Showing posts with label Etanwala. Show all posts
Showing posts with label Etanwala. Show all posts

Wednesday, June 27, 2018

19 වන සියවසේදී දුම්බර රට

මහවැලි ගඟේ අතු ගංගාවන් වන අඹන් සහ කළු ගංගා නිම්න ඔස්සේ විහිදුන පුරාණ ශිෂ්ඨාචාරය පිළිබඳව වූ පෙර ලිපියකදී ලංකාපබ්බත දේශය සහ එහි පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ යුගයේදී පිහිටා තිබූ රණඹුරේ ගම පිළිබඳව සඳහන් කලෙමි. (එම ලිපිය කියවීමට>> අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 1) බොහෝවිට එයට පෙර යුගයන්හි සිටම ජනාවාසව පැවති මෙම ප්‍රදේශය තුල පිහිටි ගම් ඉංග්‍රිසින් 1815 උඩරට පළාත් යටත් කරගන්නා තෙක්ම (අද වනවිට නකල්ස් ලෝක උරුම වනාන්තරයේ ස්වාරක්ෂක කලාපය (Buffer Zone) ලෙස හඳුනාගන්නා ප්‍රදේශය තුල) වනාන්තරය සහ එහි වසන වන ජීවින් හා සහජීවනයෙන් පැවත ආහ. ගැමියන් වනාන්තරයේ සම්පත් සිය එදිනෙදා කටයුතු සඳහා උපයෝගි කරගත් මුත් එය සම්පූර්ණයෙන් එළි කර විනාශ නොකල බවට අද දක්වාම එම ප්‍රදේශ වල දැකිය හැකි ඉහල ජෛව විවිධත්වය දෙස් දෙයි.

එහෙත් ඉංග්‍රිසින් විසින් ආරම්භ කල වැවිලි භෝග වගාවන් සමගින් මුල් කාලයේ කෝපි සහ පසුව තේ සඳහා මෙම කඳුකර වනාන්තර පෙදෙස් එළිවන්නට විය. පසු කාලීනව නිදහසින් පසුව එම තේ වතු ජනසතුකරණය වීමත් සමග අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසාය යටතේ විනාශ වූ අතර අද වන විට එවන් ඇතැම් ප්‍රදේශ නැවතත් වනාන්තරයට යට වී ඇත. නකල්ස් සංරක්ෂක කලාපයට එම ප්‍රදේශද අයත් කර ඒවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමේ යෝජනාවට කාලයක් තිස්සේ බාලගිරි දෝෂය වැලදී ඇත. මේ අතර 'යහපාලනයක්' ගෙන එනවායැයි 'කුරවැසියන්' රවටා බලයට පැමිණි 'ජඩපාලන මංකොල්ලකරුවන් රැල' නකල්ස් ස්වාරක්ෂක කලාපයට අයත් මෙම ඉඩම් අක්කර 21000 පමණ අනාරක්ෂිත කරමින් වගාවන් නොවන විවිධ ව්‍යාපෘති සඳහා පුද්ගලික ව්‍යාපාරිකයන් සඳහා බදු දීමට තීන්දු කර ඇති මොහොතක (ඒ පිළිබඳව වැඩි විස්තර සඳහා කියවන්න >> දුම්බර වනපෙතේ කතාව දුක්‌බරය රජයේ තේ වතු වෙන්දේසියේ....) චිරාත් කාලයක් පරිසරය සමග සහජීවනයෙන් ජිවත් වූ සිංහලයන් විසූ වර්තමානයේ නකල්ස් ස්වාරක්ෂක කලාපය තුල පිහිටා ඇති පැරණි ගම් පිළිබඳව විශේෂයෙන්ම 19 වන සියවසේ අවසාන භාගයේ එම ප්‍රදේශ තුල තිබූ ගම්මාන වල එකල තත්වය පිළිබඳව විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් වර්ෂ 1837 සිට වසර 19 ක් මහනුවර දිස්ත්‍රික් විනිසුරුවරයා (District Judge of Kandy) ලෙස සේවය කල A.C. ලෝරි (A.C. Lawrie) විසින් සම්පාදන කල A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane) නම් කෘතියේ වෙලුම් දෙකෙහි එන තොරතුරු පාදක කරගනිමි.
තද කොළ පාටින් නකල්ස් සංරක්ෂණ වනාන්තරය දක්වා ඇත.
මෙම ලිපියෙහි අවධානය ලග්ගල පල්ලේසිය පත්තුව සහ ලග්ගල උඩසිය පත්තුව  ලෙසින් හැඳින්වූ පැරණි බෙදීම් ප්‍රදේශ තුල තිබෙන හා තිබූ, එමෙන්ම වර්තමානයේ නකල්ස් ලෝක උරුම කලාපයේ ස්වාරක්ෂක කලාපයට අයත් ගම්මාන කෙරෙහි පමණක් අවධානය යොමු කරන අතර එම කලාපයටම අයත් වෙනත් පත්තු සහ කෝරල වලට අයත් ගම්මාන පිළිබඳව මතු ලිපි වලින් විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

*දැනට හඳුනාගත හැකි ගම්මාන කොළ පාටින් දක්වා ඇති අතර එම ගම්මාන පිහිටා ඇති ආකාරය අදාල සිතියමේ ලකුණු කර ඇත.

