Showing posts with label Yatala. Show all posts
Showing posts with label Yatala. Show all posts

Friday, January 6, 2023

මාගම කඩොල් ඇතු බැඳි ගලේ අභිරහස


පැරණි මාගම නගරය පැවති ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇති තිස්සමහාරාම ප්‍රදේශයේ ඇතුළු නුවර වටා පිහිටි ප්‍රධාන විහාරාරාම හතරට අයත් ස්තූප අතරින් කුඩාම ස්තූපය ලෙස සැලකෙන්නේ වර්තමානයේ මැණික් දාගැබ ලෙසින් හැඳින්වෙන ස්තූපයයි. එහෙත් එම ස්තූපය පිහිටි විහාරයේ පැරණි නාමය මැණික් වෙහෙරද නැතහොත් වෙනත් නමක්ද යන්න පිළිබඳව නිශ්චිතව කීමට සාධක මෙතෙක් හමු වී නැත. එහෙත් මීට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කල සඳගිරි පරිශ්‍රයේ හමුවන අටපට්ටම් හැඩැති ස්තම්භයක වූ සෙල්ලිපි වලින් එහි පැරණි නාමය සහ එයට වරින් වර විවිධ ප්‍රභූන් පිරිනැමූ ප්‍රදානයන් ගැන වාර්තා කර ඇති පරිදිම මෙම මැණික් ස්තූපය අයත් වෙහෙර හෝ ඒ ආසන්නයේ ඇති යටාල වෙහෙර සම්බන්ධයෙන් හෝ වූ ප්‍රදානයන් වාර්තා කර සෙල්ලිපියක් හෝ කිහිපයක් කොටා ඇති  ස්තම්භයක් මෙම මැණික් වෙහෙරට නුදුරින්ද හමුවේ. ජනප්‍රවාදයේ දැක්වෙන ලෙසට නම් එය දුටුගැමුණු රජුගේ කඩොල් ඇතා බැඳ තිබූ ස්තම්භය වේ.  
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කල හම්බන්තොට දිස්ත්‍රික්කය , සමාජ සංස්කෘතික උරුමය නම් වූ ලිපි සංග්‍රහයකට එම දිස්ත්‍රික්කයේ පැරණි ඓතිහාසික ස්ථාන සම්බන්ධ ලිපියක් සපයන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසන්නේ මෙම අටපට්ටම් ලිපිය කියවාගැනීමට හැකි වුවහොත් මැණික් විහාරය නමින් අද හැඳින්වෙන විහාරය සම්බන්ධ කරුණු රැසක් හෙළිදරවු වනු ඇති බවත්, එහෙත් අවාසනාවකට මෙන් එම සෙල්ලිපිය මේ වනතුරු නිවැරදිව කියවීමට සමත් වී නොමැති බවත්ය. එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පලකල හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන නාමාවලියක සඳහන් වන්නේ පො.ව. 1 -2 සියවස් වලට අයත් වන අපර බ්‍රාහ්මි අක්ෂරයෙන් ලියැවී ඇති මෙම ලිපිය සහිත ටැඹ දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතා බැඳ තැබූ ස්තම්භය ලෙසට ජනප්‍රවාදයේ පැවසෙන බවත් එහි සඳහන් වන්නේ "දේවානම්පියතිස්ස මහ රජුගේ" මුණුපුරු  ගාමිණි අබයගේ පුත් රෝහණික ගාමිණි අභය විසින් බදු වර්ග දෙකක් සහිත ගම විහාරයට පූජා කිරීම පිළිබඳ තොරතුරු බවත්ය. එම තොරතුර ලබාගත්තේ Inscription of Ceylon, Vol II, Part I, 44-45 පිටු වලින් බවත් එහි සඳහන් මුත් එම පිටුවල ඇත්තේ මෙම සෙල්ලිපිය ගැන නොව මීට පෙර ලිපියෙන් කරුණු ඉදිරිපත් කල සඳගිරිය පරිශ්‍රයේ ඇති අටපට්ටම් ටැම් ලිපිය සම්බන්ධ තොරතුරුය (සඳගිරි පරිශ්‍රයේ ඇති අටපට්ටම් හැඩැති ස්තම්භයේ කොටා ඇති සෙල්ලිපි සම්බන්ධ නිවැරදි තොරතුරු සඳහා >>)
මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා 'ඇතාබැඳිගල' ලෙසින් හඳුන්වන මෙම ස්තම්භය ගැන එඩ්වඩ්  මියුලර් උපුටා දක්වමින් පවසන්නේ 7 වන සියවසට අයත් අක්ෂරයෙන් කොටා ඇති මෙම ලිපියෙන් දුටුගැමුණු රජුට අයත් ඇතා මෙහි ගැටගසා තිබූ බව කියැවෙන බව මියුලර් පවසන බවය. එහෙත් අප පහත පෙන්වාදෙන පරිදි මියුලර් එවන්නක් ලිපියේ ඇති බවක් නොපවසන අතර ඔහු පවසන්නේ ඔහුට එහි වචන සහ අකුරු කිහිපයක් පමණක් කියවීමට හැකි වූ බව පමණි.
මැණික් දාගැබ
මේජර් පොර්බ්ස් සිය සංචාරක ඇත්දැකීම් සහිත ඔහුගේ Eleven Years in Ceylon පොතේ  සටහන් කරන්නේ, හෙතෙම  1834 වර්ෂයේදී ඉතා කුඩා ගමක් වූ වීරවිල (Wirawelle) සිට පැරණි මාගම නගරයේ නටබුන් (Ruins of Magam) නැරඹීමට සැතපුම් දෙකක් පමණ පැරණි වැවක පත්ලේ [වීරවිල වැව විය යුතුය] ගැඹුරු ජලය සහ මඩ සහිත මාර්ගයක එරෙමින් ගමන් කර, එක්තරා ස්ථානයකදී කිරිඳි ඔයෙන් (Kerinde-oya) එතෙර වී, එහි වම් ඉවුර දිගේ වූ අවට වගුරෙන් මදක් උස් වූ වැටියක් (Ridge) ඔස්සේ තවත් සැතපුම් 3 ක් පමණ ගමන් කර, ඒ වන විට බිඳී තිබූ තිස්ස වැවේ බැම්ම දිගේ විත් මැණික් දාගැබ, එම වෙහෙර, ගල් කණු 85 ක් සහිත නටබුන් 'මාළිගය' සහ ගල් කණු 48 ක් සහිත නටබුන් වූ 'පෝයගෙය' [Poega (Assembly-hall for priests)] නැරඹූ බවය.  එම නටබුන් ගොඩනැගිලි අතර පරිධිය අඩි 8 ක් සහ උස අඩි 9 ක් වන රජුගේ ඇතා බැඳ තිබූ අටපට්ටම් කුළුණක් වූ බවත්, දම්වැල් නිසා ගැඹුරු ලෙස ගෙවී ගොස් තිබූ එහි වූ අකුරු එම හේතුව නිසාම මැකී ගොස් තිබූ මුත්, 'ශ්‍රී' යන කොටසක් පමණක් පැහැදිලිව කියවීමට හැකි වූ බවත් ඔහු සඳහන් කරයි. එයට 'කඩොල් (ඇතාගේ) කුළුන' [Pillar of Kadol] ලෙස පවසන බවත් පොර්බ්ස් වැඩිදුරටත් පවසයි.
මැණික් හෝ යටාල නමින් අද හැඳින්වෙන පැරණි විහාර දෙකට හෝ ඉන් එකකට අයත්ව තිබූ උපෝසථඝරයේ නටබුන්
 මෙරට සෙල් ලිපි අධ්‍යයනයේ පුරෝගාමියෙකු වන එඩ්වඩ් මියුලර් 'තිස්සමහාරාමයේ ඇතාබැන්දුව' ලෙසින් හඳුන්වන මෙම සෙල් ලිපිය ගැන පවසන්නේ රජුගේ සුදු ඇතා බැඳ තිබූ මෙම කුළුනේ උඩ කොටසේ කැටයම් කල කොටස බිඳී ඇති බවත් පහල තිබෙන අකුරු අර්ධ වශයෙන් පමණක් කියවිය හැකි බවත්ය. ටැම් ලිපියේ එක් පැත්තක 'සිධ' යන වචනය පළමු වචනය ලෙස ඇති බවත් එහි 'ස' අකුර නූතන හැඩය සහිත බවත් ඔහු වැඩි දුරටත් පවසයි. ලිපියේ ඡායාරූපයක් පමණක් ඉදිරිපත් කරන බව ඔහු පවසන මුත් ඔහුගේ සෙල් ලිපි පිළිබඳ ග්‍රන්ථයේ දෙවන වෙළුම ලෙසින් ඇති ඵලක එකතුවේ එවැන්නක් හමු නොවේ. ලිපියේ පිටපතක් හෝ පරිවර්තනයක් ඉදිරිපත් නොකරන බව ඔහු විශේෂයෙන් අවධාරනය කරයි. අක්ෂර රටා අනුව මියුලර් මෙම ලිපිය 5 - 9 සියවස් අතර කාලයට අයත් කරයි. හෙන්රි පාර්කර් මෙම ලිපියේ අකුරු 6 - 7 සියවස් වලට අයත් බව පවසන අතර C.W. නිකලස් සඳහන් කරන්නේ ඒවා 7 - 8 සියවස් වලට අයත් බවය.

