අනුරාධපුර දිස්ත්රික්කයේ මහකනදරාව ගම්මානයේ පිහිටා ඇති මෙම පුරාණ ගල් පාලම අනුරාධපුර යුගයේ අනුරාධපුර නගරයේ නැගෙනහිර දොරටුවේ සිට පුලියන්කුලම, හුණු කනදරාව, මහකනදරාව, කහටගස්දිගිලිය, කෝන් වැව, කොක් ඇබේ, රත්මලේ වැව හරහා එකල ගෝකණ්ණ තිත්ථය ලෙසින් හැදින්වූ ත්‍රිකුණාමල වරාය දක්වා විහිදුණු මාර්ගයේ කනදරා ඔය හරහා එගොඩ වීමට ඉදිකල පාලමක් ලෙස සැලකේ. මෙම මාර්ගයේ ඔයවල් හරහා ඉදිකල ගල් පාලම් කිහිපයක්ම හදුනාගත හැකිමුත් මහකනදරා ඔය ගල් පාලම ඒ අතරින් වැඩි හානියක් නොවී බොහෝදුරට එදා ඉදි කල අයුරින්ම අදද දැකගත හැකි පාලමකි. මහසෙන් රජතුමා විසින් ( පොදු වර්ෂ 274-301) කනදරා වැව විශාල කර ප්රතිශංශ්කරණය කල බව මහාවංශයේ සදහන් වේ. එම වාරිමාර්ග ව්‍යාපෘතියට ප්‍රථම කනදරා ඔයේ ගලාගිය විශාල ජලකද වැව ඉදිකිරීමත් සමග සීමා වීම හේතුවෙන් එයට පෙර ඉදි කල මෙම ගල් පාලමට පසුකාලීනව ජල පහර සහ විඩින් විඩ පැමිණි ගංවතුර ආදියෙන් හානි පැමිණීමක් සිදුනොවීම එලෙස පෙර තත්වයෙන්ම පාහේ එය ආරක්ෂා වීමට හේතු වූවා විය හැක. ගල් කණු පේලි තුනක් මත ඉදි කර ඇති මෙම පාලම ගල් කණු 39 ක් ආධාරයෙන් දරා සිටී. එය දිගින් අඩි 85 ක් වන අතර පලල අඩි 10 ක් වේ. සෘජුකෝණාස්‍රාකාර ගල් පුවරු අතුරා ශක්තිමත් ලෙස සකසා ඇති මෙම පාලම මතින් කිසිදු අපහසුවක් නැතිව බර පිරවූ ගැල් පවා එකල ගමන් කරන්නට ඇත.
Saturday, July 11, 2026
Friday, June 21, 2024
දඹකොල පටුනේ සිට ශ්‍රී මහා බෝධිය වැඩමවූ "බෝධි මාර්ගයේ" හමුවන පැරණි ගල් පාලම්
අනුරාධපුර පූජනීය නගරයේ නටබුන් ස්ථාන පිහිටි කලාපයට උතුරින් එකිනෙකට සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි පැරණි ගල් පාලම් දෙකක නටබුන් දැකගත හැක. හල්පන් ඇල/ හාල්පාණු ඇල/ හාල්පාන් ඇල ලෙසින් වර්තමාන ව්‍යවහාරයේ හැඳින්වෙන ඇලක් හරහා මින් එක පාලමක් තිබූ බවට සලකුණු ඉතිරි වී ඇති අතර, ප්‍රමාණයෙන් විශාල අනික් පාලම මල්වතු ඔය හෙවත් පැරණි කදම්භ නදිය හරහා ඉදිකර තිබී ඇත. මෙම පැරණි ගල් පාලම් දෙක එකල ඉදිකර තිබුනේ අනුරාධපුර අගනගරයේ සිට උතුරේ ජම්බුකෝලපට්ඨන වරාය තෙක් තිබූ ප්‍රධාන මාර්ගයේ බවට සාධක හමුවී ඇත. මේ ලිපිය එම ගල් පාලම් දෙකේ සහ මෙකල ව්‍යවහාරය අනුව නම් ඒ මතින් දිව ගිය Northern Highway එකේ මුල් අදියර පිළිබඳ කතාවයි.
ඒ අනුව 1960 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුරාධපුර ඇතුළු නුවර දකුණු දොරටුවේ සිදු කල කැනීම් මගින් පැරණි මාර්ගයක සලකුණු හඳුනාගෙන ඇත. එම මාර්ගය අඩි 57 පලලට ඉදිකර තිබී ඇති අතර එය නගර ප්‍රාකාරයට සෘජුකෝණාශ්‍රාකාරව ඉදිකර තිබී ඇත. එසේම දොරටුවේ මධ්‍යයට වන්නට එය දෙකට බෙදෙන ආකාරයට ඉදිකර තිබූ මුර කුටියක් විය හැකි ගොඩනැගිල්ලක ශිලා පාදම සහ එහි ගඩොල් ඉදිකිරීමෙහි අවශේෂද මෙහිදි හඳුනාගෙන ඇත. එය අඩි 24 X 16 ප්‍රමාණයේ ඉදිකිරීමකි.
