Showing posts with label Mahayana. Show all posts
Showing posts with label Mahayana. Show all posts

Saturday, July 4, 2026

බුදුරුවගල

 


මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බුදුරුවගල ග්‍රාමයේ පිහිටා ඇති මෙම ස්ථානයේ අඩි 50 කට වඩා උසැති ගල් පර්වතයක මුහුණතක මහායානික සම්ප්‍රදායට අයත් ප්‍රතිමා 7 ක් නෙලා ඇත. මධ්‍යයේ අඩි 52 ක් උස අර්ධ උන්නත හිටි බුදු පිළිමයක් නෙලා ඇති අතර එහි වම් පසින් මීටර 2 ක් පමණ දුරින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ පිළිමයක් සහ එම පිළිමය දෙපසින් තාරා දෙවඟන සහ සුදන කුමාර යන පිළිම නෙලා ඇත. ඒ තරම්ම වූ දුරක් බුදු පිළිමයට දකුණු පසින් ඒ ආකාරයටම මෛත්‍රීය, වජ්‍රපාණී සහ මංජුශ්‍රී යන බෝධිසත්ව පිළිම නෙලා ඇත. දැනට විනාශ වී ඇති මුත් මෙම සියළුම පිළිම වල ආසන වෙනම සකස් කර දෙපා වලට සවිකර තිබූ බවට සාධක දැක ගත හැක. බුදු පිළිමයේ දකුණු අතින් අභය මුද්‍රාව දක්වා ඇති අතර මෙම සියළුම පිළිම හුණු බදාමයෙන් වසා පාට ගල්වා තිබූ බවට සාධක හමුවේ. තවද මෙම පිළිම ආවරණය වන පරිදි සුවිසල් පිළිම ගෙයක්ද තිබූ බවට දැව පරාල හෝ බාල්ක රැදවීමට පිළිම වලට ඉහලින් පර්වතයේ හාරා ඇති සිදුරු අනුව නිගමනය කල හැක.

 කිසිදු ඓතිහාසික මූලාශ්‍රයකින් මෙම පිළිම ඉදි කල කාලය හෝ ඒ සදහා අනුග්‍රාහකත්වය දැක්වූ රාජ්‍ය පාලකයා පිළිබදව කරුණු අනාවරනය නොවන මුත් විවිධ විද්වතුන් විසින් මේවා ඉදි කල කාලය පොදු වර්ෂ 9 - 10 සියවස් අතර කාලය, පොදු වර්ෂ 900 පමණ, පොදු වර්ෂ 8-10 මෙන්ම පොදු වර්ෂ 6-7 හෝ 8 තරම් ඈත කාලයන්ද දක්වා ඇත. මෙම ප්‍රතිමා පිහිටි ස්ථානයට යන මාර්ගයේ මුල් හරියේ එම කාලයටම අයත් පබ්බත විහාරයක නටබුන් මෙන්ම පැරණි වැවක්ද දැක ගත හැක. 

 

Saturday, August 25, 2018

පෙම් යුවලක් නොවන "ඉසුරුමුණියේ පෙම් යුවල"

"හේ සුදුය, ලස්සනට කුමාරයෙකු මෙන් හැඳ පැළඳ සිටි. එහෙත් ඇඳුම ඇඟ පෙණෙන කෙටි පාරුපනයකි (Robe). ශෘංගාරාත්මක භාව ලක්ෂණයන්ගෙන් පිරුණු මුව ඇත්තේ වෙයි. අතෙහි කඩුව ඇත්තේය. දකුණත වරද මුද්‍රාවෙන් යුක්තයි. ප්‍රඥා නැමති ශක්තිය (භාර්යාව) සිනාමුසු මුහුණින් රාගනිශ්‍රිතව පසකින් සිටිනීය."

මංජු ශ්‍රී නම් වූ මහායාන බොධිසත්වයන්ගේ අවතාරයක් වූ "ස්ථිර චක්‍ර" ගෙ හැඩරුව භාරතීය බෞද්ධ ප්‍රතිමා ශිල්පයේ එසේ විස්තර වේ. මෙම ලක්ෂණ සහ අප දැනට "ඉසුරුමුණි පෙම් යුවල" ලෙස හඳුන්වන " ඉසුරුමුණිය" ලෙසින් වරදවා ව්‍යවහාර වන විහාරය අසල පිහිටි කෞතුකාගාරයේ තබා ඇති කැටයමේ ලක්ෂණ සමග බොහෝ දුරට එකඟ වන බව බැලූ බැල්මට පෙනේ. එසේ නම් "ඉසුරුමුණි පෙම් යුවල", මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ "ස්ථිර චක්‍ර" අවතාරයද?

මෙම කැටයමින් නිරූපණය වනුයේ මහායාන අෂ්ට මහා බෝධිසත්වයන්ගෙන් කෙනෙකු වන ඥානයට අධිපති මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ "ස්ථිර චක්‍ර" වේශය බව මහාචාර්ය සෙස්ටියර් (Prof. P.C. Sestieri) මුල් වරට පෙන්වා දී ඇත. පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමිමහාචාර්ය දොහානියන්, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ වැනි වියතුන්ද එම මතය සත්‍ය බව පිළිගනී. සාධනමාලා නම් මහායාන කෘතියේ දැක්වෙන ලෙසට මෙම ස්ථිර චක්‍ර වේශයේ සංකේතය කඩුව වන අතර එය වටා රැස් වලල්ලක් යොදා තිබීමෙන් එම කඩුවෙන් නොහොත් ප්‍රඥාවෙන් විහිදෙන ආලෝකයෙන් අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරන බව හැඟවේ.

