Showing posts with label Kavanthissa. Show all posts
Showing posts with label Kavanthissa. Show all posts

Thursday, October 12, 2017

මලය රට ෆෙඩරල්ද?

ඊනියා යහපාලනයක් සෙවූ අමන රැලකගේ ඔළමොට්ටල කමට පින්සිදුවන්නට ජඩපාලනය විසින් රට බෙදන ව්‍යවස්ථාවේ මූලික සැකිල්ල එළියට දමා ඇත. ඒ අනුව ලෝකයේ අන්තර්ජාතිකව පිළිනොගන්නා ඉංග්‍රිසි භාෂාවේ නොමැති වචන වන සිංහල 'ඒකිය' සහ දෙමළ 'ඔරුමිත්ත නාඩු' (සන්ධිය යන තේරුම ඇති) යන වචන ඉංග්‍රිසි පිටපතේ මෙතෙක් තිබූ 'Unitary State' යන්න වෙනුවට යොදා ගනිමින් අනාගත රටවල් දෙකකට මූලික නීතිමය අඩිතාලම දමා ඇත (Sri Lanka (Ceylon) is a free, sovereign and independent Republic which is an aekiya rajyaya / orumiththa nadu). ජනවාර්ගික වශයෙන් ජනතාව බෙදමින් ඉන්දියානු දෙමළ, ශ්‍රි ලංකා දෙමළ සහ මුස්ලිම් උප ජනාධිපතිවරු තිදෙනෙක් ඇතිකිරීම, උතුර සහ නැගෙනහිර නැවත එක් කිරීම, පාර්ලිමේන්තුවේ ජනවාර්ගික අනුපාතය අනුව සමන්විත වන දෙවන මන්ත්‍රි මණ්ඩලයක්, ඔලුවිල් වලට වෙනම මුස්ලිම් කලාපයක්, ප්‍රාන්ත වලට උපරිම ලෙස බලය බෙදීම, සිංහල සහ දෙමළ ජාතික ගී දෙකක් ආදි නොයෙකුත් හානිකර වගන්ති වලින්ද එය සමන්විතය. කුමන අයුරින් හෝ ජනවාර්ගික වශයෙන්  රටේ කොටස් බෙදා ඒවාට ක්‍රමයෙන් විවිධ බලතල එක් කිරීම යනු අනාගත වෙනම රාජ්‍යන් සඳහා මග එලි පෙහෙලි කර දීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ව්‍යවස්ථා කෙටුම්පතේ හානිකර කරුණු පිළිබඳව දැනුවත් වීම සඳහා Link>>

මෙවන් තත්වයක් යටතේ පැරණි ලක්දිව පාලන ඒකක බෙදී තිබූ ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව පෙනේ. මක් නිසාද යත් ඉංග්‍රිසින් මෙරට පාලනය ලබාගන්නා තෙක්ම 'ජන වාර්ගික වශයෙන්' බෙදී තිබූ ප්‍රදේශිය පාලන ප්‍රදේශ මෙරට නොතිබූ බව ඉන් පෙන්වා දිය හැකි බැවිනි. උතුරේ ආර්ය චක්‍රවර්ති පාලනය යටතේ මෙන්ම වන්නියාර් වරු යටතේ වන්නි බල ප්‍රදේශ වලද සිටියේ මේ රටේ භූමිපුත්‍රයන් වන සිංහලයන්ය (සිංහල යනු ජනවර්ගයක් නොව ජාතියකි). දෙමළ, මුස්ලිම් ආදී විවිධ සංක්‍රමණික මෙන්ම ස්ථිරව වාසස්ථාන ඇතිකරගත් ජන වර්ග උතුරේ මෙන්ම රටේ අනෙක් ප්‍රදේශ වලද සිටි අතර ඔවුන් ක්‍රමයෙන් කුල ක්‍රමය යටතේ සිංහල ජාතිය තුලට අවශෝෂණය වූහ. (එසේ නොවූ අවස්ථාද නැතිවා නොවේ.)  මෙ සියලු කරුණු ඉදිරියට විස්තාරාත්මකව සාකච්චා කරන්නට බලාපොරොත්තු වෙමි. පෙර ඉදිරිපත් කල පහත දැක්වෙන ලිපි වලද ඒ පිළිබඳව ඇතැම් කරුණු ඉදිරිපත් කර ඇත. Link>>
දුම්බර කඳුකරය
මලය රට පිළිබඳව අප පෙර ලිපියකින්ද විස්තර සාකාච්චා කලෙමු. කියවන්න >>  මලය රට සොයා සමනොළගිරෙන් දුම්බරට

මලය රටේ ඉතිහාසය (දුටුගැමුණුගේ සිට මහසෙන් දක්වා)

දමිළයන් සහ යුද වැදීමට ගඟෙන් එතෙර යාමට අවසර නොදුන් බැවින් සිය පියා වූ කාකවණ්ණතිස්ස රජු සමග අරගල කල ගාමණී කුමාරයා  මාගමින් නික්ම මලය රටට පලා ගිය බවත්, පියා කෙරෙහි දුෂ්ඨ වූ බැවින් මහජනයා ඔහු දුෂ්ඨගාමණී නමින් හැඳින්වූ වගත් මහාවංශයේ විස්තර වේ. කාකවණ්ණගේ මරණින් පසු රජකම ලැබූ එම දුෂ්ඨගාමණී රජු (ක්‍රි.පූ. 161 - 137), එළාර සමග සටනට යාම සඳහා මාගමින් නික්මීමට පෙර මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කරවූ බව එහිම සඳහන් වේ.

ඉළනාග රජු (ක්‍රි.ව. 33 - 43) කල රජුට එරෙහිව කැරලි ගැසූ ලම්බකර්ණ වංශිකයන් රජු අල්ලා රජගෙයිම සිර කොට තැබූ කල, රජුගේ මගුලැතු සිරගෙය කඩා රජු ඉන් මුදවාගෙන ඔහුව සිය පිටමත හිඳුවාගෙන මහාතිත්ථයට (අද මන්නරාම අසල ඇති මාන්තායි) ගෙන ගොස් නැවක නැංවූ බවත්, ඉන්පසු ඇතු බටහිර වෙරළ ඔස්සේ මලය රටට ගිය බවත් මහාවංශය පවසයි. එම පුවතේ සත්‍ය අසත්‍ය තාවය කෙසේ වුවත් බටහිර වෙරළ ඔස්සේද මලය රටට යා හැකිව තිබූ බව එමගින් අපට පැහැදිලි වේ.

නැවත වෝහාරික තිස්ස රජු (ක්‍රි.ව. 209 -231) කල ඔහුගේ බාල සොහොයුරු අභයනාග බොහෝ දමිළයන් රැගෙන පරතෙර සිට පැමිණ රජු හා යුද වැදීමට නගරය සමීපයට පැමිණි කල රජු දේවිය සමග අසෙකු පිට නැගී මලයරටට පලා ගියහ. ඔහු ලුහුබඳින අභයනාග , මලයරටේදී රජු මරා දේවියද ගෙන නගරයට පැමිණ රාජ්‍යය ලබාගත් බව පැවසේ.

