තමාන අවිස්සාවේල්ල නගරයේ සිට රත්නපුර දක්වා වූ පැරණි මාර්ගය මතු කර ගැණීම මෙම ලිපියේ අරමුණයි.

සීතාවක පුරය
සොඳුරු මෙ පුරවරැ පහ මුදුනත දිමුත
මහරු රුවන් කොත් මුදුන 'තිනි ගිය හොත
නිසරු බවට පැමිණේ දෝ විළි වැ සිත
උතුරු දකුණු වැදැ යන වැන්නැ දියනෙත
සීතාවක ගඟ දෙපස බැරැණ්ඩි කෝවිල සහ රජ මාළිගයේ නටබුන් පිහිටා ඇති ආකාරය
පුරවරයේ මහ විමන් වල මැණික් කොත් වලට ඉහලින් ගියහොත් තමා නිසරු අයකු බවට පත් වේදෝ යන බියෙන් හිරු උතුරටත් දකුණටත් බරවී ඇතින් ගිය බව සඳහන් කරමින් ඉහත පද්‍යයෙන් කවියා වර්ණනා කරන්නේ සීතාවක පුරවරයයි. මේ ආකාරයේ වූ පැදි සැලකිය යුතු ප්‍රමාණයකින් සීතාවක පුරය, එහි පිහිටි රජ මාළිගය, හතර වාසල් දොර හතර වීදී ඉස්මත්තේ පිහිටියා වූ දෙවොල් සතර ආදි විස්තර වලින් අනතුරුව රාජසිංහ රජු, රාජ සභා මණ්ඩපය, සහ එහි රැස්වි සිටි පුරෝහිත බමුණන්, මහ ඇමතිවරු,වහසල මුකවෙට්ටි සමූහය, රාජ සභාවේ කාව්‍යකාරයෝ, සේනානායක මැතිවරු (සෙන්පතියන්), සිටුවරු, සෙනෙවිවරු, ඇපා, මාපා වරු, සහ දහ අටක් වන්නිවල වන්නිවරු ආදී පිරිස් පිළිබඳවද වැනුම් ඉදිරිපත් කර ගඟින් එතෙරව සැවුලාට බයිරව කෝවිලට යන ලෙසට කවියා පවසයි (බයිරව කෝවිල පිළිබඳව වූ වැඩිදුර තොරතුරු සඳහා >> Link )
සීතාවක රජ මාළිගය සහ පසුව ලන්දේසි කොටුව පිහිටි ස්ථානයේ මෑතකදි මතු කරගත් නටබුන්
බයිරව කෝවිල සහ හරඟන විමන එනම් උමයංගනාවගේ දෙවොල වැඳ ගැනිමෙන් අනතුරුව නඩු විසදා තීන්දු දෙන අදිකරණ මහපාය දකිමින් පංච තූර්ය භාණ්ඩ වැයීමේ පුරුදු ඇති පන්සිළු වන් (වීණා වාදනයට දක්ෂ  දෙවියෙක්) බොහෝ නළු පිරිස් වාසය කරන්නා වු මගුල් විදියෙන් යාගන්නා ලෙස සැවුලාට පවසයි. ඉන් අනතුරුව හමුවන්නේ විකුම්සිහ මහ ඇමැතිතුමන් සුවිශාල කෛලාස කූටය හා සමාන වන ලෙසින් කරවූ වසුවල්විටෙහි මහ මඩමයි (එනම් අම්බලමයි).  බොහෝ හස්ති සමූහයා සිටින්නා වූ ඇත්හල යන මාර්ගයේ වම් පසින් අනතුරුව හමුවේ. බයිරව කෝවිල හැරුන විට මේ කිසිදු ස්ථානයක නටබුන් හෝ පිහිටි ස්ථානයක් අප දන්නා තරමට මේ වන විට සොයාගත නොහැක.
බැරැණ්ඩි කෝවිල
ගැටසැත්තේ කඩවත
සයුරත් මෙරත් යුගකෙළ වෙරළ පැනගෙන
වෙතැපත් වෙතත් නවතත් වත් වන බෙලෙන
කඩු කොත් පළඟ දුනු වෙඩි ගත් සෙන් රඳන
යව සිත් ලෙසින් ගැට සැත්තේ කඩවතින.