එහෙත් මෙම මතය දැඩිව විවේචනය කරන මෙරට මහායාන මූර්ති ශිල්පය පිළිබඳව පර්යේෂණ කල විද්වතෙකු වන මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතා ඉහත සාධනමාලා කෘතියේ දැක්වෙන ලෙසට ස්ථිර චක්‍ර වේශය දරන මංජු ශ්‍රී බෝසතානන් ඔහුගේ එක් අතක කඩුව සහ අනෙක් අතේ 'වරද මුද්‍රාව' දැක්විය යුතු බව පවසයි. එහෙත් ඉසුරුමුණි කැටයමේ වරද මුද්‍රාව එක් අතකින් නොදැක්වෙන අතර කඩුව දැක්වෙන්නේ අනෙක් අතේ නොව උරහිසට පිටුපසින් එහි කොපුව තුල දමා ඇති ලෙසට බවත්, ඒ සමග ඇති රවුම සහ එයින් විහිදෙන ඉරි පලිහක්(Shield) සහ එහි උල් වූ කෙලවරවල් (Pointed edges) බවත් පවසයි.
කඩුව සහ රැස්වලල්ල

මාතලේ දිස්ත්‍රික්කයේ ඇලහැරින් හමු වී ඇති අඟල් 2 ක් පමණ උස 4-5 සියවස් වලට අයත්  මංජු ශ්‍රී බෝධිසත්ව පිළිමයකද එහි දකුණු අතින් කඩුවක් දරා සිටින ආකාරය නිරූපනය වන බවත්, මංජු ශ්‍රී ලෙස හඳුනාගත් බොහෝ පිළිම වල එසේ දැකිය හැකි බවත් ඒ මහතා පවසයි. එහෙත් එවැනි මංජු ශ්‍රී පිලිරූ වල වමතින් 'ප්‍රඥාපාරමිතා' නම් වූ මහායාන ග්‍රන්ථයේ අත් පිටපත් පෙන්විය යුතු බවට ඉහත සාධනමාලා කෘතියේ විස්තර වන මුත්, මෙම ඇලහැර පිලිමයේ වමත එහි වැලමිටින් නමා ඉඟටිය මත තබා ගෙන ඇත. නන්දසේන මුදියන්සේ මහතාට අනුව එය එම පිළිමය මංජු ශ්‍රී ප්‍රතිමාවක් ලෙස හඳුනාගැනීමට බාධාවක් කරගත යුතු නොවේ. තවද බොහෝ මහායාන බෝධිසත්ව ප්‍රතිමා වල හිස් පලඳනාවේ 'ධ්‍යානි බුදු රුවක්' දැකිය හැකි මුත් ඉසුරුමුණි කැටයමේ එවැන්නක් දක්නට නොමැති බව එය මහායාන බෝධිසත්ව රුවක් නොවන බවට වන ඔහුගේ තර්කය තවත් ශක්තිමත් කරමින් මුදියන්සේ මහතා පෙන්වා දෙයි.

මේ අනුව නන්දසේන මුදියන්සේ මහතාගේ නිගමනය 5 වන සියවසට කාල නිර්ණය කල හැකි මෙම කැටයම, ඒ පිළිබඳව වන ජනප්‍රිය මතයම වන පෙම් යුවලක් නිරූපනය කරන කැටයමක්ය යන්නය. කෙසේ නමුත් සාධනමාලා නම් කෘතිය ඊට පසු කාලීන කෘතියක් බවත් එහි ප්‍රතිමා ලක්ෂණ පිළිබඳව විස්තර වන  විකාශනයන් මෙරටට 5 වන සියවස වන විට පැමිණ නොතිබෙන්නට ඇති බවත් ඒ මහතා පවසයි.

පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමියන් පවසන්නේ බොහෝ අවස්ථා වලදී සිංහල නිර්මාණ ශිල්පියා භාරත කැටයම් කලාව අකුරටම අනුගමනය නොකල බවත්, අවස්ථානූකූලව සැලකිය යුතු වෙනස්කම් සිය කැටයම් සහ මූර්ති වල සිදු කල බවත්ය. මේ පිළිබඳව උදාහරන බොහෝ ඇති අතර ඉහත විස්තර වූ ඇලහැරින් හමු වූ මංජු ශ්‍රී ප්‍රතිමාවද එයට එක් නිදසුනක් ලෙස ඉදිරිපත් කල හැක. ඒ අනුව "ඉසුරුමුණි පෙම් යුවලින්ද" මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ ස්ථිර චක්‍ර අවතාරය හෙවත් වේශය සහ ඔහුගේ 'ප්‍රඥා' නමැති 'ශක්තිය' (කාන්තා රූපයෙන්) නිරූපනය වන බවට වන මතය පිළිගැනීමට එවන් සුළු වෙනස් කම් බාධාවක් කර නොගත යුතු බව හැඟේ.

වැලිගලින් නෙලා ඇති මෙම කැටයම ගුප්ත ශෛලයට අනුව නෙලා ඇති බව A.M. හෝකාර්ට්, සෙනරත් පරණවිතාන වැනි වියතුන් පෙන්වා දී ඇත. ඒ අනුව මෙම කැටයම් 5-6 වන සියවස් වලට කාල නිර්ණය කර ඇත. මේ කැටයමින් නිරූපනය වන යුවල පිළිබඳව ඉදිරිපත් වී ඇති වෙනත් මත අතර J.Ph. වෝගල් (J.Ph. Vogel) ඉදිරිපත් කර ඇති යුද සෙබෙලෙකු සිය පෙම්වතිය සමග සිටින කැටයමක්ය යන මතය සඳහා ඔහු පාදක කරගන්නේ පිරිමි රූපයේ පිටුපසින් දැකිය හැකි කඩුව සහ පලිහ වේ. සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කරන සාලිය-අශෝකමාලා යුවල මෙමගින් නිරූපිත බවට වන මතයද මේ වන විටද ජනප්‍රිය මතය වන මුත් එහි එතරම් විදුහුරු බවක් නොපෙනේ. 