මැණික් දාගැබ අසල දැකිය හැකි මුරගලක්

තිස්සමහාරාමයේ ඔහු සිදු කල පුරාවිද්‍යාත්මක ගවේෂණ පිළිබඳව වූ සිය පොතේ 'ඇතාබැන්දුව' ලෙසින්ම මෙම ටැම් ලිපිය හඳුන්වන එවකට වාරිමාර්ග නිලධාරියෙක් වූ හෙන්රි පාර්කර් පවසන්නේ සැලකිය යුතු කාලයක් ඔහු මෙම ලිපිය කියවීමට මිඩංගු කල මුත් එය සාර්ථක නොවූ බවය. එහෙත් එහි සන්දර්භය මෙවැනි සෙල්ලිපි වල සුපුරුදු ලෙස හමුවන කිසියම් ප්‍රදානයක් පිළිබඳව බව ඔහුට පසක් වූ බවත් පවසන හෙතෙම එහි ඔහුට කියවීමට හැකි වූ වචන ඉදිරිපත් කර එහි ඉංග්‍රීසි පරිවර්තනයක්ද සිය ග්‍රන්ථයේ ඇතුලත් කරයි. පැහැදිලි අර්ථයක් ගත නොහැකි එකම දේ පුනරුච්චාරනය කරන ලෙස හැඟෙන එහි පාර්කර් ඉදිරිපත් කරන ඉංග්‍රීසි පරිවර්තනය පහත පරිදිය.

Having permanently established and given over the alms for..

Having given and caused to be appointed the alms for..

having  permanently established and caused to be appointed the alms for

having given and caused to be appointed these (?) continual alms, having given the alms called Maha Ratana...

මෙම ලිපියේ විස්තර වන නටබුන් දැක්වෙන වීඩියෝව>> 

සඳගිරි විහාර පරිශ්‍රයේද දැකිය හැකි පරිදි මෙවන් විශාල ගල් ටැඹක විහාරයේ ආරම්භය සනිටුවන් කිරීමේ සම්ප්‍රදායක් අවම වශයෙන් රුහුණේ මාගම අවට හෝ තිබුණු බවත් කඩොල් ඇතා බැඳි ස්තම්භය ලෙසින් ජනප්‍රවාදයේ හඳුන්වන මෙම මැණික් වෙහෙර අසබඩ පිහිටි ස්තම්භයද දැනට යටාල හෝ මැණික් ලෙසින් හැඳින්වෙන විහාරාරාම දෙකින් එකකට හෝ ඒ දෙකටම හෝ අදාල ( ස්තූප දෙකක් පැවතියද මෙහි තිබී ඇත්තේ එක් විහාරයක් වීමටද ඉඩ නැතිවා නොවේ.) ප්‍රදානයන් සනිටුහන් කල ගල් ටැඹ විනා අන් යමක් නොවන බව පැහැදිලිය. සඳගිරි විහාරයේ සිදුවූවක් මෙන්ම පසු කාලීනව වෙනත් රජවරු සහ අනෙකුත් ප්‍රභූවරුන්ද එම විහාරයට සිදු කල ප්‍රදානයන් මෙහි සටහන් කරන්නට ඇත. එහෙත් ඒ බොහෝමයක් මේ වන විට මැකී ගොස් ඇති අතර ස්තම්භයේ ඇති අකුරු කිහිපයක් පමණක් කියවීමට හැකි මුත් එයින් පැහැදිලි අර්ථයක් ගත නොහැක. කෙසේ නමුත් ඇසින් බලා සෙල්ලිපි කියවනවාට (Eye copy) වඩා ඵලදායි Estampage ගැනීමක් මෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසියම් කලක හෝ සිදු කර ඇත්ද යන්න සොයාගැනීමට නොහැකි වූ අතර බොහෝදුරට පෙනී යන්නේ එවැන්නක් මෙතෙක් සිදු කර නොමැති බවය. 

