Wednesday, June 27, 2018

19 වන සියවසේදී දුම්බර රට

මහවැලි ගඟේ අතු ගංගාවන් වන අඹන් සහ කළු ගංගා නිම්න ඔස්සේ විහිදුන පුරාණ ශිෂ්ඨාචාරය පිළිබඳව වූ පෙර ලිපියකදී ලංකාපබ්බත දේශය සහ එහි පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ යුගයේදී පිහිටා තිබූ රණඹුරේ ගම පිළිබඳව සඳහන් කලෙමි. (එම ලිපිය කියවීමට>> අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 1) බොහෝවිට එයට පෙර යුගයන්හි සිටම ජනාවාසව පැවති මෙම ප්‍රදේශය තුල පිහිටි ගම් ඉංග්‍රිසින් 1815 උඩරට පළාත් යටත් කරගන්නා තෙක්ම (අද වනවිට නකල්ස් ලෝක උරුම වනාන්තරයේ ස්වාරක්ෂක කලාපය (Buffer Zone) ලෙස හඳුනාගන්නා ප්‍රදේශය තුල) වනාන්තරය සහ එහි වසන වන ජීවින් හා සහජීවනයෙන් පැවත ආහ. ගැමියන් වනාන්තරයේ සම්පත් සිය එදිනෙදා කටයුතු සඳහා උපයෝගි කරගත් මුත් එය සම්පූර්ණයෙන් එළි කර විනාශ නොකල බවට අද දක්වාම එම ප්‍රදේශ වල දැකිය හැකි ඉහල ජෛව විවිධත්වය දෙස් දෙයි.

එහෙත් ඉංග්‍රිසින් විසින් ආරම්භ කල වැවිලි භෝග වගාවන් සමගින් මුල් කාලයේ කෝපි සහ පසුව තේ සඳහා මෙම කඳුකර වනාන්තර පෙදෙස් එළිවන්නට විය. පසු කාලීනව නිදහසින් පසුව එම තේ වතු ජනසතුකරණය වීමත් සමග අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසාය යටතේ විනාශ වූ අතර අද වන විට එවන් ඇතැම් ප්‍රදේශ නැවතත් වනාන්තරයට යට වී ඇත. නකල්ස් සංරක්ෂක කලාපයට එම ප්‍රදේශද අයත් කර ඒවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමේ යෝජනාවට කාලයක් තිස්සේ බාලගිරි දෝෂය වැලදී ඇත. මේ අතර 'යහපාලනයක්' ගෙන එනවායැයි 'කුරවැසියන්' රවටා බලයට පැමිණි 'ජඩපාලන මංකොල්ලකරුවන් රැල' නකල්ස් ස්වාරක්ෂක කලාපයට අයත් මෙම ඉඩම් අක්කර 21000 පමණ අනාරක්ෂිත කරමින් වගාවන් නොවන විවිධ ව්‍යාපෘති සඳහා පුද්ගලික ව්‍යාපාරිකයන් සඳහා බදු දීමට තීන්දු කර ඇති මොහොතක (ඒ පිළිබඳව වැඩි විස්තර සඳහා කියවන්න >> දුම්බර වනපෙතේ කතාව දුක්‌බරය රජයේ තේ වතු වෙන්දේසියේ....) චිරාත් කාලයක් පරිසරය සමග සහජීවනයෙන් ජිවත් වූ සිංහලයන් විසූ වර්තමානයේ නකල්ස් ස්වාරක්ෂක කලාපය තුල පිහිටා ඇති පැරණි ගම් පිළිබඳව විශේෂයෙන්ම 19 වන සියවසේ අවසාන භාගයේ එම ප්‍රදේශ තුල තිබූ ගම්මාන වල එකල තත්වය පිළිබඳව විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් වර්ෂ 1837 සිට වසර 19 ක් මහනුවර දිස්ත්‍රික් විනිසුරුවරයා (District Judge of Kandy) ලෙස සේවය කල A.C. ලෝරි (A.C. Lawrie) විසින් සම්පාදන කල A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane) නම් කෘතියේ වෙලුම් දෙකෙහි එන තොරතුරු පාදක කරගනිමි.
තද කොළ පාටින් නකල්ස් සංරක්ෂණ වනාන්තරය දක්වා ඇත.
මෙම ලිපියෙහි අවධානය ලග්ගල පල්ලේසිය පත්තුව සහ ලග්ගල උඩසිය පත්තුව  ලෙසින් හැඳින්වූ පැරණි බෙදීම් ප්‍රදේශ තුල තිබෙන හා තිබූ, එමෙන්ම වර්තමානයේ නකල්ස් ලෝක උරුම කලාපයේ ස්වාරක්ෂක කලාපයට අයත් ගම්මාන කෙරෙහි පමණක් අවධානය යොමු කරන අතර එම කලාපයටම අයත් වෙනත් පත්තු සහ කෝරල වලට අයත් ගම්මාන පිළිබඳව මතු ලිපි වලින් විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

*දැනට හඳුනාගත හැකි ගම්මාන කොළ පාටින් දක්වා ඇති අතර එම ගම්මාන පිහිටා ඇති ආකාරය අදාල සිතියමේ ලකුණු කර ඇත.

