|
මින්නේරිය වැව |
මින්නේරිය වැව සහ ඇලහැර ඇල පිළිබඳව එන වංශ කතා විස්තර
පෙර ලිපියකදීද >>
Link අප පැවසූ පරිදි
ආළිසාර ඇල පිළිබඳව වූ මුල්ම සඳහන වංශ කතාවේ අපට හමුවන්නේ
වසභ රජතුමාගේ (ක්‍රි.ව. 67-111) කාලයේදීය. එතුමන් විසින්
ආළිසාර දිය භාගය එනම් එම (ඇලෙන් අයකරගන්නා) ජල බද්ද ඔහු විසින් කරවූ
තිස්සවඩ්ඪමානකයේ මුචේලි විහාරයට පිදූ බව ඉන් කියවෙයි. එහෙත් එම පාඨයෙන්
ආළිසාර ඇල කරවූවේ
වසභ රජු ලෙස නොපැවසෙන බැවින් ඇතැම් විට ඊටත් පෙර කලක සිටම එම ඇල තිබුනා විය හැක. එසේම මෙහිදි සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් වනුයේ මෙහිදී "ආළිසාරෙ උදකභාග" (ආළිසාරෙදකභාගං) කියනු විනා "ආළිසාර ඇලෙහි උදකභාග" (උදකභාග = දිය භාගය) කියා කෙලින්ම පවසන්නේ නැති බවය. මේ නිසා ඇතැම් විට
ආළිසාර රටේ පිහිටි වෙනත් වැවක හෝ වැව් වල දිය භාගය මෙයින් හැඳින්වූවා විය නොහැකිද යන පැනයද ඇතමෙකුට මෙහිදී නැගිය හැක.
කෙසේ නමුත් පසු කාලීන සිංහල ග්‍රන්ථයක් වූ
පූජාවලියේ සඳහන් වනුයේ
මහසෙන් රජු (ක්‍රි.ව. 274 - 301) විසින්
මිනිහිරි වැව බඳවා,
කරාගඟැ මිනිහිරි වැවට දිය යන ලෙසට අමුනු බඳවා, දෙවියන් පෑ සලකුණෙන්
තලවතු ඇළ බිඳුවා දියවර සපයා විසි දහසක් කුඹුරු කරවූ බවය. මෙම වාරිමාර්ග ඉදිකිරීම සඳහා ඔහු යකුන් ලවාද වැඩ ගත් බව එහි සඳහන් වේ. මෙහි
මිනිහිරි වැව ලෙසින් හැඳින්වෙනුයේ වර්තමානයේ
මින්නේරිය වැව ලෙස හඳුනාගන්නා වැව වන අතර (මහාවංශයේ
මහසෙන් රජු කරවූ වැව් සොළොසට
මණිහීර නම් වැවක්ද ඇතුලත් වන බැවින්
මින්නේරි වැව මහසෙන් රජු කරවූ බවට පූජාවලියේ එන මෙම සඳහන මහාවංශයේ එන තොරතුරු සමගද එකග වේ.)
කරාගඟ ලෙසින් හැඳින්වෙන ගඟ මහාවංශයේ වෙනත් අවස්ථා වලදී
කාරගංගා ලෙසින් හැඳින්වෙන ගඟ වේ.
මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 - 1186)
පරාක්‍රමසාගරයට ජලය ගෙනයෑම සඳහා
කාරගංගාවේ සිට
ගොඩවාරි ඇල කැපූ බව මහාවංශයේ දැක්වේ. වර්තමානයේ අප
පරාක්‍රම සමුද්‍රය ලෙස හඳුනාගන්නා වැවට
අඹන් ගඟේ සිට ජලය ගෙන එන එහි ප්‍රධාන ජල ප්‍රභවය වන
අංගමැඬිල්ල ඇල ගොඩවාරි ඇල ලෙස හඳුනාගතහොත්
කාරගඟ යනු
අඹන් ගඟ ලෙස ගත හැක. එසේම
අඹන් ගඟේ ඇලහැර දියහැරවුමේ සිට
මින්නේරිය වැව දක්වා පැරණි යෝධ ඇලෙන් ජලය ගෙන යන බැවින් එම හඳුනාගැනීම
පූජාවලියේ එන සඳහන සමගද මනාව ගැලපේ. තවද
ලග්ගල කඳු පෙදෙසේ සිට පැමිණ
අඹන් ගඟට නාමල් කුමාර ඇල්ල නම් ප්‍රදේශයේදී එකතු වන එහි ප්‍රධාන අතු ගංගාව වන
කළු ගඟේ පැරණි කාර/කර යන ශබ්දය තවමත් ශේෂ වී ඇති බටට මත පළවී ඇත.
