Showing posts with label Saddhatissa. Show all posts
Showing posts with label Saddhatissa. Show all posts

Sunday, July 23, 2023

වෙහෙර තුල අසමගියක් වූ විට බත් කවුඩන්ට විසි කල සිහිගිරිබිම්හි පිහිටි දකිණිගිරි රද්මහවෙහෙර

පුරාතන යුගයේ මෙරට සිංහල බෞද්ධ සභ්‍යත්වයේ සමෘද්ධිමත්ම අවදියේ අගනගරයේ මෙන්ම අගනගරයෙන් බැහැර ප්‍රදේශ වලද සංඝ සමාජයේ පැවැත්ම උදෙසා සහ ජනතාවගේ ආගමික අවශ්‍යතාවයන් උදෙසා විවිධ වෙහෙර විහාර ඉදිවිය. ඒ අතරින් පබ්බත විහාර ලෙසින් හැඳින්වෙන විහාරාරාම ගණයේ ස්ථාන කිහිපයක් පිළිබඳව මෙයට පෙරදීත් ලිපි කිහිපයකින්ම මෙහි කරුණු ඉදිරිපත් කර ඇත >> දිවයින පුරාම එම ගණයේ නටබුන් වූ ස්ථාන රාශියක් මේ වන විට හඳුනාගෙන ඇත. පරසතුරු උවදුරු සහ වෙනත් ස්වභාවික උපද්‍රව හේතුවෙන් ශිෂ්ඨාචාරයට වරින් වර විවිධ බාධක එල්ලවීමත් සමගම එම ආගමික ස්ථාන නඩත්තු කල ගම් බිම් වල ජනයා වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම හෝ ඔවුන් සමගම එම ගම් බිම් විනාශ වීමත් සමග ඔවුන් මත යැපුන විහාරාරාමත් පරිහාණියට පත්ව අතහැර දැමීම සිදුවේ. පසු කලක වෙනත් ප්‍රදේශයකින් පැමිණි හෝ එම ප්‍රදේශ වලම ඉතිරි වූ ජනයාගේ පසු පරම්පරාවන් වලට එම පූජනීය ස්ථාන වල නාමයන් පවා මතකයෙන් ගිලිහී යාම ස්වභාවිකය. එවන් අවස්ථාවලදී ඒ වන විට වන ප්‍රවාහය මගින් යටපත් කරගත් එවන් ස්ථාන වලට අලුත් නම් පටබැඳීම එම ගැමියන් අතින් සිදුවේ. ඒ අනුව කළු පැහැ වූ ජලය එකතු වූ පොකුණක් තිබීම හේතුවෙන් කළුදිය පොකුණ වූ පැරණි විහාරාරාම වල නටබුන් හමුවන ස්ථාන අවම වශයෙන් දෙකක් හඳුනාගත හැක. මිහින්තලේ පිහිටි මීට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කල ස්ථානයට (එම ලිපිය කියවීමට >>) අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ කණ්ඩලම වැවේ සහ එනයින් කලා ඔයේ ඉහල නිම්නයේ ජලපෝෂක ප්‍රදේශයේ එරවලගල කඳුවැටිය පාමුල පිහිටි කළුදිය පොකුණ ලෙසින් හැඳින්වෙන පබ්බත විහාර සංකීර්ණයක් ඇත. මේ ආකාරයෙන් නටබුන් වූ වෙනත් ඇතැම් ස්ථාන මෙන් නොව මෙහිදී අප හට සෙල්ලිපි සහ සාහිත්‍යමය මූලාශ්‍ර ආශ්‍රයෙන් ස්ථානයේ පැරණි නාමය කිසිදු සැකයකින් තොරවම හඳුනාගැනීමට හැකිවීම විශේෂත්වයකි.

කළුදිය පොකුණේ නටබුන් දක්වෙන කෙටි වීඩියෝව >>

ලෙනක බිත්තියේ කොටා ඇති ගිරි ලිපිය

මෙම ස්ථානයේ පිහිටි ලෙනක බිත්තියේ කෙටූ සෙල්ලිපියක් සහ පබ්බත විහාරයේ පිළිම ගෙය ලෙසින් අනුමාණ කරන ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පිහිටි පුවරු ලිපියක් ස්ථානයේ පැරණි නාමය හඳුනාගැනීම උදෙසා මූලික වශයෙන් උපකාරී වේ. ඒ අතරින්  ලෙනේ පිහිටි ලිපිය සිරිසඟ්බොය් මපුර්මුකා (දොළො)ස්වන්නේ පොසොනැපුර විසෙනි දවස්, එනම් සිරිගඟ්බො නම් රජෙකුගේ රාජ්‍යත්වයෙන් දොළොස්වන වර්ෂයේ පොසොන් මස පුර පක්ෂයේ පස්වෙනි දින දළනා නැමැත්තෙකු  විසින් දකිණිගිරි වෙහෙර මහසඟනට ලහා බත් (Ticket-meals) සඳහා තෙවිසි (23) කළන්දක් වූ රන් ප්‍රදානය කර, එයින්  දිනපතා මහබුන්ද්නෙන් අදමන දෙකක සහ මුත්වනින් සහ පෙරෙබුන්ද්නෙන් අදමන එකක ප්‍රමාණ වූ සහලින් බත් ඉර හඳ පවතින තුරා සැපයීම කලයුතු බවට පවසා පිහිටුවා ඇත. සහල් නොදී බත් ගෙ පිසැ බත් (එනම් මුළුතැන්ගේ  පිසූ බත්) දිය යුතු අතර, වෙහෙර තුල අසමගියක් වී නම් එම බත් කවුඩු (කපුටන්) බල්ලනට විසි කල යුතු වේ. මෙය කඩ කරන කිසිවෙකු හෝ වී නම් මහමෙතෙ සම්මා සම්බුදුන් දොරින් යත් (එනම් මතු බුදු වන මහා මෛත්‍රී බුදුන් එම කෙනාගේ ගේ දොරකඩින් ගියත්) එම බුදුන් හට වැඳීම උදෙසා එම පුද්ගලයා හට අත් එසවීමට හෝ නොහැකි වනු ඇත*. මෙම ප්‍රදානයේදී සීහ නැමැත්තෙකු, කොට්ගම් සීසෙන් වත්හිමි නැමැත්තෙකු, කළි මාඩබියන්,  අග්සුමෙයුර් වත්හිමියන්, කලල්වැලි උදහි, වදුරා අරක්සමණන්ගේ මෑණියන් සහ ඇදුර් වත්හිමියන් යන අය එක් ලහ බතක් බැගින් සැපයීමට දළනා සමග ගිවිස ගෙන ඇත.