 එසේම මහසෙන් රජු (ක්‍රි.ව. 274 - 301) කල මහාවිහාරවාසී භික්ෂුන්ට රජුගෙන් උවදුරු පැමිණි කල්හී එම භික්ෂූන් මහාවිහාරය හැරදමා මලයට සහ රුහුණට ගිය බව පැවසේ. රජුගේ මෙම ක්‍රියාදාමය කෙරේ කිපුණු මේඝවණ්ණාභය ඇමැති මලයරටට ගොස් මහත් සේනා ගෙන රජු හා සටනට දූරතිස්ස වැව අසල කඳවුරු බැඳගත් නමුත්, රාත්‍රියේදී මිහිරි පානයක් සහ මස් මලය රටින් ලැබ ඒවාද රැගෙන ඔහු හා සටන් වැදීමට කඳවුරු බැඳ සිටි රජු හමුවීමට තනිවම ගොස්, රජු සමග එම මස් හා පානය වළදා, සටන් අතහැර සාකච්චා මාර්ගයෙන් ගැටලුව විසදා ගත් බවත් වංශ කතාව අපට පවසයි.
දුම්බර කඳුකරය
මලය රට සහ මලය ග්‍රාමය
දුෂ්ඨගාමණි රජුගේ මරණ මංචකයේදී ඔහු කල කුසල් සටහන් කර තැබූ 'පින්පොත' කියවන අවස්ථාවේදී 'අක්ඛක්ඛලි' නම් වු දුර්භික්ෂයේදී රුහුණු ජනපදයෙහි මලය ග්‍රාමයෙහිදී රජු සිය කුණ්ඩලාභරණ දෙක දී තණහාල් නැළියක් ගෙන, ඇඹුල්කැඳ පිස, සිය කුසගින්න අතහැර එම ඇඹුල්කැඳ රහතන්වහන්සේලා පස්නමකට දුන් බව සඳහන් වේ. ඒ අනුව මලය නමින් වූ 'ග්‍රාමයක්' රුහුණෙහි වූ බව පෙනේ. එළාර සමඟ යුද වැදීමට නික්මෙන ගාමණි කුමරු මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කල බව ඉහත උපුටා දැක්වූ මහාවංශ සඳහන එම මලය ග්‍රාමය සම්බන්ධයෙන් වූවා විය නොහැකිද? ඒ අනුව මලය ග්‍රාමය පැහැදිලිවම රුහුණු රටට අයත් බව වංශ කතාව පවසන බැවින් මලය රට හා එහි සම්බන්ධයක් නොමැති බව පෙනේ. පැරණි මාගම රාජධානිය රුහුණෙහි නොව මලය රටේ වර්තමාන ඇලහැර ප්‍රදේශයේ වූ බවට වූ මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතාගේ මතයට මෙම සඳහනද (මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කල බව) උපයෝගි කරගන්නා බැවින් ඒ පිළිබඳව යලි සලකා බැලිය යුතු බව අපට හැඟේ. කෙසේ නමුත් රුහුණු ජනපදයෙහි පිහිටි මලය ග්‍රාමයේදී මෙම සිදුවීම වූ බවට වූ මහාවංශ ගාථාව හමුවන්නේ එහි මොග්ගල්ලාන සංස්කරණයේ පමණි මහානාම හිමියන් කල සංස්කරණයේදී එය සිදු වූ බව පැවසෙන්නේ කොට්ට නම් වූ පව්වෙහිය (එය රුහුණු ජනපදයෙහි වූ බව වංසත්ථප්පකාසිනිය පැහැදිලි කරයි.)
කඳුකර ගංගාවක් - කුරු ගඟ (ශ්‍රීපාද අඩවිය)
මලය රටේ ඉතිහාසය (මහසෙන් සිට 1 පරාක්‍රමබාහු දක්වා)
දෙවන උපතිස්ස (ක්‍රි.ව. 517 - 518) රජු රාජ්‍ය විචාරන අවධියේ සිළාකාළ නම් වූ ලම්බකර්ණ වංශිකයෙක් දකුණු මලය රටට ගොස් මහත් බළසෙන් රැස් කොට නගරය ගැනීමට ආ කල, කස්සප නම් වූ රජුගේ පුත්‍රයෙකු ඔහු හා සටන් වැද මුලදී ඔහුව පැරදූ මුත් හෙතෙම උපායෙන් නැගෙනහිර සහ බටහිර පෙදෙස් අත්පත් කර ගෙන නැවත පැමිණ සත් දිනක් නගරය අවහිර කරයි. එම අවස්ථාවේ ඔහු හා යුද නොවැදී කස්සප මහළු වූ සිය පිය රජු හා පිරිවර සමග රාත්‍රියේ මලයට යෑමට නික්මුණ මුත් ඔවුන් මග නොදැන අතරමං වේ (මලය රටට යාමට තිබූ මාර්ගය රජුට සහ පිරිවරට පවා සොයාගත නොහැකි වූ බව කීමෙන් හැඟෙන්නේ එය නිතර භාවිතා වූ ජනාකිර්න මාවතක් නොව කුඩා අඩි පාරක් වැන්නක් බවය. පෙර ලිපියේ ගෙනහැර දැක්වූ මහාවංශ පාඨයද කියවන්න.Link >>). මෙහිදි සිළාකාල පැමිණ ඔවුන් හා දරුණු යුද කර රාජ්‍යය අත්පත් කරගනී. ඉක්බිති එම සිළාකාල රජු (ක්‍රි.ව. 518 - 531) සිය පුතුන් තිදෙනාගෙන් මධ්‍යම පුත්‍රයා (දාඨාපභුති) හට මලයරජ තනතුරද, දක්ෂිණ දේශයද  දී මුහුද රැකීම සඳහා ඔහු යෙදවීය.
කඳුකර වන මංපෙතක් - දුම්බර කඳුකරය

පළමුවන අග්ගබෝධි (ක්‍රි.ව. 571 - 604) රජු සිය බෑනා හට තම දියණිය විවාහ කරදී ඔහුව මලයරජ තනතුරේ පිහිටුවීය.

අසිග්ගාහක සංඝතිස්ස රජු (ක්‍රි.ව. 614) රජවූ කල ඔහු හා යුද වැදුන මොග්ගලාන නම් වූ රුහුණේ සිට පැමිණි සෙන්පතියා ඔහු පරදා බලය ලබාගත් බැවින් රජු මේරුමජ්ජර වනයට පලා ගිය බවත්, රජුගේ එක් පුත්‍රයකු වූ ජෙට්ඨතිස්ස මලය දේශයේ මේරුකන්දර නම් වූ ස්ථානයට ගිය බවත් මහාවංශයේ දෙවන කොටසින් විස්තර වේ. ඉන්පසු රජු, පුතු (ජෙට්ඨතිස්ස නොවේ) සහ ඔවුනට හිතවත් ඇමතියෙකු වේළුවන විහාරයට ගොස් භික්ෂු වෙස් ගෙන රුහුණට යන අදහසින් මණිහීරයට (මින්නේරිය) පැමිණි මුත් එහිදී ඔවුන් හඳුනාගන්නා රාජපුරුෂයන් රජ අණ පරිදි ඔවුන්ව සීගිරියට ගෙන ගොස් හිස ගසා මරා දමනු ලබයි. සංඝතිස්ස රජු මොග්ගල්ලාන සමග සටන් වැදීමට යාමේදී ඔහු හා එක් නොවී ගිලන් වූවෙකු ලෙස හඟවා නගරයේ නැවතී පසුව පිටුපස සිට රජුට පහරදී මොග්ගල්ලනට සහය දුන් රජුගේ සෙන්පතියාට මොග්ගල්ලාන (ක්‍රි.ව. 614 - 619) රජවූ පසු මලය රජකම දුන් බව වංශ කතාව පවසයි.

කෙසේ නමුත් කිසියම් හේතුවක් නිසා පසු කලක එම මලයරජ හා කිපුණු මොග්ගල්ලාන රජු ඔහු උපායකින් ගෙන්වාගෙන අත්පා සින්ඳවයි. මලය රජකම ලැබූ සෙන්පතියාගේ පුතුට මොග්ගල්ලාන රජු අසිග්ගාහක තනතුර ලබා දී තිබුණි. සිය පියාගේ අත් පා සින්දවූ බව දැනගත් ඔහු සිය පුතුද සමගින් රුහුණට පලාගොස් එහි සිට ජනපද රට අල්ලා ගනිමින්, මලය රටෙහි සැඟවි සිටි ජෙට්ඨතිස්ස හමුවී ඔහු සමග එක්ව දෝළ්හ පබ්බතයේ කඳවුරු බැඳ මොග්ගල්ලාන රජුට එරෙහිව යුද වදී. එහෙත් පසුව ඔහු හා යුද වැදීම සඳහා පැමිණි රජුගේ මිනිසුන් උණ රෝගයකින්  මියයෑම නිසා සටන් කල නොහැකිව පලා යන රජුව සීගිරිය අසලදි අල්ලගෙන මරා දමයි. පසුව අසිග්ගාහක ඔවුන් සමග නොගිය ජෙට්ඨතිස්සද මරාදැමීම සඳහා 'පැමිණ රජවන' ලෙස පවසා ඔහුට හසුනක් යැවූ මුත් ඔහුගේ උපාය වටහා ගත් හෙතෙම නැවතත් මලය දේශයට පලායයි. අසිග්ගාහක සිලාමේඝවණ්ණ (ක්‍රි.ව. 619 - 698) නමින් අනුරාධපුරයට ගොස් රජවි ලක්දිව අණසක පතුරවයි.

