Showing posts with label Dambulla. Show all posts
Showing posts with label Dambulla. Show all posts

Sunday, July 23, 2023

වෙහෙර තුල අසමගියක් වූ විට බත් කවුඩන්ට විසි කල සිහිගිරිබිම්හි පිහිටි දකිණිගිරි රද්මහවෙහෙර

පුරාතන යුගයේ මෙරට සිංහල බෞද්ධ සභ්‍යත්වයේ සමෘද්ධිමත්ම අවදියේ අගනගරයේ මෙන්ම අගනගරයෙන් බැහැර ප්‍රදේශ වලද සංඝ සමාජයේ පැවැත්ම උදෙසා සහ ජනතාවගේ ආගමික අවශ්‍යතාවයන් උදෙසා විවිධ වෙහෙර විහාර ඉදිවිය. ඒ අතරින් පබ්බත විහාර ලෙසින් හැඳින්වෙන විහාරාරාම ගණයේ ස්ථාන කිහිපයක් පිළිබඳව මෙයට පෙරදීත් ලිපි කිහිපයකින්ම මෙහි කරුණු ඉදිරිපත් කර ඇත >> දිවයින පුරාම එම ගණයේ නටබුන් වූ ස්ථාන රාශියක් මේ වන විට හඳුනාගෙන ඇත. පරසතුරු උවදුරු සහ වෙනත් ස්වභාවික උපද්‍රව හේතුවෙන් ශිෂ්ඨාචාරයට වරින් වර විවිධ බාධක එල්ලවීමත් සමගම එම ආගමික ස්ථාන නඩත්තු කල ගම් බිම් වල ජනයා වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම හෝ ඔවුන් සමගම එම ගම් බිම් විනාශ වීමත් සමග ඔවුන් මත යැපුන විහාරාරාමත් පරිහාණියට පත්ව අතහැර දැමීම සිදුවේ. පසු කලක වෙනත් ප්‍රදේශයකින් පැමිණි හෝ එම ප්‍රදේශ වලම ඉතිරි වූ ජනයාගේ පසු පරම්පරාවන් වලට එම පූජනීය ස්ථාන වල නාමයන් පවා මතකයෙන් ගිලිහී යාම ස්වභාවිකය. එවන් අවස්ථාවලදී ඒ වන විට වන ප්‍රවාහය මගින් යටපත් කරගත් එවන් ස්ථාන වලට අලුත් නම් පටබැඳීම එම ගැමියන් අතින් සිදුවේ. ඒ අනුව කළු පැහැ වූ ජලය එකතු වූ පොකුණක් තිබීම හේතුවෙන් කළුදිය පොකුණ වූ පැරණි විහාරාරාම වල නටබුන් හමුවන ස්ථාන අවම වශයෙන් දෙකක් හඳුනාගත හැක. මිහින්තලේ පිහිටි මීට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කල ස්ථානයට (එම ලිපිය කියවීමට >>) අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ කණ්ඩලම වැවේ සහ එනයින් කලා ඔයේ ඉහල නිම්නයේ ජලපෝෂක ප්‍රදේශයේ එරවලගල කඳුවැටිය පාමුල පිහිටි කළුදිය පොකුණ ලෙසින් හැඳින්වෙන පබ්බත විහාර සංකීර්ණයක් ඇත. මේ ආකාරයෙන් නටබුන් වූ වෙනත් ඇතැම් ස්ථාන මෙන් නොව මෙහිදී අප හට සෙල්ලිපි සහ සාහිත්‍යමය මූලාශ්‍ර ආශ්‍රයෙන් ස්ථානයේ පැරණි නාමය කිසිදු සැකයකින් තොරවම හඳුනාගැනීමට හැකිවීම විශේෂත්වයකි.

කළුදිය පොකුණේ නටබුන් දක්වෙන කෙටි වීඩියෝව >>

ලෙනක බිත්තියේ කොටා ඇති ගිරි ලිපිය

මෙම ස්ථානයේ පිහිටි ලෙනක බිත්තියේ කෙටූ සෙල්ලිපියක් සහ පබ්බත විහාරයේ පිළිම ගෙය ලෙසින් අනුමාණ කරන ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පිහිටි පුවරු ලිපියක් ස්ථානයේ පැරණි නාමය හඳුනාගැනීම උදෙසා මූලික වශයෙන් උපකාරී වේ. ඒ අතරින්  ලෙනේ පිහිටි ලිපිය සිරිසඟ්බොය් මපුර්මුකා (දොළො)ස්වන්නේ පොසොනැපුර විසෙනි දවස්, එනම් සිරිගඟ්බො නම් රජෙකුගේ රාජ්‍යත්වයෙන් දොළොස්වන වර්ෂයේ පොසොන් මස පුර පක්ෂයේ පස්වෙනි දින දළනා නැමැත්තෙකු  විසින් දකිණිගිරි වෙහෙර මහසඟනට ලහා බත් (Ticket-meals) සඳහා තෙවිසි (23) කළන්දක් වූ රන් ප්‍රදානය කර, එයින්  දිනපතා මහබුන්ද්නෙන් අදමන දෙකක සහ මුත්වනින් සහ පෙරෙබුන්ද්නෙන් අදමන එකක ප්‍රමාණ වූ සහලින් බත් ඉර හඳ පවතින තුරා සැපයීම කලයුතු බවට පවසා පිහිටුවා ඇත. සහල් නොදී බත් ගෙ පිසැ බත් (එනම් මුළුතැන්ගේ  පිසූ බත්) දිය යුතු අතර, වෙහෙර තුල අසමගියක් වී නම් එම බත් කවුඩු (කපුටන්) බල්ලනට විසි කල යුතු වේ. මෙය කඩ කරන කිසිවෙකු හෝ වී නම් මහමෙතෙ සම්මා සම්බුදුන් දොරින් යත් (එනම් මතු බුදු වන මහා මෛත්‍රී බුදුන් එම කෙනාගේ ගේ දොරකඩින් ගියත්) එම බුදුන් හට වැඳීම උදෙසා එම පුද්ගලයා හට අත් එසවීමට හෝ නොහැකි වනු ඇත*. මෙම ප්‍රදානයේදී සීහ නැමැත්තෙකු, කොට්ගම් සීසෙන් වත්හිමි නැමැත්තෙකු, කළි මාඩබියන්,  අග්සුමෙයුර් වත්හිමියන්, කලල්වැලි උදහි, වදුරා අරක්සමණන්ගේ මෑණියන් සහ ඇදුර් වත්හිමියන් යන අය එක් ලහ බතක් බැගින් සැපයීමට දළනා සමග ගිවිස ගෙන ඇත.

