Saturday, April 21, 2018

දඹුලු පර්වත සෙවනේ සැඟවුණු දඹුලු සෝමාවතිය

රංගිරි දඹුලු රජමහා විහාරය යනු දෛනිකව විශාල බැතිමතුන් පිරිසක් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් අති මහත් ප්‍රමාණයක් පැමිණෙන මෙරට පිහිටි ප්‍රසිද්ධ බෞද්ධ විහාරයකි. එහෙත් එම දඹුලු ලෙන් විහාරය පිහිටි පර්වතයේම පාමුල ලෙන් විහාරයට බටහිර දෙසින් සෝමාවතිය ලෙසින් හැඳින්වෙන තරමක විශාල දාගැබක් සහ පැරණි සංඝාරාමයක සංරක්ෂිත නටබුන් සහිත ඉතාමත් නිස්කලංක ස්ථානයක් ඇති බව අසා ඇති හෝ වරක් හෝ එම ස්ථානයට ගොස් ඇති පිරිස ඔවුන්ගෙන් ඉතාමත්ම අල්ප ප්‍රමාණයක් බව නිසැකය. 

එක් අතකින් එම අඩු සංචාරකයන් ප්‍රමාණය එම ස්ථානයේ වර්තමාන සන්සුන් වටපිටාව තවදුරටත් තබා ගැනීම සඳහා ඉවහල් වන බැවින් අප එය අගය කරමු. මෙවන් ස්ථාන වලට යා යුත්තේ ආගමික භක්තියක් ඇතිව හෝ පැරණි ස්ථාන පිළිබඳව උනන්දුවක් ඇතිව එවන් තැන් කරා යන පිරිස් විනා අවර ගණයේ රූපවාහිනි සංචාරක වැඩසටහන් බලා හැමෝම යන නිසා අපිත් යන්න ඕනේ යන අරමුණින්, නැතහොත් එසේ ගොස්  අපිත් එහෙ ගියා කියා 'Selfie ගසා 'FB Update' නොකලොත් හරිමදි වගේ හිතන පිරිස් නොවේ. එවන් සාතිශය බහුතරයක් දිනපතා මෙරට සංවේදී පාරිසරික කලාප සහ පෞරාණික ස්ථාන වලට කරන හානිය සුලු පටු නොවේ. 
සතරැස් වේදිකාවක් මත ඉදිකල ස්තූපය, පසුබිමේ දිස්වන්නේ දඹුලු පර්වතයයි
දඹුල්ල පබ්බත විහාරාරාමය ලෙසින් පුරාවිද්‍යාඥයන් විසින් හඳුන්වන මෙම ස්ථානයේ ආරම්භය හෝ ඉතිහාසය සම්බන්ධව සෙල්ලිපි හෝ සාහිත්‍ය මූලාශ්‍ර මගින් කිසිදු සඳහනක් සොයාගත නොහැක. එහෙත් දඹුල්ල ලෙන් විහාරය අවට දඹුලු පර්වතයේ හමුවන ගුහා වල ඇති පූර්ව බ්‍රාහ්මි ලිපි වලට අනුව ක්‍රි.පූ. 3 වන සියවසේ සිටම මෙම පර්වතය සහ ඒ අවට ප්‍රදේශය ගුහා ආශ්‍රිත භාවනානුයෝගී භික්ෂුන් උදෙසා වෙන්වූ සංඝාරාමයක්ව තිබූ බව පැහැදිලිය. 'පබ්බත විහාරාරාම' ලෙසින් නූතන විද්වතුන් හඳුන්වන සංඝාරාම ඉදිකිරීම මෙරට ආරම්භ වීමත් සමගම ඒ සඳහා අවැසි වූ ස්තූපය, බෝධිඝරය සහ උපෝසථඝරය එම සංඝාරාමයට එක් වන්නට ඇත. කෙසේ නමුත් පබ්බත විහාරයක අනික් මූලික අංගයක් වන පිළිමගෙය මෙම දඹුලු පබ්බතාරාමයේ දක්නට නොමැත.

එයට බලපෑ හේතුව පිළිබඳව ඉදිරිපත්වී ඇති මතය පැහැදිලි කිරීමට පොරොතුව පබ්බත විහාර යන සංකල්පය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අවශ්‍යය යැයි සිතමි. මෙයට පෙර සාකච්චා වූ මැණික්දෙන පබ්බතාරාමය පිළිබඳව වූ ලිපියේද පබ්බත විහාර යන නම සඳහන් කල මුත් ඒ පිළිබඳව වැඩි යමක් එහිද ඉදිරිපත් නොවිය.
උපෝසථඝරය
පබ්බත විහාර
මෙරට පුරාවිද්‍යා ගවේෂණයේ ආරම්භක යුගයේ සිටම අනුරාධපුර නගරයට පරිබාහිරව නගරයට තරමක ඈතින් වන්නට ඉදි කර තිබූ විජයාරාම, තොලුවිල, පංකුලිය, පුලියන්කුලම වැනි නටබුන් ස්ථාන මෙන්ම මැණික්දෙන, දඹුල්ල කළුදියපොකුණ, සීගීරිය, රාම කැලේවෙස්සගිරිය, ලාහුගල මඟුල්මහා වෙහෙර,  වැනි අගනගරයට දුරස්ථව පිහිටි ඇතැම් ස්ථාන වලද දක්නට ඇති ආරාමික නටබුන් වලට පොදු වූ යම් යම් ලක්ෂණ H.C.P බෙල්, A. M. හොකාර්ට් (A.M. Hocart) සෙනරත් පරනවිතාන වැනි විද්වතුන්ගේ අවධානයට බඳුන්විය. ඒ අතරින් හොකාර්ට් මහතා මෙවැනි බොහෝ ස්ථාන වල ප්‍රධාන ගොඩනැගිලි කිහිපය හෝ/සහ මුළු පරිශ්‍රයම ඇතැම් විට දිය අගලකින් වටවූ බවට සාධක හමුවන හෙයින් ඒවා 'Moated Sites' ලෙසින් වර්ගීකරණයකට ඇතුලත් කලේය. පබ්බත විහාර යන නම එවන් ස්ථාන සඳහා මුල්වරට යොදාගත්තේ සෙනරත් පරණවිතාන මහතාය. සේනක බණ්ඩාරනායක මහතාද එම නාමයම එවන් විහාරාරාම පිළිබඳව විස්තර කිරීම උදෙසා යොදාගන්නා මුත් පසුකාලීනව ලීලානන්ද ප්‍රේමතිලක සහ රෝලන්ඩ් සිල්වා යන විද්වතුන් පංචාවාස යන නාමය  වාස්තුවිද්‍යා ශාස්ත්‍රය පිළිබඳව වූ පැරණි ග්‍රන්ථයක් වන මංජු ශ්‍රී වාස්තුවිද්‍යාශාස්ත්‍ර අනුසාරයෙන් ඒ සඳහා ඉදිරිපත් කරයි. කෙසේ නමුත් බොහෝවිට පබ්බත විහාර යන නමින්ම වර්තමානයේ හැඳින්වෙන මෙම සංඝාරාම වල ආරම්භය 5 - 6 යන සියවස් වල සිදුවූ ලෙස සැලකේ.

පබ්බතවිහාර පරිශ්‍ර වල මධ්‍යගතව ප්‍රාකාරයකින් සහ දිය අගලකින් වටවූ ආයත චතුරශ්‍රාකාර උස් මලුවක් තුල ප්‍රධාන ආගමික ගොඩනැගිලි හතරක් හෝ ඇතැම්විට 5 දැකිය හැක. එම මළුවට ඇතුළු වීම සඳහා බොහෝ විට ප්‍රාකාරයේ සහ දිය අගලේ එක පසකින් මධ්‍යයෙහි පිහිටි දොරටුවක් හෝ සිව් දිසාවෙන්ම මධ්‍යයෙහි වූ දොරටු හතරක් තිබී ඇත. මළුව තුල වූ ගොඩනැගිලි හතර, ස්තූපය, පාසාද හෙවත් උපෝසථඝරය, පතිමාඝර හෙවත් පිළිම ගෙය සහ බෝධිමළුව හෙවත් බෝධිඝරය ලෙස හඳුනාගෙන ඇත. මෙයට අමතරව මැණික්දෙන සහ පිදුරංගල යන පබ්බත විහාර වල සභාසාලාවක්ද දැකිය හැක. පංචාවාස යන නාමය මෙවන් සංඝාරාම සඳහා යොදාගැනීමේ පදනම එම ගොඩනැගිලි පහයි. කෙසේ නමුත් මෙරට හමුවන බොහෝ පබ්බත විහාර පරිශ්‍ර වල හමුවන්නේ ඉහත මුලින් සඳහන් කල ගොඩනැහිලි සතර පමණි.
මැණික්දෙණ පබ්බත විහාරයේ ප්‍රධාන මලුවේ ගොඩනැගිලි පිහිටා ඇති ආකාරය

මෙම ප්‍රධාන මළුවට බාහිරව පිහිටි භූමියේ භික්ෂූන් වහන්සේගේ වාසස්ථානය සඳහා ඉදිවූ කුටි මෙන්ම උන්වහන්සේලාගේ දෛනික ජීවිකාව සඳහා අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම සඳහා ඉදිවූ භෝජනශාලා, කැසිකිලි, වැසිකිලි, ජන්තාඝර හෙවත් නාන ගෙවල් යනාදිය දැකිය හැක. මේ සියල්ලටම පිටතින් නැවතත් ආයත චතුරශ්‍රාකාර පිට ප්‍රාකාරයක් සහ දිය අගලක් හමුවේ. පරිශ්‍රයට පිවිසීම සඳහා දිය අගල හරහා වූ සපත්තු පාලමක් සහ දොරටුවක් දැකිය හැක.

කෙසේ නමුත් සියළුම පබ්බත විහාර මෙම සියළු අංග වලින් පරිපූර්නයැයි පැවසිය නොහැක. මේ ඇතැම් අංග සමහර පබ්බත විහාර පරිශ්‍ර වල හමු නොවේ. එසේම මෙම අංග වලට වඩා අමතර ගොඩනැගිලි හමුවන ස්ථානද නැතිවා නොවේ. උදාහරණයක් ලෙසට සේනක බණ්ඩාරනායක මහතා පූජනීය සංකිර්ණය (Shrine Complex) ලෙසින් හඳුනාගන්නා මාලකයක් තොළුවිල වැනි පබ්බත විහාර පරිශ්‍ර කිහිපයක හමුවේ. තවද කළුදිය පොකුණ (දඹුල්ල) වැනි පබ්බත විහාර පරිශ්‍ර වල දිය අගල වෙනුවට ස්වභාවික ජල පාරවල්ම උපයෝගි කරගෙන ඇත.

මේ වන විට 100 කට වැඩි පබ්බත විහාර ලෙස හඳුනාගත හැකි ස්ථාන ප්‍රමාණයක් පැරණි සිංහල-බෞද්ධ සභ්‍යත්වය පැතිර තිබූ රජරට සහ රුහුණු රට විවිධ ප්‍රදේශවලින් හමුවී ඇත. එම ප්‍රමාණය අනාගත ගවේශන  තුලින්, විශේෂයෙන් වනාන්තර තුල ඇති නටබුන් ස්ථාන ආශ්‍රිතව සිදුවන ගවේශන සහ කැනීම් මගින් තවදුරටත් වැඩි වනු ඇත.
බෝධිඝරය
දඹුල්ල සෝමාවතිය - පබ්බතාරාමයක් ලෙස
ඉහත විස්තර වූ පබ්බත විහාරයන්හි ප්‍රධාන මළුවේ හමුවන ගොඩනැගිලි සතර අතරින් තුනක් මෙහි දැකිය හැක. නැතහොත් ස්තූපය, බෝධිඝරය සහ උපෝසථඝරය මෙහි දැකිය හැකි අතර පතිමාඝරයක් දක්නට නොමැත. කෙසේ නමුත් මෙම ගොඩනැගිලි හමුවන පරිශ්‍රයට ඉහලින් පර්වතය මුදුනේ මෙම පබ්බතාරාමයේ ගොඩනැගිලි ඉදි වන්නටත් පෙර සිටම පැවැති පිළිමගෙවල් ලෙසට හඳුනාගත හැකි ලෙන් තුනක්ම දැකිය හැක (ප්‍රසිද්ධ රංගිරි දඹුලු ලෙන් විහාරය.). මේ නිසා පිළිමගෙයක අවශ්‍යතාවය සම්පූර්ණ වේ. එසේම වෙනත් පබ්බත විහාර වල එම ගොඩනැගිලි සතර  වටා ඉදිවූ ප්‍රාකාරයද මෙහි දක්නට නොමැත්තේ පිළිමගෙයද සහිතව එය ඉදි කිරීමේ ප්‍රායෝගික අපහසුතාවය නිසා විය නොහැකිද?

