Showing posts with label Lajjitissa. Show all posts
Showing posts with label Lajjitissa. Show all posts

Saturday, February 4, 2017

නැගෙනහිර බොදු උරුමය 5 - බුදුන් විසූ රජගහනුවර අම්පාරේ රජගලද?

මෙරට ජනයා තරම් මිත්‍යාව හිස් මුදුනින් පිළිගන්නා ජාතියක් ලොව කවර නම් වූ රටකවත් නොසිටිනවා ඇත. ඕනෑම බොරු කාරයෙකුට මෙරටදි 'හිට්' වෙන පන්නයේ ඉතිහාස කතාවක් ගොතා ගත හැකි නම් ඔහුට ඉතා ඉක්මනින් ජනප්‍රිය විය හැකි අතර සැලකිය යුතු ආදායමක්ද ඉන් උපයා ගත හැක. කලකට පෙර 'රාවණා බ්‍රදර්ස්ලා' සහ ඔවුන්ට කතා ගොතා දුන් සූරිය ගුණසේකරලාද, අරිසෙන් අහුබුදුලාද, මිරැන්ඩෝලාද මෙරට රාවණා රැල්ලක් මැවීය. ඇසින් දුටුව පරිදි රාවණා කල සූර වීර ක්‍රියා පත්තර පිටු ගනන් පුරා පළවිය, පොත් දුසිම් ගණනින් පලවී උණු කැවුම් මෙන් විකුණුනි. මෙවැනිම රැල්ලක් බුදුන් මෙරට උපන් බව පවසමින් එක් හිමි නමක් විසින් ඇති කල අතර ඒ හිමියන්ට අනුව රජගල යනු මාගධයේ අගනුවර ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන රජගහ නුවරය. අද වන විට මේ මිත්‍යාව කොතරම් දුර ගොස් ඇත්ද යත් වන්දනා නඩ රැගෙන රජගහ නුවර ස්ථාන පෙන්වමින් යන 'ගයිඩ්ලා' අසරණ ජනතාවගේ මුදල් කොල්ලකමින් රජගල පෙදෙසේ නිබදව සැරිසරයි. රජගල යනු රජගහනුවරද? මේ රජගල පිළිබඳව එම ස්ථානයේ ඇති සෙල්ලිපි සහ වංශකතා ඇසුරින් කෙරෙන විමසුමකි.
සංරක්ෂණය වෙමින් පවතින ස්ථූපයක්
 රජගල හෙවත් රාස්සහෙළ ලෙස වර්තමානයේ හැඳින්වෙන යුග කිහිපයකටම අයත් ආරාම නටබුන් හමුවන මේම ස්ථානය පිළිබඳව අප මෙයට පෙරද කතා කලෙමු.
අඩක් නිමවන ලද හිටි පිළිමයක්
මේ ස්ථානයේ ඇති ගල් පර්වතයක කොටා ඇති සෙල් ලිපි රැසක් සෙනරත් පරණවිතාන මහතා විසින් කියවා ප්‍රකාශයට පත් කර ඇත. ඉන් එක් ලිපියකින් කියවෙන්නේ ඈපා දළ්සිව ගේ නියෝගයෙන් මාළත්තෙ, ගුළවැල්ලැ, මීවන්ගමු යන තැන්හී පිහිටි ඉඩම් අරිත්තාරා වෙහෙර වාසි හිමියන්ට පිරිනැමූ බවය. එම නියෝගය සහිත සෙල්ලිපිය ලියවා ඇත්තේ එහිම කියවෙන පරිදි ලම්ජනවු වාසි දය් විසිනි.  ඒ ආසන්නයේම දැකිය හැකි අක්ෂර රටාව අනුව එම කාලයටම අයත් තවත් ගිරි ලිපියකින් කියවෙන්නේ වීරාංකුරා ගේ නියෝගය පරිදි අරිත්තාරා වෙහෙර වසන හිමියන්ට සිව්පසය උදෙසා සරට්වැග පිහිටි මහාවැගණ ඉඩම් පවරා දුන් බවය. ලම්ජනවු හී වීරාංකුරා විසින් ලියැවූ තවත් සෙල්ලිපියක් මගින් කියවෙන්නේ සෙන් ගේ නියෝග පරිදි අරිත්තාරා වෙහෙර වාසී හිමියන්ගේ සිව්පසය උදෙසා ගළ්හොය දකුණු දිග පිහිටි දිගැ(පිඩු)ල්ලෙ සොරුයුර් හා ලම්ජනවු හි කලල්වැලි හි පිහිටි ඉඩම් පවරා දුන් බවය.
තහවුරු කල ගොඩනැගිල්ලක්
මෙහි සඳහන් වන පුද්ගල නාම අතුරින් ඈපා දළ්සිව යන නාමය මහාවංශයේ සදහන් වන ආදිපාද දාඨාශිව ලෙස පහසුවෙන් හඳුනාගත හැක. පළමුවන උදය (ක්‍රි.ව. 797-801) රජතුමාගේ කාලයේ රුහුණු රට ආදායම් පාලකයා ලෙස ඔහු ගැන සඳහන් වේ. මහාවංශයේ සඳහන් වන ලෙසට මෙම ආදිපාද  දාඨාශිව ගෙ පුත් වූ මහින්ද කුමරුවා රජරට සිටි පාලකයා වූ පළමුවන උදය රජු සමග මිතුරුව ඔහුගේ දියණිය වූ දේවා ද සරණ පාවා ගෙන  බල සෙන් ගෙන රුහුණට ගොස් සිය පියා දඹදිවට පලවා හැර රුහුණේ බලය පැහැර ගත්හ. මෙම සිදුවීම වන්නේ වංශ කතාවට අනුව වසර පහක් පමණක් සිහසුන හෙබවූ පළමුවන උදය රජතුමාගේ කාලයේ බැවින් ආදිපාද දාඨාශිව මෙම ඉඩම් ප්‍රදානය කරන්නට ඇත්තේ පළමුවන උදය රජුට පෙර සිටි පාලකයා වන දෙවන මහින්ද (ක්‍රි.ව. 777-797) රජුගේ කාලයේ විය හැකි බවට පරණවිතාන මහතා විශ්වාස කරයි. කෙසේ නමුත් අක්ෂර රටාව අනුව මෙම ලිපිය 8 වන ශතවර්ෂයේ දෙවන භාගයට ස්ථිරවම අයත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව අපිට පැහැදිලි වන්නේ 8 වන ශතවර්ෂයේ මෙම ස්ථානය අරිත්තාරා වෙහෙර ලෙසින් හැඳින්වූ බවය.
වතුර රැස් කිරීමට සෑදූ විශාල ගල් පාත්‍රයක්