ලග්ගල පල්ලේසිය පත්තුව
  • පල්ලේගම>>  ආණ්ඩුවේ ඒජන්තවරයා ලග්ගල පල්ලේසිය පත්තුවට පැමිණි විට ඔහු නවාතැන් ගන්නා ගම පල්ලේගමයි. මානකැටියේකන්ද අසල ඇති පල්ලේගම ගම කොටස් දෙකකට බෙදමින් ගම මැදින් කළු ගඟ ගලා යයි. 1818 කැරැල්ල අවස්ථාවේ කැරලි නායකයකු වන මඩුගල්ලේ අල්ලා ගැනීම උදෙසා කැප්ටන් Glenholme මෙහි මද කලක් රැඳි සිට ඇත. ගොවි (වෙල්ලාල) කුලයට අයත් මුදලි පේරුවේ ජනයා සහ රදා කුලයට අයත් ජනයා වාසය කරයි. වර්ෂ 1871 ජන සංගණනයේදී පල්ලේගම ගමෙහි මිනිසුන් 115 වාසය කර ඇත. එම සංඛ්‍යාව වර්ෂ 1881 දී 94 ක් වී, නැවත 1891 දී 100 දක්වා වැඩි වී ඇත. නටබුන් වූ විහාරයක්, දාගැබක් සහ ගල් කණු පේලි දෙකක් සහිත පැරණි ස්ථානයක් මෙන්ම කළු ගඟ හරහා තැනූ අමුණක අවශේෂද මෙහි දැකිය හැක (එම අමුණෙන් අස්වද්දන බොහෝ කුඹුරු අතහැර දමා ඇත.) පැරණි වැවක් මගින් ඉඩමේගෙදර කුඹුරු වගා කරයි. 
  • සියඹලාගහවෙල>>  පල්ලේගම වසමට අයත් වූ 1881 දී 6 දෙනෙකු පමණක් වාසය කල මෙම ගම වර්ෂ 1887 දී අතහැර දමා ඇත.
  • ඇතුලන්තොට(Attulantota)>>  සැතපුම් භාගයක් පමණ පල්ලේගමට සහ ගෝනවලට නැගෙනහිරින් පිහිටි මෙම ගමෙහි තිබී ඇත්තේ එක් නිවසක් පමණි. ගල් කණු සහිත පැරණි ගොඩනැගිල්ලක අවශේෂද එහි තිබී ඇත. 
  • ඉමාඩුව>>  පල්ලේගම සිට සැතපුම් 2ක් බටහිර දෙසට වන්නට පිහිටි ඉමාඩුව ගම එම නමින් වූ ආරච්චි වසමට කෙහෙලන්වල සහ කිරිඳිකැටිය සමගින් ඇතුලත් වේ. ඉතාමත්ම දිලිඳු බෙරවා කුලයේ ජනයා වසන ගමක් වූ ඉමාඩුව ග්‍රාමයේ ජනගහණය 1871 වසරේදී 145 විය. එය 1881 දී 166 ක් දක්වා වැඩි වී 1891 දී 152 දක්වා අඩු වී ඇත. පැරණි බණ මඩුවක් සහ දේවාලයක් ඇති අතර එම දේවාලයේ කපුවා ලෙඩ රෝග උවදුරු ඇතිවන කාලයේදී වසරකට වරක් පූජාවන් සිදු කරයි. 
  • කිරිඳිකැටිය>> 1881 ජන සංගණනයේදී මිනිසුන් 52 සිට ඇති මෙම ගමෙහි ජනගහණය වර්ෂ 1891 වන විට 75 දක්වා වර්ධනය වී ඇත. කෙහෙලන්වල ගමට යාබදව පිහිටා ඇත.
  • කෙහෙලන්වල (Kelanwela)>>  ඉමාඩුව ගමෙහි සිට සැතපුම් 1.5 පමණ දුරින් පිහිටා ඇති මෙම ගමෙහි විවිධ කුල වලට අයත් ඉතාමත් දුගී ජනයා 25 දෙනෙකු 1881 දි සිට ඇත. එම සංඛ්‍යාව වර්ෂ 1891 වන විට 11 දක්වා අඩු වී ඇත. පැරණි බණ මඩුවක් ඇත.
  • හල්මිණිය>>  හල්මිණිය නමින් ගමක් මෙන්ම වසමක්ද තිබී ඇත. කිණිගම සහ හංවැල්ලද හල්මිණිය වසමට අයත්ය. පල්ලේගමට සැතපුම් දෙකක් පමණ දකුණට වන්නට පිහිටි මෙම ගමෙහිද එතරම් දුගී නොවූ ගොවි කුලයේ ජනයා 41 ක් 1881 දීද, 53 ක් 1891 දීද වාසය කර ඇත. භාවිතයට නොගන්නා පැරණි බණ මඩුවක් සහ රියන් 5ක් 6ක් පමණ දිග ප්‍රතිමාවක් සහිත ලෙන් විහාරයක් ඇත.
  • හංවැල්ල>>  හල්මිණිය ගමට සැතපුම් තුන් කාලක් පමණ දුරින් පිහිටා ඇති මෙම ගමෙහි ගොවි කුලයට අයත් එතරම් දුප්පත් නැති ජනයා 32 1881 දීද, 57 1891 දීද වාසය කර ඇත. ගල් පර්වතයක් මත තැනූ කුඩා දේවාලයක් ඇත. වසරකට වරක් රෝග උවදුරු පැමිණි විට එම දේවාලයේ කපුවා ඒ සඳහා පූජා පවත්වයි. Haturane ඔය (හල්මිණි ඔය ?)  සහ ඇල ගම අසලින් ගලා යයි
  • කීනිගම>>  හංවැල්ල ගමට සැතපුම් භාගයක් පමණ ගිණිකොන දෙසට වන්නට හල්මිණිය ගමට යාබදව පිහිටි කීනිගම ගමෙහි ගොවි කුලයේ ඉතාමත් දිලිඳු ජනයා 65 ක් වර්ෂ 1881 දී විසූ අතර, 1891 වන විට එය 51 දක්වා අඩු වී ඇත. නටබුන් වූ බණ මඩුවක් තිබී ඇත. වෙස්ලියන් සභාවේ නිවසක් (Wesleyan Mission House) මෙම ගමෙහි තිබී ඇති අතර එහි එම දහම ප්‍රචාරය කරන්නෙක්ද (Catechist) වාසය කර ඇත. බොල්පනාගොඩ කන්ද ගම අසල පිහිටා ඇත.
ලග්ගල පල්ලේසිය පත්තුවට අයත් දැනට හඳුනාගත හැකි ගම්මාන.
  • කරාගම>>  කීනිගම සැතපුමක් පමණ නිරිත දිගින් කරුවලගහදෙවෙල ගමට යාබදව පිහිටා ඇති මෙම ගමෙහි 29 දෙනෙකු 1881 දී සිට ඇති අතර එය 1891 වන විට 24 දක්වා අඩුවී ඇත. 
  • රණමුරේ>>  කරාගම සැතපුමක් පමණ බටහිරට වන්නට පිහිටි විශාල ගමකි. රණමුරේ වසමට රණමුරේ ගම මෙන්ම පින්නවල සහ කඩුවෙල යන ගම්ද අයත් වේ. අළකොළ ඇල සහ රණමුරේ ඔය ගම හරහා ගලා යයි. රිංගානහෙලේ කන්ද (Ringanahelekanda) ගම අසල පිහිටා ඇත. රණමුරේ විහාරයක් මෙන්ම ගලක් මත පිහිටි දේවාලයක්ද ඇත. රෝග උවදුරු පැමිණි විට එහි කපුරාල පූජා පවත්වයි. නටබුන් වූ කළුපානේ මාළිගාව නම් වූ ස්ථානයක් පිළිබඳවද තොරතුරු ඇත. මෙම ගමෙහි ඉතාමත් දිළිඳු, වැද්දන්ගෙන් පැවත එන ගොවි කුලයේ ජනයා 112 ක් 1871 දී සිට ඇති අතර එය 1881 දී 105 දක්වා අඩු වී නැවත 1891 දී 117 දක්වා වැඩි වී ඇත.
  • නාරංගොමුව>>  රණමුරේ ගමට සැතපුම් 2 පමණ බටහිරට වන්නට පිහිටා ඇති මෙම ගම ලග්ගල පල්ලේසිය පත්තුවට අයත් විශාලම සහ සශ්‍රීකම ගම විය. කරාගම ඔය සහ රිටිපොතේ ඇල මෙම ගම හරහා ගලා යයි. ගොවි කුලයේ ජනයා වැඩි වශයෙන්ද බෙරවා කුලයේ ජනයාද (Tom-tom beaters) වසන මෙහි ජනගහණය වර්ෂ 1871 දී 218 විය. එය 1881 දී 186 දක්වා අඩු වී නැවත 1891 දී 246 දක්වා වැඩි වී ඇත. හතරැස් සැතපුම් කාලක පමණ වන ස්වභාවික ජල තටාකයක් සහ ගල් පර්වතයක් මත තැනූ දේවාලයක් මෙහි ඇත.
  • පින්නවල (Pinnawella)>> පදු, රදා සහ බෙරවා යන කුල වලට අයත් ජනයා 44 ක් 1881 සංගණනයේදී මෙම ගමෙහි වාසය කර ඇත. එය 1891 දී 59 කි.
  • කඩුවෙල සහ පැන්වල?(Penwala)>>  1871 සංගණනයේදී පැන්වල ගමෙහි ජනගහණයද කඩුවෙල ගමටම එක් කර එය 92 ලෙස දක්වා ඇත. 1881 සිට වෙන වෙනම ගනණය කර ඇති අතර ඒ අනුව කඩුවෙල ජනයා 43 ක් 1881 දී  වාසය කර ඇත. එම අගය 1891 වන විට 34 දක්වා පහල බැස ඇත. අගුණුකොළ ඇල ගම හරහා ගලා යයි. පැන්වල ගම ගැන ඉහත සඳහන් 1871 ජන සංගණනයෙන් පසු පැවති සංගණන වලදි විස්තර හමු නොවේ.
  • කිවුලේවාඩිය>> කරාගමට සැතපුම් 2.5 පමණ ගිණිකොණ දෙසින් පිහිටා ඇති කුල හීන දිළිඳු ජනයා ජීවත් වූ ගමකි. ගල්පඩි කන්ද ගම අසල පිහිටා ඇත. එහි ජනගහණය 1881 සහ 1891 වසර වලදී  පිළිවෙලින් 90 සහ 113 විය
  • මාබෝල>>  කරාගම වසමට අයත් කරාගම සහ කිවුලේවාඩිය අතර පිහිටි මහබල තෙරුන්වහන්සේ  විසින් ආරම්භ කල මාබෝල ගම 1898 වන විට අතහැර දැමූ ගමක් විය. 
  • බතලවත්ත>>  කිවුලේවාඩිය ගමට සැතපුම් 3 පමණ නැගෙනහිරින් පිහිටි නිවාස දෙකක් පමණක් තිබූ ඉතාමත් දිළිඳු පන්නයෝ කුලයට අයත් ජනයා වසන ගමකි.
  • කරුවලගහදිවෙල>> බතලවත්ත ගමට සැතපුම් 1.5 නැගෙනහිරට වන්නට පිහිටි හීන කුල ජනයා වෙසෙන ගමකි. හීන් ගඟ ගම හරහා ගලා යයි. වර්ෂ 1881 දී ජනගහණය 35 වූ අතර 1891 දී එය 27 දක්වා අඩු වී තිබිණ.
  • මොරගහඋල්පත>>  ඉතාමත් දිළිඳු, දඩයමින් ජීවත් වන, වැද්දන්ගෙන් පැවත එන ජනයා වසන ගමකි. වෙදගනා ඇල ගම අසලින් ගලා යයි. මෙහි පැරණි දේවාල දෙකක් ඇත. 1871 ජන සංගනණයේදී තළකොලවෙල ගම සමග එක්ව ගෙන ඇත. 1881 දී සහ 1891 දී ජනගහණය පිළිවෙලින් 76 සහ 51 විය. 
  • ගෝනවල>> ගොවි කුලයේ දිලිඳු ජනයා වසන කළු ගඟ බටහිර ඉවුරේ පිහිටි ගමකි. කොළොන්ගොල්ලේ කන්ද අසල පිහිටා ඇත. 1881 දී 56 වූ මුළු ජනගහණය 1891 වන විට 103 දක්වා වැඩි වි ඇත.
පිටවල ගමේ කුඹුරු
