Showing posts with label Kelaniya. Show all posts
Showing posts with label Kelaniya. Show all posts

Monday, November 16, 2015

නාගදීප පුරාණය - නයිනතිව්නං නාගදීපං?


වර්තමාන නාගදීප විහාරය
2015 ජනවාරි 8 සිදුවූ ඊනියා "යුග පෙරලියත්" සමග ලැබුනු නිදහස සමගින් යලිත් අවදි වී සිටින ඊලාම්වාදීන් හට නාගදීපය නමින් අද හැඳින්වෙන කුඩා දූපත නයිනතිව් කිරීමට හදිසි රුදාවක් පහල වී ඇත.  කලක පටන්ම එම ප්‍රදේශයේ දෙමළ ජනතාව එම දූපත නයිනතිව්  ලෙස හඳුන්වන මුත් දකුනේ සිංහලයන්ට අදටත් එය නාගදීපය විනා නයිනතිව් නොවේ. කාලයත් සමග විවිධ ප්‍රදේශ වල නම් වෙනස් වීම ස්වභාවිකය. ඇතැම් විට ඉදිරි කාලයේදි දකුනේ සිංහලයන්ටද එය නයිනතිව් ම විය හැක. එසේ සිදුවන ස්වභාවික වෙනස්වීමට පටහැනිව කෘතිමව නම් වෙනස් කිරීමට යෑමෙන් පෙනීයන්නේ ඊලාම්වාදීන්ගේ සැමදා නොසන්සිදෙන ජාතිවාදී, වර්ගවාදී උවමනාවන් විනා අන් යමක් නොවේ. අප මෙහිදි සිදු කිරීමට යන්නේ නාගදීපය යන නමින් අතීතයේ හැඳින්වූ ප්‍රදේශය පිලිබදව පිලිගත හැකි සාධක අනුසාරයෙන් විවරණයක යෙදීමටය.

පැරණිම වංශ කතාව ලෙස සැලකෙන දීපවංශයේ (4 වැනි සියවස*) නග්ගදීප යනුවෙන් හැඳින්වෙන දූපතක් ගැන කියවෙන්නේ විජය ඇතුලු පිරිස පිටිවහල් කිරීමේදීය. සීහපුරයේ වැසියන්ට විජය සිදු කල කෲර කම් ඉවසා සිටිය නොහැකිව ජනයා ප්‍රකෝපවී රජුට පැමිණිලි කල කල්හී රජු එම පිරිසේ විජය ඇතුලු පිරිමින් එක් නැවකටද, ගැහැණුන් තවත් නැවකටද, කුඩා ලමයින් තුන්වෙනි නැවකටද පටවා රටින් පිටුවහල් කරයි. මින් ලමයින් සිටි නැව මුහුදේ ගසාගෙන ගොස් නවතින දූපත ඉන්පසුව නග්ගදීප (Naggadipa) නමින් පතල වූ බව එම වෘතාන්තයේ පැවසෙයි. 5 වන සියවසේ රචිත මහාවංශයේද එන මෙම සඳහන ගයිගර් සිය මහාවංශ සංස්කරණයේ 'නග්ග' යනු 'නිරුවත්' බැවින්  'නග්ගදීප' යනු 'ලමුන්ගේ දූපත' (Island of children from nagga 'naked')  යනුවෙන් අර්ථකතනය කරයි. කෙසේ නමුත් හික්කඩුවේ සුමංගල හිමියන් සහ බටුවන්තුඩාවේ පඬිතුමන්ගේ මහාවංශ සංස්කරණයේ මෙම සඳහන නොමැති අතර 'කුමරුවන් පිහිටි දිවයින මහින්ද්විපය යයි වී' යනුවෙන් සඳහනක් පමණක් ඇත. මහාවංශයේ නවතම සංස්කරණය වූ ආනන්ද ගුරුගේ මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනයේ මහාවංශයේ 6 වන පරිච්ඡේදයේ 45 වන ගාථාවේ දරුවන් පැමිණි දූපත නග්ගදීප ලෙසත් බිරියන් ගොඩ බට දිවයින මහිලාදීප ලෙසත් ඉන්පසු හැදින්වූ බව සදහන් වේ. (The island where the children landed, was known as Naggadipa and the island where the wives landed, as Mahiladipa) එසේම මහාවංශයට කල ටීකාව වන වංසත්ථප්පකාසිනියේද මෙය එලෙසින්ම සඳහන් වේ. ජනකතාවක් ඇසුරින් මෙරට වංශකතාවට ඇතුලු වූ මෙම ප්‍රබන්ධයේ විශ්වාසනීයත්වය පිළිබද ගැටලු ඇත. දීපවංශය සහ මහාවංශය ලියවෙන කාලයේ සහ ඉන් පෙර නග්ගදීපය නම් දිවයිනක් පිළිබද  වංශකතාකරුවා දැන සිටි බව මින් අදහස් වන ලෙස පමණක් පිළිගන්නේ නම් එය වර්තමාන නාගදීපයද නැතහොත් මෙරට සහ ඉන්දියාව අතර පිහිටි වෙනත් දූපතක්ද යන්නද  නිශ්චිතව කිව නොහැක.