කල්පාන්තයේ සාගරයත්, මහමෙරත් වෙරළට උඩින් පැන පැමිණියත්, එය වුවද නැවතීමට සමත් කඩු, කොන්ත, දුනු, පලිහ සහ වෙඩි (තුවක්කු?) සහිත බලසෙන් සිටින ගැටසැත්තේ කඩවතින් සැවුලාට 'සිත් සේ' යන ලෙස කවියා පවසන්නේ එම බලසෙන් කුකුලෙකු එම කඩවත හරහා ගමන් කිරීම සැලකිල්ලට නොගන්නා නිසා විය හැකිය. කෙසේ නමුත් සීතාවක නගරයට ඇතුලු වන එක් කඩවතක් මෙම ගැටසැත්ත නම්වූ ස්ථානයේ තිබූ බව මේ අනුව අපට පැහැදිලි වේ. කුඩා කඳු ගැට දෙකක් අතරින් මාර්ගය වැටි ඇති (පහත සිතියම බලන්න)  මෙම ගැටසැත්ත කඩවත නිසැකවම වර්තමාන ගැටහැත්ත මංසන්දියේ හෝ ඒ ආසන්නයේ තිබුනා විය හැක.
ගැටසැත්තේ කඩවත
සීතාවක නගරයේ සිට එම කඩවත දක්වා වූ පැරණි මාර්ගය අඩු වැඩි වශයෙන් වර්තමාන අවිස්සාවේල්ල සිට ගැටහැත්ත දක්වා වූ A4 මාර්ගය ඔස්සේම වූවා විය හැක. කෙසේ නමුත් රජ මාළිගාව පිහිටි ස්ථානයේ සිට සීතාවක ගඟින් එතෙරව බයිරව කෝවිල දෙසට ගිය සැවුලාට ගැටහැත්ත දෙසට පැමිණීමට නම් කිසියම් ස්ථානයකින් නැවතත් එම ගඟින් ආපසු මෙතරට පැමිණිය යුතුය. ඉහත විස්තර වූ පරිදි මාර්ගය සීතාවක නගරයේම වූ තවත් ස්ථාන කිහිපයක් හරහා වැටී තිබූ හෙයින් බයිරව කෝවිලේ සිට මදක් බටහිර දෙසට ගොස් නැවතත් දකුණු දෙසට හැරී ගැටහැත්ත දෙසට යොමු වූවා විය හැක. සැවුල් අස්නේ විස්තර වන අදිකරණ මහපාය වර්තමාන අවිස්සාවේල්ල අධිකරණය පිහිටි පෙදෙසේම වූවාදැයි සාධාරණ සැකයක් මේ අනුව පහල වන්නේ එය බැරැණ්ඩි කෝවිලේ සිට ගඟින් එතෙරව බටහිර දිශාවට ගොස් ගැටහැත්ත දක්වා දකුණු දෙසට විහිදෙන මාර්ගයේ  පිහිටා ඇති බැවිනි (පහත සිතියම බලන්න) පැරණි මාර්ගය වර්තමාන යටියන්තොට මාර්ගය සීතාවක ඔය හරහා යන පාළම පිහිටි ස්ථානයේ වූ පාලමකින් හෝ තොටුපලකින් එතෙරව  ගැටහැත්ත දෙසට යොමුව තිබූ බව මේ අනුව අනුමාණ කල හැක.
සැවුල් සන්දේශ මග වැනුමට අනුව මාර්ගය වැටි තිබූ ආකාරය
ගැටසැත්ත කඩවතේ සිට දෙල්ගමු වෙහෙර දක්වා
ගැටසැත්තේ කඩවතේ සිට මාර්ගය විහිදෙන්නේ රන් රූප වන් වු යෝනන් (යෞවන කාන්තාවන්) සිටින මින්වාන, ගැටදෙල් ගස මඩම (එනම් අම්බලම), රූපත් නොයෙක් කොමළ අඟනන් නිති රඳන බෝපත්ත, ගිරි දේවිය වන් මනා රූ ඇති අඟනන් කෙළි සෙල්ලමේ යෙදී සිටින අස්ගම් මහ සයුර, කරඬු බඳු වූ පිරුණු කෙලින් සිටි පියවුරු ඇති දෙව්ලියන් සරිව පෙනෙන ගැහැණුන් සිටින තලාපිටිය යන පෙදෙස් හරහාය. 

මේ ස්ථාන අතුරින් මින්වාන (මින්නාන ලෙසින්), බෝපත්ත (බෝපැත්ත ලෙසින්) සහ තලාපිටිය (තලාවිටිය ලෙසින්) යන ගම් අද දක්වාම ඒ අයුරින්ම හඳුනාගත හැකිය. අස්ගම් මහ සයුර ලෙසින් හැඳින්වූ පෙදෙසද බොපැත්ත සහ තලාවිටිය අතර අස්ගඟුල ලෙසින් අඟලේ සිතියම් වල ලකුණු කර ඇති ස්ථානය විය හැක. ගැටදෙල් ගස මඩම තිබූ ස්ථානය සිතියම් ආශ්‍රයෙන් හඳුනාගත නොහැකි මුත් ඇතැම් විට එම ප්‍රදේශයේ කරන ගවේෂණයකින් සොයාගත හැකිවනු ඇත. මෙම සියලු ප්‍රදේශ වර්තමාන A4 මාර්ගයට වම් පසින් වූ කඳු පංතියක පාමුලින් එහි නිම්නය ඔස්සේ වයඹ-ගිණිකොණ දිශා ඔස්සේ විහිදී ඇත (පහත සිතියම් 1 සහ 2 බලන්න)
සිතියම 1 
වෙනේ සුපිපි මල් රොන් සහ බිඟුන් සර
ගෙනේ හමන නල විඳැ තුනු ගිමන් හැර
මෙනෙරිපිටියා බැවිලෙන් බැසැ පතර
මෙනේ සතොස සපුරා යාගන් මිතුර

