Showing posts with label Bogoda. Show all posts
Showing posts with label Bogoda. Show all posts

Saturday, October 23, 2021

ඩිලාන් ඇදන් වැටුන පාලම සුද්දාට සිදුවූ වැරදීමක්ද?

පසුගිය සතියේ හලාබ පාලම නිරීක්ෂණය කිරීමට ගිය ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා එහි ලෑල්ලක් ගැලවීමෙන් එය මත ඇද වැටෙන වීඩියෝ දර්ශන ගොසිප් සයිට් කිහිපයක පලවීමෙන් පසු එහි කොමන්ට් දැමූ "3% නෙගටිව් කොමන්ට් කාරයන්ගේ" අදහස් දැකීමෙන් පසු තැනූ අවදිය හෝ එහි අරමුණ පිළිබඳව ස්ථිර නිගමනයකට ඒමට කරුණු ප්‍රමාණවත් නොවීම නිසා කිහිප වරක්ම කල් දමමින් සිටි හලාබ පාලම පිළිබඳව යමක් ලිවීමට සිත්විය. 

සුපුරුදු පරිදි 225 න් එකෙක් නැතිවෙන්න ගිය අවස්ථාව අහිමිවීම පිළිබඳව වැලපීම් වලට (මේ නෙගටිව් කොමන්ට් කාරයන් සිතන්නේ රටේ සියළුම ගැටළු වලට මුල මේ 225 බැවින් ඔවුන් නැතිවූ පසු සියල්ල හරියන බවය.)  අමතරව ඒවායේ තිබුනේ ගම් වල වෙසෙන ජනතාව සිය අවශ්‍යතා සඳහා ගමන් කරන මෙවැනි පාලම් ඇති බව නගර වලට වී සුර සැප විදින පාලකයන් මේ සිද්දියෙන්වත් තේරුම් ගත යුතු බවය (හැබැයි ගමක පාරක්, පාලමක් හදන්න යන විට පට්ටපල් බොරු සමාජ ගත කරමින් ඒවාට එරෙහි වන්නේද සමාජයේ වෙසෙන මේ 3% මය. හොඳම උදාහරණය ලංකාගමට යෑමට දශක ගණනාවක්ම එහි ගැමියන් සහ සංචාරකයන් භාවිතා කල මාර්ගයම පිලිසකර කිරීමට උත්සාහ කල අවස්ථාවේ සිංහරාජ වනාන්තරය මැද්දෙන් පාරක් කපනවායැයි පට්ටපල් බොරු කියමින් එය ජාතික ප්‍රශ්නයක් කිරීමය. සිද්දිය තවත් හිට් කරන්නට සිතූ එක් පරිසර ප්‍රශ්න විකුණා ගතමනාව සොයාගන්නා NGO කාරයෙකු පැවසුවේ ඒ පාර කපන්නේ සිංහරාජය මැද තිබෙන නාමල්ගේ හෝටලයට යන්න බවය. අද වෙනකොට පාර පිළිසකර කර අවසානය. සිංහාරජ වනාන්තරයේ එක් ගසක් හෝ බිම හෙලා නැත. නාමල්ගේ හෝටලය ඇති තැන ඔහුවත් දන්නා බවක් නොපෙනේ. නෙගටිව් කොමන්ට් කාරයන් සහ ඔවුන් කඩේ යන පජාත දේශපාලනය එවැනිය.)

 කෙසේ නමුත් මන්ත්‍රීවරයා ඇදන් වැටුන හලාබ පාලම අපට මෙහිදී වැදගත් වන්නේ එය මේ 3% සෙට් එක කියන ආකාරයේ ජනතාව භාවිතා කරන පාලමක් නොවීම නිසාය. පාලමේ දෙකෙලවර හා සම්බන්ධ වන පාරක් කිසිදා තිබී නැති බව පැවසේ. එසේම අදද මේ පාලම බැලීමට යෑම උදෙසා ඇති අඩි පාර විනා අවම වශයෙන් යතුරිපැදියකටවත් පහසුවෙන් යා හැකි පාරක් එහි දෙපසින් නොමැත.

හලාබ පාලමේ එක් පසක සිට ඇති කුඩා අඩි පාර

නමුත් පාලම දෙපසින් අඩි 10 ක් පළල්වද මැද කොටස අඩි 8 ක් පළලටද තනා ඇති බව පැවසේ. දිග අඩි 372 ක්ය.  බදුල්ල දිස්ත්‍රික්කයේ හලාබ ග්‍රාමයේදී උමා ඔය හරහා ඉදිකර ඇති මෙම පාලම උමා ඔයේ පලල්ම ස්ථානයක් හරහාද ඉදිකර තිබීම විශේෂත්වයකි (මෙම ස්ථානයේදී ගඟේ පලල අඩි 300 ක් පමණද ගැඹුර අඩි 25-40 ක් පමණද වන බව පැවසේ.) පාලම තනා අත්තේ උමා ඔයේ සිට අඩි 100 පමණ උසින්ය. පාලමේ ඉහල ඇති පුවරුවක එය 1919 දී තැනූ බව සටහන් කර ඇති බව පැවසේ. [සැ.යු. ඉහත දත්ත සියල්ල අන්තර්ජාලයෙන් (Link >> )ලබාගත් ඒවා වන අතර කිසිදු පිළිගත් මූලාශ්‍රයකින් තහවුරු කරගත් ඒවා නොවේ. එහෙත් තැනූ වර්ෂය ගැන දැක්වෙන පුවරුව හැර අනෙක් මිණුම් අඩු වැඩි වශයෙන් නිවැරදි බව එම පාලමේ කල නිරීක්ෂණ වලින් තහවුරු විය. වර්ෂය සඳහන් පුවරුව අප හට සොයාගැනීමට නොහැකිවිය. එය ඇත්තේ පාලමේ උඩින් නම් එයට ලගාවීම පහසු නොවේ.] 

