Showing posts with label Paduwasnuwara. Show all posts
Showing posts with label Paduwasnuwara. Show all posts

Thursday, July 20, 2017

රිහෑ බිම්හි බුදත්පව් වෙහෙරට මුක්තීන් පිදූ දෙවැනි සේන සහ පිං කැට හූරන සොරි සේනලා


පඬුවස්නුවර පුරාවිද්‍යා රක්ෂිතය තුල පිහිටා ඇති මහනුවර සම්ප්‍රදායට අයත් ටැම්පිට විහාරය ඇතුළු අනිකුත් මෑත කාලීන පූජනීය ගොඩනැගිලි පිහිටි මලුවට ප්‍රවේශ වන ස්ථානයේ සහ ඒ අවට පිහිටි ටැම් ලිපි කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීම කාලීන යැයි හැඟුනේ ජනතාව මත උපරිමයෙන් බදු ගසා සාමාන්‍ය මිනිසාගේ පටන් ඉහල ධනපතියා දක්වා සියල්ලක්ම ඉහේ ඉදන් හූරන් කන මංකොල්ලකරුවන් පිරිසක් මෑතක සිට සිය චෞර දෑත් මෙතෙක් කල් නිදහසින් පසු කිසිම රජයක් අත නොතැබූ සාංඝික දේපල කරාද යොමු කර ඇති මොහොතකදීය.  විහාර පිරිවෙන් ආදියට පෙර රජ වරුන් පිරිනැමූ මුක්තීන් පිළිබඳව එම ලිපි වල සඳහන් වන දෑ වර්තමානයේ 'රට කොරවන' පාලකයන්ගේ බෞද්ධ විරෝදී ක්‍රියා පිළිවෙල සමග සසදා බැලීම වර්තමාන සොර මුල බලයට ගෙනා අමනයන්ට කෙසේ වෙතත් මෙරට චිරාත් කාලයක් පුරා පැවැති සිංහල බෞද්ධ සම්ප්‍රදාය ගරු කරන සුලුතරයකට හෝ වැදගත් වේ යැයි සිතමි. දඹුල්ල පන්සලේ පිං කැට වලට අත තැබීමට ගොස් තාවකාලිකව හෝ ඇනගත් මේ සොර මුල ඉන්පසු මහවැලි මහ සෑය වැනි සඟ සතු කල ස්ථාන පවා පවරාගෙන එහි පිං කැට වලින් වැඩි ආදායම් උපදවන ආකාරය ගැන  වහසි බස් දොඩන්නට පටන්ගත්තේ වෙහෙර විහාර යනු පිං කැට තබා ධනය එකතු කරන ස්ථාන ලෙස සිතා විය හැකි බව සිය පියාගේ රැස් වලින් බබලන මෝඩ පුතෙකුගේ මෑතකදි සිදු කල පාරම්බෑමකින්ද පැහැදිලි විය. වාර්තා වන ආකාරයට යෝජිත නව බදු පනත මගින් සියලු පුණ්‍යායතන සඳහා ඒවායේ ආදායමින් 14% ක බද්දක්ද අයකිරීමටද නියමිතය.
පඬුවස්නුවර පිහිටි මෙවැනි පබ්බත විහාර වර්ගයේ විහාර නටබුන් ඇතැම් විට මෙම සෙල්ලිපි වල සඳහන් ස්ථාන විය හැක.
පඬුවස්නුවර රජමහා විහාරය අවට වර්තමානයේ සිටුවා ඇති මුත් මෙම ලිපියේදි සාකච්චා වන ටැම් ලිපි මෙම ස්ථානයට අසල පිහිටි කිසියම් තැනකින් ගෙනා බවට විශ්වාස කල හැක. කෙසේ වුවද එම ස්ථානය හෝ ස්ථාන වර්තමාන පඬුවස්නුවර නටබුන් පවතින ප්‍රදේශයට බොහෝ දුරක වූවා විය නොහැක. ඒ අනුව මෙම ලිපි කිහිපයකම රිහෑ බිම් නම් ප්‍රදේශයක පිහිටි විවිධ ගම් සහ විහාර පිරිවෙන් ආදිය පිළිබඳව සඳහන් වන බැවින් වර්තමානයේ පඬුවස්නුවර නමින් හැඳින්වෙන ප්‍රදේශයට මෙම ලිපි පිහිටවූ කාලයේ (9-10 සියවස් වල) භාවිතා වූ නම රිහෑ බිම් ලෙස අනුමාන කල හැක.

2 වන සේන  රජුගේ රාජ්‍ය කාලය

සිරිසඟබෝ මපුර්මුකා රජුගේ 6 වන රාජ්‍ය වර්ෂයේ පිහිටුවා ඇති මෙම ටැම් ලිපිය මගින් බුදත්පවු වෙහෙරට කිසියම් මුක්තීන් (Immunities) කිහිපයක් පිරිනමා එහි අත්තානි කණුවක් පිහිටවූ බව පවසයි. ලිපියේ කොටසක් කියවිය නොහැකි ලෙස ගෙවී ගොස් ඇති බැවින් එම මුක්තීන් මොනවාදැයි හඳුනාගත නොහැක. සිරිසඟබෝ මපුර්මුකා ලෙසින් ලිපියේ දැක්වෙන රජු අක්ෂර වල හැඩයෙන් සහ භාෂා විලාශයෙන් 2 වන සේන (ක්‍රි.ව. 853-857) රජු ලෙස හඳුනාගත හැක. ටැම් ලිපියේ භික්ෂුවකගේ වටාපතක්, නයෙකුගේ රූප සටහනක් ස්වස්තිකයක් සහ මල් සහිත පුන්කලසක් ද කොටා ඇත. වර්තමානයේ පඬුවස්නුවර රජමහා විහාරයේ බටහිර ප්‍රවේශය අසල දැකිය හැකි මෙම ටැම් ලිපිය එම ස්ථානයට අසල පිහිටි කිසියම් තැනක සිට රැගෙන විත් ඇති බව පෙනේ. එහි මුල් ස්ථානය අවිනිශ්චිතය. ලිපියේ සඳහන් වන බුදත්පව් වෙහෙර පිළිබඳව විස්තර කිසිදු පැරණි ලිඛිත මූලාශ්‍රයක හමු නොවේ.

