Showing posts with label Elahara. Show all posts
Showing posts with label Elahara. Show all posts

Saturday, November 20, 2021

දළදා මාළිගාවට යකඩ සැපයූ මුස්ලිම්වරු සිටි අකරහඩුව, හුවන් කුමාර වැද්දා අස්වැද්දූ පොත්තටවෙල සහ නැගෙනහිර මාතලේ වෙනත් පැරණි ගම්

කන්දේනුවර

1872 සිට 1892 දක්වා මහනුවර දිසා විනිසුරු ලෙසින් සේවය කල A.C. ලෝරි විසින් 1896 දී සම්පාදනය කල ගැසටියර් නාමාවලිය (A Gazetteer of the Central Province of Ceylon Volume 1 & 2) අනුසාරයෙන් 19 වන සියවසේ මෙරට විවිධ ප්‍රදේශ වල පිහිටි ගම් සහ ඒවායේ එවක සමාජ ආර්ථික සහ ආගමික තත්වයන් පිළිබඳව විස්තර කෙරෙන ලිපි පෙලක (පෙර ලිපි 1, 2, 3, 4, 5) මෙවර ලිපියෙන් වර්තමාන මාතලේ දිස්ත්‍රික්කයේ නැගෙනහිර කලාපයේ පිහිටි පත්තු තුනක පිහිටි ගම් පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එම ගම් බොහෝමයක් වර්තමානයේද එම නම් වලින්ම හඳුනාගත හැකි අතර ඇතැම් ගම් මෑතකදී  මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ වලට යටවී ඇත.

මේ කාලය වන විට 1815 ට පෙර උඩරට සිංහල රාජධානියට අයත්ව තිබූ මෙම ඇතැම් ගම් එලිපත්තටම 'තේ වතු අධිරාජ්‍යයේ' බලපෑම් ඇතිවූ ආකාරය දැක ගත හැක. ඇතැම් ගම් වල ද්‍රවිඩ ජනයාද විසූ බව ලෝරිගේ සටහන් වල දැක්වෙන බැවින් බොහෝවිට ඔවුන් එම තේ වතු වල සේවයට පැමිණි දකුණු ඉන්දීය කුලී සේවකයන් සහ ඔවුන්ගෙන් පැවතෙන්නන් විය හැක. එහෙත් එයට පෙර සිටම මෙම ඇතැම් ගම් වල ඉස්ලාම් ආගම ඇදහූ මුස්ලිම් වරු සිටි බවට කරුණු මෙහිදී හමුවන අතර මෙයට පෙර ලිපියකදීත් පෙන්වා දුන් පරිදි (එම ලිපිය කියවීමට >> ) මෙම ගම් වල සිටි මුස්ලිම් ජනයාද බෞද්ධයන්ගේ මුදුන්මලකඩ වන් දළදා මාළිගාවට රජුගේ නියමයෙන් විවිධ සේවාවන් සපාය ඇත. මෙම ඇතැම් ගම් වල ආරම්භකයා සම්බන්ධව එන ජනප්‍රවාද බොහෝමයක දැක්වෙන පරිදි කෘෂිකර්මාන්තයට නැඹුරු වූ කලින් වැද්දන් ලෙස දිවි ගෙවූ ජනයාගෙන් මෙම ගම් ආරම්භ වූ බව හඳුනාගත හැක. 

මෙහි විස්තර වන දැනට හඳුනාගත හැකි ගම් දැක්වෙන සිතියම. මෙහි දම් පැහැයෙන් මාතලේ පල්ලේසිය පත්තුවද, නිල් පැහැයෙන් ගංගල පල්ලේසිය පත්තුවද, මෙරුන් පැහැයෙන් ගංගල උඩසිය පත්තුවද  දක්වා ඇත. කොළ පැහැයෙන් දක්වා ඇති ලග්ගල පල්ලේසිය පත්තුව සහ රතු පැහැයෙන් දක්වා ඇති ලග්ගල උඩසිය පත්තුව ගම් පිළිබඳව ඉදිරි ලිපියකින් විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි



මාතලේ පල්ලේසිය පත්තුව
  • රත්තොට - පන්නයෝ, පාලියෝ සහ බඩහැල් කුල වලට අයත් ජනයා ජීවත් වී ඇති අතර රත්තොට නගරයේ ප්‍රධාන වශයෙන් වෙරලබඩ මුස්ලිම් වරු (Coast Moormen) සිට ඇත. රත්තොට විහාරයට සහ දළදා මාළිගාවට සේවා සැපයූ එම ආයතන වලට අයත් ඉඩම් වල පදිංචි වී සිටි ජනයා ගම තුල සිට ඇත.
  • හුණුකැටේ ගම - දුරයෝ කුලයට අයත් ජනයා විසූ රත්තොට වසමට අයත් ගමකි.
  • නාගුලියැද්ද - ගොවිගම, නවන්දන සහ පන්න කුල වලට අයත් ජනයා විසූ රත්තොට වසමට අයත් ගමකි.
  • ඕවල - ගොවිගම, නිලමක්කාරයෝ, පන්නයෝ, රදා සහ රිදී සහ රත්තරන් කර්මාන්තයේ නියැලුනු නවන්දන කුලයේ ජනයා මෙන්ම දමිල ජනයාද විසූ ගම්මානයකි. බොහෝ ගම්මුන් තේ වතු වල (ඕවල වත්ත ) සේවය කල බව පැවසේ. හුණුකැට ඇල සහ හැකරැල්ල යන ගම් ඕවල වසමට අයත් ගම්ය.
  • හැකරැල්ල (Hekirilla) - මුස්ලිම් ජනයා විසූ ගම්මානයකි. 1881 දී ගම්මුන් 23 දෙනෙකු සිටි මුත් 1891 වනවිට එක් නිවසක් පමණක් තිබූ ගමක් බවට පත්වී තිබේ. පුද්ගලයන් ගණන 7 කි. 
  • හුණුකැට ඇල - මෙම ගමේ විසූ බොහෝ දෙනා Crystal Hill Estate වත්තේ සේවය කල බවත් වෙනත් ගම් වලට අයත් කුඹුරු ඉඩම් වල අඳේට වැඩ කල බවත් පැවසේ.
  • පල්ලේගම - ගොවිගම, රදා, බෙරවා, නවන්දන කුල වලට අයත් සිංහල ජනයා මෙන්ම දමිල සහ මුස්ලිම් ජනයාද වාසය කර ඇත. කයිකාවල සහ කුරුවාව මෙම ගම් වසමටම අයත් ගම් වේ.
  • කයිකාවල - රජයේ පාසැලක් මෙම ගම තුල තිබී ඇත. 
  • කුරුවාව ගනේතැන්නේ දෙවියන් උදෙසා වූ දේවාලයක් මෙම ගම තුල තිබී ඇත.
  • කයිනෑක
  • කුඹුරේගම්මැද්ද (කුඹුරේගෙදර)
  • දඹේ වේරගම වසමට අයත් දුරයා ගමකි.
  • කැටවලතැන්න
  • වීරකෝන්කන්ද
  • වේරගම -  වේරගම වසමට කුඹුරේගම්මැද්ද, දඹේ සහ කයිනෑක ගම් ඇතුලත්ව තිබී ඇත. ජනප්‍රවාදයට අනුව බින්තැන්නේ වේරගම සිටි වැද්දෙකු විදින ලද ගෝනෙකු තුවාල සහිතව පෙර මේ ගම පිහිටි ඉසව්වේ පිහිටි ඊරියගොල්ල වගුර දක්වා දුරක් දිව ගොස් මැරී වැටී ඇත. ගෝනා පසු පස හඹා ආ වැද්දා එම මඩ ගොහොර අස්වැද්දීමට සුදුසු බව දැක ඒ බව 'සීතාවක රජුට' සැල කල පසු රජු "තෝ එහෙනම් එය අස්වද්දා එහි පදිංචි වෙව" යි පැවසූ කල වැද්දා එසේ කල බව පැවසේ. මේ ගමේ ගොයිගම, නිලමක්කාරයෝ, බඩහැල්, නවන්දන, රදා, පදු, බෙරවා, හුන්නෝ ආදී විවිධ කුල වලට අයත් සිංහල ජනයා මෙන්ම ද්‍රවිඩ සහ වෙරලබඩ මුස්ලිම් ජනයාද සිට ඇත. රදල පරම්පරාවකට අයත් වේරගම කහඳේ වලව්ව මෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජු තැනූ මකුළුතැන්නේ විහාරයද මේ ගම තුල තිබී ඇත. එම විහාරයට රාජාධිරාජසිංහ රජු ක්‍රි.ව. 1787 දී පිරිනැමූ තඹ සන්නසකින් එහි අයිතිය උපෝසථාරාමයේ සෝභිත සාමි සහ ඔහුගේ ගෝල පරපුර වෙත පිරිනමා ඇත. 
  • බෝගම්බර - ගොවිගම කුලයේ ජනයා විසූ ගමකි. මෙම ගමේ තිබූ අභූත දෙවියන් නම් දෙවියෙකු උදෙසා වූ දේවාලයක් ගැන ෆොර්බ්ස් සඳහන් කරයි. 
  • බුලත්වතුකන්ද
  • ගුරුබැබිල - ගුරුබැබිල විහාරය පිහිටා ඇත.
  • මැටිහක්කේගම (මැටිහක්ක?) ගුරුබැබිල වසම තුල පිහිටි ගොවිගම කුලයේ ජනයා විසූ ගම්මානයකි. 
  • පල්ලම ගුරුබැබිල වසම තුල පිහිටි ගොවිගම, බජ්ජන්, දුරා කුල වලට අයත් සිංහලයන් සහ දමිලයන් ජීවත් වූ ගමකි.
  • ඇල්හේන (Elahena) - ගුරුබැබිල වසම තුල පිහිටි ගමකි
  • පල්ලේමුල්ල - ගුරුබැබිල වසම තුල වූ ගම්මානයකි. ගොවිගම, නිලමක්කාරයෝ, වහුම්පුර සහ රදා කුල වල ජනයාට අමතරව දමිලයන්ද සිටි බව පැවසේ. 
  • දිඹුල්වෙල - පල්ලේමුල්ල ගම තුල වූ කුඩා ගමකි. වෑගොඩපොල බස්නායක නිලමේට අයත් ඉඩම් මෙම ගම තුල තිබී ඇත.
  • රයිතලාව - පෙර කල රජතලාව ලෙසින් හැඳින්වූ බව පැවසේ. ගොවිගම සහ බෙරවා කුල වල ජනයා වාසය කර ඇත.
  • හුණුකැට ඇල - රයිතලාව වසමට අයත් වහුම්පුර කුලයේ ජනයා විසූ ගම්මානයකි. ගම තුල යපස් හමුවන අතර 1888 දී එහි පුද්ගලයන් පදිංචි කර යකඩ නිස්සාරනය ආරම්භ කල මුත් දර නොමැති වීම හේතුවෙන් එය අඩාල වී ඇත. පසුව කපු වගාව අත් හදා බලා ඇතිමුත් එයද අසාර්තක වී ඇත. ගම්මුන් වතු වල සේවයේ යෙදී සිට ඇත.
  • මැකිලියවල - රයිතලාව වසමට අයත්ව තිබූ අතහැරදැමූ ගමකි.
  • ඉඹුල්ගොල්ල - මහනුවර මහා දේවලයට සේවා සැපයූ ජනයා විසූ එයට අයත් ඉඩම් තිබූ ගමකි. මෙම ගමේ ජනයා එම දේවාලයට යපස් උණු කර සාදා ගත් යකඩ කුට්ටි සැපයීමේ සේවාව සිදුකර ඇත.
  • දෙල්පවන ඉඹුල්ගොල්ල ගම තුල වූ කුඩා ගමකි.
  • කොස්ගොල්ල
  • කුඹල්ඔළුව - සිංහලේ අවසාන රජු විසින් හුදුහුම්පොල විහාරයට පවරා දුන් ගමකි. එම විහාරයට මෙන්ම දළදා මාළිගාවටද සේවා සපයන ජනයා පදිංචිව සිට ඇත.
කන්දේනුවර ප්‍රදේශයේ දර්ශනයක්.
  • පුස්සැල්ල
  • පල්ලේ අස්වැද්දුම
  • නාරංගොල්ල
  • සිරංගහවත්ත
  • උඩමුල්ල
  • දංකන්ද
  • පොල්වත්තේකන්ද - ගොවිගම, නිලමක්කාරයෝ සහ ගුරුන්නැහෙලා සිට ඇත. දංකන්ද වසමට අයත් ගමකි.
  • වෙරළුගස්තැන්න - ගොවිගම සහ නිලමක්කාර කුල වලට අයත් ජනයා වාසය කර ඇත. දංකන්ද වසමට අයත් ගමකි.
  • මඩකුඹුර - ගොවිගම, නිලමක්කාර සහ දෙමළ ජනයා සිටි ගමකි.
  • මාඋස්සාගොල්ල - ගොවිගම, නිලමක්කාර, රදා සහ දමිල ජනයා වාසය කර ඇත.
  • දික්කුඹුර - මාඋස්සාගල වසමට අයත් ගමකි.
  • වදකහමඩ - මාඋස්සාගල වසමට අයත් ගමකි. ගොවිගම සහ නිලමක්කාර කුල වලට අයත් ජනයා වාසය කර ඇත.
  • බෝධිකොටුව - මාඋස්සාගල වසමට අයත් ගොවිගම සහ බෙරවා කුල වලට අයත් ජනයා ජීවත් වූ ගමකි.
  • වෙලන්ගහවත්ත - ගොවිගම, නිලමක්කාර සහ ගුරුන්නැහෙලා කුල වලට අයත් ජනයා වාසය කල මාඋස්සාගල වසමට අයත් ගමකි.
  • අලකොලමඩ
  • ගන්සරපොල - හංගරම්මෝ? කුලයට අයත් ජනයා වාසය කර ඇත.
  • නිකවැල්ල - රදා, නවන්දන, බෙරවා, ගොවිගම, හුන්නො, බඩහැල්  සහ පන්න කුල වලට අයත් ජනයා වාසය කර ඇත. 
  • වලතලාව - වහුම්පුර කුලයට අයත් ජනයා වාසය කල නිකවැල්ල වසමට අයත් ගමකි. දළදා මාළිගාවට සේවා සපයන ජනයා සිට ඇත.
  • මැල්ලගොල්ල - නිකවැල්ල වසමට අයත්ව තිබූ අතහැර දැමූ ගමකි.
  • මරදුරාවල
  • ආඳාවල
  • ලිණිපිටිය ආඳාවල වසමට අයත් ගමකි. ලීණි වෙහෙර (Lini Vehera)නම් ස්ථානයක සිට මෙහි පැමිණි මිනිසෙකු ගම සහ මෙහි කුඹුරු ආරම්භ කල බවට ජනප්‍රවාදයක් ඇති අතර මෙම ගමේ බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත. 
  • ඕපල්ගල - වැදි රජෙකු විසූ ගමක් බවට ජනප්‍රවාදයේ එන ගොවිගම, නවන්දන, බෙරවා කුල වල සිංහලයන් සහ දෙමළ ජනයා (ගම ආසන්නයේ පිහිටි ඕපල්ගල තේ වත්තට අයත් දකුණු ඉන්දීය දෙමළ ජනයා විය යුතුය.)  ජීවත් වූ ගමකි. 
  • මොරගොල්ල - ගොවිගම සහ බෙරවා කුලයේ ජනයා වාසය කල ඕපල්ගල වසමට අයත් ගමකි.
  • බෝවතැන්න - ගොවිගම සහ වහුම්පුර ජනයා විසූ ඕපල්ගල වසමට අයත් ගමකි. අඹන් ගඟේ අමුණක් මගින් ගමේ කුඹුරු වලට ජලය ලබාගනී.
  • අකරහඩුව - ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනයා ජීවත් වූ ගමකි. නමුත්  කීර්ති ශ්‍රී රාජසිංහ රජු දළදා මාළිගාවට පිරිනැමූ අකරහඩුව ගම 19 වන සියවස අවසාන කාලය වනවිටත් දළදා මාළිගාවට අයත් ගමක් ලෙස තිබී ඇත.  මෙම ගමේ විසූ මුස්ලිම් ජනයාද එම ඇතැම් සේවාවන් දළදා මාළිගාවට ඉටුකර ඇති අතර ප්‍රධාන සේවාව වී ඇත්තේ ගම තුල උණුකර සාදන යකඩ කුට්ටි දළදා මාළිගාවට සැපයීමයි.  එම යකඩ කුට්ටි සහ හාල් දළදා මාළිගාවට තවලම් මගින් ප්‍රවාහනය කිරීමේ සේවාවේ ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනයා නියැලී ඇත.
  • අළුත්වෙල
  • මාගල්ලෑව
  • උඩගම
  • එසින්ගම්මැද්ද (එසින්ගම) - උඩගම වසමට අයත් ගමකි. 1891 දී සිදුවූ නාය යෑමක් මගින් මෙම ගමේ කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයකට හානි සිදුවී ඇත.
  • ගලේකොටුව - උඩගම වසම තුල පිහිටි ගමකි. ගම්මුන් තේ වතු වල සේවයේ යෙදී සිට ඇත. 1891 දී කන්දේනුවර වතු යායේ සිට ඇතිවූ නාය යෑමක් හේතුවෙන් මෙම ගමේ කුඹුරු ඉඩම් වලටද විශාල හානියක් සිදුවී ඇත.
ගංගල උඩසිය පත්තුව
නැගෙනහිරෙන් අඹන් ගඟින් සහ ලග්ගල පල්ලෙසිය පත්තුවෙන්ද, දකුණින් ලග්ගල පල්ලෙසිය පත්තුවෙන් සහ ලග්ගල උඩසිය පත්තුවෙන්ද, බස්නාහිරෙන් ගංගල පල්ලේසිය පත්තුවෙන්ද, උතුරින් වගපනහ පල්ලේසිය පත්තුවෙන්ද ගංගල පල්ලේසිය පත්තුව සීමා වේ.

