Showing posts with label Mahinda IV. Show all posts
Showing posts with label Mahinda IV. Show all posts

Friday, May 3, 2019

ඇත්වෙහෙර කන්ද පාමුල හදයුණ්හ පිරිවෙන - කළුදිය පොකුණ ආරාම සංකීර්ණය

චේතිය පබ්බත විහාරය, සෑගිරිය නැතහොත් වර්තමාන ව්‍යවහාරය අනුව මිහින්තලය වනාහි මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට අඩිතාලම දැමූ මුල් බිම බවට අවිවාදිතය. රජරට තැනිතලා භූමියේ අතරින් පතර ඉහලට මතුවී දිස්වන කුඩා කඳු වැටි අතරින් අනුරාධපුර පැරණි අගනගරයට නැගෙනහිර දෙසින් පිහිටි එවන් එක් ශේෂ කඳු වැටියක් ආශ්‍රය කරගනිමින්, බෞද්ධ ධර්මය මෙරටට හඳුන්වා දුන් මුල් යුගයේ සිට සියවස් කිහිපයක් පුරා ඉදිවූ විහාර ආරාම වල නටබුන් මෙම ප්‍රදේශය පුරා පැතිර ඇත.

මිහින්තලයේ ප්‍රකට නටබුන් හමුවන අම්බස්ථල කන්ද, ඇත් වෙහෙර කන්ද, කණ්ටක සෑය පිහිටි කන්ද ආදියට නුදුරින් ඇත් පැටියා කන්ද (ආනෛයිකුට්ටි කන්ද) ආශ්‍රිතව විශාල පොකුණක් වටා ඉදිවූ ආරාම සංකීර්ණයක නටබුන් මේ වන විට කළුදිය පොකුණ ආරාම සංකීර්ණය ලෙසින් හඳුන්වයි.
පිවිසුම් ද්වාරය
මහනුවර - යාපනය මාර්ගයට නුදුරින් පිහිටි මෙම ස්ථානයට ඇතුළු වීමේදීම දැක ගත හැක්කේ නැගෙනහිර දෙසට සහ දකුණු දෙසට යොමුවූ දොරටු දෙකක් සහිත ආරාමයට පිවිසීමට තිබූ පැරණි පිවිසුම් ද්වාරයේ නටබුන්ය. ඒ අසලම උතුරු දෙසින් කැට ගලින් නිර්මිත මාලකයක් මත උස් බිමේ පිහිටි දැනට සංරක්ෂණය කර ඇති  ස්තූපයක් දැකිය හැකි අතර, එයට නුදුරින් තවත් කිසියම් පැරණි ගොඩනැගිල්ලක ශේෂ වූ ගල් කණු දැකිය හැක. මෙම ගොඩනැගිල්ලේ සිදු කල කැනීමකදී පොළොන්නරු යුගයට අයත් රන් කාසි 3 ක් හමූ වූ බව පැවසේ. මේ අසලම ශෛලමය කැටයම් සහිත කුළුණු හිස් දෙකක්ද දැකිය හැක.
ස්තූපය
කඳු වලින් වටවූ බේසමක් වැනි වූ ප්‍රදේශයක ඇතැම් විට ස්වභාවිකව තිබූ ජලය රඳන පහත් බිමක් පොකුණක් බවට පත් කර ඒ වටා මෙම ආරාම සංකීර්ණය ඉදි කර ඇති බව පෙනේ. එම පොකුණේ ඇත් වෙහෙර කන්ද පාමුල දෙසින් එයට පිවිසීමට පාලමක්ද සහිතව කිසියම් ගොඩනැගිල්ලක් පොකුණ තුල වූ දූපතක් වැනි මළුවක ඉදිකර ඇති අතර එය උපෝසථඝරයක් හෙවත් සීමා මාලකයක් ලෙස අනුමාණ කරයි. එකක් මත එකක් ලෙස පිහිටි කළු ගලින් නිර්මිත වේදිකා දෙකක් දැනට එහි දැකිය හැක.
උපෝසථඝරය ?
