Showing posts with label Ruwanwelisaya. Show all posts
Showing posts with label Ruwanwelisaya. Show all posts

Saturday, August 5, 2017

වඩා උස සෑය - ජේතවනය, නැහැ ගෝඨාගේ සඳ හිරු සෑය?

වර්ගවාදී කොටි ත්‍රස්තවාදය පරදවා ලබාගත් යුද ජයග්‍රහනයත් සමගම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් පරිදි ඉදිකිරිම ඇරඹූ සඳ හිරු සෑය සම්බන්ධයෙන් විශේෂයෙන්ම එහි උස සහ එය වර්තමානයේ පවතින අනිකුත් පැරණි ස්තූප වලට වඩා උසකින් යුතුව (අඩි - 257) ඉදිකිරිම සම්බන්ධව නොයෙකුත් කතා පසුගිය සමයේ අසන්නට ලැබුණි. වර්තමානය වන විට ඉදිකිරිම් නවතා ඇති මුත් ජාතික ධනය මංකොල්ල කෑම සහ ජාතික සම්පත් විකුණාගෙන එදා වේල ගෙවිමට වඩා අන් කිසිවක් නොකරන ජඩපාලකයන් සඳ හිරු සෑය වරින් වර බයිට් එකට ගෙන කතා කිරීම අද දක්වාම සිදුවේ. බටලන්ද වධකාගාරයේ දසවද දී අමු අමුවේ මරා දැමූ තරුණයන් දැවූ ටයර් සෑ විනා අන් සෑයන් ගැන නොදන්න එකෙකු වරක් පැවසුවේ රුවන්වැලි සෑයට වඩා උසට ජේතවනය සෑදීමට මහසෙන් රජු උත්සාහ කල අවස්ථාවේ ඔහුගේ මහා ඇමැති එයට එරෙහිව කැරලි ගැසූ බවත්, ලන්දේසින් සහ ඉංග්‍රිසින්ද රුවන්වැලිසෑයට වඩා උස පල්ලියක්වත් නොසැදූ බවත්ය. පස්දුන් කෝරලයට නම සැදුන හැටි පැවසීමේ සිටම ඔහුගේ ඉතිහාස දැනුම මැනවින් ප්‍රකට කර ඇති නිසා ඉහත ප්‍රකාශයේ පැවසෙන පට්ටපල් බොරු සියල්ලටම පිළිතුරු දීම මෙම ලිපියේ අරමුණ නොවුනත් ඔහු කියනා ලෙසට මහසෙන් රජුට හෝ වළගම්බා රජුට ස්තූප සෑදීමේදි ඒවා කොට කර සාදන ලෙසට කැරලි ගසා ඉල්ලීම් ඉදිරිපත් කල පුද්ගලයන් සිටි බවක් අප නම් කිසිදු පැරණි මූලාශ්‍රයක අසා නැති බව පමණක් පවසා අපගේ ප්‍රස්තුතයට පිවිසෙමු. මෙරට ඉදිකළ උසම ස්තූපය කුමක්ද?
රුවන්වැලිසෑය  ස්තූපය ඡායාරූපය - Images of Ceylon
රුවන්වැලිසෑය
මහාවංශයේ මහාතූපය ලෙසින්ද වර්තමාන ව්‍යවහාරයේ රුවන්වැලිසෑය නමින්ද හැඳින්වෙන පැරණි මහාවිහාර සීමාවේ ඇති ස්තූපය පිළිබඳව මුල්ම සඳහන මහාවංශයේ හමුවන්නේ මිහිඳු මහා රහතන් වහන්සේ විසින් මහා විහාරයේ නොයෙකුත් ගොඩනැගිලි සහ වෙනත් පූජනීය ස්ථාන තිබිය යුතු තැන් පිළිබඳව දේවානම්පියතිස්ස රජුට විස්තර කර දෙමින් මහාවිහාරයේ සීමා සලකුණු කරන විස්තරයේදීය. සිව් බුදුවරුන් පැමිණි ස්ථානයක් ලෙසින් එක්තරා ස්ථානයක් හඳුන්වන මිහිඳු හිමියන් එම ස්ථානයේ අනාගතයේ හේමමාලි නම් වූ ස්තූපයක් බුදුන්ගේ ශාරිරික ධාතු නිදන් කර දුට්ඨගාමණී නම් රජෙකු විසින් එක්සිය විසි රියන් උසට ඉදිකෙරෙණු ඇති බව පවසයි. ඒ අනුව පසු කලක එය ඉදිකිරීම ආරම්භ කර සැලකිය යුතු ප්‍රමාණයක වැඩ නිමවූ  දුටුගැමුණු රජතුමා සහ ඔහුගේ මරණින් පසු එහි වැඩ අවසන් කල ඔහු මලනුවන් වූ සද්ධාතිස්ස රජතුමන් රියන් 120 (අඩි 180) උසට මහා ස්තූපය ඉදි කල බව අනුමාණ කල හැක. ඉන්පසු එලඹෙන සියවස් වලදි බොහෝ රජවරුන් මහාතූපයට විවිධ අංග එකතු කිරීම සහ අලුත්වැඩියාවන් සිදු කල බව වංශකතාවේ සඳහන් වන මුත් එහි උස පිළිබඳව සටහනක් නැවත හමුවන්නේ මහා පරාක්‍රමබාහු සමයේදීය. එතුමන් විසින් දමිලයන් විසින් විනාශ කල අනුරාධපුරයේ පූජනීය ස්ථාන නැවත ඉදි කල බව සඳහන් කිරීමේදි රත්නවාලුකා ස්තූපය එහි මුල් උස වූ රියන් 120 (අඩි 180) උසට තැනවූ බව පැවසේ. ඉන්පසුවද වරින් වර විවිධ රජවරුන් රුවන්වැලි සෑය පිළිබඳව අවධානය යොමු කල මුත් පුරාණ අනුරාධපුර නගරය අතහැර දැමීම නිසා  රුවන්වැලිසෑය ඇතුළු අනුරාධපුරයේ සියලු  වෙහෙර විහාර ක්‍රමයෙන් වල් බිහිවි ජරාවාස විය.

