Showing posts with label Shiva Devala No 1. Show all posts
Showing posts with label Shiva Devala No 1. Show all posts

Sunday, March 4, 2018

බ්‍රිතාන්‍යයන් දුටු තෝපාරේ...

"පොළොන්නරුව සංචාරය මෙතෙක් විස්තර කල සියලු ගවේෂණ වලට වඩා බරපතළ කර්තව්‍යයකි. එබැවින් ඒ සඳහා උත්සාහ කරන්නන් පළමුව අනුරාධපුරයේ රජයේ ඒජන්ත වෙත ලියා මාර්ග තත්වය විමසා බැලිය යුතු බවට මෙන්ම, අවශ්‍ය කරන සැපයුම් ලබා ගැනීමේ හැකියාව රඳා පවතින්නේ ඔවුන්ගේ හොඳහිත මත වන බැවින්, මූලාදෑනින්ගේ උපකාරය ඉල්ලා සිටිය යුතු බවටද තරයේ අවවාද කර සිටිමි. එය මනා සූදානම් වීම සහ විමසුම නොමැතිව නොයා යුතු සංචාරයකි. එසේම කාන්තාවන් සඳහා එය දුෂ්කර ගමනකි.

හබරන තානායම අසලින් බෙදී ගමන් කරන (දඹුල්ලේ සිට ත්‍රිකුණාමලය දක්වා වන කරත්ත පාරේ සැතපුම් 15 ගිය විට) නව කරත්ත පාර දැනට තෝපාරේ හෙවත් තෝපා වැව දක්වා විහිදී ඇත. එය පොළොන්නරුවම වේ. වසරේ බොහෝ මාස වල එය රෝද සහිත වාහන ගමනාගමනයට සුදුසු වේ. මාර්ගය මින්නේරිය වැවේ දිය පැන්නුම් දෙකක් හරහා (හබරන සිට සැතපුම් 15 ගිය තැන) ගමන් කරයි. දෙවැනි දිය පැන්නුම අසලදී සීගිරිය ගලේ මනා දසුනක් නැරඹිය හැක. ..."

බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට සිවිල් සේවා නිලධාරියෙකු වූ, එසේම H.C.P. බෙල්ට ප්‍රථම පුරාවිද්‍යා කටයුතු පිළිබඳව අධිකාරය දැරූ  S.M. බරෝස්   (S.M. Burrows) වර්ෂ 1905 මෙරට නටබුන් නගර පිළිබඳව රචිත සිය ග්‍රන්ථයේ පොළොන්නරුවේ නටබුන් ස්ථාන නැරඹීම සඳහා යා යුතු දුෂ්කර ගමන පිළිබඳව ඒ ආකාරයෙන් විස්තර කරන්නේ 1905 ට වසර කිහිපයකට පෙර එහි තිබූ තත්වයයි.
ලංකාතිලක පිළිමගෙය උපුටාගැනීම ෆොබ්ස්ගේ Eleven Years in Ceylon
වසර 250 ක් පමණ මෙරට අගනුවර වූ පොළොන්නරුව නගරය සියවස් හතක් පුරා වන ප්‍රවාහයට ලක්වී විනාශ වෙමින් තිබූ අතර ඒ පිළිබඳව බ්‍රිතාන්‍යයන් පළමුවරට දැනගන්නේ වර්ෂ 1820 දී ලුතිනන් ෆගාන් (Lieut. Fagan) විසින් මෙම නටබුන් නගරයට පැමිණ තමන් දුටු දේ විස්තර කරමින් Accounts of the Ruins of Topary නමින් Ceylon Gazette වෙත සැපයූ ලිපියත් සමගිනි. දෙවන සිලෝන් රෙජිමේන්තුවේ (2nd Ceylon Regiment) නිලධාරියෙකු වූ හෙතෙම 1818 නිදහස් අරගලය කෲර ලෙස මර්ධනය කර දැමූ අලුතම පාහේ  හමුදා අනුඛණ්ඩයකට අණ දෙමින් එවකට තෝපා වැව හෙවත් තෝපාරේ ලෙසින් ඉංග්‍රිසීන් වරදවා හැඳින්වූ පැරණි ගම හරහා යාමේදී මෙම නටබුන් දැක ඇත.