බෞද්ධ ධර්මය මෙරටට හඳුන්වාදීමත් සමගම සංඝයා වහන්සේට වාසය කිරීම උදෙසා කටාරම් කෙටූ ගල් ගුහා විවිධ පුද්ගලයන් විසින් පිරිනැමූ බවට මෙරට බොහෝ ප්‍රදේශ වලින් හමුවන බ්‍රාහ්මි අක්ෂර වලින් ඒ බව සටහන් කර ශිලා ලේඛන පිහිටවූ ලෙන් දහස් ගනනක් ජීවමාන සාක්ෂ්‍ය ලෙස පවතී. දැනට එවන් බොහෝ ලෙන් වල ඉදිරිපස විවෘතව පවතින මුත් ඇතැම් ස්ථාන වල වරිච්චි බිත්ති වලින් ආවරණය කර තිබූ බවටද සාධක හමුවේ. නමුත් එම ඇතැම් බිත්ති මෑත යුගයට අයත් බවටද හඳුනාගත හැක. කෙසේ නමුත් අවම වශයෙන් දිවයිනේ එකිනෙකට දුරස්ව පිහිටි ස්ථාන තුනකින් හමුවන ගල් ගුහා කිහිපයක ඒවායේ ඉදිරිපස කළු ගලින්ම නිර්මිත දොර සහ ජනේල උළුවහු දක්නට ඇත. අරන්කැලේ සහ රජගල හැරුණ විට ඒ සඳහා විශ්ෂ්ට උදාහරණයක් මෙම කළු දිය පොකුණ පරිශ්‍රයෙන්ද හමුවේ.
කළු ගලින්ම නිර්මිත දොර සහ ජනේල උළුවහු සහිත ගල් ලෙන
මේම ගල් ගුහාව ඉදිරිපසින් තවත් ගොඩනැගිලි තුනක ගල් කණු, මුරගල්, කොරවක් ගල්, සඳකඩපහණ ආදිය දැකිය හැක. මෙම ගල් ගුහාවට ඉහලින් එක්තරා විශේෂ ලක්ෂණ කිහිපයක් සහිත ගොඩනැගිල්ලක් දක්නට ලැබෙන අතර එය ඉහත ගල් ගුහාවේ වහලය වූ පර්වතය ආශ්‍රය කරගනිමින් ඉදිකර ඇත. මෙහි එක් පසක මධ්‍ය කාලයට අයත් ගෙවීගිය සෙල්ලිපියක් ඇති අතර, ඒ අසලම ගලේ හික්ෂූන්වහන්සේ දන් වැලඳීමට යොදාගන්නා පාත්‍රාවන්ගේ යටි කොටස හා සමාන කුහර හතරක් දැකිය හැක. ඒවා දන් වැලදීමෙන් පසු පාත්‍රා වියලා තැබීම සඳහා උපයෝගී කරගත් ලෙස අනුමාණ කරන මුත් එය ඔප්පු කිරීම සඳහා වෙනත් කිසිදු සාධකයක් හමු නොවේ.
 ගල් ගුහාව ඉදිරිපසින් පිහිටි නටබුන් ගොඩනැගිලි 
පධානඝර හෙවත් පියන්ගල් යනුවෙන් හැඳින්වෙන පැරණි ආරාමික ගොඩනැගිලි විශේෂය පිළිබඳව මෙයට පෙර ලිපියකින් අප විස්තර ඉදිරිපත් කළෙමු Link >>. රිටිගල, අරන්කැලේ, මානාකන්ද, අනුරාධපුර බටහිරාරාම, නුවරගල් කන්ද ආදී ස්ථාන වල ආරාම සංකීර්ණ ප්‍රධාන වශයෙන එවන් පධානඝර ගොඩනැගිලි වලින් නිර්මිතව ඇත. එහෙත් වෙනත් ආරාමික නටබුන් අතර පධානඝර එකක් හෝ කිහිපයක් හමුවන ස්ථානද මෙරට තුල දැකිය හැක. තන්තිරිමලේ, අභරගිරි විහාර පරිශ්‍රයේ හමුවන පධානඝරය වැනි එවන් තනි පධානඝරයක් මෙම කළුදිය පොකුණ ආරාමික පරිශ්‍රයේද දැකිය හැක. ඉහත විස්තර වූ සියළුම ගොඩනැගිලි වලට වඩා ඉහලින් වූ මාලකයක පිහිටි එම පධානඝරය අසල වැසිකිලි ගලක් සහ කැසිකිලි ගලක් දැකිය හැකි මුත් වෙනත් පධානඝර ගොඩනැගිලි ආශ්‍රිතව හමුවන වැසිකිලි/කැසිකිලි  ගල් වල මෙන් විචිත්‍ර කැටයම් ඒවායෙහි දැකිය නොහැක.
