Friday, January 6, 2023

මාගම කඩොල් ඇතු බැඳි ගලේ අභිරහස


පැරණි මාගම නගරය පැවති ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇති තිස්සමහාරාම ප්‍රදේශයේ ඇතුළු නුවර වටා පිහිටි ප්‍රධාන විහාරාරාම හතරට අයත් ස්තූප අතරින් කුඩාම ස්තූපය ලෙස සැලකෙන්නේ වර්තමානයේ මැණික් දාගැබ ලෙසින් හැඳින්වෙන ස්තූපයයි. එහෙත් එම ස්තූපය පිහිටි විහාරයේ පැරණි නාමය මැණික් වෙහෙරද නැතහොත් වෙනත් නමක්ද යන්න පිළිබඳව නිශ්චිතව කීමට සාධක මෙතෙක් හමු වී නැත. එහෙත් මීට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කල සඳගිරි පරිශ්‍රයේ හමුවන අටපට්ටම් හැඩැති ස්තම්භයක වූ සෙල්ලිපි වලින් එහි පැරණි නාමය සහ එයට වරින් වර විවිධ ප්‍රභූන් පිරිනැමූ ප්‍රදානයන් ගැන වාර්තා කර ඇති පරිදිම මෙම මැණික් ස්තූපය අයත් වෙහෙර හෝ ඒ ආසන්නයේ ඇති යටාල වෙහෙර සම්බන්ධයෙන් හෝ වූ ප්‍රදානයන් වාර්තා කර සෙල්ලිපියක් හෝ කිහිපයක් කොටා ඇති  ස්තම්භයක් මෙම මැණික් වෙහෙරට නුදුරින්ද හමුවේ. ජනප්‍රවාදයේ දැක්වෙන ලෙසට නම් එය දුටුගැමුණු රජුගේ කඩොල් ඇතා බැඳ තිබූ ස්තම්භය වේ.  
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කල හම්බන්තොට දිස්ත්‍රික්කය , සමාජ සංස්කෘතික උරුමය නම් වූ ලිපි සංග්‍රහයකට එම දිස්ත්‍රික්කයේ පැරණි ඓතිහාසික ස්ථාන සම්බන්ධ ලිපියක් සපයන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසන්නේ මෙම අටපට්ටම් ලිපිය කියවාගැනීමට හැකි වුවහොත් මැණික් විහාරය නමින් අද හැඳින්වෙන විහාරය සම්බන්ධ කරුණු රැසක් හෙළිදරවු වනු ඇති බවත්, එහෙත් අවාසනාවකට මෙන් එම සෙල්ලිපිය මේ වනතුරු නිවැරදිව කියවීමට සමත් වී නොමැති බවත්ය. එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පලකල හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන නාමාවලියක සඳහන් වන්නේ පො.ව. 1 -2 සියවස් වලට අයත් වන අපර බ්‍රාහ්මි අක්ෂරයෙන් ලියැවී ඇති මෙම ලිපිය සහිත ටැඹ දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතා බැඳ තැබූ ස්තම්භය ලෙසට ජනප්‍රවාදයේ පැවසෙන බවත් එහි සඳහන් වන්නේ "දේවානම්පියතිස්ස මහ රජුගේ" මුණුපුරු  ගාමිණි අබයගේ පුත් රෝහණික ගාමිණි අභය විසින් බදු වර්ග දෙකක් සහිත ගම විහාරයට පූජා කිරීම පිළිබඳ තොරතුරු බවත්ය. එම තොරතුර ලබාගත්තේ Inscription of Ceylon, Vol II, Part I, 44-45 පිටු වලින් බවත් එහි සඳහන් මුත් එම පිටුවල ඇත්තේ මෙම සෙල්ලිපිය ගැන නොව මීට පෙර ලිපියෙන් කරුණු ඉදිරිපත් කල සඳගිරිය පරිශ්‍රයේ ඇති අටපට්ටම් ටැම් ලිපිය සම්බන්ධ තොරතුරුය (සඳගිරි පරිශ්‍රයේ ඇති අටපට්ටම් හැඩැති ස්තම්භයේ කොටා ඇති සෙල්ලිපි සම්බන්ධ නිවැරදි තොරතුරු සඳහා >>)
මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා 'ඇතාබැඳිගල' ලෙසින් හඳුන්වන මෙම ස්තම්භය ගැන එඩ්වඩ්  මියුලර් උපුටා දක්වමින් පවසන්නේ 7 වන සියවසට අයත් අක්ෂරයෙන් කොටා ඇති මෙම ලිපියෙන් දුටුගැමුණු රජුට අයත් ඇතා මෙහි ගැටගසා තිබූ බව කියැවෙන බව මියුලර් පවසන බවය. එහෙත් අප පහත පෙන්වාදෙන පරිදි මියුලර් එවන්නක් ලිපියේ ඇති බවක් නොපවසන අතර ඔහු පවසන්නේ ඔහුට එහි වචන සහ අකුරු කිහිපයක් පමණක් කියවීමට හැකි වූ බව පමණි.
මැණික් දාගැබ
මේජර් පොර්බ්ස් සිය සංචාරක ඇත්දැකීම් සහිත ඔහුගේ Eleven Years in Ceylon පොතේ  සටහන් කරන්නේ, හෙතෙම  1834 වර්ෂයේදී ඉතා කුඩා ගමක් වූ වීරවිල (Wirawelle) සිට පැරණි මාගම නගරයේ නටබුන් (Ruins of Magam) නැරඹීමට සැතපුම් දෙකක් පමණ පැරණි වැවක පත්ලේ [වීරවිල වැව විය යුතුය] ගැඹුරු ජලය සහ මඩ සහිත මාර්ගයක එරෙමින් ගමන් කර, එක්තරා ස්ථානයකදී කිරිඳි ඔයෙන් (Kerinde-oya) එතෙර වී, එහි වම් ඉවුර දිගේ වූ අවට වගුරෙන් මදක් උස් වූ වැටියක් (Ridge) ඔස්සේ තවත් සැතපුම් 3 ක් පමණ ගමන් කර, ඒ වන විට බිඳී තිබූ තිස්ස වැවේ බැම්ම දිගේ විත් මැණික් දාගැබ, එම වෙහෙර, ගල් කණු 85 ක් සහිත නටබුන් 'මාළිගය' සහ ගල් කණු 48 ක් සහිත නටබුන් වූ 'පෝයගෙය' [Poega (Assembly-hall for priests)] නැරඹූ බවය.  එම නටබුන් ගොඩනැගිලි අතර පරිධිය අඩි 8 ක් සහ උස අඩි 9 ක් වන රජුගේ ඇතා බැඳ තිබූ අටපට්ටම් කුළුණක් වූ බවත්, දම්වැල් නිසා ගැඹුරු ලෙස ගෙවී ගොස් තිබූ එහි වූ අකුරු එම හේතුව නිසාම මැකී ගොස් තිබූ මුත්, 'ශ්‍රී' යන කොටසක් පමණක් පැහැදිලිව කියවීමට හැකි වූ බවත් ඔහු සඳහන් කරයි. එයට 'කඩොල් (ඇතාගේ) කුළුන' [Pillar of Kadol] ලෙස පවසන බවත් පොර්බ්ස් වැඩිදුරටත් පවසයි.
මැණික් හෝ යටාල නමින් අද හැඳින්වෙන පැරණි විහාර දෙකට හෝ ඉන් එකකට අයත්ව තිබූ උපෝසථඝරයේ නටබුන්
 මෙරට සෙල් ලිපි අධ්‍යයනයේ පුරෝගාමියෙකු වන එඩ්වඩ් මියුලර් 'තිස්සමහාරාමයේ ඇතාබැන්දුව' ලෙසින් හඳුන්වන මෙම සෙල් ලිපිය ගැන පවසන්නේ රජුගේ සුදු ඇතා බැඳ තිබූ මෙම කුළුනේ උඩ කොටසේ කැටයම් කල කොටස බිඳී ඇති බවත් පහල තිබෙන අකුරු අර්ධ වශයෙන් පමණක් කියවිය හැකි බවත්ය. ටැම් ලිපියේ එක් පැත්තක 'සිධ' යන වචනය පළමු වචනය ලෙස ඇති බවත් එහි 'ස' අකුර නූතන හැඩය සහිත බවත් ඔහු වැඩි දුරටත් පවසයි. ලිපියේ ඡායාරූපයක් පමණක් ඉදිරිපත් කරන බව ඔහු පවසන මුත් ඔහුගේ සෙල් ලිපි පිළිබඳ ග්‍රන්ථයේ දෙවන වෙළුම ලෙසින් ඇති ඵලක එකතුවේ එවැන්නක් හමු නොවේ. ලිපියේ පිටපතක් හෝ පරිවර්තනයක් ඉදිරිපත් නොකරන බව ඔහු විශේෂයෙන් අවධාරනය කරයි. අක්ෂර රටා අනුව මියුලර් මෙම ලිපිය 5 - 9 සියවස් අතර කාලයට අයත් කරයි. හෙන්රි පාර්කර් මෙම ලිපියේ අකුරු 6 - 7 සියවස් වලට අයත් බව පවසන අතර C.W. නිකලස් සඳහන් කරන්නේ ඒවා 7 - 8 සියවස් වලට අයත් බවය.