|
ඇලහැර ඇල ඔරුබැඳිසියඹලාව අසලදී |
ඇලහැර දිය හැරවුමේ සිට සැතපුම් 20 පමණ දුරකට දිය ගෙන ගිය පසු
දියබෙදුම ලෙසින් හැඳින්වෙන ස්ථානයේදී ඇල කොටස් තුනකට බෙදේ. මින් ඇලවල් දෙකක්
තලාවතුර ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ස්වභාවික ඔයක නිම්නය දෙපසින්
මින්නේරිය වැව දක්වා ගමන් කරයි.
පූජාවලියේ සඳහන් වන
තලවතු ඇළ යන
ඇලහැර යෝධ ඇලට එවකට ව්‍යවහාර වූ නම මෙම ස්වභාවික ඔයේ අදටද ශේෂ වී ඇති බව පෙනේ. සොළි ආක්‍රමණ වලින් පසුව
මහා විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1055 - 1110) බිඳුනු
තිලාවත්තුක ඇල බඳවා
මිනිහිර වැව දිය පිරවූ බව මහාවංශයේ සඳහන් වන බැවින් එම නම අවම වශයෙන්
පොළොන්නරු යුගය ආරම්භයේ සිටවත්
ඇලහැර ඇලට ව්‍යවහාර වූ බව පෙනේ.
මින්නේරිය වැව සහ ඇලහැර ඇලේ වාරි තාක්ෂණය
මින්නේරිය වැව පිහිටා තිබෙන්නේ ඊසාන දිග මෝසමෙන් වැසි ලැබෙන වියලි කලාපය ලෙස හඳුන්වන දේශගුණික කලාපයේය.
නුවරගල කඳු පන්තියෙන් ඇරඹෙන
කිරි ඔය සහ වැවට වයඹ දෙසින් වූ කඳු මතින් ඇදී එන
බටු ඔයේ ජලය එම කලාපය තුලින් වැව පෝෂණය කරන මුත් එම දියවර වසර පුරා වැව ජලයෙන් පුරවා තැබීමට අපොහොසත්ය. විශේෂයෙන්ම යල් කන්නය වන විට ගොවිතැන සඳහා අවැසි ජලය සැපයීමට නම් වෙනත් ජල ප්‍රභවයක් ගැන සලකා බැලීමට සිදුවේ. මේ අවශ්‍යතාව වටහා ගත් පැරණ්නන් ඒ සඳහා කදිම පිළියමක් යෙදූහ. එනම් නිරිත දිග මෝසමෙන් වැසි ලැබෙන
දුම්බර කඳුවැටියේ ජල පෝෂක ප්‍රදේශ හරහා ගලා එන
අඹන් ගඟේ ජලය සැතපුම් 25 ක පමණ ඇල මාර්ගයක් හරහා වියලි කලාපයේ පිහිටි
මින්නේරිය වැව කරා රැගෙන ඒමයි. වැව යනු ජලය රැස් කරන ටැංකියක් ලෙස හෝ ඇල යනු එක් තැනකින් වෙනත් තැනකට ජලය ගෙන යන කානුවක් ලෙස නොසිතූ ඔවුන්
ඇලහැර සිට
මින්නේරිය දක්වා කඳු වැටි දෙකකට මැදිව පිහිටි සම බිම සරුසාර කෙත් යායක් බවට පත් කලේ එම මුලු දුර පුරාම කෙත් බිම් සඳහා
ඇලහැර ඇල මගින් දියවර සැපයීමෙනි.