රුවන්වැලි සෑය පිළිබඳව වර්ෂ 1859 දී එමර්සන් ටෙනන්ට් මහතා ඉදිරිපත් කරන විස්තරයේ ඔහු පවසනුවේ ඒ වන විට එහි උස අඩි 150 කට වඩා අඩු වූ බවය. ඔහුම පවසන පරිදි 1830 දී එහි උස අඩි 189 විය. වැස්සට සේදීයෑම නිසා මේ උස අඩු වීම සිදුවන්නට ඇත. ජේම්ස් ස්මිදර් මහතා 1894 දි එහි ගර්භයේ උස බිම සිට මුදුන දක්වා අඩි 162 අඟල් 8 ලෙස දක්වයි. අඩි 16 උස වූ පේසා වලලු 3 ද සමගින් එහි මුළු උස අඩි 178 අඟල් 8 ලෙසවූ බවය ඔහු පවසන්නේ. රුවන්වලිසෑය ඒ වනවිට ප්‍රතිසංස්කරණය වෙමින් පැවති අතර එහි කොත් කැරල්ලද (මෙම කොත වර්ෂ 1853 දී එහි තැන්පත් කර ඇත.) සමගින් සම්පූර්න උස අඩි 198 අඟල් 4 වූ බව ඒ මහතා සඳහන් කරයි.

