Saturday, May 30, 2020

රාවණා නොසිටි රාවණාගොඩ, ඩොයිලිට ඔත්තු සපයා ගම්වර ලත් නියඳවත්තේ සට්ටම්ඹි සහ එදා කොත්මලේ රට

කොත්මලේ රට
නැගෙනහිරෙන් හේවාහැට රටින් දකුණින් ඌව දිසාවෙන්, බටහිරෙන් උඩ බුලත්ගමින් (Link 1 >>,  Link 2 >> )  සහ උතුරින් උඩපලාතින් (Link 3 >>, Link 4 >>) සීමා වූ කොත්මලේ රට පැරණි සිංහලේ පලාත් වලට අයත් ප්‍රදේශ බෙදීමකි. මහනුවර යුගයේ සිට බ්‍රිතාන්‍යයන් කෝපි සහ තේ වගා ආරම්භ කල යුගය වනතෙක්ම කොත්මලේ  රටට අයත් භූමියෙන් විශාල ප්‍රදේශයක් කඳුකර වනාන්තර වලින් වැසී පැවතිණි. මේ සමග පෙන්වා ඇති සිතියමින්ද පැහැදිලි වන ලෙසට පැරණි සිංහල ජනාවාස පැවතියේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොත්මලේ ඔය සහ එම කොත්මලේ ඔයේ අතු ගංගා වන පැන්න ඔය, පූඩලු ඔය හෙවත් පුන්ඩළු ඔය, රම්බොඩ ඔය නිම්න වලට අයත් පහත් බිම් අවට පමණි. අද මේ ප්‍රදේශ සහ ඒවායේ තිබූ ගම් වැඩි ප්‍රමාණයක් විශේෂයෙන් වී වගා කල වෙල් යායවල් අඩු වැඩි වශයෙන් කොත්මලේ ඔය ජලාශයට යටවී ඇත.