සිව්වන කාශ්‍යප රජුගේ කාලයට අයත් ලෙන් ලිපිය

අක්ෂර හැඩය අනුව ලිපිය අයත් වන 10 වන ශත වර්ෂයේ මුල් අර්ධයේ සිරිගඟබෝ යන විරුදය භාවිතා කල රජවරුන් දෙදෙනෙකු හඳුනාගත හැක. ඒ අතරින් සෙනරත් පරණවිතාන මහතාගේ අනුමාණය වූයේ දෙවන සේන රජු (පො. ව. 853-887)  වන අතර සිරිමල් රණවැල්ල මහතාට අනුව කොළඹ කෞතුකාගාරයේ දැනට ඇති සිව්වන කාශ්‍යප රජුගේ කාලයේ පිහිටවූ ලෙසට හඳුනාගත හැකි ටැම් ලිපියක මෙම ලිපියේද  නම සඳහන් වන වදුරා අරක්සමණ ගැන සඳහන් හෙයින්, කළුදිය පොකුණ ගුහා ලිපිය අයත් වන්නේ සිව්වන කාශ්‍යප රජුගේ කාලයටය (පො. ව. 898-914). 

කටාරම් කෙටූ ලෙනක්. මෙහි පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියක් කොටා ඇත.

පුවරු ලිපිය

කැත්කුල කොත් ඔකාවස් රජ් පරපුරෙන් බට් සුදොනා පරපුරෙන් ආ සලමෙවන් අභා උදා මහරජ්හු හට සහ විදුරා රැජිනට දාව උපන්, අභා සලමෙවන් මහසෙන් රජුගේ රාජ්‍යත්වයෙන් පළමු වර්ෂයේ සිහිගිරිබිම්හි පිහිටි දකිණිගිරි රද්මහවෙහෙරේ සංඝයා සමග සම්මුතියෙන් එකඟව මහපිළිම හැඹූ පහණැ (මහ පිළිමය අඹන ලද ගලෙහි) ලියවා තැබූ කතිකාවතක් පිළිබඳව ඉහත සඳහන් කල අනෙක් ලිපිය වන පුවරු ලිපියේ සඳහන් වේ. 

පුවරු ලිපිය

දහවන සියවසට අයත් සිංහල අක්ෂර වලින් ලියා ඇති මෙම ලිපියේ නම සඳහන් අභා සලමෙවන් මහසෙන් රජු තුන්වන හෝ හතරවන සේන රජු විය හැකි බවට සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන මුත් (එහෙත් එතුමා එම රජු බොහෝදුරට සිව්වන සේන [පො. ව.  954-956] විය හැකි බවට අනුමාණ කරයි.) සෙනරත් පරණවිතාන මහතාට කියවිය නොහැකි වූ එම රජතුමාගේ පියාගේ නමද විරුදයද සමගින් සම්පූර්ණයෙන් කියවීමට හැකි වීම නිසා සිරිමල් රණවැල්ල මහතා එම පිය රජු දෙවන උදය (පො. ව. 887-898) ලෙසින් සහ එනයින් මෙම පුවරු ලිපිය පිහිටවූ රජු තුන්වන සේන (පො. ව. 938-946) ලෙසින් හඳුනාගනී. 

ඇසෙළැ පුර දසවක් දවස් එනම් ඇසල මස පුර පක්ෂයේ දසවන දින එක්තැන් සමියෙන් [Supreme Council] වදාළ හෙයින් මෙම කතිකාව සඳහන් පුවරු ලිපිය පිහිටුවීම සඳහා පැමිණෙන්නේ මෙකාප්පර් [Commander of the Bodyguards] සඟ්සෙන් නියමයෙන් ආ සුනගලු රක්ස, කිළින්දිරි සෙන් සහ මහකිලින්ගම කිලිඟ් ලෝකයා, වට්රක් කස්බා රක්සමණන් [Chief Guardian] නියමයෙන් ආ කුඩසලා කිත්දෙවු යන අයය. 