 ඉහත සෙල්ලිපි වල සඳහන් වන ස්ථාන නාම හඳුනාගැනීමේ උත්සාහයක් දරන C.W. නිකොලස් මහතා ලම්ජනව්හි කලල්වැලි යනු වර්තමාන දිවුලාන අවට ප්‍රදේශය ලෙසත් බොහෝවිට එම ප්‍රදේශය උහණ දක්වාම පැතිර තිබෙන්නට ඇති බවත් පවසයි. වර්තමානයේ අම්පාර නගරයට දකුණින් පිහිටි මුවන්ගොමුව එක් සෙල්ලිපියක සඳහන් වන මීවන්ගමු විය හැකි බවත් ගළ්හොය යනු වර්තමානයේද ගල් ඔය ලෙස හැඳින්වෙන ගංගාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මෙම සෙල්ලිපි අයත් දෙවන මහින්දගේ කාලයේ සිදුවූ එක් වැදගත් සිදුවීමක්ද ගල් ඔය ගංගාව හා සම්බන්ධිතය. මෙතෙක් රුහුණු සහ රජරට අතර සීමාව ලෙස පැවති මහවැලි ගඟ වෙනුවට ගාළ්හ හොය එහි උතුරු සීමාව බවට පත්වී පෙර රුහුණු රටට අයත් භූමියෙන් කොටසක් රජරටට අයත් වන්නේද දෙවන මහින්ද විසින් රෝහණය ආක්‍රමණය කර එහි මාර පව්වේ කඳවුරු බැඳගැනීමත් සමගය.
තහවුරු කල ගොඩනැගිල්ලක්
ඉහත දෙවන මහින්ද රජුගේ ලිපි වලට පෙර යුග වලට අයත් ගිරි ලිපි කිහිපයක්ම මෙම ගල් පර්වතයේම ඇති අතර ඒ අතුරින් දෙවනපිය මහරජුගේ මුනුබුරු වූ පුටකණ ගමිණි අබහ නම් වූ උප රජ කෙනෙකුගේ ඔහු උපරජ ධූරයට පත්වූ දින මෙම විහාරයට පිරිනැමූ සවති සහ අටුසබ යන ගම් වර පිළිබඳව වූ සෙල් ලිපිය වැදගත් වේ. මෙහි සඳහන් උප රජ පසුව කූටකණ්ණ තිස්ස (ක්‍රි.පූ. 44-22) නමින් රජ වූ රජු බව පරණවිතාන මහතා හඳුනාගනී. එහෙත් මෙම ලිපියේ ස්ථානයේ නම සඳහන්ව නැත.
මුරගලක්
ඉන් මෑත යුගයකට අයත් කුටකණගමිණි තිස ගේ පුත් වූ නාග නම් වූ වෙනත් උපරජ කෙනෙක් ලජක රජුට අයත් කබඩුක නම් වූ වැව කුබිලපිතිස පර්වතයෙහි වූ විහාරයට පිරිනැමූ බව සඳහන් ලිපියක්ද මෙම ගල් පර්වතයෙහිම හමුවේ. මෙහි සඳහන් නාග නම් වූ උප රජු මහාදාඨික මහානාග (ක්‍රි.ව. 7-19) ලෙස වංශ කතා වල සඳහන් වන කූටකණ්ණ තිස්ස රජුගේ බාල පුත් බව පරණවිතාන මහතා හඳුනාගනී. ඒ අනුව මෙම පිරිනැමීම සිදු කරන කාලයේ ඔහු රෝහණයේ උප රජ ලෙස සිට ඇති බවත් ලජක රජ ලෙස හැඳින්වෙන්නේ එවකට මහ රජු වූ භාතික තිස්ස (ක්‍රි.පූ. 22 - ක්‍රි.ව. 7) රජු විය හැකි බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

