Showing posts with label Verugal. Show all posts
Showing posts with label Verugal. Show all posts

Sunday, September 3, 2017

කාලිංග නුවරින් නික්මුනු අචිරවතී සහ ගෝමතී

බොහෝ කල් දුර්භික්ෂය නසන්නා වූ මහාවාලුකාගංගාවෙන් බටහිර දෙසට ගියා වූ අචිරවතී නම් වූ ඇල මාර්ගයක්ද, එම ස්ථානයෙන්ම නැගෙනහිර දෙසට ගියා වූ ගෝමතී නම් වූ ඇල මාර්ගයක්ද මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් කරවූ ඇල මාර්ග පිළිබඳව වන මහාවංශ විස්තරයේ හමුවේ (මහලු පරාක්‍රමබාහු රජතුමන් අචිරවතී ඇල බිඳවූ බව පූජාවලියේද සඳහන් වේ.). එසේම උතුරු දෙසට අභිමුඛව නික්මුනා වූ මලාපහරණී නම් වූ ඇල මාර්ගයක් සහ අචිරවතියෙන්ම නැගෙනහිරට අභිමුඛව නික්මුනා වූ සතරුද්ධ, නිබ්භින්ද, ධවලා සහ සිදා නම් වූ ඇල මාර්ග 4 ක් පිළිබඳවද එහි සඳහන් වේ. මහාවාලුකා ගංගා ලෙසින් මෙහි දැක්වෙන්නේ අවිවාදිතවම මහවැලි නදිය වේ.එහි එකම තැනකින් ගඟේ වම් සහ දකුණු ඉවුරෙන් බටහිරට සහ නැගෙනහිර දෙසට ඇලවල් සාදා තිබුන බවට සලකුණු හමුවන්නේ කාලිංග නුවර ලෙසින් වර්තමානයේ හඳුන්වන ස්ථානයේ පමණි.

කාලිංග නුවර
ඉහල කඳුකරයේ සිට බැස එන මහවැලි ගඟ ගල් පර සහිත සිය ගමන් මග නිමා කර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මහා වැලි" නදියක් වීම අරඹන්නේ මෙම ස්ථානයෙනි. දූපතේ ඇති පැරණි ශිලාමය නටබුන් හේතුවෙන් නුවර ලෙසින් ජනවහරේ හැඳින්වුවද එම ස්ථානයේ දක්නට ඇත්තේ පැරණි සංඝාරාමයක නටබුන් ලෙස හඳුනාගෙන ඇත. මෙම ස්ථානයට මදක් උතුරට වන්නට ඇති දාස්තොට ලෙස හැඳින්වෙන මහවැලි ගඟේ තොටමුණ (ඒ නමින්ම වූ වැවක්ද තොටමුණට මදක් උතුරට වන්නට හමුවේ.) සහස්සතිත්ථ ලෙසින් මහාවංශයේ අවස්ථා දෙකකදීම හමුවන ස්ථානය ලෙස හඳුනාගෙන ඇත. දඹදෙණියේ විසු දෙවෙනි පරාක්‍රමබාහු සමයේ පැරණි පුලත්ථිනගරය (පොළොන්නරුව) පිළිසකර කර, මහාවාලිකාගංගාවේ සහස්සතිත්ථ නම් වූ ස්ථානයේ උපසම්පදා කර්මයක් කල බව සඳහන් වේ. එසේම දඹදෙනි යුගයේදීම නැවතත් සිව්වන විජයබාහු රජු සමයේද වාලිකා නදියේ සහස්ස තොටමුණේ එවන් උපසම්පදා කර්මයක් සිදු කල බව මහාවංශයේ විස්තර වේ.
යක්කුරේ ගමේ සරුසාර වෙල් යායවල්. ඈතින් දිස්වන්නේ දිඹුලාගල පර්වතයයි
මෙම කාලිංග දූපතට ඉහලින් මහවැලි ගඟේ ස්වභාවික ගල් ගොඩවල් සහිත ස්ථානයක කපන ලද ටොන් දෙක තුනක් පමණ බර විය හැකි ගල් කුට්ටි යොදාගෙන සෑදු අමුණක් මගින් ගඟේ ජලය නැගෙනහිරට සහ බටහිරට යොමු වූ ඇල මාර්ග දෙකක් වෙතට යොමු කෙරේ. 

