Thursday, September 10, 2015

"චෙල්සියා රෝහලේ රාජසිංහ කොඩිය" සිංහලේ කොඩිය වූ හැටි




J. W. බෙනට් විසින් 1843 දි රචිත Ceylon And Its Capabilities - An account of its natural resources, indigenous productions and commercial facilities නම් ග්‍රන්ථයේ සිංහලේ අවසන් රජුගේ කොඩිය 1815 ඔක්තෝබර් 12 වෙනි දින ලන්ඩන් වල පිහිටි Whitehall මාලිගයේ පිහිටි ඒ නමින් වූ දේවස්ථානයේ තැන්පත් කර තැබීම සදහා එවූ බවට සදහනක් වේ. මෙය පාදක කර ගනිමින් E.W. පෙරේරා 1908 දී එවකට එම පරිශ්‍රයේ පිහිටි Royal United Service Institute හි කෞතුකාගාරයේ එය සෙවූ නමුත් එවැන්නක් එහි නොතිබුනි. නමුත් එහි සිටි නිලධාරියෙකු විසින් එතුමන්ට පැවසූ අයුරින් එහි තිබූ ධජ සමහරක් කලකට පෙර රාජකීය චෙල්සියා (Royal Chelsea Hospital) රෝහල වෙතට යැවූ බවට ලද හෝඩුවාව ඔස්සේ  ගිය E.W. පෙරේරා මහතාට අහම්බයකින් මෙන් එම රෝහලේදි ඔහු සොයන ධජය හමුවන්නේ Royal United Service ආයතනයෙන් චෙල්සියා රෝහල වෙත යැවූ ධජ අතර කන්ද උඩරටින් අල්ලා ගත් ධජ කිසිවක් තිබිය නොහැකි බවට එම ආයතනයේ නිලධාරීන් කල සදහනද බොරු කරමිනි. එම රෝහලේ බිත්තියක එල්ලා තිබූ වර්ණ ගැන්වූ සූචි පුවරුවක් (Colored Key-Plate) ඔස්සේ සොයා බැලු එතුමන්ට ප්‍රධාන ශාලාවේ (Great Hall) එල්ලා තිබූ එම ධජ ත්‍රිත්වය සොයා ගැනීමට හැකිවූ බව 1916 ප්‍රකාශිත Sinhalese Banners and Standards නම් ග්‍රන්ථයේ එතුමන් සදහන් කර ඇත.

දරුනු ලෙස දුර්වර්න වී තිබූ එම කොඩි දෙකක් සූචි පුවරුවෙන් හඳුනාගත් අයුරින් රාජකීය ධජ වූ අතර අනෙක අතපත්තුවේ ලේඛම් කොඩියක් ("The King's war standard" ලෙසින් අපගේ පෙර ලිපියේ හැඳින්වූ කොඩිය) ලෙස එතුමන් සදහන් කරයි. E.W. පෙරේරා මහතා සදහන් කරන අයුරින් ඔහු එම කොඩි වල කටු සටහනක් පවා සටහන් කර ගනුයේ ඉහත සදහන් කල වර්ණ ගැන්වූ සුචි පුවරුවෙන් වේ. ඒ මහතා සිය ග්‍රන්ථයේ යොදා ගන්නේ එම කටුසටහන මගින් සහ පසුව D.R. විජේවර්ධන මහතා වෙනුවෙන් ලන්ඩන් වල පිහිටි South Wood & Co. සමාගම විසින් පිටපත් කර වර්ණ ගැන්වූ කොඩියක රූප සටහනක්ද අනුසාරයෙන් ප්‍රතිනිර්මාණය කල සිතුවම් වේ.