විශේෂ ලක්ෂණ සහිත ගොඩනැගිල්ල
සිව්වන කාශ්‍යප රජුගේ (ක්‍රි.ව. 898 - 914)  ඉලංගසේන නමැති සෙන්පතියා චේතිය පබ්බතයේ හදයුණ්හ නමැති පිරිවෙන කරවා ධම්මරුචික භික්ෂූන්ට දුන් බව මහාවංශයේ සඳහන් වේ. H.C.P. බෙල් මෙම මහාවංශ ගාථාව පාදක කරගනිමින් එම හදයුණ්හ නම් පිරිවෙන කළුදිය පොකුණ ආරාමික පරිශ්‍රය විය හැකි බව පවසමින් එහි නිර්මාතෘ සිව්වන  කාශ්‍යප රජු බව පවසන මුත් එම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා කිසිදු අමතර සාධකයක් ඉදිරිපත් නොකරයි. එම සෙන්පතියා ඒ ඒ ආරාමයන්හි එක් එක් කුටිය බැගින් සාදා ආරාමික භික්ෂූන්ට දුන් බවත් මහාවංශයේ පැවසෙන බැවින් එම කුටි අනෛයිකුට්ටි කන්දේ පිහිටි ලෙන් විහාර විය හැකි බවත් බෙල් වැඩි දුරටත් සඳහන් කරයි.
පධානඝරය
මෙම ස්ථානයේ තිබෙන ඉහත විස්තර වූ වීශේෂ ලක්ෂණ වලින් යුත් ගොඩනැගිල්ලේ ස්වභාවික පර්වතයේ කොටා ඇති සෙල්ලිපිය කියවා පළකර ඇති බවක් නොපෙනේ.  එහෙත් මෙහි හමුවන සෙල්ලිපි වල අක්ෂර අනුව ස්ථානය 10 - 11 සියවස් වලට අයත් කල හැකි බව පැවසේ.  කළුදිය පොකුණේ සිට උතුරු දෙසට ප්‍රධාන කන්ද වෙතට යොමු වූ ගලෙහි නෙලන ලද පඩි පේලියක අයිනේ කොටා ඇති සෙල්ලිපියක "මණිකර මුලගුතහ පදගඩිණි"  එනම් මැණික්කරුවෙකු වන මුලගුතහගේ පඩි ලෙසින් සඳහන්ව ඇති බව පැවසේ. එහි අක්ෂර මුල් බ්‍රාහ්මි යුගයට අයත් වේ. තවද කළුදිය පොකුණට ආසන්න ආනෛකුට්ටි කන්දේ හමු වන ලෙන් කිහිපයකම එම යුගයටම අයත් ලෙන් ලිපි හමුවේ. ඉන් එක් ලෙනක් පිරිනමා ඇත්තේ මාර්ග අධ්‍යක්ෂක (පකර අදෙක/Superindent of Roads) ශමුද නම් පුද්ගලයෙකුය.

නටබුන් වූ ගොඩනගිල්ලක පාදම සහ දොරටුව
තවද සිව්වන මිහිඳු රජුගේ (ක්‍රි.ව. 956 - 972) මිහින්තලේ පුවරු ලිපියේ පොරොදෙනි පොකුණ ලෙස සඳහන් වන පොකුණ මෙම කළුදිය පොකුණ විය හැකි බව බෙල් ඇතුළු පුරාවිද්‍යාඥයන් කිහිප දෙනෙකුම පවසා ඇත. එහෙත් එම පුවරු ලිපියේ අදාල කොටසේ සඳහන් වන්නේ "පහනැවිල පොකුණ වට ඉඩමත්, පොරොදෙනි පොකුණ ආසන්න ඉඩමත් යන මේ තැන් තැන්වල ලාභ වෙහෙරට ගත යුතු" බවය. පොරොදෙනි පොකුණ ඒ අනුව වර්තමාන කළුදිය පොකුණ වන්නේ කෙසේද  යන්න පැහැදිලි නැත.