මලය රටේ සැඟවී සිටි ජෙට්ඨතිස්ස නැවත මතුවන්නේ සිළාමේඝවණ්ණ රජුගේ පුත් වූ තුන්වන අග්ගබෝධී රජුගේ (ක්‍රි.ව. 628) රාජ්‍ය කාලයේය. ඔහු  මලය රටේ සිට අරිට්ඨ (රිටිගල) පර්වතයට පැමිණ ජනයා රැස් කර අග්ගබෝධි රජ දඹදිවට පලවාහැර රාජ්‍ය ලබාගනී.

සිරිසංඝබෝධි නමින් රජවූ සිව්වන අග්ගබෝධි රජුගේ (ක්‍රි.ව. 667 - 683) රාජ්‍ය කාලයේ 'මහත් දනවත් වූ මලය රජු', මණ්ඩලගිරි විහාරයේ ස්ථූපයට වටිනා දා ගෙයක් කරවූ බවත් ලෝහප්‍රාසාදයේ (ලෝවාමහපායේ) මැද කුළුගෙයි පියස්සද කරවූ බවත් පැවසේ. (මේ අනුව මලය රජු සිය බල ප්‍රදේශයෙන් පිටත රජරට ප්‍රදේශයේ පවා වෙහෙර විහාර ඉදි කල බව පෙනේ.)

පළමුවන මහින්ද රජුගෙන් (ක්‍රි.ව. 730 - 733) පසු අග්ගබෝධී නමින් වූ ඔහුගේ පුතුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සිලාමේඝ නමින් රජවී (ක්‍රි.ව. 733 - 772) අනෙක් අග්ගබෝධි කුමරුවා යුව රජ තනතුරේ තැබූහ. කලකදි වෙනත් අයගේ කේලම් බස් අසා ඔවුනොවුන් කෙරෙහි සැක ඉපදී ඔවුන් අතර යුද ගැටුම් පැණ නැගුන අතර යුව රජ තනතුර දැරූ අග්ගබෝධි කුමරුවා සටනින් පැරදී මලය දේශයට පැනගිය මුත්, පසුව රජු තනිවම මලය දේශයට ගොස් නැවතත් සිය සොහොයුරා නුවරට රැගෙන එයි.

තුන්වන සේන (ක්‍රි.ව. 938 - 946) රජුගේ රාජ්‍ය කාලයේ අග්ගබෝධි නම් වූ ඇමතිවරයෙක් මලය රජ තනතුර දැරූ බවත් සේන රජු එම මලය රජු විසින් කරවන ලද නාගසාලා පිරිවෙණ දැක එයට ගමක් දුන් බවත් පැවසේ.

අනුරාධපුර රාජධානිය චෝළ ආධිපත්‍යට නතුව තිබූ අවධියේ මලය පර්වත ප්‍රාන්තයේ බුද්ධරාජ නම් වූ මහා බල ඇති වීරයෙක් වූ බව වංශ කතාව පවසයි. ඔහු කිර්ති කුමාරයා හා එක්වේ (පසු කලක චෝළ බලමුළු පරදවා 1 විජයබාහු (ක්‍රි.ව. 1055 - 1110) නමින් වූයේ එම කීර්ති කුමාරයාය). වංශ කතාව අනුව සොළීන් හා සටන් වැදීමට පොරොතුව මූලසාල ගමෙහි සිටි කිර්ති කුමරා ඉන් නික්ම සරීවග්ගපිට්ඨි ගමට ගොස් විරුද්ධවාදීන් සිටි බෝධිවාල නම් ගම ජයගෙන, එහි සිට චුණ්ණසාල ජනපදයට ගොස් එහි වසමින්, ලෝකෙශ්වර නම් වූ සෙන්පතිවරයා හා සටන් වැද සියළු මලය මණ්ඩලය ඔහු යටතට ගනී.

එම විජයබාහු රජුගේ රාජ්‍ය කාලයේ රජුට විරුද්ධ වී දඹදිවට පලාගිය සහෝදරයන් තිදෙනෙකු රජුගේ 19 වන රාජ්‍ය වර්ෂයේදී නැවත ලක්දිව පැමිණ රුහුණු රටද, මලය මණ්ඩලයද, සියළු දක්ඛිණ පස්සයද පෙරලාදැමූ බව මහාවංශයේ එන සඳහන අනුව පැහැදිලි වන්නේ පොළොන්නරු යුගයේ මුල් කාලයේදීද දක්ඛිණ පස්ස සහ මලය මණ්ඩලය ලෙස කලාප දෙකක් රුහුණු සහ පිහිටි රටට අමතරව වූ බවය.
දුම්බර කඳුකරය
මලය රට පිළිබඳව ඉහත විස්තර කල ප්‍රධාන වශයෙන්ම මහාවංශයේ ඇතුලත් කරුණු අනුව පෙනී යන්නේ එහි පාලනය හැම විටම පාහේ අනුරාධපුරයේ සිටි මහ රජතුමා තමුනට අවනත පුද්ගලයෙකු යටතේ පවත්වාගෙන ගිය බවය. එසේම මලය රජු ලෙසින් හැඳින්වූ එහි පාලකයා ඇතැම් කාල වලදී රජරටට අයත් ප්‍රදේශ වලද ඇතැම් ආගමික ඉදිකිරිම් කර ඇති බැවින් (එසේම ඇතැම් අවස්තා වලදී මලය රජු ඉදි කල ආගමික ඉදිකිරීම් වලට අවශ්‍ය ගම් ප්‍රධානය කර ඇත්තේ රජරට සිටි මහ රජතුමාය) අපට පෙනී යන්නේ ඔහු රජ පවුලටම සම්බන්ධ හෝ මහ රජුට විශ්වාසී මලය රට යනුවෙන් හැඳින්වූ ප්‍රදේශයේ පාලන කටයුතු මෙහෙයවූ සහ රජු වෙනුවෙන් එහි ආදායම් එකතු කල නායකයෙකු විනා එම මලය ප්‍රදේශය පමණක් භුක්ති විදීම සඳහා පත් කල 'ෆෙඩරල්' කලාපයක නායකයෙකු නොවන බවය. තවත් වැදගත් කරුණක් වන්නේ වනදුර්ග, ගිරි දුර්ග ජලදුර්ග ආදියෙන් සමන්විත මලය රට, කෙන්ද්‍රිය රජරට පාලකයාට එරෙහිව කැරලි ගැසූ ඇතැම් ජන නායකයින්ට ආරක්ෂාව සඳහා සැඟවී සිටීමට කදිම ක්ෂේම භූමියක් වූ බවය (එමෙන්ම ඇතැම් අවස්ථා වලදී බලය හෙබවූ රජුද කැරලිකරුවන්ගෙන් බේරි පලායාමට මලය මණ්ඩලය තෝරාගෙන ඇත.). තවද බොහෝ අවස්ථා වලදි රජරට පාලනය විදේශීය සොළි ආදී ආක්‍රමණිකයන්ට නතු වූ විට ආක්‍රමණිකයන්ගෙන් බේරී  දිවි රැකගත් රාජකීයන්ට රුහුණ මෙන්ම මලය රටද සැඟවී සිටීමට මෙන්ම නැවත සේනා සංවිධානය කරමින් ආක්‍රමණිකයා පලවා හැරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය රැකවරනය සහ සම්පත්ද සැපයීහ.