මෙවැනි හේතූන් නිසා කිසියම් අභිරහස් පාලමක් ලෙසට මෙය දකින ගැමියා ඒ වටා විවිධ කතන්දර ගෙතීමද ස්වභාවිකය. එවන් එක් කතාවකින් කියැවෙනුයේ මෙය හලාවත කිසියම් ගඟක් හරහා තැනීමට සැලසුම් කල එකක් බවත්, හලාබ, හලාවත සමග පටලා ගත් සුද්දන් මෙය හලාබ ගමේ උමා ඔය හරහා ඉදි කල බවත්ය.

මේ පාලමේ පිහිටීම පිළිබඳව තවත් එක් වැදගත් කරුණක් වන්නේ එය පිහිටා ඇත්තේ සුප්‍රසිද්ද බෝගෝඩ ලී පාලම ආසන්නයේ වීමය. බෝගොඩ ලී පාලම තනා ඇත්තේ පැරණි මහනුවර - බදුල්ල මාර්ගයේ ගල්ලන්දා ඔය හරහාය (ගල්ලන්දා ඔය ආසන්න ස්ථානයකදී උමා ඔය හා එක්වන එහි අතු ගංගාවකි.) මෙයට පෙර අවස්ථාවකදී ලිපි කිහිපයක් මගින් මා එම පැරණි මහනුවර- බදුල්ල මාර්ගය පිළිබඳව කරුණු ඉදිරිපත් කර එහි ගමන් මාර්ගය පිළිබඳව අනුමාන කිරීමක් සිදු කර ඇත. එම ලිපි කියවීමට >>

මග සලකුණ නම් පැරණි කවි පොතට අනුව එම අනුමාන මාර්ගය බෝගොඩ පාලමෙන් එතෙර වීමෙන් පසු යොමු වන්නේ උමා ඔයෙන් එතෙර වීමටය. එම එතෙරවන ස්ථානය සලාතොට ලෙසින් එහි සඳහන් වේ. එය පැහැදිලිවම තොටුපලකි. 

බෝගොඩ පැරණි දැව පාලම, හලාබ යකඩ පාලම සහ උපකල්පිත පැරණි බදුල්ල-මහනුවර මාර්ගය වැටී තිබූ ආකාරය

කලාවටින් පිරිසිඳ වත යුගැස පෙටින්

පිලාසැටින් රනහස දෙතන බැඳ පටින්

කලාවිටින්  විට දිය කෙළිනෑවිත් වටින් 

සලාතොටින් යා කර සබඳ සිත තුටින්

උමා ඔය මැද පිහිටි ගල් පරයක් මත තනා ඇති පාලමේ අධාරක කණුව

වැදගත්ම කරුණ වන්නේ සලාතොට ලෙසින් සිතියම් ආශ්‍රයෙන් ඉහත දෙවන ලිපියෙන් මා අනුමාන කල ස්ථානය මේ හලාබ පාලමට ඉතාම ආසන්නයේ එයට තරමක් ගඟ පහලට වන්නට පිහිටා තිබීමය. ඒ අනුව සලාතොට වර්තමාන හලාබ පාලම පිහිටි ස්ථානයම ලෙසින් හෝ ඒ ආසන්න ස්ථානයක් ලෙසින් වුව සැලකීම නිවැරදි බව පෙනේ. මේ කරුණු අනුව හලාවතට ගෙන යෑමට තිබූ පාලම හලාබට නොහොත් සලාතොටට ගෙනා බවට වූ ජනප්‍රවාදයේද යමක් ඇති බව පෙනේ. හලාබ යන්නද සලාතොට යන්නේ විකාශනයක් බව පෙනේ. එහෙත් මා සැක කරන්නේ මේ පාලම ඉංග්‍රීසින් සැබවින්ම මේ සලාතොට සවි කිරීමටම ගෙනාවක් බවත්, එය කිසිසේත්ම ඔවුන්ට සිදුවූ වැරදීමක් නොවන බවත්ය. එසේ නම් ඒ කුමන හේතුවක් නිසාද? හලාබ පාලම මේ ස්ථානයේ සවි කිරීමෙන් ඔවුන් උනන්දු වූවේ පැරණි මහනුවර - බදුල්ල මාර්ගය පලල් කර ඒ වන විට බදුල්ල ආශ්‍රිත වතු වල නිෂ්පාදන ප්‍රවාහනය උදෙසා පහසු ගමන් මාර්ගයක් සකසා ගැනීමද? පසුව එම අදහස කිසියම් හේතුවක් නිසා අතහැර දැමුවාද?