වර්ෂ 1872 දී නාරංවිට සුමනසාර හිමියන් විසින් රුවන්වලිසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල අතර චෛත්‍යය අඩි 340 උසට ගොඩනැංවිමටත් එහි අඩි 24 ක කොත්කැරල්ලක් තැන්පත් කිරීමටත් සැලසුම් කර තිබුණි. වර්තමානයේ සලපතල මලුවේ සිට රුවන්වැලි සෑයේ උස මීටර් 103.1 ලෙස දැක්වේ (අඩි 338 පමණ). කොත්කැරල්ල සහ චූඩා මාණික්‍යය මීටර් 7.6 උස වේ (අඩි 25 පමණ).
අභයගිරිය ස්තූපය - ඡායාරූපය - Images of Ceylon
අභයගිරිය ස්තූපය
වට්ටගාමිණී අභය රජු විසින් ගිරි නම් නිගණ්ඨාරාමය විනාශ කර එහි පිරිවෙන් දොළසකින් යුත් විහාරයක් කරවූ බව (ස්තූපයක් ගැන එහි විශේෂයෙන් සඳහන් නොවේ) මහාවංශයේ සඳහන් වේ. ඉන්පසු ගජබාහුක ගාමිණි රජු අභයුත්තර මහාස්තූපය විශාල කොට කරවා එහි දොරටු සතරෙහි ආදිමුඛ (වාහල්කඩ) කරවූ බව  එහිම පැවසේ. අභයගිරි ස්තූපය වට්ටගාමිණි අභය රජු කල බවට එන ප්‍රකට මතය මේ අනුව විවාදයට බඳුන් වන මුත්  ඒ පිළිබඳව සාකච්චා කිරීම මෙම ලිපියේ අරමුණ නොවන බැවින් ඒ ගැන විමසීම පසුවට තබමු. කෙසේ නමුත් මේ කිසිදු අවස්ථාවක එහි මුල් උස පිළිබඳව සදහන් නොවේ. ඒ පිළිබඳව පලමුවරට සඳහන් වනුයේ ෆාහියන් හිමියන්ගේ වාර්තාවෙහිය. ඒ හිමියන් පවසන පරිදි "නගරයෙන් උතුරෙහි වූ සිරිපා සටහනක් මත අඩි 400 උස මහා ස්තූපයක් ගොඩ නගා තිබේ. එම ස්තූපයේ එක් පසක අභයගිරි නම් සංඝාරාමය වෙයි."

ෆාහියන් හිමියන් චං නමැති පුරාණ චීන මිනුම් ඒකකයෙන් දක්වන එම උස චං 1 ක් මීටර් 3.333 ලෙස ගෙන අඩි 400 ලෙස ගනනය කර ඇති මුත් එම ඒකකය පිළිබඳව ඇති වෙනත් මතයකට අනුව චං 1 ක් මීටර් 2.3 පමණ වේ. ඒ අනුව ගතහොත් ස්තූපයේ උස අඩි 276 පමණ වූ ලෙස ගැනිය හැක. මෙයින් දෙවැනි මතය වඩා විශ්වාසනීය බව හැඟෙන්නේ දමිල ආක්‍රමන මගින් විනාශ වූ පසු අනෙකුත් මහා ස්තූපයන් දෙක සමගම අභයගිරිය ස්තූපයද නැවත ගොඩනගන මහා පරාක්‍රමබාහු රජතුමා එය රියන් 160 (අඩි 240) උසට සෑදු බව පවසන බැවිනි.

වල්බිහිවීමෙන් පසුව ඉංග්‍රිසි පාලන සමයේදී (එනම් 1894 වසරේදී) මෙහි මිණුම් ලබාගත් ජෙම්ස් ස්මිදර් සල පතල මළුවේ සිට කොත් කැරැල්ලේ ඉහලම කොන දක්වා ස්තූපයේ උස අඩි 245 ලෙස වූ බව වාර්තා කර ඇත. ඔහුට පෙර වර්ෂ 1859 දී පල කල සිය ග්‍රන්ථයේ අභයගිරි ස්තූපයේ උස දක්වන එමර්සන් ටෙනන්ට් එය අඩි 249 උස වූ බව පවසයි. මෑත කාලයේ අභයගිරි ව්‍යාපෘතිය මගින් ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගැනීමට පෙර ලබාගත් මිණුම් වලට අනුව ස්තූපයේ ලම්භක උස මීටර් 72.6 ලෙස දක්වා ඇත (අඩි 238 පමණ).
ජේතවන ස්තූපය
ජේතවන ස්තූපය
මහසෙන් රජු විසින් මහා විහාර සීමාවේ තිබූ ජෝතිවන නම් උයනෙහි ජේතවන විහාරය ඉදි කල බව මහාවංශය පවසයි. ජේතවන විහාරය විනා ස්තූපය මහසෙන් රජතුමා විසින් ඉදිකල බවට විශේෂයෙන් එහි පැවසෙන්නේ නැති බැවින් ඉහත අභයගිරිය ස්තූපයේ අයුරින්ම ජේතවන ස්තූපය මුලින්ම ඉදිකල රජු පිළිබඳව විවිධ මත පවතී. කෙසේ නමුත් ඉහත මහා ස්තූප දෙක මෙන්ම ජේතවන ස්තූපයද මහා පරාක්‍රමබාහු රජතුමා විසින් දමිලයන් සිදුකල විනාසයන්ගෙන් පසුව නැවත රියන් 140 (අඩි 210) උසට ඉදි කල බව මහාවංශයේ සඳහන් වේ.