මෙමගින් නිරූපිත ලෙස අප මෙම ලිපියේ මුලින්ම සඳහන් කල බොහෝ දුරට පිළිගත හැකි මතය වන මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ ස්ථිර චක්‍ර වේශය නිරූපිත පිලි රූ මෙරටින් පමණක් නොව පැරණි භාරතයෙන්ද සුලභව හමු නොවේ. ඒ අතරින් කල්කටාවේ වහ්ගිය සාහිත්‍ය පරිසද් (Vangiya Sahitya Parisat) නම් ස්ථානයෙන් හමු වී ඇති ප්‍රතිමාව එවැනි ස්ථිර චක්‍ර පිලිරුවක් ලෙස හඳුනාගෙන ඇත ( රූපය >) එහි කඩුව නෙළුම් මලක් මත දක්වා ඇති අතර නෙළුමේ දණ්ඩ බෝධිසත්ව රූපයේ වමතින් දරාගෙන සිටි. දකුණු අතින් වරද මුද්‍රාව දක්වා ඇත. ලලිතාසනයෙන් ඉඳගෙන සිටින ඔහුගේ වම් පසින් ඔහුගේ ශක්ති හෙවත් කාන්තා රූපය දක්වා ඇත. අපගේ ඉසුරුමුණි පෙම් යුවල එම ස්ථිර චක්‍ර නම් වූ මංජු ශ්‍රී බෝධිසත්ව අවතාරය අපටම අනන්‍යය වූ ස්වරූපයකින් දේශිය සිංහල කලාකරුවා ඉදිරිපත් කල ආකාරය විය නොහැකිද? කඩුව වටා තිබෙන වලයාකාර නිරූපනය ඉහත ඉන්දීය පිළිමයේ ආකාරයටම නෙළුම් මලක් මත කඩුව දක්වා ඇති ආකාරය විය නොහැකිද? අතීතයේ බොහෝ විට අපි විවිධ රටවලින් විශේෂයෙන්ම ආසන්න භාරත දේශයෙන් බොහෝ දේ ගත් නමුත්, ඒවා අපටම අනන්‍යය ස්වරූපයක් සහිතව ඉදිරිපත් කල බවට මෙය තවත් එක් උදාහරනයක් නොවන්නේද?

මූලාශ්‍ර
  • The Indian Buddhist Iconography, Mainly based on The Sadhanamala, and Cognate Tantric texts of  Rituals, Bhattacharyya, B. 1958
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Four, Sculpture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959. 
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • අනුරාධපුර නටබුන්, කඹුරුපිටියේ වනරතන හිමි, 1970
  • පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය, නන්දදේව විජේසේකර, 1970
  • Mahayana Monuments in Ceylon, Nandasena Mudiyanse, 1967
  • ඉසුරුමුණිය, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ, 2001


Monday, March 13, 2017

සල්ලි මවන කුවේර,දිසා පාලක වෙසමුණි, යකුන්ට අධිපති වෛශ්‍රවණ සහ මහායාන ජම්බාල


බෞද්ධ මෙන්ම හින්දු සාහිත්‍යයේද දැක්වෙන ආකාරයට කුවේර හෙවත් වෛශ්‍රවණ හෙවත් වෙස්සවන යනු උතුරු දිශාවට අධිපති  දික්පාල නොහොත් ලෝකපාල දෙවියාය. ඔහු යක්ෂ සමූහයාට අධිපති වන අතර වස්තුවට අධිපති දෙවියා මෙන්ම එහි ආරක්ෂකයාද වේ. හින්දු දේව කතා වලට අනුව කුබේර හෙවත් කුවේර සිය යක්ෂ පිරිවර සමග හිමාලයේ කෛලාශකූටයට ආසන්න ආලකපුරය සිය වාසභවන කරගනිමින් වැඩ වෙසේ.

මහායාන බෞද්ධ ඇදහීම් වලට අනුව ජම්බාල යනු ධනයට අධිපති දෙවියාය. ඔහුව වන්දනා කිරීමෙන් මනුෂ්‍ය වර්ගයා හට වස්තුව ලබා ගත හැක. ජම්බාල ධ්‍යානි බුදුවරයෙකු වූ රත්න සම්භවගෙන් ප්‍රභවය වී ඇත. නමුත් අක්ෂෝභය ලබ්දිකයන්ගේ පිලිගැනීම වනුවේ ජම්බාලගේ ප්‍රභවය වෙනත් ධ්‍යානි බුදුවරයෙකු වූ අක්ෂෝභයගෙන් වූ බවය. ජම්බාලගේ ශක්ති හෙවත් බිසව වනුයේ වසුධාරය. සාධනමාලාව නම් ග්‍රන්ථයේ දැක්වෙනුයේ ජම්බාල හට අක්ෂෝභයගෙන් මෙන්ම රත්න සම්භවගෙන්ද ප්‍රභවය විය හැකි බවය. අක්ෂෝභයගෙන් ප්‍රභවය වූ විට ඔහුට හිස් තුනක් සහ අත් සයක් ඇති අතර සිය මහේසිකාව සමග පෙනී සිටි. රත්න සම්භවගෙන් පහල වූ විට දකුණු අතින් මුගටියෙකු සහ වමතින් ජම්බල ගෙඩියක් දරා සිටී. ඔහුගේ ශරීර වර්ණය කහ පාට වේ.
මහායාන සංස්කෘත ග්‍රන්ථයක් වන මහාමයුරි හි කූවේර හඳුන්වා ඇත්තේ ධනේෂ්වර ලෙසය. එහි දැක්වෙන්නේ ඔහු සිංහලයන්ගේ විශ්වාසය අනුව ධනයට අදිපති දෙවියා වන බවය. එහිම සඳහන් වන පරිදි කලසෝදර (කලයක් වැනි උදරයක් ඇති) යනු සිංහල ද්වීපයේ අදහන යක්ෂයන්ට අධිපති දෙවියාය. කලසෝදර යනුද කුවේර විය හැකි බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. කෙසේ වුවද පූර්වයේ පටන් කුවේර ඇදහීම මෙරට තිබූ බවට සාධක ඇත. මහාවංශයට අනුවද වෙස්සවන හට පුද කල නුග වෘක්ෂයක් පණ්ඩුකාභය රජ කල අනුරාධපුරයේ බටහිර දොරටුව අසල තිබී ඇත. අනුරාධපුරයේ දක්ෂිණ දාගැබේ ආයකයේද ඔහුගේ රූපයක් ඇත. අද පවා ජනවහරේ වෙසමුණි රජු ලෙස එම මතකයන් රැඳි පවතී.
මීට පෙරද අප සාකච්චා කල නාලන්ද ගෙඩිගේ එක් පනේලයක කුවේරගේ යැයි H.C.P. බෙල් විසින් මුල් වරට හඳුනාගත් ප්‍රතිමාවක් ඇත. එම පිළිමයේ දකුණු අතින් වරද මුද්‍රාව දැක්වෙන අතර වම් අතින් පසුම්බියක් දරා සිටී. පපුව සහ බඩ හරහා යන උපවිතක් ඇති අතර අත්පටි සහ මාල පැළැඳ සිටි. හිසට ඉහලින් ඡත්‍රයක් ඇති අතර දෙපසින් අහසින් ගමන් කරන විද්‍යාදරයන්ගේ රූප දක්නට ඇත. පල්ලව සම්ප්‍රදායේ ලක්ෂණ මෙම පිළිමයේ මුහුණේ සහ පා වල දක්වෙන බව මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසයි.  වෙනත් රටවලින් ලැබී ඇති ජම්බාල ප්‍රතිමා වල වමතින් මුගටියා වෙනුවට පසුම්බියක් හෝ මුගටියා සහ පසුම්බිය යන දෙකම දක්නට ඇති බව පවසන ඒ මහතා ඒ අනුව මේ පිළිමය ජම්බාල හෙවත් කුවේරගේ ප්‍රතිමාවක් ලෙස හඳුනාගනී.