මහා බෝධිය සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩම කිරීමේදී දේවානම්පියතිස්ස රජු නගරයේ උතුරු දොරටුව සිට දඹකොළ පටුන (ජම්බුකොලං මහාපථං) දක්වා මග සරසවා මහමග රිදීපටක පැහැ ගත් වැලි විසිරවූ බව මහාවංශයේ සඳහන් වේ. තවද එහිම මහාබෝධිය උතුරු දොරටුවෙන් නගරයට වඩම්මවා, නගරය මැදින් රැගෙන විත් දකුණු දොරටුවෙන් නික්ම...ලෙසින් සඳහන් වන හෙයින් දඹකොළ පටුනේ සිට නගරයට මාර්ගයක් වූ බවත්, නගරයේ උතුරු සහ දකුණු දිසා වල දොරටු වූ බවත්, එම දොරටු දෙක අතරද මාර්ගයක් තිබූ බවත් පැහැදිලිවේ. සිංහල මහාබෝධි වංසයේ මෙය විස්තර වන්නේ නුවර උතුරු දොරටුවේ සිට දඹුලු තොට දක්වා මඟ ලෙසිනි. එසේම නුවරට උතුරු දොරින් බෝධීන් වහන්සේ ඇතුළට ගෙනවුත්,.... නුවර මධ්‍යයෙන් මඟුල් මහා වීථියෙන් ගෙන ඇර දකුණු දොරින් පිටත් කොට මහමෙවුනා උයනට පමුණුවා ලෙසිනි. ඒ අනුවඇතුළු නුවර උතුරු සහ දකුණු දොරටු අතර වූ වීදීය මගුල් මහා වීථිය ලෙස හැඳින්වූ බව පෙනේ.
| මල්වතු ඔය සහ ඒ හරහා වැටී ඇති පැරණි ගල් පාලමේ කොටසක් |
ඔහු විසින් හඳුනාගත් සේල චේතියේ සිට මල්වතු ඔය දක්වා වූ පුරාණ මාර්ගයක් පිළිබඳව H.C.P. බෙල් 1891 වර්ෂය සඳහා වූ සිය වාර්තාවේ කරුණු ඉදිරිපත් කරයි. ඔහුට අනුව නව රෝහල සඳහා වෙන් කල භූමිය පසුපසින් ගොස් එම පුරාණ මාර්ගය පොල් වත්තක් තුලට ඇතුළු වේ.ඉන්පසු ගල් ඔරුව සහ වෙනත් නටබුන් අද්දරින් බටහිරට යොමුව කැලෑව තුලින් බසවක්කුලම ඔයෙන් දැනට නටබුන් ඉතිරි වී ඇති දියමංකඩක් (Causeway) ඔස්සේ එතෙර වී කුට්ටම් පොකුණට මදක් බටහිරෙන් එම මාර්ගය පිටත වට රවුම් මාවතට සම්බන්ධ වේ. ඉන්පසු විහාරාරාම දෙක වෙන් කරමින් ලඳු කැලෑව තුලින් ගොස් විශාල රම්බා පොකුණ අසල ඇති චත්‍රරස්‍රාකාර නටබුන් වෙත ලඟා වේ. ඉන්පසු ඊසාන සහ උතුරු දෙසට යොමුවෙමින් "වලව්ව" ලෙසින් හැඳිවෙන ස්ථානය පසු කරමින් මාර්ගය, අතහැරදමා ඇති එලපත්වැව හෝ එහි කුඹුරු වලට ලඟාවේ. ඉන්පසු තව දුරටත් වනාන්තර තුලට ඇතුළු වී "යෝධ ඇල" හරහා ඇති පුරාණ ගල් පාලම හමුවන තෙක් වනාන්තරය තුලින් ගමන් කරයි. එම ගල් පාලමින් එගොඩ වූ පසු මල්වතු ඔය හරහා ඉදිකර තිබූ විශාල ගල් පාලම දක්වා දුර සැතපුම් භාගයක් පමණ වේ.
මල්වතු ඔය හරහා ඉදිකර තිබූ පුරාණ ගල් පාලමේ නටබුන් දැක්වෙන වීඩියෝව >>
මෙම විස්තරයේ සඳහන් භූගෝලිය ස්ථාන සහ ලක්ෂණ බොහෝමයක් මේ වන විට වෙනස් වී ඇතත් ඒ අතරින් ස්ථාන කිහිපයක් අදටද පැහැදිලිව හඳුනාගත හැක. කුට්ටම් පොකුණ සහ මල්වතු ඔය හරහා වූ විශාල ගල් පාලම මෙන්ම එයට සැතපුම් භාගයක් පමණ මෙපිටින් වූ බෙල් සඳහන් කරන යෝධ ඇල හරහා වූ පුරාණ ගල් පාලම කිසිදු සැකයකින් තොරව හඳුනාගත හැක. බෙල් යෝධ ඇල ලෙසින් හඳුන්වන පුරාණ ගල් පාලම සහිත ඇල මාර්ගය අද වන විට හැඳින්වෙන්නේ යෝධ ඇල ලෙසින් නොව හල්පන් ඇල/හාල්පන් ඇල/හාල්පාන් ඇල/හාල්පාණු ඇල ලෙසින්ය.