  • කපුරුවෙල ඔය (කපුරුවැදිවෙල ඔය?) >>  මොරගහ උල්පත අසල පිහිටි ගල් කුළුණු සහ සෙල් ලිපියක් හමුවන කපුරු ඇලේ ඔය නම් ස්ථානයක් පිළිබඳව පැවසේ. එසේම කපුරුවෙලේ ඔය නම් වූ ගමක් පිළිබඳවවද ලෝරි සඳහන් කරයි. මේ එකම ස්ථානයක් පිළිබඳව විය හැක. 
  • හුළුගම (හුළුගුණේ ?)>>  අතහැර දැමූ ගමකි. 
ලග්ගල උඩසිය පත්තුව
  • මහලකොටුව>>  මහලකොටුව නමින් ගම්මානයක් මෙන්ම වසමක්ද ඇත. මහලකොටුව වසමට මහලකොටුව, පොලොන්මාන, තෙල්ගමුව සහ කරකොළගස්තැන්න යන ගම් අයත් වේ. ගොවි මෙන්ම රදා, පදු සහ බෙරවා කුල වල ජනයා වාසය කරයි. මීගස්තැන්නේ වලව්වේ විදානේවරුන්ගෙන් පැවත එන්නන් සිටී. ජනගහණය 1881 දී 184 සහ 1891 දී 177 ලෙස දක්වා ඇත.
  • කරකොළගස්තැන්න>>  1881 දී 58 දෙනෙකු සහ 1891 දී 51 දෙනෙකු වාසය කල මහලකොටුවට යාබදව පිහිටි ගමකි.
  • පොලොන්මාන>>  ගොවි කුල ජනයා වාසය කල වර්ෂ 1871 දී ජනගහණය 57 සහ 1881 දී 55 වූ මහලකොටුව වසමට අයත් ගම්මානයකි.
  • තෙල්ගමුව>>   1898 වන විට තෙල්ගමුව අතහැරදැමූ ගමකි.
  • පුබ්බෝරුවෙල>>  ඉතා දිළිඳු ගොවි කුල ජනයා වර්ෂ 1881 දී 25 දෙනෙකු සහ 1891 දී 22 දෙනෙකු විසූ ගම්මානයකි.
    • කුකුළාමල්පත>>  ඉහත පුබ්බෝරුවෙල ගමට යාබදව පිළිවෙලින් 1881 සහ 1891 වර්ෂ වලදි මිනිසුන් 29 සහ 31 වාසය කල ගම්මානයකි.
    • කහගල>>  1871 ජන සංගනණයේදී මිනිසුන් 209 දෙනෙකු විසූ 1881 වන විට එම සංඛ්‍යාව 190 දක්වා අඩුවී නැවත 1891 දී 211 දක්වා වැඩිවූ ගම්මානයකි.
    ලඳු කැලෑ මැදින් පිටවල , මැද ඇල, රත්නින්ද සහ ඇටන්වල ගම්මාන දෙසට යොමුවූ මාර්ගය
    • ඉළුක්කුඹුර>>  පුබ්බෝරුවෙල ගම්මානයට යාබදව පිහිටි 1881 දී ගොවි කුලයට අයත් මිනිසුන් 54 දෙනෙකු සහ 1891 දී 52 දෙදෙනෙකු වාසය කල ගමකි. බණ මඩුවක් ඇත. අහස් දියෙන් කුඹුරු ගොවිතැන් කරයි. 
    • මැද ඇල>>  පිටවල වසමට අයත් 1871 දී මිනිසුන් 111, 1881 දී 91 සහ 1891 දී 108 විසූ නවන්දන සහ ගොවි කුල වලට අයත් ජනයා වාසය කල ග්‍රාමයකි. මෙම ගමෙහි පිහිටි ඇල සහ අමුණ විජයපාල රජුගේ කාලයේදී ඉදිකර 1898 වන විටද භාවිතයට ගනිමින් තිබී ඇත. ගමේ බණ මඩුවක් ඇති අතර වසරකට වරක් මාතලේ සිට භික්ෂූන්වහන්සේ නමක් වැඩම කර බණ දේශනා පවත්වා ඇත.
    • රත්නින්ද>>  ඇටන්වල වසමට අයත් රන්හොටි මුදියන්සේ නම් පුද්ගලයෙකු ආරම්භ කල බව පැවසෙන ගම්මානයකි. ලහුමානේකන්ද (Lahumanekanda) ගම ආසන්නයේ පිහිටා ඇත. 1871 ජන සංගනණයේදී මෙම ගමෙහි සහ ගංගෙදර ගම්මානයේ මිනිසුන් 122 දෙනෙකු සිටි බව සඳහන් වේ. 1881 දී එය 139 දක්වාද, 18891 දී 157 දක්වාද වැඩිවී ඇත. මීගස්තැන්නේ වලව්වේ විදානේලාගෙන් පැවතෙන පුද්ගලයන් සහ මුදලිපේරුවේ ජනයා වාසය කරයි. අසල පිහිටි අනෙකුත් ගම්මාන වලට වඩා වී සහ කුරක්කන් වලින් මෙම ගම සශ්‍රිකය. හටන්වල? (Hattanwela) සහ පිටවල වතු මෙම ගම්මානයේ සිට සැතපුම් භාගයක් පමණ බටහිර දෙසින් පිහිටා අත. 
    • පිටවල>>  පිටවල ගම පිටවල ආරච්චි වසමට අයත් වේ. එම වසමට ගලපල්ල සහ මැදඇල යන ගම්ද අයත්ය. පිටවලයා නම් වූ වැද්දෙකු විසින් ගම ආරම්භ කල බව ජනප්‍රවාදයයි. ගොවි, රදා සහ බෙරවා කුල වලට අයත් ජනයා වර්ෂ 1871 දී 216 දෙනෙකුද, 1881 දී 268 දෙනෙකුද, 1891 දී 292 දෙනෙකුද මෙහි වාසය කර අත. විශාල පතනක් මෙන්ම ලග්ගල සහ පිටවල යන කෝපි වතුද මෙහි ඇත. 
    පිටවල පතන
    • ඇටන්වල>> මානගොල්ල වතුයායට සැතපුමක් පමණ උතුරින් පිහිටා ඇති ගම්මානයකි. ඇටන්වල වසමට ඇටන්වල මෙන්ම ගංගෙදර, රත්නින්ද, වල්පොලමුල්ල සහ අමුණේහේන යන ගම් අයත් වේ. සුදුගලමුල්ල කන්ද (Sudugalamullakanda) ගම අසල පිහිටා ඇත.තෙල්ගමු ඔය ගම අසලින් ගලා යයි. ජනගහණය වර්ෂ 1881 දී 246 විය. එය 1891 වන විට 260 දක්වා වැඩිවී තිබුණි. ගොවි සහ රදා කුල වලට අයත් ජනයා වාසය කල අතර ඔවුන් බොහෝ දෙනෙකු තේ වතු වල සේවය කලහ. විහාරයක් සහ බණ මඩුවක් ඇති අතර වසරකට වරක් මාතලේ සිට පැමිණෙන භික්ෂූන්වහන්සේ නමක් බණ දේශනා සිදු කරයි. 
    • වල්පොලමුල්ල>>  කළුපානේ කන්ද අසල පිහිටා ඇති පූර්වයේ කෝනාර මුදියන්සේට අයත් වූ නින්ද ගමකි. 1871 දී 75 වූ ගම් වැසියන් ගණන 1881 දී 35 දක්වා අඩුවී, 1891 වන විට 23 ක් වි ඇත. ඔවුන් ගොවි කුලයට අයත් ඉතාමත් දිළිඳු පුද්ගලයන් වූ බව සඳහන් වේ. 
    • බටදණ්ඩවල>>  උදළුපිඩේ කන්ද (Udalupidekanda) අසල පිහිටා ඇත. ගෙවල් දෙකක් පමණක් තිබූ ගොවි කුල ජනයා 1881 දී 36 සහ 1891 දී 38 වාසය කර ඇති ගමකි. 
    • රඹුක්ඔළුව>>  රඹුක්ඔළුව වසමට, බටදණ්ඩවල සහ රඹුක්ඔළුව ගම් අයත් වේ. රඹුක්ඔළුව ගමෙහි 1871 ජන සංගණනයේදී පුද්ගලයන් 111 දෙනෙකු සිට ඇති අතර 1891 දී එය 155 දක්වා වැඩි වී ඇත. පදු, ගොවි, රදා සහ පට්ටිවල කුල වලට අයත් ජනයා වාසය කර ඇත. රත්වත්තේ දිසාව සඳහන් කර ඇති ආකාරයට රඹුක්ඔළුව ගමේ ඉඩම් ඔහුගේ පියාට ලැබී ඇත්තේ ඔහුගේ මීමුත්තා වූ (Great Grandfather)  දුම්බර මහ දිසාවේ ගෙනි
    ලග්ගල උඩසිය පත්තුවට අයත් දැනට හඳුනාගත හැකි ගම්මාන.
    • පල්ලේකුඹුර>> මැද ඇල ගමෙහි පිහිටි කුඩා ගමකි. කෝරාලගේ නිවසද ඇතුලත්ව නිවාස දෙකක් පමණක් තිබී ඇත. වෙස්ලියන් සභාවේ නිවසක්ද ඇත. විශාල ප්‍රදේශයක් මැනවින් පෙනෙන මානගල නම් වූ උස් පර්වතයක් ගම අසල පිහිටා ඇත.
    • අමුණේහේන>>  ඇටන්වල වසමට අයත් වූ මෙම ගම 1881 වන විට අතහැර දැමූ ගම්මානයකි.
    • ගලපල්ල>>  අතහැරදැමූ ගමකි. 
    • ගංගෙදර>> නිවාස දෙකක් පමණක් ඇති තෙල්ගමු ඔය මගින් ඇටන්වල ගමින් වෙන්වූ කුඩා ගමකි. ගම් වැසියන් ඉතාමත් දුගී පහත් ගොවි කුල ජනයා වේ. 1871 දී සිදු කල සංගණනයේදී මේ ගම රත්නින්ද ගම සමග එකට ගෙන ඇත. 1881 සංගණනයේ මෙම ගම ගැන සඳහන් නොවේ. 
    පිටවල , මැද ඇල, රත්නින්ද සහ ඇටන්වල ගම්මාන වලට ඔබ්බෙන් වූ නකල්ස් ලෝක උරුම වනාන්තරය
    ඉහත විස්තර අනුව එම යුගයේ මෙම ප්‍රදේශය තුල පිහිටා තිබූ ගම්මාන වල සමාජ ආර්ථික තත්වයන් පිළිබඳව යම් අවබෝධයක් අපට ලබාගත හැක. කුල අනුව ගම් බෙදී තිබූ අයුරු, පෙර කල වැදි සම්භවයක් ඇතිව සිටි පසුව සිංහලයන් බවට පත්ව ගම්මාන තනා ගත් ජනයා පිළිබඳ තොරතුරු, මෙන්ම ඔවුන්ගේ ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන්ද තොරතුරු මෙහිදි අපට හමුවේ. ඔවුන් ආගමික වශයෙන් බෞද්ධයන් වුවද බොහෝ ගම්මාන වල බණ මඩු තිබුනා වුවද ඒ වන විට එවන් ඇතැම් බණ මඩු අතහැර දමා තිබූ බව පෙනේ. එසේම භික්ෂුන් සිටි විහාර තිබූ බවට සාධක හමු නොවේ. එම හේතුව නිසාම ඇතැම් ගම් වල බණ මඩු විනා විහාර තිබූ බවක් නොපෙනේ. එම බණ මඩු මාතලේ ප්‍රදේශයෙන් වාර්ෂිකව වැඩම කරන භික්ෂූන්ට බණ දේශනා කිරීම සඳහා යොදාගෙන ඇත. එහෙත් බොහෝ ගම් වල දේවාල තිබී ඇති අතර ඒවායේ කපුවන් පුද පිළිවෙත් ඉටුකරමින් ගම්මානය තුලම වාසය කර ඇත. අවම වශයෙන් ගම් දෙකකවත් වෙස්ලියන් සභාවේ මිෂනාරි කටයුතු සිදු වූ බව පෙණේ. අද වන විට ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල දැකිය හැකිද යන්න විමසා බැලීම වටී. එසේම පැරණි රජරට ශිෂ්ඨාචාරයට අයත් විය හැකි නටබුන් ඒ වනවිටත් ඇතැම් ගම් වල ශේෂව තිබූ බවට ඉහත විස්තර වල සඳහන් වේ. 