තවද වෙනත් පබ්බත විහාර වල ප්‍රධාන මළුවට බැහැරින් එය වටා ඉදි කර ඇති භික්ෂූන්ගේ වාසස්ථානය සඳහා ඉදිවූ කුටි වෙනුවට මෙහි ඇත්තේ පබ්බත විහාරයේ නටබුන් ඇති ස්ථානයට උතුරින් ඒ ආසන්නයේම සහ මදක් නැගෙනහිර දෙසට වන්නට පර්වතයේ බෑවුමේ දැකිය හැකි කටාරම් කෙටූ ලෙන් සමූහයයි. මේ ලෙන් වලින් 30 කට ආසන්න ප්‍රමාණයක ඒවා සඝ සතු කල බවට වූ පූර්ව සහ අපර බ්‍රාහ්මි ලිපි හමුවේ.
බෝධිය රෝපණය කල ස්ථානය සහ වැඩිපුර ජලය ගලා යාමට තැනවූ අගල
මෙම ස්ථූපයේ සිදු කල කැනීම් වලදි අවධි දෙකක ඉදිකිරීම් මතුවූ අතර ඉන් මුල් අවධිය 5-6 සියවස් වලටත් ඉන්පසු 8-10 සියවස් වලටත් පුරාවිද්‍යාඥයන් කාල නිර්ණය කරයි. නිදන් හොරුන්ගේ ග්‍රහණයට සියවස් ගණනාවක් ලක්වීම නිසා එහි ධාතු ගර්භයේ වූ බොහෝ දේ විනාශ වී තිබූ අතර බදාම වලින් සෑදු පද්මාකාර පාදමක්, මැටි බුදු පිළිම ආදිය පමණක් ඉතිරි වි තිබී හමු විය. එසේම ස්තූපයේ ඉහල කොටසේ තිබී විනාශ වූ මැටි රූප වල කොටස්ද මලුවේ සුන් බුන් අතර තිබී හමු විය. මෙම ස්තූපයේ කොරවක්ගල ගඩොලින්ම නිර්මාණය කර තිබීම සුවිශේෂ ලක්ෂණයක් ලෙස හඳුනාගත හැක.

ජනප්‍රවාද ගත තොරතුරු අනුව පැවසෙන මෙම ස්තූපයේ සෝමාදේවියගේ ආභරණ තැන්පත් කර තිබුනාය යන්නෙහි කිසිදු පදනමක් තිබිය නොහැක. කෙසේ නමුත් මෙම ස්තූපයේ පාදමේ සහ පොළොන්නරුවේ ඇති සෝමාවතී ස්තූපයේ පාදමේ ඇති සමානත්වය පිළිබඳව ලක්ෂ්මන් අල්විස් මහතා සිය කැනීම් වාර්තාවේදි අවධානය යොමුකර ඇත.

මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Sinhalese Monastic Architecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake, 2009
  • ශ්‍රි ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • Golden Rock Temple of Dambulla, Anuradha Seneviratna, 1983
  • රංගිරි දඹුලු විහාරය, මහාචාර්ය මංගල ඉලංගසිංහ, 1987
  • Bibliotheca zeylanica series 1, Manjusri Vastuvidyasastra, M.H.F. Jayasuriya, Leelananda Prematilleke, Roland Silva, 1995
  • Memoirs of the Archaeological Survey of Ceylon Volume X - Part II, Environment, Town,Village And Monastic Planning, Roland Silva, 2006
  • Unesco-Sri Lanka Project of the Cultural Triangle, Conservation And Development of Dambulla Caves, First Conservation Project 1983, Lakshman Alwis, 1989
  • Unesco-Sri Lanka Project of the Cultural Triangle, Daambulla Project, Second Conservation Report, , Lakshman Alwis
  • අපේ සංස්කෘතික උරුමය, ද්විතිය කාණ්ඩය, 1998

Tuesday, April 17, 2018

පයිබස්ගේ ගමන් විස්තරය 3 - මහතලා රටින් කන්ද උඩ රටට

ජෝන් පයිබස් නම් ඉංග්‍රිසි පෙරදිග ඉන්දීය සමාගමේ නිලධාරියෙක් ඇතුළු පිරිසක් වර්ෂ 1762 දී කන්ද උඩරට රාජධානියේ පාලකයා වූ කීර්ති ශ්‍රි රාජසිංහ හමුවීමට යෙදුන දූත ගමනක විස්තර, වීශේෂයෙන්ම ඔහුගේ ගමන් මග පිළිබඳව විස්තර මෙයට පෙර ලිපි දෙකකින් විමසා බැලුවෙමු. මේ එම ලිපි පෙලේ අවසාන කොටසයි. පෙර ලිපි කියවීමට>> 
ගෝනවල සිට නාඋල දක්වා පයිබස් ගමන් කල මාර්ගයේ හමු වන ගම්මානයක දර්ශනයක්
එදින පස්වරු 12.30 ට පමණ පයිබස් පොල් ආර් (Pollar) ලෙසින් මගපෙන්වන්නන් ඔහුට හඳුන්වා දුන් මින්නේරි වැවට වැටෙන ගංගාවක අතුගංගාවක් හරහා ගොස් සවස 3 පමණ වනතුරු ඝන වනාන්තරය මැදින් වැටුන ගල් සහිත මාර්ගයක ගමන් කල බව පවසයි.දෙමළ භාෂාවෙන් පැල් ආර් ලෙස හඳුන්වන්නේ කිරි ඔය ලෙස හඳුනාගත හැක. මේ ප්‍රදේශය හරහා ගලා ගොස් මින්නේරිය වැවට වැටෙන්නේ කිරි ඔය පමණි. සවස 3.30 පමණ වන විට පයිබස් ඇතුළු පිරිස සිංහලයන් Negavatowany ලෙසත් මලබාර්වරු (ද්‍රවිඩ ජාතිකයන්) Nawtchytolum ලෙසත් හඳුන්වන බව පයිබස් පවසන චෝලියාර්වරු (මුස්ලිම් ජාතිකයන්) වාසය කරන ගම්මානයකට පැමිණේ. එම ගම්මානයේ නිවාස 7-8 පමණ තිබී ඇත. මේ ගම්මානය නිකවටවන ලෙස හඳුනාගත හැක. ඒ අනුව පෙයික්කුලම් වැවේ සිට පයිබස් ආ ගමන් මග මෙලෙසින් සලකුණු කල හැක.
සිතියම 1 - පෙයික්කුලම් සිට නිකවටවන දක්වා අඟලේ සිතියම්  වල දැක්වෙන පැරණි මාර්ගය රතු පාටින් දක්වා ඇත.
පෙයික්කුලම් වැව අසලින් බටහිර දෙසට ගොස් මකරයාවල සහ පොල්අත්තාව හරහා වැටී  ඇති එම පැරණි මාර්ගය අඟලේ සිතියම් වල පැහැදිලිව ලකුණු කර ඇත. මකරයාවල අසලදී එම මාර්ගය පයිබස් පවසන පරිදි කිරි ඔයේ ශාඛාවක් හරහාද වැටි ඇත. පෙයික්කුලම් වැව සහ එහි සිට වැටී ඇති මාර්ගය අද සීගිරිය අභයභූමියට අයත් ඝන වනාන්තරය තුල පිහිටා ඇත. කෙසේ නමුත් අඩි පාරක් ලෙස පෙයික්කුලම් වැව දෙසින් එන මාර්ගය සිගිරිය සිට වෑවල වැව දෙසට යන ගුරු පාරේ ගිය විට පොල්අත්තාව අසලදී හමුවේ (Google Street View ඡායාරූපය බලන්න). පොල්අත්තාව සිට නිකවටවන දෙසට වූ මාර්ගය පැරණි සිතියමට අනුව මද දුරක් වර්තමානයේ පොල්අත්තාවේ සිට වෑවල වැව දෙසට ඇති ගුරු පාරේ ගොස් මේ වන විට කිසියම් වන වගාවක් ලෙස සංවර්ධනය වූ ඉඩමක් හරහා යන බව පෙනේ. නිකවටන ගම අසලදි එම මාර්ගය වැටී තිබූ ප්‍රදේශය මේ වන විට කුඹුරු ඉඩම් වලට ඉඩදී අතුරුදහන් වී ඇත. පොල්අත්තාවේ සිට නිකවටන ගමට ඇති වර්තමාන මාවත ඇලහැර ඇල ලෙස Google Map වල දැක්වෙන ඇල මාර්ගයකට සමාන්තරව තනා ඇති නව මාවතකි. .
සීගිරිය-වෑවල වැව ගුරු පාරේ සිට පෙයික්කුලම් වැව දක්වා වැටී ඇති මාර්ගය (Google Street View)