සිව්වන කාශ්‍යප රජුගේ කාලයට අයත් ලෙන් ලිපිය

අක්ෂර හැඩය අනුව ලිපිය අයත් වන 10 වන ශත වර්ෂයේ මුල් අර්ධයේ සිරිගඟබෝ යන විරුදය භාවිතා කල රජවරුන් දෙදෙනෙකු හඳුනාගත හැක. ඒ අතරින් සෙනරත් පරණවිතාන මහතාගේ අනුමාණය වූයේ දෙවන සේන රජු (පො. ව. 853-887)  වන අතර සිරිමල් රණවැල්ල මහතාට අනුව කොළඹ කෞතුකාගාරයේ දැනට ඇති සිව්වන කාශ්‍යප රජුගේ කාලයේ පිහිටවූ ලෙසට හඳුනාගත හැකි ටැම් ලිපියක මෙම ලිපියේද  නම සඳහන් වන වදුරා අරක්සමණ ගැන සඳහන් හෙයින්, කළුදිය පොකුණ ගුහා ලිපිය අයත් වන්නේ සිව්වන කාශ්‍යප රජුගේ කාලයටය (පො. ව. 898-914). 

කටාරම් කෙටූ ලෙනක්. මෙහි පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියක් කොටා ඇත.

පුවරු ලිපිය

කැත්කුල කොත් ඔකාවස් රජ් පරපුරෙන් බට් සුදොනා පරපුරෙන් ආ සලමෙවන් අභා උදා මහරජ්හු හට සහ විදුරා රැජිනට දාව උපන්, අභා සලමෙවන් මහසෙන් රජුගේ රාජ්‍යත්වයෙන් පළමු වර්ෂයේ සිහිගිරිබිම්හි පිහිටි දකිණිගිරි රද්මහවෙහෙරේ සංඝයා සමග සම්මුතියෙන් එකඟව මහපිළිම හැඹූ පහණැ (මහ පිළිමය අඹන ලද ගලෙහි) ලියවා තැබූ කතිකාවතක් පිළිබඳව ඉහත සඳහන් කල අනෙක් ලිපිය වන පුවරු ලිපියේ සඳහන් වේ. 

පුවරු ලිපිය

දහවන සියවසට අයත් සිංහල අක්ෂර වලින් ලියා ඇති මෙම ලිපියේ නම සඳහන් අභා සලමෙවන් මහසෙන් රජු තුන්වන හෝ හතරවන සේන රජු විය හැකි බවට සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන මුත් (එහෙත් එතුමා එම රජු බොහෝදුරට සිව්වන සේන [පො. ව.  954-956] විය හැකි බවට අනුමාණ කරයි.) සෙනරත් පරණවිතාන මහතාට කියවිය නොහැකි වූ එම රජතුමාගේ පියාගේ නමද විරුදයද සමගින් සම්පූර්ණයෙන් කියවීමට හැකි වීම නිසා සිරිමල් රණවැල්ල මහතා එම පිය රජු දෙවන උදය (පො. ව. 887-898) ලෙසින් සහ එනයින් මෙම පුවරු ලිපිය පිහිටවූ රජු තුන්වන සේන (පො. ව. 938-946) ලෙසින් හඳුනාගනී. 

ඇසෙළැ පුර දසවක් දවස් එනම් ඇසල මස පුර පක්ෂයේ දසවන දින එක්තැන් සමියෙන් [Supreme Council] වදාළ හෙයින් මෙම කතිකාව සඳහන් පුවරු ලිපිය පිහිටුවීම සඳහා පැමිණෙන්නේ මෙකාප්පර් [Commander of the Bodyguards] සඟ්සෙන් නියමයෙන් ආ සුනගලු රක්ස, කිළින්දිරි සෙන් සහ මහකිලින්ගම කිලිඟ් ලෝකයා, වට්රක් කස්බා රක්සමණන් [Chief Guardian] නියමයෙන් ආ කුඩසලා කිත්දෙවු යන අයය. 

ලිපියේ ඇතැම් කොටස් කියවිය නොහැකි හෙයින් එම කොටස් වල අර්ධ වශයෙන් කියවිය හැකි වචන වලින් පැහැදිලි අදහසක් ගත නොහැකි මුත් පැහැදිලිව කියවිය හැකි කොටස් වල සඳහන් කරුණු අතරින් කිහිපයක් මෙසේ පෙලගැස්විය හැක. වස්  විසීම් දහයක් සිදු කල සහ සතර බණවර සම්පූර්ණ කල සංඝයා හට මෙහි ඇති ආවාස වල විසිය හැක. මෙම පරිශ්‍රය තුල සොළී සහ තුඩි බෙර වාදනය නොකල යුතු අතර, රැහැණ් [Army-whips] නොගැසිය යුතුය, වෙනත් ස්ථාන වලින් පිටමං කර මෙහි පැමිණි ඒත් ඒ බව හෙලි නොකල භික්ෂූන් හට මෙම පරිශ්‍රයේ ආවාස තුල විසීමට ඉඩ නොදිය යුතුය, මහපිරිත් ඉගෙනගැනීම සිදු නොකරන්නන් හට මෙහි පිහිටි ආවාස තුල විසීමට ඉඩ නොදිය යුතුය, මෙහි බණ හදාරන සාමනේර හිමිවරුන් මෙහි මහණ කල හැකි අතර වස් සමය අවසානයේ එය කල යුතුය, මෙහි ළුැනු (Onion) විකිනීම සිදු නොකල යුතුය, මෙහි වසන කැමියන් තමන්ගේ නඩත්තුව සඳහා ඉඩම් (දිවෙල්) බොගමියෙන් සහ මගමින් ගත යුතුය, වෙනත් ගම් වලින් ගෙනා ගෙරි [Cattle], මීවුන් [Buffaloes] සහ දස් මිනිසුන් [Male servants] යොදාගෙන මෙහි ඉඩම් සහ පමුණු ඉඩම් වල ගොවිකම් නොකල යුතුය, පස්මහ වැරදි කල කැමියන් දා [Sacred Relics] ගෙනියන පෙරහැර වලට යොදා නොගත යුතු අතර, කිසියම් වැරදි කල කැමියන් ලවා ඔවුන්ට පැවරූ රාජකාරි ඉටුකරගෙන පසුව ප්‍රදේශයෙන් පිටමන් නොකල යුතුය, වප් මස අව අටවක ලේකම් කිරීමට පෙර [Before the submission of accounts] දිවෙල් [Maintenance Lands] නොගත යුතුය, පෙර සිරිත් ඉටු නොකරන කැමියන් කැමි කමේ තබා නොගත යුතුය, පෙර සිරිත් පරිදි අය කල ප්‍රමාණයට වඩා අඩුවෙන් බදු අය නොකල යුතුය,  මහමන්ඩ්, වලමාල, වැලිපුනගොන සහ සිඹුර් බිම් වල සය කිරියා බිම් ලහබත් කරණු සඳහා වෙන් කර තැබිය යුතුය, මෙම වෙහෙරට අයත් ගම් බිම් වලට තුන් රදොලින් [Three Royal Households] වාරි-පෙරෙනාට්ටියම් නිලධාරීන් ඇතුළු නොවිය යුතු අතර, ගැල්, ගොන් [Oxen], මීවුන් [Buffaloes] වද්ද නොගත යුතුය, බැහැර මිනී කොටා මෙහි පැමිණෙන්නන් එනම් බාහිර ස්ථාන වල මිනීමරා මෙහි පැමිණෙන්නන් විහාරයේ සීමාවන් තුලට වැද්ද නොගත යුතුය, එසේම පරිශ්‍රය තුල සිට මිනී මරන්නන් කැමියන් [Officials] විසින් ඔවුන්ගේ ගෙවල් පවරාගෙන පරිශ්‍රයෙන් පිටත් කල යුතුය. මෙම කතිකාව කඩ කරන මහණුන්, කැමියන් හෝ රදොල් [Officers attached to the royal households] යන කිසිවෙකු හෝ වේවා ඔවුනට මෙතේ බුදුන් දකින්නට නොලැඹෙනු ඇත*.      