තලාපිටිය පසු කර යන සැවුලාට ඉන්පසු හමුවන්නේ මෙනෙරිපිටියා බැවිලයි එනම් මෙනෙරිපිටිය කැලෑවයි. ඉන්පසු රතු නෙලුමක් වන් මුහුණින් යුතු, දිගු නිල් ඇස් ඇති, හංස පැටියන් වන් පියයුරු ඇති ගම්බද රූමත් ලලනාවන් රති කෙලි කෙලිනා මිලිලවිටිය ගම දැක ගෙන දෙල්ගමු වෙහෙර ලැගුමට එහි ඇතුලු වන ලෙස කවියා සැවුලාට පවසයි.
සිතියම 2
පරකඩුව මංසන්දියට නුදුරින් මෙනේරිපිටිය නම් වූ ගමක් අද දක්වාම එම නමින්ම හඳුනාගත හැක. මේ වන විට බොහෝ දුරට එලි වි ඇති මුත් පැරණි අඟලේ සිතියම් වල 'මූකලාන' ලෙසින් නම් කර ඇති ඇති ඒ අසල වූ කඳු පෙල මෑතක් වන තුරුම වන ගහනයෙන් යුතුව පැවති බව පෙනේ. එම කඳු පෙලේ  නැගෙනහිර බෑවුමේ පාමුල බැවිල නම් වූ ග්‍රාමයක් ද අඟලේ සිතියම් වල ලකුණු කර ඇති අතර මිලිලවිටිය ගමද මිල්ලවිටිය ලෙසින් A4 මාර්ගයට දකුණු පසින් පැහැදිලිව හඳුනාගත හැක.
දෙල්ගමුව වෙහෙර
දෙල්ගමු වෙහෙර
දෙල්ගමුව වෙහෙර සම්බන්ධයෙන් වූ විස්තරාත්මක ලිපියක් මෙයට පෙර ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව මෙහි විස්තර ඉදිරිපත් නොකරමු. එම ලිපිය කියවීම සඳහා Link >>

දෙල්ගමු වෙහෙර සිට සමන් දේවාලය දක්වා මාර්ගය
හිරුහට මඳක් බිම හිය නොමදී දීළෙන
තුරුයට සුපිරිසුදු සුදු වැලි තල සොබන
දුරුකොට තුනු ගිමන් සැතැපී ඉඳැ යෙහෙන
කුරුවිට ගඟැ දෙගොඩ බල සකි ගුණ නඳන
කුරු ගඟ
කුරුවිට ගඟ ලෙස සැවුල් අස්නේ හැඳින්වෙන්නේ දෙල්ගමු වෙහෙර අසලින් ගලන කුරු ගඟයි. මාර්ගයේ ඉන්පසු හමුවන කුරුවිට මුකළාන අද නැති මුත් කුරුවිට යන නාමය ග්‍රාම නාමයක් ලෙසින් සහ A4 මාර්ගයේ හමුවන ප්‍රධාන නගරයක් ලෙසින් ඉතිරිව ඇත.