කෙසේ නමුත් මෙයට පෙර අවස්ථාවකදී බුදුන් වහන්සේගේ දෙවැනි ලංකාගමණය විස්තර කිරීමේදී නාගදීප යනුවෙන් වූ දිවයිනක් ගැන මහාවංශයේ සදහන් වේ. මෙම විස්තරයම දීපවංශයේද එන මුත් චුලෝදර සහ මහෝදර නම් වූ නා රජවරුන් දෙදෙනා අතර ඇති වූ එම සටන සිදුවූවේ ලංකාද්වීපයේ හෙවත් තම්බපන්නියේ කියනු විනා නාගදීප හෝ වෙනත් විශේෂ ප්‍රදේශයක් පිළිබද සදහනක් දීපවංශයේ නොයේ. මහාවංශ කතෲ දක්වන පරිදි මිණිපළහක් හේතුකොට ගෙන ඇතිවූ එම යුද්ධය දැක බුදුන් වහන්සේ එය වැලැක්වීම සඳහා "...නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක" යනුවෙන් සදහන් කරන බැවින් එය මෙරට පිහිටි ප්‍රදේශයක් හෝ ආසන්න දූපත් රාජ්‍යයක් බව හැඟේ. එසේම මහෝදර නම් නාගයාගේ මයිල් වූ මණි අක්ඛිත නම් වූ කැලණියේ විසූ නා රජෙකු ගැනද එම කතාවේ සඳහන් වෙන බැවින් සහ ජේතවනය අසල කිරිපලුරුකක වැඩ හුන් සමිද්ධි සුමන නම් වූ දේවතාවෙක්ද එම රුකත් රැගෙන බුදුන් වහන්සේ සමඟ එය ඡත්‍රයක් ලෙස බුදුන් වහන්සේගේ හිසට ඉහලින් අල්ලාගෙන නාගදීපයට පැමිණි බව පවසන බැවින් සහ එම දේවතාවා පෙර ආත්මයක නාගදීපයේ මනුස්සයකු ලෙස විසූ බව පවසන හෙයින් කිසියම් අදහසක් මෙම වෘතාන්තයෙන්ද අපගේ මාතෘකාවට අදාල කරගත හැක. පෙර කතාව මෙන්ම බුදුන් වහන්සේගේ ලංකාගමණය පිළිබඳව මහාවංශයේ එන සදහන්ද අපගේ වංශකතා හැර වෙනත් මූලාශ්‍ර වලින් තහවුරු කල නොහැකි බැවින් සහ ඒවාහි සඳහන් අතිශයෝක්තියට නැගූ පුරාණෝක්තිගත (Mythical) බව හේතුවෙන් ඓතිහාසික සත්‍ය අසත්‍ය බව පිළිබඳ ගැටලු පැණනගී. කෙසේ නමුත් එම කිරිපලු රුක නාගදීපයේ පිහිටවූ ස්ථානයේ රාජායතන චෛත්‍යය පිහිටවූ බව සඳහන් වීමේන් සහ ඒ පිළිබඳව වංශ කතා වල පසු කලක නැවත කෙරෙන සදහන් ආශ්‍රයෙන් නාගදීපය පිහිටි ප්‍රදේශය පිළිබඳ යම් වැටහීමක් ලබාගත හැක.