පෙයික්කුලම් වැව සහ එහි සිට සීගිරිය-වෑවල ගුරු පාරට වැටී ඇති පැරණි මාවත

පෙයිකුලම් සිට නිකවටවන දක්වා පොල්අත්තාව හරහා පැරණි මාවත කළු පාටින්ද වර්තමාන මාවත් නිල් පාටින්ද සලකුණු කර ඇත.
මැයි 13 වන දින පස්වරු 2 ට නිකවටවනින් පිටත් වන පයිබස් පස්වරු 3.30 පමණ වන තුරු වනාන්තරය මැදින් ඇති මාර්ගයක ගමන් කර නැවත දෙපසින් සහ ඉදිරියෙන් කඳු වලින් වටවූ විවෘත භූමියකට පැමිණේ. එම කුඩා විවෘත භූමිය අවසානයේ නැවතත් වනාන්තරයට ඇතුළු වී ප.ව. 3.45 ට පමණ ප්‍රධාන පාරින් කුඩා අතු පාරක් ඔස්සේ ගොස් යාර 50-60 පමණ දුරකදී ඔහු වෙනුවෙන් පොල් අතු වලින් තැනූ මඩුවක එදින රැය ගත කරයි. පයිබස් පවසන පරිදි Gonargy නමින් හැඳින්වූ එම ප්‍රදේශයේ වෙනත් වාසස්ථානයක් ඇති බවට කිසිදු සලකුණක් තිබී නොමැත. පසුදිනද එම ස්ථානයේම නැවතී සිටින පයිබස් නැවත ගමන් අරඹන්නේ මැයි 15 වන දිනය.
සිතියම 2
Gonargy ලෙසින් පයිබස් සඳහන් කරන ස්ථානය ගෝනවල ලෙස හඳුනාගත හැක. ඒ අනුව නිකවටවන සිට ගෝනවලට වැටි ඇති පැරණි අඟලේ සිතියම් වල දැක්වෙන මාර්ග දෙකක් ඉහත සිතියම 2 සලකුණු කර ඇත. මේ වන විට වනාන්තරය එලි වී ඇතිමුත් පයිබස් සඳහන් කරන දෙපසින් සහ ඉදිරිපසින් කඳු වලින් වටවූ භූ දර්ශනය විවෘත භූමියකදී මෙම මාවත් දෙකෙහිම යනවිට දැකීමේ හැකියාව ඇත. කෙසේ නමුත් පැරණි මාවත එම මාවත් දෙකටම වඩා තව දුරටත් නැගෙනහිර දෙසට බරව ගෝනවල දෙසට යොමුවී තිබෙන්නට ඇත (සිතියම 3 බලන්න) ජනාවාස වීමත් සමග මෙම ප්‍රදේශයේ මේ වන විට දැකිය හැකි මංමාවත් (පැරණි අඟලේ සිතියම් වල දැක්වෙන මාවත් පවා) පැරණි මාර්ග ලෙස හඳුනාගැනීමට යෑම එතරම් නිවැරදි නොවිය හැක. කෙසේ වෙතත් පයිබස් ගෝනවල ගමට නොගිය බව ඔහුගේ විස්තරයෙන් පෙනෙන බැවින් බොහෝවිට ඉහත දුඹුරු පාටින් සලකුණු කර ඇති මාර්ගයේ ගෝනවලට ආසන්න කිසියම් තැනක ඔහු නවාතැන් ගත් බව අනුමාණ කල හැකිය. එසේම ගමනේ මේ කොටසේදී දිය පාරක් හරහා ගිය බවක් ඔහුගේ විස්තරයේ නොමැති බැවින් එම නිගමනය වඩාත් තහවුරු වේ.
සිතියම 3
ගෝනවල සිට ගමන් මග කඳුකර මගක් වූ බව පයිබස් පවසයි. Wurmavaley (වල්ගම් වැව?)  නම් වූ ගමකට අයත් කුඹුරු යායක් අතරමගදි හමුවේ. එම ගම ඔවුන් ගමන් කල මාර්ගයේම පසෙක කැලය තුල වූ බැවින් ඔහුට දැකගැනීමට හැකි වී නැත. සවස 1.30 ට සහ නැවතත් 2 ට පමණ දිය පාරවල් හරහා ගිය බවත්, ඒවා කඳූ මුදුන් වලින් පටන් ගන්නා බවත් පවසන පයිබස් නැවතත් පස්වරු 3.30 ට පමණ ගල් වලින් සැකසූ බැම්මක් මගින් ජලය රඳවා තැබූ ස්ථානයක වූ දිය කඳුරක් මතින්ද ගමන් කල බව පවසයි. එම ස්ථානයේ වූ අඩි 12 පමණ උස ගල් කණු හතරක් මත සෙවිලි කල වහලයක් ඇතිව ඉදි කල අම්බලමක් පිළිබඳව විස්තර කරමින් පයිබස් පවසන්නේ එවන් ආකාරයේ ගොඩනැගිල්ලක් ඔහු මේ ගමනේදී දුටුවේ පළමුවරට බවය.
ගෝනවල සිට නාඋලට පැරණි මාර්ගය
ගෝනවල පෙදෙසේ සිට වර්තමාන මහනුවර-යාපනය A9 මාර්ගයේ නාඋලට වැටෙන මාර්ගයක් පැරණි අඟලේ සිතියම් වල සලකුණු කර ඇත. 1822 දී Schneider නම් වු ඉංග්‍රිසි මිනින්දෝරුවා පිළියෙල කල සිතියමකද එම මාර්ගය තිබී ඇත. මින්නේරිය වැවේ සිට පෙයික්කුලම් වැව-මකරයාවල-නිකවටවන-ගෝනවල-ඇරෑවුල-කලෝගහඇල වැව- වල්ගම් වැව-නයාකුඹුර-කරවිලහේන හරහා එම මාර්ගය නාඋලට තිබී ඇත. පයිබස් ගමන් කරන මාර්ගයද බොහෝ දුරට මෙම මාර්ගයම බව ඉහත ලිපි වලින්ද පෙන්වා දුන් ස්ථාන නාම සහ මෙම ග්‍රාම නාම ලේඛනය සසදා බැලීමේදි වැටහි යනු ඇත.
නිකවටවන සිට නාඋල දක්වා උපකල්පිත පැරණි මාර්ගය
මේ මාර්ගය ස්ථාන දෙකකදී දඹුළු ඔයේ ශාඛාවන් දෙකක් හරහා යන බැවින් පයිබස් පවසන පැය භාගයක කාලාන්තරයක් තුල ඔහු තරණය කල දිය පාරවල් දෙක ඒවා වීමට පුළුවන. එසේම ඔහු සඳහන් කරන අමුණද දඹුළු ඔයේ කිසියම් ස්ථානයක වූ අමුණක් විය හැක.
ඉහත විස්තර වූ ගෝනවල-නාඋල පැරණි මාර්ගයේ වම් පසින් පිහිටි කඳු පංතිය
නැවත මාර්ගයේ ගිණිකොණ දෙසින් හමුවූ කුඹුරු, නාඋල (Navelly) නම් ගමකට අයත් නමුත් ඒ ගම ඔහුට සිය ගමන් මගේ හමු නොවූ බව පයිබස් පවසයි. වේගයෙන් ගලන ජලය සහිත නාලන්ද ඔය (Nawlundy) නම් වූ ඔයක් හරහා අනතුරුව පයිබස් ගමන් කරයි. එහි දෙපස වූ ගල් වලට අනුව කිසියම් ආකාරයක පාලමක් එහි තිබී ඇති බව ඔහු අනුමාණ කරයි. එතැන් සිට සැතපුම් 1.5 පමණ ගිය විට කඩවත(Cravetty) නම් ගම හමුවේ. එම ගම ගෙවල් සියයකට වඩා ඇති ජනාකිර්න වූ ගමක් ලෙසය පයිබස් හඳුන්වන්නේ.

පස්වරු 5.45 ට පමණ එම ස්ථානයට පැමිණි බවත් එහි කිසියම් ආකාරයක මුර පොලක් වැනි තැනක් හරහා ගිය බවත්, එහි එක් පසක මඩ වලින් තැනූ බිත්තියක්ද අනිත් පස කුඩා ගෙවල් 2-3 ක්ද තිබූ බවත්, කෙසේ එම ස්ථානයට පැමිණියාදැයි කිව නොහැකි කාලතුවක්කුවක්ද (Iron 3-Pounder) එහි වූ බවත් බොහෝවිට එය පෘතුගීසීන් තෑගි කල එකක් විය හැකි බවත් ඔහු පවසයි. එහි සිටි පුද්ගලයන් පයිබස්ට පවසන්නේ එවන් කාලතුවක්කු තවත් 2 එහි තිබූ බවත් ඒවා ඕලන්දයන් හා සටන් කිරීම පිනිස රැගෙන ගිය බවත්ය.

පයිබස්ගේ ගමන් විස්තරය සංස්කරණය කල රේවන් හාර්ට් මහතාට මෙම කඩවත තිබූ ප්‍රදේශයේ වැසියන් (එම ප්‍රදේශය දැනටද කොටගොඩැල්ල [නිවැරදි වචනය කොටුගොඩැල්ල විය යුතුයි] ලෙසින් හඳුන් වන බව රේවන් හාර්ට් පවසයි.) පවසා ඇත්තේ එම කාලතුවක්කුව මාතලේ උද්‍යානයේ දැනට ඇති බවයි. මාතලේ V.T. නානායක්කාර උද්‍යානයේ ඇති කාලතුවක්කුවේ දැනට එය තබා ඇති සිමෙන්ති පාදමේ 'Nalanda 1762' ලෙස කොටා ඇති මුත් (මේ සමග ඇති ඡායාරූපය බලන්න.) එය ඉහත කී නාලන්ද කොටුවේ තිබී ගෙන ආ කාලතුවක්කුවමදැයි තව දුරටත් විමසා බැලිය යුතුය. 1762 යන වර්ෂය ගැන සැලකීමේදී පෙනී යන්නේ පයිබස්ගේ 1762 වාර්තාව පදනම් කරගෙන එම වර්ෂය කාලතුවක්කුවට ආදේශ කර ඇති බවය.
මාතලේ V.T. නානායක්කාර උද්‍යානයේ ඇති කාලතුවක්කුව. මෙය නාලන්ද කොටුව තිබූ ස්ථානයේ සිට ගෙන ආ බව පැවසේ.
මේ කොටසේදී පයිබස්ගේ ගමන් මග වර්තමාන මහනුවර - යාපනය A9 මාර්ගය ඔස්සේ වැටී ඇති බව පෙනේ. නාලන්ද ඔය පසු කල විට ඔහුට හමුවන්නේ එම මාර්ගයේ පැමිණ කන්ද උඩරටට ඇතුළු වන/පිටවෙන පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැස් කිරීම උදෙසා තිබූ කඩවත බව පැහැදිලිය. එහෙයින්ම එම ප්‍රදේශයේ පිහිටි ගම්මානයද කඩවත යන නමින් හැඳින්වී ඇත. පහත රූපයේ කඳු පිහිටීම අනුව එම ස්ථානයේ ඇති උපායමාර්ගික වැදගත්කම අවබෝධ කරගත හැක.
මැයි 16 වන දින පයිබස්ගේ ගමන යෙදී තිබූ කඩවත සිට ඉදිරියට යන කඳුකර මාර්ගය දෙපස තිබූ ගම් ඔහුට දැකගැනීමට නොහැකි වුවත් එම පෙදෙස් සැලකිය යුතු ලෙසින් ජනාකීර්න බව ඔහුගේ ගමන බැලීමට මග දෙපස එක් රැස් වූ පුද්ගලයන් ප්‍රමාණය ගැන සැලකීමෙන් වටහාගත හැකි බව පයිබස් පවසයි. සවස 4 පමණ වන විට ඔහු කුඹුරු යායක් අසලින් ගලාගිය Pallahput (පලාපත්වල) නම් වූ ගඟක අතු ගංගාවක් පසු කරයි. එම අතු ගංගාව හරහා වහලය සහිත ලී වලින් සෑදු පාලමක් වූ බව පයිබස් සටහන් කර තබයි. නැවත සවස 5 පමණ වන විට Punnamo (පන්නගම) නම් ගමක් පසු කරයි. සවස 5.30 පමණ වන විට නිම්නයක තිබූ කිසියම් වන්දනාමාන කරන ස්ථානයක් අසලින් යෑමේදි ඔහුට දෝලාවෙන් බැස යන ලෙස දැනුම්දුන් බවත් ඔහු කිසි විරෝධයක් නොදක්වා එයට එකඟ වූ බවත් පයිබස් පවසයි. නමුත් එහි විශාල ගස් කිහිපයක් සහ ඒවා යට තබා තිබූ ගල් කැබැලි කිහිපයක් විනා ඔහු බලාපොරොත්තු වූ අන්දමේ කදිම පැගෝඩාවක් (දාගැබක්) හෝ වෙනත් එවැනි ගොඩනැගිල්ලක් දක්නට නොමැති වීමෙන් පයිබස් විශ්මයට පත්වේ. පස්වරු 5.45 ට පමණ ඔවුන් එදින ඔවුන්ගේ නවාතැන වූ Oulang Gamee (හුලංගමුව) වෙත ලගාවේ. හුලංගමුව යනු ජනාකීර්න  කදිම විශාල ගම්මානයක් බව පයිබස් පවසයි.
ඉහත හඳුනාගැනීම අනුව තවදුරටත් පයිබස් ගමන් කරන්නේ වර්තමාන A9 මාර්ගය ඔස්සේ එවකට තිබූ මාවතක බව පැහැදිලි වනු ඇත. පන්නගම සහ හුලංගමුව වර්තමාන මාතලේ නගරයට බටහිර දෙසින් වූ ප්‍රදේශ වේ. මාතලේ නොහොත් මහතලා ලෙසින් එවකට හැඳින්වූයේ රටක් හෙවත් විශාල ප්‍රදේශයක් විනා නගරයක් නොවේ. වර්තමාන මාතලේ නගරය පසු කාලයකදි ඉදි වී ඇත.
මැයි 17 වන දින පෙ.ව. 10.20 ට හුලංගමුවෙන් පිටත් වන පයිබස් සැතපුමක පමණ දුරකදි සරුසාර කුඹුරු යායක් පසු කර, Pulang Gamee නම් වූ ගඟක ශාඛාවක්ද පසු කරයි. පැහැදිලිවම Pulang Gamee යනු හුලංගමු යන නම ඇති ඔයක් විය යුතුය. එම ඔය හරහා කැටයම් කපා තිබූ ලී පාලමක් තිබී ඇත. පෙර මෙන්ම වැසියන්ගේ නිවාස මග දෙපස වූ ගස් වලට මුවා වී සැඟවී තිබුනද මෙම ප්‍රදේශයද බෙහෙවින් ජනාකීර්න බව ඔහුගේ ගමන බැලීමට මග දෙපස රැස්වූ ජනතාව දෙස බැලූ විට වටහා ගත හැකි බව පයිබස් පවසයි. කඳුකර මගක් වූ බැවින් මෙම ගමනේදී බොහෝවිට පයිබස්ට දෝලාවෙන් බැස පා ගමනින් යෑමට සිදුවී ඇත. අතරමගදී ඔහුට පාරේ නැගෙනහිර දෙසින් සැතපුම් 10 පමණ ඈත තිබෙන සුන්දර දියඇල්ලක් දැකගැනීමට හැකිවේ. මධ්‍යහ්න 12 පමණ වන විට ගමනේ බෑවුම් අධිකම කන්ද තරණය කල බවත් ඇවිදිනවාට වඩා එය දණගාගෙන යාමක් වූ බවත් පයිබස් පවසයි. කෙසේ නමුත් 12.30 පමණ වන විට එහි මුදුනට ලගාවීමට ඔහුට හැකිවේ. එම කඳු මුදුනින් මහතලා දිස්ත්‍රික්කය (Mathili District) සහ හාරිස්පත්තු දිස්ත්‍රික්කය (Hawseput District) වෙන්වන බව ඔහුට දැනගැනීමට හැකිවේ. ප.ව. 3.45 ට පමණ ඔහු එදින ගමනාන්තය කරා ලඟාවේ. එහි ඔහු වෙනුවෙන් 200 දෙනෙකුට වුවද නවාතැන් ගැනීමට හැකි පරිදි ඔහුට සහ ඔහුගේ සේවකයන්ට සිටීමට සහ ගමන් මළු තැබීම සඳහා වෙන වෙනම කාමර සහිත ගොඩනැගිල්ලක් තාවකාලිකව තනා තිබී ඇත. එම නිවස ඔහු වෙනුවෙන් සෑදීම සඳහා මහනුවර සිට රජු එවා තිබූ නිලධාරියාද ඔහුට එහිදී හමුවේ. ඔහු එදින නවාතැන් ගත් එම ස්ථානය Canvetty ලෙසින් හැඳින්වුන බව පයිබස් පවසයි.
මැයි 18 වන දින පෙ.ව. 11.40 ට ගමන් අරඹන පයිබස් හට එතැන් සිට යෑමට සිදුවූ මාර්ගය බෙහෙවින්ම කඳු පල්ලම් සහිත බවත්, දෝලාවෙන් යාම බෙහෙවින්ම දුෂ්කර වූ බවත් ඔහු සිය ගමන් විස්තරයේ සටහන් කර ඇත. මෙම මග බොහෝ කඳු මුදුන් වල වන ආවරණය ඉවත් කර ඇති බවත්, ඒවා  හරකුන්ට කෑම සඳහා අවශ්‍ය තණකොල වලින් වැසී ඇති බවත් හෙතෙම සඳහන් කරයි (මෙම ප්‍රදේශයේ ඇති පතන් බිම් පිළිබඳ පයිබස් මෙහිදි අදහස් කරන බව පෙනේ.). එසේම නිම්න භූමි සරුසාර ලෙස වගා කර ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. සවස 2 පමණ වන විට ඔහු ගං ඉවුර අසලට ලඟාවේ. එහිදි ශාක වැස්ම නැවතත් ගනව වැවී ඇති බවත්, එතැන් සිට තව දුරටත් ගමන් කර අවසානයේ ප.ව. 3 පමණ වන විට බෙහෙවින් බෑවුම සහ  ගල් සහිත කන්දක් (Steep Stoney Hill) තරණය කල විට එහි අනික් පස ජෙනරාල් (දිසාවේ වරයෙකු) ඔහු හමුවීම සඳහා පැමිණ තිබූ බවත් පයිබස් සඳහන් කරයි. ඉක්බිති ඔහුව ගඟේ සිට යාර 100 ක පමණ දුරින් ගන්නොරුවේ (Gunnoor) වූ ඔහුට රජු හමුවීම සඳහා අවසර ලැබෙන තෙක් සිටීමට වෙන් කර තිබූ නිවස වෙත රැගෙන යයි.