මැණික් දාගැබ අසල දැකිය හැකි මුරගලක්

තිස්සමහාරාමයේ ඔහු සිදු කල පුරාවිද්‍යාත්මක ගවේෂණ පිළිබඳව වූ සිය පොතේ 'ඇතාබැන්දුව' ලෙසින්ම මෙම ටැම් ලිපිය හඳුන්වන එවකට වාරිමාර්ග නිලධාරියෙක් වූ හෙන්රි පාර්කර් පවසන්නේ සැලකිය යුතු කාලයක් ඔහු මෙම ලිපිය කියවීමට මිඩංගු කල මුත් එය සාර්ථක නොවූ බවය. එහෙත් එහි සන්දර්භය මෙවැනි සෙල්ලිපි වල සුපුරුදු ලෙස හමුවන කිසියම් ප්‍රදානයක් පිළිබඳව බව ඔහුට පසක් වූ බවත් පවසන හෙතෙම එහි ඔහුට කියවීමට හැකි වූ වචන ඉදිරිපත් කර එහි ඉංග්‍රීසි පරිවර්තනයක්ද සිය ග්‍රන්ථයේ ඇතුලත් කරයි. පැහැදිලි අර්ථයක් ගත නොහැකි එකම දේ පුනරුච්චාරනය කරන ලෙස හැඟෙන එහි පාර්කර් ඉදිරිපත් කරන ඉංග්‍රීසි පරිවර්තනය පහත පරිදිය.

Having permanently established and given over the alms for..

Having given and caused to be appointed the alms for..

having  permanently established and caused to be appointed the alms for

having given and caused to be appointed these (?) continual alms, having given the alms called Maha Ratana...