ෆගාන් සිය විස්තරයේ ගල් විහාරයේ හිටි පිළිමය ඔහු පළමුව දුටු ආකාරය මෙසේ විස්තර කරයි.

"වනය තුල තවත් සැතපුම් භාගයක් පමණ ඉදිරියට ගිය විට අඩි 80 ක් පමණ දිග, මධ්‍යයෙහි අඩි 30 පමණ උස, දෙපසට ක්‍රමයෙන් බෑවුම් වන, එක්වරම විශාල කළු ගලක් ලෙස දිස්වන ස්ථානයකට මා ලගාවිය. පියවර කිහිපයක් ඉදිරියට ගිය විට මට වැටහුනේ මා අඩු තරමින් අඩි 25 ක් වත් උස කාල වර්ණ දැවන්ත මිනිසෙකුගේ රූපයක් යට සිටින බවය. ඒ අවස්ථාවේ මට ඇතිවූ හැඟීම් මට විස්තර කල නොහැක. තව දුරටත් පිරික්සීමේදී මට සොයා ගැනීමට හැකිවූවේ මෙය සිටගෙන සිටින ඉරියව්වෙන් ඇති, මනා මිණුම් වලට සහ ආකෘතියකට අනුව, මා සිතන පරිදි නිතර හමු නොවන ආකාරයේ, සිය අත් සුන්දර ලෙස පපුව හරහා තබා ගත්, සිවුර සිය වම් අත මතින් වැක්කෙරෙන ලෙස තැනූ බුද්ධ රූපයක් බවය. "
ගල් විහාරය - උපුටා ගැනීම එමර්සන් ටෙනන්ට්ගේ Ancient Ceylon
Eleven Years in Ceylon ලෙසින් තම සංචාරක අත්දැකීම් සටහන් කර තැබූ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙක් මෙන්ම හමුදා නිලධාරියෙකු වූ මේජර් ජොනතන් ෆෝබ්ස් (Major Jonathan Forbes) මෙරට පැරණි නටබුන් ස්ථාන බොහෝමයකම ඇවිද එවකට එම ස්ථාන වල වූ තත්වය ඉදිරිපත් කර ඇත. ඔහු 78 වන හයිලන්ඩර්ස් (78th Highlanders) නම් ස්කොට්ලන්ත සෙබලුන්ගෙන් සමන්විත හමුදා රෙජිමේන්තුවේ අණදෙන්නා ලෙසින් එම රෙජිමේන්තුවත් සමගම වර්ෂ 1826 මෙරටට පැමිණ පසුව වර්ෂ 1829 දී පමණ මාතලේ දිසාවේ රජයේ ඒජන්ත තනතුර ලැබූහ.

'දළදා මාළිගාව' ලෙසින් එවකට වැරදියට හඳුනාගෙන තිබූ පසුව අංක 1 ශිව දේවාලය (එම ශිව දේවාලය පිළිබඳව වූ ලිපිය කියවීමට Link>>) ලෙස නම් කල ගොඩනැගිල්ල නැරඹීමට යාමේදි ඔහුගේ අත්දැකිම් ෆොබ්ස් විස්තර කරන්නේ මෙලෙසිනි. ෆොර්බ්ස් සිය ග්‍රන්ථය මුල් වරට ප්‍රකාශයට පත් කරන්නේ වර්ෂ 1840 දීය.