2 වන උදය රජුගේ රාජ්‍ය කාලය

වෙනත් කිසියම් ස්ථානයක තිබි ගෙනවුත් වර්තමානයේ පඬුවස්නුවර රජමහා විහාරයේ බටහිර ප්‍රවේශය අසල පිහිටුවා ඇති මෙම ටැම් ලිපිය එහි මුදුනේ පිහිටි පුන් කලසද සමගින් අඩි 7 පමණ උස වේ. එක් පසක ඉර, අඩ සඳ, නයෙකු සහ භික්ෂුවකගේ වටාපත කොටා ඇති මෙම ලිපිය එහි අක්ෂර සහ භාෂා විලාශය අනුව 9 වන ශතවර්ෂයේ අවසාන භාගයට අයත් වේ. අභා සලමෙවන් නම් රජෙකුගේ 5 වන රාජ්‍ය වර්ෂයේ කස්බල් (කාශ්‍යප) මහපාණන් වහන්සේ නම් වූ මහපා වරයෙකු විසින් ගළ්ගම් නම් වූ පිරිවෙනකට අයත් එම පිරිවෙන පිහිටි රිහෑ බිම් නම් ප්‍රදේශය තුල පිහිටි තෙර ඇතුළ නම් වූ ග්‍රාමයට පිරිනැමූ මුක්තීන් කිහිපයක් පිළිබඳව සඳහන් කර එය පිහිටුවා ඇත. එසේම ගළ්ගම් පිරිවෙන පිහිටි රිහෑ බිම නම් වූ පළාතේ පිහිටි තෙර ඇතුළ වෙහෙරට අයත් වෙනත් ගම් දහයක් සඳහාද මෙම නියෝගය අදාල කර ඇත (එම ගම් නම් විරගණා, සිනබලා ගම, පහළ පනගල, වැල්පලුගොඩ, ගළ්ගම, සුපොරලියා හි අම්ගමුදොර, දොර්ගම, සම්පත් ගම, පර්ල, හා රියන්දලපව් වේ.) එම ගම් වලට පිරිනැමූ මුක්තීන් වනුයේ - මෙම ගම් වලට අයත් කරත්ත සහ මීමුන්ද අලින්ද නොමිලේ සේවයට නොගත යුතුය, එසේම විවිධ බදු අයකරන නිලධාරීන්ද, වෙනත් රාජ්‍ය නිලධාරීන්ද එම ගමට නොපැමිනිය යුතුය. ගම් සීමාවේන් ඇතුළත බෙර නොගැසිය යුතු අතර, දෝලා සහ වියන් රැගත් පුද්ගලයින්ද ඇතුලු නොවිය යුතුය. එපමනක් නොව මිනීමැරුම් වැනි අපරාද කර මෙම ප්‍රදේශයට පලා එන පුද්ගලයන් ප්‍රදේශයට ඇතුලු වී අල්ලා ගැනීමේ හැකියාවද රාජ පුරුෂයන් හට නැති අතර ඔවුන් එම ගම් සීමාවෙන් පිටතට පිටුවහල් කල පසු පමණක් අත් අඩංගුවට ගැනීම කල හැක.

 මෙහි සඳහන් අභා සලමෙවන් විරුදය ලත් රජු වංශ කතා වල දෙවැනි උදය (ක්‍රි.ව. 887-898) ලෙස හැඳින්වෙන රජු ලෙස පහසුවෙන් හඳුනාගත හැක්කේ එම රජුට කස්සප නම් වූ මහපා කෙනෙක් සිටි බැවිනි (හෙතෙම දෙවෙනි උදය රජුගෙන් පසුව සිව් වන කාශ්‍යප (ක්‍රි.ව. 898-914) ලෙස රජ විය)

මෙම තොරතුරුම සඳහන් වන වෙනත් ටැම් ලිපියක් පඬුවස්නුවර රජ මාලිගය ආසන්නයෙන්ද හමුවී ඇත. ඉහත ලිපියේම පිටපතක් වන එහි ඉහත සඳහන් පුද්ගලයන්ට අමතරව දුණු ගත් හේවායින්ටද එම ගම් වලට ඇතුලු වීම තහනම් කර ඇත.

පඬුවස්නුවර රජමහා විහාරයේ බටහිර පිවිසුම අසල පියගැටපෙල දෙපස ඇති ටැම් ලිපි
4 වන කාශ්‍යප රජුගේ රාජ්‍ය කාලය

