Saturday, August 25, 2018

පෙම් යුවලක් නොවන "ඉසුරුමුණියේ පෙම් යුවල"

"හේ සුදුය, ලස්සනට කුමාරයෙකු මෙන් හැඳ පැළඳ සිටි. එහෙත් ඇඳුම ඇඟ පෙණෙන කෙටි පාරුපනයකි (Robe). ශෘංගාරාත්මක භාව ලක්ෂණයන්ගෙන් පිරුණු මුව ඇත්තේ වෙයි. අතෙහි කඩුව ඇත්තේය. දකුණත වරද මුද්‍රාවෙන් යුක්තයි. ප්‍රඥා නැමති ශක්තිය (භාර්යාව) සිනාමුසු මුහුණින් රාගනිශ්‍රිතව පසකින් සිටිනීය."

මංජු ශ්‍රී නම් වූ මහායාන බොධිසත්වයන්ගේ අවතාරයක් වූ "ස්ථිර චක්‍ර" ගෙ හැඩරුව භාරතීය බෞද්ධ ප්‍රතිමා ශිල්පයේ එසේ විස්තර වේ. මෙම ලක්ෂණ සහ අප දැනට "ඉසුරුමුණි පෙම් යුවල" ලෙස හඳුන්වන " ඉසුරුමුණිය" ලෙසින් වරදවා ව්‍යවහාර වන විහාරය අසල පිහිටි කෞතුකාගාරයේ තබා ඇති කැටයමේ ලක්ෂණ සමග බොහෝ දුරට එකඟ වන බව බැලූ බැල්මට පෙනේ. එසේ නම් "ඉසුරුමුණි පෙම් යුවල", මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ "ස්ථිර චක්‍ර" අවතාරයද?

මෙම කැටයමින් නිරූපණය වනුයේ මහායාන අෂ්ට මහා බෝධිසත්වයන්ගෙන් කෙනෙකු වන ඥානයට අධිපති මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ "ස්ථිර චක්‍ර" වේශය බව මහාචාර්ය සෙස්ටියර් (Prof. P.C. Sestieri) මුල් වරට පෙන්වා දී ඇත. පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමිමහාචාර්ය දොහානියන්, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ වැනි වියතුන්ද එම මතය සත්‍ය බව පිළිගනී. සාධනමාලා නම් මහායාන කෘතියේ දැක්වෙන ලෙසට මෙම ස්ථිර චක්‍ර වේශයේ සංකේතය කඩුව වන අතර එය වටා රැස් වලල්ලක් යොදා තිබීමෙන් එම කඩුවෙන් නොහොත් ප්‍රඥාවෙන් විහිදෙන ආලෝකයෙන් අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරන බව හැඟවේ.

එහෙත් මෙම මතය දැඩිව විවේචනය කරන මෙරට මහායාන මූර්ති ශිල්පය පිළිබඳව පර්යේෂණ කල විද්වතෙකු වන මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතා ඉහත සාධනමාලා කෘතියේ දැක්වෙන ලෙසට ස්ථිර චක්‍ර වේශය දරන මංජු ශ්‍රී බෝසතානන් ඔහුගේ එක් අතක කඩුව සහ අනෙක් අතේ 'වරද මුද්‍රාව' දැක්විය යුතු බව පවසයි. එහෙත් ඉසුරුමුණි කැටයමේ වරද මුද්‍රාව එක් අතකින් නොදැක්වෙන අතර කඩුව දැක්වෙන්නේ අනෙක් අතේ නොව උරහිසට පිටුපසින් එහි කොපුව තුල දමා ඇති ලෙසට බවත්, ඒ සමග ඇති රවුම සහ එයින් විහිදෙන ඉරි පලිහක්(Shield) සහ එහි උල් වූ කෙලවරවල් (Pointed edges) බවත් පවසයි.
කඩුව සහ රැස්වලල්ල