ලග්ගල පල්ලේසිය පත්තුව
  • පල්ලේගම>>  ආණ්ඩුවේ ඒජන්තවරයා ලග්ගල පල්ලේසිය පත්තුවට පැමිණි විට ඔහු නවාතැන් ගන්නා ගම පල්ලේගමයි. මානකැටියේකන්ද අසල ඇති පල්ලේගම ගම කොටස් දෙකකට බෙදමින් ගම මැදින් කළු ගඟ ගලා යයි. 1818 කැරැල්ල අවස්ථාවේ කැරලි නායකයකු වන මඩුගල්ලේ අල්ලා ගැනීම උදෙසා කැප්ටන් Glenholme මෙහි මද කලක් රැඳි සිට ඇත. ගොවි (වෙල්ලාල) කුලයට අයත් මුදලි පේරුවේ ජනයා සහ රදා කුලයට අයත් ජනයා වාසය කරයි. වර්ෂ 1871 ජන සංගණනයේදී පල්ලේගම ගමෙහි මිනිසුන් 115 වාසය කර ඇත. එම සංඛ්‍යාව වර්ෂ 1881 දී 94 ක් වී, නැවත 1891 දී 100 දක්වා වැඩි වී ඇත. නටබුන් වූ විහාරයක්, දාගැබක් සහ ගල් කණු පේලි දෙකක් සහිත පැරණි ස්ථානයක් මෙන්ම කළු ගඟ හරහා තැනූ අමුණක අවශේෂද මෙහි දැකිය හැක (එම අමුණෙන් අස්වද්දන බොහෝ කුඹුරු අතහැර දමා ඇත.) පැරණි වැවක් මගින් ඉඩමේගෙදර කුඹුරු වගා කරයි. 
  • සියඹලාගහවෙල>>  පල්ලේගම වසමට අයත් වූ 1881 දී 6 දෙනෙකු පමණක් වාසය කල මෙම ගම වර්ෂ 1887 දී අතහැර දමා ඇත.
  • ඇතුලන්තොට(Attulantota)>>  සැතපුම් භාගයක් පමණ පල්ලේගමට සහ ගෝනවලට නැගෙනහිරින් පිහිටි මෙම ගමෙහි තිබී ඇත්තේ එක් නිවසක් පමණි. ගල් කණු සහිත පැරණි ගොඩනැගිල්ලක අවශේෂද එහි තිබී ඇත. 
  • ඉමාඩුව>>  පල්ලේගම සිට සැතපුම් 2ක් බටහිර දෙසට වන්නට පිහිටි ඉමාඩුව ගම එම නමින් වූ ආරච්චි වසමට කෙහෙලන්වල සහ කිරිඳිකැටිය සමගින් ඇතුලත් වේ. ඉතාමත්ම දිලිඳු බෙරවා කුලයේ ජනයා වසන ගමක් වූ ඉමාඩුව ග්‍රාමයේ ජනගහණය 1871 වසරේදී 145 විය. එය 1881 දී 166 ක් දක්වා වැඩි වී 1891 දී 152 දක්වා අඩු වී ඇත. පැරණි බණ මඩුවක් සහ දේවාලයක් ඇති අතර එම දේවාලයේ කපුවා ලෙඩ රෝග උවදුරු ඇතිවන කාලයේදී වසරකට වරක් පූජාවන් සිදු කරයි. 
  • කිරිඳිකැටිය>> 1881 ජන සංගණනයේදී මිනිසුන් 52 සිට ඇති මෙම ගමෙහි ජනගහණය වර්ෂ 1891 වන විට 75 දක්වා වර්ධනය වී ඇත. කෙහෙලන්වල ගමට යාබදව පිහිටා ඇත.
  • කෙහෙලන්වල (Kelanwela)>>  ඉමාඩුව ගමෙහි සිට සැතපුම් 1.5 පමණ දුරින් පිහිටා ඇති මෙම ගමෙහි විවිධ කුල වලට අයත් ඉතාමත් දුගී ජනයා 25 දෙනෙකු 1881 දි සිට ඇත. එම සංඛ්‍යාව වර්ෂ 1891 වන විට 11 දක්වා අඩු වී ඇත. පැරණි බණ මඩුවක් ඇත.
  • හල්මිණිය>>  හල්මිණිය නමින් ගමක් මෙන්ම වසමක්ද තිබී ඇත. කිණිගම සහ හංවැල්ලද හල්මිණිය වසමට අයත්ය. පල්ලේගමට සැතපුම් දෙකක් පමණ දකුණට වන්නට පිහිටි මෙම ගමෙහිද එතරම් දුගී නොවූ ගොවි කුලයේ ජනයා 41 ක් 1881 දීද, 53 ක් 1891 දීද වාසය කර ඇත. භාවිතයට නොගන්නා පැරණි බණ මඩුවක් සහ රියන් 5ක් 6ක් පමණ දිග ප්‍රතිමාවක් සහිත ලෙන් විහාරයක් ඇත.