මූලාශ්‍ර
  • Mahayana Monuments in Ceylon, Nandasena Mudiyanse, 1967
  • History of Ceylon, Volume 1, Part 1, 1959
  • Pre-Buddhist Religious Beliefs in Ceylon, S. Paranavitana, Journal of Royal Asiatic Society (Ceylon Branch), Vol. 31, Part 82. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
ආශ්‍රිත පෙර ලිපි

Friday, March 10, 2017

නීලපට දර්ශණය, රති පූජාව, තන්ත්‍රයානය සහ නාලන්ද ගෙඩිගේ

පුද්ගලයන් තිදෙනෙකු එකිනෙකා සමග මෛථුනයේ යෙදෙන ආකාරය දැක්වෙන කැටයම
නීලපට දර්ශණය
කුමාරදාස රජු මෙරට පාලනය කරන කාලයෙහි දඹදිව දක්ෂිණ මධුරායෙහි විසූ ශ්‍රි හර්ෂ නම් රජ කෙනෙකුන් කල, සම්මිත්තිය නිකාය වාසී වූ භික්ෂුවක් රාත්‍රි කාලයෙහි නිල් වස්ත්‍රයක් පෙරව වෛශ්‍යා වාසයකට ගොස් එහි ලැග, පහන් වූ යාමයේ නැවත විහාරයට යන කල ඔහුගේ ශිෂ්‍යයෝ එය දැක " මේ වේශය යහපත්දැයි?" විචාල බවත්, එවිට තමා ගත් වේශය බොහෝ දෙනා දුටු හෙයින් එය වර්ණනා කර එහි අනුහස් පැවසූ බවත්, ඔහුගේ වචන පිලිගත් අනෙකුත් භික්ෂුන්ද නිල් රෙදි පෙරවි බැවින් එය නීලපට දර්ශණය ලෙස ප්‍රචලිත වූ බවත් නිකාය සංග්‍රහයේ සඳහන් වේ. ඔවුන් නීලපට දර්ශණ නම් වූ ග්‍රන්ථයක් කල බවත් වෛශ්‍යාංගනාවන් ඇසුර, සුරා පානය, සහ කාමදේවයා ඇදහීම තුන් රත්නය ලෙස සැලකු බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. කෙසේ නමුදු ශ්‍රි හර්ෂ රජු මේ බව සැලවී, මේ වනාහී ධර්මයක් නොව ශාසන භේදයක් බව වටහා ගෙන ඔවුන් ගෙන්වා ඔවුන්ගේ පොත් පත්ද සමගින් ප්‍රාසාදයකට ඇතුළු කර අග්නි පූජා කල බව නිකාය සංග්‍රහය පවසයි. කෙසේ නමුත් ඉන්පසු ඉතිරි වූ අනුගාමිකයන් මුල් නොසිදුනු ව්‍යාධියක් මෙන් පැතිර ගිය බවත් ලක්දිව පවා පැතිරුණු බවත් නිකාය සංග්‍රහය අවසානයේ සඳහන් කරයි. නීල සධන යනු තාන්ත්‍රික ඇදහීම් වලට ව්‍යවහාර වූ නමක් බවත් නීලපට දර්ශණය ලෙස වංශ කතාව දක්වන්නේ එම ඇදහිල්ල විය හැකි බවත් සෙනරත් පරණවිතාන, නන්දසේන මුදියන්සේ වැනි වියතුන්ගේ අදහසයි.
නාලන්ද ගෙඩිගේ
තන්ත්‍රයානය 
හින්දු තාන්ත්‍රික ඇදහීම් මහායාන බෞද්ධ දර්ශණය තුලට අවශෝෂණය වීමත් සමග නොයෙකුත් හින්දු දෙවියන් සහ දේවතාවියන්ට අනුකූල බෞද්ධ දෙවිවරු ඇතිවිය. ඔවුන් ධ්‍යානී බුදුවරු ලෙස වර්ග කෙරුණි. මෙම ඇදහීම් තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් ලෙස පොදුවේ හැඳින්වේ. නීලපට දර්ශණය ලෙස නිකාය සංග්‍රහයේ සඳහන් වන විස්තරය පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය මොරටුවේ සාසනරතන හිමියන් 'සම්මත' නම් ආචාර්යයන් විසින් පිහිටුවන ලද බැවින් 'සම්මිතිය' නම් වූ නිකාය, නීලපට දර්ශණය ලෙස නිකාය සංග්‍රහය කතුවරයා විසින් හඳුන්වා ඇති බව පෙන්වා දෙයි. නීලපට දර්ශණය යනුවෙන් හැඳින්වෙන ග්‍රන්ථය ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථයක් විය හැකි බවත් නිකාය සංග්‍රහය කතුවරයා දක්වන සිද්ධිය කොතරම් දුරට සත්‍යක්ද යන්න සෙවිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි. එම ග්‍රන්ථයේ එන ලෙස නිකාය සංග්‍රහය දක්වන 'වෛශ්‍යාරත්නං සුරාරත්නං...' යන පද්‍යයෙන් දැක්වෙන්නේ එම වචන වලින් සාමාන්‍ය ව්‍යවහාරයේ දැක්වෙන දේ නොව වෙනත් ගුප්ත දාර්ශණික ඉගැන්වීම් විය හැකි බවය උන්වහන්සේගේ අදහස.
හිටි බුදු පිළිමයක්- නාලන්ද ගෙඩිගේ 
නාලන්ද ගෙඩිගේ
මාතලේ දිස්ත්‍රික්කයේ බෝවතැන්න ජලාශය ආසන්නයේ තිබෙන නාලන්ද ගෙඩිගේ ලෙස ජන ව්‍යවහාරයේ හැඳින්වෙන පල්ලව සම්ප්‍රදායට අයත් ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත පිළිම ගෘහයේ පාදමේ ඇති එක් සුවිශේෂ කැටයමක් වැදගත් වන්නේ මෙරට පැරණි බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පීන් අතින් නිර්මාණය වූ අනිකුත් ස්ථාන වල ඇති කැටයම් සමග සැසදීමේදි මෙහි විෂය අසාමාන්‍ය එකක් වීම නිසාය. පුද්ගලයන් තිදෙනෙකු අතර සිදුවන ශෘංගාරාත්මක මෛථුන සම්බන්ධතාවයක් එයට වස්තු විෂය වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසන්නේ ශෛලිය අතින් නාලන්ද ගෙඩිගෙය 8 වන ශත වර්ෂයට පමණ අයත් විය හැකි බවත්, එයින් එම කාලයේ පැවති තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් වල නරකම ආකෘතියක්(Worst form) පිළිබිඹු වන බවත්ය. අභයගිරි පරිශ්‍රයෙන් සොයාගත් ධාරණී ගල් වලද සඳහන් වන රති පූජාවන් ඉහත ගල් කැටයමින් නිරූපණය වනවා විය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ස්ථානයේ කණුවක දක්නට තිබූ මෙවන් තවත් කැටයමක් පිළිබඳ 1910-11 වර්ෂ සඳහා වූ H.C,P. බෙල් මහතාගේ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ සඳහන් වන මුත් එය මේ වන විට සොයාගැනිමට නොහැක. මේ නිසා මේ ස්ථානය තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් සිදු කල ස්ථානයක් ලෙස හඳුනාගත හැක. මෙයට ආසන්නව ස්ථූපයක් දක්නට ඇති අතර විහාර ගෙය තුල හිටි බුදු පිළිම සහ වෙනත් මූර්ති කිහිපයක අවශේෂද දක්නට ඇත. ස්ථානය පුරා විවිධ ආකාරයේ ශෛලමය නිර්මාණ වල නටබුන් විසිරි පවති.
නාලන්ද ගෙඩිගේ