කැනීම් සිදු කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක්
ඉහත ගිරිලිපියට අනුව මෙම යුගයේ රජගල පර්වතය කුබිලපිතිස පවත (පර්වතය) ලෙස හඳුන්වා ඇති බව පෙනේ. මහාවංශයේ එන සඳහනකට අනුව ලඤ්ජතිස්ස (ක්‍රි.පූ. 119-109) රජු ගිරිකුම්භීල විහාර පූජාවේදී සැට දහසක් භික්ෂුන්ට තුන් සිවුරු පිරි නැමූ බව පැවසේ. ගිරිකුම්භීල ලෙස පෙළ බසට පෙරලෙන්නේ කුබිලපි පවත බවත් බොහෝවිට සද්ධාතිස්ස (ක්‍රි.පූ. 137-119) රජුට ගෞරව පිණිස හෝ සිය නම වන තිස යන්න එක්කරගනිමින් හෝ එය කුබිලපිතිස පවත ලෙස හැඳින්වෙන්නට ඇති බවත් සෙනරත් පරණවිතාන මහතා පවසයි. ඒ අනුව මේ විහාරයේ නිර්මාතෘ ලඤ්ජිතිස්ස බවට මෙයින් සාධක හමුවේ. ලජකතිස රජුගේ පුතෙකු වූද දෙවනපිය ගමිණි අබ මහ රජුගේ මුනුබුරු වූද ගමිණි අබය විය හැකි (එම නම සදහන් අකුරු බෙහෙවින් ගෙවී ඇත) කුමරුවකු විසින් සිදු කල මගුල් ලකුණක් ගැන වූ ගිරි ලිපියක්ද මෙම ස්ථානයේම හමුවන මුත් එම මගුල් ලකුණ කුමක්දැයි හඳුනාගෙන නැත. එය බොහෝ විට සිරිපතුල් ගලක් විය හැක.
වන ප්‍රවාහයට හසුවූ ගොඩනැගිල්ලක ගල් කණු
මහාසේන (ක්‍රි.ව. 274-301) රජු කුබලව සහ අරිය-අකර විහාරද ඇතුළු සියලු විහාර වල සිටින සංඝයා සමගි කර ධර්මයේ සුභසිද්ධිය උදෙසා සියක් කහවනු පිරිනැමූ බව පැවසෙන ගිරි ලිපියක්ද මේ ස්ථානයේම ඇත. මෙම විහාර දෙකම හෝ එකක් මේ ස්ථානයේ වූවා විය හැක. කුබලව යන්න මෙම ස්ථානයේ මූල් කාලීන නාමය වූ කුබිලපිතිස පවත යන්න හා සමගත් අරිය-අකර යන්න පසු කාලීන නාමය වූ අරිත්තාරා වෙහෙර යන්න සමගත් යම් සාම්‍යත්වයක් ඇති බව පෙනේ.
ලිපියේ සාකච්චා වන සෙල් ලිපි පිහිටි ගල්තලාව
ඉහත පුටකණ ගමිණි අබහ උපරජුගේ සෙල්ලිපිය ආසන්නයේම ඇති එහෙත් එහි කාලයට වඩා අවම වශයෙන් සියවසකටවත් පසු කාලයකට අයත් වන දිග-අව (දිඝාවාපිය) අසල වඩමනය (වඩ්ධමානක) යෙහි වසන කබකඩර නකගේ(නාග) පුත් අශ්වරෝහක නක (නාග) විසින් පිහිටවූ තවත් ගිරි ලිපියක සඳහන් වන්නේ ඔහු විසින් ගිරිකබල හෙවත් තිසමහාවිහාරයට අරියවස උත්සවයේ වියදම් සඳහා යොදාගැනීමට කහවනු සියයක් දුන් බවය. එම මුදල් වල පොලිය ඒ සඳහා යොදාගන්න ලෙස එහි සඳහන් වේ. පළමුවන හෝ දෙවන ශතවර්ෂයට අයත් තවත් ගිරි ලිපියකට අනුව රඛකල කුබලවි(තිස)පවත විහාරයට මජ(ග)මක නම් වූ පුද්ගලයකු සංඝයාගේ ලහ බත් සඳහා කහවනු 1000 පිදූ බව සඳහන් වේ. පසු කාලීනව රජගල බවට පරිවර්තනය වූ රාක්ෂගල යන්නෙහි මුල් ස්වරූපයේ මෙහි රඛකල යන්නෙහි ඇත.
ස්තූපයක් අසල ඇති සිරිපතුල් ගලක්
ගිරිකුම්භීල හෙවත් කිඹුල්ගල යන නාමය මුල් කාලයේදී මෙම පර්වතයට යෙදෙන්න ඇත්තේ එය දුර සිට බලන විට කිඹුලෙකුගේ හැඩයට පෙනෙන නිසා විය හැක. කිසියම් කලක එය රාක්ෂගල හෙවත් රඛකල ලෙසින් වෙනස් වී වර්තමානයේ රජගල බවට පත් වී ඇත. මේ අනුව මෙහි පිහිටියේ ගිරිකුම්භීල, කුබිලවිතිස පවත, අරිත්තාරා වෙහෙර, ගිරිකබල, තිසමහාවෙහෙර වැනි නම් වලින් එක් එක් කාලයේ හැඳින්වූ විහාරයක් විනා මාගධයේ අගනුවර වූ රජගහ නුවර නොවේ.