    මූලාශ්‍ර
    • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
    • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
    • Authors of Books on Sri Lanka. 1796-1948, C.G. Uragoda, 2011
    • The Diversity of the Dumbara Mountains, Anslem deSilva(Editor), 2005
    • A Guide to the Biodiversity of Knuckles Forest Region, C.N,B.Bambaradeniya & S.P. Ekanayake, 2003
    • ලග්ගල ජනවහර, කේ. බී. මානෑව, 2008
    • Nomination of The Central Highlands of Sri Lanka: Its Cultural and Natural Heritage for inscription on theWorld Heritage List, Submitted to UNESCO by the Government of the Democratic Socialist Republic of Sri Lanka 1 January 2008



    Saturday, June 9, 2018

    ජනනාථමංගලම්හි ශිව දේවාල - නයිපෙණ විහාරය නොහොත් අංක 5 ශිව දේවාලය


    සුළු ජාතීන්ට අසාධාරණ කප්පම් දීම සඳහාම මහ ජාතියේ 'කුර වැසියන්' රවටා බලයට පැමිණි 'ජඩපාලනය' යටතේ උතුරු නැගෙනහිර පළාත් වල දැනට ඉදිවි තිබෙන බෞද්ධ වෙහෙර විහාර 131 එම ප්‍රදේශ වලින් ඉවත් කරගත යුතු බව දෙමළ ජාතිවාදීන් පවසන යුගයක >> Link , බහුතරයක් සිංහල බෞද්ධයන් වෙසෙන පෙදෙසක සියවස් ගණනාවක් නිදන් හොරුන්ගේ ග්‍රහණය හැර සාමකාමි සිංහල බෞද්ධයන්ගෙන් කිසිදු අතවරයක් නොවී අද දක්වා පැවතෙන තවත් එක් ශිව දේවාලයක් ගැන විස්තර ඉදිරිපත් කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි. එතෙක් පුළත්ථිපුර ලෙසින් හැඳින්වුන නගරය ජනනාථමංගලම් වූ අයුරුත් එහි ශිව දේවාල ඇතිවීමේ පසුබිම ගැනත් මෙයට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කලෙමි Link>>
    ඉදිරි පස පිහිටි ගෝපුරම් තුලින් දිස්වන ශිව දේවාලය
    පොළොන්නරුව පැරණි නගරයේ නටබුන් ඇති පෙදෙසට තරමක් දුරස්තව පොළොන්නරුව-හිඟුරක්ගොඩ මාර්ගයේ මද දුරක් ගිය විට ගල් කණු විශාල සංඛ්‍යාවක් සහිත සංරක්ෂිත නටබුන් භූමියක් හමුවේ. නයිපෙන විහාරය ලෙසින් පුවරුවක් සවි කර ඇති එම ස්ථානයේ ඇති නටබුන් විෂ්ණු දේවාලයක සහ ශිව දේවාලයක බව තහවුරු වී ඇති මුත් එම විෂ්ණු දේවාලයේ ශිඛරයේ දැනට කඩා වැටී ඇති කොටසක දැකිය හැකි ගඩොලින් කල නයි පෙණයක කැටයම නිසා එම මුළු නටබුන් පෙදෙසම නයිපෙණ විහාරය ලෙසින් හඳුන්වන බව පෙනේ. මෙම ලිපිය පොළොන්නරුවේ හමුවන විශාලම ශිව දේවාලය වන එම ශිව දේවාලය සම්බන්ධව වන අතර විෂ්ණු දේවාලය පිළිබඳව ඉදිරියේදි වෙනත් ලිපියකින් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම දේවාලය නිර්මාණය කල කාලය හෝ එහි නිර්මාතෘ අවිනිශ්චිත මුත් පැහැදිලිවම එහි ගෘහ නිර්මාණ ලක්ෂණ චෝල යුගයට හෝ ඉන්පසු රාජ්‍යය විචාල පොළොන්නරු යුගයේ සිංහල රජවරුන්ගේ කාලයට අයත්ය.
    අන්තරාල සහ ගර්භගෘහය
    ගඩොල් භාවිතා කර හුණු බදාමයෙන් ඉදිකර ඇති මෙම ශිව දේවාලය පිළිබඳව මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ H.C.P. බෙල් මහතා1908 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරයි. ගර්භගෘහයකින් (Sanctum), අන්තරාල දෙකකින් (ඒවා අන්තරාල (Inner vestibule) සහ අර්ධ මණ්ඩපම් (Outer vestibule) ලෙසින් බෙල් හඳුන්වයි) සහ මණ්ඩපම් තුනකින් යුත් (එම මණ්ඩපම්, මණ්ඩපම් (Two Inner halls) සහ මහා මණ්ඩපම්(Outer hall) ලෙසින් බෙල් හඳුන්වයි ) මෙම ශිව දේවාලයේ ගර්භගෘහයේ වහලය මත තිබූ ගඩොලින් තැනූ විමානය සැලකිය යුතු හානියක් සිදු නොවීම, උඩු යටිකුරු වී බිමට කඩා වැටී ඇත (පහත රූපය බලන්න).
    උඩු යටිකුරු වී බිමට කඩා වැටී ඇති විමානය
    මෙහි ගර්භගෘහයේ සහ එයට ඉදිරියෙන් වූ අන්තරාලයේ බිත්ති වල හානි නොවූ කොටස් එහි මුල් කපරාරුව සමගින් තවමත් ඉතිරි වී ඇති අතර 1908 පුරාවිද්‍යා වාර්තාවේ දක්නට ලබෙන ඡායාරූප අනුව එවකට හානී නොවී තිබූ ඇතැම් බිත්ති කොටස් මේ වන විට විනාශ වී ඇති බවද පෙනේ. ගර්භගෘහය තුල නිධන් සොයන්නන් විසින් විනාශ කල කළු ගලින් නිර්මිත ශිව ලිංගයක් සහ එය ධෝවනය කරන ජලය පිටවීම සඳහා ඉදි කල සෝමසූත්‍ර ලෙසින් හැඳින්වෙන පිහිල්ලක් දැකිය හැක. එම ජලය එකතු වීමට පිටත ගඩොලින් බිත්ති බැඳ ඇති ලිඳක් ඉදි කර ඇත. ශිව ලිංගයට යටින් කල කැනීමේදී කුටීර 9 කින් යුත් යන්ත්‍රගලක් හමුවී අති අතර ඒ තුල එය විනාශ කල නිධන් හොරුන්ට හසු නොවූ රත්‍රන් නන්දි ගවයාගේ මූර්තියක් බෙල්ට හමුවේ.
    අන්තරාලයේ හානි නොවූ මුල් කපරාරුව සහිත බිත්ති කොටස්
    අන්තරාල දෙකට ඉදිරියෙන් බොහෝ දුරට විශාලත්වයෙන් සමාන කොටස් දෙකකින් නිර්මිත මණ්ඩපයක් හා  එයටත් පිටින් දික් අතට වූ තවත් මණ්ඩපයක් දැකිය හැකි අතර එම වඩාත්ම පිටතින් පිහිටි මණ්ඩපය අනෙකට වඩා වැඩි ඉඩක් ඇතිව තනා තිබේ. ඇතුළු මණ්ඩප දෙකට ගල් කණු 40 ක් මත වූ වහලයක් තිබී ඇති අතර එම කණු 10 බැගින් වූ කණු පේලි 4 ලෙසින් සිටුවා ඇත. ඒවායින් කණු 24 ගඩොල් බිත්ති වලට සවිවී තිබී ඇති අතර අනෙක් 16 විවෘතව සිටුවා තිබී ඇත. එම ගල් කණු ඇතැම් ඒවා කැටයම් කර ඇති අතර බොහොමයක් හතරැස් හැඩයෙන් ඇති මුත් කිහිපයක් අටස්‍රාකාර වේ.
    ගර්භගෘහය තුල වූ ශිව ලිංගය
    මෙම එක් කැඩී බිඳි ගිය ගල් කුළුණක් මීට පෙර කිසියම් බෞද්ධ විහාරය තිබී ගෙන ආවක් බවට බෙල් අනුමාණ කරයි. එහි ඇති 11 වන ශතවර්ෂයට අයත් සිංහල අකුරු වලින් රචිත සෙල් ලිපියක් මෙයට හේතුව ලෙසට ඔහු ඉදිරිපත් කරයි. බෙහෙවින් ගෙවී ඇති එම ලිපියේ බෙල් සඳහන් කරන කියවිය හැකි කොටස් වලට අනුව එය කිසියම් අත්තාණි පිදීමක් බව පැහැදිලිය. එය අනිවාර්යෙන්ම බෞද්ධ විහාරයකින් ගෙන ආවක් බව ඒ අනුව පැවසීම සාධාරණ නොවේ. පෙර සිටි රජවරුන් බොහෝ විට වෙහෙර විහාර වලට ඉඩම් මුක්තීන් ලබා දෙමින් විවිධ ස්ථාන වල පිහිටවූ අත්තාණි කණු පසු කාලීනව වෙනත් බෞද්ධ ඉදිකිරීම් සඳහාද උපයෝගි කර ගෙන ඇති බවට සාධක හමුවේ >>.Link
    මණ්ඩපම්, අන්තරාල සහ ගර්භගෘහය දිස්වන ඡායාරූපයක්. මෙහි දකුණු පස ට වන්නට සෝමසූත්‍ර තුලින් එන ජලය එක්වීමට තැනූ ලිඳ දැකිය හැක. 
    මහා මණ්ඩපම් ලෙසින් හඳුන්වන පිටතින්ම පිහිටි මණ්ඩපය ඉදිරියෙන් නැගෙනහිර දෙසින් දේවාලයට පිවිසීමට වූ දොරටුව ඇති අතර ඒ කෙලින්ම වූ අනෙක් දොරටුව තුලින් ඉහත මුලින් විස්තර කල මණ්ඩපය තුලට පිවිසේ. එම දෙවෙනි මණ්ඩපයේ දෙපස දකුණු සහ උතුරු දෙසට වූ දොරටු දෙකක්ද දැකිය හැකිය. මෙම  'මහා මණ්ඩපම්' මණ්ඩපයේද 4 බැගින් වූ පේලි 8 කින් සැදි ගල් කුළුණු 32 මත  වූ වහලයක් තිබී ඇත.
    මහා මණ්ඩපම් වල ගල් කණු
    ගර්භගෘහය, අන්තරාල දෙක සහ ඇතුළු මණ්ඩප දෙක වටා සෘජුකෝනාස්‍රාකාර ලෙස කුඩා ගඩොල් ප්‍රාකාරයක් තිබී ඇති අතර එම සීමාව තුල කෝවිල් ලෙසින් බෙල් හඳුන්වන කුඩා කාමර දෙකකින් යුත් ගොඩනැගිලි 3 සහ තනි කාමරයක් සහිත එක් ගොඩනැගිල්ලක් තිබී ඇත. ඒ අතරින් නිරිත දෙසින් වූ කෝවිල ගණේශ දෙවියන් උදෙසා ඉදි කර ඇති අතර තව එවැනි කෝවිලක් සප්ත මාත්‍රිකාවෝ (Seven Mothers) සඳහා වූ බව අනුමාණ කල හැක්කේ ඔවුන්ගේ පිළිරූ නෙළු ගල් පුවරු 3 ක් එම ස්ථානයේ තිබී හමුවූ බැවිනි. එම සීමාව තුල ලිඳක්ද දැකිය හැක. මහා මණ්ඩපයෙන් ඊසාන දෙසට වන්නට ඉහත විස්තර කල සෘජුකෝණාස්‍රාකාර සීමාවෙන් පිටත තවත් කෝවිල් දෙකක් සහ විශාල ප්‍රමාණයේ  ලිඳක් දැකිය හැක.
    ඇතුළු මණ්ඩපම් වල ගල් කණු
    මෙම දේවාල පරිශ්‍රයේ කල කැනීම් මගින් ගණේශ දේව රූපයක්, එම දෙවියන්ගේම රූපය ඇතුලට කැටයම් කල කණුවක් (A pillar with sunk-relief figurine), ඉහත විස්තර කල සප්ත මාත්‍රිකාවන්ගේ රූප කෙටූ ගල් පුවරු තුනට අමතරව තවත් වෙනත් දේව රූප අවනතව කෙටූ පුවරු (Cut in low relief ) කිහිපයක් සහ හිස පමණක් විනාශ නොවී අනිත් කොටස් කැබලි වලට කැඩී ගිය නන්දි ගවයාගේ රුවක් හමුවේ.
    ඉහත විස්තර කල සෘජුකෝණාස්‍රාකාර සීමාවෙන් පිටත ඇති ඉදිකිරීම් සහ ලිඳ
     එම ශෛලමය මූර්ති වලට අමතරව  ලෝකඩ ප්‍රතිමා විශාල ප්‍රමාණයක්ද මෙම ස්ථානයේ තිබී හමු වී ඇත. එම ලෝකඩ පිළිම අතර නටරාජ පිළිම 2 ක්, ශිව දෙවියන්ගේ පිළිරුවක්, පාර්වතී දෙවඟනගේ රූප 2 ක්, සුන්දර මූර්ති ස්වාමි පිළිරූ 2, තවත් ශිව මුනිවරයෙක් වූ චන්දේශ්වර හෝ ව්‍යාඝ්‍රපාද විය හැකි පිළිරුවක්, තිරුඥාණ සම්පන්දර් ස්වාමි නම් වූ තවත් මුනිවරයෙකුගේ පිළිරුවක් සහ නන්දි ගවයාගේ ප්‍රතිමාවක්ද වේ. තවද සූර්ය දෙවියන්ගේ ලෙස හඳුනාගත් රූපයක්ද ඒ අතර වේ. මේ සියල්ලටම වඩා පුදුම සහගත සොයාගැනීම නම් මහා මණ්ඩපයේ බිත්ති වල පිටත සහ ඇතුලත තිබී හමුවූ  මිනිස් ඇට කටු සහිත මුට්ටි 8 ය. ආදාහනය කර ඉතිරි වූ ගැහැණු සහ පිරිමි ඇටකටු හින්දු දේවාල වල මෙසේ තැන්පත් කිරීමේ හේතුව මෙතෙක් නිවැරදිව විසදා නැත.
    අන්තරාල සහ ගර්භගෘහය
    මූලාශ්‍ර
    • Archaeological Survey of Ceylon North-Central  And Central Provinces, Annual Report 1908, H.C.P. Bell, 1913
    • Bronzes From Ceylon in The Colombo Museum, By Ananda K. Coomaraswamy, D.Sc. Edited by Pearson, D.Sc., F.L.S.1914
    • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
    • ලංකාවේ ද්‍රවිඩ සිහිවටන, නන්දසේන මුදියන්සේ, 1997

    Saturday, June 2, 2018

    ජෝන් ඩේවි සමග රුවන්වැල්ලෙන් නුවරඑළිය පතනට...

    බදුල්ලේ සිට මහනුවරට තිබූ පැරණි මාර්ගයක් පිළිබඳව වූ පෙර ලිපියකදි ජෝන් ඩේවි පිළිබඳව සහ මැක්ඩොනල්ඩ් බලකොටුවේ සිට මහනුවර දක්වා ඔහු ගමන් කල මාර්ගය පිළිබඳව විස්තර ඉදිරිපත් කලෙමි. එම ලිපිය කියවීමට>> Mcdonald සිට මතුරටට, ඩේවි ගිය මග ඔස්සේ..
    එහිදි ඩේවි මැක්ඩොනල්ඩ් බලකොටුවට කතරගම දෙස සිට සහ කොත්මලේ දෙස සිට අවස්ථා දෙකකදි පැමිණි බව සඳහන් විය. මේ ලිපිය ඔහු කොත්මලේ දෙස සිට මැක්ඩොනලඩ් බලකොටුවට පැමිණි මාර්ගය පිළිබඳවයි.

    1819 අගෝස්තු 29 වන දින කොළඹින් පිටත් වන ඩේවි රුවන්වැල්ල (Ruwenwelle) දක්වා ආණ්ඩුකාර බ්‍රවුන්රිජ් සහ එම ආර්යාව සමග ගමන් කල අතර එම මාර්ගය පැරණි කොළඹ-මහනුවර මාර්ගයම වේ. තවද ඩේවි මෙම කොටසේදී එම මාර්ගය පිළිබඳව විස්තර ඉදිරිපත් නොකර රුවන්වැල්ලේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා ඔහුගේ ගමන් මග පිළිබඳව පමණක් තොරතුරු ඉදිරිපත් කරන බැවින් සහ පැරණි කොළඹ-මහනුවර මාර්ගය පිළිබඳව ඉදිරියේදි වෙනම ලිපියකින් කරුණු ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වන බැවින් අපද ඔහු අනුගමනය කරමින් රුවන්වැල්ලේ සිට ඉදිරියට මාර්ගය ගැන පමණක් විමසා බලමු.

