Showing posts with label Lion Rock. Show all posts
Showing posts with label Lion Rock. Show all posts

Saturday, October 20, 2018

කාශ්‍යප හිමි වැඩ සිටි ගුරුළු පර්වතය H.C.P. බෙල් සීගිරිය කලාද?

මෙරට නමට සිංහලයන් වන බහුතරය සිංහලයන්ගේ ප්‍රෞඩ ඉතිහාසය බොහෝ දුරට විශ්වාසවන්ත ලෙසින් (අපක්ෂපාති ලෙස නොවේ. අපක්ෂපාති ලෙස ඉතිහාසය සටහන් කරන්නන් ලොව නැත.) ග්‍රන්ථාරූඩ කර ඇති  මහාවංසය කියවා නැත. පාසලේ ඉතිහාසය එහෙන් මෙහෙන් උගන්වන කාලයක සිය මූලික අධ්‍යාපනය ලද පරපුරකට අයත් නම් ඔවුන් ලද ඉතිහාස දැනුම එපමණය. ඉතිහාසය, සාහිත්‍යය කන්නදැයි විමසූ පාලකයන් සිටි අවධියක පාසැල් ගියේ නම් ඒ ටිකද නැත. එවන් ජාතියක් උඹලාගේ ඉතිහාසය මෙන්න මේකයි කියා ඕනෑම ප්‍රබන්ධ කතාවකින් මුලා කරලිය හැක. බුදු හිමි ලංකාවේ සිටි බවත්, සීගිරිය යනු කාශ්‍යප තෙරණුවන් වැඩසිටි කුක්කුට පර්වතය බවත් එහි දැනට පා යුගලක නටබුන් ඇත්තේ කුක්කුට හෙවත් ගුරුලාගේ මිසක (ඇත්ත වශයෙන්ම කුක්කුට යනුද කුකුළා මිසක ගුරුලා නොවේ.) සිංහයකුගේ නොවන බවටත් ආදි වශයෙන් "කතාන්දර" ගොතා එවන් සාතිශය බහුතරයකට ඇඟේ මයිල් කෙලින් වෙන ආකාරයේ අත්භූත ඉතිහාසයක් මවා පෙන්වීම අතිශයෙන්ම සරලය. එමගින් එම "කතාන්දර පප්පලාට" පොරවල් විය හැක. අවශ්‍ය නම් පොතක් දෙකක් පලකර ආර්ථික ප්‍රතිලාභද අත්කර ගත හැක.

සීගිරියේ එහි උතුරු දිශාවෙන් සිංහයෙකුගේ රූපයක් සහිතව ගල මතු පිටට නැගීමට හිණි පෙලක්  තිබූ බවට මහාවංශයෙහි සහ සීගිරි කුරුටු ගී වල කියැවෙන බව මෙයට පෙර පළ කල ලිපියෙන් කරුණු දැක්වූවෙමි. Link>>  එහෙත් සීගිරිය පිළිබඳව වන ඉහත යාන් හෑල්ල ලියූ පුද්ගලයන් සහ පසුව එය ඔසවාගෙන යන අන්ද භක්තිකයන් මතු කරන මේ පිළිබඳව වන ප්‍රධාන සහ එකම කරුණ (Fact) වනුයේ සීගිරියේ දැනට දක්නට ලැබෙන ආකාරයට සිංහ පාදයේ "ප්‍රමුඛව" ඇඟිලි තුනක් පමණක් පිහිටා තිබීමය. එම යාන් හෑල්ලේ ඉතිරි සියල්ලම පොදු ව්‍යවහාරයේ භාවිතා වන ලෙසට නම් "අතේ රෝල්" මිසක අන් යමක් නොවේ.
යාපහුවේ සිංහ රූපය
Panthera leo sinhaleyus
ඓතිහාසික යුගය තුල සිංහයන් මෙරට ස්වභාවික වනාන්තර තුල ජීවත්ව සිටි බවට කිසිදු සාධකයක් හමු වී නැත. එමෙන්ම අශ්වයන් මෙරටට ගෙන්වූ ආකාරයට අසල්වැසි භාරතීය පෙදෙසකින් හෝ වෙනත් එවැනි විදේශ රටකින් සිංහයන් මෙරටට ගෙන ආ බවටද කිසිදු වංශ කතා හෝ සෙල් ලිපි සාධකයක්ද හමු නොවේ. Panthera leo sinhaleyus ලෙසින් නාමකරනය කර ඇති සිංහ විශේෂයක් මෙරට සිටි බවට හමු වී ඇති එකම සාධකය රත්නපුරයේ මැණික් පතලකින් හමු වූ සිංහයෙකුට අයත් බවට P.E.P. දැරණියගල මහතා විසින් හඳුනාගෙන ඇති සිංහ දත පමණි. කුරුවිට ප්‍රදේශයේ පොළව මතු පිට සිට අඩි 19 යටින් ඉල්ලම් පසට උඩින් 1936 වසරේදී හමු වූ මෙම දත ඉල්ලම් පස් සමග මිශ්‍ර වී තිබීම නිසා කාල නිර්ණය කල නොහැකි මුත් Pleistocene යුගයට අයත් බවට අනුමාණ කෙරේ. ( P.E.P. දැරණියගල මහතා කුරුවිට ප්‍රදේශයේම මැණික් පතලකින් අඩි 20 යටින් මෙම සිංහ වීශේෂයටම අයත් තවත් දතක් 1947 වර්ෂයේදී හමුවූ බව පවසා ඇති මුත් කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි මහතා පවසන්නේ මෙම විශේෂය මෙරට සිටි බවට ඇති එකම සාධකය දැනට බ්‍රිතාන්‍යයේ ස්වහාව විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඉහත දත පමණක් බවය.)