10 වන ශත වර්ෂයේ මුල් අර්ධ කාලයට අයත් කල හැකි අක්ෂර වලින් ලියා ඇති මෙම ටැම් ලිපියද වර්තමානයේ පඬුවස්නුවර රජමහා විහාරය අසල ඇති මුත් පෙර ලිපි මෙන්ම වෙනත් ස්ථානයක සිට ගෙනා බව පෙනේ. ගල් ටැඹේ එක් පසක ඉර, හඳ, වටාපත, කපුටෙකුගේ රූපයක් සහ බල්ලෙකුගේ රූපයක් දක්වා ඇත. සිරිගඟබෝ විරුදය ලත් රජෙකුගේ 8 වන රාජ්‍ය වර්ෂයේ කස්බල් (කස්සප) නම් වූ ඔහුගේ මහපා වරයා විසින් පිහිටුවා ඇති මෙම ටැම් ලිපිය මගින්ද දෙනා වෙහෙරට අයත් (එනම් අනුරාධපුරයේ ජේතවන විහාරය ) රිහෑ බිම් පෙදෙසේ පිහිටි සිරිසගබෝ පිරිවෙනට (මෙය සිව් වන අග්ගබෝධි (ක්‍රි.ව. 667-683) රජුගේ සේනාපති වූ පොත්තසාට විසින් රජුගේ නමින් කරවූ බවට මහාවංශයේ සඳහන් වන සිරිසඟබෝ පිරිවෙන විය හැක) පිරිනැමූ මුක්තීන් කිහිපයක් පිළිබඳව විස්තර වේ. එම මුක්තීන්ද  අඩු වැඩි වශයෙන් ඉහත ලිපි වල සඳන් වන මුක්තීන්ම වේ. ටැම් ලිපිය පිහිටවූ කාලයේ සිටි සිරිගඟබෝ විරුදය ලත් රජු සිව් වන කාශ්‍යප (ක්‍රි.ව. 898-914) ලෙසින් වංශ කතා වල එන රජු ලෙස හඳුනාගත හැක. ඔහුට කාශ්‍යප නම් ලත් මහපා වරයෙකු සිටි අතර ඔහු පසුව පස් වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) ලෙසින් රජ කමට පත් විය.
5 වන කාශ්‍යප රජුගේ රාජ්‍ය කාලය

වර්තමානයේ පඬුවස්නුවර රජමහා විහාරයේ බෝමලුවට පිවිසෙන පියගැටපෙල පාමුල සිටුවා ඇති ටැම් ලිපියද ඉහත ටැම් ලිපි ලෙසින්ම වෙනත් ස්ථානයක සිට රැගෙන ආ ගල් ටැඹක් විය යුතුය. ගල් ටැඹේ එක් පසක වටාපත, අඩ සඳ, පෙට්ටියක්, නයෙක්, කපුටෙක් සහ සුනඛයෙක් කොටා ඇති මෙම ටැම් ලිපිය 10 වන සියවසේ භාවිතා වූ අක්ෂර වලින් සිරිසඟබෝ නම් රජෙකුගේ පුත් වූ  දෙබිසෙවැ දා අභාසලමෙවන්  මපුර්මකා නම් රජුගේ (සිරිමල් රණවැල්ල මහතා මෙම රජු 5 වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) ලෙසින් හඳුනාගනී. ) සත් වන රාජ්‍ය වර්ෂයේදි පිහිටුවා ඇත. එම රජුගේ මල් වු දාපුළු මහපා විසින් දකුණු පස කපිගමු බිම්හි සතලෑපණැ සුරිතේ පිහිටි දිඹුළෑ හි දෙපෑලක් තරම් වූ ඉඩම් සහ රජු විසින් අඹතලා පියන්ගලු වෙහෙරට අඹතලා දිඹුළා හි පිරිනැමූ ඉඩම් අඹතලා හි මාගිරි පිරිවෙනෙහි භික්ෂූන්ට පවරා එම ආදායමින් අභාගිරි වෙහෙරේ (අනුරාධපුරයේ අභයගිරි විහාරය) මහා සෙල් පිළිමය දෙපස පිහිටි මැණික් එබ්බවූ පහන් දල්වා එම පිළිමය ආලෝකමත් කල යුතු බවද, එම අභයගිරි වෙහෙරටම මසක් පාසා සලාක ආහාර සහ තෙල් ලබා දිය යුතු බවද පවසයි. පෙර ලිපි වල පරිදිම ඉන්පසු එම ඉඩම් අයත් ගම් වලට ලබාදුන් මුක්තීන් පිළිබඳව විස්තර වේ. 
පඬුවස්නුවර රජමහා විහාරයේ බටහිර පිවිසුම අසල පියගැටපෙල දෙපස ඇති ටැම් ලිපි
අඹතලා ලෙසින් මෙහි හැඳින්වෙන පෙදෙස මිහින්තලය ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. එසේම මෙම ටැම් ලිපිය ඉහත විස්තර වූ අනිත් ටැම් ලිපි වල සඳහන් රිහෑ බිම් පෙදෙස නොවන ප්‍රදේශයක සිට වර්තමාන ස්ථානයට රැගෙන ආ බව පැහැදිලි වන්නේ කපිගමු බිම් නම් වූ වෙනත් ප්‍රදේශයක් පිළිබඳව එහි සඳහන් වන බැවිනි.