    අගෝස්තු 23 වන දින රුවන්වැල්ලෙන් පිටත් වන ඩේවි එම දිනය තුල සැතපුම් 10 ක පමණ දුර ගමන් කර පහල බුළත්ගම (Lower Boulatgamme) පලාතට අයත් ගනේපල්ලට (Ganepali) ලඟා වේ. එම මාර්ගය මද වශයෙන් කඳු සහිත දුෂ්කර මාර්ගයක් බවත්, එහි වගා කල ප්‍රදේශ එතරම් හමු නොවූ බවත්, රැවන්වැල්ල අසල ප්‍රදේශයෙ හැරුන විට ජනයා පදිංචි වි සිටි ස්ථාන ඉතාමත් අඩු බවත් ඩේවි පවසයි. මාර්ගයේ බොහෝ දුරක් ඝනව වැඩුන බඩවැටි සහ වනාන්තරය පමණක් වරින් වර හමු වූ අතර, අලි ඇතුන් බහුල වනාන්තරයේ ප්‍රධාන වශයෙන් වේවැල් විශේෂයක් බහුලව දක්නට ලැබුන බවත් ඔහු වැඩිදුරටත්  විස්තර කරයි.

    කෙසේ නමුත් ඔහුට අලි සිටි බවට සලකුණු විනා එකදු අලියෙක්වත් හමු වී නොමැත. මෙහිදි මාර්ගයේ ගමන් කරන විට වල් අලි උවදුරින් බේරිම උදෙසා යොදා තිබූ සරල එහෙත් ඵලදායි උපක්‍රමයක් ඩේවි විස්තර කරයි. එනම් පටු අඩි පාරක් වූ මාර්ගයේ හරහට පොළවේ සිට අඩි 5 පමණ උසින්  තැනින් තැන කණුවක් හෝ දෙකක් බැඳ තැබීමයි. මිනිසුන් හෝ සතුන් තනාගත් මාර්ග වල පමනක් යා හැකි තරමට ඝන වූ මේ වනයේ එවන් පටු අඩි පාරක හරහට ඇති එවැනි කපොල්ලක් යටින් මිනිසෙකුට පහසුවෙන් පැන ගත හැකි මුත්, ඔහුව හඹා එන අලියෙකුට එය ලේසි පහසු කාර්යයක් නොවේ.

    එම ගමන් මගේදී ඩේවි හට කුඩා දිය පාරවල් විශාල ගනනාවක් හමුවන මුත් ඒ අතරින් ගංවතුර කාලයේදී එගොඩ විය නොහැකි තරම් තරමක විශාල ඔය වල් දෙකක් ගැන ඩේවි විශේෂයෙන් සඳහන් කරයි. රැවන්වැල්ලේ සිට සැතපුම් හතරක් පමණ ගිය විට හමුවන වේ ඔය (Wahoya) සහ එතැන් සිට තවත් සැතපුම් දෙකක් පමණ දුරකදී හමුවන එක්හිඔය (Hicke oya) යන එම ඔය වල් දෙකම කැළණි ගඟේ (Kalany ganga) අතු ගංගා බව ඩේවි නිවැරදිව පවසයි. ඒ අතරින් තරමින් විශාල වේ ඔය ඔහු එක් වරක් පමණක් තරණය කල මුත් කරදරකාරී වූ එක්හීඔය අවම වශයෙන් දහසය වතාවක්වත් තරණය කිරීමට ඔහුට සිදුවූ අතර, ඇතැම් අවස්ථා වලදි මාර්ගය එහි පත්ල හරහාද ගමන් කල බව ඩේවි විස්තර කරයි. වේ ඔය තොටුපලේ සිට සැතපුමක් පමණ දුරකදි එහි වම් ඉවුර ඔස්සේ මාර්ගය මද දුරක් වැටි තිබූ බව පවසන ඩේවි Baliakudah ella ලෙසින් ඒ අසලදි එම ගඟ හැඳින්වූ මුත් එය වේ ඔයම විය හැකියැයි පවසයි.
    සිතියම 1 - රුවන්වැල්ලේ සිට ගනේපල්ලට මාර්ගය (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )
    රුවන්වැල්ලේ සිට ගනේපල්ලට මාර්ගය හඳුනාගැනීම
    රුවන්වැල්ල මෙන්ම ගනේපල්ලද අද දක්වා එම නම් වලින්ම හඳුනාගත හැකි ස්ථාන වේ. එම මාර්ගයේ හමුවන වේ ඔය මෙන්ම හික්කේ ඔය ලෙසින් ඩේවි හඳුන්වන එක් හී ඔයද පැරණි අඟලේ සිතියම් වල ඒ ආකාරයෙන් ලකුණු කර ඇත. ඩේවි පවසන ලෙසට මේ ස්ථාන දෙක අතර මුළු දුර සැතපුම් 10 කි. වර්තමාන මාර්ග ඔස්සේද රුවන්වැල්ලේ සිට ගනේපල්ල දක්වා දුර අඩු වැඩි වශයෙන් සැතපුම් 10 කි. පැරණි මාර්ග බොහෝවිට ගංගා නිම්න ඔස්සේ විහිදී තිබූ බවට වන උපකල්පනය ඔස්සේ ගත් කල අඩු වැඩි වශයෙන් වර්තමාන මාර්ගය වැටී තිබෙන අයුරින් රුවන්වැල්ලේ සිට කරවනැල්ල හරහා යටියන්තොටට පැමිණ යටියන්තොටින් වේ ඔය තරණය කරන මාර්ගයම පැරණි මාර්ගය වීමට බොහෝ දුරට ඉඩ ඇත. වේ ඔය එතර විමෙන් අනතුරුව මාර්ගය එහි වම් ඉවුරු ඔස්සේ මද දුරක් වැටී තිබුන බව ඩේවි පවසන බැවින් එතැන් සිට මාර්ගය වර්තමාන A7 මාර්ගයට සමාන්තරව නොයා පරුස්සැල්ල දෙසට ගොස් ඉන්පසු නවට දෙසට යොමුව විහිදුන බව පෙනේ (සිතියම 1 බලන්න). ඩේවි සඳහන් කරන Baliakudah ella හඳුනාගත නොහැක. අනතුරුව නවට අසලදී එක් හී ඔයෙන් එතෙර වී මාර්ගය බොහෝදුරට ඔය ඔස්සේ විහිදී තිබුන බව පැහැදිලි වන්නේ ඩේවි සඳහන් කරන ලෙසට එය අවම වශයෙන් 16 වතාවක්වත් එක් හී ඔය හරහා යාමට නම් එලෙස යා යුතු බැවිනි (සිතියම 2 බලන්න). එම ස්ථානයේ සිට ගනේපල්ලට ඇති කෙටිම ගමන් මගද එයයි. රුවන්වැල්ලේ සිට වේ ඔයට ඩේවි පවසන සැතපුම් 4 ඉහත අනුමාණ කල මාර්ගය ඔස්සේද ආසන්න වශයෙන් සමාන වන අතර, එතැන් සිට එක් හී ඔයට ඇති සැතපුම් 2 දුරද නිවැරදිය. වේ ඔය තොටුපලේ සිට සැතපුමක දුරකින් මාර්ගය එහි ඉවුර ඔස්සේ වැටි තිබූ බවට වන සඳහනද මේ මාර්ගයේ පැහැදිලිවම සලකුණු වේ.
    සිතියම 2 - වේ ඔය දෙසින් පැමිණ එක් හී ඔයෙන් එතෙර වූ ස්ථානයේ සිට ගනේපැල්ල දක්වා එක් හී ඔය ඔස්සේ වැටී තිබෙන්නට ඇති මාර්ගය.
    වල් අලි ගහණ ඩේවි සඳහන් කරන ඉහත වනාන්තර සියල්ලම පාහේ පසු කලක ඩේවිගේ රටේ ඇත්තන් ප්‍රධාන වශයෙන් රබර් වගාව සඳහාත්, තේ වගාව සඳහා සුළු වශයෙනුත් හෙලි කර ඇත.

    ගනේපල්ල
    පළමු දින රාත්‍රිය ඩේවි ගත කරන්නේ වනාන්තර වැස්ම සහිත අඩි දෙතුන් දාහක් පමණ උසට විහිදුනු කඳු සහිත නිම්නයක තිබූ ගනේපල්ල අම්බලමේය. එහි වහලය දින කිහිපයකට පෙර වල් අලි විසින් ගලවා දමා තිබී ඇත. ගනේපල්ල ගම මිනිසුන් 20 කට නොවැඩි ප්‍රමාණයක් ඒ වන විට වාසය කල එක්හීඔයෙන් වටවූ වෙල් යායක කෙලවර නිවාස තනා තිබූ කුඩා ගමකි.
    කඳු වලින් වටවූ ගනේපැල්ල ගම (මෙම කඳු වල වනාන්තර වෙනුවට අද ඇත්තේ රබර් වගාවන්ය)
    දෙවෙනි දින තුල ඩේවි ඉහළ බුලත්ගම (Upper Boulatgamme) පළාතට අයත් අඹගමුව (Ambigammue) දක්වා ගමන් කරයි. එම ගමනේදී ඔහුට දැනගන්නට ලැබුන පරිදි ඔහු ගව් 2.5 (ඩේවි පවසන ලෙසට සැතපුම් 10 පමණ දුරක්) ගමන් කර ඇත. එහෙත් ඔහු සිතන පරිදි එම දුර එයට වඩා වැඩි විය යුතුය. ගනේපල්ලේ සිට සැතපුම් 2 පමණ දුරකදි ඔහු බිබිලි ඔය (Bibile Oya) තරණය කරයි. එතැන් සිට තවත් සැතපුමක් ගිය තැන ගිරන්කිත්තෙ ඔයෙන්ද (Gerankitty oya) එතර වි සැතපුම් 4ක පමණ දුරක් ගෙවා කිතුල්ගලට (Kitoolgulle) පැමිණේ. එම ගමන් මග මුල් කොටසේදී කඳු සහිත වනාන්තර පෙදෙසක් හරහාද, ඇතැම් අවස්ථා වලදි කැළණි ගඟ ඉවුර ආසන්නයෙන්ද ගමන් කර ඇත.
    කිතුල්ගල තානායම අසලදී කැළණි ගඟ
    ඩේවි උදෑසන ආහාරය සඳහා කිතුල්ගල ඒ වන විට අතහැර දමා තිබූ මුරපලක නවතින අතර එහි 1818 උඩරට කැරැල්ල අවධියේ ඉංග්‍රිසි හමුදාවේ සෙබලුන් රැදී සිට ඇත. එය වගා කල තැනිතලා බිමක පිහිටා තිබූ බවත්, එම ස්ථානයේ සිට සැතපුම් 2ක දුරකදි කැළණි ගඟ යාත්‍රා කල හැකි ආකාරයේ වූ බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි. කිතුල්ගල සිට මාර්ගය අතිශයෙන්ම දුෂ්කර කඳුකර මාර්ගයක් නමුත් දර්ශනීය පෙදෙසක් හරහා වැටී තිබූ බව ඩේවි පවසයි. එම දර්ශනය මෙන්ම කඳුකර සීත සුළං නිසා වනාන්තරය හරහා වැටි තිබූ සෙවණ සහිත මාර්ගය  ගමන් වෙහෙස දුරු කල බව ඔහු විස්තර කරයි. එක් පසකින් පහලින් පිහිටි කඳු වලින් වටවූ අඹගමුවේ වගා කල හරිත වර්ණ කුඹුරු යාය දිස්වන අතර අනෙක් පස වලාකුලින් වැසුන ශ්‍රිපාද කන්ද (Adam's Peak) සහ කේතු ආකාර කඳු මුදුන් වලින් සමන්විත එම කඳු වැටිය දිස්විය. එමෙන්ම මහවැලි ගඟට (Mahawelle river) සැතපුම් දෙකකටත් වඩා අඩු දුරක් තිබියදි, කෙහෙල්ගොමු ගඟ (Kalugammua ganga) සමග එක්වී අවසානයේ කැළැණි ගඟ බවට පත්වන මස්කෙළිය ඔයේ (Maskelli ganga) හඬ ඇසෙන, එය දකින මානයෙන් මාර්ගය වැටි තිබිණ.
    ගනේපල්ලේ සිට කිතුල්ගල දක්වා මාර්ගය
    ගනේපල්ලේ සිට අඹගමුව දක්වා මාර්ගය හඳුනාගැනීම
    මාර්ගයේ මේ කොටසේදි ඩේවි සඳහන් කරන බිබිල ඔය, ගිරන්කිත්තේ ඔය, කිතුල්ගල, කෙහෙල්ගොමු ගඟ, මස්කෙලි ඔය මෙන්ම අඹගමුවද පැහැදිලිව හඳුනාගත හැක. ගනේපල්ලේ සිට මාර්ගය නැවතත් වර්තමාන A7 මාර්ගය දෙසට ගොස් එතැන් සිට ඒ ඔස්සේ විහිදී තිබූ බව ඩේවිගේ විස්තරය සහ ඔහු ඉදිරිපත් කරන ගනේපල්ලේ සිට බිබිලි ඔයට, එතැන් සිට  වර්තමාන කිතුල්ගල තානායම අසලින් කැළණි ගඟට වැටෙන ගිරන්කිත්තේ ඔයට සහ කිතුල්ගලට ඇති දුරවල් අඩු වැඩි වශයෙන් වර්තමාන A7 මාර්ගය ඔස්සේ ඇති දුරවල් වලට සමාන වීමෙන් වටහා ගත හැක. කෙසේ නමුත් ඩේවි සඳහන් කරන මුරපොල  පිහිටා තිබූ ස්ථානය මේ වන විට පැහැදිලි නැත.