මූලාශ්‍ර
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, නව සංස්කරණය මාගධී පෙළ ස්සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • මායා රට ඉතිහාසය, සිරිමල් රණවැල්ල, 2016
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • වංසත්ථප්පකාසිනිය, මහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994

Saturday, September 10, 2016

නැගෙනහිර බොදු උරුමය 3 - දාපුලු රජ කැරවූ, පැරකුම්බා දෙබෑ රජ දරුවන් හට අගමෙහෙසුන් වූ විහාරමහා දේවිය පිළිසකර කරවූ ලාහුගල රූණු මහ වෙහෙර

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම පත්තුවේ ලාහුගල පිහිටා ඇති වර්තමානයේ මගුල් මහා විහාරය ලෙසින් හැඳින්වෙන නටබුන් විහාර සංකිර්ණය කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහා දේවියගේ විවාහ උත්සවය පැවත්වූ මණ්ඩපය පිහිටි භූමිය ලෙස එහි යන නරඹන්නන් දැනුවත් කරන මාර්ගෝපදේශකයන් සහ ගැමියන් ඔබට පවසනු ඇත. එම මංගල උත්සවය සිදු කල ශෛලමය මගුල් පෝරුව පවා ඔවුන් ඔබට පෙන්වනු ඇත. එහෙත් මෙයද   ඊලාම්වාදීන්ගෙ පුහු තර්ක ඇසුරින් නිර්මිත ඊණියා ඉතිහාසය බොරු කරන, මේ බිමේ පැරණි සිංහල බෞද්ධ උරුමය විදහාපාන, පැරණි රෝහණ රාජ්‍යයේ සිංහල බෞද්ධ නරපතියන් කරවූ අති විශාල විහාර ආරාම අතරින් තවත් එක් නිර්මාණයක් බව සාධක සහිතව පෙන්වා දිය හැක. 
14 වන සියවසේ පමණ සිංහල අකුරු වලින් ලියැවුන මෙම ස්ථානයෙන් හමුවන පුවරු ලිපියක සහ ටැම් ලිපියක සදහන් වන්නේ දාසෙන්කැලි රජ දරුවන් විසින් කරවූ රූණු මහ වෙහෙර නම් වූ මෙම ස්ථානය වල්වැදි තිබෙනු දැක, සොලී සේනාව මැඩ රූණු රට රජ කරන පැරකුම්බා දෙබෑයන්ගේ අගමෙහෙසිය වූ විහාරමහා දේවිය විසින් නැවත ප්‍රතිසංස්කරණය කර ස්ථානයේ නඩත්තුව සදහා ගම්වර ප්‍රදානය කල බවයි. එසේම විහාරදේවි පිරිවෙන ද එතුමිය විසින් සාදා මෙම ස්ථානයට පිරිනැමූ බවයි.
කැබැලි වලට කැඩුන බුදු පිළිමයක්
මහාවංශයට අනුව අනුරාධපුරයේ ක්‍රි.ව. 659 දී පමණ සුළු කාලයක් රජකම් කර පසුව රෝහණයේ රාජ්‍ය පාලකයා වූ පළවෙනි දප්පුල රජතුමන් විසින් රෝහණ විහාරය යනුවෙන් වෙහෙරක් පාෂාණදීප (වෙහෙර )වාසී මහා තෙරණුවන් ගැන පැහැදී ඒ හිමියන් වෙනුවෙන් තනවා පුජා කරන ලදී. පූජාවලියට අනුව දාපුලු නම් රජ රුහුණින් පැමිණ අනුරාධපුර නුවර ඉඳ  රුහුණු වෙහෙර ආදි එකුන් විස්සක් පමණ විහාර කරවා තුන් අවුරුදු තුන් මසක් රාජ්‍ය කලහ. රාජාවලිය පවසනුයේ දාපුලු රජ රුහුණින් ගොඩනැගී අනුරාධපුර නුවරට ගොසින් එහි තිබූ සුන් බුන් වැඩ කරවා නැවත රුහුණට ගොස් රූණු වෙහෙර කරවා... දස අවුරුද්දක් රාජ්ජය කල බවය.
බෝධිඝරය
ඉහත සඳහන් විහාර මහා දේවිය සිටි යුගයට සියවසකට පමණ පෙර ලියවුනු මහාවංශයේ මේ යුගයට අදාල කොටස මෙන්ම පූජාවලියද පසුකාලින සෙල් ලිපියට වඩා විශ්වාසනීය බැවින් සෙල් ලිපියේ දාසෙන්කැලි යනුවෙන් ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 455 - 473) කල බව පවසන රෝහන වෙහෙර (පාලි) හෙවත් රූණු වෙහෙර (සිංහල) ඉදිකලේ ධාතුසේන රජු නොව පළවෙනි දප්පුල විය හැකි බව පරණවිතාන මහතා පවසයි. සිංහල මූලාශ්‍ර වල දාපුලුසෙන් ලෙස හැඳින්වෙන දප්පුල රජතුමන් වචනයේ සාම්‍යත්වය නිසා පසුකාලීනව දාසෙන්කැලි සමග පටලවා ගැනීමක් සිදුවන්නට ඇති බවට ඒ මහතා අනුමාණ කරයි.

ස්තූපය
මේ අනුව පැරකුම්බා දෙබෑයන් හට අගමෙහෙසිය වූ විහාරමහා දේවිය සදහන් කරන රූණු වෙහෙර සහ වංශ කතා වල සදහන් රූණු වෙහෙර යනු බොහෝවිට එකම විහාරයක් බව පිළිගත හැක. එය මුලින්ම ඉදි කිරීමේ ගෞරවය බොහෝවිට හිමිවිය යුත්තේ පළවෙනි දප්පුල රජුට බවද පැහැදිලිය. එසේ නම් එය නැවත පිළිසකර කරවූ සෙල්ලිපි වල සදහන් විහාරමහා දේවිය යනු කවරෙකුද යන්න ඉන්පසු මතුවන ගැටලුවයි. මේ පිළිබඳව අදහස් දක්වන පරණවිතාන මහතා මෙහි සඳහන් පරාක්‍රමබාහු නම් ගම්පොල රාජධානිය කරගනිමින් සිරිලක රාජ්‍ය විචාල පස් වන පරාක්‍රමබාහු සහ ඔහුගේ සහෝදරයකු වන හතරවන බුවනෙකබාහු විය හැකි බව පවසයි. ක්‍රි.ව. 1341 සිට 1351 දක්වා හතරවන බුවනෙකබාහු ගම්පොල සිට රට පාලනය කල අතර එම කාලයේ පස්වන පරාක්‍රමබාහු දැදිගම ප්‍රදේශය ආශ්‍රිතව ස්වාධීන පාලකයෙකු ලෙස විසීය. නැවත ක්‍රි.ව. 1351 න් පසු ක්‍රි.ව. 1359 දක්වා හෙතෙම ගම්පොල පාලකයා බවට පත්විය.
ස්තූපය
කෙසේ නමුත් පසුව තම මතය සම්බන්ධයෙන් සැක පල කරන පරණවිතාන මහතා බුවනෙකබාහු යන නම මෙම ස්ථානයෙන් හමුවන සෙල්ලිපි වල නැති බැවින් සහ එම දෙබෑයන් රුහුණේ පමණක් පාලකයන් බව සෙල්ලිපි වල පැහැදිලිව සඳහන් වන බැවින් (පෙර කී රජවරුන් දෙදෙනම ඔවුන් මුළු දිවයිනටම අධිපති වූ බව පවසයි ) ඔවුන් දෙදෙනා වංශ කතා මූලාශ්‍ර වල සදහන් නොවන ප්‍රදේශිය පාලකයන් දෙපලක් විය හැකි බව පවසයි. එම සෙල්ලිපි වල සදහන් වන චෝල ආක්‍රමණය සම්බන්ධවද වෙනත් මූලාශ්‍ර වලින් කරුණු හමු නොවේ.
හතරැස් වේදිකාවක ඉදි කර ඇති පැරණි ස්තූපයක්, බුදු මැදුරු, පධානඝර, සහ කාවන්තිස්ස සහ විහාර මහා දේවියගේ මගුල් පෝරුව ලෙස වරදවා හඳුනා ගන්නා බෝධිඝරයක නටබුන් ඇතුලු තවත් ගොඩනැගිලි කිහිපයකම නටබුන් මෙහි ඇත.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කලකට පෙර මේ ස්ථානය ගැන ලියූ සටහනක් අවසන් කරන්නේ මෙසේය .
 "එදා ආක්‍රමණික ද්‍රවිඩ බලයට එරෙහිව රෝහණය නිදහස් කරගත් මේ වීරෝධාර සිංහල දූපුතුන් ජනිත භූමියෙහි අද ජාතිවාදි ත්‍රස්තවාදී ද්‍රවිඩයන්ගේ හොල්මන්වලට ඉඩදී තිබීම නම් වර්තමාන රුහුණු දූ පුතුනට කිසිසේත් තරම් නොවේ."
 එම ත්‍රස්තවාදි බලවේග එවන් රුහුණු පුතෙකුගේ බල මහිමයෙන් මර්ධනය කලද වර්තමානය වන විට නැවතත් රටට සතුරු විජාතික බලවේග වල නියෝජිතයන් වූ පිරිසක් අතට රටේ බලය හුවමාරු වී ඇති මොහොතක ජාතිවාදි බලවේග වෙනදාටත් වඩා ශක්තිමත්ව සිය අරමුණු කරා යන බවක් දිස්වේ. එම නිසා මද සංශෝධන සහිතව ඉහත සටහන අදටද වලංගුය.

ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • History of Sri Lanka, W.I. Siriweera, 2012
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941

Wednesday, September 7, 2016

නැගෙනහිර බොදු උරුමය 2 - නක මහ රජුගේ පුත්‍ර මලිතිස මහ රජුගේ රන් දාගැබ, දීඝවාපිය




අම්පාර දිසාවේ අක්කරපත්තුවට ආසන්නව සමන්තුරය සහ අක්කරපත්තුව අතර පිහිටි විශාල දාගැබේ බටහිර වාහල්කඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1964 දී තහවුරු කිරීම සඳහා කැණීම් කිරීමේදී රන් කරඩු තුනක් හමුවිය. ඉන් එකක තිබූ රන් සන්නසක දෙවන සියවසට පමණ අයත් සිංහල අක්ෂර වලින් සටහන් කර තිබුණේ නක මහ රජුගේ පුත්‍ර මලිතිස මහ රජුගේ රන් දාගැබයි යනුවෙනි. එම කැණිම සිදුවන කාලය වන විටත් වංශ කතා වල සඳහන් වන දීඝවාපි දාගැබ ලෙස ජනප්‍රිය වී තිබූ එම ගරා වැටුණු විශාල දාගැබ 1924 දී පමණ භික්ෂුන් නැවත එහි පදිංචියට පැමිණීමට පෙර නකා වෙහෙර ලෙස හැඳින්වූ බව Historical Topography of Ancient and Medieval Ceylon නම් ග්‍රන්ථයේ C. W. නිකොලස් මහතා සඳහන් කරයි.  මෙම ස්ථානය භික්ෂු වාසයක් වීමත් සමග ජනප්‍රිය ලෙස සහ බොහෝවිට නිවැරදිව එය නැවතත් දීඝවාපිය ලෙස හැඳින්වීමට පටන් ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි (කෙසේ නමුත් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කරන්නේ 1916 දී ගන වනයෙන් වැසී තිබූ මෙම ස්ථානය සොයාගිය කොහුකුඹුරේ රේවත මහ තෙරුන් වහන්සේ මෙම ස්ථානය අසල ගසක පැලක් සාදාගෙන නේවාසිකව වැඩ විසූ බවයි. වන සතුන් මැද ඉතා දුෂ්කර දිවියක් ගෙවූ උන් වහන්සේ වර්ෂ 1950 දී මුස්ලිම් ජාතිකයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන තෙක්ම එහි වැඩ විසූ බවත් මේධානන්ද හිමියන් සඳහන් කරයි.)

විනාශ වූ බුදු පිළිම කොටස්
නිසැකවම මෙම දාගැබමදැයි පැවසිය නොහැකි මුත්  මහාවංශයේ අවසාන වරට නකා චේතිය යනුවෙන් ස්තූපයක් පිළිබඳව සඳහන් වන්නේ කිර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747-1780) රජතුමන් ගැන සඳහන් කිරීමේදීය. "...මහා යසස් ඇති ඒ ජනේන්ද්‍ර තෙමේ මහියංගණ චේතියට හා නකා චේතියට ගොස් රාජතේජසින් මහ පුද පවත්වමින් වැඳ පින් රැස් කල..." බව එහි සඳහන් වේ.

ඉහත සඳහන් වූ රන් සන්නසේ එන නක මහරජු වංශ කතා වල දැක්වෙන මහල්ලක නාග (ක්‍රි.ව. 136-143) රජු ලෙසත් මලිතිස මහ රජ කණිට්ඨ තිස්ස (ක්‍රි.ව. 167-186) රජු ලෙසත් පැරණි රෝහණ රාජ්‍යයේ නොයෙකුත් ස්ථාන වලින් හමුවූ වෙනත් සෙල්ලිපි සාධක ඇසුරින් හඳුනාගත හැක. එසේ නම් මෙම දාගැබ කණිට්ඨ තිස්ස රජුගේ නිර්මාණයක්ද?
දීඝවාපියේ නටබුන් වූ වාහල්කඩක්
මහාවංශයේ මුල් වරට දීඝවාපි යන නම කියවෙන්නේ බුදුන් වහන්සේගේ තුන්වන ලංකාගමණය පිළිබඳ විස්තරයේදීය. බුදුන් වහන්සේ සුමණකූටයේ සිරිපා පිහිටුවා එහි පාමුල දිවා විහරණයෙන් අනතුරුව දීඝවාපියට නික්මුණ බව සඳහන්ය. දීඝවාපියේ චෛත්‍ය ස්ථානයේ සංඝයා සමග වැඩ හිඳ සමාධියට සමවත් වූ බව එහි විස්තර කෙරේ. මේ සිදුවීම විස්තර කරන සිංහල ධාතුවංශයට අනුව උන් වහන්සේ දිවා විහරණයෙන් අනතුරුව ...දිගා නකයෙහි දාගප් වහන්සේ බඳනා ස්ථානයෙහි වැඩ හිඳ පන්සියයක් පමණ රහතුන් හා සමග සමාපත්තියට සමවැද මහාසේන නම් වූ දිව්‍ය පුත්‍රයෙකු ආරක්ෂා පිණිස එතැන්හී රඳවා...එයින් නැඟී රැවන්වැලි සෑය බඳනා ස්ථානයට පැමිණුන බව පවසයි.
දීඝවාපියේ පිළිම ගෙයක අවශේෂ
මහාවංශයේ පුරාවෘත්ත ආශ්‍රිතව ගොඩනැගුණු කොටසේම ඇතුලත් පඬුවස්දෙව් රජු පිළිබඳ විස්තරයේ සඳහන් වන පරිදි ඔහුගේ මෙහෙසිය වූ භද්දකච්චානා කුමරියගේ සොහොයුරන් විසින් ලක්දිව ඉදිකල ජනපද අතර දීඝායු කුමරා විසින් පිහිටවූ දීඝායු ග්‍රාමයද වේ. පසු කලක දීඝවාපි පෙදෙස ලෙස වංශ කතා වල දැක්වෙන්නේද එම දීඝායු ජනපදය විය හැකි බව  පොදු පිළිගැනිමය. දීඝවාපි යන්නෙන් දික් වූ වැවක් යන අරුත එනමුත් දීඝායු ජනපදයේ පිහිටි වැව යන නමද ඉන් ගිණිය හැක. මෙම වැව වර්තමානයේ හැඳින්වෙන්නේ කුමන නමකින්ද යන්න මෙතෙක් පැහැදිලිව සොයාගෙන නොමැත.

මහාවංශයේ විසි හතර වන පරිච්ඡේදයේ උතුරේ එළාරගේ බලමුළු වලින් රෝහණ දේශය ආරකෂා කරගැනීමේ කාකවණ්ණ තිස්ස රජුගේ සේනා සංවිධානය පිළිබඳ විස්තරයේ සඳහන් වනුයේ කාකවණ්ණ තිස්ස රජතුමන් බල සේනා සහ රථ පිරිවරා සිය දෙටු පුත් තිස්ස කුමරුන් දීඝවාපියේ රඳවා එම පෙදෙසේ ආරක්ෂාව තහවුරු කල බවයි. කාකවණ්ණතිස්ස රජුගේ අභාවයෙන් පසු දීඝවාපියේ සිට පැමිණෙන තිස්ස කුමාරයන් මවු වූ විහාර දේවිය සහ කණ්ඩුල ඇතු රැගෙන නැවත යන්නේද දීඝවාපියටය. නැවත මහාගාමයට පැමිණෙන දුට්ඨගාමිණි කුමරුන් සහ තිස්ස කුමරු අතර ඇතිවන සටනින් පැරදි තිස්ස කුමරු පසුබසින්නේද දීඝවාපියටය. ඉනික්බිති සංඝයාගේ මැදිහත් වීමෙන් සිදුවූ දෙසොහොයුරන් අතර සමගියෙන් පසු තිස්ස කුමරු දීඝවාපියේ සිට ගොයම් කරවූ බව මහාවංශය වැඩිදුරටත් විස්තර කරයි.