එමර්සන් ටෙනන්ට් ජේතවන ස්තූපයේ උස 1859 දී අඩි 244 ක් වූ බවත් ජේම්ස් ස්මිදර් 1894 දී එහි උස අඩි 232 ලෙස වූ බවත් වාර්තා කර ඇත.  ප්‍රතිසංස්කරණයට පෙර නටබුන් වි තිබූ ස්තූපයේ උස අඩි 231 ලෙස මෑත කාලීන මැනුම් මගින් වාර්තා වී ඇත.

මේ සියලු තොරතුරු අනුව එක් එක් කාලයේදි මෙරට උසින් වැඩිම ස්තූප 3 අතුරින් උසම ස්තූපය මෙලෙස පහත වගුවේ ආකාරයට ඉදිරිපත් කල හැක. කොළ පාටින් සලකුණු කර ඇත්තේ එම කාලයේ උසින් වැඩිම ස්තූපයයි. ඒකකය අඩි වලිනි.


ආරම්භක උස
පරාක්‍රමබාහු
ටෙනන්ට්(1859)
ස්මිදර්
(1894)
අද
රුවන්වැලිය
180
180
150 (1830 දී - 189)
178 8’
338
අභයගිරිය
276 හෝ 400 (ෆාහියන්ට අනුව)
240
249
245
238
ජේතවනය
 විස්තර නොමැත
210
244
232
231

මේ අනුව කිසිම කලෙක ජේතවන ස්තූපය මෙරට උසම ස්තූපය ලෙස තිබී ඇති බවට සාධක නොමැති අතර එකම කාලයකදි ස්තූප තුනේම උස ඉදිරිපත් කරන මහා පරාක්‍රමබාහු සමයේදීද අභයගිරිය මෙරට උසින් වැඩිම ස්තූපය ලෙස තිබී ඇත. අද වන විට මෙරට උසම ස්තූපය ලෙස සැලකිය හැක්කේ රුවන්වැලි සෑය වන අතර එය උසින් වැඩිම ස්තූපය වනුයේ 19 වන සියවසේ සිදුකල ප්‍රතිසංස්කරණයත් සමගිනි. වර්තමානය වන විට නැවත ප්‍රතිසංස්කරණය වෙමින් පවතින් ජේතවනය සහ අභයගිරිය ස්තූප ප්‍රතිසංස්කරණ අවසානයේ කොතරම් උසක් ගනීද යන්න ඉදිරියේදි දැක ගත හැකි වනු ඇත. කෙසේ නමුත් අඩි 257 උසින් යුතුව ඉදිකිරිමට අපේක්ෂිත වූ සඳ හිරු සෑය ඉදි කරන්නට ඉදිරියේදි හැකි වුවද එවිටද රුවන්වැලි සෑය එයට වඩා උසින් වැජඹෙනු ඇත.