මෙම ලිපියේ විස්තර වන නටබුන් දැක්වෙන වීඩියෝව>> 

සඳගිරි විහාර පරිශ්‍රයේද දැකිය හැකි පරිදි මෙවන් විශාල ගල් ටැඹක විහාරයේ ආරම්භය සනිටුවන් කිරීමේ සම්ප්‍රදායක් අවම වශයෙන් රුහුණේ මාගම අවට හෝ තිබුණු බවත් කඩොල් ඇතා බැඳි ස්තම්භය ලෙසින් ජනප්‍රවාදයේ හඳුන්වන මෙම මැණික් වෙහෙර අසබඩ පිහිටි ස්තම්භයද දැනට යටාල හෝ මැණික් ලෙසින් හැඳින්වෙන විහාරාරාම දෙකින් එකකට හෝ ඒ දෙකටම හෝ අදාල ( ස්තූප දෙකක් පැවතියද මෙහි තිබී ඇත්තේ එක් විහාරයක් වීමටද ඉඩ නැතිවා නොවේ.) ප්‍රදානයන් සනිටුහන් කල ගල් ටැඹ විනා අන් යමක් නොවන බව පැහැදිලිය. සඳගිරි විහාරයේ සිදුවූවක් මෙන්ම පසු කාලීනව වෙනත් රජවරු සහ අනෙකුත් ප්‍රභූවරුන්ද එම විහාරයට සිදු කල ප්‍රදානයන් මෙහි සටහන් කරන්නට ඇත. එහෙත් ඒ බොහෝමයක් මේ වන විට මැකී ගොස් ඇති අතර ස්තම්භයේ ඇති අකුරු කිහිපයක් පමණක් කියවීමට හැකි මුත් එයින් පැහැදිලි අර්ථයක් ගත නොහැක. කෙසේ නමුත් ඇසින් බලා සෙල්ලිපි කියවනවාට (Eye copy) වඩා ඵලදායි Estampage ගැනීමක් මෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසියම් කලක හෝ සිදු කර ඇත්ද යන්න සොයාගැනීමට නොහැකි වූ අතර බොහෝදුරට පෙනී යන්නේ එවැන්නක් මෙතෙක් සිදු කර නොමැති බවය. 

මැණික් හෝ යටාල නමින් අද හැඳින්වෙන පැරණි විහාර දෙකට හෝ ඉන් එකකට අයත්ව තිබූ උපෝසථඝරයේ නටබුන්

මෙම සෙල්ලිපිය සහිත ටැඹ අසලම ගල් කණු විශාල ගණනකින් යුත් ගොඩනැගිල්ලක අවශේෂ හමුවේ. ඇතමුන් පවසන පරිදි මෙය මාළිගාවක නටබුන් නොවන බව මෙම ස්ථානයේ එවකට මැණික් සහ යටාල යන ස්තූප දෙකම අයත් විහාරයට අධිපතිව සිටි ජිනරතන තෙරුන්වහන්සේ තමන්ට පැවසූ බව පාර්කර් පවසයි. උන්වහන්සේට අනුව මෙය භික්ෂූන් එකතු වන දානශාලාවක් හෝ බණශාලාවක් බවත් 'ඇතාබැඳි කණුව' බොහෝවිට පන්සලට අයත් ඇතා බැඳ තිබූ ස්තම්භය බවත් පවසන පාර්කර් එය බොහෝදුරට පිළිගත හැකි කරුණක් බවද අවධාරනය කරයි. මැණික් ස්තූපයට වඩා ආසන්නව පවතින මුත් විශාලත්වය අතින් ගත් කල මෙය වඩා විශාල වපසරියක විසිරී තිබූ යටාල විහාරයට අයත් උපෝසථඝරය විය හැකි බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි. 