  • හංවැල්ල>>  හල්මිණිය ගමට සැතපුම් තුන් කාලක් පමණ දුරින් පිහිටා ඇති මෙම ගමෙහි ගොවි කුලයට අයත් එතරම් දුප්පත් නැති ජනයා 32 1881 දීද, 57 1891 දීද වාසය කර ඇත. ගල් පර්වතයක් මත තැනූ කුඩා දේවාලයක් ඇත. වසරකට වරක් රෝග උවදුරු පැමිණි විට එම දේවාලයේ කපුවා ඒ සඳහා පූජා පවත්වයි. Haturane ඔය (හල්මිණි ඔය ?)  සහ ඇල ගම අසලින් ගලා යයි
  • කීනිගම>>  හංවැල්ල ගමට සැතපුම් භාගයක් පමණ ගිණිකොන දෙසට වන්නට හල්මිණිය ගමට යාබදව පිහිටි කීනිගම ගමෙහි ගොවි කුලයේ ඉතාමත් දිලිඳු ජනයා 65 ක් වර්ෂ 1881 දී විසූ අතර, 1891 වන විට එය 51 දක්වා අඩු වී ඇත. නටබුන් වූ බණ මඩුවක් තිබී ඇත. වෙස්ලියන් සභාවේ නිවසක් (Wesleyan Mission House) මෙම ගමෙහි තිබී ඇති අතර එහි එම දහම ප්‍රචාරය කරන්නෙක්ද (Catechist) වාසය කර ඇත. බොල්පනාගොඩ කන්ද ගම අසල පිහිටා ඇත.
ලග්ගල පල්ලේසිය පත්තුවට අයත් දැනට හඳුනාගත හැකි ගම්මාන.
  • කරාගම>>  කීනිගම සැතපුමක් පමණ නිරිත දිගින් කරුවලගහදෙවෙල ගමට යාබදව පිහිටා ඇති මෙම ගමෙහි 29 දෙනෙකු 1881 දී සිට ඇති අතර එය 1891 වන විට 24 දක්වා අඩුවී ඇත. 
  • රණමුරේ>>  කරාගමට සැතපුමක් පමණ බටහිරට වන්නට පිහිටි විශාල ගමකි. රණමුරේ වසමට රණමුරේ ගම මෙන්ම පින්නවල සහ කඩුවෙල යන ගම්ද අයත් වේ. අළකොළ ඇල සහ රණමුරේ ඔය ගම හරහා ගලා යයි. රිංගානහෙලේ කන්ද (Ringanahelekanda) ගම අසල පිහිටා ඇත. රණමුරේ විහාරයක් මෙන්ම ගලක් මත පිහිටි දේවාලයක්ද ඇත. රෝග උවදුරු පැමිණි විට එහි කපුරාල පූජා පවත්වයි. නටබුන් වූ කළුපානේ මාළිගාව නම් වූ ස්ථානයක් පිළිබඳවද තොරතුරු ඇත. මෙම ගමෙහි ඉතාමත් දිළිඳු, වැද්දන්ගෙන් පැවත එන ගොවි කුලයේ ජනයා 112 ක් 1871 දී සිට ඇති අතර එය 1881 දී 105 දක්වා අඩු වී නැවත 1891 දී 117 දක්වා වැඩි වී ඇත.
  • නාරංගොමුව>>  රණමුරේ ගමට සැතපුම් 2 පමණ බටහිරට වන්නට පිහිටා ඇති මෙම ගම ලග්ගල පල්ලේසිය පත්තුවට අයත් විශාලම සහ සශ්‍රීකම ගම විය. කරාගම ඔය සහ රිටිපොතේ ඇල මෙම ගම හරහා ගලා යයි. ගොවි කුලයේ ජනයා වැඩි වශයෙන්ද බෙරවා කුලයේ ජනයාද (Tom-tom beaters) වසන මෙහි ජනගහණය වර්ෂ 1871 දී 218 විය. එය 1881 දී 186 දක්වා අඩු වී නැවත 1891 දී 246 දක්වා වැඩි වී ඇත. හතරැස් සැතපුම් කාලක පමණ වන ස්වභාවික ජල තටාකයක් සහ ගල් පර්වතයක් මත තැනූ දේවාලයක් මෙහි ඇත.
  • පින්නවල (Pinnawella)>> පදු, රදා සහ බෙරවා යන කුල වලට අයත් ජනයා 44 ක් 1881 සංගණනයේදී මෙම ගමෙහි වාසය කර ඇත. එය 1891 දී 59 කි.
  • කඩුවෙල සහ පැන්වල?(Penwala)>>  1871 සංගණනයේදී පැන්වල ගමෙහි ජනගහණයද කඩුවෙල ගමටම එක් කර එය 92 ලෙස දක්වා ඇත. 1881 සිට වෙන වෙනම ගනණය කර ඇති අතර ඒ අනුව කඩුවෙල ජනයා 43 ක් 1881 දී  වාසය කර ඇත. එම අගය 1891 වන විට 34 දක්වා පහල බැස ඇත. අගුණුකොළ ඇල ගම හරහා ගලා යයි. පැන්වල ගම ගැන ඉහත සඳහන් 1871 ජන සංගණනයෙන් පසු පැවති සංගණන වලදි විස්තර හමු නොවේ.
  • කිවුලේවාඩිය>> කරාගමට සැතපුම් 2.5 පමණ ගිණිකොණ දෙසින් පිහිටා ඇති කුල හීන දිළිඳු ජනයා ජීවත් වූ ගමකි. ගල්පඩි කන්ද ගම අසල පිහිටා ඇත. එහි ජනගහණය 1881 සහ 1891 වසර වලදී  පිළිවෙලින් 90 සහ 113 විය. 
  • මාබෝල>>  කරාගම වසමට අයත් කරාගම සහ කිවුලේවාඩිය අතර පිහිටි මහබල තෙරුන්වහන්සේ  විසින් ආරම්භ කල මාබෝල ගම 1898 වන විට අතහැර දැමූ ගමක් විය. 