ලිපියේ ඇතැම් කොටස් කියවිය නොහැකි හෙයින් එම කොටස් වල අර්ධ වශයෙන් කියවිය හැකි වචන වලින් පැහැදිලි අදහසක් ගත නොහැකි මුත් පැහැදිලිව කියවිය හැකි කොටස් වල සඳහන් කරුණු අතරින් කිහිපයක් මෙසේ පෙලගැස්විය හැක. වස්  විසීම් දහයක් සිදු කල සහ සතර බණවර සම්පූර්ණ කල සංඝයා හට මෙහි ඇති ආවාස වල විසිය හැක. මෙම පරිශ්‍රය තුල සොළී සහ තුඩි බෙර වාදනය නොකල යුතු අතර, රැහැණ් [Army-whips] නොගැසිය යුතුය, වෙනත් ස්ථාන වලින් පිටමං කර මෙහි පැමිණි ඒත් ඒ බව හෙලි නොකල භික්ෂූන් හට මෙම පරිශ්‍රයේ ආවාස තුල විසීමට ඉඩ නොදිය යුතුය, මහපිරිත් ඉගෙනගැනීම සිදු නොකරන්නන් හට මෙහි පිහිටි ආවාස තුල විසීමට ඉඩ නොදිය යුතුය, මෙහි බණ හදාරන සාමනේර හිමිවරුන් මෙහි මහණ කල හැකි අතර වස් සමය අවසානයේ එය කල යුතුය, මෙහි ළුැනු (Onion) විකිනීම සිදු නොකල යුතුය, මෙහි වසන කැමියන් තමන්ගේ නඩත්තුව සඳහා ඉඩම් (දිවෙල්) බොගමියෙන් සහ මගමින් ගත යුතුය, වෙනත් ගම් වලින් ගෙනා ගෙරි [Cattle], මීවුන් [Buffaloes] සහ දස් මිනිසුන් [Male servants] යොදාගෙන මෙහි ඉඩම් සහ පමුණු ඉඩම් වල ගොවිකම් නොකල යුතුය, පස්මහ වැරදි කල කැමියන් දා [Sacred Relics] ගෙනියන පෙරහැර වලට යොදා නොගත යුතු අතර, කිසියම් වැරදි කල කැමියන් ලවා ඔවුන්ට පැවරූ රාජකාරි ඉටුකරගෙන පසුව ප්‍රදේශයෙන් පිටමන් නොකල යුතුය, වප් මස අව අටවක ලේකම් කිරීමට පෙර [Before the submission of accounts] දිවෙල් [Maintenance Lands] නොගත යුතුය, පෙර සිරිත් ඉටු නොකරන කැමියන් කැමි කමේ තබා නොගත යුතුය, පෙර සිරිත් පරිදි අය කල ප්‍රමාණයට වඩා අඩුවෙන් බදු අය නොකල යුතුය,  මහමන්ඩ්, වලමාල, වැලිපුනගොන සහ සිඹුර් බිම් වල සය කිරියා බිම් ලහබත් කරණු සඳහා වෙන් කර තැබිය යුතුය, මෙම වෙහෙරට අයත් ගම් බිම් වලට තුන් රදොලින් [Three Royal Households] වාරි-පෙරෙනාට්ටියම් නිලධාරීන් ඇතුළු නොවිය යුතු අතර, ගැල්, ගොන් [Oxen], මීවුන් [Buffaloes] වද්ද නොගත යුතුය, බැහැර මිනී කොටා මෙහි පැමිණෙන්නන් එනම් බාහිර ස්ථාන වල මිනීමරා මෙහි පැමිණෙන්නන් විහාරයේ සීමාවන් තුලට වැද්ද නොගත යුතුය, එසේම පරිශ්‍රය තුල සිට මිනී මරන්නන් කැමියන් [Officials] විසින් ඔවුන්ගේ ගෙවල් පවරාගෙන පරිශ්‍රයෙන් පිටත් කල යුතුය. මෙම කතිකාව කඩ කරන මහණුන්, කැමියන් හෝ රදොල් [Officers attached to the royal households] යන කිසිවෙකු හෝ වේවා ඔවුනට මෙතේ බුදුන් දකින්නට නොලැඹෙනු ඇත*.      

ඉහත සඳහන් ස්ථාන නාම වලට අමතරව ලිපියේ අර්ධ වශයෙන් කියවිය හැකි කොටස් වල මහසඟ්වැලි බිමෙහි සුමන්ගලු නුවර කල්ලන්ගමු නවම, පහණ්ගම ..මනලක පිහිටි පවුර් මහපූගම, පනවගම-තම්ම, මහදියමොහොල යන ස්ථාන නාමයන්ද සඳහන්වේ.

* ඉහත සෙල්ලිපි දෙකෙහිම සඳහන් කරුණු කඩකරන්නන් හට මෙතේ බුදුන් දකින්නට නොලැබෙනු ඇත වැනි වැකි සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ මේ අවධිය වන විට  මහාවිහාර සම්ප්‍රදායට පරිබාහිරව අභයගිරි, ජේතවණ වැනි පාර්ශවය විසින් ප්‍රචලිත කල මතු බුදු වන මෛත්‍රී බුදුන් සහ බෝධිසත්ව වන්දනය මුල් කරගත් මහායානික ඇදහීම් කොතරම් දිවයිනේ අගනගරයෙන් බැහැර වෙනත් ප්‍රදේශ වලටද පැතිර ගොස් තිබිණිද යන්නය.