මැණික් දාගැබ අසල දැකිය හැකි කිසියම් කුඩා ගොඩනැගිල්ලක නටබුන් ( භික්ෂු කුටියක නටබුන් විය හැක )
ගල් කණු 70 -80 අතර ප්‍රමාණයක් මෙහි ඇති අතර ඉහත සඳහන් කල පරිදි පොර්බ්ස් ගල් කණු 80 ක් පමණ තිබූ 'මාළිගාව' ලෙසින් හඳුනාගන්නේ මෙම ගොඩනැගිල්ල විය හැක. පොර්බ්ස් ගල් කණු 48 කින් යුත් 'පෝයගෙය' ලෙසින් හඳුන්වන තවත් ගොඩනැගිල්ලක් ඒ හා සමගම මේ අසල තිබූ බව සඳහන් කරන මුත් එවන් විශාල ප්‍රමාණයක ගල් කණු සහිත නටබුන් ගොඩනැගිල්ලක් අද වන විට දකින්නට නොහැක. එහෙත් යටාල සහ මැණික් යන විහාර දෙකටම අයත් භික්ෂු කුටි විය හැකි කුඩා ගොඩනැගිලි කිහිපයකම නටබුන් වලට අයත් ගල් කණු මේ අවට පෞද්ගලික ඉඩම් වල පැවති හෝ පවතින බවට මෙම විහාර දෙක පිළිබඳව වූ පුරාවිද්‍යා ලේඛන වල සඳහන් වන අතර අවම වශයෙන් ඉන් කිහිපයක් හෝ මේ දක්වා පවතින බව නිරීක්ෂණය කල හැක. පොර්බ්ස් සඳහන් කරන ගල් කණු 48 කින් යුත් ගොඩනැගිල්ලක් මෙහි තිබී එය මේ වන විට විනාශ වී ඇත්නම් ඒ බොහෝ විට මැණික් වෙහෙරට අයත් උපෝසථඝරය විය හැක. මෙම ස්තූප දෙකම එකම විහාරයකට අයත් වීම මෙන්ම විහාර දෙකෙහිම භික්ෂූන් එක් උපෝසථඝරයක් භාවිතා කිරීමද විය නොහැක්කක් නොවේ.

මූලාශ්‍ර

  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Ancient Inscriptions in Ceylon collected and published for the government by Dr. Edward Muller, 1883
  • Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka, Prishanta Gunawardhana, 2009
  • Archaeology of Tissamaharama, Henry Parker, 1884 ( Reprint 1998)
  • පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය, හම්බන්තොට දිස්ත්‍රික්කය, පළමු වෙළුම, 2019
  • හම්බන්තොට දිස්ත්‍රික්කය , සමාජ සංස්කෘතික උරුමය, මහාචාර්ය නිමල් ද සිල්වා, 2005
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 

6 comments:

  1. නොගිහිං බැරි හැඩයි මට මාගම පැත්තේ
    යමු යමු කියයි, නිතරම වද දෙන චිත්තේ
    භූෂණ ඔබේ ලිපියක ගැබ්වී ඇත්තේ
    පොතකින් කියන දේවල්! ඒකය තත්තේ

    ReplyDelete
  2. භූෂණ,
    ප්‍රශ්න කීපයක් තියනවා
    1. තාම ඇතා බැඳි කණුවෙ සෙල් ලිපිය තවම කියවාගන්න බැරි වුනේ මොකද? අකුරු ගෙවීම නිසාද? පරණවිතානගෙ අවධානයත් යොමුවුනාද?

    2. ලංකාවෙ තාම කියව ගන්න බැරි සෙල් ලිපි තව මොනවද තියෙන්නේ?
    කණුව ක්ෂයවීම / අකුරු මැකීයාම හැර වෙනත් හේතු තියනවද කියවන්න බැරි වීමට?

    2. ඇතා බැන්ඳයි කියන එක නිකම්ම මිනිස්සු හදා ගත්ත එකක් වෙන්න ඇති. ඇතා බඳින එකක ලිපි කොටන්නෙ නෑනෙ, කොහොමත් ඇතෙක් බඳින්න ඔය වගේ කණුවක් හදන්න ඕනෙත් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක සෙල් ලිපියක් තියන කණුවක් කියල පේන එකක් නම් ඒකෙ ඇතා බැන්ඳයි කියල මිනිස්සු හිතුවෙ මොකද කියන එකයි