නාගදීපය හෙවත් නයිනතිව් දූපත

පූජාවලියේ දැක්වෙන පරිදි භාතියතිස්ස රජු (ක්‍රි. ව. 143-167 ) "නාගදිවයින කිරිපලු ගස මුල කිරිපලු දාගෙය" කරවන ලදී. භාතියතිස්ස රජු කල වෙනත් විහාර සම්බන්ධ විස්තර දක්වන මුත් මෙම කිරිපලු දාගෙය සම්බන්ධ කිසිදු සඳහනක් මහාවංශයේ නොමැත. පූජාවලිය ලියවෙන්නේ ක්‍රි. ව. 1266 දී පමණ වන බැවින් පූජාවලියට මෙම කරුණු පැමිනියේ මහාවංශය නොවන වෙනත් මූලාශ්‍රයකින් නොවේ නම් අවම වශයෙන් එම කාලයේ එනම් 13 වන ශතවර්ෂයේ නාගදිවයින යනුවෙන් ප්‍රදේශයක් හා එහි කිරිපලු දාගෙය නම් වූ ස්ථානයක් තිබූ බවට පූජාවලි කතෲ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් දැනසිටි බවට වඩා වැඩි යමක් මෙයින් ගත නොහැක. නමුත් එම ස්ථානය මින් පෙර සදහන් වූ රාජායතන චෛත්‍යය පිහිටි ස්ථානය බව නම් විවාදයක් නොමැත. 17 වන සියවසේ අග භාගයේ පමණ රචිත රාජාවලියද පූජාවලිය අනුව යමින් "භාතියතිස්ස රජ කිරිපලු  වෙහෙර කරවා පූජා කර..." යනුවෙන් සදහන් කරයි. කෙසේ නමුත් මහාවංශයේ 41 වන පරිච්ඡේදයේ දැක්වෙන පරිදි කුඩා අක්බෝ නමින්ද හැඳින්වූ දෙවෙනි අග්ගබෝධි (ක්‍රි. ව. 597-606) රජු "නාග දිවයින රාජායතන ධාතු ගෘහයද , උණු ලොම් ගෙයද, ආමල චෛත්‍යයෙහි සැතද (කරවා) විහාරයට කැඳ දන් පිණිස තත්තග්‍රාමය දින" යනුවෙන් එන සදහනින් නාගදිවයිනේ වූ රාජායතන ධාතු ගෘහය හා අනිකුත් විහාර ආරාම ආදියේ ඉතිහාසය නිසැකවම 6 වැනි ශතවර්ෂයේ අවසානය දක්වාම ගෙන යා හැක.

මෙම සියලු දත්ත පාදක කරගනිමින් අපට පැවසිය හැක්කේ. මෙරට කිසියම් වූ ප්‍රදේශයක නාගදීපය යනුවෙන් ප්‍රදේශයක් තිබූ බව සහ එම නම අවම වශයෙන් 17 වන සියවසේ අවසානය දක්වාම ඒ ආකාරයෙන්ම පැවති බවත්, එහි රාජායතන දා ගෙය හෙවත් කිරිපලු වෙහෙර නමින් වූ වෙහෙරක් තිබූ බවත්, එම විහාරයේ ආරම්භය වංශ කතාවේ දැක්වෙන පරිදි බුද්ධ කාලයට කෙසේ වෙතත් 2-6 වන සියවස් තරම් වත් පැරණි බවත් පමණි. අනික් අතට එම ස්ථානයේ ඒ වන විටත් මිනිසුන් වැඳුම් පිඳුම් කරන පැරණි කිරිපලු ගසක් තිබෙන්නට ඇති බවත් ඒ හා සම්බන්ධ ජනප්‍රවාදය 4-5 සියවස් වල රචිත වංශ කතා තුලටත් බුදුන් මෙරටට වැඩමවීමේ කතා ආශ්‍රයෙන් ඇතුලු වෙන්නට ඇති බවත් උපකල්පනය කල හැක. නාගදීපය යනු වර්තමානයේ අප නාගදීප/නයිනතිව් නමින් හඳුන්වන දූපතද නොමැති නම් මුලු යාපන අර්ධද්වීපයද යන්න වංශ කතා සහ සෙල්ලිපි සාධක ඇසුරින් මතුවට විමසා බලමු.

මූලාශ්‍ර
  • The Dipavamsa edited by Dr. B.C. Law, The Ceylon Historical Journal, Vol VII. Nos 1-4, 1957 & 1958
  • The Dipavamsa, An Ancient Buddhist Historical Record, Hermann Oldenberg, 1879.
  • *පාලි සාහිත්‍යය, පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නායක ස්ථවිර, 1966 
  • *The Pali Literature of Ceylon, G.P. Malalasekera, 1928.
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, Ph.D, 1912.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • වංසත්ථප්පකාසිනිය, මහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.


Friday, November 6, 2015

17 වන සියවසේදි ප්‍රැන්සිස්කානු නිකායට බිලිවූ බොදු පුදබිම්.