අත්තරගල්ලෑව ප්‍රදේශයේදී අඹන් ගඟ
  • අතරගල්ලෑව - වර්ෂ 1881 දී 64 ක්ද, 1891 දී 53 ක්ද මුස්ලිම් ජනයා වාසය කල ගමකි. අඹන්ගඟ සහ කළු ගඟ එකතුවන තැන තනා තිබූ අතරගල්ලෑවේ අමුණ මගින් මෙම ගමට අවශ්‍ය ජලය සපයාගෙන ඇත. මැද උල්පොත සහ දියකැපිල්ල ගම්ද අතරගල්ලෑව වසමට අයත්ය.
  • මැද උල්පොත - වර්ෂ 1881 දී 26 ක්ව තිබී 1891 දී 7 දක්වා ජනගහණය අඩුවූ ගොවිගම කුලයට අයත් ජනයා විසූ ගමකි.
  • දියකැපිල්ල - සීගිරියේ සිට පැමිණි 8 දෙනෙකුගෙන් (පිරිමි 4 ක් සහ ගැහැණු 4 ක්) ලෝරි විස්තර ඉදිරිපත් කරන යුගයේදි අලුතින් පටන් ගත් ගමකි.
  • කළු ගඟ
  • වැලිවරනගොල්ල - කළුගල වසමට අයත් 1887 වර්ෂයේදී 12 දෙනෙකු සහ 1891 වර්ෂයේදී 38 දෙනෙකු වාසය කල ගමකි. පන්නයෝ කුලයට අයත් ජනයා වාසය කර ඇත.
  • පොත්තටවෙල හුවන් කුමාරයා නම් වැද්දෙකු ගස් වල පොතු වලින් සෑදූ නිවසක පලමුව පදිංචි වී ආරම්භ කල ගමක් ලෙස ජනප්‍රවාදයේ පැවසෙන මෙම ගමේ ගොවිගම සහ පදු කුල වලට අයත් ජනයා 60 ක් පමණ සිටි බවට 1871, 1881 සහ 1891 වර්ෂ වලදී වාර්තා වී ඇත. මෙම නමින්ම යුත් ගම් වසමට මැටිහක්ක සහ බඹරගහවෙල ගම්ද අයත් වී ඇත.
  • මැටිහක්ක - මෙම ගමේ පන්නයෝ, බෙරවා සහ ගොවිගම කුල වල ජනයා 104 ක් 1871 දී වාර්තා වී ඇති මුත් 1881 දී එය 71 කට අඩුවී 1891 වනවිට 63 දක්වා පහල බැස ඇත.
  • බඹරගහවෙල (බඹරගහ වාඩිය) - 1881 දී ජනගහණය 23 ක් සහ 1891 දී 21 ක් වූ පදු කුලයට අයත් ජනයා වාසය කල ගමකි.
  • දඹගහමඩ - 1881 දී 15 දෙනෙකු සිටි මෙම ගමේ 1891 වන විට සිට ඇත්තේ 10 දෙනෙකු පමණි
  • කන්දෙපිටවල
  • කඹරාව 
  • යකරිල්පොත
  • තලකොලපිටිය
  • මීගහවෙල
  • වතුවල - කෝන්වැව නම් වූ කුඩා ගමක්ද වතුවල  ගම තුල තිබී ඇත.
  • නවන්එලිය - 1881 වර්ෂයේදී 20 දෙනෙකු පමණක් සිටි ගමකි.
  • පුවක්පිටිය - හපු රත්නෙකල නම් වැද්දෙකු පලමුව පදිංචි වී පුවක් ගස් සිටුවා ආරම්භ කල ලෙස ජනප්‍රවාදයේ එන ගමකි. 1871 දී 435 ක පමණ පිරිසක් මෙම ගමේ ජීවත් වී ඇතත්, එය 1881 දී 207 දක්වා අඩුවී ඇත. 1891 දී එය213 කි. ගොවිගම, පන්න, නවන්දන, රදා සහ සලාගම? (Weavers) ජනයා වාසය කර ඇත. පතනේගෙදර, හබරගහ ඇලදම්මන්තැන්න (පුවක්පිටිදම්මන්තැන්න), ගම්ද මෙම නමින් යුත් ගම් වසමට අයත්ය.
  • පුවක්පිටිදම්මන්තැන්න - මද වශයෙන් මඩ ගොවිතැනද විශාල වශයෙන් හේන් වගාවද සිදු කල 1881 දී ගම්මුන් 111 සහ 1891 දී 90 ක් සිටි ගමකි.
  • පතනේගෙදර - ගොවිගම කුලයට අයත් ජනයා 1881 සහ 1891 වර්ෂ වලදී 50 ක් පමණ විසූ ගමකි.
  • හබරගහ ඇල - ගොවිගම කුලයට අයත් ජනය 1881 දී 26 ක් සහ 1891 දී 24 ක් ජීවත් වූ ගමකි.
  • මින්මිරිය - 1741 වර්ෂයේදී බලගල්ලේ වික්‍රමසිංහ මුදියන්සේ රාලහාමි නම් වූ දලදා මාළිගාවේ දියවඩන නිලමේ නිකුත් කල තල්පතක් මගින් මෙම ගමේ ඉඩම් දලදා මාළිගාවට අයත් බවත් එහි සේවාවන් ඉටුකිරීමට ගම්මුන් බැඳී ඇති බවත් කියැවේ.
  •  පුවක්ගහ උල්පොත
  • කෝඳුරුවාව - ඇලහැර සිට කොඳුරුවාව අතර ප්‍රදේශය ගමන් කල නොහැකි තරමට වනාන්තරය මැදින් වූ ප්‍රදේශයක් විය. අතරින් පතර අතහැරදැමූ ගම් තිබී ඇති අතර වියලි කාලයේදී ජල මූලාශ්‍ර දුලබ විය. කෝඳුරුවාවට යෑමට මාර්ගය පෙන්වීමට කෙනෙකු සොයා ගැනීමට පවා 1855 දී පමණ ඇඩම්ස්, බේලි සහ චර්චිල් නම් සුදු ජාතිකයන් තිදෙනාට අපහසු වී ඇත. ගමන් කල යුතු දුර අධික වීම, මාර්ගයේ ජල අපහසුව සහ බොහෝ ගම්මුන් එහි යෑමට නොදැන සිටීම යන හේතු නිසා ඔවුන් මාර්ගයේ අපහසුතාවය ඕනෑවටත් වඩා වැඩිපුර ඉස්මතු කල බව පෙනේ. මාර්ගය පැරණි යෝධ ඇලේ බැම්ම දිගේ වැටී තිබී ඇත. 1891 වර්ෂයේදී මෙහි ගම්මුන් 31 දෙනෙකු සිට ඇත.
  • ඇටඹගොල්ල වාඩිය - අතහැර දැමූ ගමකි.
  • වන්නිගමයේ ගම (වන්නිගමයේ වැව) - 1891 දී සිව් දෙනෙකු පමණක් සිටි ගමකි.
ගංගල පල්ලේසිය පත්තුව
නැගෙනහිරෙන් ගංගල උඩසිය පත්තුවෙන්ද, දකුණෙන් ගංගල උඩසිය පත්තුවෙන් සහ මාතලේ පල්ලේසිය පත්තුවෙන්ද, බටහිරෙන් මාතලේ පල්ලේසිය පත්තුවෙන් සහ වගපනහ උඩසිය පත්තුවෙන්ද, උතුරින් වගපනහ පල්ලේසිය පත්තුවෙන්ද ගංගල පල්ලේසිය පත්තුව මායිම් වේ. 

කඹරාව, කොහොන්ගහවෙල වැනි මේ ලිපියේ විස්තර වන ගම් මේ වන විට මෙම මොරගහකන්ද ජලාශයට යටවී ඇත.
  • ඇලහැර - 1871 දී ගම්මුන් 136 ක්, 1881 දී 106 ක් සහ 1891 දී 140 ක් ජීවත් වූ ගමකි. ඇලහැර ඇලේ ජලයෙන් කුඹුරු වගා කර ඇති අතර එම ජලය නොලැඹෙන කුඹුරු ඉඩම් ජලය නොමැති කමින් වසර ගණනාවකින් වගා කර තිබී නොමැත
  • එලගමුව -150 ක පමණ පිරිසක් ජීවත් වූ ගමකි. වරකට  පිරිමි ලමුන් 44 ක් පමණ අධ්‍යාපනය ලැබිය හැකි රජයේ ප්‍රාථමික ස්වභාෂා පාසැලක්ද මෙම ගමේ තිබී ඇත. 
  • තලගොඩ - එලගමුව වසමට අයත් ගොවිගම කුලයට අයත් ජනයා විසූ ගමකි. පැරණි දාගැබක් ලෙස හඳුන්වන ගල් කුළුණු කිහිපයක් මෙම ගම තුල තිබී ඇත.
  • මැදපිහිල්ල - පට්ටිවල සහ කුනම්මඩුවේ ජනයා 1881 දී 32 සහ 1891 දී 22 ජීවත් වූ එලගමුව වසමට අයත් ගමකි.
  • ගල්බොඩ
  • තලන්ගොමුව - ගල්බොඩ වසමට අයත් ගොවිගම කුලයට අයත් ජනයා 1881 දී 17 ක් සහ 1892 දී 16 ක් ජීවත් වූ ගමකි.
  • මුරුවට උල්පත - අතහැරදැමූ ගල්බොඩ වසමට අයත් ගම්මානයකි.
  • දම්මන්තැන්න
  • පුබ්බිලිය - ගොවිගම කුලයට අයත් ජනයා 150 ක් පමණ විසූ ගමකි. 1818 නොවැම්බර් 21 ඉංග්‍රීසි ආණ්ඩුව නිකුත් කල නිවේදනයක්(Proclamation) මගින් මෙම ගමේ ප්‍රධානීන්ගේ සහ ගම්මුන්ගේ මනා කල්පැවැත්ම (Good conduct) හේතුවෙන් බදු අයකිරීම 1/14 දක්වා අඩු කර ඇත.  මේ යහපත් කල්පැවැත්ම 1818 නිදහස් අරගලයේදී ඔවුන්ගේ හැසීරීම සම්බන්ධයෙන් විය යුතුය. 
  • මරගොමුව - ගොවිගම සහ රද කුල වල‍ය අයත් ජනයා ජීවත් වූ ගමකි. වර්ෂ 1891 දී මෙම ගමේ පාසැලක් ආරම්භ කර ඇත.
  • දඹගොල්ල
  • හැලඹගහවත්ත - 1881 දී 84 ක් සහ 1891 දී ගම්මුන් 90 ක් ජීවත් වී සිට ඇතත්, වැසි දිය නොමැති කමින් මෙම ගමේ කුඹුරු වසර ගණනාවකින් වගා කර නොමැත. බඹරගහවත්ත මෙම ගම් වසම තුල වූ ගොවිගම ජනයා විසූ ගමකි. 
  • කෝන්ගහවෙල - වර්ෂ 1881 දී 48 ක් වූ මෙම ගමේ ජනගහණය වර්ෂ 1891 දී 36 දක්වා අඩුවී ඇත. ඉහත පුබ්බිලිය ගමේ ලෙසින්ම මෙම ගම උදෙසාද 1\14 ක බදු සහනයක් ලබා දී ඇත්තේ ඔවුන්ගේ මනා කල් පැවැත්ම හේතුවෙන් 1818 නොවැම්බර් 21 දිනයටම අදාල නිවේදනයක් මගිනි. රජයේ බෙහෙත්හලක් (Government Dispensary) තිබී ඇත.
  • රදාවෙල - කෝන්ගහවෙල වසමටම අයත් ගමකි. ගොවිගම කුලයට අයත් ජනයාට අමතරව විල්ලි දුරයි කුලයට අයත් එක් පවුලක්ද සිට ඇත. පැරණි නටබුන් වූ ගොඩනැගිල්ලක ගඩොලු ගොඩැල්ලක් රදාවෙල ගම තුල තිබී ඇත.
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898

Sunday, December 2, 2018

පැරණි මාගම රාජධානිය පිහිටියේ ඇලහැරද?