    ReplyDelete
    Replies
    1. 1) මේක ඇත්තටම මටත් හරිම උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක්. මට තොරතුරු හම්බුන විදිහට ඒ සඳහා යම් තරමක හෝ උත්සාහයක් දරලා තියෙන්නේ පාර්කර් විතරයි. ඒ කාලේ පැහැදිලිවම දැනට වඩා හොඳට අකුරු පෙනෙන්න තියෙන්න ඇති. ඒත් පාර්කර් කියවාගත් කොටස අනුව ඔහුට උනත් එහි කියවෙන්නේ කුමක්ද යන්න හරියටම පවසන්න පුලුවන් වෙලා නැහැ. ඔහුගේ පොතේ පාර්කර් ඉංග්‍රිසි අකුරින් එහි පෙල දක්වා තිබෙනවා. මා මෙහි ඉදිරිපත් කරලා තියෙන්නේ ඔහු එය ඉංග්‍රීසියට පරිවර්තනය කල කොටස පමණයි. මා එහි සිංහල පරිවර්තනයක් මෙහි ඉදිරිපත් කරන්න වෙහෙසුනේ නැත්තෙත් එම උත්සාහයෙන් වෙන්නේ පාර්කර් ඉදිරිපත් කර මෙහි දක්වා ඇති ඉංග්‍රීසි පරිවර්තනයෙන් ගත හැකි අර්ථයවත් එයින් ගන්නට බැරිවෙයි කියන සැකය නිසා. ඉංග්‍රිසි පරිවර්තනය කියෙව්වම ඔබට උනත් පෙනෙයි මගේ සැකය නිවැරදි බව. පාර්කර් මෙම ලිපිය කියවන්න උත්සහ කරන්නේ ඇසින් බලා. එහෙත් ඊට වඩා සාර්ථක ක්‍රමයක් වන Estampage එකක් ගෙන එය කියවීම සඳහා මේ දක්වා කිසිවෙකු උත්සාහ කල බවක් මට හමුවුනේ නැහැ. පරනවිතාන මහතාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වූ බවක් ද මට සොයා ගැනීමට හැකි උනේ නැහැ. පැහැදිලිවම මෙහි අකුරු අඩුයි. ඒ වගේම පාර්කර් කියවූ කොටසන් පවා කිසියම් අදහසක් ගත නොහැකියි.
      2) අකුරු මැකී යාම නිසා මේ වනවිට කියවීමට නොහැකි වූ සෙල්ලිපි බොහෝමයක් තියෙනවා. ඒ සමහරක ඉස්සර ගත්ත පිටපත් තියෙනවා. තමත් සමහර ඒවාගේ මියුලර් වැන්නන් ඇසින් බලා කියවා ඉදිරිපත් කල පෙල තියෙනවා. අද අපට හරි හෝ වැරදි ඔවුන් ඒ ඉදිරිපත් කල පෙල මත රඳා පවතින්න සිදුවී තියෙනවා. කණුව ක්ෂය වීම අකුරු මැකී යාම වැනි හේතු හැර කියවිය නොහැකි අකුරු තිබීම වැනි හේතු නිසා කියවීමට බැරි සෙල්ලිපි මා දන්නා තරමින් නැහැ. වෙනත් ආකාරයකින් කියනවා නම් මුල් සහ අපර බ්‍රාහ්මි අක්ෂර, එයින් විකාශනය වූ අවධි කිහිපයක් යුත් සිංහල අකුරු, දෙමළ අකුරු, නාගරි හෙවත් ග්‍රන්ථ අක්ෂර සහ මෑත කාලයේදී නම් ඉංග්‍රීසි අකුරු ( හරියමට කියනවා නම් රෝම අක්ෂර ) වලින් ලියැවුණු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සෙල්ලිපි සහ අරාබි භාෂාවෙන් සහ එම අකුරු වලින් ලියැවුණු සෙල්ලිපි කිහිපයක් හැර වෙනත් කියවිය නොහැකි අක්ෂර වලින් ලියැවුණු සෙල්ලිපි හමුවී නැහැ . හැබැයි බ්‍රාහ්මි අක්ෂර වලින් ලියැවුණු සෙල්ලිපි අතර බ්‍රාහ්මි නොවන සංකේත ලෙස හඳුනාගන්නා රූප හමුවෙනවා.