4 වන දප්පුල රජුගේ රාජ්‍ය කාලය

පඬුවස්නුවර රජමහා විහාරයේ පුස්තකාලය අසල වර්තමානයේ සිටුවා ඇති මෙම ටැම් ලිපියද ඉහත ගල් ටැම් ලෙසින්ම වෙනත් ස්ථානයක සිට මෙහි ගෙනා බව සිතිය හැක. 10 වන ශත වර්ෂයේ මුල් භාගයට අයත් අක්ෂර වලින් ලියා ඇති මෙම ලිපිය අභා සලමෙවන් නම් විරුදය සහිත රජෙකුගේ දසවන රාජ්‍ය වර්ෂයේ උදා (උදය) නම් වූ මහපා විසින් පිහිටුවා ඇත්තේ රිහෑ බිම්හි පිහිටි (අනුරාධපුරයේ ) මහාවිහාරයට අයත් සලමෙයිවන් රජ් කපුගම් නම් වූ පිරිවෙනකට අයත් වූ කොණාතු දෙපයලෙහි වූ කොණාතු ඇඹුල්ගොඩ පිහිටි දළදාගම සහ යව යන ගම් වලට ඉහත ටැම් ලිපි වල විස්තර වන ආකාරයේම වූ මුක්තීන් පිරිනැමීමටය. ලිපියේ සඳහන් අභා සලමෙවන් රජු උදය නමින් මහපා කෙනෙකු සිටි සිව් වන දප්පුල (ක්‍රි.ව. 924-935) රජු ලෙස හඳුනාගත හැක. මෙම ටැම් ලිපියේද අඩ සඳ, නාග රූපයක්, කාක රූපයක්, ඉර, බල්ලෙකුගේ රුවක් සහ වටාපතක් දක්නට ඇත. අනිත් ලිපිවල මෙන් නොව මෙම රූප පැති හතරේම අකුරු ලියූ පේලි වලට ඉහලින් හෝ පහලින් ඉඩ ඇති පරිදි කොටා ඇත.

විහාර පිරිවෙන් වල නඩත්තුවට ගම් බිම් පිරිනමා ඒවායින් රජුට එන ආදායම නැතිකරගත් එවැනි පාලකයින් සිටියේ එදාය. පොදුවේ අත්තානි ලිපි ලෙස හැඳින්වෙන මෙම ලිපි වල නිරූපිත වටාපත මගින් එය සඟ සතු කල බව කියවෙන අතර බලු කපුටු රූප මගින් එම නියෝග කඩකලවුන් මතු ආත්මයන්හි බලු කපුටන්ව ඉපදෙන බව මතක් කරදේ. එසේම ඉර හඳ සලකුණු මගින් එම නියෝගයන් ඉර හඳ පවතින තුරා වලංගු වන බව පවසා සිටි. ඒ අනුව වර්තමානයේ සඟ සතු දේ කොල්ලකන චෞර රජවරු මරණින් පසු බල්ලන් සහ කපුටන් වනවාදැයි අපි නොදනිමු. එහෙත් ඔවුන්ගේ එම ක්‍රියාකාරකම් බලු කපුටු වැනි තිරිසන් සතුන් වුවද නොකරන ආකාරයේ තුප්පැහි වැඩ බව නම් නොකියාම බැරිය.

පඬුවස්නුවර පිළිබඳ පෙර ලිපි
මූලාශ්‍ර
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part II, Ranawella, G.S. 2004
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part I, Ranawella, G.S. 2001
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

Monday, May 22, 2017

උන්මාද චිත්‍රාව සිර කර තැබූ එක්ටැම්ගෙය සොයාගනී!!

මෙම බ්ලොග් ලිපියේ හෙඩිම දකින කවරෙකු හෝ මෙරට පළවන සති අන්ත සිංහල පුවත්පත් කියවන්නෙකු නම් මෙවන් ලිපි ඔහුට හෝ ඇයට ආගන්තුක නොවනු ඇත. රාවණාගේ ඩෙඩ් බොඩිය තියෙන ගල් ලෙනේ පටන් විජයගේ සොහොනද, කුවේණියගේ මාළිගයද, සුගලා බිසවගේ මමියද, බුදුන් උපන් තැන සිට පිරිනිවන් පෑම දක්වා ආ ගිය සියලුම තැන්ද මෙරට තුල ඔවුන්ට දැන් අපගේ අති දක්ෂ ගවේෂණශීලී පුවත්පත් කලාවේදීන් විසින් සොයා දී ඇත. ඉතිරිව ඇත්තේ වන්දනා නඩ ලෙස ගොස් වැඳ නමස්කාර කර පහන් සංවේග ඇති කර ගැනීම පමණි. මේ එම ඓතිහාසික ස්ථාන ගොඩට මගෙනුත් 'තවත් එකකි'. මෙයට පෙර කිසිවෙකු හෝ මෙය සොයාගෙන ඇත්නම් කමා කරත්වා!
මීට පෙරද අප කතා කල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර ලෙස වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශයේ රජමාලිගය සහ විහාර ආරාම වල නටබුන් හමුවන ප්‍රදේශයට දකුණින් නූතන රජමහා විහාරය ආසන්නයේ පිහිටි එක්තරා සුවිශේෂ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ වලින් සමන්විත ඉදිකිරිමක් හමුවේ. ජනවහරේ බිසෝකොටුව ලෙසින් හැඳින්වූ මෙය ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රකටව තිබුණේ පණ්ඩුවාසුදේව රජුගේ දියණිය වූ උන්මාද චිත්‍රාවන්ට පුතකු ලැබුණහොත් ඒ කුමරා සිය මයිලණුවන් මරා දමනු ඇතැයි ලෙස පවසා තිබූ අනාවැකිය ඉටුවනු වලක්වනු පිණිස ඇයව සිර කර තැබූ එක්ටැම් මාළිගය ලෙසය. මෙරට ඉතිහාසයේ එතරම් විශ්වාසය තැබිය නොහැකි ජනකතා ආශ්‍රයෙන් ගොතන ලද කොටසට අයත් උන්මාද චිත්‍රා කතාව ඓතිහාසිකව සිදුවූවක් ලෙස පිලිගැනිමට නොහැකිවා පමණක් නොව අපගේ වස්තු විෂයට අදාල ගොඩනැගිල්ල කිසිසේත්ම එතරම් ඈත යුගයක ඉදිකිරීමක් ලෙස හඳුනාගැනිමට කිසිදු සාධකද නොමැත.
මෙම ස්ථානයේ  කල ගවේෂණ වලදි මෙම ඉදිකිරීමට භාවිතා වූ ගඩොල් වල ප්‍රමාණය 12 වන සියවසේ මෙරට භාවිතා වූ ගඩොලුවලට ප්‍රමාණයට සම විමත්, ගල් ඇතිරුමේ එක් ගලක කොටා තිබූ වඩු ලකුණක් එම යුගයේම භාවිතා වූ අක්ෂර වලට අනුරූපී වීමත් අනුව මෙය නිසැකවම 12 වන ශතවර්ෂයේ කල ඉදිකිරිමක් බවට පරණවිතාන මහතා නිගමනය කරයි. වැව් බැම්මක ආකාරයට පිහිටි බිමෙන් ඉහලට නැගෙන වෘත්තාකාර පස් බැම්මක් මෙහි ඇති අතර එම පස් බැම්මේ අභ්‍යන්තර මුහුණත ගඩොලු වලින් ආවරණය කර තිබේ. මෙම වලයාකාර සුවිසල් භූමියේ මධ්‍යයට වන්නට ගඩොලින් කළ තවත් කුඩා වෘත්තාකාර ඉදිකිරීමක් වේ.
උන්මාද චිත්‍රාවගේ එක්ටැම්ගෙය නොවේ නම් මෙය කුමක්ද යන පැණය මී ලගට මතු වේ. ඒ පිළිබඳව ඉඳුරා දිය හැකි පිළිතුරක් නොමැතිමුත් සෙනරත් පරණවිතාන මහතා මේ පිළිබඳව ඉදිරිපත් කරන කල්පිතය වන්නේ මෙය චක්‍රවාලකෝට්ටයක් බවය. එයින් විශ්වය නිරූපිත බවය එතුමාගේ මතය. එම අවදියේ භාරතීය සංස්කෘතියේ ආධිපත්‍යයට නතු වූ රට වල රජවරු තමන් විශ්වපාලකයන් බව කියාපෑමට මහාමේරු පර්වත ආකෘතීන් තනා ඒවාට අයිතිය කියා සිටි බවත්, මහාමේරුවට වඩා මුලු මහත් විශ්වයේම ආකෘතියක් තැනීමෙන් එම අදහස වඩාත් ඉස්මතු කල හැකි බැවින් පරාක්‍රමබාහු කුමරා මෙවන් ඉදිකිරීමක් කර සිය වැසියන් හමුවේ චක්‍රවර්ති රජකු ලෙස වැජඹෙන්නට ඇති බවත්, එය ඔහුගේ යුධ ව්‍යාපාර සඳහා වැසියන් සහ සෙන්පතියන් අතර උද්යෝගය ඇති කිරීමට ඉවහල් වන්නට ඇති බවත්ය පරණවිතාන මහතාගේ අදහස.  
මූලාශ්‍ර
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • අසිරිමත් පඬුවස්නුවර, සෙනරත් දිසානායක, 2016