දේවානම්පියතිස්ස රජුගේ දෙවන සහෝදරයා උපරජු මහානාග නම් විය. හේ දිනක් වැවක් කරමින් උන් තැනක සිටින විට දේවානම්පියතිස්ස රජුගේ දේවිය උපරජු වෙත අඹ යැව්වේ ඉන් උඩින්ම වූ අඹ ගෙඩියට විෂ යොදා උපරජු මරණ අටියෙනි. මහානාග රජු මැරීමට ඇයට උවමනා වූවේ දේවානම්පියතිස්ස රජුගෙන් පසුව සිය එකම පුත් කුමරාට බලය ලබාගැනීමේ පරමාර්ථයෙන් බව වංශ කතාව අපට පවසයි. මෙකල සම්ප්‍රදාය වූවේ රජුගෙන් පසු ඉන්පසුව සිටින රජුගේ වැඩිමහල් සොහොයුරාට බලය හුවමාරු වන "සහෝදර සමාගමේම" බලය රදවාගැනීමේ සම්ප්‍රදායකි ("සහෝදර සමාගම" වෙනුවට "සමනල් සමාගම" තෝරාගත් වර්තමාන සිංහලයන් වසර තුනකුත් මාස ගණනක්ම මදි නොකියන්න ඉල්ලාගෙන කෑම අතීතය නොදැනීමේ වරදක් විය නොහැකිද?) රජුගේ වැඩිමහල් පුතුට බලය හිමිවන්නේ සියළුම සහෝදරයන් ජීවතුන් අතර නැති විටකදී පමණි. දේවානම්පියතිස්ස රජුට තවත් සහෝදරවරු සිටි බැවින් මහාවංශය පවසන පරිදි උපරජුව මරා දැමීමට රජුගේ දේවියට හේතුවූ කරුණ එලෙසින්ම පිළිගැනීමට මදක් අපහසුය. කෙසේ නමුත් මහානාග උපරජු සමග එම දේවියගේ පුතුද වැව සාදන ස්ථානයට ගොස් සිටි බැවින්  සැබවින්ම සිදුවූවේ එම කුමරු විෂ යෙදු අඹ ගෙඩිය අනුභව කර මරණයට පත්වීමය. මින් බියපත්වූ මහානාග යුවරජු සිය දේවිය, ධනය සහ බල සෙනග ගෙන රුහුණ බලාගොස් එහි අධිපතිව මාගම (මහාගාම) සිට රාජ්‍යය කල බව පැවසේ.
ඇලහැර අමුණේ සිට අඹන් ගගේ ජලය ගිරිතලා, මින්නේරි සහ ගඟතලා (කන්තලේ) වැව් කරා ගෙනයන ඇලහැර යෝධ ඇල. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා Link>>
ඉන්පසුවත් වංශ කතාවේ බොහෝවර සඳහන් වන, පැරණි රුහුණු රටේ පිහිටි මාගම හෙවත් පාළියෙන් මහාගාම ලෙසින් හැඳින්වුන "මහ ගම", අද තිස්සමහාරාමය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය කෙන්ද්‍රකරගනිමින් පැවත තිබූ බව පොදු පිළිගැනීමයි. පසුකාලීනව මාගම රාජධානිය පිහිටියේ තිස්සමහාරාමයේ බව අවිවාදිතව සියළුම ඉතිහාසාඥයන් සහ පුරාවිද්‍යාඥයන් පාහේ පිළිගන්නා මුත් මුල් යුගයේ මහානාග රජු සිය රාජධානිය පිහිටවූ, ඉන්පසු දුටුගැමුණු රජු සිරිලක එක්සේසත් කරන තෙක් පැවති "මහා ගම" නොහොත් මාගම වූ රුහුණේ අගනුවර පිහිටියේ තිස්සමහාරාමයේ නොවන බවට අවම වශයෙන් විද්වතුන් දෙපලක් සාධක සහිතව කරුණු දක්වයි. ඒ අතරින් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් රුහුණේ නැගෙනහිර ප්‍රදේශයේ කුඹුක්කන් ඔයට උතුරෙන් වූ ප්‍රදේශයේ දැනටද මාගම ලෙසින් නාම ශේෂ වූ ගම්මානයක් පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව මුල් මහාගාමය පිහිටි බවට කරුණු ඉදිරිපත්කරන අතර, මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා වර්තමාන ඇලහැර ප්‍රදේශය ආශ්‍රිතව එය පිහිටි බවට තර්ක කරයි. මේ ලිපිය සිය මතය තහවුරු කිරිම උදෙසා රණවැල්ල මහතා ඉදිරිපත් කරන කරුණු දැක්වීම් වලින් කිහිපයක් කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම උදෙසා යොමුවන අතර පැරණි මාගම රාජධානිය පිහිටියේ ඇලහැරද එසේ නොවේනම් තිස්සමහාරාමයේද යන්න පිළිබඳව අවසාන නිගමනයක් සිදු කිරීමට මෙහිදි අදහස් නොකරමි.
යෝධ ඇල අද්දර පිහිටා ඇති කිසියම් පැරණි පූජනිය ස්ථානයක තහවුරු කල නටබුන්

මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා ඉදිරිපත් කරන එක් සාධකයක් වන්නේ දුටුගැමුණු රජු රජරට බලය අත්පත් කරගැනීම උදෙසා එළාර සමග සටන් වැදීමට, මාගමින් නික්මීමට පෙර මලයෙහි සිට මෙහි (එනම් අනුරාධපුරයට) එන මාර්ගය පිරිසිදු කල බවට මහාවංශයේ එන සඳහනයි. ඒ අනුව ඒ මහතා තර්ක කරන්නේ මාගම පිහිටියේ මලය දේශයේ බවය. මුල් කාලයේදී මලය දේශයද රෝහණ රටට අයත්ව තිබෙන්නට ඇති බවය එතුමාගේ අදහස වනුයේ (මලය දේශයේ සීමා මායිම් පිළිබඳව වූ පෙර ලිපිය කියවීමට >.Link). මේ අදහසම පාළි මහාබෝධි වංශයේද සඳහන් වේ. පසු කාලීනව කුරුණෑගල යුගයේදී ලියැවුණු සිංහල මහාබෝධිවංශයේ මිහිඳු මා හිමියන් විසින් දේවානම්පියතිස්ස රජුට පවසන අනාවැකියක් ලෙසින් එය සඳහන් වන්නේ මෙලෙසිනි. " .....ඒ රජ තෙමේ [දුට්ඨගාමිණී අභය හෙවත් දුටුගැමුණු]......මහා යෝධ වූ කඬොලැතා පිටට නැගී , මලය දේශයෙන් අවුත් එළාර නම් දෙමළ රජ්ජුරුවන් හා යුද්ධ කොට..."  

කෙසේ නමුත් පැරණි රෝහණයේ මලය ග්‍රාමය නමින් ග්‍රාමයක් වූ බවත් ඉහත මහාවංශ පාඨය එම මලය ග්‍රාමය පිළිබඳව විය හැකි බවත් මා මෙයට පෙර අවස්ථාවකදී කරුණු දැක්වූවෙමි (මෙම ලිපීයේ මලය රට සහ මලය ග්‍රාමය කොටස බලන්න >> Link ). ඒ අනුව සිරිමල් රණවැල්ල මහතාගේ අදහස පිළිබඳව යම් සැකයක් මතු වන බව අප සඳහන් කලමුත් පාළි මහාබෝධිවංශය සහ එය අනුසාරයෙන් ලියැවුණු සිංහල බෝධිවංශය සිරිමල් රණවැල්ල මහතාගේ මතයට රුකුලක් ලබා දේ.
අඹන් ගඟට අසල කුමාර ඇල්ල ප්‍රදේශයේ සංරක්ෂිත පැරණි ජන්තාඝරයක්
පාළි රසවාහිනියේ එන දුටුගැමුණු රජුගේ මහානේල නම් යෝධයාගේ කතාවේ පැවසෙන්නේ ඔහු මහගමින් නික්ම උදෑසන දීඝවාපී (දිගාමඩුල්ල ලෙසින් පාළි රසවාහිනියේ සිංහල අනුවාදය වූ සද්ධර්මාලංකාරයේ එයි.) හරහා ගොස් ගංගා නම් නදිය අසල වඩමන්තොට (වඩ්ඪමානක තීර්ථය) නම් ස්ථානයකදී (සද්ධර්මාලංකාරයට අනුව මහවැලි ගඟ වඩමන් නම් තොට) දැහැටි කා මුව සුද්ධ කොටගෙන, ගෙනගිය බත් අනුභව කර, මහාපාලී නම් දන්හල සංඝයාවහන්සේ දහවල් දන් වලදන්නට පෙර අනුරාධපුරයට ගිය බවයි.  

සහස්සවත්ථුප්කරණයේ එන වේළුසුමන කතාවට අනුව විහාරමහා දේවියගේ කුසේ ගැමුණු කුමරු පිළිසිඳගත් විට ඇයට ඇති වූ දොළ සන්සිඳුවීම උදෙසා උදෑසන ආහාර ගන්නා වෙලාවේ මාගමින් පිටත් වූ වේළුසුමන යෝධයා පා ගමනින් ගොස් දීඝවාපියේදී උදේ ආහාරය ගෙන, හිරු අවරට යත්ම වඩමන්තොටට (වඩ්ඪමානක තීර්ථය) ලඟා වී, පසුව හවස් වරුවේම අනුරාධපුරයට පැමිණි බව පැවසේ.
අඹන් ගඟට අසල කුමාර ඇල්ල ප්‍රදේශයේ සංරක්ෂිත පැරණි බෝධිඝරයක්
මේ කරුණු අනුව මාගම අනුරාධපුරයට එතරම් දුරින් නොපිහිටි බවත් එය කිසිසේත්ම එක් දිනකින් හෝ වරුවකින් පා ගමනින් යා නොහැකි තිස්සමහාරාමය නොවන බවටත් තර්ක කල හැකි බව සිරිමල් රණවැල්ල මහතා පවසයි. කෙසේ වුවත් යෝධයන්ගේ වීර ක්‍රියා අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම උදෙසා රචිත කතා ලෙස ඉහත සිදුවීම් දෙකම එකවර බැහැර කල නොහැක්කේ පපංචසූදනී නම් අටුවා ග්‍රන්ථයේ එන පහත කතාවෙන්ද මාගම අනුරාධපුරයට එතරම් දුරින් නොපිහිටි බවට තහවුරු වන බැවිනි. 

දීඝභාණක අභය නම් වූ තෙර නමක් අරියවංස ප්‍රතිපදාව වදාළ අවස්ථාවේ මාගම සියළු ජනතෙම එය ඇසීමට පැමිණි බවත්, එහෙයින් තෙරුන් වහන්සේට මහත් සත්කාර උපන් බවත් මෙය ඉවසිය නොහුණු එක්තරා මහතෙර කෙනෙක් දේශනාව අවසානයේ දෙදෙනා වහන්සේම තම තමන්ගේ විහාර වලට යාමේදී,  දීඝභානක අභය තෙර සමග ගව්වක් පමණ දුර යනතුරා, එම දීඝභාණක අභයතෙරුන්ට ආක්‍රෝෂ  කළ බවත් පැවසේ. මාගම සිට එම තෙරුන් වහන්සේලා පා ගමනින්ම ගව්වක් දුර වැඩ, එතැන් සිට ඔවුනොවුන්ගේ විහාර වලට වෙනම මගකින් ගිය බැව් එම කතාවෙන් පැහැදිලි වේ. සිරිමල් රණවැල්ල මහතා පවසන්නේ දීඝභාණක අභය තෙරුන් වැඩ සිටියේ චේතියපබ්බත විහාරයේ බවත් (එනම් වර්තමාන මිහින්තලයේ) එබැවින් මාගම සිට එක රැයින්ම ඒ හිමියන් සිය විහාරයට වැඩම කල බව පෙනෙන හෙයින් මාගම මිහින්තලයට එතරම් දුර නොවූ ස්ථානයක තිබිය යුතු බවත්ය. කෙසේ නමුත් පපංචසූදනියේ සිංහල පරිවර්තනයේ  ඉහත කතාව ඇතුලත් කොටසේ දීඝභාණක අභය හිමියන් ඒ තෙරණුවන්ගේ විහාරයට වැඩි බව විනා විශේෂයෙන් චෙතියපබ්බතයට වැඩම කල බව සඳහන් නොවේ. ඒ හිමියන් චෙතියපබ්බතයේ වැඩ සිටි බවට සඳහන් වන්නේ අත්ථසාලිනී නම් වූ වෙනත් අටුවා ග්‍රන්ථයක එන වෙනත් කතාවක් ඉදිරිපත් කිරීමේදීය. එසේම අරියවංශ දේශනාවට මාගම ජනයා පැමිණි බව විනා එය මාගමදී දේශනා කල බව පපංචසූදනී සිංහල පරිවර්තනයේ පැහැදිලිව සඳහන් නොවේ.
ටොලමිගේ ලංකා සිතියම
ක්‍රි.ව. දෙවැනි ශතවර්ෂයට අයත් ටොලමිගේ (Ptolemy) තැප්‍රොබේන් (Taprobane) ලෙසින් හැඳින්වෙන  ලංකා සිතියමේ Maagrammon ලෙසින් අනුරාධපුරයට (Anourogrammon) ගිණිකොන දෙසින් සැතපුම් 35-40 පමණ දුරකින් මාගම සලකුණු කර තිබීමද මාගම අනුරාධපුරයට එතරම් දුර නොවන ස්ථානයක තිබූ බවට තවත් එක් සාධකයක් ලෙස සිරිමල් රණවැල්ල මහතා දක්වයි.