පයිබස් ඉහත විස්තර කරන තොරතුරු අනුව හුලංගමුවේ සිට ඔහුගේ ගමන් මග වැටී තිබූ වෙල් යාය මාතලේ නගරයට දකුණින් සහ නිරිත දෙසින් අදද දැකිය හැකි වෙල් යාය විය යුතුය. හුලංගමු ඔය ලෙසින් ඔහු හඳුන්වන්නේ මේ ප්‍රදේශය හරහා ගලා බසින සුදු ගඟේ ශාඛාව වේ. ඉන්පසු ඔහු අපහසුවෙන් තරණය කරන දුර්ගය බලකඩුව දුර්ගයයි. ඉන්පසු ගං ඉවුර අසලට පැමිණි බව පවසන්නේ කටුගස්තොට අසලදි මහවැලි ගඟ අසලට පැමිණීමයි. අතර මගදී ඔහු වෙනුවෙන් ඉදි කල විශාල නිවස පිහිටි Canvetty හඳුනාගත නොහැක. කහවත්ත ලෙසින් රේවන් හාර්ට් මහතා එය කියවන මුත් ඔහුම පවසන පරිදි එවන් ගමක් අද පවතින්නේ මාතලේ-මහනුවර මාර්ගයට බටහිරට වන්නට පිහිටි වෙනත් මාර්ගයකය. කටුගස්තොට සිට ගන්නෝරුව දක්වා යාමේදී පයිබස් හට හමුවන බෙහෙවින් බෑවුම් සහිත ගල් සහිත කන්ද හල්ඔලුව කන්ද විය හැක.

මූලාශ්‍ර
  • The Pybus Embassy to kandy, 1762, Transcribed with notes by R. Raven-Hart, Editor, P.E.P. Deraniyagala, Reprinted 2001

Friday, April 13, 2018

පයිබස්ගේ ගමන් විස්තරය 2 - කවුඩුවාවුළු රටින් මහතලා රටට

ජෝන් පයිබස් නම්වු ඉංග්‍රිසි ජාතිකයෙකු වර්ෂ 1762 දී කන්ද උඩරට කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ රාජ සභාවට යෙදුන දූත ගමනක විස්තර මෙයට පෙර ලිපියකින් ඉදිරිපත් කලෙමි. එම ලිපියෙන් ඔහු ත්‍රිකුණාමලයේ සිට පංගුරාණ නම් වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ස්ථානයක් දක්වා පැමිණීමේදි ඉදිරිපත් කල ඇතැම් විස්තර සම්පිණ්ඩනයක් ඉදිරිපත් කිරීමට මෙන්ම ඔහු ගමන් ගත් මාර්ගය හඳුනාගැනීමට වෑයමක්ද දැරුවෙමි. මේ ලිපිය එතැන් සිට පැරණි මහතලා රට දක්වා ඔහුගේ ගමන් මග පිළිබඳවය. පෙර ලිපිය කියවීමට >> LInk
වර්තමානයේ මින්නේරිය වන උද්‍යානය ට අයත් පයිබස්ගේ ගමන් මග වැටී තිබූ මින්නේරිය වැවේ වැව් පිටිය
මැයි 9 වන දින පෙරවරු 7.30 ට පංගුරාණ ගමින් පිටත්වන පයිබස් සැතපුම් හතරක් පමණ වන වනගත මගක් ඔස්සේ ගමන් කර ඉහත විස්තර වූ කවුඩුල්ල ඔයේ ශාඛාව හරහා ගොස් එම ගමේ සීමාවෙන් නික්මේ. ඉන්පසු ඔහුට ඒ වන විට වසර කිහිපයකින්ම වගා කර නොතිබූ වෙල් යායක් හමුවේ. වෙල් යාය අවසානයේ නැවතත් කවුඩුලු ඔයේ ශාඛාවක් හරහා ගොස් තවත් සැතපුමකින් පමණ නිවාස 20 කින් පමණ සැදි Nottombay නම් වූ ගම්මානයක් හමුවේ. නමුත් ඒ වන විට එම ගම අතහැර දමා තිබී ඇත. එහි සිටි මිනිසුන් තවත් සැතපුම් 2.5 පමණ කැලය තුල වූ ස්ථානයක වසන බව ඔහුට දැනගන්නට ලැබී ඇත. Nottombay ගම මේ වන විට අඟලේ සිතියම් ආශ්‍රයෙන් සොයා ගත නොහැක. අතරමගදී Nottombay සිට විනාඩි 45 වනාන්තරය තුලින් ගිය පසු හමු වන තැනකදී පයිබස්ට Nungadamanah සහ Tritolay යන ගම් වල සිට පැමිණෙන පුද්ගලයන් කිහිප දෙනෙකු හමුවේ. Tritolay ගම මෙම ස්ථානයේ සිට සැතපුම් 14 දුරින් වූ බව පයිබස් පවසයි.
වැඩි අපහසුවක් නොමැතිව Tritolay ලෙස හැඳින්වෙන්නේ ගිරිතලේ ලෙස හඳුනාගත හැක. Nungadamanah යනු නුගගහදමන ලෙසින් තවමත් ව්‍යවහාර වන (පැරණි අඟලේ සිතියම් වලට අනුව) ගම්මානයයි (සිතියම 1 බලන්න) ගං ඉවුරක වූ එම එම ගමෙහි චෝලියාර් වරුන්ගේ (ඉස්ලාම් භක්තිකයන්) නිවාස 10 පමණ එවකට තිබී ඇත. ඉන්පසු විවෘත භූමියක සැතපුම් හයක් පමණ ගොස් නැවතත් වනාන්තර පෙදෙසක් හරහා තවත් සැතපුම් දෙකක් පමණ ගමන් කල පසු ඒ වනවිට වගා නොකරන කුඹුරු යායක් පයිබස්ට හමුවේ. දික් අතට සැතපුම් 1.5 පමණ වූ එම වෙල් යාය අවසානයේ නැවතත් සැතපුම් 4 පමණ දුර වනාන්තර මගක ගොස් වැවක (Lake) පිටාර ජලය ගමන් කරන ගඟක අතු ගංගාවක් තරණය කරයි. පයිබස් පවසන අයුරින් එම වැව [ගිරිතලේ වැව] තරමක දුරකින් ඔවුන්ට තම ගමන් මාර්ගයේදී හමුවිය යුතුය. නුගගහදමන ගමද එම අතු ගංගාවෙන් එගොඩ වූ පසුව ඒ සමගම පාහේ හමුවන බව ඔහුගේ වාර්තාවේ දැක්වෙන විස්තර අනුව පෙනේ.