ඉහත සඳහන් ස්ථාන නාම වලට අමතරව ලිපියේ අර්ධ වශයෙන් කියවිය හැකි කොටස් වල මහසඟ්වැලි බිමෙහි සුමන්ගලු නුවර කල්ලන්ගමු නවම, පහණ්ගම ..මනලක පිහිටි පවුර් මහපූගම, පනවගම-තම්ම, මහදියමොහොල යන ස්ථාන නාමයන්ද සඳහන්වේ.

* ඉහත සෙල්ලිපි දෙකෙහිම සඳහන් කරුණු කඩකරන්නන් හට මෙතේ බුදුන් දකින්නට නොලැබෙනු ඇත වැනි වැකි සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ මේ අවධිය වන විට  මහාවිහාර සම්ප්‍රදායට පරිබාහිරව අභයගිරි, ජේතවණ වැනි පාර්ශවය විසින් ප්‍රචලිත කල මතු බුදු වන මෛත්‍රී බුදුන් සහ බෝධිසත්ව වන්දනය මුල් කරගත් මහායානික ඇදහීම් කොතරම් දිවයිනේ අගනගරයෙන් බැහැර වෙනත් ප්‍රදේශ වලටද පැතිර ගොස් තිබිණිද යන්නය.

සංරක්ෂණය කල ස්තූපය
ඉහත සෙල්ලිපි වල සඳහන් දක්ඛිණ විහාරය පිළිබඳව  වංශ කතා වල හමුවන තොරතුරු

මහාවංශයේ සඳහන් වන පරිදි සද්ධාතිස්ස රජු (පො. ව. පූර්ව 137-119) දක්ඛිණගිරි විහාරය නම් වූ විහාරයක් ඉදිකර ඇත. එහිම (චූලවංශය ලෙසින් හැදින්වූ මහාවංශයේ දෙවන කොටසේ) පසු අවස්ථාවක සඳහන් වන්නේ ධාතුසේන රජුද (පො. ව. 455-473) ථේරවාදී හික්ෂූන් සඳහා ඉදිකල සියළු සම්පත් සපිරි විහාර අතර දක්ඛිණගිරි නමින් වූ විහාරයක්ද තිබූ බවයි. නැවතත් පස්වන කාශ්‍යප රජු (පො. ව. 914-923) පිළිබඳව වූ විස්තරයේදී එහිම සඳහන් වන්නේ එම රජු දක්ඛිණගිරි නම් වූ විහාරයට ගමක් දුන් බවය. දක්ඛිණගිරි දළ්හ නම් වූ විහාරයේ පළමුවන අග්ගබෝධි රජු (පො. ව. 571-604) උපෝසථඝරයක් කරවූ බවටද මහවංශයේ සඳහන්වේ. මෙම දක්ඛිණගිරිදළ්හ විහාරයද ඇතැම් විට පෙර හා පසු අවස්ථාවන්හීදී දක්ඛිණගිරි විහාරය ලෙසින් මහාවංශයේ හැඳින්වෙන විහාරය විය හැක. 
උපෝසථඝරය ලෙස අනුමාණ කරන ගොඩනැගිල්ල

පබ්බත විහාරයක් නැතහොත් පඤ්චාවාස ආරාමික භූමියක් ලෙස හඳුනාගෙන ඇති මෙම පැරණි නටබුන් විහාරයේ ප්‍රධාන මළුවට ඇතුළු වන ප්‍රධාන දොරටුව උතුරු දෙසින් පිහිටා ඇත.  මෙතෙක් මෙහි කැනීම් කර සංරක්ෂණය කර ඇත්තේ ප්‍රධාන මළුව වටා දිවෙන ගඩොල් ප්‍රාකාරයේ කොටසක් සහ ස්තූපය පමණි. එයට අමතරව මෙහි පිහිටි ගල් කණු තුනක් පමණක් මතුපිටින් දිස්වන උස් ගොඩැල්ලක් පිළිම ගෙය ලෙසත්, බොධිඝරය ලෙස මිටි ගල් කණු සහිත ස්ථානයක් සහ උපෝසථඝරය ලෙස උස් ගල් කණු සහිත ස්ථානයක් හඳුනාගෙන ඇත. 

පිළිමගෙය ලෙස සැලකෙන මෙතෙක් කැනීමක් සිදු නොකල ස්ථානය

කළුදියපොකුණ ආරාම සංකීර්ණයේ පූජනීය ගොඩනැගිලි හමුවන ප්‍රධාන මළුවට දකුණින් සහ ගිණිකොන දෙසින් එයට පිටතින් පොකුරු වශයෙන් පිහිටි ලෙන් 32 ක් හඳුනාගෙන ඇත. මේ අතරින් ලෙන් 18 ක කටාරම කොටා ඇති අතර, ලෙන් 4 ක පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් ලිපි කොටා ඇත. ගල් බිත්ති අවශේෂ සහිත ලෙන් 24 ක්ද, ගඩොල් බිත්ති අවශේෂ සහිත ලෙන් 9 ක්ද, සිතුවම් තිබූ බවට සාධක සහිත ලෙනක් සහ මූර්ති තිබූ ලෙනක් ද ඒ අතරින් හඳුනාගෙන ඇත. පූර්ව බ්‍රාහ්මි ලිපි සහිත ලෙන් දෙකකම එම ලිපි වල 'ශඝශ' ලෙසින් සඳහන් වන බැවින් එම අක්ෂර අයත් වන පොදු වර්ෂ පූර්ව තුන් වන සියවසේ සිටම එම ලෙන් සඟසතු කර තිබූ බවත්, එනයින් මෙම ආරාම සංකිර්ණයේ ආරම්භය එම යුගය දක්වාම දිවෙන බවත් පැවසිය හැකිය. පසු කාලීනව පොදු වර්ෂ 6, 7 සියවස් වලදී මෙම ස්ථානය පබ්බත විහාරයක් බවට පරිවර්තනය වූ පසුවද එම ලෙන් භික්ෂු ආවාස ලෙසින් භාවිතා වූ බව සිතිය හැක. මේ ලෙන් වල ඉඩ ප්‍රමාණය අනුව සියළුම ලෙන් වල භික්ෂූවහන්සේලා 106 ක් පමණ වැඩ වාසය කරන්නට ඇති බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ගණනය කරයි.  ලෙන් වලට අමතරව පිහිටි භික්ෂූන් වහන්සේලා අවම වශයෙන් 12 ක් වාසය කළ බවට ගණනය කල හැකි ආවාස කුටිද සැලකිල්ලට ගත් කල මෙම පබ්බත ආරාමයේ භික්ෂූන්වහන්සේලා 118 කට පමණ ඉඩ පහසුකම් තිබූ බවට ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