වජ්‍රබෝධී නම් භාරත භික්ෂූන්වහන්සේ නමකගේ මෙරට සිදු කල චාරිකාවක චීන බසින් ඇති වාර්තාවකට අනුව ක්‍රි.ව. 718 දී කාංචිපුර (Kien-tchi) සිට මෙරටට පැමිණි ඒ හිමියන් අනුරාධපුර අභයගිරි විහාරයේ (Abhaya-raja-vihara) සිට ගිණිකොන දෙසින් ලංකා පර්වතයේ (Lanka-Parvata) පිහිටි සිරිපා සටහනක් වන්දනා කිරීමට යාමේදී රෝහණයේ (Lou-ho-no) පාලකයා හමු වූ බවත්, ඔහුට මහායානය දේශනා කල බවත් සඳහන් වේ. ලංකා පර්වතය අනුරාධපුරයට ගිණිකොන දෙසින් ඇලහැරට දකුණින් පිහිටි ලකේගල ලෙස හඳුනාගතහොත් වර්තමාන ඇලහැර ප්‍රදේශය පැරණි රෝහණයේ පාලකයා විසූ අගනුවර වන මාගම ලෙස පහසුවෙන් හඳුනාගත හැකි බව පෙනේ. එහෙත් ලකේගල මුදුනේ සිරිපතුලක් මේ වන විට දැකිය නොහැක. 
ලකේගල
තවද මාගම රාජධානිය ආරම්භ කල මහානාග යුවරජු පිළිබඳව ලලාට ධාතුවංශයේ එන සඳහනකට අනුව එකල මහාදේව තෙරුන් දඹදිව කොසඹෑ නුවර ඝෝසිතාරමයේ ගන්ධකුටියේ තැන්පත් කොට තිබූ බුදුන්ගේ ලලාට ධාතුව ලක්දිවට ගෙනවිත් ලක්දිව හත්ථොට්ඨ නම් ජනපදයට රැගෙන විත් ඇත. මහාකාල නම් කෙළඹි පුත්‍රයාගේ මග පෙන්වීම මත මහානාග යුවරජ හත්ථොට්ඨ ජනපදයට ගොස් එම ලලාට ධාතුන්වහන්සේ මාගමට රැගෙන විත් ඇත. මහානාග යුවරජු හත්තොට්ඨ ජනපදයේ ලලාටධාතුව ඇති බව දැනගන්නේ 'අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ ගෙන ආ කෙනෙකුන්ට බොහෝ සැපත් දෙමි' යැයි නුවර [එනම් මහාගාමය තුල] බෙර ලැවූ කල්හි, හත්තොට්ඨ ජනපදයේ විසූ මහාකාල කෙළඹි පුත්‍රයාට එය දැන ගැනීමට හැකිවීමෙනි. මේ අනුව හත්තොට්ඨ ජනපදය මාගමට ආසන්නව තිබිය යුතු බවට උපකල්පනය කල හැක. ලග්ගල සහ ඇලහැර අතර දැනටද හත්තොට ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය පුරාණ හත්තොට්ඨ ජනපදය ලෙස හඳුනාගන්නා බැවින් මාගම ඇලහැරට ආසන්නව වූ බවට වන ඉහත මතයට එයද තවත් එක් සාධකයක් ලෙස ගත හැකිවේ.
ටොලමිගේ සිතියමේ මාගම ලකුණු කර ඇත්තේ Ganges ලෙසින් හැඳින්වෙන ගඟක වම් ඉවුරේය. 10 වන ශතවර්ෂයට අයත් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසලින් සොයාගත් ටැම් ලිපියක අඹන් ගඟ හඳුන්වා ඇත්තේ මහා ගංගා ලෙසිනි. ඒ අනුව අනුරාධපුර යුගයේ මහා ගංගා ලෙසින් හඳුන්වා ඇත්තේ අඹන් ගඟ ලෙස පවසන සිරිමල් රණවැල්ල මහතා අඹන් ගඟේ වම් ඉවුරේ වර්තමාන ඇලහැර ප්‍රදේශයේ පැරණි මාගම තිබිය යුතු බවට නිගමනය කරයි. අනුරාධපුර අවසාන භාගයට හෝ පොළොන්නරු යුගයට අයත් විය හැකි  අත්තරගල්ලෑව, ඔරුබැඳි සියඹලාව, මළුවේ යාය යන ස්ථාන වල ඇති නටබුන්ද, තවමත් මතු කර නොගත් ඇලහැර අසල වනාන්තරයේ ඇති පැරණි නගරයක නශ්ඨාවශේෂද එම පැරණි මාගම නගරයේ පසුකාලීන නටබුන් විය හැකි බවය ඒ මහතාගේ අදහස.
ඇලහැර අවට අඹන් ගඟ දෑලේ නටබුන් ස්ථාන කිහිපයක්
මූලාශ්‍ර
  • රෝහණ රාජ්‍යයේ ඉතිහාසය, මහාචාර්ය සිරිමල් රණවැල්ල, 2003
  • Memoirs of the Archaeological Survey of Ceylon, Vlume XI, History of the Kindom of Rohana (From the Earliest times to 1500 A.C. )
  • Chino-Sinhalese relations in the early and middle ages (Translated from M. Sylvain Levi's Article in the Journal Asiatique) Journal of Ceylon Branch of Royal Asiatic Society. Vol XXIV No 68, 1915-16
  • පපඤච සූදනී නම් වූ මජ්ජිමනිකායට්ඨකථා 1 (සිංහල පරිවර්තනය) රාජකීය පණ්ඩිත ආඳාවල දේවසිරි මහා ස්ථවිරර 2008
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Early History of the Buddhism in Ceylon, E.W. Adikaram, 2009
  • සහස්සවත්ථුප්පකරණය,  සංස්කාරක වෑගම පියරතන හිමි, 1999
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, නව සංස්කරණය මාගධී පෙළ ස්සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • මාගම රාජධානිය, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 
  • සද්ධර්මාලංකාරය
  • අත්ථසාලිනී නම් වූ ධම්මසංගණිප්පකරණට්ඨ කථා (සිංහල පරිවර්තනය ) සෝමරත්න ගම්ලත් වෙලගෙදර, 2008