".....විශාල වශයෙන් වලසුන් මෙම නටබුන් සිය වාසස්ථාන ලෙස තෝරාගෙන ඇත. මෙම 'අභයභූමිය' ඔවුන්ගෙන් කිහිප දෙනෙකු හැරගොස් ඇත්තේ අපගේ පැමිණීමත් සමග ඇසුන ශබ්දය ඇසීමෙන් අනතුරුවය. පොරෝ වලින් සන්නද්ධව සිටියද මග පෙන්වන්නන් පිවිසුම වෙත ලඟාවීමේදි නිතරම බොහෝ උනන්දු ඇතිව වට පිට බලා අපගේ තුවක්කු සූදානම් කර තබාගෙන සිටින ලෙස ඉල්ලා සිටියහ. ගොඩනැගිල්ලට ඇතුළු වීමට පොරොතුව මගපෙන්වන්නා දොරකඩ එක් පසක සිටගෙන ඔහුගේ හිස ඇතුලට දමා හයියෙන් කෑ ගසා, කිසියම් 'සහෝදර වලසෙකු' ඇතුලත සිටී නම්  කැඳවීමට ඔහුට පිළිතුරු දීමට හෝ ඉදිරියට පැමිණ ඉදිරිපත් වීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී අපට ඇතුලු වීමට අවසර ලබාදේ."

අංක 1 ශිව දේවාලය
වලසුන් ගැවසුන පොළොන්නරුව පැරණි නගරයේ බොහෝ නටබුන් අද වන විට පුරාවිද්‍යාඥයන් විසින් කැනීම් කර සංරක්ෂණය කර ඇත. රක්ෂිත වන උද්‍යාන කිහිපයකට පමණක් සීමා වූ වලසා පොළොන්නරුවට ආසන්නම වස්ගමුවේද මේ වන විට කලාතුරකින් දැකිය හැකි දුර්ලභ සතෙක් බවට පත්වී ඇත. තෝපාවැව පැරණි ගම්මානය අද වන විට ලංකා සිතියමින් මැකී ගොස්ය. ජනාකීර්ණ පොළොන්නරුව නව නගරය ඒ වෙනුවට ඉදිවී ඇත. බරෝස් සඳහන් කරන යෑමට අපහසු හබරන- තෝපාවැව කරත්ත පාර අද වන විට කාර්පට් කල නවීන මාර්ගයකි. කොළඹ සිට පැය කිහිපයකින් සුඛෝපභෝගී මෝටර් රථයක නැගී අවශ්‍ය නම් මෑත කාලයේදී එම මාර්ග නැවත කාර්පට් අතුරා ඉදිකල ජන නායකයාට "ඌ හොරා පේනවද පාරවල් හදලා හොරකන් කල හැටි" කියා බැන වදිමින් පහසුවෙන් ලඟා විය හැක.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon North-Central Northern And Central Provinces, Annual Report 1907, H.C.P. Bell, 1911
  • Ceylon, An account of the island physical, historical and topographical with notices of its natural history, antiquities and productions, Sir James Emerson Tennent, 1859
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Authors of Books on Sri Lanka. 1796-1948, C.G. Uragoda, 2011
  • The Buried Cities of Ceylon, A Guide book to Anuradhapura And Polonaruwa S.M. Burrows, 1906

