Showing posts with label Nampotha. Show all posts
Showing posts with label Nampotha. Show all posts

Sunday, January 24, 2016

නම්පොත නැවත කියවීමක් - කළුතර දිස්ත්‍රික්කය


සඳකඩපහනක් - හොරණ රජමහා විහාරය

 පෙර කල පිරිවෙන් අධ්‍යාපනයේදී කුඩා දරුවන්ට හෙළබස ඉගැන්වීමට යොදා ගත් පොතක් ලෙස මෙන්ම සති පිරිත් දේශනා වලද දේවාරාධනයේදී යොදා ගත් ලක්දිව සියලු දිසාවන්හි පිහිටි පන්සල්, දේවාල නාමාවලියක් ඇතුලත් නම්පොත හෙවත් විහාර අස්න නමින් යුත් පැරණි කෘතියක් වේ. එය කවර කලකදි කවරෙකු විසින් කරවන ලද්දක්ද යන්න අවිනිශ්චිත මුත් මහනුවර යුගයේ කල විහාර වැඩි වශයෙන් ඇතුලත් බැවින්  එම කාලයේ කරන ලද්දක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. කලින් කලට කොටස් එකතු වෙමින් ආ දඹදෙනි වැනි යුගයක මුලින්ම පටන් ගත් නාමාවලියක් වීමටද ඉඩ නැතිවා නොවේ. කෙසේ නමුත් වර්තමානයේ මෙහි ඇති වැදගත්කම නම් අවම වශයෙන් මහනුවර යුගය වන විට මෙරට බෞද්ධ ජනයා වැදුම් පිදුම් කල ස්ථාන ලක්දිව සතර දිග් භාගයේම පිහිටා තිබූ බවට දෙස් දෙන ප්‍රබල සාක්ෂියක් මෙම නම්පොතෙන් සැපයෙන බැවිනි.

සඳකඩපහනක් - හොරණ රජමහා විහාරය
එම ස්ථාන භූමියේ පිහිටි තැන් පිළිබඳ ගවේෂණයක් එතරම් සාර්ථක මට්ටමින් මේ දක්වාම සිදුවී නොමැති මුත් පන්නිල ශ්‍රී සාරානන්ද සහ පණ්ඩිත ඕපාත ශ්‍රී සරණංකර යන නායක ස්ථවිරයන් වහන්සේලා විසින් 1956 දී මුද්‍රණයෙන් එලි දැක්වූ පොතක ඒ සඳහා ප්‍රශස්ත උත්සාහයක් දරා ඇත. 'විවරණ සහිත නම් පොත හෙවත් විහාර අස්න' නමින් එලි දැක්වූ එහි නම්පොතේ සඳහන් විහාර සහ දේවාල 267 ම හඳුනාගැනිම සදහා උත්සාහ කර ඇත. වර්තමාන පලාත් අනුව සලකා බලතොත්. එහි දකුණු පලාතේ පිහිටි ස්ථාන 14 ක්ද බස්නාහිර පලාතේ ස්ථාන 35 ක්ද, සබරගමු පලාතේ ස්ථාන 46 ක්ද, උතුරු මැද පලාතේ ස්ථාන 30 ක්ද, උතුරු පලාතේ ස්ථාන් 12 ක්ද, වයඹ පලාතේ ස්ථාන 43 ක්ද, නැගෙනහිර පලාතේ ස්ථාන 5 ක්ද, ඌව පලාතේ ස්ථාන 5 ක් ද, මධ්‍යම පලාතේ ස්ථාන 75 ක්ද  ඇත.

වර්තමාන විහාරගෙයි පාදමේ ඇති ගල් කැටයම් - හොරණ රජමහා විහාරය
ඉහත හිමිවරුන්ගේ ග්‍රන්ථය අනුසාරයෙන් වර්තමාන දිස්ත්‍රික්ක පදනමින් එම ස්ථාන පිළිබඳ හදුනාගැනිමක් සදහා දරන උත්සාහය ස්ථාන 6 ක් පමණක් ඇති කළුතර දිස්ත්‍රික්කයෙන් අරඹමු.