Sunday, July 29, 2018

යෝධයා බැඳි පැරණි ඇල සහ කළු ගඟට යටවීමට නියමිත ලග්ගල පල්ලේගම


මොරගහකන්ද ව්‍යාපෘතියේම කොටසක් වන කළු ගඟ ව්‍යාපෘතිය යටතේ ලග්ගල ප්‍රදේශයේ ඉදිවන කළු ගඟ ජලාශයේ ජලය පිරවීම සුපුරුදු 'ආඩපාලිය' සමගින් පසුගිය සතියේ ආරම්භ විය. ඉදිරියේදි ලග්ගල පල්ලේගම නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ කිහිපයක්ම මෙම ජලාශයේ ජල කඳට යටවෙනු ඇත. එම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව සිය පාරම්පරික ගම් බිම අතහැර දමා මේ වන විටද අලුතින් ඉදිවන නව ලග්ගල නගරය වෙත ගොස් ඇත. වර්ෂ 2007 දී ආරම්භ කරමින් ක්‍රමයෙන් ඉදිවෙමින් පැවති මෙම ව්‍යාපෘති දෙකෙහි වැඩ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා දී දශක ගනණාවක් පුරා නොකෙරෙන දීගයක්ව පැවති මහවැලි මහ සැලැස්මේ අවසාන ජලාශ ව්‍යාපෘතිය ප්‍රායෝගික යථාර්තයක් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ රජයටය (මූලාශ්‍ර -  Moragahakanda>>, Kaluganga >>). අද වන විට එම සාර්ථක ව්‍යාපෘතියට අයිතිවාසිකම් කීමට අලුතින් පියවරු බිහිව ඇති අතර ඔවුන්ට අනුව සියල්ල සිදු කර ඇත්තේ මෙරට කිසිදු ප්‍රධාන සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ නොවුන එසේම එතෙක් පැවති බොහෝ එවන් ව්‍යාපෘති අතහැර දැමූ හෝ මන්දගාමීව සිදුවන පසුගිය වසර කිහිපය තුලය. මොරගහකන්ද ව්‍යාපෘතියේ සැබෑ පියවරු කවුද යන්න පිළිබඳව සාධක සහිතව පෙර ලිපියකින්ද සාකච්චා කලෙමු. (කියවන්න අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 1මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතිය පිළිබඳව එම ලිපියේ වූ පහත ඡේදය නැවත උපුටා දක්වන්නේ ප්‍රස්තුත මාතෘකාව පිළිබඳව විමසා බැලීමට එය පූර්විකාවක් වන බැවිනි.
උපුටාගැනීම moragahakandakalugangaproject.blogspot.com වෙබ් අඩවියෙනි
මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය
අඹන් ගඟේ පැරණි ඇළහැර අමුණට කිලෝ මිටර් දෙකක් පමණ ඉහළින් බඳින ප්‍රධාන වේල්ලක් සහ තවත් සැදලි වේලි දෙකක් මඟින් වර්ග කිලෝමිටර් 29.5 පුරා පැතිරුණු ඝන මීටර් 521,000,000 ක ජල ධාරිතාවයකින් යුතු මොරගහකන්ද ජලාශය සහ පල්ලෙගම නගරයට කිලෝ මීටර් 4 පමණ උතුරින් කළු ගඟ හරස් කර බඳින ප්‍රධාන වේල්ලක් සහ තවත් සැදලි වේලි දෙකක් මගින් වර්ග කිලෝමිටර 8.4 ක ප්‍රදේශයක් පුරා පැතිරුණු ඝන මීටර් 144, 000, 000 ක ජල ධාරිතාවකින් යුතු කළු ගඟ ජලාශය යන ජලාශ දෙකින් සහ කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ සම්බන්ධ කරන දිගින් කිලෝ මීටර් 9 ක් පමණ වන ඇල මාර්ගයකින් (ඉන් කිලෝ මීටර් 7.85 උමං මාර්ගයක් ලෙස ඉදිවේ ) 'මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය' සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, පොළොන්නරු, මාතලේ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල පානීය සහ කෘෂිකාර්මික ජල අවශ්‍යතා සපුරාලීමට අමතරව කුඩා විදුලි බලාගාරයක් මගින් මෙගා වොට් 35 ක පමණ බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටද නියමිතය.
කළු ගඟ ජලාශයට යටවීමට නියමිත කළු ගං නිම්නය, ඡායාරූපය - 2018/07/20
ඒ අනුව කළු ගඟ ජලාශයේ ප්‍රධාන අරමුණ කළු ගඟේ අතිරික්ත ජලය එක් රැස් කර මොරගහකන්ද ජලාශයට ගෙනයෑමය. එමගින් මොරගහකන්ද ජලාශයේ ජල සැපයුම ඉහළ නැංවීමටය. වෙනත් ලෙසකින් පැවසුවහොත් එමගින් මහවැලි ගඟේ අතු ගංගාවන් දෙකක් වන කළු ගඟ සහ අඹන් ගඟ කෘතිමව එක් කිරීමක් සිදුවේ (කළු ගඟ අඹන් ගඟට එක්වීම ස්වභාවිකව සිදුවන්නේ මොරගහකන්ද ජලාශයේ සිට තව දුරටත් නැගෙනහිර දෙසට වන්නට පිහිටි ඇලහැර නගරයද පසු කර යන විට හමුවන කුමාර ඇල්ල ප්‍රදේශයේදීය. සිතියම 2 බලන්න)
නුදුරු දිනකදි ජලයෙන් යටවීමට නියමිත අතහැර දැමූ ලග්ගල පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය - ඡායාරූපය - 2018/07/20
නූතන වාරි ඉංජිනේරුවන් කළු ගඟේ ජලය ඇල මාර්ගයක් සහ උමගක් මගින් අඹන් ගං නිම්නයේ ඉදි කල ජලාශයකට රැගෙන එන අයුරින්ම, පැරණි සිංහලයන්ද කළු ගඟේ ජලය අමුණක් මගින් හරවා ඇල මාර්ගයක් මගින් අඹන් ගඟ දක්වා ගෙන ගිය බවට සාධක හමුවන බව අද බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. ඒ රජරට ප්‍රදේශයේ කෙත් වතු ගම්බිම් සරුසාර කිරීම උදෙසා ඇලහැර ප්‍රදේශයේදි අඹන් ගඟේ ඉදි කල අමුණක් මගින් මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ වැව් වලට ජලය ගෙනයන ඇලහැර යෝධ ඇලට (ඇලහැර යෝධ ඇල සම්බන්ධව වූ පෙර ලිපිය කියවීමට>> අඹන් ගඟේ දියවර මින්නේරිය වැවට ගෙනගිය පුරාණ යෝධ ඇල) අමතර ජලය සපයාගැනීමටය. මේ ලිපිය ඒ පිළිබඳව තොරතුරු විමසා බැලීම සඳහා වෙන්වේ. 
කළු ගඟ හරහා ලග්ගල නගරයට ආසන්නව B312 මාර්ගයේ හමුවන පාලම. මෙම ප්‍රදේශයද කළු ගඟ ජලාශයට යට වේ. - ඡායාරූපය - 2018/07/20
ඇලහැර ප්‍රදේශයේදී ඇලහැර අමුණ මගින් පැරණි යෝධ ඇලට අඹන් ගඟින් ජලය හැරවූ බවට පෙනෙන්නට තිබුනද පරම්පරාගත කතා වලින් මීට විරුද්ධ මතයක් ප්‍රකාශ වන බව මෙරට පැරණි වාරි තාක්ෂණය පිළිබඳව අගනා ග්‍රන්ථයක් කල මිනින්දෝරුවෙකු වූ R.L. බ්‍රෝහියර් පවසයි. එම කතා වලට අනුව ඇලේ ආරම්භය ඇලහැර නොව එයට සැතපුම් 15 පමණ දකුණින් කළු ගඟේ බැම්මක් බැඳි ස්ථානයක බවත් එහි සිට සැතපුම් 30-35 පමණ දිග ඇල මාර්ගයක් මගින් ඇලහැරට වතුර ගෙන ආ බවත් පැවසේ.  වර්ෂ 1856 දී මෙම කතාව කන්දේපොල සිටි භික්ෂුන් වහන්සේ නමකගෙන් අසා දැනගන්නා ඇලෙක්ස් යන්ග් ඇඩැම්ස් (Alex Young Adams) නම් පුද්ගලයෙක් ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමට පටන් ගනී. ගංගාවල් දෙකම අමුණු වලින් සිරකොට ඒ අතර තුර පිහිටි විෂම ප්‍රදේශය තුල ජලය ගෙන යෑම මනුෂ්‍යයෙකුට කල නොහැකි  වැඩක් ලෙස සැලකීම ස්වභාවික වන හෙයින් "යෝධයා බැඳි ඇල" ලෙසින් හැඳින්වූ මෙම වාරි ව්‍යාපෘතියේ සලකුණු පළමුකොට ඔහුට හමුවූවේ ඇලහැරට සැතපුම් 12ක් හෝ 14 ඈතින් පිහිටි අතහැර දැමූ ගමක බව ඇඩම්ස් පවසයි.
ඉහත පාලම අසලින් තවමත් සුපුරුදු ලෙසින් ගලා යන කළු ගඟ - ඡායාරූපය - 2018/07/20
එම ස්ථානයේ සිට සැතපුම් 2 පමණ ඇල දිගේ ඉහළට යන ඇඩම්ස් එතැන් සිට ඝණ කැලෑව හෙයින් එම උත්සාහය අතහැර දමා තැනින් තැන ඇල හරහා වැටී තිබූ අලින් ගමන් කල මාර්ගයක් ඔස්සේ ගොස් අවසානයේ කළු ගඟේ පිහිටි ඇලේ ආරම්භය වන ගල් බැම්මක් සොයාගනී. එය ගඟ හරහා වූ ගල් තලාවක් හරහා ඉදි කර තිබී ඇත. හත්තොට අමුණ ලෙසින් හැඳින්වූ එම අමුණ මගින් කළු ගඟේ වතුර ඉහත ඇල මාර්ගයට හරවනු ලැබේ.  
කළු ගංග ජලාශයේ ප්‍රධාන වේල්ලට මදක් උතුරට වන්නට ඇති පැරණි හත්තොට අමුණ
ඉදිවෙමින් පවතින කළු ගඟ ජලාශයේ ප්‍රධාන වේල්ල (දකුණු පස) සහ එයට පහලින් දිස්වන කළු ගඟ. පැරණි හත්තොට අමුණ මෙයට මද දුරක් ගඟ පහලට ගිය විට හමුවේ.
1858 දී කළු ගඟේ අමුණ සහ යෝධයා  බැඳි ඇල පරික්ෂා කර බැලූ බ්‍රෝඩ් (Brodie) මහතාද ඒ පිළිබඳව වාර්තා තබා ඇත. ඔහු පවසන පරිදි අමුණ සෑදීම සඳහා සුදුසුම ස්ථානය මැනවින් තෝරාගෙන ඇත. බොහෝ ගල් තලා ඇති, ගං ඉවුරු දෙකම උස් එමෙන්ම ඉවුරු වලද ගල් සහිත ස්ථානයක එය තනා ඇත. බැම්ම මුල් ආකාරයෙන් ශේෂ වී ඇත්තේ කුඩා කොටසක පමණි. සමහර ගල් පෙරලි ගොස් ඒ අසලම රැදී ඇත. ඇල දිගේද මිණුම් කටයුතු කල ඔහුට එහි බොහෝ තැන් වල දෙපැත්තේ පිහිටි විශාල ඇලකණ්ඩි දක්නට ලැබී ඇත. එහෙත් සමහර ස්ථාන වලදී එය ඔයවල් වලින් සේදී ගොස් ඇත. ඇල දිගේ සිදු කල මිණුම් කටයුතු වලදි ඔහු පළමු කොටම දහස්ගිරියටද නැවත හිඹුටුවලටද සාදා තිබූ අතුරු ඇලවල් දිගේද ගමන් කරයි. ඉන්පසු ඇලේ සාධක හමු නොවන හෙයින් එය ඇලහැර දක්වාම තිබිණිද යන්න පිළිබඳව බ්‍රොඩ් සැක පල කරයි. තව දුරටත් කරන්නට යෙදුන ගවේෂණයේදී ඔහුට හුණුකොටුව ලෙසින් හැඳින්වූ ස්ථානයකදි විශාල බැම්මක් හමුවේ. එය ඇලේ වතුර හිබොටුවල දෙසට යෑම වැලක්වීමට සෑදුවක් ලෙසට ඔහු කල්පනා කරයි. එතැන් සිට කන්දෙපිටිවලට ගොස් තවත් සැතපුම් 1/2 පමණ කැලය දෙසට ගොස් යක්කඳවල නම් ස්ථානයකදි කඳු දෙකක් යා කර තනා තිබූ එවැනිම බැම්මක් ඔහු දැක ගනී.
කළු ගඟ ජලාශයට යටවන හෙයින් අතහැර දැමූ ලග්ගල පල්ලේගම විහාරය  - ඡායාරූපය - 2018/07/20
කඳු දෙකක් අතර සාදා තිබූ තුන්වන බැම්මක් ගැනද බ්‍රෝඩි තොරතුරු ඉදිරිපත් කරයි. එය ප්‍රපාතය මුදුනේම සමතලා බිමට බටහිරින් සාදා තිබී ඇත. එම බැම්මේ අරමුණ පැහැදිලි නැති බව ඔහු පවසයි. ඉන්පසු හමු වූ සුවිසල් බැම්මක්, ගල් වානක් සහ ටැම් ලිපියක් පිළිබඳව ඔහු ඉදිරිපත් කරන විස්තරය බොහෝවිට ඇලහැර බැම්ම සහ ඒ අසල ඇති සෙල් ලිපිය ගැන විය හැක. 