සංරක්ෂණය කල ස්තූපය
ඉහත සෙල්ලිපි වල සඳහන් දක්ඛිණ විහාරය පිළිබඳව  වංශ කතා වල හමුවන තොරතුරු

මහාවංශයේ සඳහන් වන පරිදි සද්ධාතිස්ස රජු (පො. ව. පූර්ව 137-119) දක්ඛිණගිරි විහාරය නම් වූ විහාරයක් ඉදිකර ඇත. එහිම (චූලවංශය ලෙසින් හැදින්වූ මහාවංශයේ දෙවන කොටසේ) පසු අවස්ථාවක සඳහන් වන්නේ ධාතුසේන රජුද (පො. ව. 455-473) ථේරවාදී හික්ෂූන් සඳහා ඉදිකල සියළු සම්පත් සපිරි විහාර අතර දක්ඛිණගිරි නමින් වූ විහාරයක්ද තිබූ බවයි. නැවතත් පස්වන කාශ්‍යප රජු (පො. ව. 914-923) පිළිබඳව වූ විස්තරයේදී එහිම සඳහන් වන්නේ එම රජු දක්ඛිණගිරි නම් වූ විහාරයට ගමක් දුන් බවය. දක්ඛිණගිරි දළ්හ නම් වූ විහාරයේ පළමුවන අග්ගබෝධි රජු (පො. ව. 571-604) උපෝසථඝරයක් කරවූ බවටද මහවංශයේ සඳහන්වේ. මෙම දක්ඛිණගිරිදළ්හ විහාරයද ඇතැම් විට පෙර හා පසු අවස්ථාවන්හීදී දක්ඛිණගිරි විහාරය ලෙසින් මහාවංශයේ හැඳින්වෙන විහාරය විය හැක. 
උපෝසථඝරය ලෙස අනුමාණ කරන ගොඩනැගිල්ල

පබ්බත විහාරයක් නැතහොත් පඤ්චාවාස ආරාමික භූමියක් ලෙස හඳුනාගෙන ඇති මෙම පැරණි නටබුන් විහාරයේ ප්‍රධාන මළුවට ඇතුළු වන ප්‍රධාන දොරටුව උතුරු දෙසින් පිහිටා ඇත.  මෙතෙක් මෙහි කැනීම් කර සංරක්ෂණය කර ඇත්තේ ප්‍රධාන මළුව වටා දිවෙන ගඩොල් ප්‍රාකාරයේ කොටසක් සහ ස්තූපය පමණි. එයට අමතරව මෙහි පිහිටි ගල් කණු තුනක් පමණක් මතුපිටින් දිස්වන උස් ගොඩැල්ලක් පිළිම ගෙය ලෙසත්, බොධිඝරය ලෙස මිටි ගල් කණු සහිත ස්ථානයක් සහ උපෝසථඝරය ලෙස උස් ගල් කණු සහිත ස්ථානයක් හඳුනාගෙන ඇත. 

පිළිමගෙය ලෙස සැලකෙන මෙතෙක් කැනීමක් සිදු නොකල ස්ථානය

කළුදියපොකුණ ආරාම සංකීර්ණයේ පූජනීය ගොඩනැගිලි හමුවන ප්‍රධාන මළුවට දකුණින් සහ ගිණිකොන දෙසින් එයට පිටතින් පොකුරු වශයෙන් පිහිටි ලෙන් 32 ක් හඳුනාගෙන ඇත. මේ අතරින් ලෙන් 18 ක කටාරම කොටා ඇති අතර, ලෙන් 4 ක පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් ලිපි කොටා ඇත. ගල් බිත්ති අවශේෂ සහිත ලෙන් 24 ක්ද, ගඩොල් බිත්ති අවශේෂ සහිත ලෙන් 9 ක්ද, සිතුවම් තිබූ බවට සාධක සහිත ලෙනක් සහ මූර්ති තිබූ ලෙනක් ද ඒ අතරින් හඳුනාගෙන ඇත. පූර්ව බ්‍රාහ්මි ලිපි සහිත ලෙන් දෙකකම එම ලිපි වල 'ශඝශ' ලෙසින් සඳහන් වන බැවින් එම අක්ෂර අයත් වන පොදු වර්ෂ පූර්ව තුන් වන සියවසේ සිටම එම ලෙන් සඟසතු කර තිබූ බවත්, එනයින් මෙම ආරාම සංකිර්ණයේ ආරම්භය එම යුගය දක්වාම දිවෙන බවත් පැවසිය හැකිය. පසු කාලීනව පොදු වර්ෂ 6, 7 සියවස් වලදී මෙම ස්ථානය පබ්බත විහාරයක් බවට පරිවර්තනය වූ පසුවද එම ලෙන් භික්ෂු ආවාස ලෙසින් භාවිතා වූ බව සිතිය හැක. මේ ලෙන් වල ඉඩ ප්‍රමාණය අනුව සියළුම ලෙන් වල භික්ෂූවහන්සේලා 106 ක් පමණ වැඩ වාසය කරන්නට ඇති බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ගණනය කරයි.  ලෙන් වලට අමතරව පිහිටි භික්ෂූන් වහන්සේලා අවම වශයෙන් 12 ක් වාසය කළ බවට ගණනය කල හැකි ආවාස කුටිද සැලකිල්ලට ගත් කල මෙම පබ්බත ආරාමයේ භික්ෂූන්වහන්සේලා 118 කට පමණ ඉඩ පහසුකම් තිබූ බවට ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