Sunday, January 22, 2017

මුල් ගල් ඉදිරීම, අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීම සහ නිශ්ශංකමල්ලගේ ගල් ආසන සෙල්ලිපියක්


එදා මෙදා තුර විවිධ ආකාරයේ පාලකයන් මේ ලක්දිව සිංහාසනාරූඩව සිට ඇති අතර ඔවුන්ගෙන් රටට, ජාතියට සහ සාසනයට සිදුවූ සේවය වංශ කතා, සෙල් ලිපි සහ වෙනත් පුරාවිද්‍යාත්මක ගවේශන ඔස්සේ අද අපට විමසා බැලිය හැක. ඒ අනුව ඉතිහාසයේ සිටි ඇතැම් රජවරුන් ශ්‍රේෂ්ඨ නරපතියන් ලෙස වර්තමානයේ සිටින අප පොදුවේ පිලිගන්නා මුත් ඇතමුන් සම්බන්ධව මෙරට ජාතියක් ලෙස සිතන බහුතරයකට ඇත්තේ එතරම් හොඳ ප්‍රතිරූපයක් නොවේ. උදාහරණයක් ලෙස දේවානම්පියතිස්ස, දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන, 1 වන විජයබාහු, මහා පරාක්‍රමබාහු, 6 වන පරාක්‍රමබාහු, 1 වන විමලධර්මසූරිය, වැන්නන් මින් පලමු ගණයට අයත් වන අතර, කෝට්ටේ යුගයේ සිටි දොන් ජුවන් ධර්මපාල මෙරට සිටි බෙලහීනම රට ජාතිය පාවාදෙන්නෙකු ලෙස ඉතිහාස ගතවී ඇත. මේ වර්ග කිරීම උපතින් අවජාතක, ජාතිය විජාතික නව පරපුරු සහ ඊණියා හිවල් සමාජ වල නපුංසක ගෝත්‍රිකයන්ට වෙනත් ආකාරයකට පෙනෙනවා ඇත. නමුත් එය අපට අදාල කාරණයක් නොවේ.