කළුදිය පොකුණ
මේ සියළු සාධක අනුව අනුමාණ කල හැක්කේ කළුදිය පොකුණ අවට පිහිටි ලෙන් විහාර මුල් යුගයේ සිටම බෞද්ධ භික්ෂුන් වහන්සේට වාසස්ථාන වන්නට ඇති බවත්, බොහෝවිට උන්වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා ඉදිවූ පොකුණද මුල් යුගයේ සිටම තිබෙන්නට ඇති බවත්ය. පොකුණ වටා ඉදිවූ අනෙකුත් ගොඩනැගිලි, ස්තූප ආදිය ඉන් මෑත කාලයට අයත් විය හැක.  ඇතැම්විට H.C.P. බෙල් අනුමාණ කල පරිදි ඒවා සිව්වන කාශ්‍යප රජ සමයට අයත් හදයුණ්හ පිරිවෙනේ නටබුන් විය හැක.

මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Bell H.C.P.,  Archaeological Survey of Ceylon, North Central, Central and North WesternProvinces, Annual Report 1911- 12
  • Memoirs of the Archaeological Survey of Ceylon Volume X - Part II, Environment, Town,Village And Monastic Planning, Roland Silva, 2006
  • හෙළ හැදියාවේ බිහිදොර, මිහින්තලාව, චන්දිම බණ්ඩාර අඹන්වල , ගාමිණි සමරනායක, 2018 
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • ශිලාලේඛන සංග්‍රහය, 1 වෙළුම 1904-1912, සංස්කරණය දොන් මර්තීනු ද සිල්වා වික්‍රමසිංහ, පරිවර්තනය සද්ධාමංගල කරුණාරත්න, 2000
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Ancient Anuradhapura, Anuradha Seneviratna, 1994

Saturday, May 26, 2018

ආසියාවේ පැරණිම රාජකීය උද්‍යානයක් - අනුරාධපුරයේ රන්මසු උයන

මෙරට මෙන්ම භාරත දේශයේද පෞරාණික නගර වල තිබූ  උයන් පිළිබඳව පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වල විස්තර හමුවේ. එම මූලාශ්‍ර වල 'ආරාම', 'උද්‍යාන', 'විහාර', 'උපවන' වැනි විවිධ නම් වලින් එම උද්‍යාන හඳුන්වා ඇත. ඉපැරණි වෛදික යුගයේ ආගමික ග්‍රන්ථ වල මෙන්ව පාලි ජාතක කතා වලද, සංස්කෘත නාටක වලද එවන් තොරතුරු දුලබ නොවේ. නගර නිර්මාණය සහ මාළිගා ඉදිකිරීම සම්බන්ධව රචිත 'ශිල්පශාස්ත්‍ර' ග්‍රන්ථ වලද උද්‍යාන සහ ගෙවතු පිහිටිය යුතු ස්ථාන පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර ඇත. උද්‍යාන වල ශාක වගාව සම්බන්ධයෙන් වූ තොරතුරු 'උපවන-විනෝද' නම් සංස්කෘත ග්‍රන්ථයේ විස්තර වේ.
රන්මසු උයනේ කැටයම් කල ගල් වලින් සැදි නාන පොකුණු
සපුෂ්ප ශාක දෙපස වවා ඇති මංපෙත් වලට අමතරව එවන් උද්‍යාන වල නාන පොකුණු (ඒවායේ ඉවුරු කැටයම් කල ගල් වලින් සාදා තිබී ඇත), මල් පිපෙන විවිධ ජලජ ශාක සහිත පතැස්, කෘතිමව නිර්මාණය කල ජල තල, ශිඛර, ගුහා, මල් පිපෙන වැල් වලින් සැදි ලතා-මණ්ඩප, ධාරාගෘහ (වතුර මල් වලින් සැදි නාන ගෙවල්/Shower-bath-houses), සමුද්‍රගෘහ (ජලය විදින නාන ගෙවල්/Bath-houses with douches), කදලිගෘහ (කෙසෙල් ගස් වලින් සැදි මණ්ඩප), ඔංචිල්ලා සහිත ගෙවල් (දෝලාගෘහ/දෝලා මණ්ඩප), චිත්‍ර ශාලා සහ ශෛලමය ආසන ආදිය තිබූ බව එවන් සාහිත්‍ය මූලාශ්‍ර වල වැඩිදුරටත් සඳහන් වේ.