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part I, Late Brahmi Inscriptions, Paranavitana S., 1983
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part II, Late Brahmi Inscriptions, Paranavitana S., 2001
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume IV, 1934-1941 Edited by S. Paranavitana, 1943
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • බුදු සසුන බැබළුණු පැරණි පුදබිම්, එල්ලාවල මේධානන්ද හිමි, 2000
  • පාචීන පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 

Sunday, January 1, 2017

රිටිගල පුරාණය සහ පාංශුකූලික භික්ෂූන් උදෙසා සෘද්ධියෙන් මවන ලද්දක් මෙන්වූ ආරාමය

රිටිගල කඳු 
 ධූමරක්ඛ පර්වතයෙන් නික්මුනු පණ්ඩුකාභය කුමරු සිය සේනාව සමග අරිට්ඨ පබ්බතයට පැමිණ එහි සත් වසක් යුද සූදානමින් විසූහ. ඔහුගේ මාමා වරුන් අට දෙනෙක් සේනාව සමග පැමිණ අරිට්ඨ පර්වතය වට කලහ. එහි වූ මහ සටන් අවසානයේ කුමරුගේ සේනාව සතුරු සේනා නසමින් ඔවුන්ගේ හිස් එක් ස්ථානයක ගොඩ ගැසූහ. ඔහුගේ මාමා වරුන්ගේ හිස්ද ඒ අතර විය. එම හිස් ගොඩ දුටු කුමරු එය ලබු ගොඩක් මෙන් යැයි පැවසූ හෙයින් එම ග්‍රාමය ලබුගාමක නම් විය (වර්තමානයේ  රිටිගලට වයඹ දෙසින් පිහිටි ලබුන්නොරුව නාමයෙහි අද දක්වාම ලබුගාමක යන්න  සැගව පවතී.) වංශ කතාවේ අරිට්ඨ පබ්බත යන්න පළමුවෙන්ම සඳහන් වන්නේ එලෙසය. අරිට්ඨ පබ්බතයෙන් නික්මුන පණ්ඩුකාභය කුමරු අනුරාධපුරයට  ගොස් එහි සිට මෙරට එක්සේසත් කල පළමුවන පාලකයා ලෙස වසර හැත්තෑවක් රාජ්‍ය පාලනය කලහ.
පෙත්මග
 ඉන් සියවස් දෙකකට පමණ පසු රුහුණින් නික්ම පරසතුරු උවදුරින් රජරට මුදාගැනීමට යන ගමනේදී තවත් එක් නරපතියෙක් එක් දොරටුවකින් සහ දිය අගල් තුනකින් වටවුනු මහේලනගරයට පැමිණ සිව් මසක් එහි සිට මහේල නගරයේ සිටි මහේල නම් පාලකයා උපායෙන් පැරදවීය. මේ මහේල නගරය ඉන්පෙර  කාලයක අරිට්ඨ පබ්බතය පාමුල ඉදිකල මකුලක විහාරය පිහිටි පෙදෙස විය හැකි බවට C.W. නිකලස් ඉදිරිපත් කරන මතය නිවැරදි නම් (මහේල නගර > මහේලක > මකලක > මකුලක ) දෙවෙනි වරට මෙරට එක්සේසත් කල ගැමුණු කුමරුවාද විජිතපුර සටනින් පසු අනුරාධපුරය මුදාගැනීමට යන ගමනේදි රිටිගල අසලද සටන් මෙහෙයවා ඇත. මකුලක නම් වූ විහාරය අරිට්ඨ පබ්බතය පාමුල ඉදිකරනුයේ සූරතිස්ස රජතුමා විසිනි.
තහවුරු කල පධානඝරයක්
හත්වන සියවසේදී තුන්වන ජෙට්ඨතිස්ස (ක්‍රි.ව. 632) රජතුමාද මලය රටේ සිට අරිට්ඨ පබ්බතයට පැමිණ ජනතාව ඔහු දෙසට නම්මා ගැනීමෙන් අනතුරුව සේනාව රැගෙන අගනුවර පැමිණ තුන්වන අග්ගබෝධි පලවාහැර රාජ්‍යය අල්වා ගත් බව මහාවංශයේ සදහන් වීමෙන් අරිට්ඨ පබ්බතයේ වූ උපායමාර්ගික වැදගත් කම නැවතත් සනාථ වේ.
කෙසේ නමුත් අරිට්ඨ විහාරය ඉන්පසු කාලයකදී ඉදිකිරීමේ ගෞරවය මහාවංශයඅනුව හිමිවන්නේ ලජ්ජිතිස්ස (ක්‍රි.පූ.  119-109) රජුටය. මෙය රිටිගල ඉදිකල මකුලක විහාරය නොවන වෙනත් විහාරයක් විය හැක. අරිට්ඨ විහාරය ගැන එන සඳහනින් පසු නැවතත් ඉන් වසර 900 කට පමණ පසු අරිට්ඨ පබ්බතය ගැන සඳහනක් පළමුවන සේන (ක්‍රි.ව. 833-853) රජතුමාගේ පාලන කාලයට අදාල මහාවංශ විස්තරයේ එයි. එම රජතුමන් විසින් පාංශුකූලික භික්ෂුන් සඳහා සෘද්ධියෙන් මවන ලද්දක් මෙන්වූ ආරාමයක් කරවා එයට අවශ්‍ය අනෙකුත් දෑ මෙන්ම දස්කම්කරුවන් සහ ආරාමිකයන්ද දුන් බව පැවසේ. වර්තමානයේ ශේෂව ඇති පධානඝර සහිත නටබුන් මෙම සේන රජතුමාගේ නිර්මාණයන් බවට පිළිගැනේ.