 නුගගහදමන අසලින් ගමන් කරන උල්පොත ආරු නම් වූ දියපාරක් ගිරිතලේ වැවේ ජලයෙන් වගා කෙරෙන වෙල් වල 'වෙල්පහු ජලය' එකතු කරගනිමින් නික්මෙන ගිරිතලා ඔයට, නුගගහදමන ගම්මානයට ගිණිකොන දෙසින් එකතු වේ. එතැන්සිට එම ඔය වර්තමානයේ හැඳින්වෙන්නේ (අඟලේ සිතියම් වලට අනුව) මින්නේරි ඔය නමිනි. ඒ අනුව පයිබස් පවසන පරිදි ඔහු තරණය කරන්නේ ගිරිතලා වැවෙන් පිටවන ජලය ගලා යන ගඟේ අතු ගංගාවක් හරහාය යන ප්‍රකාශය නිවැරදි බව ඉහත සිතියමෙන් පැහැදිලි වේ. එහෙත් අද වන විට මෙම උල්පොත ආරු සහ මින්නේරි ඔය යන නම් වෙනුවට හතමුණ ඔය යන නම ව්‍යවහාර වන බව Google Map අනුව පෙනි යයි. ගිරිතලා ඔය නමද අභාවයට ගොස් ඇතිවා විය හැක.  එම ගඟ තරණය කල ස්ථානයේ ගඟේ දිය ඇල්ලක් ඇති බව පයිබස්ගේ විස්තරයෙන් පැහැදිලි වේ.
ඉන්පසු නැවතත් වනාන්තර සහ කුඹුරු යායවල් හමුවන මාර්ගයක ගමන් කරන හෙතෙම Villowanay නම් දැනට හඳුනාගැනීමට නොහැකි ගම්මානයක් පසු කර (එම ගමෙහිද ඒ වන විට කිසිවකු සිට නැත.) ගිරිතලේ (Tritolay) දෙසට ගමන් කරයි. ගඟ තරණය කිරීමෙන් පසු මුළු ගමන් මගම එක දිගට වූ නැග්මක් බව පයිබස් පවසයි. ගඟ තරණය කර සැතපුම් 4 පමණ ගිය පසු ඔහු තවත් සැතපුම් 4 පමණ ඈතින් තිබෙන කන්දක් දැක ඇත. එය ඔහු මේ ගමන් මාර්ගයේ කන්දක් දුටු පළමු අවස්ථාවයි. නැවතත් බොරළු පතුලක් ඇති කදිම ජල පාරක් හරහා ගොස් සැතපුම් භාගයක් පමණ ඉහලට නැග ඉන්පසු දැඩි බෑවුම් සහිත කන්දේ ඉතිරි කොටස තරණය කර කඳු ගැටයේ මුදුනට පැමිණි විට අනෙක් පස පහලින් ඇති පයිබස් සිතන ලෙසට 'ස්වභාවික ජලාශයක්' වූ ගිරිතලේ වැව ඔහුට දැක ගැනීමට හැකිවේ. මෙම කන්දේ ගල් කිරිගරුඩ සේ සුදු පාට බව ඔහු පවසයි. මේ සමග ඇති Google Earth ඡායාරූපයෙන්ද පැහැදිලි වන ලෙසට ගිරිතලේ වැවත් නුගගහදමන ගමත් අතර හමු වන කඳු වැටියේ ඉහල කොටස සුදු පාටින් දිස්වන ගල් වලින් සැදී ඇත. මේ හේතුව නිසාම මෙම කඳු වැටිය හැඳින්වෙන්නේ සුදු කන්ද ලෙසිනි. එම කන්ද බැස (අද ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් කිහිපයක් ඉදිවී ඇත්තේ ගිරිතලේ වෑකන්ද සහ සුදු කන්ද ගිරිතලේ දෙසට බෑවුම් වන මෙම ප්‍රදේශයේය.) වැව අද්දරින් යෙදී තිබූ මාර්ගයක සැතපුම් 1.5 පමණ ගොස් පයිබස් එදින නවාතැන් ගන්නේ වැවේ නිරිත දෙසින් පිහිටි ගිරිතලේ ගම්මානයෙහිය.
ගිරිතලේ වැව
මැයි 10 වන දින පස්වරු 4.30 ට ගිරිතලේ ගම්මානයෙන් ගමන් අරඹන පයිබස් ගිරිතලේ වැව පසු කර Paduputtah නම් වූ මින්නේරි වැවේ (Minary Tank) ඊසාන කොනෙහි වූ ගම්මානයකට පැමිණේ. එතැන් සිට නැවතත් මින්නේරි වැවේ ඉවුර දිගේ යන ඔහුට සැතපුම් 20-30 පමණ ඈතින් Fryar's Hood ලෙස ඔහු හඳුන්වන කන්දක් දක්නට ලැබේ.  Friar's Hood ලෙසින් ඉංග්‍රිසින් හැඳින්වූවේ  අම්පාර දිස්ත්‍රික්කයේ බක්කිඇල්ල ප්‍රදේශයේ ඇති වලිඹෙහෙල කඳු මුදුනයි. මින්නේරිය වැව අසලට එම කඳු මුදුන දර්ශනය වීමේ හැකියාවක් නොමැත. එබැවින් නිසැක ලෙසම ඔහු එලෙසින් හඳුන්වන්නේ සැතපුම් 12 පමණ දකුණින් පිහිටි සීගිරිය පර්වතයයි. (මේ සමග ඇති හබරන ප්‍රදේශයට සිගිරිය පර්වතය දිස්වන ආකාරය දැක්වෙන ඡායාරූපය බලන්න) තව දුරටත් මින්නේරි වැවේ ඉවුර දිගේ ගමන් කරන පයිබස් හට Vistugallo නම් වූ මින්නේරි වැව අයිනේ වූ වෙනත් ගමක්ද හමුවේ. චෝලියාර්වරු වාසය කල නිවාස 6-7 පමණ තිබූ එම  ගම්මානයට එදින පස්වරු 6.15 ට පමණ පැමිණි බව ඔහු පවසයි. මින්නේරි වැව වටා වූ මේ ගම්මාන කිසිවක් මේ වන විට හඳුනාගත නොහැක.
හබරන ප්‍රදේශයට සිගිරිය පර්වතය දිස්වන ආකාරය
මැයි 11 දිනද එම ගම්මානයේම නැවතී සිට මැයි 12 වන දින පෙ.ව. 7.45ට ගමන් අරඹන පයිබස් සැතපුම් භාගයක් පමණ ගොස් කැලෑව තුලට ඇතුළු වී ගම්මානයේ සිට සැතපුම් 1.75 ක දුරකදි මින්නේරිය වැවෙන් ජලය එන කුඩා ගංගාවක් ලෙස ඔහු හඳුන්වන දිය පාරක් හරහා ගොස්, එතැන් සිට මද දුරකින් හමු වන වෙල් යායක් අසලදි තවත් එවැනිම මින්නේරිය වැවේ සිට ජලය එන ස්ථානයක් පසු කරයි. නැවතත් පෙ.ව. 8.45 ට පමණ මින්නේරිය වැවේ ශාඛාවක් ඔහුට හමුවේ. එහි ජලය බොහෝ ප්‍රදේශයක් පුරා පැතිර තිබූ බව පයිබස් පවසයි. මේ වන විට ඔහු ගමන් ගන්නා මාර්ගය කඳු මුදුන් පසු කරමින් යන මාර්ගයක් වූ බවද ඔහු සිය වාර්තාවේ සඳහන් කරයි. පෙ.ව. 9.30 පමණ මින්නේරිය වැවේ තවත් ශාඛාවක් ඔහුට හමුවේ. එයද පසු කරමින් ගොස් පෙ.ව. 10.30 ට පමණ මාතලේ දිස්ත්‍රික්කයට (Mateli District) පිවිසෙන පයිබස් ප.ව. 12.30 ට කඳු අතර වූ කුඩා වැවක් අසල නවතී. මගපෙන්වන්නන් ඔහුට පැවසූ පරිදි එම වැව සහ මින්නේරි වැව එකිනෙකට සම්බන්ධිතය.
වන අලින්ට ක්ෂේම භූමියක් වූ මින්නේරිය වැව
මින්නේරියේ සිට පයිබස් ආ මාර්ගය ඉහත විස්තර අනුව අනුමාණ වශයෙන් පහත සිතියමේ ලකුණු කර ඇති ආකාරයෙන් වූවා විය හැක. ඔහු සඳහන් කරන මින්නේරිය වැවෙන් ජලය ගෙන යන එකිනෙකට ආසන්නව වූ ඇල මාර්ග දෙක (සිතියමේ 1 සහ 2 ලෙස සලකුණු කර ඇත.) මෙන්ම බොහෝ ප්‍රදේශයක් පුරා පැතිර තිබූ මින්නේරිය වැවේ ශාඛාව  ලෙස ඔහු හඳුන්වන ස්ථානයද (මෙය බටු ඔය මින්නේරිය වැවට වැටෙන ස්ථාන විය හැක. [(අංක 3)]) එලෙස හඳුනා ගත හැක. වර්තමාන මින්නේරිය-හබරන මාර්ගයට  සමාන්තරව බොහෝ විට මින්නේරිය වැවට දැනට වඩා ආසන්නව පැරණි මාර්ගයද තිබූ ආකාරයක් ඒ අනුව අපට දිස්වේ. ඉදිරියේදි හඳුනාගත හැකි වෙනත් ස්ථාන හා සසඳා බැලීමේදි වර්තමාන මාර්ගය වැටි ඇති අයුරින් හබරණ දෙසට නොයා තවදුරටත් මින්නේරිය වැවට සමාන්තරව එයට බටහිර දෙසින් පයිබස් ගිය මාර්ගය දකුණු දෙසට ගමන් කල බව උපකල්පනය කල හැක. එසේම පැරණි සිතියම් වල එවැනි මාර්ගයක්ද කඩින් කඩ ලකුණු කර ඇත. ඒ අනුව පයිබස් සඳහන් කරන ඔහු පසු කරන මින්නේරිය වැවේ අනික් ශාඛාව බටුඔය කන්ද සහ මින්නේරිය කන්ද අතර වූ කපොල්ල තුලින් මින්නේරිය වැවට ගලා බසින තල්කොටේ ඔය, ඊරිගේ ඔය, කිරි ඔය ඇතුළු ඔයවල් කිහිපයක් එකතු වී සෑදෙන දොළපාර විය හැක. (සිතියමේ අංක 4)
උපකල්පිත පැරණි මාර්ගය - රතු පාටින් දැක්වෙන්නේ පැරණි අඟලේ සිතියම් වල සලකුණු කර ඇති මාර්ග වන අතර කොළ පාටින් උපකල්පිත මාර්ග දක්වා තිබේ
මාතලේ කඩඉම්පොතේ සඳහන් පැරණි මහතලේ රටට වර්තමාන මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හැර ඉතිරි කොටස සහ ඇතැම්විට මහනුවර සහ පොළොන්නරුව දිසා වලින් කොටසක්ද අයත්වි තිබෙන්නට ඇති බව කඩඉම්පොත් විමර්ශනය කෘතියේ H.A.P. අභයවර්ධන මහතා සඳහන් කරයි. ඒ අනුව පයිබස් මාතලේ රටට පිවිසි ස්ථානය අඩු වැඩි වශයෙන් ඉහත අප සලකුණු කල මාර්ගය වර්තමාන මාතලේ දිසාවට යොමුවන ස්ථානය ලෙස අනුමාණ කල හැක. පයිබස් මදක් නැවතී සිටි කඳු අතර වූ කුඩා වැව වර්තමානයේ පෙයික්කුලම් ලෙස හැඳින්වෙන වැව විය හැක. පයිබස්ට මග පෙන්වන්නන් පැවසූ පරිදි එය කිරි ඔය හරහා මින්නේරිය වැව සමග සම්බන්ධ වේ.
පේක්කුලම් වැව දක්වා උපකල්පිත මාර්ගය. නිල්පාටින් දක්වා ඇත්තේ වර්තමාන මාතලේ දිස්ත්‍රික් මායිමයි.
මින්නේරියේ සිට නිම්න භූමි ඔස්සේ විහිදුන එම උපකල්පිත මාර්ගය පහත සිතියමින් තව දුරටත් පැහැදිලිව පෙන්වා දිය හැක. එතැන් සිට කන්ද උඩ රට දක්වා පයිබස්ගේ ගමන් විස්තරය අපි ඉදිරියේදි විමසා බලමු.