මේ අනුව මෙරට සිංහ මූර්ති කැටයම් කල ශිල්පීන් දේශිය පුද්ගලයන් නම් ඔවුනට ජීවමාන සිංහයෙකුගේ හැඩරුව දැක ගැනීමට තිබූ හැකියාව අල්ප බව පෙනේ.
පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ දැකිය හැකි සිංහ රූපය
තාත්වික නොවන රජරට සිංහයන්
තවද මෙහිදී පැවසිය යුතු තවත් එක් වැදගත් කරුණක් වනුයේ පුරාණ සහ මධ්‍යතන යුගයට අයත් මෙරට හමුවන සියළුම සිංහ රූප කැටයම් සහ මූර්ති තාත්වික ශෛලයකින් නෙලා නොමැති බවය. සිංහයා ට අමතරව බහුලව හමුවන අනෙක් සිව්පා (ක්ෂීරපායී) සතුන් තිදෙනා වන අශ්වයා, ගවයා සහ අලියා සමග සංසන්දනය කිරීමේදී මෙය කැපී පෙනෙන වෙනසක් වන්නේ බොහෝ විට එම සතුන් සිංහයා මෙන් ශෛලිගතව නොව තාත්වික ශෛලියකින් නෙළා තිබීමය. එම ලක්ෂණය මෙරටට පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ සිට චීනය දක්වා රටවල් වල හමුවන පැරණි සිංහ මූර්ති සහ කැටයම් වලටද බොහෝ දුරට අදාල වේ. මේ සමග පළවන යාපහුවේ සහ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ හමුවන ගලින් කල සිංහ රූප දෙස බැලීමෙන් එම සිංහ රූප ජීවමාන සිංහයකුගේ විලාශය නොදක්වන බව වටහා ගත හැක (එහෙත් එම සිංහ රූප වල ප්‍රමාණයන් [Proportions] බොහෝ දුරට නිවැරදිව නෙළා ඇති බවද මෙහිදි සඳහන් කල යුතුය.)

ශෛලිගත සිංහ රූපයක පා වල ඇඟිලි ප්‍රමාණයන් ආදිය නිවැරදි විය යුතු නැති බවට අමුතුවෙන් පැවසිය යුතු නොවේ.
නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ ඇති සිංහයාගේ පාද
පොළොන්නරුවේ සහ යාපහුවේ සිංහයන්ගේ ඇඟිලි ගණන
වෙනත් පැරණි සිංහ රූප වල සිංහයාගේ ඉදිරි පාදයේ ඇති ඇඟිලි පිළිබඳව විමසා බැලූ විට පෙනී යන්නේ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ තිබෙන සිංහයාගේ ඉදිරි පාදයේ ප්‍රමුඛව දැකිය හැක්කේද ඇඟිලි 3 ක් පමණක් වන බවය. මේ සමග ඇති රූපයේ දක්වා ඇති ලෙසට එම සිංහ රූපයේ වම් පාදයේ ඇඟිලි තුනක් පමණක් දැකිය හැකි අතර දකුණු පාදයේ ඉදිරිපසට වන්නට දක්නට ඇත්තේද ඇඟිලි තුනක් පමණි. එහෙත් තරමක් පසු පසට වන්නට තවත් ඇඟිල්ලක් පැහැදිලිව එම දකුණු පාදයේ පමණක් දැකිය හැක (කාලයත් සමග සැලකිය යුතු මට්ටමින් විඛාදනය වී ඇති මෙම පාද එහි මුල් ස්වරූපයෙන් අද දැකිය නොහැක. වම් පාදයේ අමතර ඇඟිල්ල තිබූ කොටස මේ වන විට ගැලවී ගොස් ඇතිවා විය හැක.)