මැණික් හෝ යටාල නමින් අද හැඳින්වෙන පැරණි විහාර දෙකට හෝ ඉන් එකකට අයත්ව තිබූ උපෝසථඝරයේ නටබුන්

මෙම සෙල්ලිපිය සහිත ටැඹ අසලම ගල් කණු විශාල ගණනකින් යුත් ගොඩනැගිල්ලක අවශේෂ හමුවේ. ඇතමුන් පවසන පරිදි මෙය මාළිගාවක නටබුන් නොවන බව මෙම ස්ථානයේ එවකට මැණික් සහ යටාල යන ස්තූප දෙකම අයත් විහාරයට අධිපතිව සිටි ජිනරතන තෙරුන්වහන්සේ තමන්ට පැවසූ බව පාර්කර් පවසයි. උන්වහන්සේට අනුව මෙය භික්ෂූන් එකතු වන දානශාලාවක් හෝ බණශාලාවක් බවත් 'ඇතාබැඳි කණුව' බොහෝවිට පන්සලට අයත් ඇතා බැඳ තිබූ ස්තම්භය බවත් පවසන පාර්කර් එය බොහෝදුරට පිළිගත හැකි කරුණක් බවද අවධාරනය කරයි. මැණික් ස්තූපයට වඩා ආසන්නව පවතින මුත් විශාලත්වය අතින් ගත් කල මෙය වඩා විශාල වපසරියක විසිරී තිබූ යටාල විහාරයට අයත් උපෝසථඝරය විය හැකි බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි. 

මැණික් දාගැබ අසල දැකිය හැකි කිසියම් කුඩා ගොඩනැගිල්ලක නටබුන් ( භික්ෂු කුටියක නටබුන් විය හැක )
ගල් කණු 70 -80 අතර ප්‍රමාණයක් මෙහි ඇති අතර ඉහත සඳහන් කල පරිදි පොර්බ්ස් ගල් කණු 80 ක් පමණ තිබූ 'මාළිගාව' ලෙසින් හඳුනාගන්නේ මෙම ගොඩනැගිල්ල විය හැක. පොර්බ්ස් ගල් කණු 48 කින් යුත් 'පෝයගෙය' ලෙසින් හඳුන්වන තවත් ගොඩනැගිල්ලක් ඒ හා සමගම මේ අසල තිබූ බව සඳහන් කරන මුත් එවන් විශාල ප්‍රමාණයක ගල් කණු සහිත නටබුන් ගොඩනැගිල්ලක් අද වන විට දකින්නට නොහැක. එහෙත් යටාල සහ මැණික් යන විහාර දෙකටම අයත් භික්ෂු කුටි විය හැකි කුඩා ගොඩනැගිලි කිහිපයකම නටබුන් වලට අයත් ගල් කණු මේ අවට පෞද්ගලික ඉඩම් වල පැවති හෝ පවතින බවට මෙම විහාර දෙක පිළිබඳව වූ පුරාවිද්‍යා ලේඛන වල සඳහන් වන අතර අවම වශයෙන් ඉන් කිහිපයක් හෝ මේ දක්වා පවතින බව නිරීක්ෂණය කල හැක. පොර්බ්ස් සඳහන් කරන ගල් කණු 48 කින් යුත් ගොඩනැගිල්ලක් මෙහි තිබී එය මේ වන විට විනාශ වී ඇත්නම් ඒ බොහෝ විට මැණික් වෙහෙරට අයත් උපෝසථඝරය විය හැක. මෙම ස්තූප දෙකම එකම විහාරයකට අයත් වීම මෙන්ම විහාර දෙකෙහිම භික්ෂූන් එක් උපෝසථඝරයක් භාවිතා කිරීමද විය නොහැක්කක් නොවේ.

මූලාශ්‍ර

  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Ancient Inscriptions in Ceylon collected and published for the government by Dr. Edward Muller, 1883
  • Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka, Prishanta Gunawardhana, 2009
  • Archaeology of Tissamaharama, Henry Parker, 1884 ( Reprint 1998)
  • පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය, හම්බන්තොට දිස්ත්‍රික්කය, පළමු වෙළුම, 2019
  • හම්බන්තොට දිස්ත්‍රික්කය , සමාජ සංස්කෘතික උරුමය, මහාචාර්ය නිමල් ද සිල්වා, 2005
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 

Sunday, December 4, 2022

ප්‍රාග් බෞද්ධ යක්ෂ ගෝත්‍රිකයන් පුද පෙත් කල ටංකිතමඤෙචා බෞද්ධයන්ට ආසනඝර වීද?

හම්බන්තොට - තිස්සමහාරාම පාරේ හමුවන යඨාල දාගැබ ඉදිරිපස පාරෙන් අනිත් පස පිහිටි යඨාල ආසනඝරය ලෙසින් හැඳින්වෙන පෞරාණික ගොඩනැගිල්ල එතරම් සංචාරක ආකර්ශනයක් නොලබන ස්ථානයක් බැවින් දිගින් අඩි 23 වන මෙරට හමුවන විශාලම ගල් ආසනය එහි ඇති බව බොහෝදෙනෙක් නොදන්නා කරුණකි. බුද්ධ ප්‍රතිමාව හඳුන්වාදීමට ප්‍රථම බුදුන් වහන්සේ සංකේතවත් කල පූජනීය වස්තුවක් ලෙස සැලකෙන ගල් ආසන මෙරට බොහෝ ස්ථාන වලින් හමුවන මුත් 'මල් ආසන' නැතහොත් 'ගල් ඇඳන්' ලෙස ජනවහරේ අද හැඳින්වෙන ඒවාට කිසිදු පූජනීය සැලකිල්ලක් කිසිදු බෞද්ධයෙකුගෙන් යොමු නොවේ. ප්‍රථම වරට මෙම ස්ථානයේ කැනීමක් 1965 අගෝස්තු මස 7 වෙනි දින සිදු කෙරී ඇතිමුත් මුල් දිනයේ ඉතා උනන්දුවෙන් එයට සහභාගී වූ දෙබරවැව සහ තිස්ස මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන්ද කැනීමෙන් කැබලිති මිස කිසිවක් හමු නොවීම නිසා උකටලීවදෝ කලින් කථාකරගත් පරිදි පසුදින වැඩට පැමිණියේ නැති බව එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය හෙබවූ චාර්ල්ස් ගොඩකුඹුරේ මහතා 1964-65 වසර සඳහා වූ සිය පාලන වාර්තාවේද විශේෂයෙන් සඳහන් කර ඇත. එවන් අඩු අවධානයක් යොමු වූ යටාල ආසනඝරය මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කැනීම් කර සංරක්ෂණය කර ඇත. මේ ලිපිය එම ආසනඝර නටබුන් ආශ්‍රයෙන් මෙරට හමුවන ආසනඝර ලෙසින් හැඳින්වූ වර්තමානයේ බොහෝ වියතුන් බෝධිඝර නටබුන් ලෙස හඳුනාගන්නා පුරාණ ගොඩනැගිලි පිළිබඳව කෙරෙන විමසීමකි.