මූලාශ්‍ර
  • ලක්දිව මහායාන අදහස්, මහාචාර්ය පණ්ඩිත මොරටුවේ සාසනරතන ස්ථවිර, 1952
  • Mahayana Monuments in Ceylon, Nandasena Mudiyanse, 1967
  • History of Ceylon, Voume 1, Part 1, 1959
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • ලංකාවේ මහායානවාදය, සෙනරත් පරණවිතාන, පුරාණ යුගය, ශාස්ත්‍රිය ලිපි, පළවෙනි කාණ්ඩය, 1962

Sunday, June 26, 2016

කුෂ්ටරාජගල පිළිමය කුෂ්ට රෝගී රජෙකුගේද?

දකුණු පළාතේ වැලිගම අග්‍රබෝධි විහාරයට ආසන්නව කළු ගලක ඇතුලට හෑරූ විවරයක් තුල නෙලා ඇති මීටර් 3.83 පමණ උස පිළිමයක් සාමාන‍ය ව්‍යවහාරයේ කුෂ්ටරාජගල පිළිමය යනුවෙන් හැඳින්වේ.ජනප්‍රවාදයට අනුව කුෂ්ට රෝගයකින් පෙළුන  කුමාරයකු (ඇතැම් තන්හි ඔහු දේශිය රජ කුමරුවෙකු ලෙස පැවසෙන අතර භාරතීය හෝ වෙනත් විදේශීය රජ කුමරුවෙකු ලෙස පැවසෙන ජනප්‍රවාදද ඇතැම් මූලාශ්‍ර වල හමුවේ) විසින් තමුන්ව නිරූපණය කරමින් ඉදිකල මෙය සෑදීමට හේතු වූවේ දරුණු කුෂ්ට රෝගයකින් පෙළුන මෙම රජ කුමාරයා අග්‍රබෝධි විහාරයට තම කුෂ්ට රෝගය හොඳ වීමට ඉටුකල භාරයක් ඔප්පු කිරීමක් ලෙස පැවසේ. එසේම ඔහු මෙම ස්ථානයේ එක දිගට මාස තුනක් තැඹිලි පමණක් ආහාරයට ගනිමින් ගත කල නිසා එය හොඳ වූ බවද එම ජනප්‍රවාද වල කියවේ. කෙසේ නමුත් මෙම පිළිමය නෙලා ඇති ගලේ ස්වාභාවිකව තැනින් තැන තිබෙන ලා පැහැති පැල්ලම් නිසා මෙම ජනප්‍රවාද බිහිවන්නට ඇති බව මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසයි.

මේ පිළිබඳ අධ්‍යනය කල විද්වතුන් මෙම පිළිමයෙන් නිරූපණය වන්නේ රජෙකු හෝ රජ කුමරුවෙකුය යන මතය බැහැර කරන  අතර එය මහායාන බෝධිසත්ව පිළිමයක් බව අවිවාදිතව පිලිගනී. එහෙත් ඒ කුමන බෝධිසත්වයෙකුගේද යන්න පිළිබඳව නම් ඔවුන් අතර එක් මතයක් නොමැත.

මේ පිළිබඳව 1925 දී පමණ අදහසක් දක්වන ආචාර්ය A. නෙල් (A.Nell) ට අනුව මෙයින් නිරූපණය වන්නේ සිංහනාද අවලෝකිතේස්වර බෝධිසත්වයන්ය. දේශීය ජනප්‍රවාදය හා මනාව ගැලපීමක් දක්වමින් සිංහනාද අවලෝකිතේස්වර සියළු රෝග විශේෂයෙන් කුෂ්ට රෝග නිවාරණය සම්බන්ධයෙන් ප්‍රචලිත බෝධිසත්වයෙකු වශයෙන්  මහායාන ධර්මය පැතුරුනු රටවල වන්දනා මාන කරයි. එසේම වෙනත් ජනප්‍රවාදයකට අනුව මේ පිළිමයෙන් නිරූපනය වන බව පවසන්නේ නාථ දෙවියන්ය. නාථ යනු පැහැදිලිවම අවලෝකිතිස්වරනාථ යන්නන් බිඳී ආවක් බව විද්වත් මතයයි.