යාපහුවේ සිංහයාගේද පාද එහි මුල් ස්වරූපයට වඩා බෙහෙවින් ගෙවී ගිය ලෙසින් අද දැකිය හැකි මුත් ඇඟිලි හතරක් තිබූ බව විමසිල්ලෙන් බැලූ විට දැක ගත හැක. යාපහුවේ සිංහ රූපයේ ඇඟිලි වල නියපොතු සීගිරියේ සහ පොළොන්නරුව නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ සිංහයාගේ මෙන් ඉදිරියට නෙරා ගොස් නොමැති අයුරුන් නෙළා ඇත (සිංහයන්ගේ නිය පූසන්ගේ මෙන් ඇඟිලි අතර සැඟවී ඇති බවත්, එහෙයින් සීගිරියේ පාද සිංහයකුගේ නොව පක්ෂියෙකුගේ බවටත් තර්ක කරන රාවණ බ්‍රෝ ලාගෙන් මෙහිදී ඇසිය යුත්තේ එතකොට පොළොන්නරුවේ සිංහයා පක්ෂියෙක්ද කියාය.)
සීගිරිය දකුණු සිංහ පාදය - වම් කෙලවරේ ඇති පස්වන ඇඟිල්ල බලන්න
ඇත්ත වශයෙන්ම සිංහයෙකුගේ ඉදිරි පාදයේ ඇඟිලි 5 ක් ඇති අතර පසුපස පාද වල ඇත්තේ ඇඟිලි 4 ක් පමණි Link>>. ඉදිරි පාදයේ එක් ඇඟිල්ලක් අනෙක් ඇඟිලි හතර සමග පොළොවට ස්පර්ශ නොවී පාර්ශවිකව මදක් ඉහලින් පිහිටා ඇත (Dewclaw බල්ලෙකුගේ පාද වලද මේ ලක්ෂණය දැකිය හැක.) බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන මුත් සීගිරියේ සිංහ පාදයේද මෙම 5 වන ඇඟිල්ල දැකිය හැක (මේ සමග පළවන ඡායාරූප බලන්න.) ඒ අනුව මෙහිදී ඉදිරිපස ඇඟිලි තුනක් පමණක් දැනට දැකිය හැක්කේ ඇයිද යන පැණය නැවතත් මතුවේ.
පස්වන ඇඟිල්ල
ඇතැම්විට මුල් නිර්මාණයේ ඇඟිලි තුනක් සහ පාර්ශ්වික ඇඟිල්ල පමණක් තිබුනා වන්නට ඉඩ ඇත. එහෙත් පහත දක්වා ඇති ඡායාරූප දෙස වුවද විමසිල්ලෙන් බැලූ විට පෙනී යන්නේ සිව්වන ඇඟිල්ලක් නෙලීමට අවශ්‍ය ඉඩකඩ එම පාද වල දැනටද දැකිය හැකි බවයි. එසේම ඇතුලට වල ගැසුනු කොටසක් සීගිරියේ සිංහ පාද වල (වම් සහ දකුණු පාද) පිටත පැත්තේ දැකිය හැක.  දකුණු පාදයේ ඉදිරි ඇඟිලි සහ 5 වන ඇඟිල්ල අතර පිටතට නෙරා ගිය ගඩොල් කොටසක්ද දැකිය හැකි බවද මෙහිදි පෙන්වා දිය හැක.ඒ අනුව ඇතැම් විට එම ඇඟිල්ල මුලදී තිබී පසු කලක විනාශ වූවා විය හැක.
සීගිරිය වම් සිංහ පාදය - දකුණු කෙලවරේ ඇති පස්වන ඇඟිල්ල බලන්න
සිංහයා පක්ෂියෙකු කලේ කවුද?
යාන් හෑලි ලියන රාවණ බ්‍රෝලාගේ බයිලා වල කියැවෙන අන්දමට නම් 1890 ඉතා අපහසුවෙන් සිංහ පාදය අසලට නැගගත් H.C.P. බෙල් එය දැක තුෂ්ණිම්භූත වී ඇත. ඇත්ත කතාව නම් එම සිංහ පාද කැනීම් මගින් H.C.P. බෙල් මහතා මතු කර ගන්නේ 1908 දී බවය. එතෙක් එම සිංහ පාද සහ පියගැටපෙල එහි ඉහලින් පිහිටා තිබූ සිංහයාගේ ඉතිරි කොටස සහ වෙනත් ගොඩනැගිලි ආදියේ කඩා වැටීමත් සමග එක්වූ සුන්බුන් වලින් සම්පූර්ණයෙන්ම වැසී ඒවා මත ශාක වැවී තිබී ඇත. දැනට සිංහ පාදය තිබෙන ස්ථානය සහ ඒ අවට තනිකර පස් ගොඩැල්ලක් ලෙසට විනා සිංහ පාදයක් ලෙස දිස්වී නැත.