අට්ඨකතා සහ වංශ කථා මූලාශ්‍ර වල හමුවන ආසනඝර/සිලාපල්ලංක

විනය අටුවාව වන සමන්තපාසාදිකාවේ චෙතියඝරං, බෝධිඝරං, ආසනඝරං..ආදී 
වශයෙන් විහාරාරාමයක වූ ගොඩනැගිලි කිහිපයක් ගැන සඳහන් කිරීමකදී ආසනඝරය නම් වූ ගොඩනැගිල්ලක් ගැන සඳහනක් වේ. එහිම වෙනත් තැනක බෝධිරුක්ඛ, බෝධිඝර,ආසනඝර ලෙසින් නැවතත් බෝරුක, බෝගෙය සහ තවත් ගොඩනැගිලි කිහිපයක් ගැන සඳහනකදී ආසනඝරය යන ගොඩනැගිල්ලක් ගැන පවසයි. විමතිවිනෝදනී නම් වූ සමන්තපාසාදිකාවට කල ටීකාවේ "ආසනඝර නති පටිමාඝාරං" ලෙසින් අසනඝර යනු පටිමාඝරයයි සඳහන් වේ. බෝ ගසක අතු කැපීම කැප වන සහ අකැප වන අවස්ථා පිළිබඳව සඳහන් කිරීමේදී පපඤ්ච සූදනී නම් වූ මජ්ජිම නිකායට්ඨ කතා අටුවාවේ මෙසේ සඳහන් වේ -  "යම් බෝ අත්තක් බෝධිඝරයට බාධා වෙයි ද එය ගෙය රැකීම පිණිස සිඳීමට ඉඩ නොලැබෙයි. මක්නිසාද යත්? ඒ ගෙය තනා ඇත්තේ බෝධියේ ප්‍රයෝජනය සඳහාය. ගෙහි ප්‍රයෝජනය සඳහා බෝධිය කලේ නොවන හෙයිනි. ආසනඝරය කෙරෙහි ද මේ ක්‍රමයයි. යම්කිසි ආසනඝරයක ධාතු තැන්පත් කර ඇද්ද එහි ආරක්ෂාව උදෙසා බෝ අතු සිඳීම සුදුසුය." මේ කාරණය මේ අකාරයෙන්ම මනෝරථපූරණී නම් වූ අංගුත්තර නිකායට්ඨකථා සහ සමෙමාහ විනොදනී නම් වූ විභංගටඨ කථා යන අටුවා ග්‍රන්ථ වලද දක්වා ඇත. 
යටාල ආසනඝරය නොහොත් බෝධිඝරයට උතුරු දෙසින් පිවිසීමට ඇති දොරටුව
එකල 'ආසන පූජා' සිදු කල බව සඳහනක් දීඝ නිකායට බුද්ධඝෝෂ ස්ථවිරයන් විසින් සිදුකල සුමංගල විලාසිනී නම් වූ අට්ඨ කථාවේ සඳහන් වේ. එහි ආටානාටිය සූත්‍රය ගැන වූ විවරණයේ සඳහන් වන්නේ අමනුෂ්‍යය කරදර දුරු කිරීමට අමනුෂ්‍යය භය ගන්නා වූ තැනත්තන් විහාරයට පමුණුවා, සෑ මලුවෙහි වැදහොවා,  ආසන පූජාව කරවා, පහන් දල්වා, සෑ මළුව ඇමද, මංගල ගාථා කිව යුතු බවය. ඉන්පසු  අමනුෂ්‍ය ගන්නා ලද ඔබ කිනම් වේදැයි විචාල යුතු බවත්, නම කී කල නමින්ම ආමන්ත්‍රණය කර, මේ නම ඇති ඔබට සුවඳ මල් පූජා ආදියේ පින, ආසන පූජාවේ පින, පිණ්ඩපාතයේ පින.. පමුණුවා භික්ෂු සංඝයා කෙරෙහි  ගෞරවයෙන් මොහු මුදවයි කියා මිඳවිය යුතු බවය. 
යටාල ආසනඝරය නොහොත් බෝධිඝරයේ ගඩොල් මණ්ඩපයක් මත සංරක්ෂණය කර ඇති ගල් ආසනය
විශුද්ධි  මාර්ගයෙහි පීත කසිණය වඩනා ක්‍රමය ගැන එන විස්තරයකදී චිත්තල පබ්බතයෙහි [එනම් සිතුල් පව්වෙහි] පතඟ [පතඟි/Biancaea sappan] මලින් කල ආසන පූජාව බලන්නා හා ම ඒ ආසන ප්‍රමාණ වූ නිමිත්ත [Mental image] චිත්තගුන්ත තෙරුන්ට උපන් බව සඳහන් වේ. මේ පාඨයෙන් පැහැදිලි වන්නේ ආසනයක් යනු සැලකිය යුතු තරම් විශාල දෙයක් වන බවය. 

මේඝවණ්ණ අභය රජතුමන් [පො.ව. 249-262] උතුම් මහාබෝධිඝරයේ [මහාබොධි ඝරුත්තමෙ] ශිලා පල්ලංකයක් [සිලාපල්ලංකං] කරවූ බව දීපවංශයෙහි සඳහන් වේ. මේඝවණ්ණාභය නමින්ද ප්‍රසිද්ධ වූ ගෝඨාභය රජු මහාබෝධියේ තුන්දොරටුවක සිලාමය ප්‍රතිමා කරවා, දකුණු දොරටුවෙහි සිලාමය පල්ලංකද තැබූ බව [පල්ලංකෙ දක්ඛිණම්හි සිලමයෙ] එම සිද්දිය විස්තර කරන මහාවංශය සඳහන් කරයි. C.E. ගොඩකුඹුර මහතා පවසන්නේ වංශ කථා වල පල්ලංක ලෙසින් හඳුන්වන්නේ අට්ඨ කතා වල ආසන ලෙසින් හඳුන්වන ගල් ආසනම වන බවය.
යටාල ආසනඝරය නොහොත් බෝධිඝරයේ ගඩොල් මණ්ඩපයක් මත සංරක්ෂණය කර ඇති ගල් ආසනය