ඉහත සඳහන් සෙල්ලිපි වලට අමතරව පොදු වර්ෂ 5 - 7 සියවස් වලට අදාල අක්ෂර වලින් කොටා ඇති වහරල ලිපි ලෙසින් හඳුන්වන ලිපි කිහිපයක්ද මෙම පුරාවිද්‍යා සංකීර්ණයේ මුරගල්, පියගැට සහ පුවරු වලින් හමුවී ඇත.

සංරක්ෂණය කල ප්‍රධාන මළුවේ පිටත ප්‍රාකාරය

කළුදියපොකුණ ආරාම සංකීර්ණයේ සිදුවූ පුරාවිද්‍යා කැනීම් සහ සංරක්ෂණය කිරීම්

1977 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බිමක් මෙම පරිශ්‍රයේ ආරම්භ කරන අතර කුඹුක්කඳන්වල ගම්මානයේ සිට මෙහි ඒමට තිබූ සැතපුමක් පමණ වූ අඩි පාර ජීප්-පාරක් බවට පුළුල් කල බවත්, එහෙත් බෝක්කු කිහිපයක් නොයොදා වාහනයක් වැඩබිම වෙත ගෙන යෑමට නොහැකි බවත් 1970- 1977 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ සඳහන් වේ. එම වර්ෂයේම පුරාවිද්‍යා රක්ෂිතය එලිපෙහෙලි කර විවිධ ස්මාරක වෙත යෑමට අඩි පාරවල් යෙදූ බවත් එහි වැඩිදුරටත් සඳහන්ය.  
එරවලගල කඳුවැටිය පාමුල පිහිටි කළුදිය පොකුණ ආරාමයේ සංරක්ෂණය කල ස්තූපය

මෙහි පිහිටි ස්තූපයේ තිබූ ගස් ඉවත් කර එහි දකුණු දිශාවෙන් කැනීමක් 1979 වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ වේ. එම වසර අවසාන වන විට එහි දකුණු හා නැගෙනහිර දිශාවෙන් සහ බටහිර දිශාවෙන් මද දුරක්ද කැනීම් කර දාගැබේ මාලකය මතුකර ගැනීමට හැකිවී ඇත. දකුණු දිශාවෙන් වූ පඩිපෙල සහ මුරගල්ද මතුකරගැනීමට හැකිවී ඇති අතර පඩිපෙලේ පලමු පඩියේ කොටා තිබූ අනුරාධපුර යුගයේ පසුකාලයට අයත් සෙල්ලිපියක්ද එම යුගයටම අයත් අකුරු කොටා තිබූ රවුම් හැඩැති ගඩොල්ද මෙහිදී හමුවී ඇත. මෙහි පිහිටි ස්තූපය සහ ප්‍රධාන මළුවේ පිටත ප්‍රාකාරයේ කොටසක් පමණක් 90 දශකයේදී සංරක්ෂණය කර ඇත.
බෝධිඝරය
මූලාශ්‍
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 2 , Sirimal Ranawella, 2004
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume III (1928 - 1933), 1989
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • Bibliotheca zeylanica series 1, Manjusri Vastuvidyasastra, M.H.F. Jayasuriya, Leelananda Prematilleke, Roland Silva, 1995
  • Environment, Town, Village And Monastic Planning, Roland Silva, 2006
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • ශීලා ලේඛන සංග්‍රහය - 1, මැද උයන්ගොඩ විමලකිත්ති හිමි, තෙවන මුද්‍රණය, 2004
  • Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
  • Administration Report of the Director-General of Archaeology for the year 1998, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1997, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1996, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1993, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1970-1977, R.H. de Silva
  • Administration Report of the Director-General of Archaeology for the year 1979, R.H. de Silva, W.S. Karunawatne 
  • Historic Matale, 1984
  • History of Ceylon, Volume 1, Part 2, 1960

Saturday, February 4, 2017

නැගෙනහිර බොදු උරුමය 5 - බුදුන් විසූ රජගහනුවර අම්පාරේ රජගලද?