Sunday, February 17, 2019

පරුමක තිශ පුත බමදත, සිව් දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට, උමා ඔය නිම්නයේ බෝගොඩදි පිදූ ලෙන

මලය රට හෙවත් මලය දේශය යනුවෙන් හැඳින්වූ පැරණි ප්‍රදේශය පිළිබඳව මෙයට පෙරද පලවූ ලිපි දෙකකින් කරුණු ඉදිරිපත් කර ඇත.
පර්වත දුර්ග සහිත සහ චණ්ඩ සත්වයන් ගැවසෙන, අන්‍ය මනුෂ්‍යයන්ගේ සංචාර රහිත වූ එක පදික මාර්ගයකින් (අඩි පාරවල් වලින්) යායුතු වූ, ගැඹුරු ජලයෙන් යුතු මලය දේශය පිළිබඳව එම ලිපි වල උපුටා දැක්වූ කරුණු වලට අමතරව තවත් විශේෂ සඳහනක් පාළි විනය පිටකයට බුද්ධඝෝෂ හිමියන් විසින් මහානාම රජුගේ (ක්‍රි.ව. 406-428) රාජ්‍ය කාලයේ කල ලෙස සැලකෙන සමන්තපාසාදිකා නම් අටුවා ග්‍රන්ථයේ දැක්වේ. පාලි විනය පිටකයේ දැක්වෙන්නේ 'ගාම' යනුවෙන් හැඳින්වෙන්නේ 'කුටි' එකකින් හෝ දෙකකින් හෝ තුන හතරකින් හෝ සමන්විත වූ ප්‍රදේශයක් බවය. එවකට ලියැවී තිබූ හෙළ අටුවා අනුසාරයෙන් බුද්ධඝෝෂ හිමියන් විසින් පෙල බසින් සම්පාදනය කරන සමන්තපාසාදිකාවේ මෙම සඳහන විවරණය කරමින් මෙහි
'කුටි' ලෙසින් හැඳින්වෙන්නේ 'ගෙහ' (සිං: ගෙය) බවත් 'එක් ගෙයකින් පමණක් සමන්විත වූ ගම් මලය ජනපදයේ ඇති බවත්' පවසයි.
සෙල්ලිපිය සහිත ලෙන සහ ඒ තුල ඉදිකර ඇති විහාරගෙය
ඒ අනුව මලය ජනපදය එම යුගය වන විටත් අඩු ජන ඝනත්වයක් සහිත ගම් වලින් යුක්ත වූ බව පෙනේ. එම ගම් පවා එකිනෙක අතර බොහෝ දුරස්ථ ලෙසින් පිහිටා තිබෙන්නට ඇත. පුරාතණ සහ මධ්‍යතන යුගයන් වලට අදාලව මෙරට හමුවන බොහෝ නටබුන් ගොඩනැගිලි හමුවන්නේ පැරණි රජරට සහ රුහුණු රට ලෙස සැලකෙන වියලි තැනිබිම් වලින් විනා කඳුකර ප්‍රදේශ වලින් නොවීම මෙම අදහස තව දුරටත් තහවුරු කිරීම සඳහා සාධක ලෙස ඉදිරිපත් කල හැක. කෙසේ නමුත් මලය රටට අයත් ප්‍රදේශ වල මුල් ඓතිහාසික යුගයේ පටන්ම ජනාවාස තිබූ බවට තොරතුරු මධ්‍ය කඳුකරයට අයත් ප්‍රදේශ වල අතරින් පතර හමුවන කටාරම් කෙටූ ලෙන් වලින් සහ ඒවායෙහි කොටා ඇති මුල් බ්‍රාහ්මී (Early Brahmi Inscriptions) හෝ අපර බ්‍රාහ්මී (Late Brahmi Inscriptions) ලෙන් ලිපි වලින් විද්‍යාමානවේ. බොහෝවිට ගංගා නිම්න හෝ ඒවායේ අතු ගංගා ආශ්‍රිතව හමුවන සාපේක්ෂව තැනිතලා සරුසාර භූමිය මෙම මුල් ජානපදිකයන්ට වාසස්ථාන මෙන්ම ගොවිතැන් කටයුතු උදෙසා අවශ්‍ය පහසුකම් වලින් යුක්ත වූ බව පෙනේ. මහවැලි ගඟට එක්වන අතු ගංගාවක් වන උමා ඔය නිම්නයේ පිහිටි එවන් ලෙන් ලිපියක් ගැන විස්තර ඉදිරිපත් කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් මෙම ලිපියෙන් අවධානය යොමුවේ.
ගල්ලන්දා ඔය සහ බෝගොඩ පැරණි ලී පාලම
සුප්‍රසිද්ධ බෝගොඩ පාලම මෙරට බොහෝ දෙනෙකු සංචාරය කර ඇති හෝ අවම වශයෙන් අසා ඇති තැනක් මුත් එම සංචාරකයන්ගෙන් බහුතරය අසල ඇති ලෙන් විහාරයේ කටාරමට පහලින් කොටා ඇති ලිපිය කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකරයි. මෙරට ලෙන් විහාර සියල්ලකම පාහේ පැතිර ඇති, නැතිනම් පතුරවා ඇති වළගම්බා රජු සැඟවී සිටි තවත් එක් ලෙනක් යන ජනකාන්ත මිත්‍යාව පවසන විහාරවාසී භික්ෂූන්වහන්සේ නමකගේ හෝ මාර්ගෝපදේශකයෙකුගේ යාන්හෑලි එයට වඩා ඔවුන්ට ආකර්ෂණීය වන්නා සේය. ඇතැම් විට වළගම්බා රජු මෙම ලෙනේ සිට බණ්ඩාරවෙල- බදුල්ල පාරේ හමුවන දෝව රජමහාවිහාරය දක්වා ගමන් කල උමගේ කටද ඔවුන් ඔබට පෙන්වනු ඇත. එහි අනෙක් කොන එම දෝව රජමහාවිහාරයේදී අසා බලා ගත හැක.