දීඝවාපියේ නටබුන් වූ ශෛලමය නිර්මාණ කොටස්
දුට්ඨගාමිණිගේ අභාවයෙන් පසුව රජ වූ තිස්ස කුමරුන් (සද්ධාතිස්ස ) අනුරාධපුරයේ සිට දීඝවාපිය දක්වාම යොදුනක් පාසා විහාර ඉදි කර දීඝවාපියේද විහාරයක් සහ චෛත්‍යයක් බැඳවීය. පුජාවලි කතෘ මෙය විස්තර කිරීමේදී ...සැදෑතිස් රජු දිගානකාදී වෙහෙර කරවා....යනුවෙන්ද රාජාවලිය සැදැහැතිස්ස රජ රාජ්ජයට පැමිණ දිගානක වෙහෙර කරවා... යනුවෙන්ද සඳහන් කරයි. ඒ අනුව දීඝවාපි වෙහෙර,දිගානකා වෙහෙර, දිගානක වෙහෙර හා පසු කාලීනව නකා වෙහෙර යන මේ සියළු නම් වලින් හැඳින්වෙනුයේ එකම වෙහෙරක් බව පැහැදිලිය. දීඝවාපිය ගැන කියවෙන තවත් අට්ඨ කතා සහ සෙල්ලිපි සාධකද ඇත*.
දීඝවාපි ස්තූපයේ වාහල්කඩක නටබුන් වූහි කැටයම් ගල් පුවරු
වංශ කතාව අනුව නම් දීඝවාපිය සද්ධාතිස්ස රජුගේ (ක්‍රි.පූ. 137 - 119) ඉදිකිරීමකි. රන් සන්නසේ සඳහන් පරිදි කණිට්ඨ තිස්ස (ක්‍රි.ව. 167-186) රජු එය නැවත පිළිසකර කලා විය හැක. කෙසේ නමුත් අද වන විට දෙමළ බෙදුම්වාදීන් සිය නිජ භුමියයැයි පවසන නැගෙනහිර පළාතේ මේ වන විට මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙසක පිහිටා ඇති දීඝවාපි ස්තූපය සහ ඒ ආශ්‍රිත අනෙකුත් නටබුන් නිහඩව කියාපාන්නේ මේ දීඝවාපි දනව්ව හෙවත් වර්තමාන දිගාමඩුලු භූමිය වනාහි මේ බිමේ ශිෂ්ඨාචාරය පිහිටවූ සිංහල ජාතියේ තවත් එක් හදබිමක් (Heartland) බව නොවේද?

* පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර.

ආශ්‍රිත පෙර ලිපි - නැගෙනහිර බොදු උරුමය 1 - මිහිඳු හිමි භෂ්මාවශේෂ පිහිටුවා රජගල ඉදිකල ස්තූපය

මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • Souvenirs of a Forgotten Heritage, Gamini De S.G. Punchihewa, 2008
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • History of Sri Lanka, W.I. Siriweera, 2012
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1963-64, 1965
  • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1964-65, 1967



Sunday, April 24, 2016

ලෙන් පිදූ පරුමක මිත්ත, ඇඹරුම් ගල ඇදන් ගිය නන්දිමිත්‍ර යෝධ පැටියාද?

පරුමක මිත පිදු ලෙන් පිහිටි සිතුල්පව්වේ කටාරම් කෙටූ ලෙන්
උතුරේ ඊලාම්වාදීන්ගේ මෙන්ම දකුනේ ඔවුන්ට බැලමෙහෙවර කරන ඊනියා සිංහල සිවිල් (හිවල්) සමාජයේද නිබඳ විවේචනයට ලක්වන ග්‍රන්ථයක් වේ නම් ඒ මහාවංශයයි. මක් නිසාද යත් ඔවුන් නිර්මාණය කිරීමට වලිකන ඊණියා දෙමළ නිජබිම් මිත්‍යාවට එහි අඩංගු කරුණු බාධකයක් වන බැවිනි. එසේම ඔවුන්ට නයාට අඳුකොළ බඳු, 'සිංහල ජාතිකත්වයේ ඉතිහාසය' ලියවී ඇති ග්‍රන්ථය එය බැවිනි. මහාවංශය යනු මිත්‍යා මත වලින් සහ සිදුවිය නොහැකි දේවලින් සපිරි කතන්දර පොතක් ලෙස හඳුන්වාදීමට ඔවුන් වඩාත් කැමැතිය.  එමගින් එහි ගැබ්ව ඇති ඓතිහාසික කරුණු වල වැදගත්කම පහසුවෙන් නොසලකාහැරිය හැකි බැවිනි. කෙසේ නමුත් මහාවංශය තරම් දීර්ඝ කාලයක් පුරා එක් රටක සිදුවූ සිද්ධීන් සටහන් කර තැබූ, එම සිද්ධීන් වෙනත් ප්‍රභව මගින් සත්‍ය යැයි වර්තමාන ඉතිහාසඥයන් සහ පුරා විද්‍යාඥයන් තහවුරු කෙරූ ඉතිහාස ග්‍රන්ථයක් ආසියානු කලාපයේ අන් රටවල පමණක් නොව ලොව කිසිදු රටක නැති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

එබැවින්  මහාවංශයේ සඳහන් කරුණු වෙනත් ආකාර වලින් තහවුරු වූ අවස්ථා වරින් වර පෙන්වාදීම ඊලාම්වාදීන් නැවතත් සක්‍රීයව නැගිසිටිමින් සිටින මේ ඊණියා "සහජීවන යහපාලන" අවධියේ කාලීන යැයි හැඟේ.  විජාතික බත් බැලයන්ගෙන් නිරතුරුවම දෝෂාරෝපණයට ලක්වන දුටුගැමුණු රජතුමාගෙන්ම පටන් ගනිමු.

දුටුගැමුණු රජතුමාට නැතහොත් ඔහුට පෙර සිටම රුහුණේ මාගම සිට රජකම් කල ඔහුගේ පියා වූ කාකවණ්ණතිස්ස රජතුමාට යෝධයන් දශ දෙනෙක් සිටි බවත්, ඔවුන් ඇදහිය නොහැකි විශ්වකර්ම වැඩ කර රටවැසියන් මවිත කල බවත් මහාවංශ කතුවර මහාවිහාරවාසී මහානාම හිමියන් ඉමහත් අභිරුචියෙන් විස්තර කරයි. 'යෝධයන් 'යැයි කිවූ විට නිබඳවම සිහිවන්නේ සාමාන්‍ය මිනිසෙකුට වඩා උස මහත හැඩි දැඩි පුද්ගලයෙකි. දුටුගැමුණුගේ යෝධයන් සම්බන්ධ මහාවංශ විස්තරය කියවන විටද එවැනි සිතුවිල්ලක් ඇතිවීම අනිවාර්යය. මහාවංශයේ ඇතුලත් මේ යෝධයන් හා සම්බන්ධ ඇදහිය නොහැකි සිදුවීම් සහ සිදුවිය හැකි නමුත් අතිශයොක්තියට නගා ඉදිරිපත් කල සිදුවීම් මදකට පසෙකලා විවෘත මනසකින් බැලුවහොත් අපට ඉන් ගත හැකි දෙය නම් මේ පුද්ගලයන් දශ දෙනා රජතුමාගේ සෙන්පතියන් දශ දෙනෙකු විනා වෙනත් අද්භූත පුද්ගලයන් නොවන බවය. ඉන්පසු පැන නගින ප්‍රශ්ණය නම් මෙ කියන පුද්ගලයන් සැබෑවටම සිටි බවට මහාවංශය සහ වෙනත් එවැනි වංශකතා හැර වෙනත් සාධක තිබේද යන්නය?

අවම වශයෙන් මෙම සෙන්පතියන් දශ දෙනාගෙන් හරි අඩකගේම නම් සෙල්ලිපි මඟින් තහවුරු වී ඇත. මේ එම සෙල්ලිපි සහ එවාහි ඔවුන් හඳුන්වා ඇති ආකාරය පිළිබඳ විමසුමකි.