මෑතකදි පලවූ Flags - Flag Traditions of Sri Lanka ග්‍රන්ථයේ මේ පිලිබද විවරනයක යෙදෙන එහි සම්පාදක නිමල් ද සිල්වා මහතා ඉස්මතු කරන පරිදි E.W. පෙරේරා මහතා මෙන්ම D.R. විජේවර්ධන මහතා වෙනුවෙන් එය පිටපත් කල සමාගමද මෙම කොඩි වල පැහැදිලි මුල් පිටපත් නොදැක තිබූ හෙයින් පිටපත් කිරීමේදි ඔවුන්ගේ සිතැඟි පරිදි විවිධ වර්ණ සහ සලකුනු යොදාගෙන තිබේ. අප පෙර සදහන් කල 1841 දි කැප්ටන් J. ෆොර්ඩ් මහතා විසින් අදින ලද කොඩි වල සිංහයා නිල් පැහැති වන අතර වමතින් එක් කොඩියක කඩුව සහ අනිත් කොඩියේ කසයක් දරා සිටී (රූපය බලන්න - වම් පස ඇති කොඩිය). නමුත් පෙර සදහන් කල පිටපත් වල සිංහයා කහ පාට වන අතර කඩුව දරා සිටින්නේ දකුනු අතිනි. එසේම සියලුම පිටපත් වල කොඩියේ කොන් වල දැකිය හැකි සිංහල චිත්‍ර සම්ප්‍රදායේ හමු නොවන වටාපත් හිස් වැනි සලකුනු එවැනි සලකුනු පිලිබද අවබෝදයක් නොමැති විදේශීය සිත්තරන්ගේ අතින් නිර්මාණය වූ (හෝ විකෘති වූ ) දුර්වර්ණ වී තිබූ මුල් කොඩියේ අපැහැදිලිව දක්නට තිබූ බෝ පත් හෝ අන් සලකුනක් විය හැක.

කෙසේ වුවත් වර්තමානයේ "සිංහලේ කොඩිය" ලෙසින් හඳුනාගන්නේ E.W. පෙරේරා මහතා විසින් සිය පොතේ පිට කවරය සදහා ප්‍රතිනිර්මානය කල ඉහත කොඩිය වන අතර (රූපය බලන්න - දකුණු පස ඇති කොඩිය) චෙල්සියා රෝහලේ තිබූ ධජයේ  මුල් ස්වරූපය සොයා යෑමට මේ වන විට හැකියාවක් නොමැති තත්වයක් උදාවී ඇත.

කෙසේ නමුත් මෙම "සිංහලේ කොඩිය" වර්තමානයේ අප හඳුනා ගන්නා ජාතික කොඩියට ආදේශකයක් නොවන අතර එය භාවිතා කල කිසිවෙකු එය ජාතික කොඩිය ලෙසින්ද හඳුන්වා නොතිබුනි. එවැනි තත්වයක් යටතේ ඒ පිළිබද අනවශ්‍ය බියක් හෝ කලබල වීමක් ඇතිකරගත යුතු නොවන්නේ මේ රටේ ඕනෑම ජනවර්ගයකට තමන් අභිමත ධජයක් හෝ වෙන යම් සංකේතාත්මක  දෙයක් ඔවුන්ගේ විවිධ කටයුතු වලදී යොදා ගැනීමට තහනමක් නොමැති බැවිනි (උදා: මෙරට ඇතැම් කුල වලට ඔවුන්ගේ පාරම්පරික ධජ ඇති අතර ඔවුන් ඒවා ඔවුන්ගේ උත්සව අවස්ථා වැනි දේ වලදි යොදා ගනී ). එය ජාතික කොඩිය විකෘති කිරීමක්ද නොවේ. කෙසේ නමුත් මෙරට තහනම් සංවිධානයක් වන කොටි සංවිධානයේ කොඩිය වරින් වර උතුරු නැගෙනහිර පලාත්හි පෙනී නොපෙනී යන විට නොදුටූ ඇස් ඇතිව නෑසු කන් ඇතිව සිටින්නන්ට සිංහලේ කොඩිය වහකඳුරු වීම නම් ජාතියේම අවසානාවකි.

No comments:

Post a Comment