එදා මෙන්ම අදත් රට පරසතුරන්ගෙන් මුදවාගත් පාලකයන් මෙන්ම රටේ කැබැලි බාහිර සහ අභ්‍යන්තර සතුරන්ගේ ඕනෑ එපෑකම් පිරිමැසීමට ඔවුන්ට පවරා දීමට ගිවිසුම් ගැසූ දොන් ජුවන් ධර්මපාලලාද මෙරට සිටියහ. රටේ බත් කන ජාතියක් ජම්මයක් ඇති සුජාත පුත්‍රයන්ගේ කරුමයකට තණකොළ බුදින බහුතරයකගේ කැමැත්තෙන් එවන් දොන් ජුවන් ධර්මපාලලා ඇතැම් විට නැවතත් සිංහාසනාරූඩ වීමද ලොවේ කොහේ සිදු නොවූවත් මේ රටේ නම් නැවත නැවතත් සිදුවෙමින් පවතී. එවන් දොන් ජුවන් ලාට ඔවුන්ව බලයට ගෙන ඒමට අත හිත දුන් 'අල්ලපු රට වල හොටබරි' සහ 'බටහිර නරි' පිනවීම විනා ජනතාවගේ හිත සුව උදෙසා කල යුතු සංවර්ධන වැඩකටයුතු කිරීමේ උවමනාවක් කොහෙත්ම ඇත්තේ නැත. එහෙත් ඔවුන් අනුන් කල දේවලට බෝඩ් ගසා ගැනීම සහ ඒවා තමුන්ගේ සංකල්ප බව පුන පුනා දෙසා බෑම නම් අනවරතයෙන් සිදු කරයි. නෙලුම් පොකුණට, අධිවේගි මාර්ග වලට, මාගම්පුර ස්විමින් පූල් එකට, මත්තල වී ගබඩාවට තාත්තලා බාප්පලා මදිවාට අත්තනගල්ල පැත්තේ පිස්සු අම්මණ්ඩිලාද අයිතිය ඉල්ලති. කොළඹ නගරය අවට සිදුවූ නගර සංවර්ධන වැඩකටයුතු වල මුල් 'මුල් ගල්' ඉදීරී අලුතින් මුල්ගල් සහ අවසන් කිරීමේ ගල් පමණක් පැලවී උත්සව ශ්‍රීයෙන් විවෘත වී ඇති බව සීතාවක උද්භීද උද්‍යානය, බැද්දගාන ජෛවවිවිධත්ව උද්‍යානය පමණක් නොව කොට්ටාව - කඩවත වට රවුම් පාරේ සැරිසරන විටද බලාගත හැක. නම් වශයෙන් සඳහන් නොකලද ලොකු කුඩා එවන් තවත් තැන් එමටය.

මිට පෙර අප කතා කල පඬුවස්නුවර රජ මාළිගයට පිවිසීමේදිද පූර්ව කාලයේ විසූ පාලකයෙකුගේ ගලේ කෙටූ අකුරු පෙලක් අපට බලා ගත හැක. ඔහු අන් කවරෙකුවත් නොව පොළොන්නරු යුගයේ වසර 9 ක් රට පාලනය කල නිශ්ශංකමල්ලය. නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187-1196) වනාහී මෙරට වැඩිම සෙල් ලිපි ගණනාවක් පිහිටවූ පාලකයා විය හැක. දැනට කියවා පලකර ඇති එතුමන්ගේ සෙල්ලිපි ප්‍රමාණය 64 පමණ වේ. බොහෝවිට එකම කාරණා නැවත නැවතත් කියන මෙම ලිපි වලින් ඔහුගේ අතිශයෝක්තියට නැගූ වීර ක්‍රියා වලට අමතරව ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ඔහු ඉටු කල ඇතැම් දේද නැතුවා නොවේ (ඒ අතින් නම් ඔහු වර්තමාන වික්කම+මල්ලලාට වඩා ශ්‍රේෂ්ඨය.)

නිශ්ශංකමල්ල රජතුමාගේ නව වන රාජ්‍ය වර්ෂයේ පිහිටවූ මෙම ශිලා ලිපිය මගින් ඔහු ලක්දිව ගම් නියම්ගම්, රාජධානි, ප්‍රසිද්ධ ස්ථාන, ගිරි දුර්ග, වනදුර්ග, ජල දුර්ග වල තුන් වරක් සැරිසැරූ බවද, රට පුරා නීතිය හා සාමය කොතරම් දුරට ඇති කලේද යත් කාන්තාවකට පවා අගනා ආභරණ පැලද කිසිවෙකුගෙන් හිරිහැරයක් නොවී යා හැකි වූ බවද පවසා සිටී.  එසේම හෙතෙම සිරිලක එක්සත් කල බවද (ෆෙඩරල් කලේ නැත), අනාථයන් හට රන් රුවන් ආදී බොහෝ වස්තු දී අවුරුදු පතා පස්තුලාභාරක් ත්‍යාග දුන් වගද (දුප්පතාගේ පිං පඩියටද කෙලියේ නැත), ගොවියන්ගේ දුක්ඛිත ජීවිත ගැන සලකා කැති-අඩ සහ ජල බද්දද අත්හිටවූ බවද (බදු ගෙවමු - රට හදමු කීවේද නැත) වැඩිදුරටත් මෙම ලිපියෙහි සඳහන් කරයි.
ඉන්පසු සුපුරුදු පරිදි හෙතෙම පාඬි රටේ දෙවරක් සිදු කල ආක්‍රමණ ගැන පවසා බියෙන් තැතිගත් පාණ්ඩ්‍ය රජු රාජ කන්‍යාවන් සහ ඇත් අස් ආදි වස්තු එවූ බවද සොළී රටින්ද පඬුරු ලත් බවද පවසා සිටී. එසේම නිශ්ශංකේශපුර නම් දෙවොලක් එහි ඉදි කර නැවත ලක්දිව පැමිණි බවද පවසයි. මෙරට තුන් රජයෙහි (රුහුණු,මායා, පිහිටි) පමණක් නොව කාලිංග, පාණ්ඩ්‍ය සහ සොළි රටවලද දාන ශාලා පිහිටවූ බවත්, එවායෙහි දිලින්දන්ට දන් දුන් බවත් පවසා සිටි. ඔහුගේ නව වන වර්ෂයේ නවම් පොහෝදින සමනොල කඳු නැගි බවත් එහි විසිතුරු පට සලු නංවා රන් රිදී මාලා වලින් සහ නව රත්නයෙන් මලුව සැරසූ බවත් ඉන් පසු මෙහි පැමිණ රාජ ආභරණ සහ ඔටුනු පැලද මෙම ගල් ආසනයේ සිට ගීත වාදන ආදි නොයෙක් ක්‍රීඩා බලා වැඩසිටි බවත් පවසා ලිපිය නිම කරයි. එහෙත් ඔහු අන් තැන් වලදි කල ආකාරයෙන් මෙම මාළිගයද ඔහුගේ නිර්මාණයක් බව නොපැවසීමට පරිස්සම් වන්නේ වර්තමාන පාලකයන්ට වඩා ලැජ්ජා බය දෙක ඔහු හඳුනා සිටි බැවින් විය හැක. වෙනත් තැන් වල වුවද නිශ්ශංකමල්ල රජු ඔහුගේ 'වැඩක්' ලෙස පවසන්නේ නිකම්ම අනුන් කල දෙයකට බෝඩ් ගසා ගැනීමකට වඩා යම් ප්‍රතිසංස්කරණයක් හෝ නවීකරණයක් කල දෙයකට බව පෙනෙන්නට ඇත. එසේම ඔහුගේම නිර්මාණ ලෙසට හඳුනාගත් ඇතැම් ස්ථානද නැතිවා නොවේ. ඒ අතින් නම් ඔහු ශ්‍රේෂ්ඨය ගරු කල යුතුය.