දුටුගැමුණු කුමාරයා පියා සමග විරසක වී සැඟවී සිටි ප්‍රදේශය ලෙස මේ ප්‍රදේශයේ ජනයා විශ්වාස කරන කොත්මලේ රටේ ඔහු හා සම්බන්ධ ස්ථාන, ජනප්‍රවාද ආදිය බහුලව හමුවේ. කොටගේපිටිය ගමේ විසූ ඌරුපැලැල්ලේ ගමරාලගේ දියණිය සමග දුටුගැමුණු කුමාරයා විසූ බවට මෙහි පැරණි ගැමියන් විශ්වාස කල බව ලෝරිද සඳහන් කර ඇත. රයිතලාව හෙවත් රජතලාව ලෙසින් හැඳින්වෙන වෙල් යාය එතුමා අස්වැද්දුවේලු. මේ ආදි නොයෙකුත් ජනප්‍රවාද හුදෙක් අපේ පැරැන්නඟේ නිර්මාණශීලී කතන්දර වශයෙන් විනා කිසියම් හෝ ඓතිහාසික වටිනාකමක් තිබෙන ලෙස සැලකිය නොහැක. ඇතැම්විට එම කතා වල මූලය ඓතිහාසික සංසිද්ධියකින් ප්‍රභවය වූවා විය හැකි වුවද, පසුකාලීනව ඒ වටා නොයෙකුත් අභව්‍ය සිද්ධීන් සහ එකතු කිරීම් ගොනුවී ඇති බව විචාරශීලීව විමසා බැලූ විට පෙනේ. මහනුවර රාජධානි සමයේදී මෙන්ම ඉන්පසු කලක් යන තෙක්ම රටේ මහත්මයා කෙනෙකු යටතේ පාලනය වූ කොත්මලේ රට මෑත යුගයේ ( 19 සියවසේ අවසාන භාගයට පෙර) ප්‍රධාන වශයෙන් මාස්වෙල ප්‍රදේශයේ විසූ වෙලගෙදර පරම්පරාවට අයත් පුද්ගලයන් අතර පැවතී ඇත. රම්බොඩ ඔය, පූඩළු ඔය හෙවත් පුන්ඩලු ඔය, සහ දිඹුල සහ කොත්මලේ ඔයේ ඉහල නිම්න වල පැතිර තිබූ උඩපොනේ කෝරළය සහ එම සියළු ජලධාරා එක්වී සෑදෙන කොත්මලේ ඔයේ පහල ජලධාරා ප්‍රදේශයේ වූ පල්ලෙපොනේ කෝරළය ලෙසින් කොත්මලේ රට ප්‍රධාන කෝරළ දෙකකට බෙදේ. ආරච්චි වසම් 14 ක් සහ දුරයා ප්‍රධානීන් යටතේ පාලනය වූ ප්‍රදේශ 4 ක් යටතේ මෙම කෝරළ දෙකට අයත් ප්‍රදේශයේ ගම් 43 තිබූ බව ලෝරි පවසයි. එම ගම් වල වූ බහුතර ජනයා හීන කුල ලෙස සැලකූ කුල වලට අයත් සිංහලයන් බව පැවසේ.
යතුරුගැසූ ලියැද්ද විහාරයේ ඇති දේව රූපයක් 
කොත්මලේ රටේ ඉන්පසු කාලයට අයත් ජනප්‍රවාද ගෙතී ඇති ප්‍රධාන චරිතයක් වන්නේ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියයි. පෙර පරිදිම ඇතැම් සිදුවිය නොහැකි අද්භූත සිද්දීන් ඈ වටාද ගෙතී ඇති මුත් ඇය ඓතිහාසික චරිතයක් විය හැක. අද වනවිට වයිරසයක් බවට පත්වී ඇති 'රාවණා ආගම' අදහන්නන්ට සතුටුවිය හැකි කාරණයක් වන්නේ 19 වන සියවස අවසාන භාගය වනවිටත් රාවණා නම සහිත ගමක් කොත්මලේ රටේ තිබීම විය හැකි වුවත් මෙම ලිපිපෙල සඳහා මූලිකවම පාදක වන ලෝරිගේ ගැසටියර් වෙලුම් දෙකේ සඳහන් එවකට මධ්‍යම පළාත (Central Province) ලෙසින් හැඳින්වූ මහනුවර රාජධානියට අයත්ව තිබූ විශාල ප්‍රදේශයක විසිර තිබූ ගම් අතරින් එවන් රාවණා නම සහිත එකම ගම මෙම ගම බව සඳහන් කල යුතුය. පොළොන්නරු යුගයෙන් පසුව සිදුවූ දකුණු ඉන්දීය සංක්‍රමණ සමග මෙරටට පැමිණි ජනයා අතර වූ රාමායන,මහාභාරත ආදී ඉන්දීය වීර කාව්‍යය වල වූ ඇතැම් දේ මෙරට සමාජය තුලටද ක්‍රමයෙන් අවශෝෂණය වූ අතර පහත රට මුහුදු බඩ ප්‍රදේශ තුල මෙන්ම රට ඇතුලත සමහර ප්‍රදේශ කරාද ඔවුන් පැතිරුණ බවට සාධක පවතී. ඔවුන් අලුතින් ඇතිකල ගම් වලට ඔවුන් ඇදහූ දේවකතා වල සඳහන් චරිත වල නම් ඈදීම ස්වභාවික සංසිද්ධියක් වන බැවින් මෙම ගමේ සිටි ජනයා එවකට විශ්වාස කල පරිද්දෙන් රාවණා මෙම ගමේ කලක් පදිංචි වී සිටි ලෙසට වූ පසුකාලීනව ඇතිවන ජනප්‍රවාදය පිළිගැනීම රාවණා ආගම පතුරන තක්කඩින්ට සහ ඔවුන් අදහන ඔලමොට්ටලයන්ටම පමණක් පිළිගැනීමට හැකි දෙයක් විනා අන්යමක් නොවේ. මෙම විශ්වාස පසුකාලීනව තවත් ශක්තිමත් වීමට තේ සහ කෝපි වතු සඳහා ඉංග්‍රීසීන් විසින් දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් ගෙන ඒමද ඉවහල් විය. කොත්මලේ රට තුලම හමුවන සීතාඑළිය පැහැදිලිවම මහඑළිය, හාවාඑළිය, නුවරඑළිය වැනිම වූ පැරණි සීතඑළිය (එනම් සීතල තැනිතලා බිම) යන්නෙහි නම එම ප්‍රදේශ වලට සංක්‍රමණය වූ දකුණු ඉන්දීය කම්කරුවන් අතර ව්‍යවහාරයේදී සිදුවූ විකෘති වීමකි. මේ බව එහි වූ සීතා කෝවිල දකුණු ඉන්දීය ද්‍රවිඩ නමක් සහිත කාන්තාවක විසින් ෆොර්බ්ස් එහි යනවිට පවත්වාගෙන ගිය බව පැවසෙන පහත විස්තර වන තොරතුරු වලින්ද සනාථ වේ. එයට ඔවුන් අතර වූ රාමායන ජනකතා අනුබලයක් වූ මුත් 'එළිය' හෙවත් 'තැනිතලාව' සමග විශේෂණයක් එකතු වී සෑදුණ ඉහත අනෙකුත් තැනිතලා ප්‍රදේශ මෙන්ම සීතඑළියද මහනුවර රාජධානි සමයේ පතන් බිමක් වූ තැනිතලා ප්‍රදේශයකි. එම පතන් බිම් හරහා ඌව වැනි ප්‍රදේශ වලට යොමුවූ පැරණි වනගත මාර්ග විනා ඓතිහාසික යුගයේ ජනාවාස තිබූ බවට සාධක නොමැත. මේ පිළිබඳව තත්කාලීන තොරතුරු ජෝන් ඩේවි ඉදිරිපත් කරන අතර ඒ පිළිබඳව පෙර ලිපියකින් අප විමසා බැලුවෙමු. එම ලිපිය කියවීමට Link >>
යතුරුගැසූලියැද්ද විහාරයේ ඇති බිතුසිතුවමක් 
මීට පෙර ලිපි වලින් විස්තර වූ ප්‍රදේශ සමග සසදා බැලීමේදී පෙනෙන තවත් වැදගත් කරුණක් වන්නේ කොත්මලේ රට ප්‍රදේශයේ විවිධ කුල වලට අයත් උඩරට සිංහල ජනයාට අමතරව පහත රටින් පැමිණි පහත රට සිංහලයන්, මුස්ලිම් ජනයා මෙන්ම ද්‍රවිඩයන්ද පදිංචි වී සිටීමය (මැදකන්ද  ගම තුල කාපිරි ජනයාද සිටි බව පැවසේ). වතු වගාවට සේවා සැපයීම සඳහා පහත රට සිංහලයන් මෙන්ම ද්‍රවිඩයන්ද පැමිණි බව සිතිය හැකි අතර මුස්ලිම් වරු මහනුවර රාජධානි යුගයේ සිටම සිටි බවට විවිධ සාධක ඉදිරිපත් කල හැකිය. (ඒ පිළිබඳව ඇතැම් තොරතුරු පෙර ලිපියෙන්ද ඉදිරිපත් විය. Link >>) මෙම ගම් වල වූ දමිල ජනයා වතු වගාව සඳහා රැගෙන ආ දකුණු ඉන්දීය දෙමළ ජනයා විය හැකි වුවද ඒ පිළිබඳව පැහැදිලි තොරතුරු ලෝරිගේ සටහන් වලින් හමු නොවේ. නමුත් ඔවුන් පදිංචිව සිටි බව එහි සඳහන් වන සෑම ගමක්ම පාහේ  එවකට තිබූ තේ වතු ආශ්‍රීතව වූ බැවින් ඒ පිළිබඳව සැක පල කල යුතු බවක් නොපෙනේ. නායක්කර්වරු සමග පැමිණි කිසිවෙකු මේ වන විට උඩරට ප්‍රදේශ වල නොසිටි අතර (උඩරට ගිවිසුමට අනුව ඔවුන් සියල්ල ඉන්දීයාවට පිටුවහල් කෙරේ.) ඊට පෙර කලින් කල මෙරටට සංක්‍රමණය වූ දකුණු ඉන්දීය දෙමළ භාෂා කතා කල ජනයා කුල ක්‍රමය යටතේ මෙරට තුල වූ සිංහල බෞද්ධ සංස්කෘතිය තුලට මේ වන විට සාර්ථකව අවශෝෂණය වී තිබිණ. නමුත් ඔවුන් රැගෙන ආ දේව ඇදහිලි ආදිය සිංහල බෞද්ධ ජන සමාජය තුල සිංහල බෞද්ධ දෙවිවරු ලෙසින් නැවත බෞතිස්ම ලැබූහ (පැරණි දේව ඇදහිලි ගැන මෙන්ම අලුතින් එකතු වූ දෙවිවරුන් පිළිබඳවද විවිධ තොරතුරු මෙම ලිපියේ ඉදිරියට ඉදිරිපත් වේ.). අඹතලාව ආදී ගම් වල චෙට්ටි හෙවත් හෙට්ටීන්ද (ඉන්දීය සම්භවයක් සහිත වෙළදාමේ යෙදුන ජන කොටසක්) සිට ඇති අතර ලෝරිගේ තොරතුරු වලින් පැහැදිලි වන ආකාරයට උඩරට සිංහලයන්ට අයත් ඉඩම් චෙට්ටීන්ට මෙන්ම පහත රට සිංහලයන්ට සහ මුස්ලිම්වරුන්ට ක්‍රමයෙන් ණය ගෙවාගැනීමට නොහැකි වීම නිසා සින්න වීම සහ ඔවුන් ඒවා මිලදී ගැනීම ආදී විවිධ ආකාරයෙන් අත්පත් වෙමින් තිබී ඇත.
මෙම සිතියමේ නිල් පැහැයෙන් කොත්මලේ රටට අයත් පල්ලෙපොනේ කෝරලයේ පැරණි ගම්ද, දම් පැහැයෙන් උඩපොනේ කෝරළයට අයත් පැරණි ගම්ද දක්වා ඇත. රතු පැහැයෙන් දැක්වෙන්නේ වතු ආර්ථිකයත් සමග පෙර කැලෑ තිබූ ප්‍රදේශ එලි වී අලුතින් ඇතිවූ නගර සහ කඩමණ්ඩි කිහිපයකි. 
පල්ලේපොනේ කෝරළය
  • වටද්දර -ගොවි සහ නවන්දන කුල ජනයා, පහත රට සිංහලයන් මෙන්ම දමිල ජනයාද වාසය කල ගමකි. වටද්දර ආරච්චි වසමටම අයත් ගමක් වන කළුගලපතන ප්‍රදේශයේ රොඩී ජනයාද සිට ඇත. පිරිමි පාසලක් මෙන්ම පිරිවෙනක්ද තිබී ඇති අතර වටද්දර විහාරය ලෝරි තොරතුරු ඉදිරිපත් කරන කාලයේදී ගම්වැසියන් විසින් ඉදිකල විහාරයක් ලෙස පැවසේ. කෙහෙල්ගමුවේ දෙවියන් උදෙසා වූ කෙහෙල්ගමුව දේවාලය මෙම ගම් වසමට අයත් දෝවිට ගමේ පිහිටා තිබී ඇත. අංගම්මන වලව්වට අයත්ව තිබූ මේ ගමේ තිබූ ඉඩම් පහත රට පුද්ගලයෙකුට විකුනා ඇති බව ලෝරි සඳහන් කරයි. වෙළඳගොඩ සහ  පොල්වතුරේගම්මැද්ද මෙම ගම තුල පිහිටි කුඩා ගම් ලෙස හඳුන්වා ඇත.  පුසුල්පිටිය විහාරයට සේවා සපයන ජනයාද මෙම ගමේ ජීවත් වී ඇත. 
  • බෙරවතලාව/බොරවාගම - වටද්දර ආරච්චි වසමට අයත් බෙරවා කුලයේ සිංහලයන් සහ මුස්ලිම් ජනවර්ගය වාසය කල ගම්මානයකි.
  • කුරන්පිටිය - වටද්දර ආරච්චි වසමයට අයත් ගමකි.
  • දෝවිට - කෙහෙල්ගමුවේ (කතරගම) දේවාලයට සේවා සැපයූ ජනයා විසූ ගමකි.
  • වෙලගමතැන්න - වටද්දර ආරච්චි වසමට අයත් නවන්දන සහ ගොවි කුල ජනයා විසූ ගම්මානයකි.
කොත්මලේ ඔය නිම්නයේ මාවෙල - රජපීල්ල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය
  • මොරපේ - ගොවි, රදා, නවන්දන, බෙරවා (එක පවුලක්) කුල වලට අයත් උඩ රට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම දෙමළ සහ මුස්ලිම් ජනයාද විසූ ගමකි. ලෝරි පරිවර්තනය කර ඉදිරිපත් කරන මෙම ගමේ සිටි පුද්ගලයකුට අයත් ඉඩම් හුවමාරුවක් සම්බන්ධ ලියවිල්ලක සඳහන් වන වගන්තියක් මෙම යුගයේ සිටි ජනයාගේ දේව ඇදහිලි සම්බන්ධ තොරතුරු හෙලි කරයි. වර්ෂ 1803 ට අයත් එම ලියවිල්ලේ සඳහන් වන්නේ එම ඉඩම් හුවමාරුව කිහිරැලි, උපුල්වන්, සමන්බොක්සැල්, විභීෂණ, කන්ද කුමාර, පත්තිනි යන දෙවිවරුන් ආරක්ෂා කල යුතු බවය. කිහිරැලි සහ උපුල්වන් දෙවිවරුන් දෙදෙනෙකු ලෙසින් සැලකීමද, සමන් දෙවියන් සමන්බොක්සැල් ලෙසින් හැඳින්වීමද, කතරගම දෙවියන් කන්ද කුමාර ලෙසින් හැඳින්වීමද මෙහිදී අවධානය යොමු කල යුතුය. මොරපේ කතරගම දේවාලය මෙම ගම තුල පිහිටා තිබෙන අතර, නටබුන්ව ගොස් තිබූ මොරපේ විහාරය 1877 දී නැවත ඉදිකර ඇත.
  • බෝරුවගම - බෙරවා සහ ගොවි කුල වලට අයත් උඩ රට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම දමිල ජන වර්ගයද විසූ මොරපේ වසමට අයත් ගමකි.
  • කොටගේපිටිය - මොරපේ වසමට අයත් ගමකි. මොරපේ කතරගම දේවාලයට සේවා සිදු කල ජනයා මෙම ගම තුල සිට ඇත.
  • රන්නන්තලාව - මොරපේ වසමට අයත් ගොවිකුල උඩරට සිංහලයන් මෙන්ම පහත රට සිංහලයන්ද විසූ ගමකි. මොරපේ කතරගම දේවාලයට සේවා සැපයූ ජනයා මෙම ගම තුල සිට ඇත.
  • මයිප්පොල - ගොවි කුල සිංහලයන් සහ දමිල ජන වර්ගයට අයත් ජනයා විසූ මොරපේ ගම තුල වූ කුඩා ගමකි.
කොත්මලේ ඔය නිම්නයේ මාවෙල - රජපීල්ල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ හෙල්මළු  ක්‍රමයට සැකසු කුඹුරු. ඈතින් දිස්වන්නේ දැන් කොත්මලේ ඔය ජලාශය බවට පත්වී ඇති කොත්මලේ ඔයයි
  • නවන්ගම - ප්‍රධාන වශයෙන් නවන්දන කුලයේ ජනයාද, පහත රට සිංහලයන්, දමිලයන් මෙන්ම මුස්ලිම් ජනයාද විසූ ගමකි.
  • දෙහින්තලාව - නවන්දන කුලයේ ජනයා, පහත රට සිංහලයන් සහ මුස්ලිම් ජනයා විසූ නවන්ගම ගම තුල වූ කුඩා ගමකි.
  • පුසුල්පිටිය - මැදගොඩ රදලගම්මැද්ද ලෙසින්ද හඳුන්වා ඇත. නවන්ගම ආරච්චි වසමට අයත්ය. නවනන්දන හා ගොවි කුල ජනයා, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනයාද විසූ කලකට පෙර හමුදා කඳවුරක්ද තිබී අතහැර දැමූ (1833 වන විටත්) ගමකි. පැරණි විහාරයක් වන පුසුල්පිටිය විහාරය මෙම ගම තුල කොත්මලේ ඔය ඉවුරේ පිහිටා ඇත. පුසුල්පිටිය  ගම තුල මෙන්ම කහටදෙණිය, කලපිටිය සහ මාවෙල ගම් තුලද පුසුල්පිටිය විහාරයට සේවා සැපයූ එම විහාරයට අයත් ඉඩම් වල පදිංචි වී සිටි ජනයා සිට ඇත. විහාරයේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුලත් එවකට එම විහාරයේ නායක හිමියන් සතුව තිබූ දීර්ඝ සන්නසක් ලෝරි පරිවර්තනය කර ඉදිරිපත් කර ඇත.
  • විහාරේගම නවන්ගම ගම තුල වූ කුඩා ගමකි.
  • කිරිවානාගොඩ -  මැද්දේගොඩ බඩල්ගම්මැද්ද (නවන්දන කුලයේ ජනයා වාසය කර ඇත), නවන්ගම සහ පුසුල්පිටිය ගම් අයත් වන ආරච්චි වසමටම අයත් ගමකි. මෙම සියළු ගම් නවන්දන කුලයේ ප්‍රධානියෙකු යටතේ පාලනය වී ඇත.
කොත්මලේ ඔය නිම්නයේ රජපීල්ල ලෙසින් හැඳින්වෙන ස්ථානය
  • හරංගල
  • දොරුවදෙණිය හරංගල ආරච්චි වසමට අයත් ගමකි.
  • ලප්පානෙගම හෙවත් ලත්පානේගම - පහත රට සිංහලයන් වාසය කල හරංගල  ගම තුල වූ කුඩා ගමකි.
  • කඩදොර - 1848 පමණ සෑදූ ලෙස සඳහන් කඩදොර විහාරය සහ එවකට නටබුන්ව තිබූ වීරමුන්ඩ දේවාලයක් මෙම ගම තුල තිබී ඇත.
  • නුගවෙල කඩදොර ආරච්චි වසමට අයත් ගොවි කුලයේ සිංහල ජනයා සහ දෙමළ ජනයා වාසය කල ගමකි.
  • වැලිමඩ - කඩදොර ආරච්චි වසමට අයත් ගොවි, නවන්දන සහ පහත රට සිංහල ජනයා විසූ ගම්මානයකි.
  • උඩ ගම්මැද්ද - ගොවි සහ වහුම්පුර කුල වල ජනයා විසූ කඩදොර ගම තුල පිහිටි කුඩා ගමකි. මෙම ගමේ පිහිටි උඩුගබ්බාලේ කෝවිල ඉතා පැරණි පූජනීය ස්ථානයක් ලෙස ලෝරි හඳුන්වයි.
  • පල්ලේ ගම්මැද්ද - කඩදොර ගම තුල පිහිටි කුඩා ගමකි. මුස්ලිම්වරු මෙන්ම නවන්දන සහ රදා කුල වල සිංහල ජනයා සිට ඇත. 
කොත්මලේ ඔය ජලාශය
  • පොල්වතුර - හපුගස්තලාවේ වසමට අයත් ගමකි. මුස්ලිම් පල්ලියක් සහ පාසලක්ද තිබූ මෙම ගමේ වාසය කර ඇත්තේ මුස්ලිම් ජන වර්ගයට අයත් ජනයාය.
  • මැදගහවතුර - හපුගස්තලාව ගම තුල වූ කුඩා ගමකි.
  • හපුගස්තලාව - මුස්ලිම් පල්ලියක් සහ පාසලක්ද තිබූ මුස්ලිම් ගම්මානයකි.
  • මාවෙල - දුරයා කෙනෙකු යටතේ පාලනය වූ මහනුවර යුගයේ ගබඩාගමකි. දුරා කුලයේ ජනයා සහ පහත රට සිංහලයන් වාසය කර ඇති අතර, ජනප්‍රවාද වලට අනුව දුටුගැමුණු රජතුමා මේ ගමේ දොඩමිටියාව, දියසමිතිය සහ යතුරුගහලියැද්ද යන වෙල් යායවල් අස්වද්දා කොටගේපිටිය යන ගමේ වාසය කර ඇත.  මාවෙල මුලින් නිලමක්කාරයන් වාසය කර ඇති මුත් ඔවුන් රජුට සේවය කිරීම ප්‍රතික්ශේප කිරීම හේතුවෙන් කිර්ති ශ්‍රී (රාජසිංහ) රජු ගම කුල හීන ජනයා හට දී ඇත. නමුත් 1815 මැයි මස ඉංග්‍රීසි ආණ්ඩුව මාවෙල ගම නියදවත්තේ සට්ටම්ඹි නම් ප්‍රදානියෙකු හට ලබාදී ඇත්තේ ඔහු විසින් ජෝන් ඩොයිලි හට සිංහලේ රාජධානිය පිළිබඳව ඔත්තු ලබාදීමෙන් කල සේවය වෙනුවෙන්ය. මෙහි තිබූ තෙල්ලබ්බේ විහාරය අර්ධ වශයෙන් නටබුන් වී තිබී ඇති අතර කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යුගයේදී එය ඉදිකල බව පැවසේ. එසේම වර්ෂ 1833 දී පමණ ගම්වාසීන් විසින් ඉදි කල පේරගහයට පන්සල නම් තවත් විහාරයක්ද මෙහි තිබී ඇත. එසේම හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය කලක් හිටි බව පැවසෙන හුණුබත් හාල් බෑමේ ගල්ලෙන ලෙස හැඳින්වූ ගල් ලෙනක් සහ දුටුගැමුණු රජු සෑදූ බව පැවසෙන නාගහ පිහිල්ල, රණමුනේ පිහිල්ල සහ අඹගහ පිහිල්ල නම් වූ පීලී 3 ක්ද මාවෙල ගමේ තිබූ බව පැවසේ.
  • කහටදෙණිය - හීන කුල ජනයා විසූ දුරයා කෙනෙකු යටතේ පාලනය වූ මාවෙල ආරච්චි වසමට අයත් ගමකි. මොරපිටිය දේවාලයට සහ පුසුල්පිටිය විහාරයට අයත් ඉඩම් වල පදිංචි වී සිට, එම ආයතන වලට සේවා සැපයූ ජනයා ජීවත් වී ඇත.
  • පන්නගම්මැද්ද - දුරා කුලයට අයත් ජනයා විසූ මාවෙල ගම තුල පිහිටි කුඩා ගමකි. තෙල්ලඹේ විහාරය නම් පැරණි විහාරයක් ගම තුල තිබී ඇත.
  • තම්මිටිය - මාවෙල වසමට අයත් දුරා සහ නවන්දන කුල වලට අයත් ජනයා විසූ ගමකි. මොරපේ කතරගම දේවාලයට අයත් ඉඩම් මෙම ගම තුල තිබී ඇත.
කොත්මලේ ඔය ජලාශය
  • තිස්පනේ අළුවෙල ගම්මැද්ද, කොඩිකාර ගම්මැද්ද, මැදගම්මැද්ද සහ උඩ ගම්මැද්ද ලෙසින් මෙම ගම කොටස් හතරකින් යුක්ත විය. ගොවි කුලයේ ජනයා, රදා කුලයේ ජනයා, මුස්ලිම් ජනයා මෙන්ම පහත රට සිංහලයන්ද වාසය කර ඇත. වර්ෂ 1868 පමණ ඉදි කල තිස්පොනේ විහාරය ඒ වනවිටද හොඳ තත්වයෙන් තිබී ඇත. තවද එම වර්ෂයේම සෑදූ බව පැවසෙන කුමාර දෙයියන්නේ කෝවිල නම් කෝවිලක්ද මෙහි තිබී ඇත. 
යතුරුගැසූලියැද්ද විහාරයේ විහාරගෙට පිවිසෙන ස්ථානයේ ඇති මකර තොරණ
  • මාස්වෙල - දුටුගැමුණු රජු දිය නෑ ස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ එන නාගහපිහිල්ල පල්ලේගම්මැද්ද ප්‍රදේශයේ පිහිටා ඇත. එතුමා අස්වැද්දු රයිතලාව නම් වූ කුඹුරු යායක්ද, වෙළගෙදර වලව්වද මෙම ගම තුල පිහිටා ඇත. මාස්වෙල පිහිටි යතුරුගැහූලියැද්ද විහාරය වර්ෂ 1843 දී පමණ වෙළගෙදර වලව්වේ අරමුදලේ කංකානම් නිලමේ විසින් ඉදි කර ඇත (දුටුගැමුණු රජු විසින් වී හුලං කිරීමට යොදාගත් කුල්ල (යතුර) විසි කල කමත තිබූ ස්ථානය යන ජනප්‍රවාදය හේතුවෙන් එම නම ලැබී ඇත.) මොරපේ කතරගම දේවාලයට  සේවා සපයන එම දේවාලයට අයත් ඉඩම් වගා කරන ජනයා මාස්වෙල ගම තුල සිට ඇත.
යතුරුගැසූලියැද්ද විහාරය - පැරණි විහාර ගෙය
උඩපොනේ කෝරළය
  • මැදකුඹුර - ගොවි, නවන්දන, බෙරවා, බඩහැල්, පදු කුල වලට අයත් උඩරට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනයාද විසූ ගමකි.  ගල් ඔරුවේ වැව ලෙසින් හැඳින්වූ අතහැර දමා තිබූ වැවක් මැද්දේකුඹුර වතු යායේ තිබී ඇත. මෙම ගම තුල පිහිටි මාළිගා පැලැස්ස නම් ස්ථානයේ මහනුවර රාජධානියේ රජකෙනෙකු විසූ බවට ජනප්‍රවාද ගත තොරතුරු පවතී. ගම්වැසියන් විසින් ඉදිකල පැරණි විහාරයක්ද ඇත. දුණුකේදෙණිය සහ කරගහපතන-යාලේතැන්න මැදකුඹුර ගම තුල වූ කුඩා ගම් ලෙස සඳහන් වේ.
  • කඩදොරපිටිය මැදකුඹුර ආරච්චි වසමට අයත් ගමකි. ලෝරිගේ යුගයේ පමණ සෑදු පන්සලක් සහ කළුගහ උල්ලේ කෝවිල නම් කෝවිලක්ද මෙම ගම තුල තිබී ඇත.
  • පුණ්ඩළු ඔය - මැදකුඹුර වසමට අයත් දෙමළ, මුස්ලිම්, පහත රට සිංහලයන් සහ නවන්දන කුලයේ ජනයා වාසය කල ගමකි. 19 වන සියවස අවසාන කාලය වන විට තැපැල් කාර්යාලයක්,  පොලිස් ස්ථානයක්, මුස්ලිම් පල්ලියක්, පිරිවෙනක් සහ කඩ මණ්ඩියක්ද මෙහි තිබී ඇත. පුණ්ඩළු ඔය තේ දිස්ත්‍රික්කයට අයත් වූ තේ වතු 16 ක නම් ලෝරි ඉදිරිපත් කර ඇත.
  • හාල්පොල - ප්‍රධාන වශයෙන් පදු කුලයට අයත් ජනයා වාසය කල මැදකුඹුර වසමට අයත් ගම්මානයකි. පුණ්ඩලු ඔය හරහා හාල්වැල්තොට නම් වු තොටුපොලක්ද ඇත. ගබ්බෙල සහ මාඋස්සාව මෙම ගම තුල වූ කුඩා ගම්ය.
 තේ වතු වලින් සියළුම කඳු මුදුන් වසා ගත් ආගරපතන ප්‍රදේශය
  • දිඹුල - උඩගම සහ මෑතගම ලෙසින් කොටස් දෙකකි. උඩගම පිහිටි මැදබාගේ විහාරය පැරණි පන්සලකි. ඉංග්‍රීසීන් පැමිනීමෙන් පසුවද එනම් 1815 න් පසු වෙනත් විහාරයක් එහි ඉදි කර ඇත. උඩගම කොටසට රාවණාගොඩ, උඩගම, පල්ලේ ගම්මැද්ද, උඩගම්මැද්ද, විජේබාහුකන්ද සහ දිඹුල හෙවත් ඩෙවොන් කඩමණ්ඩිය (Bazaar) අයත්ය. මෑතගම කොටසේ පිහිටි මාකඳුර ඇල 1884 දී ප්‍රතිශංස්කරණය කිරීම අරඹා ඇත. මෑතගම, හින්නාරන්ගොල්ල, කටාරන්දෙණිය, කොස්හින්න, මල්දෙණිය, පල්ලේ ගම්මැද්ද සහ උඩ ගම්මැද්ද මෑතගම කොටසට අයත් ගම්ය. දිඹුල, ලිඳුල, අග්‍රාපතන, සහ කොටගල දිස්ත්‍රික්කද (Tea Districts එනම් තේ වැවූ ප්‍රදේශ) දිඹුල වසමට අයත්වේ.  එම තේ වතු දිස්ත්‍රික්ක වලට අයත් එවකට තිබූ තේ වතු 142 ක පමණ නම් ලෝරි ඉදිරිපත් කර ඇත. දැනට ඩයගම ලෙසින් හඳුන්වන  පෙදෙස එවකට දියගම වූ බව කඩ (Shops) තිබූ ස්ථාන අතර දියගම නම් වූ ස්ථානයක් පිළිබඳවද ලෝරි කරන සඳහනින් පැහැදිලි වේ. දියගම නමින් තේ වත්තක්ද තිබී ඇත. ලිඳුල රෝහලක් සහ දිඹුල සහ අග්‍රාපතන ප්‍රදේශ වල බෙහෙත්හල් (Dispensaries) තිබූ බවත්, කොටගල සහ ලිඳුල පල්ලි සහ, කොටගල, ලිඳුල, Middleton සහ St. George යන ස්ථාන වල පාසැල් තිබූ බවත් සඳහන් වේ. කොටගල, තලවකැලේ, සහ වටගොඩ දුම්රිය ස්ථාන තිබී ඇත.
ආගර ඔය හෙවත් අග්‍රා ඔය ලිඳුල ප්‍රදේශයේදී (ලිඳුල-ආගරපතන-ඩයගම B252 මාර්ගයේ සිට )
  • උඩගම (දිඹුල)- ගොවි කුලේ සිංහල ජනයා සහ පහත රට සිංහලයන් ජීවත් වූ ගමකි. ගම තුල වූ පට්ටිහෙල විහාරය ගම්මුන් විසින්කර ඇත. කළුබණ්ඩාර දෙවියන්නේ කෝවිල නම් වූ කෝවිලක් සහ අතහැර දැමූ ගුණමත් වැව නම් වැවක්ද තිබී ඇත. එඩරු තෙල් වැව සහ සූරිය වැව නම් වැව් දෙකක් ගැනද විස්තර ඇත. ඒවාද අතහැර දමා තිබී ඇති අතර සූරියවැව අසල සෙල් ලිපියක් ගැනද කියැවේ. සියළුම උස් බිම් වල තේ වගා කර තිබී ඇත. විජේපාහුකන්ද (විජේබාහුකන්ද?) මෙම ගම තුල වූ කුඩා ගමකි.
  • කලපිටිය - නුගතොට, හේදුණුවැව, සහ මැදගොඩ රටේ ගම්මැද්ද (මැද්දේගොඩ රටේ ගම්මැද්ද හෙවත් පත්තිනි ගම්මැද්ද ලෙසින්ද හඳුන්වා ඇත) යන ගම් අයත් වන වසමටම අයත් ගමකි. මෙම ගමේ පිහිටි මැද්දේගොඩ පත්තිනි දේවාලය 1886 දී ගිනි තබා ඇත. දඩුදඹුල්දෙණිය වැව නම් වූ අතහැර දමා තිබූ වැවක්ද තිබී ඇත. කලපිටිය ගම තුලම වූ පලදොර ඇල්ල නම් වූ කුඩා ගමක් ගැනද සඳහන් වේ.
  • මැද්දේගොඩ රටේ ගම්මැද්ද (පත්තිනි ගම්මැද්ද) - ගොවි කුලයට  අයත් ජනයා වාසය කර ඇත. ඒවාට යාතිකා කල විට ගව රෝග සුව කිරීමේ හැකියාව ඇති බව පැවසෙන දොළහ දෙවියන්ට අයත් ආයුධ (Weapons of the twelve gods) ඇති  කෝවිලක් රන්හාමි නැමැත්තෙක් මෙම ගමේ ඉදිකල බව Le Mesurier පවසයි. (දොළහ දෙවියන් ලෝරි පවසන ලෙසට පහත ආකාරයෙන් විය. වැදියකු දෙවියෝ, වලියකු දෙවියෝ, කොහොඹ දෙවියෝ, වීරමුණ්ඩ දෙවියෝ, වන්නියේ බණ්ඩාර දෙවියෝ, අලුත් දෙවියෝ, කීර්ති බණ්ඩාර දෙවියෝ, මැණික් බණ්ඩාර දෙවියෝ, දේවතා බණ්ඩාර දෙවියෝ, මංගර දෙවියෝ, කුමාර දෙවියෝ සහ ඉරුගල් බණ්ඩාර දෙවියෝ .)
  • Church Holbrook - Agarapatana
  • පල්ලේ ගම්මැද්ද, උඩගම්මැද්ද, පොකුණුවත්ත සහ තැඹිලිගම හෙවත් මරක්කල ගමද කලපිටිය ගම තුල වූ කුඩා ගම්ය.  නමින්ම හැඟෙන පරිදි තැඹිලිගම මුස්ලිම් ජනයා විසූ ගමක් වන අතර, වර්ෂ 1885 දී එම ගමේ නයින්කෙලිනතොට සිට දිඹුල දක්වා වැටී ඇති කුඩා පාරට ලන්ව මුස්ලිම් පල්ලියක් ඉදිකර ඇත. 1887 දී දුරා කුලයට අයත් පුද්ගලයන් 12 ක් පමණ සිටි යමනුන්නේ ගම නම් වූ ගමක්ද කලපිටිය ආරච්චි වසමට අයත් ගමක් ලෙස තිබී ඇත.
  • කුඹල්ඔළුව - දුරයා කෙනෙකු යටතේ වූ  දුරා කුලයට අයත් හීන කුල ජනයා විසූ ගමකි. රෝමානු කතෝලික පල්ලියක් මෙන්ම මුස්ලිම් පල්ලියක්ද තිබී ඇත.  රන්තිලකගේ ඩින්ගාව දුරයා සහ ඔහුගේ බිරිඳ මේ ගම තුල තිබූ බෝකොටුවේ විහාරය ප්‍රතිශංස්කරණය කර බෝකොටුවේ අත්ථදස්සී තෙරුන්නාන්සේට වර්ෂ 1883 මැයි 21 දින පූජා කර විහාරයට (සහ රටේ සිව් දෙසින් එහි පැමිනෙන භික්ෂුන්ට) ඉඩම්ද පිරිනමා ඇත.
  • මැදකන්ද - කුඹල් ඔළුව ගම තුල වූ කුඩා ගමකි. පහත රට සිංහලයන්, කාපිරි ජනයා මෙන්ම දමිල ජනයාද වාසය කල ගමකි. රෝමානු කතෝලික දේවස්ථානයක්ද මෙම ගම තුල තිබී ඇති අතර මේ ගම අසලම කුඹල්ඔළුව-එගොඩ වෙල  ගම තිබී ඇත. Le Mesurier පවසන ලෙසට පන්නදුරයෝ නම් දුරා කුලයේ උප කුලයකට අයත් මෙම ගම් වල විසූ ජනයාට පැවරුන රාජකාරිය වූයේ හකුරු,  හම්බ-හාල්, කහ, ඉඟුරු, බුලත්, පැණි සහ පොලු මස් (එනම් දඩ මස්) රජ වාසලට සැපයීමයි. මෙහි සඳහන් හම්බ හාල් බොහෝවිට හම්බන් නැමැති ඔරු වලින් විදේශ වල සිට ආ හාල් විය හැක. මුස්ලිම් ජනයා එම ව්‍යාපාර වල නිරතව සිට ඇත. හම්බ යන යෙදිම ඔවුන්ට අපහාස කිරීමේ අදහසින් වුවද ව්‍යවහාරයට එන්නේ එම හේතුව නිසා බව සැලකේ. දඩ මස් සඳහා පොලු මස් යන නම යෙදීම එම සතුන් දඩයම් කල ආකාරය පිළිබඳව ඉගියක් සපයයි. එය බල්ලන් සහ මිනිසුන් යොදා සතුන් කොටු කර පොලු වරින් පහරදීම විය හැක. මේ ආකාරයේන් හාවුන්, මීමින්නන්, ඉත්තෑවන් ආදී කුඩා ක්ෂීරපායීන් මෙන්ම විශාල මුව විශේෂ සහ ගෝනුන්ද දඩයම් කලා විය හැක. 
ආගරපතන ප්‍රදේශයේ වතු වල වැඩ කරන දකුණු ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා පදිංචි නිවාස
  • ඕතලාව - ගොවි කුලයට අයත් ජනයා විසූ ගමකි. එම නමින්ම යුත් ආරච්චි වසමට ඕතලාව, අඹතලාව, හඳපාන්ගම, ගන්කේවල,සංගිලිපාලම සහ කොස්ගොල්ල ගම් අයත්ය. පන්නල් ඔය (පැන්න ඔය) ගොවිතැන් කටයුතු කිරීම උදෙසා යොමු කල ගජබා රජුගේ (?) නුවර ලෙස ජනප්‍රවාදයේ එන දීඝ මහනුවර නම් නටබුන් වූ පැරණි නුවරක්  මෙම ගම තුල තිබූ බව පැවසේ. වර්ෂ 1843 දී ගම්වැසියන් විසින් ඇල්වත්තේ විහාරය ඉදි කර ඇත. නමුත් එය ලෝරි සඳහන් කරන යුගය වන විට අතහැර දමා තිබී ඇති අතර පන්සල පමණක් (ආවාස ගෙය) තිබී ඇත.
  • සංගිලිපාලම - ඕතලාව ගම තුල වූ කුඩා ගමකි. කඩ කිහිපයක්, බදු අයකරන ස්ථානයක් (Toll-station) සහ රම්බොඩ - පුසුල්පිටිය කුඩා පාරේ (Minor Road) වූ කොස්ගොල්ල තොටුපොල මෙම ගම තුල තිබී ඇත.
  • ගන්කේවල - ගොවිකුල ජනයා විසූ ගමකි.
  • අඹතලාව - ගොවි සහ රදා කුල වලට අයත් උඩරට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනයා සහ චෙට්ටීන්ද විසූ ගමකි. ලෝරි පවසන ලෙසට පුසුල්පිටිය විහාරයේ ඇති මෙරටින් හමුවූ විශාලම ඇත් දල යුවල එම විහාරයට පූජා කර ඇත්තේ මෙම ගමේ විසූ අගලවත්තේ සට්ටම්ඹි විසිනි. පහත රට සිංහලයන්, මුස්ලිම් මිනිසුන් සහ චෙට්ටීන් මේ ගමේ බොහෝ ඉඩම් එම යුගය වන විට ඔවුන්ට ණය වූ උඩරට සිංහලයන්ගෙන් ලබාගෙන තිබූ බව පැවසේ.
  • හඳපාන්ගම - මැද්දේගොඩ පත්තිනි දේවාලය දේවාලයට සේවා සපයන ජනයා මෙම ගම තුල සිට ඇත.
Church of St. Margaret, Kotagala
  • පනන්ගම්මන - දුරා කුලයේ ජනයා වාසය කල ගමකි. වර්ෂ 1843 දී මුණසිංගෙදර කිරා විසින් ඉදිකල පුවක්මල්පිදුගොඩ විහාරය මෙම ගම තුල තිබී ඇත. තවද කතිරා (?) නම් හින්දු දෙවියන් උදෙසා එම යුගයේම ඉදිකල හින්දු දේවාලයක්ද පනන්ගම්මන ගම තුල තිබී ඇත. දුරයා කෙනෙකු යටතේ වූ ගම් වසමක් වන පනන්ගම්මන ගම් වසමට නවන්දන සහ දුරා කුල වල ජනයා වාසය කල දෙළුන්තලාමඩද අයත්ය. කරගස්තලාව සහ කටුකිතුල එම ගම් වසමටම අයත් අයත් කුඩා ගම් දෙකකි.
  • තවලන්තැන්න - පනන්ගම්මන ගම තුල පිහිටි කුඩා ගමකි. පහත රට සිංහලයන් සහ දමිලයන් වාසය කර ඇත. දෝන ක්‍රිස්ටියානා පෙරේරා හාමිනේ නම් තැනැත්තියක විසින් 1863 දී පමණ ඉදි කල රෝමානු කතෝලික දේවස්ථානයක් මෙන්ම හින්දු කෝවිලක්ද තිබී ඇත. 1870 දී මියගිය වෙලගෙදර රටේ මහත්මයාට අයත් වලව්වක්ද මෙහි තිබූ බව පැවසේ. මෙම ගමේ ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටි රජයට අයත් ඉඩම් කැබැලි උදෙසා පහත රට සිංහලයන් අතර නඩු හබ තිබූ බව ලෝරි පවසයි.
තලවකැලේ ප්‍රදේශයේ තේ වත්තක පිහිටි කුඩා ජලාශයක්
  •  රම්බොඩ - ගොවි කුලයට අයත් සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් සහ දමිල ජනයාද වාසය කල ගම්මානයකි. තානායමක්, මුස්ලිම් පල්ලියක්, තැපැල් කාර්යාලයක්, පොලීසියක්, බදු අයකරන ස්ථානයක්, පිරිවෙනක් මෙන්ම මුස්ලිම් පාසැලක්ද පිහිටි කුඩා නගරයක් බවට 19 සියවසේ අවසාන භාගය වන විට රම්බොඩ පරිවර්තනය වී ඇත.  මල්හෑව , අඹහෙල , පලාගොල්ල ,  ගැරඩි ඇල්ල, කොණ්ඩගල, ලබුගොල්ල  සහ කුඩා ඔයද රම්බොඩ වසම තුල පිහිටා තිබූ ගම්ය. රම්බොඩ තේ දිස්ත්‍රික්කයට අයත් එවකට තිබූ තේ වතු 22 ක් ලෝරි නම් වශයෙන් සඳහන් කරයි.
  • මල්හෑව - රම්බොඩ වසමට අයත් ගොවි කුලයට අයත් සිංහල ජනයා සහ දමිල ජනයා විසූ ගමකි. දළදා කරඩුවේ විහාරය නම් වූ විහාරයක් මෙම ගම තුල තිබී ඇත. එම විහාරය වසර කිහිපයකට පෙර අර්ධ වශයෙන් ගිනිගත් බව ලෝරි පවසයි. රම්බොඩ වත්තේ ගලක් මත පිහිටි මල්හෑව කෝවිල දොළහ දෙවියන් උදෙසා ඉදිකර ඇති අතර, මිනිසුන්ගේ මෙන්ම ගවයන්ගේද ලෙඩ රෝග සුව කිරීමේ බලයක් ඇති ස්ථානයක් බව පෑවසේ. සර්පයකුගේ මෙන්වූ රුවක් සහ දොළහ දෙවියන්ට අයත් ලෙස පැවසෙන ආයුධ කෝවිල තුල තිබී ඇත.
  • ලබුගොල්ල - රම්බොඩ ගම තුල පිහිටි ගොවි කුලයේ සිංහල ජනයා, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් සහ දමිල ජනයාද වාසය කල ගමකි. ලබුගොල්ලකැලේ රම්බොඩට ඉහලින් වූ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුන රජයට අයත් කැලෑවෙන් කොටසක් ලෙස සඳහන් වේ. ලබුකැලේ වත්ත මෙම ප්‍රදේශයේ පිහිටා  ඇත.
  • ගැරඩි ඇල්ල - රම්බොඩ වසමට අයත් ගමකි. නුවරඑළිය මාර්ගයේ හමුවන කඩමණ්ඩියකි.
  • අඹහෙල - රම්බොඩ ගම තුල පිහිටි කූඩා ගමකි.
  • පලාගොල්ල -  ගොවි කුලයට අයත් සිංහල ජනයා, මෙන්ම මුස්ලිම් සහ දමිල ජනයාද වාසය කල රම්බොඩ වසමට අයත් ගම්මානයකි, රෝමානු කතෝලික දේවස්ථානයක් සහ කඩ මණ්ඩියක්ද තිබී ඇත.
 St. Clair දිය ඇල්ල නිර්මාණය කරමින් ගලා බසින කොත්මලේ ඔය
  • කිරින්දේවෙල - නියංගන්දොර ආරච්චි වසමට අයත් ගමකි.
  • ලිඳුල - කඩ මණ්ඩියක්, පොලිස් ස්ථානයක්, පල්ලියක්, රෝහලක් සහ පාසැලක්ද තිබූ කුඩා නගරයකි.
  • නානු ඔය - නුවරඑළියට ආසන්නම දුම්රිය නැවතුම්පොල වූ නානු ඔය දක්වා නාවලපිටියේ සිට දුම්රිය ධාවනය 1885 මැයි 20 වන දින ආරම්භ විය. 19 සියවසේ අවසාන භාගය වනවිට රජයේ පාසලක්,  තැපැල් සහ ටෙලෙග්‍රාප් කාර්යාලයක්, තානායමක් සහ කඩ මණ්ඩියකින් යුක්ත විය.
  • සීතාඑළිය - 1871 වසරේ මෙන්ම 1881 වසරේද පුද්ගලයන් 40 පමණක් විසූ ගමකි. ෆොර්බ්ස් පවසන ආකාරයට (1840සාමි උම්මා නම් වූ වයසක ස්ත්‍රියක් මෙහි සීතා දේවිය උදෙසා කෝවිලක් ඉදිකර ඇත.
  • තලවකැලේ - තලවකැලේ කඩමණ්ඩියේ 1891 වසරේ ජනගහණය පුද්ගලයන් 446 කි.
  • වටගොඩ - 1891 දී පුද්ගලයන් 115 සිටි ගමකි.
  • වලපතන - 1881 වසරේදී පුද්ගලයන් 20 ක් පමණක් සිටි ගමකි.
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
  • Eleven years in Ceylon, Major Forbes, 1840