මෙම පිළිමයේ හිස් පළඳනාවේ ධ්‍යානි බුඳු පිළිම 4ක් පෙනෙන්නට ඇති අතර හිස පසු පසින් තවත් පිළිමයක් ඇති ලෙස සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. දකුණතින් ව්‍යාක්යාන මුද්‍රව සහ වමතින් කටක හස්ත මුද්‍රව දරන ලෙස හඳුනාගන්නා මහාචාර්ය නන්දසේන මුදියන්සේද මෙය සිංහනාද අවලෝකිතේස්වර ලෙස හඳුනා ගනී. ධ්‍යානි බුද්ධ රූප සමාධි ඉරියව්වෙන් ඇති බැවින් ඒවායින් අමිතාභ ධ්‍යානි බුදුවරයාව නිරූපිත ලෙස හෙතෙම හඳුනා ගනී (Mahayana monuments in Ceylon, 1967). අමිතාභ යනු මහායාන සංකල්ප වලට අනුව ධ්‍යානි බුදුවරයන්ගේ ආදිතමයාය. එසේම බෝධිසත්ව අවලෝකිතේස්වරගේ ආධ්‍යාත්මික ගුරුවරයාය. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ද මුල් කාලයේ මෙය අවලෝකිතේස්වර  පිළිමයක් ලෙස හඳුනාගනී. (History of Ceylon Vol 1 Part 1, 1959)

පරණවිතාන අභිනන්දන ලිපි එකතුවට ලිපියක් සපයමින් මහාචාර්ය වැන් ලෝහ්ව්සන් (J.E. van Lohuizen-De Leeuw) 1965 දී මෙය සමන්ත්‍රභද්‍රගේ බවට මතයක් ඉදිරිපත් කරයි. වැලිගම පිලිමයෙහි දකුණු අතෙහි විතර්ක මුද්‍රාව නිරූපණය වන බව පවසන ඇය එහි මැණිකක් නිරූපණය කර ඇති බව H.W. කේව් (H.W.Cave) 1908 දී  පමණ ගත් ඡායාරූප වල පැහැදිලිව පෙනෙන බැවින් සහ විතර්ක මුද්‍රාව පෙන්වන එකම ආදි  බුදුවරයා සමන්ත්‍රභද්‍ර බැවින් කුෂ්ටරාජගල පිළිමය සමන්ත්‍රභද්‍රගේ ධර්මකාය වේශය බව නිශ්චිතවම පවසයි. (සමන් දෙවි ලෙසින් වර්තමානයේ වන්දනාමාන කරන්නේ සමන්ත්‍රභද්‍ර බව පරණවිතාන මහතා මීට පෙර මතයක් ඉදිරිපත් කර තිබුණි.) පරණවිතාන මහතාද පසු කාලයේ මෙය සමන්ත්‍රභද්‍රගේ විය හැකි බව පිලිගනී. මෑත කාලයේ මහාචාර්ය P.L.ප්‍රේමතිලක මහතාද මඤ්ජුශ්‍රී චිත්‍රකර්මශාස්ත්‍ර නම් වාස්තු විද්‍යා ග්‍රන්ථයේ එන ශ්ලෝකයක් අනුසාරයෙන් මෙය අෂ්ටමහා බෝධිසත්වයන්ගෙන් කෙනෙකු වන සමන්ත්‍රභද්‍ර නිරූපිත පිළිමයක් බව පවසයි.

මේ පිළිබඳව වෙනස් මතයක් ඉදිරිපත් කරන මහාචාර්ය දොහානියන් (D.K. Dohanian) සාමාන්‍යයෙන් සිය හිස් පළඳනාව වටා ධ්‍යානි බුදු රූ පහක් දරන්නේ සිංහනාද අවලෝකිතෙශ්වර නොව මඤ්ජුශ්‍රී බෝධිසත්වයන් බව පවසයි. ඔහුගේ එක් අතක චින් මුද්‍රාව සහ අනික් අතේ නිල් මහනෙල් මලක් දරයි. ඉතාම මෑත කාලයේ මේ සියලු මත පිළිබඳ සමාලෝචනයක් කරන මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ මහතා ප්‍රේමතිලක මහතා කලින් සදහන් කල ශ්ලෝකයෙන් විස්තර වෙන්නේ සමන්ත්‍රභද්‍ර නොව මඤ්ජුශ්‍රී බව එහි පැරණි පුස්කොළ පොතක් අනුසාරයෙන් ගෙනහැර පායි. එම ශ්ලෝක වලට අනුව ධ්‍යානි බුදු රූ පහ සහ චින් මුද්‍රාව හෙවත් චිහ්න මුද්‍රාව දරන්නේ මඤ්ජුශ්‍රී බෝධිසත්වයන්ය. එසේම විතර්ක මුද්‍රාවට ඉතාමත් සමාන චින් මුද්‍රාව අර්ධ උන්නතව නෙලා ඇති කුෂ්ටරාජගල පිළිමයේ දැක්වීම අපහසුය. එහෙයින් ඒ මහතාට අනුව දොහානියන් පෙර ඉදිරිපත් කල මතය එනම් මෙයින් නිරූපණය වන්නේ පංචවීර කුමාර මඤ්ජුශ්‍රී යන මතය නිවැරදිය.

පිළිමයේ ශෛලිය අනුව මෙය ගුප්ත සම්ප්‍රදායයේ  ලක්ෂණ පෙන්නුම් කරන බවත් එනයින් මෙය 7- 8 ශතවර්ෂ වල ඉදිලක එකක් ලෙස සැලකිය හැකි බවත් මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසයි.

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Raven-Hart, R. 1964, Ceylon History in Stone.
  • Mudiyansea N., 1967 Mahayana Monuments in Ceylon.
  • Brohier R.L., 1965 Seeing Ceylon
  • චන්ද්‍රා වික්‍රමගමගේ, 2006, ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව
  • Paranavitana Felicitation Volume, 1965
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • Abeyawardana H.A.P., 2001, Heritage of Ruhuna
  • Handbook for the Ceylon Traveler, 1983


Thursday, February 4, 2016

සිංහල බෞද්ධයනට යුද්ධය අකැපද?