 අද සිංහ පාදයේ දක්නට ඇති කපරාරුව සහ එයින් පැහැදිලිව මතු කර ඇති නිය පසු කාලීන සංරක්ෂණ ක්‍රියාදාමයන්හි ප්‍රතිඵල විනා ඒවායේ මුල් ස්වරූපය නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වන සංවත්සරය වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව මගින් පළකල ඔවුන් සතුව ඇති පැරණි ඡායාරූප එකතුවේ දැක්වෙන ඡායාරූපයකින්ද පැහැදිලි වේ. (නීතිමය හේතුන් මත එම ඡායාරූපය මෙහි පළකල නොහැකි බව සලකන්න.) දකුණු පාදයේ පියගැටපෙල දෙසට වන්නට පිහිටි නිය කොටසේ සුළු පෙදෙසක කපරාරුව හැරෙන්නට එම ඡායාරූපයට අනුව සිංහ පාදයේ ඉතිරි කොටස් වල දැකිය හැක්කේ මතුවී පෙනෙන ගඩොල් කොටස් පමණි. ඒ අනුව ඒ වන විට විනාශවී තිබූ සිව්වන පාදයේ කොටස් කැනීමේදී ඉවත් වී සංරක්ෂණ කාර්යයේදී අවධානයෙන් ගිලිහුනා වීමටද ඉඩ ඇත. දැනට දක්නට ඇති පසු කාලීනව එකතු කල කපරාරුව සහ එයින් මතු කල ඇඟිලි 3 (සහ 5 වන ඇඟිල්ල) සහිත සිංහ පාදයේ හැඩයට යටවී සදහටම වැලලී ගොස් ඇතුවා විය හැක. තවදුරටත් පැරණි ඡායාරූප සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් සහ සංරක්ෂණ වාර්තා (ඒවා විනාශ නොවී තවමත් දෙපාර්තමේන්තුව සතුව කොහේ හෝ ඇත්නම්) විමසා බැලීමෙන් ඒ පිළිබඳව යමක් පැවසිය හැක. කෙසේ නමුත් සීගිරියේ දැකිය හැක්කේ සිංහයකුගේ පාද බවට නිගමනය කිරීමට නම් මේ කිසිවක් බාධාවක් නොවේ.
සීගිරි පර්වතයේ නැගෙනහිර දිශාවෙන් ගත් මෙම ඡායාරූපයට ඉදිරියෙන් සිංහ රූපයක මුහුණක් මවා ගත් විට කොතරම් අපූරුවට ලැග සිටින සිංහයකු නිර්මාණය වේදැයි සිතා බලන්න.
ඇතැම්විට බෙල් හෝ බෙල්ට පසුව මෙහි සංරක්ෂණ කාර්යයන් සිදු කල පුරාවිද්‍යාඥයන් අතින් එම සිව්වන ඇඟිල්ලේ තරමක් හෝ ඉතිරිව තිබූ කොටස් විනාශ වී ගියේ නම් හෝ කපරාරුව නිසා එම කොටස් සැඟවී ගියේ නම් සිංහයකු සිටි සීගිරිය, "ඇඟිලි තුනේ ගුරුලෙකු" කිරීමේ වගකීම ඔවුන් බාරගත යුතුය.(රාවණ බ්‍රෝලා මෙරට කීර්තිමත් පුරාවිද්‍යාඥයින්ට සහ ඉතිහාසඥයන්ට චෝදනා කරන ලෙසින් එසේ සිදු වූවා නම් එය ඔවුන් හිතාමතා කල දෙයක් නොව අතපසු වීමක් බවද මෙහිදී සඳහන් කල යුතුය. සංරක්ෂණ සහ කැනීම් ක්‍රියාදාමයන්හිදී එවැනි දේ සිදුවීම වැලැක්විය නොහැකි අතර අවම කරගැනීම පමණක් සිදු කල හැක.)