බෙල් යෝධ ඇල හරහා වැටී තිබූ ගල් පාලම ලෙසින් හඳුන්වන වර්තමානයේ හල්පන් ඇල ලෙසින් හඳුන්වන ඇල හරහා වැටී ඇති ගල් පාලමේ වීඩියෝ දර්ශන >>
| මල්වතු ඔය හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන් |
එසේම බෙල් සඳහන් කරන ගල් ඔරුව සහ වෙනත් නටබුන් අනුරාධපුර ඇතුළු නුවර ලෙස හඳුනාගෙන ඇති කොටසේ ඇති මහාපාලි දාන ශාලාවේ ඇති ගල් ඔරුව සහ ඒ අවට ඇති මහාපාලි දාන ශාලාවේ සහ අනෙකුත් ඇතුළුනුවර ගොඩනැගිලි නටබුන් බව පැහැදිලිය. රුවන්වැලි සෑයෙන් නැගෙනහිරට වන්නට ඇති කුඩා දාගැබ අදටත් සේල චේතිය/ශිලා චේතිය නොහොත් කුජ්ජතිස්ස ස්තූපය ලෙසින් හඳුන්වන බැවින් පුරාණ මාර්ගය ආරම්භ වන ස්ථානය ලෙසින් බෙල් හඳුන්වන ස්ථානයද වැඩි අපහසුවකින් තොරව හඳුනාගත හැක. එවකට අතහැරදමා තිබූ එලපත්වැව අද සක්‍රිය වැවක් බවට නැවත පත්වී එයින් පෝෂණයවූ කුඹුරු වලට අවශ්‍ය ජලය සපයයි. කුට්ටම් පොකුණට උතුරින් කපාරාමූල විහාරයේ නටබුන් ලෙස හඳුනාගෙන ඇති ගොඩනැගිලි සහ ඒ අසල තිබෙන පොකුණ මෙහි බෙල් විසින් විශාල රම්බා පොකුණ සහ අසල ඇති චත්‍රරස්‍රාකාර නටබුන් ලෙස හඳුන්වන ස්ථාන විය යුතුය.
ඉහත රම්බා පොකුණ ලෙසින් බෙල් හඳුන්වන පොකුණ විය හැකි තවමත් සංරක්ෂණය කර නොමැති පොකුණේ වීඩියෝ දර්ශන >>
මෙලෙස හඳුනාගත් ස්ථාන සිතියමක සලකුණු කල විට පහත පරිදි වේ.
| මල්වතු ඔය හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන් |
ජය ගඟ, එයින් පෝෂණය වන අනුරාධපුර අගනගරයේ වැව් සහ නගරය තුල ජලවහන රටාව
දීර්ඝ ලෙස වෙනත් ලිපියකින් කරුණු ඉදිරිපත් කල යුතු මාතෘකාවක් වුවද ජය ගඟ එසේ නැතහොත් කලා -තිසා යෝධ ඇල පද්ධතිය පිළිබඳව කෙටි හැඳින්විමක් නොමැතිව මෙම ලිපියට අදාල කරුණු නිරවුල්ව ඉදිරිපත් කිරීමට අපහසු බැවින් ඉතාමත්ම කෙටියෙන් වුවද ඒ පිළිබඳවද විස්තර ප්‍රථමයෙන් විමසා බැලිය යුතු වේ.
| හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන් |
මාතලේ කඳු පන්තියේ උතුරු විහිදුමේ කඳු වලින් ඇරඹෙන දිය කඳුරු වලින් පෝෂණය වන දඹුළු ඔය සහ මිරිස්ගෝනියා ඔය (ඇරෑවුල සහ කළුන්දාව ඔය මගින් පෝෂණය වන කණ්ඩලම වැවේ ජලය එක් වන්නේ මිරිස්ගෝනියා ඔයට වේ.) එක් වීමෙන් ඇරඹෙන දුණුමඩල ඔයේ ජලය ලබන කලා වැව සහ මොරගොල්ල ඔය, හැවැන් ඇල්ල ඔය සහ රණව ඇල මගින් පෝෂණය වන බළලු වැව, එක් වැවක් ලෙසට එක්කිරීමෙන් කලා ඔය නිම්නයේ ඉදි කල කලා - බළලු වැවට එකතු වන ජලය, එහි සිට පටන් ගන්නා යෝධ ඇලක් ඔස්සේ එකල අගනගරය වූ අනුරාධපුරයේ නාගරික වැව් පද්ධතියට එකතු කිරීම එක් අරමුණක් ලෙස සලකා පැරණි සිංහල වාරි ඉංජිනේරුවන් විසින් මෙම ජය ගඟ ලෙසින් හැඳින්වෙන යෝධ ඇල මාර්ග පද්ධතිය ඉදිකර ඇත.
කලා වැවේ ජලය ගෙන එයින් නික්මෙන ජයගඟ හෙවත් යෝධ ඇල, කලා ඔය නිම්නයේ සිට මල්වතු ඔය නිම්නයට පිවිස කෙලින් දුර සැතපුම් 30 ක් වනමුත් වංගු ගසමින් සිය මාර්ගයේ පිහිටි ලොකු කුඩා වැව් රාශියකට ජලය සපයමින් සැතපුම් 54.5 පමණ දුරක් ගොස් අනුරාධපුර නගරයේ මල්වතු ඔයෙහි වම් ඉවුරේ පිහිටි තිසා වැවට ඇතුළු වේ. එයට පෙර කලා වැවේ සිට සැතපුම් 26 ක් පමණ ගිය විටදී එයින් නික්මෙන තවත් ශාඛා ඇලක් මගින් නාච්චාදූව වැවටද ජය ගඟ ජලය සපයයි. නාච්චාදූව වැව ඉදිකර ඇත්තේ රිටිගල කඳු පන්තියේ සිට ඇරඹෙන මල්වතු ඔය හරස් කරමිනි. නාච්චාදූව වැවේ සිට නික්මෙන තවත් යෝධ ඇලක් මගින් අනුරාධපුර නගරයෙන් නැගෙනහිර දෙසට වන්නට මල්වතු ඔයේ දකුණු ඉවුරේ පිහිටි නුවර වැවට ජලය සපයයි.
(මෙහිදී යෝධ ඇල නැතහොත් ජයගඟ ලෙසින් මෙහි විස්තර වන්නේ පැරණි යෝධ ඇල විනා මහවැලි ව්‍යාපාරය විසින් එම පැරණි යෝධ ඇල ජල/පරිසර පද්ධතිය විනාශ කර දමා අළුතින් ඉදි කල වාරි ඇල ගැන නොවන බව මෙහිදී අවදාරනය කල යුතුවේ.)