මූලාශ්‍ර

Archaeological survey of Ceylon, Inscription of Ceylon, Volume VI, Ranawella G.S. 2007

Wednesday, January 18, 2017

මායා රටේ නටබුන් 1 > පරාක්‍රමපුරයේ රජ මාළිගය - පඬුවස්නුවර

 "මෙබඳු දේශයෙහි වැස්සෙන් හටගත් ජලය මදකුත් ලෝකෝපකාරයෙන් වෙන්ව කිසි කලකත් මුහුදට නො යේවා" යැයි පවසමින් ඇල වේලි, වැව්, අමුණු ඉදිකරමින් මෙරට කෙත් බිම් සරුසාර කිරීමට කැප වූ පාලකයන් පෙර කල සිටි මුත් අද මෙරට ජනයාගේ ඔලමොට්ටල කමට පිංසිදු වන්නට ජනතා මනාපයෙන් සිහසුන් අරා වැජඹෙන ජඩපාලකයන් නම් කලකට පෙර පැවසුවේ මෙරට සහල් අතිරික්තයක් ඇති බවය . එලෙස පවසා නොනැවතුන ඔවුන් කුඹුරු බිම් ගොඩ කරමින් වී වගාව වනසා දමා, පොහොර සහනාධාර ආදිය කපා දමා ගොවියා හිඟන්නෙක් කර, රට දුර්භීක්ෂයක් අබිමුඛයේ පවතින බව වැටහුන විට දැන් අපට පවසනුයේ තෙපි සාගින්නට ක්‍රෝටන් කොළ සහ කොස් කොළ කෑමට සූදානම් විය යුතු බවය.
සිංහාසනය තැබූ බවට විශ්වාස කරන මණ්ඩපය
අහසින් වැටෙන එකම දිය බිඳක්වත් මිනිසාගේ ප්‍රයෝජනට නොගෙන මුහුදට යෑමට ඉඩ නොදිය යුතු යැයි වර්තමානයේ විකෘති කර දේශපාලුවන්ගේ සිට ජඩමාධ්‍යවේදීන් දක්වා පුනරුච්චාරණය කරනුයේ මහා පරාක්‍රමබාහු රජතුමන් කල බවට මහාවංශයේ එන එම පාඨයයි. 'ලෝකෝපකාරය' යනු හුදෙක් මිනිසාගේ බඩ කට පිනවීම පමණක් නොව ගස් වැල් සතා සිව්පාවාගේ පටන් මිනිසා දක්වා සොබාදහමට අයත් වන සොබාදහමේම කොටස් කරුවන් වන සත්ව වර්ගයාගේ හිත සුව පිණිස කරනු ලබන වැඩකටයුතුයි. වැවක් තැනීමෙන් ඵල ප්‍රයෝජන ලබනුයේ මිනිසා පමණක් නොවන බව අද පවා වියලි කලාපයේ විසිරී ඇති වැව් සහ ඒ අශ්‍රිත පරිසරයේ ජෛව විවිධත්වය විමසා බැලීමෙන් වටහා ගත හැක.
 එවන් ශ්‍රේෂඨ නරපතුයෙක් වූ මහා පරාක්‍රමබාහු රජතුමන් දක්ඛිණ දේශයෙහි හෙවත්  මායා රටෙහි පාලකයාව සිටි වකවානුවේ පෙර ඉතා කුඩා වූ පණ්ඩවාපි හෙවත් පඬු වැවේ බැමි උස් කර බඳවා විශාල වැවක් බවට සංවර්ධනය කර එයට පරාක්‍රමසමුද්‍ර යැයි නම් තැබූ බව මහාවංශයේ සඳහන් වේ. එසේම එහි මැද වූ දූපතෙහි කෛලාශ පර්වතය බඳු වූ මහා දාගැබක් කර වූ බව සහ එහිම තුන් මහල් රජ මැදුරක්ද කරවූ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.
ඇතුලත බිත්තියේ ඉතිරි වී තිබෙන රත් පැහැ කපරාරුව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වර්තමානයේ පඬුවස්නුවර ලෙස හැඳින්වෙන පෙදෙසේ නුවරකැලේ නොහොත් අගලකැලේ නමින් හැඳින්වුන දිය අගලකින් සහ ප්‍රාකාරයකින් වටවූ නටබුන් ස්ථානයක් 1934 දී මුල් වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට යොමුවී හෙළිපෙහෙලි කර ආරක්ෂාව උදෙසා මුරකරුවෙක්ද පත් කරන ලදී. ඉන්පසු 1947 දක්වාම වරින් වර කැලෑ කපා භූමිය හෙළිකරමින් පවත්වාගෙන ගියද මෙම ස්ථානයේ මුල් වරට කැණීමක් ආරම්භ වන්නේ 1947 වසරේදීය. මෙම කැණිම මගින් මතු කරගත් නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල්ලිපියක් මගින් මෙම මාළිගය එතුමාගේ කාලය වන විටද නිම කර තිබූ බව පැහැදිලි වන්නේ ඔහු එම සෙල්ලිපිය කෙටූ ආසනය මත නෘත්‍යගීතවාද්‍යාදි නොයෙක් ක්‍රීඩා බලා වැඩහුන් බව එහි පැවසෙන බැවිනි. නමුත් එයින් එම ස්ථානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබේ.