කළුතර බෝධියේ පැරණි ඡායාරූපයක්
කළුතොට
කළුතර ගං මෝය ආසන්නයේ කඳු ගැටයක් මත පිහිටා තිබුනා යැයි සැලකෙන මෙම විහාරය බොහෝවිට පෘතුගීසීන් විසින් විනාශ කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ ඔවුන්ගේ කොටුවක් ඉදි කරන ලදී. එම බලකොටුව ලන්දේසීන් යටතේද පැවත ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ පාලන කාලයේ මුල් භාගයේදි පමණ තවදුරටත් කොටුවක් ලෙස පවත්වාගෙන යෑම අතහැර ඇති බව පෙනේ*. 1956 වන විටත් එම ස්ථානයේ පැරණි දෙයකට ඉතිරිව තිබී ඇත්තේ ගඟ සමීපයේ තිබූ බෝධිය පමණි. පාර අයිනේ ඇති බෝගසද පැරණි බෝධියට වඩා මෑත කාලයට අයත් වේ. ඉන්පසු කාලයේදී වර්තමාන චෛත්‍යය සහ අනෙකුත් ගොඩනැගිලි ඇතිවී වර්තමානයේ ප්‍රසිද්ධ පූජනීය ස්ථානයක් බවට පත්වී ඇත.

සොරණ
ගල් උලුවස්ස - හොරණ රජමහා විහාරය

වර්තමාන විද්‍යාරත්න පිරිවෙණ පිහිටි හොරණ රජමහා විහාරය පිහිටි භූමියේ පිහිටා තිබූ විහාරයක් විය හැක. කැටයම් සහිත ගල් උලුවස්සක්, සඳකඩපහන් සහ වර්තමාන විහාර ගෙයි පාදමේ ඇති පැරණි කැටයම් සහිත ගල් එම විහාරයේ නටබුන් විය හැක.

වර්තමාන විහාරගෙයි පාදමේ ඇති කොරවක් ගල් - හොරණ රජමහා විහාරය
විසිදාගම
පෘතුගීසීන් අතින් මෙම ස්ථානයද විනාශ වූ බවට ලිඛිත සාක්කි ඇත (බලන්න කන්ද උඩරට චරපුරුෂ පරංගි පූජකයා සහ පරංගියාගේ ආගමික සහජීවනය.) වර්තමානයේ ඇති මෑත කාලයේ ඉදි කල විහාර භූමියේ පැරණි විහාරයේ නටබුන් ලෙස ගල් පඩි, ගල් කුලුණු, සඳකඩපහන් ආදිය ඇත.

ගල් ආසනයක් - රඹුක්කන නටබුන්
කොතලාවල
පැරණි නටබුන් කිසිවක් වර්තමානයේ දක්නට නොමැති පානදුර - රත්නපුර පාරේ පානදුර සිට සැතපුම් 8 ගිය තැන පිහිටි වර්තමාන කොතලාවල රජමහා විහාරය මෙය විය හැකි ලෙස සැලකේ.

රඹුක්කන
රඹුක්කන නටබුන්
වර්තමාන රඹුක්කන රජමහා විහාරය පිහිටි භූමියේ මෙම පැරණි වෙහෙරේ යැයි සැලකෙන නටබුන් ඇත. පැරණි බෝධියක්, ගල් ආසන දෙකක් සහ වෙනත් ගල් කැටයම් ආදිය දක්නට ඇත

පානදුරේ දේවාලය
පානදුර සෙන් ජෝන් විදුහලට යාබදව පුරාණ විෂ්ණු දේවාලයක් තිබුනා යැයි පැවසෙන ස්ථානයක වර්තමානයේ පන්සලක් තනවා ඇත. පැරණි බෝධියක්ද ඇත.  ගල් පඩි, ගල් ලෑලි වැනි නටබුන්ද 1956 වන විට තිබී ඇත.

හොරණ රජමහා විහාරය

නම්පොතේ සඳහන් කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන පිළිබඳ විමසීමේදි පෙනි යන දෙයක් නම් එම ඇතැම් ස්ථාන පෘතුගීසින් මෙරට මුහුදු බඩ ප්‍රදේශ යටත් කරගෙන සිටි කාලයේදි විනාස කල ස්ථාන බවය. එමෙන්ම එම ස්ථාන වල නැවතත් විහාරස්ථාන ඉදිවන්නේ බොහෝවිට 19 වන ශතවර්ෂයේ ආරම්භ වූ බෞද්ධ පුනර්ජීවනයෙන් පසුව බව පෙනේ. නම්පොත මුලින්ම රචනා කල කාලය 1505 පෘතුගීසීන් පැමිණීමට පෙර  එනම් කෝට්ටේ යුගය දක්වා ගෙනයා හැකි බවද මෙයින් පෙනියන්නේ?

* - The Dutch Forts of Sri Lanka, The Military Monuments of Ceylon W.A. Nelson, 2004