      Delete
    2. 3) පැහැදිලිවම එය කිසි පදනමක් නැති ජන විශ්වාසයක් පමණයි. හැබැයි ඉතින් සෙල්ලිපි සහිත කණු සහ පුවරු පසුකාලීනව වෙනත් දේවල් සඳහා යොදාගෙන නම් තියෙනවා. ඇත්තු බදින්න උනත් යොදාගන්න ඇති. මොකෝ රෙදි අපුල්ලන්න, හරක් බදින්න ( මෙම ඇතුබැඳිගල සෙල්ලිපියට ආවරනයක් ලෙස තනා තියෙන ගොඩනැගිල්ලේ කණු වල නම් මෑතකදි මම මෙතෙන්ට යනවිටත් හරක් බැඳලා තිබ්බා. මන් හිතන්නේ මේ සමග ඇති වීඩියෝවෙත් එය පේනවා ) එහෙම ඒවා යොදාගත්ත අවසථා තියෙනවා. මිහින්තලේ කටු සෑය ලග බහිරව පූජා කරන පිරිස් පොල් ගහන්න යොදාගන්නවා කැටයම් සහිත ගල් පුවරුවක් දැනටත්, මුරුන්කන් රෝහලේ රෝගීන්ට ඉඳගැනීම සඳහා සෙල්ලිපියක් සහිත ගලක් තබා තිබෙන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පලකල ප්‍රකාශනයකම තියෙනවා ( තාම එහෙමම තියෙනවද කියන්න නම් දන්නේ නැහැ ). ඒ හින්දා සමහරවිට මෙවැනි සෙල්ලිපි සහිත කණුවක් ගාව පසුකාලීනව පන්සලක් හැදුනා නම් පන්සලේ ඇතෙක් උන්නා නම් වෙනින් කණු හිටවනවට වඩා මෙවැන්නක් යොදාගැනීමත් පහසුයිනේ ඇතාව බැඳලා තියන්න. කොහොම උනත් ලංකාවේ තියෙන පෞරාණික නටබුන් ස්ථාන වලට මිනිස්සු තමන් දන්න "ජනප්‍රිය ඉතිහාසයේ" එන චරිත ආදේශ කරලා කතා හදන එක ස්වභාවිකයිනේ. මේ ස්ථාන වලට වන්දනා ගමන් යනවිට නඩේ ගුරාල ඒවා හදලා ඔහුගේ නඩේ අයව කුල්මත් කලා වෙන්න පුලුවන්. එහෙම දේවල් ඕනේ තරම් තියෙනවා. අනුරාධපුරේ මට කාලෙකට ඉස්සර පුද්ගලයෙක් පෙන්නුවා බුද්ධදාස රජතුමා වෙදකම් කල නයා සිටි තුඹස, විල්පත්තුවේ තියෙන පබ්බත විහාරයක උපෝසථඝරය අද හඳුන්වන්නේ කුවේනි පැලස් කියලා, ලාහුගල තියෙන රුහුණු මහා විහාරය ලෙස හඳුනාගන්නා පබ්බත විහාරයේ තියෙන බෝධිඝරය කාවන්තිස්ස සහ විහාරමහාදේවි විවාහ වූ පෝරුව වෙලා ඒ විහාරය අද මගුල් මහා විහාරය වෙලා තියෙන්නේ, අනුරාධපුරයේ බටහිරාරාම කියලා කියන පදානඝර කාලයක් හැඳින්වුනේ දුටුගැමුණුගේ මාලිගය කියලා. දශක කිහිපයකට පෙර අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරය අසල තිබෙන රන්මසු උයනේ තිබ්බ සල් ගස් මට පෙන්නපු එහි මුරකරු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පත් කල පුද්ගලයා පැවසුවේ ඒවා සාලිය කුමාරයට අශෝකමාල හමුවන විට අහෝකමාල මල් නෙලමින් සිටි සල් ගස් කියලා ( එහි සිටවා ඇති සහ දැනට ලංකාවේ වගා කරන සල් ලෙසින් හඳුන්වන Couroupita guianensis ගහ දකුණු ඇමරිකාණු සම්භවයක් සහිත ගසක්. එය ලංකාවට 1881 දී පමණ හඳුන්වා දෙන්නේ ඉංග්‍රීසින් - https://biodiversityofsrilanka.blogspot.com/2015/04/salcannon-ball-treecouroupita.html ). ඔයිටත් වඩා හොඳම එක තමා අරිප්පු වල තියෙන ඩොරික් ලෙසින් හැඳින්වෙන ප්‍රෙඩ්‍රික් නොර්ත් ආන්ඩුකාරයගේ කාලේ හදපු දෙමහල් ගොඩනැගිල්ලේ නටබුන් අද එම ප්‍රදේශ වල සිටින් ද්‍රවිඩ ජනයාගේ ජනශ්‍රිතියේ එන අල්ලිරානි නම් රැජිනගේ මාළිගය ලෙස හඳුනාගැනීම. එයට මාර්ගය දක්වන පුවරු වල පවා සඳහන් වන්නේ එලෙස. ඔය වගේ ගොඩක් උදාහරන දෙන්න පුලුවන්. මෑත කාලේ මිනිස්සුන්ව රවට්ටලා මුදල් ගරා ගන්න සහ එවැනි වෙනත් අරමුණු සහිතව රාවන පිස්සන් සහ ජම්බුවන් හදපු කතා වගේ නෙමේ හැබැයි මේවා අහිංසක ගැමියන්ගේ නිර්මාණාත්මක ප්‍රබන්ධ. ඒත් ඇතැම් විද්වතුන් පවා ඒවා ඇත්ත ලෙස ගැනීම සහ ඒවා එලෙසින් සිය ප්‍රකාශන තුල පල කිරීම නම් අවාසනාවන්ත තත්වයක්.