මූලාශ්‍ර
  • The Pybus Embassy to kandy, 1762, Transcribed with notes by R. Raven-Hart, Editor, P.E.P. Deraniyagala, Reprinted 2001
  • කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • Ancient Irrigation Works in Ceylon, Part One, R.L. Brohier, 1934

Monday, April 9, 2018

බලන්නට් ගැහිනින් සිහිගිරි බැලු නියම්ජෙට් නා සගය් වැසි බුද්ගමුවෙහෙරැ - මැණික්දෙන පබ්බත විහාරය

"ත්‍රිකුණාමලයේ සිට ආපසු එන ගමනේ දඹුල්ලේ (Dambool) සිට සැතපුම් 8 ක් පමණ වනාන්තරය තුල, ඇඳගල(?) කපොල්ල (Andagalla Pass)  හරහා නාලන්දට (Nalande) යොමු වූ පැරණි බෑවුම් මාර්ගය සහ ලෙනදොර(Lenadorra) කන්ද වටා යන නව මාර්ගය අතර එහි නටබුන් දැකිය හැකි, මැණික් දෙන නුවර (Menik Denna Nuwara) නම් වූ පැරණි නගරයක් පිළිබඳව මට දැනගන්නට ලැබුණි. මැණික් දෙන නුවර වැව් දෙකක අවශේෂ, දාගැබක නටබුන්, ගල් කණු විශාල ගනනකින් සැදි විහාරයක් සහ ගල් ඇඳක් (එහි එක් අන්තයක් ගලක් මත තිබූ අතර අනික් අන්තය කණු මත තබා තිබුණි) ඇත. තවද මෙහි ඇති ගල් පඩි, ගෙවල් වල පාදම් ආදිය එහි එක්තරා සමයක කිසියම් වැදගත් ස්ථානයක් තිබූ බවට දෙස් දෙයි."
ලෙනදොර (වම් පස) සහ මැණික්දෙනිය (දකුණු පස) කඳු මුදුන්
ක්‍රි.ව. 1833 ත්‍රිකුණාමලයේ සිට නාලන්දට පැමිනෙමින් සිටි මේජර් ෆෝබ්ස් ඉදිරිපත් කරන ඉහත විස්තරයේ තව දුරටත් ඔහු පවසන්නේ එම නටබුන් වලට පසු පසින් නිකුල (Nikwoolaනැතහොත් Heereedewatai (හීරිදේවතායි) කන්ද ඇති බවත්, එහි මුදුනේ පිහිටි සම බිමේ වලන් කැබැලි සහ සාමාන්‍යයෙන් කැලෑ වල දැකිය නොහැකි පළතුරු ගස් තිබූ බවත්, එම නිසා සතුරු උවදුරු සහිත කාල වලදී සැඟවී සිටීමට එය කදිම ස්ථානයක් වූ බවත්ය. එසේම එහි ඇති ඕනෑම නියග කාලයකදි වුවද ජලය රඳන පොකුණ නිසා එවන් පලායන්නන්ට එය ආකර්ශනීය ස්වභාවික බලකොටුවක් වූ බවය. නිකුල යන නම පැරණි අඟලේ සිතියම් වල මෙම කන්දේ එක් මුදුනක් සඳහා යොදා ඇති නමුත් හීරිදේවතායි යන නමින් මෙම කඳු අද හැඳින්වෙන බවක් නොපෙනේ. එහි අනිත් මුදුන් අද හැඳින්වෙන්නේ ලෙනදොර සහ මැණික්දෙනිය ලෙසින්ය [සිතියම බලන්න]
සිතියම 1
ෆෝබ්ස් පවසන්නේ ජනවහරේ කියැවෙන පරිදි මැණික් දෙනි නුවර, සිරිසඟබෝ රජතුමාගේ මාළිගාව පිහිටි ස්ථානය බවය. නමුත් සිව්වන සියවසේ මුල් අවධියේ බුදුන්ගේ දන්ත ධාතුව රැගෙන පැමිණි ශ්‍රි දන්ත කුමරා එම නුවර වැඩි දියුණු කර ඇත. බොහෝවිට ඔහුට මග පෙන්වන්නට පැමිණි ප්‍රදේශවාසීන්ගෙන් ෆෝබ්ස් අසා දැනගත් මෙම තොරතුරු වල පැහැදිලිවම මෙවන් ස්ථාන තමන් අසා ඇති පෙර සිටි සුප්‍රකට චරිත කිරිපයකට පමණක් ආදේශ කර කතා ගෙතීමට ස්වභාවිකවම පෙළඹෙන වැඩි දැනුමක් නොමැති ගැමියන්ගේ නිර්මාණාත්මක ප්‍රබන්ද වලට වඩා වැඩි යමක් නොමැත.

මෙරට සෙල්ලිපි ගවේශනයේ පුරෝගාමියෙකු වන එඩ්වඩ් මියුලර් ද (Edward Muller) වර්ෂ 1833 දී පවසන්නේ ලෙනදොර තානායමේ සිට සැතපුම් 3 පමණ දුරින් මාළිගාවක නටබුන් හමුවන බවත් එයට ඇතුලු වන ස්ථානයේ ඇති සෙල්ලිපියේ පේලි හතරක් පමණක් ඉතිරි වී ඇති බවත්, එහි මුලුන්ගමු වෙහෙර යන වචන දැකිය හැකි බවත්, එය මහාවංශයේ මූලානගාමය ලෙසින් හැඳින්වෙන නමට සමාන බවත්ය. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙහි වනාන්තරය පුරා විශාල වශයෙන් නටබුන් හමුවන බවත් කණු 24 ක් සහිත විහාරයක නටබුන්ද ඒ අතර ඇති බවත්ය.
පබ්බත විහාරයේ ඇතුලත මළුවට පිවිසීමට ඇති දොරටුව අසල ඇති ටැම් ලිපිය
කෙසේ නමුත් මෙම ස්ථානය පිළිබඳව විධිමත් ගවේශනයකට මුල පුරන්නේ H.C.P. බෙල් ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස්වරයාය. ඒ 1907 වසරේදීය. 1908 වසර සඳහා වූ පුරාවිද්‍යා ගවේශන පිළිබඳව වූ වාර්ෂික වාර්තාවේ ඔහු මෙම නටබුන් ස්ථානය බෞද්ධ සංඝාරාමයක් ලෙස නිවැරදිව හඳුනා ගනී. මෙම පරිශ්‍රයේ තිබී සෙල් ලිපි 3 ක් බෙල් කියවා ඇති අතර එක් ලිපියක බුද්ගම් වෙහෙර යන නම සඳහන් බව සහ අ(ම්බ)මු ප්‍රදේශයේ පිහිටි එම වෙහෙරට කොබෝයටලියේ සෙන් (සේන) නමැත්තෙක් මහදෙණ-පුළු-උම්බර් නම් වූ කුඹුරු ඉඩම් පිරිනැමූ බව එම ලිපියෙන් කියවෙන බව බෙල් සඳහන් කරයි. බෙහෙවින් ගෙවී ගිය අනිත් සෙල් ලිපියෙහි අබා සලමෙවන් නම් රජෙකුගේ 8 වන රාජ වර්ෂය යන සඳහන පමණක් කියවිය හැකි බවය බෙල් පවසන්නේ. පුවරු ලිපි වූ එම සෙල් ලිපි දෙකම ඔහු  10 වන සියවසට කාල නිර්ණය කරයි.
පබ්බත විහාරයේ ඇතුලත මළුවට පිවිසීමට ඇති දොරටුව 
මෙම සෙල්ලිපි අතරින් 2 ක් පමණක් මේ වන විට දැක ගත හැකි අතර ඒවා ඇත්තේ ඉහත මි‍යුලර් සඳහන් කරන උතුරු දෙසින් වූ දොරටුව අසල සහ පිටත මළුවේ දාන ශාලාව ලෙසින් හඳුනාගන්නා ගොඩනැගිල්ල අසල බව සහ එම ලිපි දෙකම ටැම් ලිපි බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කරයි. එහෙත් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා මැණික්දෙන පුරාවිද්‍යා භූමියේ තිබී කියවා පළ කල සෙල් ලිපි පහක් ඇති අතර ඉන් එක් ලිපියක් ටැම් ලිපියක් වන අතර අනෙක්වා පුවරු ලිපි වේ.(කෙසේ නමුත් ඒ සමග පළ කර ඇති ඡායාරූප වල එක් පුවරු ලිපියක් ගිරි ලිපියක් (Rock Inscription) ලෙස දක්වා ඇත.). ඉන් ලිපි දෙකක් හඳුනානොගත් අබා සලමෙවන් නම් විරුදය ලත් රජ වරුන්ගේ රාජ්‍ය කාලයන්හිදි පිහිටුවා ඇති අතර ටැම් ලිපිය අබා සලමෙවන්  නම් රජෙකුගේ පළමුවන රාජ්‍ය වර්ෂයේදී ලිපියේ කියවිය හැකි කොටසේ නම සඳහන් නොවන විහාරයකට සිදු කල අත්තාණි පිදීමකි. අනික් පුවරු ලිපියෙන් අබා සලමෙවන් නම් වූ රජෙකුගේ නව වන රාජ්‍ය වර්ෂයේ බුද්ගමු වෙහෙරට සලාක ආහාර පූජාවට සහ එහි පිළිම ගෙයට ආහාර පූජාවට රත්‍රං තැන්පත් කිරිමක් පිළිබඳව කියැවේ. එතුමා කියවූ තවත් පුවරු ලිපියකට අනුව බුද්ගමු වෙහෙරේ පස් කැමියන් (Five Officials) හට එහි පොලියෙන් භික්ෂුන් උදෙසා ආහාර පිරිනැමීමට ලැබුන රත්‍රං පිළිබඳව පැවසේ.
ස්තූපය
ඉහත බෙල් සඳහන් කරන කොබොයතෙළෙහි සෙන් නමැත්තෙකුගේ නම කියැවෙන ලිපියද රණවැල්ල මහතා කියවා ඇත. එම ලිපිය සම්පූර්නයෙන් කියවන එතුමා 'අම්බිමු' යන වචනය බිරිය ලෙස අර්ථ දක්වා එම ලිපියෙහි පැවසෙන්නේ එම කොබොයතෙළෙහි සෙන් නමැත්තාගේ බිරිඳ මහදෙණ පස් පෑලක් වූ කුඹුරු මිලදී ගෙන බුද්ගමු වෙහෙරේ ලහබත් පූජාව සඳහා සිදු කල එම කුඹුරු ඉඩම් පිරිනැමීම බව පවසයි. (මෙහි සඳහන් මහදෙණ යන්න පසු කාලීනව මහදෙණ>මහාදෙණිය>මැණික්දෙනිය ලෙසින් වෙනස් වූ ලෙස අනුමාණ කල හැක.) එතුමා ඉදිරිපත් කරන තවත් පුවරු ලිපියකින් ඉහත වෙනත් ලිපියක දැක්වුන අයුරින්ම  බුද්ගමු වෙහෙරේ පස් කැමියන් හට එහි පොලියෙන් භික්ෂුන්ට දන් පිරිනැමීමට ලත් රත්‍රං පිළිබඳව කියැවේ. ඉහත සියලු ලිපි රණවැල්ල මහතා 9-10 සියවස් වලට අයත් බව පවසයි.
සභා ගොඩනැගිල්ල
ප්‍රධාන දොරටුව අසල ඇති සෙල්ලිපියේ ඇති බවට මියුලර් සඳහන් කරන මුලුන්ගමු වෙහෙර යන්න බොහෝවිට බුද්ගමු වෙහෙර යන්න වැරදියට කියවීමක් විය හැක. රණවැල්ල මහතා කියවූ ලිපි 5 න් කිසිවක එවන් වදනක් හමු නොවේ. එසේම මහාවංශයේ පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) සහ සුගලා දේවිය අතර රුහුණු රටේ සිදු වූ සංග්‍රාමයන් පිළිබඳව වූ විස්තරයේදි හමුවන මූලානගාමය පැහැදිලිවම ගුත්තසාලමණ්ඩල ලෙසින් මහාවංශයේ හැඳින්වෙන වර්තමාන බුත්තල අවට ප්‍රදේශයේ ගමක් ලෙස හඳුනාගෙන ඇත. C.W. නිකලස් මහතා ඒ සමග කියවෙන ඇතැම් ගම් හඳුනාගන්නේ වර්තමාන වැල්ලවාය අවට පෙදෙසින්ය. එම නිසා මූලානගාම යන්න කිසිසේත්ම වර්තමාන මැණික්දෙන විය නොහැක. නමුත් මියුලර් සහ බෙල් උපුටා දක්වමින් මැණික්දෙන ගැන රචිත ඇතැම් ලේඛන වල 11-12 ශතවර්ෂ වලදී බුද්ගමු වෙහෙරට මුලුන්ගමු වෙහෙර ලෙසින් ව්‍යවහාර වූ බව සඳහන් කර ඇත.
උපෝසථඝරය
දෙවැනි සේන රජතුමා (ක්‍රි.ව. 853-887) බුද්ධගාම විහාරයට භෝගගාම (Maintenance Villages) සපයා එය වැඩිදියුණු කල බව මහාවංශයේ එන සඳහන බුද්ධගාම යන්න වංශ කතාවේ මුල් වරට හමුවන අවස්ථාවයි. රජරට අරක්ගත් චෝළයන් මඩිනු පිණිස සටන් මෙහෙයවූ පළමුවැනි විජයබාහු (ක්‍රි.ව. 1055-1110) ලෙස පසුව රට එකසේසත් කල කිත්ති කුමරා දක්ඛිණපස්සයට යැවූ ඇමැතිවරු මුහුන්නරුගම (හෙට්ටිපොල අසල නුවරකැලේ), බදලත්ථල (බතලගොඩ), වාපිනගර (කුරුණෑගල අසල වෙනරු), බුද්ධගාම (මැණික්දෙණ), තිලගුල්ල (තලගල්ලේ ඇල), මහාගල්ල (මාගල්ල/නිකවැරටිය), මණ්ඩගල්ල (පොල්පිතිගම අසල මහමඩගල) හා අනුරාධපුර බලකොටු යටත් කරගනිමින් මහාතිත්ථයට (මන්නාරම) පැමිණි බව පැවසේ.

