Showing posts with label Chelsea Hospital. Show all posts
Showing posts with label Chelsea Hospital. Show all posts

Thursday, September 10, 2015

"චෙල්සියා රෝහලේ රාජසිංහ කොඩිය" සිංහලේ කොඩිය වූ හැටි




J. W. බෙනට් විසින් 1843 දි රචිත Ceylon And Its Capabilities - An account of its natural resources, indigenous productions and commercial facilities නම් ග්‍රන්ථයේ සිංහලේ අවසන් රජුගේ කොඩිය 1815 ඔක්තෝබර් 12 වෙනි දින ලන්ඩන් වල පිහිටි Whitehall මාලිගයේ පිහිටි ඒ නමින් වූ දේවස්ථානයේ තැන්පත් කර තැබීම සදහා එවූ බවට සදහනක් වේ. මෙය පාදක කර ගනිමින් E.W. පෙරේරා 1908 දී එවකට එම පරිශ්‍රයේ පිහිටි Royal United Service Institute හි කෞතුකාගාරයේ එය සෙවූ නමුත් එවැන්නක් එහි නොතිබුනි. නමුත් එහි සිටි නිලධාරියෙකු විසින් එතුමන්ට පැවසූ අයුරින් එහි තිබූ ධජ සමහරක් කලකට පෙර රාජකීය චෙල්සියා (Royal Chelsea Hospital) රෝහල වෙතට යැවූ බවට ලද හෝඩුවාව ඔස්සේ  ගිය E.W. පෙරේරා මහතාට අහම්බයකින් මෙන් එම රෝහලේදි ඔහු සොයන ධජය හමුවන්නේ Royal United Service ආයතනයෙන් චෙල්සියා රෝහල වෙත යැවූ ධජ අතර කන්ද උඩරටින් අල්ලා ගත් ධජ කිසිවක් තිබිය නොහැකි බවට එම ආයතනයේ නිලධාරීන් කල සදහනද බොරු කරමිනි. එම රෝහලේ බිත්තියක එල්ලා තිබූ වර්ණ ගැන්වූ සූචි පුවරුවක් (Colored Key-Plate) ඔස්සේ සොයා බැලු එතුමන්ට ප්‍රධාන ශාලාවේ (Great Hall) එල්ලා තිබූ එම ධජ ත්‍රිත්වය සොයා ගැනීමට හැකිවූ බව 1916 ප්‍රකාශිත Sinhalese Banners and Standards නම් ග්‍රන්ථයේ එතුමන් සදහන් කර ඇත.

දරුනු ලෙස දුර්වර්න වී තිබූ එම කොඩි දෙකක් සූචි පුවරුවෙන් හඳුනාගත් අයුරින් රාජකීය ධජ වූ අතර අනෙක අතපත්තුවේ ලේඛම් කොඩියක් ("The King's war standard" ලෙසින් අපගේ පෙර ලිපියේ හැඳින්වූ කොඩිය) ලෙස එතුමන් සදහන් කරයි. E.W. පෙරේරා මහතා සදහන් කරන අයුරින් ඔහු එම කොඩි වල කටු සටහනක් පවා සටහන් කර ගනුයේ ඉහත සදහන් කල වර්ණ ගැන්වූ සුචි පුවරුවෙන් වේ. ඒ මහතා සිය ග්‍රන්ථයේ යොදා ගන්නේ එම කටුසටහන මගින් සහ පසුව D.R. විජේවර්ධන මහතා වෙනුවෙන් ලන්ඩන් වල පිහිටි South Wood & Co. සමාගම විසින් පිටපත් කර වර්ණ ගැන්වූ කොඩියක රූප සටහනක්ද අනුසාරයෙන් ප්‍රතිනිර්මාණය කල සිතුවම් වේ.