කතෝලික දහම මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමින් ලෙස සැලකිය හැක්කේ 1534 දී ප්‍රථම වරට කෝට්ටේ
රජුගේ ඇරයුමින් මෙරටට පැමිණි ප්‍රැන්සිස්කානු නිකායේ පූජකවරුන්ය. රටේ අනිකුත් ප්‍රදේශ වල බලය පතුරුවාගෙන සිටි ප්‍රාදේශිය රජුන් සමග වූ - විශේෂයෙන්ම සීතාවක රාජධානියේ මායාදුන්නේ සමග - අභ්‍යන්තර අරගල වලින් හෙම්බත් වී සිටි කෝට්ටේ පාලකයා වූ බුවනෙකබාහු මේ ඇරයුම කරන ලද්දේ හුදෙක් පෘතුගීසීන්ගේ හොඳහිත දිනාගැනීමට විනා ඔහුට කතෝලික දහම මෙරට පතුරුවාලීමට හෝ තමාට එම දහම වැලඳගැනීමට හෝ කිසිදු වුවමනාවක් නොවූ බව පෘතුගීසීන්ගේ දැඩි බලකිරීම් මධ්‍යයේ  පවා ඔහු මරණය දක්වාම බෞද්ධයකුව සිටීමෙන් පැහැදිලි වේ.* මෙරට පාලකයකු ලෙස පලමුවරට කතෝලිකයකු වන්නේ දොන් ජුවන් ධර්මපාල නමින් ප්‍රකටව සිටි ඔහුගේ මුණුබුරාය.

තමන් අදහන දහම විනා අන් කිසිදු ආගමක් නොතැකූ පෘතුගීසින් තමන්ගේ අණසක පතුරුවාලිය හැකි පෙදෙසේ වූ එවන් අනිකුත් ආගමික මධ්‍යස්ථාන විනාශ කරමින් නොනැවතී එවන් ස්ථාන වල කතෝලික දෙව් මැදුරු ඉදි කිරීම සහ බෞද්ධ විහාර සහ දේවාල ගම් වල ආදායම එම පල්ලිවරට පවරා දීමද සිදු කලහ.

වර්ෂ 1631 වන විට ප්‍රැන්සිස්කානු නිකායේ පමණක් දෙව් මැදුරු 54 දිවයිනේ බටහිර වෙරල තීරයේ වූ බවට Paul da Trindade ඔහුගේ Conquista Espiritual do Oriente නම් කෘතියේ පවසයි. ඔහු එක් එක් දේවස්ථාන පිළිබදව කෙටි හැදින්වීමක්ද දෙන අතර එම දේවස්ථාන ගොඩනැගීමට පෙර එම ස්ථානයේ වූ "මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ" ආගමික ආයතන පිළිබදවද ඇතැම් විට සදහන් කරයි. මේ ඒ ඇසුරින් සම්පාදිත ලිපියකි. මේ ඇතැම් ස්ථාන වල වර්තමානයේ පවා පැරණි විහාර වල නටබුන් දැකිය හැකි අතර එම ස්ථාන වල ඡායාරූපද මේ සමග පලවේ.  උපුටාගැනීම මෙරට කතෝලික පල්ලියේ ඉතිහාසය The Catholic Church in Sri Lanka නම් වූ  අගනා ග්‍රන්ථ පෙලක් මගින් ලොවට හෙලිකල V. ෆර්නියෝලා (V. Perniola) පියතුමාගේ පෘතුගීසී යුගය සම්බන්ධ එහි දෙවන වෙලුමේ වූ ට්‍රිනිඩේඩ් ගේ කෘතියේ ඉංග්‍රිසි පරිවර්තනයේ කොටස් වලිනි.

නවගමුව 
Nagao ලෙසින් හඳුවන මල්වාන ආසන්නයේ 'ගම් නවය' යන තේරුමින් යුත් ග්‍රාමයේ තිබූ බව පවසන මෙම ස්ථානය හඳුනාගැනීම අපහසු නැත. ඒ අද දිනයේ නවගමුව පත්තිනි දේවාලය පිහිටි ස්ථානයයි. නවගමුව ගම මිත්‍යාලබ්ධික රජු විසින් එම ස්ථානයේ කලින් තිබූ විශාල ගොඩනැගිලි වලින් සමන්විත ඉතා අනර්ඝ විහාරයට පූජා කර තිබූ බවත් එම විහාරය පිහිටි ස්ථානයේ දැන් සාන්ත ජෙරම් (Glorious doctor St Jerome) උදෙසා පූජාකල දේවස්ථානය පිහිටි බවත් ට්‍රිනිඩේඩ් පවසයි. 1631 වන විට එම ගමේ ක්‍රිස්තු භක්තිකයන් 2123 සිටි බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