|
ඇලහැර ඇල ඇලහැර නගරයට දකුණින් පිහිටි දිය හැරවුමේ සිට මින්නේරිය සහ ගිරිතලේ වැව් දක්වා - ඊතල වලින් ලකුණු කර ඇත්තේ ඇල ගමන් කරන මාර්ගයයි |
එසේම
ඇලහැර ඇලේ වම් ඉවුර දෙසින් පිහිටි
කෝඳුරුවාව කඳු පංතියේ සිට ඇදී එන
කෝන්ගැට ඔය, හීරටි ඔය, බකමූණන්ගේ ඇල,කෝට්ටපිටිය ඔය, අත්තනකඩවල ඔය වැනි ජල මූලාශ්‍ර මගින් රැගෙන එන අමතර ජලයෙන්
ඇලහැර ඇල තව දුරටත් පෝෂණය වේ. එම ඔයවල් ඇල හා එක්වන ස්ථාන වල ශක්තිමත් ගල් අත්තිවාරම් සහ ගල් බැමි දමා වේගයෙන් ගලා එන එම ජලපහරවල් වලින් ඇලේ බැමි වලට වන හානිය වලකා ඇත.එසේම විශාල ජලස්කන්ධයක් ඇතුළු වන ස්ථාන වල වතුර උතුරා යෑම පිණිස අඩි 50 පමණ පළල් වූ ගල්වානවල් සාදා තිබී ඇත. කුඹුරු වලට වතුර ගැනීම සඳහ සෑදූ සොරොව්ද ගලින්ම නිර්මිතය.
|
දියබෙදුමේ සිට පැරණි ඇල මාර්ග තිබූ ආකාරය |
ඇලහැර දියහැරවුමේ සිට සැතපුම් 20 පමණ ගිය පසු ඇල කොටස් තුනකට බෙදේ මින් ඇලවල් දෙකක් අප ඉහත පැවසූ පරිදි
තලාවතුර ඔය නිම්නය දෙපසින්
මින්නේරිය වැව දෙසට ගමන් කරයි. තුන්වැනි ඇල ජලය
ගිරිතලේ වැව* දක්වා ගෙන යෑම උදෙසා ඉදි කර ඇත (
ඇලහැර දිය හැරවුමේ සිට
ගිරිතලේ වැව දක්වා ඇලේ දිග සැතපුම් 27 පමණ වේ.) එය මද දුරක් ගොස්
ගිරිතලේ වැවට ගලා බසින ස්වභාවික ඔයක් වන
නාහින්න ඔයට වැටේ. එම ඔයේ ජලය
ගිරිතලේ වැවට ඇතුළු වීමට පෙර
නාහින්න වැව නමින් හැඳින්වෙන කුඩා වැවකට වැටේ. දෙපසින් වූ කඳුවැටි දෙකක් යා කර තැනූ බැම්මක් මගින් සාදා ඇති මෙම වැවේ ජලයෙන් අස්වැද්දිය හැකි කුඹුරු ප්‍රමාණයක් එම වැව සහ
ගිරිතලේ වැව අතර ප්‍රදේශයේ නොමැති බැවින්
බ්‍රොහියර් මහතා මෙය
ගිරිතලේ වැව සෑදීමට ප්‍රථම තිබී පසුව අත්හැර දැමූ වැවක් ලෙස හෝ නොමැති නම්
ගිරිතලේ වැවට ජලය රැස්කිරීමට ඉදි කල වැවක් වන්නට ඇති බව පවසයි. එහෙත්
උදුල බණ්ඩාර අව්සදහාමි මහතා එය කුළු වැවක් ලෙස හඳුනාගනී. මහ වැවට රොන්මඩ එක් රැස් වීම වැලකීම එහි කාර්යභාරයයි. එම අදහස නිවැරදි ලෙස සැලකිය හැක්කේ
තලාවතුර ඔය දෙපසින්
මින්නේරිය වැව දක්වා යන ඇල මාර්ග දෙකද
ඉහකුළු වැව සහ
කටකුළු (කටුකැලි) වැව යන කුළු වැව් දෙකක් හරහා ගොස්
මින්නේරිය වැවට ඇතුළු වන බැවිනි. එහෙත් වර්තමානයේදී සිදුවන්නේ
දියබෙදුමේ සිට