මෑතකදි පලවූ Flags - Flag Traditions of Sri Lanka ග්‍රන්ථයේ මේ පිලිබද විවරනයක යෙදෙන එහි සම්පාදක නිමල් ද සිල්වා මහතා ඉස්මතු කරන පරිදි E.W. පෙරේරා මහතා මෙන්ම D.R. විජේවර්ධන මහතා වෙනුවෙන් එය පිටපත් කල සමාගමද මෙම කොඩි වල පැහැදිලි මුල් පිටපත් නොදැක තිබූ හෙයින් පිටපත් කිරීමේදි ඔවුන්ගේ සිතැඟි පරිදි විවිධ වර්ණ සහ සලකුනු යොදාගෙන තිබේ. අප පෙර සදහන් කල 1841 දි කැප්ටන් J. ෆොර්ඩ් මහතා විසින් අදින ලද කොඩි වල සිංහයා නිල් පැහැති වන අතර වමතින් එක් කොඩියක කඩුව සහ අනිත් කොඩියේ කසයක් දරා සිටී (රූපය බලන්න - වම් පස ඇති කොඩිය). නමුත් පෙර සදහන් කල පිටපත් වල සිංහයා කහ පාට වන අතර කඩුව දරා සිටින්නේ දකුනු අතිනි. එසේම සියලුම පිටපත් වල කොඩියේ කොන් වල දැකිය හැකි සිංහල චිත්‍ර සම්ප්‍රදායේ හමු නොවන වටාපත් හිස් වැනි සලකුනු එවැනි සලකුනු පිලිබද අවබෝදයක් නොමැති විදේශීය සිත්තරන්ගේ අතින් නිර්මාණය වූ (හෝ විකෘති වූ ) දුර්වර්ණ වී තිබූ මුල් කොඩියේ අපැහැදිලිව දක්නට තිබූ බෝ පත් හෝ අන් සලකුනක් විය හැක.

කෙසේ වුවත් වර්තමානයේ "සිංහලේ කොඩිය" ලෙසින් හඳුනාගන්නේ E.W. පෙරේරා මහතා විසින් සිය පොතේ පිට කවරය සදහා ප්‍රතිනිර්මානය කල ඉහත කොඩිය වන අතර (රූපය බලන්න - දකුණු පස ඇති කොඩිය) චෙල්සියා රෝහලේ තිබූ ධජයේ  මුල් ස්වරූපය සොයා යෑමට මේ වන විට හැකියාවක් නොමැති තත්වයක් උදාවී ඇත.

කෙසේ නමුත් මෙම "සිංහලේ කොඩිය" වර්තමානයේ අප හඳුනා ගන්නා ජාතික කොඩියට ආදේශකයක් නොවන අතර එය භාවිතා කල කිසිවෙකු එය ජාතික කොඩිය ලෙසින්ද හඳුන්වා නොතිබුනි. එවැනි තත්වයක් යටතේ ඒ පිළිබද අනවශ්‍ය බියක් හෝ කලබල වීමක් ඇතිකරගත යුතු නොවන්නේ මේ රටේ ඕනෑම ජනවර්ගයකට තමන් අභිමත ධජයක් හෝ වෙන යම් සංකේතාත්මක  දෙයක් ඔවුන්ගේ විවිධ කටයුතු වලදී යොදා ගැනීමට තහනමක් නොමැති බැවිනි (උදා: මෙරට ඇතැම් කුල වලට ඔවුන්ගේ පාරම්පරික ධජ ඇති අතර ඔවුන් ඒවා ඔවුන්ගේ උත්සව අවස්ථා වැනි දේ වලදි යොදා ගනී ). එය ජාතික කොඩිය විකෘති කිරීමක්ද නොවේ. කෙසේ නමුත් මෙරට තහනම් සංවිධානයක් වන කොටි සංවිධානයේ කොඩිය වරින් වර උතුරු නැගෙනහිර පලාත්හි පෙනී නොපෙනී යන විට නොදුටූ ඇස් ඇතිව නෑසු කන් ඇතිව සිටින්නන්ට සිංහලේ කොඩිය වහකඳුරු වීම නම් ජාතියේම අවසානාවකි.