12 වැනි සියවසේ ලියන ලද විමතිවිනෝදනියේ හැර ඉහත අට්ඨකතා මූලාශ්‍ර කිසිවක බුද්ධ ප්‍රතිමා වන්දනාව සිදු වූ ප්‍රතිමාඝර ගැන සඳහන් නොවේ. වංශ කථා මූලාශ්‍ර වල පවා ගෝඨාභය රජතුමා කරවූ සිලා ප්‍රතිමා ගැන සඳහන් වන්නේ දීපවංශයට පසුව ලියැවුන ලෙස සැලකෙන මහාවංශයේ පමණි. දීපවංශයට වැදගත් වූවේ රජු කරවූ සිලා ප්‍රතිමා නොව ශෛලමය පල්ලංකය පමණක් බව පෙනේ. මෙ පිළිබඳව අවධානය යොමු කරන C. E. ගොඩකුඹුර මහතා සඳහන් කරන්නේ මෙරට බොහෝවිට බුදු සමය හඳුන්වාදුන් මුල් යුගයේ මුලින්ම බෝධිඝරය ඇතිවි ආසනඝර, චේතියඝර සහ ප්‍රතිමාඝර අනුපිලිවෙලින් පසු කාලීනව ඇති වන්නට ඇති බවයි. ඒ කෙසේ වුවත් ඉහත සඳහන් වන පරිදි  ඇතැම් ආසනඝර වල ධාතු තැන්පත් කර තිබූ බව සඳහන් වේ. ඒ අනුව බැතිමතුන් වන්දනා කර ඇත්තේ හුදු ගල් ආසනයක් නොව ඒ ආසනය තිබූ ආසනඝරයේ තැන්පත් කර තිබූ ධාතුන් බව පසක් වේ. එසේම ඉහත උපුටා දැක්වූ මූලාශ්‍ර කිහිපයකින්ම හෙලිවන්නේ ආසනඝරය හෝ ආසනය බෝධි වෘක්ෂයකට ආසන්නව තිබූ බවය. 
යටාල ආසනඝරය නොහොත් බෝධිඝරයට උතුරු දෙසින් පිවිසීමට ඇති දොරටුව
මේ සියළු කරුණු එක්ව ගත් කල එලඹිය හැකි නිගමනය වන්නේ බුද්ධ ප්‍රතිමාව හඳුන්වාදීමට පොරොතුව මෙරට බෞද්ධයන් වන්දනාමාන කල බුදුන් නිරූපණය කල සිරිපතුල් ගල් ආදිය අතරට බෝසතුන් බුද්ධත්වයට පත්වීමේදී වැඩසිටි වජ්‍රාසනය නිරූපණය කරන ශෛලමය ආසනයද ඇතුලත්ව තිබෙන්නට ඇති බවය. එය බෝධි වෘක්ෂය අසල තිබීමෙන් ඒ බව පැහැදිලි වේ. ආසනඝරයේ හෝ ආසනයේ ධාතූන් තැන්පත් කර තිබූ බව සාහිත්‍යමය මූලාශ්‍ර වලින් පැවසෙන මුත් මෙතෙක් එවන් කිසිදු තැනකින් ඒ සඳහා සාධක හමුවී නොමැත. බොහෝවිට පසුකාලීනව ආසන වන්දනයෙන් බැතිමතුන් දුරස් වීමත් සමග එම ධාතුන් බුදු පිළිම,  ප්‍රතිමාඝර හෝ දාගැබ් තුලට වැඩම කරවූවා විය හැක. බුදු පිළිම වන්දනය ජනප්‍රිය වීමත් සමග වජ්‍රාසනය නිරූපණය කල ගල් ආසන මත මුලදී කුඩාහිඳි පිළිම තැබීම සිදු වන්නට ඇත. කාලයත් සමග ආසනඝරය ප්‍රතිමාඝරය බවට පත්වී 12 වන සියවස වන විට විමතිවිනෝදනී ටීකාවේ ආසනඝර යනු ප්‍රතිමාඝරයි යනුවෙන් එන සඳහන දක්වාම ආසනඝර සහ ගල් ආසන වන්දනාව කෙමෙන් වියැකී යන්නට ඇත.  
යටාල ආසනඝරය නොහොත් බෝධිඝරයේ බටහිර දෙසින් ඇති කුඩා ගල් ආසනය
මෙරට මුල් කාලීන බෞද්ධයන් අතර ආසන වන්දනාව සිදුවූ බවට මුල්වරට පවසන්නේ සෙනරත් පරණවිතාන මහතාය. මඩකලපු දිස්ත්‍රික්කයේ පුළුකුනාවි ලෙසින් හඳුන්වන ස්ථානයක හමුවන මණ්ඩපයක් මත වූ විශාල ගල් ආසනයක් සහ එම ගල් ආසනය ගොඩනැගිල්ලේ එක් පසකට වන්නට තිබෙන සේ ඒ වටා කවාකාරව ඉදිකර තිබූ ගෘහයක නටබුන් ලෙස දැව කණු බහාලීමට යොදාගත් ශෛලමය කණු පාදම් පිළිබඳව සඳහන් කරමින් ඒ මහතා එම නිගමනයට එලඹේ. C.E. ගොඩකුඹුර මහතා කටුවන්නාව, පුළුකුනාව, රජගල, එරුපොතාන, කටගොමුව, උට්ටිමඩුව, වෙහෙරගල, කිහිඹියගොල්ලෑව, අභයගිරියේ බරෝස් මණ්ඩපය, හල්මිල්ලවැටිය ආදී  දිවයින පුරා විවිධ ප්‍රදේශ වල හමුවන මේ ආකාරයේ ආසනඝර කිහිපයක් පිළිබඳවම සඳහන් කරයි.
යටල ආසනඝරය නොහොත් බෝධිඝරය බටහිර දෙසින් දිස්වන ආකාරය

යටල ආසනඝරය නොහොත් බෝධිඝරයේ ඇති බෝධි වෘක්ෂය සිටවා තිබූ ආවාටය. වෙනත් මෙවැනි බොහෝ ස්ථාන වල මෙන්ම මෙහිද ආවාටයේ බිත්ති වල ගඩොල් බැමි යොදා ඇත (ආරක්ෂාව උදෙසා මෙහි කට වීදුරුවක් දමා වසා ඇත.)
රෝලන්ඩ් සිල්වා මහතාගේ මතය