පරාක්‍රමබාහු කුමරා දෙවන ගජබාහුට (ක්‍රි.ව. 1132-1153) අයත් රජරට තොරතුරු සෙවීම සඳහා දක්ඛිණ දේශයේ සිට නික්මුණු චරපුරුෂ ක්‍රියාන්විතය අතරමගදි, දක්ඛිණ දේශයේ ප්‍රත්‍යන්ත බලකොටුවක් වූ බදලත්ථලි (බතලගොඩ) ගමේ සිට සිය මාමා වන දක්ඛිණ දේශයේ පාලකයා වූ කිත්සිරිමේඝ වෙනුවෙන් එහි ආරක්ෂාව සැපයූ සංඛ සෙනවියා මරා සිරියාල (කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගන්තිහේ කෝරලයේ හිරියාල්ගම නම් වූ  ගමක් ඉංග්‍රිසි පාලන කාලයේද තිබී ඇත. අද හිරියාල යනු වඩා විශාල ප්‍රදේශයක් වන පත්තුවකට යෙදෙන නමක් ලෙසට ශේෂව පවතී) හරහා පලා ගොස් වසන්නේ සිරිදෙවි කන්ද අසල වූ බුද්ධගාමයෙහිය. ඉහත ෆෝබ්ස්ගේ විස්තරයේ පැවසෙන හීරිදේවතායි (Heereedewatai) ලෙස මැණික්දෙන අසල කඳු හැඳින්වූ නම මෙම සිරිදේවි යන නම ඒ වන විටත් කිසියම් වූ ඌරුවකින් ජනයා අතර මෙම කඳු පන්තියට ව්‍යවහාර වූ බවට සාක්ෂ්‍ය සපයයි.
බෝධිඝරය
නැවත පරාක්‍රමබාහු කුමරු දක්ඛිණ දේශයේ පාලකයා ලෙස සිටිමින් එහි සිදු කල සංවර්ධන කටයුතු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමේදි හෙතෙම බුද්ධගාම ඇළ ඉදි කල බව මහාවංශයේ පැවසෙයි. තවද එතුමා මුළු ලංකාවම එක්සත් කිරීම සඳහා බල සෙනග සූදානම් කිරීමේදීද බුද්ධගාම රට්ඨ නමින් වූ ප්‍රදේශයක පාලකයා වූ ඇමතියා  හටද දහස් ගණන් භටයන් සහ ආයුධ දුන් බව වංශ කතාව පවසයි. එහි බුද්ධගාම රට්ඨ යන්න සමගම කියැවෙන්නේ අම්බවන සහ බෝධිගාමවර යන රටවල් පිළිබඳවය. මෙයට පෙර ලිපියකින් අප ඉදිරිපත් කල පරිදි එම ප්‍රදේශ මැණික්දෙනට දකුණින් ඒ ආසන්නව පිහිටන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත. Link>>

පළමුවන පරාක්‍රමබාහු, දෙවන ගජබාහු සහ රුහුණේ පාලකයා වූ මානාභරණ අතර ඇතිවූ සිවිල් යුද්ධය අතරතුරෙහිද, බුද්ධගාම යන්න කිහිපවරක්ම මහාවංශයේ කියැවේ. මේ අනුව මෙහි උපායමාර්ගික අතින් වැදගත් වූ බලකොටුවක් තිබූ බවද පැහැදිලිවේ. ෆෝබ්ස් සඳහන් කරන මැණික්දෙන කඳු මුදුනේ වූ සාධක එම බලකොටුවේ පිහිටීම පිළිබඳව යම් අදහසක් ලබාදෙන නමුත් එය පිහිටි නිශ්චිත ස්ථානය කීමට නොහැකිය.
ඇතුළු මළුව වටා ඇති ප්‍රාකාරය
කෙසේ නමුත් මැණික්දෙන පුරාවිද්‍යා භූමියේ වර්තමානයේ දැකිය හැකි නටබුන් පබ්බත විහාරයක ගොඩනැගිලි ලෙස හඳුනාගෙන ඇත. මැණික්දෙන පබ්බත විහාරය සහ පබ්බත විහාර පිළිබඳව වූ විස්තරාත්මක ලිපියක් ඉදිරියේදි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමින් සිගිරි බැලීමට පැමිණි පිළිවෙලින් 9 වන සියවසේ මුල් භාගයේ සහ 8 වන සියවසේ සිටි බුද්ගමු වැසියන් දෙදෙනෙකු විසින් ලියා ගිය පහත ගී දෙකින් අප මෙම ලිපිය අවසන් කරමු.

ස්වස්ති බුද්ගමුවෙහෙරැ නියම්ජෙට් නා සගය්මි ලීමි
බලන්නට් ගැහිනින් බැලුමො සිහිගිරි
පිරි මනජොළ කතුන් ම යත් ත ළ ජොලන්නට් හුන්

(ස්වස්ති ! බුද්ගමු වෙහෙර ප්‍රධාන පරිපාලකයා (නියම් ජෙට්) නා සාගය් වන මම ලියුවෙමි, කාන්තාවන් බැලීමට සිහිගිරි බැලුවෙමු, එහි සිටින අගනන් බැලීමෙන් මාගේ මනදොළ පිරීගියේය, කෙදිනද ඔබ හදගිනි දල්වන්නේ? )

ස්වස්ති බුද්ගමියෙ වැසි කිතග්බොයි ගී
සිරිහව් කත මෙ දුට් සැදැ යහපත් වන්නෙ යි
පරවිටියෙ සිහිනෙ දුට් යහපත් දිටි සෙය් මෙ වෙයි

(ස්වස්ති! බුද්ගම වසන කිතග්බොයි ගේ ගීයයි
සිරි දේවිය වන් වූ  මේ අප්සරාව දුටු කල යමෙකු සතුටු වේ. ඇය නැති කල ඇයව සිහිනෙන් දුටු කල ඇයව සැබැහින් දුටු සේ සිතා යමෙකු සතුටු වේ.)
පිළිමගෙය
මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
  • Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Archaeological Survey of Ceylon North-Central And Central Provinces, Annual Report 1908, H.C.P. Bell, 1913
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
  • ශ්‍රි ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume V, Part III Sirimal. Ranawella, 2005
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela, Neranjana Gunetilleke et. al.2016

Sunday, April 1, 2018

දුටුගැමුණුගේ ආදාහන මලුවේ ඉදි කල එළාරගේ සොහොන - දක්ඛිණ ස්තූපය

අනුරාධපුර පැරණි නගරයේ ශ්‍රි මහා බෝධියේ සිට ඉසුරුමුණිය ලෙසින් හැඳින්වෙන විහාරයට යන මාර්ගයේ දිනපතා මේ මග ගමන් කරන දහස් ගනන් බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ අවධානයට එතරම් බඳුන් නොවන ස්තූපයක් දැකිය හැක. මෙයට වසර ගණනාවකට පෙර නම් එය ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිතව තිබුනේ එළාර සොහොන ලෙසය. එහෙත් අද වන විට දක්ඛිණ ස්තූපය ලෙසින් එහි නාමකරණය වෙනස් වී ඇත.