මූලාශ්‍ර
  • Sigiriya, City palace gardens monasteries paintings, Senaka Bandaranayake, 2013
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Sigiriya, R.H. de Silva, 1976
  • උරුමයක අරුණ එදා අද, 2015
  • The Pleistocene of Ceylon, P.E.P. Deraniyagala, 1958
  • අනුරාධපුර ජෛවවිවිධත්වය සහ වර්තමාන ජෛවවිවිධත්වය, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි, ගාමිණී අධිකාරි, 2014
  • Srinimal Lakdusinghe Felicitation Volume, Gunawardhana et.al., 2010

Monday, October 15, 2018

සීගිරියේ කිසිවෙකු නුදුටු අලුත්ම පුදුමය - ගුරුළු පාදය

මේ වන විට තරමක් යටපත් වී ඇතත් මෑත කාලයේදී මෙරට සමාජ මාධ්‍ය සහ ඇතැම් "බෝතල් පත්තරකාරයන්ගේ ජනමාධ්‍ය" වලින්ද සැලකිය යුතු ප්‍රචාරයක් ලද පට්ටපල් අතේරෝලක් ගැන කතා කිරීම මෙම ලිපියේ අරමුණයි. අන්තර්ජාලයේ පහසුවෙන් සිංහල අකුරු ලිවීමේ හැකියාව ලැබීමත් සමග මේ රටේ සිටින ඕනෑම උන්මන්තකයෙකුට තමුන්ට හිතෙන ඕනෑම කුණුහරුපයක් ලියා ඒවාට සැලකිය යුතු ප්‍රචාරයක්ද ලබාගැනීමේ ඉඩකඩ මැනවින් විවර වී ඇත. ඒවා පසු පස යන අන්ධ අනුගාමිකයන් පිරිසක්ද ඊටත් වඩා පහසුවෙන් ඇති කරගැනීමටද එමගින් අවස්ථාව ලැබේ. මෙරට ඉතිහාසය නොදන්නා ජාතියක් ජම්මයක්, සභ්‍යත්වයක් නොමැති, පිදුරංගලට නැග සීගිරි අප්සරාවන්ට තමුන් නපුංසක බව පෙන්වා, මුහුණු පොතේ රටට පස්ස පෙන්නන අවජාතකයන් බිහිවන්නේ එවන් වටපිටාවකය. අනෙක් අතට "පොලවෙන් උපන් පඹයෙකු" ඉදිරියට දමාගෙන "බටලන්දේ බැංකු හොරෙකු" සහ "චෞර රැජිනක්" නැවත රජ කරවන්නට බටහිර සහ අසල්වැසි රටක තානාපති කාර්යාල බුද්ධි මෙහෙයුම් මගින් කඩේ යැවිය හැකි "කුර වංශයේ" ලක්ෂ 62 ක්ම සිටින රටක මෙවැනි අතේරෝල් බ්ලොග් කාරයන්ට, රාවණ බ්‍රදස්ලාට සහ මීවනපලානේලාට බුදුන් පමණක් නොව අවැසි නම් ජේසුතුමාවද ලංකාවේ අලුතින් ඉපැද්දවිය හැකිය. කෙසේ නමුත් අපගේ මෙම ලිපියේ ප්‍රස්තුතය සීගිරියේ සිංහයාය.
සිංහ පාදය