ඇඩොල්ෆ් හිට්ලර් පැවසුවායැයි පවසන පහත කියමන මෙරටට කෙතරම් ගැලපේද?  ( ඒ සම්බන්ධ වැඩි විස්තර සඳහා - Link )

- Make the lie big, make it simple, keep saying it, and eventually they will believe it.-

මූලාශ්‍ර
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Ceylon An Account of the island  Physical, Historical and Topographical with  notices of its natural, antiquities and productions, Sir James Emerson Tennent, 1859
  • Heritage of Rajarata, Major Natural, Cultural and Historic Sites, Chandra Wikramagamage, 2004
  • අනුරාධපුර අටමස්ථානය, උක්කු බණ්ඩා කරුණානන්ද, 2007
  • අනුරපුර මහා විහාරය, මහාචාර්ය ටී. ජී. කුලතුංග, 2001
  • පුරාණ අභයගිරි විහාරය, මහාචාර්ය ටී. ජී. කුලතුංග, 2014
  • පුරාණ අනුරාධපුරය, අනුරාධ සෙනෙවිරත්න, 1995
  • මහාවංශය, ප්‍රථම භාගය, මොග්ගල්ලාන සංස්කරණය, සිංහල අනුවාදය - අරුණ තලගල
  • On the Ancient Coins and Measures of Ceylon. T.W. Rhys DAvids, 1877
  • Architectural Remains, Anuradhapura, Sri Lanka, James G. Smither, Revised and Edited by Chandra Wikramagamage, 1993
  • බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු නම් වූ ෆාහියන්ගේ දේශාටන වාර්තාව - මහාචාර්ය විමල් ජී බලගල්ලේ, 1999
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Memoirs of the Archaeological Survey of Ceylon, Volume V. The Stupa in Ceylon, S. by Paranavitana, 1946

Sunday, February 19, 2017

මහාසෑයේ තැන්පත් කල ලොව පළමු බුදු පිළිමය, උඩ අළුදෙණිය ස්ථූපයේ රන් ආලේපිත බුදු පිළිම සහ සඳ හිරු සෑයේ රත්‍රන් බුදු පිළිමය