බෝගොඩ ලෙන් ලිපිය
පරුමක තිශ පුත බමදතශ ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ පඩිටිතෙ

මෙහි අර්ථය වනුයේ පරුමකවරයෙකු (එනම් ප්‍රධානියෙකු) වූ තිශ (පාලි: තිස්ස) ගේ පුතු වූ බමදතගේ ( පාලි: බ්‍රහ්මදත්ත) ලෙන එනම් ඔහුට අයත්ව තිබූ ලෙන සිව් දෙසින් පැමිණි සහ නොපැමිණි සංඝයාට පිහිටවූ බවයි.

ඉහත ලිපියට පහලින් තවත් ලිපියක මුල් කොටස පමණක් දැකගත හැකි අතර එහි උපසික (එනම් උපාසිකා) යන වචනය පමණක් කියැවිය හැක.
ලෙන් ලිපිය
බ්‍රාහ්මි අක්ෂර
භාරතයේ විවිධ ප්‍රදේශ වලින් හමුවන අශෝක අධිරාජ්‍යාගේ ආඥා ලියාතැබූ සෙල්ලිපි වල භාවිතා වන අක්ෂර මාලාව පුරාවිද්‍යාඥයන් විසින් 'බ්‍රාහ්මි අක්ෂර' ලෙසින් හඳුන්වයි. එම හැඳින්වීම 3 වන ශතවර්ෂයේ පමණ රචිත ලෙස සැලකෙන ලලිතවිස්තර නම් වූ ග්‍රන්ථයක එන විවිධ ආකාරයේ වූ අක්ෂර මාලා පිළිබඳ හැඳින්වීමක දැක්වෙන වචනයක් ආශ්‍රයෙන් ඔවුන් භාවිතයට ගෙන ඇතත්, එම අකුරු භාවිතා වූ ලෙස සැලකෙන ක්‍රි.පූ 3 වන ශතවර්ෂයේ සිට 3 වන සියවස දක්වා වූ මුළු කාලය පුරාම 'බ්‍රාහ්මි අක්ෂර' යන හැඳින්වීම ඒවාට යොදාගත්තේද යන්න පැහැදිලි නැත.
බෝගොඩ අසල උමා ඔය නිම්නයේ හෙල්මලු වී වගාව
මෙරටට 'බ්‍රාහ්මි අක්ෂර' හඳුන්වාදීම මහින්දාගමනයත් සමග බෞද්ධාගම මෙරට පැමිණීමත් සමග සිදුවූ ලෙස පොදු පිළිගැනීම වුවත් එයට පෙර සිටම එම අක්ෂර මෙරට භාවිතා වූ බවට සාධක මෑත කාලයේදී ආචාර්ය සිරාන් දැරණියගල, මහාචාර්ය රාජ් සෝමදේව වැනි පුරාවිද්‍යාඥයන්ගේ පර්යේෂණ තුලින් හමුවී ඇත. කෙසේ නමුත් අපගේ ප්‍රස්තුතයට අදාල සෙල්ලිපිය පැහැදිලිවම බුද්ධාගම මෙරටට හඳුන්වාදීමට පසුව පිහිටවූ බවට එහි අන්තර්ගතය අනුව වටහා ගත හැක. අඩු වැඩි වශයෙන් මෙම යුගයට අයත් බොහෝ ලෙන් ලිපි වල මෙම වචනම උපයෝගි කරගනිමින් කිසියම් පුද්ගලයෙකු සතුව පැවති ලෙනක් සඟ සතු කල බව යන කෙටි සදහන පමණක් හමුවේ. මෙහිදි එම පැවරීම එක් විශේෂිත සංඝයා වහන්සේ කෙනෙකුට නොව සතර දෙසින් පැමිණි සහ නොපැමිණි (එනම් අනාගතයේදී පැමිණීමට ඉඩ ඇති) සංඝයා වහන්සේ වෙත පවරා ඇත. වෙනත් ලෙසකින් පැවසුවහොත් එම පැවරීම සිදු කර ඇත්තේ සංඝ සමාජයට විනා එක් සුවිශේෂි තෙර නමකට නොවේ.
බෝගොඩ අසලදී උමා ඔය
 ඒ අනුව මෙම ප්‍රදේශයේ ක්‍රි.පූ. 3 වන සියවසත් 1 වන සියවසත් අතර කාලයේ පවා ජනාවාස පැවති බවත් ප්‍රභූ සමාජයේ පරුමකවරුන්ට අයත් ලෙන් බුදු සමය පැමිණීමත් සමග භික්ෂුන් වහන්සේගේ වාසය සඳහා පවරා දීම් සිදු වූ බවටත් පැහැදිලි වේ. උමා ඔයට ගලා බසින ගල්ලන්දා ඔය ලෙසින් අද හඳුන්වන ඔය ඉවුරේ ඇති මෙම ලෙන තුල දැනට මහනුවර යුගයේ හෝ ඉන්මෑත යුගයේ ඉදි කල විහාරගෙයක් ඇති අතර ගල්ලන්දා ඔයෙන් එතෙර වීමට තනා ඇති බෝගොඩ පාලමද මහනුවර යුගයේ සිදු කල ඉදිකිරීමක් බව විශ්වාස කරයි. එම පාලම වැටී ඇත්තේ පැරණි බදුල්ල- මහනුවර මාර්ගය ඔස්සේ බවට මෙයට පෙර ලිපියකදී කරුණු ඉදිරිපත් කර ඇත (එම ලිපිය කියවීමට Link>>)