පැරණි අඟලේ සිතියම් වල දැක්වෙන විස්තර උපයෝගී කරගනිමින් පිළියෙල කල මේ සමග දැක්වෙන සිතියමේ පෙන්වා ඇති පරිදි ජය ගඟේ ජලය ලබන තිසා වැවේ සිට බසවක්කුලම එනම් පුරාණ අභය වැවට ගෙන යන ජලය ඉන්පසු එම වැව් දෙකින් සහ බුලංකුලම වැවෙන් වගා කෙරෙන කුඹුරු පෝෂණය කර ඒවායින් පිටවන අතිරික්තය ලෙසින් එම කුඹුරු අතර විහිදී ඇති ලොකු කුඩා ඇල මාර්ග වලට එක් වේ. (පැරැන්නන් විසින් වෙල් පහු වතුර ලෙසින් හැඳින්වූවේ මෙසේ කුඹුරු වලට අවශ්‍ය ජලය සපයා එයින් නික්මෙන අතිරික්ත ජලයටය.) එම ඇල මාර්ග වලින් එකතු කර ගන්නා ජලය අවසානයේ උතුරු ඇළ මාර්ගය ලෙසින් හැඳින්වෙන අනුරාධපුර නගරයට උතුරින් පිහිටි මල්වතු ඔයේ වම් ඉවුර ඔස්සේ ගලා යන තවත් පැරණි යෝධ ඇලකට එකතුවේ. ඉන්පසු අනුරාධපුර නගරයෙන් වයඹ දෙසට (තන්තිරිමලේ දෙසට) ගමන් ගන්නා එම පැරණි යෝධ ඇලද පැරණි අඟලේ සිතියම් වල සැලකිය යුතු දුරක් යනතෙක් ලකුණු කර ඇති අතර එහි ගමනාන්තය දැනට සොයාගත නොහැකි බව බ්‍රොහියර් පවසයි. බෙල් විසින් ඉහත බසවක්කුලම ඇල ලෙසින් හඳුන්වා ඇත්තේ පැරණි අනුරාධපුර ඇතුළු නුවරට මදක් උතුරින් කුට්ටම් පොකුණ ආසන්නයේදී ඉහත සිතියමේ කහපාටින් දැක්වෙන මාර්ගය හරහා යන ඇල මාර්ගය විය යුතුය. එහි ජලය පැරණි යෝධ ඇලට නැතහොත් වර්තමාන හල්පන් ඇලට එකතු වේ.
හල්පන් ඇල/හාල්පාණු ඇල/හාල්පාන් ඇල
| හල්පන් ඇල (යෝධ ඇල) සහ එය හරහා වැටී තිබූ පැරණි ගල් පාලමේ නටබුන් |
බෙල් විස්තර කරන ලෙසට මෙම පැරණි මාර්ගයේ අනුරාධපුර නගරයේ සිට යනවිට හමුවන පළමුවන ගල් පාලම වැටී ඇත්තේ යෝධ ඇල මත්තෙන්ය. පැරණි අඟලේ සිතියම් වලද යෝධ ඇල ලෙසින් හඳුන්වන එම ඇල සහ පැරණි මාවතේ කොටසක් පැහැදිලිව හඳුනාගත හැක. එම ගල් පාලමේ සිට මල්වතු ඔය හරහා වැටී තිබෙන අනික් විශාල ගල් පාලම වෙත බෙල් දක්වන දුරද සැතපුම් භාගයක් පමණ වේ. එහෙත් අද මෙම ගල් පාලම වැටී ඇති ඇල මාර්ගය හඳුන්වන්නේ හල්පන් ඇල/හාල්පාණු ඇල/හාල්පාන් ඇල යන නම් වලිනි. පැරණි යෝධ ඇලේ මතකය ජන ව්‍යවහාරයෙන් වියකී ගොස් මෙම නව නාමය කිනම් කලක භාවිතයට පැමිණියේදැයි පැහැදිලි නැත. එහෙත් අද Google සිතියම් වල සහ භූමියේ හඳුනාගත හැකි හල්පන් ඇල, මල්වතු ඔයේ නගරයට දකුණින් පිහිටි ස්ථානයකදී අමුණක් බැඳ හරවා ගන්නා ජලය මෑත කාලීන වාරි ඇළක් මගින් පැරණි යෝධ ඇලට කිසියම් කාලයකදී සම්බන්ධ කිරීමෙන් ඉදිකල එකක් බව පැහැදිලිය. ඉහත සිතියමේ A ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේදී මල්වතු ඔය හරහා ඉදි කල කොන්ක්‍රීට් අමුණකින් බොහෝවිට කලින් මල්වතු ඔයට ජලය බැස ගිය ස්වභාවික ඇළ මාර්ගයකට (එම පැරණි ඇළ මාර්ගය ඉහත පැරණි අඟලේ සිතියමේ හඳුනාගත හැක) හරවා ගන්නා ජලය, ඇල මාර්ගයේ ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරවා, එයට උතුරින්ද ඉහත සිතියමේ දක්වා ඇති පරිදි ඒ වන විටත් පැවති ඇතැම් ස්වභාවික හෝ පෙර කල කුඹුරු අතර ජල වහනය උදෙසා ඉදි කල ඇල මාර්ගද උපයෝගි කරගනිමින්, බොහෝවිට ඒවා අළුතින් ඉදි කල වාරි ඇලවල් මගින් සම්බන්ධ කර, අවසානයේ පැරණි යෝධ ඇලේ ගමන් මාර්ගයටම යොමු කල බවක් දිස්වේ. මල්වතු ඔයේ වම් ඉවුරේ අනුරාධපුර නගරයට නැගෙනහිර දෙසින් පිහිටි කුඹුරු වලට අවශ්‍ය ජලය සැපයීම එහි අරමුණ බව පෙනේ. කෙසේ නමුත් පැරණි ගල් පාලමට මෙපිටින් ඉහත සිතියමේ දම්පාටින් සලකුණු කර ඇති පැරණි යෝධ ඇලට මෙයින් බලපෑමක් වූ බවක් නොපෙනේ. හල්පන් ඇලේ ගල් පාලම අද තිබෙන්නේද එම යෝධ ඇල හරහා වන අතර එහි නම පමණක් හල්පන් ඇල ලෙසට වෙනස් වී ඇත.
| හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන් |
වංශ කතාවට අනුව ශ්‍රි මහා බෝධිය රැගෙන ආ මාවත හෙයින් රෝලන්ඩ් සිල්වා මහතා බෝධි මාර්ගය ලෙසින් හඳුන්වන අනුරාධපුර උතුරු දොරටුවෙන් නික්මී හල්පන් ඇල (පැරණි යෝධ ඇල) සහ මල්වතු ඔය මතින් වූ ගල් පාලම් වලින් එතෙර වී ජම්බුකෝලපට්ඨනය හෙවත් දඹකොල පටුන දක්වා තිබූ පැරණි උතුරු මාර්ගය පිළිබඳව රෝලන්ඩ් සිල්වා මහතා මෙන්ම P. විදානපතිරණ මහත්මියද පර්යේෂණ සිදු කර ඇත. H.C.P. බෙල්ගේ කාලය වනවිටත් සලකුණු ඉතිරි වී තිබූ එම මාර්ගයේ සහ එයටම සම්බන්ධ වන අනුරාධපුර ඇතුළු නුවර හරහා උතුරු - දකුණු දිශා ඔස්සේ වැටී තිබූ මගුල් මහා වීථිය මෙන්ම එම වීථියට නගරයේ දකුණු ද්වාරය හරහා සම්බන්ධ වූ දකුණු දොරටුවෙන් නික්මී අනුරාධපුර නගරයේ දකුණු දිශාවට යොමු වූ මාර්ගයක කුජ්ජතිස්ස ස්තූපය (සේල චේතිය) දක්වා ඉතිරි වූ කොටසක් පිළිබඳවද බෙල් විස්තර ඉදිරිපත් කර ඇත. ඒ ඔස්සේ ඉහත පර්යේෂකයන් විසින් හඳුනාගත් මාර්ගය ඔවුන් විසින් සිතියම් වල ලකුණු කර ඇති අතර මෙම ලිපියේ කරුණු එම විස්තර අනුව ඉදිරිපත් කර ඇත. P. විදානපතිරණ මහත්මිය විසින් මල්වතු ඔය ගල් පාලමෙන් ඔබ්බටද එම බෝධි මාර්ගයේ ඇතැම් ස්ථාන හඳුනාගෙන තිබෙන මුත් එම කරුණු මෙම ලිපියේ සන්දර්භයට අදාල නොවන හෙයින් මෙහිදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි.
| බෙල් ඉහත විස්තර කරන රම්බා පොකුණ විය හැකි තවමත් සංරක්ෂණය කර නොමැති කපාරාමූල විහාර නටබුන් අසල තිබෙන පොකුණ |
| කපාරාමූල විහාරයේ සංරක්ෂිත කොටසක් |
මූලාශ්‍ර
- මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
- Reflections on a heritage, Historical Scholarship on Premodern Sri Lanka, 2000
- වංසත්ථප්පකාසිනිය, මහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
- Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
- Ancient Irrigation Works in Ceylon, Part Two, R.L. Brohier, 1935
- ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016
- ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය, භූගෝලිය පසුබිම සහ සුරක්ෂිතතාව, පී විදානපතිරණ, 2022
- Archaeological survey of Ceylon, North Central Provinces, Annual Report, 1891, Bell, H.C.P. 1904
- විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
- Jetavanaramaya Project Anuradhapura, first Archaeological Excavation an Research Report ( January - June 1982 ), Hema Ratnayake, 1984
- 2009 වර්ෂය සඳහා පුරාවිද්‍යාඅධ්‍යක්ෂ ජනරාල්ගේ පාලන වාර්තාව සෙනරත් බණ්ඩාර දිසානායක, 2024
- The Road Network: Within the city of Anuradhapura and the suburbs by P. Vidanapatirana IN Roalnd Silva Felicitation Volume, Nandana Chutiwongs & Nimal de Silva, 2008
- History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
Sunday, February 25, 2018
ජනනාථමංගලම්හි ශිව දේවාල - "දළදා මාළිගය" නොහොත් අංක 1 ශිව දේවාලය
ලංකාවේ වූ මේ අරාජිකත්වය පිළිබඳව විස්තර පරතෙරින් පැමිණි අශ්ව වෙළෙන්දෙක් ආපසු ගොස් චෝළ රජු හට දැන්වූහ. චෝළ රජු ඒ අසා බලසෙන් යවා පස්වන මහින්ද රජුගේ තිස් හයවන වසරේදී (ක්‍රි.ව. 1017) රජු ජීවග්‍රහයෙන් ගෙන, මෙහෙසිය සහ කොල්ලකාගත් රාජකීය කිරුල ඇතුළු සියලු වටිනා දේද සමගින් චෝළ රජු වෙත පිටත් කර යැවූහ. චෝළයන් අනුරාධපුරයේ සියළු වෙහෙර විහාර, ස්තූප බිඳ හෙලා ඒවායෙහි තිබූ වටිනා දේ රැගෙන පොළොන්නරුවේ සිට රක්ඛපාසාණකණ්ඨ නම් තැන සීමා කොට රජරට පාලනය කලහ. මහින්ද රජු දොළොස් වසරක් චෝළ දේශයෙහි වාසය කොට දිවංගත විය (ක්‍රි.ව. 1029 දී).