සිරස්පත සහිත සමාධි හිඳි පිළිමයක්-උඩ අළුදෙණිය
 "..ඉක්බිති දුටුගැමුණු මහරජ්ජුරුවෝ ධාතුගර්භමධ්‍යයෙහි රුවන් මුවා බෝ රුකක් කරවීය. ඒ බෝධීන් වහන්සේ ඉන්ද්‍රනීලමාණික්‍යමය බිමෙහි පිහිටියේය. එහි මුල් පබලුමය කොට කරවූහ. කඳ රිදියෙන් කරවන ලදී. මිණි මුවා පතින් හෙබියේය. රුවන් මුවා පාණ්ඩු පුත්‍ර ඵල ඇත්තේය. අටමඟලද සත්රුවනින්ම කරවීය. නැවත මල් , සිව්පා, හංස පන්තීන්ද සත්රුවනින්ම කරවීය. ඒ බෝධීන් වහන්සේගේ මුදුනේ සුදු වියන් බැඳ ඒ වියන් කෙළවර වට කොට මුතු හා එක්කොට අවුණන ලද රන් රසුදැල් බැඳවූහ. මෙසේම ඒ ධාතු ගර්භයේ සුදුසු ලෙස සත්රුවනින් ම සඳහිරු දෙදෙනාද, නැකත්තරුද, රන් පියුම්ද කරවන ලද්දේය. ඉක්බිති ඒ බෝධීන් වහන්සේගේ කඳ මුල වටකොට සත්රුවන්මය පිල්කඩකුදු ලැවූ ය. ඒ පිල්කඩ මත්තෙහි මාහැඟි මුතු ඇතුරුවූ ය. ඒ මුතුරැසට කෙළවර සුවඳ පැන් පිරූ සත්රුවන් කළ පංතියක්ද තැබ්බවූ ය. ඒ රුවන් කළ පංතියෙහි පබළුමය මල් ලැවූ ය. පබළුමය කළයෙහි රන් මල් ලැවූ ය. මැණික්මය කළයෙහි රිදී මල් ලැවූ ය. රිදීමය කළයෙහි ඉන්ද්‍රනීලමාණික්‍යමය මල් ලැවූ ය. සත් රුවන් කළයෙහි සත් රුවන් මල් ලැවූ ය. නැවත ඒ බෝධීන් වහන්සේට නැගෙනහිර දිසාවේ. සත්රුවන්මය වූ කෙළක් අගනා ආසනයෙහි සත් රුවන්මය වූ බුදුරුවකුදු කරවූ ය. ඒ පිළිරුව  ශරීර අවයවයෝ  සුදුසු පරිද්දෙන් නානා වර්ණ රුවනින් කරන ලද්දා හ....."
පිළිම සහ විශාල ලෝකඩ කරඬුව කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇති අයුරු
මහා සෑය හෙවත් රුවන්වැලි දාගැබෙහි ධාතු ගර්භයෙහි තැන්පත් කල විවිධ පූජා වස්තු පිළිබඳව මහාවංශයෙහි සහ ථූපවංසයෙහි සඳහන් වන දීර්ඝ විස්තරයෙහි සංක්ෂිත කොට දැක්වූ කොටසක් එසේය. මෙහි රත්රනින් කල බුදු පිළිමයක් පිළිබඳව වූ සඳහන වැදගත් වන්නේ මේ විස්තර වල සත්‍යතාවය පිළිගත හැකි නම් ඒ වූ කලී බුදු පිළිමයේ ආරම්භය පිළිබඳ වූ පැරණිම හෝඩුවාව වන බැවිනි. එසේම බුදු පිළිමය ප්‍රථමයෙන්ම  නිර්මාණය පිළිබඳ වූ ගෞරවයද ඒ අනුව හෙළ කලාකරුවාට හිමිවේ. එහෙත් ඇතැම් විද්වතුන් මේ පිළිබඳව එකඟ නොවන්නේ මහාවංශය ලියවෙන කාලය වන විට භාරතයේ ප්‍රථමයෙන් සහ ඉන් අනතුරුව මෙරට බුදුපිළිම නිර්මාණය කර තිබූ බැවින් මේ සඳහන එම කාලයේ තත්වයන් අතීතයට ආදේශ කිරීමක් විය හැකි බව පවසමිනි. කෙසේ වුවත් පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමියන් සහ D.T. දේවේන්ද්‍ර වැනි වියතුන් මෙම සඳහන සහ වෙනත් සාධක අශ්‍රයෙන් ලොව බුදු පිළිම නෙළීමේ ආරම්භය මෙරට සිදුවූ බවට වූ මතයක් ඉදිරිපත් කරයි.  ඒ පිළිබඳව වූ විස්තර පසුව සාකච්චා කරමු.
ලෝකඩ කරඬුව තුල පිළිම තැන්පත් කර තිබූ අයුරු