ඉහත සඳහන් සෙල්ලිපි වලට අමතරව පොදු වර්ෂ 5 - 7 සියවස් වලට අදාල අක්ෂර වලින් කොටා ඇති වහරල ලිපි ලෙසින් හඳුන්වන ලිපි කිහිපයක්ද මෙම පුරාවිද්‍යා සංකීර්ණයේ මුරගල්, පියගැට සහ පුවරු වලින් හමුවී ඇත.

සංරක්ෂණය කල ප්‍රධාන මළුවේ පිටත ප්‍රාකාරය

කළුදියපොකුණ ආරාම සංකීර්ණයේ සිදුවූ පුරාවිද්‍යා කැනීම් සහ සංරක්ෂණය කිරීම්

1977 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බිමක් මෙම පරිශ්‍රයේ ආරම්භ කරන අතර කුඹුක්කඳන්වල ගම්මානයේ සිට මෙහි ඒමට තිබූ සැතපුමක් පමණ වූ අඩි පාර ජීප්-පාරක් බවට පුළුල් කල බවත්, එහෙත් බෝක්කු කිහිපයක් නොයොදා වාහනයක් වැඩබිම වෙත ගෙන යෑමට නොහැකි බවත් 1970- 1977 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ සඳහන් වේ. එම වර්ෂයේම පුරාවිද්‍යා රක්ෂිතය එලිපෙහෙලි කර විවිධ ස්මාරක වෙත යෑමට අඩි පාරවල් යෙදූ බවත් එහි වැඩිදුරටත් සඳහන්ය.  
එරවලගල කඳුවැටිය පාමුල පිහිටි කළුදිය පොකුණ ආරාමයේ සංරක්ෂණය කල ස්තූපය

මෙහි පිහිටි ස්තූපයේ තිබූ ගස් ඉවත් කර එහි දකුණු දිශාවෙන් කැනීමක් 1979 වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ වේ. එම වසර අවසාන වන විට එහි දකුණු හා නැගෙනහිර දිශාවෙන් සහ බටහිර දිශාවෙන් මද දුරක්ද කැනීම් කර දාගැබේ මාලකය මතුකර ගැනීමට හැකිවී ඇත. දකුණු දිශාවෙන් වූ පඩිපෙල සහ මුරගල්ද මතුකරගැනීමට හැකිවී ඇති අතර පඩිපෙලේ පලමු පඩියේ කොටා තිබූ අනුරාධපුර යුගයේ පසුකාලයට අයත් සෙල්ලිපියක්ද එම යුගයටම අයත් අකුරු කොටා තිබූ රවුම් හැඩැති ගඩොල්ද මෙහිදී හමුවී ඇත. මෙහි පිහිටි ස්තූපය සහ ප්‍රධාන මළුවේ පිටත ප්‍රාකාරයේ කොටසක් පමණක් 90 දශකයේදී සංරක්ෂණය කර ඇත.
බෝධිඝරය
මූලාශ්‍
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 2 , Sirimal Ranawella, 2004
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume III (1928 - 1933), 1989
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • Bibliotheca zeylanica series 1, Manjusri Vastuvidyasastra, M.H.F. Jayasuriya, Leelananda Prematilleke, Roland Silva, 1995
  • Environment, Town, Village And Monastic Planning, Roland Silva, 2006
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • ශීලා ලේඛන සංග්‍රහය - 1, මැද උයන්ගොඩ විමලකිත්ති හිමි, තෙවන මුද්‍රණය, 2004
  • Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
  • Administration Report of the Director-General of Archaeology for the year 1998, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1997, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1996, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1993, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1970-1977, R.H. de Silva
  • Administration Report of the Director-General of Archaeology for the year 1979, R.H. de Silva, W.S. Karunawatne 
  • Historic Matale, 1984
  • History of Ceylon, Volume 1, Part 2, 1960

Saturday, April 21, 2018

දඹුලු පර්වත සෙවනේ සැඟවුණු දඹුලු සෝමාවතිය

රංගිරි දඹුලු රජමහා විහාරය යනු දෛනිකව විශාල බැතිමතුන් පිරිසක් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් අති මහත් ප්‍රමාණයක් පැමිණෙන මෙරට පිහිටි ප්‍රසිද්ධ බෞද්ධ විහාරයකි. එහෙත් එම දඹුලු ලෙන් විහාරය පිහිටි පර්වතයේම පාමුල ලෙන් විහාරයට බටහිර දෙසින් සෝමාවතිය ලෙසින් හැඳින්වෙන තරමක විශාල දාගැබක් සහ පැරණි සංඝාරාමයක සංරක්ෂිත නටබුන් සහිත ඉතාමත් නිස්කලංක ස්ථානයක් ඇති බව අසා ඇති හෝ වරක් හෝ එම ස්ථානයට ගොස් ඇති පිරිස ඔවුන්ගෙන් ඉතාමත්ම අල්ප ප්‍රමාණයක් බව නිසැකය. 