කුරුවිට මුකලාන පසු කල පසු සැවුලාට හමුවන්නේ ගස් උඩ පැන පැන යන වඳුරන් දැකිය හැකි කොස්ගොඩ ගමය. ඉන්පසු අනවතප්ත විලේ ජලය මෙන් ඉතා නිර්මල පැහැ ඇති ජලයේ මසුන් විශාල සමූහයන් දැකිය හැකි බෙලිඅත්තේ වළය. අනතුරුව මාර්ගය දෙපස පිහිටි කඳු පර්වත උඩ පිල් විහිදා නටන මොණරුන් ඇති බමුණාවත්තය. බොහෝ දික්වූ නිල් කෙස් කලඹේ මල් කැටි ගවසාගෙන දිව්‍යාංගනාවන්ගේ මානය යටපත් කල හැකි ආකාරයේ අඟනන් සිටින ගණේගොඩය අනතුරුව පසු කල යුත්තේ. ගණේගොඩින් පසුව සපරගමු පුරවරය හමුවේ.
ඉහත සඳහන් ස්ථාන අතුරින් කොස්ගොඩ අඟලේ සිතියම් ආශ්‍රයෙන් හඳුනාගත හැක. බෙළිඅත්තේ වල, බමුණාවත්ත සහ ගණේගොඩ සිතියම් වල හමු නොවන මුත් තවමත් ග්‍රාම නාම ලෙසින් හෝ ස්ථානීය නාම ලෙසින් හමුවනවා විය හැක. කෙසේ නමුත් දෙල්ගමු වෙහෙරේ සිට සමන් දේවාලය දක්වා වූ පැරණි මාර්ගය වර්තමාන A4 මාර්ගයට දකුණු පසින් තිබූ බවට ඉහත සිතියම් වල දක්වා ඇති ආකාරයට පහසුවෙන් හඳුනාගත හැක.
සපරගමුවේ සමන් දේවාලය
තඹර කරේ කිර්ණෙ'වි දිගතැ පැතිරෙන
අඳුර දුරේ කළ පහ මිණි කොත් රැසින
අමර පුරේ ලෙස සව් සිරි පිරි නොමින
සපරපුරේ තෙමහල් පහ තුරු රඳන

සමන් කෙනෙකු නු වූ බඹ සුර නරතුරෙන
සමන් බදුරු සිරි පද ලස නමදිමින
සමන් ගිර නිවෙස් කරැ නිරතුරු වසන
සමන් සුරිඳු දැකැ මෙ හසුන් දෙව් බැතින

සැවුල් අස්නේ විස්තර වන තෙමහල් පහයක් වූ එම සමන් සුරිඳු වැඩ සිටි දෙවොල අද දැකිය නොහැකි මුත් පෘතුගීසින් විනාශ කල එම දෙවොල පිහිටි ස්ථානයේ පසු කලක ඉදි කල පෘතුගීසි බලකොටුව අතහැරීමෙන් පසු තැනවූ දේවාලය රත්නපුර පුරවරයේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් ලෙසින් සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙමින් අදද දැක ගත හැක. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරි ලිපි මගින් සාකච්චා කරමු.

සීතාවකපුර සිට සපරගමු පුර දක්වා සැවුල් සන්දේශයේ විස්තර වන හඳුනාගත හැකි ස්ථාන
මූලාශ්‍ර
සැවුල් සංදේශය
පැරණි අඟලේ සිතියම්

2 comments:

  1. ඔබ මේ මාර්ගය ඉතා නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. මෙය වැටෙන්නේ වත්මන් A4 පාරට ඉතා ආසන්නව, ඇතැම් කොටස් වලදී පාරට වමෙන් හා ඇතැම් කොටස් වලදී දකුණෙන්. ගැටහැත්ත, මීන්නාන හරියේදී දකුණෙන්. ඉන්පසු බෝපැත්ත, අස්ගඟුල, තලාවිටිය, බැවිල, මෙනේරිපිටිය දක්වා වමෙන්. (තලාවිටියෙන් බැවිල දක්වා ඉහළට නැඟ මෙනේරිපිටියට බහින පාරක් වගෙයි පේන්නේ) මිල්ලවිටියේ සිට නැවත දකුණෙන්. දෙල්ගමු විහාරයේ සිට කුරු ගඟෙන් එගොඩ වී තැඹිලියන/ ගෝනපිටිය ගම් වලට යා හැකියි. බමුණාවත්ත වත්මන් කුරුවිට ගෝණපිටිය පාරේ යන විට හමුවන තැනක්. ඉන්පසුව, මෑතක් වන තුරුම මූකලාන ලෙස හැඳින්වූ ප්‍රදේශය හමු වෙනවා. මෙය වත්මන් පැරඩයිස් වත්තට (ඉසුරු පෙදෙස) ආසන්නව තියෙන ප්‍රදේශයක්. බෙළිඅත්තේ වල මේ හරියේ තිබෙන වැව (ලෙස හඳුන්වන ජලාශය) වෙන්න පුළුවන්. ඒ නමනම් පුරුදු නැහැ. ඉඩක් ලැබුණු විට දන්නවායැයි හිතන කෙනෙක්ගෙන් අහල බලන්නම්. රත්නපුර දිස්ත්‍රික්කයේ ගණේගොඩවල් කිහිපයක්ම තිබුණත් මේ හරියේ එවැන්නක් දන්නා තරමින් දැනට නැහැ.

    ReplyDelete
    Replies
    1. බෙහෙවින්ම ස්තූතියි වටිනා අදහස් වලට, විශේෂයෙන්ම බමුණාවත්ත සහ බෙලිඅත්තේ වල සම්බන්ධ මට සොයාගත නොහැකි වූ තොරතුරු වලට

      Delete