රන්මසු උයනේ එක් පොකුණකට ඉහලින් කැටයම් කර ඇති ජල ක්‍රිඩා කරන ඇත් පංතිය
රජවරු මැති ඇමැතිවරු සහ බිසෝ වරුන්ට මෙන්ම ඇතැම් විට මහජනයාටද විවෘත වූ මෙවන් උද්‍යාන ඉදිකිරීම සහ නඩත්තුව භාරව කටයුතු කල 'ආරාමාධිපති' නම් වූ තනතුරක් පිළිබඳවද තොරතුරු හමුවේ. මල් සහ පළතුරු හටගන්නා ගස් වැවීම සහ ඒවාට සාත්තුකිරීම පිළිබඳව මෙන්ම, ඒ ඒ ශාක වලට වඩාත් සුදුසු පස් වර්ග, ජලය දැමිය යුතු නිවැරදි කාලය පිළිබඳව සහ එවන් ශාක වල ඖෂධීය අගයන් පිළිබඳවද ඔහු දැනුවත් විය යුතුය. ආරාමාධිපතිට සහයට උයන්පල්ලන් සිටි අතර මල් සහ පළතුරු නිවැරදි කාලයේදි නෙලා ගැනීමද ඔවුන්ට භාර රාජකාරි අතර විය.
රන්මසු උයනේ පොකුණු අසල ඇති ගොඩනැගිල්ලක නටබුන්
මෙරට සිංහල බෞද්ධ සභ්‍යත්වය ආරම්භ වූ මුල් යුගයේදීම අනුරාධපුර නගරයේ ඉදි කල එවන් උද්‍යාන පිළිබඳව විස්තර මහාවංශයේ සඳහන් වේ. මුටසීව රජු නගරයේ දකුණු කොටසේ ඉදි කල මහාමේඝවන උද්‍යානය මෙන්ම මහින්ද හිමියන් මෙරට වැසියන්ට ධර්මය දේශනා කල නගරයේ දකුණු දොරටුවෙන් පිටත පිහිටි නන්දන උයනද ඒ අතර වේ. මහින්ද හිමියන්ගේ සමයේදීම මහාමේඝවනය භික්ෂූන් උදෙසා පිරිනැමූ අතර කාලයත් සමග මහාවිහාරය, ජේතවනය වැනි මහාවිහාර වල ගොඩනැගිලි එහි ඉදිවූ බව පෙනේ. නගරයට බෙහෙවින් ළංව පිහිටි හෙයින් මිහිදු හිමියන් මුලදි ප්‍රතික්ෂේප කලමුත් නන්දන උයනද පසුව මහාවිහාරයේ භුක්තියට වෙන්වූ බව පෙනේ. ඒ වෙනුවට ඉදිවූ වෙනත් උද්‍යාන සම්බන්ධව වංශ කතාවේ සෘජු සඳහන් හමු නොවන මුත්, අතරින් පතර නගරයේ පිහිටි විවිධ උද්‍යාන පිළිබඳව වූ සඳහන් කිරීම් ඉන්පසුවද විවිධ රජවරුන්ගේ කාලයන්හිදි හමුවේ.