1948 දී සුද්දාගෙන් ලැබුනායැයි කියන නිදහසේ 68 වැනි සංවත්සරය අද දින සමරන්නේ උත්සවය අව් රශ්මියෙන් මිදීමට දවසේ කොටස් දෙකකට කඩා ජාතීන් දෙකක් නියෝජනය කිරීමට භාෂා දෙකකින් ජාතික ගී දෙකක්ද ගයාය. බටහිර අධිරාජ්‍යවාදීන් මෙහි පැමිණ අප රටේ සිදුවූවායැයි කියන යුධ අපරාද පිළිබඳ නඩු ඇසීමට තරම් අපි අද ස්වාධීනය. ඉන්දියාවේ බලහත්කාරයෙන් අපට මුලුමනින්ම අවාසි සහගත වෙළඳ ගිවිසුම් වලට එකඟ වීමට තරම් අපි අද නිවහල්ය. සිදුවිම් සිදුවන වේගය හා සසඳා බලීමේදි 69 වන 'නිදහස' ජාතික ගී දෙක රටේ කොන් දෙකක ගයා රටවල් දෙකක් ලෙස සැමරීමද සිදුවීමට බොහෝ සෙයින් ඉඩ ඇත. 'නිදහස' සැමරීමේදිද ගල් පිලිම යට ගොස් ඊනියා 'ජාතික වීර' බොල් පිලිම වලට මල්මාලා පලඳවනු පෙනේ.

මේ රටේ නිදහස උදෙසා සියවස් ගණනාවක් ලෙයින් යකඩින් සටන් කල විරුවන් අවතක්සේරුවට ලක් කිරීමේ ව්‍යාපාරයක්ද සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවක් පෙනේ. යුධ විරුවන් දඟ ගෙට යැවීමෙන් නොනැවති මතවාදීමය වශයෙන් සිංහල බෞද්ධයනට රට වෙනුවෙන් සටන් වැදීම අකැප බව ඉස්මතු කරලීම උදෙසා 'NGO ඩොලර් හිඟන්නන්ද' සිය කලා නිර්මාණ යොදා ගන්නා ආකාරයක් පෙනී යයි . මින් ඇතමුන්ට අනුව දුටුගැමුණු රජු රැවන්වැලිසෑය සැදුවේද යුද්ධයෙන් කල පව් නිසා ඇතිවූ සන්තාපය නිසාය.

එවන් තත්වයක් යටතේ. එවකට පුරාවිද්‍යා කොමසාරිස් දූරය දැරූ H.C.P. බෙල් මහතා 1896 වසරේදී වර්තමාන විල්පත්තු වන උද්‍යානයට අයත් වෙලන දමන නම් ප්‍රදේශයෙන් සොයා ගත් ගල් පුවරුවක අර්ථකතනය පිළිබඳ විමසීම කාලින යැයි සිතුවේ සිංහල බෞද්ධයනට යුද්ද කිරිමට එපා යැයි කියන උන්මන්තකයනට අවශ්‍ය පිළිතුර එහි ගැබ්ව ඇති බැවිණි.

1947 වසරේ අනුරාධපුර පුරාවිද්යා කෞතුකාගාරයට ගෙනියන එම ගල් පුවරුව අද දක්වාම එහි තැන්පත් කර ඇත. පනේල දෙකකින් සමන්විත එහි ඉහල පනේලයේ දෙපස පවන් සලන කාන්තා රූප දෙකක් සහිත ධ්‍යානි බුද්ධ රූපයක්ද, පහල පුවරුවේ යුද්දයක අවස්ථාවක්ද නිරූපණය කර ඇත. එහි කඩුවක් සහ පලිහක් අතින් ගත් යුද්ධ භටයකු සහ හෙල්ලයක් අතින් ගත් ඔහුගේ ආධාර කරුවෙකු නිරූපිත අතර ඔවුන් දුණු ඊතල ගත් සතුරන් සිව් දෙනෙකු සමග සටන් කරනු පෙනේ. ඉන් තිදෙනෙකු මැරී වැටී ඇති හෝ පණ අදිමින් සිටින බවක් පෙන්වයි. මුලින් සඳහන් කල විරුවා ඊතල දෙකක් වැදී තුවාල ලබා ඇති මුත් එක් සතුරෙකුගේ බඩට අනිණ ආකාරයක් පෙන්වයි.

බෙල් විසින් මෙය නන්දිමිත්‍ර යෝධයා නිරූපිත කැටයමක් ලෙස අර්ථ දක්වන මුත් ඊට වඩා පිලිගත හැකි මට්ටමේ අර්ථකතනයක් පසු කාලයකදි පරණවිතාන මහතා විසින් ඉදිරිපත් කරයි. එය මහායාන බෞද්ධ ඵලකයක් ලෙස හඳුනා ගන්නා එතුමන් එහි ඉහල කොටසේ ඇති බුදුරුව අක්සෝබ්ය ධ්‍යානි බුද්ධ (Aksobhya) රූපයක් ලෙස හඳුනා ගනී. මහායාන ඇදහීම් වලට අනුව අක්සෝබ්ය බුද්ධ මගින් නිරූපණය වනුයේ විඥ්ඥාණයයි (Consciousness) එනම් ආත්මයයි(Soul). ඉහල සහ පහල පුවරු අතර සම්බන්ධය ඔහුට අනුව යුද්ධ භූමීයේ සිඳුවන මරණය ආත්මය දෙව්ලොව සම්පත් සාක්ෂාත් කරගැනීමෙන් කෙලවර වේ. කියවිය නොහැකි මට්ටමේ සෙල්ලිපියක්ද මෙම පුවරුවේ පහල කොටසේ ඇති අතර එම අකුරු මඟින් මෙය 10 -12 ශතවර්ෂ වලට අයත් බව පරණවිතාන මහතා හඳුනාගනී.