මාතලේ දිස්ත්‍රික්කයේ ඇලහැරින් හමු වී ඇති අඟල් 2 ක් පමණ උස 4-5 සියවස් වලට අයත්  මංජු ශ්‍රී බෝධිසත්ව පිළිමයකද එහි දකුණු අතින් කඩුවක් දරා සිටින ආකාරය නිරූපනය වන බවත්, මංජු ශ්‍රී ලෙස හඳුනාගත් බොහෝ පිළිම වල එසේ දැකිය හැකි බවත් ඒ මහතා පවසයි. එහෙත් එවැනි මංජු ශ්‍රී පිලිරූ වල වමතින් 'ප්‍රඥාපාරමිතා' නම් වූ මහායාන ග්‍රන්ථයේ අත් පිටපත් පෙන්විය යුතු බවට ඉහත සාධනමාලා කෘතියේ විස්තර වන මුත්, මෙම ඇලහැර පිලිමයේ වමත එහි වැලමිටින් නමා ඉඟටිය මත තබා ගෙන ඇත. නන්දසේන මුදියන්සේ මහතාට අනුව එය එම පිළිමය මංජු ශ්‍රී ප්‍රතිමාවක් ලෙස හඳුනාගැනීමට බාධාවක් කරගත යුතු නොවේ. තවද බොහෝ මහායාන බෝධිසත්ව ප්‍රතිමා වල හිස් පලඳනාවේ 'ධ්‍යානි බුදු රුවක්' දැකිය හැකි මුත් ඉසුරුමුණි කැටයමේ එවැන්නක් දක්නට නොමැති බව එය මහායාන බෝධිසත්ව රුවක් නොවන බවට වන ඔහුගේ තර්කය තවත් ශක්තිමත් කරමින් මුදියන්සේ මහතා පෙන්වා දෙයි.

මේ අනුව නන්දසේන මුදියන්සේ මහතාගේ නිගමනය 5 වන සියවසට කාල නිර්ණය කල හැකි මෙම කැටයම, ඒ පිළිබඳව වන ජනප්‍රිය මතයම වන පෙම් යුවලක් නිරූපනය කරන කැටයමක්ය යන්නය. කෙසේ නමුත් සාධනමාලා නම් කෘතිය ඊට පසු කාලීන කෘතියක් බවත් එහි ප්‍රතිමා ලක්ෂණ පිළිබඳව විස්තර වන  විකාශනයන් මෙරටට 5 වන සියවස වන විට පැමිණ නොතිබෙන්නට ඇති බවත් ඒ මහතා පවසයි.

පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමියන් පවසන්නේ බොහෝ අවස්ථා වලදී සිංහල නිර්මාණ ශිල්පියා භාරත කැටයම් කලාව අකුරටම අනුගමනය නොකල බවත්, අවස්ථානූකූලව සැලකිය යුතු වෙනස්කම් සිය කැටයම් සහ මූර්ති වල සිදු කල බවත්ය. මේ පිළිබඳව උදාහරන බොහෝ ඇති අතර ඉහත විස්තර වූ ඇලහැරින් හමු වූ මංජු ශ්‍රී ප්‍රතිමාවද එයට එක් නිදසුනක් ලෙස ඉදිරිපත් කල හැක. ඒ අනුව "ඉසුරුමුණි පෙම් යුවලින්ද" මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ ස්ථිර චක්‍ර අවතාරය හෙවත් වේශය සහ ඔහුගේ 'ප්‍රඥා' නමැති 'ශක්තිය' (කාන්තා රූපයෙන්) නිරූපනය වන බවට වන මතය පිළිගැනීමට එවන් සුළු වෙනස් කම් බාධාවක් කර නොගත යුතු බව හැඟේ.

වැලිගලින් නෙලා ඇති මෙම කැටයම ගුප්ත ශෛලයට අනුව නෙලා ඇති බව A.M. හෝකාර්ට්, සෙනරත් පරණවිතාන වැනි වියතුන් පෙන්වා දී ඇත. ඒ අනුව මෙම කැටයම් 5-6 වන සියවස් වලට කාල නිර්ණය කර ඇත. මේ කැටයමින් නිරූපනය වන යුවල පිළිබඳව ඉදිරිපත් වී ඇති වෙනත් මත අතර J.Ph. වෝගල් (J.Ph. Vogel) ඉදිරිපත් කර ඇති යුද සෙබෙලෙකු සිය පෙම්වතිය සමග සිටින කැටයමක්ය යන මතය සඳහා ඔහු පාදක කරගන්නේ පිරිමි රූපයේ පිටුපසින් දැකිය හැකි කඩුව සහ පලිහ වේ. සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කරන සාලිය-අශෝකමාලා යුවල මෙමගින් නිරූපිත බවට වන මතයද මේ වන විටද ජනප්‍රිය මතය වන මුත් එහි එතරම් විදුහුරු බවක් නොපෙනේ. 