සීගිරියේ සිංහ පාදය අසලට ගොස් බැලූ විට එක්වරම ප්‍රමුඛව දිස්වන්නේ සිංහයාගේ එක් පාදයක ඇඟිලි තුනක් පමණි. මෙම කාරණය දුටු එක්තරා "රාවණා බ්ලොගෙකුට" අපූරුම අදහසක් ඇති වී ඇත. එතැන් සිට ඔහූ එය පදනම් කරගෙන අමුතුම කතාවක් ගොතාගෙන යයි. එම සම්පූර්ණ කතාවේ සාරාංශයක් හෝ මෙහි ඉදිරිපත් නොකරන්නේ එමගින් හෝ ඔවුන්ගේ මනස්ගාත අදහස් වලට ප්‍රචාරයක් නොදිය යුතු බැවිනි. අනෙක් අතට එම අදහස් ඕනෑවාටත් වඩා මේ රටේ ඉවක් බවක් නොමැතිව ජනප්‍රිය වන ඕනෑම කුණුගොඩක් වැලඳගන්නා අවිචාරවත් පරපුර අතරට ගොස් ඇත. කෙසේ නමුත් එම ඇඟිලි තුන සහ එහි ඇති උල් හැඩයෙන් යුතු නියපොතු නිසා කතන්දරය ගොතන්නේ සීගිරියේ සිට ඇත්තේ සිංහයකු නොව පක්ෂියෙකු නැතහොත් ගුරුලෙකු බවය. කතාව තවත් රසවත් කිරීමට සුද්දෙකුද දුෂ්ඨයකු කල යුතුය. එවිට මෙරට රැල්ලට යන "ජාති ආල පොරවල්ගේ" බොක්කටම කතාව ගිලා බසී. ඒ සඳහා මෙතැනදී දුෂ්ඨයා වන්නේ H.C.P. බෙල් ය. (රැල්ලට යන ජාති ආල පොරවල් ගැන මම මෙයට පෙර ලියූ සිංහලේ ලිපියේ Link>> මතු කල සැකය මේ වන විට සාධක සහිතව ඔප්පු වී ඇත. මේ වන විට හෙළිවන තොරතුරු අනුව "සිංහ - ලේ" ලෙසින් රැල්ලක් නිර්මාණය කල ප්‍රධාන චරිත සියල්ලම පොලිස් ඔත්තු කරුවන්ය. පාලකයන්ගේ දේශද්‍රොහී ගමනට එරෙහිව සැබෑ ජාතික විමුක්ති අරගලයක් බිහිවීම වැලැක්වීම හෝ එවන් සැබෑ අරගල වලට නිසි ප්‍රචාරය නොලැබීමට සැලැස්වීම සඳහා මෙවන් පුහු වීර චරිත මවන "ඩෑන් ලා සහ චෑන් ලා" වැනි ඊණියා දේශප්‍රේමින් කපටි පාලකයන්ට අවැසිය.  කිසියම් පැහැදිලි නැති හේතු සාධක මත ඔවුන් අතර මේ වන විට අරගලයක් මතු වී ඇත [හෝ අපට එසේ පෙන්වයි].  ඒ ඔස්සේ මේ කරුණු හෙලිවෙමින් පවතින බව පෙනේ. )

පෙර ලිපියකින්ද Link>> උපුටා දැක්වූ පරිදි සීගිරියේ සිංහයෙකු පිළිබඳව මුල්ම සඳහන හමු වන්නේ අපගේ ප්‍රධානම ඓතිහාසික මූලාශ්‍රය වන මහාවංශයෙනි. එය නැවතත් උපුටා දක්වමි.

":ඉක්බිති ඒ පාපී වූ කස්සප නමැති රජු....බියවී සීගිරියට ගියේය. මිනිසුන් විසින් අපහසුවෙන් නැගිය යුතු එය හාත්පසින් පිරිසිදු කරවා, ප්‍රාකාරයකින් වට කොට ඉණිමං සහිත ගෙවල් සිංහයකුගේ ආකාරයෙන් කරවීය. එහෙයින් සීගිරි (සීහගිරිං) නම් විය. 


කැටපත් පවුර
කාශ්‍යප රජුගෙන් පසුව හෝ එම ස්ථානයේ පැවති බවට ඇතැම් වියතුන් අනුමාන කරන මහායාන සංඝාරාමයේ පරිහාණි කාලයෙන් අනතුරුව සීගිරිය නැරඹීමට පැමිණි තත් කාලීන නරඹන්නන් තබා ගිය සීගිරි ගී වලින් හෙලිවන තොරතුරු එහි සිංහ රුවක් තිබූ බවට අනතුරුව හමුවන ප්‍රබලම සාධක වේ. මේ එම ගී සහ ඒවායේ අර්ථයයි.