රටේ සම්පත් නොරටුන්ට විකුණා එදා වේල දුවන, සතුරු බළමුළු අභියස නිවටව කොන්ද නමනා හොරු රැලක් විනා, කොන්ද පණ ඇති පාලකයෙක් නොමැතිව වර්තමානයේ අප ජීවත් වන ලෙසින් වු අරාජික සමයක් මෙයට සියවස් ගනනකට පෙර දස වන සියවසේදී උදා වූ කල රට පරසතුරන් අතට පත් වී සිංහලද්වීපයේ කිරුල සියවස් භාගයක් හෝ එයට මදක් වැඩි කාලයකට (ක්‍රි.ව. 1017 - 1070 ) චෝළයන් අතට පත් වූ ආකාරය මහාවංශය විස්තර කරන්නේ එලෙසිනි.
| ශිව දේවාලය අංක 1 ගර්භගෘහය - බටහිර දෙසින් |
| ශිව දේවාලය අංක 1 - දකුණු දෙසින් |
| ගර්භගෘහය තුල ඇති ශිව ලිංගය -ශිව දේවාලය අංක 1 |
![]() |
| ශිව ලිංගය, ලිංගය දෝවනය කරන ජලය පිටවීම සඳහා කලු ගලින් කල පිහිල්ල (සෝමසුත්‍ර) සහ එම ජලය එකතු වීම සඳහා පිටත ඉදි කල කලු ගලින් නිර්මිත වල |
![]() |
| පිටත බිත්ති වල දැකිය හැකි කැටයම් සහ කුඩා කුටීර තුල තැන්පත් කර තිබි විනාශ වූ පිළිමයක යට කොටස. |
![]() |
| කුළුණු හැඩයට කළුගලින් නිර්මිත කොටස් |
![]() |
| පොත්ගුල් වෙහෙර අසල දැකිය හැකි පරාක්‍රමබාහුගේ යැයි ප්‍රචලිත පිළිමයට සමාන ලක්ෂණ දැකිය හැකි හින්දු සෘෂිවරයෙක් වන අගස්ති දැක්වෙන පිලිරූ |
- Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
- University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
- University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
- History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
- Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Three, Architecture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
- මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- Heritage of Rajarata, Chandra Wikramagamage, 2004
- Archaeological Survey of Ceylon North-Central Northern And Central Provinces, Annual Report 1907, H.C.P. Bell, 1911
- අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
- පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
- Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
- Sri Lanka And The Cholas, W.M.K. wijetunga, 2003
- ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 2, සංස්කාරක ආචාර්යW.M.K. විජේතුංග, 2012
- Bronzes From Ceylon in The Colombo Museum, By Ananda K. Coomaraswamy, D.Sc. Edited by Pearson, D.Sc., F.L.S.1914
Wednesday, August 23, 2017
සොළී බල බිඳි විජිතපුර බලකොටුව කදුරුවෙලින් සොයාගැනීම
විජය රජුගේ විජිත නම් ඇමතියා විජිත නම් නගරය (විජිතං නගරං) ඉදි කල බව මහාවංශයේ මෙන්ම දීපවංශයේද සඳහන් වේ. එහෙත් එය පිහිටවූ ස්ථානයක් පිළිබඳව සඳහනක් එහි නොදැක්වේ. විජයගෙන් පසු වසරක පමණ වූ අරාජක කාලයකින් පසුව ලංකා රාජ්‍යයේ රජවූ පණ්ඩුවාසුදේව රජුගේ මෙහෙසිය වූ භද්දකච්චානාගේ සොහොයුරන් මෙරටට පැමිණ ඉදිකල ජනපද පිළිබඳව සඳහන් කිරීමේදිද මහාවංශය එම එක් සොයුරෙකු වන විජිත විසින් ඉදි කල විජිතගාම යන ජනපදයක් ගැනද සඳහන් කරයි. 'විජිත නගර' සහ 'විජිතගාම' ලෙස අවස්ථා දෙකකදි සඳහන් වන්නේ එකම පෙදෙසක්ද නැතහොත් ජනපද දෙකක්ද යන්න අපැහැදිලිය. එසේම ජනප්‍රවාද ඇසුරින් ලියැවුනු වංශ කතා වල මෙම වකවානුව සම්බන්ධව එන විස්තර ඓතිහාසික වශයෙන් එතරම් පිළිගත හැකි මට්ටමක නොමැති බැවින් ඉන්දියාවේ යම් පෙදෙසක සිට පැමිණි සංක්‍රමණිකයන් පිරිසක් විජිත නම් නායකයෙකුගේ (හෝ එම නම ඇති නායකයන් දෙදෙනෙකුගේ) ප්‍රධානත්වයෙන් විජිත නගරය (හෝ/සහ විජිතගාම) යන ජනපදය (හෝ එම නම ඇති ජනපද 2ක් ) ඇති කල බව පමණි අපට මින් නිගමනය කල හැක්කේ.