සංඝමිත්තා තෙරණිය මෙරටට බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමේදී පිටදුන් ගයාවේ පිහිටි බෝධියේ ශාඛාවක් හඳුන්වා දුන් දින සිට පැවත ආ බෝධි වෘක්ෂ වන්දනාව පාදක කර ගනිමින් ඇතිවූ බෝධි මාලක සහ බෝධිඝර යන වාස්තු විද්‍යාත්මක නිර්මාණ දෙකක් පිළිබඳව සඳහන් කරන රෝලන්ඩ් සිල්වා මහතා බෝධිමාලක යනුවෙන් හඳුන්වන්නේ මූලිකවම බෝධි වෘක්ෂය, ඒ වටා වූ ගරාදි වැට, වජ්‍රාසනය සහ මේ සියල්ල වටකරගත් ප්‍රදේශයයි. ඔහුට අනුව වජ්‍රාසනයට ආවරනයක් ලෙසට ඉදි කල කුඩා වාස්තු විද්‍යාත්මක නිර්මාණය ආසනඝර ලෙසින් හැඳින්වේ. මල් සහ වෙනත් එවැනි පූජා භාණ්ඩ මෙම ආසනය මත තබා පූජා කිරීම සිදු කරයි. මෙම වජ්‍රාසනය සාමාන්‍යයෙන් බුද්ධ ගයාවේ පිහිටි ලෙසට බෝධි වෘක්ෂයේ නැගෙනහිර දිශාවෙන් පිහිටුවයි. ආසනඝර ලෙස හෝ බෝධිඝර ලෙස හඳුනාගන්නා මෙවැනි නටබුන් ස්ථාන බොහෝමයක විශාල ආසනයට අමතරව තවත් කුඩා ආසනයක් හෝ තුනක් අනෙකුත් ප්‍රධාන දිශාවන්ට අනුරූපව බෝධි වෘක්ෂය වටා තිබූ බවට සාධක හමුවේ. එසේම ඇතැම් අවස්ථා වලදී එම ප්‍රධාන ආසනය මත මෙන්ම එවන් කුඩා ආසන මතද ඉහත විස්තර කල පරිදි පසු කාලීනව එකතු වූ බුදු පිළිම තබා තිබූ බවට සාධක හමුවේ. 
අනුරාධපුර අභයගිරි විහාර පරිශ්‍රයේ පිහිටි සුප්‍රකට සමාධි පිළිමය. ඇත්ත වශයෙන්ම මෙහි ඇත්තේ බෝධිඝරයක නටබුන් වන අතර මෙම පිළිමය එහි ප්‍රධාන වජ්‍රාසනය මත තිබූ පිළිමය වේ. දැනට පිළිමය තබා ඇති ගඩොල් මණ්ඩපයට ඉදිරියෙන් එම වජ්‍රාසනය අද මල් ආසනයක් ලෙස තබා ඇත. බෝධිඝරය වටා වූ ගරාදි වැට පසුබිමින් දිස්වේ. 
රෝලන්ඩ් සිල්වා මහතා බෝධිඝරය ලෙස හඳුනාගන්නා වාස්තු විද්‍යාත්මක නිර්මාණයට, බෝධි වෘක්ෂය, නැගෙනහිර දිශාවට වූ වජ්‍රාසනය සහ අනෙක් ප්‍රධාන දිශාවන්ට වූ කුඩා ආසන හෝ සිව් දිශාවටම මුහුණ ලා තිබූ ආසන 4 ක් (එම ආසන මත බුදු පිළිම තිබීමට හෝ නොතිබීමට පුළුවන.) කවාකාර හෝ චතුරශ්‍රාකාර ප්‍රදක්ෂිණා පථයක් සහ එම ප්‍රදක්ෂිණා පථයට සෙවන සැලසීමට තිබූ වහලය දරා සිටි ගල් කණු හෝ දැව කණු සිටවා තිබූ සෙල්මුවා කණු පාදම් ගල්, ශෛලමය හෝ ගඩොලින් කල බාහිර ප්‍රාකාරයක්, පරිශ්‍රයට පිටතින් ඇතුළුවීමට දොරටු, බෝධි වෘක්ෂය ඇති ඇතුළු මලුවේ එකතුවන ජලය පිටතට ගෙන යෑමට වැසුණු කානුවක් සහ බෝධි වෘක්ෂයට බැතිමතුන් හට ජලය වැක්කිරීමට පඩි පෙලක් යන අංග වලින් සමන්විත වේ. බෝධිඝරයක මේ සියළු   අංග හෝ ඉන් කිහිපයක් තිබිය හැකි බවට හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. වඩාත් හොඳින් ආරක්ෂා වූ මෙවැනි බෝධිඝරයකට උදාහරණයක් ලෙසට නිල්ලක්ගම බෝධිඝරය සැලකිය හැක ( ඒ පිළිබඳව වූ පෙර ලිපිය කියවීමට >> ) නිල්ලක්ගම බෝධිඝරය වැනි වෙනත් චතුරශ්‍රාකාර බෝධිඝර පන්කුලිය, පුලියන්කුලම, වෙස්සගිරිය, විජයාරාම,බෙලිගල, දිඹුලාගල, රාජාංගනය සහ අනුරාධපුර සමාධි පිළිමය යන ස්ථානයෙන් හඳුනාගෙන ඇති අතර මැණික්දෙන, පුළුකුණාවි, කුඩා කටුවන්නාව සහ තොළුවිලින් කවාකාර බෝධිඝර සොයාගෙන ඇත.
සුප්‍රකට අනුරාධපුර සමාධි පිළිමයට පිටුපසින් ඇති බෝධිඝරයේ නටබුන්. බෝධි වෘක්ෂය සිටවා තිබූ ආවාටය සහ එයට එපිටින් පිහිටි අනෙක් ආසනය මත තිබූ පැරණි හිඳි පිළිමයේ විනාශ කල ඉනෙන් පහල කොටස ඡායාරූපයේ වම් කෙලවරෙහි දැකිය හැක.

සුප්‍රකට අනුරාධපුර සමාධි පිළිමයට පිටුපසින් ඇති බෝධිඝරයේ නටබුන්. බෝධි වෘක්ෂය සිටවා තිබූ ආවාටය සහ එයට එපිටින් පිහිටි අනෙක් ආසනය මත තිබූ පැරණි හිඳි පිළිමයේ විනාශ කල ඉනෙන් පහල කොටස මෙහි දැකිය හැක.

විකල්ප මතයක්

ආසනඝර වශයෙන් සෙනරත් පරණවිතාන මහතා සහ C. E. ගොඩකුඹුර මහතා හඳුනාගන්නා වාස්තු විද්‍යාත්මක නිර්මාණ සම්බන්ධයෙන් විකල්ප මතයක් ඉදිරිපත් කරන A.D.T.E. පෙරේරා මහතා පවසන්නේ සාහිත්‍යමය මූලාශ්‍ර වල ආසනඝර සහ ඒවායෙහි පිහිටි ආසන ලෙස හඳුන්වන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් විශාල වශයෙන් හමුවී ඇති සිරිපතුල්ගල් ලෙසින් හැඳින්වෙන කුඩා ශෛලමය ආසන බවය. විශාල සෙල්මුවා ආසනයක් මගින් බුදුන් නිරූපණය කලේ නම් ඉන්දියාවේ හමුවන එවන් ගල් ආසන වල මෙන් සිරිපතුල්, වජ්‍රය, ධර්ම චක්‍රය, බෝධි වෘක්ෂය, වැදහොත් මුවා, සැතපුන සිංහයා වැනි සංකේත තිබිය යුතු බවය ඔහුගේ තර්කය. එවන් ආසන සහ ඇතැම්විට ඒ මත තැබූ බුදු පිළිම ආදිය තිබූ ආසනඝර බෝධි වෘක්ෂය සමගද තිබෙන්නට ඇති බව ඔහු පවසයි. 