මූලාශ්‍ර
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • පාලි සාහිත්‍යය, පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නායක ස්ථවිර, 1966
  • පෞරාණික ස්ථාන සහ ස්මාරක. බදුල්ල දිස්ත්‍රික්කය, නිලන්තිකා ප්‍රියදර්ශනී, ප්‍රියන්ගා ප්‍රියදර්ශනී, 2017
  • Social And Cultural History of Ancient Sri Lanka, S.B. Hettiaratchi, 1988

Friday, June 2, 2017

මග සලකුණ පාර කියන බදුලු මගියාගේ සෙන්කඩගල වන්දනාව

බදුල්ල සේනානායක උද්‍යානයේ පැරණි ඡායාරූපක් - උපුටා ගැනීම https://amazinguva.wordpress.com
මග සලකුණ නම් වූ පැරණි කාව්‍යයක එන තොරතුරු අනුව බදුල්ලේ සිට මහනුවර දක්වා වූ පැරණි මාර්ගයක තොරතුරු සොයා යන මෙම ලිපි පෙලේ පළමුවැන්න අප මෙයට පෙර ඉදිරිපත් කලෙමු (කියවන්න - මග සලකුණ ඔස්සේ බදුලු පුරයේ සිට සෙන්කඩගලට). එහෙත් පසුව හෙළිවූ තොරතුරු අනුව එහි අප ඉදිරිපත් කල මාර්ගයේ යම් කිසි වෙනසක් සිදු කල යුතු බව පෙනේ.
අලුගොල්ල මංසන්දිය - Google Street View ඇසුරින්
බදුලු පුරවරයේ සිට අලුත්වෙලින් පසු කැටවල දක්වා මග සලකුණ ඉදිරිපත් කරන ස්ථාන නාම හඳුනාගැනීමට නොහැකි බව අප පැවසූ මුත් මෙට්‍රික් සිතියම් වල නොමැති එහෙත් Google Map වල ලකුණු කර ඇති ස්ථාන දෙකක් අනුසාරයෙන් අප සිතූ පරිදි කැටවල දක්වා වූ මාර්ගය වැටී ඇත්තේ හාළිඇල හරහා නොව අලුත්වෙල සිට තව දුරටත් උතුරට ගොස් කඳු දුර්ගය මග හැර අලුගොල්ල සහ කොහොවිලකඳුර හරහා යන මාර්ගයක බව පෙනේ. මෙම ස්ථාන දෙක පිළිවෙලින්  අලුගොල්ලේ බැවුල සහ කොහොල්විලේ කඳුර ලෙසින් මග සලකුණ කවියා ඉදිරිපත් කරයි. මෙ අනුව අලුත්වෙලින් පසුව හමුවන මහගල්කඩ, අලුත්වෙල සිට අලුගොල්ල දක්වා ශ්‍රීඝ‍්‍ර නැග්මකින් යුත් දුර්ගය හෝ එහි කිසියම් ස්ථානයක් ලෙසට හඳුනාගත හැක.
කොහොල්විලේ කඳුරෙන් පසු හමුවන ස්ථානයක් ලෙසින් මග සලකුණ දක්වන කහටගහරුප්පේ, කහටරුප්ප ලෙසින් නම් වෙනස් වී අදද ඇති බව මෙහි පළමු ලිපියේ අදහස් පල කර මහත්මයෙකු පැවසූ මුත්, එම කහටරුප්ප බදුල්ල නගරයට ඊසාන දෙසින් වන පෙදෙසක් වන බැවින් අපගේ ගමන් මගට අදාල කර ගත නොහැක (මෙට්‍රික් සිතියම් හෝ Google Map වල නොමැති වුවද අපගේ ගමන් මාර්ගයේද එම නම ඇති ස්ථානයක් දැනටද තිබෙනවා විය හැක.)
කැටවල මංසන්දිය - Google Street View ඇසුරින්
කොහොවිල කඳුරේ සිට කැටවල දක්වා වූ මාර්ගය සිතියමේ ලකුණු කර ඇති පරිදි වර්තමාන අලුගොල්ල - කන්දේගෙදර මාර්ගයේ ගොස් කන්දේගෙදර හන්දියෙන් හැරී කන්දේගෙදර - කැටවල මාර්ගය ඔස්සේ වැටී තිබුනා විය හැක. එසේ නොවන්නේ නම් තරමක් දුෂ්කර කඳු පන්ති මතින් යන මාර්ගයක් වූවා වීමටද ඉඩ ඇත. දැනටද තේ වතු මැදින් වැටී ඇති එවැනි මාර්ග ප්‍රදේශයේ ඇති මුත් ඒවා පැරණි මාර්ග වලට වඩා තේ වතු වල ගමනාගමනය උදෙසා පසුව තැනූ ඒවා බව පෙනේ. 
අද පවතින කන්දේගෙදර හරහා අලුගොල්ලේ සිට කැටවලට මාර්ගය කළු පාටින්ද
 වෙනත් විකල්ප මාර්ග විය හැකි මං පෙත් කොළ පාටින්ද ලකුණු කර ඇත.
බෝගොඩ
නොමින පහඟ රැඳි රන්කොත් රැසිනි තිර
දිලෙන වෙනස නොවැ දිව රෑ එක අයුර
දකුණ සුසැදි සිරිසර බෝගොඩ වෙහෙර
තොසින නැමැද යව ලබනට සැප අමර