ගෝමතී ඇල
මහවැලි ගඟේ දකුණු ඉවුරෙන් නැගෙනහිර දෙසට යොමු වන මෙම ඇල දිඹුලාගල පර්වතය දක්වා සැතපුම් 21 දුරට හඳුනාගෙන ඇත. දිඹුලාගල සහ කාලිංග දූපත අතර කෙලින් දුර සැතපුම් 11 පමණ වේ. එම දුර මෙන් දෙගුණයක පමණ දුරක් ඇල ගමන් කරන්නේ එය සමොච්ච රේඛාවක් දිගේ වංගු ගසමින් ගමන් කරන නිසාය. ගෝමතී ඇලේ ඇල කණ්ඩිය එතරම් උස් නොවේ. එය බොහෝවිට අඩි 8 ට වඩා අඩු බව බ්‍රොහියර් පවසයි. ඇලේ පළල ඇතැම් ස්ථාන වලදි අඩි 70 පමණ වේ. අමුණේ සිට සැතපුම් 4.5 ක් පමණ දුර ගිය පසු එය යක්කුරේ වැව අසලින් ගමන් කරයි. වර්තමානය වන විට අතහැර දැමූ වැවක් වන යක්කුරේ වැව පෙර කල ගෝමති ඇලෙන් ජලය ලබන්නට ඇත. ගෝමතී ඇලේ 9 වන සහ 14 වෙනි සැතපුම් අතර එය ස්වභාවික විල්ලුවක් වන බැඳවිලේ දකුණු මායිමෙන් ගමන් කරන අතර, එය කිහිප තැනකින්ම විල්ලුව හා සම්බන්ධ වේ. එහි 18 වන සැතපුම අසලදී ඇල හොරිවිල ගමේ පිහිටි වැව හරහා ගොස් දිඹුලාගල දෙසට යොමුවේ (සිතියම 1).  මෙම ඇල තවත් සැතපුම් 22 ඈතින් තිබෙන වෙරුගල් ආරුව දක්වා තිබුන බවට වන ජනප්‍රවාදය සැක කිරීමට හේතුවක් නොමැති බව බ්‍රෝහියර් පවසයි. 
සිතියම 1
අචිරවතී ඇල
කාලිංග අමුණේ වම් ඉවුරින් පටන් ගන්නා ඇලට කාලිංග ඇල යයි ව්‍යවහාර වන මුත් එය පැරණි අචිරවතී ඇල විය හැකි බව ඉහත විස්තර කර ඇත. මෙම ඇල කාලිංග අමුණේ සිට පිටකින්ද ඇල හරහා යන තෙක් සැතපුම් 3/4 පමණ හඳුනාගෙන ඇත. ඉන්පසු මද දුරක් යනතෙක් එහි සලකුණු වර්තමානයේ හඳුනාගත නොහැක. නැවතත් එය හමුවන්නේ අමුණේ සිට සැතපුම් 2.5 පමණ ගිය පසුවය. එතැන් සිට සැතපුම් 7.5 පමණ දුරට එහි නටබුන් හමුවේ. එය අවසන් වන්නේ අඹන් ගඟේ විලක් වන නබුදගස් කොතලියෙනි (සිතියම 1). කිසියම් ක්‍රමයකින් (බොහෝ විට අඹන් ගඟ හරහා බැඳි බැම්මක් ආධාරයෙන්) අචිරවති ඇල අඹන් ගඟ හරහා ගිය බවට විශ්වාස කරන මුත් එවැනි කිසිදු කර්මාන්තයක සලකුණු මේ වන විට ඉතිරි වී නොමැත. නමුත් ගල් කොතලිය ලෙසින් හැඳිවෙන අඹන් ගඟේ සිට එයට මදක් උතුරින් පිහිටි කෝදුරුවාව වැව හරහා යන ජල මාර්ගයක් හරහා සැතපුම් කිහිපයක් උතුරට ගිය විට පැරණි ඇලක බැමි