1) නන්දිමිත්ත

  අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි නැට්ටුකන්ද සෙල්ලිපියේ සඳහන් වෙන්නේ පරුමක නන්දිකගේ පුත් පරුමක මිත්ත ට අයත් මහා සුදස්සන නම් වූ ලෙන සිව් දෙසින් පැමිණි/නොපැමිණි සංඝයාට දුන් බවයි. එසේම එම දිස්ත්‍රික්කයේම පිහිටි මහා ඇළගමුව සෙල්ලිපියකද පරුමක නන්දිකගේ පුත් පරුමක මිත්තගේ ලෙන සංඝයාට පිරිනැමූ බව පැවසේ.  තවද වවුනියා දිස්ත්‍රික්කයට අයත් එරුපොතාන පිහිටි ලෙනක්ද පරුමක නන්දිකගේ පුතු වන පරුමක මිත්තට අයත්ව තිබී සිව්දෙසින් පැමිණි/නොපැමිණි සංඝයාට පිරිනැමූ බව පැවසෙන සෙල්ලිපියක් එහි කොටා ඇත (පරුමක මිත්තගේ බිරිඳට අයත් ලෙනක් සඝසතු කල බවට වූ ලිපියක්ද එරුපොතානෙන්ම හමුවේ).  නැගෙනහිර පලාතේ පිහිටි කුඩුම්බිගල පිහිටි මහාසුදස්සන නම් වූ තවත් ලෙනක්ද පරුමක නන්දිකගේ පුත් පරුමක මිත්තට අයත්ව තිබී සඝසතු කල බව එහි එන සෙල් ලිපියකින් පෙනේ. පරුමක මිත්ත යන නම සඳහන් වන තවත් සෙල්ලිපි දෙකක් පොළොන්නරු දිස්ත්‍රික්කයේ කන්දේගමකන්ද ප්‍රදේශයේ සහ සිතුල්පව්වේ පිහිටි කොරවක්ගල ප්‍රදේශයේ ලෙන් වලින් හමු වන මුත් ඒවායෙහි ඔහුගේ පියාගේ නම නොමැත. එම සෙල්ලිපි වලින් පරුමක මිත්තගේ පුතුන් දෙදෙනෙකුට (පිළිවෙලින් උත්තිය සහ දත්ත ) අයත් ලෙන් පිළිබඳ සඳහන් වන බැවින් මිත්තගේ පියාගේ නම සඳහන් කිරීම අනවශ්‍ය වූවා විය හැක (එම පරුමක මිත්ත යනු ඉහත ලෙන්ලිපි වල සඳහන් පුද්ගලයා නොවී වෙනත් පුද්ගලයෙක් විය හැකිය යන මතයද  බැහැර කල නොහැක.)

මේ සියලු ලෙන් ලිපි මුල් බ්‍රාහ්මි සෙල් ලිපි වන අතර ඒවායෙහි පරුමක යනුවෙන් හැඳින්වෙන්නේ රාජ්‍යයේ විවිධ තනතුරු දැරූ ප්‍රාධානීන්ය (Chieftains). මහාවංශයේ නන්දිමිත්‍ර යනුවෙන් හැඳින්වෙන යෝධයා නොහොත් සෙන්පතියා මෙම නන්දිකගේ පුත් මිත්ත වීමට බොහෝවිට ඉඩ ඇත. රජවරුන්ට සහ වෙනත් පුද්ගලයන්ට නම් පටබැඳිමට මනා දක්ෂතාවයක් තිබූ මහානාම හිමියන් නන්දිකගේ පුත් මිත්ත -> නන්දිමිත්‍ර කලා විය හැක*. කෙසේ නමුත් නන්දිමිත්තගේ අනන්‍යතාවය කිසිදු සැකයකින් තොරව හෙලිවන සෙල් ලිපියක්ද සිතුල්පව්වේ කොරවක්ගල පිහිටා ඇත. එහි සඳහන් වනුයේ දෙවනපිය අභය රජුගේ සෙන්පති වූ පරුමක මිත්තගේ ලෙන පැමිණි/නොපැමිණි සංඝයාට පූජා කල බවය. සෙල් ලිපි වල 'දෙවනපිය' යන විරුදය භාවිතා කල 'අභය' යනු දුටුගැමුණු ලෙස වංශකතාවේ එන රජතුමන් බව පරණවිතාන මහතා හඳුනාගනී. ඒ අනුව මේ සෙන්පතියා අන් කවරෙකුවත් නොව දශමහා යෝධයන්ගෙන් කෙනෙකු වූ නන්දිමිත්‍ර බව එතුමන් නිගමනය කරයි.

මේ අතර නන්දිමිත්තගේ නම පරුමක නදික මිත යනුවෙන්ම සඳහන් වන ලෙන් ලිපියක් අම්පාර දිස්ත්‍රික්කයේ ඕමුණගල ලෙන් විහාරයේ තිබී පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් කියවා ප්‍රාශයට පත් කර ඇත. එහි සඳහන් වනුයේ පරුමක නදික මිතගේ දියණිය වූද, පරුමක තිලකණගේ බිරිඳ වූද ගුත්තා නම් උපාසිකාව විසින් එම ලෙන පූජා කල බවය.

සෙල් ලිපි වල නම් සඳහන් අනෙක් දුටුගැමුණුගේ යෝධයන් සිව් දෙනා පිළිබඳ තොරතුරු වෙනත් දිනක සලකා බලමු.

* මිත්ත නම් වූ මේ යෝධයා නන්දි මිත්ත වනුයේ කුඩා කල ඉනවටා බැඳි වරපටකින් ඇඹරුම් ගලකට බැඳ සිටියදී එය ඇදගෙන ගොස් වරපට කඩා දැමූ හෙයිනයි මහානාම හිමියන් පවසයි. නන්දි = වරපට = Thong

මූලාශ්‍ර

  • Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.
  • එල්ලාවල මේධානන්ද ස්ථවිර, 2003, පාචීන පස්ස - උත්තර පස්ස, නැගෙනහිර පළාත සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.




Sunday, March 27, 2016

ඉන්දියානු ආක්‍රමණ පුරාණය

ඇතමුන් පිලිගැනීමට මැලි වුවද අද මේ රටේ ආන්ඩු කෙරෙන්නේ අසල්වැසි ලොකු අය්යාට ඕනේ විදිහටය. විපක්ෂයේ මන්ත්‍රීවරු කල යුතු රාජකාරිය පවා නිර්ණය කරන්නේ ලොකු අය්යාගේ මෙරට නියෝජිත සිංහාය. - Prof. Peiris: Are we back to Viceroy Dixit era of overlordship? මොන කතා කීවද වරාය නගරයේ චීන ඉදිකිරීම් වලට ඉන්දියාවේ එකඟතාවය නොමැති හෙයින් එහි ඉදිකිරීම් නැවතීමට ඉන්දියානු රූකඩ පාලකයනට සිදුවිය. අපට හැම අතින්ම අහිතකර ETCA ගිවිසුම මගින් මෙරට සේවා අංශය ඉන්දියානුවන්ට විවර කිරීම කවුරු විරුද්ධ වුවද කරන බව රූකඩ ආන්ඩුවේ අගමැති සපථ කර හමාරය. ඉන්දියානු ගිලන් රථ සේවය මගින් RAW නියෝජිතයන් රට පුරා ඕනෑම තැනක සැනෙකින් ස්ථාන ගත කිරීමේ ව්‍යාපෘතියද ක්‍රියාත්මක වීමට රජය අවසර දී ඇත. 