  • බතලවත්ත>>  කිවුලේවාඩිය ගමට සැතපුම් 3 පමණ නැගෙනහිරින් පිහිටි නිවාස දෙකක් පමණක් තිබූ ඉතාමත් දිළිඳු පන්නයෝ කුලයට අයත් ජනයා වසන ගමකි.
  • කරුවලගහදිවෙල>> බතලවත්ත ගමට සැතපුම් 1.5 නැගෙනහිරට වන්නට පිහිටි හීන කුල ජනයා වෙසෙන ගමකි. හීන් ගඟ ගම හරහා ගලා යයි. වර්ෂ 1881 දී ජනගහණය 35 වූ අතර 1891 දී එය 27 දක්වා අඩු වී තිබිණ.
  • මොරගහඋල්පත>>  ඉතාමත් දිළිඳු, දඩයමින් ජීවත් වන, වැද්දන්ගෙන් පැවත එන ජනයා වසන ගමකි. වෙදගනා ඇල ගම අසලින් ගලා යයි. මෙහි පැරණි දේවාල දෙකක් ඇත. 1871 ජන සංගනණයේදී තළකොලවෙල ගම සමග එක්ව ගෙන ඇත. 1881 දී සහ 1891 දී ජනගහණය පිළිවෙලින් 76 සහ 51 විය. 
  • ගෝනවල>> ගොවි කුලයේ දිලිඳු ජනයා වසන කළු ගඟ බටහිර ඉවුරේ පිහිටි ගමකි. කොළොන්ගොල්ලේ කන්ද අසල පිහිටා ඇත. 1881 දී 56 වූ මුළු ජනගහණය 1891 වන විට 103 දක්වා වැඩි වි ඇත.
පිටවල ගමේ කුඹුරු
  • කපුරුවෙල ඔය (කපුරුවැදිවෙල ඔය?) >>  මොරගහ උල්පත අසල පිහිටි ගල් කුළුණු සහ සෙල් ලිපියක් හමුවන කපුරු ඇලේ ඔය නම් ස්ථානයක් පිළිබඳව පැවසේ. එසේම කපුරුවෙලේ ඔය නම් වූ ගමක් පිළිබඳවවද ලෝරි සඳහන් කරයි. මේ එකම ස්ථානයක් පිළිබඳව විය හැක. 
  • හුළුගම (හුළුගුණේ ?)>>  අතහැර දැමූ ගමකි. 
ලග්ගල උඩසිය පත්තුව
  • මහලකොටුව>>  මහලකොටුව නමින් ගම්මානයක් මෙන්ම වසමක්ද ඇත. මහලකොටුව වසමට මහලකොටුව, පොලොන්මාන, තෙල්ගමුව සහ කරකොළගස්තැන්න යන ගම් අයත් වේ. ගොවි මෙන්ම රදා, පදු සහ බෙරවා කුල වල ජනයා වාසය කරයි. මීගස්තැන්නේ වලව්වේ විදානේවරුන්ගෙන් පැවත එන්නන් සිටී. ජනගහණය 1881 දී 184 සහ 1891 දී 177 ලෙස දක්වා ඇත.
  • කරකොළගස්තැන්න>>  1881 දී 58 දෙනෙකු සහ 1891 දී 51 දෙනෙකු වාසය කල මහලකොටුවට යාබදව පිහිටි ගමකි.
  • පොලොන්මාන>>  ගොවි කුල ජනයා වාසය කල වර්ෂ 1871 දී ජනගහණය 57 සහ 1881 දී 55 වූ මහලකොටුව වසමට අයත් ගම්මානයකි.
  • තෙල්ගමුව>>   1898 වන විට තෙල්ගමුව අතහැරදැමූ ගමකි.
  • පුබ්බෝරුවෙල>>  ඉතා දිළිඳු ගොවි කුල ජනයා වර්ෂ 1881 දී 25 දෙනෙකු සහ 1891 දී 22 දෙනෙකු විසූ ගම්මානයකි.
    • කුකුළාමල්පත>>  ඉහත පුබ්බෝරුවෙල ගමට යාබදව පිළිවෙලින් 1881 සහ 1891 වර්ෂ වලදි මිනිසුන් 29 සහ 31 වාසය කල ගම්මානයකි.
    • කහගල>>  1871 ජන සංගනණයේදී මිනිසුන් 209 දෙනෙකු විසූ 1881 වන විට එම සංඛ්‍යාව 190 දක්වා අඩුවී නැවත 1891 දී 211 දක්වා වැඩිවූ ගම්මානයකි.
    ලඳු කැලෑ මැදින් පිටවල , මැද ඇල, රත්නින්ද සහ ඇටන්වල ගම්මාන දෙසට යොමුවූ මාර්ගය
    • ඉළුක්කුඹුර>>  පුබ්බෝරුවෙල ගම්මානයට යාබදව පිහිටි 1881 දී ගොවි කුලයට අයත් මිනිසුන් 54 දෙනෙකු සහ 1891 දී 52 දෙදෙනෙකු වාසය කල ගමකි. බණ මඩුවක් ඇත. අහස් දියෙන් කුඹුරු ගොවිතැන් කරයි. 