Tuesday, September 8, 2015

ජාතික කොඩිය විකෘති නොකරනු! සිංහලේ කොඩිය තහනම් කරනු!!

පසුගිය දින වල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආධාර කරුවන් අත විවිධ අවස්ථා වලදි ලෙලදුන් අරුම පුදුම 'ජාතික කොඩියක්' මාධ්‍ය වල පුවත් මවන්නට යෙදුනි (1). එය මුල්වරට කරලියට පැමිනියේ මාර්තු 3 වන දින සිංහලේ ජාතික පෙරමුණ සහ ස්වර්ණ හංස පදනම එක්ව මහනුවර මගුල් මඩුව ඉදිරිපස ඔසවා ඇති ජාතික කොඩිය පහත හෙලා මෙම කොඩිය ඔසවන්නට උත්සහ කිරීමත් සමග ඇතිවු සිදුවීමත් සමගය (2). මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සහය දක්වමින් පැවැත්වූ උද්ඝෝෂණ සහ රැස්විම් අතර තුර මෙම කොඩිය භාවිතය සම්බන්ධ වගකිවයුත්තන් හෙලි නොවු නමුත් එය බොහෝ අවස්ථා වලදි එම ව්‍යාපාරයේ නායකත්ව මට්ටමින් සිදු කල දෙයක් නොවන බව පෙනී ගියේය. කුමක්ද මේ අන් ජාතීන් නියෝජනය කරන ද්වි වර්ණ තීරු නොමැති කොඩිය? ඉහත සංවිධාන විසින් එය හඳුන්වා දුන්නේ 'සිංහලේ කොඩිය' ලෙසය. සැබෑ සිංහලේ කොඩිය මෙයද?

සිංහලේ කලින් කලට පාලනය කල විවිධ රජවරුන් සිංහයා සංකේතකාත්මකව රාජ්‍ය මුද්‍රා ආදියේ යොදාගත් බවට සාධක ඇති මුත් සිංහ ධජය සහ රාජ්‍යත්වය සම්බන්ධ මුල්ම සාධකය හමුවන්නේ දඹුලු  විහාරයේ දුටුගැමුණු - එළාර යුද්ධය නිරූපනය කෙරෙන ගුහා චිත්‍ර වලිනි. මෙහි දුටුගැමුණු රජතුමා අසලින් ලෙලදෙන කොඩියේ කඩුවක් අතින් ගත් සිංහයා සහ එයට උඩින් හිරු සහ සඳු චිත්‍රනය කර ඇත (රූපය බලන්න). මෙම බිතු සිතුවම් 18 වන ශතවර්ෂයේ මැද භාගයේ පමන සිතුවම් කර ඇති බැවින් බොහෝ විට මෙයින් එම යුගයේ තත්වය නිරූපනය වූවා යැයි සිතිය හැක.