Saturday, May 23, 2020

දළදා මාළිගාවට පාරුකාර සේවාව සැපයූ ආදම් ලෙබ්බේ සහ උදුමා ලෙබ්බේ විසූ උඩ පලාත දිසාව

හිඳගල විහාර සිතුවමක්
උඩරට රාජධානියට අයත් දිසාවනියක් වන උඩපළාත බ්‍රිතාන්‍ය යුගය වන විට කෝරළ 4 ක එකතුවකින් සැදී තිබින. ඉන් කෝරළ දෙකක් පිළිබඳව තොරතුරු පෙර ලිපියකින් ඉදිරිපත් කල අතර (Link >>) මෙම ලිපියෙන් ඉතිරි කෝරළ දෙකේ විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. රැල්ප් පීරිස් මහතා සිය ග්‍රන්ථයේ 1796 පමණ වන විට උඩ රට පළාත් දැක්වෙන සිතියමේ මීට පෙර ලිපියකින් අප කතා කල උඩ බුලත්ගම (Link 1 >>,  Link 2 >> ) සහ ඉදිරියේදී කතා කිරීමට බලාපොරොත්තු වන කොත්මලේ රටත් උඩ පළාතටම අයත් කර දක්වා ඇතත්, 19 වන සියවසේ අවසාන භාගය වන විට එම ප්‍රදේශ උඩපළාතට අයත් නොවූ වෙනම රටවල් ලෙස සලකා ඇත.

උතුරින් පහල හේවාහැට කෝරළයෙන්, දකුණින් කොත්මලේ රටින්, නැගෙනහිරෙන් උඩ හේවාහැටින් සහ, බටහිර පෙදෙසින් උඩුනුවරින් සහ සතර කෝරළයෙන් සීමා වූ උඩපළාත දිසාවේ විශාල ප්‍රදේශයක් පුරා 19 වන සියවසේ අවසාන භාගය වනවිටත් තේ වගාව පැතිර තිබූ අතර, පැරණි සිංහල ගම්මාන ප්‍රධාන වශයෙන් ගංගා නිම්න වලට සීමා වී තිබී ඇති බව මෙම ලිපියෙන් විස්තර වන දැනට හඳුනාගත හැකි ලෝරි සඳහන් කරන ගම් සලකුණු කල පහත දැක්වෙන සිතියම් වලින්ද පැහැදිලි වේ. එතෙක් ගම්මුන් විසින් හේන් වගාවන් සහ ගවයන්ගේ ආහාර අවශ්‍යතා උදෙසා යොදා ගත් උස් බිම් වල පිහිටි තෘණභූමි සහ වනාන්තර බ්‍රිතාන්‍ය යුගයේ ඔවුනට අහිමිව වතු අධිරාජ්‍යයකට බිලී විය.