සිරිපතුල් ගලක් - යටාල කෞතුකාගාරය

මෙවන් විශාල ආසන හමුවන ආසනඝර බුදු සමය මෙරටට හඳුන්වාදීමට පෙර මෙරට සිටි යක්ෂ, නාග වැනි ජනයා ඇදහූ ප්‍රාග් බෞද්ධ ඇදහීම් වලට අදාල ආගමික ස්ථාන විය හැකි බවය ඔහුගේ මතය. මේ මතය සනාථ කිරීම උදෙසා බෞද්ධ සාහිත්‍යයේ එන ඇතැම් යක්ෂයන් හා සම්බන්ධ තොරතුරුද ඔහු උපයෝගි කරගනී. උදාහරණයක් ලෙසට  බුදුන් වහන්සේ යක්ෂයන් දමණය කල විට ඔවුන්ගේ වටිනාම වස්තුව වන ආසනය බුදුන්ගේ බුද්ධ ආසනය වන බව සඳහන් වීම (බුද්ධකාලයේ මෙරට සිටි බව සඳහන් මහෝදර සහ චූලෝදර නාග රජුන් අතර සටන ඇතිවන්නේද මැණික් වලින් කල ආසනයක් හෙවත් මිණිපලඟක් [මණිපල්ලංක] නිසා බව වංශකතාවේ සඳහන් වේ), උට්ටිමඩුව, රජගල සහ රාජාංගනය වැනි ඇතැම් ආසනඝර නටබුන් හමුවන ස්ථාන වල තබ්බෝව-මරදන්මඩුව සංස්කෘතික රූප ලෙසින් හැඳින්වෙන ටෙරාකොටා මැටි රූප හමුවූ බව සඳහන් වීමද සිය මතය ශක්තිමත් කිරීම උදෙසා යොදාගත හැකි සාධකයක් බව A.D.T.E. පෙරේරා මහතා සඳහන් කරයි (තබ්බෝව, මරදන්මඩුව, ඉළුක්වැව තලගස්වැව ආදී ස්ථාන කිහිපයකින්ම හමුවී ඇති අද්භූත ටෙරා කොටා මූර්ති කිසියම් බෞද්ධ නොවන බුදු සමය හඳුන්වාදීමට පෙර හෝ ඇතැම් විට ඉන් පසුවත් තිබූ ඇදහීමක් හෝ අභිචාර ක්‍රමයක් හා සම්බන්ද මූර්ති විය හැකි බවට විද්වතුන් අනුමාණ කරයි.) 

සිය මතය සනාථ කිරීම උදෙසා ඔහු ඉදිරිපත් කරන ප්‍රබලම සාධකය නම් සුත්තනිපාතයේ සුචිලෝම සූත්‍රයේ සඳහන් වන සුචිලෝම යක්ෂයාගේ භවනේ තිබූ ටංකිතමඤෙචා ලෙසින් හැඳිවෙන ගල් ආසනය පිළිබඳව පරමත්ථජෝතිකා නම් වූ එහි අට්ඨකතාවේ එන විවරණයයි. එහි සඳහන් වන්නේ ටංකිතමඤෙචා යනු ගල් සතරක් මත පළල් ගලක් නංවා සකස් කරන ලද ගල් ඇඳක් බවයි. මෙරට හමුවන ආසනඝර සියල්ලකම පාහේ ගල් ආසනය මෙවැනි කෙටි ගල් කණු සතරක් මත තබා තිබේ, නැතහොත් එසේ තිබූ බවට සාධක හමුවේ (මීට අමතරව ආසනය තැබීමට චතුරශ්‍රාකාරව ගඩොල් බැමි බැඳ ඒ තුල පස් පුරවා තිබූ බවට කොක්ඇබේ ආසනඝරය කැනීමේදී පළමුවරට සාධක හමුවී ඇත. වෙනත් ආසනඝර වලද මේ ආකාරයට තිබී පසුව ගඩොල් බැමි විනාශ වූවා හෝ නිදන් හොරුන් විසින් විනාශ කලා විය හැක.) 

යටාල ආසනඝරය නොහොත් බෝධිඝරයට ආසන්නව එයට උතුරු දෙසින් පිහිටා ඇති යටාල දාගැබ. පැහැදිලිවම මෙම ආසනඝරය/බෝධිඝරය යටාල දාගැබද අයත් වන පබ්බත විහාරයේ කොටසක් විය යුතුය.

සමාලෝචනය

දැනට හමුවන නටබුන් විමසා බැලීමේදී මෙම ගල් ආසන සහ ඒ ආශ්‍රීත ආසනඝර ලෙසින් හඳුනාගන්නා කිසියම් ගොඩනැගිල්ලක නටබුන් වේ නම් ඒවා බෝධි වෘක්ෂයක් මූලික කරගනිමින් ගොඩනැගූ ඒවා බව පැහැදිලිය. බුදු පිළිමය හඳුන්වාදීමට පොරොතුව බැතිමතුන්ගේ වැඩි ගෞරවයක් යොමු වූ බුදුන් බුද්ධත්වයට පත්වීමේදි වැඩසිටි වජ්‍රාසනය නිරූපනය කල බෝධි වෘක්ෂය ආශ්‍රිතව තිබූ ගල් ආසනය මතට පසු කාලීනව බුදු පිළිම වැඩම කරවීමත් සමග පිළිමය කෙරෙහි එම ගෞරවය නිරායාසයෙන් යොමුවී කෙමෙන් ගල් ආසනය මල් ආසනයක් බවට පත් වූවා විය හැක. ආසනඝර සංකල්පයත් ඒ අනුව පිළිමඝර බවට විකාශනය වන්නට ඇත. ඇතැම් විට බුදු සමය මෙරටට හඳුන්වාදීමට පෙර මෙවැනි ගල් ආසන ඉන් පෙර මෙරට වැසියන් ඇදහූ ඇදහිලි හා විශ්වාස සමග සම්බන්ධ වූ පූජනීය ස්ථාන වලද තිබුනා විය හැක. නව ආගම වැලඳගත් පසු එවැනි ඇතැම් ඇදහීම් නව ආගමේ සංකල්ප සමග අනුගත වී ඒ තුලට අවශෝෂනය වූවා විය හැක. ඇතැම් විට බොහෝ විට මෙරට සහ වෙනත් රටවල වල සහ සමාජයන් තුල සිදුවූවා සේ නව ආගමේ පූජනීය ස්ථාන පැරණි ආගමේ එවන් තැන් තිබූ තැන් වලම එම පැරණි පූජනීය ගොඩනැගිල්ලේ අවශේෂද එක් කර ගනිමින් ඉදිවූවා විය හැක. උදාහරනයක් ලෙසට පෘතුගීසින් බලහත්කාරයෙන් මෙරටට කතෝලික ආගම හඳුන්වා දෙන්නේ පැරණි බෞද්ධ සහ හින්දු ආගමික මධ්‍යස්ථාන විනාශ කර ඒවායේ තිබූ අමුද්‍රව‍ය උපයෝගි කරගෙන නව දේවස්ථාන ඉදිකිරීමෙනි. ඒ බව ඔවුන්ගේම ක්වේරෝස් වැනි දේවගැතිවරුන් තබා ඇති වාර්තා වල පැහැදිලිවම සඳහන් වේ. පසුව පැමිණෙන ලන්දේසීන් එම දේවස්ථාන විනාශ කර හෝ ඒවා අත්පත්කරගනිමින් සිය ප්‍රොතෙස්තන්ත ආගමේ මධ්‍යස්ථාන බවට ඒවා පත් කර ඇත. නැතහොත් පැරණි ගොඩනැගිල්ලේ අමුද්‍රව්‍ය උපයෝගි කරගනිමින් නව ප්‍රොතෙස්තන්ත දේවස්ථාන ඉදි කරයි. මෑත කාලයේ පවා උතුරු නැගෙනහිර පළාත් වල පැරණි බෞද්ධ නටබුන් තිබූ ස්ථාන විනාශ කරමින් දෙමළ ජාතිවාදීන් සිය හින්දු කෝවිල් ඉදිකිරීම බහුලව සිදු කර ඇති අතර මේ වනතුරුත් සිදු කරමින් සිටී. මෙවන් දේ පෙර නොවූවා විය නොහැක. ඒ සම්බන්ද ඇතැම් තොරතුරු  වංශ කථා වලද හමුවේ. ඒ අනුව යක්ෂ, නාග ගෝත්‍රික ආගමික ස්ථාන වල තිබූ ආසන, වජ්‍රාසනය ලෙසට බෝධි වන්දනාව සිදු කල බෞද්ධ බෝධිඝරයට එක් වූවා යන මතයද එක්වරම බැහැර කල නොහැක. 