Sunday, February 25, 2018

ජනනාථමංගලම්හි ශිව දේවාල - "දළදා මාළිගය" නොහොත් අංක 1 ශිව දේවාලය

අනුරාධපුරය අගනගරය ලෙස තබාගනිමින් රාජ්‍යය විචාල සිංහල රාජාවලියේ  අවසාන රජු වන පස්වන මහින්ද (ක්‍රි.ව. 982-1017) මහාවංශය දක්වන පරිදි නීති මාර්ගයෙන් ඉවත් වූ, හැම ලෙසකින්ම මොළොක් වූ ජනපද වැසියෝ අයබදු පවා නොගෙවූ දුර්වල පාලකයෙකි. සේන සෙන්පතියා විසින් ගෙන එන ලද විදේශික ජනයා ගැවසුන අනුරාධපුර නගරයේ ඔහු දුක සේ දස වසරක් වාසය කලේය. සම්පත් හීන වූ ඒ රජු සිය සේනාවට වැටුප් ගෙවීමට පවා අසමත් විය. ඉන්පසු වැටුප් නොලැබූ කේරළයෝ කැරලි ගැසූ කල රජු උමගකින් නික්ම වහා රුහුණට පලා ගොස් පළමුව සීදුපබ්බත ගමෙහිද, පසුව කප්පගල්ලක නම් ගමෙහිද සිට රුහුණ පාලනය කරමින් බොහෝ කාලයක් විසූහ. රටේ විවිධ ප්‍රදේශ වල කේරලයෝද, සිංහලයෝද, කර්ණාටකයෝද කැමැති පරිදි ආධිපත්‍යය පැවත්වූහ.

ලංකාවේ වූ මේ අරාජිකත්වය පිළිබඳව විස්තර පරතෙරින් පැමිණි අශ්ව වෙළෙන්දෙක් ආපසු ගොස් චෝළ රජු හට දැන්වූහ. චෝළ රජු ඒ අසා බලසෙන් යවා පස්වන මහින්ද රජුගේ තිස් හයවන වසරේදී (ක්‍රි.ව. 1017) රජු ජීවග්‍රහයෙන් ගෙන, මෙහෙසිය සහ කොල්ලකාගත් රාජකීය කිරුල ඇතුළු සියලු වටිනා දේද සමගින් චෝළ රජු වෙත පිටත් කර යැවූහ. චෝළයන් අනුරාධපුරයේ සියළු වෙහෙර විහාර, ස්තූප බිඳ හෙලා ඒවායෙහි තිබූ වටිනා දේ රැගෙන පොළොන්නරුවේ සිට රක්ඛපාසාණකණ්ඨ නම් තැන සීමා කොට රජරට පාලනය කලහ. මහින්ද රජු දොළොස් වසරක් චෝළ දේශයෙහි වාසය කොට දිවංගත විය (ක්‍රි.ව. 1029 දී).