විජිත නගරයෙහි පිහිටීම පිළිබඳව යම් හෝඩුවාවක් මහාවංශයට ලියූ වංසත්ථප්පකාසිනිය නම් වූ ටීකාවෙන් හමුවේ. විජයගෙන් පසු අරාජක සමයේ ඔහුගේ ඇමැතියන් විසින් අගනුවර උපතිස්සගාමයට ගෙනගිය බව පැවසේ. ඉන්පසු සිහපුර සිට පැමිණි පණ්ඩුවාසුදේව රජුද එහි සිටම පාලනය ගෙනගිය බව පෙනේ. ඔහුගේ මෙහෙසිය ලෙස පැමිණි භද්දකච්චානා ඇතුළු පිරිවර ගොඩබසිනුයේ ගෝණගාමක පටුන නම් තැනකටය. එම පිරිස ගෝණගාමකයේ සිට උපතිස්සගාම කරා එන ගමනේදී විජිත නගරයට පැමිණි බවට වූ සඳහනක් මහාවංශ ටීකාවේ එයි. ඒ අනුව විජිතගාමය, ගෝණගාමක පටුන සහ උපතිස්සගාම අතර වූ බව හැඟේ.
උපතිස්සගාම
විජය සමග පැමිණි උපතිස්ස නම් පුරෝහිත විසින් අනුරාධ ගමට උතුරින් ගම්භීර නදී තීරයේ උපතිස්ස ගම නිර්මාණය කල බව මහාවංශයේ සඳහන් වේ. එහිම සඳහන් වන පරිදි කදම්බ නදී තීරයේ අනුරාධ නම් ඇමති අනුරාධ ගම ඉදිකරයි. මහාවංශයේ වෙනත් අවස්ථාවකදී පැවසෙන්නේ ගම්භීර නදිය අනුරාධපුරයට යොදුනක් පමණ උතුරින් ගලාගිය බවය. අප දන්නා පරිදි එවකට අනුරාධගාමය වූ වර්තමාන අනුරාධපුරය අසලින් ගලා යනුයේ මල්වතු ඔයයි. ඒ අනුව කදම්බ නදී ලෙස එකල හැඳින්වූවේ මල්වතු ඔය බව පැහැදිලිය. එයට යොදුනක් (සැතපුම් 8 සිට 12 අතර දුරක්) පමණ උතුරින් ඇත්තේ මල්වතු ඔයට වැටෙන අතු ගංගාවක් වන කනදරා ඔයයි. ඒ අනුව ගම්භීර නදිය ලෙස හැඳින්වූ කනදරා ඔය නිම්නයේ කිසියම් තැනක උපතිස්සගාමය තිබූ බව පෙනේ. කනදරා ඔය මල්වතු ඔය හමුවන ස්ථානයට ආසන්නව උපතිස්සගාමය පිහිටා තිබෙන්නට ඇති බවට මතයක් ඉදිරිපත්වී ඇත (තන්තිරිමලයට කිලෝමීටර් 3-5 පමණ නැගෙනහිර දෙසට වන්නට)
ගෝණගාමක පටුන
භද්දකච්චානා ඇතුළු පිරිසට මෙරටට පැමිණීමට පෙර පැමිණි පණ්ඩුවාසුදේවගේ පිරිවර ගොඩ බසින්නේ මහාවංශයට අනුව මහ කන්දර නදියේ මුව දොරටය. එම ස්ථානය ගෝකණ්ණ තිත්ථය බව මහාවංශ ටීකාව පැහැදිලි කරයි. ගෝණගාමක පටුන සහ ගෝකණ්ණ තිත්ථය එකම ස්ථානයක් ලෙස පෙනේ. පසු අවස්ථා වලදිද වංශකතාවේ හමුවන ගෝකණ්ණ තිත්ථය වර්තමාන ත්‍රිකුණාමලය වරාය බව හඳුනාගෙන ඇත. (ඒ අනුව මහා කන්දර නදී ලෙස එවකට හැඳින්වූවේ මහවැලි ගඟ බව පෙනේ.)
එබැවින් විජිත පුරය උපතිස්ස ග්‍රාමයට සහ අනුරාධපුරයට නැගෙනහිර දෙසින් වූ පෙදෙසක් බව සිතිය හැක.
දුටුගැමුණු යුගයේ විජිත පුරය
මාගම සිට ගුත්තහාල (බුත්තල), මහියංගණය වැනි ප්‍රදේශ පසුකරමින් කුඩා බලකොටු යටත් කරගනිමින් එළාර සමග සටනට පැමිණෙන දුටුගැමුණු කුමරාගේ සේනාවට පැරදී පලායන 'ගංගා තීරයේ සියලු දමිලයන්' ඉන්පසු රැකවරණය පතා විජිත නගරයට පිවිසුනු බව මහාවංශයේ විස්තර වේ. ඉන්පසු ගඟෙන් එතෙර වන දුටුගැමුණුගේ සේනාව කඳවුරු බැඳගත් ස්ථානය ඛන්ධාවාරපිට්ඨිය නම් විය. එතැන් සිට විජිත නගරය අල්ලාගැනීම පිළිබඳව දීර්ඝ විස්තරයක් මහාවංශයේ එයි. විජිත නගරය වටා කලල්, දිය සහ මත්ස්‍යයන් පිරි ගැඹුරු අගල් තුනක් වූ බවත් එහි සිව් දෙසින් යකඩින් කල දොරටු 4 ක් වූ බවත්, උස් ප්‍රාකාරයකින් වටවී තිබූ බවත් එම විස්තරයේ පැවසේ. විජිත නගරයේ බලකොටුව අල්ලාගැනීමෙන් පසු ගිරිලක (මේ ගිරිතලේ ප්‍රදේශය විය හැකි බවට වූ මතයක් ඉදිරිපත් වී ඇත), මහේල නගර, කාසපබ්බත ඔස්සේ අනුරාධපුරය වෙත ඔහුගේ සේනා ගමන් කරයි.