රටක ජාතියක පැවැත්ම උදෙසා ඒ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගත යුතුය. ජාතියක් වශයෙන් එහි අභ්‍යන්තර සහ බාහිර සතුරන්ගෙන් එය රැක ගත යුතුය. අවිහිංසාවාදී ථෙරවාද බුදු දහම කුමක් කීවද ධර්මය රැකෙන්නේද ඒ හා බැඳුන ජාතියේ පැවත්ම මතය. මහායාන ඇදහීම් ඒ යුගයේ මෙරට විසාල බලපෑමක් කල බවට සාධක ලිබිත සහ පුරාවිද්යාත්මක වශයෙන් ඉමහත්ය. එය ඇතැම් විට පර සතුරු උවදුරු වලින් රට ජාතිය රැක ගැනීමට ඒ යුගයේ අවශ්‍යතාවයක් වූවා විය හැක. යුධ භටයා මරණින් පසු සැබවින්ම යන්නේ අපායටද දෙව්ලොවටද යන්න මෙහිදී එතරම් අදාල නොවේ මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගී සිටිය යුතුය. යුගයේ ගායිකාව නන්දා මාලනියගේ හඩින් මෙසේ ගැයෙන්නේද එම අවශ්‍යතාවයයි



මූලාශ්‍ර
Mahayana monuments in Ceylon , Nandasena Mudiyanse, 1967

Friday, September 11, 2015

ත්‍රිකුණාමලයෙන් ලන්ඩන් ගිය තාරා දෙවඟන


බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඉන්දියානු අංශයට ඇතුලු වන ඔනෑම් පුද්ගලයකුගේ එක්වරම නෙත ගැටෙන අඩි 5 කට මදක් අඩු උසින් යුතු උඩුකය නිරුවත් ලෝකඩ කාන්තා පිලිරුවක් ඇත. එය රත්‍රන් ආලේපිත ශ්‍රි ලංකාවේ ඊසාන දිග පෙදෙසින් සොයාගත් 10 වන ශතවර්ෂයට අයත් ලෝකඩ තාරා හිටි පිලිමයක් යනුවෙන් ඒ සමග ඇති විස්තරයේ වැඩිදුරටත් සදහන් වේ. කවුද මේ තාරා?
           රාජකීය ආසියාතික සංගමගේ  බ්‍රිතාන්‍ය ශාඛාවේ (Royal Asiatic Society - Great Britain) සඟරාවේ 1901 අප්‍රියෙල් කලාපයට ලිපියක් සපයමින් ආනන්ද කුමාරස්වාමි වියතානන් මෙය ලංකාවේ මහායාන සම්ප්‍රදාය හා බැදි පිලිමයක් විය හැකි බව මුල්වරට පවසයි. නමුත් 1914 දී කොළඹ කෞතුකාගාරය මගින් ප්‍රකාශිත ඒ මහතාගේම Bronzes from Ceylon Chiefly in the Colombo Museum නම් වූ ශාස්ත්‍රිය නිබන්දනයේදි ඔහු එය පත්තිනි දේවියගේ පිලිරුවක් ලෙස හඳුන්වාදෙයි. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයත් මඩකලපුවත් අතර කිසියම් ස්ථානයකින් සොයාගත් 143.75 cm පමණ උසින් යුත් එම පිලිමය 1830 දී ශ්‍රිමත් රොබට් බ්‍රවුන්රිග් විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පිරිනමා ඇත. දකුනු අතින් වර මුද්‍රාවත් වමතින් විතර්ක මුද්‍රාවත් නිරූපනය වන එම පිලිමයේ උස් ශීර්ෂ පලදනාවේ දක්නට ලැබෙන කුහරයේ මාණික්‍යයක් තිබෙන්නට ඇතැයි එතුමන් අනුමාන කරයි. පිලිමයේ කාල නිර්ණය 7 හෝ 8 වැනි සියවසේ විය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි (කෙසේ නමුත් කුමාරස්වාමි මහතාගේ පසු කාලීන[1972] කෘතියක් වන History of Indian and Indonesian Art හි මෙම පිළිමය 10 වන ශත වර්ෂයේ විය හැකි බවටද සඳහන් වේ.).
            ශ්‍රී ලංකාවේ මහායාන බුදධාගමේ ඉතිහාසය පිලිබද පර්යේෂකයෙක් වන මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතා මෙම පිළිමය මහායාන අවලෝකතීශ්වර බෝධිසත්වයන්ගේ මහේසිකාව වන තාරා දෙවඟනගේ බව පවසයි (Mudiyansea N., 1967). බුදුරුවගල, වේගිරිය දේවාලය සහ කුරුණෑගල ගන් ආරාමය විහාරය වැනි ස්ථාන වලින් හමූ වි ඇති වෙනත් තාරා පිළිම වලින් මෙන්ම අනුරාධපුර විජයාරාමයෙන් හමූ වූ 9 වන ශත වර්ෂයට පමණ අයත් සංස්කෘත තඹ ඵලක වලද තාරා දෙවඟන යඳින ස්තොත්‍ර තිබීමෙන් එම යුග වලදි වෙනත් තාන්ත්‍රික ඇදහීම් සමග තාරා දෙවඟන ඇදහීමද මෙරට තිබූ බවට සාක්ෂ්‍ය සැපැයේ. අවම වශයෙන් එම ඇදහීම් 14 වන ශත වර්ෂය දක්වාම පැවැති බවට තිසර සන්දේශයේ එන මෙම කවියෙන්ද පසක් වේ.

බෝරා යස වියන මහරු සිරිලක් මදුර වෙසෙසී
තෝරා හැර දුසිරි සුසිරි ලකරින් ලකළ එකසී
වාරා නොව රුසිරු ඉසුරු දෙන සුරබිදෙන් සදිසී
තාරා බිසොවුනුදු නැමැද යා ගන් එයින් නොලැසී

     නන්දසේන මුදියන්සේ මහතා මෙම පිළිමයේ ශීර්ෂ පලඳනාවේ ඇති කුහරය තුල ධ්‍යානි බුදු රුවක් තිබෙන්නට ඇති බවත් මෙය තාරා දෙවඟනගේ ලෙස හඳුනාගැනීම නිවැරදි නම් එය අමෝගසිද්ධි බුදු රුවක් විය හැකි බවත්, බුදුරුවගල වැනි වෙනත් තාරා දේව රූප වල දැකිය හැකි ලක්ෂණ මෙම පිළිරුවේද ඇති බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

මූලාශ්‍ර: 
Coomaraswamy A. K., 1914, Bronzes from Ceylon Chiefly in the Colombo Museum
Coomaraswamy A. K., 1972, History of Indian and Indonesian Art
de.Silva P.H.D.H., 1975 A Catalogue of Antiquities And Other Cultural Objects From Sri Lanka (Ceylon) Abroad.
Mudiyansea N., 1967 Mahayana Monuments in Ceylon.
තිසර සන්දේශය