    • මැද ඇල>>  පිටවල වසමට අයත් 1871 දී මිනිසුන් 111, 1881 දී 91 සහ 1891 දී 108 විසූ නවන්දන සහ ගොවි කුල වලට අයත් ජනයා වාසය කල ග්‍රාමයකි. මෙම ගමෙහි පිහිටි ඇල සහ අමුණ විජයපාල රජුගේ කාලයේදී ඉදිකර 1898 වන විටද භාවිතයට ගනිමින් තිබී ඇත. ගමේ බණ මඩුවක් ඇති අතර වසරකට වරක් මාතලේ සිට භික්ෂූන්වහන්සේ නමක් වැඩම කර බණ දේශනා පවත්වා ඇත.
    • රත්නින්ද>>  ඇටන්වල වසමට අයත් රන්හොටි මුදියන්සේ නම් පුද්ගලයෙකු ආරම්භ කල බව පැවසෙන ගම්මානයකි. ලහුමානේකන්ද (Lahumanekanda) ගම ආසන්නයේ පිහිටා ඇත. 1871 ජන සංගනණයේදී මෙම ගමෙහි සහ ගංගෙදර ගම්මානයේ මිනිසුන් 122 දෙනෙකු සිටි බව සඳහන් වේ. 1881 දී එය 139 දක්වාද, 18891 දී 157 දක්වාද වැඩිවී ඇත. මීගස්තැන්නේ වලව්වේ විදානේලාගෙන් පැවතෙන පුද්ගලයන් සහ මුදලිපේරුවේ ජනයා වාසය කරයි. අසල පිහිටි අනෙකුත් ගම්මාන වලට වඩා වී සහ කුරක්කන් වලින් මෙම ගම සශ්‍රිකය. හටන්වල? (Hattanwela) සහ පිටවල වතු මෙම ගම්මානයේ සිට සැතපුම් භාගයක් පමණ බටහිර දෙසින් පිහිටා අත. 
    • පිටවල>>  පිටවල ගම පිටවල ආරච්චි වසමට අයත් වේ. එම වසමට ගලපල්ල සහ මැදඇල යන ගම්ද අයත්ය. පිටවලයා නම් වූ වැද්දෙකු විසින් ගම ආරම්භ කල බව ජනප්‍රවාදයයි. ගොවි, රදා සහ බෙරවා කුල වලට අයත් ජනයා වර්ෂ 1871 දී 216 දෙනෙකුද, 1881 දී 268 දෙනෙකුද, 1891 දී 292 දෙනෙකුද මෙහි වාසය කර අත. විශාල පතනක් මෙන්ම ලග්ගල සහ පිටවල යන කෝපි වතුද මෙහි ඇත. 
    පිටවල පතන
    • ඇටන්වල>> මානගොල්ල වතුයායට සැතපුමක් පමණ උතුරින් පිහිටා ඇති ගම්මානයකි. ඇටන්වල වසමට ඇටන්වල මෙන්ම ගංගෙදර, රත්නින්ද, වල්පොලමුල්ල සහ අමුණේහේන යන ගම් අයත් වේ. සුදුගලමුල්ල කන්ද (Sudugalamullakanda) ගම අසල පිහිටා ඇත.තෙල්ගමු ඔය ගම අසලින් ගලා යයි. ජනගහණය වර්ෂ 1881 දී 246 විය. එය 1891 වන විට 260 දක්වා වැඩිවී තිබුණි. ගොවි සහ රදා කුල වලට අයත් ජනයා වාසය කල අතර ඔවුන් බොහෝ දෙනෙකු තේ වතු වල සේවය කලහ. විහාරයක් සහ බණ මඩුවක් ඇති අතර වසරකට වරක් මාතලේ සිට පැමිණෙන භික්ෂූන්වහන්සේ නමක් බණ දේශනා සිදු කරයි. 
    • වල්පොලමුල්ල>>  කළුපානේ කන්ද අසල පිහිටා ඇති පූර්වයේ කෝනාර මුදියන්සේට අයත් වූ නින්ද ගමකි. 1871 දී 75 වූ ගම් වැසියන් ගණන 1881 දී 35 දක්වා අඩුවී, 1891 වන විට 23 ක් වි ඇත. ඔවුන් ගොවි කුලයට අයත් ඉතාමත් දිළිඳු පුද්ගලයන් වූ බව සඳහන් වේ. 
    • බටදණ්ඩවල>>  උදළුපිඩේ කන්ද (Udalupidekanda) අසල පිහිටා ඇත. ගෙවල් දෙකක් පමණක් තිබූ ගොවි කුල ජනයා 1881 දී 36 සහ 1891 දී 38 වාසය කර ඇති ගමකි. 
    • රඹුක්ඔළුව>>  රඹුක්ඔළුව වසමට, බටදණ්ඩවල සහ රඹුක්ඔළුව ගම් අයත් වේ. රඹුක්ඔළුව ගමෙහි 1871 ජන සංගණනයේදී පුද්ගලයන් 111 දෙනෙකු සිට ඇති අතර 1891 දී එය 155 දක්වා වැඩි වී ඇත. පදු, ගොවි, රදා සහ පට්ටිවල කුල වලට අයත් ජනයා වාසය කර ඇත. රත්වත්තේ දිසාව සඳහන් කර ඇති ආකාරයට රඹුක්ඔළුව ගමේ ඉඩම් ඔහුගේ පියාට ලැබී ඇත්තේ ඔහුගේ මීමුත්තා වූ (Great Grandfather)  දුම්බර මහ දිසාවේ ගෙනි. 
    ලග්ගල උඩසිය පත්තුවට අයත් දැනට හඳුනාගත හැකි ගම්මාන.