පොදුවේ පිළිගත් මතය වනුයේ වර්තමානයේ තිස්සමහාරාම ලෙසින් හැඳිවෙන පෙදෙසේ පිහිටි මාගම සිට බුත්තල, මහියංගණය හරහා මහවැලි ගඟේ දකුණු ඉවුර දිගේ දුටුගැමුණුගේ සේනාව රජරට ආක්‍රමණය සඳහා පැමිණි බවයි. ඒ අනුව ඔවුන් මහවැලි ගඟ තරණය කල පසු පිවිසිය යුත්තේ පොළොන්නරුව ලෙසින් වර්තමානයේ හැඳින්වෙන පෙදෙසටය. පොළොන්නරුව දක්වා මහවැලි ගඟේ වම් ඉවුරට ඔබ්බෙන් පිහිටි ස්වභාවික ගිරි දුර්ග වලින් පිරි පෙදෙසින් රජරට පෙදෙසට පිවිසීම පහසුවෙන් කල නොහැක (රූපය 2 ). ඒ අනුව විජිත නගරය පොළොන්නරුව ආශ්‍රිතව තිබිය යුතු බව පැහැදිලි වේ.
![]() |
| රූපය 2 |
පොළොන්නරුව පිහිටා ඇත්තේ උපක්‍රමික වශයෙන් වැදගත් පිහිටීමකය. රුහුණු රට සහ රජරට වෙන් කරන මහවැලි ගඟ ඒ අසලින් ගලා බසී. එබැවින් මෙරට ඉතිහාසයේ වරින් වර සිදුවූ පරිදි රුහුණු රටේ සිට කැරලිකාර කණ්ඩායම් රජරට ආක්‍රමණය කිරීමේදී ඒවා මැඩපැවැත්වීමට මෙම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට රජරට රජවරුන් ක්‍රියාමාර්ග ගත්හ. එසේම දකුණු ඉන්දීය ආක්‍රමණ වලදී අනුරාධපුර නගරය ඔවුන් යටතට පත්වූ විට සිංහල රජවරුන් පළමුව පොළොන්නරුවට පසු බැස එහි සිට නැවත ප්‍රතිප්‍රහාර එල්ල කලහ. එයද නිශ්ඵල වූ විට ඔවුන් ගඟින් එතෙර රුහුණු රටට පසු බැස දිවි ගලවාගත්හ. මේ නිසා කඳවුරු නුවර යන නම පොළොන්නරුවට භාවිතා වන්නට ඇත. එවන් තත්වයක් යටතේ පොළොන්නරුවේ හෝ එයට ආසන්නව සැම කල්හිම හෝ අවම වශයෙන් අභ්‍යන්තර සහ බාහිර බලවේග වලින් රජරට රාජ්‍යයට තර්ජන එල්ලවන සමයන්හි නඩත්තු වූ බලකොටුවක් තිබීම අනිවාර්ය අවශ්‍යතාවයකි.
![]() |
| රූපය 1- අඟලේ සිතියමේ සලකුණු කර ඇති බලකොටුව ඊතලයෙන් දක්වා ඇත |
පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට සහ නව නගරයට නැගෙනහිරෙන් පැරණි අඟලේ සිතියම් වල පැහැදිලිව සලකුණු කර ඇති ජලය පිරි අගල් වලින් යුත් සම සතැරස් කොටුවක් කිසිවෙකුගේ අවධානකට යොමු නොවී වසර ගණනාවක්ම තිබූණි (රූපය 1). 80 දශකයේ මේ ප්‍රදේශයේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප වල මෙම එක් පැත්තක් සැතපුම් භාගයක් පමණ දික්වූ සතරැස් කොටුව දුටු එවකට මහවැලි අමාත්‍යංශයේ සැලසුම් අධ්‍යක්ෂ වූ A. ඩෙනිස් N. ෆර්නැන්ඩෝ මහතා එහි ජ්‍යාමිතික හැඩතලය නිරික්ෂණය කර එය මානව ක්‍රියාකාරකම් වලින් ඇතිවූවක් බව දැක එම ප්‍රදේශයේ සිදු කල වැඩිදුර ගවේෂණ මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ Ancient Ceylon සඟරාවට The Discovery of Vijithapura of 6th Century B.C. And The Ancient Fortress in Plonnaruwa මැයෙන් ලිපියක් සැපයීහ.
![]() |
| විජිතපුර බලකොටුව Google Earth වල දිස්වන ආකාරය |
![]() |
| විජිතපුර බලකොටුව මහවැලි ගඟ, එහි අතු ගංගාවක් වන අඹන් ගඟ,පොළොන්නරුව නගරය සහ පරාක්‍රම සමුද්‍රයට ආසන්නව පිහිටා ඇති ආකාරය |
- The Discovery of Vijithapura of 6th Century B.C. And The Ancient Fortress in Plonnaruwa, A. Denis N. Fernando, Ancient Ceylon 1984, No 5
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
- Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
- මහාවංශය, ප්‍රථම භාගය, මොග්ගල්ලාන සංස්කරණය, සිංහල අනුවාදය - අරුණ තලගල
- පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
- වංසත්ථප්පකාසිනිය, මහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
- රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
- The Dipavamsa, An Ancient Buddhist Historical Record, Hermann Oldenberg, 1879.
- The Dipavamsa edited by Dr. B.C. Law, The Ceylon Historical Journal, Vol VII. Nos 1-4, 1957 & 1958
- University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
- University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
- The Polonnaruwa Period, A Special Issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu, 1955
- සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994
- Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
- මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016