මාපිටිගම
කලින් සිංහලයන්ගේ ප්‍රසිද්ධ විහාරයක් පිහිටි ස්ථානයක කැලණි ගඟ ආසන්නයේම මාපිටිගම (Mapitigao) දේවස්ථානයක් පිහිටා තිබූ බව ට්‍රිනිඩේඩ් පවසයි. පැරණි විහාරයේ නටබුන් ඒ වනවිටද දක්නට තිබූ බව වැඩි දුරටත් ඔහු හෙලි කරසිටී. මේ අද මාපිටිගම ලෙසින් හැදින්වෙන ප්‍රදේශය බව Mapitigao යන්නෙහි අරුත "ගමේ විශාල කුඹුර"(The big field of the village) යනුවෙන් අර්ථ දක්වා තිබීමෙන් පැහැදිලි වේ. කලින් කැප්ටන් ජෙනරාල් ලෙස සිටි අසවේදු (Dom Hieronimo d' Azevedo) විසින් මෙම දේවස්ථානය පිහිට වූ බවත්, 1631 වන විට ගංවතුර හේතුවෙන් එය බෙහෙවින් විනාශ වි තිබූ බවත්, ඒ නිසා වඩා උස් ස්ථානයකට ගෙන යෑමට ඒ වන විට අදහස් කර තිබූ බවත් හෙතෙම පවසයි.  එම දේවස්ථානයට අනුයුක්තව බැතිමතුන් 1278 සිටි බව පැවසේ. මෙම භූමිය පිහිටි නිශ්චිත ස්ථානය හඳුනාගැනීමට හැකිවී නැත.

කැළණිය
පෙර කල කෝට්ටේ රජතුමාගේ නිවාඩු නිකේතන මාලිගාව පිහිටි ස්ථානයේ ශාන්ත බර්තලමියු දේවස්ථානය (Church of San Bartholomeu of Calane) පිහිටා ඇති බව ට්‍රිනිඩේඩ් පවසයි. රජ වාසලේ පාදම පමනක් එවකට දක්නට තිබූ බව ඔහු වැඩි දුරටත් හෙලි කර සිටී.

වත්තල
කලින් ස්වදේශිකයන්ගේ විහාරයක් පිහිටා තිබූ ස්ථානයක කොළඹ සහ මීගමුව අතර ගඟ තරනය කල පසු හමුවන කුඩා දේවස්ථානයක් ගැන ට්‍රිනිඩේඩ් සදහන් කරයි.  ශාන්ත ජේම්ස්(St james) සදහා පුද කල එය පිහිටි බව පවසන Betal යනු වර්තමාන වත්තල ප්‍රදේශයයි.  එහි ක්‍රිස්තු භක්තිකයන් 730 සිටි බව පැවසේ.

මෙවන් විනාශයන් සිදු කල පෘතුගීසින් මෙරටට පැමිණ වසර 500 ගතවූ 2005 දී එවකට පෘතුගීසි අගමැතිවරයාද කැන්දාගෙන එය සැමරීමට නැකත් බැලු දෙවන දොන් ජුවන් ධර්මපාල කෙනෙකුද 2002 වන විට මෙරට පහල වී සිටියහ.ජාතියේ වාසනාවට 2004 දී ඔහුට සියල්ලු අකුලාගෙන පල්ලම් බැසීමට සිදුවීමෙන් එම උත්සාහය ව්‍යවර්ත වී ගිය මුත් ඉන් වසර 10 කට පසු 'පරංගියා' නැවතත් මෝඩ සිංහලයන්ගේ කරපිටින්ම ජය ලබා ඇත.

දකුනු මුහුදු තීරයේ ප්‍රැන්සිස්කානු දේවස්ථාන වලට බිලීවූ බෞද්ධ පුදබිම් ගැන විස්තරත් සමග නැවත හමුවෙමු.

මූලාශ්‍ර
    
   * Historical Sketches (Ceylon Church History), Father S.G. Perera S.J., 1962
      The Catholic Church in Sri Lanka, The Portuguese Period Volume III 1620-1658, V. Perniola s.j., 1991

මේ සමග පලවන්නේ නවගමුව දේවාල පරිශ්‍රයේ වර්තමාන ගොඩනැගිලි වටා අතරින් පතර දක්නට ලැබෙන පැරණි ශෛලමය නටබුන් වල ඡායාරූප වේ.