මෙරට ජනයා තරම් මිත්‍යාව හිස් මුදුනින් පිළිගන්නා ජාතියක් ලොව කවර නම් වූ රටකවත් නොසිටිනවා ඇත. ඕනෑම බොරු කාරයෙකුට මෙරටදි 'හිට්' වෙන පන්නයේ ඉතිහාස කතාවක් ගොතා ගත හැකි නම් ඔහුට ඉතා ඉක්මනින් ජනප්‍රිය විය හැකි අතර සැලකිය යුතු ආදායමක්ද ඉන් උපයා ගත හැක. කලකට පෙර 'රාවණා බ්‍රදර්ස්ලා' සහ ඔවුන්ට කතා ගොතා දුන් සූරිය ගුණසේකරලාද, අරිසෙන් අහුබුදුලාද, මිරැන්ඩෝලාද මෙරට රාවණා රැල්ලක් මැවීය. ඇසින් දුටුව පරිදි රාවණා කල සූර වීර ක්‍රියා පත්තර පිටු ගනන් පුරා පළවිය, පොත් දුසිම් ගණනින් පලවී උණු කැවුම් මෙන් විකුණුනි. මෙවැනිම රැල්ලක් බුදුන් මෙරට උපන් බව පවසමින් එක් හිමි නමක් විසින් ඇති කල අතර ඒ හිමියන්ට අනුව රජගල යනු මාගධයේ අගනුවර ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන රජගහ නුවරය. අද වන විට මේ මිත්‍යාව කොතරම් දුර ගොස් ඇත්ද යත් වන්දනා නඩ රැගෙන රජගහ නුවර ස්ථාන පෙන්වමින් යන 'ගයිඩ්ලා' අසරණ ජනතාවගේ මුදල් කොල්ලකමින් රජගල පෙදෙසේ නිබදව සැරිසරයි. රජගල යනු රජගහනුවරද? මේ රජගල පිළිබඳව එම ස්ථානයේ ඇති සෙල්ලිපි සහ වංශකතා ඇසුරින් කෙරෙන විමසුමකි.
සංරක්ෂණය වෙමින් පවතින ස්ථූපයක්
 රජගල හෙවත් රාස්සහෙළ ලෙස වර්තමානයේ හැඳින්වෙන යුග කිහිපයකටම අයත් ආරාම නටබුන් හමුවන මේම ස්ථානය පිළිබඳව අප මෙයට පෙරද කතා කලෙමු.
අඩක් නිමවන ලද හිටි පිළිමයක්
මේ ස්ථානයේ ඇති ගල් පර්වතයක කොටා ඇති සෙල් ලිපි රැසක් සෙනරත් පරණවිතාන මහතා විසින් කියවා ප්‍රකාශයට පත් කර ඇත. ඉන් එක් ලිපියකින් කියවෙන්නේ ඈපා දළ්සිව ගේ නියෝගයෙන් මාළත්තෙ, ගුළවැල්ලැ, මීවන්ගමු යන තැන්හී පිහිටි ඉඩම් අරිත්තාරා වෙහෙර වාසි හිමියන්ට පිරිනැමූ බවය. එම නියෝගය සහිත සෙල්ලිපිය ලියවා ඇත්තේ එහිම කියවෙන පරිදි ලම්ජනවු වාසි දය් විසිනි.  ඒ ආසන්නයේම දැකිය හැකි අක්ෂර රටාව අනුව එම කාලයටම අයත් තවත් ගිරි ලිපියකින් කියවෙන්නේ වීරාංකුරා ගේ නියෝගය පරිදි අරිත්තාරා වෙහෙර වසන හිමියන්ට සිව්පසය උදෙසා සරට්වැග පිහිටි මහාවැගණ ඉඩම් පවරා දුන් බවය. ලම්ජනවු හී වීරාංකුරා විසින් ලියැවූ තවත් සෙල්ලිපියක් මගින් කියවෙන්නේ සෙන් ගේ නියෝග පරිදි අරිත්තාරා වෙහෙර වාසී හිමියන්ගේ සිව්පසය උදෙසා ගළ්හොය දකුණු දිග පිහිටි දිගැ(පිඩු)ල්ලෙ සොරුයුර් හා ලම්ජනවු හි කලල්වැලි හි පිහිටි ඉඩම් පවරා දුන් බවය.
තහවුරු කල ගොඩනැගිල්ලක්
මෙහි සඳහන් වන පුද්ගල නාම අතුරින් ඈපා දළ්සිව යන නාමය මහාවංශයේ සදහන් වන ආදිපාද දාඨාශිව ලෙස පහසුවෙන් හඳුනාගත හැක. පළමුවන උදය (ක්‍රි.ව. 797-801) රජතුමාගේ කාලයේ රුහුණු රට ආදායම් පාලකයා ලෙස ඔහු ගැන සඳහන් වේ. මහාවංශයේ සඳහන් වන ලෙසට මෙම ආදිපාද  දාඨාශිව ගෙ පුත් වූ මහින්ද කුමරුවා රජරට සිටි පාලකයා වූ පළමුවන උදය රජු සමග මිතුරුව ඔහුගේ දියණිය වූ දේවා ද සරණ පාවා ගෙන  බල සෙන් ගෙන රුහුණට ගොස් සිය පියා දඹදිවට පලවා හැර රුහුණේ බලය පැහැර ගත්හ. මෙම සිදුවීම වන්නේ වංශ කතාවට අනුව වසර පහක් පමණක් සිහසුන හෙබවූ පළමුවන උදය රජතුමාගේ කාලයේ බැවින් ආදිපාද දාඨාශිව මෙම ඉඩම් ප්‍රදානය කරන්නට ඇත්තේ පළමුවන උදය රජුට පෙර සිටි පාලකයා වන දෙවන මහින්ද (ක්‍රි.ව. 777-797) රජුගේ කාලයේ විය හැකි බවට පරණවිතාන මහතා විශ්වාස කරයි. කෙසේ නමුත් අක්ෂර රටාව අනුව මෙම ලිපිය 8 වන ශතවර්ෂයේ දෙවන භාගයට ස්ථිරවම අයත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව අපිට පැහැදිලි වන්නේ 8 වන ශතවර්ෂයේ මෙම ස්ථානය අරිත්තාරා වෙහෙර ලෙසින් හැඳින්වූ බවය.
වතුර රැස් කිරීමට සෑදූ විශාල ගල් පාත්‍රයක්

 ඉහත සෙල්ලිපි වල සඳහන් වන ස්ථාන නාම හඳුනාගැනීමේ උත්සාහයක් දරන C.W. නිකොලස් මහතා ලම්ජනව්හි කලල්වැලි යනු වර්තමාන දිවුලාන අවට ප්‍රදේශය ලෙසත් බොහෝවිට එම ප්‍රදේශය උහණ දක්වාම පැතිර තිබෙන්නට ඇති බවත් පවසයි. වර්තමානයේ අම්පාර නගරයට දකුණින් පිහිටි මුවන්ගොමුව එක් සෙල්ලිපියක සඳහන් වන මීවන්ගමු විය හැකි බවත් ගළ්හොය යනු වර්තමානයේද ගල් ඔය ලෙස හැඳින්වෙන ගංගාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මෙම සෙල්ලිපි අයත් දෙවන මහින්දගේ කාලයේ සිදුවූ එක් වැදගත් සිදුවීමක්ද ගල් ඔය ගංගාව හා සම්බන්ධිතය. මෙතෙක් රුහුණු සහ රජරට අතර සීමාව ලෙස පැවති මහවැලි ගඟ වෙනුවට ගාළ්හ හොය එහි උතුරු සීමාව බවට පත්වී පෙර රුහුණු රටට අයත් භූමියෙන් කොටසක් රජරටට අයත් වන්නේද දෙවන මහින්ද විසින් රෝහණය ආක්‍රමණය කර එහි මාර පව්වේ කඳවුරු බැඳගැනීමත් සමගය.
තහවුරු කල ගොඩනැගිල්ලක්
ඉහත දෙවන මහින්ද රජුගේ ලිපි වලට පෙර යුග වලට අයත් ගිරි ලිපි කිහිපයක්ම මෙම ගල් පර්වතයේම ඇති අතර ඒ අතුරින් දෙවනපිය මහරජුගේ මුනුබුරු වූ පුටකණ ගමිණි අබහ නම් වූ උප රජ කෙනෙකුගේ ඔහු උපරජ ධූරයට පත්වූ දින මෙම විහාරයට පිරිනැමූ සවති සහ අටුසබ යන ගම් වර පිළිබඳව වූ සෙල් ලිපිය වැදගත් වේ. මෙහි සඳහන් උප රජ පසුව කූටකණ්ණ තිස්ස (ක්‍රි.පූ. 44-22) නමින් රජ වූ රජු බව පරණවිතාන මහතා හඳුනාගනී. එහෙත් මෙම ලිපියේ ස්ථානයේ නම සඳහන්ව නැත.
මුරගලක්
ඉන් මෑත යුගයකට අයත් කුටකණගමිණි තිස ගේ පුත් වූ නාග නම් වූ වෙනත් උපරජ කෙනෙක් ලජක රජුට අයත් කබඩුක නම් වූ වැව කුබිලපිතිස පර්වතයෙහි වූ විහාරයට පිරිනැමූ බව සඳහන් ලිපියක්ද මෙම ගල් පර්වතයෙහිම හමුවේ. මෙහි සඳහන් නාග නම් වූ උප රජු මහාදාඨික මහානාග (ක්‍රි.ව. 7-19) ලෙස වංශ කතා වල සඳහන් වන කූටකණ්ණ තිස්ස රජුගේ බාල පුත් බව පරණවිතාන මහතා හඳුනාගනී. ඒ අනුව මෙම පිරිනැමීම සිදු කරන කාලයේ ඔහු රෝහණයේ උප රජ ලෙස සිට ඇති බවත් ලජක රජ ලෙස හැඳින්වෙන්නේ එවකට මහ රජු වූ භාතික තිස්ස (ක්‍රි.පූ. 22 - ක්‍රි.ව. 7) රජු විය හැකි බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