    • පල්ලේකුඹුර>> මැද ඇල ගමෙහි පිහිටි කුඩා ගමකි. කෝරාලගේ නිවසද ඇතුලත්ව නිවාස දෙකක් පමණක් තිබී ඇත. වෙස්ලියන් සභාවේ නිවසක්ද ඇත. විශාල ප්‍රදේශයක් මැනවින් පෙනෙන මානගල නම් වූ උස් පර්වතයක් ගම අසල පිහිටා ඇත.
    • අමුණේහේන>>  ඇටන්වල වසමට අයත් වූ මෙම ගම 1881 වන විට අතහැර දැමූ ගම්මානයකි.
    • ගලපල්ල>>  අතහැරදැමූ ගමකි. 
    • ගංගෙදර>> නිවාස දෙකක් පමණක් ඇති තෙල්ගමු ඔය මගින් ඇටන්වල ගමින් වෙන්වූ කුඩා ගමකි. ගම් වැසියන් ඉතාමත් දුගී පහත් ගොවි කුල ජනයා වේ. 1871 දී සිදු කල සංගණනයේදී මේ ගම රත්නින්ද ගම සමග එකට ගෙන ඇත. 1881 සංගණනයේ මෙම ගම ගැන සඳහන් නොවේ. 
    පිටවල , මැද ඇල, රත්නින්ද සහ ඇටන්වල ගම්මාන වලට ඔබ්බෙන් වූ නකල්ස් ලෝක උරුම වනාන්තරය
    ඉහත විස්තර අනුව එම යුගයේ මෙම ප්‍රදේශය තුල පිහිටා තිබූ ගම්මාන වල සමාජ ආර්ථික තත්වයන් පිළිබඳව යම් අවබෝධයක් අපට ලබාගත හැක. කුල අනුව ගම් බෙදී තිබූ අයුරු, පෙර කල වැදි සම්භවයක් ඇතිව සිටි පසුව සිංහලයන් බවට පත්ව ගම්මාන තනා ගත් ජනයා පිළිබඳ තොරතුරු, මෙන්ම ඔවුන්ගේ ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන්ද තොරතුරු මෙහිදි අපට හමුවේ. ඔවුන් ආගමික වශයෙන් බෞද්ධයන් වුවද බොහෝ ගම්මාන වල බණ මඩු තිබුනා වුවද ඒ වන විට එවන් ඇතැම් බණ මඩු අතහැර දමා තිබූ බව පෙනේ. එසේම භික්ෂුන් සිටි විහාර තිබූ බවට සාධක හමු නොවේ. එම හේතුව නිසාම ඇතැම් ගම් වල බණ මඩු විනා විහාර තිබූ බවක් නොපෙනේ. එම බණ මඩු මාතලේ ප්‍රදේශයෙන් වාර්ෂිකව වැඩම කරන භික්ෂූන්ට බණ දේශනා කිරීම සඳහා යොදාගෙන ඇත. එහෙත් බොහෝ ගම් වල දේවාල තිබී ඇති අතර ඒවායේ කපුවන් පුද පිළිවෙත් ඉටුකරමින් ගම්මානය තුලම වාසය කර ඇත. අවම වශයෙන් ගම් දෙකකවත් වෙස්ලියන් සභාවේ මිෂනාරි කටයුතු සිදු වූ බව පෙණේ. අද වන විට ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල දැකිය හැකිද යන්න විමසා බැලීම වටී. එසේම පැරණි රජරට ශිෂ්ඨාචාරයට අයත් විය හැකි නටබුන් ඒ වනවිටත් ඇතැම් ගම් වල ශේෂව තිබූ බවට ඉහත විස්තර වල සඳහන් වේ. 

    මූලාශ්‍ර
    • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
    • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
    • Authors of Books on Sri Lanka. 1796-1948, C.G. Uragoda, 2011
    • The Diversity of the Dumbara Mountains, Anslem deSilva(Editor), 2005
    • A Guide to the Biodiversity of Knuckles Forest Region, C.N,B.Bambaradeniya & S.P. Ekanayake, 2003
    • ලග්ගල ජනවහර, කේ. බී. මානෑව, 2008
    • Nomination of The Central Highlands of Sri Lanka: Its Cultural and Natural Heritage for inscription on theWorld Heritage List, Submitted to UNESCO by the Government of the Democratic Socialist Republic of Sri Lanka 1 January 2008



    Thursday, April 20, 2017

    අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 1

    ජලය පිරෙමින් පවතින මොරගහකන්ද ජලාශය
    මොරගහකන්ද ජලාශයේ වේලි ඉදිකිරීම නිමාවීමත් සමග එය ක්‍රමයෙන් ජලයෙන් පිරෙමින් පවතී. අඹන් ගඟ දෑලේ පැරණි ගම් ප්‍රදේශ ක්‍රමයෙන් ජලයෙන් යටවෙමින් පවතී. ඒවායේ පදිංචි වි සිටි ජනතාව සිය ගම් බිම් වලට සමුදී අළුතින් ඉදිවන ජනාවාස වල පදිංචි වීම සඳහා යමින් සිටී. ඉදිරියේදී කළු ගඟ ජලාශය ඉදිවීමත් සමගම කළු ගඟ අවට ජනාවාස වලටද එම ඉරණමම අත්වනු ඇත. එවන් තත්වයක් යටතේ අඹන් සහ කළු ගංගා මිටියාවත් ආශ්‍රිත පැරණි ජනාවාස සහ වාරිමාර්ග පද්ධතිය පිලිබඳව විමසා බැලීමක් සඳහා කරන උත්සාහයකි මෙම ලිපි පෙළ.