පෙර ලිපියෙන් විස්තර කල ඇතැම් උඩරට පෙදෙස් වල මේ යුගයේ සිදුවූ සිදුවීම් උදාහරණයක් වශයෙන් විහාර දේවාල ගම් වලට අයත් ඉඩම් එම ආයතන වලට අහිමි වීම් සහ එම ආයතන වලට සේවා සැපයූ ඉස්ලාම් ආගම ඇදහූ සංක්‍රමණික එහෙත් ඒ වන විට ස්ථිර ඉඩම් ලැබ ඒවායේ පදිංචිව සිටි ජන කොටස් පිළිබඳව මෙම ලිපියෙන්ද කරුණු ඉදිරිපත් වේ. ඊට අමතරව බොහෝ විට 1803 සහ 1804 සිදුවූ බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ උඩ රට ආක්‍රමණ වලදී සහ 1818 විමුක්ති අරගලය අවස්ථාවේ ඉංග්‍රීසි හමුදා භට කණ්ඩායම් සිදු කල බවට සිතිය හැකි බෞද්ධ විහාර ගිනි තැබීම් ආදිය සම්බන්ධවද මෙහිදි විස්තර හමුවේ.
කඳුකර ඉහල කෝරළය
නැගෙනහිරෙන් හේවාහැටින්, දකුණින් කොත්මලේ රටින්, උතුරින් කඳුකර පහල කෝරළයෙන් සහ බටහිරෙන් මහවැලි ගඟින් සහ ගඟ ඉහල කෝරළයෙන් වටවූ කඳුකර ඉහල කෝරළයේ පිහිටි අංගම්මන ගම හැරුන විට බොහෝ ගම් එවකට පහත් කුල වලට අයත් ලෙස සැලකූ ජන කොටස් සිටි ගම් බව පැවසේ. පුපුරැස්ස, අටබාගේ සහ පුස්සැල්ලාව තේ දිස්ත්‍රික්ක (Tea Districts) මෙම කෝරළය තුල ඒ වන විට තිබී ඇත.
කඳුකර ඉහළ කෝරළයේ පිහිටි ඩෙල්ටා වතු යායේ පිහිටා ඇති එංගලන්ත සභාවට අයත් ක්‍රිස්තියානි දේවස්ථානයක්

  • අංගම්මන - කොබ්බෑවල ආරච්චි වසමට අයත් ගමකි. දළදා මාළිගාවට රත්වත්තේ දිසාව විසින් පූජා කල මෙම ගමේ වූ ඉඩම් ලියාපදිංචි කිරීම විහාර දේවාල ඉඩම් කොමසාරිස් (Temple Lands Commissioner) විසින් ප්‍රතික්ශේප කර ඇත. පසුව මුතු කරුපන් චෙට්ටියාර් (Muttu Karpen Chetty) හට අයත් වූ කෝපි වත්තක් මෙම ගමේ ඉහලින් පිහිටි බිම් වල තිබී ඇත. පැරණි පවුලකින් පැවත එන අංගම්මන අධිකාරමට අයත් වලව්වක් අංගම්මන ගමේ තිබී ඇති අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී ඔහු විසින් පට්ටිපොල විහාරය (Pattapola Vihara) ඉදි කර ඇත. ලෝරිගේ සමය වන විට එම පරම්පරාවෙන් පැවත එන්නන් හට අයත් වලව් 3 ක් අංගම්මන ගමේ තිබී ඇත. අමුණුපුර මෙම ගම තුල පිහිටි කුඩා ගමකි.
  • අටබාගේ (පල්ලේගම සහ උඩගම) - පදු කුලයට අයත් ජනයා වාසය කල ගම්මානයකි. පල්ලෙගම කොටසේ පෙර ඔරියන්ටල් බැංකුවට (Oriental Bank) අයත්ව තිබූ අටබාගේ වතු යාය තිබී ඇත. උඩගම පිහිටි විහාරය වර්ෂ 1797 දී ඉදිකල බව පැවසේ. 
  • දැල්පිටිය - පදු සහ නවන්දන (Blacksmiths) කුල වලට අයත් ජනයා වාසය කල ගමකි.
  • දෙවිට - පදු කුලයේ ජනයා වාසය කල ගමකි.
  • දුණුකේඋල්ල - පුස්සැල්ලාව වසමට අයත් පුපුරැස්ස ඔය බඩ පිහිටි ගමකි. කළුගල කෝවිල  මෙම ගම තුල තිබූ බව පැවසේ.
  • ගලාත- දුරයෝ කුලයේ ජනයා වාසය කල ගමකි.
  • කැකුලන්දල - ගලාත ආරච්චි වසමටම අයත් දුරයෝ  කුලයේ ජනයා වාසය කල ගමකි.
ගම්පොල - පුපුරැස්ස ( B125 ) මාර්ගයට දිස්වන මහවැලි ගඟේ අතු ගංගාවක් වන අටබාගේ ඔයේ නිම්නය,
  • මාවතුර ගලාත ආරච්චි වසමට අයත් ගමකි.
  • පිලිවෙල කොත්මලේ ඔය මහවැලි ගඟ හා එක්වන ස්ථානයේ පිහිටි ගලාත ආරච්චි වසමට අයත් ගමකි.
  • කොබ්බෑවල - වර්ෂ 1787 පමණ ඉපදුන කොබ්බෑවල දියවඩන නිලමේ මෙම ගමේ පිහිටි වලව්වේ වාසය කර ඇත. කොබ්බෑවල පිහිටි අප්පලගොඩ විහාරයට කොබ්බෑවල වලව්වේ මුදියන්සේ රාලහාමි විසින් සිංහලේ  අවසාන රජුගේ යුගයටත් පෙර පූජා කල ඉඩම් වල අයිතිය පිළිගැනීම විහාර දේවාල ඉඩම් කොමසාරිස් විසින් ප්‍රතික්ශේප කර ඇත. පසුව කොබ්බෑවල වලව්වට එම ඉඩම් උකස් කර ඇති අතර පන්සල පසුව අතහැර දමා ඇත.
  • පුස්සැල්ලාව - 19 වන සියවසේ අවසාන භාගය වන විට පොලිස් ස්ථානයක්, ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් (Public Works Department Station), එංගලන්ත සභාවට අයත් පල්ලියක් (Church of England church), කඩපොලක්, බෞද්ධ විහාරයක් මෙන්ම ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලබා දුන් චර්ච් මිෂණරි සමිතියට අයත් මිශ්‍ර පාසලක්ද (Church missionary society's mixed vernacular school) තිබූ ගමකි. 
  • පුපුරැස්ස
  • වහුගේපිටිය
  • වත්තේහේන
පුස්සැල්ලාව නගරයට දිස්වන මොණරගල කඳු. මෙම කඳු වලට එපිටින් කොත්මලේ ජලාශයද  කොත්මලේ රටට අයත් ගම්ද පිහිටා ඇත.
කඳුකර පහල කෝරළය
උඩපළාතේ උතුරු සීමාව වන කඳුකර පහල කෝරළය නැගෙනහිරෙන් හේවාහැටින්, දකුණින් කඳුකර ඉහල කෝරළයෙන්, බටහිරෙන් මහවැලි ගඟින් සහ ගඟ ඉහල කෝරළයෙන්ද, උතුරින් යටිනුවර රටින්ද සීමා වේ. මහවැලි ගඟ දෙපස කුඩා ප්‍රදේශයක් හැරුන විට මෙම කෝරළයේ වැඩි ප්‍රදේශයක් කඳු වලින් යුක්තය.

  • ගොඩවෙල - ජනප්‍රවාද වලට අනුව මහවැලි ගඟ සහ මල්හළුව ඔය අතර පිහිටි ගොඩවෙල නුවර ලෙසින් හැඳින්වූ රාජකීය නුවරක් මෙහි තිබී ඇත. ගඩොල් සහ උළු කැබලි එම ප්‍රදේශයේ පොලව යට හමුවේ. ගොඩවෙල බස්නායක නිලමේ හෙවත් දුග්ගන්නා නිලමෙට අයත් වලව්ව මෙම ගමේ තිබී ඇති අතර ඔහු  ඉංග්‍රීසින් මඩකලපුවේ සිට උඩරට ආක්‍රමණය කල සමයේ (1804?) රජුගේ සැතපෙනගේ රාජකාරි ඉටු කල බව පැවසේ. මෙම ගමේ වැසියන් ලංකාතිලක විහාරයට සේවා සපයයි.
  • අඹකුඹුර - ගොඩවෙල ගම තුල පිහිටි කුඩා ගමකි.
  • මැදපිටිය - ගනේගොඩ, ගොඩවෙල සහ අංකුඹුර ගම් අයත් වන ආරච්චි වසමටම අයත් ගමකි.
  • ගනේගොඩ - මෙම ගමේ නිලඹේ ඔය මහවැලි ගඟ හා එක්වන ස්ථානයේ පිහිටි ගනේගොඩ දේවාලය පැරණි දේවාලයකි. ඉංග්‍රීසින් පැමිණීමට පෙර එය ගිනි තබා ඇති අතර (කවුරුන් විසින්ද යන්න සඳහන් නොවේ) ඉන් පසුවද දෙවරක් එහි තිබූ දෑ සොරුගෙන ඇත. රාජසිංහ රජු (?) ගනේගොඩ ගමේ ඉඩම් මෙම දේවාලයට පිරිනමා ඇති අතර. කීර්ති ශ්‍රී රාජසිංහ රජු උඩෝවිට, ඇල්පිටිය, ගොඩවෙල, මැදපිටිය, සහ නියංගම ගම් දේවාලයට පූජා කර ඇත. එහෙත් විහාර දේවාල ගම් කොමසාරිස්  එම ඉඩම් බදු වලින් නිදහස් කිරීම ප්‍රතික්ශේප කර ඇත.
  • පල්ලේ දෙල්තොට
  • දොළුව - පට්ටිවල අනු කුලයට අයත් වෙල්ලාල හෙවත් ගොවි කුලයේ ජනයා වාසය කල ගම්මානයකි. නවන්දන කුලයට අයත් එක් පවුලක්ද සිට ඇත. ගමේ තිබූ 1858 වර්ෂය වන විටත් වසර 20 පුරා අතහැර දමා තීබූ විහාරයට ගම් වැසියන් විසින් පිරිනමා තිබූ ඉඩම් ලියාපදිංචිය ප්‍රතික්ශේප කර ඇත. නව විහාරයක්, බණ මඩුවක් සහ ආවාසයක් වනවාසී භික්ෂූන් සඳහා පසුව ඉදිකර ඇත. ලියන්දෙණිය, දොළුව ගම තුල පිහිටි කුඩා ගමකි.
  • කවුඩුපිටිය - නාරංවිට ආරච්චි වසමට අයත් ගම්මානයකි. නවන්දන කුලයේ ජනයා වාසය කල රජ මාළිගාවේ 'රන්කඩු පට්ටලයට' අයත් ගමකි.
  • ඉඟුරුවත්ත නාරංවිට ආරච්චි වසමට අයත් වහුම්පුර කුලයේ ජනයා විසූ ගමකි. ගම්මානයේ බොහෝ ඉඩම් පරනතලා පරම්පරාවට අයත්ය. ජනප්‍රවාදගත තොරතුරු වලට අනුව මෙහි පිහිටි ඉඟුරුවත්තේ වලව්වේ විසූ ඉඟුරුවත්තේ  අධිකාරම් මහත්මයාට අයත් ඉඩම් සමහරක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉඟුරුවත්ත විහාරයට පවරා දී ඇත්තේ රජු විහාරය වන්දනා කිරීමට යෑමේදී අධිකාරම් ඒ සඳහා පාලමක් නොසෑදීම හේතුවෙනි. ඉඟුරුවත්තේ විහාරය කුන්ඩසාලේ රජුගේ අවදියේදී ගම් වාසීන් විසින් සාදා ඇත. විහාරය ගිනි තබා විනාශ කල පසු (කවරෙක් විසින්ද යන්න කියා නැති මුත් 1818 නිදහස් අරගලය අවස්ථාවේ ඉංග්‍රීසි හමුදාව විසින් විය යුතුය. ) හපුගොඩ උන්නාන්සේ විසින් නැවත ඉදිකර ඇත.
  • මහර හෙවත් මහරගම - නාරංවිට ආරච්චි වසමට අයත් තවත් ගමකි.
  • වැවතැන්න - නාරංවිට ආරච්චි වසමට අයත්ය.
  • නාරංවිට  - නාරංවිට විහාරය කුන්ඩසාලේ රජතුමාගේ අවදියේදී ගම්මුන් විසින් ඉදිකර ඇත. 1818 දී විහාරය ගිනි තැබූ මුත් එම කාලයේම නැවත සාදා ඇත. අන්ඳියකඩවර මෙම ගම තුල පිහිටි මුස්ලිම් ජනයා විසූ කුඩා ගමකි. 
  • නියංගම - දුරයෝ කුලයේ ජනයා විසූ නාරංවිට ආරච්චි වසමට අයත් ගමකි.
  • කහවත්ත
  • ලැඟුන්දෙණිය - රොබට් නොක්ස් කාලයක් සිටි ගමකි. ඔහුගේ ග්‍රන්ථයේ ලැඟුන්දෙණිය පිළිබඳව බොහෝ තොරතුරු හමුවේ.
  • පුලියැද්ද- ලැඟුන්දෙණිය ආරච්චි වසමට අයත් ගමකි.
  • මුල්ගම - කඳු මුදුනක පිහිටි ගමකි. මෙහි පිහිටි විහාරය ගමේ ප්‍රධාන පුද්ගලයන් දස දෙනෙකු විසින් ඉදිකල බවට පැවසේ. එයට අයත් ඉඩම් ලියාපදිංචි කිරීම සඳහා කල ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත.
  • පන්විලතැන්න
  • තුන්පෑලවක - වහුම්පුර කුලයේ ජනයා විසූ ගමකි.
  • තුන්දෙණිය
  • උඩවෙල
  • උඩුදෙණිය
හිඳගල ලෙන් විහාරය
  •  හිඳගල - පාහිංගොමුව සහ කළුගොමුව ගම් අයත්වන ආරච්චි වසමටම අයත් වූ ගමකි. පේරාදෙණිය උද්භීද උද්‍යානය ඉදිකිරීම උදෙසා ඔවුන්ගෙන් රජය ලබාගත් ඉඩම් වලට හිලව් වශයෙන් මෙම ගමේ පිහිටි අධිකාරම් වලව්වේ විසූ හිඳගල අධිකාරම් මහත්මයාගෙන් පැවත එන්නන් ඉඩම් ලැබූ බව ලෝරි පවසයි. මහවැලි ගඟේ නිම්නයට ඉහල මනා දර්ශනයක් සහිත තැනක පිහිටි හිඳගල ලෙන් විහාරය, බාන්ස් ආණ්ඩුකාරයාගේ යුගයේ එහි පැමිණ පදිංචි වූ දෝපේ නායක උන්නාන්සේ විසින් නැවත ඇරඹූ බව ඒ හිමියන් විසින් විහාර දේවාල ගම් කොමසාරිස් හට පවසා ඇත. දෝපේ හිමියන් පැමිණෙන විට ලෙන් විහාරය තුල ඇති පැරණි විශාල ප්‍රතිමාව තිබී ඇති මුත්, එය කැඩී බිඳී ගොස් නටබුන් වූ තත්වයෙන් තිබී ඇත. දෝපේ හිමියන් විසින් කුඩා ප්‍රතිමා දෙකක් එහි අලුතින් සාදා ඇත. දෝපේ හිමියන් හෙලිකරන ආකාරයට හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ සමයේ විහාරය ඉදිකර ඇති අතර හිඳගල ගමේ සියලුම ඉඩම් එම දේවිය විසින් විහාරයට පවරා දී ඇත. ජනප්‍රවාද ගත තොරතුරු පවසන්නේ එම දේවිය දිනක් රාත්‍රියේ ගමනක් යනවිට හිඳගල ගමේ ප්‍රධානියාගෙන් හුළු අතු සහ සේවකයන් ඉල්ලූ මුත් ඔහු "ඇයට ඒවා හිඳගල ගුහාවේ සිටින මහළු මිනිසාගෙන් [ඔහු එමගින් හිඳගල ගුහාවේ තිබූ බුදු පිළිමය අදහස් කර ඇත. ] ඉල්ලා ගන්නා ලෙස පැවසූ බවත්, එම හේතුව නිසා හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය ඔහුට අයත් සියළුම ඉඩම් පසුදිනම විහාරයට පැවරූ බවත්ය. එවක ජීවත් වූ හිඳගල විදානේ පවසා ඇත්තේ විහාරයට අයත් ඉඩම් ඔහුගේ පරම්පරාවට අයත් නින්ද ගම් බවත්, ඔහුගේ පරපුරේ පුද්ගලයන් පසුව ශාසනයට ඇතුලත් වී පන්සලේ නායක පදවිය දැරූ බවත්, එවැන්නන් 31ක් ඒ වනවිට එම පදවියේ සිට ඇති බවත්ය. දෝපේ හිමියන්ද එය තහවුරු කර ඇත.
කුඩා හිඳි පිළිමයක් - හිඳගල ලෙන් විහාරය

  • කළුගොමුව - දළදා මාළිගාවට
     අයත් මුත්තෙට්ටු ඉඩම් පැවති, එයට විවිධ සේවාවන් සැපයූ ජනයා විසූ ගමකි. ඒ අතර 'පාරුකාර සේවාව' සැපයූ ආදම් ලෙබ්බේ සහ උදුමා ලෙබ්බේ හෙවත් පාරුකාර නයිදේ ලෙසින් හැඳින්වූ මුස්ලිම් ජන වර්ග‍යට අයත් පුද්ගලයන් දෙදෙනෙකුගේද නම් ඇති අතර, ඔවුන්ට අයත් රාජකාරිය වූවේ කළුගොමුවේ තොටුපලේ සිට ගැටඹේ තොටුපොල දක්වා ගමේ වෙනත් පුද්ගලයන් දළදා මාළිගාවට යැවීම සඳහා ලබාදෙන ඕනෑම දෙයක් ගෙනගොස් දීම සහ නව වසර උදාවීම සමග බුලත් කොළ 40 කින් සමන්විත 'පෙනුම' දිව නිලමේට දීමය (එනම් එම ප්‍රමාණයෙන් යුත් බුලත් හුරුල්ලක්ද රැගෙන දිව නිලමේ හමුවේ පෙනී සිට එය ඔහුට පිරිනැමීම.) ඒ වෙනුවෙන් ඔවුන්ට මෙම ගමේ අක්කර 1.5 ක ඉඩම් ලැබී ඇත.
  • පායින්ගොමුව
  • නිල්ලඹේ - රොබට් නොක්ස් සිය ග්‍රන්ථයේ විස්තර ඉදිරිපත් කරන තවත් ගම්මානයකි නිල්ලඹ. මෙහි පිහිටා තිබූ රජ මාළිගාවට අයත්ව තිබූ ගල් කණු සහ ගල් ඇඳක් (Stone pillars and a stone bed) නිල්ලඹ වත්තේ ලෝරිගේ යුගය වනවිටත් තිබී ඇත. දළදා මාළිගාවට අයත් නින්දගමක් වන අතර එයට අයත් ගව පට්ටිය නිල්ලඹ ගම තුල එකල සිට ඇත. 
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
  • Sinhalese Social Organization, The Kandyan Period, Ralph Pieris, 1956