මෙමගින් නිරූපිත ලෙස අප මෙම ලිපියේ මුලින්ම සඳහන් කල බොහෝ දුරට පිළිගත හැකි මතය වන මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ ස්ථිර චක්‍ර වේශය නිරූපිත පිලි රූ මෙරටින් පමණක් නොව පැරණි භාරතයෙන්ද සුලභව හමු නොවේ. ඒ අතරින් කල්කටාවේ වහ්ගිය සාහිත්‍ය පරිසද් (Vangiya Sahitya Parisat) නම් ස්ථානයෙන් හමු වී ඇති ප්‍රතිමාව එවැනි ස්ථිර චක්‍ර පිලිරුවක් ලෙස හඳුනාගෙන ඇත ( රූපය >) එහි කඩුව නෙළුම් මලක් මත දක්වා ඇති අතර නෙළුමේ දණ්ඩ බෝධිසත්ව රූපයේ වමතින් දරාගෙන සිටි. දකුණු අතින් වරද මුද්‍රාව දක්වා ඇත. ලලිතාසනයෙන් ඉඳගෙන සිටින ඔහුගේ වම් පසින් ඔහුගේ ශක්ති හෙවත් කාන්තා රූපය දක්වා ඇත. අපගේ ඉසුරුමුණි පෙම් යුවල එම ස්ථිර චක්‍ර නම් වූ මංජු ශ්‍රී බෝධිසත්ව අවතාරය අපටම අනන්‍යය වූ ස්වරූපයකින් දේශිය සිංහල කලාකරුවා ඉදිරිපත් කල ආකාරය විය නොහැකිද? කඩුව වටා තිබෙන වලයාකාර නිරූපනය ඉහත ඉන්දීය පිළිමයේ ආකාරයටම නෙළුම් මලක් මත කඩුව දක්වා ඇති ආකාරය විය නොහැකිද? අතීතයේ බොහෝ විට අපි විවිධ රටවලින් විශේෂයෙන්ම ආසන්න භාරත දේශයෙන් බොහෝ දේ ගත් නමුත්, ඒවා අපටම අනන්‍යය ස්වරූපයක් සහිතව ඉදිරිපත් කල බවට මෙය තවත් එක් උදාහරනයක් නොවන්නේද?

මූලාශ්‍ර
  • The Indian Buddhist Iconography, Mainly based on The Sadhanamala, and Cognate Tantric texts of  Rituals, Bhattacharyya, B. 1958
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Four, Sculpture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959. 
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • අනුරාධපුර නටබුන්, කඹුරුපිටියේ වනරතන හිමි, 1970
  • පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය, නන්දදේව විජේසේකර, 1970
  • Mahayana Monuments in Ceylon, Nandasena Mudiyanse, 1967
  • ඉසුරුමුණිය, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ, 2001


15 comments:

  1. ස්තූතියි.ලබාදුන්න දැනුමට

    ReplyDelete
  2. ඔබ පෙර ලිපියකිනුත් සදහන් කල පරිදි දැනට ඉසුරුමුණිය ලෙසින් හැදින්වෙන්නේ නියම ඉසුරුමුණි වෙහෙර නොවේනම් මේ පිලිමය හමුවූයේ කොතැනින්ද? ඒ පිලිමය ඉසුරුමුණියට සම්බන්ධ කරන්න්නේ කෙසේද? ඉසුරුමුණිය කරවන ලද්දේ කාෂ්‍යප රජු විසින් නිසා එය මහා විහාරයට ප්‍රතිවිරුද්ධ මත දැරූ නිකායකට අයත් විය හැකියි නේද?