මග සලකුණ මාර්ග විස්තරයට අනුව කැටවලින් පසුව මිලිලගස්රුප්පේ පසුකර පිවිසෙන්නේ බෝගොඩ වෙහෙරටය. මිලිලගස්රුප්පේ හඳුනාගැනීමට නොහැකි වුවද බෝගොඩ වෙහෙර හඳුනා ගත හැක. බෝගොඩ රජමහ වෙහෙර සහ ඒ අසල ඇති ගල්ලන්ද ඔය හරහා නිර්මිත සුප්‍රකට පැරණි බෝගොඩ ලී පාලම අදටද මෙම ස්ථානයේ ඉපැරණි බවට දෙස් දෙයි. මෙම ලී පාලම බදුල්ල - මහනුවර පැරණි මාර්ගයේ ඉදි කර ඇති බවට වන ප්‍රදේශයේ සුපතල ජනප්‍රවාදය මේ අනුව නිවැරදි බව පෙනේ. කැටවල සිට බෝගොඩ දක්වා වූ මාර්ගය වර්තමාන කැටවල - කන්දෙකැටිය මාර්ගය ඔස්සේ ගොස් බෝගොඩ රජමහ විහාරය දක්වා වැටී ඇති අතුරු පාර ඔස්සේ තිබුණා විය හැක. 
බෝගොඩ පාලම
කෙසේ නමුත් මෙහිදි සලකා බැලුය යුතු එක් වැදගත් කාරණයක් වන්නේ අප මුලින් උපකල්පනය කල පරිදි අලුගොල්ලේ සිට කැටවල දක්වා වූ මාර්ගය කන්දේගෙදර දෙසට ගොස් නැවත කැටවල දෙසට එන මාර්ගය විය හැකිද යන්නය . මක් නිසාද යත් කන්දෙගෙදර සිට කැටවලට නොපැමිණ බෝගොඩ දක්වා පහසුවෙන් ලගා විය හැකි බැවිනි (සිතියම බලන්න). ඒ අනුව අප ඉහත සඳහන් කල එක් විකල්ප මාරගයක් අලුගොල්ලේ සිට කැටවල දක්වා වූ පැරණි මාර්ගය වීමට වැඩි සම්භාවිතාවයක් ඇත.
අලුගොල්ලේ සිට බෝගොඩ දක්වා මාර්ගය කළු පාටින් ලකුණු කර ඇත. කන්දේගෙදර සිට බෝගොඩට පහසුවෙන් ලගාවිය හැකි රතු පාටින් ලකුණු කර ඇති මාර්ගය කැටවල හරහා නොයන බැවින් අලුගොල්ලේ සිට කැටවලට පැරණි මාර්ගය කන්දේගෙදර හරහා නොගිය බව පෙනේ.