Saturday, May 16, 2020

19 වන සියවසේ උඩ පළාත දිසාවට අයත් පැරණි ගම් සොයා දොලොස්බාගේ සිට ගඟ ඉහල කෝරළයෙන් ගඟ පහල කෝරළයට

1815 දී බ්‍රිතාන්‍ය හිරු නොබසිනවායැයි කී අධිරාජ්‍යයට ගිවිසුමකින් පවරා දීමට පොරොතුව සිංහලේ නමින් හැඳීන්වූ මහනුවර රාජධානියට අයත් ප්‍රදේශ වල තිබූ පළාත් බෙදීම් පිළිබඳව වූ ලිපි පෙලක තුන් වන ලිපිය උඩ පළාත දිසාව පිළිබඳව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. පෙර ලිපි දෙකකින් උඩ බුලත්ගම ලෙසින් හැඳින්වූ රට පිළිබඳව සාකච්චා කලෙමි. එම ලිපි කියවීමට - 1. >> , 2. >>

ප්‍රධාන වශයෙන් 1896 වසරේ පලවූ ලෝරිගේ වාර්තා වල සඳහන් තොරතුරු ආශ්‍රයෙන් ඉදිරිපත් කෙරෙන මෙම ලිපියට එම යුගය වන විට උඩ පළාත දිසාවට අයත් වූ ප්‍රධාන කෝරළ 4 කින් 2 ක් පිළිබඳව කරුණු ඇතුලත්ය. එනම් ගඟ ඉහල කෝරළය සහ ගඟ පහල කෝරළයයි. මින් ගඟ ඉහල කෝරළයේ උස් කඳු මත පිහිටි ගම් අයත් වන ප්‍රදේශය දොළොස්බාගේ ලෙසින්ද හැඳින්විනි (පහත සිතියම බලන්න). පෙර ලිපි මගින් විස්තර ඉදිරිපත් කල උඩ බුලත්ගම රටට වඩා මෙම ප්‍රදේශ වල ගම් ව්‍යාප්තිය පිළිබඳව දැකිය හැකි කැපී පෙනන වෙනසක් ලෙස පෙන්විය හැක්කේ මෙම කෝරළ දෙකට අයත් මුළු ප්‍රදේශය පුරාම ගම් විසිරී තිබූ බවය. එහෙත් ඒ සෑම ගමක්ම පාහේ ගංගා, ඔය වල නිම්න අවට සමතලා භූමි ප්‍රදේශ වලට සීමා වූ අතර උස් කඳු මුදුන් වන වැස්මෙන් වැසී ආරක්ෂා වී තිබූ බව පෙනේ. එහෙත් කෝපි සහ තේ වතු සඳහා සුදු පාලකයන් එම කැලෑ බිම් හෙලි කෙරීමත් සමග එයින් ඇතිවූ පරිසර හානී වලට අමතරව ගම්මුන් විසින් සිය ගවයන්ගේ ආහාර අවශ්‍යතා සඳහා භාවිතා කල උස් බිම් වල පිහිටි පතන් බිම්ද ඔවුන්ට අහිමි වූ බවට වෙනත් වාර්තා වලින් තොරතුරු ඉදිරිපත් කල හැක. ඒ හේතුව නිසාම ගම්මුන් සහ වතු හිමියන් අතර නොයෙකුත් ගැටුම් ඇතිවී ඇත. තවද එම වන භූමි වල ගැමියන් විසින් සිදු කල හේන් වගාව ඔවුන්ට තවදුරටත් කරගෙන යාමට නොහැකි විය. අද හේන් වගාව පරිසර විනාශයක් ලෙස අර්ථ දක්වා ඇති මුත් එය එසේ නොවන බව ඒ පිළිබඳව සිදු කල අධ්‍යයන වලින් පෙන්වා දිය හැක (ඒ පිළිබඳව කතා කිරීම මෙම ලිපියේ සන්දර්භය ඉක්මවා යෑමක් වන බැවින් සම්පූර්ණ කැලය එලි කර තණකොල ගසක් වත් වැවීමට නොදී සදාකාලිකව පොහොර සහ කෘමිනාශක යොදමින් සිදු කරන තේ වගාවත්, කැලෑ ගිනි තබා (ලොකු ගස් බොහෝ විට විනාශ නොවී ඉතිරි වේ) විවිධ භෝග වවා, එක කන්නයකින් පසු නැවතත් වසර 6 ක් වත් කැලය වැවීමට අතහරින හේන් වගාවත් අතරින් වඩා පරිසර හානියක් සිදුවන්නේ කුමකින්ද යන්න පමණක් සිතා බලන්න)
දොලොස්බාගේ ප්‍රදේශයේ මියන්ගොල්ල සහ බෙරවිල ප්‍රදේශ අතර පිහිටි Pen-Y-Lan තේ වත්ත
19 වන සියවස අවසාන භාගය වන විට උඩ පළාතට අයත් ඉහත කෝරළ දෙකේ සීමාව තුල පිහිටි ගම් වල නොයෙකුත් තොරතුරු මෙතැන් සිට ඉදිරිපත් කරමි. මෙහිදි පෙර සිටි රජවරුන් සහ ප්‍රභූ වරුන් විසින් සිංහල බෞද්ධ ජනයා වැඳුම් පිඳුම් සිදු කල විහාර සහ දේවාල වලට පිරිනැමූ ගම් වලට අයත් ඉඩම් සුදු අධිරාජ්‍යවාදීන් විසින්  අත්පත් කර ගැනීමේ මූලික පියවරක් ලෙස එම ඉඩම් එවැනි ආයතන වලට අයත් ලෙස නොපිලිගත් ආකාරය සහ ඒවා එතෙක් පැවති ලෙසින් රජයට බදු නොගෙවන ඉඩම් ලෙස පිළිගැනීම නැවතූ ආකාරය මෙම ගම් බොහෝමයකදී දැකගත හැක. තවද උඩරට ප්‍රදේශ වලට සංක්‍රමණය වූ ඉස්ලාම් දහම ඇදහූ ජනයා ඔවුන්ගේ ආගමික අනනය්‍යතාවයන්ද පවත්වා ගනිමින් බෞද්ධ විහාර සහ සිංහල බෞද්ධ දෙවිවරුන්ගේ දේවාල ආදියටද සේවා සපයමින් (ඒ වෙනුවෙන් පෙරලා ඔවුන්ට පදිංචියට සහ වගා කිරීමට අවශ්‍ය ඉඩම් ලැබිණි.) සිංහල බෞද්ධ සංස්කෘතිය සමග මුහු වූ හෝ වෙමින් තිබූ ආකාරද හඳුනාගත හැක. (ඉංග්‍රීසි පාලකයන්ගේ විහාර දේවාල වලට අයත් ඉඩම් පවරා ගැනීම සහ ඔවුන් අනුගමනය කල බෙදා වෙන් කර පාලනය කිරීම උදෙසා විවිධ ජන වර්ග වෙනම ජාතීන් ලෙස සලකා ඔවුන්ට කප්පම් දීමේ ක්‍රියා පිළිවෙල නිසා පසුකාලීනව එම ක්‍රියාදාමය ඇන හිටි අතර, සුළු ජන වර්ග, වර්ගවාදය කරා තල්ලු කිරීමද සිදුවිය. එහි  හානිකර ප්‍රථිපල අද දක්වාම දැක ගත හැක.)