1896 වසර සඳහා වූ පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳ වාර්ෂික වාර්තාවේදි H.C.P. බෙල් මහතා පලමු වරට එවකට වෘක්ෂයන්ගෙන් ආවරණය වූ කුඩා කඳු ගැටයක් ලෙසින් දිස්වූ මෙම ස්ථානය පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කරයි. මෙය එවකටද එළාල සොහොන ලෙසින් පොදු ජනතාව හඳුනාගෙන තිබූ මුත් කනිට්ඨ තිස්ස රජු (ක්‍රි.ව. 167-186) විසින් දක්ඛිණාරාමය තුළ ඉදි කරන ලද ස්තූපය මෙය විය හැකි බවට බෙල් අනුමාණ කරන ලදී. බෙල් මහතා ස්තූපයේ නැගෙනහිර සහ උතුරු පාර්ශවයෙහි ඒ වන විටද අගල් දෙකක් කපමින් එහි කැනීමක් ආරම්භ කර තිබුණි. නැවත 1897, 1898 , 1899 සහ 1900 වසර වල පාලන වාර්තා වලද ඔහු එහි ප්‍රගතිය පිළිබඳව විස්තර ඉදිරිපත් කර ඇත. වියදම් අධික බව හේතුවෙන් 1900 වසරේදී එහි කැනීම් නවතින අතර නැවත වර්ෂ 1946 දී  මෙම ස්ථානය සම්බන්ධයෙන් අවධානය යොමු කරවන්නේ මෙරට ප්‍රථම ස්වදේශීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ සෙනරත් පරනවිතාන මහතාය. බෙල් විසින් කනිනු ලැබූ අගල් ඒ වන විට වන ප්‍රවාහයට හසුවී තිබූ අතර ඒවා පරණවිතාන මහතා සඳහන් කරන ආකාරයට මැයි සහ ජූනි මාස වලදි අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ පොදු වැසිකිලි බවට පත්ව තිබී ඇත. එපමණක් නොව කඳු වැටිය මුදුනත් ඒ කටයුතු උදෙසාම වෙන්වී තිබී ඇත.
උතුරු ආයකය 
1946 වසරේ පරණවිතාන මහතා ආරම්භ කල කැනීම් මුල් කාලයේ ප්‍රධාන වශයෙන් අරමුණු කර තිබුනේ එහි දකුණු සහ බටහිර ආයක (වාහල්කඩ) සොයාගැනීම උදෙසා විය. H.C.P. බෙල් විසින් සිදු කල උතුරු හා නැගෙනහිර දිශාවන්හි වූ කැනීම් මගින් එම දිශාවන්හී ආයකවල් තිබූ බවට සාධක හමුවි තිබුනි. ඒ වන විට ස්තූපයේ ඉහල කොටස කඩා වැටීම හේතුවෙන් එහි සුන්බුන් වලින් ආයක මෙන්ම දාගැබේ පහල කොටස සහ මළුවද වැසී ගොස් තිබී ඇත. නමුත් එම කැනීම් වලින් සොයාගත හැකි වූවේ එම ආයක ස්තූපයේ ඉහල කොටස් කඩාවැටීමට පොරොතුවම විනාශ කර ඇති බවය. කෙසේ නමුත් දකුණු ආයකහි බටහිර කොටසේ කැටයම් කල ගල්ටැම් දෙකක් සහ වෙනත් අවශේෂ නිදන් හොරුන්ගේ ග්‍රහණයෙන් මිදී සුන්බුන් වලට යටවී තිබී මෙම කැනීමේදී හමුවිය.
උතුරු ආයකයේ කැටයම් ගලක්. මෙහි වෛශ්‍රවණ දේව රුවක් සහ ඔහුට පහලින් කාසි අතුරන මිනිසෙකුගේ රුවක් කැටයම් කර ඇත. 
මෙම කැනීමෙන් හමුවූ වැදගත්ම සොයාගැනීම වනුයේ සියවස් ගනනාවක් ස්තූපයේ සුන්බුන් වලට යටවී සැඟවී තිබූ කළු ගල් පුවරු 17 ක බ්‍රාහ්මි අක්ෂර වලින් සටහන් කර තිබූ දීර්ඝ සෙල් ලිපියයි. දකුණු සහ උතුරු ආයක අතර සලපතල මළුවේ එම ගල් පුවරු හමු වූ අතර, කඩා වැටුන ස්ථූපයේ සුන්බුන් වලින් වැසී යාමට පෙරම සෙල් ලිපිය සටහන්  කල එම ඇතැම් ගල් පුවරු  එම ස්ථානයෙන් කිසියම් වෙනත් තැනකට රැගෙන ගොස් ඇත. ඒවා අද වන විට සොයාගත නොහැක. එම සිදුවීම බොහෝවිට මෙහි ආයක සතරේ ගල් කැටයම් රැගෙන ගිය අවස්ථාවේදීම සිදුවන්නට ඇත (ඇතැම් විට වෙනත් මෙවැනි ඉදිකිරිමක් උදෙසා උපයෝගි කරගැනීමට එම ගල් රැගෙන ගියා විය හැක).. එම නිසා අද අපට ඉතුරුව ඇත්තේ එහි මුල් කොටස සහ අග කොටස නොමැති අසම්පූර්ණ සෙල්ලිපියකි. අකුරු වල හැඩයෙන් සෙල්ලිපිය 3 වන ශතවර්ෂයට පමණ කාල නිර්නය කල හැක. රජවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් විසින් දක්ඛිණ විහාරයේ තිස්ස මහාචේතියට පූජා කරන ලද ගම් බිම් පිළිබඳ ලේඛනයක් ලෙස මෙම සෙල් ලිපිය හඳුනාගෙන ඇත. එම ලිපියේ කිහිප තැනකම දකිණිවිහර යන නම හමුවේ. මපරුමකා ලෙස විරුද නමකින් හැඳින්වෙන රජ කෙනෙකු විසින් දකිණිවිහර තිස මහ චෙත එනම් දක්ඛිණ විහාරයේ තිස්ස මහා චේතිය වෙත පිරිනැමූ කුඹුරු ආදියෙන් එන ආදායම් ආදී දෑ ගැන විස්තරයක් කියවිය හැකි කොටසින් හමුවේ. එම රජතුමාගේ නම් යනාදිය අතුරුදහන් වී ඇති මුල් ගල් පුවරු වල තිබෙන්නට ඇත. එම තිස මහා චෙතිය මපරුමකා ලෙසින් හැඳින්වෙන රජතුමාගේ පිය රජතුමන් විසින් නැවත පිළිසකර කල බවද  එහි වැඩිදුරටත් සඳහන් වේ.
උතුරු ආයකයේ කැටයම් ගලක්.
මහාවංශයේ විස්තර වන ලෙසට කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 167-186) දක්ඛිණ විහාරයේ ස්තූපයට කඤ්චුකයක් (වැස්මක්) කරවීය. එසේම සෙල්ලිපිවල මපරුමකා යන විරුදයෙන් හැඳින්වෙන පළමුවන රජතුමාද එතුමාය. ඒ අනුව ගතහොත් මෙම ස්තූපය පිළිසකර කල රජු කනිට්ඨතිස්ස ලෙසත්  ඔහුට පසුව රජ වූ ඛුජ්ජනාග (ක්‍රි.ව. 186-187) හෝ ඉන් වසර දෙකකට පසු ඔහු මරා රජකම ලබාගත් ඔහුගේ බාල සොහොයුරු කුඤ්චනාග (ක්‍රි.ව. 187-189) මෙම ලිපියේ මපුරුමකා ලෙසින් හැඳින්වෙන රජු ලෙසත් හඳුනාගත හැක. එය තව දුරටත් තහවුරු වනුයේ මෙම ගල් පුවරු වල පළමුවන පුවරුවේ මැකී ගිය කොටසක කියවිය හැකි ..පුත නඛ මහ රජහ යන්නෙන් ..රජුගේ පුත් නඛ මහ රජ යන්න කියවෙන බැවිණි. එනම් නම මැකී ඇති කිසියම් රජෙකුගේ පුතු වන මහා නාග නම් රජෙකු මෙම ලිපියේ පසුව මපරුමකා ලෙසින් පමණක් හැඳින්වෙන රජු බවය. නමුත් කනිට්ඨතිස්ස රජුගේ පුතුන් දෙදෙනාගේම නම් වල නාග (නඛ) යන්න ඇති බැවින් ඉහත සඳහන් කිනම් රජෙකු මෙයින් හැඳින්විනිද යන්න නිශ්චිතවම කිව නොහැක.
දකුණු ආයකයේ කැටයම් ගල්
දක්ඛිණ වෙහෙර පිළිබඳව වූ වංශකතා තොරතුරු

වට්ටගාමණී (ක්‍රි.පූ. 89-77) නම් රජුගේ (වළගම්බා) යෝධයන් සත් දෙනාගෙන් කෙනෙකු වූ  උත්තිය නමැත්තා නගරයට දකුණු දෙසින් දක්ඛිණ නම් විහාරයක් කරවූ බව මහාවංශයේ දැක්වේ. මෙම වට්ටගාමිණි රජු සමයේම සිදුවූ මෙරට පළමු නිකාය භේදයේදී දක්ඛිණ විහාරයේ උන් භික්ෂුන් අභයගිරිකයන්ගෙන් වෙන් වූ බවද මහාවංශයේ එම පරිච්ඡේදයේම සඳහන්වේ. ආමණ්ඩගාමණී (ක්‍රි.ව. 19-29) නම් රජුගේ කාලයේදී රජු අනුරාධපුරයෙන් දකුණු දෙස මහාගාමෙණ්ඩ වැව කරවා දක්ඛිණ විහාරයට දුන්නේය.  ඉන්පසු ඉහත සඳහන් වූ පරිදි කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 167-186) ඔහුගේ රාජ්‍ය කාලයේදී එම දක්ඛිණ විහාරයේ ස්තූපයට කඤ්චුකයක් කරවීය. තවද මහාමේඝවන උයනෙහි සීමාව මැඩ භක්තසාලාවක්ද (භෝජනශාලාවක්) කරවීය. එපමණක් නොව ඔහු මහාවිහාරයේ ප්‍රාකාරය පැත්තකින් ඉවත් කොට දක්ඛිණ විහාරයට මාර්ගයක්ද ඉදි කලහ.
දකුණු ආයකයේ කල්ප වෘක්ෂ කැටයම් කණුවේ දැක්වෙන රූප
වෝහාරික තිස්ස රජුද (ක්‍රි.ව. 209-231) දක්ඛිණ මූල විහාරය ඇතුළු විහාර අටක ස්තූපයන්ගේ ඡත්‍රකර්ම කරවා දක්ඛිණ විහාරය ඇතුළු තවත් විහාර හයක ප්‍රාකාරද කරවූ බව මහාවංශයේ සඳහන් වේ. දක්ඛිණ මූල සහ දක්ඛිණ විහාර යනු එකම වෙහෙරක් උදෙසා භාවිතා කල නම් දෙකක් විය හැක. ගෝඨාභය රජතුමා (ක්‍රි.ව. 249-262) දක්ඛිණ විහාරයේ උපෝසථාඝරය පිළිසකර කරවීය. නිකාය සංග්‍රහය දක්වන පරිදි ගෝඨාභය රජුගේ සතරවන වර්ෂයේදී අභයගිරිවාසීන් වෛතුල්‍ය වාදය ගත් බැවින් අභයගිරි විහාරයේ ධර්මරුචි නිකායෙන් වෙන්වූ උස්සිලියාතිස්ස නම් මහතෙර නමක් සහ තුන්සීයක පමණ භික්ෂුන් පිරිසක් දකුණුගිරි වෙහෙරට ගොස් වෙන් ව විසූහ. සාගල නම් මහතෙර කෙනෙක් ඔවුන් සමග වෙසෙමින් ආගම ව්‍යාඛාන කල හෙයින් ඔවුන් සාගලිය නම් වූහ.
දකුණු ආයකය
 පළමුවන අග්ගබෝධි රජු (ක්‍රි.ව. 571-604) දක්ඛිණ විහාරයේ මනහර ප්‍රාසාදයක් කරවීය. තුන් වන අග්ගබෝධි රජු (ක්‍රි.ව. 629-639) කල ඔහුගේ යුවරජු වූ කස්සප (ඔහු පසුව දෙවන කස්සප (ක්‍රි.ව. 650-659) ලෙසින් රාජ්‍යත්වයටද පත් වේ ) යුධ වියදම් සඳහා ථූපාරාමය ආදී ස්තූපයන් බිඳවා එහි තිබූ වස්තූන් කොල්ලකෑමේදී දක්ඛිණ විහාරයේ ස්තූපයද බිද වටිනා වස්තුව ගත්බව මහා වංශයේ සඳහන් වේ. අවසාන වරට දක්ඛිණ විහාරය පිළිබඳව හමුවන මහාවංශ විස්තරය එයයි

පසු කාලීන ඉදිකිරීම් වලින් විනාස වී නොමැති නම් දක්ඛිණ විහාරයේ ඉහත රජවරුන් ඉදි කල ගොඩනැගිලි වල නටබුන් තවමත් මෙම ස්තූපය අවට පුරා විද්‍යා රක්ෂිත භූමියේ පොළව යට සැඟවී තිබෙනවා විය හැක.

එළාරගෙ සොහොන ලෙසින් ප්‍රචලිතව තිබූ මෙම ස්තූපය සැබැවින්ම ඔහුගේ ප්‍රතිවාදියා වූ දුටුගැමුණුගේ ආදාහනය සිදු කල ස්ථානයේ ඉදි කර ඇති බව සෙනරත් පරනවිතාන මහතා මතයක් ඉදිරිපත් කර ඇත. ඔහුට ඒ සඳහා පාදක වූ සාධක එදා පටන් අද දක්වාම විද්වතුන් අතර විවාදයට බඳුන් වෙමින් පවති. පරණවිතාන මහතාගේ මතය විවේචනය කරමින් දක්ඛිණ ස්තූපය එළාර සොහොන බවට රාජා ද සිල්වා, ජේම්ස් ටී. රත්නම් වැනි වියතුන් තර්ක ඉදිරිපත් කර ඇති අතර මෑතකදි ඉෂංඛ මල්සිරි මහතා සිය 'දුටුගැමුණුගේ හෘද සාක්ෂියට පිළිතුරක්' නම් කෘතියෙන් එම බොහෝ තර්ක වල දුර්වල බව මැනවින් පෙන්වා දී ඇත. කෙසේ නමුත් දක්ඛිණ ස්තූපය ඉදි කරන්නේ දුටුගැමුණු ආදාහනය කල ස්ථානයේය යන මතයද අවිවාදිතව පිළිගැනීමට තරම් ප්‍රබල සාක්ෂ්‍ය ඉදිරිපත් වී නැති බව කිව යුතුය. මේ විවාදය සම්බන්ධ ඇතැම් තොරතුරු ඉදිරි ලිපි මගින් විමසා බලමු.

මූලාශ්‍ර
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • දුටුගැමුණුගේ හෘද සාක්ෂියට පිළිතුරක්, ඉෂංඛ මල්සිරි, 2016
  • The Tomb of Elara at Anuradhapura, අනුරාධපුරයේ එළාර සොහොන් ගැබ, ආචාර්ය ජේම්ස්. ටී රත්නම්, පරිවර්තනය සේපාල විජේසේකර, 2015
  • වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • Digging Into The Past, Essays of Antiquity, Raja de Silva, 2005
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part II, Late Brahmi Inscriptions, Paranavitana S., 2001
  • A tourist guide, Art And Architectural Remains, Anuradhapura, Sri Lanka, Chandra wikramagamage, 2012
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Sabaragamuwa, And Central Provinces, Annual Report 1896.
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Central And Eastern Provinces, Annual Report 1897.
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, And Central Provinces, Annual Report 1898