රටේ සම්පත් නොරටුන්ට විකුණා එදා වේල දුවන, සතුරු බළමුළු අභියස නිවටව කොන්ද නමනා හොරු රැලක් විනා, කොන්ද පණ ඇති පාලකයෙක් නොමැතිව වර්තමානයේ අප ජීවත් වන ලෙසින් වු අරාජික සමයක් මෙයට සියවස් ගනනකට පෙර දස වන සියවසේදී උදා වූ කල රට පරසතුරන් අතට පත් වී සිංහලද්වීපයේ කිරුල සියවස් භාගයක් හෝ එයට මදක් වැඩි කාලයකට (ක්‍රි.ව. 1017 - 1070 ) චෝළයන් අතට පත් වූ ආකාරය මහාවංශය විස්තර කරන්නේ එලෙසිනි.
ශිව දේවාලය අංක 1 ගර්භගෘහය - බටහිර දෙසින්
චෝළයන් යටතේ මුළු ලංකාවම ඔවුන්ගේ දැවැන්ත චෝළ අධිරාජ්‍යයේ එක් ප්‍රාන්තයක් ලෙස පාලනය විය. ඔවුන්ට ලංකාව මුම්මුඩිචෝළ මණ්ඩලම් විය. 'මුම්මුඩි චෝළ' යනු චෝළ අධිරාජයෙකු වූ පළමුවන රාජරාජගේ (ක්‍රි.ව.  985 - 1014) ප්‍රකට විරුදයකි. මුම්මුඩිචෝළ මණ්ඩලම්හි අගනුවර ජනනාථමංගලම් හෙවත් ජනනාථපුරම් ලෙස චෝළයන් නම් කල එතෙක් පුළත්ථිපුර (පොළොන්නරුව, පුලතිස්පුරය,  ඛන්ධාවාරපිට්ඨිය හෙවත් කඳවුරු නුවර Link >>) ලෙස හැඳින්වුන නගරයයි. සිංහල බලය තවමත් ඉතිරි වී තිබූ රුහුණු රටින් සහ මලය රටින් එන ප්‍රතිරෝධයට මුහුණ දීමට එය මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක් විය.
ශිව දේවාලය අංක 1 - දකුණු දෙසින්
චෝළ ආධිපත්‍යය මෙරටට දැඩිව බලපෑ මෙම යුගයේ හෝ ඉන්පසු කාලයේ ඉදි කල හින්දු ආගමික ස්ථාන අවම වශයෙන් 14 පමණ මෙරට පුරාවිද්‍යා ගවේෂණ කාර්යයෙහි පුරෝගාමියා වූ H.C.P. බෙල් මහතා විසිවන සියවසේ මුල් දශකයේදි  වර්තමාන පොළොන්නරුව පැරණි නටබුන් පිහිටි පෙදෙසින් සොයාගනු ලැබිය. මෑත කාලයේ ආලාහන පිරිවෙන සංකීණයේ කැනීම් වලින්ද තවත් ගඩොලින් කල දේවාලයක් හමු වි ඇත.
ගර්භගෘහය තුල ඇති ශිව ලිංගය -ශිව දේවාලය අංක 1
මේ අතුරින් පොළොන්නරුව ඇතුළු නගරට පිවිසෙන ප්‍රධාන දොරටුවට මඳක් උතුරු දෙසින් දළදා මළුවට ආසන්නව පිහිටි ශිව දේවාලය, අංක 1 ශිව දේවාලය ලෙසින් නම් කර ඇත. මේ වන විට භාවිතයේ නැතත් පොළොන්නරුවේ නටබුන් සොයා ගත් මුල් කාලයේ සිටම මෙම කළුගලින් කල ගොඩනැගිල්ල 'දළදා මාළිගාව' ලෙසින් වරදවා හඳුන්වනු ලැබිණි. මේජර් පොර්බ්ස් සහ එමර්සන් ටෙනන්ට් වැනි බ්‍රිතාන්‍ය ලේඛකයන්ද සිය සංචාරක විස්තරයන්හි මෙම ගොඩනැගිල්ල 'දළදා මාළිගය' ලෙසින් හඳුන්වා ඇත (සිත් ඇදහන්නා සුළු විස්තරයක් ඇතුලත් ඔවුන්ගේ සංචාරක සටහන් වෙනත් ලිපියක් මගින් ඉදිරියේදී ඉදිරිපත් කීරිමට බලාපොරොත්තු වෙමි.) බදාම භාවිතයකින් තොරව කළු ගල් කුට්ටි එක මත එක තබා මෙම ශිව දේවාලය ඉදිකර ඇත. එම ලක්ෂණය වෙනත් බොහෝ කළුගලින් කල පොළොන්නරු යුගයේ ගොඩනැගිලි වලද දැකිය හැක. අංක 1 ශිව දේවාලය 11 - 12 සියවස් වල ඉදි කල බවට විශ්වාස කරන අතර එය පාන්ඩ්‍යය ගෘහනිර්මාණ ශෛලයට අනුකූලව ඉදි කර ඇති බව පැවසේ.
ශිව ලිංගය, ලිංගය දෝවනය කරන ජලය පිටවීම සඳහා කලු ගලින් කල පිහිල්ල (සෝමසුත්‍ර) සහ එම ජලය එකතු වීම සඳහා පිටත ඉදි කල කලු ගලින් නිර්මිත වල 