දොළොස්බාගේ
උඩ පළාත දිසාවට අයත් දොළොස්බාගේ දකුණින් පස්බාගේ කෝරළයෙන්ද, බටහිරෙන් පාත බුලත්ගම රටින්ද, උතුරින් සතර කෝරළය මහ දිසාවට අයත් පරණකුරු කෝරළයෙන්ද මායිම් වේ. එක් බාගයකට ගම් හතර බැගින් වූ බාග 3 කින් සැදි දොළොස්බාගය මේ ආකාරයෙන් සැදී ඇත.
Craighead Junction - Dolosbage
ගිරාඋල්ල හතරබාගේ 
  • ගිරාඋල්ල - ගම්මුන් විසින් සෑදූ විහාරයක් මෙම ගමේ තිබූ බවත් එයට ඔවුන් පිරිනමා තිබූ පෑල 2 ක ( අක්කරයක පමණ) ඉඩම බදු වලින් නිදහස් කිරීම උදෙසා කල ඉල්ලීම විහාර දේවාල ගම් කොමසාරිස්(Temple Lands Commissioner) විසින් ප්‍රතික්ශේප කල බවත් ලෝරි පවසයි. මෙම ගම තුල වූ කරගල නම් වූ ගමේ කෝවිලක් තිබූ බව සඳහන්ය.
  • මීතලාව
  • පොල්මලගම ගල්පාය නම් වූ කුඩා ගමක් (Hamlet) පොල්මලගම තුල තිබී ඇත.
  • තෙලිහුන්න
මැදගන් හතරබාගේ
  • අම්බලන්පිටිය - හකුරු සෑදීමේ රාජකාරියේ නිරත වූ වහුම්පුර කුලයට අයත් ජනයා ජීවත් වූ ගම්මානයකී. පැල්ලේපිටිය නම් වූ කුඩා ගමක්ද අම්බලන්පිටිය ගම්මානයේ තිබී ඇත.
  • අම්පිටිය යටපාන ගම තුල වූ කුඩා ගමක් ලෙසද හඳුන්වා ඇත.
  • වැටකේදෙණිය - යටපාන සහ අම්පිටිය වෙල් විදානේ යටතේම පාලනය වූ ගමකි.
  • යටපාන - අම්පිටිය, පදුවල, තියඹරා අම්බේ සහ පිටකන්ද මෙම ගමෙහි වූ කුඩා ගම් බව සඳහන්ය. යටපාන පත්තිනි දේවාලයට දිගු කාලයක් අයත්ව තිබූ ලාහ කීපයක් වූ ඉඩම්ද බදු වලින් නිදහස් කිරීමට කල ඉල්ලීම ප්‍රතිශ්ෂේප වී ඇත.
උඩුවැල්ල හතරබාගේ
  • බෙරවිල
  • මියනගොල්ල මියනගොල්ල ගම තුල අළුගොල්ල නම් කුඩා ගමක්ද තිබී ඇත.
  • පට්ටිතලාව
  • උඩුවැල්ල - මෙම ගමෙහි පිහිටි උඩුවැල්ලේ විහාරය නම් විහාරයට අයත් විහාරේවත්ත, හසලන්ගේවත්ත, බෝගහමුල අස්වැද්දුම සහ වෙඬරුපිටියේ ලියැද්ද යන ඉඩම් බදු වලින් නිදහස් කරන ලෙස ඉන්දශ්වර උන්නාන්සේ විසින් කල ඉල්ලීම විහාර දේවාල ගම් කොමසාරිස් විසින් 1858 දී ප්‍රතිශ්ෂේප කල බව සඳහන්ය. මෙහි පැරණි විහාරයක් තිබී එය විනාශ වී තිබී ඇත (ප්‍රතිශ්ෂේප වීමට හේතුව විහාරයක් ඒ වන විට නොතිබීමද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් මෙම ගමේ වෙනත් විහාරයක්ද තිබී ඇත.)
දොලොස්බාගේ 
ලෝරි පවසන ලෙසට 19 සියවසේ අවසාන භාගය වනවිටද දොළොස්බාගේ වැඩි භූමි ප්‍රමාණයක් කෝපි සහ තේ වගාවෙන් යුක්ත විය.1871 වනවිට එහි වතු 28 තිබී ඇති අතර ලෝරි ඒ වනවිට (1896) තිබූ වතු 57 ක ලැයිස්තුවක් ඉදිරිපත්කරයි.
උඩ පලාත දිසාවයට අයත් දැනට හඳුනාගත හැකි 19 ශතවර්ෂය අවසාන කාලයේ තිබූ මෙම ලිපියෙන් විස්තර ඉදිරිපත් කර ඇති කෝරළ තුල පිහිටි ගම් මෙම සිතියමේ ලකුණු කර ඇත. මෙහි නිල් පාටින් දොළොස්බාගේට අයත් ගම්ද. එම යුගය වන විට දොළොස්බාගේද ඇතුලත් කර තිබූ ගඟ ඉහල කෝරළයේ අනෙකුත්ගම් රෝස පාටින්ද, ගඟ පහල කෝරළයේ ගම් කොළ පැහැයෙන්ද පෙන්වා ඇත. මෙම කෝරළ බෙදීම කෙතරම් කඳු පංති සහ ඇල දොළ වල පිහිටීම අදාල කරගෙන සිදු කර ඇත්ද යන්න බලන්න. මෙම සිතියමේ දැක්වෙන ත්‍රිමාන භුවිෂමතාවයන් එකල මේ ආකාරයෙන් දැකගැනීමේ කිසිදු තාක්ෂණික හැකියාවක් නොතිබුනද පැරණි ප්‍රදේශ බෙදීම් එම භූමියේ වූ ලක්ෂණ වලට කෙතරම් අනුකූල ව සිදු කර ඇත්ද යන්න බලන්න. අද මෙරට ඇතැම් බෙදීම් විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ බෙදීම් සිදු කර ඇත්තේ තනි කෙලින් ඉරි ගසා බවට මෙහිදී සිහිපත් කර ගැනීමද වැදගත්ය.
ගඟ ඉහල කෝරළය
උඩ පලාතට අයත් ගඟ ඉහල කෝරළයට දොළොස්බාගේද අයත් වේ. නැගෙනහිරෙන් මහවැලි ගඟෙන්, දකුණින් උඩ බුලත්ගමින්, සතර කෝරළයෙන් බටහිරෙන් සහ ගඟ පහල කෝරලයෙන් උතුරින් එය මායිම් වේ. දොළොස්බාගේ කොටසට අයත් ලෙස ඉහත දැක්වූ ගම්මාන වලට අමතරව පහත විස්තර වන ගම් ගඟ ඉහල කෝරළයේ තිබී ඇත.
  • බෝවතුර - බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත.
  • ගම්පොල වෙලරජ ඇල මගින් වගා කල කුඹුරු සහිත ගමකි. උඩ පලාතට අයත් රජ ඇල විශාල ප්‍රදේශයකට වගාව සඳහා ජලය සැපයූ පැරණි වාරි ව්‍යාපෘතියකි. නටබුන්ව පැවති එහි අමුණ 1855 වසරේදී පානබොක්කේ රටේ මහත්මයාගේ (ජ්‍යෙෂ්ඨ) දැනුම්දීම මත ඉංග්‍රීසි රජය විසින් ප්‍රතිශංස්කරණය කර ඇත. විගුලවත්ත සෙල්ලිපිය මෙම ගම තුල පිහිටා ඇත. විහාරයක් මෙන්ම කළු බණ්ඩාර දෙවියන් උදෙසා වූ කෝවිලක්ද මෙම ගම තුල තිබී ඇත.
  • ගොඩගම - කොටසක් ගඟ ඉහල කෝරලයටද ඉතිරි කොටස ගඟ පහල කෝරලටද අයත් වන ගොඩගම ගම්මානය තුල, අම්බුලුවාව කන්ද පාමුල සිංහයාපිටිය නම් වූ තැනිතලා ප්‍රදේශයේ ගම්පොල රාජධානියේ රජුන්ගේ  පැරණි "නුවර" පිහිටා තිබී ඇත. මෙම ගමේ පිහිටි පොල්වත්තේ විහාරයට රාජපක්ෂ දුරයා නම් පුද්ගලයෙකු විසින් කිසියම් රජකෙනෙකුගේ සමයකදී පිරිනැමූ ඉඩම් සඳහා බදු ගෙවීමෙන් නිදහස් වීමේ ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත.
  • හලගම - බෙරවා කුලයේ ජනයා වාසය කල තැඹිලිගල වසමට අයත් ගම්මානයකි.
  • හතුගොඩ - ප්‍රධාන වශයෙන් බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත.
  • හෙරකොල - බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත.
  • කුඩමකේ - තවත් බෙරවා කුලයේ ජනයා වාසය කල ගම්මානයකි. එරෑගොඩ සහ කුරුකුඩේ කුඩමකේ ගම තුල වූ කුඩා ගම් ලෙස සඳහන් කර ඇත.
  • එරෑගොඩ - කුඩා පත්තිනි දේවාලයක් රෝහල අසල කෑලෑව තුල තිබී ඇත.
  • තැඹිලිගල (උඩු ගම සහ පල්ලේ ගම) - පදුවෝ හෙවත් දුරයෝ කුලයට අයත් ජනයා පල්ලේගම කොටසේද, නිලමක්කාරයෝ උඩගම කොටසේද විසූ බව සඳහන්ය. ගම හරහා රජ ඇල වැටී ඇති අතර, අම්බලමක් සහ තැඹිලියගල දේවාලයද මෙම ගම තුල තිබී ඇත.
  • උලපනේ - ජනප්‍රවාදගත තොරතුරු වලට අනුව උලපනේ සීතාවක රාජසිංහ රජු කල හිඟුරුවත්තේ දිසාවට අයත් නින්දගමකි. එහෙත් රාජද්‍රෝහී අපරාදය යටතේ ඔහුව උල හිඳුවා, ඔහුට අයත් ඉඩම් රාජ සන්තක වූ පසු වර්ෂ 1707 දී පමණ නරේන්ද්‍රසිංහ රජු එම ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් හඟුරන්කෙත මහ දේවාලයට පවරා දී ඇත. උලපනේ ගමේ ගම්මුන් සියල්ලම පාහේ හඟුරන්කෙත දේවාලයේ සේවා සිදු කල මුත් විහාර දේවාලගම් කොමසාරිස් විසින් දේවාලයට අයත් ඉඩම් ලෙස පිළිගෙන ඇත්තේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි.
  • වල්ලහගොඩ - පෙරදී වනවාසගොඩ හෙවත් වල්වාසගොඩ ලෙසින් හැඳින්වූ ඉතා පැරණි ප්‍රදේශයකි. වල්ලහගොඩ විහාරයට අයත් ඉඩම් පිළිබඳව ඉන්දසාර උන්නාන්සේ දැක්වූ අයිතිය විහාර දේවාලගම් කොමිසම විසින් ප්‍රතික්ශේප කර ඇත්තේ එම හිමිකම ඔප්පු කිරීම උදෙසා ඒ හිමියන් සතුව තල්පතක් නොමැති බව කියමිනි. පෙර ගොඩගම නුවර පිහිටි රජ මාළිගයේ දොරටුව දෙපස තිබූ ශෛලමය සිංහ රූප දෙකින් එකක් වල්ලහගොඩ පිහිටි කතරගම දේවාලයේ තිබූ බව ලෝරි පවසයි (අනෙක් සිංහ රූපය සිංහයාපිටිය අම්බලම අසල එවකට තිබී ඇත.)
  • කැන්දගොල්ල
අම්බුළුවාව කන්ද
ගඟ පහල කෝරළය
නැගෙනහිරෙන් මහවැලි ගඟින්, දකුණින් ගඟ ඉහල කෝරළයෙන්, බටහිරෙන් සතර කෝරළයෙන් සහ උතුරින් උඩුනුවර රටින් වට වූ ගඟ පහල කෝරළය තුල තිබූ ගම් ලෙස පහත ගම් හඳුනාගත හැක.
  • බෝවල -  ගබඩාගමක් ලෙස පැවසෙන මෙම ගම තුල සිංහලේ අවසාන රජුට අයත් පුවක් ගබඩා කර තිබී ඇත. මෙහි තිබූ හපුගස්තැන්නේ විහාරය හෙවත් පාලු විහාරය 1858 ට බොහෝ කලකට පෙර අතහැර දමා තිබූ හෙයින් එම විහාරය උදෙසා ඉදිරිපත් කල බදු වලින් නිදහස් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. උපාසකගේ නම් වූ පවුලට අයත් ජනයා එහි බෝ මළුව පිරිසිදු කිරීම ආදී සේවාවන් සිදු කරමින් සිට ඇත. පසුව ඒ අසල අලුත් විහාරයක් ඉදි කර ඇත. උඩපලාතේ මාම්පිටියේ රටේ මහත්මයා මෙම ගම්මානයේ ජීවත් වී ඇත. පහත්කුඹුර නම් වූ කුඩා ගමක්ද මෙම ගම තුල තිබී ඇත.
  • ඇල්පිටිය - රත්වත්තේ දිසාව විසින් අස්වැද්දූ රාජකීය කෙත් සහිත ගමකි. ගල්ගෙඩි ඔය මගින් ජලය සපයන රජ ඇල මෙම ගමටද වගාව සඳහා ජලය සපයයි. සැතපුම් 3 දිග එම ඇලේ අමුණ කිරින්දේ ගම තුල පිහිටා ඇත. බොහෝ කලකට පෙර ගම තුල පදිංචි වූ මුස්ලිම්වරු කිහිපදෙනෙක්ද ඇල්පිටිය ගමේ එවකට සිට ඇත. ඔවුන් රජුට ගැල් වලින් බඩු ගෙන ඒමේ සේවාව (මඩිගේ) සිදුකර ඇත. ඉංග්‍රීසීන් විසින් ඉදි කල කොටුවක්ද ගම තුල කන්දක් උඩ තිබී ඇති අතර එය තිබූ කඳු වැටිය ඔස්සේ මහනුවර සිට ගම්පොල දක්වා වූ පැරණි මාර්ගය තිබී ඇති බව පැවසේ. ගනේගොඩ දේවාලයට අයත් ඉඩම් වල විසූ මෙහි සිටි මුස්ලිම් ජනයා එම දේවාලයට ලුනු සැපයීමේ සේවාව ඉටු කර ඇත. ඇල්පිටියේ වලව්ව පානබොක්කේ පරපුරට අයත් වලව්වකි. මෙම ගමේ විහාරය සතු ඉඩම් සඳහාද බදු වලින් නිදහස් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ශේප වී ඇත. 
  • ගම්පොල - ගඟ පහල කෝරලයට මෙන්ම ගඟ ඉහල කෝරලයටද අයත් වූ ගම්පොල ඒ වනවිටද උසාවියක්, පොලීසියක්, ටෙලිග්‍රාප් කාර්යාලයක්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලි, හින්දු කෝවිල්, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂා පාසැල් , දුම්රිය ස්ථානයක් සහ තානයමක්ද තිබූ නගරයකින්ද යුක්ත විය. මහවැලි ගඟ හරහා එල්ලෙන පාලමක්ද තිබී ඇත.
Gampola Athletic & Cricket Club - Gampola
  • කහටපිටිය - වෙල්ලාල  එනම් ගොවි කුලයේ ජනයා, බඩහැල් කුලයේ එනම් මැටි කර්මාන්තයේ නියැලෙන පිරිස් සහ මුස්ලිම් ජනයා වාසය කල ගමකි.  පානබොක්කේ පරම්පරාවට අයත් පැරණි වලව්වක්ද මෙම ගම තුල තිබී ඇත. පානබොක්කේ රටේ මහත්මයාගේ (ජ්‍යෙෂ්ඨ) සොහොන පවා තිබූ උනම්බුවේ පරම්පරාවට අයත් ගම තුල පිහිටි සුසාන භූමියේ ඒ වන විට චර්ච් මිෂණාරි පාසැලක් (A Church Missionary School) ඉදිකර තිබී ඇත. ප්‍රකට මුස්ලිම් පල්ලියක් කහටපිටියේ තිබී ඇති අතර එහි පිහිටි "මක්කම් සොහොන් ගෙය" මක්කම සිට එහි පැමිණි ශාන්තුවරයෙකුගේ බව පැවසේ. 'බේත්ගේ' හෙවත් රජුගේ වෛද්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත මුස්ලිම් වෙද පරපුරක් උඩුනුවර සිට පැමිණ මෙහි පදිංචි වී සිට ඇත. ඇම්බැක්ක, ගඩලාදෙනිය, ලංකාතිලක, වල්ලහගොඩ සහ වේගිරිය දේවාල වල පෙරහැරවල් දියකැපීමේ කාර්යය සිදු කල බෝතලපිටියේ බෝමළුව මෙම ගම තුල පිහිටා තිබූ අතර මහවැලි ගඟේ පිහිටි පෝරුතොට නම් ස්ථානයේ දියකැපීම සිදු කර ඇත. ජනප්‍රවාද වලට අනුව මෙම බෝමළුවේ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ දේහය ආදාහනය කිරීමද සිදු කර ඇත. නටබුන් තත්වයේ පැවති ගංගාතිලක විහාරයේ 1858 දී කහටපිටියේ රත්නපාල උන්නාන්සේ විහාරාධිපති පදවිය දරා ඇත. උනම්බුවේ මොහොට්ටාල සහ උනම්බුවේ රටේ මහත්මයා ඉල්ලවතුරේ විහාරයට පූජා කල ඉඩම්ද මෙම ගම තුල තිබී ඇත.
ගම්පොල - මාවනැල්ල මාර්ගයට (B279) දිස්වන දොලොස්බාගේ සහ සතර කෝරලය ප්‍රදේශයේ කඳු
  • කිරින්ද - උඩෝවිටකිරින්ද සහ ඇල්පිටිය  කිරින්ද ආරච්චි වසමට අයත් ගම් වේ. කිරින්ද ගමේ ඉඩම් විශාල ප්‍රමාණයක් කිරින්දේ වලව්වට අයත්ව තිබී ඇති අතර එම වලව්වට සේවා සැපයූ වහුම්පුර කුලයේ පිරිස හැරුන විට ගමේ සෙසු පුද්ගලයන් ගොවි කුලයට අයත් පුද්ගලයන්ය. පරාක්‍රමබාහු නම් රජෙකුගේ රාජ්‍ය කාලයේ ලංකාධිකාරි නම් පුද්ගලයෙකු ඉදිකල බව පැවසෙන කිරින්දේ පරණ විහාරය සහ පසු කලක ඉදි කල කිරින්දේ අලුත් විහාරය ලෙසින් විහාර දෙකක් මෙම ගම තුල තිබී ඇත. අලුත් විහාරයේ ඉඩම් ලියාපදිංචියට ඒ වන විටද වසර 23 ක් එම විහාරයේ විහාරාධිපති ධූරය දැරු හලදස්සී උන්නාන්සේ කල ඉල්ලීම 1858 දී ප්‍රතික්ශේප වී ඇත්තේ උන්වහන්සේ සතුව එය තහවුරු කිරීම උදෙසා රජුගෙන් ලද සන්නසක් නොමැති වීම හේතුවෙනි. නමුත් වෙනත් රදලයන් විසින් විහාරයට ඉඩම් පූජා කිරීම් පිළිබඳව වූ සන්නස් 4 ක පරිවර්තන ලෝරි ඉදිරිපත් කර ඇත.
  • කිරපනේ - කිරපනේ මොල්ලිගොඩපිටිය, අගලකුඹුර සහ  ඉල්ලවතුර කිරපනේ ආරච්චි වසමට අයත් ගම් වේ. සිංහයාපිටිය වත්තේ ජෝජ් බර්ඩ් (Mr. George Bird of Sinhayapitiya estate) නම් ඉංග්‍රීසි ජාතිකයෙකු 1834 වසරේදී මෙම් ගමේ කොස් ගසක් මත තිබූ පැලක සිට වන අලි තිදෙනෙකු වෙඩි තැබූ බව ලෝරි පවසයි. එම යුගය වන විටද වන අලි මෙම ප්‍රදේශයේ සැරිසැරූ බව ඔහු එම වෙඩි තැබීම සිදු කලේ වන අලින්ගෙන් ආරක්ෂා වී රාත්‍රිය ගත කිරීම උදෙසා ගම්මුන් විසින් තැනූ පැලක් තුල සිට බව පැවසීමෙන් පැහැදිලි වේ. මහනුවර කතරගම දේවාලයට සහ නියංගම්පාය විහාරයට සේවා ඉටුකල පුද්ගලයන් මෙම ගමේ සිට ඇත.
  • රත්මලකඩුව - විදාන දුරයා කෙනෙකු යටතේ පාලනය වූ ග්‍රාමයකි. නියංගම්පාය විහාරයට හේවිසි සේවාව සැපයූ ජනයා මෙම ගම තුල සිට ඇත.
ගම්පොල-පුපුරැස්ස මාර්ගයට (B125) දිස්වන අම්බුළුවාව කඳු පංතිය. මෙම කඳු පහල පෙදෙසේ ගඟ ඉහල කෝරළය සහ ගඟ පහල කෝරළයට අයත් ගම් පිහිටයි
  • උනම්බුව- වෙල්ලාල හෙවත් ගොවි කුල ජනයා විසූ ගමකි. තෙන්නකෝන් වාසගම සහිත පරම්පරාවට අයත් උනම්බුවේ වලව්ව මෙම ගමේ පිහිටා තිබී ඇත. සිංහලේ අවසාන රජ සමයේ බත්වඩන නිළමේ ධූරය දැරූ නිළමේ වරයෙකු 1818 දක්වාත් මෙම ගමේ වාසය කර ඇති අතර එම වර්ෂ වල සිදුවූ උඩරට නිදහස් අරගලයේදී කැරලිකරුවන් විසින් ඔහුගේ නිවස ගිනි තබා ඔහුව සිර භාරයට ගෙන ඇත.  කිරින්දේ අලුත් විහාරයට ඔහු තෙවරක්ම ඉඩම් ප්‍රදානය කර ඇත. 1804 ඉංග්‍රීසින් සමග යුද්ධයේදී කල සේවය වෙනුවෙන් මෙම ගමේ විසූ කූණමඩුවේ ලේකම් ධූරය දැරූ උනම්බුවේ රාජකරුණා තෙන්නකෝන් වාහල මුදියන්සේ සන්නසක් ලබා ඇත. 1815 ඉංග්‍රීසීන්  පැමිණීමට ටික කලකට පෙර කොත්මලේ රටේ මහත්මයා වූ උඩපලාතේ උනම්බුවේ මොහොට්ටාල ඉල්ලවතුරේ විහාරය ඉදිකර එයට ඉඩම් ප්‍රදානය කර ඇත. මෙම විහාරයේ ඉඩම්  බදු වලින් නිදහස් වීම උදෙසා කල ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත (ලෝරි සඳහන් කරන ආකාරයට ඉල්ලවතුර මුස්ලිම් ගම්මානයකි.) උනම්බුවේ මැද වලව්ව නමින් වූ වලව්වක් පිළිබඳවද ලෝරි සඳන් කර ඇත. උනම්බුවේ ගමේ විසූ මෙවැනි රදල පවුල් වල සාමාජිකයන් විශාල පිරිසකගේ විස්තර ලෝරිගේ වාර්තාවේ ඇතුලත්ය. ඒ අතර මීගමුවේ කොටුවට ප්‍රහාර එල්ලකිරීම පිණිස ශක වර්ෂ 1683 (ක්‍රි.ව. 1761) සිය දේපල දරුවට පවරා ගිය අප්පුහාමි නම් වූ රටේ මහත්මයා පදවිය ලැබූ පුද්ගලයෙකු පිළිබඳවද, එවැනිම දේපල පවරා දඹදිව ගිය (Proceed to the Continent of India) උඩපලාතේ උනම්බුවේ මහන්තගේ පුංචිරාල නම් වූ පුද්ගලයෙකු පිලිබඳවද ආදී වූ සන්නස් සහ තුඩපත් කිහිපයක්ද ලෝරි ඉදිරිපත් කරයි. උනම්බුවේ ගම තුල වූ පැරණි විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජු කල ඉදිකර ඇති අතර එයට උනම්බුවේ දිසාව සහ ගම්මුන් ඉඩම් ප්‍රදානය කර ඇත. පැරණි විහාරය අසලම කඳු ගැටයක් මත 1834 දී එවකට උනම්බුවේ උඩපලාතේ දිසාව විසින් අලුත් විහාරය ඉදි කර ඇත.
  • උඩුපිටිය - ගම්පොල පිහිටි කුඩා ගමකි. මුස්ලිම් ජනයා වාසය කර ඇත.
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898

Monday, May 11, 2020

ඉහල මහවැලි නිම්නය ඔස්සේ විහිදුනු පස්බාගේ කෝරළයේ පැරණි ගම්

ඉහත දැක්වෙන කඳුකර වනාන්තරයක උඩු වියන දැක්වෙන ඡායාරූපය මේ ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන පස්බාගේ කෝරළය තුල හමුවන වනාන්තරයක ගත් ඡායාරූපයක් නොවේ. එහෙත් එය පස්බාගේ කෝරළයද අයත් වන උඩ බුලත්ගම රටේ නැගෙනහිර අන්තයේ පිහිටි බොගවන්තලාව ප්‍රදේශයේ සිට බලංගොඩ දෙසට විහිදුනු  B339 මාර්ගයේ බොගවන්තලාව තේ වතු වලට ආසන්නව ප්‍රධාන මාර්ගයේ සිට ගන්න ලද ඡායාරූපයකි (B339 මාර්ගය ශ්‍රීපාද අඩවිය රක්ෂිතය හරහා කිලෝමීටර කිහිපයක් දුර ගමන් කරයි.Video >>) සුදු අධිරාජ්‍යවාදීන් ඉහල කඳුකරයේ කෝපි සහ තේ වතු වගා කිරීමට පෙර මීට පෙර ලිපියකින් අප කතා කල මස්කෙලිය, දික් ඔය, හැටන්, වටවල බොගවන්තලාව ප්‍රදේශ වල කඳු මුදුන් මෙන්ම එම කඳු නිම්න අතරින් ගලා ගිය මස්කෙලිය ඔය, හම්බන්තොට ඔය, කෙහෙල්ගොමුව ඔය මෙන්ම මහවැලි ගඟේ ආරම්භක කොටසද මෙවැනි කඳුකර වනාන්තර වලින් වැසී තිබෙන්නට ඇත. 1815 ට පෙර සිංහලේ ලෙසින් හැඳින්වූ අවසාන සිංහල රාජධානියට අයත් ගම්, නියම්ගම් මෙම උඩ බුලත්ගම ප්‍රදේශයේද අතරින් පතර තිබූ මුත් ඒවා ප්‍රධාන වශයෙන් එහි බටහිර අන්තයේ ගිණිගත්හේන කපොල්ලෙන් ගිණිකොණ සහ ඊසාන දෙසට මහවැලි ගඟ, කෙහෙල්ගොමු ඔය සහ මස්කෙලිය ඔයේ නිම්න දෙපස පිහිටි සම බිම් වල පැතිර තිබූ බව පෙර ලිපියේ (Link >>) මෙන්ම මෙම ලිපියේද පලවන සිතියම් දෙස බැලූ විට පෙනේ. ඉහල කඳුකර වනාන්තර ජල පෝෂක බිම් ලෙසින් ආරක්ෂා කල තහනම් කැලෑ ලෙස පවත්වාගෙන යෑමට පැරණි සිංහලයන්ගේ පරිසරයත් සමග බද්ධ වූ ජීවන රටාව ඉදිරිගාමී විය. එම ජීවන රටාව සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයන් හඳුන්වාදුන් වතු ආර්ථිකය හේතූ වූ අතර සියවස් කිහිපයක් තිස්සේ එමගින් ඇති කල සහ තවමත් අවසන් නැති පරිසර විනාශයක් සිදුවෙමින් පවතී. සෑම වැසි සමයකම සිදුවන නාය යෑම් සහ ජලගැලීම්, විදුලි බල ආවශ්‍යතාවය උදෙසා ඉදි කල ජලාශ කෙටි කාලයක් තුල විශාල ලෙස රොන්මඩ තැන්පත් වී ගොඩවීම. වනාන්තර තුල ජලය තැන්පත්වී ක්‍රමාණුකූලව ඒවා වසර පුරා වැසි නොලඹන සමයේද මුදාහැරීම වෙනුවට වැසි සමය අවසානයත් සමග ඇල දොල හිඳී යාම නිසා මහවැලි යෝජනා ක්‍රමය වැනි මහා පරිමාණ ව්‍යාපෘති මගින් අපේක්ෂා කල මට්ටමේ ප්‍රතිඵල නොලැඹීම එම නිසා අප අත්විදින දරුණු ප්‍රතිඵල කිහිපයකි.

පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කල උඩ බුලත්ගම රට, අඹගොමුව කෝරළයට අමතරව, විශේෂයෙන්ම එහි උතුරු කොටස පස්බාගේ කෝරළය ලෙසින් හැඳින්වෙන කෝරළයෙන් සෑදී ඇත. පස්බාගේ උතුරු දිශාවෙන් දොළොස්බාගේ ප්‍රදේශයෙන්ද, කොත්මලේ රටට අයත් පල්ලෙපොනේ කෝරලයෙන් නැගෙනහිර දෙසින්ද, දකුණු දෙසින් අඹගොමුව කෝරළයෙන්ද බටහිර දෙසින් නැවතත් අඹගොමුව කෝරළයෙන් සහ යක්දෙස්ස දෙසින්ද සීමා වේ. පස්බාගේ කෝරළයේ වයඹ දෙසින් ගලා යන මහවැලි ගඟ මෙන්ම මස්නාවත ඔය, හඟරන් ඔය සහ ගිගිරන් ඔය නිම්නද ඒ තුල පිහිටා ඇත. මෙම කෝරළයේද විශාල ප්‍රදේශයක් වර්තමානය වන විට තේ වගාවට වෙන්වී ඇති අතර පැරණි සිංහල ගම් ලෙස හඳුනාගත හැකි ගම්මාන සම්පූර්ණයෙන්ම පාහේ මහවැලි ගඟේ නිම්නය දෙපස පිහිටා ඇත (ප්‍රධාන මහවැලි නිම්නයට තරමක් ඈතට වන්නට පිහිටා තිබෙන කඩියන්ලෙන ගම්මානයද මහවැලි ගඟේ අතු ගංගාවක් වන කඩියන්ලෙන ඔය අසබඩ පිහිටා ඇත.) ලෝරිගේ ගැසටියර් නාමාවලියේ හමුවන පස්බාගේ කෝරළයේ එවකට තිබූ ගම් සහ ඒවා පිළිබඳව ඔහු ඉදිරිපත් කරන ඇතැම් තොරතුරු පහත ඉදිරිපත් කර ඇති අතර අද හඳුනාගත හැකි එම ඇතැම් ගම් පහත සිතියමේ සලකුණු කර ඇත.






දෑකිඳ - 1881 වර්ෂයේ ගල්බොඩ ප්‍රදේශයේ වූ විශාල තේ වතු වල වැඩ කල කම්කරුවන් අතහැරි විට දෑකිඳ ගම්මානයේ  මිනිසුන් 168 වාසය කර ඇත. මෙම ගම්මානයට මස්නාවත ඔය නිම්නයේ කොටසක් සහ හඟරන් ඔය සහ ගිගරන් ඔය නිම්නද අයත් වූ බවත් එම නිම්න පෙර කල වනයෙන් වැසී තිබූ මුත් පසුව කෝපි වගාවට හෙලි කල බවත් කෝපි වගාව අසාර්තක වීමත් සමග ඔහුගේ කාලය වනවිට නැවතත් සරුසාර තේ වතු බවට පත්වී තිබූ බවත් ලෝරි පවසයි. [පසු සටහන - දැනට දෙකිඳ ලෙසින් ව්‍යවහාර වේ. පහල Comments බලන්න]
කඩවල  - කඩවල අඹගොමුව කෝරලයට අයත් මුත් මහවැලි ගඟේ දකුණු ඉවුරේ පිහිටි එම ගමේ කොටසක් පස්බාගේ කෝරළයට අයත් වේ.
කඩියන්ලෙන - නාවලපිටිය - දිඹුල මාර්ගයේ හමුවන කඩියන්ලෙන සිට පැරණි අඩි පාරක් (Bridle Road) අඹගොමුව දක්වා තිබී ඇත.
බව්වාගම මහවැලි ගඟ හරහා ලැටිස් පාලමක් මෙම ගමේ තිබී ඇත.
කරහඬුගල - දැනට හඳුනාගත නොහැකිමුත් බව්වාගම අසල තිබී ඇති අතර, 1871 ජන සංගණනයේදී බව්වාගම, කරහඬුගල සහ පැණිතුඩුව සමග එකට ගෙන සංගණනය සිදුකර ඇත. [පසු සටහන - කරහඳුන්ගල ලෙසින් තවමත් ඇති ගමකි. පහල Comments බලන්න]
නවන්ගම - බොහෝදුරට නවන්දන්න කුලයේ ජනයා විසූ ගමක් විය හැකි නවන්ගම අද හඳුනාගත නොහැක.

පස්බාගේ කෝරළයේ පිහිටි ලෙස ලෝරි දක්වන මැදගහවතුර, මිපිටියපත්තුණුපිටියපැණිතුඩුව [පසු සටහන - දැනට පැණිතුඩුමුල්ල ලෙසට නම වෙනස් වී තිබෙන ගමකි. පහල Comments බලන්න], වරකාව සහ වැලිගම්පල ගම් අදද එම නම් වලින්ම හඳුනාගත හැක. මේ අතරින් වැලිගම්පොළ නාමය මහා විජයබාහු රජුගේ අඹගමුව සෙල්ලිපියේ ඔහු විසින් ශ්‍රීපාදයට පිදූ ගමක් ලෙසින් හමුවේ Link >>
වරකාව අසල තිබූ බව පැවසෙන කහමනේ ගම එම නමින් අද හමු නොවන මුත් කහවත්ත ලෙසින් වර්තමානයේ නම වෙනස් වී වරකාවට මදක් උතුරින් පිහිටි ගම පැරණි කහමනේ ගම වීමට බොහෝදුරට ඉඩ ඇත.

දෙවොල් දෙවියන් සඳහා වෙන්වු සැවැන්දරාපිටියේ දෙවොල් දේවාලය ලෙසින් හැඳින්වුනු පැරණි දේවාලයක් පල්ලේගම ගමෙහි තිබී ඇති අතර සැවැන්දාරාපිටියේ මුදියන්සේ කපුරාලගෙන් පටන් ගත් අගලකොටුවේ පරම්පරාවට එහි කපු ධූරය පරම්පරාවෙන් උරුමව තිබී ඇත. පල්ලේගමම පිහිටි පස්බාගේ ලෙසින් හැඳින්වූ කුඩා ගමක් පිළිබඳවද ලෝරි විස්තර කරයි. ගඟේ සිට අඩි 50 ක පමණ උසකින් එහි කලකට පෙර හමුදා මුරපොලක් තිබී ඇති අතර 1891 වනවිට පස්බාගේ ගමේ තිබී ඇත්තේ ගෙවල් දෙකක් පමණි. මෙම පස්බාගේ ගම පිළිබඳව මෙන්ම එහි වූ හමුදා මුර පොල පිළිබඳවද සිය ගමන් විස්තරයේදි ඩේවි විස්තර කරයි Link >>
නාවලපිටිය නගරයට දිස්වන දොළොස්බාගේ ප්‍රදේශයේ පිහිටි කබරගල)
19 වන සියවසේ අගභාගය වන විටද රෝහලක්, පොලිස් ස්ථානයක්, තානායමක්, දුම්රිය ස්ථානයක්, කඩවීදියක් මෙන්ම පල්ලි, පාසැල් සහ හින්දු කෝවිල්ද තිබූ නාවලපිටිය නගරයේ මහවැලි ගඟ හරහා විශාල යකඩ ලැටිස් පාලමක්ද වූ බව ලෝරිගේ විස්තරයෙන් පැහැදිලි වේ. 1874 දෙසැම්බර් 21 දින පේරාදෙණියේ සිට නාවලපිටිය දක්වා දුම්රිය ගමනාගමනය ජනයා හට විවෘත වී ඇත.
St. Andrew's Anglican Church - Nawalapitiya
රඹුක්පිටිය - මෙම ගමේ වාසය කල රඹුක්පිටියේ ලේඛම් නම් පුද්ගලයෙක් පැවසූ බවට ලෝරි සඳහන් කරන්නේ හෙට්ටි රත්නායක මුදියන්සේ නම් වූ ඔහුගේ පරම්පරා හතරකට පෙර විසූ මුත්තා සීතාවක රාජසිංහ රජුගෙන් රාජකීය ගබඩාවට හාල් සැපයීම උදෙසා ගම්වරයක් ලද බවත්, පසුව එය ගම්පොල පිහිටි රාජකීය කුඹුරු වල වැඩ කටයුතු උදෙසා ගවයින් සැපයීම සදහා වෙනස් වූ බවත්ය. වර්ෂ 1866 දි රත්නායක මුදියන්සේලාගේ පුංචිරාල සහ ගම්වැසියන් එක්ව පුංචිරාලට අයත් ඉඩමක පන්සලක් ඉදි කල බව පැවසේ. මේ ගමේ පිහිටි රතුවන් දේවාලය (?) නම් දේවාලයක් ගැනද සඳහන් වේ.

මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898

Thursday, May 7, 2020

අඹගොමුව කෝරළයේ පුරාණ සිංහල ගම් සහ දෙවියන්ගේ අඩවිය වසා නැගී සිටි වතු අධිරාජ්‍යය

1815 දී ගිවිසුමකින් කන්ද උඩරට අවසාන සිංහල බල ප්‍රදේශය කපටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පවරා දෙන අවස්ථාව වන විට එවකට සිංහලේ ලෙසින් හැඳින්වූ එම ප්‍රදේශ පළාත් 21 කට බෙදා පාලනය කල බව පෙනේ. ඒවා මහ දිසා 4 ක්, දිසා 8 ක් සහ රටවල් 9 ක් ලෙසට විය. සතර කෝරළේ, සත් කෝරළේ, ඌව සහ මාතලේ මහ දිසා වශයෙන්ද, සබරගොමුව, තුන් කෝරළේ, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න හා තමණ්කඩුව දිසා වශයෙන්ද, උඩුනුවර, යටිනුවර, තුන්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම සහ පාත බුලත්ගම රටවල් ලෙසින්ද එසේ බෙදා තිබුණි. එම ප්‍රදේශ පිළිබඳව සහ ඒවායේ පිහිටි ගම් පිළිබඳව ඉදිරියට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන ලිපි පෙලක පළමු ලිපිය මෙසේ උඩ බුලත්ගම රටට අයත් අඹගොමුව කෝරළයෙන් ආරම්භ කරමි.

සිංහලේ පැරණි බෙදීම් අතර වූ උඩ බුලත්ගම දකුණින් සබරගමුව දිසාවෙන්, බටහිරෙන් සතර කෝරළයෙන්, උතුරින් දොළොස්බාගේ ප්‍රදේශයෙන් සහ නැගෙනහිරෙන් කොත්මලේ රටින් මායිම් වේ. උඩ බුලත්ගම නැවතත් කෝරළ දෙකකට බෙදා තිබූ අතර ඒවා අඹගමුව සහ පස්බාගේ ලෙසින් හැඳින්වේ. මෙම ලිපියෙන් අඹගමුව කෝරළය පිළිබඳව ප්‍රධාන වශයෙන් 1872 සිට 1892 දක්වා මහනුවර දිසා විනිසුරු ලෙසින් සේවය කල A.C. ලෝරි විසින් සම්පාදනය කල ගැසටියර් නාමාවලිය (A Gazetteer of the Central Province of Ceylon Volume 1 & 2) අනුසාරයෙන් කරුණු ඉදිරිපත්  කිරීමට බලාපොරොත්තු වෙමි.
මස්කෙලිය ඔය හරස් කර ඉදිකල මාඋස්සාකැලේ ජලාශය
අඹගමුව කෝරළය ප්‍රධාන ගංගා නිම්න තුනකින් පෝෂණය වන ප්‍රදේශයක් ආශ්‍රීතව පිහිටා ඇත. මහවැලි, කෙහෙල්ගමු ඔය සහ මස්කෙලිය ඔය එම ගංගා නිම්න තුනයි. සුදු අධිරාජ්‍යවාදීන් පළමුව කෝපි සහ පසුව තේ වගා සඳහා එම ප්‍රදේශ එලි කිරීමට ප්‍රථමයෙන් ඝන වනාන්තර වලින් එම නිම්න වැසී පැවතුන බව ලෝරි සඳහන් කරයි. සිය ගැසටියර් නාමාවලිය සම්පාදනය කරන යුගය වන විට (1896) එම සියළු වනාන්තර බිම් අඹගමුව, පහල දික් ඔය, බොගවන්තලාව සහ මස්කෙලිය වැවිලි දිස්ත්‍රික්ක බවට පත්වී තිබූ බව ඔහු පවසයි. ලෝරි වැඩිදුරටත් පවසන්නේ එම කෝරළයේ උඩරට සිංහල ජනයා  සුළු ප්‍රමාණයක් පමණක් වාසය කල බවත් ඔවුන් වගා කල සමතලා භූමි ආශ්‍රීතව පමණක් විසූ බවත්ය (Kandyan population is small and is confined to localities where the land is level and irrigated). ඉහල කඳුකර පෙදෙස් ජල පෝෂිත ප්‍රදේශ ලෙසින් ආරක්ෂා කරමින් පහත් තැනිතලා බිම් වගා බිම් ලෙසින් සහ වාසභූමි ලෙසින් යොදාගත් පරිසර හිතකාමි සිංහල ජීවන රටාව ලෝරිලා එවකට හඳුනාගෙන නොතිබූ අතර ඔවුන් ඉහල කඳුකර බිම් මුළුමනින් නිරුවත් කර තේ සහ කෝපි වගාබිම් ඉදිකලහ.
කෝපි සහ තේ වගා සඳහා එලි කිරීමට පෙර ශ්‍රීපාද අඩවිය දක්වා විහිදුනු බොගවන්තලාව ප්‍රදේශයේ වනාන්තර බිම් තේ වගාවෙන් අද වැසී පවතින ආකාරය
අඹගමුව කෝරළයේ පැරණි ගමක් වන අඹගමුව පිළිබඳව වර්ෂ 1819 දී ඒ හරහා ගිය ඩේවි වාර්තා කර ඇති අතර සුප්‍රසිද්ධ අඹගමුව සෙල්ලිපියද එහි පිහිටි අකුරුකෙටූගල කන්ද ලෙසින් හැඳින්වෙන ස්ථානයේ හමුවේ.

ඩේවිගේ මාර්ග විස්තරය පිළිබඳව වූ ලිපිය කියවීමට >>
අඹගමුව සෙල්ලිපිය පිළිබඳව වූ ලිපිය >>