      Delete
    3. ඔබේ අවසාන ප්‍රශ්නයට තව දෙයක් එකතු කරනවා නම් මෙරට බොහෝමයක් පිරිස් තාමත් හිතන්නේ සෙල්ලිපි තියෙන තැන් වල නිධන් තියෙනවා සෙල්ලිපියෙන් කියවෙන්නේ ඒ ගැන කියලා. ඒ අන්ධ විශ්වාසය නිසාම මෙරට සමහර සෙල්ලිපි කුලුගෙඩි පහරවල් සහ ඩයිනමයිට් වලින් විනාශ වෙලා තියෙනවා. ඒ ඇතැම් ඒවා නම් පිටපත් කරලා කියවලා තියෙනවා. ඒත් එහෙමවත් නැතිව කැලෑ වල තිබ්බ සෙල්ලිපි අනන්තවත් විනාශවෙලා ඇති අදටත් වෙනවා. ඒ වගේ මේකේ සෙල්ලිපියක් තියෙන කණුවක් කියලා පෙනි පෙනිත් මිනිස්සු ඇතා බැන්දා කියලා කිව්වා විතරක් නෙමේ ඒ සෙල්ලිපියෙන් කියැවෙන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කඩොල් ඇතා බැඳලා තිබ්බැයි කියන එක කියලත් විශ්වාස කලා. මන් උඩ ලිපියේ කිව්වා වගේ වගේ එහෙම තියෙනවා කියලා මියුලර් කිව්වා කියලා පර්යේෂන නිබන්ධයකත් ලියලා තියෙනවා.

      Delete