එක් අතකින් එම අඩු සංචාරකයන් ප්‍රමාණය එම ස්ථානයේ වර්තමාන සන්සුන් වටපිටාව තවදුරටත් තබා ගැනීම සඳහා ඉවහල් වන බැවින් අප එය අගය කරමු. මෙවන් ස්ථාන වලට යා යුත්තේ ආගමික භක්තියක් ඇතිව හෝ පැරණි ස්ථාන පිළිබඳව උනන්දුවක් ඇතිව එවන් තැන් කරා යන පිරිස් විනා අවර ගණයේ රූපවාහිනි සංචාරක වැඩසටහන් බලා හැමෝම යන නිසා අපිත් යන්න ඕනේ යන අරමුණින්, නැතහොත් එසේ ගොස්  අපිත් එහෙ ගියා කියා 'Selfie ගසා 'FB Update' නොකලොත් හරිමදි වගේ හිතන පිරිස් නොවේ. එවන් සාතිශය බහුතරයක් දිනපතා මෙරට සංවේදී පාරිසරික කලාප සහ පෞරාණික ස්ථාන වලට කරන හානිය සුලු පටු නොවේ. 
සතරැස් වේදිකාවක් මත ඉදිකල ස්තූපය, පසුබිමේ දිස්වන්නේ දඹුලු පර්වතයයි
දඹුල්ල පබ්බත විහාරාරාමය ලෙසින් පුරාවිද්‍යාඥයන් විසින් හඳුන්වන මෙම ස්ථානයේ ආරම්භය හෝ ඉතිහාසය සම්බන්ධව සෙල්ලිපි හෝ සාහිත්‍ය මූලාශ්‍ර මගින් කිසිදු සඳහනක් සොයාගත නොහැක. එහෙත් දඹුල්ල ලෙන් විහාරය අවට දඹුලු පර්වතයේ හමුවන ගුහා වල ඇති පූර්ව බ්‍රාහ්මි ලිපි වලට අනුව ක්‍රි.පූ. 3 වන සියවසේ සිටම මෙම පර්වතය සහ ඒ අවට ප්‍රදේශය ගුහා ආශ්‍රිත භාවනානුයෝගී භික්ෂුන් උදෙසා වෙන්වූ සංඝාරාමයක්ව තිබූ බව පැහැදිලිය. 'පබ්බත විහාරාරාම' ලෙසින් නූතන විද්වතුන් හඳුන්වන සංඝාරාම ඉදිකිරීම මෙරට ආරම්භ වීමත් සමගම ඒ සඳහා අවැසි වූ ස්තූපය, බෝධිඝරය සහ උපෝසථඝරය එම සංඝාරාමයට එක් වන්නට ඇත. කෙසේ නමුත් පබ්බත විහාරයක අනික් මූලික අංගයක් වන පිළිමගෙය මෙම දඹුලු පබ්බතාරාමයේ දක්නට නොමැත.

එයට බලපෑ හේතුව පිළිබඳව ඉදිරිපත්වී ඇති මතය පැහැදිලි කිරීමට පොරොතුව පබ්බත විහාර යන සංකල්පය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අවශ්‍යය යැයි සිතමි. මෙයට පෙර සාකච්චා වූ මැණික්දෙන පබ්බතාරාමය පිළිබඳව වූ ලිපියේද පබ්බත විහාර යන නම සඳහන් කල මුත් ඒ පිළිබඳව වැඩි යමක් එහිද ඉදිරිපත් නොවිය.
උපෝසථඝරය
පබ්බත විහාර
මෙරට පුරාවිද්‍යා ගවේෂණයේ ආරම්භක යුගයේ සිටම අනුරාධපුර නගරයට පරිබාහිරව නගරයට තරමක ඈතින් වන්නට ඉදි කර තිබූ විජයාරාම, තොලුවිල, පංකුලිය, පුලියන්කුලම වැනි නටබුන් ස්ථාන මෙන්ම මැණික්දෙන, දඹුල්ල කළුදියපොකුණ, සීගීරිය, රාම කැලේවෙස්සගිරිය, ලාහුගල මඟුල්මහා වෙහෙර,  වැනි අගනගරයට දුරස්ථව පිහිටි ඇතැම් ස්ථාන වලද දක්නට ඇති ආරාමික නටබුන් වලට පොදු වූ යම් යම් ලක්ෂණ H.C.P බෙල්, A. M. හොකාර්ට් (A.M. Hocart) සෙනරත් පරනවිතාන වැනි විද්වතුන්ගේ අවධානයට බඳුන්විය. ඒ අතරින් හොකාර්ට් මහතා මෙවැනි බොහෝ ස්ථාන වල ප්‍රධාන ගොඩනැගිලි කිහිපය හෝ/සහ මුළු පරිශ්‍රයම ඇතැම් විට දිය අගලකින් වටවූ බවට සාධක හමුවන හෙයින් ඒවා 'Moated Sites' ලෙසින් වර්ගීකරණයකට ඇතුලත් කලේය. පබ්බත විහාර යන නම එවන් ස්ථාන සඳහා මුල්වරට යොදාගත්තේ සෙනරත් පරණවිතාන මහතාය. සේනක බණ්ඩාරනායක මහතාද එම නාමයම එවන් විහාරාරාම පිළිබඳව විස්තර කිරීම උදෙසා යොදාගන්නා මුත් පසුකාලීනව ලීලානන්ද ප්‍රේමතිලක සහ රෝලන්ඩ් සිල්වා යන විද්වතුන් පංචාවාස යන නාමය  වාස්තුවිද්‍යා ශාස්ත්‍රය පිළිබඳව වූ පැරණි ග්‍රන්ථයක් වන මංජු ශ්‍රී වාස්තුවිද්‍යාශාස්ත්‍ර අනුසාරයෙන් ඒ සඳහා ඉදිරිපත් කරයි. කෙසේ නමුත් බොහෝවිට පබ්බත විහාර යන නමින්ම වර්තමානයේ හැඳින්වෙන මෙම සංඝාරාම වල ආරම්භය 5 - 6 යන සියවස් වල සිදුවූ ලෙස සැලකේ.