මෙම අමුණ සහ ඇල මාර්ගය පැරණි අඟලේ සිතියම් වල සලකුණු කර ඇති මුත් නූතන මෙට්‍රික් සිතියම් වලින් ඇල මාර්ගය අතුරුදහන් වී අත. එහෙත්  Google Map වල දැනටද ඇල මාර්ගයේ සලකුණු හඳුනාගත හැක. මා ඔය ලෙසින් හැඳින්වෙන කළු ගඟට එහි වම් ඉවුරෙන් එක්වන අතු ගංගාවක් දක්වා අඟලේ සිතියම් වල එය ලකුණු කර ඇත. එතැන් සිට ඇලහැර දක්වා ජලය රැගෙන ගියේද? එසේ වූවා නම් ඒ කෙලෙසකද යන්න පැහැදිලි නැත. එහෙත් ස්වභාවික ඔයක් වන මා ඔය ඔස්සේ ඔය ඉහලට ජලය ගමන් කරවා, එහි නිම්න භූමි ඔස්සේ ඇලහැර අමුණ දක්වාම ජලය ගෙන යා හැකි බව එම ප්‍රදේශයේ භූ විෂමතාවය විමසා බැලීමේදී පැහැදිලි වේ. ඉහත බ්‍රොඩ් සඳහන් කරන විශාල ගල් බැමි ඇලේ ජල මට්ටම ඉහල නංවා මෙම කාර්යයය ඉටු කරගැනීම උදෙසා නිම වූවා විය හැක. ඇලහැර අමුණ හේතුවෙන් එම නිම්නයේ අමුණට ඉහලින් ජල මට්ටම ඉහල යන බැවින් කඳු වැටියෙන් අනෙත් පස යෝධයා බැඳි ඇලේ ජල මට්ටමද ගල් බැමි ආධාරයෙන් ඉහල නැංවිය හැකි නම් මෙය සිදු කල හැකි බව පෙනේ. බ්‍රෝඩි සදහන් කරන ඔහුට තේරුම් ගත නොහැකි ගල් බැම්ම මෙම කාර්යය සඳහා තැනුවා විය නොහැකිද? එහෙත් ඒ පිළිබඳව නිවරදි මතයක් පුරාවිද්‍යාත්මක සහ ඉංජිනේරුමය දැනුමක් ඇති විද්වතුන් විසින් ක්ෂේත්‍ර ගවේෂණ සිදු කර ඉදිරියේදි ඉදිරිපත් කල යුත්තකි. ඒ පිළිබඳව බ්‍රෝහියර්ට පසු කිසියම් ගවේෂණාත්මක විමසා බැලීමක් සිදුවී ඇති බවක් නොපෙනේ.
සිතියම 1 - හත්තොට අමුණේ ඇලහැර අමුණ දක්වා පැරණි වාරි නටබුන්. යෝධයා බැඳි ඇල දම් පාටින් සලකුණු කර ඇති අතර නිල් පාටින් දැක්වෙන්නේ ස්වභාවික ඔයවල්ය.
යෝජිත මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ එක් කරන ඇල මාර්ගය සහ උමං මාර්ගය මෙම පැරණි යෝධයා බැඳි ඇලට බටහිර දෙසින් ඉදිරියේදී ඉදිවනු ඇත. පහත දැක්වෙන සිතියමේ ඉහත විස්තර වූ සියළුම පැරණි වාරි පද්ධතිය මෙන්ම දැනට ඉදිකර ඇති සහ ඉදිරියේදී ඉදීවීමට නියමිත නූතන වාරි මාර්ග පද්ධතියද දක්වා ඇත (සිතියම 2 බලන්න) අපේ පැරන්නන් එවකට ඔවුන් සතුව පැවති දැනුම් පද්ධතීන් උපයෝගි කරගනිමින් භූමියේ විෂමතාවයන් සැලකිල්ලට ගනිමින් ඉදි කල එම විශිෂ්ඨ ඉංජිනේරුමය නිර්මාණයන් කෙතරම් අනර්ගද යන්න පැහැදිලි වන්නේ නූතන චන්ද්‍රිකා ඡායාරූප හෝ සමොච්ඡ රේඛා දැක්වෙන සිතියම් නොමැති යුගයක ඒවා ඉදි කර ඇති බැවිනි. 
සිතියම 2 - මෙහි දම් පාටින් පැරණි යෝධයා බැඳි ඇලද තද කොල පාටින් මා ඔයේ සිට ඇලහැර අමුණ දක්වා එහි උපකල්පිත ගමන් මගද දක්වා ඇත. ලා කොල පාටින් ඉදිරියේදී ඉදිවීමට නියමිත කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ යා කරන ඇල මාර්ගය සහ තද දුඹුරු පැහැයෙන් එහි උමං මාර්ගය දක්වා ඇත.
පැරණි යෝධයා බැඳි ඇල කිනම් කලක ඉදි කර ඇත්ද යන්න අවිනිශ්චිතය. ඇතැම් විට විට එය ඇලහැර අමුණෙන් යෝධ ඇලට ජලය හැරවීමට පෙර කලක සිදු වූවා විය හැක (ඇලහැර අමුණේ සහ ඇලෙහි කාල නීර්නය ගැන වැඩිදුර තොරතුරු සඳහා >>) ඇතැම් විට ඇලහැර ඇල මාර්ගය ඉදිකිරීමෙන් පසු එයට වැඩි ජල ප්‍රමානයක් එක් කර ගැනීම උදෙසා ඉන්පසුව ගොඩනැගුවාද විය හැක. කෙසේ නමුත් මහා පරාක්‍රමබාහු රජු පරාක්‍රම සාගරයට ජලය ගෙන යෑමට කාර ගඟ හරස් කර ගොඩවාරි ඇල කැපූ බවට මහාවංශයේ එන සඳහන පාදක කරගනිමින් 'කාර' සහ 'කළු' යන වචන වල සමානත්වය පිළිබඳව අවධානය යොමු කර ගොඩවාරි ඇල යනු අප මෙහිදි විමසා බැලෙන යෝධයා බැඳි ඇල විය හැකිය යන මතයක්ද ඉදිරිපත් වී ඇත (අප පෙර ලිපියෙහිදි කාර ගඟ යනු අඹන් ගඟ ලෙසත් ගොඩවාරි ඇල ඇලහැර ඇල ලෙසත් සැලකෙන ප්‍රකට මතය ගැන සාකාච්චා කලෙමු >> ).   
ජලාශයට යටවීමට නියමිත් ප්‍රදේශයට දිස්වන ලකේගල කඳු මුදුන - ඡායාරූපය - 2018/07/20
මූලාශ්‍ර
  • Ancient Irrigation Works in Ceylon, Part One, R.L. Brohier, 1934
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • කළු ගඟ ජලාශය සහ කෘෂිකර්ම ව්‍යාප්ත ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව. 2008

Tuesday, August 15, 2017

අඹන් ගඟේ දියවර මින්නේරිය වැවට ගෙනගිය පුරාණ යෝධ ඇල

මින්නේරිය වැව
මින්නේරිය වැව සහ ඇලහැර ඇල පිළිබඳව එන වංශ කතා විස්තර
පෙර ලිපියකදීද >> Link අප පැවසූ පරිදි ආළිසාර ඇල පිළිබඳව වූ මුල්ම සඳහන වංශ කතාවේ අපට හමුවන්නේ වසභ රජතුමාගේ (ක්‍රි.ව. 67-111) කාලයේදීය. එතුමන් විසින් ආළිසාර දිය භාගය එනම් එම (ඇලෙන් අයකරගන්නා) ජල බද්ද ඔහු විසින් කරවූ තිස්සවඩ්ඪමානකයේ මුචේලි විහාරයට  පිදූ බව ඉන් කියවෙයි. එහෙත් එම පාඨයෙන් ආළිසාර ඇල කරවූවේ වසභ රජු ලෙස නොපැවසෙන බැවින් ඇතැම් විට ඊටත් පෙර කලක සිටම එම ඇල තිබුනා විය හැක. එසේම මෙහිදි සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් වනුයේ මෙහිදී "ආළිසාරෙ උදකභාග" (ආළිසාරෙදකභාගං) කියනු විනා "ආළිසාර ඇලෙහි උදකභාග" (උදකභාග = දිය භාගය) කියා කෙලින්ම පවසන්නේ නැති බවය. මේ නිසා ඇතැම් විට ආළිසාර රටේ පිහිටි වෙනත් වැවක හෝ වැව් වල දිය භාගය මෙයින් හැඳින්වූවා විය නොහැකිද යන පැනයද ඇතමෙකුට මෙහිදී නැගිය හැක.

කෙසේ නමුත් පසු කාලීන සිංහල ග්‍රන්ථයක් වූ පූජාවලියේ සඳහන් වනුයේ මහසෙන් රජු (ක්‍රි.ව. 274 - 301) විසින් මිනිහිරි වැව බඳවා, කරාගඟැ මිනිහිරි වැවට දිය යන ලෙසට අමුනු බඳවා, දෙවියන් පෑ සලකුණෙන් තලවතු ඇළ බිඳුවා දියවර සපයා විසි දහසක් කුඹුරු කරවූ බවය. මෙම වාරිමාර්ග ඉදිකිරීම සඳහා ඔහු යකුන් ලවාද වැඩ ගත් බව එහි සඳහන් වේ. මෙහි මිනිහිරි වැව ලෙසින් හැඳින්වෙනුයේ වර්තමානයේ මින්නේරිය වැව ලෙස හඳුනාගන්නා වැව වන අතර (මහාවංශයේ මහසෙන් රජු කරවූ වැව් සොළොසට මණිහීර නම් වැවක්ද ඇතුලත් වන බැවින් මින්නේරි වැව මහසෙන් රජු කරවූ බවට පූජාවලියේ එන මෙම සඳහන මහාවංශයේ එන තොරතුරු සමගද එකග වේ.) කරාගඟ ලෙසින් හැඳින්වෙන ගඟ මහාවංශයේ වෙනත් අවස්ථා වලදී කාරගංගා ලෙසින් හැඳින්වෙන ගඟ වේ. මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 - 1186) පරාක්‍රමසාගරයට ජලය ගෙනයෑම සඳහා කාරගංගාවේ සිට ගොඩවාරි ඇල කැපූ බව මහාවංශයේ දැක්වේ. වර්තමානයේ අප පරාක්‍රම සමුද්‍රය ලෙස හඳුනාගන්නා වැවට අඹන් ගඟේ සිට ජලය ගෙන එන එහි ප්‍රධාන ජල ප්‍රභවය වන අංගමැඬිල්ල ඇල ගොඩවාරි ඇල ලෙස හඳුනාගතහොත් කාරගඟ යනු අඹන් ගඟ ලෙස ගත හැක. එසේම අඹන් ගඟේ ඇලහැර දියහැරවුමේ සිට මින්නේරිය වැව දක්වා පැරණි යෝධ ඇලෙන් ජලය ගෙන යන බැවින් එම හඳුනාගැනීම පූජාවලියේ එන සඳහන සමගද මනාව ගැලපේ.  තවද ලග්ගල කඳු පෙදෙසේ සිට පැමිණ අඹන් ගඟට නාමල් කුමාර ඇල්ල නම් ප්‍රදේශයේදී එකතු වන එහි ප්‍රධාන අතු ගංගාව වන කළු ගඟේ පැරණි කාර/කර යන ශබ්දය තවමත් ශේෂ වී ඇති බටට මත පළවී ඇත.
ඇලහැර ඇල ඔරුබැඳිසියඹලාව අසලදී
ඇලහැර දිය හැරවුමේ සිට සැතපුම් 20 පමණ දුරකට දිය ගෙන ගිය පසු දියබෙදුම ලෙසින් හැඳින්වෙන ස්ථානයේදී ඇල කොටස් තුනකට බෙදේ. මින් ඇලවල් දෙකක් තලාවතුර ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ස්වභාවික ඔයක නිම්නය දෙපසින් මින්නේරිය වැව දක්වා ගමන් කරයි. පූජාවලියේ සඳහන් වන තලවතු ඇළ යන ඇලහැර යෝධ ඇලට එවකට ව්‍යවහාර වූ නම මෙම ස්වභාවික ඔයේ අදටද ශේෂ වී ඇති බව පෙනේ. සොළි ආක්‍රමණ වලින් පසුව මහා විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1055 - 1110) බිඳුනු තිලාවත්තුක ඇල බඳවා මිනිහිර වැව දිය පිරවූ බව මහාවංශයේ සඳහන් වන බැවින් එම නම අවම වශයෙන් පොළොන්නරු යුගය ආරම්භයේ සිටවත් ඇලහැර ඇලට ව්‍යවහාර වූ බව පෙනේ.