    මොරගහකන්ද ජලාශය හේතුවෙන් යටවෙමින් පවතින පැරණි නාඋල-ඇළහැර මාර්ගය (ඡායාරූපය - සුජීවා ගුණසේන)
    මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය
    අඹන් ගඟේ පැරණි ඇළහැර අමුණට කිලෝ මිටර් දෙකක් පමණ ඉහළින් බඳින ප්‍රධාන වේල්ලක් සහ තවත් සැදලි වේලි දෙකක් මඟින් වර්ග කිලෝමිටර් 29.5 පුරා පැතිරුණු ඝන මීටර් 521,000,000 ක ජල ධාරිතාවයකින් යුතු මොරගහකන්ද ජලාශය සහ පල්ලෙගම නගරයට කිලෝ මීටර් 4 පමණ උතුරින් කළු ගඟ හරස් කර බඳින ප්‍රධාන වේල්ලක් සහ තවත් සැදලි වේලි දෙකක් මගින් වර්ග කිලෝමිටර 8.4 ක ප්‍රදේශයක් පුරා පැතිරුණු ඝන මීටර් 144, 000, 000 ක ජල ධාරිතාවකින් යුතු කළු ගඟ ජලාශය යන ජලාශ දෙකින් සහ කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ සම්බන්ධ කරන දිගින් කිලෝ මීටර් 9 ක් පමණ වන ඇල මාර්ගයකින් (ඉන් කිලෝ මීටර් 7.85 උමං මාර්ගයක් ලෙස ඉදිවේ ) 'මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය' සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, පොළොන්නරු, මාතලේ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල පානීය සහ කෘෂිකාර්මික ජල අවශ්‍යතා සපුරාලීමට අමතරව කුඩා විදුලි බලාගාරයක් මගින් මෙගා වොට් 35 ක පමණ බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටද නියමිතය.
    අඹන් ගඟ මිටියාවතේ මොරගහකන්ද ජලාශයට යටවීමට නියමිත නිවාස  (ඡායාරූපය - සුජීවා ගුණසේන)
    මහවැලි මහ සැලැස්මේ අවසාන ජලාශය ලෙස 1970 දශකයේ පටන්ම වරින් වර ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ශක්‍යතා අධ්‍යන වාර්තා සකසමින්, නැවත අතහැර දමමින් කල්ගත වූ මෙම යෝජනා ක්‍රමය ඉදීවීම ප්‍රායෝගික යථාර්තයක් බවට පත්වූවේ 2007 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදීය. මෑතකාලේදී මේ වන විට මේ රටේ ජනතාවට නිතර අසන්නට ලැබෙන "මට කරන්න දුන්නේ නැහැ" යන සුපුරුදු අදෝනාව සමග එහි අයිතිය නතු කර ගැනීමට දඟලන 'වැඩබැරි සේනලා' පහලවී ඇති මුත් 2007 වසරේ සිට එහි ඉදිකිරීම් කටයුතු ක්‍රමිකව සිදුවෙමින් පැවතුණි ("මේ වන විට මොරගහකන්ද ජලාශයට අයත් බොහෝ වැඩකටයුතු අවසන් කරලයි තියෙන්නේ." ව්‍යාපෘතියේ නේවාසික ඉංජිනේරු  ඒ. කේ. ඩී. තෙන්නකෝන් මහතා විදුසර පුවත්පතට මෙසේ පවසන්නේ 2012 මාර්තු මාසයේය - කියවන්න විදුසර 2012 මාර්තු). කුලියට ලියන ලියන අප්පුලා නම් කියන්නේ 2015 ජනවාරි 8 'මෝඩයාගේ විප්ලවයෙන්' පසු සියල්ල පටන් ගත් බව කියලා හිටංය. කෙසේ නමුත් 'හොරාගේ' කාලයේ සිට කෙරෙමින් පැවැති අනෙකුත් සංවර්ධන යෝජනා ක්‍රම වලට එම 'ආප්ප විප්ලවයෙන්' පසු අත් වූ ඉරණම මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතියට අත් නොවීම නම් සතුටු විය හැකි කාරණයකි.
    කළු ගඟ මිටියාවතේ රඹුක්ඔළුව ග්‍රාමයේ ජන ජිවිතය - 2012 වසරේදි ගත් ඡායාරූපක්
    කෙසේ නමුත් අප මෙම ලිපිය මගින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ අඹන් සහ කළු යන මහවැලි ගඟේ අතු ගංගා නිම්න වල පුරාණ කාලයේ ඉදිවූ අදටත් ක්‍රියාත්මක තත්වයේ පවතින හෝ නටබුන් වී ඇති වාරිමාර්ග පද්ධතිය පිළිබඳවය. එයට ප්‍රථම වංශ කතා මූලාශ්‍ර වල එන මෙම ප්‍රදේශයට අයත් ලෙස හඳුනාගත හැකි ස්ථාන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වන්නේ ගංගා මිටියාවත් අශ්‍රය කරගනිමින් ඇතිවී එම නිම්න ඔස්සේම පැතිරුණු ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය වර්තමානයේ අපි අඹන් සහ කළු ගංගා ලෙස හඳුන්වන මහවැලි ගඟේ අතු ගංගා ඔස්සේද සරුසාර ලෙස විහිදි ගිය ආකාරය හඳුනාගැනීම සඳහා එය උපකාරි වන බැවිනි.