ධාරාගෘහයක් (Shower-bath-house) ලෙස පරණවිතාන මහතා හඳුනාගන්නා ශෛලමය ඉදිකිරීමක් සහිත පොකුණක්
අනුරාධපුර නගරයේ තිසා වැවේ වැව් කණ්ඩියට පහලින් පිහිටි පොකුණු දෙකක නටබුන් වලින් සමන්විත පෙදෙස පිළිබඳව H.C,P. බෙල් මහතා 1901 දි මුල්වරට විස්තරයක් ඉදිරිපත් කර ඇත. ඔහුට අනුව ඒවා අසල පිහිටි ඉසුරුමුණි විහාරයට හෝ එහි වෙනත් පරිවාර විහාරයකට හෝ එසේත් නැතිනම් භික්ෂුණී ආරාමයකට අයත් වූවා විය යුතුය. කෙසේ නමුත් බෙල්ට හෝ පසුව 1940 වර්ෂයේ අවසාන කාලයේ පටන් සෙනරත් පරණවිතාන මහතා එහි සිදු කල කැනීම් සහ සංරක්ෂණ කටයුතු වලදි එතුමාට හෝ මෙම නටබුන් ආගමික ස්ථානයකට අයත් බව සනාථ කල හැකි කිසිදු සාක්ෂියක් හමු වූයේ නැත. වර්තමානයේ ඉසුරුමුණි විහාරය ලෙසින් හඳුන්වන විහාර පරිශ්‍රයට පරිබාහිරව පැහැදිලි ලෙසම ප්‍රාකාරයකින් වටවු පෙදෙසක (එම ප්‍රාකාරයේ  නැගෙනහිර හා දකුණු කොටස් වල අත්තිවාරම්  ඇතැම් ස්ථාන වල තවමත් දැකිය හැක.) වූ මෙම නටබුන් පෙදෙස පරණවිතාන මහතා හඳුනාගන්නේ පැරණි අනුරාධපුර රාජකීය මඟුල් උයන ලෙසය.
රන්මසු උයනේ එක් පොකුණකට ඉහලින් කැටයම් කර ඇති ජල ක්‍රිඩා කරන ඇත් පංතිය. ඉහල සිට ගලා එන ජලය මෙහි දකුණු පස ඇති කානුව දිගේ විත් මෙම කැටයම් උඩින් පහලට ගලා යන ලෙස තනා තිබේ.
තවමත් වෙස්සගිරිය ලෙසින් වරදවා හඳුන්වන පැරණි ඉස්සරසමණ හෙවත් ඉසුරුමුණි විහාර පරිශ්‍රයේ තිබී හමුවූ සිව්වන මහින්ද රජුගේ පුවරු ලිපියක එන සඳහනක් පාදක කරගනිමින් පරණවිතාන මහතා මෙය රන්මසු උයන ලෙසින් හැඳින්වූ පැරණි රාජකීය මඟුල් උයන වශයෙන් හඳුනාගනී. එම පුවරු ලිපියේ තිසා වැවේ සිට ඉස්සරසමණ විහාරයට# අයත්, එම විහාරය අවට පිහිටි කුඹුරු වලට 'රාජකීය සොරොව්වෙන්'^ ජලය සැපයීමේදි අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙත විස්තර කිරීමේදී, එම සොරොව්වෙන් ජලය සැපයිය යුතු අනෙකුත් ස්ථාන අතරට රන්මසු උයන, කෙල හෙය*, උයන් කෙය*, මහනෙල් කෙය* ආදී තැන්ද ඇතුලත් කර ඇත.

   # පුවරු ලිපියේ එම විහාරය හඳුන්වන්නේ ඉසුරමෙණු බො උපුල්වන් කසුබ්ගිරි රද්මහ වෙහෙර ලෙසිනි.
   *  මෙහි කෙය යනු පාලම යන අර්ථයද, හෙය යනු කෙත යන අර්ථයද ගන්නා බව සිරිමල් රනවැල්ල මහතාගේ අදහසයි.
   ^ 'රද් සොරො' ලෙසින් ලිපියේ සඳහන් වේ.
පොකුණු වලට තිසා වැවේ සිට ජලය ගෙන එන අගල
මෙම නියෝගය පිළිපැදිය යුතු පුද්ගලයන් ලෙසට ලිපියේ සඳහන් වනුයේ මගුල් මහ උයන්කැමි රද්කොල් සම්දරුවන්ය. එනම් රාජකීය උද්‍යානයේ ප්‍රධාන උයන්පල්ලා සහ රාජකීය නිලධාරීන්ය. (Chief Park-keeper of the Royal park and the officials of the royal household)
ගල් ආසනයක් සහිත ධාරාගෘහයක් (Shower-bath-house) ලෙස පරණවිතාන මහතා හඳුනාගන්නා ශෛලමය ඉදිකිරීමක් 
ලිපියේ වචන වලට අනුව පැහැදිලි වනුයේ තිසා වැවේ සිට 'රාජකීය සොරොව්ව' හරහා ගලා එන ජලය පළමුව ඉහත සඳහන් රන්මසු උයන සහ අනෙකුත් ස්ථාන පසුකොට අවසානයේ ඉසුරුමුණි විහාරයේ කෙත් වලට ගලා යන බවය. ඒ අනුව එම උද්‍යානය තිසා වැව අසල තිබිය යුතුය. එබැවින් අප මෙහිදි සලකා බලන නටබුන් පිහිටි පෙදෙස රන්මසු උයන ලෙසින් හැඳින්වූ පැරණි රාජකීය මගුල් උයන ලෙස හඳුනාගැනීම නිවැරදි බව පෙනේ.