ඉන්දියානු අර්ධද්විපයට ආසන්නව පිහිටි භූ දේශපාලනය පිහිටීම නිසාම ක්‍රිස්තු පූර්ව යුගයේ පටන්ම මෙරට සංස්කෘතික, ආගමික සාමාජීය සහ දේශපාලන තත්වයන්ට ඉන්දියානු බලපෑම නොවැලැක්විය හැකි සාධකයක්ව පැවැතුනි. මෙරට වංශ කතාවල දැක්වෙන ආකාරයට එදා පටන්ම අප මෙරට ස්වාධීනත්වය සදහා ඉන්දියානු භූමියේ විවිධ කොටස් වල බලය පතුරාගෙන සිටි චෝල, පාණ්ඩ්‍ය, කේරල ආදී කොටස් සමග නිරන්තර අරගලයක යෙදී සිටියෙමු. වරක ඔවුන් අප රටේ ස්වාධීනත්වය ඩැහැ ගන්නා අතර මේ බිමේ සුජාත දූ පුතුන්ගේ ජීවිත පරිත්‍යාගයන් මතින් නැවතත් නිවහල් ජාතියක් ලෙස නැගි සිටියෙමු. මෙම සදාතනික අරගලය අදද නොයෙක් ස්වරූපයන්ගෙන් එලෙසම පවතින අතර වර්තමානයේ මේ ක්‍රියාත්මක වන්නේද එයමය. නිවට පාලකයන් සිටිනතාක් කල් අප ඔවුන්ගේ යටත්වැසියන් ලෙසට සැලකීම ඔවුන් සිදුකරනු ඇත. ඔවුන්ට විරුද්ධ වන පාලකයන් 2015 ජනවාරි සිදු කල අයුරින් කුමන්ත්‍රණ මගින් පලවා හරිනු ඇත. මේ වංශකතා වල සදහන් එවන් ඉන්දියානු ආක්‍රමණ ගැන විවරණයකි.

ලිඛිත ඉතිහාසයේ සදහන් වන පලමු ඉන්දියානු ආක්‍රමණය සිදු කරන්නේ සූරතිස්ස රජු සමයේ ඉන්දියාවේ සිට පැමිණි සේන සහ ගුත්තික නම් දමිලයන් දෙදෙනෙකි. ඔවුන් අශ්වයන් වෙළදාමේ පැමිණි නාවිකයකුගේ පුතුන් දෙදෙනෙකු බව මහාවංශය සදහන් කරයි. ඔවුන් වසර 22 මෙරට පාලනය කල බව එහි වැඩිදුරටත් සදහන් වේ. අසේල නම් සිංහල රජු නැවතත් ඔවුන්ගෙන් බලය අත්පත්කරගන්නා නමුත් ඔහුට වසර 10 ක්වත් පාලනය කිරීමට නොහැකි වන්නේ දෙවෙනි ඉන්දියානු ආක්‍රමණයද එළාර නම් චෝල රට සිට පැමිණි දමිලයෙකු ක්‍රියාත්මක කිරීමත් සමගය. ඔහු එතැන් සිට වසර 44 ක් මෙරට රාජ්‍යය පාලනය කරයි. මෙම ආක්‍රමණයන් සිදුවූ කාලය පිළිබද නිශ්චිත සාධක නොමැති හෙයින් ඒවා ක්‍රි. පූ. 250 ත් ක්‍රි.පූ. 161 ත් අතර සිදුවූ ලෙස අනුමාන වශයෙන් පිළිගැනේ. වංශ කතා වල සදහන් වන අයුරින් මේ ආක්‍රමණිකයන් සියලු දෙනාම දැහැමින් රට පාලනය කර ඇත. කුඩා ප්‍රමානයක් වූ ඔවුන්ගේ බලය මෙරට බහුතරයක් වූ ස්වදේශිකයන් එකමුතු වුවහොත් පහසුවෙන්ම අතික්‍රමණය කල හැකි බැවින් එවැනි හැසීරීමක් අනිවාර්ය බව පැහැදිලිය. කෙසේ නමුත් රජරට ප්‍රදේශයට පමනක් සීමා වූ මේ ආක්‍රමණිකයන්ගේ බලය දකුණේ රෝහණ දේශය යටත් කරගැනීම දක්වා පැතිරීමක් සිදු නොවූ බැවින් රෝහණයේ සිට සේනා සංවිධානය කල කාවන්තිස්ස රජුගේ උත්සාහය මල්ඵල දරමින් ඔහු පුත් දුටුගැමුණු විසින් මෙරට නැවතත් එක්සේසත් කලහ. එළාරගේ මරණයෙන් පසු ඔහුගේ බෑනා වූ භල්ලුක නම් තැනැත්තෙක්ද මෙරටට සේනාවක් සහිතව පැමිණෙන මුත් ඔහුවද පැරදවීමට දුටුගැමුණු සමත්වේ. මෙය තුන්වැනි ඉන්දියානු ආක්‍රමණය ලෙස ගත හැක.

අද ඇතැම් විජාතික මනසින් යුත් මනස්ගාතකරුවන් අර්ථනිරූපනක කිරීමට වලිකන අයුරින් මෙම සටන් කිසිදු ලෙසකින් එකල මෙරට විසූ ජනවර්ග දෙකක් අතර පැවැති වාර්ගික යුද්ධ ලෙස සැලකීමට සාධක නොමැති අතර බෞද්ධ ආගම මෙරටට හදුන්වාදීමත් සමග රාජ්‍ය අනුග්‍රය යටතේ මේ වන විට මෙරට බහුතරයක් එම දහම වැලදගත්තන් වන්නට බොහෝ සෙයින්ම ඉඩ ඇත. මේ යුගයේ දමිල ලෙසින් හැදින්වූවන් වර්තමාන අර්ථයෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව ලෙස ගැනෙන කොටසින් පැමිණි පුද්ගලයන් බව පොදුවේ පිළිගැනේ. ඔවුන් කිසියම් හෝ රාජ්‍ය වංශයකට අයත් වූවන්ට වඩා මෙරට පැවැති සාපේක්ෂව යුධ ශක්තිය අතින් දුර්වල පාලනයන් පහසුවෙන් අත්පත්කර ගත් තනි පුද්ගලයන් වන්නට ඉඩ වැඩිය. කෙසේ නමුත් ඔවුන් ආගමින් හින්දු වීමට වැඩි ඉඩක් ඇති බැවින් ඔවුන්ගේ පාලන යුග වලදි පෙර පැවැති රාජ්‍ය අනුග්‍රය ඒ අයුරින්ම බුද්ධ ශාසනයට නොලැබී යෑම දුටුගැමුණු රජුගේ සේනා සංවිධානයේදී බෞද්ධ භික්ෂුන්ගේ ප්‍රබල මැදිහත් වීමෙන් වටහාගත හැක. එසේම ජනතාව සටන් සදහා යොමු කිරීමටද පොදුවේ බෞද්ධයන් වූ සිංහලයන්ට එල්ල වූ එම අසාධාරණය ඉවහල් කර ගත් බවක් පෙනී යයි.

මෙවැනි ආකාරයේම වූ තවත් ආක්‍රමණයක් දුටුගැමුණුගේ මරනයෙන් දශක හතරක් ඉක්මවූ තැන ක්‍රි. පූ. 137 දී වට්ටගාමිණි අභය රජුගේ කාලයේදීද සිදුවේ. වංශකතාවේ සදහන් අයුරින් මහාතිත්තයට ගොඩ බසින දමිලයන් සත් දෙනෙක් වට්ටගාමිණි රජුගේ පදවිප්‍රාප්තියෙන් පස් මසක් ගිය තැන ඔහු පලවා හැර බලය අත්පත් කරගනී. තීය නම් වූ බ්‍රාහ්මනයෙකු ඇති කල කැරල්ලක් නිසා මෙරට ඇතිවී තිබූ අස්ථාවරත්වය සහ දුර්භික්ෂය මෙම ආක්‍රමණිකයන්ගේ අරමුණ ඉටුකර ගැනීම පහසු කෙරුවා විය හැක. මෙම දමිලයන් සත් දෙනාගෙන් දෙදෙනෙකු එක් අයෙකු රජුගේ බිසවක් වූ සෝමාදේවිය සහ අනෙකා බුදුන්ගේ පාත්‍රා ධාතුව රැගෙන ඉන් සෑහිමකට පත්වී නැවතත් ඉන්දියාවට නික්මයන අතර සෙස්සන් එකිනෙකා මරාගනිමින් වසර 14 කුත් සත් මසක් මෙරට පාලනය කරන අතර වට්ටගාමිණී රජු සේනා සංවිධානය කර අන්තිමයාගෙන් නැවතත් බලය අත් පත් කර ගනී.

ඉන්දියානු ආක්‍රමණ පුරාණය ගැන තව දුරටත් ඉදිරියේදි විමසා බලමු. 

චිත්‍රය - ඒකාබද්ධ වෘත්තියවේදීන්ගේ සංගමගේ නිර්මාණයකි.

මූලාශ්‍ර
  • The Indian factor in the security perspectives of Sri lanka, A, Liyanagamagea, 1993
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.