    කළු ගඟ මිටියාවතේ රඹුක්ඔළුව ග්‍රාමයේ ජන ජිවිතය - 2012 වසරේදි ගත් ඡායාරූපක්
    බෝගම්බර - ලග්ගල - රණමුරේගම
    පරාක්‍රමබාහු කුමාරාගේ තරුණ අවදියේ දෙවන ගජබාහුට අයත් රජරට රාජධානියේ සිදු කල චරපුරුෂ මෙහෙයුම් (පරණවිතාන මහතා මහාවංශයේ එන මේ හා සම්බන්ධ දීර්ඝ විස්තරය හඳුන්වන්නේ වංශ කතා කරුවා පරාක්‍රමබාහුගේ වීරත්වය සහ දේශපාලන සූරත්වය විදහා පෑමට අතිශයොක්තියෙන් කියන ලද දේවල් හෝ/සහ සත්‍යයෙන් තොර දේවල් ලෙසය) සම්බන්ධ විස්තරයේදී  ඔහු බෝධිගාමවර සිට ලංකාපබ්බත ප්‍රදේශයට අයත් රණඹුර නම් ගමට පැමිණි බව පවසයි. නැවතත් රජරට පෙදෙසේ පාලකයා වූ දෙවන ගජබාහු සහ පරාක්‍රමබාහු අතර සිදුවූ සටන් සම්බන්ධ විස්තරයේදී පරාක්‍රමබාහු විසින් බෝධිගාමවරයට යවා සිටි සටන් නායකයින් එතැන් සිට ලංකාගිරි පෙදෙසට ගොස් එහි සිටි සතුරන් වැනසූ බව සඳහන් කරයි.
    කළු ගඟ මිටියාවතේ රඹුක්ඔළුව ග්‍රාමයේ ජන ජිවිතය - 2012 වසරේදි ගත් ඡායාරූපක්
    කොඩ්රිංටන් මහතා මෙහි එන බෝධිගාමවර යන්න වර්තමානයේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ආසන්නයේ පිහිටි බෝගම්බර නම් වු ගමෙහි නාමය ශේෂ වී ඇති වර්තමාන පල්ලෙසිය පත්තුව ප්‍රදේශය ලෙස හඳුනාගනී (බෝධිගාමවර රට්ඨ ලෙසින් මහාවංශය පරාක්‍රමබාහු යුගය පිළිබඳ එන වෙනත් විස්තරයකදීද මෙම ප්‍රදේශය පිළිබඳ සඳහන් කරයි ). එක්තරා සිගිරි ගීයක බොයිගම් ලෙස හැඳින්වෙන්නේද මෙම ප්‍රදේශය විය හැක. ගයිගර් හඳුනාගන්න පරිදි ලංකාපබ්බත දේශ ලෙස සඳහන් වන්නේ වර්තමාන ලග්ගල උඩසිය පත්තුව ප්‍රදේශයයි. ඒ අනුව එහි පිහිටි රණඹුර ගම පහසුවෙන්ම වර්තමානය දක්වාම රණමුරේ ගම ලෙස නම ශේෂව පවතින පල්ලේගම සිට සැතපුම් 5 පමණ දකුණින් නකල්ස් රක්ෂිතය මායිමේ පිහිටි ප්‍රදේශය බව කොඩ්රිංටන් හඳුනාගනී.
    කළු ගඟ මිටියාවතේ රඹුක්ඔළුව ග්‍රාමයේ ජන ජිවිතය - 2012 වසරේදි ගත් ඡායාරූපක්
    කළු ගඟ ඉහල  ජලධාරා ප්‍රදේශයේ ජනාවාස
    රණමුරේ ගම පිහිටියේ නකල්ස් කඳු පන්තියට අයත් කළුපහන කන්දෙන් ඇරඹෙන කළු ගඟේ දකුණු ඉවුර දෙසින් කළුපහන කඳු පාමුලය. එය කළු ගඟ නිම්නයට නැගෙනහිර දෙසින් නාරංගමු ඔය නිම්නයේ පිහිටා ඇත (කළුපහන කන්දේ දෙපස එම නිම්න දෙක පිහිටා ඇත.) නාරංගමු ඔය ඇතුලු එම ප්‍රදේශයේ ඇති ලොකු කුඩා අතු ගංගා සියල්ල අවසානයේ කළු ගඟ පෝෂණය කරමින් පහලට ගලයි. රණමුරේ ගම, වල්පොලමුල්ල, ඇටංවල, රඹුක් ඔළුව, ගඟහේන්වල, මහලකොටුව, ඉමදූව, නාරංගොමුව, පල්ලේගම වැනි කළු ගඟේ ඉහල ජලධාරා ප්‍රදේශයේ පිහිටි බොහෝ පැරණි ගම්මාන වලින් ඇතැම් ඒවා අඩු වැඩි වශයෙන් කළු ගඟ ජලාශයේ බලපෑමට යටත් වන අතර මින් පල්ලෙගම නගරයෙන් සැලකිය යුතු කොටසක් කළු ගඟ ජලාශයට යටවීමට නියමිතය.
    කළු ගඟ ජලාශයේ සිතියමක් - moragahakandakalugangaproject.blogspot.com වෙබ් අඩවියෙනි

    මූලාශ්‍ර
    • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
    • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
    • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
    • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
    • Archaeological survey of Ceylon Sigiri Graffiti, S. paranavitana Vol 1.