මූලාශ්‍ර

  • Samantapasadika, Buddhaghoda's commentary on the Vinaya Pitaka, Edited by J. Takakusu and Makoto Nagai, Vol VI, Pali Text Society, 1947
  • භදන්තාචරියබුද්ධඝොසම්හාථෙරචරවිරචිතා සමන්තපාසාදිකා නාම විනයට්ඨකතා චතුතෙථාභාගෝ, වැලිවිටියෙ පණ්ඩිතසොරතාභිධානෙන, වැලිවිටියේ පෙමරතනතෙථරපාදෙන ච සංසොධිතො, 1948 
  • අත්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්ථවිරපාදයන් විසින් විරචිත සමන්තපාසාදිකා විනයට්ඨකතා (සිංහල පරිවර්තනය), තෙවෙනි කොටස, පරිවර්තනය  රාජකීය පණ්ඩිත අම්බලම්ගොඩ ධම්මකුසල මහානායක මහස්ථවිරයන්වහන්සේ, 2005
  • භදන්තාචරියචොල්ළියකස්සපමහාථෙරවරප්පණීතා විමතිවිනෝදනී නාම සමන්තපාසාදිකාය විනයට්ඨකථාය ටීකා, බේරතුඩුවේ ධම්මාධාර තිස්ස තෙථරෙන, පණ්ඩිත සොමාලෝක තිස්ස තෙථරෙන, තොටගමුවේ පඤ්ඤාමෝලි තිස්සාභිධානෙන, 1935
  • Papancasudani Majjhimanikayattthakatha of Buddhaghosacariya, Edited by I. B. Horner, part IV & V, 1977, Pali Text Society
  • භදන්තාචාරීය බුද්ධඝෝෂ ස්ථවිරපාදයන් විසින් විරචිත පපඤච සූදනී නම් වූ මජ්ක්ධිම නිකායට්ඨ කතා සිව්වෙනි කොටස (සිංහල පරිවර්තනය) , බලපිටියේ සිරි සීවලී හිමි, යාලේගම චන්දකිත්ති හිමි, 2008
  • Manorathapurani, Buddhaghosa's Commentary on the Anguttara-Nikaya, By Max Walleser and Hermann Kopp, Vol 2, Eka-Duka-Tika-Nipata Vannana, 1930, Pali Text Society.
  • අත්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්ථවිරපාදයන් විසින් විරචිත මනෝරථපූරණී නම් වූ අංගුත්තර නිකායට්ඨකථා (සිංහල පරිවර්තනය) , මහාචාර්ය කපිල අභයවංස, 2003
  • අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්ථවිර පාදයන් විසින් විරචිත සමෙමාහ විනොදනී නම් වූ විභංගටඨ කථා අභිධර්ම පිටකය (සිංහල පරිවර්තනය ),  බී. එම්. පී. බාලසූරිය, බුද්ධික විජේසිංහ, 2007
  • Sammoha-Vinodani Abhidhamma-Pitake, Vibhangatthakatha, Edited by A.P. Buddhadatta Thero, 1923, Pali Text Society
  • The Sumangala-Vilasini Buddhaghosa's Commentary on the Digha_Nikaya, Edited By W.Stede From Materials Left Unfinished by T.W. Rhys Davids and J.Estlin Carpenter, Part III (Suttas 21-34), 1971, Pali Text Society.
  • අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්ථවිර පාදයන් විසින් විරචිත සුමංගල විලාසිනී නම් වූ දීඝනිකායටඨ කථා දෙවෙනි කොටස (සිංහල පරිවර්තනය ),  බී. එම්. පී. බාලසූරිය, 2008
  • The Visuddhi-Magga of Buddhaghosa, Edited by C.A.F. Rhys Davids, 1975, Pali Text Society.
  • විස්තරාර්ථ සන්න සහිත විශුද්ධිමාර්ගය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2004
  • The Dipavamsa, An Ancient Buddhist Historical Record.  Hermann Oldenberge, 1879
  • The Deepavamsa, Edited by Dr. B.C. Law, 1959
  • සිංහල අනුවාද සහිත දීපවංස, පොහොද්දරමුල්ලේ ඤාණානන්ද මහා ස්ථවිර, 1927
  • Asanagara, C.E. Godakumbura  IN Paranavitana Felicitation Volume on Art & Architecture and Oriental Studies, 1965
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Asanagara Shrines of Ancient Sri Lanka, who built them, the Buddhists or pre-historic Yakkhas ?, A.D.T.E. Perera, Assistant Editor, Buddhist Encyclopedia. IN Journal of the Sri Lankan Branch of the Royal Asiatic Society, NS, Vol XX, 1976
  • භදන්තාචාරීය බුද්ධඝෝෂ ස්ථවිරපාදයන් විසින් විරචිත පරමත්ථජෝතිකා නම් වූ සුත්තනිපාතට්ඨ කථා (සිංහල පරිවර්තනය), ජේ.ජී. නිමල් ලාල් රංජිත්, පී. එල්. කේ. පෙරේරා, 2008
  • 1962-63 මුදල් වර්ෂ සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, චාල්ස් ගොඩකුඹුරේ, 1964
  • 1964-65 මුදල් වර්ෂ සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, චාල්ස් ගොඩකුඹුරේ, 1967