    කිතුල්ගල සිට අඹගමුවට මාර්ගයද බොහෝ දුරට වර්තමාන A7 මාර්ගය ඔස්සේ හෝ එයට සමාන්තරව තිබෙන්නට ඇති බව පෙනේ. ඩේවි පවසන අඹගමුව පෙදෙසේ කුඹුරු යාය වල් එක් පසකත් ශ්‍රි පාද කඳු වැටිය අනෙත් පසත් දිස්වන්නට ඇත්තේ ගිනිගත්හේන අසලදි වීමට ඉඩ ඇති බව පහත සිතියමේ දැක්වෙන භූ විෂමතාවය දෙස බැලූ විට පෙනේ.
    කිතුල්ගල සිට අඹගමුවට මාර්ගය
    ඩේවි පවසන ලෙසට කෙහෙල්ගමු ඔය සහ මස්කෙලි ඔය එක්වී සෑදෙන කැළණි ගඟ සහ මහවැලි ගඟ එකිනෙකට ආසන්නයෙන් පිහිටා ඇති අයුරු. ඔහු පවසන ලෙසට මාර්ගයේ මහවැලි ගඟට සැතපුම් 2 කටත් වඩා අඩු දුරක් තිබියදීත් මස්කෙලි ඔයේ හඬ ඇසේ
    අඹගමුව 
    සතර දෙසින්ම කඳු වලින් වටවූ අඹගමුව ගම්මානයට ඒ වන විට කැරැල්ල සමයේ වනයේ සැඟවි සිටි ගම්මු නැවතත් පැමිණ සිටි අතර, ඉංග්‍රිසින් විසින් විනාශ කල ඔවුන්ගේ පැරණි ගේදොර වෙනුවට වාසය කිරීම සඳහා කුඩා මඩු සාදා ගෙන සිටි බව ඩේවි හෙළි කරයි. ඉංග්‍රිසීන්ගේ මුරපොල ඒ වන විට අතහැර දමා තිබූ හෙයින් එය ගොවිපොලක් බවට පත්කරගෙන තිබී ඇත. පැරණි ගෙයක් හැර එහි තිබූ සොල්දාදුවන්ගේ නිවාස සියල්ල බිමට සමතලා වි තිබිණ. මේ ඉසව්වේදී එහි ආරම්භක කඳු මතින් පැනනැගි අලුතම පාහේ වූ මහවැලි ගඟ පැරණි මුරපොල අසලින් දනක් පමණ වතුර ඇතිව ගලා ගියේය.
    සිතියම 3
    පස්බාගේ
    පසු දින එම මහවැලි ගඟ Kawataroo Oya සමග එක්වන ස්ථානයෙන් එතෙර වී ඩේවි සැතපුම් 8 ක් දුරින් වූ පස්බාගේ (Passbage) දක්වා ගමන් කරයි. ගඟ ගලා යන දෙසටම ඒ අසලින් වැටි තිබූ මාර්ගය වගා කර තිබූ විවෘත නිම්නය ඔස්සේ වැටි තිබිණ. කැරැල්ල සමයේ මෙහිද ගඟේ සිට මීටර් 50 පමණ ඉහල කඳු මුදුනක මහවැලි ගඟ සහ කොත්මලේ ඔය (Kotmale ganga) එක්වන ස්ථානයේ මුරපොලක් තිබී ඇත. මාස 12 කට පමණ පෙර ඩේවි රැයක් ගත කල එම ස්ථානයේ කිසිදු සලකුණක් ඒ වන විට ඉතිරි වී තිබී නැත. කැරැල්ල සමයේ සැඟව සිටි ඒ අසල පිහිටි ඉඩම් වල වගා කල ගම්මුන් ඒ වන විටත් නැවත පැමිණ සිට නැත. කිසිදු ගොඩනැගිල්ලක් නොතිබුන හෙයින් ඩේවි එදින විවෘත භූමියේ රැය ගත කරයි.
    සිතියම 4 
    අඹගමුවේ සිට පස්බාගේ දක්වා මාර්ගය හඳුනාගැනීම
    ඩේවි අඹගමුවේ සිට මහවැලි ගඟට Kawataroo Oya නම් වූ ඔයක් එක්වන තැනකින් එතෙර වූ බව පවසයි. සිතියම් වල එම නම සොයාගත නොහැකි වුවද අඹගමුවේදි මහවැලි ගඟට එහි වම් ඉවුර දෙසින් එකතු වන ඔය, ඩේවි සඳහන් කරන ඔය බවට පහසුවෙන් හඳුනාගත හැක (සිතියම 3). තුන්වන දින ඩේවි අඹගමුවේ සිට සැතපුම් 8 ක දුරක් ගොස් ඊට පසු දින කොත්මලේ ඔය මහවැලි ගඟට එක්වන ස්ථානයෙන්  ඔරුවක ආධාරයෙන් එගොඩ වූ බව සහ මාර්ගය ගඟ ගලා යන දෙසටම ඒ අසලින් වැටී තිබූ බව පවසයි. මේ සියළු තොරතුරු වර්තමානයේ අඹගමුවේ සිට නාවලපිටිය හරහා කොත්මලේ ඔය, මහවැලි ගඟ හා එකතු වන පල්ලේගම ලෙසින් මේ වන විට හඳුන්වන ස්ථානයට නිම්නය ඔස්සේ ගමන් කරන B319 සහ ඉන්පසු AB13 යන මාර්ග වලට මැනවින් ගැලපේ. පස්බාගේ ලෙසින් ඩේවි හඳුන්වන කොත්මලේ ඔය මහවැලියට එකතු වන ස්ථානයට එම නම වර්තමානයේ ව්‍යවහාර වන බවක් නොපෙනේ. අද පස්බාගේ කෝරලය යනු මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයකි. නාවලපිටිය මෙන්ම ඉහත සඳහන් කල පල්ලේගමද අයත් වනුයේ එම ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයටය. ඩේවි සඳහන් කරන කොත්මලේ ඔය මහවැලි ගඟට එක්වන ස්ථානයේ ගඟේ සිට මීටර 50 උස කඳු මුදුනක පිහිටා තිබූ  මුරපොල තිබූ කන්දද හඳුනාගැනීම එතරම් අපහසු නැත (සිතියම 4 බලන්න.)
    අඹගමුවේ සිට පස්බාගේ දක්වා ගමන් මාර්ගය
    පසුදින උදෑසනම ගමන් අරඹන ඩේවි ඔරුවක ආධාරයෙන් මහවැලි ගඟ තරණය කර  මගපෙන්වන්නෙකු නොමැතිවම පුසුල්පිටිය (Pouhalpittye) දක්වා ගමන් කරයි. කොත්මලේ ප්‍රදේශයේ ඉංග්‍රිසි මුරපොල පුසුල්පිටියේ තිබී ඇත. එම මුළු දුර සැතපුම් 7 පමණ වන බව ඩේවි පවසයි. ගඟ තරණය කල ස්ථානයේ සිට සැතපුම් 3 පමණ එක දිගට තිබූ නැග්මත් සමග සැලකිය යුතු උසකට ලගා වුන බවත්, එම ගමනේදි බොහෝ කුඩා දොළ පාරවල් තරණය කරමින් අතහැර දමා තිබූ කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයක් පසු කරමින් ගමන් මග යෙදී තිබූ බවත් ඩේවි පවසයි. තවද කැරැල්ල සමයේ අතහැර දමන ලද නටබුන් වූ ගම්මාන කිහිපයක්ද ඔහුට මේ කොටසේදී හමුවී ඇත. එතැන් සිට බෙහෙවින් බෑවුම් සහිත මාර්ගයක කොත්මලේ ඔය නිම්නයට බැස නැවතත් මද දුරක් ඉහලට නැග පුසුල්පිටිය දක්වා ඔහු පැමිණේ. කඳු වටා වැටි තිබූ එම මාර්ගයේ ගම්මාන දෙක තුනක් පමණක් සහිත බාගෙට වගා කල කුඹුරු ඉඩම් කැරැල්ලේ දරුණු සලකුණු පෙන්වන බව ඩේවි පවසයි.

    පස්බාගේ සිට පුසුල්පිටිය දක්වා ගමන් මග හඳුනාගැනීම
    ඩේවිගේ විස්තරයට අනුව ඔහු මහවැලි ගඟින් එතර වී කොත්මලේ ඔයේ වම් ඉවුර ඔස්සේ ගමන් කල බව පැහැදිලි වේ. සැතපුම් 3 පමණ එක දිගට තිබූ නැග්ම හපුගස්තලාව කඳු මුදුනට විය යුතුය. ඉන් අනතුරුව එවැනිම ශ්‍රිඝ්‍ර බැස්මක් ඔස්සේ ඔහු කොත්මලේ ඔය නිම්නයට බැස ගමන් කරයි. පුසුල්පිටිය මුරපොල තිබූ ස්ථානයට ලඟා වීම සඳහා අනතුරුව ඔහු නැවතත් මද දුරක් ඉහලට ගමන් කරයි. අද වන විට පුසුල්පිටිය ගම්මානයේ කොටසක් මෙන්ම කොත්මලේ ඔය නිම්නයේ තිබූ බොහෝ කුඹුරු ඉඩම්, ගම්මාන කොත්මලේ ජලාශයට යටවී ඇත. ජලාශය සෑදිමට පෙර පැරණි අඟලේ සිතියම් වල පෙන්වන අඩි පාරවල් සහ ඩේවිගේ ගමන් විස්තරය අනුව අනුමාණ කල මාර්ගයක් පහත සිතියම් වල දක්වා ඇත.
    සිතියම 5 - නිල්පාටින් පැරණි අඟලේ සිතියම් වල ලකුණු කර තිබූ අඩි පාරවල් දක්වා ඇත. දම්පාටින් දක්වා ඇත්තේ වෙනත් මාර්ගයන්ය. (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )

    සිතියම 6 - පස්බාගේ සිට පුසුල්පිටිය දක්වා අනුමාණ කරන මාර්ගය  (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )

    කොත්මලේ ඔය නිම්නයේ හෙල්මළු ක්‍රමයට වගා කල කුඹුරු 
    පුසුල්පිටිය
    ඩේවි එදින ගඟේ වම් ඉවුරේ කඳු මුදුනක වූ පුසුල්පිටිය මුරපොලේ රැය ගත කරයි. එම ස්ථානයට දක්නට ලබුනු චමත්කාර ජනක දර්ශනය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන ඩේවි එහි සිට දකින්නට ලැබුණ තිස්පනේ (Tispane) ගම පිළිබඳවද පවසයි (සිතියම 5 බලන්න)
    කොත්මලේ ඔය නිම්නයේ හෙල්මළු ක්‍රමයට වගා කල කුඹුරු ඈතින් දිස්වන්නේ කොත්මලේ ඔය ජලාශයයි
    පසුදින උදෑසන ඩේවි ඒ වන තෙක් කිසිදු යුරෝපිය ජාතිකයකු ගමන් නොකල මාර්ගයක් ඔස්සේ ඌව (Ouva) දෙසට ගමන් අරඹයි. නිම්නය ඔස්සේ ඉහලට ගමන් කරන හෙතෙම එයට හරියටම සෘජුකෝනාකාරව පිහිටි වෙනත් නිම්නයකට පිවිසේ. ඒ සශ්‍රික කුඩා දිඹුල (Dimbola) පලාත  බව ඔහු පවසයි. එය පුසුල්පිටිය මුරපොලේ සිට සැතපුම් 2 පමණ දුරකින් පිහිටා ඇත. සැතපුම් 2-3 පමණ එක දිගට දිස්වන පුළුල්, ගැඹුරු මුළු නිම්නයේ දෙපස සැලකිය යුතු උසක් දක්වා හෙල්මළු ක්‍රමයට වගා කර තිබී ඇත. අතරින් පතර පළතුරු ගස් වලින් සුසැදි ගම්මුන්ගේ නිවාසද, කුඹුරු ඉඩම් වනසතුන්ගෙන් ආරක්ෂා කරගැනීම උදෙසා තනා තිබූ පැල්ද දක්නට ලැබිණ. කඳු මුදුන් වන වැස්මෙන් වැසී තිබි ඇත. ගම්වැසියන්ගේ අමුතු හොඳකමක් නිසා නොව එහි ඇති දුරස්ථ හුදකලා බව නිසා කැරැල්ල සමයේ මෙම ගම එහි විපාක වලින් බේරුන බව ඩේවි පවසයි.
     කොත්මලේ ඔය ජලාශය
    සැතපුම් තුනක් පමණ දුරක් පුසුල්පිටිය කොටුවේ සිට ගමන් කල පසු ඩේවි Haleltotte නම් ස්ථානයකදි කිතුල් කඳකින් සෑදූ ඔරුවක ආධාරයෙන් කොත්මලේ ඔය තරණය කරයි. එම ඉසව්වේදි කොත්මලේ ඔය පටු වුවත් ගැඹුරු බැවින් බැස යා නොහැක. මේ ප්‍රදේශයේ ජනයා වෙසෙන වගාවන් සිදු කරන ප්‍රදේශය එම ස්ථානයේ සිට අවසාන වන බවත්, අනතුරුව උදෑසන 6 සිට හවස 4 පමණ වන තෙක් වනාන්තරය මැදින් ගමන් කල කොටස එතරම් ආකර්ෂනීය නොවන දුෂ්කර වූවක් බවත් ඩේවි සඳහන් කරයි.  සවස 1 ට පමණ ඔහු මද වෙලාවක් පුන්ඩලු ඔය ඇල්ල (Poondool Oya falls) ඉහල ගිමන් නිවයි. එම ස්ථානයේදී ගමන් මග එම ඇල්ල සෑදෙන තරමක විශාල දිය පහර හරහා වැටී තිබිණ. එම දිය පහර දිය ඇල්ල හරහා ගොස් කොත්මලේ ඔයට දිඹුලට මදක් පහලින් එකතු වේ.  මේ වන විට ඔහු සැතපුම් 7 පමණ එදින තුල ගමන් කර ඇති බව මගපෙන්වන්නා ඔහුට පවසයි. එතනින් පසුව මාර්ගය එලෙසින්ම දුෂ්කර මුත් තරමක වියලි ගතියකින් යුත් පෙදෙසක් හරහා වැටී තිබිණ. එදින රාත්‍රිය ඔහු උණපත්පැලැස්ස (Unapatpalasse) ලෙසින් ගම්මුන් හැඳින්වූ වනාන්තරය මැද තරමක විවෘත ස්ථානයක ගත කරයි.
    සිතියම 7
    පුසුල්පිටියේ සිට උණපත්පැලැස්ස දක්වා මාර්ගය හඳුනාගැනීම
    කොත්මලේ ඔය නිම්නයේ තිබූ පුසුල්පිටිය මුරපොලේ සිට ඉහලට ගමන් කර සෘජුකෝණාශ්‍රාකාර දිඹුල නිම්නයට අවතිර්ණ වූ බව ඩේවි පවසයි. මේ වන විට කොත්මලේ ජලාශයට යටවී ඇති ඕතලාව ලෙස හැඳින්වෙන ස්ථානයේදි කොත්මලේ ඔය ආසන්න වශයෙන් සෘජුකෝණාශ්‍රාකාර ලෙස දකුණු දිශාවේ සිට පැමිණ බටහිර දෙසට ගමන් කරයි. ඩේවි සඳහන් කරන දිඹුල නිම්නය කොත්මලේ ඔයේම ඉහල ප්‍රදේශයයි. අද වන විට එම සෘජුකෝණාශ්‍රාකාර හැඩය එලෙසම තිබෙමින් කොත්මලේ ජලාශය මගින් එම නිම්න දෙකේම එහි පහල ප්‍රදේශ ජලයෙන් යටකරමින් ජල තලය පුළුල් වී ඇත (සිතියම 7). හලෙල් තොට (Haleltotte) වැනි නමකින් ඩේවි හඳුන්වන කොත්මලේ ඔය හරහා වැටී තිබූ තොටුපල හඳුනාගත නොහැකි මුත් එය පුණ්ඩලු ඔය කොත්මලේ ඔයට එක්වන ස්ථානයට ආසන්නව තිබෙන්නට ඇති බව සිතිය හැක්කේ, එතැන් සිට ඩේවිගේ ගමන් මග පුණ්ඩලු ඔය නිම්නය ඔස්සේ වැටී තිබූ හෙයිනි. වර්තමාන B148 මාර්ගයේ කොත්මලේ ඔය හරහා වැටී ඇති පාලමට මදක් පහලින් එය තිබෙන්නට ඇත. එම ප්‍රදේශයට යොමුවූ කරත්ත පාරක් පැරණි සිතියම් වල ලකුණු කර ඇත. එම තොටමුණ දක්වා ගමන් මාර්ගය අනුමාන වශයෙන් සිතියම 8 දක්වා ඇත. එතැන් සිට උණපත්පැලැස්ස දක්වා වනාන්තරය මැදින් තිබූ මාර්ගයේ ඩේවි සඳහන් කරන එකම වැදගත් ස්ථානය පුණ්ඩලු ඔය ඇල්ල සාදන දිය පහර හරහා එය ගමන් කල බව කරන සඳහන පමණි. අද මේ සියළු වනාන්තර ඩේවිලාගේ පසුකාලීනයන් තේ වගාව සඳහා හෙලි කර ඇත. පුණ්ඩලු ඔය ඇල්ල හෙවත් ඩන්සීනන් ඇල්ල ලෙසින් හඳුන්වන ඇල්ල හරහා තේ වතු මැදින් වැටී ඇති වර්තමාන මාර්ගය බොහෝ දුරට පැරණි මාර්ගයට අනුකූල බව පෙනේ (සිතියම 8) උණපත්පැලැස්ස හඳුනාගත නොහැකි මුත් පැලැස්ස යන්නෙන් කුඩා වන ලැහැබ් (ඝන වනාන්තර නොවේ) හඳුන්වන බැවින් ඒ ආකාරයේ වනාන්තර තිබෙන්නට ඉඩ තිබූ ස්ථානයක් ඉහත සිතියමේ (සිතියම 8) එලෙසින් ලකුණු කර ඇත. පුණ්ඩලු ඔය ඇල්ලේ සිට පැය 4 ක පමණ දුරක් ඔහු එම ස්ථානයට ලඟාවීම සඳහා ගත කර ඇත.
    සිතියම 8 පුසුල්පිටියේ සිට උණපත්පැලැස්ස දක්වා මාර්ගය
    පසුදින පෙරවරු 6 ට ගමන් අරඹන ඩේවි සවස 5 පමණ වනතුරු ගමන් කරන්නේ පෙර දින මෙන් ඒකාකාරි නොවූ මුත් එලෙසින්ම දුෂ්කර මගකය. ගමනේ පළමු වරට මාරත්මල් (Rhododendron) ගස් සහිත කුරු වනාන්තර ඔහුට එතැන් සිට හමුවේ.  ඉතාමත්ම පිරිසිදු ජලය සහිත දිය පාරවල් කිහිපයක්ද ගමන් මග හරහා වැටී තිබිණ. මග පෙන්වන්නන් පැවසූ පරිදි එම මගේ ඉහලම ස්ථානය වන දැඩි බෑවුමක් සහිත කන්දක් අසලට පැමිණි පසු (සිතියම 9 - X ලෙස සලකුණු කර ඇති ස්ථානය විය යුතුය) ඔවුන්ට මාර්ගය අයිනේ සම්පූර්ණයෙන්ම පාහේ ඇටසැකිල්ල දක්වා කුණු වූ මිනිසෙකුගේ මළසිරුරක් හමුවේ. එකල ඇතිවූ සාගතය නිසා ඌව රටේ සිට කොත්මලේ දෙසට බොහෝ මිනිසුන් පැමිණි බවත්, ඔවුන්ගෙන් කෙනෙකු නිරාහාරව මෙසේ මැරී වැටෙන්නට ඇති බවත් ඩේවි සඳහන් කරන මුත්, එම සාගතයට හේතුව කැරැල්ල මර්ධනය උදෙසා රටවැසියන්ගේ වගාවන් විනාශ කරමින් ඉංග්‍රීසීන් අනුගමනය කල කෲර ක්‍රියාදාමය බව පවසා නොසිටින්නට ඔහු ප්‍රවේශම් වේ. අද අප හට මානව හිමිකම් ගැන ටියුෂන් දෙන්නේ ඩේවිලාගේ රටේ එවැනි කෲර කම් කල පරපුරේ දරු මුනුබුරු පරම්පරාවය.
    කුරු වනාන්තර මැදින් වැටුන නුවර එළිය පතන දක්වා එදා තිබූ මාර්ගයද එදා මේ ආකාරයෙන් දිස්වන්නට ඇත (තොටුපල කන්ද ගමන් මග )
    ඉහත විස්තර කල කන්ද තරණය කිරීමේදී මාර්ගය විවෘත, වට පිට භූමි දර්ශණය මැනවින් දැකිය හැකි පෙදෙසක් හරහා වැටී තිබූ බව ඩේවි පවසයි. එහි එක් ස්ථානයකදි කොත්මලේ නිම්නයද දර්ශනය වේ (සිතියම 9 - X ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේ සිට ඉදිරියට යාමේදී). එම කන්ද බැස එහි අනිත් පස අක්කර කිහිපයක් පුරා විහිදුන, අඩු වැඩි වශයෙන් වලයාකාර කිකිලියමාන (Kicklemane) නම් විවෘත භූමියකට පෙරවරු 10 ට පමණ ඩේවි ඇතුළු පිරිස ලඟා වේ. එම ස්ථානය කොත්මලේ රට සහ ඌව රට අතර සීමාව වන අතර ඉන් අනතුරුව මාර්ගය නැවතත් වනාන්තරය තුලට යොමුවේ. අලි ඇතුන් සහිත එම වනාන්තරයේ ක්‍රමයෙන් පහලට යොමු වූ මාර්ගයක අවසානයේ ඔවුන් නුවරඑළිය පතන (Neuraellyia-pattan) ලෙසින් මග පෙන්වන්නන් ඔහුට හඳුන්වාදෙන සුවිශාල පතන් බිමකට ලඟාවේ. තැනින් තැන ඇති මාරත් මල් ගස් සහිත එම පතන කිසිදු මිනිස් වාසයක් නොමැති සම්පූර්ණයෙන්ම පාහේ වන සතුන්ට වෙන්වූ ප්‍රදේශයක් ලෙස ඩේවි විස්තර කරයි. පතන පුරා වැටී තිබූ අලි වසුරු අනුව මෙම ස්ථානයේ රටේ අන් කවර ප්‍රදේශයකටත් වඩා අලි ඇතුන් ප්‍රමාණයක් සිටින බවට ඔහු අනුමාණ කරයි.
    සිතියම 9 - පුණ්ඩලු ඔය ඇල්ලේ සිට කිකිළියමාන දක්වා පැරණි මාර්ගයද මෙහි දැක්වෙන වර්තමාන මාර්ග වලට අනුකූල ලෙස වැටී තිබෙන්නට ඇත.
    උණපත්පැලැස්සේ සිට නුවරඑළිය පතන දක්වා මාර්ගය හඳුනාගැනීම
    මාර්ගයේ මෙම කොටසද එදා වනාන්තරයෙන් වැසී තිබුන මුත් අද වන විට තේ වගා බිම් ඔස්සේ වැටුන එම මාවතේ වනාන්තර ඉතිරි වී ඇත්තේ ග්‍රේට් වෙස්ටර්න් සහ කිකිළියමාන රක්ෂිතය මැදින් වැටී ඇති සුළු කොටසක පමණි. නුවරඑළිය පතන අද මුළු මනින්ම පාහේ නුවරඑළිය නගරය සහ තදාශ්‍රිත ප්‍රදේශය බවට පත්වී ඇත. කිකිළියමාන ලෙසින් ඩේවි හැඳුන්වූ අඩු වැඩි වශයෙන් වලයාකාර එළි මහන් පෙදෙස මේ වන විට තේ වතු සහ එම තේ වතු වල සේවය කරන උඩරට දෙමළ ජනයාගේ නිවාස පේලි වලින් සමන්විත වූ ස්වභාවික පතන් බිමක් නොවන භූමියකි (සිතියම 11) නුවරඑළිය පතනේ පමණක් නොව මුළුමහත් කඳුකරයේ සහ පහත රට තෙත් කලාපයේ සිටි සියළුම අලි ඇතුන් ඩේවිලාගේ රටේ ඇත්තන්ගේ එකල ජනප්‍රිය Sport එකක් වූ Elephant Shooting Excursions නිසා සදහටම වඳවී ගොස්ය.
    සිතියම 10 - කිකිළියමාන සිට නුවරඑළිය පතනට මාර්ගය