සියවස් ගණනාවකට පෙර මේ රට එක්සේසත් කල දුටුගැමුණු රජතුමා ඉන්පසු සිදු කල ආගමික සේවාව එසේ වූ නමුත් ඉන් පසු කාලයක නැවතත් ලොව කෘරතම සහ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය මර්ධනය කර, දේශිය සහ විදේශිය සතුරු බල සෙන් පරදා මෙරට එක්සේසත් කල නායකයෙකුට නම් කළගුණ නොදත් නාමික සිංහල අඳබාලයන් බහුතරයක්ද ඇතුලත් ලක්ෂ 62 ක් වූ තෘණ භක්ෂක චන්දදායකයන් පිරිසකට පිංසිදු වන්නට මුහුණ දෙන්නට සිදු වූවේ එසේ මෙසේ ඉරණමකට නොවේ. මිත්‍යාදෘෂ්ටිකයන් රජ වී ඇති මෙකල රාජ සන්තක වූ රේගුවට අයත් රත්‍රන් යොදාගෙන බුදුරුවක් සකසා එය සඳ හිරු සෑයේ ධාතු ගර්භයෙහි තැන්පත් කිරීම ආනන්තරීක පාප කර්මයක් ලෙස අරුත් ගන්වා පොලිස් රාජ්‍යයේ 'ගෙස්ටාපෝවේ' කෙළවරක් නැති ප්‍රශ්ණ කිරීම් වලට මුහුණ දීමට එය සිදු කල යුගයේ ජාතික විරුවෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවීම නම්, කටයුතු මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් සිංහල ජාතියේ සහ බුද්ධ ශාසනයේ අවසානය නුදුරේම විය හැකි බවට වූ සලකුණක් විනා අන් යමක් නොවේ.
භූමි ස්පර්ශ මුද්‍රාව සහිත හිඳි පිළිමයක්-උඩ අළුදෙණිය
වංශ කතා වල සඳහන් වන ධාතු ගර්භයේ තැන්පත් කල මෙවන් වූ පූජා වස්තූන් පිළිබඳ වූ විස්තර හුදු අතිශයෝක්තියක්ම නොවන්නේ මෙරට සියවස් ගණනාවක් පුරා නිඳන් හොරුන්ගේ ග්‍රහණයට නතුවී විනාස වූ ස්ථූප අතරින් කළාතුරකින් වුවද ඉතිරි වූ ස්ථූප ඇතැමෙක ධාතු ගර්භ වල පුරාවිද්‍යාඥයන් විසින් සිදු කල කැනීම් වලින් මතු කරගත් පුරා වස්තු පිළිබඳව විමසා බැලීමේදීය. මේ අතරින් පොළොන්නරු යුගය සහ මහනුවර යුගය අතර කාලයට අයත් ලෙස අනුමාණ කරන ගම්පළ උඩ අළුදෙණිය පුරාණ විහාරස්ථානයේ ස්තූපයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් 2004 දී සිදු කල කැනීමක් මගින් මතු කරගත් පුරාවස්තු එකතුව වැදගත් වන්නේ එමගින් ලෝකඩින් සහ රිදියෙන් කල විවිධ ප්‍රමාණයේ බුදු පිළිම 140 පමණ සොයාගැනීම නිසාය. මේ බුදු පිළිම අතර සාපේක්ෂව මෙරටින් කළාතුරකින් හමුවන භූමි ස්පර්ශ මුද්‍රාව දැක්වෙන පිළිම දෙකක්ද හමුවි ඇත
සිරස්පත සහිත සමාධි හිඳි පිළිමයක්-උඩ අළුදෙණිය
මීට අමතරව එහි තිබී දඹදෙණි යුගයේ සිට ඕලන්ද කාලය දක්වා භාවිතා වූ කාසිද, ලෝකඩ සහ රිදී කරඬු සහ එක් රිදී කරඩුවක් මධ්‍යයේ කුඩා රන් මංජුසාවක වැඩ හිඳින ධාතූන් වහන්සේලාද හමුවිය. මීට අමතරව කුඩා බෝධි වෘක්ෂ, කොඩි ගස්, නාග රූප, මුදු, රනින් සහ රිදියෙන් කල කුඩා මල් වැනි දේවල් හමුවීම පෙන්නුම් කරන්නේ ඉහත මහසෑය සම්බන්ධයෙන් වංශ කතාවල දැක්වෙන විස්තර ඊට පසු කාලින පරිහාණීය කාලයකදි ඉදි කල ඉදිකිරිමක හමුවන එවන් දෑ සමග සැසදීමේදි කිසිසේත්ම අතිශයෝක්තියක් නොවන බවය. වර්තමානයේ මෙම කෞතුක භාණ්ඩ එකතුව කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

මූලාශ්‍ර
  • බුද්ධ ප්‍රතිමාව හා ලංකාව ඩී. ටී. දේවේන්ද්‍ර, 1967
  • ලක්දිව බුදු පිළිමය, කඹුරුපිටියේ වනරතන හිමි,1985
  • උඩ අළුදෙනිය විහාරයෙන් සොයාගන්නා ලද පුරාවස්තු, රංජිත් හේවගේ, ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංහිතා වෙළුම 2, 2006
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994