කැනීම් සිදු කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක්
ඉහත ගිරිලිපියට අනුව මෙම යුගයේ රජගල පර්වතය කුබිලපිතිස පවත (පර්වතය) ලෙස හඳුන්වා ඇති බව පෙනේ. මහාවංශයේ එන සඳහනකට අනුව ලඤ්ජතිස්ස (ක්‍රි.පූ. 119-109) රජු ගිරිකුම්භීල විහාර පූජාවේදී සැට දහසක් භික්ෂුන්ට තුන් සිවුරු පිරි නැමූ බව පැවසේ. ගිරිකුම්භීල ලෙස පෙළ බසට පෙරලෙන්නේ කුබිලපි පවත බවත් බොහෝවිට සද්ධාතිස්ස (ක්‍රි.පූ. 137-119) රජුට ගෞරව පිණිස හෝ සිය නම වන තිස යන්න එක්කරගනිමින් හෝ එය කුබිලපිතිස පවත ලෙස හැඳින්වෙන්නට ඇති බවත් සෙනරත් පරණවිතාන මහතා පවසයි. ඒ අනුව මේ විහාරයේ නිර්මාතෘ ලඤ්ජිතිස්ස බවට මෙයින් සාධක හමුවේ. ලජකතිස රජුගේ පුතෙකු වූද දෙවනපිය ගමිණි අබ මහ රජුගේ මුනුබුරු වූද ගමිණි අබය විය හැකි (එම නම සදහන් අකුරු බෙහෙවින් ගෙවී ඇත) කුමරුවකු විසින් සිදු කල මගුල් ලකුණක් ගැන වූ ගිරි ලිපියක්ද මෙම ස්ථානයේම හමුවන මුත් එම මගුල් ලකුණ කුමක්දැයි හඳුනාගෙන නැත. එය බොහෝ විට සිරිපතුල් ගලක් විය හැක.
වන ප්‍රවාහයට හසුවූ ගොඩනැගිල්ලක ගල් කණු
මහාසේන (ක්‍රි.ව. 274-301) රජු කුබලව සහ අරිය-අකර විහාරද ඇතුළු සියලු විහාර වල සිටින සංඝයා සමගි කර ධර්මයේ සුභසිද්ධිය උදෙසා සියක් කහවනු පිරිනැමූ බව පැවසෙන ගිරි ලිපියක්ද මේ ස්ථානයේම ඇත. මෙම විහාර දෙකම හෝ එකක් මේ ස්ථානයේ වූවා විය හැක. කුබලව යන්න මෙම ස්ථානයේ මූල් කාලීන නාමය වූ කුබිලපිතිස පවත යන්න හා සමගත් අරිය-අකර යන්න පසු කාලීන නාමය වූ අරිත්තාරා වෙහෙර යන්න සමගත් යම් සාම්‍යත්වයක් ඇති බව පෙනේ.
ලිපියේ සාකච්චා වන සෙල් ලිපි පිහිටි ගල්තලාව
ඉහත පුටකණ ගමිණි අබහ උපරජුගේ සෙල්ලිපිය ආසන්නයේම ඇති එහෙත් එහි කාලයට වඩා අවම වශයෙන් සියවසකටවත් පසු කාලයකට අයත් වන දිග-අව (දිඝාවාපිය) අසල වඩමනය (වඩ්ධමානක) යෙහි වසන කබකඩර නකගේ(නාග) පුත් අශ්වරෝහක නක (නාග) විසින් පිහිටවූ තවත් ගිරි ලිපියක සඳහන් වන්නේ ඔහු විසින් ගිරිකබල හෙවත් තිසමහාවිහාරයට අරියවස උත්සවයේ වියදම් සඳහා යොදාගැනීමට කහවනු සියයක් දුන් බවය. එම මුදල් වල පොලිය ඒ සඳහා යොදාගන්න ලෙස එහි සඳහන් වේ. පළමුවන හෝ දෙවන ශතවර්ෂයට අයත් තවත් ගිරි ලිපියකට අනුව රඛකල කුබලවි(තිස)පවත විහාරයට මජ(ග)මක නම් වූ පුද්ගලයකු සංඝයාගේ ලහ බත් සඳහා කහවනු 1000 පිදූ බව සඳහන් වේ. පසු කාලීනව රජගල බවට පරිවර්තනය වූ රාක්ෂගල යන්නෙහි මුල් ස්වරූපයේ මෙහි රඛකල යන්නෙහි ඇත.
ස්තූපයක් අසල ඇති සිරිපතුල් ගලක්
ගිරිකුම්භීල හෙවත් කිඹුල්ගල යන නාමය මුල් කාලයේදී මෙම පර්වතයට යෙදෙන්න ඇත්තේ එය දුර සිට බලන විට කිඹුලෙකුගේ හැඩයට පෙනෙන නිසා විය හැක. කිසියම් කලක එය රාක්ෂගල හෙවත් රඛකල ලෙසින් වෙනස් වී වර්තමානයේ රජගල බවට පත් වී ඇත. මේ අනුව මෙහි පිහිටියේ ගිරිකුම්භීල, කුබිලවිතිස පවත, අරිත්තාරා වෙහෙර, ගිරිකබල, තිසමහාවෙහෙර වැනි නම් වලින් එක් එක් කාලයේ හැඳින්වූ විහාරයක් විනා මාගධයේ අගනුවර වූ රජගහ නුවර නොවේ.