බෝගොඩින් පසු මගියාට උමා ඔය හමුවේ. උමා ඔය පිළිබඳව කරන වර්ණනාවකින් පසුව සලාතොට නම් වූ ස්ථානයකින් යන ලෙස පවසයි. බොහෝ විට එය උමා ඔය හරහා එගොඩ වීමට තිබූ තොටුපලක් වූ බව හැඟේ. ඉන්පසු දඹරුප්පේ සිට ගිමන් හරින ලෙස පවසා ඔය අසල වූ ඇතුන් බඳින ඇත්සල නරඹන ලෙසද පවසයි. ඉන්පසු විස්තර වන්නේ තුප්පිටියේ උයන නම් වූ ස්ථානයක් පිළිබඳවය. බෝගොඩ සිට උමා ඔය තරණය කල විට හමුවන තුප්පිටිය නම් වූ කුඩා කඳු ගැටයක් පිහිටි පෙදෙසක් මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. තුප්පිටිය විහාරය නම් වූ වෙහෙරක්ද මෙම ස්ථානයට නොබෝ දුරකින් Google Maps වල සලකුණු කර ඇත.
බොගෝඩ පාලම පිහිටි ස්ථානයේ සිට උමා ඔය දක්වා වැටී ඇති කුඩා අඩි පාරක් ඇසුරින් පුරාණ මාර්ගය පිළිබඳ අනුමානයක් මේ ආකාරයට ලබා ගත හැක (සිතියම) මෙම අඩි පාර උමා ඔය හමුවන ස්ථානයේ  දැනට කුඩා ඒදණ්ඩක් දැකිය හැක. පැරණි සලාතොට එම ස්ථානයේ  හෝ ඒ අසල වෙනත් තැනක තිබුණා විය හැක.


තුප්පිටිය උයනේ සිට ගමන් අරඹන මගියාට ඉන්පසු හමුවන්නේ වැලිහෙල පිහිටි සරණගොඩය. එය අසීරු නැග්මක් සහිත පෙදෙසක් බවය පහත කවිය අනුව හැඟෙන්නේ.

නේනුව නොම සිතා ලිය මෙ ගම නැණ බල
ගානුව මෙන් රැගෙන පය ලෙඩට ඔසු තෙල
සේනුව හොත් යන ගමනට වෙයි අබල
පේනුව සරණගොඩ නැගපන්න වැලි හෙල

තුප්පිටියට නුදුරින් වූ වැලිහෙල මෙට්‍රික් සිතියම් අනුසාරයෙන් සොයා ගත හැක. සලාතොට සිට තුප්පිටිය හරහා වැලිහෙල දෙසට ලඟා වීමට මාර්ග දෙකක් Gogle Earth ඇසුරින් පෙන්වා දිය හැක. 

1) සලාතොට සිට තුප්පිටිය කන්ද තරණය කර කදු මුදුන් මතින් වැටී ඇති මාවතක් ඔස්සේ වැලිහෙල මුදුනට ලගා වීම.
2) සලාතොට සිට මදක් දකුණට බරව ගමන් කර වැලිහෙල පාමුලට පැමිණ වැලිහෙල නැග එහි මුදුනට ලගා වීම.

නැගපන්න වැලි හෙල ලෙසින් කවියා පවසන බැවින් මෙම මාවත් දෙකින් පැරණි මාවත විය හැක්කේ දෙවෙනි එක බව පෙනේ. එසේම එය වෙල් යායක් මැදින් වැටී ඇති බැවින් ජනාවාස වූ පෙදෙස් මතින් පැරණි මං පෙත් තිබීමේ වැඩි නැඹුරුවක් තිබිය හැකි බව සැලකීමෙන් දෙවෙනි මාවත අපට අවශ්‍ය පැරණි මාවත ලෙසට පහසුවෙන් තෝරා ගත හැක.
උමා ඔය තොටුපලේ සිට වැලිහෙල මුදුන දක්වා ගමන් මාර්ගය - මෙහි වැලි හෙල මෙට්‍රික් සිතියම් වල දක්වා ඇත්තේ වම් පස කොනේ ඇති මුදුන ලෙසය. නමුත් වර්තමාන මාර්ගය එයට මදක් දකුණු පසින් වූ මුදුන හරහා විහිදේ. (ස්ථාන දෙකෙහිම හෙල නැගිය යුතුය)
මග සලකුණ මාර්ග විස්තරයට අනුව එතැන් සිට සිහිල්පැන් කඳුර, කොට්ටාගොඩ යන ස්ථාන පසු කර යෑමේදී මානාවෙල පොර ඇන ගන්න ගවයන් දැකිය හැකිය. ඉන්පසු වැවගෙදර නම් ප්‍රදේශය පසු කර හපුගොල්ලට පිවිසේ. මෙයින් කොට්ටාගොඩ (කෝට්ටේගොඩ ලෙසින්), මානාවෙල සහ හපුගොල්ල (සපුගොල්ල ලෙසින්) යන ප්‍රදේශ අදද හඳුනා ගත හැක. ඒ අනුව වැලිහෙල සිට හපුගොල්ල දක්වා පැරණි මාර්ගය පහත සිතියම් වල පෙන්වා ඇති ආකාරයෙන් වූවා විය හැක.