විදේශීය කෞතුකාගාර වල තැන්පත් කර ඇති මෙරටින් ගෙනගිය කෞතුක වස්තු රැසක් පිළිබදව අගනා ග්‍රන්ථයක් කල කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කල P.H.D.H de. සිල්වා මහතාගේ A Catalogue of Antiquities And Other Cultural Objects From Sri Lanka (Ceylon) Abroad නම් ග්‍රන්ථයේ ලන්ඩන් නුවර චෙල්සියා රාජකීය රෝහලේ (Chelsea Royal Hospital) තැන්පත් කර තිබූ සිංහලේ අවසාන රජුට අයිති ධජ තුනක් පිලිබද රූප සටහන්ද සමගින් විස්තරයක් එයි. එහි සදහන් වන අයුරින්  1803 දී ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගෙන් අල්ලා ගත් මෙම ධජ ත්‍රිත්වය පෙරදිග ඉන්දියානු සමාගම(East India Company) මගින් 4 වන විලියම් රජුගේ අනුමැතිය ඇතිව ආරක්ෂාකාරිව තැබීම සදහා මෙම රාජකීය රෝහලට එවා ඇත.  වසර ගනනාවක් එම රෝහලේ එල්ලා තිබූ එම ධජ ස්වභාවික හේතුන් මත දරුනු ලෙස දිරාපත් වීම හේතුවෙන් "The King's war standard" වශයෙන් හැඳින්වූ එක් කොඩියක් 1934 දී විනාශ කර දමා ඇති අතර (එම ධජය 51 වන රෙජිමේන්තුවේ කැප්ටන් පොලොක් (Capt. William Pollock) විසින් 1803 සැප්තැම්බර් 13 වන දින අල්ලා ගත් බව සදහන් වේ. මෙහි සිංහ රූපයක් නොමැති අතර විවිධ ආයුද වල රූප සටහන් වලින් නිර්මාණය කර ඇත.) අන් කොඩි දෙක ඒ වන විට කොටස් එකතු කර මසා තිබී ඇත. 1870 දී මෙම කොඩි සමග වෙනත් දේ එල්ලා තිබූ ශාලාවේ ගත් ජායාරූපයකද වැරහැලි වූ මෙම කොඩි තුන සටහන් වී තිබුනි. P.H.D.H de. සිල්වා මහතා සිය ග්‍රන්ථයේ විස්තර සදහා යොදා ගන්නේ එම කොඩි තුන ආශ්‍රයෙන් කැප්ටන් J. ෆොර්ඩ් (J. Ford) විසින් 1841 දී සිය "The War Flags at the Chelsea Hospital" නම් පොත සඳහා පිලියෙල කල සිතුවම් වන අතර එම පොත වික්ටොරියා රැජිනට පිරිනමා මේ වන විට වින්ඩ්සර් මාලිගාවේ(Windsor Castle) තැන්පත් කර ඇත. එම මුල් පිටපතට අමතරව තවත් පිටපත් දෙකක් පසුකාලීනව පිලියෙල කර ඇති අතර ඉන් එක් පිටපතක් චෙල්සියා  රෝහල් බලධාරීන් සන්තකව තිබේ.

ඉහත ධජයන් අතුරින් සිංහලේ කොඩිය ලෙසට සැලකිය හැකි කොඩි දෙක රතු පසුබිමේ පිලිවෙලින් වමතින් කසයක් සහ කඩුවක් වැනි යමක් ගත් අඳුරු නිල් පැහැති සිංහ රූප සහිත The Secretary At - Hand Flag සහ The King's Civil Standardලෙසින් හදුන්වන කොඩි වන අතර, එම කොඩි දෙකෙහිම කොන් වල වටාපත් වල ඉහල කොටස වැනි කොත් කැරැල්ලක ස්වරූපයේ සලකුනු ඇත (වර්තමාන ජාතික කොඩියේ බෝ කොල පිහිටන අයුරින් ). කහ තීරුවක් කොඩිය වටා යයි.

මේ අනුව ඉහත සදහන් කොඩි කිසිවක් වර්තමානයේ සිංහලේ කොඩිය නමින් හැදින්වෙන කොඩිය සමග තත්වාකාරයෙන් සමාන නොවූවත් බොහෝ දුරට වර්තමාන කොඩිය මෙම කොඩි අනුසාරයේන් නිර්මිත බව පෙනි යයි . එය සිදුවූවේ කෙසේද ? සිංහලේ කොඩිය එසවීම ජාතික කොඩිය විකෘති කිරීමක්ද? එනිසා සිංහලේ කොඩිය තහනම් කල යුතුද? ඒ පිලිබදව මතුවට සාකච්චා කරමු.

(1)  Sinhale Flag Raised At UPFA Meeting : Journalist 'Detained'

        Controversy Over Flag At Demo

(2) Police Launch Investigations On Hoisting Of 'Sinhale' Flag At Dalada Maligawa