 මෙම දේවාලයද හින්දු දේවාලයක ප්‍රධාන කොටස් වන එහි ඇතුලතින්ම පිහිටි කොටස වන කළු ගලින් සහ ගඩොලින් කල ශිඛරයකින් (හෙවත් විමානය) යුතු ගර්භගෘහයකින්, එයට ඉදිරියෙන් පිහිටි අන්තරාලයකින් සහ පිටතින්ම පිහිටි මණ්ඩපයකින් සමන්විතය. ගර්භගෘහය තුල වන්දනාමාන සඳහා පිහිටවූ ශෛලමය ශිව ලිංගයක් ඇති අතර උත්සව අවස්ථා වලදී හෝ බැතිමතුන් වන්දනා කිරීමේදී ශිව ලිංගය දෝවනය කරන ජලය පිටවීම සඳහා කලු ගලින් ඉදි කල පිහිල්ලක් (මෙය සෝමසුත්‍ර ලෙසින් හැඳින්වේ) සහ එම ජලය එකතු වීම සඳහා පිටත ඉදි කල කලු ගලින් නිර්මිත වලක්ද දැකිය හැක.
පිටත බිත්ති වල දැකිය හැකි කැටයම් සහ කුඩා කුටීර තුල තැන්පත් කර තිබි විනාශ වූ පිළිමයක යට කොටස.
 ගර්භගෘහයේ සහ අන්තරාලයේ පිටත බිත්ති වල කළු ගලින් කල කුඩා කුටිර දැකිය හැකි අතර ඒවායෙහි සෙල්මුවා දේව රූප තැන්පත් කර තිබී ඇති බව දැනටද දැකිය හැකි සුන් බුන් වූ පිළිම කොටස් වලින් පැහැදිලි වේ. එසේම ගර්භගෘහයේ බිත්ති වල කුළුනු හැඩැති කලු ගලින් නිර්මිත කැටයම් කල කොටස් දැකිය හැක. මෙම කුළුනු අතරද විවිධ රූප කැටයම් කර ඇති අතර ඒ අතර දක්නට ඇති අගස්ති සෘෂිවරයාගේයැයි පැවසෙන තවත් පුද්ගලයෙකු සමග සිටින රූප දෙකක් වැදගත් වනුයේ ඒවා පරාක්‍රමබාහුගේ යැයි ප්‍රකට පොත්ගුල් වෙහෙර අසල පිහිටි පිළිමයට බෙහෙවින්ම සමාන හෙයිනි.
කුළුණු හැඩයට කළුගලින් නිර්මිත කොටස්
මෙම ශිව දේවාලයේ 1907 වසරේ සිදු කල කැනීම අතර තුරදී හමුවු ලෝකඩ හින්දු දේවරූප රාශිය මේ වන විට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. නටරාජ පිළිමයක්, ශිව සමග පාර්වති සිටින පිලිරූ දෙකක්, පාර්වති දෙවඟනගේ පිලිරූ දෙකක්, ශෛව සාන්තුවරයෙක් වන මානික්කවාචගර්ගේ පිළිරුවක්, තවත් ශෛව සාන්තුවරයෙක් වන අප්පාර් ස්වාමිගේ පිලිරූ දෙකක් සහ සීනුවක් එම හමුවූ පුරාවස්තු අතර වේ.
පොත්ගුල් වෙහෙර අසල දැකිය හැකි පරාක්‍රමබාහුගේ යැයි ප්‍රචලිත පිළිමයට සමාන ලක්ෂණ දැකිය හැකි හින්දු සෘෂිවරයෙක් වන අගස්ති දැක්වෙන පිලිරූ
මූලාශ්‍ර
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Three, Architecture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Heritage of Rajarata, Chandra Wikramagamage, 2004
  • Archaeological Survey of Ceylon North-Central Northern And Central Provinces, Annual Report 1907, H.C.P. Bell, 1911
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
  • Sri Lanka And The Cholas, W.M.K. wijetunga, 2003
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 2, සංස්කාරක ආචාර්යW.M.K. විජේතුංග, 2012
  • Bronzes From Ceylon in The Colombo Museum, By Ananda K. Coomaraswamy, D.Sc. Edited by Pearson, D.Sc., F.L.S.1914