ඇලහැර ඇලෙන් ගෙන එන ජලය
තලාවතූර ඔය හරහා කෙලින්ම
මින්නේරිය වැවට ඇතුළු කිරීමය. ප්‍රතිඵලය දිනෙන් දින
මින්නේරිය වැව රොන්මඩින් පිරීයාමය. එදා වාරි ශිල්පීන් දැන සිටි සරල කරුණ වර්තමාන බටහිර විද්‍යා දැනුමින් උකහා නොගත් අනුකාරකයන්ගේ ශිල්ප දැක්වීම එබඳුය. විශාල වැවක රොන්මඩ ඉවත් කිරීමට වඩා කුළු වැව් වල එකතු වන රොන්මඩ ඉවත් කිරීම පහසු බව පැරණි සිංහලයන් තේරුම් ගත්තද අද අපට එය නොතේරේ.
|
බටහිර දෙසින් කෝඳුරුවාව කඳු වැටියට සහ නැගෙනහිරෙන් සුදු කන්ද කඳු වැටියට අතර පිහිටි ඇලහැර ඇලෙන් පෝෂණය වන ප්‍රදේශය |
* ගිරිතලේ වැව
මහාවංශයට අනුව
දෙවන අග්ගබෝධි (ක්‍රි.ව. 604 - 614)
රජු ගිරිතටා වැව ඉදි කරන ලදී.
කුඩා අග්බෝ ලෙසින් එම රජු හඳුන්වන
පූජාවලිය එම වැව
ගිරිතළා ලෙස හඳුන්වයි.
මහා පරාක්‍රමබාහු රජු පිළිසකර කරවූ වැව් අතර
ගිරිතලාක නම් වැවක්ද මහාවංශය සඳහන් කරයි. මේ සියලු නම් වලින් හැඳින්වෙන්නේ
ගිරිතලේ වැව බව පහසුවෙන් හඳුනාගත හැක.
ඔරුබැඳි සියඹලාව
|
බිම ඇද වැටී ඇති ඔරුබැඳිසියඹලාව - 2008 වසරේදි ගත් ඡායාරූප |
ඇලහැර ඇල ඔරු මගින් ප්‍රවාහන කටයුතු සඳහාද යොදාගත් බවටද ජනප්‍රවාද ඇත.
ඔරුබැඳි සියඹලාව නම් වූ විශාල සියඹලා ගසක්
ඇලහැර නගරයට මදක් උතුරින්
ඇලහැර ඇල අසල ඇති අතර එහි යාත්‍රා ගැටගැසීම නිසා ලකුණු වූ කඹ පාරවල් යැයි පැවසෙන ලකුණු දක්නට තිබී ඇත ( මේ සියඹලා ගස මේ වන විට ඇද වැටී ඇති අතර එහි කඳේ එම ලකුණු තවමත් දැකිය හැක.)
|
යාත්‍රා ගැටගැසීම නිසා ලකුණු වූ කඹ පාරවල් යැයි පැවසෙන ලකුණු - 2008 වසරේදි ගත් ඡායාරූප |
මූලාශ්‍ර
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
- Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
- මහාවංශය, ප්‍රථම භාගය, මොග්ගල්ලාන සංස්කරණය, සිංහල අනුවාදය - අරුණ තලගල
- පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
- Ancient Irrigation Works in Ceylon, Part One, R.L. Brohier, 1934
- වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
- ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
- සිංහල විශ්වකෝෂය, තුන්වැනි කාණ්ඩය
හරිම අපූරු විස්තරාත්මක ලිපියක්!
ReplyDeleteස්තූතියි!!
Delete