මින්නේරිය වැව සහ ඇලහැර ඇලේ වාරි තාක්ෂණය
මින්නේරිය වැව පිහිටා තිබෙන්නේ ඊසාන දිග මෝසමෙන් වැසි ලැබෙන වියලි කලාපය ලෙස හඳුන්වන දේශගුණික කලාපයේය. නුවරගල කඳු පන්තියෙන් ඇරඹෙන කිරි ඔය සහ වැවට වයඹ දෙසින් වූ කඳු මතින් ඇදී එන බටු ඔයේ ජලය එම කලාපය තුලින් වැව පෝෂණය කරන මුත් එම දියවර වසර පුරා වැව ජලයෙන් පුරවා තැබීමට අපොහොසත්ය. විශේෂයෙන්ම යල් කන්නය වන විට ගොවිතැන සඳහා අවැසි ජලය සැපයීමට නම් වෙනත් ජල ප්‍රභවයක් ගැන සලකා බැලීමට සිදුවේ. මේ අවශ්‍යතාව වටහා ගත් පැරණ්නන් ඒ සඳහා කදිම පිළියමක් යෙදූහ. එනම් නිරිත දිග මෝසමෙන් වැසි ලැබෙන දුම්බර කඳුවැටියේ ජල පෝෂක ප්‍රදේශ හරහා ගලා එන අඹන් ගඟේ ජලය සැතපුම් 25 ක පමණ ඇල මාර්ගයක් හරහා වියලි කලාපයේ පිහිටි මින්නේරිය වැව කරා රැගෙන ඒමයි. වැව යනු ජලය රැස් කරන ටැංකියක් ලෙස හෝ ඇල යනු එක් තැනකින් වෙනත් තැනකට ජලය ගෙන යන කානුවක් ලෙස නොසිතූ ඔවුන් ඇලහැර සිට මින්නේරිය දක්වා කඳු වැටි දෙකකට මැදිව පිහිටි සම බිම සරුසාර කෙත් යායක් බවට පත් කලේ එම මුලු දුර පුරාම කෙත් බිම් සඳහා ඇලහැර ඇල මගින් දියවර සැපයීමෙනි.
ඇලහැර ඇල ඇලහැර නගරයට දකුණින් පිහිටි දිය හැරවුමේ සිට මින්නේරිය සහ ගිරිතලේ වැව් දක්වා - ඊතල වලින් ලකුණු කර ඇත්තේ ඇල ගමන් කරන මාර්ගයයි
එසේම ඇලහැර ඇලේ වම් ඉවුර දෙසින් පිහිටි කෝඳුරුවාව කඳු පංතියේ සිට ඇදී එන කෝන්ගැට ඔය, හීරටි ඔය, බකමූණන්ගේ ඇල,කෝට්ටපිටිය ඔය, අත්තනකඩවල ඔය වැනි ජල මූලාශ්‍ර මගින් රැගෙන එන අමතර ජලයෙන් ඇලහැර ඇල තව දුරටත් පෝෂණය වේ. එම ඔයවල් ඇල හා එක්වන ස්ථාන වල ශක්තිමත් ගල් අත්තිවාරම් සහ ගල් බැමි දමා වේගයෙන් ගලා එන එම ජලපහරවල් වලින් ඇලේ බැමි වලට වන හානිය වලකා ඇත.එසේම විශාල ජලස්කන්ධයක් ඇතුළු වන ස්ථාන වල වතුර උතුරා යෑම පිණිස අඩි 50 පමණ පළල් වූ ගල්වානවල් සාදා තිබී ඇත. කුඹුරු වලට වතුර ගැනීම සඳහ සෑදූ සොරොව්ද ගලින්ම නිර්මිතය.
දියබෙදුමේ සිට පැරණි ඇල මාර්ග තිබූ ආකාරය
ඇලහැර දියහැරවුමේ සිට සැතපුම් 20 පමණ ගිය පසු ඇල කොටස් තුනකට බෙදේ මින් ඇලවල් දෙකක් අප ඉහත පැවසූ පරිදි තලාවතුර ඔය නිම්නය දෙපසින් මින්නේරිය වැව දෙසට ගමන් කරයි. තුන්වැනි ඇල ජලය ගිරිතලේ වැව* දක්වා ගෙන යෑම උදෙසා ඉදි කර ඇත (ඇලහැර දිය හැරවුමේ සිට ගිරිතලේ වැව දක්වා ඇලේ දිග සැතපුම් 27 පමණ වේ.) එය මද දුරක් ගොස් ගිරිතලේ වැවට ගලා බසින ස්වභාවික ඔයක් වන නාහින්න ඔයට වැටේ. එම ඔයේ ජලය ගිරිතලේ වැවට ඇතුළු වීමට පෙර නාහින්න වැව නමින් හැඳින්වෙන කුඩා වැවකට වැටේ. දෙපසින් වූ කඳුවැටි දෙකක් යා කර තැනූ බැම්මක් මගින් සාදා ඇති මෙම වැවේ ජලයෙන් අස්වැද්දිය හැකි කුඹුරු ප්‍රමාණයක් එම වැව සහ ගිරිතලේ වැව අතර ප්‍රදේශයේ නොමැති බැවින් බ්‍රොහියර් මහතා මෙය ගිරිතලේ වැව සෑදීමට ප්‍රථම තිබී පසුව අත්හැර දැමූ වැවක් ලෙස හෝ නොමැති නම් ගිරිතලේ වැවට ජලය රැස්කිරීමට ඉදි කල වැවක් වන්නට ඇති බව පවසයි. එහෙත් උදුල බණ්ඩාර අව්සදහාමි මහතා එය කුළු වැවක් ලෙස හඳුනාගනී. මහ වැවට රොන්මඩ එක් රැස් වීම වැලකීම එහි කාර්යභාරයයි. එම අදහස නිවැරදි ලෙස සැලකිය හැක්කේ තලාවතුර ඔය දෙපසින් මින්නේරිය වැව දක්වා යන ඇල මාර්ග දෙකද ඉහකුළු වැව සහ කටකුළු (කටුකැලි) වැව යන කුළු වැව් දෙකක් හරහා ගොස් මින්නේරිය වැවට ඇතුළු වන බැවිනි. එහෙත් වර්තමානයේදී සිදුවන්නේ දියබෙදුමේ සිට ඇලහැර ඇලෙන් ගෙන එන ජලය තලාවතූර ඔය හරහා කෙලින්ම මින්නේරිය වැවට ඇතුළු කිරීමය. ප්‍රතිඵලය දිනෙන් දින මින්නේරිය වැව රොන්මඩින් පිරීයාමය. එදා වාරි ශිල්පීන් දැන සිටි සරල කරුණ වර්තමාන බටහිර විද්‍යා දැනුමින් උකහා නොගත් අනුකාරකයන්ගේ ශිල්ප දැක්වීම එබඳුය. විශාල වැවක රොන්මඩ ඉවත් කිරීමට වඩා කුළු වැව් වල එකතු වන රොන්මඩ ඉවත් කිරීම පහසු බව පැරණි සිංහලයන් තේරුම් ගත්තද අද අපට එය නොතේරේ.
බටහිර දෙසින් කෝඳුරුවාව කඳු වැටියට සහ නැගෙනහිරෙන් සුදු කන්ද කඳු වැටියට අතර පිහිටි ඇලහැර ඇලෙන් පෝෂණය වන ප්‍රදේශය

ගිරිතලේ වැව
මහාවංශයට අනුව දෙවන අග්ගබෝධි (ක්‍රි.ව. 604 - 614) රජු ගිරිතටා වැව ඉදි කරන ලදී. කුඩා අග්බෝ ලෙසින් එම රජු හඳුන්වන පූජාවලිය එම වැව ගිරිතළා ලෙස හඳුන්වයි. මහා පරාක්‍රමබාහු රජු පිළිසකර කරවූ වැව් අතර  ගිරිතලාක නම් වැවක්ද මහාවංශය සඳහන් කරයි. මේ සියලු නම් වලින් හැඳින්වෙන්නේ ගිරිතලේ වැව බව පහසුවෙන් හඳුනාගත හැක.

ඔරුබැඳි සියඹලාව
බිම ඇද වැටී ඇති ඔරුබැඳිසියඹලාව  - 2008 වසරේදි ගත් ඡායාරූප
ඇලහැර ඇල ඔරු මගින් ප්‍රවාහන කටයුතු සඳහාද යොදාගත් බවටද ජනප්‍රවාද ඇත. ඔරුබැඳි සියඹලාව නම් වූ විශාල සියඹලා ගසක් ඇලහැර නගරයට මදක් උතුරින් ඇලහැර ඇල අසල ඇති අතර එහි යාත්‍රා ගැටගැසීම නිසා ලකුණු වූ කඹ පාරවල් යැයි පැවසෙන ලකුණු දක්නට තිබී ඇත ( මේ සියඹලා ගස මේ වන විට ඇද වැටී ඇති අතර එහි කඳේ එම ලකුණු තවමත් දැකිය හැක.)
යාත්‍රා ගැටගැසීම නිසා ලකුණු වූ කඹ පාරවල් යැයි පැවසෙන ලකුණු - 2008 වසරේදි ගත් ඡායාරූප
මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • මහාවංශය, ප්‍රථම භාගය, මොග්ගල්ලාන සංස්කරණය, සිංහල අනුවාදය - අරුණ තලගල
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • Ancient Irrigation Works in Ceylon, Part One, R.L. Brohier, 1934
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • සිංහල විශ්වකෝෂය, තුන්වැනි කාණ්ඩය