    ReplyDelete
    Replies
    1. මෙම කැටයම සහ දැනට එහි කෞතුකාගාරයේ තබා ඇති තවත් එවැනි කැටයම් සියල්ලම හමුවෙලා තියෙන්නේ වර්තමාන ඉසුරුමුණිය ලෙස හැඳින්වෙන ස්ථානයේ ඉදිරිපස වූ පනා බැම්මක තිබී බවයි පැවසෙන්නේ. එම කැටයම් අතර කිසිදු ගැලපීමක් නැහැ විවිධ තේමාවල් තියෙන කැටයම්. එම නිසා පැහැදිලිවම ඒවා වෙනත් ස්ථාන වලින් රැගෙන විත් බොහෝවිට වර්තමාන ඉසුරුමුණි විහාරය ගොඩනැගුන බ්‍රිතාන්‍ය යුගයේ හෝ ඒ ආසන්න කාලයකදි එම බැම්මට සවි කර තිබෙන්නට ඇති බවයි පේන්නේ. එහි මුල් ස්ථානය දැන් සොයාගැනීමට නොහැකියි. ඇතැම්විට මේ ආසන්නයේ තිබෙන රන්මසු උයන හෝ දැනට වෙස්සගිරිය ලෙසින් හැඳින්වෙන නියම ඉස්සරමණ විහාරයේ සිට ගෙන ආවා විය හැකියි. ඉස්සරසමණ විහාරය කරවන්නේ කාශ්‍යප නොවේ ඔහු එය විශාල කල බවයි පැවසෙන්නේ. එම ඉස්සරමණ විහාරය වර්තමානයේ වෙස්සගිරිය ලෙසින් හැඳින්වෙන පෙදෙසයි. දැනට ඉසුරුමුණිය ලෙස හැඳින්වෙන ස්ථානයෙත් කිසියම් ඉදිකිරීම් තිබී තියෙනවා. දැනට එහි ඇති පොකුණේ තිබෙන ඇත් පන්තිය දැක්වෙන කැටයම සහ එයට ඉහලින් ඇති මිනිසා සහ අශ්ව හිස පැරණි නිර්මාණ. ඒ පිළිබඳව විවිධ මත තියෙනවා. ඉදිරියේදි ඒ ගැන කතා කරමු .

      Delete
  3. 5 වෙනි සියවසේ කියද්දි මට හිතුනේ ‍මේ රෑපයත් කාශ්‍යප රජසමයට අයිති නිර්මාණය වෙන්නට බැරිද කියන එකයි?

    ReplyDelete
    Replies
    1. 5-6 වන සියවසට කාල නිර්නය කරන්නේ මේ කැටයමේ ඇති ගුප්ත යුගයේ කැටයම් වල ශෛලය නිසා. මෙම කැටයම තිබූ මුල් ස්ථානය පිළිබඳව නොදැන එය කාල නිර්ණය කිරීමේ වෙනත් ක්‍රමයක් නැහැ. එම යුගයේ සිටි රජ වරුන් අතරින් කාශ්‍යප නම සිගිරිය නිසා ජනප්‍රිය වී ඇති මුත් වෙනත් එවැනි බොහෝ රජවරුන් හුඟක් ඉදිකිරීම් කර තිබෙනවා. සීගිරියේ වුවත් දැකිය හැකි ඇතැම් දේවල් කාශ්‍යපට වඩා පැරණි විය හැකියි. එහි හමුවන ගුහා වල කොටා ඇති පැරණි බ්‍රාහ්මී ලෙන් ලිපි ඊට වඩා පරණයි. කාශ්‍යප ඉස්සරමණ විහාරය විශාල කර එය බෝ උපුල්වන් කසුප්ගිරි විහාරය ලෙසින් නම් කර තිබෙනවා. ඒ වර්තමාන වෙස්සගිරි පෙදෙස. එම නිසා මෙයත් කාශ්‍යප රාජ සමයට අයත් විය හැකියි. ඒත් ඒ බවට සාධක නැහැ

      Delete
  4. ස්ත්‍රී රූපයේ අතේ මුද්‍රාව මොකක්ද?

    මට හිතුනා පැරණි ලංකා මූර්ති කලාවේ මතුකරගත් රූප (relief)වල කලාත්මකබව හා තාක්ෂණය සම්පූර්ණයෙන් නෙලන ලද පිලිම (free-standing or complete statues)වලට වඩා අඩුයි කියල.