  සේන රජතුමාගේ කිවුලේකඩ අත්තානි ටැම් ලිපියේ "රිටිගල් අරම්කාරූ සලමෙවන් රජ්.." ලෙසින් එනම් රිටිගල ආරාමය ඉදිකල සලමෙවන් (සලමෙවන් යනු පළමුවන සේන රජතුමා භාවිතා කල විරුද නාමයයි ) එතුමන්ව හැඳින්වීමෙන් මෙම මහාවංශ විස්තරය සනාථ වන අතරම අරිට්ඨ පබ්බත යන්නෙහි සිංහල නාමය රිටිගල ලෙසද හඳුනාගත හැක (සීගිරි කැටපත් පවුරේ එන රිට්ගල් සිට පැමිණි බුද් (රිට්ගල් බුද්මි )විසින් ලියා තැබූ ගියකින්ද එම නාමය තවදුරටත් තහවුරු වේ.). එසේම මෙවැනි සඳහනකින් රජතුමා හැඳින්වීමෙන්ම රිටිගල ආරාමය විශාල විහාර කර්මාන්තයක් බව පැහැදිලි වේ. ඒ බව අදද ඉතිරි වී ඇති තහවුරු කල සහ නොකල අති විශාල ගොඩනැගිලි වලින් විද්‍යාමාන වේ.
ජන්තාඝරය
මූලාශ්‍ර
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Ritigala, Central Cultural Fund, 1983.
  • ඓතිහාසික අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල කන්ද, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2007.
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume III, Edited by S.Paranavitana, 1928-1933
  • අනුරාධපුර යුගය, අමරදාස ලියනගමගේ සහ රණවීර ගුණවර්ධන,1965

Monday, October 3, 2016

නැගෙනහිර බොදු උරුමය 4 - රජවරු සහ රජ බිසෝවරු සතර දෙසින් පැමිණි සහ නොපැමිණි සංඝයාට පිදූ රජගල ලෙන්


