Tuesday, September 22, 2015

යැංකි ඩිකීගේ මීමුත්තා - තම්බි මුදලියර් හෙවත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන

තම්බි මුදියන්සේ නොහොත් තම්බි මුදලියර් නොහොත් දොන් ඒද්‍රියන් විජේසිංහ ජයවර්ධන. ......

සිංහලේ ඉතිහාසය වෙනස් කිරීමට ඉමහත් සේවයක් කල එහෙත් කාලයේ වැලි තලාවෙන් යටවි ගිය කුප්‍රකට චරිතයක් ලන්දේසි යුගයේදි කොළඹ කොටුව බාර අණදෙන නිලධාරීයා වූ කර්නල් ඩ්‍රිබර්ග්ගේ නිවසේ සේවකයකු වශයෙන් සේවය කලේය. ඔහුගේ පියා දකුනු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරලින් මෙහි පැමිණි ද්‍රවිඩ සම්භවයක් ඇති චෙට්ටි (Chetti) පරපුරකින් පැවත එන පුද්ගලයෙකි. ඔවුන්ගේ පරපුරේ යම් කිසිවෙකු සියනෑ කෝරලයේ වෙල්ගම පදිංචිව සිටි ජයවර්ධන පෙලපත් නාමය සහිත සිංහල කාන්තාවක් විවාහ කරගත් බැවින් අපගේ කතා නායකයාගේ පියා බුලත්ගේ ඒඩ්‍රියන් ජයවර්ධන නම් ගත්හ.

තම ස්වාමියාවූ ඩ්‍රිබර්ග්ගේ විශ්වාසවන්තම සේවකයෙකු බැවින් කල්යත්ම දොන් ඒද්‍රියන් විජේසිංහ ජයවර්ධන ලන්දේසි හමුදාවේ ඔත්තුකාරයෙකු බවට පත්විය. කෙටිකලක් එම කාර්යය මැනවින් ඉටුකල ඔහුට ලන්දේසීන්ගෙන් පැවරුන අවසාන රාජකාරිය වූවේ මීගමුව බලකොටුව අල්ලාගෙන ගොඩබිම් මාර්ගයෙන් කොළඹ බලා එමින් සිටි ඉංග්‍රිසි හමුදාව තුලට රිංගා චරපුරුෂයෙකු වශයෙන් තොරතුරු සෙවිමය. එම කාර්යය කරමින් සිටින අතරතුරේදි ඉංග්‍රිසීන්ට හෙලිවිමෙන් ඔහුට මරණීය දන්ඩනය නියම කරන්නේ ලන්දේසින්ගේ තොරතුරු ඉංග්‍රිසින් අතට පත් කර තම ජීවිතය බේරාගන්නා ලෙස කල යෝජනාව ඉවත දැමු බැවිනි. එහෙත් ඔහු ජීවිතය බේරාගන්නේ තමන්ට සිය ලන්දේසි ස්වාමිවරුන් පාවාදිය නොහැකි නමුත් යම් ආකාරයකින් ඉංග්‍රීසීන් කොළඹ කොටුව අල්ලාගතහොත් ලන්දේසීන්ට සේවය කල පරිද්දෙන්ම ඉංග්‍රීසීන්ටද සේවය කිරීමට හැකි බව පවසමිණි. ඔහුගේ කපටි නුවණ පලදරා අවසානයේ ඔහු ඉංග්‍රීසීන්ගේ ඔත්තුකරුවෙකු බවට පත්වෙන්නෙ සිදුවිය යුතු පරිද්දෙන්ම දුර්වල ලන්දේසි හමුදාව ඉංග්‍රීසීන්ට යටත් වී පසුබැසීම නිසාවෙනි.

මේ ඉංග්‍රීසීන් යටතේ ඔහු කල සේවයෙන් බිදක් ගොනු කර දැක්වීමකි. මේ විස්තර සදහන් වෙන්නේ ඔහුගේ අභාවයත් සමග 1830 මැයි 15 වෙනි දින දරන සිලෝන් ගැසට් (Ceylon Gazette) කලාපයේ ඔහු වෙනුවෙන් පලවූ අතිරේකයේය. උපුටා ගැනීම ධර්ම ශ්‍රී කාරියවසම් විසින් මෑතකදි පල කල තම්බි මුදියන්සේ - රට පාවා දීමේ පුරෝගාමියා# සහ 1815 කන්ද උඩරට සිංහල රාජධානිය සිය කපටි රාජ්‍යතාන්ත්‍රික නුවණ යොදවා උපක්‍රමශීලීව යටත් කරගැනීමේ මහාමොලකරු වූ ජෝන් ඩොයිලිගේ දිනපොතෙනි*. ඩොයිලි සිය දිනපොතේ කිහිප තැනකම තම්බි මුදලියර් විසින් සැපයූ උඩරට රාජධානියේ වැදගත් රහස් පිලිබද තොරතුරු සටහන් කරයි.