රන්මසු උයනේ උතුරු දෙස ඇති අටපට්ටම් හැඩැති පාදමක් සහිත ගොඩනැගිල්ලක්. මේ දෙපස තවත් එවන් කුඩා ගොඩනැගිලි දෙකක නටබුන්ද දැකිය හැක.
මෙම මඟුල් උයන කිනම් කලක මුල්වරට ඉදි කරන ලද්දක්ද යන්න අවිනිශ්චිත මුත් පරණවිතාන මහතා එහි ඇති පොකුණක් 7-8 වන ශතවර්ෂ වලට අයත් විය හැකි බවට එහි ශෛලිය අනුව අනුමාණ කරයි. කෙසේ නමුත් ඉහත විස්තර වූ පැරණි උද්‍යානයක අඩංගු වූ බවට සාහිත්‍යමය මූලාශ්‍ර වල සඳහන් ඇතැම් අංග මෙම රන්මසු උයනේද හමුවේ. ඒ අතර කැටයම් කල ගල් පුවරු වලින් සැදි නාන පොකුණු, ධාරාගෘහ, ගුහා, කෘතිමව සෑදු ශිඛර, ශෛලමය ආසන ආදිය දැනටද හඳුනාගත හැක.
රන්මසු උයනේ ඇති පොකුණක ඉහල ගඩොල් වලින් කල ඉදිකිරිම්
මෙම ලිපියේ ආරම්භයේදී පැරණි භාරත දේශයේ සහ සිංහල ද්වීපයේ තිබූ බවට සාහිත්‍යමය මූලාශ්‍ර වල සඳහන් උද්‍යාන පිළිබඳව සඳහන් විය. මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාට අනුව මුළු මහත් ආසියාවේම ක්‍රි.ව 1000 ට පෙර කාලයේ ඉදි කර, මේ වන විටත් හොඳ මට්ටමින් සුරැකී තිබෙන පැරණි උද්‍යාන ඇත්තේ දෙකක් පමණි. ඒ 5 වන ශතවර්ෂයට අයත් සිගිරියේ රාජකීය උද්‍යානය සහ 10 වන ශතවර්ෂයට අයත් අනුරාධපුර රන්මසු උයන වේ. දිනපතා අනුරාධපුර පැරණි නගරයට ඇදෙන බැතිමතුන් සහ සංචාරකයන්ගේ අවධානයට එතරම් ලක් නොවී, එවන් ආසියාවේ පැරණිම උද්‍යානයක් මෙරට පවතිද්දි, මෙරට ඉහල මධ්‍යම පන්තියේ  'පුරවැසියන්' ආසියාවේ සංචාරක ආකර්ශනිය නගරවල කොන්ක්‍රිට් ගොඩවල් බැලීමට මෙරට විදේශ විනිමය වැය කරමින් "ෆොරින් ටුවර්ස්" යති. 5 වන 10 වන සියවස් වල එවන් නිර්මාණ ඉදි කල ජාතියක වර්තමාන ඉරණම එවැනිය.
රන්මසු උයනේ ඇති කටාරම් කෙටූ ගුහාවක්
මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume I, 1904-1912, 1912, Edited and Translated by D.M.D.Z. Wickremasinghe
  • Archaeological survey of Ceylon Inscriptions of Ceylon Vol V, Part II, G.S. Ranawella, 2004
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • Magul Uyana (Royal Park) of Ancient Anuradhapura, Paranavithana S., Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXXVI, No 97, 1944