එයට අමතරව මෙම කැණීමේදී  සිංහාසනය තැබූ බවට විශ්වාස කල හැකි මණ්ඩපයක් සහ බිමට සිමෙන්ති දැමූ කැසිකිලියක් සහ එහි අපද්‍රව‍ය ගල් පිහිල්ලක මාර්ගයෙන් වටකුරු වලකට යාමට සැකසූ ආකාරයක්ද මතු කර ගැනීමට හැකිවිය. එම වල ගඩොලින් බැඳ ඇඹුම්මැටි වලලු බස්සා ශක්තිමත් කර තිබුණි. රජ මාළිගයේ බිත්ති පිටතින් සුදු පැහැයෙන් සහ ඇතුළතින් රතු පැහැයෙන් කපරාරු කර තිබී ඇති බවට සාධක මෙන්ම මාළිගයේ මහල් කිහිපයක් තිබූ බවට සාධකද හමුවිය. වහල උළු සෙවිලි කර තිබූ අතර දැව දඩු පිරිද්දීමට යොදා ගත් යකඩ ඇණද විශාල ප්‍රමාණයක් හමුවී ඇත. මින් ඇතැම් ඇණ අඩි 2 පමණ දිගින්ද යුක්ත වී ඇත.
කැසිකිලිය
මෙම ස්ථානය හඳුනාගැනීම පිළිබඳ තර්කාණුකූල සහ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන සෙනරත් පරණවිතාන මහතා පරාක්‍රමබාහු කුමරා දක්ඛිණ දේශයේ පාලකයාව සිටි කාලයේ පරාක්‍රමපුරයේ ඉදි කල මාළිගය මෙය විය හැකි බවට නිගමනය කරයි. එම කාලයේ ඔහුගේ රාජධානිය පිහිටි නගරය පිළිබඳව ඉහත සඳහන් සටහනට වැඩි යමක් වංශ කතා වලින් හෙළි නොවන අතර නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල් ලිපියේ නිහඩ තාවයට හේතුවද සිය පුරෝගාමියාගේ නිර්මාණයකට සුපුරුදු පරිදි මෙහිදී තම නම යොදාගනීම එතරම් ප්‍රඥාගෝචර දෙයක් නොවන බවට හැඟීගිය නිසා විය හැකි බව පරණවිතාන මහතා සැක කරයි
කැසිකිලියේ අපවිත්‍ර ජලය එක් වීමට තැනූ කවාකාර වල
ඉහල මහල් බොහෝවිට ලී දඩු යොදා නිමවූ මෙම මාළිගය වැඩිම වුවහොත් සියවසකට වඩා වැඩි කාලයක් පවතින්නට නොහැකි වන්නට ඇත. මෙම ප්‍රදේශය මෑතක් වනතුරු පඬානුවර ලෙසින් හැඳින්වූ බව 1869 දී F. H. මොඩර් වාර්තා කර ඇත. කාලයත් සමග පරාක්‍රමපුරය වල්බිහි වීමත් සමග අසල පිහිටි පඬා වැවේ නමින් එලෙස නම් වෙනස් වූ මෙම ප්‍රදේශය ඉන් මෑත කාලය වන විට පඬුවස්නුවර වී එය පඬුවස්දෙව් රජුගේ මාළිගය පිහිටි බිම ලෙසට ජනප්‍රවාද ගත වි තිබුණි. එහෙත් මෙම මතු කරගත් මාළිගය 12 වන ශතවර්ෂයට අයත් බව පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු වී ඇත.
පොළොන්නරුවේ පිහිටි පරාක්‍රමබාහු රජතුමාගේ මාළිගයේ භූමි සැලැස්මට බෙහෙවින්ම සමාන මෙම මාළිගය එම නිසා පරාක්‍රමබාහු කුමරා මායා රටෙහි පාලනය ගෙන ගිය සමයේ මායා රටේ උතුරු සීමාවට ආසන්නව විසූ පුරවරයේ තැනූ මාළිගය ලෙස හඳුනාගැනීම නිවැරදි විය යුතුය. මුළු රටේම අධිපතියා වීමේ සිහිනයෙන් පෙළුන එතුමන් එම කාලයේ තම එදිරිවාදියා වූ 2 වන ගජබා රජතුමාගේ රාජධානියට එනම් රජරටට ආසන්නව සිය බළ මුළු රඳවා තැබීම වඩා වාසි සහගත වීමද මෙහිදි අපගේ අවධානයට ලක්විය යුතුය.

මූලාශ්‍ර
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • අසිරිමත් පඬුවස්නුවර, සෙනරත් දිසානායක, 2016
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007