  •  1797 දී එවකට ඉංග්‍රීසීන් යටතේ පැවති වෙරලබඩ ප්‍රදේශ වල ඇතිවූ ජනතා කැරැල්ල පිලිබද තොරතුරු කැරැල්ල ඇතිවීමට පෙර කර්නල් ස්ටුවට්  වෙත සපයා විශාල මුදල් ත්‍යාග ලබාගැනීම.
  • මේජර් ජෙනරාල් මැක්ඩොවල් යටතේ 1800 දී දූත පිරිසක් මුවාවෙන් උඩරට රජුවෙත යැවූ භට පිරිසේ මගපෙන්වන්නා ලෙස කටයුතු කිරීම. එහිදි ඔහු කල සේවය අගය කිරීමක් වශයෙන් පසුව අතපත්තුවේ නිලලත් මුහන්දිරම් තනතුර (Titular Muhandiram of the Atapattu) ආන්ඩුකාරය විසින් පිරිනැමුනි.
  • කන්ද උඩරට අල්ලාගැනීම සදහා ඉංග්‍රීසින් 1803 කල අසාර්ථක ආක්‍රමණයේදී මගපෙන්වන්නෙකු ලෙස සහභාගීවීම සහ එහිදි රජුට එරෙහි වන්නෙකු ලෙස පෙනී සිටිමින් ඉංග්‍රීසීන් සමග කුමන්ත්‍රණ කල මහාධිකාරම වූ පිළිමතලාවේ විශ්වාස නොකරන ලෙස මැක්ඩොවල්ගෙන් ඉල්ලා සිටීම. එහෙත් එය නොපිලිගත් මැක්ඩොවල් පිළිමතලව්වේ විශ්වාස කිරීම හේතුවෙන් අවසානයේ උඩරට ඉතිරි වූ ඉංග්‍රීසි හමුදා පිළිමතලවුවේගේ කපටි උපක්‍රම අබිමුවේ සිංහල හමුදා අතින් සමූලඝාතනය වීමෙන් අවසන් විය.
  • නැවතවරක් ආන්ඩුකාර නෝර්ත් සමග සාකච්චා කිරීම සදහා මහාධිකාරම් පිළිමතලාවේ විසින් නොර්ත්ට දඹදෙනියට එනලෙස කල යෝජනාව ආන්ඩුකාර නෝර්ත්ව සිරකරුවෙකු ලෙස අල්ලාගැනීමට පිළිමතලව්වේගේ උපක්‍රමයක් විය හැකි බැවින් එය ප්‍රතික්ශේප කරන ලෙස ඉල්ලා සිටීම. නොර්ත් විසින් ඒඩ්‍රියන්ගේ ඉල්ලීම පිලිනොගත් නමුත් ඉංග්‍රීසීන්ට පසුව හෙලිදරව් වූයේ තම්බි මුදියන්සේගේ පැවසු පරිද්දෙන්ම මහාධිකාරම එවැනි උපායක් ක්‍රියාත්මක කිරීමට සිටි නමුත් නොර්ත් සමග ගිය භට පිරිස විශාල වීම හේතුවෙන් එය අත්හැර දැමූ බවය. තම්බි මුහන්දිරම්ගේ හෙලිදරව්ව සම්බන්ධයෙන් පැහැදුණු නෝර්ත් අණ්ඩුකාරයා ඔහුව අතපත්තුවේ බලය ලත් මුහන්දිරම් (Effective Muhandiram of the Atapattu) ලෙසට උසස් කරන ලදී.
  • ටික කලකට පසුව තම්බි මුහන්දිරම් ගෙනා තවත් ඔත්තුවකින් කියවුනේ 31000 ක සේනාවක් සමග කොළඹ කොටුවට පහරදීමට උඩරට සිංහල හමුදා සූදානම් වන බවය.උද්දච්ච ඉංග්‍රීසීන් නැවතත් ඔහුව නොසලකා හැරිය මුත් සිංහල හමුදා පැමින හංවැල්ල බලකොටුව වටලන තෙක්ම ඉංග්‍රීසින් එය නොදැන සිටියහ. කෙසේ නමුත් නැවත වරක් සිය අධිරාජ්‍යවාදී ස්වාමිවරුන්ගේ ගැලවුම්කරුවා වූ තම්බි මුහන්දිරම් ඉංග්‍රීසීන් සමග හංවැල්ල කොටුව බේරාගැනිමේ සටනට ස්වදේශික ලැස්කිරිඥ්ඥා භට පිරිස් වලට නායකත්වය දෙමින් ඉදිරිපත් විය. සටනින් ජයගත් ඉංග්‍රීසීන් තම්බි මුදියන්සේට වාසල මුදලිකම (Muhandiram of the Gate) සහ ඔත්තුකරුවන්ගේ මුදලිකම (Mudaliyar of the Guides) යන තානාන්තර දෙකම එකවර පිරිනැමීය. 
තම්බි මුදියන්සේගේ ඉංග්‍රීසීන් වෙනුවෙන් කල අගනා සේවය මින් නිම නොවේ. උඩරට රාජ්‍යය අල්ල ගැනීම සහ ඉන්පසු එය ඉංග්‍රීසීන් යටතේ චිරාත් කාලයක් තබාගැනීම උදෙසා ඔහු කල මෙහෙවර අපි වෙනත් දිනක සලකා බලමු. තම්බි මුදියන්සේගේ පරපුරේ පසුකාලීනයකු වන යැංකි ඩිකී ගැනද එහිදී සාකච්චා කරමු.  >> තම්බි මුදියන්සේලාගේ පරපුර

රූපය - 1869 දී කඩාදමමින් පැවැති කොළඹ පැරණි ලන්දේසි කොටුව.



  • Diary of Mr. John D'oyly - H.W. Codrinton, 1917
  • # 2015 සංශෝධිත දෙවැනි සංස්කරණය. 
  • 1 comment:

    1. ස්තුතියි මේ වටිනා ලියවිල්ල වෙනුවෙන්. මොහු සුද්දන් ට කළ සේවය වෙනුවෙන් රික්ස් ඩොලර් වලින් ගෙවූ විශ්‍රාම වැටුපක් ද හිමි ව විශ්‍රාම ජීවියත්ගෙවූ බව සඳහන් ගැසට් නිවේදනය පිළිබඳ පුවත ද මීට ම ඇතුළත් වී නම් වඩාත් අගේ ය.

      ReplyDelete