අඹගමුව කෝරළයේ පිහිටි විශාල ගම්මානයකි කෙහෙල්ගමුව. දික් ඔය සහ බොගවන්තලාව වතු දිස්ත්‍රික්ක අයත් වන්නේද කෙහෙල්ගමුවට ලෙස ලෝරි දක්වයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ කඳු බෑවුම් සහ නිම්න ඔස්සේ තේ වගාව ඇරඹීමට පෙර එම ප්‍රදේශය මුළුමනින්ම පාහේ රාජකීය කැලෑ ප්‍රදේශ බවය. එහෙත් 1881 වසරේදී මුළු ජනගහණය 888 වූ කෙහෙල්ගමුව ප්‍රදේශයේ වූ ලෙස ලෝරි දක්වන ඇතැම් ගම්මාන පෙර සිට පැවතුන බව පෙනේ. ඒවා නම් අඹතලාව, ඇල්ලේඋඩගම, කඳුරේගොඩ, තිනියගල, හෝමාගම සහ හොරකඩයි. මෙම ගම්මාන වල 1891 දී මුළු ජනගහනය 1157 ව තිබී ඇති අතර ඉහත ගම්මාන වලට අමතරව කඩවල සහ කලවැල්දෙනියද එම වසරේ සංගණනයේදී සැලකිල්ලට ගෙන ඇත.
කෙහෙල්ගොමු ඔය නිම්නය.  මෑත පිහිටි කඳු පංතිය සහ ඈතින් දිස්වන කඳු පංතිය අතර මස්කෙලිය ඔය නිම්නය පිහිටා ඇත. ඡායාරූපය ගෙන ඇත්තේ B71 මාර්ගයේ වටවල සහ නොර්ටන් බ්‍රිජ් අතර ස්ථානයකදීය
අඹතලාව ග්‍රාමයේ 1891 වසරේ සංගණනයට අනුව පුද්ගලයන් 31 දෙනෙකු සිට ඇත. සීත ගඟුල නමින් වූ ගම්මානයක්ද අඹගමුව කෝරලයේ තිබී ඇති බව ලෝරිගේ සටහන් වල හමුවේ. 1891 වසරේදී එහි පදිංචිව සිට ඇත්තේ මිනිසුන් දෙදෙනෙකු සහ ගැහැණුන් දෙදෙනෙකු පමණි. මේ ශ්‍රීපාද මාවතේ පිහිටි සුප්‍රසිද්ධ සීත ගඟුල ආශ්‍රීත ප්‍රදේශයේ තිබූ ගම්මානයක්ද යන්න පැහැදිලි නැත. කෙසේ නමුත් වර්තමාන සීත ගඟුල ප්‍රදේශයද අඹගමුව කෝරලයේ සීමාව තුල පිහිටා ඇත. [පසු සටහන - සීතගඟුලගම නමින් ගම්මානයක් නොර්ටන් - මස්කෙලිය B328 මාර්ගයේ 76 - 77 කිලෝමීටර කණු අතර මාර්ගයේ දකුණු පසින් මස්කෙලිය ඔයේ වම් ඉවුරේ මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. මෙය පැහැදිලිවම ලෝරි සඳහන් කරන සීතගඟුල විය යුතුය.යටිගන්හුලහ ලෙසින් හැඳින්වූ ප්‍රදේශයට ගම්මාන කිහිපයක්ම අයත් වී ඇත. දාගම්පිටිය, ගෝනාවල, මැඩිල්ලපදුපොල සහ පිටවල ලෙසින් ඒවා දක්වා ඇත. යටිගන්හුලහේ ග්‍රාමයට අයත් කුඩා ගමක් වන ගෝනාවල ගමෙහි ගම්මුන් 63 ක් 1881 වසරේ සිට ඇති මුත් එම සංඛ්‍යාව 1891 වන විට 52 දක්වා පහල බැස ඇත. එහිම පිහිටි ලෙස දක්වා ඇති පදුපොල ලෙසින් හැඳින්වූ තවත් කුඩා ගමක 1881 දී 281 වූ ජනගහණය 1891 වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් 189 දක්වා පහල බැස ඇත. දාගම්පිටිය ග්‍රාමයේ 1881 වසරේ මෙන්ම 1891 සංගණනයෙහිද හමුවූ පුද්ගලයන් ගණන 53 කි. මැඩිල්ල ග්‍රාමයේ පිළිවෙලින් 1881 සහ 1891 වසර වල ජනගහනය 83 සහ 170 ලෙසින්ද, පිටවල 1891 වසරේදී එය 131 ලෙසින්ද දක්වා ඇත. තිනියගලද (Tuniyagala) දැනටද හඳුනාගත හැකි මෙම ප්‍රදේශය ආශ්‍රිතවම හමුවන එවකට තිබූ ගම්මානයකි.
අඹගොමුව කෝරලයේ බටහිර සීමාව වන කඳු පංතිය. පෙරබිමෙහි මස්කෙලිය ඔය නිම්නය දැක ගත හැක. කිරිවන්එළිය ප්‍රදේශයේදී B328  මාර්ගයේ සිට ඡායාරූපය ගෙන ඇත.
අඹගමුව කෝරලයේ අනෙකුත් ගම්මාන සමග සැලකූ විට දික් ඔය ග්‍රාමයේ සැලකිය යුතු  ජනගහණයක් වාසය කල බව පෙනේ. 1881 දී 498 වූ එහි පුද්ගලයන් සංඛ්‍යාව 1891 වන විට 624 දක්වා වැඩිවී තිබේ. මේ වනවිට කෙහෙල්ගමු ඔය නිම්නය සහ එහි අතු ගංගා වන දික් ඔය, මැණික් ඔය, දරවැල්ලේ ඔය සහ බටු කැලේ ඔය ආශ්‍රිත නිම්න භූමි ඔස්සේ ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබූ තේ සහ කෝපි වතු අයත් වූ 'දික් ඔය දිස්ත්‍රික්කයේ' වතු වල සේවා සැපයීමට සංක්‍රමණය වූ පහත රට සිංහල ජනයා පදිංචි වීම මෙම විශාල ජනගහණය ඇතිවීමට සහ කෙටි කලකින් එය 25% කින් පමණ වැඩිවීමට හේතු වූවාදැයි විමසා බැලිය යුතුය. දික් ඔය, දරවැල්ල, මැණික්වත්ත, ද්‍රබාර් සහ වනරාජ වතු වර්ෂ 1855 පමණ වූ මුල් කාලයේදීම ඇති වී තිබූ අතර එම දික් ඔය වතු දිස්ත්‍රික්කයට අයත්ව ඒ වන විට තිබූ තේ සහ කෝපි වතු 117 ක ලැයිස්තුවක් ඒවායේ විශාලත්වයන්ද සමග ලෝරි ඉදිරිපත් කර ඇත. කෙසේ නමුත් දික් ඔය ප්‍රදේශය තුල පිහිටි සමරවිල නමින් වූ 1891 වසරේදී 44 දෙනෙකු ජීවත් වූ ඉන් පෙර වසර වල සංගණන වල හමු නොවන ගම්මානයක් පිළිබඳව විස්තර හමුවේ. මෙය ඇතැම්විට පැරණි ගම්මානයක් විය හැක.
මුල් යුගයේම ආරම්භ වූ දරවැල්ල වතු යායේ සුදු ජාතික වතු අයිතිකරුවන්ගේ භාවිතය සඳහා ඉදිවූ සමාජ ශාලාව (Planter's Club - Darawella)
 1891 වසරේදී 419 ක් තරම් වූ විශාල ජනගහණයක් ජීවත් වූ වටවල සම්බන්ධව 1871 මෙන්ම 1881 ජන සංගණන වලදී කිසිදු සඳහනක් නොවීම ද පැහැදිලි කල හැක්කේ වතු ආශ්‍රිතව සිදුවූ ජනතාව සංක්‍රමණය වීමේ ප්‍රතිපලයක් ලෙසින් සිදුවූ ශ්‍රීඝ්‍ර ජනගහන වර්ධනයක් ලෙසින්ද නොමැති නම් එම හේතූන් නිසාම එම යුගයේ ඇතිවූ පැරණි ගමක් නොවන නව ජනාවාසයක් ලෙසින්ද යන්න පැහැදිලි නැත.
බ්‍රිතාන්‍යය වතු අයිතිකරුවන්ගේ ආගමික අවශ්‍යතාවයන් උදෙසා ඉදිවූ ඇංග්ලිකන් පල්ලිය - දික් ඔය (Christ Church Warleigh - Dik Oya
19 වන සියවස අවසාන භාගයේ සාපේක්ෂව සැලකිය යුතු ජනතාවක් වාසය කල පැරණි සිංහල ගමක් ලෙස මේ ප්‍රදේශයේ හඳුනාගත හැකි කළුගම්මන, පල්ලේබාගේ සහ උඩබාගේ ලෙසින් කොටස් දෙකකට බෙදා තිබී ඇත. මෙයින් පල්ලේබාගේ (469) කොටසට අයත් ලෙස කන්ගරාපිටිය (278) සහ හිටියගමත් (256), උඩබාගේ (409) ගම් ලෙස මොරහේනගම (269) සහ කිරිවන්එළියත් (279) දක්වා ඇත.  [සැ.යු. ඉහත ග්‍රාම නාම සමග වරහන් තුල 1881 ජන සංගණනයේදී එම ගම් වල විසූ ගම්මුන් ප්‍රමාණ දක්වා ඇත.] උඩබාගේ ගම්මාන තුල වී වගාව ගම්මුන්ගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරමින්වත් සිදු නොවූවත් ප්‍රදේශය තුල පිහිටි 7000-8000 පමණ වූ කිතුල් ගස් වලින් ගම්මුන් වෙළදාම සඳහා හකුරු සෑදූ බවත්, කුරක්කන්, බඩ ඉරිඟු සහ ගොඩ වී සැලකිය යුතු ප්‍රමාණ වලින් ප්‍රදේශය තුල වගා කල බවත් සඳහන් වේ. තේ වගාවද ඒ වන විට ප්‍රදේශය සැලකිය යුතු මට්ටමකින් ආක්‍රමණය කර තිබී ඇත.

දැන් මස්කෙලිය වතු දිස්ත්‍රික්කය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය  පූර්වයෙහි ශ්‍රීපාද වන්දනාකරුවන් පමණක් ගමන් කල නොනැවතී විහිදුනු වනාන්තරයෙන් යුත්ත වූ ප්‍රදේශයක් බව ලෝරි සඳහන් කරයි. බොගවන්තලාව සහ සමනල කඳු පෙදෙසින් ඇරඹෙන සිය ගණන් දිය දහරා එකතු වී මේ ප්‍රදේශයේදි සිය ගමන අරඹන මස්කෙලිය ඔය කැළණි ගඟේ ප්‍රධාන මව් ගංගාවකි. වර්ෂ 1866 හෝ 67 වර්ෂයේදී පමණ කෝපි වගාව මේ ප්‍රදේශයේ ආරම්භ වී ඇති අතර වර්ෂ 1880 දී පමණ මුල් තේ වතු ආරම්භ කර ඇත. ඒ වන විට තිබූ තේ වතු 71 ක විස්තර ලෝරි ඉදිරිපත් කර ඇත.
වතු වගාව ආරම්භයට පෙර ඝන වනාන්තරයෙන් වැසී තිබූ මස්කෙලිය ප්‍රදේශය අද
නමින්ම හැඟෙන පරිදි පැහැදිලිවම වතු වගාවත් සමගම ඇතිවූ කඩමණ්ඩියක් සහ පසුව නගරයක් බවට පත්වූ හැටන් අයත් වන්නේද අඹගමුව කෝරළයටය. පෙර සංගණන වල දත්ත ඇතුලත්ව නොතිබූ මුත් 1891 වසරේදී එහි ජනගහනය 1017 පමණ වූ විශාල අගයක් විය. වර්ෂ 1884 ජූනි 4 වන දින හැටන් දක්වා දුම්රිය ගමන් ඇරඹීමත් සමගම එය ජනාකීර්ණ නගරයක් බවට පත්වීම ඉක්මන් වන්නට ඇත.
වතු වගාව ආරම්භයට පෙර ඝන වනාන්තරයෙන් වැසී තිබූ මස්කෙලිය ප්‍රදේශය අද
පැරණි මලය රට පිළිබඳව මෙයට පෙර මෙම බ්ලොග් අඩවියේ පලවූ ලිපියක අඹගමුව සෙල්ලිපිය ඇසුරින් හඳුනාගත හැකි එවකට තිබූ පැරණි සිංහල ගම් කිහිපයක් පිළිබඳව විස්තර ඉදිරිපත් කලෙමි. පළමුවන විජයබාහු රජතුමා එම ලිපියෙන් ශ්‍රීපාදයට පිදූ විල්බා පෙදෙස වර්තමාන අඹගමුව කෝරලය බවත්, එහි පිහිටි කෙලගමුව වර්තමාන කෙහෙල්ගමුව බවත් (කෙහෙල්ගමුව යනුවෙන් ගමක් නොමැති මුත් කෙහෙල්ගමු ගල, කෙහෙල්ගමු ඔය සහ කෙහෙල්වරාව ගම ලෙසින් එය ශේෂ වි පවති.) තිනියගල් යනු වර්තමාන තිනියගල බවත්, සොරගොඩ වර්තමාන හොරකඩ බවත් පෙන්වාදුන්නෙමි ( එම ලිපිය කියවීමට >> ) අඹගමුව නාමයද එදා සිට අද දක්වාම නොවෙනස්ව අදද එම නමින්ම හැඳින්වෙන ප්‍රදේශයට ව්‍යවහාර වේ.
සිතියම 1
19 වන සියවසේ අඹගොමුව කෝරලයේ තිබූ ලෙසට ලෝරි ඉදිරිපත් කරන ගම් අතරින් පදුපොල සහ සමරවිල  යන ගම්මාන හැර සෙසු සියළු ගම් ඉහත සිතියමේ සලකුණු කර ඇත. පදුපොල එහි නමින්ම හැඟෙන පරිදි ඇතැම්විට පදු කුලයේ ජනයා විසූ කුඩා ගමක් වන්නට ඇත. හීන කුලයක් ලෙසින් එකල පිළිගත් බැවින් කාලයත් සමග එම නම භාවිතයෙන් ඉවත්වී ඇතැම්විට වෙනත් ගමක් තුල සැඟව යන්නට හෝ අලුත් නාමයක් ලබන්නට හෝ ඇත [පදුපොල පිළිබඳව ප්‍රදීප් විසින් පහල එකතු කල කොමන්ටුව බලන්න]. කෙහෙල්ගමුව, කළුගම්මන සහ යටිගන්හුලහ යන ගම්ද හඳුනාගත නොහැකි මුත් ලෝරි පවසන පරිදි එම නම් ව්‍යවහාර වී ඇත්තේ විශාල ප්‍රදේශයකට වන අතර ඒ ප්‍රදේශ තුල පිහිටි කුඩා ගම් (Hamlets) ඔහු ඉදිරිපත් කර ඇත. කාලයත් සමග එම ව්‍යවහාර යටපත් වී එම කුඩා ගම් අද වන විට විශාල ගම් බවට පත් වී ඇත. සිදුවිය යුතු පරිද්දෙන්ම කෙහෙල්ගමුව, යටිගන්හුලහ කළුගම්මන වැනි ගම් කිහිපයක් අයත් වන ප්‍රදේශයකට ව්‍යවහාර වූ නම් ඒ සමගම භාවිතයෙන් ඉවත් වන්නට ඇත. එහෙත් කෙහෙල්වරාව ලෙසින් ග්‍රාම නිලධාරි වසමක් සහ ගමක් අදද හඳුනාගත හැක.  එහි පැරණි කෙහෙල්ගොමුව නම සැඟව පවතී. තවද කෙහෙල්ගොමු ඔය එම නම තවමත් දරා සිටී.
සිතියම 2 - අඟලේ සිතියම් වල සමර්විල් ලෙසින් ලකුණු කර ඇති ස්ථානය බලන්න
දික් ඔය ප්‍රදේශයේ පිහිටි ලෙස ලෝරි පවසන සමරවිල ගමද අද හඳුනාගත නොහැක. ඉහත සිතියම 1 දෙස බැලූ විට දික් ඔය ප්‍රදේශය පිළිබඳව අප ඉහත මතු කල පරිදිම එය පැරණි ගමක්ද යන්න පිළිබඳව සැක මතුවේ. අඹගොමුව කෝරලයේ සියළුම පැරණි ගම් ගිනිගත්හේන ප්‍රදේශයෙන් දකුණට සහ ගිණිකොන දිශාවට යොමු වූ මස්කෙලිය සහ කෙහෙල්ගොමු ඔය බඩ නිම්න අවට තැනිතලා ප්‍රදේශයකට සීමා වේ. එම ප්‍රදේශය හැර අඹගොමුව කෝරලයේ සෙසු සියළු පෙදෙස් වතු වගාව ඇරඹීමට පෙර ශ්‍රීපාද අඩවිය දක්වා විහිදුනු වනාන්තරයෙන් වැසී තිබූ බව ලෝරිගේ විස්තරයෙන්ද පැහැදිලි වේ. එයට දික් ඔය ප්‍රදේශයද අයත්වේ. ඒ අනුව එම ප්‍රදේශයේ එවන් ගමක් පිහිටීමේ හැකියාව අල්පය. කෙසේ නමුත් පැරණි අඟලේ සිතියම් වල වර්තමාන දික් ඔය නගරයට දකුණින් කාසල්රේ ජලාශය ඉවුරේ සමර්විල් ලෙසින් ස්ථානයක් සලකුණු කර ඇත. ඉංග්‍රිසි Summer වචනය සමග විල යන සිංහල වචනය එකතු වී සෑදී ඇති එම අසාමාන්‍ය නාමය එහි මුලින් පදිංචිව සිටි සිංහල ජනයා එම ගම අතහැර දැමූ පසු පසුකාලීනව ඉංග්‍රිසි ජාතිකයක් අතර සමරවිල යන්න ශේෂ වූ ආකාරයද? [පසු සටහන බලන්න] සමරවිල (එනම් අනංග විල යන අරුත ඇති) නමින් හැඳින්වූ ස්වභාවික විලක් දැනට කාසල්රේ ජලාශයට යටවූ කෙහෙල්ගොමු ඔයේ නිම්නයේ මෙම ස්ථානය අසල පිහිටීමේ සැලකිය යුතු ඉඩක් පවතින්නේ එම ප්‍රදේශය බොගවන්තලාව ප්‍රදේශයේ සිට ගලා බසින හම්බන්තොට ඔය සහ අවට පිහිටි කඳු මුදුන් වලින් ගලා බසින ලොකු කුඩා දිය පහරවල් සිය ගණනකින් සමන්විත කඳු වලල්ලකින් වටවූ ප්‍රදේශයක් වන බැවිනි (සිතියම බලන්න) එම ජලය එක් රැස් වන ප්‍රදේශය සහ ඒ අසල පිහිටි ගම පැරැන්නන් සමරවිල ලෙසින් හැඳින්වූවාද?

පසු සටහන
* කෙසේ නමුත් පැරණි අඟලේ සිතියමක සමර්විල් ලෙසින් සිංහල භාෂාවෙන් සලකුණු කර ඇති ස්ථානය වර්තමානයේ Summerville ලෙසින් මෙට්‍රික් සිතියම් වල සලකුණු කර ඇත. Summerville ලෙසින් නගරයක්ද ඇමරිකා එක්සත් ජනපදයේ South Carolina වල පිහිටා ඇත. තවද දික් ඔය තේ වතු දිස්ත්‍රික්කයේ ලෝරි ඉදිරිපත් කරන වතු අතර Summerville ලෙසින් වත්තක්ද ඇති බැවින් ඉහත උපකල්පන නිවැරදි නොවන බව පෙනේ
කෙහෙල්ගොමු ඔය හරස් කර ඉදි කල කාසල්රේ (Castlereigh Reservoir) ජලාශය. බොගවන්තලාව ප්‍රදේශයේ සිට ගලා එන හම්බන්තොට ඔයද කාසල්රේ ජලාශයට සිය ජල කඳ මුහු කරයි
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
  • ලේකම්මිටි විමර්ශනය, ආචාර්ය එච්. ඒ. පී අභයවර්ධන, 2009
  • කඩඉම්පොත් විමර්ශනය, ආචාර්ය එච්. ඒ. පී අභයවර්ධන, 1996