මිහිඳු මාහිමියන් විසින් මෙරටට බුදු දහම හඳුන්වාදීමත් සමග ශාසනයේ පැවිදි වූ බෞද්ධ භික්ෂුන් සඳහා අවශ්‍ය වාසස්ථාන පිලියල කරදීම රාජ්‍යයේ සහ ජනතාවගේ එවකට එක් ප්‍රමුඛ කාර්යභාරයක් වූවාට සැක නැත. වංශ කතා පවසන පරිදි මිහින්තලයේ පිහිටි ගල් ලෙන් වල මිහිඳු හිමි සහ පිරිස ලංකාවේ පළමු වස් කාලය ගත කල බව පැවසේ. ස්වභාවිකව පිහිටි ගල් ලෙන් සකසා භික්ෂුන්ගේ වාසය සඳහා පිළියල කරදීමෙන් භික්ෂු ආවාස මුල් කාලයේ ඇති කල බවට සාධක ඇත. පසුකාලීනව මහාවිහාරය, අභයගිරිය වැනි විශාල ආරාම ඇතිවීමත් සමග වුවද ආරණ්‍යවාසී භාවනානුයෝගී භික්ෂුන් ජනාකීර්න වූ නගරබද ආරාම වලට වඩා වනගත පෙදෙස් වල මිනිස් වාසයෙන් දුරස්ව පැවති ගල් ලෙන් ආරාම වශයෙන් යොදාගන්නට ඇත.   
ගල් බිත්ති වලින් ලෙනක් කුටීර වලට වෙන් කර ඇති ආකාරය
මෙරට විවිධ ප්‍රදෙශයන්හී විශේෂයෙන්ම පහතරට වියලි කලාපයට අයත් ප්‍රදේශ තුල විසිරී ඇති දහසකට නොඅඩු මෙවන් ගල් ලෙන් විශාල ප්‍රමාණයක් ඒවා භික්ෂුන්ගේ පරිහරණයට පූජා කල බව දැක්වෙන බ්‍රාහ්මි අක්ෂර වලින් ලියැවුනු සෙල් ලිපි සහ ලෙන තුලට වැසි වතුර කාන්දු වීම වැලැක්වීම සඳහා කල කටාරම් වලින් යුක්තව අදද දක්නට හැකිය. මෙම ලිපිය මඟින් නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ මෙයට පෙරද අප කතා කල රජගල පර්වතය ආශ්‍රිතව ඇති එවන් ගල්ලෙන් ගැන විමසා බලමු.
ඡත්‍රයක හැඩයට සකස් කර ඇති කටාරම් කෙටූ ලෙනක්
ලෙනක ඇඳ තිබූ චිත්‍ර වල ශේෂයන්
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසන පරිදි රජගල ආශ්‍රිතව කටාරම් කෙටූ ලෙන් සියයකට වඩා ඇති අතර ඉන් බොහෝමයක ලෙන් පිදූ පුද්ගලයන් විසින් පිහිටවූ සෙල්ලිපි දක්නට ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ලෙන් ලිපි 46 පමණ කියවා ප්‍රකාශයට පත් කර ඇති අතර එල්ලාවල මේධානන්ද හිමියන් මෙහි ලෙන් ලිපි 70 ක් පමණ ඇතිබව පවසන නමුදු (මේධානන්ද එල්ලාවල, 2000) ඒ හිමියන්ගේ මෑතකදි පළවූ 'රුහුණේ යටගියාව සහ සෙල්ලිපි' ග්‍රන්ථයේද උපුටා දක්වන්නේ පරණවිතාන මහතා පළකල සෙල්ලිපි 46 පමණි. 