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part I, Late Brahmi Inscriptions, Paranavitana S., 1983
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part II, Late Brahmi Inscriptions, Paranavitana S., 2001
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume IV, 1934-1941 Edited by S. Paranavitana, 1943
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • බුදු සසුන බැබළුණු පැරණි පුදබිම්, එල්ලාවල මේධානන්ද හිමි, 2000
  • පාචීන පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 

Sunday, January 8, 2017

රුහුණේ පැරණි පුදබිම් 4 - යුද පිටියක ඉදිකල පබ්බත විහාරය - යුදඟනා පිටියේ චූලාංගණී වෙහෙර

1815 මහා පාවාදීමෙන් වසර 200 කට පසු සිංහල ජාතිය නැවතත් එවන් පාවාදීමකට සිය කැමැත්තෙන්ම ලක්වී අදට වසර දෙකක් ගත වී ඇත. එම 2015 පාවාදීමට සිය අමන කම නිසාම හවුල් වූ ඇතමුන්ට අද වන විට යමක් වැටහී ඇතිමුත් තමුන් රට පාවා දුන්නේ මේ රටට කෙල හලන අල්ලපු රටේ සහ ඈත එපිට ඒරොප්පේ හොටබරින්ට බව ඔවුන්ගෙන් ඇතමෙකුට තබා, පාවා දීමට හවුල් නොවූ ලක්ෂ 58 න් බහුතරයකට වුවද වැටහී ඇත්ද යන්න සැක සහිතය. මෙරට ඉතිහාසයේ බොහෝ වර පර සතුරු උවදුරු වලට මෙරට ලක්වූවෙත් එම පර සතුරු උවදුරු වලින් මිදීමට බොහෝ කල් ගතවුවේත් මෙරට පාලකයන් පර සතුරු උවදුර වටහා නොගෙන නැතහොත් එය දෙවෙනියට තබා දිගින් දිගටම ඔවුනොවුන් අතර කුලල් කා ගැනීම් වලින් කල් යැවූ නිසාය. අදද එහි වෙනසක් නැත. (සිහසුන බේරාගැනීමට පරයන් සමග නිදි වදින උන්ට මෙය අදාල නැත්තේ ඔවුන් ද්‍රෝහින් ලෙස ඉතිහාස ගත වී ඇති බැවිනි) 
පිළිමගෙය
 අවජාතක පරපුරේ අඳබාලයන් නොවන මෙරට බොහෝ දෙනෙක් ශ්‍රේෂ්ඨ නරපතියෙක් ලෙස සලකන දුටුගැමුණු රජතුමා වුවද මෙම දුර්වලතාවයෙන් නොපෙලුනා නොවේ. එපමනක් නොව ඔහු රාජ්‍ය උදෙසා සටන් වැඳුනේ සිය සොහොයුරා සමග වීමද විශේෂිතය. ඔවුන් දෙදෙනා සටන් වැදුන යුද පිටිය මහාවංශයේ සඳහන් වන්නේ චූලාංගනීපිට්ඨි හෙවත් චූලාංගනී පිටිය ලෙසින්ය.  පසුකලක ලියවුන සිංහල ථූපවංශය මෙන්ම රාජාවලියද මෙම ස්ථානය යුදඟනා පිටිය ලෙස හඳුන්වයි. වර්තමානයේ යුදඟනා වෙහෙර ලෙස හඳුන්වන ස්ථූපය පිහිටි භූමිය මෙම ස්ථානය ලෙස විශ්වාස කෙරේ. යුදඟනා පිටිය හඳුනාගැනීම සහ යුදඟනා වෙහෙරේ විස්තර සඳහා කියවන්න.  >>  රුහුණේ පැරණි පුදබිම් 1 - යුදඟනා ස්තූපය, පැරකුම් රජු ඉදිකල රත්නාවලි චේතියද?
ස්තූපය
 මෙම යුදඟනා ස්ථූපයට නුදුරින් පිහිටි කුඩා ස්ථූපයක්, පිළිම ගෙයක් සහ වෙනත් නටබුන් ගොඩනැගිලි වලින් සමන්විත ස්ථානයක් චූලාංගනී වෙහෙර ලෙසින් වර්තමානයේ හඳුන්වන නමුත් කිනම් කලක පටන් එම ස්ථානය එසේ හැඳින්වෙන්නේද යන්න අවිනිශ්චිතය. 1992 බුත්තල පැවති ගම් උදාව සැනකෙලිය සහ වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව එම ස්ථානය කැනීම් කර සංරක්ෂණය කල බවට 1992,1993 සහ 1994 වසර වල පුරාවිද්‍යා පාලන වාර්තා විමසා බැලීමේදි පෙනියයි. චූලාංගනී දාගැබ සංකිර්ණය ලෙසින් එම පාලන වාර්තා වල ස්ථානය පිළිබඳව සඳහන් වෙයි.
 ප්‍රාකාරයකින් වටවුන සෘජුකෝනාශ්‍රාකාර පෙදෙසක් තුල පිහිටි කුඩා දාගැබ සහ නිදන් සොයන අමනයන් විසින් කිසියම් කලක හිස කඳින් වෙන් කර කකුල් කඩා දමා ඇති බුදු පිළිම තුනක පමණ අවශේෂ වලින් පිලිම ගෙයක් ලෙස හඳුනාගත හැකි ගොඩනැගිල්ලට අමතරව වෙනත් ගොඩනැගිලි තුනක පමණ නටබුන් මෙහි දක්නට ඇත. එම අනෙකුත් ගොඩනැගිලි උපෝසථඝරය, සභා ශාලාව සහ බෝධිඝරය ලෙස හඳුනාගත හැකි නම් පබ්බත විහාර ලෙසින් වර්තමානයේ විද්වතුන් විසින් හඳුනාගන්නා සංඝාරාමයක් මෙහි තිබූ බවට පිළිගත හැක.
 පබ්බත විහාර වල වාස්තු විද්‍යාත්මක සැලැස්ම මූලික වශයෙන් කොටස් දෙකකින් යුක්තය. එනම් ඉහත විස්තර කල ස්තූපය, බෝධිඝරය,පිළිමගෙය, උපෝස්ථඝරය සහ ඇතැම් අවස්ථා වල සභා ගොඩනැගිල්ලකින්ද සමන්විත ප්‍රාකාරයකින් සහ ඇතැම් විට දිය අගලකින්ද වටවූ ප්‍රධාන මළුව සහ එයට පිටතින් පිහිටි ප්‍රධාන නොවන මළුවයි. එම ප්‍රධාන නොවන මළුවේ භික්ෂුන්ගේ වාසය සඳහා ඉදිකල කුටි, සහ උන්වහන්සේලාගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය භෝජනශාලා, ජන්ථාඝර, කැසිකිලි,වැසිකිලි, සහ අනෙකුත් එවන් ගොඩනැගිලි දක්නට හැකිය. මෙම ස්ථානයේද ප්‍රධාන මලුවට පිටතින් වෙනත් ගොඩනැගිලි තිබූ බවට තැනින් තැන දැකිය හැකි මෙතෙක් කැනීම් කර තහවුරු නොකල ගල් කණු විසිරුණු ස්ථාන වලින් පෙනී යයි.
විනාශ කල බුදු පිළිම කොටස්

 මූලාශ්‍ර

  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • Sinhalese Monastic Architecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake, 2009
  • Administration Report of the Director-General of Archaeology for the year 1992, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1993, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
ආශ්‍රිත පෙර ලිපි

Monday, October 3, 2016

නැගෙනහිර බොදු උරුමය 4 - රජවරු සහ රජ බිසෝවරු සතර දෙසින් පැමිණි සහ නොපැමිණි සංඝයාට පිදූ රජගල ලෙන්