1) අවුද් මුළු වෙ ගිරිහී යන වි අප මුළු විසිරි
    සිහිඳුන් සෙය හැඟැ අප සිහි වන්නට් සිහිගිරි

මෙහි පැමිණ මිනිසුන් එක්වී ගල මත ඒකරාශී වේ. සිංහ රජු මෙය වටහාගෙන මෙහි සිටින්නේ, අපට එම ඒකරාශී වීමෙන් වෙන්වී ඈතට යෑමට මෙනි. එසේම සිහිගිරි ය අපගේ මතකයට කාවැද්දීමටය. 

යුගය - 9 වන සියවසේ අවසාන භාගයේ හෝ 10 වන සියවසේ මුල් කාලය.

2) නැගී ඇති බලනට බැලිමි සිහිමියන් සිහිගිරි
    මනදොළ පුරය් ඇති බලනරිසි නොවෙ බෙයන්ද් රන්වන්

එහි ඇත්තේ කුමක්දැයි බැලීමට සිහිගිරි නැග්ගෙමි. සිංහ රාජයන් දැකීමෙන් මාගේ මනදොළ පිරිගියේය. ගුහාවේ සිටින රන්වන් ලියන් දැකීමට ආසාවක් නොවේ. 

යුගය - 9 වන සියවස

3) සීරජු යසස සිරී තුබූ මුළුලොව් පැතිරී
   නිලුපුල් ඇසුන් අසිරී බැලුමො සිහිගිරී

අපි සිහිගිරියේ ඔහුගේ යසස සහ විභූතිය මුළු ලොව පැතිරවූ සිංහ රජුද,  නිල් උපුල් වන් ඇස් ඇති අප්සරාවන්ගේ අසිරියද දුටිමු.

යුගය - 8 වන සියවස

4) දිගැස් ගිරිහිසැ හිඳි ඇවිද් මෙ ගල බැලුමො
බලමනා තක් ඇවිද් බැලුමො සි සිහිගිරී

මේ ගලට පැමිණ එහි මුදුනේ සිටින දිගැසියන් බැලුවෙමු. අප මෙහි පැමිණ සිහිගිරියේ සිංහයා බැලුවෙමු. ඒ සියල්ල බැලීමට වටිනවාය. 

යුගය - 9 වන සියවස

5) අතින් මල් ගත් කලූ මෙ දුට පවහි සිරෙ වෙයි
සිහිමියන් තමන් දුට නොවන්නෙ යි සිහි තමහට

අතින් මල් ගත් මේ අප්සරාව දුටු කල යමෙකු ගල මත සිර වේ. සිංහ රජු දුටුවද සිංහයා මතකයේ නොරැඳේ. 

යුගය - 8 - 9 සියවස්.
කැටපත් පවුරේ ගීයක්
මෙම සීගිරි ගී වලට අනුව අවම වශයෙන් 9 සියවස හෝ ඇතැම් විට 10 වන සියවසේ මුල් කාලය දක්වාම සිංහයෙකුගේ විශාල රූපයක් සීගිරියේ තිබී ඇත. මෙම ගී වලට අමතරව තවත් සීගිරි ගී කිහිපයකම මෙහි තිබූ සිංහ රූපයක් පිළිබඳව වර්ණනා දැක්වෙන මුත් පක්ෂියෙකු හෝ ගුරුලෙකුගේ රුවක් පිළිබඳව එකදු සඳහනක් වත් මේ දක්වා කියවා ඇති කිසිදු සීගිරි ගීයකින් හමු නොවේ. 

සීගිරියේ දක්නට ලැබෙන්නේ සිංහ පාද යුගලයක් බව ස්ඵූට කිරීමට මේ සාධක ඉහටත් උඩින් ප්‍රමාණවත් නමුත් එහි සිංහයාගේ ඇඟිලි තුනක් පමණක් දක්නට ලැබෙන්නේ ඇයිද යන්න පිළිබඳවද යමක් පැවසිය යුතුය. ලිපිය දිග වැඩිවන බවින් ඒ පිළිබඳව පසුව අවධානය යොමු කරමු. 

මූලාශ්‍ර
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Sigiriya, City palace gardens monastries paintings, Senaka Bandaranayake, 2013