සැතපුම් ගණනාවක් උතුරු දිගට ගිරිතලේ සහ මින්නේරිය ප්‍රදේශයේ වෙල් මැද්දෙන් වැටී ඇත. මේ නිසා අඹන් ගඟ හරහා යන කාලිංග යෝද ඇල එම ගල් කොතලිය හරහා  මෙම පැරණි ඇලට සම්බන්ධ කර තිබුනා විය හැකියැයි අනුමාණ කල හැක (සිතියම 2). මෙම ඇල වර්තමානයේ මින්නේරිය ඔය හරහාද ගොස් කවුඩුල්ල ප්‍රදේශය දක්වාම සිතියම් ගත කර ඇත. ඇතැම් විට ජනප්‍රවාදයේ පැවසෙන ලෙසින් එය ඉන් ඔබ්බටද යොමුව තිබුණා විය හැක. 
සිතියම 2
අචිරවතී ඇලේ ප්‍රයෝජනය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති එක් මතයක් වන්නේ එය කාලිංග අමුණෙන් හරවන මහවැලි ගඟේ ජලය සහ ඇතැම් විට අඹන් ගඟේ ජලයද සාපේක්ෂව ජල හිඟ ප්‍රදේශයක් වන කවුඩුල්ල දෙසට ගෙන ගිය බවය. එසේම එහි පිහිටීම අනුව ඇලට බටහිර දෙසින් පිහිටි ගිරිතලේ, මින්නේරිය මෙන්ම පරාක්‍රම සමුද්‍රය සහ වෙනත් ලොකු කුඩා වැව් මගින් අස්වැද්දූ කුඹුරු වලින් පිටාර ගලන අමතර ජල ප්‍රමාණය (වෙල් පහු වතුර) නැවතත් නැගෙනහිරෙන් පිහිටි මහවැලි නදියට එක්වීමට ඉඩ නොදී, පහල පිහිටි කුඹුරු වලට යොමු කර ඇත. උදුල බණ්ඩාර අවුසදහාමි මහතාට අනුව 'කාලිංග' ලෙසින් අද වෙනස් වී ඇත්තේද සිංහල වචනයක් වන 'කලිගුල' යන්නයි. එහි අදහස නම් පිටාර ගලන අමතර ජල ප්‍රමාණයක් රැකගැනීමයි. ඒ සඳහාය වෙලේ ජල බස්නාවට ලම්භකව බොහෝ දුරට සමෝච්ච රේඛාවක් ඔස්සේ ඇල තනා ඇත්තේ. එසේම ඇලේ විශාලත්වය අනුව මෙය ජල යාත්‍රා ගෙන යාම සඳහාද උපයෝගි කරගත්තා විය හැක. 
වැව් කණ්ඩිය කැඩි ගොස් අතහැර දමා ඇති යක්කුරේ වැව
අද වන විට මෙම ඇල මාර්ග දෙකම භාවිතයේ නොමැති අතර මහවැලි ව්‍යාපාරයට එහි ඇතැම් කොටස් හසුවී විනාශ විය. ඇල මාර්ගයේ ඇතැම් ස්ථාන වල ගොඩනැගිලි ඉදිවී ඇත, නැතහොත් කුඹුරු ඉදිකර ඇත. 

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • Ancient Irrigation Works in Ceylon, Part One, R.L. Brohier, 1934
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • මහවැලිය සහ ඓතිහාසික පොළොන්නරුව, ජයසිංහ බාලසූරිය,2007
  • The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980