මිහිඳු මාහිමියන් විසින් මෙරටට බුදු දහම හඳුන්වාදීමත් සමග ශාසනයේ පැවිදි වූ බෞද්ධ භික්ෂුන් සඳහා අවශ්‍ය වාසස්ථාන පිලියල කරදීම රාජ්‍යයේ සහ ජනතාවගේ එවකට එක් ප්‍රමුඛ කාර්යභාරයක් වූවාට සැක නැත. වංශ කතා පවසන පරිදි මිහින්තලයේ පිහිටි ගල් ලෙන් වල මිහිඳු හිමි සහ පිරිස ලංකාවේ පළමු වස් කාලය ගත කල බව පැවසේ. ස්වභාවිකව පිහිටි ගල් ලෙන් සකසා භික්ෂුන්ගේ වාසය සඳහා පිළියල කරදීමෙන් භික්ෂු ආවාස මුල් කාලයේ ඇති කල බවට සාධක ඇත. පසුකාලීනව මහාවිහාරය, අභයගිරිය වැනි විශාල ආරාම ඇතිවීමත් සමග වුවද ආරණ්‍යවාසී භාවනානුයෝගී භික්ෂුන් ජනාකීර්න වූ නගරබද ආරාම වලට වඩා වනගත පෙදෙස් වල මිනිස් වාසයෙන් දුරස්ව පැවති ගල් ලෙන් ආරාම වශයෙන් යොදාගන්නට ඇත.   
ගල් බිත්ති වලින් ලෙනක් කුටීර වලට වෙන් කර ඇති ආකාරය
මෙරට විවිධ ප්‍රදෙශයන්හී විශේෂයෙන්ම පහතරට වියලි කලාපයට අයත් ප්‍රදේශ තුල විසිරී ඇති දහසකට නොඅඩු මෙවන් ගල් ලෙන් විශාල ප්‍රමාණයක් ඒවා භික්ෂුන්ගේ පරිහරණයට පූජා කල බව දැක්වෙන බ්‍රාහ්මි අක්ෂර වලින් ලියැවුනු සෙල් ලිපි සහ ලෙන තුලට වැසි වතුර කාන්දු වීම වැලැක්වීම සඳහා කල කටාරම් වලින් යුක්තව අදද දක්නට හැකිය. මෙම ලිපිය මඟින් නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ මෙයට පෙරද අප කතා කල රජගල පර්වතය ආශ්‍රිතව ඇති එවන් ගල්ලෙන් ගැන විමසා බලමු.
ඡත්‍රයක හැඩයට සකස් කර ඇති කටාරම් කෙටූ ලෙනක්
ලෙනක ඇඳ තිබූ චිත්‍ර වල ශේෂයන්
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසන පරිදි රජගල ආශ්‍රිතව කටාරම් කෙටූ ලෙන් සියයකට වඩා ඇති අතර ඉන් බොහෝමයක ලෙන් පිදූ පුද්ගලයන් විසින් පිහිටවූ සෙල්ලිපි දක්නට ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ලෙන් ලිපි 46 පමණ කියවා ප්‍රකාශයට පත් කර ඇති අතර එල්ලාවල මේධානන්ද හිමියන් මෙහි ලෙන් ලිපි 70 ක් පමණ ඇතිබව පවසන නමුදු (මේධානන්ද එල්ලාවල, 2000) ඒ හිමියන්ගේ මෑතකදි පළවූ 'රුහුණේ යටගියාව සහ සෙල්ලිපි' ග්‍රන්ථයේද උපුටා දක්වන්නේ පරණවිතාන මහතා පළකල සෙල්ලිපි 46 පමණි. 
ශාමිකා උපාසිකාවගේ ලෙන
තිශගුතගේ සිහමුඛ ලෙන
ලෙන් පිදූ පුද්ගලයන් අතර දෙවනපිය මහරඣ ගමිණි තිශ නම් රජෙකුගේ පුතුන් වූ මහ අය හා තිශ අය නම් වූ දෙදෙනෙක්ද ඇත. ඔවුන් සද්ධාතිස්ස (ක්‍රි.පූ.137-119) රජු (එනම් දෙවනපිය මහරඣ ගමිණි තිස) හා ඔහුගේ පුතුන් ලෙස  (එනම් මහ අය හා තිශ අය) ලෙස C.W. නිකලස්  මහතා හඳුනාගනී. මෙහි එක් ලෙනක් මහ අයගේ බිරිඳ වූ යශශිනි උපාසිකාවට අයත් වී ඇති බව එහි ඇති ලෙන් ලිපියේ පැවසෙන අතර තවත් ලෙනක් ඔහුගේ තවත් බිරියක් වූ බුදදත උපාසිකාවට අයත් ව තිබී ඇත. තිශ අයගේ බිරිඳ වූ උපාසිකා ශාමිකා ට සහ ඔහුගේම තවත් බිරිදක් වූ අබිඣිතට අයත් ලෙන් 2ක් ද මෙහි ඇත. දෙවනපිය මහරඣ ගමිණි තිශ නම් රජෙකුගේ පුතෙකු බව පැවසන  ලඣක රඣ නම් රජෙක් මෙහි ශීත ලෙන් 25 කල බව එක් ලිපියක දැක්වේ. මේ පෙර සදහන් කල මහ අයම විය හැකි බව නිකලස් මහතාගේ අදහසයි. එසේම ඔහු සද්ධාතිස්ස (ක්‍රි.පූ.137-119) රජුගේ පුත් වූ ලජ්ජිතිස්ස (ක්‍රි.පූ.119-109) රජු ලෙස හඳුනාගනී. 
ගල් පඩිපෙලක් සහ ගල් බිත්ති වලින් වෙන් කළ කාමර ඇති ලෙනක්
රජගල දැකිය හැකි ඇතැම් ලෙන් වල චිත්‍ර ඇඳ තිබූ බවට සාධක ඉතිරි වී ඇති අතර ගල් වලින් සහ මැටි බිත්ති වලින් කුටි වලට වෙන් කල ගුහාද කිහිපයක් තවමත් හොඳ මට්ටමින් ඉතිරි වී ඇත (මේවා පසුකාලීන ඉදිකිරීම් විමටද ඉඩ ඇත.) ලෙන් පිදූ අනෙකුත් පුද්ගලයන් අතර ගිහියන් මෙන්ම භික්ෂුන්ගේ නම්ද ඇත. පොදුවේ මේ සියලු ලිපිවලින් පැවසෙන්නේ සිව් දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට මේ ලෙන් පූජා කල බවය. 
කටාරම් කොටා බිත්ති බැඳ ඇති ශීත ලෙනක්
ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • ලක්දිව බුදු සමයේ ඉතිහාසය, වල්පොළ රාහුල හිමි, 1955
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • බුදු සසුන බැබළුණු පැරණි පුදබිම්, එල්ලාවල මේධානන්ද හිමි, 2000
  • පාචීන පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.