Showing posts with label Anamaduwa. Show all posts
Showing posts with label Anamaduwa. Show all posts

Sunday, October 13, 2019

පොල්ගෙඩි අකුරින් වලස්ගල වෙහෙරට වැවක් පිදූ පරුමක තිශගේ තෝනිගල පිහිටි මෙරට විශාලම සෙල්ලිපිය



ඔරුවක හැඩය (දෙමළ තෝනි) සහිත ගල යන තේරුම දෙන තෝනිගල නමින් යුත් ගල් පර්වත සහිත ස්ථානයක් පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව නගරයට තරමක් උතුරට වන්නට එනමින්ම වර්තමානයේ හැඳින්වෙන වැවක් අසල පිහිටා ඇත. මෙහි අඩු වැඩි වශයෙන් එකම අර්ථය සහිත සෙල් ලිපි දෙකක් එකිනෙකට ආසන්නව හමුවේ. පරුමක අබයගේ පුත් වූ පරුමක තිශ නම් පුද්ගලයෙක් ඔහුට අයත් වැවක් අචගිරික තිශ පර්වතයේ සිව් දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට පූජා කල බව එම ලිපි වල සඳහන් වේ. එම අචගිරික තිශ විහාරය (අචගිරික යන්නෙහි සිංහල තේරුම වලස්ගල ලෙස ගත හැක.) මේ ආසන්නයේම පිහිටි පූර්ව බ්‍රාහ්මි අක්ෂර වලින් ලිපි කොටා ඇති කටාරම් සහිත ලෙන් හමුවන වර්තමානයේ පරමාකන්ද ලෙසින් හැඳින්වෙන පුරාණ සංඝාරාමය විය හැක.  තවද දෙවනපි යන විරුදය ලත් මහරජ ගමිණි අබය නම් රජෙකු විසින් අචනගර සහ තවිරිකියනගර නම් ප්‍රදේශද එම විහාරයට පිරිනැමූ බව එම ලිපි වල සඳහන් වේ. එම ප්‍රදේශ ස්ථිර ලෙසින් හඳුනාගත නොහැකි වුවත් ලිපියේ සඳහන් රජු දුටුගැමුණු හෝ වලගම්බා  යන රජවරුන්ගෙන් කෙනෙකු බවට විවිධ විද්වතුන් මත ඉදිරිපත් කර ඇත. එක් එක් ලිපි අඩි 100 පමණ දිගින් යුත් මෙම සෙල්ලිපි වල අක්ෂර අඩියක් පමණ විශාල වේ. එම අකුරු අඟලක් පමණ ගැඹුරට ගල මතු පිට කොටා ඇත. මෙතරම් දිගින් සහ විශාල අකුරු වලින් යුත් වෙනත් ලිපි මෙරටින් හමුවී නැත.

**තෝනිගල සෙල්ලිපිය පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.