    සම්පූර්ණයෙන් නෙලන ලද පිලිම බොහෝමයක් බුදු පිලිම නිසා සමහරවිට තාක්ෂණය හා කලාවට වඩා බලපෑවේ වැදගත්කමද දන්නෙත් නෑ. ඒ කියන්නෙ බුදු පිලිම අනෙකුත් රූපවලට වඩා හොඳින් නෙලුවද කියල.

    Statues හොඳට පේන නිසා වැඩිපුර උත්සාහයක් යෙදුවද දන්නෙත් නෑ කොහොමවෙතත් statues වල කොලිටි එක reliefs / Friezes වලට වඩා උසස් කියල හිතෙනව. (ග්‍රීක්/රෝමන් නම් දෙවර්ගයම වැඩි වෙනසක් නෑ වගේ පේන්නෙ. ඉන්දියාවෙ කොහොමද කියල දන්නෙ නෑ.)

    ReplyDelete
    Replies
    1. Pra එම මුද්‍රාව "විතර්ක මුද්‍රාව" ලෙසයි ලීලානන්ද ප්‍රේමතිලක මහතා හඳුන්වන්නේ. එහෙත් මුදියන්සේ දිසානායක මහතා පවසන්නේ එය "කරන මුද්‍රාව?" ලෙසයි (Karana mudhra ලෙසින් ඔහු ඉංග්‍රිසි අකුරු වලින් සඳහන් කරන මුද්‍රාව පිළිබඳව සඳහන් වන වෙනත් මූලාශ්‍රයක් මට සොයාගන්නට හැකි වූවේ නැහැ.). චන්ද්‍ර වික්‍රමගමගේ මහතා නිශ්චිත නමක් පිළිබඳව නොපවසා එය "කිසියම් මුද්‍රාවක්" ලෙසින් හඳුන්වනවා. ඒ පිළිබඳව නිශ්චිත මතයක් නොමැති බවයි ඒ අනුව පෙනෙන්නේ.

      ඔබේ අදහසට මට එකඟ වන්න අමාරුයි. බුදුරුවගල තිබෙන්නෙත් මතු කරගත් රූප. ඒවාගේ කලාත්මක බව අඩුවක් නැහැ. සුප්‍රකට පොත්ගුල් විහාර පිළිමයත් යම් මට්ටමකට මතු කරගත් රූපයක්. විශ්ෂ්ඨ මුරගල් බොහෝමයක් මතු කරගත් රූප. බුදු පිළිම නොවුනත් මේ බොහෝ පිළිම ආගමික වශයෙන් වැදගත් ඒවා (මුරගල් වගේ දේවල් හැරුන විට. පොත්ගුල් විහාර පිළිමයත් බොහෝ දුරට හින්දු සෘෂිවරයෙක් මිසක් රජ රූපයක් නොවේ ) ඒ නිසා ඒවාට වැදගත් කම අඩු වූව වෙන්න බැහැ. කලාත්මක බව සහ තාක්ෂණික විශිෂ්ඨත්වයට බලපාන්නේ නෙලීම කරන ශිල්පියාගේ හැකියාව. අනෙත් අතට අපිට මේ සමහර මූර්ති දැන් හමුවන්නේ සියවස් ගනණාවක් ස්වභාවික හේතු නිසා ඛාදනයට ලක්වෙලා. ඒවායේ මුල් ස්වරූපය දැනට වඩා හොඳින් තියෙන්න ඇති. නෙලීම කරන ලබන පාෂාණයේ වර්ගයත් එයට බලපානවා.

      Delete
    2. ඔවු වැලිගල් ඉතා ඉක්මණින් ඛාදනයට ලක්වෙනවා.

      Delete
  5. Thanks for an interesting article .

    ReplyDelete
  6. ලබාදෙන දැනුමට බොහොම පින්! රසවත්කමත් අඩු නැහැ.

    ReplyDelete
  7. This is Lord Ravanas Father and Mother.
    In Elahera also we have found the same sculpture of lord waisrawana. { wesamuni ]
    Nalanda Matale Elahera all were Yakka kingdoms and Indrajith, the elder son of Rawana was ruling the area.
    Thats all what I can say now and dont worry the truth will be revealed soon.

    ReplyDelete
    Replies
    1. Don't worry Bushana.. truth will be revealed soon.. We can sleep soundly now...

      Delete