පබ්බතවිහාර පරිශ්‍ර වල මධ්‍යගතව ප්‍රාකාරයකින් සහ දිය අගලකින් වටවූ ආයත චතුරශ්‍රාකාර උස් මලුවක් තුල ප්‍රධාන ආගමික ගොඩනැගිලි හතරක් හෝ ඇතැම්විට 5 දැකිය හැක. එම මළුවට ඇතුළු වීම සඳහා බොහෝ විට ප්‍රාකාරයේ සහ දිය අගලේ එක පසකින් මධ්‍යයෙහි පිහිටි දොරටුවක් හෝ සිව් දිසාවෙන්ම මධ්‍යයෙහි වූ දොරටු හතරක් තිබී ඇත. මළුව තුල වූ ගොඩනැගිලි හතර, ස්තූපය, පාසාද හෙවත් උපෝසථඝරය, පතිමාඝර හෙවත් පිළිම ගෙය සහ බෝධිමළුව හෙවත් බෝධිඝරය ලෙස හඳුනාගෙන ඇත. මෙයට අමතරව මැණික්දෙන සහ පිදුරංගල යන පබ්බත විහාර වල සභාසාලාවක්ද දැකිය හැක. පංචාවාස යන නාමය මෙවන් සංඝාරාම සඳහා යොදාගැනීමේ පදනම එම ගොඩනැගිලි පහයි. කෙසේ නමුත් මෙරට හමුවන බොහෝ පබ්බත විහාර පරිශ්‍ර වල හමුවන්නේ ඉහත මුලින් සඳහන් කල ගොඩනැහිලි සතර පමණි.
මැණික්දෙණ පබ්බත විහාරයේ ප්‍රධාන මලුවේ ගොඩනැගිලි පිහිටා ඇති ආකාරය

මෙම ප්‍රධාන මළුවට බාහිරව පිහිටි භූමියේ භික්ෂූන් වහන්සේගේ වාසස්ථානය සඳහා ඉදිවූ කුටි මෙන්ම උන්වහන්සේලාගේ දෛනික ජීවිකාව සඳහා අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම සඳහා ඉදිවූ භෝජනශාලා, කැසිකිලි, වැසිකිලි, ජන්තාඝර හෙවත් නාන ගෙවල් යනාදිය දැකිය හැක. මේ සියල්ලටම පිටතින් නැවතත් ආයත චතුරශ්‍රාකාර පිට ප්‍රාකාරයක් සහ දිය අගලක් හමුවේ. පරිශ්‍රයට පිවිසීම සඳහා දිය අගල හරහා වූ සපත්තු පාලමක් සහ දොරටුවක් දැකිය හැක.

කෙසේ නමුත් සියළුම පබ්බත විහාර මෙම සියළු අංග වලින් පරිපූර්නයැයි පැවසිය නොහැක. මේ ඇතැම් අංග සමහර පබ්බත විහාර පරිශ්‍ර වල හමු නොවේ. එසේම මෙම අංග වලට වඩා අමතර ගොඩනැගිලි හමුවන ස්ථානද නැතිවා නොවේ. උදාහරණයක් ලෙසට සේනක බණ්ඩාරනායක මහතා පූජනීය සංකිර්ණය (Shrine Complex) ලෙසින් හඳුනාගන්නා මාලකයක් තොළුවිල වැනි පබ්බත විහාර පරිශ්‍ර කිහිපයක හමුවේ. තවද කළුදිය පොකුණ (දඹුල්ල) වැනි පබ්බත විහාර පරිශ්‍ර වල දිය අගල වෙනුවට ස්වභාවික ජල පාරවල්ම උපයෝගි කරගෙන ඇත.