හපුගොල්ලෙන් පසු හාල්තොට නම් වූ තොටමුණකින් එගොඩ වන මගියා ඉන්පසු පිවිසෙන්නේ පරණගමටය. ඉන්පසු යොනුන් (එනම් කාන්තාවන්) විසින් පාවලන් (පා + වලන් - පාත්‍ර හා වලං හෝ පබළු) කරවල, ලුණු ආදිය විකුණන තවලන් පළ දැක යා ගන් මිතුර ලෙසින් කවියා පවසයි.  මෙයින් පරණගම සහ තවලන් පළ යන ස්ථාන දෙකම මෙට්‍රික් සිතියම් වල දැක ගත හැක. හාල්තොට සලකුණු කර නොමැතිමුත් හපුගොල්ලේ සිට පරණගම දක්වා පාර තරමක දිය පාරක් හරහා වැටී ඇත. නිසැකවම හාල්තොට එම තොටමුණ විය යුතුය.



 කඩින් කඩ තිබෙන ගිරිකුළු මත පතර
විඩින් විඩ රඟන සෙබඩුන් මැද මොනර
ඉඩන් නැත බලා ඉඳිනට මහ වගුර
දොඩන් වතු කපල්ලෙන් යා කර මිතුර

තවලන් පළ පසු කල පසු මග සලකුණ මාර්ග විස්තරයට අනුව හමුවන්නේ දොඩන්වතු කපල්ල නම් වූ ස්ථානයකි. එම ස්ථානයේ සිට බැලු විට මොනරුන් සමග සෙබඩන් රඟන මහා වගුරක් දිස්වන බවද ඉහත කවිය අනුව අවබෝධ වේ. මෙට්‍රික් සිතියම අනුව යමින් ඉහත රූපයේ අප තවලන් පළ ලකුණු කල ස්ථානය හරහා යන මග වැටී ඇත්තේ කඳු දෙකක් මැදිනි.මේ වන විට පොදුවේ එම ප්‍රදේශයටම තවලන් පළ යන නම ව්‍යවහාර වුවත් මග සලකුණේ විස්තර වන තවලන් පළ තිබෙන්නට ඇත්තේ ඇතැම් විට පරණගමට කිට්ටුව සම බිමක වීමට බෙහෙවින්ම ඉඩ ඇත. ඒ අනුව එය පසු කර යෑමේදී හමුවන දොඩන්වතු කපල්ල මෙම කඳු දෙක මැදින් වැටී ඇති කපොල්ල බව පැහැදිලිය.
අද වන විට දෙපස පිහිටි කඳු මුදුන් වල කැලය එලි වී ජනාවාස ඇතිවි ඇති නමුදු මෙම ප්‍රදේශයේ කඳු වැටි දෙක අතර පහත් බිම් ප්‍රදේශය පෙර කල ජලය රඳන වගුරක් ව තිබූ බවට මෙට්‍රික් සිතියමේ කුඩා වගුරු ප්‍රදේශයක් සලකුණු කර තිබීමෙන්ද පැහැදිලි වේ (එම ප්‍රදේශයද ඇතුළුව සියලුම බිම් මේ වන විට වෙල් යායකින් සහ ජනාවාස වලින් ප්‍රතිස්ථාපනනය වී ඇත.) 
මෙනේ තොසින් ගොඩ නැග කැරකී එවිට
මිණේ ඉඳු අයුරු දෙනෙතින් බැලු කලට
අනේ වතු ගෙවතු වෙල් යා සැදි අවට
පෙනේ ඌවතුන්කිඳ අතැඹුල ලෙසට

මෙම උස් ස්ථානයේ සිට බැලූ විට ඌවතුන්කිඳ ප්‍රදේශයේම වතු ගෙවතු සහ වෙල් යායවල් පෙනෙන බව ඉහත කවියෙන් පැවසේ. මෙහි ඌවතුන්කිඳ යනු උඩ කිඳ, මැද කිඳ සහ යටි කිඳ යන ඌව රටට අයත් පෙදෙස්ය. දොඩන්වතු කපල්ලෙන් පසු මාර්ගය යොමුවන්නේ අඩයටි සහ කඟ (තෝමර සහ කඩු) රැගත් සෙබලුන් මුර කරන කඩවතටය. ඉහත මෙට්‍රික් සිතියමේ පෙන්වා ඇති ආකාරයට අදටද එම පෙදෙස කඩවත ලෙසින් සලකුණු කර ඇත. 
කඩවත සහ ඒ වෙත යොමුවන මාර්ගය පහත සිතියම් වල ලෙසට තිබුණා විය හැක. මෙම කඩවත පසුකිරීමත් සමග දැනට පවතින පළාත් බෙදීම් අනුව ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිට මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය වෙත අපගේ ගමන් මාර්ගය යොමුවේ. එතැන් සිට සෙන්කඩගල පුර දක්වා ගමන් මග ඉදිරි ලිපියකින් විමසා බලමු.
මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.