    සිතියම 11 (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )

    වනාන්තරයෙන් වටවූ විවෘත භූමියක් වූ නුවරඑළිය පතනද එදා මේ ආකාරයෙන් දිස්වන්නට ඇත. (තොටුපල කන්දේ සිට දිස්වන මහඑළිය පතනේ [Horton plains] කොටසක් )
    සැතපුම් 2-3 පමණ විහිදුණු පතන හරහා ගොස් ඩේවි නැවතත් කොත්මලේ ඔය අසලට පැමිණේ. එහි ආරම්භක පෙදෙසේ වූ කොත්මලේ ඔය දනක් පමණ වතුර සහිත කුඩා දියපහරක් විය. ගල් කුලක් මතින් දිය ඇල්ලක් සාදමින් ගලා බස්නා එය ඇසට පේන මානය දක්වා දකුණු දෙසට ගලා බසී. ඉන්පසු එයට නුදුරින් එවැනිම උසකින් ගලා බැස කොත්මලේ ඔය දෙසටම ගලා බසිනා කුඩා දිය පහරක් (සිතියම 12 - 1 සහ 2 ලෙසින් සලකුණු කර ඇති දිය පාරවල් විය යුතුය. ඒවා ග්‍රේගරි වැවට ඉහලින් පිදුරුතලාගල දෙසින් පැමිණ නානු ඔයට එක්වේ.) තරණය කරමින් ඩේවි මධ්‍යහ්නය වන විට නැවතත් පතන කෙලවරින් වනාන්තරයට ඇතුළු වේ. මගපෙන්වන්නන්ගෙන් ඩේවි අසා දැනගත් පරිදි මෙම පතන සියලු කල්හීම සම්පූර්ණයෙන්ම ජනාවාසයෙන් තොර වූ අතර, වියලි කාලයේදී යකඩ සෑදීම සඳහා පැමිණෙන කොත්මලේ ප්‍රදේශයේ කම්මල් කරුවන්, මැණික් ගැරීම සඳහා පැමිණෙන පුද්ගලයන් සහ කලාතුරකින් ඒ හරහා ගමන් කරන මගියන් හැරුන විට වෙනත් කිසිවෙකු මෙහි පැමිණෙන්නේ නැත.
    සිතියම 12 - 1 සහ 2 ලෙසින් සලකුණු කර ඇති දිය පාරවල් ග්‍රේගරි වැවට ඉහලින් පිදුරුතලාගල දෙසින් පැමිණ නානු ඔයට එක්වේ.
    එතැන් පටන් මාර්ගය වල් අලි ගැවසෙන වනාන්තරය මැදින් එහි බොහෝ දුරක් වැටි තිබිණ. එම වනාන්තරය හරහා ගමන් මග පල්ලම් බැසීමක් විය. එහි අවසානයේ එතරම් විශාල ප්‍රදේශයක් පුර පැතිරී නොතිබූ විවෘත පෙදෙසක් හමු වූ අතර ඒ හරහා තරමක ඔයක් වූ Hawelle Oya ඌව දෙසට ගලා බසී. එතැන් සිට යලිදු වනාන්තරය තුලින් වූ මාර්ගය ඔස්සේ ගොස් ඩේවි ඇතුළු පිරිස නැවතත් ඔය හරහා ගොස් (සිතියම 14 - A ලෙස ලකුණු කර ඇති ස්ථානය විය හැක.) සවස 3 පමණ වන විට, වනාන්තරය අවසාන වී නමුණුකුල කන්ද (Namina-cooli-kandy) ඇතුළු ඉහල ඌව ප්‍රදේශය දර්ශනීය ලෙසින් පෙනෙන කඳු මුදුනක් වෙතට ලගාවේ (සිතියම 14 - B ලෙස ලකුණු කර ඇති ස්ථානය විය හැක.)
    සිතියම 13 - අඟලේ සිතියම් වල වනාන්තරය මැදින් ලකුණු කර තිබූ අඩි පාර කළු පාටින් පෙන්වා ඇත
    එම කන්ද බැස යාමේදී ඩේවිට කැරැල්ල සමයේ තම ගම් බිම් අතහැර පැමිණි ජනයා තාවකාලිකව සැඟවී සිටීම සඳහා ඉදිකර තිබූ මේ වන විට නටබුන් වී ඇති කුඩා මඩු අතරින් පතර දැකගන්නට හැකිවේ. මාර්ගය එක් ස්ථානයකදී  Dugulle Oya කදිම දියඇල්ලක් ලෙසින් වැටෙන ස්ථානයක් අසලින්ද ඔහු ගමන් කරයි (සිතියම 14 - බොමුර ඇල්ල ලෙසින් ලකුණු කර ඇති ස්ථානයට පහලින්). සවස 5 පමණ වන විට එම කඳු පාමුල පිහිටි ජනයා වසන පෙදෙසකට ලගා වීමට ඩේවිට හැකිවේ. පේරවැල්ල (Perowelle) ලෙසින් හැඳින්වූ එම ස්ථානයේ ඩේවි එදින රැය ගත කරයි.
    සිතියම 14 - හාවා එළියේ සිට පේරවැල්ලට
    පසු දින උදෑසන ඩේවි එතැන් සිට සැතපුම් 4 පමණ දුරුන් පිහිටි මැක්ඩොනල්ඩ් බලකොටුව දක්වා පිටත් වේ. ඔහු ඉදිරිපත් කරන විස්තරයට අනුව එම මග කුඹුරු ඉඩම් සහිත ජනයා පදිංචි වී සිටි ගම්මාන මැදින් වැටී තිබූ බව පෙනේ.

    නුවර එළිය පතනේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා මාර්ගය
    නුවරඑළිය පතන ඔස්සේ සැතපුම් 2-3 පමණ ගමන් කර ඩේවි කොත්මලේ ඔයේ ආරම්භක ප්‍රදේශයට ලඟා වූ බව පවසයි. ඩේවි මේ විස්තර කරන්නේ නානු ඔය ලෙසින් හැඳින්වෙන කොත්මලේ ඔයට තළවකැලේදී එක්වන එහි ශාඛාවයි. නුවරඑළිය පතනේදී එයට එක්වන දියපාරවල් ඉහත සිතියම 12 දක්වා ඇත. ඩේවි පවසන අයුරින්ම කොත්මලේ ඔය (නානු ඔය) පතන ඔස්සේ දකුණු දෙසට විහිදේ.  ඩේවිගේ ගමන් මග හාවා එළිය ඔස්සේ විහිදුනු බව පෙනේ. ඔහු Hawelle Oya ලෙසින් හඳුන්වන්නේද හාවා එළිය ඔය විය හැකිය. ඒත් ඒ නමින් ඔයක් අද සොයාගත නොහැක. ඩේවි සඳහන් කරන විවෘත ප්‍රදේශයක් හරහා ගලා ගිය ඔය, හාවා එළිය හරහා ගලන සිතියම් වල බෝමුර ඇල්ල ඔය ලෙසින් හඳුන්වා තිබෙන උමා ඔයේ ඉහල ජලධාරා ප්‍රදේශයයි. පැරණි අඟලේ සිතියම් වල ලකුණු කර ඇති අඩි පාරක් මෙම හාවා එළිය ප්‍රදේශයේ සිට බෝමුර ඇල්ල ඔයේ දකුණු ඉවුරට ආසන්නයෙන් වනාන්තරය තුලින් ගොස් එක් ස්ථානයකදි බෝමුර ඇල්ල ඔය හරහා ගොස් පේරවැල්ල ලෙසින් දැනට ව්‍යවහාර වන පෙදෙසකට ලඟාවේ. ඩේවි සඳහන් කරන Perowelle මේ පේරවැල්ලයි. අතරමගදි ඔහු Dugulle ඔය දිය ඇල්ලක් ලෙසින් වැටෙන තැනකින්ද ගිය බව පවසයි. ඩේවි මෙහිදි දැනට බෝමුර ඇල්ල ඔය ලෙස හඳුන්වන ඔය අවස්ථා කිහිපයකදි විවිධ නම් වලින් හඳුනාගන්නා බව පෙනේ. ඔහු සඳහන් කරන දිය ඇල්ල බෝමුර ඇල්ල විය යුතුය. එම දිය ඇල්ල පැරණි අඟලේ සිතියම් වල හඳුන්වා ඇත්තේ පේරවැල්ල ඇල්ල ලෙසිනි.

     පේරවැල්ලේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා පහත සිතියමේ අඩි පාරවල් ලෙස ලකුණු කර ඇති කිසියම් මගක් ඔස්සේ පැරණි මාර්ගය වැටී තිබෙන්නට ඇත. ඩේවි පවසන ලෙසට එම ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සහ නිවාස බහුලව පැවතුන හෙයින් මාර්ග කිහිපයකක් එකලද තිබෙන්නට ඉඩ ඇත.
    සිතියම 15 - පේරවැල්ලේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා මාර්ගය
    මූලාශ්‍ර
    • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821