මේ වන විට 100 කට වැඩි පබ්බත විහාර ලෙස හඳුනාගත හැකි ස්ථාන ප්‍රමාණයක් පැරණි සිංහල-බෞද්ධ සභ්‍යත්වය පැතිර තිබූ රජරට සහ රුහුණු රට විවිධ ප්‍රදේශවලින් හමුවී ඇත. එම ප්‍රමාණය අනාගත ගවේශන  තුලින්, විශේෂයෙන් වනාන්තර තුල ඇති නටබුන් ස්ථාන ආශ්‍රිතව සිදුවන ගවේශන සහ කැනීම් මගින් තවදුරටත් වැඩි වනු ඇත.
බෝධිඝරය
දඹුල්ල සෝමාවතිය - පබ්බතාරාමයක් ලෙස
ඉහත විස්තර වූ පබ්බත විහාරයන්හි ප්‍රධාන මළුවේ හමුවන ගොඩනැගිලි සතර අතරින් තුනක් මෙහි දැකිය හැක. නැතහොත් ස්තූපය, බෝධිඝරය සහ උපෝසථඝරය මෙහි දැකිය හැකි අතර පතිමාඝරයක් දක්නට නොමැත. කෙසේ නමුත් මෙම ගොඩනැගිලි හමුවන පරිශ්‍රයට ඉහලින් පර්වතය මුදුනේ මෙම පබ්බතාරාමයේ ගොඩනැගිලි ඉදි වන්නටත් පෙර සිටම පැවැති පිළිමගෙවල් ලෙසට හඳුනාගත හැකි ලෙන් තුනක්ම දැකිය හැක (ප්‍රසිද්ධ රංගිරි දඹුලු ලෙන් විහාරය.). මේ නිසා පිළිමගෙයක අවශ්‍යතාවය සම්පූර්ණ වේ. එසේම වෙනත් පබ්බත විහාර වල එම ගොඩනැගිලි සතර  වටා ඉදිවූ ප්‍රාකාරයද මෙහි දක්නට නොමැත්තේ පිළිමගෙයද සහිතව එය ඉදි කිරීමේ ප්‍රායෝගික අපහසුතාවය නිසා විය නොහැකිද?

තවද වෙනත් පබ්බත විහාර වල ප්‍රධාන මළුවට බැහැරින් එය වටා ඉදි කර ඇති භික්ෂූන්ගේ වාසස්ථානය සඳහා ඉදිවූ කුටි වෙනුවට මෙහි ඇත්තේ පබ්බත විහාරයේ නටබුන් ඇති ස්ථානයට උතුරින් ඒ ආසන්නයේම සහ මදක් නැගෙනහිර දෙසට වන්නට පර්වතයේ බෑවුමේ දැකිය හැකි කටාරම් කෙටූ ලෙන් සමූහයයි. මේ ලෙන් වලින් 30 කට ආසන්න ප්‍රමාණයක ඒවා සඝ සතු කල බවට වූ පූර්ව සහ අපර බ්‍රාහ්මි ලිපි හමුවේ.
බෝධිය රෝපණය කල ස්ථානය සහ වැඩිපුර ජලය ගලා යාමට තැනවූ අගල
මෙම ස්ථූපයේ සිදු කල කැනීම් වලදි අවධි දෙකක ඉදිකිරීම් මතුවූ අතර ඉන් මුල් අවධිය 5-6 සියවස් වලටත් ඉන්පසු 8-10 සියවස් වලටත් පුරාවිද්‍යාඥයන් කාල නිර්ණය කරයි. නිදන් හොරුන්ගේ ග්‍රහණයට සියවස් ගණනාවක් ලක්වීම නිසා එහි ධාතු ගර්භයේ වූ බොහෝ දේ විනාශ වී තිබූ අතර බදාම වලින් සෑදු පද්මාකාර පාදමක්, මැටි බුදු පිළිම ආදිය පමණක් ඉතිරි වි තිබී හමු විය. එසේම ස්තූපයේ ඉහල කොටසේ තිබී විනාශ වූ මැටි රූප වල කොටස්ද මලුවේ සුන් බුන් අතර තිබී හමු විය. මෙම ස්තූපයේ කොරවක්ගල ගඩොලින්ම නිර්මාණය කර තිබීම සුවිශේෂ ලක්ෂණයක් ලෙස හඳුනාගත හැක.

ජනප්‍රවාද ගත තොරතුරු අනුව පැවසෙන මෙම ස්තූපයේ සෝමාදේවියගේ ආභරණ තැන්පත් කර තිබුනාය යන්නෙහි කිසිදු පදනමක් තිබිය නොහැක. කෙසේ නමුත් මෙම ස්තූපයේ පාදමේ සහ පොළොන්නරුවේ ඇති සෝමාවතී ස්තූපයේ පාදමේ ඇති සමානත්වය පිළිබඳව ලක්ෂ්මන් අල්විස් මහතා සිය කැනීම් වාර්තාවේදි අවධානය යොමුකර ඇත.

මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Sinhalese Monastic Architecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake, 2009
  • ශ්‍රි ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • Golden Rock Temple of Dambulla, Anuradha Seneviratna, 1983
  • රංගිරි දඹුලු විහාරය, මහාචාර්ය මංගල ඉලංගසිංහ, 1987
  • Bibliotheca zeylanica series 1, Manjusri Vastuvidyasastra, M.H.F. Jayasuriya, Leelananda Prematilleke, Roland Silva, 1995
  • Memoirs of the Archaeological Survey of Ceylon Volume X - Part II, Environment, Town,Village And Monastic Planning, Roland Silva, 2006
  • Unesco-Sri Lanka Project of the Cultural Triangle, Conservation And Development of Dambulla Caves, First Conservation Project 1983, Lakshman Alwis, 1989
  • Unesco-Sri Lanka Project of the Cultural Triangle, Daambulla Project, Second Conservation Report, , Lakshman Alwis
  • අපේ සංස්කෘතික උරුමය, ද්විතිය කාණ්ඩය, 1998