ශාමිකා උපාසිකාවගේ ලෙන
තිශගුතගේ සිහමුඛ ලෙන
ලෙන් පිදූ පුද්ගලයන් අතර දෙවනපිය මහරඣ ගමිණි තිශ නම් රජෙකුගේ පුතුන් වූ මහ අය හා තිශ අය නම් වූ දෙදෙනෙක්ද ඇත. ඔවුන් සද්ධාතිස්ස (ක්‍රි.පූ.137-119) රජු (එනම් දෙවනපිය මහරඣ ගමිණි තිස) හා ඔහුගේ පුතුන් ලෙස  (එනම් මහ අය හා තිශ අය) ලෙස C.W. නිකලස්  මහතා හඳුනාගනී. මෙහි එක් ලෙනක් මහ අයගේ බිරිඳ වූ යශශිනි උපාසිකාවට අයත් වී ඇති බව එහි ඇති ලෙන් ලිපියේ පැවසෙන අතර තවත් ලෙනක් ඔහුගේ තවත් බිරියක් වූ බුදදත උපාසිකාවට අයත් ව තිබී ඇත. තිශ අයගේ බිරිඳ වූ උපාසිකා ශාමිකා ට සහ ඔහුගේම තවත් බිරිදක් වූ අබිඣිතට අයත් ලෙන් 2ක් ද මෙහි ඇත. දෙවනපිය මහරඣ ගමිණි තිශ නම් රජෙකුගේ පුතෙකු බව පැවසන  ලඣක රඣ නම් රජෙක් මෙහි ශීත ලෙන් 25 කල බව එක් ලිපියක දැක්වේ. මේ පෙර සදහන් කල මහ අයම විය හැකි බව නිකලස් මහතාගේ අදහසයි. එසේම ඔහු සද්ධාතිස්ස (ක්‍රි.පූ.137-119) රජුගේ පුත් වූ ලජ්ජිතිස්ස (ක්‍රි.පූ.119-109) රජු ලෙස හඳුනාගනී. 
ගල් පඩිපෙලක් සහ ගල් බිත්ති වලින් වෙන් කළ කාමර ඇති ලෙනක්
රජගල දැකිය හැකි ඇතැම් ලෙන් වල චිත්‍ර ඇඳ තිබූ බවට සාධක ඉතිරි වී ඇති අතර ගල් වලින් සහ මැටි බිත්ති වලින් කුටි වලට වෙන් කල ගුහාද කිහිපයක් තවමත් හොඳ මට්ටමින් ඉතිරි වී ඇත (මේවා පසුකාලීන ඉදිකිරීම් විමටද ඉඩ ඇත.) ලෙන් පිදූ අනෙකුත් පුද්ගලයන් අතර ගිහියන් මෙන්ම භික්ෂුන්ගේ නම්ද ඇත. පොදුවේ මේ සියලු ලිපිවලින් පැවසෙන්නේ සිව් දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට මේ ලෙන් පූජා කල බවය. 
කටාරම් කොටා බිත්ති බැඳ ඇති ශීත ලෙනක්
ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • ලක්දිව බුදු සමයේ ඉතිහාසය, වල්පොළ රාහුල හිමි, 1955
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • බුදු සසුන බැබළුණු පැරණි පුදබිම්, එල්ලාවල මේධානන්ද හිමි, 2000
  • පාචීන පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.